K.R. අභයසිංහ සමඟ විදුසර සංවාදය - 3

K.R. අභයසිංහ මහතාට මාගේ මීළඟ පිළිතුර (සංස්කරණයට පෙර )

ජූනි 28 වෙනි දින පළවූ මාගේ ලිපිය සඳහා පිළිතුරක් නොවන ප්‍රතිචාරයක් කේ.ආර්. අභයසිංහ මහතා ජූලි 05 විදුසරෙහි දක්වා ඇත. අභයසිංහ මහතා ලිපිය අරඹන්නේ මෙවැනි වාක්‍යයකිනි: "ජූනි 28 දා විදුසරට තමලු මලිත්ත පියදිගම මහතා ලියා තිබුණු ජ්‍යෝතිෂ්‍යයට එරෙහි ව හේතුවාදීන් ගෙන එන තර්ක ලිපියෙන් ඔහු ගේ පෙර ලිපියෙන් ම පැවසූ දෑ ම ගෙනහැර දක්වා ජ්‍යෝතිෂ්‍යය නම් මිථ්‍යාවට සායම් ගා තිබුණි." මගේ පළමු ලිපියත් දෙවන ලිපියත් නැවත පෙරළා බලන පාඨකයකුට දැක ගත හැක්කේ අභයසිංහ මහතාගේ ඉහත ප්‍රකාශය අසත්‍යය බව පමණක් නොව මගේ දෙවන ලිපියේ ඉතා වැඩි කොටසක් අභයසිංහ මහතාට මඟහැරී (හෝ ඔහු හිතා මතා ම මඟහැර) ඇති බව ය!

බුදු දහම විකෘති කරමින්, ත්‍රිපිටකයට විකෘති පරිවර්තන ලබා දෙමින්, තමන්ට අවශ්‍ය කොටස් පමණක් සලකමින්, වචනවල රූපීය සමානකම් ඈඳමින්, බුදුන් වහන්සේ දෙසූ බවට උන් වහන්සේ නො දෙසූ දෑ ඉදිරිපත් කරමින් හේතුවාදය නම් මිථ්‍යාව ප්‍රචාරය කිරීමට වංචනික හා කූඨ ලෙස බුදු දහමේ නම යොදා ගැනීමට හේතුවාදීන් කටයුතු කරන ආකාරය ගැන මා ජූනි 28 ලිපියේ සවිස්තරාත්මකව දක්වා ඇති කරුණු ගැන වචනයකින් හෝ සඳහනක් නො කිරීමට අභයසිංහ මහතා ප්‍රවේසම් වේ. මෙවර ඒ මහතා පුනර්භවය නැතැයි කියමින් මිථ්‍යාදෘෂ්ටික උච්ඡේදවාදය වෙනුවෙන් එක එල්ලේ පෙනී සිටියි. බුදු දහමට මුවා වී කරුණු දක්වන හේතුවාදීන්ගේ යටි අරමුණ කුමක් දැයි විදුසරේ පාඨකයින්ට ක්‍රියාවෙන් ම පෙන්වා දීම ගැන නම් අභයසිංහ මහතාට මගෙන් ප්‍රශංසාවක් හිමි වේ!

අභයසිංහ මහතා පිළිතුරු ලියන්නේ සිහි කල්පනාවෙන් තොරව බව පෙනේ. මගේ ලිපියේ පැහැදිලිව ම මාගේ අරමුණ වන්නේ ජෝතිෂ්‍යයයේ සත්‍ය භාවය ගැන සාකච්ඡා කිරීම නොව ඊට එරෙහිව හේතුවාදීන් ගෙන එන තර්කවල අශාස්ත්‍රීය බොළඳ භාවය පෙන්වා දීම බව කියා ඇත. ලංකාවේ දී හුදු ප්‍රචාරණ ව්‍යාපාරයක් ම පමණක් වන හේතුවාදයේ බොළඳකම හා කූඨ වංචනිකභාවය හෙළිදරවු කිරීම මගේ කාර්යයයි. අභයසිංහ මහතා උජාරුවෙන් පුනරුච්චාරණය කරන රූපවාහිනි වැඩසටහන් හෝ අසත්‍ය වී ගිය අනාවැකි ගැන හෝ පැවසීම මීට පිළිතුරක් නො වේ. ඒවා ඒ අනාවැකි පැවසූ ජෝතිෂාස්ත්‍රඥයින් සමඟ බේරා ගත යුතු ය. හේතුවාදී ප්‍රචාරණ යාන්ත්‍රණයේ නිරුවත හෙළි කිරීමේ මාගේ ප්‍රයත්නයට පිළිතුරු දිය හැක්කේ හේතුවාදී තර්කවල ශාස්ත්‍රීය නිවැරදිභාවය පෙන්වීමෙන් මිස එවැනි හෑලි ලිවීමෙන් නො වේ. එහෙත් අභයසිංහ මහතා ඒ සඳහා අල්පමාත්‍ර උත්සාහයක්වත් දැරීමට පොහොසත්ව ඇති බවක් නො පෙනේ. ජූනි 28 මගේ ලිපියේ ඉංග්‍රීසි උපුටා ගැනීමට පසු ඡේදයේ ද ජූනි 07 ලිපියේ අවසන් ඡේද තුනේ ද ඇති මාගේ ප්‍රධාන තර්කය ගැන අභයසිංහ මහතා කිසිවක් ම කීමට අපොහොසත්ව ඇත. ඒ ගැන ඔහු සඳහනක්වත් නො කරයි!

ඔහු ඔහුගේ ජුනි 21 ලිපියේ හයවෙනි ඡේදය ගැන මහා ඉහළින් කතා කරයි. ඔහුට අනුව එහි "හිරු වටා පෘථිවිය ගමන් කරනවා යන්න හා පෘථිවිය වටා හිරු ගමන් කරනවා යන්න එක ම යැයි විස්තර කෙරෙන අවිචාරවත් සැමට ඒ ඡේදය පිළිතුරු සපයයි".

ඔහුට අනුව මට ඒ ඡේදය වැටහී නැත! ඒ මහානර්ඝ ඡේදයේ කවර නම් ආශ්චර්යයක් ඇති දැයි දැන් අපි විමසා බලමු.

පහත දැක්වන්නේ අභයසිංහ මහතාගේ ලිපියේ අදාළ ඡේදයයි.

"
විශේෂයෙන් ම 16 වැනි ශතවර්ෂයෙන් පසු බිහි වූ කොපර්නිකස්‌, අයිසැක්‌ නිව්ටන් සහ අයින්ස්‌ටයින් වැනි දාර්ශනිකයන් විසින්, එතෙක්‌ මිනිසා තුළ පැවැති මිථ්‍යා සංකල්පවලට එරෙහි යථාර්ථය හෙළි කිරීම විද්‍යාවේ විශාල ඉදිරි පිම්මක්‌ විය. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ මෙන්ම තාරකාවන් කලින් කලට විශ්වය තුළ නිරීක්‌ෂණය වන අයුරු පදනම් කොට ගැඹුරු චින්තනය හරහා පෙන්වා දී ඇති සත්‍ය අතරින්, සූර්යයා වටා අප පෘථිවිය ගමන් කරනවා ය යන යථාර්ථය තාරකා විද්‍යාවේ (ASTRONOMY) විශාල දියුණුවට හේතු විය. පසුකාලීනව ප්‍රබල දුරේක්‌ෂවලින් විශ්වය නැරඹීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සූර්ය කේන්ද්‍රවාදයේ සත්‍යය වටහාගත හැකි විය. පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන ගණන් ඈත සිට ඉතා නිවැරැදි දුරේක්‌ෂවලින් විශ්වය නැරඹීමේ පහසුව තිබෙන අද සූර්ය කේන්ද්‍ර වන අප සෞරග්‍රහ මණ්‌ඩලය මෙන්ම විශ්වයේ චක්‍රාවාට පිළිබඳ කරුණු කාරණා පිළිබඳව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැනුවත් ය. වසර දහස්‌ ගණනක්‌ පැරැණි මිථ්‍යාවක්‌ වන පෘථිවි කේන්ද්‍රවාදය යථාර්ථයක්‌ බව පවසා ජ්‍යෝතිෂ්‍යය නැමැති බොළඳ, අවිද්‍යාත්මක සංකල්ප එකතුව උලුප්පා පෙන්වීමෙන් පියදිගම මහතාට කුමක්‌ හෝ වාසියක්‌ ඇති දැයි නො දනිමි. ජ්‍යෝතිෂකරුවන් ගේ ව්‍යායාමය නම් එය ම බව පෙනේ."

අභයසිංහ මහතා කියන්නේ කොපර්නිකස් හෝ ගැලීලියෝ සූර්යකේන්ද්‍රවාදය 'පරීක්ෂණාත්මකව පෙන්වා දෙනු ලැබ ඇති බවක්' ඔහු නො කී බවයි. ඔහු කියන අයුරින් නම් මා ඔහුගේ ඒ අතිවිශිෂ්ට ඡේදය හරි හැටි කියවා නැත! එහි ඇත්ත නැත්ත දැන් පාඨකයාට ඇස් පනා පිට පෙනේ. කෙසේ වෙතත් අභයසිංහ මහතා මගේ අභියෝගයේ ඉතා සුළු කොටසක් පමණක් පිළිබඳ යාන්තමින් සඳහන් කොට අභියෝගය මඟ හැර ගොස් ඇත. පාඨකයින් උදෙසා මාගේ එම කොටස ද උපුටා දක්වමි:

"මා ඔහුට අභියෝග කරන්නේ කොපර්නිකස් , ගැලීලියෝ එසේ 'ඔප්පු කළ තැන' පෙන්වන්න යනුවෙනි. ප්‍රබල දුරේක්ෂ මඟින් එසේ දැන ගන්නට ලැබුණු බව කීම වංචනික නොමඟ යැවීමකි. එසේ ඔප්පු කළේ කවර දුරේක්ෂයකින් ගත් කවර ප්‍රතිඵලවලින් දැයි යන්න විස්තරාත්මක ව දක්වන ලෙස ඒ මහතාට අභියෝග කරමි." අභයසිංහ මහතා දුරේක්ෂ ගැන අභියෝගය හොර රහසේ මඟ හැර ඇත.

"...පියදිගම මහතා නිවැරදි යැයි කියන , වනචාරී යුගයට ගැළපෙන, පෘථිවි කේන්ද්‍රවාදය " ලෙස සඳහන් කරද්දී අභයසිංහ මහතා මා අයින්ස්ටයින් උපුටා දක්වමින් ප්‍රකාශ කළ තර්කය ගැන අල්පමාත්‍ර වූත් සඳහනක් නො කරන්නේ ඔහු අයින්ස්ටයින් වනචාරියකු යැයි සිතන නිසා දැයි සැක උපදී.
මේ අභයසිංහ තර්කයට අනුව වනචාරි අදහසක් ලෙස සැලකෙන පෘථිවි කේන්ද්‍රවාදය ගැන අයින්ස්ටයින්ගේ මතය එනම්

The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either C.S. could be used with equal justification.

(The Evolution of Physics.- A. Einstein, L.Infeld page 224)

හීන් සීරුවේ මඟ හැර යන අභයසිංහ මහතා කියන්නේ අජටකාශ යානා ගමනේ යෙදෙන්නේ සූර්යකේන්ද්‍රවාදය පිළිගැනීම මගින් කෙරෙන ගණනය කිරීම් මත බව ය. එහෙත් මේ පිළිතුර කිසිසේත් ප්‍රමාණවත් නැත. අයින්ස්ටයින් ඉහත කියන්නේ සූර්යකේන්ද්‍රවාදයත් පෘථිවි කේන්ද්‍රවාදයත් එක ම නිවැරදිතාවයෙන් භාවිත කළ හැකි බව ය. ඇත්තෙන් ම සූර්ය කේන්ද්‍රවාදයෙන් කරන ගණනය අවශ්‍ය නම් පෘථිවි කේන්ද්‍රවාදයෙන් ද කළ හැකි ය. එවිට ලැබෙනු ඇත්තේ සූර්යකේන්ද්‍රවාදය යටතේ ලැබුණු සමීකරණ පද්ධතියට ම ගණිතමය වශයෙන් තුල්‍ය වූ සමීකරණ පද්ධතියකි. එය විසඳීමෙන් ද ලැබෙනු ඇත්තේ සූර්යකේන්ද්‍රවාදයෙන් ලබා ගත් අගයන් ම ය. එහෙයින් සූර්යකේන්ද්‍රවාදයෙන් යම් නිරවද්‍යතාවකින් අගයන් ලබා ගත හැකි ද එම නිරවද්‍යතාවයෙන් ම පෘථිවි කේන්ද්‍රවාදය යටතේ ද එම අගයන් ලබා ගත හැකි ය. නිවුටන්ගේ නියම වෙනුවට වඩා නිවැරදි සාපේක්ෂතාවාදය යොදන විට ඇත්තේ ආතානක (tensor) සමීකරණ බැවින් පද්ධති දෙක යටතේ ලැබෙන පිළිතුරු පමණක් නොව සමීකරණවල රූපීය ස්වබාවය පවා එක හා සමාන වනු ඇත. එහෙයින් මෙය හිස් තර්කයකි. ඒ බව ඒ මහතාට ම හැඟෙන හෙයින් දෝ නාසා ආයතනයේ ආචාර්ය කාවන්  (කාවන් රණතුංග මහතා විය යුතුයි.) අමතන ලෙස ඔහු පාඨකයින්ට උපදෙස් දී අත පිහිදා ගනියි. අභයසිංහ මහතා කොතරම් කලබල වී ඇති ද යත් විදුසර පාඨකයින් උදෙසා කාවන් මහතා ගේ දුරකථන අංකය ලබා දීමට හෝ ඔහුට සිහි වී නැත!

කාලගුණ අනාවැකි ගැන මා පැවසූ දේ හීන් සීරුවෙන් මඟ හරින අභයසිංහ මහතා රූපවාහිනි වැඩසටහන් ගැන නන් දොඩවයි. හේතුවාදී සංගමයේ අය පවත්වන රූපවාහිනි වැඩසටහන් බලන විට පෙනෙන්නේ ඔවුන් අභයසිංහ මහතා ලෙස ම කරුණු විකෘති කරමින් සන්දර්භයෙන් පිටත හිස් අභියෝග කරමින් විමසිලිමත් නොවන ප්‍රේක්ෂකයා හුදු වචනවලින් රවටන බව ය. අවිචාරවත් නො විමසිලිමත් ප්‍රේක්ෂකයින්ට ඒවා වීර ක්‍රියා වුවද විචාරශීලී පුද්ගලයින්ට ඒවා හාස්‍යෝත්පාදක වැඩසටහන් බඳු ය.

ඉන්පසුව ඔහු සංකල්පය හා කල්පිතය යනුවෙන් අමුතු බෙදීමක් ඉස්මතු කිරීමට උත්සාහ කරයි. ඒ මහතාගේ වීරයකු වන රසල්ගේ එක් වැදගත් අධ්‍යයනයක් වන්නේ විසම චක්‍රය නම් තර්කන වැරැද්ද (ආභාසය) ගැන කළ අධ්‍යයනයයි. මිථ්‍යාව විද්‍යාව වෙන් කිරීමට ඒ මහතා සංකල්පය හා කල්පිතය යනුවෙන් අමුතු ප්‍රභේද දෙකක් පනවා ඒවා අර්ථකථනය කිරීමේ දී නැවත ඒවා මිථ්‍යාවෙන් හා විද්‍යාවෙන් ඇතිවන බව කියා ආරම්භයට ම පැමිණ ඇත. විසම චක්‍ර යනු මේවා ය. තර්කවලට පිළිතුරු නැති කල ඒ මහතා පිහිට පතා ගොස් සිර වී ඇත්තේ විසම චක්‍රයක ය. රසල්ගේ Principles of Mathematics ග්‍රන්ථය කියවා විසම චක්‍රය වටහා ගන්නා ලෙස ඒ මහතා කෙරෙහි කරුණාවෙන් උපදෙස් දෙමි.

    කෙකුලේට බෙන්සීන් ගැන කල්පිතය ඇති වූයේ සිහිනයක දී බවත්, රාමානුජන් තම සමීකරණ ලැබුවේ දෙවියන්ගෙන් බවත්, පෝලියෝ ඇති වන්නේ රෝග කාරකය මගින් ඇති කරන විෂ හේතුවෙන් බව සෙවීමට සිදු වූ පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කළ යුතු ය යන කල්පිතය ඇති වූයේ පරීක්ෂණය නැවත නැවත අසාර්ථක වීම නිසා ඇති වුණු කෝපය හා චිත්ත ව්‍යාකූලතාවය (ඔළුව විකාර වීම) හේතුවෙන් ගත් ක්‍රියා මාර්ගය නිසා බවත්, අයන ගෝලය ගැන කල්පිතය ඇති වූයේ එවකට සිටි භෞතික විද්‍යාඥයින් කියූ දේ කනකටවත් නොගත් මාකෝනි නිසා බවත් නොදන්නා සේ අභයසිංහ මහතා සංකල්පයක් මෙන් නොව කල්පිත ඇතිවන්නේ විද්‍යාත්මක චින්තනයෙන් යැයි නන් දොඩවයි. සිහින , දෙවියන් මෙන් ම චිත්ත ව්‍යාකූලතාවයත් විද්‍යාත්මක චින්තනය ද? නැතිනම් මේ අධ්‍යයනවල ප්‍රතිඵල විද්‍යාවට අයත් නැද්ද?

  ඒ මහතා කල්පිත සත්‍යේක්ෂණයක් ගැන කියයි. කල්පිත සත්‍යේක්ෂණය කිරීම තර්ක ශාස්ත්‍රයේ මූලික ම නියම අනුව ම නො කළ හැක්කක් බව හේතුවාදී දාර්ශනිකයකයින් ම පෙන්වා දී වසර ගණනාවක් වුවත් ජ්‍යෝතිෂ්‍ය සමඟ බොළඳ තර්ක කරමින් පොර බැදීමක ඉන්නා අභයසිංහ මහතා වැනි ලංකාවේ හේතුවාදීන්ට ඒවායේ වගේ වගක් නැත! ඔවුන්ගේ හේතුවාදය ප්‍රචාරක ව්‍යාපෘතියකින් ඔබ්බට යන්නේ නැත.

අභයසිංහ මහතා පුනර්භවයට එරෙහි වන්නේ 'උසස් පෙළ සත්ත්ව විද්‍යාව පරිණාමය' ග්‍රන්ථය අනුව ලු! ත්‍රිපිටකය විකෘති කර දක්වමින් වංචනික තර්ක ඉදිරිපත් කරන හේතුවාදීන් ජීව විද්‍යාව ග්‍රන්ථවලින් පුනර්භවය ගැන කතා කරන බොළඳ ආකාරය ගැන පාඨකයාට සිතා ගත හැකි ය.

අභයසිංහ මහතාගේ ලිපිය පුරා ඇත්තේ බොහෝ පොත් ඇත, අර වැඩසටහන් බලන්න , මේ තැනැත්තාගෙන් අහන්න වැනි ප්‍රකාශ ය. පුවත්පත් සංවාදයක අරමුණ තමාගේ මතය පාඨකයාට පැහැදිලි කිරීම ය. එහෙයින් පොත් රැසක් ඇත වැනි දෑ නො කියා ඒවායේ ඇති තර්ක පාඨකයාට ඉදිරිපත් කිරීම අභයසිංහ මහතාගේ වගකීම වේ. එහෙත් ඔහු එසේ නො කරනවා පමණක් නොව ඔහුගේ ඒ මූලාශ්‍රවල අදාළ තර්ක ඇති ස්ථානයක්වත් නො දක්වයි. තමන්ගේ තර්කවල සුජාත භාවය විදුසරේ දී ම පෙන්වීමට අභයසිංහ මහතා අපොහොසත් බව පෙනේ.

'සැම නිදහස් චින්තකයකු ම , විචාරශීලියකු ම හේතුවාදියකු වන්නේ ය.' යැයි පවසමින් අභයසිංහ මහතා විචාරශීලීන්ට ඉහළ ම අවමානයක් කරයි. හේතුවාදයට ප්‍රතිවිරුද්ධ අනුභූතිවාදය , ආනුභවිකවාදය ආදී වඩාත් විචාරශීලී දර්ශන ගණනාවක් ඇති බව නො දැනීම ගැන ඒ මහතා විදුසර පාඨකයින්ගේ අනුකම්පාවට ලක් විය යුතු ය.

විමර්ශනශීලී පාඨකයින් අවදි වී හේතුවාදීන් නැමැති කරුණු විකෘති කොට මිථ්‍යා මත වපුරන්නන්ගෙන් ලංකාවේ අධ්‍යයන ක්ෂේත්‍රය බේරා ගත යුතු ය.

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි