ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු

 ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු






මේ දිනවල මාධව රුවන්පතිරණගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරක් ලෙස සංවර්ධනය සමඟ පරිසරය ගැන මේ ලිපිය ලියැවේ..

මුලින් ම ගෝඨාභයගේ සංවර්ධනය පිළිබඳ මගේ ස්ථාවරය කලින් තිබූ එක ම බව කිව යුතු ය. ගෝඨාභයගේ සංවර්ධනය බටහිර නූතනත්ව සංවර්ධන ආකෘතියකි. අප ඒ වැඩපිළිවෙළ නියෝජනය කරන්නේ නැත. දැන් මීළඟට අසන ප්‍රශ්නය වන්නේ එමඟින් අපේ අරමුණුවලට හානියක් සිදු නො වේ ද යන්නයි.. මා දකින පරිදි මේ ආකෘතිය ලංකාවේ මහා සාර්ථකත්වයකට යා හැක්කක් නොවන බවයි.. ඒ නිසා මහා අමුතු පුදුම සහගත සංවර්ධනයක් සිදු නොවනු ඇත... ඒ නිසා මෙය කිසිසේත් අපගේ අරමුණුවලට තර්ජනයක් නොවනු ඇත.. උපරිම ලෙස ආර්ථිකයේ කුඩා සීමිත වර්ධනයක් හා යාන්ත්‍රණ විධිමත් වීමක් සිදු විය හැකි ය. එහෙත් එක් සුළු ඉහළ මට්ටමක් දක්වා යාමෙන් පසු මේ ආකෘතියේ සීමාව එළඹී මෙය එතන සිර වී යනු ඇත.. මෙය ජනතාවට පෙනීම වඩාත් හොඳ ය... ජනතාව සිතා සිටින්නේ රට සංවර්ධනය නොවන්නේ හොරකම් වංචා දූෂණ නිසා බව ය. හොරකම් වංචා දූෂණ නැතුවත් මේ විධිවලින් සංවර්ධනය කළ නො හැකි ය... ඒ නිසා ක්‍රියාවලිය විධිමත් වී වංචා දූෂණ රහිතව මෙය අසාර්ථක වී යෑම ජනතාව ඉන් ඉදිරිය බැලීමට යොමු කරවන්නකි.. බැර කර්මාන්ත වෙනුවට මෘදුකාංග ආදී කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත නැංවීම, කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම හා ඒවාට රාජ්‍ය මැදිහත් වීම යන දේ ප්‍රමාණවත් නොවනු ඇත. මෘදුකාංග සමාගම් ආවරණය කරන්නේ පැතිරුණු වෙළඳපොළ මිස තාක්ෂණික දියුණුව නොවේ. (ලංකාවේ මෘදුකාංග නිෂ්පාදනය යනු සාදා ඇති මෙවලම් භාවිත කොට ගොඩනැංවීම් - implementation - කිරීම මිස උපාංග ගොඩනංවා ගැනීම නො වේ. ව්‍යාපාරික අවස්ථාව පවා ඒ හා සමක අවස්ථාවන් කලින් නිර්මාණය කරගෙන තිබුණු නමුත් ලෝකයේ අනෙක් සමාගම්වලින් ආවරණය නොවුණු වෙළඳපොළ කලාප අල්ලා ගැනීමයි. පොඩි පොඩි පර්යේෂණ යැයි කරන ඒවායින් එතරම් දෙයක් වන්නේ නැත. ඒවා කරන්නේ මොකක්වත් හදාගැනීමේ අරමුණින් ම නො වේ.) කුඩා කර්මාන්ත ලෝකයේ ඉදිරියේ දී ඇතිවන ආර්ථික අර්බුදයන් හමුවේ කඩා වැටීම හෝ ඇගලුම් ක්ෂේත්‍රයේ මෙන් මහා පරිමාණ සමාගම් දෙක තුනකට සාමූහනය වී යාම හෝ සිදුවනු ඇත.

කෙසේ හෝ මේ ආර්ථික වැඩපිළිවෙළෙහි අංග දෙකක් පවතී. 
1. ආර්ථිකය දියුණු කිරීම සඳහා මෘදුකාංග හා සේවා කර්මාන්ත
2. ග්‍රාමීය කර්මාන්ත හා කෘෂිකර්මය..

පළමුවැන්න කළ යුත්තක් හා දෙවැන්න අත්හැර නොගත යුත්තක් ලෙස මේ වැඩපිළිවෙළ සලකයි. එනම් දෙවැන්න කොටි වලිගයකි. අත් හැරීමට කැමති වුව ද ඒවා අත හැරීම හොඳ නැත. ඒ නිසා අල්ලාගෙන සිටියි.. රනිල් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මෙන් ම SBD ද සිල්වාගේ ආර්ථික න්‍යාය අනුව ද මේ දෙවනි කාණ්ඩය ඍජුව අතහැර දමා පළමුවැන්න කළ යුතු ය. දීප්තිගේ වචනයෙන් "වී වෙනුවට රෝස" ය. ගෝඨාභය-මහින්ද පාලනයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය "රෝස වවද්දී වී අත නො හරිමු" යන්නයි.. 

එහිදී මහින්ද සංචාරක ව්‍යාපාරය ආදී දේ ගැනත් ගෝඨාභය තොරතුරු තාක්ෂණ කර්මාන්තය ආදී දේ ගැනත් විශ්වාසය තබයි. කෙසේ නමුත් හරය වන්නේ ආර්ථිකය දියුණු කිරීමට 'රෝස' අත් අරින්න බැරි නිසා 'වී' යන්න ය. මෙය "වී වෙනුවට රෝස"වලට වඩා හොඳ යැයි කොවිඩ් නිසා ගුවන් තොටුපොළ වසා දැමූ පසු එස්.බී.ඩී.වාදීන් ද කියන්නට පටන් ගෙන ඇත.. එහෙයින් අද වන විට මේ පිරිස් සියල්ලන් ම සිටින්නේ ගෝඨාභය ආකෘතියේ ය. හදිසි වසංගත ඇති විය හැකි නිසා අකැමැති වුවත් වීත් වැවිය යුතු ය. මෑතකාලීන කෘෂි භෝග සංවර්ධනය කිරීමේ රජයේ ව්‍යාපෘතියක දක්වා තිබුණේ වී වැවීමේ ආර්ථික NPV අගය ඍණ බවත් මූල්‍යමය NPV අගය ධන බවත් ය. තේරෙන භාෂාවෙන් මේ කියන්නේ වී වැවීම සහනාධාර, බදු ආදියෙන් නිර්මාණය කොට ඇති කෘත්‍රිම වෙළඳපොළ තත්ත්ව තුළ ලාභදායී වුව ද ඒ කෘත්‍රිම තත්ව ඉවත් කළ විට ආර්ථිකව පාඩු දායී බව ය. මේ ගණනයන්ගේ පදනම බැලීම සඳහා මූලාශ්‍ර කිසිවක් අදාළ ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ තිබුණේ නැත.

දැන් පරිසරය හා සංවර්ධනය ගැන කතාවට එමු.. දැන් වැඩිපුර ම කතා වෙන්නේ නෙළුව මාර්ගය ගැනයි.. කලකට පෙර කතා වුණේ ඔක්සිජන් එපා කීම හා රාජ්‍ය නිලධාරිනිය ගැනයි.

මේ සිද්ධි දෙක සමඟ මේ ගැන කතා කරමු.

නූතනත්වය ආරම්භයේ දී පරිසරය යනු මිනිසා විසින් ජයගනු ලැබිය යුතුව ඇති දෙයක් ලෙස සැලකිණි. පැරණි කලා නිර්මාණ නවකතා ආදියේ ආකල්පය එය ය. රෝමාන්තිකවාදයේ හා ස්ටාලින්ගේ සමාජ සත්තා යථාර්ථවාදයේ දී ද ප්‍රධාන කොටසක් වන්නේ පරිසරය සමඟ සටන් කොට ජයගන්නා මිනිසාගේ අරගලය නිරූපණයයි.

ලංකාවේ ද ගීත වූයේ කම්හල් ඇතුළේ යදම් යගුළු හා ගුගුම් දිදී කැරකී එන දුම් වලාවලින් එන ආසිරි වැස්ස ගැන ය. වන පෙත් එළිවේ කම්හල් ඉදිවේ යනුවෙනි.

පරිසරය හා සටන් කොට සංවර්ධනය ජයගත යුතු ය යන්න මීට දශක කිහිපයකට පෙර ප්‍රගතිශීලී ආකල්පය විය.

පසුව ඔක්සිජන් ඕනෑ කතිකාවත ආවේ ය. ඒ අනුව අපි සංවර්ධනයට කැමති වුවත් පරිසරය අමතක කරන විට ඔක්සිජන් නැතිවීම පරිසර උෂ්ණත්වය වැඩි වීම වැනි අයහපත් ප්‍රතිඵල ඇති වී මිනිසාට හානි වේ..

ඒ නිසා පරිසරය රැකගත යුතු ය. මෙහි ද ගෝඨාභය-මහින්ද ආර්ථික දැක්මේ මෙන් කළ යුතු දෙයක් හා අත හැරිය නො හැකි කොටි වලිගයක් පවතී.. අපේ අවශ්‍යතාව සංවර්ධනයයි.. වල්ගය හැරියොත් කොටියකු වී පරිසරය සපා කන නිසා එය අත හැරිය නො හැකි ය.. සංරක්ෂණය යන වචනය ම බොහෝ විට නරුම වචනයකි.. අයින් නොකර බැරි නිසා තබා ගැනීම මෙහි අර්ථයයි..

දැන් පිට්ටනිය හා ඔක්සිජන්වලට එමු. පිට්ටනිය ජනතාවගේ අවශ්‍යතාවකි.. එහෙත් ඔක්සිජන්, කඩොලාන හෝ වනාන්තර ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කරන්නේ නැත. මේ බටහිර නූතනත්වයයි. ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් මිස රිංගලා දං හිඹුටු මාදං කන්න කැලයක් ඕනේ නැත. පලතුරු කඩෙන් ගත හැකිය. ඒවා වතුවල වැවෙයි. නූතනත්වය යටතේ පිට්ටනිය ජනතාවගේ අවශ්‍යතාවකි. 

ඔක්සිජන් එන්නේ "විද්වතුන්ගෙනි". ඔක්සිජන් දැකීමට ඇල්ලීමට නොහැකි ය. එය පට්ටපල් බොරුවකි. දැන් මා ඉස්කෝලේ ගියේ නැත්දැයි අහන අයගෙන්, හුස්ම ගන්නේ නැත් ද අහන අයගෙන් අහන්නට තියෙන්නේ ඔක්සිජන්වල තියෙනවා කියන එකසර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ p කාක්ෂිකවලද? sp2 මුහුම් කාක්ෂිකවල ද නැත්නම් මෙහෙම කාක්ෂික හෝ එකසර ඉලෙක්ට්‍රෝන නැති ද කියා හරියට ම හොයා ගෙන ඇවිත් කියන ලෙසයි... ඔබ හුස්ම ගන්නේ මොන ඔක්සිජන් ද? ඒ ප්‍රශ්නවලින් ඔබට හුස්ම ගැනීමට බාධාවක් ඇතැයි නො සිතමි.. ඔබ හුස්ම ගනියි.. ඒ හුස්ම ගන්නේ ඔක්සිජන් යැයි කියන්නේ "විද්වතුන් ය". දැන් විද්වතුන් ඔක්සිජන් ප්ලාන්ට් ලෙස ගස් අවශ්‍ය බව සිතති. ගස් ඕනේ යැයි කියන්නේ විද්වතුන් ගැන විශ්වාසය තබා පට්ටපල් බොරු වූ ඔක්සිජන් ගැන විශ්වාසය තබා ය.

දැන් මේ ගැන තවත් විද්වත් මත ඇත. මේ පරිසර අර්බුද නව කාර්මික රටවල් අඩපණ කිරීමේ ව්‍යාජ ප්‍රචාරයකි. ගස්වලින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය නොගිණිය හැකි ය. ඔක්සිජන් වැඩි ප්‍රතිශතය ලබා දෙන්නේ ජලජ ශාකයි..(මූලාශ්‍රය නැෂනල් ජියොග්‍රැෆික්)

දැන් මේවා ද විද්වත් අදහස් ය. වනාන්තරවලින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය නොගිණිය හැකි ය කීවිට අපට ඒවා එසේ නො වේ යැයි කිව හැකි ද? ඒවා විද්වත් මතයන් ය. ඒවා පට්ටපල් බොරු නිසා විද්වතුන්ගේ පිළිවෙත අනුව පරීක්ෂණ කොට මිස අපට හොයා බලා මේවායේ හරි වැරැද්ද බලා ගත නො හැකිය.

පරිසර සංරක්ෂණවාදයේ ප්‍රශ්නය මෙය ය. පරිසරය අතහැර බැරිකමට එය රැකගැනීමට කියා දේවල් කරනු ලැබේ..

ඔක්සිජන් ප්ලාන්ට්කාරයන්ට විරුද්ධ විය යුත්තේ මේ නිසා ය. තව ටික කාලෙකින් ජාත්‍යන්තර බලවත් රාජ්‍යයන්ට හා සමාගම්වලට හිතූ හිතූ ආකාරයට පරීක්ෂණවලින් මොවුන්ගේ දිවවල් නැමිය හැකි ය. පට්ටපල් බොරුවක් මත පදනම් වී කරන සංරක්ෂණය යනු ව්‍යාජයකි.

දැන් නෙළුව පාරට එමු.. නෙළුව පාරේ හෝටල් තිබුණා හෝ නැතා ඒ ප්‍රදේශයේ මිනිසකුගෙන් ඇසුවහොත් ඒ පාර අවශ්‍ය බව කියනු ඇත.

සිංහරාජ සීමාව හරහා යයි ද ආදී ප්‍රශ්න නෛතික ප්‍රශ්න ය. ඒවා වෙන ම විසඳාගත යුතු ය.

මෙහි දේශපාලනික වශයෙන් සංරක්ෂණවාදීන් ගෙනෙන තර්කය පාර නිසා ඒ ප්‍රදේශය තවත් සංවර්ධනයට නතු වී වන විනාශය සිදුවනු ඇති බව ය.

එහෙත් මේ පරිසර සංවිධාන මහත්තුරු ද අර කැලෑ කැපීම රෝමාන්තික වූ කාලයේ එළිපෙහෙළි වූ කොළඹ ඛනිජ තෙල්වලින් දුවන වාහනවලින් යමින් ජීවත් වෙති. පාසල් විශ්වවිද්‍යාල අනෙක් වෙළඳ ආයතන ආදිය අහෝසි කර දැමීමට ඔවුහු එකඟ නොවනවා පමණක් නොව ඔවුන් කියන්නේ ඒවා තව තවත් හොඳින් ශක්තිමත් කළ යුතු බව ය.

දැන් නෙළුවේ ජනයා කියන්නේ තමන්ට සංවර්ධනය නො දීම අසාධාරණ බව ය.

දැන් නෙළුවවාසීන් කුමක් කළ යුතු ද? එක්කෝ නෙළුවවාසීන් "ඌන සංවර්ධන" තත්වයේ තැබිය යුතු ය. මීට අර මහත්තුරු එකඟ නොවනු ඇත.

ඉතින් සංරක්ෂණවාදීන් දෙන විකල්පය මේවායින් ජනයා ඉවත් කොට නාගරිකව පදිංචි කරවීම ය. එවිට සංවර්ධන ප්‍රතිලාභ ලැබී කැලෑව ආරක්ෂා වනු ඇතැයි ඔවුහු සිතති.

සරලව ම පරිසර සංරක්ෂණය යනු ඇමරිකාව වල් නො වැදීම සඳහා ලංකාවේ කැලෑ තබා ගැනීම ය. කොළඹ මෙසේ ම තබා ගැනීම සඳහා නෙළුවේ කැලය තබා ගැනීම ය.

බටහිර නූතනත්වය විසින් ජනතාවගේ ඍජු අවශ්‍යතාව අධික පරිභෝජනය බවට පත් කොට ඇති අතර පරිසර සංරක්ෂණය වැනි දේ එහි අතහැරිය නොහැකි කොටි වලිග ලෙස පවතී.. ඒ කතාව එන්නේ පට්ටපල් බොරුවක් ලෙස ය. මේවා පහසුවෙන් "විද්වතුන්ට" අවශ්‍ය ලෙස භාවිත කළ හැකි උගුල් ය.

කැලෑ ආසන්න ගම්වල ජනතාව අලින්ගෙන් පීඩා විඳිති. ඔවුන්ගෙන් ඒ ගැන ඇසූ විට කියන්නේ අලි සමූලඝාතනය කළ යුතු බව ය (මට මතක විදිහට නයනක රන්වැල්ල ඇසූ විටෙක මිනිසුන් මෙසේ කී බව ලියා තිබුණි. නයනක රන්වැල්ල ම දැයි හරියට ම මතක නැත.). කෙසේ හෝ ඊළඟ ප්‍රශ්නය විදිහට අසා තිබුණේ එතකොට ඉස්සරහට ළමයෙකුට අලියා කියලා දෙන්නේ කොහොම ද යන්න ය. එවිට පිළිතුර වූයේ ඒකට ෆොටෝ එකක් ඇති යන්න ය. පරිසරවේදීන් සැලකිලිමත් වන්නේ ද අධ්‍යාපනය ගැන ය. 

දැන් නාගරික ප්‍රදේශවල ජනතාව රිය අනතුරුවලින් මරණයට පත් වෙති. අලින්ගෙන් සිදුවන මරණවලට වඩා මේ ප්‍රමාණය වැඩි යැයි ද අලින්ගෙන් සිදුවන හානි ප්‍රමාණයට වඩා වාහන නිසා සිදුවන හානි ප්‍රමාණය වැඩි විය හැකි ය (සමීක්ෂණයක් කොට බලන්න.)

එහෙත් රථවාහන තහනම් කරමු යැයි ඒ ජනතාවගෙන් මතු වන්නේ නැත. තහනම් කිරීමට ගියහොත් මහා පරිමාණ විරෝධයක් මතු වන්නේ සාමාන්‍ය ජනතාව තුළිනි.

වාහනය නූතනත්වයේ උපාංගයකි. අලියා අත අරින්න බැරි නිසා තියන් ඉන්නා එකෙකි! නූතනත්වයේ වාහනයක හැප්පී මැරී යාම අලියක ගසා මැරීම වැනි දුක්ඛිත මරණයක් නොව 'නම්බුකාර' මරණයකි. අලින් නැති ලෝකයක් හිතුවත් කාර් නැති ලෝකයක් යනු මේ මිනිසුන්ට භයංකාර හීනයකි.

සිංහල බෞද්ධ රාජ්‍යයක් යනු මිනිසුන්ට කැලෑ ඕනෑ වූ සමාජයකි. ඒ විද්වතුන්ගේ "පට්ටපල් බොරු" මත පදනම් වී අත හරින්නට බැරි කොටි වලිගයක් ලෙස සැලකීම නිසා නොව මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් වන බැවිනි. එවිට මිනිසුන් ම කැලෑ තබා ගනු ඇත. 

දැන් මෙවන් රාජ්‍යයක් සෑදීම සඳහා බාධාවක් හෝ උදවුවක් ගෝඨාභයගේ සංවර්ධන ආකෘතියෙන් සිදු වේ ද යන්න ගැන මගේ අදහස මෙසේ ය.

නූතනත්වය සංවර්ධනය ජාතිකවාදය සඳහා උදවුවක් යැයි මට සිතෙන්නේ නැත. අනික් අතට ගෝඨාභය ආණ්ඩුවෙන් මහා සංවර්ධන වික්‍රමයක් කළ හැකි යැයි සිතෙන්නේ නැත. එහි සංවර්ධන ආකෘතියේ ම ප්‍රශ්නයක් පවතී.. එහෙයින් මේ විවිධ ගැටුම් අතරතුර දී මේ ආණ්ඩුවට අත් කරගන්නා සීමිත සංවර්ධනයේ අමුතු වාසියක් හෝ පාඩුවක් ජාතිකවාදයට වේ යැයි මට පෙනෙන්නේ නැත. එනම් එතරම් හොඳක් නරකක් සිදුවනු ඇත. ගෝඨාභය ආණ්ඩුවෙන් එන වාසිය ඇත්තේ දේශපාලනිකව ය.

නූතනත්ව සංවර්ධනයේ ඇති උපාංග භාවිත කිරීම පිළිබඳව මාගේ විරෝධයක් නැත. විරුද්ධ වෙන්නේ මේ සංවර්ධනය සිදුවන ඉහත දැක්වූ ආකාරයට ය.

අනික් අතට නූතනත්ව සංවර්ධනය නිසා විවේකය වැඩි වේ යනා දී දේ මට හිතෙන්නේ නැත. මිනිසුන් පාන්දර නැගිට ගොවිතැනට ආදී දේවල්වලට යාම යන්ත්‍ර සූත්‍ර නිසා නැති වී ජීවිතයේ විවේකය වැඩි වන බව කියන බොහෝ දෙනා උදේ පාන්දර නැගිට සෙනඟ පිරුණු බස්වල එල්ලී මිරිකී වැඩට යති. අවුරුදු ගණන් පාසල් විශ්වවිද්‍යාලවල විප්‍රකාර විෂය නිර්දේශ සමඟ පොර බදති. එක ම දේ උදේ ම ගොවිතැනට යාම ප්‍රාථමික හා මෙය එසේ නැත යැයි සිතීම ය.

තාක්ෂණය ආදියෙන් ප්‍රශ්න විසඳන බව සැබෑ ය. එහෙත් ඒ විසඳන ප්‍රශ්නවලින් සාතිශය බහුතරය තාක්ෂණය නිසා ම ඇති වූ ප්‍රශ්නය..

මා සිතන සිංහල බෞද්ධ රාජ්‍යයෙහි ද තාක්ෂණය භාවිත කරනු ඇති අතර එය වැඩි දියුණු කෙරෙනු ඇත. එහෙත් තාක්ෂණය නිසා ම ප්‍රශ්න හද හදා ඒවා විසඳීමට තාක්ෂණය ගෙන ඒමේ විසම චක්‍රය වෙත නොයනු ඇත.

ගෝඨාභය පාලනයේ ජාතිකත්වය ස්වාධීන රටක රාජ්‍ය මැදිහත් වීම සහිත කෘෂිකර්මය හා කුඩා කර්මාන්ත "ආරක්ෂා කිරීම" සහිතව බටහිර වාණිජවාදී සංවර්ධනයක් වනු ඇත. සුපුරුදු වචනයෙන් ආසියාතික වටිනාකම් සහිත බටහිර නූතනත්වයේ රාජ්‍යයක් එහි අරමුණ වනු ඇත.

ඇත්තෙන් ම සාර්ථකව මෙවැන්නක් පූර්ණව බිහි කරගැනීම නම් සිංහල බෞද්ධ රාජ්‍යයකට බාධාවක් වනු ඇත. එහෙත් මේ ගැන බිය වීමට කරුණක් නැත. ඒ සඳහා ගෙන යන ආකෘතියේ ම ඇති සීමා මායිම් නිසා මහා විස්මජනක වෙනසක් සිදු නොවනු ඇත. එනම් එක් සීමාවකින් පසු මේ සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක නොවනු ඇත. බාධාවක් නොවන සුළු සුළු දේ හා නොගිණිය හැකි වාසි පාඩු ලැබෙනු ඇත. එහෙත් දේශපාලනිකව ගෝඨාභය ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යාම පිණිස වාසි සහගත ය.

අවසාන වශයෙන් කිවයුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක දී මිනිසුන්ගේ දිවි පැවැත්මේ දැනට වඩා අමුතු වෙනසක් සිදු නොවන බව අදහස් කරන ජාතිකවාදියකු කවරක් කියන්නේ දැයි මට නො වැටහේ.

ජාතිකවාදයේ දී ස්වාධීන ජාතික රාජ්‍යයක් පිහිටුවා එහි සංවර්ධනය සඳහා ඕනෑ ම ආර්ථික තාක්ෂණික උපක්‍රමයක් භාව්ත කිරීම වලංගු යැයි කීම ප්‍රංශ සිවික් ජාතිකවාදයේ ලක්ෂණයකි.

කවුරුන් හෝ සිංහල බෞද්ධ රාජ්‍යයක් දේශපාලනිකව ගොඩනංවා එයට ඕනෑම සංවර්ධන මාදිලියක් (නූතන බටහිර සංවර්ධනය වුවත්) යොදා ගත හැකි ය කියන්නේ නම් මට එය වැටහෙන්නේ පරස්පරයක් ලෙසයි.

මේ කතාව තව සරල කළහොත් මෙසේ දැක්විය හැකි ය.

"අපේ චින්තනයේ දැනුමක් නිපදවිය යුතු ය, එය කළ හැකි ය. එහෙත් එවන් දැනුමක් නොමැතිව බටහිර දැනුමින් ම වුවද සාර්ථකත්වය උදාකරගැනීමට හැකි ය."

මෙය තර්කයක් සේ පිළිගතහොත් එයින් කියැවෙන්නේ අපේ චින්තනයේ දැනුම නිපදවීම යනු අමතර වැඩක් බවයි.. එයින් කිසි ප්‍රයෝජනයක් නැත... එය හුදෙක් අභිමානය හෝ විනෝදය සඳහා කරන වැඩකි. රට ස්වාධීනව ස්වෛරීව තබා ගැනීම සෑහේ.. අපේ දැනුමකින් කරන දේ ම බටහිර දැනුමෙන් වුව ද කළ හැකි ය.
එසේ නම් අපේ දැනුමක් අලුතෙන් ගොඩ නැංවීමට මහන්සි වන එකේ තේරුමක් ම නැත..

මෙතන මට පෙනෙන්නේ සංරක්ෂණවාදීන්ගේ තර්කයයි. බටහිර දැනුමෙන් ම වැඩකරගත හැකි නමුත් අපේ දැනුම හා එවන් දැනුමක් සෑදීම වලංගු ය යන ප්‍රවේශය ආරක්ෂා කොට ගත යුතු ය. එනම් මෙය තනිකර සංස්කෘතිය රැකගැනීමේ වර්ගයේ කෞතුකාගාර ව්‍යාපෘතියකි... සිංහල වෙදකම බටහිර වෛද්‍ය ක්‍රමයට අවශෝෂණය කරගෙන භාවිත කිරීම හොඳ වුවත් අපේ ප්‍රෞඩත්වය උදෙසා වෙදකම පවත්වාගෙන යා යුතු ය වැන්නකි...

මගේ සිංහල බෞද්ධ ජාතිකත්ව ප්‍රවේශය එසේ නො වේ. මා දකින්නේ,

1. බටහිර දැනුම හා සංවර්ධනය ලංකාවේ සාර්ථක කරගත නො හැකි ය.
2. යුරෝපයේ සාර්ථක වූ එම පද්ධතිය ද දැන් කඩා වැටෙමින් පවතී.
3. එම නිසා අප අපේ සාර්ථකත්වයක් උදෙසා අපේ දැනුමකට හා අපේ දිවි පැවැත්මකට යා යුතු ය.
4. අත්‍යන්තයෙන් ම එම දිවි පැවැත්ම වර්තමාන නූතනත්ව සමාජයේ ජීවිතයේ සිට පරිකල්පනය කිරීමට උත්සාහ කළ විට කැලඹීමක් ඇති කරන්නක් වීම අනිවාර්ය ය.
(උදාහරණ ලෙස සිංහල බෞද්ධ රාජ්‍යයේ දිවි පැවැත්ම යනු හුදෙක් පාසල්වල අත් බෙහෙත් ඉගැන්වීම වැනි ඊළඟ අවුරුද්දට පණතක් ගෙනත් සරලව ස්ථාපනය කළ හැකි කැලඹිලිකාරී නොවන දෙයක් වනු ඇත.

උදාහරණයක් ලෙස මා සිංහල බෞද්ධ රාජ්‍යය ලෙස දකින්නේ බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමය මෙරටින් අතු ගා දැමීම වැනි වැඩ ය. - මේ කියන්නේ නීතියෙන් තහනම් කිරීම නො වේ. එය මිනිසුන් පොදුවේ භාවිත වන වෛද්‍යක්‍රමයක් නොවන තැනට පත් කිරීම ගැන ය. ඒ සඳහා ගමනේ දී වෛද්‍ය අධිකාරීත්වය තර්ජනයක් වන තැනේ දී ඒවා නීතියෙන් අඩපණ කිරීම, තහනම් කිරීම, අධෛර්යවත් කිරීම වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය වුවහොත් භාවිත කිරීමට මගේ විරෝධයක් නැත.- මෙවන් දේ මෙසේ කැලඹිලිකාරී නො වී පරිකල්පනය කළ නො හැකි ය.. මිනිස්සු මරන්න ද යන්නේ කියලා මෙයට අනිත් අතට අසන අය බොහෝ සිටිය හැකි ය. ඇත්තෙන් ම සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත වූ පසුව මෙසේ ඇසූ මිනිසුන්ව සලකනු ඇත්තේ ජීවිත වැඩි පුර සුවපත් වීම වැළකීමට තැත් කළ කාලකණ්ණින් වශයෙනි. එහෙත් ඊට පෙර මොවුන් පෙනිය හැක්කේ ප්‍රායෝගික මිනිසුන් වශයෙනි.. පහසුවෙන් ප්‍රායෝගික ලෙස දැන් ම ම පෙනෙන කිසිදු ජීවන ක්‍රමයක් සිංහල බෞද්ධ රාජ්‍යයට අයත් යැයි මම නො සිතමි. මේ දැන් ම ප්‍රායෝගික වන ඕනෑ නම් දැන් වුණත් රජයකට කළ හැකි ය කියා සාමාන්‍ය මිනිසුන්ට හිතෙන ඒවා තියෙන්නේ මේ බටහිර නූතනත්ව තුළ ම මිස සිංහල බෞද්ධ රාජ්‍යයේ නොවේ.

එතෙක් ගෝඨාභය වැනි ආණ්ඩු මඟින් දේශපාලනිකව ජාතිකත්ව හැඟීම වර්ධනය කිරීම, ස්වාධීනත්වය රැක ගැනීම හා දේශපාලන ස්ථාවරත්වයක් ලබා දී තිබෙනු ඇත. මෙය මේවා එක්ක එල්ලී එල්ලී ඉන්නට වෙනවාට වඩා සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යොමු වීමට පහසුවකි.

3 comments:

  1. මහත්මයා ඔක්සිජන් බොරුවක් යයි කියන්නේ කුමන සාධක ඇතුවද?
    දැකීමට ඇල්ලීමට නොහැකි දේ පට්ටපල් බොරුද

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete

අලුත් ම සටහන

Meillassoux and probability

  The excerpts are from After Finitude of Quentin Meillassoux (page numbers are from the ebook version.). Disclaimer: Fair use –...

වැඩිපුර කියවූ ලිපි