Showing posts with label Alchemist ඇල්කෙමිස්ට්. Show all posts
Showing posts with label Alchemist ඇල්කෙමිස්ට්. Show all posts

A ෆෝ ඇපල් N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින්

A ෆෝ ඇපල්  N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින් 


-තමලු මලිත්ත පියදිගම 
        
ඇල්කෙමිස්ට් සඟරාව



පාසල් යන කාලයේ භෞතික විද්‍යාව නම ඇසෙද්දී ම මතක් වන වීරයා අයිසෙක් නිවුටන් ය. නිවුටන් නියම තුන ම දැනගැනීම කෙසේ වෙතත් නිවුටන්ගේ තුන්වෙනි නියමයවත් බොහෝ අය අසා ඇතුවාට සැක නැහැ. එහෙත් බොහෝ දෙනා සෑම ක්‍රියාවකට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත යන්න තේරුම් ගෙන තියෙන්නේ වැරදි ආකාරවලින් බව ප්‍රකට කරුණක්.

ඇත්තෙන් ම නිවුටන් කළේ කුමක් ද? නිවුටන්ට පෙර සිටි අයට වඩා නිවුටන් ඇති කළ වෙනස කුමක් ද?

මෙයට පිළිතුරු සෙවීම අපහසු නො වේ. නිවුටන්ගේ පළමුවෙනි නියමයෙන් කියවෙන්නේ බලයක් නොයෙදෙන විට අංශුවක් නිශ්චලව හෝ එක ම වේගයකින් එක ම අතකට ගමන් කරමින් හෝ පවතින බවයි. බලයක් නොමැති විට නිශ්චලව තිබීමේ අරුමයක් නැත. බලයක් නොමැති විට චලනය විය හැකි ද?

නිවුටන් කළ ප්‍රධානතම වෙනස මෙයයි. බලයක් නැති වස්තුවකටත් චලනය විය හැකි බව නිවුටන් කීවේ ය. ඇරිස්ටෝටල්ගේ නියමය අනුව බලයක් නොයෙදෙන වස්තුවක් චලනය විය නොහැකි ය. නිවුටන් ඉස්මතු වූයේ මීට අභියෝග කරමිනි.

එහෙත් බලයක් නැතිව චලනය විය හැකි බව කී පළමු වැන්නා ද නිවුටන් නො වේ. ආකාශ වස්තුවල චලිතය දුටු පැරැන්නෝ පොළොව උඩ වස්තු බලයක් නැති විට නිශ්චලව තිබුණ ද ආකාශ වස්තු බලයක් නොමැති විට චක්‍රීයව ගමන් කරන බව කීවෝ ය. නිවුටන්ට අවශ්‍ය වූයේ අහසටත් පොළොවටත් එක සේ වැඩකරන භෞතික විද්‍යාවක් සෑදීමටයි. එනිසා ඔහු ඕනෑ ම වස්තුවකට බලයක් නොයෙදෙන විට එක ම දිශාවකට එක ම වේගයෙන් චලනය විය හැකි බව සැලකුවේ ය.

දැන් මෙතෙක් වෙලා අප කතා කළ බලය යනු කුමක් ද? බලයක් යනු වස්තුවකට අනෙක් වස්තුවකින් එල්ල වන බලපෑමයි. දැන් නිවුටන් ඔහුගේ පළමුවෙනි නියමයෙන් කියන්නේ වෙනත් වස්තුවල බලපෑමක් නොමැතිව ඕනෑ ම වස්තුවකට නිසලව සිටින්නට හෝ එක ම වේගයෙන් එක ම පැත්තට චලනය වන්නට පුළුවන් බවයි.

අනෙක් වස්තුවලින් එල්ල වන බලපෑම් මඟින් සිදුවන්නේ මෙම ස්වභාවික චලිතයෙන් වස්තුව අත් මිදීමයි.

දැන් නිවුටන් ඇපල් ගස් අසළ නිතර කාලය ගත කළ බව ඔහුගේ ලේලිය වෝල්ටෙයාර්ට කියා ඇත. ගහෙන් වැටෙන ඇපල් ගෙඩියක් නිවුටන්ට මෙතරම් ප්‍රශ්නයක් වූයේ ඇයි? නිවුටන්ට කලින් සිටි ගැලීලියෝට නම් මේවා ප්‍රශ්න නො වේ. ගැලීලියෝ කීවේ බලයක් නොමැති විට වස්තුවක් පොළොවට වැටෙන බවයි. ඉතින් නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩිය පොළොවට වැටීම ගැන පුදුම වෙන්නේ ඇයි?

ඒත් නිවුටන්ට එසේ නො වේ. නිවුටන් බලයක් නොමැති විට චලිතය එක ම වේගයකින් බව කලින් ම පවසා හමාර ය. ඒත් ඇපල් ගෙඩිය පොළොවට වැටෙන්නේ වේගය වැඩි කරගනිමිනි. නිවුටන්ගේ පළමුවෙනි නියමය අභියෝගයට ලක් විය. එහෙත් නිවුටන් පළමුවෙනි නියමය විසි කළේ නැත. ඒ වෙනුවට වැටෙමින් පවතින ඇපල් ගෙඩිය මත බලයක් එනම් බාහිර බලපෑමක් ඇති බව සැලකී ය. මෙහි දී නිවුටන් ගුප්ත විද්‍යාවෙන් ආභාෂය ලබා ගත්තේ ය. දැන් මේ බාහිර  බලපෑම කරන්නේ කවුද යන ප්‍රශ්නය මතු වේ. පොළොව යන්න නිවුටන් ඊට දුටු උත්තරයයි. පොළොව ඈතින් ඇති ඇපල් ගෙඩියට බලපෑම් කරන්නේ කඹ යොදලා ද යන ප්‍රශ්නයට නිවුටන්ට කිසිදා පිළිතුරක් නො වී ය. නිවුටන් ම පවා ඔහුගේ පිළිතුරෙන් තෘප්තිමත් නොවුණේ ය. ගුරුත්වාකර්ෂණය යනු මෙම බලයට දුන් නමයි.

පොළොව ඇපල් ගෙඩිය අදින බලයෙන් ම ඇපල් ගෙඩිය පොළොව  ද ඇදගනී. මේ බලය වස්තු දෙකේ ස්කන්ධ ගුණිතය හා ඒ දෙක අතර දුර අනුව තීරණය වේ. දැන් මේ අගයන් ඇපල් ගෙඩිය හා පොළොව සන්නිවේදනය කරගන්නේ කෙසේ ද? මීට නිවුටන්ට උත්තර නො වී ය.

නිවුටන්ගේ පද්ධතිය මෙතන දී පමණක් නොව ආරම්භයේ සිට ම අර්බුදයකට පත්ව තිබුණි. බලයක් නොයෙදෙන වස්තුවක් නිසලව හෝ එක ම වේගයෙන් එක ම පැත්තට යන්නේ කාට සාපේක්ෂව ද? වාහනයක සිට බලන විට ගස් පිටුපසට යන්නා පෙනේ. හිරු පොළොව යටා සේ පොළොවට දිස් වුව ද හිරු සිට බැලුවහොත් දිස් වන්නේ පොළොව හිරු වටා යන බවකි.

දැන් නිවුටන්ගේ නියමය සත්‍ය වන්නේ කොහේ සිට බැලුවහොත් ද? මෙයට ද නිවුටන්ට හරිහමන් පිළිතුරක් නො වී ය. නිවුටන් දුන් පිළිතුරු ද පසුකලෙක අර්න්ස්ට් මාක් නම් ජර්මානු දාර්ශනිකයා ප්‍රබල තර්ක මඟින් නිෂ්ප්‍රභ් කොට දැමී ය.

නිවුටන්ගේ නියම තුන පදනමින් ම අසාර්ථක ය. එහෙත් ඒවායින් බොහෝ වැඩ ගත හැකි ය.

අයින්ස්ටයින් යනු නිවුටන්ගේ මෙම කතාවට අභියෝග කළ පුද්ගලයා ය.

වස්තුවකට බලයක් නොයෙදෙන විට වස්තුව එක ම වේගයෙන් එක ම පැත්තට ගමන් කරයි යනු හිතුවක්කාර නීතියකි. ඕනෑම අවස්ථාවක මෙසේ ම වන බව නිවුටන් දන්නේ කෙසේ ද? අනෙක් අතට මෙසේ ගමන් කරන්නේ කාට සාපේක්ෂව දැයි නිවුටන්ට කිව නො හැකි විය. (හිස් අවකාශයට සාපේක්ෂව බවට ඔහු කී කතාව පුස්සක් බවට පත් විය.)

අයින්ස්ටයින් කළේ නිවුටන්ගේ හිතුවක්කාර නීතිය අත හැරීම ය. එවිට බලයක් එනම් බාහිර බලපෑමක් නැති වස්තු කෙසේ ගමන් කරයි ද? අයින්ස්ටයින් කීවේ එය දැන ගැනීමට නම් වස්තුවක් කිසිදු බලයකින් තොරව නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබ දී (එනම් වස්තුව අතහැර ම) එය දැන ගත යුතු බවයි. එවිට වස්තුව ගමන් කරන්නේ යම් ආකාරයට ද අවකාශයේ එම ස්ථානයේ වස්තු බලයක් රහිත විට අදාළ නිරීක්ෂකයාට සාපේක්ෂව ගමන් කරන්නේ ඒ ආකාරයට ය.

දැන් නිවුටන්ට ප්‍රශ්නයක් ඇති කළ ඇපල් ගස අසළට අපි අයින්ස්ටයින් සමඟ යමු. අයින්ස්ටයින්ටත් ඇපල් ගෙඩිය ප්‍රශ්නයක් ද? නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩියේ වේගය වැඩිවෙමින් වැටීම ප්‍රශ්නයක් වූයේ නිදහස් චලිතය එක ම වේගයෙන් එක ම පැත්තට සිදු වේ යැයි කියූ නිවුටන්ට ය. අයින්ස්ටයින්ට අනුව බලයක් නැති විට ඇපල් ගෙඩියේ චලිතය ඇපල් ගෙඩිය අතහැරලා ම බලා ගත යුතු ය. දැන් ඇපල් ගෙඩිය අතහැරි විට එය වේගය වැඩි කරගනිමින් පහළට වැඩේ. අයින්ස්ටයින්ට අනුව ඇපල් ගෙඩියේ නිදහස් චලිතය එයයි. එම නිසා හිතුවක්කාර නියමයකින් නිවුටන්ට ආ ප්‍රශ්නය අයින්ස්ටයින්ට මතු වෙන්නේ නැත. ඇපල් ගෙඩිය යෙදෙන්නේ නිදහස් චලිතයේ නිසා බාහිර බලපෑමක් අවශ්‍ය නැත. එම නිසා ගුරුත්වාකර්ෂණය කියා බලයකුත් අවශ්‍ය නැත.

අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවේ දී ගුරුත්වාකර්ෂණයක් අවශ්‍ය නො වේ. එනම් ගුරුත්වාකර්ෂණ බලය අවලංගු ප්‍රපංචයක් බවට පත් වේ. වැටීම අමුතු බාහිර බලයකින් සිදු වන්නක් නොව බාහිර බලයක් රහිතව ම එම ස්ථානයේ ඇති ස්වභාවික චලිතය වැටීමයි.

බොහෝ දෙනා පාසල් සිසුන්ට දේශන පවත්වද්දී නිවුටන් ඇපල් ගෙඩියක් දෙස බලා ගුරුත්වාකර්ෂණය 'සොයාගත්' බවත් අපට නම් එවැනි දේ නොසිතුණු බවත් එසේ ස්වභාව ධර්මය ප්‍රශ්න කළ යුතු බවත් කියනු අසන්නට ලැබී ඇති වාර අනන්ත ය.

මෙය සම්පුර්ණ විහිළු කතාවකි. ඇපල් හෝ පොල් හෝ වැටෙනු දුටුවාට අපිට එහි ප්‍රශ්නයක් තිබීමට විදිහක් නැත. නිවුටන්ට එය ප්‍රශ්නයක් වූයේ තමන් ම හිතුවක්කාර ලෙස සූත්‍රගත කළ නියමයක් නිසා ය. එනම් නිදහස් චලිතයට ඒකාකාර ප්‍රවේගය හිතුවක්කාර ලෙස පැනවීමෙන් නිවුටන්ට ඇපල් වැටීම අරුමයක් විය. ඉතින් නිවුටන්ට ආ ප්‍රශ්නය අපට ඇති වන්නේ කෙසේ ද? නිවුටන් පිළිතුරු දුන්නේ තමන් ම විසින් හදා ගත් ප්‍රශ්නයකටයි.

ඉතින් නිවුටන් 'සොයාගන්නේ' කොහේ තිබූ ගුරුත්වාකර්ෂණයක් ද? ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ ම නිර්මාණයකි.

දෙවියන් ලෝකයේ යතුර නිවුටන්ට දුන්නේ ය ඉන්පසු ආලෝකය විය යැයි එක්තරා ඉංග්‍රීසි කවියෙක් ලීවේ ය.

පසුකාලීන කවියකු ලීවේ 
යක්ෂයා මෙය දැක අයින්ස්ටයින් පහළ වේවායි කීවේ ය
සියල්ල ආපසු මුලට ම ගියේ ය යනුවෙනි.

දැන් අයින්ස්ටයින් යමක් 'සොයාගෙන' තිබේ ද? ඇත්තට ම යමක් සොයාගැනීමට නම් එය අපෙන් සඟවා තැබෙන දෙයක් විය යුතු ය. එසේ සඟවා තැබිය හැක්කේ දෙවියන් වහන්සේ කෙනෙකුට ම ය. අයින්ස්ටයින් කළේ ද තම හැකියාව භාවිත කොට ඉතා හොඳට ගෙතූ කතන්දරයක් නිර්මාණය කිරීම ය. ඒ කතන්දරයේ ද ඇත්තේ ඔහු නිර්මාණය කළ සංකල්ප මිස 'සොයාගත්' දෑ නො වේ. 'සොයාගන්නට' සැඟවී ඇති නීති පද්ධතියක් විශ්වයේ  නැත.

                         - තමලු මලිත්ත පියදිගම

මෝහිනී මිථ්‍යාවක් නො වේ

මෝහිනී මිථ්‍යාවක් නො වේ


තමලු මලිත්ත පියදිගම
 ඇල්කෙමිස්ට් සඟරාව
මැයි කලාපය 2018


මෝහිනී නමින් යක්ෂණියක් ගැන අපි අසා ඇත්තෙමු. ඒ යක්ෂණිය සුරූපී මිනිස් ගැහැනියකගේ වෙසක් මවා ගෙන බිළිඳකු වඩා ගෙන රාත්‍රියේ මහ මඟ පෙනී සිටියි. මහ මඟ රාත්‍රියේ ඇවිදින්නකු හමු වූ විට මෝහිනී ඔහුට කතා කොට තමා ඇඳ සිටින වස්ත්‍රය සකසා ගැනීමට මඳකට බිළිඳා ඔහු අතට ගන්නා ලෙස පවසා සිටී. ඔහු බිළිඳා අතට ගතහොත් යක්ෂණිය ඔහු මරා ආහාරයට ගනියි. මෝහිනියට යමකු මරා කෑමට අවසර ඇත්තේ බිළිඳා වඩා ගතහොත් පමණි. බිළිඳා අතට නොගෙන මෝහිනියගේ වස්ත්‍රය සකසා දෙන ලෙස දැනමුත්තෝ පවසති.

මෙදා නගරයේ මෙන් ම ගම්වල ගැහැනුත් රෙද්ද හැට්ට වෙනුවට කලිසම, සාය හා ගවුම ඇඳීමට පුරුදුව සිටින බැවින් දෝ ළඟක දී මෝහිනී පාරක තොටක දර්ශනය වී සිටි බවක් අහන්නට නො ලැබේ. කොහොමටත් අද කාලයේ රාත්‍රියේ පාළු පාරක සිටීමේ අවදානම ගන්නට මෝහිනීවත් නො පෙළඹෙනු ඇත. බොහෝ දෙනා මෝහිනී වැනි සංකල්ප මිථ්‍යා සේ බැහැර කරති. ඒවා විශ්වාස කරන්නන් මෝඩයන් ලෙස අවඥාවට ලක් කරති.

රාත්‍රී යාමයේ කොතරම් සංචාරය කොට තිබුණ ද මා මෝහිනී පාරේ සිටිනු නම් දැක නැත. එහෙත් මෝහිනී යනු මිථ්‍යාවක් නොවන බව නම් මම හොඳ හැටි දනිමි. මෝහිනියව මා හොඳින් ම දුටුවේ පාසලේ හා විශ්වවිද්‍යාලයේ දී ය. දැන් මෙය කියවන කවුරුන් හෝ මගේ හිතවත් කෙල්ලක කලබල වී තමාට තොප්පිය දමා ගත යුතු නො වේ. රාත්‍රියේ පාරේ දී මෝහිනී නො දැක්කත් මම මෝහිනීගේ බිළිඳාව නම් දිනපතා ම දිවා රැයේ දකිමි. ඔහුව වඩා ගන්නා අය අනන්තවත් දැක ඇත්තෙමි. මේ මෝහිනිය මරා කෑ මිනිසුන් ගණනින් අප්‍රමාණ ය.


''සත්තකින් ම විද්‍යාව හැමවිට ම අධිකාරීත්වයටත් අන්ධ විශ්වාසයටත් එරෙහි සටනේ පෙරමුණේ සිටියේ ය. ආගමික විශ්වාසයන්ට එරෙහිව අපගේ බුද්ධිමය නිදහස වර්ධනය කරගැනීම ගැන අප ණයගැති වන්නේ විද්‍යාවට ය. පුරාණ දැඩි චින්තන රාමුවලින් මිනිස් වර්ගයා ගලවා ගැනීම පිළිබඳව විද්‍යාවට අප ණයගැති ය. " අද වන විට මේ ආකාරයේ කල්පනාවන් නපුරු සිහිනයන් ම පමණි. ඉහත ආකාරයේ කතා අප ඉගෙන ගත්තේ ද විද්‍යාව තුළින් ම ය. විද්‍යාව හා පුනුරුදය එකකි: මෙය සමාජයේ ඉතා ම රැඩිකල් විවේචකයන් පවා  විශ්වාස කරන්නකි. ක්‍රොප්ට්කින්ට සියලු සාම්ප්‍රදායික ආයතන හා විශ්වාසයන් බැහැර කිරීමට අවශ්‍ය විය. එහෙත් විද්‍යාව ඊට අයත් නො විණි. ඉබ්සන් දහනවවන සියවසේ ධනපති දෘෂ්ටිවාදයේ සූක්ෂ්ම ම අතු බෙදීම් විවේචනය කළ නමුත් විද්‍යාවට අතක් නො තැබී ය. කලක් සිතා සිටි පරිදි බටහිර සිතීම් රටාව මානව ප්‍රතිලාභයන්ගේ එකම මුදුන් හිණි පෙත්ත නොවන බව අපට පෙන්වූව ද ලෙවී ස්ට්‍රවුස් ඔහුගේ දෘෂ්ටිවාදයන්හි සාපේක්ෂතාවෙන් විද්‍යාව වෙන්ව තැබී ය.  විද්‍යාව වැඩ කරන ජනතාවට ඔවුන්ගේ මානසික හා සාමාජීය විමුක්තිය ලබා ගැනිමේ අභිලාශයට සහය දෙනු ඇතැයි මාක්ස් හා ඒංගල්ස්ට ඒත්තු ගැන්වී තිබුණි. මේ සියල්ලෝ මුලා වූවෝ ද? මේ සියල්ලෝ විද්‍යාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව නොමඟ ගියෝ ද? මේ සියල්ලෝ එක්තරා මෝහිනියකට ගොදුරු වූවෝ ද?


මෙතෙක් මේ ලිපිය කියවා ගෙන ආ අයට දිශානතිය හා භාෂා ශෛලිය එකවර වෙනස් වූ බවක් සමහර විටෙක හැඟෙන්නට ඇත. ඉහත ඡේදය How to Defend the Society against Science යන මාතෘකාවෙන් පෝල් ෆයරාබන්ඩ් නම් දාර්ශනිකයා කළ දේශනයකින් උපුටා ගෙන (එක් වචනයක් පමණක් වෙනස් කොට) මවිසින් පරිවර්තනය කරන ලද්දකි. මෙහි මෝහිනිය යන්න වෙනුවට තිබුණේ කයිමියරා (Chimeara) නම් වචනයයි. ඒ ග්‍රීක මිථ්‍යා කථාවල එන අද්භූත සත්ව විශේෂයකි. කයිමියරාට හසුවෙන්නන් ගැන හෝමර් ගේ ඔඩිසි කෘතිය කියවා ඔබට දැන ගත හැකි ය. කෙසේ නමුත් මෝහිනී කුමක් කරයි දැයි යන්න නම් ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකයේ ඇත්තේ එක ම විද්‍යාවක් නො වේ. එක එක චින්තනයන්හි එක එක විද්‍යා බිහිවිය. බටහිර ජනයා ආමන්ත්‍රණය කළ ෆයරාබන්ඩ් විද්‍යාව ලෙස හැඳින්වූයේ බටහිර විද්‍යාව ය. සිය Against Method කෘතියේ චීන මුද්‍රණයට පෙරවදන ලියමින් ඔහු බටහිර විද්‍යාව බටහිර විද්‍යාව ලෙස ම හඳුන්වමින් විවිධ සංස්කෘතීන්හි විද්‍යා ගැන ද ලියයි.

අපි දැන් ෆයරාබන්ඩ් ගැන කතාව පසෙක තබා නැවතත් මෝහිනී දෙස හැරෙමු. බටහිර විද්‍යාව ඇතුළු බටහිර නූතනත්ව දැනුම් පද්ධතියේ ආධිපත්‍යයට අප නතු වීම හේතුවෙන් දේශපාලනිකව ආර්ථිකව මෙන් ම සමාජයීව ද අප පරාධීන වී ඇත. මෙහිදී කතා කළ යුතු තවත් වැදගත් ප්‍රශ්නයක් වනුයේ බටහිර නූතනත්ව දැනුම් මෝහිනී අප අතට දෙන බිළිඳා කවුරුන් ද යන්න ය.

මේ බිළිඳා නම් බටහිර තාක්ෂණය ය. අපේ ජීවන රටාව බටහිර තාක්ෂණය විසින් ආක්‍රමණය කරනු ලැබී ඇත. බටහිර තාක්ෂණය මඟින් අපේ ජීවිතය පහසු කර දෙනු ලැබ ඇතැයි අපි සිතමු. බටහිර තාක්ෂණයේ විලාසිතාමය දේවලට අපි අධික ලෙස මුදල් වැය කරමු.

බටහිර තාක්ෂණය නම් බිළිඳා සුරතල් කරමින් සතුටු වන අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් මහා ඉහළින් සැළකීමට පෙළඹෙමු. මේ ආකල්පය ඔස්සේ බටහිර දැනුම අධිපතිවාදීව අප මත පැටවේ. පාසල් හා විශ්වවිද්‍යාලවල දී බටහිර දැනුම ඉගැන්වීමත් සමඟ ම යකිනිය කෙමෙන් කෙමෙන් අපගේ සාරය උරා බී අප අනුකාරකයන් බවට පත් කරයි.

මෙසේ ක්‍රමයෙන් බෙලහීන බවට පත් කෙරෙන අතරතුර දී ම අප බටහිර සංස්කෘතියේ පිල්ලි හෙවත් සොම්බි බවට පත් කරනු ලැබේ. අපව අඩපණ කොට බෙලහීන කළ ද මෝහිනිය අප තුළ වෙනත් කිසිවක් උපද්දවන්නේ ද නැත. තමාගේ මන්ත්‍ර අනුව ක්‍රියා කරන පිල්ලි බවට අප පත් කරනවා පමණි.

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම්වල ආධිපත්‍යයට එරෙහිව කතා කරන විට බොහෝ දෙනා ඊට විරුද්ධ වන්නේ, බිය වන්නේ වැඩිමනත් ම බටහිර තාක්ෂණයට ඇති ඇබ්බැහි වීම නිසා ය. බටහිර තාක්ෂණයෙන් තොරව එදිනෙදා ජීවිතයේ මේ දේ කරන්නේ කෙසේ ද අර දේ කරන්නේ කෙසේ ද යනුවෙන් ඔවුහු කැළඹිල්ලට පත් වෙති. එහෙත් ඔවුන් අමතක කරන්නේ අපගේ ජීවන කර්තව්‍යයන් මෙතරම් සංකීර්ණ වී ඇත්තේ ද බටහිර නූතනත්වය නිසා ම බව ය.

බටහිර තාක්ෂණික මායාවෙන් වශීවීම නිසා අප බටහිර දැනුමෙන් වෙනතක් ගැන සිතන්නේ නැත. ඒ නිසා ම අප අහිමි කරගන්නා සම්පත් ප්‍රමාණය සුළු පටු නො වේ. බටහිර වෙදකමට ම වහල් වීම නිසා අප වසරකට කොතරම් සම්පත් ප්‍රමාණයක් බටහිර වෙළඳපොළ වෙනුවෙන් බිලි දෙනවා ද? ඒවායින් කොපමණ ප්‍රමාණයක් සිංහල වෙදකමට මුල් තැන දුන්නා නම් රැකගනු හැකි වේ දැයි කිසිවකු ගණන් බලා තිබේ ද? එසේ ගණන් බැලීමටවත් කිසිවකු උත්සාහ කරන්නේ නැත.

මෙතරම් කලක් බටහිර විද්‍යාව උගන්වා ඇති නමුත් අප වැනි රටවලින් බටහිර විද්‍යාවට ඉතා සුළු ව්‍යතිරේක දෙක තුනක් නො සැලකූ විට වැදගත් දායකත්වයක් සිදු වී නැත. මීට හේතුව වන්නේ බටහිර විද්‍යාව බිහි වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අපගේ චින්තනය නො වීමයි. එනිසා අපට බටහිර විද්‍යාව නිසි පරිදි හසුරුවා ගත නො හැකි ය. එනම් අපට බටහිර විද්‍යාව ගැළපෙන්නේ නැත.

මේ නිසා අපේ අධ්‍යාපනයෙන් බිහි වෙන්නේ අනුකාරකයන් ය. ඔවුන්ගේ සිංහල බෞද්ධ අංග ලක්ෂණ ක්‍රමයෙන් විනාශ වී අනුකාරක බටහිර දැනුමෙන් හිස් ඉදිමී ගොසිනි. ඔවුහු බටහිර මතවාද වමාරා කමින් බඩවියත රැකගනිති. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පමණක් නොව වෘත්තීය අධ්‍යාපනයන්හි පවා වැඩි වෙනසක් නැත. එක්තරා සමාගමකින් පාසල් හා විශ්වවිද්‍යාල සඳහා තම නිෂ්පාදන නොමිලයේ ලබා දෙන්නේ ඇයි දැයි ඇසූ විට එහි කලාපීය අධ්‍යක්ෂකවරයකු ඉතා අවංක ලෙස කීවේ එම නිෂ්පාදනවලින් ඉගැන්වීම් කටයුතු කළ විට රැකියා සඳහා යන කාලයක දී එම සිසුන්ට තම නිෂ්පාදන ම අවශ්‍ය වනු ඇතැයි යන්න ය. ඇතැම් වෘත්තීයමයභාවයෙන් ඉතා පහළ නිෂ්පාදන විවිධ උපක්‍රම මඟින් විෂය නිර්දේශයන්ට ඇතුළු කොට ප්‍රවර්ධනය කෙරෙන අතර ඒවාට අවශ්‍ය සහායක මෘදුකාංග ආදිය ද අධික මිලට අලෙවි කෙරේ. සමහර විට ඒ ඊට වඩා වෘත්තීයමයභාවයෙන් වැඩි නිෂ්පාදන ඊට වඩා අඩු මිලට තිබිය දී ය. මේ නිෂ්පාදන සම්බන්ධ වෙළඳ ආධිපත්‍යය බටහිර රටවල ද පවතී. අප වැනි රටවල දරුණුවට ම පවතී.

බටහිර දැනුම අපට උගන්වන්නේ ද එවිට එය ඉගෙන ගන්නා සිසුන්ට වැඩ කිරීම සඳහා බටහිර දැනුම, විශේෂඥ උපදෙස්, සහායක නිෂ්පාදන ආදිය අවශ්‍ය වේ ය යන අරමුණ ඇතුව ය. එමෙන් ම බටහිර දැනුමෙන් හිස කුරුවල් වූවන් බටහිරට කිරීමට අවශ්‍ය දේ අප රටේ සිට ම කර දෙයි.

ලංකාවේ කෘෂිකර්මය බටහිරකරණය කිරීම නිසා බටහිර විද්‍යාවේ අභිජනන ක්‍රම, පොහොර, කෘමිනාශක ආදිය ව්‍යාප්ත විය. මෙයින් අස්වැන්න වැඩි වූයේ යැයි කියමින් දැන් කෘෂිකර්ම විශේෂඥයන් උදම් අනනු ඇත. එහෙත් මෙය උපකල්පනවලට හා තෝරාගත් තත්ව කිහිපයක් සලකා බලන ඊනියා පර්යෙෂණවලට පමණක් සීමා වේ. එනම් අබිජනන ක්‍රම, පොහොර, කෘමිනාශක ආදිය යෙදූ වගාව සංසන්දනය කරන්නේ නිදැල්ලේ වැවෙන වගාවකට ය. මන්තර කෙම් ක්‍රම නැකත් ආදී දේ අවිද්‍යාත්මක ලෙස හංවඩු ගසා ඒවා මේ පර්යේෂණ අසලටවත් වැද්ද ගන්නේ නැත. වල් පැලෑටි පළිබෝධ හානි ආදී දේ ගැන සැලකිල්ලට ගන්නේ නැත. බටහිර විද්‍යාත්මක විධික්‍රමය සමස්තය නො සලකා එක එක අංගය වෙන ම ගෙන විෂ්ලේෂණය කොට ගුණාගුණ කියයි. ඒවාට ලිපි ලේඛන සකස් කරයි. අප බටහිර කෘෂිකර්මයට එරෙහි වන විට විශේෂඥයන් අපට සමස්තය නො සැලකූ එවන් ලිපි ලේඛනවලින් පහර දෙනු ඇත.

දකුණේ පොල් වගාවේ දරුණු ලෙස පැතිරී යන රෝග හතර සම්බන්ධ තත්වය ද මෙවැන්නක් බව අසන්නට ලැබේ. මේවාට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේ පොල් ගස් කපා දමා පොල් සිටුවීම තහනම් කිරීම වැනි දේ පමණි. ඉතියෝපියාව ඇතුළු බොහෝ අප්‍රිකානු රටවල් තමන්ගේ ඵලදාවන් විනාශ කරගත්තේ බටහිර විද්‍යාත්මක ක්‍රමවේද මඟින් හරිත විප්ලව කිරීමට ගොසිනි.

බටහිර විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් කිසිවක් නො ගත යුතු බව මින් නො කියැවේ. බොහෝ දෙනා කියනු ඇත්තේ ඒවායින් හොඳ දේ ගෙන නරක දේ නොගත යුතු බව ය. මෙය විහිළුවකට වැඩි යමක් නො වේ. ගුප්තකර්මවල නම් සුදු හා කළු (White and Dark Arts) ප්‍රභේද තිබුණ ද බටහිර විද්‍යාවේ හා තාක්ෂණයේ සුදු හා අඳුරු අංශ යනු මොනවා ද? බටහිර විද්‍යාව හා තාක්ෂණය වර්ධනය වීමට ලෝක යුද්ධ බලපෑ අයුරු සලකා බැලුවහොත් හොඳ බටහිර ව්ද්‍යාව හා හොඳ බටහිර තාක්ෂණය ලෙස කුමක් ඉතුරු වේ ද? මෙහි ඇත්තේ හොඳ නරක කතාවක් නො වේ. අප බටහිර විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් යමක් ගත යුත්තේ ගෙඩිපිටින් නොව එය අපේ කරගනිමිනි. එනම් එය අපේ චින්තනයට අනුව ගොඩනඟා ගනිමිනි. නැතහොත් එයින් අවැඩක් මිස වැඩක් වන්නේ නැත.

අපේ චින්තනයේ විද්‍යාවක් බිහි කිරීමේ දී අප බටහිර තාක්ෂණය වෙත අප තුළ ඇති වහල්භාවය තුරන් කර ගැනීමට කටයුතු කළ යුතු ය. අපට අපේ චින්තනයේ අපේ විද්‍යාවක් ආශ්‍රිතව අපේ තාක්ෂණයක් ගොඩනඟා ගත හැකි ය. දරු සුරතල් බැලීමට අවශ්‍ය නම් තමාගේ දරුවකු සාදා ගනු විනා මෝහිනීගේ බිළිඳා ම නැළවිය යුතු නො වේ.

       - තමලු මලිත්ත පියදිගම

ලංකාවේ කලාවේ පිරිහී යාම


ලංකාවේ කලාවේ පිරිහී යාම

ලංකාවේ කලාවේ පිරිහී යාමට එක්තරා ප්‍රධාන සාධකයක් වූයේ වාමාංශිකයන් ය. මෙසේ කියන විට ලංකාවේ කලාවේ සියලු අධිකාරිමය ආයතනවල හා පුද්ගලයින්ගේ කෝපාග්නිය අප වෙත එල්ල වීමට ඇති ඉඩ බොහෝ ය. මාර්ටින් වික්‍රමසිංහගේ එදිරිවීර සරච්චන්ද්‍රගේ කාලයේ සිට ලංකාවේ සාහිත්‍යයට හා විචාරයට මාක්ස්වාදී සංකල්ප එක් විය. රුසියාවේ යකඩ අච්චුවෙන් හැඩ ගැස්වුණු ඒ රළු පරළු මතවාද ස්ටැලින්වාදී හා ට්‍රොට්ස්කිවාදී ධාරා ලෙස ලංකාවට සැපත් විය.

    කාල් මාක්ස් පවා හෙගල්ගෙන් ලබා ගත් අපෝහක අච්චුවට භෞතික ඉතිහාසයක් හා සමාජ විකාශනයක් නිර්මාණය කිරීමට ගොස් පොට පටලවා ගත්තේ ය. ප්‍රතිවිරුද්ධතා එකිනෙක තුළ පවතී නම් සමාජය භෞතිකයට ඌනනය කරන්නේ කෙසේ ද? මාක්ස් කීවේ හෙගල් ඔළුවෙන් හිට වූ අපෝහකය තමා දෙපයින් සිට වූ බව ය. වෙනස් වීම තේරුම් ගත නො හැකිව, වෙනස් වීම විග්‍රහ කිරීමට හෙගල් බිහිකළ නොමේරූ අබ්බගාත දරුවා 'දෙපයින් සිටවීමට' උත්සාහ කළ මාක්ස් තමාට ම විලංගු ලා ගත්තේ ය. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ උණුසුමට හසුවූ මාක්ස් තව තවත් දෘඩ රාමුවල සිරවිණි. ලංකාවේ, බෙංගාලයේ, ජාවා දූපතේ තිබූ අතීත සමාජ ක්‍රම ගැන ඔහුගේ අවධානය යොමු වන විට ඔහු බොහෝ පමා වී තිබුණි. ඒංගල්ස් මාක්ස්ටත් වඩා අපෝහකය දෘඩ අච්චුවක් ලෙස ගත්තේ ය. ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව අපෝහක අච්චුවට එබීමට ඒංගල්ස් කළ 'කෙස් පැලෙන තර්ක' සොබාදහමේ අපෝහකය (Dialectic of Nature) ලෙස ඔහු ලියූ පොතක දැක්වේ. ඒවා මහා වැදගත් තර්ක ලෙස ගන්නා මාක්ස්වාදීහු අද ද මෙසිරිලක වෙසෙති. මේ ලංකාවේ වමේ හැටි ය.

   ට්‍රොට්ස්කි ස්ටාලින් මෙවන් යකඩ අච්චු සෑදීමේ අන්තයට ම ගිය අය ය. පැරණි කලා කෘති මාක්ස්වාදී අච්චුවෙන් විවරණය කරමින් ලියන ඕනෑ ම හෑල්ලක් විශිෂ්ට විශ්ලේෂණයක් ලෙස සැලකීමේ මුග්ධ සම්ප්‍රදායන් ඇති වූයේ මේ කාලයේ ය. ස්ටාලින් කොතරම් අන්තවාදී ලෙස අපෝහක අච්චුවට හිරවූයේ ද යත් අපෝහක විරෝධී යැයි කියමින් ජාන තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන් සිරගතකොට දැමී ය. සමාජ සත්තා යථාර්ථවාදය නමින් කලාව සඳහා ද යකඩ අච්චුවක් සාදනු ලැබී ය. ගතිකත්වය පැහැදිලි කිරීමට ඉදිරිපත් වූ හෙගල්ගේ අපෝහකය ස්ථිතික දළදඬු අච්චු බිහි කොට අවසන් ගමන් යාම ම දෛවයේ සරදමකි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගම්පෙරළිය ලියමින් මාක්ස්වාදී අච්චුවේ නවකතා ලිවීම ඇරඹී ය. සරච්චන්ද්‍ර මහතා ප්‍රමුඛ පේරාදෙණි ගුරුකුලය ඊනියා යථාර්ථවාදී විචාරය ගෙන එමින් සමාජවාදී අච්චුවේ ඕනෑ ම හෑල්ලක් ඉහළින් අගය කිරීමේ ප්‍රවණතාවයට මුල පිරී ය. මෙයින් පසු ලංකාවේ විචාරය මෙන් ම කලාව ද රළු පරළු වාමාංශික අධිකාරියකට ලක් විය.

මේ රළු අච්චුවට එබ්බුණු කලාවෙන් සෞන්දර්යය පලා ගියේ ය. මිනිසුන් කලාවෙන් ඈත් වී ගිය අතර ඊනියා ප්‍රබුද්ධ කලාව විශ්වවිද්‍යාලවලට හා වාමාංශිකයන් එක් රැස් වන සුරාසැල්වලට සීමා විය. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, පශ්චාත්නූතනවාදය ආදී රැලිවලින් ලෝකයේ යථාර්ථවාදී අච්චුව දෙදරා කැඩී බිඳී යද්දී අනාථ වූ 'කලාකරුවෝ' අච්චුවෙන් මිදුණා නොව තවත් අලුත් අච්චුවලට බලහත්කාරයෙන් ම සිර වුණ හ. නිදහස් මනස් ඇතැයි තමන් ම කියා ගන්නා මොවුහු ඊනියා පශ්චාත්නූතනවාදී අච්චුවලට හරි හැටි සිරවීමට නො හැකිව ලත වෙන්නෝ ය.

ආගමික සංකල්ප ගැන ලිවීම, ජාතිය ගැන ලිවීම කලාවේ පංචානන්තරීය පාප කර්මයක් ලෙස 'ප්‍රබුද්ධයෝ' උගන්වති. ජාතියට, ආගමට විරුද්ධව ලියන ලෙසත් එසේ ලිවීමෙන් උසස් කලා කෘති බිහිවෙන බවත් ඔවුහු උගන්වති. සීමා ඉක්මවා ගිය පුළුල් මනසක් ඇති කලාකරුවකු බිහිවන්නේ එසේ වූ විට යැයි ඔවුහු කියති. මෙහි ඇති හාස්‍යජනක කරුණ වන්නේ මේ සීමා මායිම් ඉක්මවා ගියා යැයි කියාගන්නා මහා කලාකරුවන්ගේ කෘති කියවන්නේ ලංකාවේ මිනිසුන් අල්පතරයක් ම පමණක් වීම ය. ඔවුන්ගෙන් බහුතරය මේවා කියවන්නේ අධිකාරීන් විසින් අධ්‍යාපනයට නියම කරන ලද නිසා ය. නැතිනම් 'ප්‍රබුද්ධයකු' වීමේ ආශාවෙන් ශාස්ත්‍රීය විලාසිතාවක් ලෙස ය.



අපට බාහිර අච්චුවල සිර නො වූ අපේ කලාවක් අපේ අතීත කලාවන් ඇසුරෙන් යළි ඇති කරගත හැකි ද? එසේ ඇතිකර ගැනීමට අවශ්‍ය මුල් පියවර පසුගිය සියවසේ මුල් භාගයේ දී ගනු ලැබිණි. එහෙත් ඒ සියල්ල වාමාංශිකයන් විසින් විනාශ කොට දමනු ලැබී ය. ලංකාවේ කලා පරිහානියට වාමාංශිකයන් වගකිව යුත්තේ එසේ ය.
පියදාස සිරිසේන මහතා ලංකාවේ පළමුවරට නවකතා ලියන පරපුරක් බිහි කළේ ය. පියදාස සිරිසේන මහතා ජාතිකත්වය උදෙසා තම කෘති මෙහෙයවී ය. ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා ද විවිධ ආකෘති ඔස්සේ කථා වින්‍යාස අත්හදා බැලී ය. එසේ වර්ධනය වෙමින් ආ කෙටිකතා හා නවකතා කලාව විනාශ කිරීම නිල වශයෙන් සිදු කළේ සරච්චන්ද්‍ර මහතා ය. ඔහු සිංහල නවකතා සඳහා ඉංග්‍රීසියෙන් Sinhalese Modern Fiction නම් විචාරය ලියමින් ගොඩනැඟෙමින් ආ සිංහල නවකතාව ප්‍රපාතයට ඇද හෙළුවේ අධිකාරිත්ව බලය යොදා ගනිමිනි. ඩබ්ල්යු. ඒ. සිල්වා පැවසූ පරිදි සරච්චන්ද්‍ර තම විචාරය ඉංග්‍රීසියෙන් ලිවීමට පෙර එක දු නවකතාවක්වත් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමක්වත් නොකර සිටියේ ය. ඉංග්‍රීසියෙන් උගත් පිරිස සිංහල නවකතා වෙත නැඹුරු කරලීම වැළැක්වූයේ මෙවන් කූටෝපක්‍රම මඟිනි. ඒ අතරතුර මාර්ටින් වික්‍රමසිංහගේ දේශීය දැනුම වෙනුවට මිනිසුන් බටහිර දැනුම වෙත යොමු කෙරෙන නවකතා අගය කරන ලද අතර ගම් පෙරළියෙන් පසු ඊනියා සමාජ සත්තා යථාර්ථවාදී නවකතා උඩට ඔසවනු ලැබිණි.

පියදාස සිරිසේන මහතාගේ එක් නවකතාවක හූණු ශාස්ත්‍රය පිළිබඳ සඳහනක් වේ. හුණු ශාස්ත්‍රය දැන සිටියා නම් අනතුරකින් ගැලව සිටිය හැකි වන්නට තිබිණි යැයි ලියා තිබීම සරච්චන්ද්‍ර දුටුවේ ධර්මපාලතුමන්ගේ දේශානුරාගයෙන් ඔද වැඩී පෙරදිග සියල්ල එසවීම සඳහා හූණු ශාස්ත්‍ර වැනි ප්‍රතිගාමී දේ ප්‍රවර්ධනය කිරීමක් බව ය. මේ විචාර කියවන වත්මන් ප්‍රබුද්ධයෝ පවා පියදාස සිරිසේන ප්‍රතිගාමියකු ලෙස සලකා නිග්‍රහ කරති. එහෙත් පාවුලෝ කොයියෝ, ගාර්ෂියා මාකේස් ලතින් ඇමරිකානු විශ්වාසයන් තම නවකතාවලට එක් කරගත් තැන්වල එය මායා යථාර්ථවාදය, අධියථාර්ථවාදය කියමින් අගය කරති. ඒ අච්චුවලට සිරවී ලිවීමට දඟලති. කාටවත් නො තේරෙන විප්‍රකාර ලියති. ලංකාවේ ගොඩනැඟෙමින් පැවති නවකතාවේ වැදගත්කම ඔවුන් වටහා ගන්නේ නැත.
සරච්චන්ද්‍ර මහතා ලංකාවේ නාට්‍ය කලා ඉතිහාසය ලිවීමේ දී ගුණපාල මලලසේකර මහතා සෑදූ නාට්‍ය මඟ හැර ඇති බව සේන තෝරදෙණිය මහතා ලිපියක පෙන්වාදුන් බව මට මතක ය.

සුනිල් සාන්ත මහතා, ආනන්ද සමරකෝන් මහතා ඇතුළු පිරිස් සිංහල සංගීතයක් නිපදවීමට ගත් වෑයම නොයෙක් කෙනෙහිලිකම් මධ්‍යයේ ඊනියා ප්‍රබුද්ධයන් විසින් බිඳ දමන ලදී.



මෙසේ වාමාංශික නැඹුරුව සිංහල කලාවේ වර්ධනයට බාධාවක් විය. මෑතක දී අපගේ හිතවතකු වන ජන සංගීතය මත පදනම් වන ගායකයකුට ප්‍රතිචාර දැක්වූ වාමාංශික කවියකු ජන ගී පෝෂක ප්‍රදේශයක් පමණක් බව කීවේ ය. සංගීත වේදියකු වීමට විශ්වීය මනසක් අවශ්‍ය බවටත් පොදු මිනිස් සත්තාව අරමුණු කරගත යුතු බවටත් කවියා කටපාඩම් කරගත් වදන් පෙළක් ගෙනහැර දැක්වී ය. ඔවුන්ට අනුව ජන ගී පෝෂක ප්‍රදේශයක් පමණි. සංගීතය ඊනියා විශ්ව භාෂාවකි. ගැටලුව වන්නේ මෙම ඊනියා විශ්ව භාෂාව බටහිර භාෂාව වීමත් ඊනියා පොදු මිනිස් සත්තාව බටහිර සුදු පිරිමියාගේ ස්වරූපය වීමත් ය. තමන් අංක එකේ අනුකාරකයන් බවවත් නො දන්නා වාමාංශික කවියෝ බටහිර සංස්කෘතිය ඊනියා පොදු සාධාරණ සංස්කෘතිය කොටගෙන අනෙක් සංස්කෘතීන්ට විරුද්ධ වෙති. ඔවුන් සිතන්නේ ඔවුන් ප්‍රතිසංස්කෘතික විප්ලවවාදීන් බව ය. ඔවුන් අනෙක් සංස්කෘතීන්ට එරෙහිව පොදු සත්තාව නමින් ඔසවන්නේ බටහිර නූතනත්වයේ සංස්කෘතිය බව තේරුම් ගැනීමට මේ අනුකාරකයන්ට නො හැකි ය. ඔවුන්ට එය නො පෙනේ. ඩෙරීඩා විසංයෝජනය යැයි කීවේ මේ ඔවුන්ට නොපෙනෙන වසා දැමීම් බිඳ හෙළීමට ය. එය නොතේරෙන ඔවුන්ට විසංයෝජනය යනු ලුණු බෝතලයට මිරිස් දමා මිරිස් බෝතලයට ලුණු දැමීමේ විකාරයකි. ඔවුන්ගේ ඊනියා විසංයෝජනය ඔවුන්ගේ ඊනියා පොදු සත්තාවෙන් බාහිරව ඇති සංස්කෘති විනාශ කිරීමට කරනා විප්‍රකාරයකි. මේ පශ්චාත්නූතන යැයි කියන කලාකරුවන් නූතනවාදීන් නොව බටහිර නූතනත්වයේ දාසයන් ය.

ජාතිකත්වයේ කලාව ගැන වාමාංශිකයන්ට ලතින් ඇමරිකාවෙන් උගත හැකි ය. අයියන්දේගේ පාලන සමයේ නැඟී ආ Violetta Parra නම් කාන්තාව චිලී දේශයට අමතක කළ නො හැකි තැනැත්තියකි. ස්පාඤ්ඤ ගී ගයමින් සිටි Violetta සිය සොහොයුරා වන භෞතික විද්‍යා ආචාර්යවරයකු හා ප්‍රතිකවියකු වන Niconar Parra ගේ මඟ පෙන්වීම මත ජන සංගීතයට යොමු විය. ඈ දිවා රෑ නො බලා චිලී දේශයේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් ජන සංගීතය සෙව්වා ය. ඇය ජන ගී, ජන සංගීතයේ වාදන භාණ්ඩ පිළිබඳ උගත්තේ ගොවියන්ගෙනි, කම්කරුවන්ගෙනි, සුදු ජාතිකයන්ට සේවය කළ වහලුන්ගෙනි. මෙසේ අප්‍රමාණ දුකක් විඳ ඇය කළ ගවේෂණය කෙළවර වූයේ නව චිලියානු ජන සංගීතය නිපදවීමෙනි. ඇගේ ගී ලෝකය පුරා ජනප්‍රිය විය. ඇය හෝ ඇගේ සොහොයුරු Niconar Parra ප්‍රතිකවියා හෝ ලංකාවේ වාමාංශික අනුකාරකයන් මෙන් ජන ගී ඊනියා පෝෂක ප්‍රදේශ පමණක් යැයි කීවේ නැත. ඊනියා පොදු මානව සත්තා, විශ්ව භාෂා සොයා ගියේ ද නැත. ඔවුන්ගේ පදනම ජාතිකත්වයයි. අයියන්දේලාගේ පදනම ද එයයි. සුප්‍රසිද්ධ වික්ටර් හාරා Violetta Parra ගේ සිසුවෙකි. ඔහු ද නව චිලී ජන සංගීතය වෙනුවෙන් කැපවුණු ජාතිකවාදියෙකි.
ඇමරිකානු ගැති පිනෝෂේ හාරා මරා දැම්මේ වෙඩි උණ්ඩ  හතළිහක් තබමිනි. මැරෙන මොහොතේ ද ඔහු සොල්දාදුවකුගේ ඉල්ලීම වෙනුවෙන් ගී ගැයූ බව කියැවේ. ලංකාවේ වාමාංශිකයෝ වික්ටර් හාරා ආදීන් තමාගේ ඊනියා විශ්වීය කුලකයකට එක් කර ගැනීමට පෙළඹෙති. වාමාංශිකයන් දන්නේ වික්ටර් හාරාට තැබූ වෙඩි උණ්ඩ හතළිහ ගැන පමණ ය. ඔහුගේ ජාතිකත්වය ගැන හෝ ඔහු චිලියානු සංගීතයට කළ සේවය ගැන ඔවුන් දන්නේ නැත. නව චිලියානු සංගීතය ගැන විමසා බැලූ  'ප්‍රබුද්ධ' වාමාංශික කලාකරුවකු නම් කළ හැකි ද? හාරාගේ La Partida නම් සංගීත නිර්මාණය අපගේ පෙරහැරක ඇසෙන නාද රටාවට ඉතා සමීප ය. චිලියානු ජනසංගීතයේත් අපේ ජන සංගීතයේත් බෙරවලට දෙන ප්‍රමුඛතාව ඉහළ ය. දකුණු ඇමරිකාව සමඟ යක්ෂ ගෝත්‍රයේ සම්බන්ධතා වූ බවට මත පළව ඇත. කෙසේ වෙතත් වාමාංශිකයන්ට ඒවායින් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය හැකිතාක් බටහිර සුදු පිරිමියාට සමීප වීමට පමණ ය.

හාරා නවීකරණය කොට ගැයූ කොලොම්බියානු වෙනිසියුලානු ජන ගීයක් වන Duerme Duerme Negrito ගීතයේ පද කිහිපයකින් මෙම ලිපිය නිමා කරමි.
Y si negro no se duerme
Viene diablo blanco
Y sale comen la patita
(නිදා නොගත්තොත්, සුදු යකා ඇවිදින් පුතාගෙ කකුළ කාවි!)
නිදා නොගෙන නැඟී සිට අධිපතිවාදී සුදු යකාට ද උගේ දාසයන් වන ව්‍යාජ වාමාංශිකයන්ට ද එරෙහි වෙමින් ජාතිකත්වයේ කලාව සාහිත්‍යය ගොඩනඟමු.

          - තමලු මලිත්ත පියදිගම 

පැරණි ශාස්ත්‍ර

පැරණි ශාස්ත්‍ර


- තමලු මලිත්ත පියදිගම
ඇල්කෙමිස්ට් සඟරාව - ජනවාරි 


පැරණි ශාස්ත්‍ර ගැන කතා කිරීම ලෝකය පුරා දක්නට ලැබේ. බොහෝ දෙනා පැරණි ශාස්ත්‍ර පිළිබඳව උදම් ඇනුව ද ඒවාට ඓතිහාසිකව මිස වෙනත් වැදගත්කමක් ඇතැයි නො සිතති. නැතහොත් එවන් වැදගත්කමක් නැතැයි සිතීමට අප පොළඹවා ඇත. 'ලෝකයේ ඇත්තේ එක ම දැනුමක විකාශනයකි. අතීතයේ පැවති දැනුම පසු කර ගොස් වර්තමානයේ අප වඩා දියුණු දැනුමක් අත්පත් කරගෙන ඇත. පැරණි දැනුමෙන් දැන් ප්‍රයෝජනයක් නොමැත. ලෝකය පිළිබඳව සැබෑ තතු නොදත් කාලයේ නිර්මාණය කළ එම දැනුමෙන් අදට වැඩක් නැත. ඇත්තේ කෞතුක වැදගත්කමක් පමණකි. මානව විද්‍යඥයන්ගේ විෂය පථයට අදාළව මිස ශාස්ත්‍රීයව ඒවා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් නො මැත.' මේ අපට කාවද්දා ඇති අදහසයි. බිසෝකොටුවේ තාක්ෂණය ගැන වර්ණනා කරන දේශහිතෛෂින් පවා යටිහිතින් සිතන්නේ එකල හෙළයා අද අප භාවිත කරන පිට් වෑල්වය නිපදවීමට තරම් විද්‍යා දැනුමකින් සමන්විත වූ බව ය. බිසෝකොටුව පිට් වෑල්වයක් නොවන බව දන්නා අය පවා සිතීමට පෙළඹෙන්නේ අද අප ඉගෙන ගන්නා තරල ගති විද්‍යාවේ මූලිකාංග අවුරුදු දහස් ගණනකට පෙර දැන සිටීමට අතීත හෙළයා සමත් වූ බවයි. රුවන්වැලි සෑයට සවි කළ වජ්‍ර චුම්භඨක ගැන ලිපි ලියන දේශප්‍රේමහු පවා 'එකල සිංහලයන්ගේ ස්ථිති විද්‍යුතය පිළිබඳ දැනුම නූතනය හා සමව පැවතියේ ය' ආදී වාක්‍ය ලිවීමට පෙළඹෙති. (මාක්ස්වාදීන්, පශ්චාත්නූතනවාදීන් හා 'උගතුන්' පිළිබඳ කතා කිරීම ම ඵලක් නැත. ඔවුන්ට නම් මහා සෑය ගඩොල් ගොඩකි. වැව් නිකම් හෑරූ වළවල් ය. බටහිරයන් ඒමට පෙර පෙරදිග සිට ඇත්තේ මිනිසුන් නොව සතුන් පමණ ය.)

මේ සියල්ලට යටින් ඇති අප මත පැටවූ අදහස වන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය යන්න ය. එම අදහස අනුව අතීත තාක්ෂණයේත් වර්තමාන තාක්ෂණයේත් භාවිතයට ගැනී ඇත්තේ එක ම මූලධර්මයන් ය. එනිසා කළ යුත්තේ නූතන විද්‍යාව අනුව පැරණි නිර්මාණයන් වටහා ගැනීම ය.  සීගිරියේ වතුර මල්වල, වැව්වල බිසෝකොටුවේ ක්‍රියාකාරිත්වය අප සොයා ගත යුතු යැයි නිතර අසන්නට ලැබේ. ක්‍රියාකාරිත්වය යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ බටහිර විද්‍යා ප්‍රවාද, නියම හා සමීකරණවලින් මේවා ක්‍රියා කරන ආකාරය පෙන්වා දිය යුතු බව යැයි පැහැදිලි ය.
එහෙත් මේ මූලික අදහස කොතරම් දුරට නිවැරදි ද? බටහිර විද්‍යාවත් එදා පැවති විද්‍යාවත් එක ම විද්‍යාවක් ම ද? එම දෙකෙහි ම තිබූයේ එක ම මූලධර්ම ද? මෙසේ විය යුතු ම ද?

බටහිර විද්‍යාවේ ම ඉතිහාසය විමසීමෙන් මීට පිළිතුරක් සොයා ගත හැකි ය. ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවත්, නිවුටන්ගේ භෞතික විද්‍යාවත්, අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවත් එක ම භෞතික විද්‍යාව නො වේ. එක ම දෙය මේ තුනේ විස්තර කෙරෙන්නේ සහමුලින් වෙනස් තුන් ආකාරයකට ය. මේවා ඇති වූයේ එකින් එක වර්ධනය වීමෙන් නො වේ. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව නිවුටන්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් නො වේ. තෝමස් කූන් නම් දාර්ශනිකයා මේ බව සිය The Structure of Scientific Revolution කෘතියේ පැහැදිලිව පෙන්වා දී ඇත. බටහිර විද්‍යාව තුළ ම පවා මෙසේ සහමුලින් වෙනස් පැහැදිලි කිරීම් පවතිද්දී, ඉන් පරිබාහිර අතීත සිංහල දැනුමේ බටහිර විද්‍යාවේ මූලධර්ම ඇතැයි කිව හැක්කේ කෙසේ ද?

ආචාර්ය නලින් ද සිල්වා මහතා මගේ ලෝකය කෘතිය රචනා කරමින් පෙන්වා දුන්නේ අපගේ සංකල්ප මෙන් ම සංවේදන ද මනස මත ම රඳා පවතින බව ය. එනම් සියලු සංකල්ප මනසින් නිර්මාණය වී ඇති බව ය. මෙවන් විටෙක නිරපේක්ෂ බාහිර ලෝකයක්, වාස්තවික යථාර්ථයක් කිසිසේත් ම නැත. අපගේ දැනුම අප මනසින් නිර්මාණය කරගන්නක් මිස අපෙන් වෙන්ව බාහිරව පැවතුණු යමක් නො වේ. බටහිර විද්‍යාව ඇතුළු සියලු දැනුම් මනසේ නිර්මාණ මිස වාස්තවික යථාර්ථයක් නො වේ. මේ විවිධ දැනුම් බිහිව ඇත්තේ විවිධ චින්තනවල ය. අපේ අතීත දැනුම සිංහල බෞද්ධ චින්තනයේ ද බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ද නිර්මාණය වී ඇත. නිවුටන්ගේ හා අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යා අතර පවතින වෙනසටත් වඩා තීව්‍ර වෙනසක් අපේ විද්‍යාවත් බටහිර විද්‍යාවත් අතර ඇත. බටහිර විද්‍යාව කොතරම් උගත්ත ද ලංකාවේ කිසිවකුට එය තුළ දැනුමක් නිපදවිය නො හැක්කේ මේ චින්තනයන්හි පවතින වෙනස හේතුවෙනි. අපට නැඟී සිටීමට අවශ්‍ය නම් අපගේ චින්තනයේ ගොඩනැඟුණු අපගේ දැනුමක් බිහිකළ යුතු ය; ඉස්මතු කරගත යුතු ය.

නලින් ද සිල්වා මහතා ආරම්භයේ දී ගවේෂකයෝ සංවිධානය මඟිනුත් අනතුරුව චින්තන පර්ශදය ඔස්සේත් සිංහල බෞද්ධ දැනුමක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියා කරන විට එය වාමාංශිකයන්ගේ උපහාසයට ලක් විය. ජාතික චින්තනය යනු බර කරත්තයෙන් අනුරාධපුර යුගයට යෑමකැයි ඔවුහු උසුළු විසුළු කළ හ. බොහෝ මාර්ක්ස්වාදීන්ට අමතකව ඇත්තේ කොමියුනිස්ට් සමාජයක් වෙතට යන්නේ යැයි ඔවුන් කියන විට ප්‍රාග් කොමියුනිස්ට් සමාජ යනු කවරක් ද යන්නයි. ජාතිකවාදීන් යන්නේ අනුරාධපුර යුගයට නම් මාක්ස්වාදීන් කතා කරන්නේ ගල් යුගයට යෑමට නො වේ ද? බොහෝ මාක්ස්වාදීන් ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ගැන අසාවත් නැත. (ප්‍රාග් කොමියුනිස්ට් සමාජයක් යනු ගල් යුගය හෝ පූර්ව ගොවි යුගය හෝ නොව පැරණි සිංහල සමාජය වැනි සමාජ ක්‍රම යැයි කියන මාක්ස්වාදීන්ට මෙය අදාළ නො වේ.)

පසුගිය දා චීන රජය එරට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ ඖෂධවලට තිබූ සීමා මායිම් ලිහිල් කළේ ය. ඒ නිමිති කරගෙන චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම නැවත නැඟී සිටි අයුරු විමසා බැලීමට යොමු වෙමු. චීනයේ රාජාණ්ඩුව අවසන් වන විට බටහිර බලපෑම මත දේශීය වෛද්‍ය ක්‍රම හා ඖෂධ ගණනාවක් ම තහනමට ලක්ව තිබුණි. වර්තමානයේ ඉතා ප්‍රචලිත කටු චිකිත්සාව ද එලෙස ම තහනමට ලක්ව තිබුණි. චීනයේ පැරණි වෛද්‍ය ක්‍රමයන්ට නැවත හිස එසවීමට හැකි වූයේ කොමියුනිස්ට් චීනය බිහි වීමෙන් පසුව ය. අතීතය විනාශ කළ යුතු යැයි කියමින් චීනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන පවා විනාශ කළ මාඕ සේතුං වැන්නකු දේශීය වෛද්‍ය ක්‍රම නඟා සිටුවීමට මුල් වීම ම ආශ්චර්යවත් ය. කෙසේ හෝ එය සිදු විය.

චීනයේ සමාජවාදී විප්ලවයෙන් පසු මාඕ සේතුං සමාජයේ විවිධ පිරිස්වලට හිමිව තිබූ විශේෂ වරප්‍රසාද කප්පාදු කර දැමී ය. මීට සුඛෝපභෝගී ජීවිත ගත කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා අංශවලින් ප්‍රබල විරෝධයක් එල්ල වන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. 'විද්‍යාවේ ධනපති අංශයන්' මර්දනය කළ යුතු බව මාඕගේ සිතට නැඟෙන්නට මෙය ප්‍රබල හේතුවක් විය. ඒ සඳහා විකල්පය වන්නේ පැරණි සාම්ප්‍රදායික චීන වෙදකමට අතහිත දීමයි. මාඕ 1950 දී පමණ මේ පිළිබඳව කතාවක් පැවැත්වී ය. 1954 දී නිල වශයෙන් වැඩ පිළිවෙළ ඇරඹුණි. කටු චිකිත්සාව, 'මොක්සා දැවීම' ආදී ප්‍රතිකාර ක්‍රමවල තහනම් ඉවත් කරනු ලැබී ය. මෙසේ මාඕ යුගයේ සිට චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ පිබිදීමක් ඇති විය.

ලංකාවේ දේශීය වෙදකමට සිදුව ඇති ලෙසින් ම බටහිර වෛද්‍යවරුන්ගේ නොතිත් කෙනෙහිලිකම්වලට ලක් වීමට සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයට ද සිදු විය. චීන වෛද්‍ය ක්‍රමයේ පදනම ඇඟ පුරා දිවෙන චී ශක්තිය යන සංකල්පයක් මත පදනම් වේ. බටහිර වෛද්‍යවරුන්ට එය බටහිර සංකල්ප අනුව අ‍ර්ථකථනය කිරීම අත්‍යවශ්‍ය ය. බටහිර වෛද්‍ය ක්‍රමය හුදෙක් තවත් එක් වෛද්‍ය ක්‍රමයක් පමණක් වන විට චීන වෛද්‍ය ක්‍රම බටහිර දැනුමේ වචනයෙන් විස්තර කර දිය යුත්තේ ඇයි? මේ බටහිර දැනුමේ ආධිපත්‍යයි. යිංයං, ඊඡිං ආදී සංකල්ප බටහිර විද්‍යාවෙන් පැහැදිලි කර නො දුන්නේ යැයි ඒවා ඉවත හෙළීමට බටහිර විද්‍යාවට ඇති විශේෂ අයිතිවාසිකම කුමක් ද? චීන වෛද්‍යවරයකු ඇමොක්සිසිලින්හි ක්‍රියාකාරිත්වය යිංයැං මඟින් පැහැදිලි කරන ලෙස බටහිර වෛද්‍යවරයකුට නියම කළහොත් කුමක් සිදු වේ ද?

කෙසේ නමුත් වාසනාවකට චීන රජය බටහිර වෛද්‍යවරුන්ගේ විරෝධය බරපතලව සැලකුවේ නැත. චීනයේ වෙදකම ආයුර්වේදය සමඟ ද සම්බන්ධතාවක් ඇත. ආරම්භයේ දී ආයුර්වේද පොත් එකොළහක් චීන බසට පරිවර්තනය වූ බව කියැවේ. චීන වෛද්‍ය ක්‍රමයට මූලික වූ වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රම බොහෝමයක් එරටට ගෙන ගියේ බෞද්ධ භික්ෂූන් ය. සැත්කම් කිරීම චීනයට ලැබුණේ බෞද්ධ භික්ෂූන්ගෙන් යැයි එරට සාම්ප්‍රදායික ග්‍රන්ථවල දැක් වුණ ද පුරාවිද්‍යාඥයන්ට හසු වූ ඉතා පැරණි ෂං යුගයට අයත් ඇටසැකිලි සමහරක ද සැත්කම් කරන ලද ලකුණු දකින්නට ඇත. ඇතැම් චීන වෙදපොත් බොහෝ වෛද්‍ය ක්‍රම ජීවක කෝමාරබච්චයන්ගේ (බුදුන්වහන්සේට ප්‍රතිකාර කළේ ඔහු ය.) නිර්මාණ බව දක්වයි.

චීන වෙදකමට එරෙහිව බොහෝ විට බටහිර වෛද්‍යවරුන් නඟන තර්කයක් වන්නේ ඒවායේ රසදිය ආදී බැර ලෝහ පවතින බවයි. සිංහල වෙදකමට හා ආයුර්වේදයට එරෙහිව ද මේ රසදිය භීතිකාව ඇතැම් විට මතු කරනු අසන්නට ලැබේ. මා දන්නා අයුරින් ආයුර්වේදයේ හා සිංහල වෙදකමේ රසදිය යොදා ගන්නේ එහි විෂ නැසීමේ ක්‍රියාවලියකට ලක් කිරීමෙනි. විෂ නැසීම බටහිර විද්‍යාවෙන් විස්තර කර දිය යුතු යැයි නියම කිරීමේ අයිතියක් බටහිර වෛද්‍ය ක්‍රමයට නැත. චීනයේ මෙවන් ක්‍රියාවලියක් ඇති දැයි මම නො දනිමි. කෙසේ වුවත් එක් ක්‍රමවේදයක දී විෂ වන්නක් තවත් ක්‍රමවේදයක දී විෂ නොවන්නක් විය හැකි ය. එලෙස ම මාත්‍රාව මත එහි බලපෑම ද තීරණය වනු ඇත.

සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය අනුව එයට අවශ්‍ය වන්නේ අනෙක් වෛද්‍ය ක්‍රමවලට පහර ගැසිය හැකි පොටක් සෙවීම ය. එවැන්නක් හමු වූ විට එය වලංගු ද අවලංගු වී යයි ද යන්න සියුම්ව විමසීමටවත් ඉවසීමකින් තොරව එයින් අනෙක් වෛද්‍ය ක්‍රමයන්ට දමා ගසනු ලැබේ. දේශපාලන ආධිපත්‍යය සමඟ එම ප්‍රකාශයන්ට බලයක් ද ලැබේ. අනෙක් වෛද්‍ය ක්‍රමවල රසදිය ගැන කලබල වන බොහෝ බටහිර වෛද්‍යවරුන්ට බටහිර දන්ත වෛද්‍ය ක්‍රමයේ දත් පිරවීමට භාවිත කරන ඇමල්ගමයේ රසදිය හා රිදී ගැන සිහියට එන්නේත් නැත. දත් බැඳීමට චීන්නු ප්‍රසිද්ධ ය. බටහිර වෛද්‍ය ක්‍රමයට එක් කරගත්තේ ද චීන ශිල්පීය ක්‍රමය ය. කාමරංගාවල අහිතකර බව ගැන සිදුකළ එක ම ප්‍රකාශයකට පවා ඉමහත් ප්‍රසිද්ධියක් දීමට පෙළඹී සිටින පරිසරයක බටහිර බෙහෙත්වල අගුණ ගැන එවන් හඬක් නො නැඟෙන්නේ ඇයි? ලංකාවේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය විධිමත්ව සිදුවේ යැයි කාට නම් කිව හැකි ද? මේ වන විට මැලේසියාවේ ප්‍රතිජීවක ඖෂධ බොහෝ සංඛ්‍යාවක් අක්‍රියව ගොස් ඇත. මෙය ලෝකයේ අන් රටවලට කෙසේ බලපානු ඇද්ද? ප්‍රතිජීවක ඖෂධ සියල්ල අක්‍රියව ගියහොත් බටහිර වෙදකමේ 'ඇස්පනා පිට ප්‍රතිඵලයන්ට' කුමක් සිදු වේ ද? මේවා ගැන කතා කිරීමක් සිදු නොවන තරම් ය.

වියට්නාම් යුද්ධයේ දී හෝ චී මිංට ගැටලුවක් වූයේ යුද්ධය අතරතුර දී මැලේරියාව පැතිරී යාම ය. හෝ චී මිං මීට විසඳුමක් ඉල්ලා සිටියේ චීන අගමැති මාඕ සේතුංගෙන් ය. මාඕ අංක 523 නමින් ව්‍යාපෘතියක් අරඹා එම වගකීම ථූ යොව් යොව් නම් කාන්තාවට පැවරී ය. ඇය මැලේරියා මර්දන ඖෂධයක් සෙවීම සඳහා පැරණි චීන වෙද පොත් පීරමින් පරීක්ෂා කළා ය. එක්තරා ශාකයකින් නිපදවන ඔසුවක් ඉතා ප්‍රතිඵලදායී බව දුටු ඈ එම ශාකයෙන් සක්‍රිය සංඝටකය වෙන් කර ගැනීමට ද උත්සාහ කළා ය. එහෙත් සක්‍රිය සංඝඨකයක් ලැබුණේ නැත. පසුව ඇය වෙද පොත් පරීක්ෂා කරන විට දුටුවේ එම ඖෂධය පිළියෙළ කළ යුත්තේ ශීත ජලයේ බවයි. රත් කිරීම මඟින් සංඝඨක නිස්සාරණය කරන සාමාන්‍ය ක්‍රමවේදය ගැන සැක පහළ කළ ඈ අඩු උෂ්ණත්ව යටතේ සංයෝග නිස්සාරණය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කළා ය. මේ අවසන් ප්‍රතිඵලය වූයේ ආටිමෙසිනින් නම් ඖෂධයයි. එය දැනට මැලේරියාවට එරෙහිව පවතින ප්‍රබල ම ඖෂධයයි. ථූ යොව් යොව්ට 2015 දී නොබෙල් ත්‍යාගය ද හිමි විය.

දැන් අප අවදානය යොමු කළ යුත්තේ මෙහි කතා නො කරන අන්තය ගැනයි. මාඕ සේතුං චීන වෛද්‍ය ක්‍රමයට සහය නො දැක්වූවා නම් කුමක් වන්නට තිබුණි ද? මාඕ පවා දේශපාලනිකව මෙම ව්‍යාපෘතීන්ට සහය ලබා දුන්න ද විශ්වාසය තැබුවේ බටහිර වෛද්‍ය ක්‍රමයට ය. මා ඕ ගේ ප්‍රතිපත්තිය නිසා නොවන්නට ආටිමෙසිනින් තහනම් වෛද්‍ය ක්‍රමයක කෞතුක වස්තුවක් පමණක් වනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය සක්‍රිය සංඝඨකය සෙවීමට ඉතා විශාල ස්ථානයක් ලබා දෙයි. මෙතැන දී එය ද සාර්ථක විය. බොහෝ තැන්වල ඇති පරිදි ඖෂධය, ශාක ද්‍රව්‍යවල සංඝටකයක් නො වී සමස්ත ශාක කොටස ම වූයේ නම් කුමක් වන්නට තිබුණි ද? එසේ නම් බටහිර ලෝකයෙන් ආටිමෙසිනින් පිටමං වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ථූ යොව් යොව් සාමාන්‍ය නිස්සාරණ ක්‍රමවේද වෙනස් කළා ය. එවන් වෙනසකට යොමු නොවී සම්මත ක්‍රමය අනුව පරීක්ෂණ කොට එම ඖෂධය බොරුවකැයි කීවා නම් කුමක් වන්නට තිබුණි ද? ලංකාවේ 'ආසනික් පරීක්ෂණයේ දී' ජලයේ ආසනික් සංයුතිය සෙවීමේ ක්‍රමවේදය සුළු වෙනසකට ලක් කොට කන්ඩෙන්සරයක් ද එක් කළ විට 'උගතුන්' ඊට දැක්වූ විරෝධය අපට හොඳින් මතක ය. සම්මතවල එල්ලී පහර ගැසීම අධිපතිවාදය ක්‍රියාත්මක වන එක ආකාරයකි.

කෙසේ නමුත් චීන රජයේ ඍජු ප්‍රතිපත්තිය හමුවේ මේ බාධා අඩුවන්නට ඇත. එහෙත් මෙවන් දේ හේතුවෙන් සැඟව යන ප්‍රතිකාරයන් චීනයේත් කොතෙකුත් ඇතිවාට සැක නැත.

මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ පැරණි ශාස්ත්‍රයන් නැවත ඉස්මතු කිරීමේත් ඒවාට ස්වාධීනව දියුණු වීමට ඉඩකඩ සපයා දීමේත් වැදගත්කම ය.

ඇස් පනා පිට ප්‍රතිඵල පෙන්වන කැඩුම් බිඳුම් වෙදකමක් අප සතුව තිබිය දීත් සමහර බටහිර වෛද්‍යවරුන් තාක්ෂණික කාරණා හා වෙදකම පටලවමින් සිය අධිකාරිමය බලය අයුතු ලෙස යොදා ගනිමින් ඉදිරිපත් කරනා බොළඳ හරසුන් තර්ක සමූහයකට යට වී එහි දියුණුවට මඟ අවුරා තිබීම අප හට ලැජ්ජාවට කරුණක් පමණක් නොව මහා ඛේදවාචකයක් ද වෙයි.


         - තමලු මලිත්ත පියදිගම 

Interstellar තරු අතර


ඇල්කෙමිස්ට් සඟරාව


විද්‍යා ප්‍රබන්ධ සිනමාව තුළ විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් වන චිත්‍රපට ඇත්තේ අතළොස්සක් තරම් ය. බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට තුළ විද්‍යාත්මක කරුණුවල ගැටලු පවතී. Intestellar චිත්‍රපටය මේ අතරින් විශේෂ වන්නේ විද්‍යාත්මක කරුණුවල නිවැරදිභාවය පිළිබඳව බොහෝ දෙනා විසින් අගය කරනු ලැබීමයි. එක් අතකින් මේ පිළිබඳ පුදුම විය යුතු නැත. මේ චිත්‍රපටයට භෞතික විද්‍යා උපදෙස් ලබා දුන්නේ නොබෝ දා නොබෙල් ත්‍යාගය හිමි කරගත් කිප් තෝර්න් ය.  විද්‍යා ප්‍රබන්ධ සිනමාව හුදු විද්‍යා ප්‍රකාශනයක් නො වී කලාවක් වන්නේ ඒ තුළ ගැබ් වන සෞන්දර්යය නිසා ය. කලාවක් වශයෙන් විද්‍යා ප්‍රබන්ධය තුළ ඇති එක්තරා සුවිශේෂියත්වයක් වන්නේ කාන්ට් පවසන උත්කෘෂ්ටභාවයන් (sublime) දෙකෙහි ම තීව්‍ර ප්‍රකාශනයක් වීමට විද්‍යා ප්‍රබන්ධයට ඇති හැකියාව නිසා ය. සෞන්දර්ය පිළිබඳ ඔහුගේ මතවාදයේ දී එක් උත්කෘෂ්ටභාවයක් වන ගණිතමය (mathematical sublime) උත්කෘෂ්ටභාවය ඇතිවන්නේ මිනිස් වර්ගයා යනු අපගේ පරිකල්පන සීමාව ඉක්මවා යන අතිදැවැන්ත විශ්වයක සිටින ස්වභාව ධර්මයේ නියාමයන්ගෙන් පාලනය වන ඉතා කුඩා ප්‍රජාවක් යැයි දකින අතරතුරේ දී සිය තර්ක බුද්ධිය මඟින් සහය ලත් පරිකල්පනයෙන් සමස්ත විශ්වයේ ම රහස් දැනගැනීමට ඇති මිනිසාට ඇති අපරිමිත හැකියාව වින්දනය කිරීමෙනි. දෙවැන්න වන ගතික උත්කෘෂ්ටභාවය (dynamical sumblime) ඇති වන්නේ ස්වභාව ධර්මයේ බලාධිකාරියෙන් මිදී සිටීමට තර්ක බුද්ධියෙන් සහය ලත් මිනිස් වර්ගයාට ඇති හැකියාව වින්දනය කිරීමෙනි. මෙහි පළමුවැනි උත්කෘෂ්ටභාවය ප්‍රධාන වශයෙන් විද්‍යාව මඟින් ද දෙවැන්න තාක්ෂණය මඟින් ද ඇති වේ. මේ ස්වභාව ධර්මය සමඟ අරගලයේ දී මෙම හැකියාවන් දෙකෙහි සීමා මායිම් පෙනී යාමෙන් ඇතිවන බලාපොරොත්තු කඩ වීම ද මේ උත්කෘෂ්ටභාවය තුළින් පැන නඟී. කාන්ට්ගේ මේ මතවාද බොහෝ අඩුපාඩු සහිත බව පෙනෙන්නට තිබුණ ද 'බටහිර මිනිසා' ලෝක සෞන්දර්යය දකින ආකාරය ගැන මෙය ඉතා හොඳ අර්ථකථනයකි. විද්‍යා ප්‍රබන්ධ මේ උත්කෘෂ්ටභාවයන් දෙක ම සමීපව ඇසුරු කෙරේ.

විද්‍යා ප්‍රබන්ධයක් ලෙස Intestellarහි වැදගත්කම රඳා පවතින්නේ මේ 'තර්ක බුද්ධියේ උත්කෘෂ්ටභාවය' ඔප්නැංවීමේ බටහිර කලාවෙන් යම්කිසි ඛණ්ඩනය වීමක් මේ සිනමා කෘතිය දක්වන නිසා ය. ඒ වෙනුවට එහි විරුද්ධ අන්තයට යමින් දේවාරූඪ ආදී පැරණි සමාජවල දැනුම් මාර්ගවලට නව අර්ථකථනයක් සැපයීම මෙහි දී සිදු කෙරේ. බලාපොරොත්තු විය හැකි පරිදි ම Intestellarහි ඇති භෞතික විද්‍යාව ගැන පොත් පත් පවා මුද්‍රණය වුව ද, එහි මේ නැඹුරුව පිළිබඳව බටහිර සමාජයේ වැඩි කතා බහක් ඇති වූයේ නැත.

මෙහි අධ්‍යක්ෂකවරයා වන Christopher Nolan යනු අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවන තරම් ස්වකීය දක්ෂතාවය ප්‍රදර්ශනය කළ අයෙකි. Memento , Inception , The Dark Knight, The Dark Knight Rises වැනි චිත්‍රපට ඉතා ජනප්‍රිය විය. මෙහි තිරපිටපට ලියූ ඔහුගේ සොහොයුරු Jonathan Nolan මේ සඳහා ම භෞතික විද්‍යාව ද හැදෑරුවේ ය. දැන් අපි චිත්‍රපටයේ කතා වින්‍යාසය වෙතට හැරෙමු.
මිහිතලය විනාශව ගොස් ඇත. පරිසර දූෂණය උපරිමයට එළඹී ඇත. ආහාර හිඟයක් ඇතිව තිබෙන අතර නිතර නිතර වැලි කුණාටු ඇති වේ. අනෙක් ව්‍යාපෘතීන් නවත්වා දමමින් සියලු දෙනා ම පාහේ ගොවියන් වී ඇත. ඉතා විශාල වගා භූමි පැවතුණ ද ඵලදාව ඉතා අඩු ය. නාසා ආයතනය වසා දමා ඇති අතර සියලු මුදල් වෙන් කරන්නේ වගා කිරීම් සඳහා ය. පාසල් පෙළ පොත් සංශෝධනය කොට ඇති අතර අභ්‍යාවකාශ තරණය පිළිබඳ උනන්දුවන්නන් අධෛර්ය කිරීමට සඳ ගමන ව්‍යාජයක් බව උගන්වන පශ්චාත් සත්‍ය සමාජයක් ඇති වී තිබේ. ජෝසප් කූපර් (කූප්) නාසා ආයතනයේ ගගනගාමියකුව සිට ගොවියකු බවට පත් වූ අයෙකි. ඔහු එය ප්‍රිය කරන්නේ නැත. කූප්ගේ දුව වන මර්පි විද්‍යාවට උනන්දුවක් දක්වන්නියකි. ඇය නිරීක්ෂණය කරන්නේ ඇගේ නිවසේ පොත් රාක්කය අසළ අත්භූත දෑ සිදුවන බවයි. පොත් පත් රටාවකට බිම වැටීම සිදුවේ. පසුව ඔවුන් තේරුම් ගන්නේ පොත් රාක්කය මඟින් මෝර්ස් කේතය (අතීතයේ ටෙලිග්‍රාප් පණිවිඩ යැවූ තිත් හා ඉරිවලින් සමන්විත කේතය) යොදාගෙන පණිවිඩ එවන බවයි. මර්පි සිතන්නේ මේ භූතයකුගේ ක්‍රියාකාරකම් බවයි. දිනක් වැලි කුණාටුවක් ඇති වේ. එහි දී කාමරයේ බිම මත රටාවකට අනුව වැලි පතිත වී ඇති බව මර්පි දකියි. කූප් එය පරීක්ෂා කොට මෙය ගුරුත්වාකර්ෂණ අසමතුලිතතාවක් බව දැන ගනියි. වැලි පතිත වූ රටාවෙන් ලබා දුන්නේ අක්ශාංශ දේශාංශ පිහිටුමකි. ඔවුන් එම පිහිටුමට ගිය පසු දැන ගන්නේ එතැන නාසා ආයතනය තවමත් රහසිගතව ක්‍රියාත්මක වන බවයි.

නාසා ආයතනයේ දී ඔවුහු ඔවුන් අත්දුටු අත්භූත හැසිරීම් යම්කිසි පිටසක්වල පිරිසකගේ ක්‍රියාකාරිත්වය බව දැන ගනිති. එම ජීවීන් ශනි ග්‍රහයා අසළ දී පණු කුහරයක් (අවකාශ කාලයේ එක් තැනක සිට තවත් තැනකට ක්ෂණිකව යා හැකි කෙටි මාර්ගයක් ) සාදා ඇත. එය තුළින් ගොස් කළු කුහරයක් අසළ ඇති ග්‍රහලෝක සමූහයක් අධ්‍යයනය කිරීමට නාසා විද්‍යාඥයන් සමත් වී ඇත. ඉන් තුනක් පිළිබඳ ධනාත්මක දත්ත ලැබී ඇත. නාසාවේ මහාචාර්ය බ්‍රෑන්ඩ් ව්‍යාපෘති දෙකක් සැලසුම් කරයි. පළමුවැන්න ගුරුත්වාකර්ෂණය හැසිරවිය හැකි ආකාරය සොයා ගැනීම ය. අනෙක මිනිස් සෛල වෙනත් ග්‍රහලෝකයකට ගෙන ගොස් එහි නව මිනිස් වාසයක් බිහි කිරීම ය. එම ග්‍රහලෝක වෙත ගොස් පරීක්ෂා කොට දෙවන ව්‍යාපෘතිය සම්පූර්ණ කොට ඒමට කූප්ට පැවරේ. ඒ අතරතුර දී මර්පි නාසාවේ විද්‍යාඥවරියක වේ. මේ අතර ඔවුන් අවබෝධ කරගන්නේ එම ග්‍රහලෝකවලින් දෙකක් ම ජීවය සඳහා සුදුසු නොවන බවයි. මේ අතරතුර ඔවුන් දැනගන්නේ ගුරුත්ව සමීකරණය විසඳීමට නම් කළු කුහරයක් තුළ ක්වොන්ටම් දත්ත අවශ්‍ය බවයි. කළු කුහරයක් තුළට ගමන් කිරීමේ අවධානම ගන්නා කූප් කළු කුහරය තුළට යානය පදවයි. අධික දුර නිසා සන්නිවේදන කටයුතු සඳහා දිගු කාලයක් ගතවන බැවින් කූප්ගේ තීරණය ගැන මර්පි දන්නේ නැත. කළුකුහරය තුළදී කූප් දැනගන්නේ ඔහුට එහි සිට නිවසේ පොත් රාක්කයට විවිධ කාලවල දී ගුරුත්වයෙන් බලපෑම් කළ හැකි බවයි. මර්පි ගේ භූතයා ඔහු ම ය. පිටත් වීමට පෙර මර්පිට ලබා දුන් අත් ඔරලෝසුවට ඔහු කළු කුහරය තුළ ක්වොන්ටම් විද්‍යා දත්ත මෝස් කේතය මඟින් ලබා දේ. මර්පි එය ලබාගෙන ගුරුත්ව සමීකරණය විසඳා පෘථිවියෙන් මිනිසුන් ඉවත් කොටගෙන යහපත් පරිසරයක් ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරයි. දත්ත ලැබුණු ආකාරය ගැන ඇය කියන කතාව මිනිස්සු විශ්වාස නො කරති. ඔවුන් සිතන්නේ මේ ඇගේ තර්ක බුද්ධියේ අග්‍ර ඵලයක් බවයි. අවසානයේ කූප් ඇය වෙත එන විට ඇය සිටින්නේ වියපත්ව මරණාසන්න මොහොතෙහි ය. එහෙත් කාලය සෙමෙන් ගතවන කළුකුහරය අසල සිටි නිසා කූප්ට එතරම් කාලයක් ගත වී නැත.

දැන් අපි මෙම කතාව විග්‍රහ කරමු. අතීත මිනිසුන් මෙන් ම මෑතකාලීන ඉන්දියාවේ සිටි රාමානුජන් ද කීවේ තමාට දැනුම ලබා දුන්නේ දෙවියන් බවයි. බොහෝ දෙනා මේවා නො පිළිගනිති. ලංකාවේ දී නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම බොහෝ දෙනාගේ හාස්‍යයට ලක් විය. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාව දැනුමේ මාර්ගය ලෙස දකින්නේ තර්ක බුද්ධිය ය. එහෙත් මේ තර්ක බුද්ධියේ මාර්ගය පිළිබඳව අපේක්ෂා භංගත්වයට පත්වීමට සිදුවන අවස්ථා වර්තමානයේ කොතෙකුත් පවතී. සුප්‍රකට ආසනික් පරීක්ෂාවේ දී සිදු වූයේ ද අපගේ සීමාවෙන් එපිටට යන දේ පිළිබඳව වෙනස් ඉන්ද්‍රිය පද්ධතින් හා විභවයන් ඇති ප්‍රාණියකුගෙන් තොරතුරු ලබා ගැනීම ය. Intestellarහි කළුකුහරය තුළ ඇති දත්ත ලබා ගැනීම ද එවැන්නකි. මර්පි දකින භූතයා කවුදැයි කතාවේ දී හෙළිකෙරේ. එසේ හෙළි නො කෙරුණේ නම් අපට කිව හැකි එක ම දේ වන්නේ මර්පි අදෘශ්‍යමාන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගත් බවයි. අනෙක් අතට මේ සියල්ල සැලසුම් කළ ජීවීන් කවු දැයි කතාවේ දී හෙළි නො කෙරේ. මේ කරුණු මත Intestellar මඟින් ප්‍රතිනිර්මාණය වී ඇත්තේ උත්තර ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්නා පෙරදිග ක්‍රමවේදයයි.
දෙවියන් සමඟ සන්නිවේදනයෙන් දැනුම ලබා ගත හැකි නම් වහ වහා දැනුම ලබා ගෙන සිංහල බෞද්ධ විද්‍යාවක් හා තාක්ෂණයක් ගොඩනඟන්න යන්න අභියෝගයක් ලෙස බොහෝ භෞතිකවාදීන්ගේ හා පශ්චාත්නූතනවාදීන්ගේ මුවින් පිට වේ. මේ තර්කයට Intestellar කදිම පිළිතුරු දෙකක් ලබා දෙයි. අදෘශ්‍යමාන බලවේගයක් හරහා ලද මේ දැනුමින් ප්‍රයෝජනයක් ගත හැකි වූයේ මෙය ලැබුණේ නාසාවේ විද්‍යාඥවරියක වූ මර්පිට නිසා ය.  අදෘශ්‍යමාන බලවේගයට සන්නිවේදනයේ යෙදිය හැකි වූයේත් යම් සීමා මායිම් සහිත ආකාරයකට ය. මර්පිට මේ සඳහා අවශ්‍ය බුද්ධිමය කුශලතාව නො තිබුණේ නම් කුමක් වන්නට තිබුණි ද?
අනෙක් අතට අදෘශ්‍යමාන බලවේගය කූප්ව කළු කුහරය වෙත ගෙන්වන්නේ ඍජුව ම මර්පිට දත්ත ලබා දෙන ආකාරය ඊට තේරුම්  ගත නො හැකි හෙයින් ය. මින් පෙනෙන්නේ ඉතා වැදගත් තොරතුරු ලබා දීමේ දී පෞද්ගලික සම්බන්ධකම් පවා වැදගත් බවයි. මේ ලබා දී ඇත්තේ දත්ත මිස ප්‍රවාද හෝ සංකල්ප නො වේ. සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ සන්නිවේදනය මීට වඩා අතිශයින් සංකීර්ණ වනු ඇත.

මේ නිසා දෙවියන් ආදී පාරභෞතික මාර්ගවලින් දැනුම ලබා ගැනීම යනු වලංගු හා වැදගත් මාධ්‍යයක් වුවත් එමඟින් දවසින් දෙකෙන් ලෝකය උඩු යටිකුරු කළ හැකි යැයි නො සිතිය යුතු ය. එසේ දැනුම ලබා ගන්නට, ලබාගන්නා දේ වටහා ගන්නට මෙන් ම ඉන් ප්‍රවාද ගොඩනඟා තාක්ෂණික භාවිතයන් කිරීමට විවිධ හැකියාවන් ගණනාවකින් පරිපාකයට පත් වූවන් සිටිය යුතු ය. දිගු කාලයක් ශ්‍රමයක් කැප කළ යුතු ය.
අදෘශ්‍යමාන බලවේගයකින් දැනුම ලබා ගැනීමක් ගැන පවසන Intestellar එනිසා ම අසාර්ථක යැයි කීමට කිසිවකු නොපෙළඹුණු අතර එය විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කෙරුණි.

එහෙත් කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන පරීක්ෂණය සමච්චලයට ලක් කිරීමට එක ම හේතුව වූයේ නාථ දෙවියන් ය. මෙය විවේචනය කළ බොහෝ දෙනා පරීක්ෂණ පත්‍රිකාවවත් කියවූ අය නො වෙති. මෙම පරීක්ෂණයේ දී, චිත්‍රපටයේ මර්පිගේ කාර්යයටත් වැඩි කාර්යභාරයක් කළ පුද්ගලයින්ගේ වටිනාකම පිළිබඳව කෑ කොක්සන් ගසන්නන් ඇහැක් ඇර බැලුවේ නැත.

- තමලු මලිත්ත පියදිගම 

අලුත් ම සටහන

බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

  බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම   බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...

වැඩිපුර කියවූ ලිපි