ජ්‍යොතිෂයට විධිමත් අධ්‍යාපනික ආයතනික ව්‍යුහයක් අහිමි කළේත් හේතුවාදීන් ම ය


2017.11.22 විදුසර


සැම්සන් මහතාගේ 2017 නොවැම්බර් 15 ලිපිය ඒ මහතා ඇතුළු හේතුවාදී උගතුන්ගේ බුද්ධිමය ඛේදවාචකයේ මනා ප්‍රතිබිම්බයකි. තමන් නො දන්නා විෂයන් උඩින් පල්ලෙන් අතපත ගා පහර දීමේ ශාස්ත්‍රීය කුහකත්වයත්, තමා ලත් අඩ දැනුමෙහි අවිචාරවත්ව ඇලී ගැලී අන්ධව සිටීමත්, මූලාශ්‍ර විකෘති කිරීමෙහිලා ඇති නිර්ලජ්ජිත ස්වභාවයත් සැම්සන් මහතා සිය ලිපිය තුළින් ප්‍රදර්ශනය කර සිටී.
සැම්සන් මහතා කෙතරම් අවිචාරවත්ව කරුණු විමසන්නෙක් දැයි පාඨකයන්ට මනාව පෙන්වමින් ඔහු පවසා ඇත්තේ ඍතු භේදය පෘථිවි කේන්ද්‍රවාදය මඟින් පැහැදිලි කළ නො හැකි බවයි. මෙය ඔහුට නිරවුල්ව කල්පනා කිරීමට ඇති නො හැකියාව ම පෙන්වන්නකි. ඍතු භේද ඇති වීම පෘථිවි කේන්ද්‍රවාදයෙන් පැහැදිලි කරන්නේ මෙසේ ය. සූර්යයා පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් ආවර්තීයව උතුරටත් දකුණටත් ගමන් කරයි. මෙය ජ්‍යෝතිෂ්‍යයේ දැක්වෙන්නේ උත්තරායනය (උත්තර+අයනය) හා දක්ෂිණායනය (දක්ෂිණ+අයනය) යනුවෙනි. ඍතු පිළිබඳ විග්‍රහ කිරීමට මූලික ම පෙරදිග ජ්‍යෝතිෂ්‍ය ග්‍රන්ථය වන සූර්ය සිද්ධාන්තය සිය දහ හතර වන පරිච්ඡේදය වෙන් කොට ඇත. සැම්සන් මහතා අමතක කරන්නේ සායන හා නිරායන ජ්‍යෝතිෂ්‍ය ක්‍රම දෙක වෙන් වන්නේ ද රාශිවල අර්ථකථනය පදනම් විය යුත්තේ අයනයන් මත ද නො වේ ද යන්න අනුව බව ය. එහෙයින් ඍතු ඇතිවීම පෘථිවි කේන්ද්‍රවාදය තුළින් පැහැදිලි කළ හැකි වනවා පමණක් නොව එම විග්‍රහය ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ ඉතාමත් වැදගත් ද වේ. සැම්සන් මහතා අමතක කර දමන අනිත් කරුණ වන්නේ ඇතැම් ජ්‍යෝතිෂ්‍යයන්හි පෘථිවියේ උත්තරාර්ධගෝලයේ රාශියකට යම් ගුණ ඇත්නම් දක්ෂිණාර්ධගෝලයේ දී එම රාශිය ම දරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ රාශියේ උත්තරාර්ධගෝලයේ තිබූ ගුණ බව ය. මේ සියල්ල ඍතු හා සම්බන්ධ කරුණු ය. පෘථිවියට සාපේක්ෂව හිරුගේ ගමන් මාර්ගය ක්‍රාන්තිවලය නම් වේ. මේ ක්‍රාන්තිවලය ඇත්තේ අහස් සමකයෙන් අංශක 23 1/2 ක් ආනතියකින් යුතු ව ය. සූර්යයා ගමන් කරන්නේ මෙම ක්‍රාන්තිවලයේ ය. පෘථිවි කේන්ද්‍රවාදයේ දී ඍතු ඇති වීම පැහැදිලි කරන්නේ ක්‍රාන්තිවලයේ ගමන් කරන සූර්යයාගේ චලනය ඇසුරෙනි. තාරකා විද්‍යාඥයන් භාවිත කරන තරු සිතියම්වල ද මෙම ක්‍රාන්තිවලය දැක ගත හැකි අතර එය මඟින් ගණනය කිරීම් ද කරනු ලැබේ. සැම්සන් මහතා දැනගත යුත්තේ ලෝක සිතියමේ ඇති කර්කටක හා මකර නිවර්තන දෙකේ නම්වල ඇති කකුළුවා හා මකරා අහසින් කඩා වැටුණු සතුන් නොව මෙම සූර්ය චලිතයට අනුරූපව කටක රාශිය හා මකර රාශිය (සායන අර්ථයෙන්) නිරූපණය කරන නම් බව ය. මෙතරම් මුලාවක සිටීමෙන් සැම්සන් මහතාගේ විමර්ශන බුද්ධිය කෙතරම් පිරිහී ඇත්දැයි ඔබට වටහා ගත හැකි ය. ජ්‍යෝතිෂ්‍යය විවේචනය කරමින් පොත් ගහන්නේ ජ්‍යෝතිෂ්‍ය හෝ භෞතික විද්‍යාව තබා සාමාන්‍ය දැනීමෙහි අයන්න ආයන්නවත් නො දන්නා හේතුවාදීන් ද?

සූර්ය සිද්ධාන්තයෙහි 12 වන පරිච්ඡේදයෙහි 46 සිට 51 දක්වා ශ්ලෝකවලින් සූර්යයා මෙසේ උතුරට හා දකුණට ගමන් කිරීමත් අදාළ කාලවකවානු හා දුර ප්‍රමාණත් දක්වා ඇති අතර සූර්ය කිරණ පෘථිවියේ අදාළ කොටස්වලට එල්ල වන ආකාරය අනුව ඍතු ඇති වීම ගැන ද විස්තර කොට ඇත. වෙනෙකක් තබා ධ්‍රැව මත දී දිනයක් මාස 6ක් වීම ගැන ද ඉතා පැහැදිලිව හා අලංකාරවත්ව විස්තර කොට ඇත. 13 වන පරිච්ඡේදය සෞරග්‍රහ මණ්ඩලයේ ආදර්ශ ආකෘතියක් සාදන අයුරු කියා දීමට ද 14 වන පරිච්ඡේදය ඍතු ගැන විස්තර කිරීමට ද ලියැවී තිබේ. මෙවර ලිපිය දිගුවන බැවින් උපුටා දැක්වීම් නො කරන නමුත් ඊළඟ වාරයේ දී මාගේ විදුසර ලිපියෙන් මෙම පරිච්ඡේද තුනෙහි සිංහල පරිවර්තනයක් ඔබ වෙතට ගෙන එමි. (මා දන්නා පරිදි මෙම කොටස් මෙතෙක් සිංහලට පරිවර්තනය වී නැත.) ජ්‍යෝතිෂ්‍යයට මෙන් ම අතීත බෞද්ධයන්ගේ දැනුමට ද නිගා කරමින් ඔවුන් පැතලි පොළොවක් ගැන කීවේ යැයි නන් දොඩවන, එම අදහස සාවද්‍ය බවට කරුණු දැක්වීමෙන් පසුත් තම අධානග්‍රාහී අදහසෙහි ම එල්ලී සිටිනා සැම්සන් මහතා වැනි හේතුවාදී 'හොරගෙඩියන්ට' මෙයින් පසු 'ඇඳි වතත් අහිමි වී යනු ඇත'.

පෘථිවි කේන්ද්‍රවාදය පමණක් නොව සූර්ය කේන්ද්‍රවාදය ද විවිධ යුගයන්වල විශ්වාස පමණකි. ඉන් එකක් සත්‍ය වී අනෙක අසත්‍ය වන්නේ නැත. එකක් අනෙකට වඩා දියුණු වන්නේ ද නැත. වාද දෙක ම ගණනයන්වල දී එක හා සමාන ප්‍රතිඵල ලබා දෙයි. සැම්සන් මහතා ප්‍රායෝගිකව පෙනෙන්නේ පොළොව හිරු වටා යෑම යැයි අතිශයින් බොළඳ තර්කයක් කරයි. ('ප්‍රායෝගිකව පෙනෙන්නේ හිරුට පෘථිවිය වටා ගමනක් නැති බවයි.) අවිචාරවත්ව උගත් දැනුමක් පණ්ඩිතමානීව හිස් මුදුනින් ගැනීමෙන් මනස අන්ධ වී යන්නේ මසැස ද අඳ බවට පත් කරමිනි. සූර්ය කේන්ද්‍රවාදයක් ප්‍රායෝගිකව පෙනේ ද? කුමන විහිළුවක් ද? පාඨක ඔබ එළිමහනට  බසින්න. හිරු දෙස බලන්න. ඔබට කෙදිනකවත් පොළොව චලනය වනු පෙනේ ද? එහෙත් සූර්යයා නැගෙනහිරින් පායා බටහිරින් බැස යනු ඔබට පෙනේ. මා දැන් ඔබට පෘථිවි කේන්ද්‍රවාදය ප්‍රායෝගිකව පෙන්වා දී ඇත. සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ප්‍රායෝගිකව පෙන්වන්නේ කෙසේ ද? ඔහුට කළ හැක්කේ විද්‍යාඥයන්ගේ නම් ගම් විසි කිරීමත් පෙළපොත් හා ප්‍රකාශන ඉදිරිපත් කිරීමත් පමණි. මේවා ප්‍රායෝගිකව පෙන්වීම් ද? නැත. ස්ථිරව ම ප්‍රකාශ කළ යුත්තේ ඔහු ඉදිරිපත් කරන කිසිදු වාගාලාපයකින් ඔබට පෘථිවි කේන්ද්‍රවාදය අසත්‍ය බව ඔප්පු කිරීමට තර්කයක් සොයා ගත නො හැකි බව ය. මා මේ කියන්නේ පෘථිවි කේන්ද්‍රවාදය පමණක් නිවැරදි බව නො වේ. සූර්ය කේන්ද්‍රවාදය හා පෘථිවි කේන්ද්‍රවාදය හුදු සාපේක්ෂ නිරූපණ පමණක් බව ය. මින් එකක්වත් අනෙකට වඩා සත්‍ය හෝ දියුණු හෝ නො වේ. සැම්සන් මහතාට මේ සඳහා හරිහමන් සාධක ඉදිරිපත් කිරීමට මාස ගණනක් ගත වීමෙන් පසුවත් තව ම නො හැකි වී ඇත.
මා හේතුවාදීන් හා මානවවාදීන් ගැන එල්ල කරන විවේචන අනවබෝධයෙන් කරන ඒවා බව කියන සැම්සන් මහතා ඒ චෝදනාව තහවුරු කිරීමට එකදු උදාහරණයක්වත් නො පෙන්වයි. අභූත ලෙස චෝදනා කිරීම ඕනෑ ම අයකුට කළ හැකි ය. සැම්සන් මහතා කළ යුත්තේ තම චෝදනා සනාථ කිරීම ය. බටහිර අධිරාජ්‍යවාදයේ 'වක්‍ර' නියෝජිතයන් යන්න නො වැටහෙන සැම්සන් මහතා හේතුවාදීන්ගේ 'අධිරාජ්‍ය විරෝධී' වැඩ කිහිපයක් ගැන සඳහන් කරයි. ඔවුන් වක්‍ර නියෝජිතයන් වන්නේ එළිපිට අධිරාජ්‍යවාදීන්ගේ ඍජු දේශපාලනික වැඩසටහන්වලට විරෝධය පාමින් අධිරාජ්‍යවාදීන්ගේ දැනුම් ආධිපත්‍යය ඇතුළු සූක්ෂ්ම වූ ව්‍යාපෘතිවල බළල් අත් බවට පත්වන බැවිනි. මේ වක්‍ර නියෝජිතයන්ගේ 'අධිරාජ්‍ය විරෝධී වැඩ' ගැන කිව යුතු එක ම කරුණ නම් මෙවැනි රංගනයන්ගෙන් මුලා නො වීමට ජනතාව බුද්ධිමත් විය යුතු බව ය.

අප රටේ ගුප්ත විද්‍යාවට මර්දනයක් නැතැයි සැම්සන් මහතා නන් දොඩවයි. ලංකාවේ ද ශාස්ත්‍රීය උනන්දුවකින් ජ්‍යෝතිෂ්‍ය හැදෑරීම අධෛර්යයට පත් කෙරෙයි. විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන්වල මුල් කාලයේ දී ජ්‍යෝතිෂ්‍යය ඉගැන්වුණු අතර ඒවා විශ්වවිද්‍යාල බවට පත්කළ මුල් කාලයේ ඒවායේ ජ්‍යෝතිෂ්‍යය ද ඉගැන්විණි. එහෙත් පසුව බටහිර විද්‍යා අධ්‍යාපනයෙන් හිස උදුම්මාගත් හේතුවාදී මර්දකයන් අතින් එම විෂයන් විශ්වවිද්‍යාල පද්ධතිවලින් විසි වී ගියේ ය. ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා සඳහා යම් හෝ තැනක් ලැබීම වැළැක්වීමට පොත් හා ලිපි ලියනා හේතුවාදී "පඬිවරු" එදා මෙන් ම අදත් සිටිති. මෙසේ ශාස්ත්‍රීය ප්‍රවේශය වැළැක්වීමෙන් මෙම ශාස්ත්‍රවල අධ්‍යාපනය අවිධිමත්ව ගිය අතර ඒවායේ කිරුළු දැරූවන් බවට ඒවා යන්තමින් හදෑරූවන් මාධ්‍ය ඔස්සේ ඉස්මතු විය. මෙතැනින් නො නවතින හේතුවාදී මර්දකයෝ එම මාධ්‍ය ඔස්සේ ඉස්මතු වන්නන් විහිළුවට ලක් කිරීමෙන් ශාස්ත්‍රයන්ට ගැරහීමේ අසාධාරණ උත්සාහයක යෙදී සිටිති. සැම්සන් මහතා අසන්නේ ඉන්දියාවේ පරිදි ලංකාවේ ජ්‍යෝතිෂ්‍යවේදීන් තමන් ම පර්යේෂණ ඉදිරිපත් නො කරන්නේ ඇයි ද යන්නයි. මෙවන් කටයුතු සඳහා විධිමත් ආයතනික ව්‍යුහයක් අවශ්‍ය ය. ලංකාවේ මෙවැනි දේ ඇති වීම වැළැක්වූයේ ම හේතුවාදීන් ය.

මිලින්ද ප්‍රශ්නය හා සූර්ය සිද්ධාන්තය යන ශාස්ත්‍රීය පොත්වලින් ලංකාවේ හා ඉන්දියාවේ අතීත ජනතාව පොළොව ගෝලාකාර බව දැන සිටි බව පෙන්වූ පසු ගුත්තිලය වැනි සාහිත්‍ය කෘතියක පොළොව පැතලි බව කීවේ යැයි පිළිතුරු දීම තරම් විහිළුවක් තවත් නැත. සැම්සන් මහතා කියන කවියේ ද මහාද්වීප සතර එකවර දුටු බවක් නැත. සැම්සන් මහතා කියන්නේ එසේ නැති වුවත් ඒ බව ගම්‍ය වන බවයි. සතර දිවයින් දුටු බව පමණක් කියා ඇති තැනක ඉන් එකවර යන්නක් ගම්‍ය වන්නේ නම් එය සැම්සන් මහතාගේ මනෝ විකාරයක් පමණක් ම විය යුතු ය. පොළොව ගෝලාකාර බව ඍජුව ලියා ඇති ශාස්ත්‍රීය කෘති පෙන්වූ පසු ඒවාට පිළිතුරු නො දී සාහිත්‍ය කෘතියක් පිළිබඳ තම මනෝ විකාරවලින් පිළිතුරු දීම ම විහිළුවකි. සැම්සන් මහතාට තමාගේ විහිළුව නො පෙනී ගුත්තිල පොළොව වටා පරිභ්‍රමණය වී යන්නට ඇත යන්න විහිළුවක් ලෙස පෙනෙන තරම් මනස විපරීත වී ඇත.

සැම්සන් මහතා කියන්නේ සෙනසුරු අසුබ ග්‍රහයකු ලෙස සැලකෙන්නේ එය පුද්ගලාරෝපණය කළ නිසා බව ය. සෙනසුරුගේ රාශි මාරු වීම ඉතා මන්දගාමී ය. 'මේ මන්දගාමී ගමන නිසා ජ්‍යෝතිෂ්‍යය සෙනසුරු මහල්ලකු සේ දකියි. ඒ නපුරු මහල්ලකු ලෙසිනි.' යනුවෙන් සැම්සන් මහතා කියයි. මන්දගාමී යන්න මහලු ලෙස පුද්ගලාරෝපණය වීම නිවැරදි ය. එහෙත් මහලු වූ පමණින් නපුරු මහල්ලකු වන්නේ කෙසේ ද? සැම්සන් මහතාට අනුව සියලු මහල්ලන් නපුරු ද? නපුරු යන්න පැමිණෙන්නේ සෙනසුරු හා සම්බන්ධ කෙරෙන මිනිස් සමාජයේ ආවර්තීය චක්‍රයේ ස්වභාවය නිසා ය. වී ඇත්තේ සැම්සන් මහතා කියන පරිදි නපුරු මහල්ලකු ලෙස පුද්ගලාරෝපණය කිරීම නිසා සෙනසුරු අහිතකර බව නිගමනය කිරීම නොව එහි විලෝමයයි. මහලු බව හා නපුරු බව යන ලක්ෂණ දෙක සෙනසුරු ග්‍රහ චලිතයේත් එම චලිතයට අනුරූප චක්‍රීය මිනිස් සමාජ ලක්ෂණයේත් කදිම සංකේතනය කිරීම් දෙකකි.

සෙනසුරු අපල සඳහා ජනතාව අනවශ්‍ය තරම් කලබල වීම වාණිජකරණයත්, බොහෝ ජනමාධ්‍යත් නිසා සිදුවූ දෙයකි. පසුගිය දා ලංකාවට පතිත වූ උල්කාපාතය සම්බන්ධ කොට කළු කුහර ඝට්ටන පවා ඈඳීම ද, සූර්ය ගිනිසිළු අධික කාලවල දී ඒ ගැන සමහර මාධ්‍යවලින් අසන්නට ලැබෙන කතා ද මෙබඳු ම වේ. මෙවන් දේට වගකිව යුතු වන්නේ වෙළඳපොළකරණය මිස බටහිර විද්‍යාව, ජ්‍යෝතිෂ්‍යය හෝ ගුප්ත විද්‍යාව නො වේ.
ජ්‍යෝතිෂ්‍යවේදියකු නොවන මම නිශ්චිත ජ්‍යෝතිෂ්‍ය පද්ධතියක් වෙනුවෙන් පෙනී නො සිටිමි. මාගේ කාර්යය හේතුවාදීන්ගේ තර්කවල හරසුන් බව පෙන්වා ඔවුන්ගෙන් ජනතාව මුලා වීම නවත්වා ගැනීමයි. සැම්සන් මහතා ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පර්යේෂණ මඟින් පෙන්වන ලෙස කරන අභියෝග මට අදාළ නො වේ. කෙසේ වෙතත් සැම්සන් මහතාගේ අභියෝගය පෙන්වන්නේ ඔහුගේ සංඛ්‍යානය දැනුමේ විශාල හිඩැසක් ඇති බව ය. සංඛ්‍යාන පරීක්ෂණයක් කළ හැක්කේ අප්‍රතිෂ්ඨෙය කල්පිතයක් (null hypothesis) ගොඩනඟා එය බිඳ හෙළීමට ප්‍රමාණවත් දත්ත එම පරීක්ෂණයෙන් ලැබුණහොත් පමණි. ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පෙන්වීම සඳහා පරීක්ෂණයක් කිරීමට අප්‍රතිෂ්ඨෙය කල්පිතයක් ගොඩනැඟිය නො හැකි ය. මෙය ජ්‍යෝතිෂ්‍යයේ අඩුපාඩුවක් නොව සංඛ්‍යානයේ සීමා මායිම පිළිබඳ ප්‍රශ්නයකි. එම නිසා සැම්සන් මහතාගේ අභියෝගය අරුත්සුන් ය. මා ඔහුට පෙරළා අභියෝග කරන්නේ හැකිනම් ජ්‍යෝතිෂ්‍යය සත්‍ය බව පෙන්වීමේ පරීක්ෂණයක් උදෙසා අප්‍රතිෂ්ඨෙය කල්පිතයක් ඉදිරිපත් කරන ලෙසයි.

මා මධ්‍යකාලීන විද්‍යාඥයන් ගුප්ත විද්‍යාඥයන් ලෙස සලකන බව සැම්සන් මහතා කියයි. මා එලෙසින් දැක්වූ මධ්‍යකාලීන විද්‍යාඥයන් එක් අයකුගේ හෝ නමක් හෙළි කරන ලෙස අභියෝග කරමි. බෘනෝ විද්‍යාඥයකු නොව ගුප්ත විද්‍යාඥයෙකි. කොපර්නිකස් ගුප්ත විද්‍යා ආභාෂය ලැබූ විද්‍යාඥයෙකි. නිවුටන් විද්‍යාඥයකු මෙන් ම ගුප්ත විද්‍යාඥයෙක් ද වේ. මේ තිදෙනා ම සිටියේ පුනරුද යුගයේ ය.

දැන් අපි සැම්සන් මහතා පිළිතුරු නො දී පලා ගිය ප්‍රශ්න හා අභියෝග විමසමු. ඊට පළමුව, පෙර ලිපියක මා අතින් සිදුවූ අඩුපාඩුවක් නිවැරදි කළ යුතු ය. "නූතන දර්ශනයේ පියා" යන විරුදාවලිය යෙදෙන්නේ කාන්ට්ට නොව දේකාර්ත්ට ය. කාන්ට් සැලකිය යුත්තේ වර්තමානයේ ප්‍රමුඛව පවතින බටහිර දර්ශනවාදයන් සඳහා සමාරම්භක දායකත්වය ලෙස ය. මෙම කරුණ පෙන්වා දුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ පූජ්‍ය ගුණසිරි හිමියන්ට මගේ කෘතවේදීත්වය පළ කරමි.
සැම්සන් මහතා මුලින් සංවාදයේ යෙදී සිටියේ දිලුම් සෙනවිරත්න මහතා සමඟ ය. මා සමඟ සංවාදයට ඔහු එළඹුණේ ඉන් පසුව ය. සැම්සන් මහතා දිලුම් මහතාගේ ප්‍රශ්න හා අභියෝග ද මඟ හරින ලද අතර මගේ අභියෝග ගණනාවක් ම මඟහැර සිටියි. අදාළ දින සමඟ මේ අවස්ථාවන් මෙසේ ය.

2017.08.02.

"මා ගුණතිලක මහතාගෙන් අසන ප්‍රශ්නය Hawking අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේ මූලික හරය ප්‍රතික්ෂේප කිරීම සඳහා ඉදිරිපත් කළ අදහස (සිද්ධාන්තය, මූලධර්මය,..) කුමක් ද යන්නයි." - දිලුම් සෙනවිරත්න
(මීට පිළිතුරක් නො දෙන සැම්සන් මහතා අදහස් විකෘති වන සේ හෝකිංගේ ප්‍රකාශවලින් කොටස් ගලවා ඉදිරිපත් කොට අතින් කරුණු දමා තමාට අවශ්‍ය දේ කීමේ කලාව ඉදිරියට ගෙන ගියේ ය. ඒ සියලු ප්‍රකාශවලට පිළිතුරු දී තිබිය දී පිළිතුරු නොදුන් බව අපට කීමට තරම් ඔහු වංචනික වේ.)

හෝකිංගේ The Grand Design කෘතියෙන් දිලුම් මහතා උපුටා ගත් සටහනට ද ඔහු පිළිතුරු දුන්නේ නැත.

2017.08.20

බෘනෝ මරණයට පත් කළේ පුනර්භවය හා ගුප්ත විද්‍යා පිළිගැනීම නිසා ය.
(මා ඉතිහාසඥයන්ගේ මූලාශ්‍ර සහිතව මේ බව පෙන්වාදී ඇති විට සාධක හෝ තර්ක රහිතව එය එසේ නො වේ යැයි කීම පිළිතුරක් නො වේ. අනෙක සැම්සන් මහතා කියා තිබුණේ බෘනෝ මැරුණේ නිෂ්පල දෙයකට නො විය හැකි බව ය. එය පුනර්භවය පිළිබඳව සැම්සන් මහතා වෙත ම පාරාවලල්ලක් වුව ද ඊට ඔහු පිළිතුරු ව්2 ම නැත.)


2017.10.04.
හෝකිංගේ Universe in a Nutshell පොතෙන් මා උපුටාගත් කරුණු සඳහා කිසිදු පිළිතුරක් දී නැත.
අතීත බෞද්ධයන් පොළොව තැටියක් ලෙස සැලකූ බව මූලාශ්‍ර රැසක් ඇසුරෙන් සඳහන් කොට ඇති යැයි සැම්සන් මහතා කියූ විකිපීඩියා ලිපියට සබැඳිය (link) දක්වා එම ලිපියෙහි ඒ බව ප්‍රකාශ කිරීමට පාදක කරගත් මූලාශ්‍ර ලැයිස්තුව සටහන් කරන්න. (සැම්සන් මහතා මෙය නො දුටුවාක් මෙන් සිටියි.)

මේ සඳහන් කළේ වෙන් වෙන්ව දැක්විය හැකි අභියෝග කිහිපයකි. කාල්සන් පරීක්ෂණයේ දුර්වලතා, ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව මගේ මූලික තර්කය, කර්මය නො පිළිගන්නා අයකුට මවට පියාට සැලකීමේ විශේෂ විපාක තිබීමක් පිළිගත හැකි ද යන්න, හේතුවාදය බුදු දහමින් ප්‍රතික්ෂේප කොට පවතින ආකාරය, හේතුවාදයේ ඔවුන් දැන් පිළිගන්නේ අදට අදාළ දේ පමණ නම් ඒ කුමන කොටස ද යනාදි ප්‍රශ්න හා අභියෝගයන්ට ද ඔහු කළේ පිළිතුරු නොදී අර්ථ විරහිත ප්‍රකාශන ලිවීම පමණි.
සැම්සන් මහතා දැන්වත් මේවාට පිළිතුරු ලබා දීමට උත්සුක වන්නේ නම් යහපත් ය.

කඳුළු ගංගා රුධිර දහරා ගිනි ජාලා අතරේ වළලා දැමූ මානවවාදයේ බිහිසුණු අතීතය

බටහිර ගුප්ත විද්‍යාවේ වර්ධනය හා මර්දනය

 (2017.11.08 විදුසර)


ඊනියා මානවවාදය හා ඊනියා නිදහස් චින්තනය බටහිර අධිරාජ්‍යවාදයේ අතකොළුවක් වී ඇති අන්දම පෙන්වාදුන් මගේ ඔක්තෝබර් 18 වෙනි දින ලිපියෙන් පසු සැම්සන් මහතා වෙන කවරදාකටත් වඩා සලිතව ඇති බව ඔහුගේ ඔක්තෝබර් 25 වෙනි දා ලිපියේ ඔහු ලියා ඇති දෙයින් මෙන් ම ලියා ඇති ශෛලියෙන් ද පෙනේ. ආක්‍රමණික අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාකාරකම්වලින් පසු පවා ලංකාවේ 70%ක් බෞද්ධ බවත් එනිසා ඔවුන්ට දොස් පැවරීම ඵලක් නැති ක්‍රියාවක් බවත් කියමින් සැම්සන් මහතා තම ස්වාමි වූ අධිරාජ්‍යවාදීන්ට සුදු හුණු ගෑමක යෙදේ. ලංකාවේ දැනට සිටින බෞද්ධයන්ට පවා ඇත්තේ බටහිරින් අර්ථකථනය වූ දැනුමක් බව මා 18 වෙනි දා ලිපියේ පෙන්වා දී ඇත. විශාල හානියක් කළ ද බටහිරයන්ට මේ රට සම්පූර්ණයෙන් ම නතු කර ගැනීමට නො හැකි වූ බව සත්‍යයකි. එහෙත් බටහිරයෝ ඒ තමන්ට නො හැකිවූ කොටස ඉටු කර ගැනීමට සැම්සන් මහතා වැනි අධිරාජ්‍යවාදයේ වක්‍ර නියෝජිතයන් බිහි කොට ගිය හ. සැම්සන් මහතා වැන්නන්ගේ විකෘති කිරීම්වලින් මූලාශ්‍ර ගලවා ගත යුත්තේ එහෙයිනි.

සැම්සන් මහතා මාගේ ලිපිවලින් ඔහුට එල්ල වන වාග් ප්‍රහාර දකින්නේ අපහාස කිරීමක් ලෙස ය. වාග් ප්‍රහාරයක හා අපහාසයක වෙනසවත් නො දන්නා ඔහු දෙස් විදෙස් වියතුන්ගේ සංවාද ලිපිවත් කියවා ඇතැයි සිතීම උගහට ය. මා බොළඳ හරසුන් වංචනික ළාමක කිඹුල් කඳුළු වැනි වචන ඔහු සඳහා යොදන්නේ ඔහුට ඒ වචන උචිත වන ආකාරය සවිස්තරව පෙන්වා දීමක් ද සමඟිනි. සැම්සන් මහතා ඔහුගේ පසුගිය ලිපිවල නිතර සඳහන් කළ හේතුවාදී දැවැන්තයකු නම් සංවාදවල දී ප්‍රතිවාදීන් උදෙසා යොදා ගත්තේ මෙවන් වචන නොව 'උග්‍ර මැට්ටා' යන වචනයයි. හේතුවාදීන් හුරු පුරුදු එවන් වචන වෙනුවට මා ඉහත දැක්වූ වචන භාවිත කරන්නේ අර්ථ නො දැක්විය හැකි උග්‍ර මැට්ටා මෙන් නොව වංචනිකබව හරසුන්බව ළාමකබව කිඹුල් කඳුළු වන අයුරු උදාහරණ මඟින් නිශ්චිතව පෙන්වාදිය හැකි බැවිනි. සැම්සන් මහතාට ඉහත වචන උචිත වන අයුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් පසුගිය ලිපිවල මා එම වචන භාවිත කොට ඇති තැන් නැවත කියවා බලන්න. 'සුද්දන්', 'බටහිරයන්' වැනි වචන අපහාසාත්මක වචන ලෙස අර්ථකථනය කළ මුල් ම තැනැත්තා සැම්සන් මහතා ම විය යුතු ය. සැම්සන් මහතා මේ නො කියා කියන්නේ අප බටහිරයන්ට අසීමිතව ගෞරව කරමින් ආමන්ත්‍රණය කළ යුතු ය කියා විය යුතු ය. සැම්සන් මහතා අජිත කේශකම්බලගේ 'මවට උපකාර/ අපකාර කිරීමෙහි ඵල විපාක නැත. පියාට උපකාර/අපකාර කිරීමෙහි ඵල විපාක නැත.' යන ප්‍රකාශය හේතුවාදීන්ට පැවරීම දකින්නේ අපහාසයක් ලෙස ය. අජිත කේශකම්බල මෙතැන ප්‍රකාශ කරන්නේ අදාළ ක්‍රියාවල ඵල විපාක ගැන මිස එම ක්‍රියාවල හොඳ නරක ගැන නො වේ. මෙවන් සරල දේ පටලා ගෙන කරන තර්කවලට විශේෂණ පදය වන්නේ බොළඳ යන්න ම මිස වෙන කුමක් ද? කර්මය හා කර්ම විපාකය නො පිළිගන්නා අයකුට විශේෂයෙන් මවට පියාට උපකාර කිරීමෙන් ඵල විපාක ඇති බවක් කිව නො හැකි ය. දැන් සැම්සන් මහතා කර්ම හා කර්ම විපාක පිළිගන්නේ ද? මා විද්‍යාඥයන් ඇතුළු භෞතිකවාදීන් අජිත කේශකම්බලට සම කරන විට සඳහන් කළ 'එම කරුණෙහි දී' යන්න හොර රහසේ ම හළා දමා සැම්සන් මහතා කරන තර්කවල වංචනිකභාවය වටහා ගැනීම විදුසර පාඨකයන්ට අපහසු නො වේ.
පසුගිය ලිපියක දී මා පෙන්වා දුන්නේ ෂෝන් කාල්සන් දත්ත රැස් කිරීමෙන් පසු විෂ්ලේෂණ ක්‍රමවේදය වංචනිකව වෙනස් කොට ඒ බව තම පත්‍රිකාවේ තමන් ම සටහන් කොට තිබිය දී කිසිත් මතක නැති අහිංසක ළදරුවකු මෙන් පෙනී සිටිමින් තම වරද, එම වරද නිවරද කළ Ertel වෙත පැවරූ බවයි. එබඳු 'තක්කඩිකමක්' කරන මුත් කාල්සන් සැම්සන් මහතා මෙන් පත්‍රිකා පළවූ ප්‍රකාශන ගැන විහිළු කතා කියමින් විවේචනය මඟ හරින්නේ නැත. Ertelගේ විවේචනයට විධිමත් පිළිතුරක් ළඟ දී ම දෙන බව කියන කාල්සන් 2009 සිට මේ දක්වා ම එවැනි කිසිවක් ලිවීමට අපොහොසත් වී ඇත. තමාගේ වැරදි වංචනිකව අනුන් පිට පැටවීමේ කාල්සන්ගේ කපටි කලාව නම් සැම්සන් මහතා ගියවර ලිපියේ හොඳින් ම අනුගමනය කර ඇත. මා සවිස්තරව පෙන්වා දී ඇති අයුරින් නැවත නැවතත් වචන විකෘති කරමින්, මූලාශ්‍ර විකෘති කරමින්, වැදගත් වචන හළමින්, අසන දේට පිළිතුරු නො දෙමින් ලිපි ලියන සැම්සන් මහතා පසුගියවර ලිපියේත් එසේ ම කරන අතරතුර වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්නකු මෙන් ඒ චෝදනා මවෙත එල්ල කිරීමට නිරර්ථක උත්සාහයක් දරා ඇත. ඊට උදාහරණ සැපයීමට ගොස් ඒ මහතා වීදුරු ගෙය ද බිඳ දමා පොළොවට සමතලා කරගෙන ඇත.

ඔහු පිළිගත්තේ 'සූර්ය කේන්ද්‍රවාදය මෙන් ම පෘථිවි කේන්ද්‍රවාදය ද නිවැරදි ප්‍රතිඵල ලබා දෙයි' යන්නක් නො වන බවත් නිවැරදි ප්‍රතිඵල යන්නට පළමුව 'ග්‍රහලෝකවල සාපේක්ෂ චලිත සමීකරණ ලබා ගැනීම සම්බන්ධයෙන්' යන්න එක් විය යුතු බව ය. මා හළා දමා ඇති සැම්සන් මහතාගේ 'වැදගත් වචන' මේවාලු. දැන් මෙයින් කියැවෙන්නේ මා දැක්වූ ප්‍රකාශය වැරදි බවත් එය ඉහත වචන එක් වීමෙන් නිවැරදි විය යුතු බවත් ය. එනම් මා දැක්වූ ප්‍රකාශය නිවැරදි වන්නේ ග්‍රහලෝකවල සාපේක්ෂ චලිතය ලබා ගැනීම සම්බන්ධයෙන් පමණි. මෙයින් නිගමනය වන්නේ සැම්සන් මහතාට අනුව ග්‍රහලෝකවල සාපේක්ෂ චලිත සමීකරණ ලබා ගැනීම නොවන සමහර වෙනත් කටයුතුවල දී සූර්යකේන්ද්‍රවාදයත් පෘථිවි කේන්ද්‍රවාදයත් යන දෙකෙන් ම එක සේ නිවැරදි ප්‍රතිඵල නො ලැබෙන බව ය. ග්‍රහලෝකවල සාපේක්ෂ චලිත සමීකරණ ලබා ගැනීම නොවන මෙම වාද දෙකෙන් සමාන නිවැරදිතාවකින් ප්‍රතිඵල ලබා නො දෙන එක් අවස්ථාවකට හෝ උදාහරණයක් ලබා දෙන ලෙස අභියෝග කරමි. මා වැදගත් වචන හළන බවට දී ඇති මේ එක ම උදාහරණයෙන් පසු සැම්සන් මහතා කියන්නේ 'ඔහු වෙනත් තර්ක ද බිඳ දමන්නේ මේ අපූරු අකාරයෙන් (වචන හළමින් හෝ වැදගත් කරුණු සඟවමින්) විය යුතු ය'  බවයි.   '...අපූරු අකාරයෙන් ය.' යනුවෙන් ස්ථිරව නො කියා '....අපූරු ආකාරයෙන් විය යුතු ය.' යැයි අවිනිශ්චිතභාවයෙන් යුතුව මෙය ප්‍රකාශ කරන්නේ තමා ප්‍රකාශ කරන්නේ කුමන විලම්භීතයක් දැයි සැම්සන් මහතාට ම නො තේරෙන බැවින් විය යුතු ය.
මීළඟට ඔහු ඉදිරිපත් කළ ගුත්තිලයේ කවියකට මා පිළිතුරු නොදුන්නේ යැයි කරන විහිළුවට කෙසේ සිනහ විය යුතු දැයි මම නො දනිමි. එම කවියේ සතර මහද්වීපය 'එකවිට' දුටු බවක් සඳහන් නොවන අතර පොළොව වටා භ්‍රමණය වී දෙව්ලොව ගියේ නම් සතර මහද්වීප බලා ගැනීමට ගුත්තිල පඬිතුමාට හැකි ය. මීට පොළොව පැතලි විය යුතු නො වේ. මිලින්ද ප්‍රශ්නයෙන් මෙන් ම සූර්ය සිද්ධාන්තයෙන් ද උපුටා ගනිමින් මීට පිළිතුරු දුන් බව පාඨකයන්ට හොඳින් මතක ඇතුවාට සැක නැත. එහෙත් විකිපීඩියා ලිපියක බෞද්ධ මූලාශ්‍ර ගණනාවක් ඇසුරෙන් බෞද්ධයන්ට අනුව පොළොව පැතලි බව දක්වා ඇතැයි කියන සැම්සන් මහතා නම් අදාළ මූලාශ්‍ර ලැයිස්තුව සටහන් කොට අදාළ ලිපියේ සබැඳිය ලබා දෙන මෙන් කළ අභියෝගයෙන් හොර රහසේ පැන ගොස් ඇත. ස්ටීවන්ස් හෝකිංගේ ප්‍රකාශයකට පිළිතුරු නොදුන්නේ යැයි අපට චෝදනා කරන සැම්සන් මහතාට අමතක වී ඇත්තේ එම ප්‍රකාශයට මා පමණක් නොව මුල දී සංවාදයේ යෙදී සිටි දිලුම් සෙනවිරත්න මහතා ද පිළිතුරු දුන් බවයි. එහෙත් අප හෝකිංගෙන් උපුටා දැක්වූ ප්‍රකාශවලින් හොර රහසේ පැනගොස් ඇති සැම්සන් මහතා දැන්වත් ඊට පිළිතුරු දෙන්නේ නම් යහපත් ය. සැම්සන් මහතා මේවන විට කරුණු රහිත අවලාද හා මැසිවිලි ගොන්නක් පිළිතුරක් ලෙස නම් කොට පළකිරීමට පටන්ගෙන ඇති බැවින් සැම්සන් මහතා විවාදයේ දී හොර රහසේ මඟ හැර ගිය තර්ක හා අභියෝග ගැන ලබන වාරයේ දී සමාලෝචනයක් කරමි. පසුගිය වාරයේ පොරොන්දු වූ ලෙස මෙවර මා යුරෝපයේ ගුප්ත විද්‍යාවේ ඇති වූ පිබිදීම හා මර්දනය ගැන විස්තර ඔබ හමුවට ගෙන එමි.

යුරෝපයේ පැවති මධ්‍යකාලීන වැඩවසම් යුගය නිමාවී පුනරුදය ඇරඹුණු වසර ලෙස සලකන්නේ කොන්ස්තන්තිනෝපල් (ඉස්තාන්බුල්) නගරය තුර්කියට යටත් වූ 1453 වසරයි. පැරණි ග්‍රීක රෝම කෘති එක් රැස් කොට තිබූ මහා පුස්තකාලය පැවතුණේ එහි ය. මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් එම පොත් පත් රැකගැනීමට එම පොත් යුරෝපයේ උතුරට ගෙන යෑමට පූජකයෝ කටයුතු කළ හ. මෙකල කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විද්‍යාල ඇති වෙමින් පැවතුණු අතර ඒවාට මෙම ග්‍රීක රෝම කෘති ගෙන යන ලද අතර පැරණි දැනුම ගවේෂණය කිරීමේ කුතුහලයෙන් ඇලලුණු ශිෂ්‍යයෝ එම පොත් අධ්‍යයනය කළ හ. මෙසේ උතුරට ගෙන ගියේ ග්‍රීක රෝම පොත් පත් පමණක් නො වේ. අරාබි පොත පත ද, කබල්ලාහ් හර්මෙටික් වැනි ගුප්ත විද්‍යාවල පොත පත ද ඇතැම් ඉන්දීය පොත පත ද මෙලෙස උතුරු යුරෝපයට ගෙන යන ලදී. එමෙන් ම මේ යුගයට තරමක් පෙර සිට පවා මුස්ලිම් විද්වතුන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට ගිය යුරෝපීය ශිෂ්‍යයෝ වූ හ. මේ කාලයට සියවස් කීපයකට පෙර ඉබන් සිනා නමින් මුස්ලිම් උගතෙක් විය. ඔහු ප්ලේටෝගේ දර්ශනය ඉස්ලාම් ආගම සමඟ බද්ධ කෙරුණු දර්ශනවාදයක් නිර්මාණය කළේ ය. මෙවන් නව ප්ලේටෝනික ඉස්ලාම් දාර්ශනිකයෝ මූලික මට්ටමේ ඉස්ලාමික විද්‍යාවක් නිර්මාණය කොට තිබුණි. අල් ඝසාලි නම් තවත් ඉස්ලාමික දාර්ශනිකයකු මෙම දර්ශනයට එරෙහි වෙමින් ඉතා තීව්‍රව මත පළ කළ අතර බොහෝ ඉතිහාසඥයන්ට අනුව නබිතුමාට පසුව පහළ වූ වඩාත් බලපෑම්කාරී ඉස්ලාම් දාර්ශනිකයා ඔහු ය. 1453 වන විටත් ඉස්ලාම් ආගමේ බලවත්ව පැවතුණේ අල් ඝසාලිගේ කතිකාවයි. ඊට සියවස් තුනකට පෙර සිටි Ibn Rushd නම් තවත් ඉස්ලාමික දාර්ශනිකයකු ගසාලි විවේචනය කරමින් ප්ලේටෝ ඇරිස්ටෝටල්ගේ් මතවාද නැවත ඉස්මතු කළේ ය. යුරෝපීයයන් ද එකල බලවත්ව පැවති ඉස්ලාම් දර්ශනයට අභියෝග කළ Ibn Rushdට ආකර්ෂණය වූ අතර ඔහු විසින් ඉතා අගය කිරීමට ලක් වූ ඇරිස්ටෝටල්ගේ ලේඛන කියවීමට උනන්දු වූ හ. ඇරිස්ටෝටලීය ඉගැන්වීම් ජනප්‍රිය වී කතෝලික පල්ලියට ද බද්ධ වූ අතර තෝමස් ඇක්වයිනාස් දේවගැතිවරයා ඇතුළු පිරිස්වල බලපෑම හමුවේ පැතැලි පොළොව ආදී මතවාද හැර දමමින් ගෝලාකාර පොළොවත් පෘථිවි කේන්ද්‍රවාදයත් ඇරිස්ටෝටලියානු අවකාශ කාලයත් සාදරයෙන් පිළිගැනිණි. එතෙක් පැවති බයිබල් අර්ථකථන ද සංශෝධනය කොට ඇරිස්ටෝටලියානු මතයට අනුගත කෙරුණු අතර එහි දී ඇතිවුණු විවිධ මතවාද ඇසුරෙන් දේවධර්ම නිකායන් ඇති විය. ඉබන් සිනාගේ හා Ibn Rushdගේ නම් ඇවිසෙන්නා හා ඇවරෝස් ලෙස ලතින්කරණය කොට ඉස්ලාමික මූල සඟවා දමන ලදී. මේ ඇරිස්ටෝටලියානු ආධිපත්‍යයෙන් පිටස්තරව ඇවරෝස්ගේ දර්ශනයේ තිබූ අරාබි ජ්‍යෝතිෂ්‍යයත් තවද කබල්ලාහ් pagan ඇල්කෙමි හා හර්මෙටික් යන ගුප්ත විද්‍යාත් යුරොපයේ ජනප්‍රිය වන්නට විය. ඇක්වයිනාස් දේවගැතිවරයා හර්මෙටික් පිළිබඳව උනන්දු වුව ද, සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලියානු දර්ශනය හා මෙම ගුප්ත විද්‍යා හැදෑරීමට යොමු වුණේ වෙනස් පිරිස් ය. මුලින් ම ජ්‍යෝතිෂ්‍යයත් තාරකා විද්‍යාවත් වෙන් කෙරුණේ සමහර ඉස්ලාමික දාර්ශනිකයන් අතිනි. දෙවියන්ට අයත් අනාගත කථනය මිනිසුන්ට තහනම් බවත් එම නිසා එය සාතන්ගේ ශාස්ත්‍රයක් බවටත් මත පල විය. එහෙත් එහි දී ආ ප්‍රතිතර්කයක් වූයේ රාමසාන් දවස දැනගැනීමට ආකාශ වස්තු සම්බන්ධ ගණනයන් ප්‍රයෝජනවත් බව ය. මේ මත පිහිටමින් ජ්‍යෝතිෂ්‍ය හා තාරකා විද්‍යාව වෙන් කරන ලදී. තාරකා විද්‍යාව ප්‍රයෝජනවත් බවත් ජ්‍යෝතිෂ්‍ය යක්ෂයාගේ බවත් මත පළ විය.

මෙසේ යුරෝපය තුළ ඇරිස්ටෝටලියානු දර්ශනය හා ගුප්ත විද්‍යා ජනප්‍රිය වන අතරතුරේ කතෝලික පල්ලියට විරුද්ධව ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාර ඇති විය. ලූතරියානු කැල්විනියානු ව්‍යාපාර ඒ අතර ප්‍රමුඛ ය. මීට පෙර මා දැක්වූ ලෙස ඇමරිකානු මානවවාදී සංගමයට අනුව මෙම ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාර වර්තමාන අරුතින් ද මානවවාදී වේ. කතෝලික පල්ලියෙන් මුල් කාලයේ ගුප්ත විද්‍යා සඳහා එතරම් විරෝධයක් එල්ල නො වුණ ද ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරවලින් මේවා සාතන්ගේ ශාස්ත්‍ර යැයි ප්‍රබල විරෝධයක් එල්ල විය. මේ යුගය වන විට සමාජයේ ප්‍රභූ පුද්ගලයින් ද ගුප්ත විද්‍යා හැදෑරූ අතර මීට එරෙහිව මායාකාරියන් දඩයම (Witch Hunt) ලෙස ගුප්ත විද්‍යාවල යෙදෙන්නන් සමූල ඝාතනය කිරීමට ප්‍රතිසංස්කරණවාදීන් පෙළඹුණි. මේ සඳහා පණ පිටින් පිළිස්සීම පපුව මත බරැති ගල් තබා තෙරපා මරා දැමීම එල්ලා මැරීම භාවිත විය. නවකතා හා චිත්‍රපටිවල මායාකාරියන් දඩයම් කිරීම මධ්‍යකාලීන යුගයේ කතෝලික පල්ලිය අතින් සිදු වූ බව සාවද්‍යව දැක්වුව ද එය අසත්‍ය බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ( Gaskill, Malcolm Witchcraft, a very short introduction, Oxford University Press, 2010 ) පසුකාලීනව කතෝලික පල්ලිය ද ගුප්ත විද්‍යාවලට තරමක විරෝධයක් එල්ල කරන ලද මුත් මායාකාරියන් දඩයම් කිරීම් නම් ඔවුන් අතින් සිදු වී නැත. ඊනියා මානවවාදය ආරම්භ වී ඇත්තේ ගිනිජාලා හා ලේ ගංගා මතින් බව මතක තබා ගත යුතු ය. 

   එහෙත් පිටරටවල වත්මන් ඊනියා නිදහස් චින්තකයන් නම් මේ අතීතයෙන් වෙන් වීමට ඉමහත් වෙහෙසක් දරති. සැම්සන් මහතා කියන ඔවුන්ගේ IHEU සංගමයේ වෙබ් අඩවිය අනුව නිදහස් චින්තන දිනය ලෙස ඔවුන් හඳුන්වන ඔක්තෝබර් 12 වෙනිදා සැමරෙන්නේ ඇමරිකානු කොලනිවල සිදුවූ කුප්‍රකට මායාකාරියන් දඩයමක (Salem Witch Trial) අවසන් දිනයයි. මේ මායාකාරියන් දඩයම වැළැක්වීමට මැසචුසෙට්හි ආණ්ඩුකාරයා වූ විලියම් ෆිප්ස් ක්‍රියා කළේ ය. නිදහස් චින්තකයෝ ඔහු තම වීරයකු සේ සලකති. එහෙත් මේ මායාකාරියන් සමූලඝාතනය කළ අධිකරණය පිහිටුවීමට ආරම්භයේ ඔහු ද දායක වූ අතර මෙය නිමාවන විට විසි දෙනකු ඝාතනය කොට තිබුණි. තවත් දෙදෙනකු හිරගෙවල්වල ම මිය ගොස් තිබුණි. මොවුන් අතරින් විශාල ප්‍රමාණයක් කාන්තාවන් ය. මේ සිද්ධියට නිදහස් චින්තකයෝ විවිධ අර්ථකථන දෙති. සමහරුන්ට අනුව ෆිප්ස් ආණ්ඩුකාරයාට මුලින් 'කොන්ද පණ නොතිබුණු' අතර එනිසා ක්‍රිස්තියානි නිකායන් කියන කියන පරිදි ක්‍රියා කළත් පසුව සමූල ඝාතනය දැක ප්‍රකම්පනය වීමෙන් කශේරුකාව ඍජු වී මෙය නවත්වා තිබේ. සමහරුන්ට අනුව ආණ්ඩුකාරයා ලෙස ෆිප්ස්ට අකැමැත්තෙන් වුවත් මෙය කිරීමට සිදු වී ඇත. නිදහස් චින්තකයන් හොර රහසේ යට ගහන කරුණුවල ඇත්ත නැත්ත පෙනෙන්නේ සලෙම් මායාකාරි දඩයමේ චූදිත ලේඛනය ගත් විටයි. ෆිප්ස් ආණ්ඩුකාරයාගේ බිරිඳ මේරි ෆිප්ස් ද අවසානයේ මායාකාරියක සේ නම් කෙරී ඇත! ඇයට වරෙන්තුවක් ඒමට පෙර පිෆ්ස් ආණ්ඩුකාරයාට හදිසියේ ම නිදහස් චින්තනය හා මානවවාදය පහළ වූ බව හොඳින් ම පැහැදිලි ය. මෙසේ ලෙයින් කඳුලින් තෙත් වූ, ඊනියා නිදහස් චින්තකයන් විසින් යටපත් කෙරෙන බිහිසුණු ඉතිහාසය පොළොව යට වළලමින් මානවවාදීන් හා නිදහස් චින්තකයන් ද සාමාන්‍ය මිනිසුන් බව පෙන්වීම සඳහා වර්තමාන විදේශීය නිදහස් චින්තකයෝ නිදහස් චින්තන දිනය භාවිත කරන බව කියති. එහෙත් ලංකාවේ ඊනියා මානවවාදී හේතුවාදියෝ නම් යෑමට තැත් කරන්නේ රුධිර ගංගා ගැලූ ඒ අතීතයට ය. මීට උදාහරණයක් මෙලෙස දක්වමි. සැම්සන් මහතා ජ්‍යෝතිෂ්‍ය ගැන ලියූ පොත අගයමින් හේතුවාදියකු සති අන්ත විකල්ප පුවත්පතක ලිපියක් පළ කළේ ය. ප්‍රශ්නය එම ලිපිය නො වේ. ඒ ලිපිය තම බ්ලොග් අඩිවියට එක් කරන ලේඛකයා පසුව ලියමියි අලුතින් එක් කරන ආවේගශීලී ප්‍රකෝපකාරී සටහන ය. සැම්සන් මහතාට මෙය තහවුරු කර ගැනීම අපහසු නො වේ. ලංකාවේ මානවවාදීන්ගේ, නිදහස් චින්තකයන්ගේ තරම මින් පෙනේ.

කොපර්නිකස් තමාගේ සූර්ය කේන්ද්‍රවාදය ලබා ගත්තේ ඔහුට පෙර පොළොව චලනය වන බව කී පයිතගරස්ගෙන් හා ඇරිස්ටාකස්ගෙනි. එහෙත් මෙම පයිතගරස්ගේ මතය ඒ වන විට ඇරිස්ටෝටල්ගේ ප්‍රබල තර්ක කිහිපයක් හමුවේ පරාජය වී පැවතිණි. කොපර්නිකස් ඇරිස්ටෝටල්ට පිළිතුරු සෙවූයේ හර්මෙටික ගුප්ත විද්‍යාව තුළිනි.  කතෝලික පල්ලිය කොපර්නිකස්ව කුතුහලයෙන් යුතුව පිළිගත් අතර හත්වෙනි ක්ලෙමන්ට් පාප්තුමා තමන්ට මුලින් ම මෙම මතය පැවසූ විඩ්මැන්ස්ටෙටර්ට වටිනා ත්‍යාග ලබා දී කොපර්නිකස්ව දේශන මාලාවක් සඳහා රෝමයට කැඳවූයේ ය. කොපර්නිකස් සිය වැදගත් ම කෘතිය පිදුවේ තුන්වෙනි පෝල් පාප්තුමාට ය. එය ප්‍රකාශයට පත් වූයේ කොපර්නිකස්ගේ මරණින් පසු ය. කොපර්නිකස්ට විරෝධතා එල්ල වූයේ වර්තමාන මානවවාදීන් ද මානවවාදී යැයි කියන ප්‍රතිසංස්කරණවාදීන්ගෙනි. 1582 දී ග්‍රෙගරි පාප්තුමා කොපර්නිකස්ගේ ගණනයන් මත නූතන දින දර්ශනය ගොඩනැඟූ විට මානවවාදී ප්‍රතිසංස්කරණවාදීහු කොපර්නිකස් ජ්‍යෝතිෂ්‍යවේදියකු යැයි කියමින් සෑහෙන කාලයක් පැරණි සාවද්‍ය දින දර්ශනය ම භාවිත කළ හ.

ජියොර්ඩානෝ බෘනෝ යනු මීට පසු යුගයේ සිටි ගුප්ත විද්‍යාඥයෙකි. අතීත හර්මෙටික ගුප්ත විද්‍යාඥයකු වූ Ficino ගේ Solar Magic පිළිබඳව හැදෑරූ ඔහු එහි කියැවෙන අදහස් අනුව සූර්යයා තවත් තරුවක් ලෙසත් අනෙක් තරු වටා ද ග්‍රහලෝක ඇති බවත් කීවේ ය. විශ්වයේ නිශ්චිත කේන්ද්‍රයක් නැති බවත් සූර්ය කේන්ද්‍රවාදය ගුප්ත කර්ම සඳහා වඩා වැදගත් බවත් ඔහු කීවේ ය. පුනර්භවය ද පිළිගත්තේ ය. ඍජුව ම ගුප්ත විද්‍යාඥයකු වූ බෘනෝ කතෝලික විශ්වාස පූර්ණව බැහැර කරමින් ගුප්ත විද්‍යා හා පුනර්භවය පිළිගැනීම හේතුවෙන් උරණ වූ කතෝලික පල්ලිය එකල සිටි ගුප්ත විද්‍යා විරෝධීන්ගේ සහය ලබමින් බෘනෝ පණපිටින් පිළිස්සී ය. මෙයින් පසු ගුප්ත විද්‍යා උගතුන්ට තිබූ රැකවරණය අඩු වූයේ කතෝලික පල්ලියේ මෙන් ම ප්‍රතිසංස්කරණවාදීන්ගෙන් ද පීඩනයට ලක් වීමට සිදු වූ බැවිනි.

මීළඟට අපට හමුවන ප්‍රකට ගුප්ත විද්‍යාඥයා වන්නේ අයිසෙක් නිවුටන් ය. ගුප්ත විද්‍යාව තර්ජනයට ලක්වූ යුගයක සිටි ඔහු මියයන තුරා ම තමා ගුප්ත විද්‍යාඥයකු බව සඟවාගෙන සිටියේ ය. ඔහුගේ භෞතික විද්‍යාව ද ගුප්ත විද්‍යා චෝදනාවලට ලක් වූ බව සැබෑ ය. එහෙත් ඔහු ඍජුව ම ගුප්ත විද්‍යාඥයකු බව ලෝකය දැන ගත්තේ මරණින් බොහෝ කලකට පසුව ලියවිලි පරීක්ෂා කරන විටයි. ඔහු හෙන්රි මෝ නම් ගුප්ත ශාස්ත්‍රඥයා සමඟ හර්මෙටික ගුප්ත විද්‍යාව ගැන පරීක්ෂණ කර ඇති අතර ඇල්කෙමි තහනම් යුගයක ඇල්කෙමි පරීක්ෂණ කොට පළ නො කළ පොතක් ද ලීවේ ය. සොලමන් රජුගේ මන්දිරය ගැන ද මත පළ කළේ ය. නිවුටන් හේතුවාදියෙකි. දාර්ශනික හේතුවාදීන්ට ගුප්ත විද්‍යා සමඟ ගැටීමක් තිබුණේ නැත. නිවුටන් ගුරුත්වාකර්ෂණය ඇතුළු තම ප්‍රවාද බොහෝමයක් ඉදිරිපත් කළේ ද හර්මෙටික ගුප්ත විද්‍යාව ඇසුරෙනි. නිවුටන් සිය ලේඛනවල වරක් සඳහන් කොට තිබිණේ තම විද්‍යාවට වඩා තම ගුප්ත විද්‍යාව වැදගත් බවයි.

මෙසේ ගුප්ත විද්‍යාවට, ජ්‍යෝතිෂ්‍යට පමණක් නොව බටහිර විද්‍යාවට ද සාහසික ලෙස විරුද්ධ වූ ප්‍රතිසංස්කරණවාදීන් ඇතුළු පුනරුද මානවවාදීන් නිසා ගුප්ත විද්‍යාව සමාජයෙන් සැඟවී ගිය අතර විද්‍යාඥයෝ ද පුනර්භවය ආදී මාතෘකාවලට ප්‍රතිරෝධයක් දක්වමින් තමන් යක්ෂයාගේ ශාස්ත්‍රඥයන් නොවන බව පෙන්වීමට වෙර දැරූ හ. සැම්සන් මහතා කියන ලේඛනවලින් පෙනෙන්නේ එහි පිළිබිඹුවකි. අවසානයේ ඇතැම් ප්‍රොතෙස්තන්තවාදීන් නැවත ගුප්ත විද්‍යා හා පුනර්භවය ගැන උනන්දු වුවද ඔවුන්ට එතරම් සාර්ථක විය හැකි වූයේ නැත.
කොපර්නිකස්, බෘනෝ හා නිවුටන් ගැන මේ මා දැක්වූයේ ඉතා සුළු විස්තරයකි. බෘනෝගේ හා නිවුටන්ගේ ගුප්ත විද්‍යා දායකත්වය ගැන ඔවුන්ගේ ම ලේඛන ඇසුරෙන් වැඩි දුර විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

ආශ්‍රිත ග්‍රන්ථ

Repcheck, Jack. Copernicus' secret: How the scientific revolution began. Simon and Schuster, 2007.

Bruno, Giordano, and Robert De Lucca. Giordano Bruno: Cause, Principle and Unity: And Essays on Magic.
Cambridge University Press, 1998.

Dobbs, Betty Jo Teeter. The foundations of Newton's alchemy. CUP Archive, 1983.

Yates, Frances A. Giordano Bruno & Hermetic Trad. Routledge, 2014.

Feyerabend, Paul. Against method. Verso, 1993.
Keynes, John Maynard. "Newton, the man." Essays in biography 10 (1947).

White, Michael. "The Pope and the Heretic a True Story of Courage and Murder." (2002).

             - තමලු මලිත්ත පියදිගම 

ගැලීලියෝ වඩදිය හා හඳ




ගැලීලියෝ ගැලීලී ගැන ඔබ අසා ඇති. අද මා සාකච්චා කරන්නේ පොළොව හිරු වටා යන්නේ ය යන මතය ඒත්තු ගැන්වීමේ දී ඔහුට සිදු වූ දේ හා සම්බන්ධ රසවත් සිදුවීම් ගැන. පෙර ලිපියකත් කී පරිදි මේ පොළොව හිරු වටා යන්නේ ය යන අදහස තව ම කිසිවකු ඔප්පු කර නැහැ. ඔප්පු නො කළ දෙයක් ඒත්තු ගන්වන්නට ගැලීලියෝ සමත් වූයේ කෙසේ ද යන්න අපි විමසා බලමු.

පොළොව නිශ්චල බව අතීතයේ සිට මිනිසුන් සිතා සිටි දෙයකි. ග්‍රීසියේ පයිතගරස් මුල් වරට පොළොව චලනය වන්නේ ය යැයි මත පළකළේ ය. පයිතගරස්ට අනුව විශ්වයේ සියල්ල විශ්ව කේන්ද්‍රයේ ඇති හෙසියාඩ් නම් ගිනි මැලය වටා ගමන් කරයි. ඇරිස්ටාකස් මේ මතය මත පිහිටා මුලින් ම තරමක් විධිමත් සංකල්පයක් ඉදිරිපත් කළේ ය.

පෘථිවිය ගෝලාකාර බව පෙන්වූ ඇරිස්ටෝටල්ට පෘථිවිය චලනය වන්නේ ය යන්න සත්‍ය ලෙස පෙනුණේ නෑ. ඔහු පයිතගරස්ට හා ඇරිස්ටාකස්ට විරුද්ධව ප්‍රබල තර්ක ඉදිරිපත් කරමින් පෘථිවි කේන්ද්‍රවාදය සනාථ කළේ ය.
පසුව මධ්‍යකාලීන යුගයේ මේ සියල්ල යටපත් වූ අතර නැවත ග්‍රීක දාර්ශනිකයන් අධ්‍යයනය කිරීම ඇරඹුණේ පුනරුද යුගයේ ය. තෝමස් ඇක්වයිනාස් සාන්තුවරයා කතෝලික පල්ලියේ ඉගැන්වීමට ඇරිස්ටෝටල්ගේ හා ටොලමිගේ පෘථිවි කේන්ද්‍රවාදය හා ලෝකය ගෝලාකාර ය යන මතවාද එක් කළේ ය.

මේ අතර නිකලස් කොපර්නිකස් නම් විද්‍යාඥයා සූර්ය කේන්ද්‍රවාදය සත්‍ය විය හැකි යැයි කියමින් ඒ සඳහා දළ ආකෘතියක් ද සැකසුවේ ය. ඇරිස්ටෝටල්ගේ තර්ක හමුවේ බිඳ වැටී මිථ්‍යාවක් ලෙස සැලකුණු පෘථිවිය චලනය වන්නේ ය යන මතය නැවත ඉදිරිපත් කිරීම එකල සිටි විද්‍යාඥයින්ගේ මෙන් ම සාමාන්‍ය ජනතාවගේ ද උපහාසයට ලක් විය. කතෝලික සභාවට එරෙහිව ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරය ඇරඹූ මාටින් ලූතර් පවා (මාටින් ලූතර් කිං නො වේ.) කොපර්නිකස් ගැන කීවේ මෙවැන්නකි.
"ඕනෑ ම පොඩි ළමයෙක්ට වුණත් තේරෙනවා පොළොව හෙල්ලෙන්නේ නෑ ඉර තමයි පොළොව වටේ යන්නේ කියලා. අර පිස්සා කියනවා පොළොව ඉර වටේ යනවා කියලා"
පයිතගරස්ගේ බිඳ වැටුණු අදහස සමාජගත කිරීම ගැන බෙලාමින් කාදිනල්වරයා මෙසේ කීවේ ය.
"පැහැදිලි භෞතික පැහැදිලි කිරීමකින් මිස සූර්ය කේන්ද්‍රවාදය අපට ඒත්තු ගැන්විය හැකි නො වේ."
මේ අභියෝගය සඳහා කිසිදු පිළිතුරක් නො වී ය.
මෙසේ තිබිය දී ගැලීලියෝ ගැලීලි කොපර්නිකස්ගේ මතය තෝරාගත්තේ පයිතගරස්ට ඇරිස්ටෝටල්ගේ තර්කවලට දීමට පිළිතුරු තිබූ බව ඔහුට නොපෙනීම ගැන තමා පුදුම වන බව කියමිනි. බෙලාමින් කාදිනල්වරයා කළ සූර්ය කේන්ද්‍රවාදය පරීක්ෂණාත්මකව පෙන්වන්න යන අභියෝගය ගැලීලියෝ ගැලීලි භාර ගත්තේ ය.
ඔහු කීවේ වඩදිය ඇතිවෙන්නේ පෘථිවිය භ්‍රමණය වීම නිසා බව ය. ඔහු ඒ අදහස මත පිහිටා ඒ අනුව ආද්‍රියාතික සයුරේ වඩදිය ගැන තරමක් සාර්ථකව පුරෝකතනය කළේ ය.

මෙය ඇසුණු විට ඔබ පුදුම වීමට පිළිවන. "වඩදිය බාදිය ඇතිවෙන්නේ සඳ නිසා නොවෙයි ද?" ඇත්තට ම ගැලීලියෝගේ මේ පිළිතුර ඉතා අසාර්ථකයි. ගැලීලියෝ සත්‍ය නම් දවසකට වඩදිය ඇතිවිය යුත්තේ එක් වරයි. ඒත් වැනීසියට දවසකට වඩදිය දෙකක් ඇතිවේ. මේ සියුම් කරුණ ගැලීලියෝට මඟ හැරුණි. මෙය හෙළිදරව් වූ පසු ගැලීලියෝ විද්වත් ප්‍රජාව අතර මිථ්‍යා මතධාරියකු ලෙස ප්‍රතික්ෂේප වී ගියේ ය. අනාවැකියක් වැරදීම යනු 'බෙල්ල කැපී යන දෙයකි.' වඩදිය ඇතිවන්නේ සඳ නිසා බව කීවේ කෙප්ලර් ය. (අරාබි ගණිතඥයන් මේ බව කීවේ සියවස් කීපෙකට කලින්.) ගැලීලියෝ මරණයට පත්වන තුරු ම කෙප්ලර්ගේ වඩදිය ඇතිවන්නේ සඳ නිසා ය යන්න ප්‍රතික්ෂේප කළේ ය.

මෙහිදී සඳහන් කළ යුත්තේ පාසල්වල උගන්වන දෙයින් බොහෝ දෙනා වඩදිය බාදිය ඇති වීම ගැන හිතට ගන්නේ වැරදි චිත්‍රයකි. ඔවුන් සිතන්නේ හඳේ ගුරුත්වය නිසා සමුදුරු ජලය ඉහළට ඇදගැනීමෙන් ජලය ඉස්සීමකට ලක්වී වඩදිය ඇතිවන බවයි. බොහෝ දෙනාට අමතක වන්නේ හඳට මුහුණලා ඇති පැත්තේ මෙන් ම හඳට ප්‍රතිවිරුද්ධ පැත්තේ ද ඇත්තේ වඩදිය බව ය. හඳට විරුද්ධ පැත්තේ වතුර එසවෙන්නේ හඳෙන් ඇද ගැනීම නිසා ද? දවසට දෙවරක් වඩදිය ඇතිවන්නේ මෙසේ සඳුට විරුද්ධ පැත්තේත් මුහුණලා ඇති පැත්තේත් දෙකෙහි ම ජලය ඉස්සී ඇති බැවිනි.  බොහෝ දෙනාට මැවී ඇති චිත්‍රයට වඩා තාරකා විද්‍යාවේ හැසිරීම් අතිශය වෙනස් ය. තාරකා විද්‍යාව ගැන කරුණු දක්වන ඒ ගැන හැදෑරීමක් නො කළ ලංකාවේ ඇතැම් හේතුවාදීන්ගෙන් ද ප්‍රවේසම් විය යුතු ය. කිසිවකු කියන දේ සොයා නො බලා විශ්වාස කළ යුතු නො වේ. සූර්යයාගේ බලපෑම නිසා ද කුඩා ප්‍රමාණයෙන් වඩදිය ඇති වේ. සූර්යයාට වඩා චන්ද්‍රයා මීට ප්‍රබලව බලපාන්නේ චන්ද්‍රයා පොළොවට ළඟින් පවතින නිසා පොළොව මතට දැනෙන චන්ද්‍රයාගේ ගුරුත්ව බලය පොළොව මතට දැනෙන සූර්යයාගේ ගුරුත්ව බලයට වඩා අඩු නිසා ය යන නිතර ඇසෙන කරුණ අසත්‍යයකි. පොළොව මත දී චන්ද්‍ර ගුරුත්වාකර්ෂණය මෙන් 179 ගුණයක් පමණ ප්‍රබල සූර්ය ගුරුත්වාකර්ෂණ බලයක් භෞතික විද්‍යාව අනුව පොළොව මතට දැනේ. සූර්යයා හා චන්ද්‍රයා එක ම පැත්තේ තිබුණ ද පොළොව දෙපැත්තේ ම වඩදිය ඇති වේ. වඩදිය බාදිය ඇති වීම බොහෝ දෙනා සිතන තරම් සරල නැත. දුරස්ථ ස්කන්ධවල බලපෑම ජනප්‍රිය මාධ්‍යවල ඇසෙන තරම් සරල නැත.

දැන් ගැලීලියෝ පරාජය වී කලක් ගත කළේ ය. ඉන්පසුව නැවතත් ඔහු පිටියට අවතීර්ණ වූයේ වෙනස් ප්‍රවේශයකිනි. මෙවර ඔහු පෘථිවි කේන්ද්‍රවාදයට පරීක්ෂණාත්මක සාක්ෂ්‍ය ඉදිරිපත් කිරීමට උත්සුක වූයේ නැත. රාත්‍රියේ අප පාරක ඇවිදින විට අප පිටුපසින් හෝ ඉදිරියෙන් ඇති සඳ අපේ වේගයෙන් ම ගමන් කරන්නාක් මෙන් පෙනේ. මෙය පෙන්වූ ගැලීලියෝ කීවේ අප දකින දේ මෙවැනි අප මුලා කරන සුලු දේ විය හැකි බැවින් දෘශ්‍යමාන සාක්ෂ්‍ය ලබා දීමට වඩා තර්ක බුද්ධියට තැන දිය යුතු බවයි. මෙවර ඔහු බෙලර්මින් කාදිනල්වරයාගේ අභියෝගය ප්‍රතික්ෂේප කරමින් භෞතික සාක්ෂ්‍ය දීම පසෙක තබා තර්ක මඟින් සූර්ය කේන්ද්‍රවාදය සුජාත කළේ ය. ඔහු තමාගේ නැවත පැමිණීම නම් කළේ "E pur si muove" (තවම එය -පොළොව- ගමන් කරයි යනුවෙනි.)
අභියෝගවලින් පැරදී නැවත ආ ගැලීලියෝගේ ඉරණම ගැන අමුතුවෙන් කිව යුතු නැත. මෙවර ඔහු බොහෝ උපහාසයට පත් විය. ධෛර්යය අත් හැරියේ ඔහු නො වේ. වරක් මාගිනී නම් විරුද්ධවාදියා ගැලීලියෝ ගැලීලිගේ දුරේක්ෂය ගැන මහා වැඩමුළුවක් පැවැත්වී ය. එහි දී විද්‍යාඥයින් එක් වී ගැලීලියෝගේ දුරේක්ෂය ගැන පරීක්ෂා කළ අතර එහිදී විද්‍යාඥයින්ට පෙනුණේ පොළොව මතුපිට ඇති දේ පිළිබඳ දුරේක්ෂය ඉතා යහපත් දර්ශන ලබා දුන්න ද අහස දෙස බැලූ විට එයින් පෙනුණේ තාරකා විද්‍යාවට පටහැනි කරුණු බව ය. මේවා පැහැදිලි කළ හැකි දැයි ගැලීලියෝගෙන් ඇසූ විට ඔහු දුර්මුඛ විය. තාරකා විද්‍යාඥයින් ඔහුගෙන් ඇසුවේ මෙවැනි විකෘති චිත්‍රයක් ලබා දෙන දුරේක්ෂයකින් බලා ඔහු ඉදිරිපත් කරන 'අමුතු ප්‍රතිඵල' පිළිගන්නේ කෙසේ ද යන්නයි. ගැලීලියෝට මීට පිළිතුරු නො විණි. ප්‍රසිද්ධියේ පැහැදිලිව පරාජය වූ ගැලීලියෝ ඉරිමා උදේ මාගිනීගේ නිවසින් පිටවූයේ මාගිනී සැපයූ අග්‍රගණ්‍ය කෑම වේලටවත් ස්තූති නො කරමිනි.
ගැලීලියෝ දුරේක්ෂ ගැන දැන ගත්තේ ලන්දේසි සෙල්ලම් බඩු විකුණන්නකුගෙනි. ගැලීලියෝ දුරේක්ෂයේ ක්‍රියාව පැහැදිලි කිරීමට සෑදූ වර්තනය පිළිබඳ ප්‍රවාදය ද අසාර්ථක විය. මෙසේ ගැලීලියෝට අභියෝග හමුවේ පරාජය අත්විය.

මුලින් ද සඳහන් කළ ඇරිස්ටෝටල් පයිතගරස්ට විරුද්ධව ඉදිරිපත් කළ මූලික තර්කය මෙසේ ය.
උස කුළුණක් මතට ගොස් බරැති වස්තුවක් අතහරින්න. පොළොව නිශ්චල නො වේ නම් වස්තුව පොළොවට වැටෙන තෙක් කාලය අතරතුර දී පොළොව චලනය වේ. එවිට වස්තුව වැටිය යුත්තේ හරියට ම කුළුණ පාමුලට නොව ඊට ඈතින් ය. එහෙත් එවැන්නක් සිදු නො වේ. වස්තුව කුළුණ පාමුළට ම වැටේ. මෙය වීමට නම් වස්තුව පොළොවට වැටිය යුත්තේ පොළොවට ඍජුකෝණීව නො පිහිටි මගක ය. වක්‍රාකාර මගක ය. එහෙත් වස්තුව වක්‍රාකාර මඟක ගමන් කරනු අපට නො පෙනේ. මෙවැන්නක් වන්නේ කෙසේ ද?

ගැලීලියෝ මීට පිළිතුරක් දුන්නේ ය. ඔහු කීවේ ඇත්තට ම වැටෙන්නේ වක්‍රාකාර මඟක වුණත් එය අපට නො පෙනෙන බවයි. තමාත් යම් චලිතයක කොටසක් නම් තමාට ඒ චලිතය දැකිය නො හැකි බව ගැලීලියෝ කීවේ ය. සාපේක්ෂ චලිත මූලධර්මය බිහි වුණේ එසේ ය. ගැලීලියෝ මීට ඉදිරිපත් කළ උදාහරණවල බොහෝ අඩුපාඩු ද තිබුණි. මේ පිළිතුර ඔප්පු කර අපට පෙන්වන්නැයි කළ අභියෝග ගැලීලියෝ මඟ හැරියේ සංවේදනවලට වඩා තර්ක බුද්ධිය වැදගත් බව කියමිනි. බුද්ධිවාදයේ (rationalism) නැගී ඒමට පාදක වූ ප්‍රධාන අවස්ථාවක් වූයේ මෙයයි.

ගැලීලියෝ මිය යන තුරු ම ග්‍රහලෝක ඉලිප්සවල ගමන් කරන බව ප්‍රතික්ෂේප කළේ ය. ආකාශ වස්තු ස්වභාවිකව ගමන් කරන්නේ වෘත්තවල ය යන පැරණි මතයේ ඔහු ද තදින් එල්බ ගෙන සිටියේ ය. ඔහුගේ සූර්යකේන්ද්‍රවාදය ද පෘථිවි කේන්ද්‍රවාදය මෙන් ම අපිචක්‍ර (වෘත්ත පථයක චලනය වන කුඩා වෘත්ත දිගේ ග්‍රහලෝක චලනය වේ යන්න) මත ගොඩනැඟුණු එකකි.
අභියෝග රැල්ලේ ගොදුරක් වූ ගැලීලියෝ පල්ලිය මඟින් නිවාස අඩස්සියට ලක් කිරීමෙන් පසු රෝගී වීමෙන් මිය ගියේ ය.
අද අපට මෙහි ප්‍රතිලෝමය දක්නට ලැබීම උත්ප්‍රාසවත් ය.
කිසිවකුත් ඔප්පු නො කළ සූර්ය කේන්ද්‍රවාදය පරම සත්‍ය සේ ඇදහීම දක්නට ලැබේ. අපට අවශ්‍ය ලෙස මේ පද්ධති දෙකෙන් කවරක් වුවත් යොදා ගත හැකි බව නූතන මතයයි.

           - තමලු මලිත්ත පියදිගම 



අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි