Showing posts with label Philosophy. Show all posts
Showing posts with label Philosophy. Show all posts

විසංවාදයට විකල්ප පැවැත්ම Alterity to Contradiction


විසංවාදයට විකල්ප පැවැත්ම         

 - තමලු මලිත්ත පියදිගම



අනිවාර්ය වූ දෙයක් (necessary entity) ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදය පරම වශයෙන් සිදු නොහැකි යැයි ප්‍රතික්ෂේප කොට දැමිය හැකි ද?

මෙයසූගේ දර්ශනය අනුව ආපාතිකත්වය (contingency) (ඇතැම් විට සත්‍ය වීමටත් තවත් විටක අසත්‍ය වීමටත් ඇති හැකියාව) පරමවශයෙන් අනිවාර්යය ය. මේ නිසා සියලු විට පැවැතිය යුතු දෙයක් තිබිය නො හැකි ය. මේ අනිවාර්ය වූ දෙයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමයි.

විසංවාදී (contradiction) දෙයක් අනිවාර්ය දෙයක් වේ යැයි කිව හැකි නම් අනිවාර්ය දේ ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදී දේ ප්‍රතික්ෂේප කළ හැකි ය.

විසංවාදී දෙයක් තවත් දෙයකට පරිවර්තනය විය නො හැකි ද? එනම් විසංවාදී දෙයකට එහි නො වීම ලෙස වෙනත් දෙයක් නොපවතී ද?

1. යම් වස්තුවක් එක් ගති ගුණයකින් විසංවාදී වී තවත් ගති ගුණයකින් එසේ නො විය හැකි ය.

එවිට එම වස්තුවට මුල් ගති ගුණයේ පැවැත්ම හා නොපැවැත්ම දෙක ම තිබුණ ද දෙවනි ගති ගුණය එසේ නැති නිසා වෙනස් විය හැකි ය. වෙනෙකකට පරිවර්තනය විය හැකි ය.

එම නිසා විසංවාදී වස්තුවක් අනිවාර්ය නො වේ.

මෙවන් වස්තුවක් බැහැර කිරීමට මෙයසූට තර්කයක් නැත. ඔහු කියන්නේ මෙවන් ආකාර වස්තු ගැන සංගත අදහසක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි. පාර-සංගත තර්ක ශාස්ත්‍රය වස්තුවක් ගැන ප්‍රතිවිරුද්ධ ප්‍රස්තුත එකට පැවැත්ම පමණක් මිස එක ම වස්තුවේ ප්‍රතිවිරුද්ධ ගුණ තිබීමක් ගැන නොකියන බව ඔහු කියයි.

චතුස්කෝටිකය පිළිබඳ සාක්ච්ඡාව අත් හළ ද ක්වොන්ටම් භෞතික විද්‍යාව යනු සංගත වූත් විසංවාදී වූත් ප්‍රයෝජ්‍යතාවක් ඇති ආනුභවිකව පරීක්ෂා කර බැලිය හැකි පිළිතුරු ලබා දෙන එවන් පද්ධතියකි.

සාමාන්‍යයෙන් සම්භාවිතාව ආපතිකත්වය (contingency) සම්බන්ධ කතාවකි. වස්තුවකට යම් යම් අවස්ථා සමූහයකින් එක් අවස්ථාවක් ගත හැකි ය. ඒ සියලු අවස්ථා ගැනීමේ සම්භාවිතා තිබීම යනු එක ම වස්තුවේ වාර විශාල ගණනක් හෝ සමරූපී වස්තු විශාල ගණනක විවිධ අවස්ථා ආපතිකව ලබා ගන්නා අවස්ථාවල අනුපාතයි.

දැන් ක්වොන්ටම් භෞතිකය එසේ නො වේ. සඟල සිදුරු පරීක්ෂණයේ සිදුරු දෙක ම විවෘත විට ඒ ඒ සිදුරුවලින් යාමේ සම්භාවිතාව යනු ඉලෙක්ට්‍රෝන විශාල ගණනකින් එක් එක් ඉලෙක්ට්‍රෝනය එක් එක් සිදුරෙන් යෑමෙන් ඇතිවන අනුපාතය නො වේ. එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යෑමේ ප්‍රතිඵල ඒ ඒ අනුපාතයෙන් ඇති කරයි.

ක්වොන්ටම් භෞතිකයේ සම්භාවිතාව විසංවාදයේ මිම්මකි. එනම් එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යා හැකි ය. එහෙත් ඒ තැන් දෙකේ ඉලෙක්ට්‍රෝනයේ පිටපත් දෙකක් නොපවතී. ඇත්තේ එක ඉලෙක්ට්‍රෝනයකි.

දැන් මෙවන් පද්ධතියක් ඇති විට එය මඟ හැර යාම මෙයසුගේ වරදකි.

2. මෙයසුට අනුව මෙතෙක් විස්තර කොට ඇති විසංවාදී පද්ධති තාර්කිකව අසංගත (inconsistence) ද වේ. එනම් විසංවාදයක් ඇත් නම් එහි සියලු ම දේ විසංවාදී වේ.

දැන් මෙයසූ බැහැර කරන්නේ විසංවාදී පද්ධති නොව අසංගත පද්ධතිය.

අසංගත පද්ධතියක් වෙනස් නොවීම අනිවාර්ය ද?

මෙයසූ උදාහරණයට ගන්නේ සියල්ල ඇති වී නැති වෙන ඕඝයක් (flux) වූ පද්ධතියකි.

ඔහුට අනුව පැවැත්ම නොපැවැත්ම දෙක ම මෙහි එකවිට ඇති නිසා පවතින විට ද නොපවතියි, නොපවතින විට ද පවතියි.

එම නිසා මෙය වෙනත් යමකට පෙරළීමට නො හැකි ය. කවර විටකත් එය පවතින බැවින් එය අනිවාර්යතාවකි. එම නිසා එය බැහැර කළ හැකි ය.

මෙය අසාර්ථක තර්කයකි. මෙවන් අසංගත පද්ධතියක විස්තරය හඳුනා ගැනීම හා සමඟ ම එය ශුද්ධ පැවැත්මෙන් හා ශුද්ධ නොපැවැත්මෙන් වෙන් කර ගැනෙයි. එනම් මෙවන් පද්ධතියක හා ශුද්ධ පැවැත්ම හෝ නොපැවැත්ම ලෙස හඳුනා ගන්නා පද්ධතියක පැහැදිලි විභේදනයක් ඇත. එහෙයින් මේ අසංගත පද්ධතියට අසංගත නොවන ශුද්ධ පැවැත්මේ හෝ නො පැවැත්මේ පද්ධතියක් විය හැකි ය.

පැවැත්ම හා නොපැවැත්ම එක විට පවතින පද්ධතියක් එක්වර ම ශුද්ධ පැවැත්ම පමණක් වන සේ නොපැවැත්ම රහිත අන්‍ය ස්වභාවයකට පත්වීම හෝ පැවැත්මේ සංරචකය සිඳී ගොස් ශුද්ධ නොපැවැත්මේ අන්‍ය ස්වභාවයකට පත් වීම සිදු විය හැකි ය. මෙවන් අන්‍ය ස්වභාව ඇති නිසා අසංගත පද්ධතියක් අනිවාර්ය නො වේ.

මෙය චතුස්කෝටිකයේ අගයන් හා කෝටික පිළිබඳව කතාව ය. චතුස්කෝටිකයේ අගයන් දෙකෙහි එක් අගයක් ලබාගත් අගයන් දෙක ම ලබා ගත් අගයන් කිසිවක් ලබා නො ගත් සේ විකල්ප (කෝටික) සතරක් ඇත. විසංවාදී හෝ අසංගත අවස්ථා අනිවාර්යතා නො වේ.

මෙයසුගේ විශ්වාසය

මෙයසුගේ විශ්වාසය



මෙයසු, ග්‍රැහැම් හාමන් සමඟ කරන සංවාදයක තමා මනසින් බාහිර ලෝකයක් 'විශ්වාස' නොකරන බවත් එය පවතින බව තමා 'දන්නා' බවත් කියයි.

මෙහි ඇති පෙරළි කොමාවලින් පෙනෙන්නේ හුදෙක් විශ්වාසයක් හා දැනුම යන්න පෙන්වීමේ මෙයසුගේ වුවමනාව බවත් එය දැනුම විශ්වාසයක් නොවන බව කීමක් නොවන බවත් මෙයසුගේ ලංකා නියෝජිතයන් පිළිගන්නේ නැත.

අපි මේ මතය තර්කය සඳහා පිළිගනිමු. දැනුම හා විශ්වාසය බහිෂ්කාරකය. ඒවා දෙකකි. දැනුම විශ්වාසයක් නො වේ.

මෙයසූට මනසින් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව සාධනයක් පවතී. ඒ සාධනය අනුව ඔහු මනසින් බාහිර ලෝකයක් පවතින බව දනී. ඔහු එය විශ්වාස නොකරයි.

මේ සාධනය සත්‍ය දැයි ඇසූ විට ඒ එසේ යැයි මෙයසූ පවසනු ඇත. 

දැන් අප මෙයසුගෙන් මෙසේ අසමු.

මනසින් බාහිර ලෝකයක් ඇති බවට ඔබේ සාධනය සාවද්‍ය බව අනාගතයේ පෙනී යා නො හැකි ද? එසේ නැතිනම් වෙන අයකු එම සාධනයේ අඩු පාඩුවක් සොයා පෙන්වීමට ඉඩකඩක් ඇති ද?

මෙයසූට මෙසේ කිව හැකි ය. මෙම සාධනය නිවැරැදි ය. අඩුපාඩු වැරදි නැත.

දැන් අප ඍජුව ප්‍රශ්න කරන්නේ මෙවැනි අඩුපාඩුවක් තමා ම සොයා ගැනීම හෝ පෙන්වා දීම අනාගතයේ පරම වශයෙන් විය නො හැකි බව මෙයසූ කියන්නේ ද යන්නයි.

එහි පිළිතුර ඔවු නම් අපට පෙරළා තර්ක කළ හැක්කේ මෙයසූට තමාගේ තර්කවලට වලංගු විවේචන ඒමේ හෝ සංස්කරණය වීමේ හැකියාව පිළිගැනීම දෘෂ්ටිවාදී සූදානම නොමැති බවයි. එවිට මෙයසූ දර්ශනවාදී ශික්ෂණය තුළ ස්ථානගත කිරීම ප්‍රශ්නකාරී වේ. මේ ස්ථාවරය බොහෝ විට ආගම අර්ථකථනය කිරීමට යෙදීම මෙයසූ අර්බුදයට ලක් කරයි.

එහෙත් මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇති වේ යැයි මම විශ්වාස නො කරමි. මෙයසූ ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායට එකඟ වෙමින් යම් අයකුට හෝ තමාට තම සාධනවල අඩු පාඩු පෙනීමේ හා පෙන්වීමේ ඉඩකඩ යනු පවතින්නක් හා තමා ඒ සඳහා විවෘත බව කියනු ඇත.

දැන් වංගීසගේ අර්ථකථනය අනුව මෙයසුගේ බාහිර ලෝකයක පැවැත්ම අදහස දැනුමක් වන අතර එය මෙයසුගේ විශ්වාසයක් නො වේ. දැන් මේ දෘෂ්ටිවාදී විවෘත භාවය සමඟ මෙය අප විග්‍රහ කරගත යුත්තේ කෙසේ ද?

සාධනයේ වරදක් පෙනීමේ පෙන්වීමේ විය හැකියාව පිළිගැනීම යනු තමාට බාහිර ලෝකය පිළිබඳව කියූ දේ ඒ ගැන දැනුමක් නො වීමේ හැකියාව පිළිගැනීමකි. එවිට තමාගේ ක්‍රියාකාරීත්වය බාහිර ලෝකය පිළිබඳව ප්‍රස්තුතයක් විශ්වාස කිරීමකි.

පැහැදිලිව ම මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම විශ්වාස කරයි. ඔහුගේ ඒ විශ්වාසය සාධාරණ යැයි කීමට ඔහුට සාධනයක් පවතී. මේ සාධනය සත්‍ය බව ඔහු විශ්වාස කරයි. ඒ සාධනයේ අඩුපාඩු හෝ වැරදි තිබීමේ හා ඒවා අනාගතයේ පෙනීමේ හෝ පෙන්වා දීමේ හැකියාව විවෘතව තබා ගන්නා තුරු ඔහුට ඇත්තේ විශ්වාසය සාධාරණ යැයි කීමට ප්‍රබල සාක්ෂ්‍ය ඇති බැවින් තමාගේ විශ්වාසය දැනුමක් බව ය. එම සාධාරණ යැයි කීමට ඇති සාක්ෂ්‍ය වෙනස් වීමෙන් තමා මෙතෙක් කළ විශ්වාසය තව දුරටත් දැනුමක් ලෙස සැලකීමට නො හැකි බව ඔහුට කිව හැකි ය.

එවිට එය දැනුමක් ලෙස සැලකූ කාලයේ ඔහු කර සිටින්නේ එය විශ්වාස කිරීමකි. අනෙක් අතට සාධනය වැරදි හෝ අඩුපාඩු සහගත බවට පෙන්වූවා යැයි කියමු. එවිට මෙයසුගේ අදහස තවදුරටත් දැනුමක් නො වේ. එහෙත් විශ්වාසය එතෙකින් බිඳ වැටෙන්නේ නැත. බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව තම පැරණි සාධනය බිඳ වැටුණ ද තමා පෙර මෙන් ම තවදුරටත් එය විශ්වාස කරන බවත් එම වැරදි මඟ හැර අලුත් සාධනයක් සඳහා උත්සාහ කරන බවත් කිව හැකි ය.

එහෙයින් අපට දැකිය හැක්කේ දැනුම ද විශ්වාසයක් ලෙස ම පවතින බව ය. දැනුමට ඊට අමතරව එය පිළිගැනීම සඳහා සංගත සාක්ෂ්‍ය හා සාධන තිබිය හැකි ය. එසේ තිබීම විශ්වාසයට අනුපූරකයක් වනවා මිස විශ්වාසයක් නොවන්නක් කරවන්නේ නැත.

  • අනෙක් අතට දැනුමක් වීම සඳහා හේතුවුණු සාධනය කෙරෙහි ඇත්තේ විශ්වාසයකි. එහි සාවද්‍යතා සඳහා දෘෂ්ටිවාදී ඉඩකඩ තබා ගැනීම යනු එය විශ්වාසයක් බවට පත් වීමයි. එවිට් එම සාධනයෙන් යුක්ති යුක්ත කෙරෙන දැනුම විශ්වාසයක් නො වන්නේ කෙසේ ද? ඒ දැනුමට සාධනයක් ඇති බව සැබෑ ය. සාධනයක් තිබීමෙන් එය විශ්වාසයක් නො වී තිබෙන්නේ නැත. සාධනය කෙරෙහි ඇත්තේ ද විශ්වාසයක් හෙයිනි.

පහත ප්‍රශ්නෝත්තරවලින් මෙය ඉවර කරමු.

- දැනුම විශ්වාසයක් ද?

දැනුම විශ්වාසයක් නොවේ. ඒ දෙක දෙකකි.

- මෙයසූගේ බාහිර ලෝකය ගැන අදහස දැනුමක් ද විශ්වාසයක් ද?

එය දැනුමකි. ඔහුට ඒ ගැන සාධනයක් පවතී.

- මෙයසුගේ සාධනය අඩුපාඩු සහගත හෝ වැරදි බව අනාගතයේ පෙනීමේ හෝ පෙන්වීමේ ඉඩකඩක් තිබීමේ හැකියාවට ඔබ දෘෂ්ටිවාදීව විවෘත ද?

ඔව්.

- එසේ නම්, ඒ ඉඩකඩ යටතේ එවන් අවස්ථාවක අඩුපාඩු පෙන්වා දෙනු ලැබේ නම් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව අදහස දැනුමක් බව තව දුරටත් කිව හැකි ද?

නැත. එය දැනුමක් නො වේ. ඔහුගේ අදහස අසත්‍ය බව එයින් ම කිව නො හැකි ය. තවත් සාධනයක් ගෙන ඒමට ඔහුට ඉඩකඩ පවතී. එහෙත් එතෙක් එය දැනුමක් නො වේ.

- එවන් ඉඩකඩක් යටතේ එසේ පෙන්වා දෙනු ලැබූ විට එතෙක් කල් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව දැන සිටි බව කිව හැකි ද?

නො හැකි ය. ඔහුගේ සාධනය වැරදි නිසා එය දැනුමක් නො වේ.

- එවිට එම කාලය තුළ ඔහු බාහිර ලෝකයක් විශ්වාස නොකළේ ද?

ඔහු බාහිර ලෝකයක් විශ්වාස කළේ ය. ඔහුගේ සාධනය සත්‍ය යැයි ඔහු විශ්වාස කළේ ය. මේ නිසා තමා බාහිර ලෝකයක් ඇතැයි දන්නවා යැයි විශ්වාසයක ද සිටියේ ය.

- දැන් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම දන්නවා යැයි සිතා සිටි කාලය තුළ ම බාහිර ලෝකයක පැවැත්මක් විශ්වාස කර තිබෙනවා නො වේ ද? මේ නිසා විශ්වාසය හා දැනුම බහිෂ්කාරක යැයි කිව හැකි ද? සාධනයන් හා සාක්ෂ්‍ය අඩුපාඩු සහගත වීමේ දෘෂ්ටිවාදී ඉඩකඩ පිළිගැනීම යනු ම තමාගේ දැනුම විශ්වාසයක් වීමේ ඉඩකඩ පිළිගැනීම නො වේ ද? 

එවිට දැනුම විශ්වාසයක් නොවන්නේ කෙසේ ද? 

දැනුම සාක්ෂ්‍ය හා සාධන මඟින් අනුපූරනය වූ විශ්වාසයක් පමණි.

A ෆෝ ඇපල් N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින්

A ෆෝ ඇපල්  N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින් 


-තමලු මලිත්ත පියදිගම 
        
ඇල්කෙමිස්ට් සඟරාව



පාසල් යන කාලයේ භෞතික විද්‍යාව නම ඇසෙද්දී ම මතක් වන වීරයා අයිසෙක් නිවුටන් ය. නිවුටන් නියම තුන ම දැනගැනීම කෙසේ වෙතත් නිවුටන්ගේ තුන්වෙනි නියමයවත් බොහෝ අය අසා ඇතුවාට සැක නැහැ. එහෙත් බොහෝ දෙනා සෑම ක්‍රියාවකට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත යන්න තේරුම් ගෙන තියෙන්නේ වැරදි ආකාරවලින් බව ප්‍රකට කරුණක්.

ඇත්තෙන් ම නිවුටන් කළේ කුමක් ද? නිවුටන්ට පෙර සිටි අයට වඩා නිවුටන් ඇති කළ වෙනස කුමක් ද?

මෙයට පිළිතුරු සෙවීම අපහසු නො වේ. නිවුටන්ගේ පළමුවෙනි නියමයෙන් කියවෙන්නේ බලයක් නොයෙදෙන විට අංශුවක් නිශ්චලව හෝ එක ම වේගයකින් එක ම අතකට ගමන් කරමින් හෝ පවතින බවයි. බලයක් නොමැති විට නිශ්චලව තිබීමේ අරුමයක් නැත. බලයක් නොමැති විට චලනය විය හැකි ද?

නිවුටන් කළ ප්‍රධානතම වෙනස මෙයයි. බලයක් නැති වස්තුවකටත් චලනය විය හැකි බව නිවුටන් කීවේ ය. ඇරිස්ටෝටල්ගේ නියමය අනුව බලයක් නොයෙදෙන වස්තුවක් චලනය විය නොහැකි ය. නිවුටන් ඉස්මතු වූයේ මීට අභියෝග කරමිනි.

එහෙත් බලයක් නැතිව චලනය විය හැකි බව කී පළමු වැන්නා ද නිවුටන් නො වේ. ආකාශ වස්තුවල චලිතය දුටු පැරැන්නෝ පොළොව උඩ වස්තු බලයක් නැති විට නිශ්චලව තිබුණ ද ආකාශ වස්තු බලයක් නොමැති විට චක්‍රීයව ගමන් කරන බව කීවෝ ය. නිවුටන්ට අවශ්‍ය වූයේ අහසටත් පොළොවටත් එක සේ වැඩකරන භෞතික විද්‍යාවක් සෑදීමටයි. එනිසා ඔහු ඕනෑ ම වස්තුවකට බලයක් නොයෙදෙන විට එක ම දිශාවකට එක ම වේගයෙන් චලනය විය හැකි බව සැලකුවේ ය.

දැන් මෙතෙක් වෙලා අප කතා කළ බලය යනු කුමක් ද? බලයක් යනු වස්තුවකට අනෙක් වස්තුවකින් එල්ල වන බලපෑමයි. දැන් නිවුටන් ඔහුගේ පළමුවෙනි නියමයෙන් කියන්නේ වෙනත් වස්තුවල බලපෑමක් නොමැතිව ඕනෑ ම වස්තුවකට නිසලව සිටින්නට හෝ එක ම වේගයෙන් එක ම පැත්තට චලනය වන්නට පුළුවන් බවයි.

අනෙක් වස්තුවලින් එල්ල වන බලපෑම් මඟින් සිදුවන්නේ මෙම ස්වභාවික චලිතයෙන් වස්තුව අත් මිදීමයි.

දැන් නිවුටන් ඇපල් ගස් අසළ නිතර කාලය ගත කළ බව ඔහුගේ ලේලිය වෝල්ටෙයාර්ට කියා ඇත. ගහෙන් වැටෙන ඇපල් ගෙඩියක් නිවුටන්ට මෙතරම් ප්‍රශ්නයක් වූයේ ඇයි? නිවුටන්ට කලින් සිටි ගැලීලියෝට නම් මේවා ප්‍රශ්න නො වේ. ගැලීලියෝ කීවේ බලයක් නොමැති විට වස්තුවක් පොළොවට වැටෙන බවයි. ඉතින් නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩිය පොළොවට වැටීම ගැන පුදුම වෙන්නේ ඇයි?

ඒත් නිවුටන්ට එසේ නො වේ. නිවුටන් බලයක් නොමැති විට චලිතය එක ම වේගයකින් බව කලින් ම පවසා හමාර ය. ඒත් ඇපල් ගෙඩිය පොළොවට වැටෙන්නේ වේගය වැඩි කරගනිමිනි. නිවුටන්ගේ පළමුවෙනි නියමය අභියෝගයට ලක් විය. එහෙත් නිවුටන් පළමුවෙනි නියමය විසි කළේ නැත. ඒ වෙනුවට වැටෙමින් පවතින ඇපල් ගෙඩිය මත බලයක් එනම් බාහිර බලපෑමක් ඇති බව සැලකී ය. මෙහි දී නිවුටන් ගුප්ත විද්‍යාවෙන් ආභාෂය ලබා ගත්තේ ය. දැන් මේ බාහිර  බලපෑම කරන්නේ කවුද යන ප්‍රශ්නය මතු වේ. පොළොව යන්න නිවුටන් ඊට දුටු උත්තරයයි. පොළොව ඈතින් ඇති ඇපල් ගෙඩියට බලපෑම් කරන්නේ කඹ යොදලා ද යන ප්‍රශ්නයට නිවුටන්ට කිසිදා පිළිතුරක් නො වී ය. නිවුටන් ම පවා ඔහුගේ පිළිතුරෙන් තෘප්තිමත් නොවුණේ ය. ගුරුත්වාකර්ෂණය යනු මෙම බලයට දුන් නමයි.

පොළොව ඇපල් ගෙඩිය අදින බලයෙන් ම ඇපල් ගෙඩිය පොළොව  ද ඇදගනී. මේ බලය වස්තු දෙකේ ස්කන්ධ ගුණිතය හා ඒ දෙක අතර දුර අනුව තීරණය වේ. දැන් මේ අගයන් ඇපල් ගෙඩිය හා පොළොව සන්නිවේදනය කරගන්නේ කෙසේ ද? මීට නිවුටන්ට උත්තර නො වී ය.

නිවුටන්ගේ පද්ධතිය මෙතන දී පමණක් නොව ආරම්භයේ සිට ම අර්බුදයකට පත්ව තිබුණි. බලයක් නොයෙදෙන වස්තුවක් නිසලව හෝ එක ම වේගයෙන් එක ම පැත්තට යන්නේ කාට සාපේක්ෂව ද? වාහනයක සිට බලන විට ගස් පිටුපසට යන්නා පෙනේ. හිරු පොළොව යටා සේ පොළොවට දිස් වුව ද හිරු සිට බැලුවහොත් දිස් වන්නේ පොළොව හිරු වටා යන බවකි.

දැන් නිවුටන්ගේ නියමය සත්‍ය වන්නේ කොහේ සිට බැලුවහොත් ද? මෙයට ද නිවුටන්ට හරිහමන් පිළිතුරක් නො වී ය. නිවුටන් දුන් පිළිතුරු ද පසුකලෙක අර්න්ස්ට් මාක් නම් ජර්මානු දාර්ශනිකයා ප්‍රබල තර්ක මඟින් නිෂ්ප්‍රභ් කොට දැමී ය.

නිවුටන්ගේ නියම තුන පදනමින් ම අසාර්ථක ය. එහෙත් ඒවායින් බොහෝ වැඩ ගත හැකි ය.

අයින්ස්ටයින් යනු නිවුටන්ගේ මෙම කතාවට අභියෝග කළ පුද්ගලයා ය.

වස්තුවකට බලයක් නොයෙදෙන විට වස්තුව එක ම වේගයෙන් එක ම පැත්තට ගමන් කරයි යනු හිතුවක්කාර නීතියකි. ඕනෑම අවස්ථාවක මෙසේ ම වන බව නිවුටන් දන්නේ කෙසේ ද? අනෙක් අතට මෙසේ ගමන් කරන්නේ කාට සාපේක්ෂව දැයි නිවුටන්ට කිව නො හැකි විය. (හිස් අවකාශයට සාපේක්ෂව බවට ඔහු කී කතාව පුස්සක් බවට පත් විය.)

අයින්ස්ටයින් කළේ නිවුටන්ගේ හිතුවක්කාර නීතිය අත හැරීම ය. එවිට බලයක් එනම් බාහිර බලපෑමක් නැති වස්තු කෙසේ ගමන් කරයි ද? අයින්ස්ටයින් කීවේ එය දැන ගැනීමට නම් වස්තුවක් කිසිදු බලයකින් තොරව නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබ දී (එනම් වස්තුව අතහැර ම) එය දැන ගත යුතු බවයි. එවිට වස්තුව ගමන් කරන්නේ යම් ආකාරයට ද අවකාශයේ එම ස්ථානයේ වස්තු බලයක් රහිත විට අදාළ නිරීක්ෂකයාට සාපේක්ෂව ගමන් කරන්නේ ඒ ආකාරයට ය.

දැන් නිවුටන්ට ප්‍රශ්නයක් ඇති කළ ඇපල් ගස අසළට අපි අයින්ස්ටයින් සමඟ යමු. අයින්ස්ටයින්ටත් ඇපල් ගෙඩිය ප්‍රශ්නයක් ද? නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩියේ වේගය වැඩිවෙමින් වැටීම ප්‍රශ්නයක් වූයේ නිදහස් චලිතය එක ම වේගයෙන් එක ම පැත්තට සිදු වේ යැයි කියූ නිවුටන්ට ය. අයින්ස්ටයින්ට අනුව බලයක් නැති විට ඇපල් ගෙඩියේ චලිතය ඇපල් ගෙඩිය අතහැරලා ම බලා ගත යුතු ය. දැන් ඇපල් ගෙඩිය අතහැරි විට එය වේගය වැඩි කරගනිමින් පහළට වැඩේ. අයින්ස්ටයින්ට අනුව ඇපල් ගෙඩියේ නිදහස් චලිතය එයයි. එම නිසා හිතුවක්කාර නියමයකින් නිවුටන්ට ආ ප්‍රශ්නය අයින්ස්ටයින්ට මතු වෙන්නේ නැත. ඇපල් ගෙඩිය යෙදෙන්නේ නිදහස් චලිතයේ නිසා බාහිර බලපෑමක් අවශ්‍ය නැත. එම නිසා ගුරුත්වාකර්ෂණය කියා බලයකුත් අවශ්‍ය නැත.

අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවේ දී ගුරුත්වාකර්ෂණයක් අවශ්‍ය නො වේ. එනම් ගුරුත්වාකර්ෂණ බලය අවලංගු ප්‍රපංචයක් බවට පත් වේ. වැටීම අමුතු බාහිර බලයකින් සිදු වන්නක් නොව බාහිර බලයක් රහිතව ම එම ස්ථානයේ ඇති ස්වභාවික චලිතය වැටීමයි.

බොහෝ දෙනා පාසල් සිසුන්ට දේශන පවත්වද්දී නිවුටන් ඇපල් ගෙඩියක් දෙස බලා ගුරුත්වාකර්ෂණය 'සොයාගත්' බවත් අපට නම් එවැනි දේ නොසිතුණු බවත් එසේ ස්වභාව ධර්මය ප්‍රශ්න කළ යුතු බවත් කියනු අසන්නට ලැබී ඇති වාර අනන්ත ය.

මෙය සම්පුර්ණ විහිළු කතාවකි. ඇපල් හෝ පොල් හෝ වැටෙනු දුටුවාට අපිට එහි ප්‍රශ්නයක් තිබීමට විදිහක් නැත. නිවුටන්ට එය ප්‍රශ්නයක් වූයේ තමන් ම හිතුවක්කාර ලෙස සූත්‍රගත කළ නියමයක් නිසා ය. එනම් නිදහස් චලිතයට ඒකාකාර ප්‍රවේගය හිතුවක්කාර ලෙස පැනවීමෙන් නිවුටන්ට ඇපල් වැටීම අරුමයක් විය. ඉතින් නිවුටන්ට ආ ප්‍රශ්නය අපට ඇති වන්නේ කෙසේ ද? නිවුටන් පිළිතුරු දුන්නේ තමන් ම විසින් හදා ගත් ප්‍රශ්නයකටයි.

ඉතින් නිවුටන් 'සොයාගන්නේ' කොහේ තිබූ ගුරුත්වාකර්ෂණයක් ද? ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ ම නිර්මාණයකි.

දෙවියන් ලෝකයේ යතුර නිවුටන්ට දුන්නේ ය ඉන්පසු ආලෝකය විය යැයි එක්තරා ඉංග්‍රීසි කවියෙක් ලීවේ ය.

පසුකාලීන කවියකු ලීවේ 
යක්ෂයා මෙය දැක අයින්ස්ටයින් පහළ වේවායි කීවේ ය
සියල්ල ආපසු මුලට ම ගියේ ය යනුවෙනි.

දැන් අයින්ස්ටයින් යමක් 'සොයාගෙන' තිබේ ද? ඇත්තට ම යමක් සොයාගැනීමට නම් එය අපෙන් සඟවා තැබෙන දෙයක් විය යුතු ය. එසේ සඟවා තැබිය හැක්කේ දෙවියන් වහන්සේ කෙනෙකුට ම ය. අයින්ස්ටයින් කළේ ද තම හැකියාව භාවිත කොට ඉතා හොඳට ගෙතූ කතන්දරයක් නිර්මාණය කිරීම ය. ඒ කතන්දරයේ ද ඇත්තේ ඔහු නිර්මාණය කළ සංකල්ප මිස 'සොයාගත්' දෑ නො වේ. 'සොයාගන්නට' සැඟවී ඇති නීති පද්ධතියක් විශ්වයේ  නැත.

                         - තමලු මලිත්ත පියදිගම

What is special about scientific method?

What is special about scientific method?

Philosophers of Scientific Method

- Thamalu Maliththa Piyadigama 

When you talk of ideas these days people tend to ask if they had been scientifically proven? Some people reject reincarnation and karma saying these phenomena are not scientifically proven. The scientific method has been taken to such an extent in our minds that some people in Sri Lanka even talk of a ‘scientific cabinet’ now.

The question that should be asked then is “What is so special about science?” What is so special about anything that had been proven scientifically over another that had not been so? How do we separate science and non-science? Science is a word used for progressiveness from the early stages of western modernity and based on that a knowledge system which is called science has been raised over all the other knowledge systems. Is there anything special about science? This is not a new question. Philosophers have tried to answer this question for a long time.

There is a popular definition for science i.e. science is a knowledge which is tested according to the scientific method. This definition gives an answer to the question. Science is special because it is in accordance with the ‘scientific method.’ Then the next problem is what on earth this scientific method is? For this question the answers are diverse. Anyone who defines scientific method should establish the demarcation between science and non-science and explain why science is superior.
What is the scientific method? Secondary school education has given us a ready-made answer. It is hypothesis, experiment, observation and conclusions. This popular answer is misleading and incomplete. These are only steps of the so-called scientific method. A method is not a list of steps. A method says how to do rather than what to do. These buzzwords say nothing about how things go about in science.

Induction is to make many observations and generalize them to come up with a general statement. This Bacon’s idea is obviously incomplete.

Science is mainly about inventing new theories. A theory is a well fabricated story to explain some phenomena and observations. (This definition which is the most sophisticated one among many others is by Dr. Nalin de Silva.) ‘How’ does a scientist work when he is doing scientific research? This is the question to be answered by philosophers and scientists.

Sir Francais Bacon said scientific method is induction. Induction is to make many observations and generalize them to come up with a general statement. This Bacon’s idea is obviously incomplete. For instances, if we take the theory of gravitation we see things fall and the generalization is not gravitation, but a statement saying everything falls until it meets a barrier. Galileo introduced a term named hypothesis. That means what scientists do is not mere generalization, but to invent an ‘explanation’ (hypothesis) on observations and then test it.

Testing and verifying theory 
Then the problem is how do we test a theory? How can we verify a theory? As I have mentioned above, a theory is a story. How can we test a story? There is no direct way to test a story. What we can do is to consider the implications of the theory (story) and test them. Before the last century, philosophers of science and scientists believed that a theory can be proved by checking the implications. In non-science theories are not proved by checking implications.

Karl Popper, a rationalist philosopher, challenged these views. He showed that these views of the scientific method are completely illogical. One of his famous statements is that you cannot logically prove that “All swans are white” by observing thousands of white swans because there is a possibility that the next one is black. When you see a black swan the statement is falsified. Therefore we cannot prove anything by induction. What we can do is only refute a general statement. On the other hand, the statement that if P is Q doesn’t logically imply that if Q is correct then P is correct. For example, if a number gets divided by 4 it gets divided by 2 as well. But it can’t be in reverse. Though 6 is divided by 2 it is not divided by 4. Therefore although the implications of a theory are checked and found to be true, there is no guarantee that the theory is correct. However, we can do one thing. If an implication is found to be wrong we can say the theory is incorrect. We can refute the theory.

Therefore Karl Popper said we cannot prove anything by generalization or checking implications of a theory and therefore what can be done to verify theories in science is to refute them. Then people who expect science to be the path of finding truth had a problem saying that if you cannot prove truth in science then why use it. Popper said that science advances by creating lots of theories and rejecting the falsified ones. When false theories are excluded, true theories will remain. Therefore, the scientific method is falsification. If there is a ‘way to prove a hypothesis is false’ (not ‘proved false’) it is a scientific hypothesis. According to Popper, statements in astrology, psychoanalysis and Marxism provide no way to prove themselves to be false. That is to say they are un-testable, so these fields are non-science. This is Karl Popper’s critical rationalism.

Paradigm shift 
This idea was challenged by another philosopher Thomas Kuhn. When he studied the history of science for a speech, he understood that falsification is not the ultimate goal of the scientific method. He showed that testing an implication of a theory is not an isolated process. The implication is generated with the help of other existing theories. Other theories and auxiliary assumptions are used also in the experimentation process. Therefore if we find by experiment that an implication of a theory is false, we cannot directly say the theory is false. It should be the fault of other helping theories or auxiliary assumptions. Therefore there is no way to falsify a scientific theory too. This Kuhn’s identification gave life to a new concept: Paradigm. A paradigm is a structure which has a centre theory. In the era of normal science, scientists do not challenge the paradigm. New theories are checked using the theories in the paradigm. Nobody challenges the centre theory. However, there are eras of revolutionary science where the centre theory is challenged and refuted. Then the whole paradigm will collapse to give way to a new paradigm. Different paradigms approach the same problem in completely different ways. Therefore science is unable to prove whether something is true or false, but will only check if it is in accordance with the existing paradigm.

Kuhn also tried to formulate the demarcation between science and non-science. He said that a paradigm shift is only possible in science.

Then a philosopher named Paul Feyerabend showed by analyzing the Galileo affair and other incidents of science history, that there was no method special to science. He showed that science should not have special advantage over non-science. He said that we should be against the chauvinism of science.

Popper said we cannot prove anything by generalization or checking implications of a theory
Sri Lankan philosopher Dr. Nalin de Silva also made a contribution to this field. He invented the concept of Chinthanaya. Chinthanaya is the logical, epistemological, and deep philosophical fundamentals of a culture. Culture, Chinthanaya and knowledge of the culture is interrelated. Different cultures have different Chinthanayas and therefore there are different knowledge systems in different cultures. Hence there are different sciences in different cultures. Western science is the science of Greek Judaic Christian (GJC) Chinthanaya which is now dominating the world. No science reveals an absolute truth because there is nothing that could be taken as an objective reality. We all have our own different worlds. Knowledge is not an external truth. It is our construction. Theories are just stories we construct to explain our world. In that sense all knowledge is lies (Boru). Western science which consists of ‘abstract’ theories with concepts and phenomena that cannot be felt by the senses or imagined is a blatant lie (Pattapal Boru). Do not confuse these terms with their day today life meaning. Dr. Nalin de Silva further explains that other cultures should develop their own science against the oppressive dominance of western science and get rid of western imperialism completely. This is his Constructive Relativism.

Whatever these arguments are the most important thing to remember is that non-science is not just nonsense.

             - Thamalu Maliththa Piyadigama 

පැරණි ශාස්ත්‍ර

පැරණි ශාස්ත්‍ර


- තමලු මලිත්ත පියදිගම
ඇල්කෙමිස්ට් සඟරාව - ජනවාරි 


පැරණි ශාස්ත්‍ර ගැන කතා කිරීම ලෝකය පුරා දක්නට ලැබේ. බොහෝ දෙනා පැරණි ශාස්ත්‍ර පිළිබඳව උදම් ඇනුව ද ඒවාට ඓතිහාසිකව මිස වෙනත් වැදගත්කමක් ඇතැයි නො සිතති. නැතහොත් එවන් වැදගත්කමක් නැතැයි සිතීමට අප පොළඹවා ඇත. 'ලෝකයේ ඇත්තේ එක ම දැනුමක විකාශනයකි. අතීතයේ පැවති දැනුම පසු කර ගොස් වර්තමානයේ අප වඩා දියුණු දැනුමක් අත්පත් කරගෙන ඇත. පැරණි දැනුමෙන් දැන් ප්‍රයෝජනයක් නොමැත. ලෝකය පිළිබඳව සැබෑ තතු නොදත් කාලයේ නිර්මාණය කළ එම දැනුමෙන් අදට වැඩක් නැත. ඇත්තේ කෞතුක වැදගත්කමක් පමණකි. මානව විද්‍යඥයන්ගේ විෂය පථයට අදාළව මිස ශාස්ත්‍රීයව ඒවා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් නො මැත.' මේ අපට කාවද්දා ඇති අදහසයි. බිසෝකොටුවේ තාක්ෂණය ගැන වර්ණනා කරන දේශහිතෛෂින් පවා යටිහිතින් සිතන්නේ එකල හෙළයා අද අප භාවිත කරන පිට් වෑල්වය නිපදවීමට තරම් විද්‍යා දැනුමකින් සමන්විත වූ බව ය. බිසෝකොටුව පිට් වෑල්වයක් නොවන බව දන්නා අය පවා සිතීමට පෙළඹෙන්නේ අද අප ඉගෙන ගන්නා තරල ගති විද්‍යාවේ මූලිකාංග අවුරුදු දහස් ගණනකට පෙර දැන සිටීමට අතීත හෙළයා සමත් වූ බවයි. රුවන්වැලි සෑයට සවි කළ වජ්‍ර චුම්භඨක ගැන ලිපි ලියන දේශප්‍රේමහු පවා 'එකල සිංහලයන්ගේ ස්ථිති විද්‍යුතය පිළිබඳ දැනුම නූතනය හා සමව පැවතියේ ය' ආදී වාක්‍ය ලිවීමට පෙළඹෙති. (මාක්ස්වාදීන්, පශ්චාත්නූතනවාදීන් හා 'උගතුන්' පිළිබඳ කතා කිරීම ම ඵලක් නැත. ඔවුන්ට නම් මහා සෑය ගඩොල් ගොඩකි. වැව් නිකම් හෑරූ වළවල් ය. බටහිරයන් ඒමට පෙර පෙරදිග සිට ඇත්තේ මිනිසුන් නොව සතුන් පමණ ය.)

මේ සියල්ලට යටින් ඇති අප මත පැටවූ අදහස වන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය යන්න ය. එම අදහස අනුව අතීත තාක්ෂණයේත් වර්තමාන තාක්ෂණයේත් භාවිතයට ගැනී ඇත්තේ එක ම මූලධර්මයන් ය. එනිසා කළ යුත්තේ නූතන විද්‍යාව අනුව පැරණි නිර්මාණයන් වටහා ගැනීම ය.  සීගිරියේ වතුර මල්වල, වැව්වල බිසෝකොටුවේ ක්‍රියාකාරිත්වය අප සොයා ගත යුතු යැයි නිතර අසන්නට ලැබේ. ක්‍රියාකාරිත්වය යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ බටහිර විද්‍යා ප්‍රවාද, නියම හා සමීකරණවලින් මේවා ක්‍රියා කරන ආකාරය පෙන්වා දිය යුතු බව යැයි පැහැදිලි ය.
එහෙත් මේ මූලික අදහස කොතරම් දුරට නිවැරදි ද? බටහිර විද්‍යාවත් එදා පැවති විද්‍යාවත් එක ම විද්‍යාවක් ම ද? එම දෙකෙහි ම තිබූයේ එක ම මූලධර්ම ද? මෙසේ විය යුතු ම ද?

බටහිර විද්‍යාවේ ම ඉතිහාසය විමසීමෙන් මීට පිළිතුරක් සොයා ගත හැකි ය. ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවත්, නිවුටන්ගේ භෞතික විද්‍යාවත්, අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවත් එක ම භෞතික විද්‍යාව නො වේ. එක ම දෙය මේ තුනේ විස්තර කෙරෙන්නේ සහමුලින් වෙනස් තුන් ආකාරයකට ය. මේවා ඇති වූයේ එකින් එක වර්ධනය වීමෙන් නො වේ. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව නිවුටන්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් නො වේ. තෝමස් කූන් නම් දාර්ශනිකයා මේ බව සිය The Structure of Scientific Revolution කෘතියේ පැහැදිලිව පෙන්වා දී ඇත. බටහිර විද්‍යාව තුළ ම පවා මෙසේ සහමුලින් වෙනස් පැහැදිලි කිරීම් පවතිද්දී, ඉන් පරිබාහිර අතීත සිංහල දැනුමේ බටහිර විද්‍යාවේ මූලධර්ම ඇතැයි කිව හැක්කේ කෙසේ ද?

ආචාර්ය නලින් ද සිල්වා මහතා මගේ ලෝකය කෘතිය රචනා කරමින් පෙන්වා දුන්නේ අපගේ සංකල්ප මෙන් ම සංවේදන ද මනස මත ම රඳා පවතින බව ය. එනම් සියලු සංකල්ප මනසින් නිර්මාණය වී ඇති බව ය. මෙවන් විටෙක නිරපේක්ෂ බාහිර ලෝකයක්, වාස්තවික යථාර්ථයක් කිසිසේත් ම නැත. අපගේ දැනුම අප මනසින් නිර්මාණය කරගන්නක් මිස අපෙන් වෙන්ව බාහිරව පැවතුණු යමක් නො වේ. බටහිර විද්‍යාව ඇතුළු සියලු දැනුම් මනසේ නිර්මාණ මිස වාස්තවික යථාර්ථයක් නො වේ. මේ විවිධ දැනුම් බිහිව ඇත්තේ විවිධ චින්තනවල ය. අපේ අතීත දැනුම සිංහල බෞද්ධ චින්තනයේ ද බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ද නිර්මාණය වී ඇත. නිවුටන්ගේ හා අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යා අතර පවතින වෙනසටත් වඩා තීව්‍ර වෙනසක් අපේ විද්‍යාවත් බටහිර විද්‍යාවත් අතර ඇත. බටහිර විද්‍යාව කොතරම් උගත්ත ද ලංකාවේ කිසිවකුට එය තුළ දැනුමක් නිපදවිය නො හැක්කේ මේ චින්තනයන්හි පවතින වෙනස හේතුවෙනි. අපට නැඟී සිටීමට අවශ්‍ය නම් අපගේ චින්තනයේ ගොඩනැඟුණු අපගේ දැනුමක් බිහිකළ යුතු ය; ඉස්මතු කරගත යුතු ය.

නලින් ද සිල්වා මහතා ආරම්භයේ දී ගවේෂකයෝ සංවිධානය මඟිනුත් අනතුරුව චින්තන පර්ශදය ඔස්සේත් සිංහල බෞද්ධ දැනුමක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියා කරන විට එය වාමාංශිකයන්ගේ උපහාසයට ලක් විය. ජාතික චින්තනය යනු බර කරත්තයෙන් අනුරාධපුර යුගයට යෑමකැයි ඔවුහු උසුළු විසුළු කළ හ. බොහෝ මාර්ක්ස්වාදීන්ට අමතකව ඇත්තේ කොමියුනිස්ට් සමාජයක් වෙතට යන්නේ යැයි ඔවුන් කියන විට ප්‍රාග් කොමියුනිස්ට් සමාජ යනු කවරක් ද යන්නයි. ජාතිකවාදීන් යන්නේ අනුරාධපුර යුගයට නම් මාක්ස්වාදීන් කතා කරන්නේ ගල් යුගයට යෑමට නො වේ ද? බොහෝ මාක්ස්වාදීන් ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ගැන අසාවත් නැත. (ප්‍රාග් කොමියුනිස්ට් සමාජයක් යනු ගල් යුගය හෝ පූර්ව ගොවි යුගය හෝ නොව පැරණි සිංහල සමාජය වැනි සමාජ ක්‍රම යැයි කියන මාක්ස්වාදීන්ට මෙය අදාළ නො වේ.)

පසුගිය දා චීන රජය එරට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ ඖෂධවලට තිබූ සීමා මායිම් ලිහිල් කළේ ය. ඒ නිමිති කරගෙන චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම නැවත නැඟී සිටි අයුරු විමසා බැලීමට යොමු වෙමු. චීනයේ රාජාණ්ඩුව අවසන් වන විට බටහිර බලපෑම මත දේශීය වෛද්‍ය ක්‍රම හා ඖෂධ ගණනාවක් ම තහනමට ලක්ව තිබුණි. වර්තමානයේ ඉතා ප්‍රචලිත කටු චිකිත්සාව ද එලෙස ම තහනමට ලක්ව තිබුණි. චීනයේ පැරණි වෛද්‍ය ක්‍රමයන්ට නැවත හිස එසවීමට හැකි වූයේ කොමියුනිස්ට් චීනය බිහි වීමෙන් පසුව ය. අතීතය විනාශ කළ යුතු යැයි කියමින් චීනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන පවා විනාශ කළ මාඕ සේතුං වැන්නකු දේශීය වෛද්‍ය ක්‍රම නඟා සිටුවීමට මුල් වීම ම ආශ්චර්යවත් ය. කෙසේ හෝ එය සිදු විය.

චීනයේ සමාජවාදී විප්ලවයෙන් පසු මාඕ සේතුං සමාජයේ විවිධ පිරිස්වලට හිමිව තිබූ විශේෂ වරප්‍රසාද කප්පාදු කර දැමී ය. මීට සුඛෝපභෝගී ජීවිත ගත කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා අංශවලින් ප්‍රබල විරෝධයක් එල්ල වන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. 'විද්‍යාවේ ධනපති අංශයන්' මර්දනය කළ යුතු බව මාඕගේ සිතට නැඟෙන්නට මෙය ප්‍රබල හේතුවක් විය. ඒ සඳහා විකල්පය වන්නේ පැරණි සාම්ප්‍රදායික චීන වෙදකමට අතහිත දීමයි. මාඕ 1950 දී පමණ මේ පිළිබඳව කතාවක් පැවැත්වී ය. 1954 දී නිල වශයෙන් වැඩ පිළිවෙළ ඇරඹුණි. කටු චිකිත්සාව, 'මොක්සා දැවීම' ආදී ප්‍රතිකාර ක්‍රමවල තහනම් ඉවත් කරනු ලැබී ය. මෙසේ මාඕ යුගයේ සිට චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ පිබිදීමක් ඇති විය.

ලංකාවේ දේශීය වෙදකමට සිදුව ඇති ලෙසින් ම බටහිර වෛද්‍යවරුන්ගේ නොතිත් කෙනෙහිලිකම්වලට ලක් වීමට සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයට ද සිදු විය. චීන වෛද්‍ය ක්‍රමයේ පදනම ඇඟ පුරා දිවෙන චී ශක්තිය යන සංකල්පයක් මත පදනම් වේ. බටහිර වෛද්‍යවරුන්ට එය බටහිර සංකල්ප අනුව අ‍ර්ථකථනය කිරීම අත්‍යවශ්‍ය ය. බටහිර වෛද්‍ය ක්‍රමය හුදෙක් තවත් එක් වෛද්‍ය ක්‍රමයක් පමණක් වන විට චීන වෛද්‍ය ක්‍රම බටහිර දැනුමේ වචනයෙන් විස්තර කර දිය යුත්තේ ඇයි? මේ බටහිර දැනුමේ ආධිපත්‍යයි. යිංයං, ඊඡිං ආදී සංකල්ප බටහිර විද්‍යාවෙන් පැහැදිලි කර නො දුන්නේ යැයි ඒවා ඉවත හෙළීමට බටහිර විද්‍යාවට ඇති විශේෂ අයිතිවාසිකම කුමක් ද? චීන වෛද්‍යවරයකු ඇමොක්සිසිලින්හි ක්‍රියාකාරිත්වය යිංයැං මඟින් පැහැදිලි කරන ලෙස බටහිර වෛද්‍යවරයකුට නියම කළහොත් කුමක් සිදු වේ ද?

කෙසේ නමුත් වාසනාවකට චීන රජය බටහිර වෛද්‍යවරුන්ගේ විරෝධය බරපතලව සැලකුවේ නැත. චීනයේ වෙදකම ආයුර්වේදය සමඟ ද සම්බන්ධතාවක් ඇත. ආරම්භයේ දී ආයුර්වේද පොත් එකොළහක් චීන බසට පරිවර්තනය වූ බව කියැවේ. චීන වෛද්‍ය ක්‍රමයට මූලික වූ වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රම බොහෝමයක් එරටට ගෙන ගියේ බෞද්ධ භික්ෂූන් ය. සැත්කම් කිරීම චීනයට ලැබුණේ බෞද්ධ භික්ෂූන්ගෙන් යැයි එරට සාම්ප්‍රදායික ග්‍රන්ථවල දැක් වුණ ද පුරාවිද්‍යාඥයන්ට හසු වූ ඉතා පැරණි ෂං යුගයට අයත් ඇටසැකිලි සමහරක ද සැත්කම් කරන ලද ලකුණු දකින්නට ඇත. ඇතැම් චීන වෙදපොත් බොහෝ වෛද්‍ය ක්‍රම ජීවක කෝමාරබච්චයන්ගේ (බුදුන්වහන්සේට ප්‍රතිකාර කළේ ඔහු ය.) නිර්මාණ බව දක්වයි.

චීන වෙදකමට එරෙහිව බොහෝ විට බටහිර වෛද්‍යවරුන් නඟන තර්කයක් වන්නේ ඒවායේ රසදිය ආදී බැර ලෝහ පවතින බවයි. සිංහල වෙදකමට හා ආයුර්වේදයට එරෙහිව ද මේ රසදිය භීතිකාව ඇතැම් විට මතු කරනු අසන්නට ලැබේ. මා දන්නා අයුරින් ආයුර්වේදයේ හා සිංහල වෙදකමේ රසදිය යොදා ගන්නේ එහි විෂ නැසීමේ ක්‍රියාවලියකට ලක් කිරීමෙනි. විෂ නැසීම බටහිර විද්‍යාවෙන් විස්තර කර දිය යුතු යැයි නියම කිරීමේ අයිතියක් බටහිර වෛද්‍ය ක්‍රමයට නැත. චීනයේ මෙවන් ක්‍රියාවලියක් ඇති දැයි මම නො දනිමි. කෙසේ වුවත් එක් ක්‍රමවේදයක දී විෂ වන්නක් තවත් ක්‍රමවේදයක දී විෂ නොවන්නක් විය හැකි ය. එලෙස ම මාත්‍රාව මත එහි බලපෑම ද තීරණය වනු ඇත.

සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය අනුව එයට අවශ්‍ය වන්නේ අනෙක් වෛද්‍ය ක්‍රමවලට පහර ගැසිය හැකි පොටක් සෙවීම ය. එවැන්නක් හමු වූ විට එය වලංගු ද අවලංගු වී යයි ද යන්න සියුම්ව විමසීමටවත් ඉවසීමකින් තොරව එයින් අනෙක් වෛද්‍ය ක්‍රමයන්ට දමා ගසනු ලැබේ. දේශපාලන ආධිපත්‍යය සමඟ එම ප්‍රකාශයන්ට බලයක් ද ලැබේ. අනෙක් වෛද්‍ය ක්‍රමවල රසදිය ගැන කලබල වන බොහෝ බටහිර වෛද්‍යවරුන්ට බටහිර දන්ත වෛද්‍ය ක්‍රමයේ දත් පිරවීමට භාවිත කරන ඇමල්ගමයේ රසදිය හා රිදී ගැන සිහියට එන්නේත් නැත. දත් බැඳීමට චීන්නු ප්‍රසිද්ධ ය. බටහිර වෛද්‍ය ක්‍රමයට එක් කරගත්තේ ද චීන ශිල්පීය ක්‍රමය ය. කාමරංගාවල අහිතකර බව ගැන සිදුකළ එක ම ප්‍රකාශයකට පවා ඉමහත් ප්‍රසිද්ධියක් දීමට පෙළඹී සිටින පරිසරයක බටහිර බෙහෙත්වල අගුණ ගැන එවන් හඬක් නො නැඟෙන්නේ ඇයි? ලංකාවේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය විධිමත්ව සිදුවේ යැයි කාට නම් කිව හැකි ද? මේ වන විට මැලේසියාවේ ප්‍රතිජීවක ඖෂධ බොහෝ සංඛ්‍යාවක් අක්‍රියව ගොස් ඇත. මෙය ලෝකයේ අන් රටවලට කෙසේ බලපානු ඇද්ද? ප්‍රතිජීවක ඖෂධ සියල්ල අක්‍රියව ගියහොත් බටහිර වෙදකමේ 'ඇස්පනා පිට ප්‍රතිඵලයන්ට' කුමක් සිදු වේ ද? මේවා ගැන කතා කිරීමක් සිදු නොවන තරම් ය.

වියට්නාම් යුද්ධයේ දී හෝ චී මිංට ගැටලුවක් වූයේ යුද්ධය අතරතුර දී මැලේරියාව පැතිරී යාම ය. හෝ චී මිං මීට විසඳුමක් ඉල්ලා සිටියේ චීන අගමැති මාඕ සේතුංගෙන් ය. මාඕ අංක 523 නමින් ව්‍යාපෘතියක් අරඹා එම වගකීම ථූ යොව් යොව් නම් කාන්තාවට පැවරී ය. ඇය මැලේරියා මර්දන ඖෂධයක් සෙවීම සඳහා පැරණි චීන වෙද පොත් පීරමින් පරීක්ෂා කළා ය. එක්තරා ශාකයකින් නිපදවන ඔසුවක් ඉතා ප්‍රතිඵලදායී බව දුටු ඈ එම ශාකයෙන් සක්‍රිය සංඝටකය වෙන් කර ගැනීමට ද උත්සාහ කළා ය. එහෙත් සක්‍රිය සංඝඨකයක් ලැබුණේ නැත. පසුව ඇය වෙද පොත් පරීක්ෂා කරන විට දුටුවේ එම ඖෂධය පිළියෙළ කළ යුත්තේ ශීත ජලයේ බවයි. රත් කිරීම මඟින් සංඝඨක නිස්සාරණය කරන සාමාන්‍ය ක්‍රමවේදය ගැන සැක පහළ කළ ඈ අඩු උෂ්ණත්ව යටතේ සංයෝග නිස්සාරණය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කළා ය. මේ අවසන් ප්‍රතිඵලය වූයේ ආටිමෙසිනින් නම් ඖෂධයයි. එය දැනට මැලේරියාවට එරෙහිව පවතින ප්‍රබල ම ඖෂධයයි. ථූ යොව් යොව්ට 2015 දී නොබෙල් ත්‍යාගය ද හිමි විය.

දැන් අප අවදානය යොමු කළ යුත්තේ මෙහි කතා නො කරන අන්තය ගැනයි. මාඕ සේතුං චීන වෛද්‍ය ක්‍රමයට සහය නො දැක්වූවා නම් කුමක් වන්නට තිබුණි ද? මාඕ පවා දේශපාලනිකව මෙම ව්‍යාපෘතීන්ට සහය ලබා දුන්න ද විශ්වාසය තැබුවේ බටහිර වෛද්‍ය ක්‍රමයට ය. මා ඕ ගේ ප්‍රතිපත්තිය නිසා නොවන්නට ආටිමෙසිනින් තහනම් වෛද්‍ය ක්‍රමයක කෞතුක වස්තුවක් පමණක් වනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය සක්‍රිය සංඝඨකය සෙවීමට ඉතා විශාල ස්ථානයක් ලබා දෙයි. මෙතැන දී එය ද සාර්ථක විය. බොහෝ තැන්වල ඇති පරිදි ඖෂධය, ශාක ද්‍රව්‍යවල සංඝටකයක් නො වී සමස්ත ශාක කොටස ම වූයේ නම් කුමක් වන්නට තිබුණි ද? එසේ නම් බටහිර ලෝකයෙන් ආටිමෙසිනින් පිටමං වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ථූ යොව් යොව් සාමාන්‍ය නිස්සාරණ ක්‍රමවේද වෙනස් කළා ය. එවන් වෙනසකට යොමු නොවී සම්මත ක්‍රමය අනුව පරීක්ෂණ කොට එම ඖෂධය බොරුවකැයි කීවා නම් කුමක් වන්නට තිබුණි ද? ලංකාවේ 'ආසනික් පරීක්ෂණයේ දී' ජලයේ ආසනික් සංයුතිය සෙවීමේ ක්‍රමවේදය සුළු වෙනසකට ලක් කොට කන්ඩෙන්සරයක් ද එක් කළ විට 'උගතුන්' ඊට දැක්වූ විරෝධය අපට හොඳින් මතක ය. සම්මතවල එල්ලී පහර ගැසීම අධිපතිවාදය ක්‍රියාත්මක වන එක ආකාරයකි.

කෙසේ නමුත් චීන රජයේ ඍජු ප්‍රතිපත්තිය හමුවේ මේ බාධා අඩුවන්නට ඇත. එහෙත් මෙවන් දේ හේතුවෙන් සැඟව යන ප්‍රතිකාරයන් චීනයේත් කොතෙකුත් ඇතිවාට සැක නැත.

මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ පැරණි ශාස්ත්‍රයන් නැවත ඉස්මතු කිරීමේත් ඒවාට ස්වාධීනව දියුණු වීමට ඉඩකඩ සපයා දීමේත් වැදගත්කම ය.

ඇස් පනා පිට ප්‍රතිඵල පෙන්වන කැඩුම් බිඳුම් වෙදකමක් අප සතුව තිබිය දීත් සමහර බටහිර වෛද්‍යවරුන් තාක්ෂණික කාරණා හා වෙදකම පටලවමින් සිය අධිකාරිමය බලය අයුතු ලෙස යොදා ගනිමින් ඉදිරිපත් කරනා බොළඳ හරසුන් තර්ක සමූහයකට යට වී එහි දියුණුවට මඟ අවුරා තිබීම අප හට ලැජ්ජාවට කරුණක් පමණක් නොව මහා ඛේදවාචකයක් ද වෙයි.


         - තමලු මලිත්ත පියදිගම 

ගැලීලියෝ කෙප්ලර් කේන්දර බැලූ හැටි

2017.12.20  විදුසර

             උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ


 ගැලීලියෝ තමා සඳහා නිර්මාණය කරගත් කේන්දර සටහන

පුරා මාස හතක් ඇදී ගිය සංවාදයක් එහි අවසානය කරා එළඹී ඇත. පසුගිය සතියේ සැම්සන් මහතා සිය අවසන් ලිපිය ලියා තිබේ. මෙවර මගේ ලිපියෙන් සැම්සන් මහතා ප්‍රශ්න කළ නො හැකි වුවත් ඔහුගේ පසුගිය සතියේ ලිපියේද පවතින සාවද්‍ය කරුණු ගොන්න හෙළිදරවු කිරීම පාඨකයන් වෙනුවෙන් මා හට ඇති වගකීමකි. මෙනිසා ඉතා කෙටියෙන් සැම්සන් මහතාගේ ලිපියේ සාවද්‍ය කරුණු විමසීමට බලාපොරොත්තු වෙමි.

තරුවල පිහිටුම් වෙනස් වීම (stellar paradox) පිළිබඳ කරුණ සලකන විට මාස හයක දී ආසන්න තරුවල පිහිටීම් වෙනස් වීම මැනීමට ප්‍රබල උපකරණ අවශ්‍ය නොවේ යන සැම්සන් මහතාගේ ප්‍රකාශය අසත්‍යයකි. හිරුට ළඟින් ම ඇති තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චූරි තරුවේ මෙම කෝණය පවා විකලා 0.7687ක් පමණි. මෙය ඉතා ප්‍රබල උපකරණ මඟින් මිස නිරීක්ෂණය කිරීමට අපහසු ය. අනෙක් තාරකාවල මෙම අගය මීටත් වඩා කුඩා ය. අනෙක් අතට මේ සංසිද්ධිය පවා පෘථිවියට සාපේක්ෂ ඛගෝලයේ චලිතය මඟින් පහසුවෙන් පැහැදිලි කළ හැක්කකි. ඍතු භේදය පෘථිවි කේන්ද්‍රවාදය මඟින් පැහැදිලි කළ හැකි ආකාරය මම මීට පෙර දැක්වූයෙමි. සැම්සන් මහතා සූර්යයා පෘථිවිය වටා චලනය වීම අසත්‍යයක් බව පූර්ව උපකල්පනය කොට එම කරුණ මත ම ඍතු ඇති වීම එයින් පැහැදිලි කළ නො හැකි යැයි පවසමින් නැවත එය ම පෘථිවි කේන්ද්‍රවාදය අසත්‍ය බව කීමට උදාහරණයක් ලෙස ලබා දීම විසම චක්‍රයක හිරවීමකි. විසම චක්‍රයන්වල හිරවීම ශාස්ත්‍රීය අන්ධභාවය ඇති කරන්නකි. ජ්‍යෝතිෂ්‍ය නිර්මාණය කළ ඍෂිවරුන්ට තිබුණේ අල්ප දැනුමකි වැනි ප්‍රකාශ ද එලෙසින් ම කිසිදු ගැඹුරු අධ්‍යයනයකින් තොරව හිතුමතයේ කියන දේ පමණක් බවට සැක නැත. අපිචක්‍රක්‍රමය යල් පැන ගිය ක්‍රමයක් බවට ඔහු පවසන්නේ සාවද්‍ය කරුණකි. අපිචක්‍ර යනු ග්‍රහලෝක චලිතයේ ෆූරියර් ශ්‍රේණියයි. එය යල් පැන ගොස් නැත. ඍජුව ඉතා සංකීර්ණ ගණනයන් පවා පහසුවෙන් කිරීමට මෙය ඉතා හොඳ ක්‍රමවේදයකි. ග්‍රහයන් මිනිසුන් උපන් වෙලාවල් මතක තබා ගනිතැයි යන්න සැම්සන් මහතාගේ මනසේ පහළ වූ විපරීත සිතුවිල්ලක් මිස ජ්‍යෝතිෂ්‍ය පද්ධතිවල පැමිණෙන්නක් නො වේ. 1950 ආසන්න කාලයේ දී පාසල් අධ්‍යාපනය ලැබූ සුළුතරයක් පමණක් පොළොව ගෝලාකාර බව දැන සිටියේ නම් ඊට හේතුව වන්නේ විදේශීය ආක්‍රමණ නිසා අපගේ පැවති දේශීය අධ්‍යාපන ක්‍රමය පරිහානියට ගොස් තිබීම පමණි. එය බෞද්ධ මතය ලෙස හුවා දැක්වීම කෙතරම් අසාධාරණ ද? පැරණි සිංහල බෞද්ධයන් පොළොව ගෝලාකාර බව දැන සිටියේ යැයි මා පෙන්වූයේ ඉහළ මට්ටමේ පැරණි ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකකින් උදාහරණ දක්වමිනි.

මා වරක් බ්ලොග් අඩවියක් ගැන සඳහන් කළේ සැම්සන් මහතාට තමන් වැපුරූ දෙයෙහි ප්‍රතිඵල ලෙස නෙළන්නට වී ඇති ආන්තික ප්‍රචණ්ඩත්වය ගැන පෙන්වා දීමට මිස එයින් කරුණු දැක්වීමට නොවේ. එය මා නිශ්චිතව ම නො දැක්වුවේ මෙම සංවාදයේ ඔහු නොමැති බැවින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නොමැති තැනක ඔහුගේ නම සඳහන් කිරීම ආචාරධර්මීයව සුදුසු නොවන නිසා ය. මේ බව නොතේරෙන්නා සේ රංගනයක යෙදෙන සැම්සන් මහතා එය මගේ තර්කයන්ට මූලාශ්‍රයක් ලෙස හුවා දැක්වීමේ අසාර්ථක උත්සාහයක යෙදී ඇත.

මෙවන් සංවාදයක් ඇති වූයේ ඇයි දැයි මින්පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. බටහිර අධිරාජ්‍යවාදීන් අප රට යටත් කරගත් පසුව තම බලය පවත්වා ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හ. ඍජු ආධිපත්‍යය නොමැති අදත් ඔවුහු එම උපක්‍රම යොදති. දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන අංශ ඔස්සේ අධිරාජ්‍යවාදී බලපෑම් එල්ල කිරීම ගැන බොහෝ දෙනා දැනුවත් ය. ඊට එරෙහිව පෙළගැසීමට මිනිස්සු එකතු වෙති. අවාසනාවකට බටහිර ආධිපත්‍යය ගොඩනඟන සූක්ෂ්ම ම ආකාරය බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ඒ දැනුම් ආධිපත්‍යයයි. මේ බව මුල් වරට හෙළිදරවු කොට දුන්නේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ය. ඒ විදුසර හා දිවයින පුවත්පත්වලිනි. බටහිරයන් ඔවුන්ගේ විද්‍යාව හා අනෙක් ශාස්ත්‍ර අපට උගන්වන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන් නො වේ. බටහිරයන්ගේ විද්‍යාව හා ශාස්ත්‍ර ගොඩනැඟී ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත ය. එය අපගේ චින්තනයෙන් වෙනස් ය. එහෙයින් අපට මේ ආගන්තුක විද්‍යාවන්හි පතුළට කිඳා බැස නිර්මාණකරණයේ යෙදිය නො හැකි ය. අපට කළ හැක්කේ මතුපිට සුළු කාර්යයන් කිරීම පමණකි. බටහිර විද්‍යාවට සාදා දී ඇති ආධිපත්‍ය තුළ නිමිද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, ඖෂධ, තාක්ෂණය ආදී සියල්ල ආනයනය කෙරේ. මේ නිසා ඇති වී තිබෙන ප්‍රශ්නවල නිමක් නැත. යටත් විජිත පිහිට වූ මුල් කාලයේ ඇතැම් ඉංග්‍රීසින් ස්වදේශිකයන්ට බ්‍රිතාන්‍ය අධ්‍යාපනය දීමට එරෙහි විය. එහි දී පත්කර එවූ කමිටුවේ ප්‍රධානී මැකෝලි ස්වාමිවරයා එම අදහස ප්‍රතික්ෂේප කොට බටහිර අධ්‍යාපනය නියම කරමින් පැවසුවේ යටත් විජිතවල ලෙයින් හා හමින් ස්වදේශිකයන් වන සිතුම් පැතුම්වලින් හා සංස්කෘතියෙන් යුරෝපීයයන් වන ජන කොටසක් බිහි කළ යුතු බවයි. මෙය අර්බුදයේ එක් පැතිකඩකි. ආර්ථික ආධිපත්‍යය පවා දැනුම් ආධිපත්‍ය මත තීරණය වේ.

"ආර්ථික විද්‍යාඥයන් අපට පවසන්නේ භාණ්ඩයක මිල නියම වන්නේ වෙළෙඳ පොළෙහි බව ය. මිනිසාගෙන් ස්වායත්තව, ස්වාධීනව, වෙළෙඳ පොළෙහි නියම ක්‍රියාත්මක වන්නේ යැයි ඔවුහු අපට පවසති. ඉල්ලුම සැපයුම වැනි දෑ පදනම් කර ගෙන ගමේ වෙළඳ පොළෙහි සිට ලෝක වෙළෙඳ පොළ දක්වා සෑම තැනකදී ම මිල නියම වන බව අපට කියා දෙනු ලැබේ.එහෙත් එය මුසාවකි. ලෝක වෙළෙඳ පොළෙහි මිල නියම නොවේ. එහි දී සිදු වන්නේ මිල නියම කිරීමකි. මිල නියම කිරීම යනු මිල නියම වීම නොවේ. මිල නියම කෙරෙන්නේ මිනිසුන්ගේ මැදිහත් වීමෙනි. එහිදී ඉල්ලුම සැපයුමට වඩා බලපාන්නේ ලෝක අධිරාජ්‍යවාදයයි."

            නිදහස දිනා ගැනීම , නලින් ද සිල්වා

(මේ හා සමගාමී අදහසක් ප්‍රෙබිෂ් හා සිංගර් යන ආර්ථික විශේෂඥයන්ගේ වාර්තා අනුව ද ලැබී ඇත)

අපට උගන්වන තාක්ෂණය පවා කාර්යක්ෂම නැත. සැබෑ තාක්ෂණික විධික්‍රම පවතින්නේ ව්‍යාපාරවල වෙළඳ රහස් ලෙස ය. බටහිර දැනුමෙන් අපට වැඩක් ගත නොහැකි බව බටහිරයෝ දනිති.

මේ උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ අපේ චින්තනය අනුව අපට හුරු පුරුදු අපේ විද්‍යාවන් ශාස්ත්‍රයන් තාක්ෂණයන් බිහිකිරීමයි. තිබූ මෙවන් දේ නැවත මතු කිරීමයි. අපගේ පැරණි ශාස්ත්‍රයන් අධ්‍යාත්මික වේ. ඒවා ජ්‍යෝතිෂ්‍යය හා ගුප්ත යැයි කියන විද්‍යා සමඟ ද බැඳී පවතී. අපගේ විද්‍යාවන් ගොඩනැඟීම පියවර කිහිපයකින් යුතු ය.


*අපගේ න්‍යාය (logic) හා ඥානවිභාගය (epistemology) හඳුනා ගැනීම

*පැරණි ශාස්ත්‍රවල මූලික මූලාශ්‍ර එක් රැස් කිරීම
*එම මූලාශ්‍ර නැවත මුද්‍රණය කිරීම, පරිවර්තනය කිරීම, ප්‍රචලිත කිරීම අධ්‍යයනය කිරීම
*ජ්‍යෝතිෂ්‍ය, ගුප්ත විද්‍යා හා අධ්‍යාත්මික ප්‍රපංච සමඟ බැඳුණු ශාස්ත්‍ර අධ්‍යයනය
*ජනප්‍රවාදවල කියැවෙන දැනුම් හා තාක්ෂණයන් ගවේෂණය
* අප විසින් නව දැනුම් නිර්මාණය කිරීම
* වෙනත් සංස්කෘතිවල දැනුම් අවශෝෂණය කිරීම 
* අපගේ පැරණි ශාස්ත්‍ර සංශෝධයන්ට ලක් කරමින් නව දැනුම් නිපදවීම

මේ කටයුතු සාර්ථක කරගැනීමට අප අපගේ අතීත දැනුම වෙත යා යුතු ය.

බටහිර විද්‍යාව එක්තරා යුගයක ඉස්මතු වූයේ එවකට බටහිර සමාජයේ ගල්ගැසී තිබූ සමහර ඇදහිලි ප්‍රශ්න කිරීමෙනි. එයින් ඇරඹුණු බටහිර විද්‍යාව ක්‍රමයෙන් වර්ධනය වූ අතර උත්ප්‍රාසාත්මක ලෙස අද වන විට සිදු වී ඇත්තේ එය ද ගල් ගැසී ගිය තවත් ඇදහිල්ලක් බවට ම පත් වීමයි. එපමණක් නොව එය අධිරාජ්‍යවාදීන්ගේ මර්දක අවියක් ද වී ඇත.

මේ මධ්‍යකාලීන පල්ලිවලවත් නොතිබූ තරමට ම සීමාන්තික වූ විමර්ශනශීලීත්වයක් ඇති විද්‍යා පල්ලියේ මෙරට නියෝජිතයන් සේ පෙනී සිටින්නේ භෞතිකවාදී පිරිස් ය. ඔවුහු තමන් බටහිර විද්‍යාවේ නියෝජිතයන් බව පෙන්වාලමින් දේශීය පද්ධතිවලට පහර දෙති. හාස්‍ය ජනක ලෙස ඔවුන් එම පද්ධති හැඳින ගන්නේ අහුමුළුවලින් අල්ලා ගැනීමෙනි. බටහිර විද්‍යාව භක්තියෙන් ඇදහූව ද මොවුන්ට බටහිර විද්‍යාව පිළිබඳවවත් නිසි අවබෝධයක් නැත. මූලාශ්‍ර විකෘති කිරීමේ සිට සාවද්‍ය තර්ක හා අභියෝග එල්ල කිරීම දක්වාත් පුද්ගල නාම ප්‍රකාශන නාම හා නිලතල යොදා ගනිමින් ඒවා අධිකාරීත්වයෙන් පැටවීම දක්වා නොපණත්කම්වල මොවුහු නිරත වෙති. මොවුන්ගෙන් සමහරුන් වාචිකව අධිරාජ්‍ය විරෝධීන් වුව ද අවසාන අර්ථයෙන් මොවුන් සියල්ලන් ම අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බවට පත්වී ඇත. එහෙයින් මොවුන්ගේ අධානග්‍රාහී බව, බොළඳකම හා මොවුන් අතින් කෙරෙන මූලාශ්‍ර විකෘති හා සාවද්‍ය කරුණු හා තර්ක දැක්වීම් හෙළි දරවු කිරීම දේශීය දැනුම් පද්ධතියක් කරා යන ගමනේ එක් මූලික පියවරකි. මොවුන් බෞද්ධ මූලාශ්‍ර ද විකෘති කරන බැවින් බුදු දහමේ සුරක්ෂිතභාවය සඳහාත් මෙය ඉතා වැදගත් ය.

ශාස්ත්‍රීය මට්ටමෙන් භෞතිකවාදී දර්ශනය හදාළ හා එය පිළිගත් කිහිප දෙනකු සමඟ අප කලක පටන් සමාජ මාධ්‍ය අවකාශයේ  සංවාදයේ නිරත වීමු. එහි දී අපට පෙනී ගියේ සාමාන්‍ය ජනතාවගේ දර්ශන පිළිබඳ දැනුම ඉතා අවම මට්ටමක පවතින බවත් මේ වන විට ඉතිහාසයේ කුණු බක්කියට ම විසි වී ඇති හේතුවාදයේ අසාර්ථක බව පිළිබඳවත් සාමාන්‍ය ජනතාව නො දැනුවත් බව ය. භෞතිකවාදී යැයි කියන බොහෝ දෙනා ඉතා බොළඳ ගණයේ ඇති කොවුර්ගේ අභියෝග පවා ඉතා වැදගත් තර්ක බව සිතා සිටිති. සාමාන්‍ය ජනයාට මාධ්‍යවලින් විද්වතුන් ලෙස දකින්නට ලැබෙන්නේ ද දර්ශනය හෝ විද්‍යාව ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නො කළ එහෙන් මෙහෙන් අහුලාගත් දැයින් හිතු මතයේ අදහස් ප්‍රකාශ කරන ව්‍යවහාරික වෘත්තීන්වල නාමය භාවිත කරමින් සමාජ තත්වයක් ගොඩ නඟා ගත් පිරිසක් මිස සැබෑ අධ්‍යයනයක් කළ පිරිසක් නො වේ. මෙහි ප්‍රතිඵලය ලෙස භෞතිකවාදී සංවාදය ලෙස සාමාන්‍ය ජනයා හැඳිනගන්නේ ඉබාගාතේ කෙරෙන කේන්දර පුනර්භව විරෝධයකි. මෙවන් පිරිස් විද්වතුන් සේ හුවා දැක්වෙන විට අනෙක් පසින් ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාව පිළිබඳ ද මෙවන් නිසි අධ්‍යයනයෙන් තොර පිරිස්වලට මාධ්‍ය ඔස්සේ දොරගුලු විවෘත විය. මේ එක තැන පල් වෙන සංවාද රැල්ලෙන් ජනතාව මුදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

හේතුවාදීන් සමඟ සංවාද කිරීම දර්ශනය විධිමත්ව උගත් බොහෝ දෙනා සලකන්නේ කිලිටි රාජකාරියක් ලෙසිනි. එහෙත් මා විශ්වාස කරන්නේ සාමාන්‍ය ජනතාව අතරට නොගොසින් සීමිත පිරිසක් අතර සංවාද කිරීම අපගේ යුතුකම නොවන බවයි. සාමාන්‍ය ජනතාව කොටු වී සිටින මේ සිරගෙය බිඳ දමා ඔවුන්ට ආලෝකය සැපයීම අපගේ වගකීමකි. මීට ආරම්භයක් වශයෙන් මා විදුසර තෝරා ගත්තේ එය ලංකාවේ අනාගත පරපුරට බලපෑම් කළ හැකි එමෙන් ම බුද්ධිමත් ශිෂ්‍යයින් වෙත ආමන්ත්‍රණය කිරීමට යොදා ගත හැකි විමර්ශනශීලී පාඨක පිරිසක් එක් රොක් වී සිටිනා පුවත්පතක් නිසාවෙනි. ලංකාවේ හේතුවාදීන්ගේ ප්‍රධාන මාතෘකාව ජ්‍යෝතිෂ්‍ය විරෝධයයි. කේ.ආර්. අභයසිංහ මහතා මෙහි පළ කළ "ජ්‍යෝතිෂ්‍යය මුළාවක් ම ය" ලිපියට ඉතා කෙටි පිළිතුරු ලිපියක් මා සැපයූයේ ඒ අනුව ය. එම ප්‍රතිචාරය සංවාදයක් බවට හරවමින් විදුසර පාඨකයන්ගේ දැනුමේ නිම් වළලු පුළුල් වීමට අවස්ථාවක් සැපයීම පිළිබඳව අභයසිංහ මහතාට අප සියල්ලන්ගේ ම කෘතඥතාව හිමි විය යුතු ය. ඉන්පසුව සංවාදයට එක් වූ සැම්සන් ගුණතිලක මහතාට ද මාහට සහය දක්වමින් සංවාදයට එළඹුණු දිලුම් සෙනවිරත්න මහතාට ද මාගේ ස්තූතිය හිමි වේ. අභයසිංහ මහතා මට කිසිසේත් අදාළ නොවන ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ අභියෝග පිළිබඳ නිතර නිතර සඳහන් කිරීම හේතුවෙන් මේ සංවාදය අතරතුර දී මා සතිඅන්ත ජාතික පුවත්පතක කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීයභාවය හෙළි දරවු කරමින් ලිපි පෙළක් පළ කළෙමි. ඒ කාර්යයට මා යොමු කිරීම පිළිබඳව ඒ මහතාට ස්තූතිවන්ත වෙමි. මාස හතක සංවාදයකින් පසු පාඨකයන්ට දැන ගත හැකි වූයේ කුමක් දැයි මීළඟට අපි විමසා බලමු.

සංවාදයට එළඹෙමින් මා පියවර දෙකකින් තර්ක කළෙමි. පළමු පියවර වූයේ පෘථිවි කේන්ද්‍රවාදය ද සූර්ය කේන්ද්‍රවාදය හා සමාන නිරවද්‍යතාවයෙන් ම ප්‍රතිඵල ලබා දෙන බැවින් පෘථිවි කේන්ද්‍රවාදය මත ගොඩනැඟුණු නිසා ජ්‍යෝතිෂ්‍යය බැහැර කළ නො හැකි යන්න ය. දෙවැනි පියවර වූයේ ජ්‍යෝතිෂ්‍යයේ සිදු කෙරෙන්නේ මිනිස් සමාජයේ චක්‍රීය හැසිරීම් ආකාශ වස්තූන්ගේ චක්‍රීය චලිත රටා සමඟ ගැළපීමක් බවයි. වෙනත් අයුරකින් කියන්නේ නම් මිනිස් සමාජයේ ඇතැම් හැසිරීම් කාලයේ ශ්‍රිත ලෙස පවතී. අප කාලය මනින්නේ ආකාශ වස්තුවල චලිතයන් පාදක කර ගනිමින් (උදා දිනය, වසර) බැවින් අවසානයේ මෙම ශ්‍රිත ග්‍රහ චලිතයන්හි ශ්‍රිත ම වේ. එනම් ග්‍රහ පිහිටීම් අනුව අනාවැකි කීමේ හැකියාවක් ඇත. ඒ බව හේතුවාදීන්ට බැහැර කළ නො හැකි ය. හේතුවාදීන් කියන පරිදි මනස මොළයේ ප්‍රතිඵලයක් නම් මෙහි පදනම ඉතා දැඩි ලෙස ශක්තිමත් වේ. එ නිසා හේතුවාදීන්ට නම් කෙසේවත් ම ජ්‍යොතිෂයට විරුද්ධ විය නො හැකි ය.

මින් පළමු පියවරට අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය එකඟ විය. දෙවන පියවරට පිළිතුරක් මේ මාස හතේ දී ම ලැබුණේ නැත. එය නො දුටුවා සේ ම සිටීම ප්‍රශ්න කළ විට එය නව කල්පිතයක් ලෙස නම් කරමින් ඒ සඳහා මවෙත සුබ පැතුමක් ද සැම්සන් මහතාගෙන් ලැබුණි. එය කල්පිතයක් නොව ව්‍යුත්පන්නයක් බව මා පෙන්වා දුන් පසු ඊට ප්‍රතිචාරයක් දැක්වීමට හේතුවාදී පාර්ශ්වය අපොහොසත් විය. මේ අපගේ සංවාදයේ අරටුවයි. මාස හතක් තිස්සේ ම ඒ අරටුව අසළකින්වත් පොරෝ පහරක් වැදුණේ නැත.

මෙසේ ජ්‍යෝතිෂ්‍යයේ සෛද්ධාන්තික විභවය පිළිබඳ කේන්ද්‍රීය තර්කය නිරුපද්‍රිතව තිබිය දී සංවාදය සිදුවූයේ පරිධියේ කරුණුවල ය. එයින් කිසිසේත් ම පාඨකයන්ට අවැඩක් නොවන්නට ඇත. අතීත පෙරදිග ජනයා පොළොව ගෝලාකාර බව දැන සිටි බව, ෂෝන් කාල්සන් පරීක්ෂණ ආදී ජ්‍යෝතිෂ්‍ය විරෝධී පරීක්ෂණවල අසාර්ථකත්වය, සූර්ය කේන්ද්‍රවාදය පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදි හෝ දියුණු නොවන බව, සාපේක්ෂතාවාදය, ගුප්ත විද්‍යාව බෘනෝගේ මරණය හා කොපර්නිකස් ගැලීලියෝ සම්බන්ධ සැබෑ ඉතිහාසය අපිචක්‍ර සූර්ය සිද්ධාන්තය පිළිබඳ දැනුම් සම්භාරයක් පාඨකයන්ට ලැබෙන්නට ඇත. මේ සංවාදයෙන් ජ්‍යෝතිෂ්‍ය විරෝධියකුට තම මතය සනාථ කිරීමට උපයෝගී කරගත හැකි තර්ක කීයක් ලැබෙන්නට ඇති ද? එය පාඨකයන්ට සිතා බැලීමට ප්‍රශ්නයක් සේ ඉතුරු කරමි.

හේතුවාදීන් මූලාශ්‍ර විකෘති කරන ආකාරයත් නක්ඛත්ත ජාතකය කාලාම සූත්‍රය විකෘති ලෙස අර්ථ දක්වන ආකාරයත් මෙහි දී හෙළි දරවු වූ අතර දාර්ශනික තලයේ හේතුවාදයේ භෞතිකවාදයේ පරාජය ගැනත් පාඨකයන්ට අවබෝධයක් ලැබෙන්නට ඇත. ශාක පුනර්භවයට පත් නොවන්නේ ඇයි ද යන්නට මා දුන් පිළිතුරට ද අභියෝග එල්ල වූයේ නැත.

කෙසේ නමුත් හේතුවාදීන්ගේ පෘථිවි කේන්ද්‍රවාද විරෝධී හා ජ්‍යෝතිෂ්‍ය විරෝධී සුපුරුදු තර්ක කිහිපයක් මෙහි ඉස්මතු වූයේ නැත. එකක් නම් රාහු හා කේතු යනු කල්පිත ග්‍රහයන් ය යන්නයි. මොවුන්ට අමතක වන්නේ අප භාවිත කරන විද්‍යුත් මෙවලම් නිර්මාණය කිරීමේ දී ධන සිට ඍණට ගලන කල්පිත ධාරාවක (සම්මත ධාරාවක) සංකල්පය යොදා ගත් බවයි. අර්ධ සන්නායකවල ඇති කුහර ද එවැනි කල්පිත සංකල්පයකි. පෘථිවි කේන්ද්‍රවාදයට විරුද්ධව ආලෝකය යොදා ගෙන කළ පරීක්ෂණ ප්‍රතිඵල සියල්ල ම මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය හා සාපේක්ෂතාවාදය හේතුවෙන් වර්තමානයේ දී ප්‍රතික්ෂේපව ගොස් තිබේ. කොරියෝලිස් බල පිළිබඳ තර්ක සාපේක්ෂතාවාදයේ එන කොරියෝලිස් ක්ෂේත්‍රය ආදී සංකල්ප මඟින් අවලංගුව ගොස් ඇත. සිකුරු ග්‍රහයාගේ කලා පිළිබඳව ප්‍රශ්නය ඇති වූයේ ග්‍රහ කක්ෂ භෞතික පථ යැයි සිතූ ටොලමි ඒවා එකිනෙක කැපී නොයන සේ ඇඳීමේ අරමුණ උදෙසා ම කක්ෂ විකෘති කළ නිසා ය. කක්ෂය නිවැරදිව ඇන්දේ නම් මෙයින් පෘථිවි කේන්ද්‍රවාදයට කිසිදු අර්බුදයක් නැත. බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය තිරශ්චීන විද්‍යාවක් යැයි දේශනා කළ බව ද අසත්‍යයකි. උන් වහන්සේ තිරශ්චීන විද්‍යාව ලෙස හැඳින්වූයේ පැවිද්දන් මේවායේ යෙදෙමින් මුදල් ඉපයීමයි. එම ලැයිස්තුවේ ජ්‍යෝතිෂ්‍ය පමණක් නොව වෙදකම් සැත්කම් භෞතික විද්‍යාව සත්ත්ව විද්‍යාව තාරකා විද්‍යාව වැනි විෂයන් පවා ඇත.

පෙරදිග ජ්‍යෝතිෂ්‍යයේ අපිචක්‍ර ක්‍රමය බටහිර ජ්‍යෝතිෂ්‍යයට වෙනස් ය. දැන් සංවාදය අවසානයට එළඹී ඇති බැවින් එය මේ තුළ සඳහන් නො කොට වෙන ම සන්සන්දනාත්මක ලිපියක් ලෙස ඉදිරිපත් කරමි. සූර්ය සිද්ධාන්තය ග්‍රන්ථයේ පරිච්ඡේද කිහිපයක මා පොරොන්දු වූ පරිවර්තනය එම ලිපියේ ම පළකරමි.

ටස්කනි ඩියුක්වරයාගේ ගැලීලියෝ සෑදූ කේන්දරය

හමාර කිරීමට මත්තෙන් කිව යුත්තේ සූර්ය කේන්ද්‍රවාදයෙන් ජ්‍යෝතිෂ්‍යයට තර්ජනයක් නැති බව අමුතුවෙන් පැහැදිලි කිරීමට පවා දෙයක් නැති බවයි. මේ ඉතාලියේ සිටි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ ප්‍රකාශයකි.

Mercury rising is very strong for all things, and Jupiter which is conjunct gives knowledge and bounty, simplicity, humanity, erudition and prudence.

මේ ජ්‍යෝතිෂ්‍යවේදියා වෙන කවරකුත් නොව පාදුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට එකල වෙදකම් කිරීමට අවශ්‍ය වූ ජ්‍යෝතිෂ්‍යය ඉගැන්වූ ගැලීලියෝ ගැලීලි ය. මා මේ උපුටා ගත්තේ ගැලීලියෝ සිය බාල දියණියගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහනෙන් කොටසකි. ගැලීලියෝ ටස්කනිහි ඩියුක්වරයාගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහන ද මා සතුව ඇත. ගැලීලියෝ තමා අනාවරණය කරගත් බ්‍රහස්පති චන්ද්‍රයන් ඇසුරෙන් ද අනාවැකි කියූ බව මින් පෙනේ. (විස්තර සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ The Inspiration of Astronomical Phenomena සම්මන්ත්‍රණයට Nick Kollerstrom ඉදිරිපත් කළ How Galileo Dedicated the Moons of
Jupiter to Cosimo II de Medici පත්‍රිකාව බලන්න) ගැලීලියෝ බ්‍රහස්පති ගැන සඳහන් කරමින් ලිවූ  Sidereus Nuncius ග්‍රන්ථය ඇරඹෙන්නේ බ්‍රහස්පතිගේ සුබ ඵල, අසුබ ඵල ගුණ දැක්වීමෙනි.  ගැලීලියෝ පමණක් නොව ජොහැනස් කෙප්ලර් ද එකල සිටි ප්‍රමුඛ පෙළේ ජ්‍යෝතිෂ්‍යවේදියෙකි. ඔහු නව පැරණි ජ්‍යෝතිෂ්‍යයෙන් මිදී නව ජ්‍යෝතිෂ්‍ය පද්ධතියක් සකසමින් එය Science of harmonics ලෙස නම් කළේ ය. මේ උපුටා ගැනීම ඔහුගෙනි.


'The soul of the newly born baby is marked for life by the pattern of the stars at the moment it comes into the world, unconsciously remembers it, and remains sensitive to the return of configurations of a similar kind.' 


Kepler, Harmonics Mundi, chapter 7
ආරම්භක සූර්ය කේන්ද්‍රවාදීහු ද ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෝ ය.

ලෝකයේ විවිධ ජ්‍යෝතිෂ්‍ය පද්ධති පවතී. සාධාරණව ජ්‍යෝතිෂ්‍යයෙන් සිදුවන්නේ මා මගේ මූලික තර්කයේ සඳහන් කළ දේ ය. එය බිඳ දැමීමට ශක්තියක් හේතුවාදයට නම් කිසි ලෙසකින්වත් ඇතැයි නො සිතමි.

මේ සංවාදය අවසානයේ පාඨකයන් වෙත දීමට මට ඇති පණිවිඩය වන්නේ අපගේ චින්තනයේ දැනුම් පද්ධතියක් වෙත යාමේ දී ඊට බාධක ලෙස පෙනෙන බොහෝ දේ ව්‍යාජ මවා පෙන්වීම් හා විකෘති කිරීම් පමණක් බවයි. අවශ්‍ය උනන්දුව ඇතිනම් බටහිර ආධිපත්‍යයෙන් පෙන්වන ඉතිහාස කතා, සත්‍ය බවට ඔප්පු වී ඇත්තාක් මෙන් ස්ථිර ලෙස අප වෙත ඉදිරිපත් කරන කරුණු ආදිය ගැඹුරෙන් විමසා බිඳ හෙළා දමමින් අපගේ පැරණි දැනුම් අධ්‍යයනය කිරීමට හැකි බවයි. බටහිර විලාසිතාවන්ට යට වී ජ්‍යෝතිෂ්‍ය හෝ ගුප්ත විද්‍යාව දෙස ශාස්ත්‍රීය ඇසකින් නො බලමින් ඒවාට ගරහමින් වීරයකු හා බුද්ධිමතකු විය හැකි ය යන සිතුවිල්ල හා මෙම ආධිපත්‍යයට යට වීම නිසා ඒවා ගැන අධ්‍යයනයට මැලිවීම ඔබ තුළින් තුරන් කර දැමිය හැකි නම් අප මේ වෙළී සිටිනා අධිරාජ්‍යවාදී මර උගුල පුපුරවාහැර නිදහස් නිවහල් ස්වයංපෝෂිත රටක් දකිනා දිනය වැඩි ඈතක නොවනු ඇත.

Sargedrioගේ ගැලීලියෝ සෑදූ කේන්දරය

පුරා මාස හතක් අප හා රැඳී සිටි නොයෙක්වර අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අප දිරිමත් කළ පාඨකයන්ට ස්තූතිය පළ කිරීමට මේ අවස්ථාව යොදා ගනිමි.

බටහිර විද්‍යාව ගොඩනැඟුණු ආකාරය, එහි ආධිපත්‍යය හා විද්‍යාත්මක ක්‍රමය නමින් මවා පෙන්වන ව්‍යාජයේ සැබෑ මුහුණුවර පිළිබඳව වටහා ගැනීමට ඇති අගනා පොත් කිහිපයක් ලෙස නලින් ද සිල්වා මහතාගේ මගේ ලෝකය, විද්‍යා කතන්දර, අපේ ප්‍රවාද යන ග්‍රන්ථ ද පෝල් ෆයරාබන්ඩ් මහතාගේ Against Method ග්‍රන්ථය හා Farewell to Reason ග්‍රන්ථය ද, ජෙරමි ලෙන්ට් මහතාගේ Patterning Instinct ග්‍රන්ථය ද විමර්ශනශීලී පාඨකයන්ගේ අවධානයට යොමු කරන්නේ ඔවුන්ගේ දැනුම වර්ධනය උදෙසා ය.

විශේෂ සටහන: පත්‍රයේ ඉඩකඩ කළමනාකරණය කරගනිමින් අපගේ දීර්ඝ ලිපිවලට පවා ඉඩ ලබා දෙමින් මෙම සංවාදයට සිය සහයෝගය දැක්වූ විදුසර කර්තෘතුමාට හා කාර්යය මණ්ඩලයට ද අපගේ ප්‍රණාමය හිමි වේ.



                        - තමලු මලිත්ත පියදිගම 

තාත්වික විශ්ලේෂණය (Real Analysis): පාඩම් අංක 01

        තාත්වික විශ්ලේෂණය (Real Analysis)

අර්න්ස්ට් සර්මෙලෝ (Ernst Zermelo)

විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් ඇතුළු බොහෝ දෙනාගේ ඉල්ලීම මත තාත්වික විශ්ලේෂණය (real analysis) ගැන ලිපි පෙළක් ලියන්න හිතුවා. අපරිමේය සංඛ්‍යා (irrational numers) ද ඇතුළුව තාත්වික සංඛ්‍යා (real numbers) ගැන හැදෑරීම තාත්වික විශ්ලේෂණය කියලා කියනවා.

ගණිතයේ විධික්‍රමය (Method of Mathematics)


බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය රේඛීයයි (teleological). ලෝකය රේඛාවක් දිගේ විකාශනය වෙනවා වගේ දකිනවා. මේ බටහිර ගණිතයේ ඒ බව උපරිමව ම තියෙනවා.

ගණිතයේ ක්‍රියාකාරකම් දෙකක් අපිට මෙහෙම නම් කරන්න පුළුවන්.
1.සංකල්ප නිර්මාණය කිරීම,
2. සංකල්ප අතර සම්බන්ධතා දැක්වීම

අලුත් සංකල්පයක් නිර්මාණය කළොත් ඒක හඳුන්වා දෙන්න ඕනේ. ගණිතයේ දී නම් සංකල්පයක් හඳුන්වා දෙන්න තියෙන ක්‍රමය අර්ථ දැක්වීම. ඒ කියන්නේ සංකල්පය වඩා සරල සංකල්පවලින් විස්තර කිරීම. ගණිතයේ අර්ථ දැක්වීමක් හැමවිට ම නම් හා නම්ම පමණක් කාරකයෙන් (if and only if operator) තමයි ලියැවෙන්නේ.

උදා: ඉරට්ට සංඛ්‍යාවක් නම් හා නම් ම පමණක් සංඛ්‍යාව දෙකෙන් බෙදේ.

ඉරට්ටේ නම් දෙකෙන් බෙදේ. දෙකෙන් බෙදේ නම් ඉරට්ටේ. 'නම් හා නම්ම පමණක්' දිග වැඩි නිසා අර්ථ දැක්වීම්වල 'නම්' කියලා විතරක් ලියන තැනුත් තියෙනවා. ඒත් තේරුම් ගන්න ඕනෙ අර්ථ දැක්වීමක 'නම් හා නම්ම පමණක්' අනිවාර්යයි. ඒ නිසා ඒ කෙටි කරලා ලියලා තියෙන්නේ ඒක ම තමයි කියල කියලා. ඒ වෙනුවට කෙටිකිරීම සඳහා 'යනු' කියන වචනය ලියන්න පුළුවන්. iff කියලා ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් f අකුරු දෙකක් එක්ක.

උදා: x is even iff x is divided by 2.

දැන් සංකල්පයක් ඊට වඩා සරල සංකල්ප පාවිච්චි කරලා අර්ථ දක්වන්න ඕනේ. එතකොට ඒ සරල සංකල්ප? ඒවා ඊටත් සරල සංකල්පවලින් අර්ථ දක්වන්න ඕනේ. එතකොට ඒ සරල සංකල්ප......?

මේක ඉවරයක් වෙයි ද? කොතැනින් හරි නවත්තන්න වෙනවා. කොතනින් ද නවතින්න වෙන්නේ? ඉතාමත් සරලතම සංකල්පවලින් වෙන්න ඕනෙ.
බටහිර ගණිතඥයෝ මේක නැවැත්තුවේ කුලකය කියන සංකල්පයෙන්. ඒක තමයි සරලතම සංකල්පය කියලා බටහිර ගණිතඥයන්ට සලකන්න වුණේ. කුලකයට අර්ථ දැක්වීමක් දුන්නේ නෑ. ඊටත් වඩා සරල සංකල්ප නැත්නම්, කුලකය අර්ථ දක්වන්නේ මොනවා යොදා ගෙන ද?

එතකොට ඉස්කෝලේ ඉගැන්නුවේ අර්ථ දැක්වීමක් : කුලකයක් යනු අවයවවල හොඳින් අර්ථදැක්වූ එකතුවකි කියලා? ඔය අර්ථ දැක්වීම අද පිළිගන්නේ නෑ. කාන්ටර් (Canter) කියන ගණිතඥයා ඔය අර්ථ දැක්වීම මත හදපු ගණිතය එහෙම පිටින් 'පුපුරලා ගිහින්' විනාශ වුණා. මේ බෝම්බය එල්ල කළේ ගණිතඥයන් වන සර්මෙලෝ (Zermelo) හා රසල් (Russell).

 ඇත්තට ම කුලකය සරල සංකල්පයක් ද? හිතලා බලමු. මේකේ අග හරිය කියවද්දී හිතෙයි එහෙම නෙවෙයි කියලා. කොහොමත් බටහිර ගණිතය කියන්නේත් එක විදිහකින් පට්ටපල් බොරුවක් ම තමයි. වියුක්තකරණයක් (abstraction). මේවායේ මුලට ගිහා ම අර්බුද මතු වෙනවා. කොහොමවෙතත් වියුක්තය (abstract) ගැන මුලින් ම හරිහැටි විස්තර කිරීමක් කරපු Fredgeගේ සංඛ්‍යා පිළිබඳ අර්ථ දැක්වීමටත් රසල්ගේ බෝම්බයෙන් අභියෝග එල්ල වුණා.

මේ කුලකය මත පදනම් වීම උදාහරණයකින් තේරුම් ගනිමු. පටිපාටි ගත යුගලය (ordered  pair) කියන සංකල්පය ඔබ දන්නවා ඇති. (1,3) පටිපාටිගත යුගලයක්. මේකේ පිළිවෙළක් තියෙනවා. (1,3) හා (3,1) වෙනස් පටිපාටිගත යුගල දෙකක්. පටිපාටිගත යුගලයක් කියන්නේ මොකක් ද කියලා ඇහුවොත් ගණිතයේ දී කරන්න ඕනේ මොකක් ද? ඒ සංකල්පය කුලක ඇසුරෙන් අර්ථ දක්වන එක. ඉතින් පටිපාටිගත යුගලයක් ගණිතයේ අර්ථ දක්වන්නේ මෙහෙමයි.

(1,2) = {{1,2},{1}}
පටිපාටිගත යුගලයක් කියන්නේ කුලක දෙකක කුලකයක් කෙටි කොට ලිවීමක්. ඒකයි ගණිතයේ අර්ථ දැක්වීම. අවයව දෙක ම තියෙන කුලකයයි. එක් අවයවයක් විතරක් තියෙන කුලකයයි. අවයව දෙකක් අතරින් එක අවයවයකට විශේෂයෙන් සැලකීමක්. පටිපාටියක් කියන්නේ එහෙම එකක් නේ.
(2,1)={{2,1}, {2} } මේ දෙක වෙනස්. {1,2}={2,1} වුණත් (1,2) හා (2,1) අසමාන බව අපට පේනවා. පටිපාටිගත යුගල ඇතුළත් සියලු සම්බන්ධ මේ විදිහට කුලක යොදා ගෙන පැහැදිලි කරන්න පුළුවන්. මේක සරලව හඳුන්වාදීමක් ද වියවුලක් ද මම දන්නේ නෑ. ගණිතඥයෝ අර්ථ දැක්වීමක් කියන්නේ මේකට. අර්ථ දැක්වීම් කියන්නේ අවසාන අර්ථයෙන් කුලකවලට කරන ඌනනයක් (reduction).

ඊළඟ දේ සංකල්ප අතර සම්බන්ධතා. ඒවා ඔප්පු කරන්න ඕනෙ. ඔප්පු කරන්න පාවිච්චි කරන්න ඕනේ ඊට වඩා සරල සම්බන්ධතා. ඔප්පු කරපු සම්බන්ධය වැදගත් නම් ඒකට ප්‍රමේයයක් (Theorem) කියනවා. ප්‍රමේයයකින් එක පාර ම ගම්‍ය වෙන සම්බන්ධයක් නම් උපප්‍රමේයයක් (corollary) කියනවා. කිසියම් එක් ප්‍රමේයයක් සාධනය කිරීමට වැදගත්වන එහෙත් පොදුවේ ගත්විට එතරම් ම වැදගත් නොවන සම්බන්ධතාවලට උපසාධ්‍ය (lemma) කියනවා. තව ම ඔප්පු නො කළ ප්‍රකාශවලට ඌහන (conjecture) කියලා කියනවා.

හරි දැන් සම්බන්ධතා ඊට වඩා සරල ඒවායින් ඔප්පු කරන්න ඕනේ. එතකොට ඒ සරල සම්බන්ධතා? ඒවා ඊටත් වඩා සරල සම්බන්ධතාවලින් ඔප්පු කරන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධතා........... මේක කෙළවරක් වෙයි ද? මේක කෙළවරක් කරන්න වෙනවා. බටහිර ගණිතඥයෝ මෙහෙම ආපස්සට ආපස්සට ගිහින් අන්තිමට එන ඉතා ම සරල සම්බන්ධතාවලට කියුවා ස්වසිද්ධි (axiom) කියලා. Axiom සරල ම නිසා ඊට වඩා සරල ම ඒවා නෑ. ඉතින් ඒවා ඔප්පු කරන්න විදිහකුත් නෑ. තෝරා ගැනීමේ ස්වසිද්ධිය (Axiom of choice) වගේ එකක් ගත්තොත් හිතෙන්න පුළුවන් ස්වසිද්ධි ඇත්තට ම අතිශයින් සරල ද කියලා. ඒ ගැන කතා කිරීම ඉදිරියට ඉතුරු කරමු.

ගණිතයේ කුලක ඇත්තට ම තියෙනවායි කියලවත් ස්වසිද්ධි, ප්‍රමේයයන් ඇත්‍ත කියලාවත් කියන්නේ නෑ. ඒ වෙනුවට කියන්නෙ කුලක තියෙනවා නම් මේවාත් තියෙනවා.
මේ ස්වසිද්ධි හරි නම් මේ මේ සම්බන්ධතාත් හරි කියන එක විතරයි කියන්නේ.

මෙහෙම ඔප්පු නො කළ 'සරල' (?) දේ ඉඳලා අනෙක් දේට රේඛීයව ඔප්පු කරමින් යන ක්‍රමයට ස්වසිද්ධාත්මක විධික්‍රමය (axiomatic method) කියලා කියනවා. සමස්ත ගණිතය ම මේ විදිහට හදන්න ඩේවිඩ් හිල්බර්ට් ගණිතඥයා ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒක ඉදිරියට ගෙන ගොස් සර්මෙලෝ හා ෆ්‍රැඑන්කල්ගේ කුලකවාදයත් රසල්ගේ Principia Mathematica ග්‍රන්ථයත් බිහිවුණා. ලෝකයේ පහළ වූ විශිෂ්ටතම ගණිතඥයා ලෙස සැලකෙන ගර්ඩ්ල් අවසානයේ දී ඔප්පු කළේ සමහර ගණිත පද්ධතිවල ඔප්පු නොකළ හැකි ගණිතමය සත්‍යයන් පවතින බව හා මේ සියල්ල ආවරණය වන ලෙස ස්වසිද්ධි සැකසුවහොත් එකිනෙකට පටහැනි ස්වසිද්ධි ලැබිය යුතු බව. ගණිතය අසම්පූර්ණ බව පෙන්වූ ගර්ඩ්ල්ගේ අසම්පූර්ණතා ප්‍රමේයයෙන් (Godel's Incompleteness Theorem) මේ ව්‍යාපෘතිය අසාර්ථක බව පෙන්වමින් නිමා වුණා.

බටහිර ගණිතයේ යොදා ගන්නේ ද්විකෝටික න්‍යාය (two valued logic). එක්කො සත්‍ය නැතිනම් අසත්‍ය. වෙනත් විකල්ප නෑ.


කාන්ටර් ඉදිරිපත් කරපු පාසලේ දී අප ඉගෙන ගන්නා කුලක අර්ථ දැක්වීම අසාර්ථක ඇයි?


කාන්ටර්ගේ බොළඳ කුලක වාදය (naive set theory) අනුව කුලකයක් කියන්නේ නිශ්චිතව අර්ථදැක්වූ අවයව සමූහයක්. අපි ඔය අර්ථකථනය මතකයේ තියාගෙන ඉස්සරහට යමු.

කුලකත් ගණිතයේ දෙවියා වගේ. සියල්ල කරන්න පුළුවන් දෙවියන් වහන්සේට පුළුවන් ද දෙවියන් වහන්සේට උස්සන්න බැරි තරම් ලොකු ගලක් මවන්න කියන ප්‍රශ්නය (omnipotence paradox) ඕගොල්ලෝ අහලා ඇති. දේවවාදයටත් ඉතින් මේකට උත්තර නම් තිබුණා. මේකේ ගණිතයට හරියන ආකාරය මොකක් ද? ඒකට තමයි රසල්ගේ විරුද්ධාභාසය (Russell's paradox) කියන්නේ. බර්ට්‍රන්ඩ් රසල්ට (Bertrand Russell) කලින් අර්න්ස්ට් සර්මෙලෝ (Ernst Zermelo) මේක ම කිව්වත් ඒක හරියට දැනගන්න ලැබුණේ ඩේවිඩ් හිල්බට් (David Hilbert) ගණිතඥයාටත්, හුසර්ල් (Husserl) කියන භාෂා දාර්ශනිකයාටත් විතරයි. ඒකයි මේක රසල්ගේ නමින් තියෙන්නේ.

මොකක් ද මේ රසල් විරුද්ධාභාසය. අපි බලමු. ඊට කලින් ප්‍රශ්නයක් අහන්නම්. අවයව ලෙස කුලක එකතු කරලා හදන කුලකත් තියෙන්න පුළුවන් බව ඔබ දන්නවා. මම අහන්නේ තමන් තමන්ගේ ම අවයවයක් වෙන කුලකයක් තියෙනවා ද කියන එක. (උපකුලකයක් කියලා නෙවෙයි අවයවයක් කියලයි ඇහුවේ.)

මේකට උත්තර දෙන්න අමාරු වෙයි.

හොඳයි එහෙම නොවෙන කුලකත් තියෙනවා ද? තමන් තමන්ගේම අවයවයක් නොවන කුලක තියෙනවා ද?

මේක ලේසි ප්‍රශ්නයක්. උත්තරය ඔව්. {1,2} කුලකය ගන්න. ඒකේ අවයව 1 හා 2. {1,2} ඒකේ අවයවයක් නෙවෙයි. තමන් තමන්ගේ අවයවයක් නොවෙන කුලක මේ වගේ ඕනෑ තරම්.

රසල් කියන්නේ මෙහෙම දෙයක්.

තමා තමාගේ ම අවයවයක් නොවන කුලක සියල්ල සලකන්න.
මේ ආකාරයේ සියලු කුලක ඇතුළත් කුලකය M ලෙස ගන්න. M කියන්නේ තමා තමාගේ ම අවයවක් නොවන කුලකවල කුලකයයි. ප්‍රශ්නය වන්නේ M, Mගේ ම අවයවයක් ද යන්නයි.
M, M කුලකයේ ම අවයවයක් නම් එය තමා තමාගේ අවයවයක් නොවන පරිදි කුලකයක් වේ.
M, M කුලකයේ අවයවයක් නොවේ නම් M තමා තමාගේ අවයවයක් නොවන පරිදි කුලකයකි. එනම් එය Mට අයත් වේ.

මේ අවස්ථා දෙක ම සම්පූර්ණයෙන් විසංවාදීයි. අපට පාසලේ ඉගන්වන කාන්ටර්ගේ බොළඳ කුලකවාදය මේ තර්කය හමුවේ සුණු විසුණු වී යනව. මීට විසඳුම කුමක් ද?
රසල් කීවේ විවිධ මට්ටම්වල කුලක ඇති බව ය. (One type, two type). One type කුලක රැසක් එක් කොට තනනුයේ Two type කුලකයකි. එවිට Two type කුලකවල අවයව වන්නේ one type කුලකය. එවිට රසල්ගේ විරුද්ධාභාසය (paradox) අවලංගු වී යනවා. එතකොට කිසි ම කුලකයකට තමාගේ ම අවයවයක් වෙන්න බෑ. Type එක වෙනස් නොවෙන නිසා. A කියන්නේ One type කුලකයක් නම් ඒක ඇතුළේ one type කුලකයක් වන A තියෙන්න බෑ. A තියෙන්න පුළුවන් two type කුලකයක්.

එහෙත් වර්තමානයේ හොඳින් පිළිගැනෙන්නේ සර්මෙලෝගේ තර්කයයි. ඔහු කීවේ x, Y කුලකයේ අවයවයක් නම් හා නම් ම පමණක් x, Y කුලකය ගොඩනැඟෙන ගතිලක්ෂණය තෘප්ත කරමින් තවත් Z නම් කිසියම් කුලකයක අවයවයක් වේ කියලයි.

ඒ කියන්නේ x,Yහි අවයවයක් වෙන්න නම් මුලින් x කුමක් හෝ Z කුලකයක අවයවයක් වෙලා ඉන්න ඕනේ. මේකේ අර්බුදය කුලකයක අවයවක් වීම කුලකයක අවයවයක් වීමෙන් ම විස්තර කරන එක. මේකෙදී තමන් තමන්ගේ ම අවයවක් වෙන කුලක තියෙන්න පුළුවන් ඒත් අර මුල කියපු M කුලකය එහි ම අවයවයක් නෙවෙයි. ඉතින් දැන් ඒ නිසා ම ඒක M කුලකයේ අවයවයක් වෙන්නේ නැද්ද? සර්මෙලෝට අනුව නම් නැහැ. මොකද සර්මෙලෝ කියනවා කුලකයක අවයවයක් වෙන්න නම් අදාළ ලක්ෂණය තෘප්ත කළාට ම මදි කිසියම් කුලකයක අවයවයක් වෙන්නත් ඕනේ කියලා. සර්මෙලෝ කියනවා. M, Mගේ විතරක් නෙවෙයි කිසි ම කුලකයක අවයවයක් නෙවෙයි කියලා. ඉතින් එහෙම එකකට කාගේවත් අවයවයක් වීමේ හැකියාව නෑ. මේකේ විහිලු සහගත බව වෙන්නේ ඕනෑ ම කුලකයක් කීවහම සලකන කුලකයත් ඇතුළත් එතකොට ඒකෙ අවයවයක් වීමෙන් ඒකෙ අවයවයක් වීමේ හැකියාව ලබා දෙනවා. අවසානයේ කුලක, ගණිතයේ සර්ව බලධාරී දෙවියන් බව අලුත් වටයකින් තහවුරු කොට කතා වස්තුව අහවර වෙනවා.

කෙසේ වෙතත් මේ අර්ථ දැක්වීම (ගැලවිජ්ජාව) රසල්ගේ විරුද්ධාභාසය මඟින් බිඳ හෙළිය නො හැකි එකක්. ඉතින් මෙතනින් බටහිර ගණිතය පටන් ගන්නවා.

නූතන බටහිර ගණිතය කුලක යනු කුමක් දැයි අර්ථ ගන්වා නැත. නමුත් ගණිතයේ පදනම ම ගොඩනැඟී ඇත්තේ කුලක මත ය. පටිච්ච සමුප්පාදයට සූත්‍ර හදන්න පුළුවන් කියන සබරගමුවේ ජර්මන් භාෂා කථිකාචාර්යවරු මේ අර්බුද විසඳගෙන ද ඉන්නේ?

මේක ඉවර කරන්න කලින් ආයේ අර ප්‍රශ්නය අහන්නම්. කුලක සරල ද?


                            - තමලු මලිත්ත පියදිගම

(උපුටා ගැනීමේ දී නම හා blog අඩවිය දැක්වීමට කාරුණික වන්න.)


             මීළඟ ලිපිය: තුල්‍යතාවය (equivalence )


පෘථීවි කේන්ද්‍රවාදයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන තර්කවල බොල් බව

මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර)

සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළිබඳ මා ලබා දුන් පිළිතුරු පිළිබඳව නිහඬතාවය පළ කොට ඇත. මා පසුගිය වාරයේ දැක්වූ සැම්සන් මහතා පිළිතුරු නොදුන් ප්‍රශ්න මාලාවට ඔහු පිළිතුරු දී ඇති බවක් එම ලිපියේ පවසයි. එහෙත් ඔහු එසේ පිළිතුරු දුන් එක් තැනක් හෝ සඳහන් නොකර හුදු වාක්‍යයක් ලෙස එසේ කීමට අතිශයින් ප්‍රවේසම් වෙයි. පාඨකයන්ට පසුගිය ලිපි පෙරළා බලා උගුරට හොරා බෙහෙත් කෑමට සැම්සන් මහතාට ඇති අසහාය හැකියාව පිළිබඳව තහවුරු කරගත හැකි ය.

    සැම්සන් මහතා මූලාශ්‍ර විශාල ගණනක් ඇසුරෙන් අතීත බෞද්ධයන් පොළොව පැතලි බව සිතුවේ යැයි කියන බවට ඔහු සඳහන් කරන විකිපීඩියා ලිපියකින් තම කරුණු ඉදිරිපත් කළ බව කියයි. මා ඔහුට අභියෝග කළේ අදාළ ලිපියේ සබැඳිය (link) ලබා දී එහි ඇති බෞද්ධ මූලාශ්‍ර ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙසයි. එම ඉතා සරල කාර්යය සඳහා අධික භීතියක් දක්වන ඔහු මූලාශ්‍ර ලැයිස්තුව නො දීමට දෙන්නේ අමුතු හේතුවකි. මා එවිට ඒවා බටහිරයන් ලියූ හෝ බටහිර බලපෑම මත ලියූ ඒවා ලෙස නම් කරයිලු. මෙයින් පෙනෙන්නේ සැම්සන් මහතා කියන ඊනියා මූලාශ්‍ර බටහිරයන් පෙරදිගට ඒමෙන් පසු ලියවූ ඒවා බව ද? බෞද්ධ මූලාශ්‍ර කීවේ මේවාට ද? විකිපීඩියා ලිපියේ සබැඳිය නො දී ලිස්සා යෑමට හේතුවක් සාදා ගැනීමට නො හැකි වී ඇත. විකිපීඩියාවට ලිපියක් සැපයීමට ඕනෑ ම පුද්ගලයකුට හැකි ය. පාඨක ඔබට පවා ඒ සඳහා ඉතා පහසුවෙන් යොමු විය හැකි ය. එනිසා විකිපීඩියාවෙන් යමක් ගන්නා විට එහි මූලාශ්‍ර පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. නැතිනම් විෂය පිළිබඳ අවබෝධයකින් තොරව සඳහන් කළ දේ පවා ඔබට ලැබෙනු ඇත. එක ම කරුණ ගැන ලිපි කිහිපයක් පවතින අවස්ථා ඇති බැවින් කවර ලිපිය දැයි සඳහන් නො කිරීම ගැන සැම්සන් මහතාට සමාවක් දිය නො හැකි ය. මෙවන් වාක්‍යයක් පවතින එක් ලිපියක් මට ද හමු වූ නමුත් මූලාශ්‍ර ලැයිස්තුව බලන විට එහි කිසිදු බෞද්ධ පොතක නමක් තිබුණේ නැත. සැම්සන් මහතාට කරුණු වසා ලමින් පැන යාමේ නිදහසක් නොමැත. මෙවන් විහිළු සැපයීම පසෙකලා අදාළ ලිපියේ සබැඳිය (link) හෝ ලබා දෙන ලෙස අභියෝග කරමි. සුපුරුදු පරිදි ඔහු මීළඟ වාරයේ දීත් බීරි අලියාගේ වෘතය හෝ තණ කොළ කැපීමට ගහට නැඟි මිනිහාගේ වෘතය හෝ ආරක්ෂා කිරීමට පෙළඹෙනු ඇත. ඔහු මේ සඳහා මූලාශ්‍ර තුනක් ලබා දී ඇති බව කියයි. එකක් ඉහත කී නමක් ගමක් නැති වෙබ් ලිපිය වනු ඇත. අනෙක ගුත්තිලයේ කවියකි. කවියේ කොතැනකවත් පොළොව පැතලි බවට ඉඟියක්වත් නැති නමුත් සැම්සන් මහතා එවැන්නක් තමාගේ අතින් එක් කරමින් ඊට අනුව පොළොව පැතලි බව කියයි. මෙවන් "මූලාශ්‍ර" දෙකකට පසු ඔහුගේ තුන්වන මූලාශ්‍රය කුමක් ද? එය කුමක් දැයි සැම්සන් මහතාට නම් කළ හැකි ද? විදුසර පුවත්පත කියවන පාසල් සිසුන් වටහා ගත යුත්තේ මූලාශ්‍ර දැක්වීම යනු මෙසේ හොරා පොලිස් සෙල්ලම් කිරීමක් නොවන බව ය. සැම්සන් මහතාගේ වැරදි ආදර්ශ ලබා නො ගනිමින් ඔබගේ ලේඛන හා ව්‍යාපෘතිවල දී ලේඛනයේ නම කර්තෘ හා පිටු අංකය සහිතව අදාළ කොටස් දැක්වීමට හුරු වන්න. මුද්‍රණය කළ වර්ෂය හා ආයතනය ද එක් කිරීම මෙය සම්පූර්ණ වීම සඳහා වැදගත් ය. වෙබ් ලිපියක් නම් සබැඳිය දැක්වීමට හුරුවන්න. හේතුවාදීහු මාධ්‍ය ඉදිරියේ ජනතාවගේ විමර්ශනශීලීත්වය නැති කරමින් වංචනික ලෙස මූලාශ්‍ර විකෘති කරමින් කරුණු දක්වනවාට අමතරව මූලාශ්‍ර නිසි ලෙස නොදක්වා එය සාධාරණීකරණය කරමින් ආචාරධර්මීය වශයෙන් ද ජනතාව නොමඟට යවති. මේවායින් අනාගත පරපුර ගලවා ගැනීම අප හැමගේ වගකීමකි. මිලින්ද ප්‍රශ්නය හෝ සූර්ය සිද්ධාන්තය වැනි පෘථිවිය ගෝලාකාර බව ඍජුව ම කියන ග්‍රන්ථයක කරුණු පිළිගැනීමට නම් සැම්සන් මහතාට එය සුද්දකු හිසට ඇන පෙන්විය යුතු ය. විකිපීඩියාව අදහන සැම්සන් මහතාට කිව යුත්තේ සූර්ය සිද්ධාන්තය පිළිබඳ විකිපීඩියා ලිපිය හෝ කියවා බලාවත් පෘථිවිය ගෝලාකාර බව පෙරදිග ජනයා අතීතයේ සිට දැන සිටි බව වටහා ගන්නා ලෙසයි.

 
   

මීළඟට සැම්සන් මහතා සාවද්‍ය ඉතිහාස කරුණක් වපුරයි. එනම් කොපර්නිකස් සූර්යකේන්ද්‍රවාදය ගෙන ආවිට ආගමෙන් විශාල විරෝධයක් එල්ල වූ බව ය. මෙය හේතුවාදීන් ගොඩනඟන ව්‍යාජ ඉතිහාසයකි. ක්ලෙමන්ට් පාප්වරයා සූර්ය කේන්ද්‍රවාදය දැනගත්තේ විඩ්මැන්ස්ටෙටර් නම් පුද්ගලයාගෙනි. ඔහුට වටිනා ත්‍යාගයක් ද ලබා දුන් පාප්තුමා කොපර්නිකස් රෝමයට ගෙන්වා දේශනයක් ද සංවිධානය කළේ ය. කොපර්නිකස්ගේ මරණය තෙක් ඔහුගේ කෘතිය ප්‍රකාශයට පත් නොවූයේ ආගමික ආයතනවල විරෝධයක් තිබූ නිසා නොව ඔහු සිය කෘතිය සම්පූර්ණ කොට නොතිබූ නිසාවෙනි. කොපර්නිකස් සිය කෘතිය පුදා තිබුණේ ද තුන්වන පෝල් පාප්වරයාට ය. ග්‍රෙගරි පාප්වරයා සිය දින දර්ශනය සැකසුවේ ද කොපර්නිකස්ගේ ගණනයන් මත පිහිටමිනි. ඩොමිනිකන් නිකායේ ටොසලානි වැනි ඇතැම් අය කොපර්නිකස්ව විවේචනය කළ ද එය හුදෙක් ම ශාස්ත්‍රීය විවේචනයක් පමණක් ම වූ අතර එකල බලවත් ජුසෙයිට් නිකාය කොපර්නිකස්ගේ මතයට පක්ෂ විය. ප්‍රතිසංස්කරණවාදීන් විරෝධතා එල්ල කොට තිබූ නමුත් ඒවා ආහාර මේසවල කතාබහ කෙරුණු දේ පමණි. කොපර්නිකස්ට විශාල පිළිගැනීමක් ඒ යුගයේ ලැබුණු අතර ඔහුට ආගමෙන් බලපෑම්කාරී බාධාවක් එල්ල වීය යන්න සහමුලින් ම අසත්‍යයකි.
(Repcheck, Jack. Copernicus' secret: How the scientific revolution began. Simon and Schuster, 2007.) හේතුවාදීන්ගේ බොරු කීමේ හැකියාවට සැම්සන් මහතා මේ වන විට ගණන් කළ නො හැකි තරම් උදාහරණ සපයා ඇත.

පසුගිය වාරයේ මා පැවසුවේ ඔබට මිදුලට බැස අහස දෙස බැලීමෙන් පෘථිවි කේන්ද්‍රවාදය දැක බලා ගත හැකි බව ය. සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ප්‍රායෝගිකව පෙනෙන්නේ යැයි විවිධ සංසිද්ධි කීපයක් ඉදිරිපත් කොට ඇත. එම සංසිද්ධි විමසා බලන විට පෙනෙන්නේ සූර්ය කේන්ද්‍රවාදය නොව සැම්සන් මහතාගේ නො දැනුවත්කමේ තරම ය.

ඔහු ඉදිරිපත් කරන කරුණු වන්නේ ග්‍රහයන් වක්‍ර වීම (retrograde), පෘථිවියට සාපේක්ෂව තාරකාවල චලනය, බුධ හා සිකුරුට පොළොවේ සිට ඇති දුර පොළොවේ සිට හිරුට ඇති දුරට වඩා අඩු වැඩි වීම වොයේජර් යානාවල වීඩියෝ දර්ශන යන කරුණු ය. මේ කරුණු කිසිවකින් පෘථිවි කේන්ද්‍රවාදය බිඳ හෙළිය නො හැකි ය.

මුලින් ම පෘථිවියට සාපේක්ෂව තාරකාවල චලනය සලකමු. පෘථිවියට සාපේක්ෂව තාරකා චලනය වන බව කීමෙන් ම පෙනෙන්නේ එය පෘථිවියේ සිට පැහැදිලි කොටගෙන ඇති බවයි. ඇත්තෙන් ම මෙසේ තාරකාවල චලිතයක් (stellar parallax) ඉතා දියුණු දුරේක්ෂවලට හැරුණු කොට හසු නොවන තරම් ය. මේ පිහිටීම් වෙනස් වීම අතිශයින් ම කුඩා ය. එහෙත් මෙය පෘථිවි කේන්ද්‍රවාදයට කිසි ලෙසකින්වත් ගැටලුවක් නොවේ. ගැටලුව ඇති වන්නේ තාරකා නිශ්චලයැයි උපකල්පනය කිරීම හේතුවෙනි. තාරකා නිශ්චලය යන්න අතීතයේ පැවති සාවද්‍ය අදහසකි. පෘථිවි කේන්ද්‍රවාදයේ එවන් දෘඩ උපකල්පනයක් නැත. තරුවක් වන සූර්යයා චලනය වන විට අනෙක් තරු නිශ්චලව තිබිය යුත්තේ ඇයි? තාරකාවල චලිතයක් 'පෙනීම' පෘථිවි කේන්ද්‍රවාදයේ දී ගැටලුවක් නො වේ. එනිසා මෙම කරුණින් කිසිදු බලපෑමක් එල්ල නො වේ.

වොයෙජර් යානාවල වීඩියෝ දර්ශන ගැන කියන කරුණු ද අසත්‍ය ය. වොයේජර් යානාවලින් ලැබෙන්නේ යානයට සාපේක්ෂ වීඩියෝ ය. ඒවායෙන් සැම්සන් මහතා පවසන ආකාරයේ වීඩියෝවක් සාදාගත හැක්කේ සූර්යයා එක ම පිහිටුමකට එන ලෙස සංස්කරණය කිරීමෙනි. එම සංස්කරණිත වීඩියොවෙන් කිසිවක් කියැවෙන්නේ නැත. අවශ්‍ය නම් පොළොව එක ම පිහිටුමේ පවතින සේ වීඩියෝවේ ඡායාරූප සංස්කරණය කරගනිමින් පෘථිවිය වටා ග්‍රහලෝක චලිතය දැකිය හැකි ය. අධෝරක්ත දුරේක්ෂ ආදියෙන්, ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ආදියෙන් ගන්නා ප්‍රතිබිම්බ පරිගණකානුසාරයෙන් සංස්කරණය කොට වර්ණ ගන්වා එවන ඡායාරූපවලින් වර්ණය පිළිබඳ නිසි දත්ත ලබා ගත නො හැකි ලෙසින් ම මෙවන් සංස්කරණිත වීඩියෝ මඟින් සූර්යකේන්ද්‍රවාදය නිර්ණය කළ නො හැකි ය.

මීළඟට අපි ග්‍රහ චලිතය පිළිබඳව විමසමු. හේතුවාදීන් ඇතුළු බොහෝ දෙනා සිතා සිටින්නේ පෘථිවි කේන්ද්‍රවාදයේ ග්‍රහ චලිතයන් විස්තර කරන්නේ පළමු රූපයේ ආකාරයෙන් බවයි. මෙය කරුණු නො දැනීමෙන් ඇතිවන සාවද්‍ය අදහසකි.

පෘථිවි කේන්ද්‍රවාදයේ ග්‍රහචලිතය නිරූපණය කරන්නේ චක්‍ර (deferent) හා අපි චක්‍ර (epicycles) ඇසුරෙනි. අපිචක්‍ර නම් වෘත්තයක් ප්‍රධාන චක්‍රය වටා යයි. ග්‍රහලෝකය ගමන් කරන්නේ මෙම අපිචක්‍රය වටා ය. මෙවැනි අපිචක්‍ර කිහිපයක් තිබිය හැකි ය. එ නිසා පෘථිවියේ සිට ග්‍රහලෝකයකට ඇති දුර සැමවිට ම නියතව පවතින්නේ නැත. ප්‍රධාන චක්‍රයට දුර නියත වුව ද ග්‍රහලෝකය අපිචක්‍රයේ ගමන් කරන විට පොළොවට ළං වීම හා ඈත් වීම සිදුවේ. මේ අපිචක්‍ර ක්‍රමය කිසිසේත් ම නො දියුණු ක්‍රමයක් නො වේ. මෙය ග්‍රහලෝක කක්ෂයේ ෆූරියර් ශ්‍රේණියයි. ඔබේ නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍රය රූපවාහිනිය පරිගණකය ජංගම දුරකතනය ආදී සියල්ල තනා ඇත්තේ ෆූරියර් ශ්‍රේණිය මඟින් ගණනය කිරීම් කරමිනි. චන්ද්‍රිකා සන්නිවේදනය සිදුවන්නේ ද ෆූරියර් ශ්‍රේණිය ඇසුරෙන් කරන ගණනය කිරීම් මඟිනි. විද්‍යුත් පරිපථ නිර්මාණයේ දී මෙන් ම අවකල සමීකරණ විසඳීමේ දී ද, වඩදිය හා ඇතැම් කාලගුණික ගණනයන්හි දී ද මෙම ක්‍රමය ඉතා වැදගත් ය. මෙම ක්‍රමය මුලින් ම යොදා ගෙන ඇත්තේ ජ්‍යෝතිෂ්‍යයේ ය. සායන නිරායන ජ්‍යෝතිෂ්‍ය ක්‍රම දෙකට ම මෙය පොදු ය. ඕනෑ ම සංකීර්ණ කක්ෂයක් මෙසේ නිරූපණය කළ හැකි අතර එහි දී ගණනයන් සරල වේ. මෙය ඉතා වටිනා ක්‍රමවේදයකි.




පෘථිවි කේන්ද්‍රවාදයේ දී පොළොවේ සිට සූර්යයාට ඇති දුරට වඩා සිකුරුගේ හා බුධගේ දුර අඩු වැඩි වීම විස්තර කරන්නේ අදාළ ග්‍රහලෝකයක හා සූර්යයාගේ චක්‍ර අතර අරයන්ගේ වෙනසට වඩා අපිචක්‍ර අරයන්වල දිගේ එකතුව විශාල වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ නිසා පෘථිවියට පෙනෙන සූර්යයාගේ පථයෙන් ඇතුළටත් පිටටත් බුධ හා සිකුරු එළඹේ. සූර්යකේන්ද්‍රවාදයේ දී පවා ප්ලූටෝ හා නෙප්චූන් යන ආකාශ වස්තූන් එකිනෙකාගේ පථයන් ඡේදනය කරගනිමින් ගමන් කරන බව සැම්සන් මහතාට සිහිපත් නො වීම අරුමයකි. වල්ගා තරු කක්ෂ ද ග්‍රහලෝක ගණනාවක ම කක්ෂ ඡේදනය කරමින් වැටී ඇත. ප්ලූටෝ නෙප්චූන් වටා යන්නේ යැයි කියැවෙන්නේ නැත. (අතීතයේ එසේ වන්නට ඇත යන්න අදාළ නොවේ. වර්තමානයේ ද කක්ෂ ඡේදනය වුවද එය එවැන්නක් කීමට තරම් ප්‍රමාණවත් නොවේ.)

බුධ හා සිකුරු ග්‍රහලෝකවල පොළොවට ඇති දුර සූර්යයාට වඩා අඩු වැඩි වීමෙන් ඒවා සූර්යයා වටා චලනය වන්නේ ම යැයි කීමට හැකියාවක් නැත. එසේ වූ විට එම ග්‍රහලෝක දෙක පෙන්වා එසේ නොවන අනෙක් ග්‍රහලෝකවලට ද එය යෝජනා කොට පොළොවටත් යෝජනා කිරීම විහිළුවක් ම පමණි. සැම්සන් මහතාගේ මෙම තර්කය ද බිඳී යයි.

ග්‍රහලෝක වක්‍ර වීම ගැන මීළඟට කතා කරමු. ඇතැම් ග්‍රහලෝක අහස් ගෝලයේ (ඛගෝලයේ) ගමන් කරන අතරතුරේ දී සුළු කාලයක් ආපසු හැරී ගමන් කොට නැවත හැරී මුල් දිශාවට ගමන් කරයි. ග්‍රහයින් වක්‍ර වීම ලෙස හැඳින්වෙන්නේ මෙම ගමනයි. මෙය පෘථිවි කේන්ද්‍රවාදයට හෝ ජ්‍යෝතිෂ්‍යයට තර්ජනයක් යැයි කීම අනවබෝධයෙන් කරන කතාවකි. පෘථිවි කේන්ද්‍රවාදීන් මීට ඉතා සිත් ඇදගන්නා සුලු පැහැදිලි කිරීමක් දී ඇත.

නැවත වරක් චක්‍ර හා අපිචක්‍ර දැක්වෙන රූපසටහන බලන්න. අපිචක්‍රය පොළොව වටා චක්‍රය ඔස්සේ ගමන් කරන අතරතුරේ දී ග්‍රහලෝකය අපිචක්‍රය දිගේ එහි කේන්ද්‍රය වටා ගමන් කරයි. මෙහිදී යම් අවස්ථාවක දී චක්‍රයේ ප්‍රවේගය හා අපිචක්‍රයට සාපේක්ෂ ග්‍රහලෝකයේ ප්‍රවේගය එක ම දිශාවට ද තවත් අවස්ථාවක දී විරුද්ධ දිශාවට ද පවතී. අපිචක්‍රය ඔස්සේ ග්‍රහලෝකය ගමන් කරන්නේ චක්‍රය ඔස්සේ අපිචක්‍රය ගමන් කරන වේගයට වැඩි වේගයකින් නම් ග්‍රහලෝකයක් සිය ගමන අතරතුර සුළු කාලයක දී සිය සම්ප්‍රයුක්ත වේගය ප්‍රතිවර්ත්‍ය කරගනී. ප්‍රතිඵලය වන්නේ ග්‍රහලෝකය වක්‍ර වීමයි. (සුළු කාලයක් ආපස්සට ගමන් කිරීමයි)


පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්යකේන්ද්‍රවාදය අතර විවාදයේ අවසාන භාගය වන විට පෘථිවි කේන්ද්‍රවාදීන් මෙම වක්‍ර වීමේ සංවාදය ජයගෙන තිබුණි. තමාගේ මතයෙන් පැහැදිලි කළ නො හැකිවූ දුරේක්ෂ නිරීක්ෂණ ගණනාවක් ගැලීලියෝ රහසිගතව සඟවා දැමූ බව පසුකාලීනව අනාවරණය වූ ප්‍රකට කරුණකි. මෙය ගැලීලියෝගේ ආචාරධර්මීය ක්‍රියාකාරිත්වය අභියෝගයට ලක් කෙරෙන අවස්ථාවකි.

නිවුටෝනීය ගුරුත්වාකර්ෂණයෙන් සූර්ය කේන්ද්‍රවාදය ඍජුව තහවුරු නො කෙරේ. නිවුටන්ගේ නියම වලංගු අවස්ථිති රාමුවල ය. මෙවන් රාමු නොමැති බව අර්න්ස්ට් මාක් හා අයින්ස්ටයින් පෙන්වා දී ඇත. මේ බව මේ ලිපිවල ආරම්භක ලිපිවල ම විස්තර කර දී ඇත. ස්කන්ධය වැඩි වස්තුව වටා චලනය වීමක් ගැන නිවුටන්ගේ මතවාදයේ දී කියැවෙන්නේ නැත. මෙසේ සැලකුවහොත් ස්කන්ධයෙන් වැඩි වස්තුවේ 'උදම් බල' ඇති වීම පැහැදිලි කළ නො හැකි ය. නිවුටන්ගේ නියමවලට අනුව සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ අචල ඉලිප්සවල ය. පසුව නිරීක්ෂණය වූයේ සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ අචල ඉලිප්සවල නොව ඉලිප්සය ද කරකවා ගනිමින් බව ය. මෙය නිවුටන්ට පැහැදිලි කළ හැකි වූයේ නැත. නිවුටන්ගේ භෞතික විද්‍යාවේ උපකල්පන බැහැර කරමින් අයින්ස්ටයින් සාධාරණ සාපේක්ෂතාවාදය නිර්මාණය කළේ ය. ඉන් මේ නිරීක්ෂණ පැහැදිලි කළ හැකි විය. සාධාරණ සාපේක්ෂතාවාදය අනුව සියලු චලිතයන් සාපේක්ෂ ය. ඉන් එකක් අනෙකකට වඩා දියුණු හෝ වැදගත් හෝ සත්‍ය හෝ නැත. සාධාරණ සාපේක්ෂතාවාදය අනුව පෘථිවි කේන්ද්‍රවාදයත් සූර්ය කේන්ද්‍රවාදයත් සමාන නිරවද්‍යතාවයෙන් යුතු ය. මේ බව මම මීට පෙර අයින්ස්ටයින්ගෙන් ම උපුටා දැක්වීමි. අයින්ස්ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණය බලයක් නො පවතින අතර අංශූන් ගමන් කරන්නේ අවකාශ කාලයේ ඇති කාල සමාන භූමිතිකවල ය (time like geodesic). (භූමිතිකයක් යනු අවකාශ කාලයේ පවතින අවම වක්‍රතාවයෙන් යුතු රේඛාවකි.) සැම්සන් මහතා යල් පැන ගිය භෞතික විද්‍යාවෙන් මිදිය යුතු ය. ස්කන්ධය වැඩි නිසා සූර්යයා වටා අනෙක් වස්තු ගමන් කළ යුතු බව බොළඳ තර්කයකි. සියලු අංශු ස්පර්ශීය හෝ විද්‍යුත් චුම්භක අන්තර්ක්‍රියා රහිත විට අවකාශ කාල භූමිතිකයන්හි ගමන් කරයි.

කොපමණ සූර්ය කේන්ද්‍රවාදය ගැන කියූව ද සැම්සන් මහතා ද තවමත් හිත යටින් පොළොවේ පය ගසා සිටිනා පෘථිවි කේන්ද්‍රවාදියකු බව පෙන්වන ප්‍රකාශයක් ද ඔහු සිදු කොට ඇත.

එනම් වොයේජර් යානා "හිරු වටා එක් වටයක් පුරා ම එනම් දින 365ක් තිස්සේ ම පෘථිවියේ වෙනස්කම්" පිළිබඳව ඡායාරූප එවා ඇති බවයි. අපට හුරුපුරුදු දිනයක් පැය 24 කි (තත්පර 86400කි). ඒ ඉර පෑයීම් දෙකක් අතර කාලයයි. එහෙත් සූර්ය කේන්ද්‍රවාදය අනුව පෘථිවියේ භ්‍රමණ කාලය පැය 23 මිනිත්තු 56 තත්පර 4කි. මෙසේ වන්නේ සූර්යයා වටා පරිභ්‍රමණය වීම ම අමතර භ්‍රමණයක් ලබා දෙන බැවිනි. මේ නිසා එක ම තරු රටාව ඊළඟ දිනයේ පායන්නේ පළමු දිනයේ වේලාවට මිනිත්තු හතරකට පෙර ය.  පැය විසි හතරේ දිනයක් ජ්‍යෝතිෂ්‍යයේ සාවන දිනයක් (civil day) නම් වේ. පැය 23 මිනිත්තු 56 හි පෘථිවි භ්‍රමණ කාලය තාරකා විද්‍යාව අනුව තාරකා දිනයකි (stellar day). සූර්යයා වටා එක් පෘථිවි පරිභ්‍රමණයකට සාවන දින 365.25ක් පමණ ඇති අතර තාරකා දින 366.25ක් ඇත. සාවන දින යනු පෘථිවියට දෘශ්‍යමාන වන දෙයකි. වොයෙජර් යානාවල ඡායාරූපවලින් සාවන දින පෙන්නුම් වූයේ කෙසේ දැයි නාසා ආයතනය වෙන ම පරීක්ෂණයක් ඇරඹිය යුතු ය! සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ගැන කියන්නේත් පෘථිවි කේන්ද්‍රවාදීව ම වීම දෛවයේ සරදමකි.

මෙවර සූර්ය සිද්ධාන්තයේ පරිච්ඡේද කිහිපයක් පරිවර්තනය කිරීමට සූදානම්ව සිටිය ද මේ ගෙවී යන්නේ මා හට කාර්ය බහුල ම සතියක් බැවින් එම පොරොන්දුව ලබන සතියට කල් දැමීමට සිදුවේ.

දෙසතියකින් නැවත හමුවන අතරතුර සැම්සන් මහතාගේ මෙවන් පිළිතුරු ලිපි කියවා හාස්‍ය රසයෙන් කුල්මත් වෙමු.

          - තමලු මලිත්ත පියදිගම

මිථ්‍යා ප්‍රෝඩා ලේබල් ගසමින් ගොබෙල්ස් න්‍යයෙන් සමාජයට වින කැටීම

2017.08.12. ඉරිදා රිවි




වෛද්‍ය චන්දන රණසිංහ මහතා අගෝස්තු 06 රිවිරෙහි මට පිළිතුරක් ලෙස 'ප්‍රෝඩාකාරී මතවාද ආරක්ෂා කිරීම සමාජය අගාධයට යැවීමක්' යන හිසින් ලිපියක් ලියා තිබුණි. තමා තම මතය ම තරයේ අදහාගෙන සිටින්නකු නො වන බව ප්‍රකාශිතව කීමට ඒ මහතා දැඩි වෙහෙසක් දරා තිබුණ ද හේතුවාදීන්ගේ සුපුරුදු අධානග්‍රාහීත්වය (dogmatism) චන්දන මහතා ද තම ක්‍රියාවෙන් පෙන්වා ඇති බව විමසිල්ලෙන් බැලූ විට පෙනී යයි. හේතුවාදීන් කරුණු වසන් කිරීමට යොදා ගන්නා වාග් හරඹ කිහිපයක් ම මෙහි ද යෙදී ඇත.

"මලිත්ත පියදිගම මහතා අමුතු තර්කයක් ගොඩනඟයි" යනුවෙන් පවසන ඒ මහතා ඉන්පසු උපුටාගැනීමේ කොමා තුළ ඡේදයක් දක්වයි. මෙය ඔහුගේ වංචනික උපක්‍රමයකි. සංවාදයක දී උපුටා ගැනීමේ කොමා තුළ දක්වන්නේ යම් අයකු එලෙසින් ම කියා ඇති කොටස් උපුටා ගන්නා විට ය. චන්දන මහතාගේ ඡේදයේ ඇත්තේ මා කොතනවත් කියා තිබෙන යමක් නො වේ. ඒ මහතා ම කළ (වැරදි) සාරාංශයකි. වෙනත් අයකුගේ ප්‍රකාශ තමා සාරාංශ කළ විට ලිවිය යුත්තේ උපුටා ගැනීමේ කොමා රහිතව යන්න ඒ මහතා නො දන්නා බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් සංවාද විනය උල්ලංඝනය කරමින් ම ඒ මහතා දක්වා ඇති සාරාංශය කිසිසේත් ම මට අදාළ වන්නක් නො වේ. මා කියා ඇත්තේ විද්‍යාත්මක ක්‍රමය යටතේ හේතුවාදීන්ට (rationalist - බුද්ධිවාදීන්ට) ලබා ගත හැකි වූ ඉහළ ම ප්‍රවේශය නිරූපණය කරන්නේ කාල් පොපර් බව හා ලංකාවේ හේතුවාදී සංගමයේ දැවැන්ත චරිත තමන් පොපර්වාදීන් බව පවසා ඇති බව ය. (කාල් පොපර්ගේ දර්ශනය හැඳින්වෙන්නේ ද critical rationalism යන නමිනි.) එහෙයින් ඒ මහතාගේ සාවද්‍ය සාරාංශය ඔහුගේ යමක් කියවා වටහා ගැනීමේ දුර්වලතාවයෙහි හෝ පාඨකයා වචන හරඹයෙන් මුළා කිරීමේ ආශාවෙහි හෝ ප්‍රතිඵලයකි.

   මින් පසුව චන්දන මහතා තවත් හරඹයක යෙදේ. ඔහු කියනුයේ අද ලෝකයේ පිළිගැනෙන්නේ "නොබෙල් ත්‍යාගලාභී තෝමස් කූන්" වැනි අය බව ය. තෝමස් කූන්ට නොබෙල් ත්‍යාගය පිරිනැමුණු බව පැවසීමෙන් චන්දන මහතාගේ විමර්ශනශීලීත්වයේ තරම හොඳින් ම පෙනේ. තෝමස් කූන්ට නොබෙල් ත්‍යාගය හිමි නො වුණා පමණක් නොව ඔහුගේ විශිෂ්ට දායකත්වය හිමි වූ විද්‍යාත්මක විධික්‍රම අධ්‍යයනය ඇතුළත් ඥානවිභාගය (epistemology) නොබෙල් ත්‍යාගය ලබා දෙන විෂය ක්ෂේත්‍රවලින් එකක් නො වේ. (නොබෙල් ත්‍යාගයකට නිර්දේශ වූ කූන්, තෝමස් කූන් නොව රිචඩ් කූන් නම් වෙනත් කෙනෙකි. ඒ 1938 දී රසායන විද්‍යාවට ය.) මෙතරම් නො විමසිලිමත් බවින් යුතුව අවිචාරවත්ව ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් පලකිරීමට ඉක්මන් වූ ඒ මහතා තෝමස් කූන්ගේ නම ප්‍රකාශ කරමින් කරන්නේ ද කදිම තර්කයකි: තෝමස් කූන් වැනි අය පිළිගන්නේ විද්‍යාත්මක විධි ක්‍රමයයි. අද ලෝකයේ පොපර්ට වඩා තෝමස් කූන්ට තැනක් ඇති බව සැබෑ ය. කූන්ගේ අදහස පොපර්ට වඩා ඉතා දියුණු එකකි. අද ලෝකයේ මේ සම්බන්ධව බහුලව පිළිගැනෙන්නේ තෝමස් කුන්ගේ හා පෝල් ෆෙයරබාන්ඩ්ගේ අදහස් ය. (විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ අදහස්වල වර්ධනය 2017 ජූලි 02 දින පත්‍රයට මා ලියූ 'විද්‍යාත්මක ක්‍රමය හා සුරංගනා කතා' ලිපියේ දැක්වේ.) චන්දන මහතා කූන්ගේ කිසිදු මතවාදයක් ඉදිරිපත් නො කර නම පමණක් ඉදිරිපත් කරයි. ඇත්තෙන් ම ඒ මහතා කූන්ගේ මතවාද පිළිබඳ අධ්‍යයනය නො කළ බව හොඳින් ම පෙනෙන්නේ කූන් හේතුවාදියකු නො වන බැවිනි. හේතුවාදය ලෝකයේ තවදුරටත් බරපතලව සලකන්නක් නොවන බැවින් කූන්ට වැඩි පිළිගැනුමක් හිමි වීම ගැන කිසි අරුමයක් නැත.

හේතුවාදයේ (rationalism) නියමවලින් විද්‍යාව අර්ථකථනය කළ නො හැකි බව පෙන්වූ කූන්ට හේතුවාදීන් එල්ල කළ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු විද්‍යාව අහේතුක (irrational) යැයි කියූ බවයි. (This rejection of rules of rationality was one of the factors that led Kuhn's critics to accuse him of irrationalism - Stanford Encyclopedia of Philosopy) පොපර් හේතුවාදියකු වූ අතර ඔහුට පසුව විද්‍යාත්මක විධික්‍රමයන් ගැන ප්‍රධාන ලෙස අදහස් දැක්වූවෝ හේතුවාදයට විරුද්ධ මතධාරියෝ වූ හ. (ලකටෝස් හේතුවාදියකු වුව ද ඔහු අසාර්ථක ලෙස උත්සාහ කළේ පොපර්ගේ ක්‍රමවේදය වර්ධනය කිරීමටයි.) අනෙක තිබුණේ එක ම විද්‍යාත්මක විධික්‍රමයක් බව චන්දන මහතා කියා සිටියි. එය ඒ මහතා මේ පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නො කළ බව ම කියාපාන්නකි. විද්‍යාත්මක විධික්‍රම පහක් ගැන මතවාද ඥානවිභාගයේ පවතී. කූන් සිය Structure of Scientific Revolution නිබන්ධනයෙන් ඉදිරිපත් කළේ මින් සාපේක්ෂක ක්‍රමය නමින් හැඳින්වෙන මතයයි. එනම් සුසමාදර්ශ (paradigm) යනුවෙන් දැනුම් පද්ධති ඇති බවත් විද්‍යාත්මක විධික්‍රමයන් ඒ ඒ පද්ධතියට සාපේක්ෂ බවත් ය. (They - paradigms  - are the source of the methods, problem-field, and standards of solution accepted by any mature scientific community at any given time.
- Kuhn T. , Structure of Scientific Revolution , Chapter IX)
එනම් විද්‍යාවෙන් උපරිම ව කළ හැක්කේ දැනුමක් යම් පද්ධතියකට ගැළපේ ද බැලීම මිස සත්‍ය අසත්‍ය සෙවීමක් නො වේ. මෙය හේතුවාදීන්ට හිතකර මතයක් නො වේ. මෙය අනුව ජ්‍යෝතිෂ්‍ය වෙන ම පද්ධතියකි. එවිට ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ කටයුතු සඳහා විධික්‍රම සෙවිය යුත්තේ ජ්‍යෝතිෂ්‍යයෙන් ම මිස වෙනත් පද්ධතිවලින් නො වේ. එනම් ජ්‍යෝතිෂ්‍ය ගවේෂණයට බටහිර විද්‍යාව අදාළ නො කරගත යුතු ය. (ජ්‍යෝතිෂ්‍ය හා බටහිර විද්‍යාව අතර සුසමාදර්ශ ඉක්මවූ 'චින්තන' වෙනසක් පවා ඇත. චින්තනය නලින් ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඥානවිභාග සංකල්පයකි.). කූන්ව අදාළ කරගතහොත් ලංකාවේ හේතුවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට යාන්තමින්වත් සුජාතභාවයක් හිමි නො වේ. ෆෙයරබාන්ඩ් නම් පැහැදිලිව ම ගුප්ත විද්‍යා හා ජ්‍යෝතිෂ්‍ය හෙළාදැකීමේ ක්‍රියාවලට තම විරෝධය එක එල්ලේ පළ කළේ ය. ඔහු විද්‍යාත්මක ක්‍රමයක් යනුවෙන් යමක් නොමැති බව සිය Against Method කෘතියෙන් පෙන්වා දුන්නේ ය. ඉතින් මෙවැනි හේතුවාදයට විරෝධී දාර්ශනිකයන් පිළිබඳ කතා නො කොට හේතුවාදියකු වූ හා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ හේතුවාදීන් එළඹුණු ඉහළ ම ප්‍රවේශය නිරූපණය කළ පොපර් ගැන කතා කිරීම ගැන හේතුවාදීන් මට ස්තූතියක් දිය යුතු ය. මීට කූන් හෝ ෆෙයරබාන්ඩ් අදාළ කරගත්තේ නම් කටවහරේ වචන අනුව හේතුවාදීන්ට ඇපත් නැති වනු ඇත.

    මෙසේ තමාට වාසිදායක වන සේ දාර්ශනිකයන්ගේ නම් ගම් භාවිත කිරීමට පෙළඹෙන ඒ මහතා මා දාර්ශනික මතවාද මගේ වාසියට ගන්නේ ය කීම තරම් විහිළුවක් තවත් නැත. මම බොහෝ විට මතවාද හා තර්ක සාරාංශ කොට ප්‍රකාශ කිරීමට උත්සාහ කරමි. චන්දන මහතා වැනි හේතුවාදීන් මෙසේ හුදු නම් ගම් පමණක් කියා පැනයනු බොහෝ විට දක්නට ලැබේ.

   අභියෝග කිරීමේ සාපරාධී බව ගැන ඒ මහතා අසයි. කූන්ගේ ම ඉහත දැක්වූ නිබන්ධය කියවූයේ නම් එය ඒ මහතාට හොඳින් ම අවබෝධ කරගත හැකි ය. එක් පද්ධතියක සත්‍ය අසත්‍යභාවය මැනීමට පිටත වෙනත් පද්ධතියක සිට ක්‍රමවේද ලබා දිය හැකි නො වේ. එනිසා අභියෝග ඉදිරිපත් කිරීම අර්ථ විරහිත ය. උපරිමව කළ හැක්කේ දැනුමක් පද්ධතියකට ගැළපීම මිස සත්‍ය අසත්‍ය සෙවීමක් නො වේ. සූර්ය කේන්ද්‍රවාදය ගැන පැවසූ ගැලීලියෝට බෙලාමින් කාදිනල්වරයා අභියෝග කළේ භෞතික සාක්ෂ්‍යවලින් එය ඔප්පු කර පෙන්වන ලෙසයි. (හේතුවාදීන්ගේ වචනයෙන් නම් 'කරලා පෙන්වන්න') ගැලීලියෝ එම අභියෝගයෙන් වරක් පැරදීමෙන් පසු එය මඟ හැරියේ ය. ඒ වෙනුවට ඔහු Salviati හා Simplicio යන පුද්ගලයන් අතර සංවාදයක් ලෙස ඊට විරුද්ධව තර්ක (චන්දන මහතාගේ වචනයෙන් නම් කෙස් පැළෙන) කළේ ය. අදටත් සූර්යකේන්ද්‍රවාදයට භෞතික ඔප්පු කිරීමක් නැත.චන්දන මහතාට අනුව නම් පල්ලියේ ක්‍රියාකාරිත්වය නිවැරදි විය යුතු ය.

  බොළඳ අශාස්ත්‍රීය අභියෝග ඉදිරිපත් කරමින් කිසිදු සාධාරණ තර්කයකින් තොරව සාවද්‍ය තර්ක ගෙන එමින් තමා නියෝජනය කරන පද්ධතියෙන් පිටත පිහිටි ශාස්ත්‍රවලට මිථ්‍යා ලේබලය අලවමින් හේතුවාදීන් ගෙන යන ප්‍රොපගැන්ඩාව සාධාරණීකරණය කරන චන්දන මහතා මෙවන් අභියෝගවලින් තර්ජනයට ලක්වන්නේ නිවැරදි නොවන, ශක්තිමත් පදනමක් නැති අතාර්කික විෂයන් බවට අතිශයින් බොළඳ ප්‍රකාශයක් සිදු කරයි. හයිජීන්ස්ගේ ආලෝකය පිළිබඳ තරංගවාදය නිවුටන්ට සමකාලීනව ම ඉදිරිපත් වුවත් නිවුටන්ගේ දේශපාලන හා ඇකඩමික බලය ඔස්සේ ඇති කෙරුණු ප්‍රොපගැන්ඩාවට සෑහෙන කලක් තිස්සේ යට වී තිබුණි. සාවද්‍ය කටකතා හා ඕපාදූප පැතිරවීමෙන් මතවාද ද යටපත් කළ හැකි ය. එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගය නම් ඒ ප්‍රචාරවල අශාස්ත්‍රීයභාවය හෙළිදරව් කිරීමයි. කලබල නො වී කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීයභාවය හෙළිදරව් කරන මගේ ලිපි පෙළ අවසන් වනතුරු කියවා සිටින මෙන් ඒ මහතාට පවසා සිටිමි.

         පැතිරුණු අනාවැකි ගැන කියන ඒ මහතා සංඛ්‍යානය ගැන හා ආයුගණනය ආදී ගණිත ක්‍රම ගැන අල්පමාත්‍ර අවබෝධයක්වත් නැත්තකු බව පෙනේ. ජ්‍යෝතිෂ්‍ය ගැන කතා කිරීම මගේ ලිපි පෙළේ ඉදිරියේ දී සිදුවන්නක් බැවින් සවිස්තර පිළිතුරු ඉදිරියේ දී ලැබෙනු ඇත. පැරණි ශාස්ත්‍රවල ඇත්තේ තවදුරටත් වැඩක් නැති කෞතුක වටිනාකම් යැයි කියන ඒ මහතා මෙන් ම ෆෙයරබාන්ඩ්ගේ කෘතියකට විචාරයක් ලියූ ආචාර්ය හෙස් ද අප තර්ක සොයා නැවත ඇරිස්ටෝටල් වෙත හෝ වූඩූව (ගුප්ත වෛද්‍ය ක්‍රමයකි.) වෙත යාවි දැයි උපහාසයෙන් ඇසුවා ය. ඇත්තෙන් ම අයින්ස්ටයින් නිවුටන්ගේ සිට නැවත ඇරිස්ටෝටල්ගේ තර්ක කරා ගියේ ය. ඒ බව කූන්ගේ ඉහත ග්‍රන්ථයට ම 1969 දී ඔහු ලියූ පසුවදනෙහි 06 වන පරිච්ඡේදයේ අවසාන ඡේදයේ දැක්වේ. හේතුවාදීන් රිවිර පාඨකයන් කොණ්ඩේ බැඳපු චීනුන් යැයි සලකා දෝ විශාල වශයෙන් කරුණු මඟහැර තම තර්ක ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණකි.

     ඒ මහතා ඇතුළු හේතුවාදීන් නිතර ම මිථ්‍යාව, ප්‍රෝඩාව , සත්‍ය යන යෙදුම් භාවිත කරන්නේ කිසිදු සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව ය. (නැතිනම් බොළඳ තර්කවලිනි.). මිථ්‍යාව , ප්‍රෝඩාව , සත්‍ය යනු ඒවා ඇලවීමේ පරමාධිකාරී බලය හේතුවාදී සංගමයට ලබා දුන් ලේබල සමූහයක් යැයි සිතා තමාට රිසි රිසි සේ ඇලවීමට හේතුවාදීහු කටයුතු කරති. චන්දන මහතාගේ ලිපියේත් මේ හිතුවක්කාර ලේබල් ගැලවූ විට ගත යුතු කිසිවක් නැත.

හේතුවාදී සංගමයේ උපක්‍රමික න්‍යාය, සාධාරණ ලෙස කරුණු දැක්වීම නො ව එක ම ප්‍රලාපය සියවරක් කියූ විට සත්‍ය වේ යන හිට්ලර්ගේ ආණ්ඩුවේ ගොබෙල්ස්ගේ න්‍යාය අනුව මේ ලේබල පුනරුච්චාරණය කිරීම ය.
මගේ මේ වෑයම මෙවන් 'හිට්ලර්'ලා තමන්ට බාහිර පද්ධතිවලට දක්වන ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින් ලංකාවේ සංවාද අවකාශය මේ විපරීතභාවයෙන් ගලවා ගැනීමයි.

          - තමලු මලිත්ත පියදිගම 

අලුත් ම සටහන

බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

  බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම   බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...

වැඩිපුර කියවූ ලිපි