විසංවාදයට විකල්ප පැවැත්ම Alterity to Contradiction


විසංවාදයට විකල්ප පැවැත්ම         

 - තමලු මලිත්ත පියදිගම



අනිවාර්ය වූ දෙයක් (necessary entity) ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදය පරම වශයෙන් සිදු නොහැකි යැයි ප්‍රතික්ෂේප කොට දැමිය හැකි ද?

මෙයසූගේ දර්ශනය අනුව ආපාතිකත්වය (contingency) (ඇතැම් විට සත්‍ය වීමටත් තවත් විටක අසත්‍ය වීමටත් ඇති හැකියාව) පරමවශයෙන් අනිවාර්යය ය. මේ නිසා සියලු විට පැවැතිය යුතු දෙයක් තිබිය නො හැකි ය. මේ අනිවාර්ය වූ දෙයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමයි.

විසංවාදී (contradiction) දෙයක් අනිවාර්ය දෙයක් වේ යැයි කිව හැකි නම් අනිවාර්ය දේ ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදී දේ ප්‍රතික්ෂේප කළ හැකි ය.

විසංවාදී දෙයක් තවත් දෙයකට පරිවර්තනය විය නො හැකි ද? එනම් විසංවාදී දෙයකට එහි නො වීම ලෙස වෙනත් දෙයක් නොපවතී ද?

1. යම් වස්තුවක් එක් ගති ගුණයකින් විසංවාදී වී තවත් ගති ගුණයකින් එසේ නො විය හැකි ය.

එවිට එම වස්තුවට මුල් ගති ගුණයේ පැවැත්ම හා නොපැවැත්ම දෙක ම තිබුණ ද දෙවනි ගති ගුණය එසේ නැති නිසා වෙනස් විය හැකි ය. වෙනෙකකට පරිවර්තනය විය හැකි ය.

එම නිසා විසංවාදී වස්තුවක් අනිවාර්ය නො වේ.

මෙවන් වස්තුවක් බැහැර කිරීමට මෙයසූට තර්කයක් නැත. ඔහු කියන්නේ මෙවන් ආකාර වස්තු ගැන සංගත අදහසක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි. පාර-සංගත තර්ක ශාස්ත්‍රය වස්තුවක් ගැන ප්‍රතිවිරුද්ධ ප්‍රස්තුත එකට පැවැත්ම පමණක් මිස එක ම වස්තුවේ ප්‍රතිවිරුද්ධ ගුණ තිබීමක් ගැන නොකියන බව ඔහු කියයි.

චතුස්කෝටිකය පිළිබඳ සාක්ච්ඡාව අත් හළ ද ක්වොන්ටම් භෞතික විද්‍යාව යනු සංගත වූත් විසංවාදී වූත් ප්‍රයෝජ්‍යතාවක් ඇති ආනුභවිකව පරීක්ෂා කර බැලිය හැකි පිළිතුරු ලබා දෙන එවන් පද්ධතියකි.

සාමාන්‍යයෙන් සම්භාවිතාව ආපතිකත්වය (contingency) සම්බන්ධ කතාවකි. වස්තුවකට යම් යම් අවස්ථා සමූහයකින් එක් අවස්ථාවක් ගත හැකි ය. ඒ සියලු අවස්ථා ගැනීමේ සම්භාවිතා තිබීම යනු එක ම වස්තුවේ වාර විශාල ගණනක් හෝ සමරූපී වස්තු විශාල ගණනක විවිධ අවස්ථා ආපතිකව ලබා ගන්නා අවස්ථාවල අනුපාතයි.

දැන් ක්වොන්ටම් භෞතිකය එසේ නො වේ. සඟල සිදුරු පරීක්ෂණයේ සිදුරු දෙක ම විවෘත විට ඒ ඒ සිදුරුවලින් යාමේ සම්භාවිතාව යනු ඉලෙක්ට්‍රෝන විශාල ගණනකින් එක් එක් ඉලෙක්ට්‍රෝනය එක් එක් සිදුරෙන් යෑමෙන් ඇතිවන අනුපාතය නො වේ. එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යෑමේ ප්‍රතිඵල ඒ ඒ අනුපාතයෙන් ඇති කරයි.

ක්වොන්ටම් භෞතිකයේ සම්භාවිතාව විසංවාදයේ මිම්මකි. එනම් එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යා හැකි ය. එහෙත් ඒ තැන් දෙකේ ඉලෙක්ට්‍රෝනයේ පිටපත් දෙකක් නොපවතී. ඇත්තේ එක ඉලෙක්ට්‍රෝනයකි.

දැන් මෙවන් පද්ධතියක් ඇති විට එය මඟ හැර යාම මෙයසුගේ වරදකි.

2. මෙයසුට අනුව මෙතෙක් විස්තර කොට ඇති විසංවාදී පද්ධති තාර්කිකව අසංගත (inconsistence) ද වේ. එනම් විසංවාදයක් ඇත් නම් එහි සියලු ම දේ විසංවාදී වේ.

දැන් මෙයසූ බැහැර කරන්නේ විසංවාදී පද්ධති නොව අසංගත පද්ධතිය.

අසංගත පද්ධතියක් වෙනස් නොවීම අනිවාර්ය ද?

මෙයසූ උදාහරණයට ගන්නේ සියල්ල ඇති වී නැති වෙන ඕඝයක් (flux) වූ පද්ධතියකි.

ඔහුට අනුව පැවැත්ම නොපැවැත්ම දෙක ම මෙහි එකවිට ඇති නිසා පවතින විට ද නොපවතියි, නොපවතින විට ද පවතියි.

එම නිසා මෙය වෙනත් යමකට පෙරළීමට නො හැකි ය. කවර විටකත් එය පවතින බැවින් එය අනිවාර්යතාවකි. එම නිසා එය බැහැර කළ හැකි ය.

මෙය අසාර්ථක තර්කයකි. මෙවන් අසංගත පද්ධතියක විස්තරය හඳුනා ගැනීම හා සමඟ ම එය ශුද්ධ පැවැත්මෙන් හා ශුද්ධ නොපැවැත්මෙන් වෙන් කර ගැනෙයි. එනම් මෙවන් පද්ධතියක හා ශුද්ධ පැවැත්ම හෝ නොපැවැත්ම ලෙස හඳුනා ගන්නා පද්ධතියක පැහැදිලි විභේදනයක් ඇත. එහෙයින් මේ අසංගත පද්ධතියට අසංගත නොවන ශුද්ධ පැවැත්මේ හෝ නො පැවැත්මේ පද්ධතියක් විය හැකි ය.

පැවැත්ම හා නොපැවැත්ම එක විට පවතින පද්ධතියක් එක්වර ම ශුද්ධ පැවැත්ම පමණක් වන සේ නොපැවැත්ම රහිත අන්‍ය ස්වභාවයකට පත්වීම හෝ පැවැත්මේ සංරචකය සිඳී ගොස් ශුද්ධ නොපැවැත්මේ අන්‍ය ස්වභාවයකට පත් වීම සිදු විය හැකි ය. මෙවන් අන්‍ය ස්වභාව ඇති නිසා අසංගත පද්ධතියක් අනිවාර්ය නො වේ.

මෙය චතුස්කෝටිකයේ අගයන් හා කෝටික පිළිබඳව කතාව ය. චතුස්කෝටිකයේ අගයන් දෙකෙහි එක් අගයක් ලබාගත් අගයන් දෙක ම ලබා ගත් අගයන් කිසිවක් ලබා නො ගත් සේ විකල්ප (කෝටික) සතරක් ඇත. විසංවාදී හෝ අසංගත අවස්ථා අනිවාර්යතා නො වේ.

මෙයසුගේ විශ්වාසය

මෙයසුගේ විශ්වාසය



මෙයසු, ග්‍රැහැම් හාමන් සමඟ කරන සංවාදයක තමා මනසින් බාහිර ලෝකයක් 'විශ්වාස' නොකරන බවත් එය පවතින බව තමා 'දන්නා' බවත් කියයි.

මෙහි ඇති පෙරළි කොමාවලින් පෙනෙන්නේ හුදෙක් විශ්වාසයක් හා දැනුම යන්න පෙන්වීමේ මෙයසුගේ වුවමනාව බවත් එය දැනුම විශ්වාසයක් නොවන බව කීමක් නොවන බවත් මෙයසුගේ ලංකා නියෝජිතයන් පිළිගන්නේ නැත.

අපි මේ මතය තර්කය සඳහා පිළිගනිමු. දැනුම හා විශ්වාසය බහිෂ්කාරකය. ඒවා දෙකකි. දැනුම විශ්වාසයක් නො වේ.

මෙයසූට මනසින් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව සාධනයක් පවතී. ඒ සාධනය අනුව ඔහු මනසින් බාහිර ලෝකයක් පවතින බව දනී. ඔහු එය විශ්වාස නොකරයි.

මේ සාධනය සත්‍ය දැයි ඇසූ විට ඒ එසේ යැයි මෙයසූ පවසනු ඇත. 

දැන් අප මෙයසුගෙන් මෙසේ අසමු.

මනසින් බාහිර ලෝකයක් ඇති බවට ඔබේ සාධනය සාවද්‍ය බව අනාගතයේ පෙනී යා නො හැකි ද? එසේ නැතිනම් වෙන අයකු එම සාධනයේ අඩු පාඩුවක් සොයා පෙන්වීමට ඉඩකඩක් ඇති ද?

මෙයසූට මෙසේ කිව හැකි ය. මෙම සාධනය නිවැරැදි ය. අඩුපාඩු වැරදි නැත.

දැන් අප ඍජුව ප්‍රශ්න කරන්නේ මෙවැනි අඩුපාඩුවක් තමා ම සොයා ගැනීම හෝ පෙන්වා දීම අනාගතයේ පරම වශයෙන් විය නො හැකි බව මෙයසූ කියන්නේ ද යන්නයි.

එහි පිළිතුර ඔවු නම් අපට පෙරළා තර්ක කළ හැක්කේ මෙයසූට තමාගේ තර්කවලට වලංගු විවේචන ඒමේ හෝ සංස්කරණය වීමේ හැකියාව පිළිගැනීම දෘෂ්ටිවාදී සූදානම නොමැති බවයි. එවිට මෙයසූ දර්ශනවාදී ශික්ෂණය තුළ ස්ථානගත කිරීම ප්‍රශ්නකාරී වේ. මේ ස්ථාවරය බොහෝ විට ආගම අර්ථකථනය කිරීමට යෙදීම මෙයසූ අර්බුදයට ලක් කරයි.

එහෙත් මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇති වේ යැයි මම විශ්වාස නො කරමි. මෙයසූ ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායට එකඟ වෙමින් යම් අයකුට හෝ තමාට තම සාධනවල අඩු පාඩු පෙනීමේ හා පෙන්වීමේ ඉඩකඩ යනු පවතින්නක් හා තමා ඒ සඳහා විවෘත බව කියනු ඇත.

දැන් වංගීසගේ අර්ථකථනය අනුව මෙයසුගේ බාහිර ලෝකයක පැවැත්ම අදහස දැනුමක් වන අතර එය මෙයසුගේ විශ්වාසයක් නො වේ. දැන් මේ දෘෂ්ටිවාදී විවෘත භාවය සමඟ මෙය අප විග්‍රහ කරගත යුත්තේ කෙසේ ද?

සාධනයේ වරදක් පෙනීමේ පෙන්වීමේ විය හැකියාව පිළිගැනීම යනු තමාට බාහිර ලෝකය පිළිබඳව කියූ දේ ඒ ගැන දැනුමක් නො වීමේ හැකියාව පිළිගැනීමකි. එවිට තමාගේ ක්‍රියාකාරීත්වය බාහිර ලෝකය පිළිබඳව ප්‍රස්තුතයක් විශ්වාස කිරීමකි.

පැහැදිලිව ම මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම විශ්වාස කරයි. ඔහුගේ ඒ විශ්වාසය සාධාරණ යැයි කීමට ඔහුට සාධනයක් පවතී. මේ සාධනය සත්‍ය බව ඔහු විශ්වාස කරයි. ඒ සාධනයේ අඩුපාඩු හෝ වැරදි තිබීමේ හා ඒවා අනාගතයේ පෙනීමේ හෝ පෙන්වා දීමේ හැකියාව විවෘතව තබා ගන්නා තුරු ඔහුට ඇත්තේ විශ්වාසය සාධාරණ යැයි කීමට ප්‍රබල සාක්ෂ්‍ය ඇති බැවින් තමාගේ විශ්වාසය දැනුමක් බව ය. එම සාධාරණ යැයි කීමට ඇති සාක්ෂ්‍ය වෙනස් වීමෙන් තමා මෙතෙක් කළ විශ්වාසය තව දුරටත් දැනුමක් ලෙස සැලකීමට නො හැකි බව ඔහුට කිව හැකි ය.

එවිට එය දැනුමක් ලෙස සැලකූ කාලයේ ඔහු කර සිටින්නේ එය විශ්වාස කිරීමකි. අනෙක් අතට සාධනය වැරදි හෝ අඩුපාඩු සහගත බවට පෙන්වූවා යැයි කියමු. එවිට මෙයසුගේ අදහස තවදුරටත් දැනුමක් නො වේ. එහෙත් විශ්වාසය එතෙකින් බිඳ වැටෙන්නේ නැත. බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව තම පැරණි සාධනය බිඳ වැටුණ ද තමා පෙර මෙන් ම තවදුරටත් එය විශ්වාස කරන බවත් එම වැරදි මඟ හැර අලුත් සාධනයක් සඳහා උත්සාහ කරන බවත් කිව හැකි ය.

එහෙයින් අපට දැකිය හැක්කේ දැනුම ද විශ්වාසයක් ලෙස ම පවතින බව ය. දැනුමට ඊට අමතරව එය පිළිගැනීම සඳහා සංගත සාක්ෂ්‍ය හා සාධන තිබිය හැකි ය. එසේ තිබීම විශ්වාසයට අනුපූරකයක් වනවා මිස විශ්වාසයක් නොවන්නක් කරවන්නේ නැත.

  • අනෙක් අතට දැනුමක් වීම සඳහා හේතුවුණු සාධනය කෙරෙහි ඇත්තේ විශ්වාසයකි. එහි සාවද්‍යතා සඳහා දෘෂ්ටිවාදී ඉඩකඩ තබා ගැනීම යනු එය විශ්වාසයක් බවට පත් වීමයි. එවිට් එම සාධනයෙන් යුක්ති යුක්ත කෙරෙන දැනුම විශ්වාසයක් නො වන්නේ කෙසේ ද? ඒ දැනුමට සාධනයක් ඇති බව සැබෑ ය. සාධනයක් තිබීමෙන් එය විශ්වාසයක් නො වී තිබෙන්නේ නැත. සාධනය කෙරෙහි ඇත්තේ ද විශ්වාසයක් හෙයිනි.

පහත ප්‍රශ්නෝත්තරවලින් මෙය ඉවර කරමු.

- දැනුම විශ්වාසයක් ද?

දැනුම විශ්වාසයක් නොවේ. ඒ දෙක දෙකකි.

- මෙයසූගේ බාහිර ලෝකය ගැන අදහස දැනුමක් ද විශ්වාසයක් ද?

එය දැනුමකි. ඔහුට ඒ ගැන සාධනයක් පවතී.

- මෙයසුගේ සාධනය අඩුපාඩු සහගත හෝ වැරදි බව අනාගතයේ පෙනීමේ හෝ පෙන්වීමේ ඉඩකඩක් තිබීමේ හැකියාවට ඔබ දෘෂ්ටිවාදීව විවෘත ද?

ඔව්.

- එසේ නම්, ඒ ඉඩකඩ යටතේ එවන් අවස්ථාවක අඩුපාඩු පෙන්වා දෙනු ලැබේ නම් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව අදහස දැනුමක් බව තව දුරටත් කිව හැකි ද?

නැත. එය දැනුමක් නො වේ. ඔහුගේ අදහස අසත්‍ය බව එයින් ම කිව නො හැකි ය. තවත් සාධනයක් ගෙන ඒමට ඔහුට ඉඩකඩ පවතී. එහෙත් එතෙක් එය දැනුමක් නො වේ.

- එවන් ඉඩකඩක් යටතේ එසේ පෙන්වා දෙනු ලැබූ විට එතෙක් කල් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව දැන සිටි බව කිව හැකි ද?

නො හැකි ය. ඔහුගේ සාධනය වැරදි නිසා එය දැනුමක් නො වේ.

- එවිට එම කාලය තුළ ඔහු බාහිර ලෝකයක් විශ්වාස නොකළේ ද?

ඔහු බාහිර ලෝකයක් විශ්වාස කළේ ය. ඔහුගේ සාධනය සත්‍ය යැයි ඔහු විශ්වාස කළේ ය. මේ නිසා තමා බාහිර ලෝකයක් ඇතැයි දන්නවා යැයි විශ්වාසයක ද සිටියේ ය.

- දැන් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම දන්නවා යැයි සිතා සිටි කාලය තුළ ම බාහිර ලෝකයක පැවැත්මක් විශ්වාස කර තිබෙනවා නො වේ ද? මේ නිසා විශ්වාසය හා දැනුම බහිෂ්කාරක යැයි කිව හැකි ද? සාධනයන් හා සාක්ෂ්‍ය අඩුපාඩු සහගත වීමේ දෘෂ්ටිවාදී ඉඩකඩ පිළිගැනීම යනු ම තමාගේ දැනුම විශ්වාසයක් වීමේ ඉඩකඩ පිළිගැනීම නො වේ ද? 

එවිට දැනුම විශ්වාසයක් නොවන්නේ කෙසේ ද? 

දැනුම සාක්ෂ්‍ය හා සාධන මඟින් අනුපූරනය වූ විශ්වාසයක් පමණි.

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි