හේතුවාදීන්ගේ දුබලකම පෙන්වන කොවුර්ගේ පුහු අභියෝග

                තමලු මලිත්ත පියදිගම 
                2017.07.29
                ඉරිදා රිවිර

සහේතු: කොවුර්ගේ එක අභියෝගයක් තමයි ටෙලිපති එහෙමත් නැතිනම් පරචිත්ත විජානනය මඟින් හිතක් කියවලා පෙන්වන්න කියන එක. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

ප්‍රබෝධ: ඒක නම් මට වුණත් මේ වෙලාවේ බාරගන්න පුළුවන් එකක්. මට විනාඩියක් දෙන්න. ඒ වෙලාව ඇතුළේ ඔබ හිතූ දෙය කියන්න මට පුළුවන්.

සහේතු: එහෙනම් අපි විනාඩියක් බලමු.
(විනාඩියකට පසු)

ප්‍රබෝධ: ඔබ හිතුවේ ප්‍රබෝධ මෙච්චර විශ්වාසයෙන් මේක බාර ගත්තේ මේ අභියෝගය බැරි වෙලාවත් දිනයි ද දන්නේ නෑ කියන එක.

සහේතු: මම එහෙම හිතුවේ නෑ.

ප්‍රබෝධ: අපිට ඕක විශ්වාස කරන්න බෑ. ඔබ පරාජය වසා ගැනීමට බොරු කියනවා.  ඔබ හිතුවේ වෙන දෙයක් ගැන කියලා හැමෝට ම පැහැදිලි වෙන විදිහට ඔප්පු කරන්න පුළුවන් නම් විතරයි අපි ඔබව පිළිගන්නේ.

සහේතු: (කලබල වී) ඔබ පැහැදිලිව අභියෝගය දිනුවේ නෑ. මේක නිකම් උපක්‍රමයක් විතරයි.

ප්‍රබෝධ: (සිනාසෙමින්) ඔය හේතුවාදීන් ප්‍රශ්න මඟ ඇරලා යන කලාව තමයි ඩීල්, උපක්‍රම කියලා කෑ ගහන එක.

    ඇත්තට ම සහේතු මම ඕක කළේ ඔය අභියෝගයේ අඩුපාඩුව පෙන්වන්න. මිනිසෙක්ගේ සිත කියවීම කියන්නේ ඒ මොහොතේ ඇතිවන සිතුවිල්ල දැන ගැනීම.දැන් කවුරුහරි කෙනෙක් හිත් කියවලා පෙන්නුවත් ඒක සැබැවින් ම කළා ද නැද්ද කියලා අනිත් අයට තහවුරු කරන්නේ කොහොම ද? ඒක තහවුරු කරන්න නම් හිත් කියවන්න පුළුවන් තවත් අය ඉන්න ඕනේ. එහෙම අය ඉන්න බව පිළිගත්තොත් අභියෝගය එතැනින් ම ඉවරයි.  හිත් කියවීමට ලක් වන කෙනා තමා හිතුවේ එවැන්නක් නෙවෙයි කියලා කීවත් ඔහු ගැන අපිට විශ්වාසයක් තබන්න බෑ. මොක ද ඔහු හේතුවාදී සංගමයේ සාමාජිකයෙක් නම් ඔහුට තම සංගමයට පාක්ෂික වෙමින් බොරුවක් කියන්න පුළුවන්. අනික ඔහු තමා සිතුවේ එය ම බව පිළිගත්තත් හේතුවාදීන්ට පුළුවන් අල්ලස් දීමක් නිසා හෝ අල්ලසක් පසුව ලබා ගැනීමේ අරමුණින් හෝ ඔහු එසේ කළ බවට මඩ ප්‍රහාර එල්ල කරන්න. මධ්‍යස්ථ පුද්ගලයෙක් ගෙන්වනවා කීම ප්‍රායෝගික නෑ. මොක ද ඔහුගේ මධ්‍යස්ථභාවය තහවුරු කරන්නත් බෑ. ඔහු පසුව වාසි ලබා ගැනීමේ අරමුණ ඇතිව අදාළ මොහොතේ දී පක්ෂග්‍රාහී වුණා කියන එක බැහැර කරන්න බෑ.

අනික කියවන්නේ හිත මිස මතකය නෙවෙයි. නමක් දුරකථන අංකයක් හොයාගන්න කීම අසාධාරණ කොන්දේසියක්. හිත් කියවීමේ දී ඒ මොහොතේ හිතන දේ කියවීමයි වෙන්නේ කීවිට මේ ක්‍රමය බිඳ වැටෙනවා. අනික තමා හිත් කියවීමකට ලක් වෙන බව අදාළ පුද්ගලයා දන්නවා නම් ඔහු හිත් කියවන්නා අයාලේ යවන්න කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා තමා හිත් කියවීමකට ලක් වන බව නො දන්නා කෙනෙක් ගන්න වෙනවා. ඒක සදාචාරාත්මක නෑ. කොහොම වුණත් හිත් කියවලා එය ඔහුගෙන් විමසා සිටිද්දී ඔහු පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. අනෙක් අතට තමා සිතූ දේ සැඟවීමට ඔහු කටයුතු කරන්න පුළුවන්. අනික විශේෂයෙන් කල්පනා නො කරන අවස්ථාවල දී අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ටිකකට කලින් ඔබ හිතුවේ මොනවා ද කියලා බොහෝවිට ඔහුට හරියට කියන්න බෑ. හිතනවා වගේ ම හිතෙනවා කියලා එකකුත් තියෙනවා. තමන් හිතන්නේ මොකක් ද කියලා දන්නේ කල්පනා කරන විට පමණයි.

සහේතු: ඔබේ විග්‍රහය මොකක් ද?
ප්‍රබෝධ : මම කියන්නේ මේක ඉතා ම දුර්වල අභියෝගයක්. අභියෝගයක් නම් එය ජයගත් හෝ නොගත් බව පැහැදිලිව පෙනෙන්න ඕනේ. මේකෙ දී බොහොම ලේසියෙන් ජයග්‍රහණය නො දී මඟ අරින්න පුළුවන්. අමතක කරන්න එපා මේක ඉදිරිපත් වෙන්නේ ම පරීක්ෂණයක් විදිහට නෙවෙයි අභියෝගයක් විදිහට. ඉතින් අර මධ්‍යස්ථභාවයන් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වෙන්නේ කොහොම ද? අනික හේතුවාදී සංගමයේ සාහසික ප්‍රචාරණ යාන්ත්‍රණ එක්ක කොහොමත් ඔවුන්ගෙන් මධ්‍යස්ථ භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක හරිහමන් අභියෝගයක් නෙවෙයි. මෙවන් අභියෝග ඉදිරිපත් කිරීම ම කොවුර්ගේ අශාස්ත්‍රීය භාවය පෙන්වනවා. මේ අභියෝගය ම අපිට අර්ථකථනය කරන්න වෙන්නේ හුදු ජනප්‍රිය භාවය ලබා ගන්න කරපු තේරුමක් නැති අභියෝගයක් විහිළුවක් විදිහට. .

සහේතු: මීළඟට අපි ගමු පුනුරුත්පත්තියේ ප්‍රතිඵලයක් විදිහට හරි භූත , යක්ෂ හෝ දේව බලයෙන් හරි නොදන්නා භාෂාවක් කතා කොට හෝ තේරුම් ගෙන හෝ පෙන්වන්න කියන අභියෝගය

ප්‍රබෝධ: ඔතන නොදන්නා භාෂාවක් කියන්නේ මොකක් ද? මේ ලෝකයේ නැති භාෂාවක් ද? නැතිනම් මේ ලෝකයේ තිබෙන ඔහුට සාමාන්‍ය වශයෙන් නම් දැන ගැනීමට ඉඩකඩක් නැති භාෂාවක් ගැන ද? භූතයෝ හා දෙවියෝ ගැන කියලා නැවතුණා නම් අපට කියන්න පුළුවන් මෙතන අදහස කිසියම් කෙනෙක් නො දැන සිටි භාෂාවක ප්‍රකාශ දේව හෝ යක්ෂ බලයෙන් අවබෝධ කරගෙන පිළිතුරු දීම කියලා. එතන දිත් ප්‍රශ්නයක් එනවා දෙවියන් හෝ යක්ෂයන් එක්ක ගණුදෙනු කරන්නේ චිත්ත රූපවලින් කියලා ගත්තොත්. නො දන්නා භාෂාවක් චිත්ත රූපවලට හරවන්නේ කොහොම ද? චිත්ත රූපවලින් නො දන්නා භාෂාවක් එවන්නේ කොහොම ද? මෙතන දී ඒ බලවේගය එක්ක අතරමැදියා වෙන්නෙත් අභියෝගය භාරගන්නා පුද්ගලයාගේ මනස ම නිසා මේක තීරණාත්මකයි. අනික දෙවියන් සියලු භාෂා දැන සිටිය බව පූර්ව උපකල්පනය කරන්න පුළුවන් අඩු තරමින් සර්වබලධාරි දෙවියකු සම්බන්ධව විතරයි.

තීරණාත්මක විදිහට මේ අභියෝගය මීටත් පහළ තලයකට වැටෙනවා පුනර්භවය ගාවාගෙන තිබීමෙන්. එතකොට අභියෝගය බාරගන්නා පුද්ගලයාට ඕනෑ ම භාෂාවක් ඉදිරිපත් කරන්න බෑ. ඔහුගේ පුනර්භව සිද්ධියට අදාළ භාෂාවයි ලබා දෙන්න ඕනේ. ඇත්තට ම මෙවන් සිද්ධිවලට සාධක තියෙනවා. ආචාර්ය ඉයන් ස්ටීවන්ස්ගේ Twenty Cases Suggestive of Reincarnation කියන පොතේ ඒ සම්බන්ධව ඉතා පැහැදිලි අවස්ථා කීපයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනා ඒ උදාහරණ පිළිගන්නවා. ඒත් ලංකාවේ හේතුවාදියෝ ඒ වගේ දේ සම්බන්ධව කරන්නේ කිසිදු සියුම් අධ්‍යයනයක් නො කර තමන්ගේ හිතු මතයේ ප්‍රකාශ සිදු කිරීම. සමහර විට ලංකාවේ හේතුවාදීන්ගේ ම වර්ගයේ විදේශිකයින් උපුටා දැක්වීමත් සිදු කරනවා. මේවාට  වාර්තා බොරු , ඒ පුද්ගලයින් ඒ භාෂා කලින් දැන සිට තිබෙන්නට ඇති, ඒවා උපවිඥානයේ පවතින්න ඇති වගේ මතයන් ඉදිරිපත් කරන්න හේතුවාදීන් ඉක්මන් වෙන්නේ සියුම් විමසා බැලීම්වලින් තොරව. එවැනි කණ්ඩායමක් ඉදිරිපත් කරන අභියෝග ගැන දෙවරක් හිතන්න වෙනවා. මොක ද ඔවුන් නැවතත් විමසා බැලීමෙන් තොරව එවන් අදහස් ඉදිරිපත් කරලා ගැලවී යාමට ඉක්මන් වෙන බවට නම් සැකයක් නැති නිසා. අනික මේ ඉදිරිපත් කරන්නේ පරීක්ෂණයක් නෙවෙයි අභියෝගයක්. ඒක ඇතුළේ අවිනිශ්චිතතා, යටිකූට්ටු උගුල් තියෙන්න බෑ. මෙය අභියෝගයක් ලෙස ඉදිරිපත් කිරීම ම විහිළුවක්. 

සහේතු: මීළඟට තියෙන්නේ යෝග බලයෙන් මිනිත්තු පහක් හදගැස්ම නවත්වන්න කියන එක.

ප්‍රබෝධ: ඔය වගේ ම තව එකක් තියෙනවා හුස්ම ගැනීම ගැන.

සහේතු: ඔව් මිනිත්තු තිහක් යෝගී බලයෙන් හුස්ම නොගෙන පෙන්වන්න කියන එක.

ප්‍රබෝධ: ඔහොම එක හා සමාන ඒවා දෙකට තුනට කඩා ඉදිරිපත් කිරීමත් තවත් සෙල්ලමක් තමයි. ඔය කියන්නේ අත්ථකිලමථානුයෝගයේ එන අප්‍රාණක ධ්‍යානය ගැන. බුදු දහමට අනුව අප්‍රාණක ධ්‍යානය වඩන්න බෑ. ඔතන දී තියෙන ප්‍රශ්නය මේ අය මේ අභියෝග විසි තුන කියන ඉලක්කම පොදුවේ භාවිත කරනවා ගුප්ත විද්‍යා කටයුතු හෙළා දකින්න. ඒක අශාස්ත්‍රීයයි. මොක ද මේ අභියෝග යොමුවන්නේ විවිධ පද්ධති ගණනාවකට. ඒවා එකිනෙක සමජාතීය නෑ. එක පද්ධතියකින් පුළුවන් කියන දේ අනෙක් පද්ධතියෙන් බැහැයි කියනවා. එහෙම තත්වයක් යටතේ අපේ අග්‍රගණ්‍ය අභියෝග විසිතුන තාම බාරගෙන නෑ කියලා පොදුවේ අරන් කරන විවේචන විහිළුවක්. අනික එය අදාළ වන්නේ අප්‍රාණක ධ්‍යානය වඩා අවසන් කියලා යමෙක් කීවොත් ඔහු විෂයෙහි විතරයි.

බුදු දහමට අනුව මහා නිරෝධායන සමාපත්තියේ දී කායික ක්‍රියා නිරුද්ධ කරන්න පුළුවන් දවස් හතක් දක්වා. ඊට සතර ඍද්ධිපාදත් වඩා තිබීම සමඟ රහත් හෝ අනාගාමී විය යුතුයි. යමෙක් එවැනි උසස් ඵල ලබාගෙන ඇති බව කියනවා නම් එයින් ඔහු පරීක්ෂා කළ හැකියි. එහෙත් තවම රහතන් වහන්සේ කෙනකු මෙවන් අභියෝගයකට මුහුණ දීමට නො පැමිණි නිසා මෙය ප්‍රතික්ෂේප කළ යුතුයි කියනවා නම් මුළාවක්.

අනෙක් අතට මෙතන දී මම කැමතියි මීට අනුරූපව හේතුවාදීන් සඳහා ඉදිරිපත් කළ හැකි අභියෝගය සඳහන් කරන්න. හේතුවාදී සංගමයේ අය කියන විදිහට පුනර්භවයක් නෑ. මනස සම්පූර්ණයෙන් මොළයේ (මස්තිෂ්කයේ) ‍රසායනික ක්‍රියාවලිවල ප්‍රතිඵලයක්. මේවා විද්‍යාත්මක අදහස් ලෙසයි ඔවුන් පවසන්නේ. විද්‍යාව නැවත නැවත සිදු කරමින් තහවුරු කරගත හැකි බව මෙවන් වැඩසටහන්වලට පැමිණෙන හේතුවාදී වෘත්තිකයන් පවසනවා. එහෙම නම් හේතුවාදීන්ට මගේ විවෘත අභියෝගය මිය ගොස් ඇති බව හොඳින් තහවුරු කෙරුණු පුද්ගලයකුගේ මොළයේ
රසායනික ක්‍රියාවලි යථාවත් කොට හෝ ප්‍රතිනිර්මාණය කොට පුද්ගලයා මරණයෙන් නැඟිටුවන්න හෝ නැවත නිර්මාණය කරවන්න. මෙතන දී සතෙක් යොදා ගන්න අවසර දෙන්න පුළුවන් එක කොන්දේසියක් මත පමණයි. බොහෝ හේතුවාදීන් සතුන්ට මනස් නැති බව දිගට ම කීවා. ඔවුන්ට ඇත්තේ නිසගයෙන් එන ප්‍රතිචාර සමූහයක් පමණක් බව කීවා. සතෙක් යොදා ගත්තොත් මුලින් ම ඔවුන් මෙවන් හේතුවාදී පිරිස්වල තර්කවලට විරුද්ධව සතුන්ට මනසක් තිබෙන බව පෙන්වන්න ඕනේ. ඒ තර්ක බිඳ හෙළූ පදනම මත ම සිට සතාගේ මනස යථාවත් කළ බව, ප්‍රතිනිර්මාණය කළ බව පැහැදිලිව පෙන්වන්න ඕනේ. පුනර්භවය පිළිගන්න අයකුට අනුව නම් මරණයෙන් පසු වෙනත් තැනක උත්පත්තිය ලබන බැවින් මෙය කළ නො හැකියි. මනස මොළයට ඌනනය කළ හැකි බව කීමට පෙර හේතුවාදීන් මේ අභියෝගය පිළිගත යුතුය.

ලබන සතියට: භාවනාවෙන් දැනුම ලබා ගත හැකි ද යන්නත් වස්තු මැවීම විනාශ කිරීම හා පරිවර්තනය කිරීමත් පිළිබඳ අදහස්

පාඨකයින් මුරුංගා අත්තේ තබා ලිස්සීම: අභයසිංහට පිළිතුරක්

ජූලි 12 විදුසර පත්‍රයේ පළ වූ මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස කේ.ආර්. අභයසිංහ මහතා ජූලි 19 විදුසර පත්‍රයේ ඉතා අශාස්ත්‍රීය ලිපියක් පළකොට තිබේ. ඡේද හතකින් යුතු එම ලියැවිල්ලේ කිසිදු තැනක අභයසිංහ මහතා මගේ ලිපියට පිළිතුරක් දී නැත. ඒ වෙනුවට ඒ මහතා කර ඇත්තේ මගේ තර්කවලට පිළිතුරු නො දී සිටීම ගැන නිදහසට කරුණු දැක්වීම ය. එමෙන් ම තම තර්කය ලිපියේ විස්තර කොට දැක්වීම හෝ තමා පදනම් කරගත් මූලාශ්‍රවල අදාළ ස්ථාන නිශ්චිතව දැක්වීම හෝ සිදු නො කර  ඔහු පවසන දෑ තහවුරු කිරීමට 'බොහෝ පොත්වල ඇත' යනාදී අපැහැදිලි , අවිනිශ්චිත, මුළා කරනසුලු ප්‍රකාශ සිදු කිරීම එනම් වැල්ලේ ඔළුව හංගා ගන්නා පැස්බර චර්යාව සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරීම ය. එයින් පෙනෙන්නේ අභයසිංහ මහතා පෙර ලිපිවල දී ද නිසි පිළිතුරක් දීමට අපොහොසත් වූ බව මෙවර ලිපියෙන් ඔහු තමන් විසින් ම පිළිගෙන ඇති බව ය.

ඒ මහතා තම නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ විදුසර පාඨකයින් බොහෝ විද්‍යා ලිපි කියවා ඇති බැවින් ඔවුන්ට තමාගේ තර්ක විශේෂයෙන් තහවුරු කරවිය යුතු නැති බවයි. අවාසනාවකට තම ගැලවීම සඳහා ම ඉදිරිපත් කරන බව පැහැදිලිව පෙනෙන මේ බොළඳ ප්‍රකාශයේ වලංගුභාවය අභයසිංහ මහතාගේ ක්‍රියාකාරිත්වය විසින් ම මේ වන විටත් ප්‍රතික්ෂේප කරවා හමාර ය. ඒ මහතා ප්‍රස්තුතයට අදාළ නොවන එමෙන් ම සාවද්‍ය කරුණු ඇති වැල්වටාරම් ලියමින් මේ උත්සාහ කරන්නේ කුමකට ද? මේ වන විට එවන් නිසරු ලිපි කිහිපයක් ම ලියා ඇති අභයසිංහ මහතා දැන් මේ කරන බොළඳ ප්‍රකාශය විදුසර පාඨකයින්ගේ මුවෙහි සිනහවක් රඳවන්නට ඇති බව නො අනුමාන ය. සංවාදයක දී පාඨකයන් මුරුංගා අත්තේ තබා ලිස්සා යාමේ කලාව විමර්ශනශීලී විදුසර පාඨකයින් සඳහා සාර්ථක නොවන බව වටහා ගත යුතු ය. සැම්සන් ගුණතිලක මහතාගේ ජූලි 12 වෙනි දා 'සංවාදවල සදොස් තැන් සමහරක්' ලිපිය අනුමත කරන අභයසිංහ මහතා එය මට ද කියවීමට නිර්දේශ කරයි. සැම්සන් මහතා හේතුවාදය බුදු දහමේ පදනමට ම විරුද්ධ බව පැහැදිලිව කියා තිබිය දී ඒ ගැන කිසිදු සඳහනක් නො කරමින් එය අනුමත කරන අභයසිංහ මහතා ම ථෙරවාද දහම් කරුණු ඉගෙනීමට පොත පත යෝජනා කිරීම තරම් විහිළුවක් තවත් නැත. මෙසේ නැවත නැවතත් ඔහුගේ ප්‍රකාශ ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් ම ප්‍රතික්ෂේප වන්නේ අභයසිංහ මහතාගේ සිත තුළ පරාජිත හැඟීමක දෝංකාරය නින්නාද වෙමින් පවතින නිසා බව ලිපිය ලියා ඇති ශෛලියෙන් ම ඉස්මතු වී පෙනේ.  මෙම සංවාදය ඇරඹීමට පෙර තමා නො දන්නා දැනුම් පද්ධති ගැන වෛරී ඇසකින් යුතුව අපහාසාත්මකව කතා කරමින් ඒවාට විරුද්ධව හිස් තර්ක ගොඩනඟමින් ජයග්‍රාහී ලීලාවෙන් පාළු ගෙයි වළං බිඳීමක නිරතව හුන් ඒ මහතාගේ අදහස්වල බොල් බව විදුසර පාඨකයින්ට මේ සංවාදයේ දී කරුණු සහිතව අනාවරණය වූ පසු ඔහුගේ මේ හැසිරීම පාඨකයින්ගේ අනුකම්පාවට ලක් විය යුත්තකි. අභයසිංහ මහතා මීට වඩා දෙයක් ලිවීමට අපොහොසත්ව ඇති බැවින් සැම්සන් ගුණතිලක මහතාගේ ලිපිය වෙත අවධානය යොමු කරමි.

හේතුවාදය හා බුදු දහම එකිනෙකට පටහැනි බව පිළිගෙන තිබීම පිළිබඳව පළමුවෙන් ම සැම්සන් මහතාට ස්තූතිවන්ත වෙමි. බුදු දහම තමන්ගේ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීමට උත්සාහ කරන අභයසිංහ මහතා වැනි හේතුවාදීන්ගෙන් ප්‍රවේසම් වීමට පාඨකයින් සැලකිලිමත් විය යුතු ය.

සැම්සන් මහතා ද පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳ ඉතා සාවද්‍ය තර්කයක් ගොඩ නඟයි. ඔහු පවසන්නේ මා ගාල්ලේ සිට කොළඹ බලා බසයකින් ගමන් කළහොත් බසය ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කළේ ද පොළොව ආපස්සට ගමන් කළේ ද යන්න ගැටලුවක් කරගනිමින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි.

මෙය අතිශයින් බොළඳ ප්‍රකාශයක් බව සාමාන්‍ය පෙළ සිසුන්ට පවා වැටහේ. ගාල්ලේ සිටින අයකු බසයට නො නැඟ සිටියේ නම් ඔහු කොළඹට පැමිණෙන්නේ නැත. ඔහු කොළඹට පැමිණෙන්නේ බසයට ගොඩ වීම නිසා ය. ගාල්ලෙන් බසයට නඟින ඔහු කොළඹ දී බසයෙන් බසී. ඒ අතරතුර දී සිදු වූයේ පොළොවට සාපේක්ෂව බසය ගාල්ලේ සිට කොළඹට යාම වුවත් බසයට සාපේක්ෂව පොළොව පසු පසට යාම වුවත් එයින් ගැටළුවක් මතු නො වේ. කුමනාකාරයෙන් සිදු වුව ද ප්‍රතිඵලය එක ම ය. බසයට මුදල් ගෙවන්නේ ගාල්ලේ සිට කොළඹට යෑමට ය. බසයට නැඟීමෙන් තොරව ඒ චලිතය සිදු නො වේ. ඕනෑ ම නිරීක්ෂකයකුට සාපේක්ෂව චලිතය පැහැදිලි කළ හැකි බව මෙයින් ම තේරුම් ගත හැකි ය.

  වැඩි දුරටත් සඳහන් කළහොත් යාන්ත්‍ර විද්‍යාවේ (mechanics) ප්‍රගති විද්‍යාව (Kinematics) හා චාලක විද්‍යාව (Kinetics) ලෙස කොටස් දෙකක් පවතී. ප්‍රගති විද්‍යාවේ හුදෙක් ම චලනයන්ගේ පථ හා ප්‍රවේග, ත්වරණ ආදිය ගැන කියැවේ. චාලක විද්‍යාවේ එම චලනයන්ට හේතු වූ බල ගැන කියැවේ. ප්‍රගති විද්‍යාව ඕනෑ ම රාමුවකට සාපේක්ෂව නිවැරදි බව ඈත අතීතයේ ගැලීලියෝගේ කාලයේ සිට ම දැන සිටි අතර v=u+at ආදී චලිත සමීකරණවලින් ගැටළු විසඳීම අවශ්‍ය ඕනෑ ම රාමුවක සිට සිදු කළ හැකි බව උසස් පෙළ සිසුහු ද දනිති. සැම්සන් මහතා මගේ තර්කය සාවද්‍ය බව කීමට ප්‍රගති විද්‍යා ගැටළුවක් ඉදිරිපත් කිරීමෙන් ම ඒ මහතාගේ භෞතික විද්‍යා දැනුමේ අඩු පාඩුව ප්‍රදර්ශනය වේ. රාමුව මත ප්‍රතිඵල වෙනස් වීමක් ඇත්තේ නිවුටන් ඉදිරිපත් කළ චාලක විද්‍යාවේ (Newtonian Kinetics) ය. එනම් F=ma වැනි සමීකරණ යෙදෙන තැන්වල ය. එවන් සමීකරණ සත්‍ය වන්නේ අවස්ථිතික රාමු (inertial frames) නම් විශේෂ රාමු සමූහයකට අනුබද්ධව බව නිවුටන් කීවේ ය. අර්නස්ට් මක් (Ernst Mach) නම් දාර්ශනිකයා ඉතා ප්‍රබල තර්ක මඟින් සිය  The Science of Mechanics කෘතියේ දී පෙන්වා දුන්නේ නිවුටන්ගේ අවස්ථිති රාමු කෙසේවත් පැවතිය නො හැකි අභව්‍ය දෙයක් බව ය. ආලෝකය පිළිබඳ මයිකල්සන්- මෝර්ලි පරීක්ෂණය මඟින් ද අවස්ථිති රාමු සංකල්පය බිඳ වැටී ගිය අතර අයින්ස්ටයින් සාධාරණ සාපේක්ෂතාවාදය (General Relativity) ගෙන එමින් පෙන්වා දුන්නේ නිවුටන්ගේ සමීකරණ අසම්පූර්ණ බවත් සාධාරණ සාපේක්ෂතාවාදයේ නිවැරදි සමීකරණ යටතේ චාලක විද්‍යාව ඇතුළු භෞතික විද්‍යාවේ නියම ඕනෑ ම සමුද්දේශ රාමුවක් (reference frame) අනුබද්ධව වලංගු බව ය. එහි දී සූර්යකේන්ද්‍රවාදයත් පෘථිවිකේන්ද්‍රවාදයත් සමාන සාධාරණත්වයකින් යුතු බව ගම්‍ය වේ. අයින්ස්ටයින්ගේ අදහස්වලට කෙබඳු අභියෝග එල්ල වුව ද මෙම අදහසට කිසිදු අභියෝගයක් එල්ල වී නැත. පසුකාලීන විද්‍යඥයින් කවුරුන් ද යන්න හෝ ඔවුන් එවන් අදහස් පැවසුවේ කොතැන ද යන්න හෝ නොකියා පසුකාලීන විද්‍යඥයින් අතින් එම අදහස වෙනස් වී ඇතැයි කීම පාඨකයින් මුළා කිරීමට දරන අසාර්ථක වෑයමකි. කිසිදු රාමුවක අනෙක් රාමුවකට වඩා ඇති යථාර්ථවත් සුවිශේෂිත්වයක් අයින්ස්ටයින්ගෙන් පසු කිසිදු විද්‍යාඥයකු පෙන්වා දී නැති බව අවධාරණයෙන් සඳහන් කළ යුතු ය. අසත්‍ය කරුණුවලින් විදුසර පාඨකයින් මුළා නො කරන ලෙස ඒ මහතාට පවසමි. ග්‍රහයින්ගේ වක්‍ර වීම ගැලීලියෝගේ කාලයේ දී ප්‍රශ්නයක් වූයේ ග්‍රහවස්තුවල චලිතය පිළිබඳ එකල පැවති අදට වලංගු නැති දුර්මත නිසා ය. පොළොව චලනය වීමට සාක්ෂ්‍යයක් ලෙස එකල ගැලීලියෝ වඩදිය ඇති වීම පවා දක්වා ඇත. වඩදිය ඇති වෙන්නේ එනිසා නොව චන්ද්‍ර හා සූර්ය බලපෑම නිසා බව අද අපි දනිමු. සැම්සන් මහතා කරුණු ඉදිරිපත් කිරීමට පෙර එම කරුණු අදට වලංගු දැයි විමසා බැලීමට හුරු විය යුතු ය.

පරිණාමවාදය මඟින් පුනර්භවය අසත්‍ය යැයි පෙන්වා ඇති බවට  සාධක රහිත දුර්මතයක් අභයසිංහ මහතා හා සැම්සන් මහතා ඉදිරිපත් කර ඇත. පරිණාමවාදය පිළිබඳ ස්වභාවික වරණවාදයේ කියැවෙන්නේ අතිජනනය හා ජීවී ගහණයක පවතින මධ්‍යන්‍ය ඓකිකයන් ගණන නියත වීම හේතුවෙන් ජීවන සටනක් ඇතිවන බවත් ජීවින් ප්‍රභේදනය වී ජනනය වීම හේතුවෙන් ස්වභාවධර්මය විසින් උචිතතම ජීවීන් ප්‍රජනන කෘත්‍ය සඳහා තෝරා ගැනෙන බවත් ය. එහිදී විවිධ ලක්ෂණ සමූහයක් ඇති වී ඒවායින් උචිතතම ලක්ෂණ ඉදිරියට යාම මඟින් ජීවීන් නිරන්තරයෙන් ප්‍රගමනයට, දියුණුවට පත් වන බවත් ය. එනම් කායික ලක්ෂණ ප්‍රවර්ධනය වීම ගැන ය. පුනර්භවයෙන් කියැවෙන්නේ මරණයෙන් පසු චුති චිත්තයට අනුරූපව වෙනත් තැනක ප්‍රතිසන්ධි චිත්තය ඇති වීමෙන් තවත් උපතක් ලබන අයුරුයි. එනම් මෙය මනස සම්බන්ධ සංකල්පයකි. මනසේ අභෞතික කොටස් එ නම් නාම ස්කන්ධ ආශ්‍රිත සංකල්පයකි. මේ දෙකෙන් ආවරණය කරන කලාප සහමුලින් වෙනස් වෙයි. පරිණාමවාදයෙන් පුනර්භවය අසත්‍ය බවට තර්කයක් ගොඩනැඟිය හැක්කේ කැකිල්ලේ රජු වැන්නකුට ම බව පාඨකයින්ට වැටහෙනු ඇත. කල්පිත චරිතයක් වුවත් කැකිල්ලේ රජුගේ මී මුනුපුරන් අදත් සිටින බව මෙවන් තර්ක ඉදිරිපත් කිරීමෙන් පෙනේ.

ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පෙන්වීම මගේ අරමුණ නො වූවත් සැම්සන් මහතා නො විමසා ඉදිරිපත් කරන කරුණුවලින් පාඨකයින් මුළා වීම වලක්වා ගත යුතු බැවින් ජ්‍යෝතිෂ්‍ය අසත්‍ය බව කියූ ශෝන් කාල්සන් පරීක්ෂණය ගැන ද යමක් කිව යුතු ය. පරීක්ෂණ පත්‍රිකාවකින් තොරතුරු ලබා ගැනීමේ දී ඒ හා සම්බන්ධ සමාලෝචන (review) අධ්‍යයනය කළ යුතු ය. (මා අයින්ස්ටයින්ගෙන් පසු විද්‍යාඥයින් අධ්‍යයනය කර නැතැයි හිතලු ප්‍රකාශ කළ සැම්සන් මහතා ම සමාලෝචන අධ්‍යයනය කර නො තිබීම උත්ප්‍රාසවත් ය.) Hans Eysenck පෙන්වූයේ කාල්සන්ගේ අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් ඔහුගේ නිගමනයට එළඹිය නො හැකි බවයි. Mark Urban එහි මනෝවිද්‍යාත්මක ආකෘති භාවිතය විවේචනය කළේ ය. ඉතා වැදගත් කරුණ වන්නේ ජර්මනියේ සුප්‍රසිද්ධ Gottingen විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Suitbert Ertel සිය Appraisal of Shawn Carlson’s Renowned  Astrology  Tests නම් පර්යේෂණ පත්‍රිකාවෙන් කාල්සන්ගේ සංඛ්‍යාන ක්‍රමවේදය දෝෂ සහිත බව පෙන්වා එම දත්ත නිවැරදි ක්‍රමවේද අනුව විශ්ලේෂණයෙන් ජ්‍යෝතිෂ්‍ය අසත්‍ය බව කාල්සන්ගේ පරීක්ෂණයෙන් ඔප්පු වී නොමැති බව පෙන්වීම ය. (සබැඳිය:http://www.scientificexploration.org/docs/23/jse_23_2_ertel.pdf) කාල්සන් තම නිගමනය ඉදිරිපත් කිරීමේ දී සංඛ්‍යානයේ පදනම් අදහස වන අප්‍රතිෂ්ඨෙය කල්පිතය (null hypothesis) සම්බන්ධ මූලික ම සිද්ධාන්තය පවා උල්ලංඝනය කර ඇති බව එහි පැහැදිලිව පෙන්වා ඇත. මේ එම පත්‍රිකාවෙන් උපුටාගත් කොටසකි.
Nevertheless, a correct reanalysis of Carlson’s two astrological tests reveals that astrologers matched profiles of the California Personality Inventory to natal charts better than expected by chance with marginal significance  (threeway forced choice, p   =   .054), and that a positive  result was replicable by a different assessment method (10-point rating, p   =   .04).

පරීක්ෂණ පත්‍රිකා කෙතරම් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු ද යන්න සම්බන්ධව පාඨකයින්ටත් මෙය ඉතා වැදගත් ය. අභයසිංහ මහතාගේ අග්‍රගණ්‍ය රූපවාහිනි වැඩසටහන්වල දී ඉදිරිපත් කරන මීට වඩා බොහෝ ප්‍රාථමික අභියෝග සංඛ්‍යාන විද්‍යාවට අනුව කොතරම් බොළඳ අශාස්ත්‍රීය ඒවා ද යන්නත් මේ ක්‍රමවේද විමසා බලමින් ම පාඨකයින්ට වටහා ගත හැකි ය.

විද්‍යාවේ ප්‍රවාද නිතර අසත්‍ය විය හැකි බව අභයසිංහ මහතා ම සඳහන් කරයි. අසත්‍ය වන දෑට මිථ්‍යා යැයි කීමට ද ඔහු පෙළඹෙයි. තමා නියෝජනය කරන පද්ධතියේ නිරවද්‍යතාව පිළිබඳ සහතිකයක් දිය නො හැකි විටෙක අභයසිංහ මහතා එය මිනුම් දණ්ඩ කරගනිමින් අනෙක් පද්ධතිවලට මිථ්‍යා ලේබලය අලවා ගැරහීම හාස්‍යජනක ය. ඔහු නියෝජනය කරන විද්‍යා ප්‍රවාද බැහැර කරන දිනයක දී අභයසිංහ මහතා ජීවිකාව කොට බඩ වියත රැකගෙන ඇත්තේ ද මිථ්‍යාවකින් ම බව කියැවෙනු ඇත. එහෙයින් මේ වැටී සිටින ආඝාධයෙන් ගොඩ එන ලෙස ඒ මහතා කෙරේ දයානුකම්පාවෙන් උපදෙස් දෙමි. දැන් අභයසිංහ මහතා වැන්නන් කළ යුතු වන්නේ තමන් සිරවී සිටින පටු ආස්ථානයෙන් මිදී තමන් අනුදත් දැනුම් පද්ධතියේ ද තවත් තමන් නො දන්නා බොහෝ දේ ඇති බව පසක් කරගනිමින් තමන් නො දත් දැනුම් පද්ධති දෙස වෛරී ලෙස බලමින් මිථ්‍යා හංවඩුව ගසමින් ගර්හාවට ලක් නො කොට සෑම දැනුම් පද්ධතියක ම ඇති විභවයන් මෙලොවට ද එ ලොවට ද වැඩදායී ලෙස යොදා ගැනීමට බුද්ධිමය නිම් වළලු පුළුල් කර ගැනීම ය.

ක්වොන්ටම් භෞතිකය පිළිබඳ කතා බහක්

ගුවන්විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ මා සහභාගී වූ සංකථන සංවාද මණ්ඩපය වැඩසටහන - 1

ක්වොන්ටම් භෞතික විද්‍යාව හා පැවැත්මේ ප්‍රශ්නය
          මෙහෙයවීම- දර්ශන අශෝක කුමාර
          සහභාගීත්වය- තමලු මලිත්ත පියදිගම

සංකථන සංවාද මණ්ඩපය - සඳුදා රාත්‍රී 9.20ට ස්වදේශීය සේවයෙන් FM 91.7 , 91.9

දර්ශනයේ මූලික ප්‍රශ්නය විද්‍යාවේ ගමන් මඟ හරස් කළ අයුරු

K.R. අභයසිංහ සමඟ විදුසර සංවාදය - 3

K.R. අභයසිංහ මහතාට මාගේ මීළඟ පිළිතුර (සංස්කරණයට පෙර )

ජූනි 28 වෙනි දින පළවූ මාගේ ලිපිය සඳහා පිළිතුරක් නොවන ප්‍රතිචාරයක් කේ.ආර්. අභයසිංහ මහතා ජූලි 05 විදුසරෙහි දක්වා ඇත. අභයසිංහ මහතා ලිපිය අරඹන්නේ මෙවැනි වාක්‍යයකිනි: "ජූනි 28 දා විදුසරට තමලු මලිත්ත පියදිගම මහතා ලියා තිබුණු ජ්‍යෝතිෂ්‍යයට එරෙහි ව හේතුවාදීන් ගෙන එන තර්ක ලිපියෙන් ඔහු ගේ පෙර ලිපියෙන් ම පැවසූ දෑ ම ගෙනහැර දක්වා ජ්‍යෝතිෂ්‍යය නම් මිථ්‍යාවට සායම් ගා තිබුණි." මගේ පළමු ලිපියත් දෙවන ලිපියත් නැවත පෙරළා බලන පාඨකයකුට දැක ගත හැක්කේ අභයසිංහ මහතාගේ ඉහත ප්‍රකාශය අසත්‍යය බව පමණක් නොව මගේ දෙවන ලිපියේ ඉතා වැඩි කොටසක් අභයසිංහ මහතාට මඟහැරී (හෝ ඔහු හිතා මතා ම මඟහැර) ඇති බව ය!

බුදු දහම විකෘති කරමින්, ත්‍රිපිටකයට විකෘති පරිවර්තන ලබා දෙමින්, තමන්ට අවශ්‍ය කොටස් පමණක් සලකමින්, වචනවල රූපීය සමානකම් ඈඳමින්, බුදුන් වහන්සේ දෙසූ බවට උන් වහන්සේ නො දෙසූ දෑ ඉදිරිපත් කරමින් හේතුවාදය නම් මිථ්‍යාව ප්‍රචාරය කිරීමට වංචනික හා කූඨ ලෙස බුදු දහමේ නම යොදා ගැනීමට හේතුවාදීන් කටයුතු කරන ආකාරය ගැන මා ජූනි 28 ලිපියේ සවිස්තරාත්මකව දක්වා ඇති කරුණු ගැන වචනයකින් හෝ සඳහනක් නො කිරීමට අභයසිංහ මහතා ප්‍රවේසම් වේ. මෙවර ඒ මහතා පුනර්භවය නැතැයි කියමින් මිථ්‍යාදෘෂ්ටික උච්ඡේදවාදය වෙනුවෙන් එක එල්ලේ පෙනී සිටියි. බුදු දහමට මුවා වී කරුණු දක්වන හේතුවාදීන්ගේ යටි අරමුණ කුමක් දැයි විදුසරේ පාඨකයින්ට ක්‍රියාවෙන් ම පෙන්වා දීම ගැන නම් අභයසිංහ මහතාට මගෙන් ප්‍රශංසාවක් හිමි වේ!

අභයසිංහ මහතා පිළිතුරු ලියන්නේ සිහි කල්පනාවෙන් තොරව බව පෙනේ. මගේ ලිපියේ පැහැදිලිව ම මාගේ අරමුණ වන්නේ ජෝතිෂ්‍යයයේ සත්‍ය භාවය ගැන සාකච්ඡා කිරීම නොව ඊට එරෙහිව හේතුවාදීන් ගෙන එන තර්කවල අශාස්ත්‍රීය බොළඳ භාවය පෙන්වා දීම බව කියා ඇත. ලංකාවේ දී හුදු ප්‍රචාරණ ව්‍යාපාරයක් ම පමණක් වන හේතුවාදයේ බොළඳකම හා කූඨ වංචනිකභාවය හෙළිදරවු කිරීම මගේ කාර්යයයි. අභයසිංහ මහතා උජාරුවෙන් පුනරුච්චාරණය කරන රූපවාහිනි වැඩසටහන් හෝ අසත්‍ය වී ගිය අනාවැකි ගැන හෝ පැවසීම මීට පිළිතුරක් නො වේ. ඒවා ඒ අනාවැකි පැවසූ ජෝතිෂාස්ත්‍රඥයින් සමඟ බේරා ගත යුතු ය. හේතුවාදී ප්‍රචාරණ යාන්ත්‍රණයේ නිරුවත හෙළි කිරීමේ මාගේ ප්‍රයත්නයට පිළිතුරු දිය හැක්කේ හේතුවාදී තර්කවල ශාස්ත්‍රීය නිවැරදිභාවය පෙන්වීමෙන් මිස එවැනි හෑලි ලිවීමෙන් නො වේ. එහෙත් අභයසිංහ මහතා ඒ සඳහා අල්පමාත්‍ර උත්සාහයක්වත් දැරීමට පොහොසත්ව ඇති බවක් නො පෙනේ. ජූනි 28 මගේ ලිපියේ ඉංග්‍රීසි උපුටා ගැනීමට පසු ඡේදයේ ද ජූනි 07 ලිපියේ අවසන් ඡේද තුනේ ද ඇති මාගේ ප්‍රධාන තර්කය ගැන අභයසිංහ මහතා කිසිවක් ම කීමට අපොහොසත්ව ඇත. ඒ ගැන ඔහු සඳහනක්වත් නො කරයි!

ඔහු ඔහුගේ ජුනි 21 ලිපියේ හයවෙනි ඡේදය ගැන මහා ඉහළින් කතා කරයි. ඔහුට අනුව එහි "හිරු වටා පෘථිවිය ගමන් කරනවා යන්න හා පෘථිවිය වටා හිරු ගමන් කරනවා යන්න එක ම යැයි විස්තර කෙරෙන අවිචාරවත් සැමට ඒ ඡේදය පිළිතුරු සපයයි".

ඔහුට අනුව මට ඒ ඡේදය වැටහී නැත! ඒ මහානර්ඝ ඡේදයේ කවර නම් ආශ්චර්යයක් ඇති දැයි දැන් අපි විමසා බලමු.

පහත දැක්වන්නේ අභයසිංහ මහතාගේ ලිපියේ අදාළ ඡේදයයි.

"
විශේෂයෙන් ම 16 වැනි ශතවර්ෂයෙන් පසු බිහි වූ කොපර්නිකස්‌, අයිසැක්‌ නිව්ටන් සහ අයින්ස්‌ටයින් වැනි දාර්ශනිකයන් විසින්, එතෙක්‌ මිනිසා තුළ පැවැති මිථ්‍යා සංකල්පවලට එරෙහි යථාර්ථය හෙළි කිරීම විද්‍යාවේ විශාල ඉදිරි පිම්මක්‌ විය. සූර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ මෙන්ම තාරකාවන් කලින් කලට විශ්වය තුළ නිරීක්‌ෂණය වන අයුරු පදනම් කොට ගැඹුරු චින්තනය හරහා පෙන්වා දී ඇති සත්‍ය අතරින්, සූර්යයා වටා අප පෘථිවිය ගමන් කරනවා ය යන යථාර්ථය තාරකා විද්‍යාවේ (ASTRONOMY) විශාල දියුණුවට හේතු විය. පසුකාලීනව ප්‍රබල දුරේක්‌ෂවලින් විශ්වය නැරඹීමේ ප්‍රතිඵලයක්‌ ලෙස සූර්ය කේන්ද්‍රවාදයේ සත්‍යය වටහාගත හැකි විය. පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන ගණන් ඈත සිට ඉතා නිවැරැදි දුරේක්‌ෂවලින් විශ්වය නැරඹීමේ පහසුව තිබෙන අද සූර්ය කේන්ද්‍ර වන අප සෞරග්‍රහ මණ්‌ඩලය මෙන්ම විශ්වයේ චක්‍රාවාට පිළිබඳ කරුණු කාරණා පිළිබඳව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැනුවත් ය. වසර දහස්‌ ගණනක්‌ පැරැණි මිථ්‍යාවක්‌ වන පෘථිවි කේන්ද්‍රවාදය යථාර්ථයක්‌ බව පවසා ජ්‍යෝතිෂ්‍යය නැමැති බොළඳ, අවිද්‍යාත්මක සංකල්ප එකතුව උලුප්පා පෙන්වීමෙන් පියදිගම මහතාට කුමක්‌ හෝ වාසියක්‌ ඇති දැයි නො දනිමි. ජ්‍යෝතිෂකරුවන් ගේ ව්‍යායාමය නම් එය ම බව පෙනේ."

අභයසිංහ මහතා කියන්නේ කොපර්නිකස් හෝ ගැලීලියෝ සූර්යකේන්ද්‍රවාදය 'පරීක්ෂණාත්මකව පෙන්වා දෙනු ලැබ ඇති බවක්' ඔහු නො කී බවයි. ඔහු කියන අයුරින් නම් මා ඔහුගේ ඒ අතිවිශිෂ්ට ඡේදය හරි හැටි කියවා නැත! එහි ඇත්ත නැත්ත දැන් පාඨකයාට ඇස් පනා පිට පෙනේ. කෙසේ වෙතත් අභයසිංහ මහතා මගේ අභියෝගයේ ඉතා සුළු කොටසක් පමණක් පිළිබඳ යාන්තමින් සඳහන් කොට අභියෝගය මඟ හැර ගොස් ඇත. පාඨකයින් උදෙසා මාගේ එම කොටස ද උපුටා දක්වමි:

"මා ඔහුට අභියෝග කරන්නේ කොපර්නිකස් , ගැලීලියෝ එසේ 'ඔප්පු කළ තැන' පෙන්වන්න යනුවෙනි. ප්‍රබල දුරේක්ෂ මඟින් එසේ දැන ගන්නට ලැබුණු බව කීම වංචනික නොමඟ යැවීමකි. එසේ ඔප්පු කළේ කවර දුරේක්ෂයකින් ගත් කවර ප්‍රතිඵලවලින් දැයි යන්න විස්තරාත්මක ව දක්වන ලෙස ඒ මහතාට අභියෝග කරමි." අභයසිංහ මහතා දුරේක්ෂ ගැන අභියෝගය හොර රහසේ මඟ හැර ඇත.

"...පියදිගම මහතා නිවැරදි යැයි කියන , වනචාරී යුගයට ගැළපෙන, පෘථිවි කේන්ද්‍රවාදය " ලෙස සඳහන් කරද්දී අභයසිංහ මහතා මා අයින්ස්ටයින් උපුටා දක්වමින් ප්‍රකාශ කළ තර්කය ගැන අල්පමාත්‍ර වූත් සඳහනක් නො කරන්නේ ඔහු අයින්ස්ටයින් වනචාරියකු යැයි සිතන නිසා දැයි සැක උපදී.
මේ අභයසිංහ තර්කයට අනුව වනචාරි අදහසක් ලෙස සැලකෙන පෘථිවි කේන්ද්‍රවාදය ගැන අයින්ස්ටයින්ගේ මතය එනම්

The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either C.S. could be used with equal justification.

(The Evolution of Physics.- A. Einstein, L.Infeld page 224)

හීන් සීරුවේ මඟ හැර යන අභයසිංහ මහතා කියන්නේ අජටකාශ යානා ගමනේ යෙදෙන්නේ සූර්යකේන්ද්‍රවාදය පිළිගැනීම මගින් කෙරෙන ගණනය කිරීම් මත බව ය. එහෙත් මේ පිළිතුර කිසිසේත් ප්‍රමාණවත් නැත. අයින්ස්ටයින් ඉහත කියන්නේ සූර්යකේන්ද්‍රවාදයත් පෘථිවි කේන්ද්‍රවාදයත් එක ම නිවැරදිතාවයෙන් භාවිත කළ හැකි බව ය. ඇත්තෙන් ම සූර්ය කේන්ද්‍රවාදයෙන් කරන ගණනය අවශ්‍ය නම් පෘථිවි කේන්ද්‍රවාදයෙන් ද කළ හැකි ය. එවිට ලැබෙනු ඇත්තේ සූර්යකේන්ද්‍රවාදය යටතේ ලැබුණු සමීකරණ පද්ධතියට ම ගණිතමය වශයෙන් තුල්‍ය වූ සමීකරණ පද්ධතියකි. එය විසඳීමෙන් ද ලැබෙනු ඇත්තේ සූර්යකේන්ද්‍රවාදයෙන් ලබා ගත් අගයන් ම ය. එහෙයින් සූර්යකේන්ද්‍රවාදයෙන් යම් නිරවද්‍යතාවකින් අගයන් ලබා ගත හැකි ද එම නිරවද්‍යතාවයෙන් ම පෘථිවි කේන්ද්‍රවාදය යටතේ ද එම අගයන් ලබා ගත හැකි ය. නිවුටන්ගේ නියම වෙනුවට වඩා නිවැරදි සාපේක්ෂතාවාදය යොදන විට ඇත්තේ ආතානක (tensor) සමීකරණ බැවින් පද්ධති දෙක යටතේ ලැබෙන පිළිතුරු පමණක් නොව සමීකරණවල රූපීය ස්වබාවය පවා එක හා සමාන වනු ඇත. එහෙයින් මෙය හිස් තර්කයකි. ඒ බව ඒ මහතාට ම හැඟෙන හෙයින් දෝ නාසා ආයතනයේ ආචාර්ය කාවන්  (කාවන් රණතුංග මහතා විය යුතුයි.) අමතන ලෙස ඔහු පාඨකයින්ට උපදෙස් දී අත පිහිදා ගනියි. අභයසිංහ මහතා කොතරම් කලබල වී ඇති ද යත් විදුසර පාඨකයින් උදෙසා කාවන් මහතා ගේ දුරකථන අංකය ලබා දීමට හෝ ඔහුට සිහි වී නැත!

කාලගුණ අනාවැකි ගැන මා පැවසූ දේ හීන් සීරුවෙන් මඟ හරින අභයසිංහ මහතා රූපවාහිනි වැඩසටහන් ගැන නන් දොඩවයි. හේතුවාදී සංගමයේ අය පවත්වන රූපවාහිනි වැඩසටහන් බලන විට පෙනෙන්නේ ඔවුන් අභයසිංහ මහතා ලෙස ම කරුණු විකෘති කරමින් සන්දර්භයෙන් පිටත හිස් අභියෝග කරමින් විමසිලිමත් නොවන ප්‍රේක්ෂකයා හුදු වචනවලින් රවටන බව ය. අවිචාරවත් නො විමසිලිමත් ප්‍රේක්ෂකයින්ට ඒවා වීර ක්‍රියා වුවද විචාරශීලී පුද්ගලයින්ට ඒවා හාස්‍යෝත්පාදක වැඩසටහන් බඳු ය.

ඉන්පසුව ඔහු සංකල්පය හා කල්පිතය යනුවෙන් අමුතු බෙදීමක් ඉස්මතු කිරීමට උත්සාහ කරයි. ඒ මහතාගේ වීරයකු වන රසල්ගේ එක් වැදගත් අධ්‍යයනයක් වන්නේ විසම චක්‍රය නම් තර්කන වැරැද්ද (ආභාසය) ගැන කළ අධ්‍යයනයයි. මිථ්‍යාව විද්‍යාව වෙන් කිරීමට ඒ මහතා සංකල්පය හා කල්පිතය යනුවෙන් අමුතු ප්‍රභේද දෙකක් පනවා ඒවා අර්ථකථනය කිරීමේ දී නැවත ඒවා මිථ්‍යාවෙන් හා විද්‍යාවෙන් ඇතිවන බව කියා ආරම්භයට ම පැමිණ ඇත. විසම චක්‍ර යනු මේවා ය. තර්කවලට පිළිතුරු නැති කල ඒ මහතා පිහිට පතා ගොස් සිර වී ඇත්තේ විසම චක්‍රයක ය. රසල්ගේ Principles of Mathematics ග්‍රන්ථය කියවා විසම චක්‍රය වටහා ගන්නා ලෙස ඒ මහතා කෙරෙහි කරුණාවෙන් උපදෙස් දෙමි.

    කෙකුලේට බෙන්සීන් ගැන කල්පිතය ඇති වූයේ සිහිනයක දී බවත්, රාමානුජන් තම සමීකරණ ලැබුවේ දෙවියන්ගෙන් බවත්, පෝලියෝ ඇති වන්නේ රෝග කාරකය මගින් ඇති කරන විෂ හේතුවෙන් බව සෙවීමට සිදු වූ පරීක්ෂණ ක්‍රමවේදය වෙනස් කළ යුතු ය යන කල්පිතය ඇති වූයේ පරීක්ෂණය නැවත නැවත අසාර්ථක වීම නිසා ඇති වුණු කෝපය හා චිත්ත ව්‍යාකූලතාවය (ඔළුව විකාර වීම) හේතුවෙන් ගත් ක්‍රියා මාර්ගය නිසා බවත්, අයන ගෝලය ගැන කල්පිතය ඇති වූයේ එවකට සිටි භෞතික විද්‍යාඥයින් කියූ දේ කනකටවත් නොගත් මාකෝනි නිසා බවත් නොදන්නා සේ අභයසිංහ මහතා සංකල්පයක් මෙන් නොව කල්පිත ඇතිවන්නේ විද්‍යාත්මක චින්තනයෙන් යැයි නන් දොඩවයි. සිහින , දෙවියන් මෙන් ම චිත්ත ව්‍යාකූලතාවයත් විද්‍යාත්මක චින්තනය ද? නැතිනම් මේ අධ්‍යයනවල ප්‍රතිඵල විද්‍යාවට අයත් නැද්ද?

  ඒ මහතා කල්පිත සත්‍යේක්ෂණයක් ගැන කියයි. කල්පිත සත්‍යේක්ෂණය කිරීම තර්ක ශාස්ත්‍රයේ මූලික ම නියම අනුව ම නො කළ හැක්කක් බව හේතුවාදී දාර්ශනිකයකයින් ම පෙන්වා දී වසර ගණනාවක් වුවත් ජ්‍යෝතිෂ්‍ය සමඟ බොළඳ තර්ක කරමින් පොර බැදීමක ඉන්නා අභයසිංහ මහතා වැනි ලංකාවේ හේතුවාදීන්ට ඒවායේ වගේ වගක් නැත! ඔවුන්ගේ හේතුවාදය ප්‍රචාරක ව්‍යාපෘතියකින් ඔබ්බට යන්නේ නැත.

අභයසිංහ මහතා පුනර්භවයට එරෙහි වන්නේ 'උසස් පෙළ සත්ත්ව විද්‍යාව පරිණාමය' ග්‍රන්ථය අනුව ලු! ත්‍රිපිටකය විකෘති කර දක්වමින් වංචනික තර්ක ඉදිරිපත් කරන හේතුවාදීන් ජීව විද්‍යාව ග්‍රන්ථවලින් පුනර්භවය ගැන කතා කරන බොළඳ ආකාරය ගැන පාඨකයාට සිතා ගත හැකි ය.

අභයසිංහ මහතාගේ ලිපිය පුරා ඇත්තේ බොහෝ පොත් ඇත, අර වැඩසටහන් බලන්න , මේ තැනැත්තාගෙන් අහන්න වැනි ප්‍රකාශ ය. පුවත්පත් සංවාදයක අරමුණ තමාගේ මතය පාඨකයාට පැහැදිලි කිරීම ය. එහෙයින් පොත් රැසක් ඇත වැනි දෑ නො කියා ඒවායේ ඇති තර්ක පාඨකයාට ඉදිරිපත් කිරීම අභයසිංහ මහතාගේ වගකීම වේ. එහෙත් ඔහු එසේ නො කරනවා පමණක් නොව ඔහුගේ ඒ මූලාශ්‍රවල අදාළ තර්ක ඇති ස්ථානයක්වත් නො දක්වයි. තමන්ගේ තර්කවල සුජාත භාවය විදුසරේ දී ම පෙන්වීමට අභයසිංහ මහතා අපොහොසත් බව පෙනේ.

'සැම නිදහස් චින්තකයකු ම , විචාරශීලියකු ම හේතුවාදියකු වන්නේ ය.' යැයි පවසමින් අභයසිංහ මහතා විචාරශීලීන්ට ඉහළ ම අවමානයක් කරයි. හේතුවාදයට ප්‍රතිවිරුද්ධ අනුභූතිවාදය , ආනුභවිකවාදය ආදී වඩාත් විචාරශීලී දර්ශන ගණනාවක් ඇති බව නො දැනීම ගැන ඒ මහතා විදුසර පාඨකයින්ගේ අනුකම්පාවට ලක් විය යුතු ය.

විමර්ශනශීලී පාඨකයින් අවදි වී හේතුවාදීන් නැමැති කරුණු විකෘති කොට මිථ්‍යා මත වපුරන්නන්ගෙන් ලංකාවේ අධ්‍යයන ක්ෂේත්‍රය බේරා ගත යුතු ය.

K.R. අභයසිංහ හා විදුසර සංවාදය -2

2017.06.29 විදුසර අභයසිංහ මහතාට මාගේ පිළිතුර (සංස්කරණයට පෙර)

මාගේ අරමුණ ජෝතිෂ්‍යය සත්‍ය බව පෙන්වීම නොව ඊට එරෙහිව හේතුවාදීන් ගෙන එන තර්ක ඊටත් වඩා බොළඳ බව පෙන්වීමයි.

කේ. ආර් අභයසිංහ මහතාට මා ලියූ පිළිතුරු ලිපියෙන් ඒ මහතා බොහෝ කලබල වී ඇති බව ඒ මහතා ඊට පිළිතුරු ලියා ඇති ශෛලියෙන් පෙනේ. ඔහුගේ පිළිතුරේ වාක්‍ය දෙක තුනක් හැර අනෙක් සියල්ල හුදු හිස් වදන් වැලක් බව පෙනේ. එමෙන් ම ඒ මහතා කිසිදු පැහැදිලි කිරීමක් නො කර "පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැනුවත් ය" "වටහා ගෙන ඇත" ආදී යෙදුම්වලින් තමාගේ අධානග්‍රාහී ප්‍රකාශ ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත. මෙහි ඇති හාස්‍යජනක කරුණ නම් මෙසේ ලියමින් ම ඒ මහතා කාලාම සූත්‍රය උපුටා ගනිමින් "එය එසේ ය යන ආරංචියෙන්වත්... මේ පුද්ගලයා සෑහෙන කෙනකැයි සිතාවත් නො පිළිගත යුතු බව" ද පවසයි. එහෙත් ඒ මහතා ලිපියේ කොතැනකවත් තම අදහස් පැහැදිලි කර නැත. කොපර්නිකස් , නිවුටන්, අයින්ස්ටයින් යන හුදු නාමයන් තමා කියූ දේ තහවුරු කිරීමේ මිනුම් දණ්ඩ කොටගෙන ඇත. ලිපිය පුරා ම ඇත්තේ 'එය එසේ ය' යන සාවද්‍ය ආරංචි පමණි.

අභයසිංහ මහතා මගේ අරමුණ කුමක් දැයි අසයි. මගේ අරමුණ ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පෙන්වීම නොව ඊට එරෙහිව හේතුවාදීන් ගෙන එන තර්ක ඊටත් වඩා බොළඳ බව පෙන්වීම ය. හේතුවාදය යන අන්ත මිථ්‍යා දෘෂ්ටිය සමාජ ගත කිරීමේ ප්‍රචාරක යාන්ත්‍රණය වී ඇත්තේ ජ්‍යෝතිෂ්‍ය විරෝධයයි. මේ අතිශය ළාමක , බොළඳ හේතුවාදී ප්‍රචාරණ යාන්ත්‍රණයේ නිරුවත හෙළි කිරීම මගේ අරමුණ වේ.

හේතුවාදය (rationalism) පවසන්නේ අපෙන් ස්වායත්ත පරම නිරපේක්ෂ යථාර්ථයක් ඇති බවත් එය හේතුක (causality) සම්බන්ධතාවලින් මෙහෙයවෙන බවත් අප කරන්නේ අසම්පූර්ණ ව නමුත් අපෙන් 'බාහිර නිරපේක්ෂ ලෝකය' ගෝචර කර ගැනීම බවත් ය. හේතුවාදය ලංකාවේ කරළියට එන්නේ මේ ශාස්ත්‍රීය ප්‍රවේශයෙන් නොව ඉතා බොළඳ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස ය. අදෘශ්‍යමාන දෑ ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ හේතුවාදී ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ ඇති වූ විපරීත අදහසක් මිස මුල් හේතුවාදයේ එන්නක් නො වේ. ඔවුහු ජ්‍යෝතිෂ්‍යයෙන් නො නැවතී නැවත ඉපදීම, නිවන පවා ප්‍රතික්ෂේප කරමින් මිථ්‍යා දෘෂ්ටියේ අන්තයෙහි ගැලී සිටිති. අභයසිංහ මහතා ද නැවත ඉපදීමක් නැත කියමින් විදුසරේ කලක් ලිපි ලීවා මට හොඳින් මතක ය. බුදු දහම සම්බන්ධව හේතුවාදීහු ඉතා වංචනික ප්‍රතිපත්තියක් අනුගමනය කරති. ත්‍රිපිටකයේ තමන්ට අවශ්‍ය අවශ්‍ය කොටස් පසුව එකතු වූ බව කියා අතහැරීම , පාලිය වැරදි ලෙස පරිවර්තනය කිරීම, බුදු දහමේ වචනවල රූපීය සමානකම් තමන් ගේ තාක්ෂණික පද සමඟ ඈඳීම (හේතුඵල වාදය හා හේතුවාදය එකක් යැයි වංචනිකව ඇඟවීම) , බුදුන් වහන්සේ දේශනා නො කළ දේ උන් වහන්සේ ගේ නමින් පළකිරීම එවැනි වේ.
මේ පිළිබඳව ඉදිරියේ දී විස්තරාත්මකව ලිවීමට බලාපොරොත්තු වෙමි.

"කිං කරිස්සන්ති තාරකා" යන්න අභයසිංහ මහතා ගේ ප්‍රියතම වාක්‍යයක් වී ඇත. ඔහු එයට "ග්‍රහ තාරකාවලට කළ හැකි කිසිවක් නැත." ලෙස සාවද්‍ය පරිවර්තනයක් කරයි. "තාරකාවෝ කුමක් කෙරෙත් ද?" නිවැරදි පරිවර්තනයයි. මෙහි විහිළුව වන්නේ හේතුවාදීන් නිතර ම පාහේ බුදු දහමට පසුව එකතු වූ මිථ්‍යා ලෙස නම් කරන ජාතක කථාවල එන කියමනක්, ධෝවන සූත්‍රයේ කියැවෙන දේට එරෙහිව හේතුවාදියකු ම ඉදිරිපත් කිරීමයි. මේ ගැන පුදුම වීමට දෙයක් නැත. ලංකාවේ හේතුවාදීහු අංක එකේ විහිළුකාරයෝ ය. ඒ මහතා නක්ඛත්ත ජාතකය සම්පූර්ණයෙන් කියවූයේ නම් එයින් කියැවෙන්නේ නැකැත් තීරණ ගැනීමට ප්‍රධාන සාධකය කර නො ගත යුතු බව මිස නැකැත් නො පවතින බව නො වේ. "පැවිද්දන්ට යම් දෙයක් තහනම් කර ඒ දෙය ම ගිහියන්ට වලංගු කරන දහමක් බුදුන් විසින් කොහේවත් උගන්වා නැත" යැයි අභයසිංහ මහතා සඳහන් කරන විට ඒ මහතා බොහෝ දේ නො සලකා නන් දොඩවන බව පෙර පාසල් සිසුවකුට පවා වැටහෙනු ඇත. ලිංගික ක්‍රියාකාරකම් හා ඉර මුදුන් වූ පසු ආහාර ගැනීම ආදී දේ පැවිද්දන්ට අකැප වුව ද ගිහියන්ට වලංගු බව නො දන්නේ ඇස් කන් පියා ගෙන සිටින්නකු විය යුතු ය. එහෙත් හේතුවාදීන්ට මේවාට සරල පිළිතුරු ඇත! "ඒවා බුදු දහමට පසුව එකතු වූ දේ ය." මුල් බුදු දහමේ ලිංගික ක්‍රියාකාරකම් හා විකාල භෝජනය පැවිද්දන්ට තහනම් කොට නැත වැනි විපරීත පිළිතුරු මේ සඳහා හේතුවාදීන්ට ඇත. ඒ සඳහා ඔවුන්ට ත්‍රිපිටකයෙන් විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නො වේ. හේතුවාදීන්ට ඒවා අදාළ නැත. බුදුන් වහන්සේ කිව යුත්තේ මොනවා දැයි තීරණය කිරීමේ පරමාධිකාරී බලය ඇත්තේ හේතුවාදීන්ට ය! මෙවන් ශාස්ත්‍රීය වංචනික කල්ලියකට ත්‍රිපිටක පාඨ පෙන්වීමෙන් ප්‍රයෝජනයක් නැතත් පාඨකයන් උදෙසා අදාළ ත්‍රිපිටක පාඨය පළ කරමි.

"මහණෙනි, දක්ෂිණජනපදයෙහි ධොවන නම් නැකැත් කෙළියෙක් ඇත...... මහණෙනි, තෙල ධොවනය ඇත් මැයි. තෙල නැතැයි නො ම කියමි. මහණෙනි, තෙල ධොවනය හීනය, ග්‍රාම්‍යය, පුහුදුනන් අයත්ය...."

ධෝවනය ඇති බවත් එය පුහුදුනන් සඳහා පමණක් බව බුදුන් වහන්සේ පැවසූ සේක. ලිංගික ක්‍රියාකාරකම් ගැන ද බුදුන් වහන්සේ පවසා ඇත්තේ මෙවැනි ම දෙයකි.

හේතුවාදීහු ඔවුන්ගේ විප්‍රකාර අදහස් සඳහා බටහිර විද්‍යාව ද විකෘති කරති. කොපර්නිකස් හා ගැලීලියෝ පොළොව සූර්යයා වටා යන බව "ඔප්පු කළ බව" ප්‍රකට බොරුවක් පමණි. පාසල් සිසුන් ඉගෙන ගන්නා සියල්ල පරම සත්‍ය වැනි මූඪ නිගමනයක් අභයසිංහ මහතා ගේ ලිපියෙහි පෙනේ. මා ඔහුට අභියෝග කරන්නේ කොපර්නිකස් , ගැලීලියෝ එසේ "ඔප්පු කළ තැන" පෙන්වන්න යනුවෙනි. ප්‍රබල දුරේක්ෂ මඟින් එසේ දැන ගන්නට ලැබුණු බව කීම වංචනික නො මඟ යැවීමකි. එසේ ඔප්පු කළේ කවර දුරේක්ෂයකින් ගත් කවර ප්‍රතිඵලවලින් දැයි යන්න විස්තරාත්මක ව දක්වන ලෙස ඒ මහතාට අභියෝග කරමි.

'පොළොව ඉර වටා යෑම යථාර්ථය වන අතර ඉර පොළොව වටා යෑම බොරුවක් ය' යන්නක් කවුරුන්වත් ඔප්පු කොට නැත. අයින්ස්ටයින්ට අනුව සූර්ය කේන්ද්‍රවාදය හා පෘථිවි කේන්ද්‍රවාදය අතර විවාදය ම කිසිදු අර්ථයක් රහිත එකකි. එමෙන් ම අයින්ස්ටයින්ට අනුව සියලු චලිතය සාපේක්ෂ වේ. නිරපේක්ෂ චලිතයක් නැත. චලිතය ම යථාර්ථයක් නො වේ. අයින්ස්ටයින්ට අනුව, සූර්ය කේන්ද්‍රවාදය යථාර්ථයක් බව මෙතෙක් ඔප්පු කිරීමට නො හැකි වූවා පමණක් නොව එසේ ඔප්පු කිරීමට ද නො හැකි ය. අභයසිංහ මහතා සිටින්නේ අදට සියවස් දෙක තුනක් පිටු පසිනි. එහෙත් ඔහු අයින්ස්ටයින් ගේ නම පවා තම පිළිතුරට ඈඳා ගැනීමට තරම් බංකොලොත් වේ. අභයසිංහ මහතා මෙන් අපි අයින්ස්ටයින් කීවා කියා නො කියූ දෙය සඳහන් නො කරමු. එනිසා අයින්ස්ටයින් ම පැවසූ ප්‍රකාශය පහත ගෙන හැර දක්වමු.

The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either C.S. could be used with equal justification.

(The Evolution of Physics.- A. Einstein, L.Infeld page 224)

මීළඟට ග්‍රහයින්ගෙන් වන බලපෑම ගුරුත්වාකර්ෂණය බව අභයසිංහ මහතා කියා ඇත. මෙය ඔහු ගේ බොළඳකමයි. ග්‍රහලෝක මඟින් ඇතිවන බලපෑම ගුරුත්වාකර්ෂණය බව කීම ඔහු ගේ හිතලුවක් පමණි. ගුරුත්වාකර්ෂණය නො වන වෙනත් බලපෑම් තිබිය නො හැකි ද? පෙර ලිපියේ මා පෙන්වූයේ ජෝතිෂ්‍යය සඳහා ග්‍රහලෝකවලින් බලපෑමක් තිබීම පවා අත්‍යවශ්‍ය නො වනා බවයි.  ස්වභාවය ආවර්තීය චක්‍රවලින් යුතු බව කියන්නේ හේතුවාදීන් ම ය. ඉන් නො නවතින ඔවුහු මනස මොළයට ඌනනය කරති. එවිට මිනිස් ක්‍රියාකාරකම් ද රසායනික විපර්යාස ම වන බැවින් ඒවා ද ස්වභාවික චක්‍රීයතාවයට නතු වෙනු ඇත. අහසේ චක්‍ර හා මිනිසුන් ගේ චක්‍ර අතර සමපාත වීම් සොයා ගත හැකි නම් අහසේ චක්‍ර හා සම්බන්ධ ගණනයෙන් මිනිස් හැසිරීම් සොයා ගත හැකි බව හේතුවාදයෙන් ම ගම්‍ය වේ. එහෙයින් ජෝතිෂ්‍යයට අවශ්‍ය ම දාර්ශනික පදනම හේතුවාදීන් සපයා දී ඇත. අභයසිංහ මහතා මාගේ ප්‍රධාන තර්කයට පිළිතුරු නො දී ගුරුත්වාකර්ෂණය ගැන නන් දොඩවයි.

අනාවැකි බොරු වීම ගැන කතා කරන අභයසිංහ මහතා කාලගුණ දෙපාර්තමේන්තුවේ සේවය කර තිබීම ම උත්ප්‍රාසයකි. රූපවාහිනිය ඉදිරියේ ප්‍රකාශ කර අසත්‍ය වූ අනාවැකි බහුතරය ජෝතිෂ්‍යය අනාවැකි ද කාලගුණ අනාවැකි ද යන්න විදුසර පාඨකයෝ දනිති. බොරු ජෝතිෂ්‍ය අනාවැකිවල දී පෞද්ගලික ධනය නාස්ති වන නිසා ඒ වංචාවක් බව හේතුවාදීහු උලුප්පා දක්වති. කාලගුණ අනාවැකි සඳහා වැයවන්නේ මහ ජනතාවගේ බදු මුදල් බැවින් හේතුවාදීන්ට වඩා භයානක දෙය විය යුත්තේ කාලගුණ අනාවැකි ය. (මෙය ලාංකීය හේතුවාදයේ වලංගු තාර්කික අවසානය මිස මගේ අදහස නොවේ. අනාවැකි වැරදිම උලුප්පීම මුග්ධ හේතුවාදීන් ගේ ලක්ෂණයකි.)

අවසාන වශයෙන් කිව යුත්තේ ජෝතිෂ්‍යයේ සීමා ගැන කතා කළ යුත්තේ වඩා දියුණු එළඹුමකින් මිස හේතුවාදය වැනි මිථ්‍යාව වපුරන, බුදු දහම විකෘති කරන, සියවස් තුනකට පෙර බටහිර විද්‍යාවේ තවමත් අවිචාරයේ ගැලී සිට, බටහිර විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට වැරදි කරුණු දක්වමින් ඔවුන් ගේ විමර්ශනශීලීත්වය නැති කරන බොළඳ දෘෂ්ටිවාදයකින් නො වේ.
විදුසර පාඨකයකු වීමට සුදුසු විචාරශීලීත්වය නැත්තේ අප දෙදෙනාගෙන් කාට ද යන්න තීරණය කිරීම පාඨකයාට බාර ය.

(කොවුර්ගේ අභියෝග යොමුවන්නේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් වෙත බැවින් ජ්‍යෝතිෂ්‍යය සත්‍ය බව පෙන්වීම අරමුණක් නොවන මට එම අභියෝග අදාළ නො වේ. කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීය භාවය පෙන්වා දීමට ඔබ අභියෝග කරන්නේ නම් ඕනෑ ම අවකාශයක දී එය භාර ගැනීමට මම සූදානම් බව සඳහන් කරමි.)

කේ.ආර් අභයසිංහ සමඟ විදුසර සංවාදය 1

(සංස්කරණයට පෙරයි)
මෙහි මා මේ සටහන තබන්නේ ජෝතිෂ්‍ය සත්‍ය බව කීමට නොව ජෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතුවාදීන් ගෙනෙන තර්ක ඊටත් වඩා මිථ්‍යා බව කීමට ය.
බුදු දහම මඟින් ජෝතිෂ්‍ය තිරශ්චීන හා ග්‍රාම්‍ය ලෙස ශ්‍රමණයින් සඳහා පැවසුව ද ගිහියන් සඳහා එවැන්නක් පවසා නැත. ධෝවන සූත්‍රයේ බුදුන් වහන්සේ කියන්නේ ජෝතිෂ්‍ය යනු ගිහියන්ට මිස පැවිද්දන්ට නො ගැළපෙන තිරශ්චීන ග්‍රාම්‍ය ධර්මයක් වුවත් තමන් වහන්සේ නැකැත්වල 'පැවැත්ම ප්‍රතික්ෂේප' නො කරන බව ය. //තෙල ධෝවන ය ඇත් ම ය. ඒ නැතැයි මම නො කියමි.//

බුදුන් වහන්සේ නියතිවාදය ප්‍රතික්ෂේප කරන බව සැබෑ ය. එහෙත් ජෝතිෂ්‍යයේ සියලු එළඹුම් නියතිවාදී නො වේ. ජෝතිෂ්‍යයේ අනිවාර්යයෙන් ම සිදුවන අනාගතයක් නො ව සම්භාවී අනාගතයක් කියැවෙන බව කියන්නෝ බොහෝ ය. එය මෙසේ වෙද්දී හේතුවාදය යනු නියතිවාදය තමා ගේ සාරය කරගත් මිථ්‍යා දෘෂ්ටියකි. හේතුවාදයේ පදනම් දාර්ශනිකයා වන මිල් ගේ හේතුවාදයේ සුප්‍රසිද්ධ මූලධර්ම කිහිපයෙන් එකක් වන්නේ "අනාගතය ද අතීතය ම වේ යන්න ය." මෙහි අර්ථය කුමක් ද? මෙහි අර්ථය වන්නේ ඊනියා සමාන තත්ව සපයා ඇති විට කවර කාලයක වුවත් සිදුවන්නේ එක ම දේ ය යන්න ය. නියතිවාදය යනු මෙය ම නො වේ ද? යථාර්ථවාදයේ (realism) ප්‍රධානතම නියෝජිතයකු වූ අයිසෙක් නිවුටන් කීවේ විශ්වයේ සියලු ම අංශුවල ආරම්භක ප්‍රවේග ස්කන්ධ හා ඒවා අතර ක්‍රියාත්මක වන බල ලබා දෙන්නේ නම් තමාට සමස්ත අනාගතය තමන් ගේ භෞතික විද්‍යාව මගින් අංග සම්පූර්ණව ප්‍රකාශ කළ හැකි බව ය. හේතුවාදී නිවුටන් මේ කීවේ නියතිවාදය මිස වෙන කවරක් ද? නිවුටන් ගේ කයිවාරුව කෙසේ වුව ද? ඔහුට ජීවිත කාලය ම ගත වීත් n දේහ ගැටලුව (n body problem) විසඳිය නො හැකි විය. පසුව දුටුවේ n body problem නිශ්චිතව ලිවිය නො හැකි ය. ලංකාවේ හේතුවාදියා ගේ හපන්කම් හා කයිවාරුව අතර පරතරය ඊට ද වඩා බෙහෙවින් පළල් බව කිව යුතු නො වේ.

මී ළඟට ජෝතිෂ්‍යයේ පදනම පෘථිවි කේන්ද්‍රවාදය යන සැමදා කියවන මෝඩ ප්‍රකාශය නැවත කියා ඇත. සූර්ය කේන්ද්‍රවාදය ඔප්පු කොට ඇත්තේ කවරෙක් ද? පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්ය කේන්ද්‍රවාදය දෙක ම අදවන විට එක ම කුලකයකට වැටී අවසන් ය. අයින්ස්ටයින්ට අනුව සියලු චලිතය සාපේක්ෂ ය. ඉරේ සිට බැලූවිට පෙනෙන දේ විශේෂ වන්නේ කුමන සාධාරණත්වයකින් ද? අනික පෘථිවි කේන්ද්‍රවාදය වැරදි යැයි හුදු තර්කය උදෙසා සිතුව ද කේන්දර හදන්නේ පොළොවේ ඉන්න මිනිසුන්ට මිස වෙන ග්‍රහලෝකවලට නො වේ. පෘථිවි කේන්ද්‍රවාදය මුවහමට ඔච්චර තැලීමට ආසා නම් හේතුවාදීන් සිතිය යුත්තේ ඉංජිනේරු පීඨවල දේශන ශාලාවල හා උසස් පෙළ භෞතික විද්‍යා පන්තිවල ය. පොළොව නිශ්චල යැයි ගණන් තොග පිටින් හදන්නේ ඒවායේ ය. ඉංජිනේරුවෝ පොළොව නිශ්චල සේ ගෙන හදන පාලම් ගොඩනැඟිලිවලට එරෙහිව හේතුවාදී සංගමය කොළඹ දෙවනත් කර උද්ඝෝෂණ පැවැත්විය යුතු ය.

අනෙක නම් තමා දන්නා කියන බල වර්ගවලින් එකක් ග්‍රහලෝක මඟින් ද පැමිණෙන බලය විය යුතුයි යන මුග්ධ නිගමනය ය. අප මත බලපාන සම්ප්‍රයුක්ත ගුරුත්වය දුර්වල යැයි තවත් ඔළ මොට්ටල කතාවක් කියන්නේ .. බටහිර විද්‍යා දත්ත හා නිතර කියවන සූර්ය කේන්ද්‍රවාදය කුණු කූඩයට විසි කරමිනි.
කේන්දර දහයක් දී විවිධ විකාර අභියෝග කිරීම විහිළුවකි. ඕනෑ ම ශාස්ත්‍රයක විෂය සීමාවක් හා පරිධියක් ඇත. කොවුර් වැනි විපරිතයින්
තමන් විසින් ප්‍රමාණවත් යැයි සිතන දත්ත තමා ම සපයමින් , ලබා දිය යුතු උත්තරවල පරිධිය තමා ම තීරණය කරමින් කළ විකාර අභියෝග බීමතින් අභියෝග කිරීම්වලට දෙවනි නැත.

අනෙක හේතුවාදය ස්වභාවධර්මය චක්‍රීය බව කියයි.. මනස ද මොළයට ඌනනය කිරීම දක්වා යයි.. මෙවිට මිනිස් ක්‍රියාකාරකම් ද ස්වභාවික චක්‍ර යටතට වැටේ..

දැන් ග්‍රහලෝකවලින් යම් කිසි බලයක් හෝ කිරණයක් නො ආවත් ග්‍රහලෝකවල චක්‍රීයතාවය හා මිනිසුන් ගේ චක්‍රීයතාව අතර සමපාතවීම්වලට එරෙහි වීමට හේතුවාදයට නො හැකි ය.
මින් පෙනෙන්නේ ජෝතිෂ්‍යයට අවශ්‍ය ම දාර්ශනික පදනම සපයන්නේ වෙන කිසිවක් නොව හේතුවාදය බවයි.

කොවුර්ගේ අභියෝගවලට අභියෝගයක්

සහේතු: දැන් අපි කොවුර්ගේ අභියෝග පැත්තට එමු. අපි දන්නවා ගුප්ත විද්‍යාවල හා ජ්‍යෝතිෂ්‍යයේ යෙදෙන්නන්ට ඔහු අභියෝග විසි තුනක් ඉදිරිපත් කළා. අභියෝග ඉදිරිපත් කිරීම හේතුවාදයේ රටාව නො වුණත් මේ අභියෝගවලට කිසිවකු ඉදිරිපත් නො වීමෙන් ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාවල අවිද්‍යාත්මක බව තහවුරු කෙරිලා තියෙනවා නේ ද? ඒ නිසා පිරිසිදු හේතුවාදියෙක් විදිහට කොවුර් හැසිරිලා නෑ කියන එකෙන් විතරක් කොවුර්ගේ අභියෝග බොළඳයි කියන්න බෑ නේ ද? ඔහු විද්‍යාර්ථියෙක් විදිහට ගුප්ත විද්‍යාව හා ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාත්මක බව පෙන්වා දී තියෙනවා නේ ද?

ප්‍රබෝධ: ඇත්තෙන් ම සහේතු මම ඒ කරුණු ගැන සඳහන් කළේ ලංකාවේ හේතුවාදීන්ගේ අනවබෝධය පෙන්වන්න. ඔවුන් නියෝජනය කරන මතවාදය හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය දෙපැත්තක තියෙන්නේ.

   දැන්, ඔය විද්‍යාත්මක නොවන බව පෙන්වීම කියන කාරණයට එමු. ඔතන දී විද්‍යාත්මක අවිද්‍යාත්මක බෙදීම තීරණය කරන මිනුම් දණ්ඩ ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන බුද්ධිවාදීන් (rationalists) ළඟා කරගත් ඉහළ ම ප්‍රවේශය පෙන්නුම් කරන්නේ කාල් පොපර් (Karl Popper) කියන දාර්ශනිකයා. බුද්ධිවාදීන්ට අනුව කාල් පොපර් තමයි ඉහළ ම බුද්ධිවාදී විද්‍යා දාර්ශනිකයා. නොබෙල් ත්‍යාග ලාභී මෙඩවර් වගේ බුද්ධිවාදී ජීව විද්‍යාඥයන් ඔහුව ඉතා ඉහළින් සැලකුවා. ලංකාවේ හේතුවාදී සංගමයේ දැවැන්ත චරිතත් තමන් පොපර්වාදීන් බව පවසනවා.

පොපර් පෙන්වා දෙනවා විද්‍යාත්මක පරීක්ෂණවලින් කිසිවක් සත්‍ය බව ඔප්පු කරන්න තර්කානුකූල හැකියාවක් නැති බව. තර්ක ශාස්ත්‍රයේ මූලික නියම අනුව ප්‍රායෝගිකව කළ හැකි එක දෙයයි තියෙන්නේ. ඒ කල්පිතයක් අසත්‍ය බව පෙන්වීම. කිසි විටක තර්කානුකූලව කල්පිතයක් සත්‍ය බව පෙන්වන්න බෑ.

සහේතු: පොපර්ගේ තර්කය දළව සඳහන් කළොත්.

ප්‍රබෝධ: දැන් බටහිර විද්‍යාවේ කල්පිතයක් ඉදිරිපත් වුණහම අපිට ඍජුව ම ඒක පරීක්ෂා කරන්න බෑ. මොක ද කල්පිතයක් ඉදිරිපත් වෙන්නේ අවස්ථා ගණනාවකට සාධාරණව ගොඩක් ලොකු කලාපයක් ආවරණය කරගෙන. අතීත වර්තමාන අනාගත ඒ හැම අවස්ථාවක් ම ගැන හොයලා අපිට ඒක හරි ද බලන්න බෑ. එහෙම හැම එකක් ම බලන්නත් බෑ විතරක් නෙවෙයි එහෙම බලනවා නම් කල්පිතයක් හදලා වැඩකුත් නෑ. හැම අවස්ථාවක් ම වෙන වෙන වෙන ම බලන්න පුළුවන්කම තියෙනවා නම් , එහෙම බලනවා නම් ආය අමුතුවෙන් කල්පිතයක් මොකට ද? කල්පිතයක් හදන්නේ ම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. විවිධ පුරෝකථන කරන්න බලාගෙන නේ. හැබැයි කල්පිතය වරදින අවස්ථාවක් ලැබුණොත් පොපර් කියන විදිහට කෙලින් ම කල්පිතය වැරදි බව ඔප්පු වෙනවා.

දැන් අපිට කපුටන් දාහක් දිහා බැලුවත් 'සියලු කපුටන් කළුයි' කියන එක ඔප්පු කරන්න බෑනේ. අතීත වර්තමාන අනාගත සියලු කපුටන් ගැන අපි දන්නේ නෑනේ. ඒ නිසා කවදාවත් සියලු කපුටන් කළුයි කියලා ඔප්පු කරන්න බෑ. ඒත් එක සුදු කපුටෙක් හම්බුණු ගමන් කල්පිතය බිඳ වැටෙනවා. ඕක ඇත්තට ම සිදුවුණු සිද්ධියක් හංසයෝ සම්බන්ධව. කළු හංසයෝ කියන්නේ මිථ්‍යා සත්ව විශේෂයක් කියලා 1967 දී අහම්බෙන් කැලයෙන් හමු වෙනකම් සියවස් ගණනාවක් හිතන් හිටියා . තර්කානුකූලව කරන්න පුළුවන් කල්පිත බිඳ හෙළීම විතරයි.

සහේතු: යමක් පෙන්වා දීමේ කාර්යභාරය තියෙන්නේ ඒක ඉදිරිපත් කරන කෙනාට නේද? මෙහෙම ගියොත් පැහැදිලිව ම පදනමක් නැති පොඩි පොඩි දේත් පිළිගන්න ඕනෙ ද?

ප්‍රබෝධ: පොපර් පෙන්වන්නේ කල්පිතය තහවුරු කිරීමට සාක්ෂ්‍ය ඉල්ලීම නිශ්ඵල , තේරුමක් නැති දෙයක් බව. පැහැදිලිව ම පදනමක් නැති ඒවා සම්බන්ධව ඔය කියන ප්‍රශ්නය මතු වෙන්නේ නෑ. ඒවා ඉතා පහසුවෙන් ආරම්භයේ දීම බැහැර කරන්න පුළුවන්. සියලු කපුටන් රතු පාටයි කියලා කවුරුහරි කීවොත් කළු කපුටෙක් පෙන්නලා ඉතා කෙටි වෙලාවකින් සරලව ම ඔහුගේ මතය වැරදියි කියලා පෙන්වන්න පුළුවන්.

සහේතු: ඔබ පොපර්වාදියෙක් ද?

ප්‍රබෝධ: නෑ. මම දකින්නේ බටහිර විද්‍යාවේ බොහෝ තැන්වල අසත්‍ය බවවත් නිශ්චිතව ඔප්පු කරන්න බැරි බව. මෙතනදි මම පොපර්ව ගන්නේ හේතුවාදීන්ගේ දියුණු ම ප්‍රවේශය ඔහු නිසාත් හේතුවාදීන් අතර දැවැන්ත චරිත ඔහු පිළිගන්න නිසාත් තමයි. අනෙක් අතට පොපර්ගේ මතයට එරෙහි වුණු අය හේතුවාදයටත් විරුද්ධ වුණ අය. අපි හේතුවාදීන් පිළිගන්න අදහස් එක්ක මුලින් ගණුදෙනු කරලා ඉමු.

පොපර් ඊළඟට කියනවා මෙහෙම . යම් කල්පිතයක් විද්‍යාත්මක වෙන්න නම් එය අසත්‍ය බව ඔප්පු කිරීමට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අසත්‍ය වෙන්න ඕනේ කියන එක නෙවෙයි. අසත්‍ය ද කියලා හොයන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට අයින්ස්ටයින් කීවා සූර්ය ග්‍රහණයක් වෙලාවේ ආලෝකය යම් ප්‍රමාණයකට නැවෙනවා පේන්න ඕනෙ. මගේ කල්පිතය අනුව ඒ නැවෙන කෝණය මේක. මේ අගය නො ලැබුණොත් මගේ කල්පිතය අළු දූවිලි වෙනවා කියලා. ඔය වගේ අසත්‍ය බව පෙන්වන්න ක්‍රම තියෙන්න ඕනේ.

ඊළඟට පොපර් කියනවා ජ්‍යෝතිෂ්‍ය , මාක්ස්වාදය , මනෝවිශ්ලේෂණය කියන විෂයන් තුනේ තියෙන දේවල් අසත්‍යකරණය කරන්න කිසිදු ක්‍රමයක් නෑ. ඒ නිසා මේවා විද්‍යාවන් නෙවෙයි කියලා.

සහේතු: මනෝ විෂ්ලේෂණය?

ප්‍රබෝධ: ඔව්. හේතුවාදී සංගමයේ තමන් පොපර්වාදීන් කියන දැවැන්තයින් ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කළත් මාක්ස්වාදය මනෝවිශ්ලේෂණය විද්‍යාවන් ලෙස පිළිගන්නවා. ඒත් ඒ ගැන කිසිම විග්‍රහයක් කරලා නෑ. (ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහත්මයාගේ මාක්ස්වාදය පිළිබඳ අතෘප්තිමත් පිළිතුර මේ සන්දර්භයට අදාළ නෑ.) . මනෝ විශ්ලේෂණය ගැන කරපු විවේචනවලට පසුකාලීනව ලැකාන් වගේ අය එරෙහි වුණේ විද්‍යාවේ ඇති අමුතු සත්‍ය මොකක් ද කියලා අහමින් හේතුවාදයටත් විරුද්ධව. ඒ නිසා මේ දේවල් විද්‍යාවන් ලෙස පිළිගැනීම හේතුවාදී සංගමයේ පරස්පරයක්.

දැන් ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාත්මකයි කියන්නේ එහි කරුණු වැරදි බව ඔප්පු කිරීමට ක්‍රමයක් නැති බව කියමින් නේ. මේ සියල්ලට ප්‍රතිවිරුද්ධව හේතුවාදී සංගමය, කොවුර් කියන්නේ ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා අසත්‍ය බව පෙන්වීමට ක්‍රම ඇති බව. ඒ කතාව පිළිගත්තොත් එවිට ම කියැවෙනවා මේ ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා විද්‍යාත්මක බව. ඔවුන් ඒවා අසත්‍ය බව ඔප්පු කළත් එවිට ඒවා ඔවුන් පිහිටුවන්නේ මේ වන විට අසත්‍ය වී ගිය විද්‍යාත්මක ප්‍රවාද සමඟ එක මට්ටමේ. හේතුවාදීන්ගේ සුපුරුදු ප්‍රකාශ අනුව ගත්තොත් මේ සියල්ල ක්‍රමයෙන් වර්ධනය වෙන විද්‍යාවේ කොටස්.. එතකොට ඔවුන්ට ඒ ශාස්ත්‍ර ගැරහීමට ලක් කරන්න සාධාරණ අයිතියක් නෑ. එහෙනම් නිවුටන්ව පවා ගැරහීමට ලක් කරන්න ඕනේ.. ඒ වගේ ම ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංශෝධනය කිරීමෙන් නිවැරදි කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිගන්න ඕනේ. එහෙම දේකට ලෑස්ති බවක් ලංකාවේ හේතුවාදීන්ගේ ක්‍රියාකාරිත්වයෙන් පේන්නේ නෑ. ඔවුන් සාහසික ලෙස ඒවා සහමුලින් ම මිථ්‍යා බව කියනවා.

සහේතු: මේ උදාහරණය ගන්න. 'අලින්ට වඩා ඇතුන් ඇත' කියලා කවුරුහරි කීවොත් දැන් ඕකත් අපි ගණන් ගන්න ඕනෙ ද කවුරුහරි වැරදියි කියලා පෙන්නලා දෙනකම්.. දැන් ඕකට අලි ඇත්තු කීයක් පෙන්නුවත් මදිනේ .. දැන් සංගණනයක් ම කරන්න එපැයි.. කවුරුහරි මෙහෙම කීවොත් සංගණනයක් කරලා බැහැර කරනකම් ඒකත් පිළිගන්න ඕනෙ ද?
(උපහාසයෙන් සිනා සෙමින්)

ප්‍රබෝධ: ඕක හොඳ උදාහරණයක්.. ලංකාවේ ඉන්න කෙනෙක් තමන් අහල තියෙන විශ්වාස උඩ ඇත්තු සීමිතයි ඊට වඩා අලි ඉන්නවා කියලා හිතන එක ස්වභාවිකයි. ඒත් ඔය තත්වේ තියෙන්නේ ලංකාවෙ විතරනේ. දළ නැති පිරිමි සත්තු බහුතරය ඉන්නේ ලංකාවේ විතරයි. අප්‍රිකානු අලින්ට , පිටරටවල ආසියානු අලින්ට දළ තියෙනවා උන් අති බහුතරය ඇත්තු.. අනිවාර්යයෙන් ලෝකෙ පුරා සංගණනයකින් මිසක් නිකම් අහලා දැකලා පුරුදු දෙයින් ඔය මතය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇත්තට ම ඕක හොඳ උදාහරණයක් අපිට හරියි වගේ හැඟෙන දේ කනපිට හැරෙන්න පුළුවන් කියන්න. තමුන්ට වෙන්න බෑ පදනමක් නෑ කියලා එකවර පේන දේවල්වල පදනමක් තියෙන්න පුළුවන්. දැන් මේ ගුප්ත කියලා කියන ඇතැම් දේත් 'ගුප්ත' විදිහට හැඟෙන්නේ තමන්ගේ දැනුමේ අඩුපාඩු නිසා වෙන්න පුළුවන්. දැන් හිතන්න ලංකාවෙන් පිට තොරතුරු දැනගන්න නො තිබුණු කාලෙක පිටරට ඉඳන් ආපු වෙළෙන්දෙක් අලින්ට වඩා ඇත්තු ඉන්නවා කියලා කාට හරි කියලා ගියා කියලා. එතකොට දැන් මේ මිනිහා මේක කිව්වොත්  ලංකාවේ අයට .. මිනිස්සු ඔහු පිස්සෙක් කියලා කියන්නත් පුළුවන්. ඔප්පු කරන්න කියලා අභියෝග එන්නත් පුළුවන්.. ලංකාව ඇතුළේ අභියෝගය භාර ගත්තොත් අනිවාර්යයෙන් පරදිනවා. ඇත්තු නම් බහුතරය පිට රට වෙළෙන්දො ලංකාවෙනුත් ඇත් දළ අරන් යන්නේ ඇයි කියන එක 'මිථ්‍යාවට එරෙහි ප්‍රබල තර්කයක්' විදිහට කියැවෙන්නත් තිබුණා.

ලංකාවේ අලි හා ඇත්තු අතර අනුපාතය ලෝකෙදී කනපිට හැරෙන්න පුළුවන් වගේ දැනට පරීක්ෂා කරපු විද්‍යාත්මක ප්‍රවාද වුණත් එහෙම පිටින් ම කනපිට හැරෙන්නත් පුළුවන්. ගුප්ත ශාස්ත්‍ර ගුප්ත නො වෙන්න පුළුවන්.

සහේතු: ඔබ කොවුර්ගේ අභියෝග අශාස්ත්‍රීය බව ප්‍රකාශ කොට තිබුණා. ඔබ මේ අභියෝග භාර ගන්නවා ද?

ප්‍රබෝධ: සහේතු මම මානව විද්‍යාඥයෙක් ( Anthropologist ). මම ජ්‍යෝතිෂ්‍යවේදියෙක්වත් ගුප්ත විද්‍යාවේදියෙක්වත් නෙවෙයි. ඒවා ගැන අධ්‍යයනය කරන්නෙක්. බටහිර විද්‍යාව හා දර්ශනය අධ්‍යයනය කළ කෙනෙක් විදිහට මම කියන්නේ කොවුර්ගේ අභියෝගවලින් බොහෝමයක් අශාස්ත්‍රීය හා හේතුවාදයට අනුව ම අවිද්‍යාත්මක බව. ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින්ට හා ගුප්ත විද්‍යාඥයින්ට කරන්න පුළුවන් අසාධාරණ ම දේ තමයි මේ අභියෝග මත පදනම් වෙලා ඔවුන් හෙළා දැකීම. මේ අභියෝගවලින් සමහරක් තමන්ට අවශ්‍ය විදිහට වංචනිකව හසුරුවන්න පුළුවන්. සමහරක් ඒවා ගුප්ත විද්‍යාඥයින්ට හා ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින්ට අදාළ නෑ.. අනික අභියෝගවලට ඉදිරිපත් නො වීම සමස්ත ශාස්ත්‍රය ම හෙළා දකින්න හේතුවක් කර ගැනීම ඉතා සාහසිකයි. මම පෙන්වන්නේ ඒ බව.

සහේතු: ඔබ මේ වැඩසටහනට ආවේ විවිධ පුද්ගලයින්ට 'කඩේ යාමට' බව සමහරු කියනවා.

ප්‍රබෝධ: ලංකාවේ හේතුවාදීන්ගේ නො දන්නාකම පේන තැනක් ඔය. ඔවුන් හිතන්නේ ලෝකයේ ඉන්නේ ජාති දෙකයි. 1.ජ්‍යෝතිෂ්‍යවේදීන් , ගුප්ත විද්‍යාවේදීන්
2.හේතුවාදීන් කියලා.

මේ ගොල්ලෝ හිතන්නේ ලෝකෙ ම හොරා පොලිස් සෙල්ලමක් කියලා. ජ්‍යෝතිෂ්‍යවේදීන් ගුප්ත විද්‍යාඥයින් අතර හොරුත් ඉන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් මේ හේතුවාදියෝ කියන්නේ ඊටත් එහා ගිය මිථ්‍යා වපුරන කණ්ඩායමක්. පුනර්භවය නිවන වගේ සංකල්ප ප්‍රතික්ෂේප කරන්න 6 වසර විද්‍යාව පොත් බලන්න කියන තරම් බාගෙට උගත් අඥානයින් වගේ ම හේතුවාදය බුදු දහමට අනුකූලයි , ජ්‍යෝතිෂ්‍යය බුදු දහමින් ප්‍රතික්ෂේපිතයි වගේ පට්ටපල් බොරු තර්ක හදන්න බෞද්ධ සූත්‍රවලට විකෘති පරිවර්තන දෙන වචන අත ඇරලා පරිවර්තන කරලා සූත්‍ර විකෘති කරන මහා වංචනිකයොත් හේතුවාදීන් අතර ඉන්නවා. බටහිර විද්‍යාවත් විෂය කරුණු විකෘති කරලා යොදා ගන්නවා. මේවායින් අනාථ වෙන්නේ මේවා බලන් ඉන්න මිනිස්සු, ළමයි. පුනර්භවය නෑ කියන්න සූත්‍ර විකෘති කරන හේතුවාදීනුත් ඉන්නවා. මේ අයට විරුද්ධ වෙන එක මගේ වගකීම කියලයි මම හිතන්නේ. මේවා ගැන කතා කරන්නම් ඉස්සරහට. සහේතු ඔබ හේතුවාදියෙක් වුණත් මෙහෙම නැති බව දන්නවා. ඒත් බහුතරය එහෙම බව කීවොත් ඔබ විරුද්ධ වෙන එකක් නෑ.

සහේතු: ඔබ බටහිර විද්‍යාව කියන්නේ ඇයි? තියෙන්නේ එක ම විද්‍යාව . නැගෙනහිර බටහිර කියලා නෑ.

ප්‍රබෝධ: බටහිර කියලා ඔතන කියන්නේ ඥානවිභාග (epistemology) සලකලා මිසක් භූගෝලීය පදනමින් නෙවෙයි. ඔච්චර ම ඒ ගැන හිතට අමාරුයි නම් මං මේ වැඩසටහනේ ඕකට විද්‍යාව කියලා ම කියන්නම්කෝ. පස්සේ පැහැදිලි කරන්නම්.

සහේතු: ඔබ රුපියල් මිලියනයේ ත්‍යාගය බලාපොරොත්තු වෙනවා ද?
ප්‍රබෝධ : (සිනාසෙමින්) මම ආවේ අභියෝග අශාස්ත්‍රීයයි කියන්න මිස ඒවා කරලා පෙන්නන්න නෙවෙයි. ඒ ගැනත් සලකලා ත්‍යාගය දෙනවා නම් එපා කියන්නේ නෑ. හැබැයි මුලින් ඇපයට තියන්න ඕනෙ ගාණ ගෙවන්න නම් මා ගාව සල්ලි නෑ! දැන් අපි අර අභියෝග ටික අරන් බලමු.

සහේතු: අභියෝග විසි තුනෙන් හා අලුත් කළ අභියෝග දහයෙන් මුලින් ගමු ටෙලිපති එහෙම නැත්නම් හිත් කියවීම. මේ ගැන කතා කිරීමට පළමුව අපි කෙටි විරාමයක් ගනිමු.

ලබන සතියට: හිත් කියවන්න බැරි බව ඔප්පු කරලා තියෙනවා ද?
පෙර ලිපියට

            - තමලු මලිත්ත පියදිගම


http://www.rivira.lk/online/2017/07/22/119519

හේතුවාදීන්ගේ මිථ්‍යා කතා

ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා ගැන විවිධ කතා බහ ඇහෙනවා. ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා සම්පූර්ණයෙන් ම 'මිථ්‍යා' බව කීම අද නිතර රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් අහන්න ලැබෙනවා. මේ සංවාදය දිවෙන්නේ ඉතා ම මතුපිට තලයක. අද දින මිථ්‍යාව සේ සැලකෙන දේ හෙට දිනයේ සත්‍යය විය හැකියි. අනික හැම කළු වලාවක ම රිදී රේඛාවක් පවතින්නා වගේ ඕනෑ ම මිථ්‍යා කතාවක පවා ගන්නට දෙයක් ඇති බව අද ලෝකයේ පිළිගැනෙද්දී ලංකාවේ තියෙන්නේ ඉතා පසුගාමී ආකල්පයක්. මධ්‍යකාලීන යුරෝපයේ මායාකාරියන්, මූල රසායන විද්‍යාඥයින් (Alchemists) මරා දැම්මාක් මෙන් ගින්නෙන් පිළිස්සුවේ නැති වුණත් සංවාද අවකාශයේ අන්තවාදී තර්ක කියන ගින්නෙන් තමන් මිථ්‍යා ලෙස නම් කරන දෑ දවා අලු කරමින් හේතුවාදීන් ගෙන යන වැඩපිළිවෙළ ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයෙන් ඉතා භයානකයි. මෙසේ උනන්දුවක් ඇති අයගේ ගවේෂණයෙන් ඈත් කරවන්නේ හෙට ලෝකයේ 'සත්‍ය' සැඟවී ඇති තැන් විය හැකියි.
      මීටත් වඩා භයානක ම දේ හේතුවාදීන් තමන් 'විද්‍යාව' නියෝජනය කරන බව පවසමින් ඉදිරිපත් කරන්නේත් මේ වන විට නො පිළිගැනෙන, එමෙන් ම විකෘති කළ කරුණු. සංඛ්‍යානයේ සිට භෞතික විද්‍යාව දක්වා අසත්‍ය විෂය කරුණු හේතුවාදීන්ගෙන් ප්‍රසිද්ධ මාධ්‍යයේ කියැවෙනවා. 'මිථ්‍යාවට' විරුද්ධව හඬ නඟන 'විද්‍යාවේ' වීර පුරුෂයින් සේ පෙනී සිටින අයගෙන් නො සැලකිලිමත් ලෙස වැරදි විෂය කරුණු සඳහන් වීම පාසල් සිසුන් ඇතුළු මහජනතාවට ඉතා අහිතකරයි. එමෙන් ම මූලාශ්‍රවලින් තොරතුරු විකෘති කොට උපුටා දැක්වීම, ත්‍රිපිටකය වචන හලා වැරදි ලෙස පරිවර්තනය කරමින් තමන්ට සිතෙන දේ කීම වැනි දේත් තිබෙනවා. මුදල් ගසා කන ජ්‍යෝතිෂ්‍යකරුවන්ගේ වංචා හෙළිදරවු කරන ලෙසින් ම හේතුවාදීන්ගේ වංචා ඔප්පු කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්. අනිත් අතට හේතුවාදීන් 'සත්‍ය' ලෙස පිළිගන්නා දෑත් බුදු දහමට අනුව නම් නියත මිථ්‍යා දෘෂ්ටියක්.
  මේ ලිපි ලියැවෙන්නේ 'ජනප්‍රිය රැල්ලේ හේතුවාදයෙන්' ලංකාවේ සංවාද ගලවා ගෙන වඩා පුළුල් මනසකින් මේ දේවල් විමසා බැලෙන සංවාදයන්ට ඉඩ හසර විවර කර දීමට.

මේ ක්‍රියාවේ සන්ධිස්ථානයක් වෙන්නේ, ලංකාවේ හේතුවාදීන් තමන්ගේ ශක්තිමත් පදනම ලෙස සලකන කොවුර්ගේ අභියෝග තාර්කිකව බිඳ හෙළීම. ලංකාවේ සංවාදවල බොළඳ භාවය ඇති වෙන්නේ මේ අභියෝග කේන්ද්‍ර කොටගෙන තිබීම නිසා. මේ අභියෝග ගැන ශාස්ත්‍රීය විග්‍රහයක් කරමින් ඒවායේ බොළඳ, අසාර්ථක හා 'අවිද්‍යාත්මක' බව පෙන්වීම මගේ ඉලක්කය. මේක කිරීමට සුදුසු ම රසවත් ම විදිහ සංවාද ආකෘතිය. මම මේ ආකෘතිය ලබා ගත්තේ මිථ්‍යා මත වපුරන්නකු ලෙස කලක් පීඩාවට ලක්වුණු ගැලීලියෝ ගැලීලිගෙන්. ඔහු ප්‍රතිවිරුද්ධ මත බින්දේ Simplicio හා Salviati අතර සංවාදවලින් . මාත් කොවුර්ගේ දුර්මත බිඳින්න මේ ආකෘතිය යොදා ගන්නවා. මෙතැන් සිට ඉදිරියට එය ප්‍රබන්ධයක ස්වරූපයෙන් .....

ප්‍රබෝධ මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු බටහිර විද්‍යාවත් දර්ශනයනුත් ඉතා හොඳින් හදාරා පසුව මානව විද්‍යාව (Anthropology) ගැන ගවේෂණවල නියැලුණේ ඒ අංශයට ඇති ඉමහත් ආශාවට. මාසෙකට කලින් මගේ ගෙදරදි සිදුවුණු සුහද කතා බහක දී කොවුර් ගැනත් කතා වුණා. කොවුර්ගේ අභියෝග ඉතා අශාස්ත්‍රීය බව ඔහු කීවිට මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. මගේ මිත්‍ර උග්‍ර හේතුවාදියකු වන ගවේෂණාත්මක මාධ්‍යවේදී සහේතු මෙහෙයවන 'මිථ්‍යාවට එරෙහිව' වැඩසටහනට මා ප්‍රබෝධව යොමු කරන්නේ ඔන්න ඔය විදිහට....

සහේතු:
ආයුබෝවන්! දයාබර ප්‍රේක්ෂකයිනි 'මිථ්‍යාව විනිවිද' වැඩසටහනට අද සහභාගී වන්නේ ප්‍රබෝධ එරන්දක මහතා. ඔහු විද්‍යාව හා දර්ශනවාදය ගැන ප්‍රසිද්ධ දේශකයෙක් වගේ ම ප්‍රකට මානව විද්‍යාඥයෙක්. ගුප්ත විද්‍යා හා ජ්‍යෝතිෂ්‍ය ගැන ඔහුගේ අධ්‍යයන ජාත්‍යන්තර කීර්තියක් උසුළනවා. ඔහු ගුප්ත විද්‍යාව ගැන ප්‍රබන්ධ කතා ලිවීමෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වුණා. ප්‍රබෝධ මහතා මේ වැඩසටහනට ගෙන්වූයේ ලංකාවේ හේතුවාදීන්ගේ මිථ්‍යාවට එරෙහි අයෝමය ශක්තිය වන කොවුර්ගේ අභියෝග ගුප්ත විද්‍යාව හා ජ්‍යෝතිෂ්‍ය ගැන ඉතා අසාර්ථක ප්‍රවේශයක් බව ඔහු පවසා තිබූ  නිසා. සුවහසක් ප්‍රේක්ෂක ජනතාව විස්මයෙන් බලා සිටි මේ අවස්ථාවට ප්‍රබෝධ මහතා සාදරයෙන් පිළිගන්නවා.

ප්‍රබෝධ: ආයුබෝවන්!

සහේතු: ඔබ වර්තමානයේ දී දරන භූමිකාවට එළඹුණේ කොහොම ද?

ප්‍රබෝධ: ඇත්තෙන් ම මම කුඩා කාලයේ උග්‍ර හේතුවාදියෙක්. මම වෙනස් වුණේ සාපේක්ෂතාවාදය , ක්වොන්ටම් භෞතිකය , අමුර්ත වීජ ගණිතය වැනි දේ විශ්වවිද්‍යාලයේ දී ඉගෙන ගැනීමට ලැබුණු විට. ඇත්තෙන් ම අමුර්ත වීජ ගණිතයේ දී 1+1=2 ද යන්න පවා ප්‍රශ්න කරනවා. බොහෝ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් මෙවැනි දේ අනිවාර්ය සත්‍ය ලෙස පිළිගැනීමට පුරුදු වී සිටින නිසා අමු‍ර්ත වීජ ගණිතය (Abstract Algebra ) හා තාත්වික විශ්ලේෂණය (Real Analysis) වගේ විෂයන්වල දී අසරණ වෙනවා. ඔබ පරම සත්‍ය කියා අදහපු දෙයක් එහෙම නො වෙයි කියද්දී කැලඹිල්ල ආයේ අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. 1+1=0 වැනි දෑ විශ්ව විද්‍යාලයේ ගැටළුවලට ලැබුණු විට අපි ඉතා අසරණ වුණා. රියල්, තාත්වික විෂ්ලේෂණය, කිව්වහම අදටත් මගේ මිතුරු විද්‍යාවේදීන්ගේ , ඉංජිනේරුවන්ගේ දෙපා වෙවුළනවා. අන්තිමට ගණන් කටපාඩම් කරලා තමයි විභාගෙට ලියන්නේ බහුතරය. ලකුණු ඉතා අඩුයි. උග්‍ර හේතුවාදියකු වූ මට මේක අනිත් අයටත් වඩා අමාරු වුණා. පස්සේ මම තේරුම් ගත්තා ඔය ලංකාවේ පවතින සරල ප්‍රවේශයෙන් පාසල්වල ඉගැන්වෙන පද්ධතියට විද්‍යාව කියලා ඊට විරුද්ධ අදහස් මෝඩ , මිථ්‍යා කියන එකේ ලොකු අර්බුදයක් තියෙන බව. ඒකට හුරු වීම උසස් අධ්‍යාපනයට තියෙන තීරණාත්මක බාධාවක් . ඒ වගේ ම සාපේක්ෂතාවාදය , ක්වොන්ටම් භෞතිකය වගේ දේ ඔය සාමාන්‍ය රැල්ලෙන් බැලුවොත් ගුප්ත දේ, මිථ්‍යා වගේ පේනවා. මේ වගේ දේ දැඩිව සිත්වල තහවුරු වීම ඉතා අයහපත්.

සහේතු: ඉතිං හේතුවාදියෝ ඉන්නේ ලංකාවේ විතර ද පිටරටත් ඉන්නවා. ඒත් ඒ රටවලින් විද්‍යාඥයෝ බිහි වුණා.

ප්‍රබෝධ: ඉන්නවා. ඒත් ඔය ජනප්‍රිය රැල්ල නෙවෙයි. ඔය rationalism කියන එක බැඳිලා තියෙනවා reason එක්ක. Reason කියලා ඔතන කියන්නේ තර්ක බුද්ධියට. ඕක හේතුවාදයට වඩා බුද්ධිවාදය කියන විදිහටත් පරිවර්තනය වෙන්න ඕනේ. ඇත්තට ම ලංකාවේ හේතුවාදය කියලා තියෙන රැල්ල තියෙන්නේ ඔය දාර්ශනයට ප්‍රතිවිරුද්ධ අන්තයේ. ලංකාවේ ජනප්‍රිය හේතුවාදීන් ගේන බොහෝ තර්ක බුද්ධිවාදයට ප්‍රතිවිරුද්ධ දර්ශනවල එන තර්ක නො පිටින් අල්ලා ගැනීම්.  ඇත්තට ම අච්චාරුවක්! හැබැයි ඔය ජනප්‍රිය රැල්ල වරක් බ්‍රිතාන්‍යයේත් ඇවිත් කොච්චර දුර ගියා ද කිව්වොත් ශුද්ධ ගණිතයත් මිථ්‍යාවක් කියලා කියන්න ගත්තා. කේම්බ්‍රිජ්වලින් කප්පාදු කරන්නත් උත්සාහ කළා. G.H. Hardy කියන ගණිතඥයාට ඊට පිළිතුරක් විදිහට ඔහුගේ Mathematicians Apology කියන පොත රචනා කිරීමට පවා සිදු වුණා.

සහේතු: ඔබ ගුප්ත විද්‍යා ගැන ප්‍රබන්ධ කතා ලීවා. ඒ ගැන සඳහන් කළොත්

ප්‍රබෝධ: ඔව්. මම ආතර් සී. ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ , රයිඩර් හැගාඩ්ගේ කතා රස වින්දා.. පාවුලෝ කොයියෝ වගේ අයගේ මායා සම්ප්‍රදායත් කියෙව්වා. මටත් හිතුණා. ආතර්. සී. ක්ලාක්ගේ කතා වගේ මගේ මේ ක්ෂේත්‍රයේ කතා ගොතන්න.

සහේතු: ඔබ ලංකා හේතුවාදීන්ගේ සංගමයේ ප්‍රවේශය දකින්නේ මොන විදිහට ද?

ඔවුන් පරස්පර කීපෙක හිර වෙලා ඉන්නවා. මුල් ම දේ ඔවුන්ගේ කියවීම බොහෝ දුර්වලයි. දාර්ශනික පොත පත කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් බව පේනවා. අනික ඔවුන්ගේ ප්‍රධාන විරෝධාකල්පය ප්‍රකාශ වෙන්නේ අදෘශ්‍යමාන කියන වචනයෙන්. අදෘශ්‍යමාන විරෝධය පවතින්නේ හේතුවාදයේ නෙවෙයි අනුභූතිවාදයේ (positivism). අනුභූතිවාදීන් එතැන දී අවංකයි. ඔවුන් ඉලෙක්ට්‍රෝන , ගුරුත්වාකර්ෂණය , අවකාශ-කාලය ආදී අපට අදෘශ්‍යමාන සියල්ල විද්‍යාවේ භාවිත කිරීම බැහැර කරනවා. ලංකාව එක්කත් සම්බන්ධකම් තිබුණු . අර්න්ස්ට් මක් දාර්ශනිකයා ඒ වගේ. දැන් බුද්ධිවාදීන් අදෘශ්‍යමාන යථාර්ථ පිළිගන්නවා. හේතුවාදීන් ගේ සංගමයේ දැවැන්තයින් පිළිගන්න කාල් මාක්ස් ඇහුවේ 'දෘශ්‍යමානය යථාර්ථය නම් ආයෙ විද්‍යාවක් මොකට ද කියලා' . ඒකෙ තේරුම විද්‍යාවේ කාර්යය අදෘශ්‍යමාන වූ යථාර්ථය සොයා ගැනීම බව. බුද්ධිවාදයට පසමිතුරු තවත් දර්ශනයක් වුණු ආනුභවිකවාදයෙන් (Empiricism) තමයි ඔය 'පිළිගන්න නම් කරලා පෙන්නන්න' වගේ අදහස් , මේ අභියෝග ඇවිල්ලා තියෙන්නේ. ඉතිහාසයේ කාලාන්තරයක් ගැටුණු මතවාද දෙකක් මේ.ඇත්තට ම ශුද්ධ නියමාකාරයේ බුද්ධිවාදියාගේ අභියෝගය වෙන්න ඕනේ තර්කයෙන් සනාථ කරන්න කියන එක. ඒත් ලංකාවේ අච්චාරු හේතුවාදයේ ඇහෙන්නේ නැත්තෙ ම ඕක. කරලා පෙන්නන්න කියන කොවුර්ගේ අභියෝග හේතුවාදී සංගමයකින් ආපු එක ම පොඩි පරස්පරයක්. ජනප්‍රිය රැල්ල ශුද්ධ ගණිතයට කීවෙත් මුකුත් කරන්න බෑ කියන එක. එතන දී හාඩි කීවේ කරලා පෙන්වන්න ඕනෙත් නෑ. ගණිතය තියෙන්නේ ගණිතය වෙනුවෙන්. ඒකෙන් කවුරුවත් කියන විදිහට ප්‍රයෝජන පෙන්වන්න ඕනේ නෑ. ඒකට හිතට හරි නැත්නම් සමාවෙන්න . වනචාරියාට සාන්තුවරයා පිස්සෙක් වගේ පේන්න පුළුවන් කියලා.

ලබන සතියට: විද්‍යාවෙන් නො-විද්‍යා බොරු බව පෙන්වීම හේතුවාදයට එකඟ ද හා කොවුර්ගේ අභියෝග එකින් එක.
මීළඟ ලිපියට

                                           - තමලු මලිත්ත පියදිගම
                                      2017 ජූලි 16 ඉරිදා රිවිර

නිර්මාල් දේවසිරි හා 'විපරීත' ලක්ෂණ

නිර්මාල් දේවසිරි මහතා පෙර ලිපියක දෙවියන් බුදු රැස් විහිදවීම 'විපරීත' ලක්ෂණයක් ලෙස නම් කළේ ය. එය හුදු තමාගේ හැඟීමක් ලෙස ලියා තිබෙන්නට ඇතැයි අදහස් කළෙමි. එය හාරා අවුස්සමින් ඇසූ සංවාදවලට එතරම් සක්‍රියව සහභාගී නො වූයේ ද එහෙයිනි. මේ අතරතුර කාලයේ දී මෙය ලිහිල් යෙදුමකින් ඔබ්බට ගෙන ගොස් දාර්ශනික පදනමකට ගෙන යාමට වංගීස සුමනසේකර හා නිර්මාල් දේවසිරි මහත්වරුන් කටයුතු කර ඇති බැවින් දැන් මීට සක්‍රීයව මැදිහත් විය යුතුව ඇත.

ගුරුත්වාකර්ෂණයට වඩා දෙවියන් බුදුරැස් විහිදවීමේ හුදු හැඟීමකින් (feeling) ඔබ්බට ගිය විපරීතභාවයක් පවතී ද? මීට පිළිතුර වශයෙන් මගෙන් ලැබෙනු ඇත්තේ අවධාරණයෙන් ම ප්‍රකාශ කරන 'නැත' යන්නකි. එහෙත් හුදු හැඟීමක් ලෙස යමකුට දැනෙන විපරීතභාවයකට මම එකඟ වෙමි. පැහැදිලිව ම මීට ප්‍රතිවිරුද්ධ ලෙස වංගීස හා නිර්මාල් මේ ව්‍යවහාරය විවරණය කිරීමට තෝරා ගෙන ඇති මාර්ගය මෙය ඒ සීමාවෙන් ඔබ්බට රැගෙන යාම බව මේ වන විට පැහැදිලි බැවින් මේ මුල් ප්‍රශ්නය වලංගු ප්‍රශ්නයක් වේ.

මෙහි දී වංගීස ගේ හා නිර්මාල්ගේ උපක්‍රමික ක්‍රියාමාර්ග ප්‍රධාන අංග දෙකක් මූලික කොටගෙන පවතී. පළමුවැන්න නම් ගුරුත්වාකර්ෂණය හා දෙවියන් බුදු රැස් විහිදුවයි යන ප්‍රවාද අතර වෙනසක් සංස්ථාපනය (establish) කිරීමයි. එහෙත් මේ පළමුවෙනි පියවර හුදු වෙනසක් ලකුණු කිරීමෙන් සපිරෙන්නේ නැත. ඒ වෙනස මඟින් දෙවියන් බුදු රැස් විහිදවීමට 'විපරීතභාවයක්' ලබා දිය යුතු ය. එමඟින් තමාගේ ප්‍රකාශනය හුදු හැඟීමක තලයෙන් ඔබ්බට ගෙන යා යුතු ය. දෙවැනි ක්‍රියාමාර්ගය මීට වඩා වෙනස් ය. නිර්මාල් මහතාට මේ අභියෝගය එල්ල වන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය පිළිගන්නා පාර්ශ්වයකිනි. නිර්මාණාත්මක සාපේප්‍රවාක්ෂතාවාදය අනුව ගුරුත්වාකර්ෂණය 'පට්ටපල් බොරුවක්' වේ. දෙවියන් බුදු රැස් විහිදවීම 'බොරුවක්' වෙතත් 'පට්ටපල් බොරුවක්' නො වේ යැයි නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ව්‍යවහාරයන්ට අනුව ගම්‍ය වන බව මගේ අදහසයි. එයට අනෙක් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් ද එකඟ වනු ඇතැයි සිතමි. දැන් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අනුව ද මේ දෙකෙහි වෙනසක් වෙයි. ඒ වෙනසින් කියැවෙන්නේ ගුරුත්වාකර්ෂණය 'පට්ටපල් බොරුවකි' යන්න ය.

දැන් සංවාදයට අදාළ දෙපාර්ශ්වය ම මේ දෙකෙහි වෙනසක් අපේක්ෂා කරති. එහෙත් ඒ වෙනස පිහිටුවන ආකාරය ගැන මත දෙකක් දරයි. 'විපරීත' යන්න නිශේධනාත්මක අර්ථයක් හඟවයි. නිර්මාල් දේවසිරි ආරම්භයේ දී තම භාවිතය තුළ මේ නිශේධනාර්ථය ගැබ් නො වේ යැයි කළ සඳහන තව දුරටත් වලංගු ද යන ප්‍රශ්නය පැන නඟින්නේ වංගීස ඊට ඉඳුරා වෙනස් ප්‍රවේශයක් ගනිමින් විශ්වාසවල තීව්‍රතා ගැන සඳහනක් කරන නිසා ය. තීව්‍රතාවය යනු ම යම් කිසි දළ ප්‍රමාණාත්මක මිම්මකි. 'විපරීත' වන්නේ තීව්‍රතාවකින් නම් එහි අරමුණ එය නිශේධනාර්ථයක් ලෙස දැක්වීම බව පෙනේ. මෙහිදී වංගීස එක්තරා උපක්‍රමයක් භාවිත කරයි. එනම් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන්ට ද හැඟීමෙන් 'විපරීත විය හැකි' , තමාගේ බෙදීමට අනුකූල ප්‍රපංචයක් තෝරා ගනියි. එනම් පාවුළුතුමන්ට දෙවියන් වහන්සේ පෙනීමයි. එහි තීව්‍රතාව ගැන අසා ඒ හැඟීමක් ලෙස උපදින විපරීත භාවයක් වෙතොත් එය සමඟ තමාගේ බෙදීම අනුව එක ම කුලකයේ පවතින බුදු රැස් විහිදීම අතුරුමාරු කර ඒ විපරීත භාවය ඊට ආරෝපණය කිරීමයි. එනම් හැඟීමෙන් ඔබ්බට යන 'විපරීතභාවයක්' පෙන්වීමට ප්‍රතිවාදියාගේ එවන් හැඟීම් ඇති කළ හැකි තමාට අවශ්‍ය ප්‍රපංචය හා අතුරු මාරු කළ හැකි යමක් සෙවීමයි. හුදු මානසික උපක්‍රමයක් ම වන මේ ක්‍රියාවෙන් හුදු හැඟීමකින් ඔබ්බට යන විපරීතභාවයක් පෙන්විය නො හැකි ය. 

    වංගීස තවදුරටත් 'විපරීත' යන්න තහවුරු කිරීමට ගුණාත්මක තර්කයක් ද ගොඩනැඟීමට උත්සාහ කරන බව පෙනේ. එය දේවසිරි මහතා ද අනුමත කරමින් ඉදිරිපත් කළේ ය. එම තර්කය නම් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මඟින් ආවරණය කරන පරිසිද්ධිවල වසම (Domain of facts) තුළ ඇති නිරීක්ෂණ පොදු වේ පිළිගැනෙන බවත් ප්‍රවාදය නො පිළිගන්නන් ද ඒ පරිසිද්ධි පිළිගන්නා බව ය. මීට පටහැනිව දෙවියන් බුදුරැස් විහිදුවයි යන්නෙන් ආවරණය කෙරෙන පරිසිද්ධි වන බුදු රැස් විහිදීම් දකින්නේ දේව විශ්වාසයක් ඇති අය පමණක් බව වංගීසගේ අදහසයි. එනම් ගුරුත්වාකර්ෂණයේ දී පරිසිද්ධි ප්‍රවාදයට පෙර පවතින අතර බුදු රැස් විහිදීමේ දී ප්‍රවාදය පරිසිද්ධිවලට පෙර පවතී. සාමාන්‍ය අධ්‍යාපනයෙන් උගන්වන ජනප්‍රිය අදහස අනුව මෙය මේ කලාප දෙක පරිසිද්ධි (facts) හා අදහස් (opinion) ලෙස වෙන්කොට එනම් දෙවැනි කලාපය අදහස් මිස පරිසිද්ධි නොවන බව කියා සාමාන්‍ය අධ්‍යාපනයෙන් අදහස්වලට (opinion) පනවන සාපේක්ෂ නිශේධනාත්මක භාවයේ වාසිය ගැනීමට වංගීස උත්සාහ කරයි. වංගීසට අමතක වන්නේ ඔහු ම උපුටා දැක්වූ හියුම්ගේ ඡේදයට අනුව ද කියැවෙන පරිදි ගුරුත්වාකර්ෂණය ආවරණය කරන්නේ පොල් වැටීම් ම නො වේ. පරිසිද්ධි හා අදහස් අතර හැඟීම් ඉක්මවූ වෙනසක් ලකුණු කළ හැකි නො වේ.

 'පට්ටපල් බොරු' යන්න ද යෙදෙන්නේ නිෂේධනාත්මකව නො වුණත් පට්ටපල් බොරු සිංහල බෞද්ධ චින්තනයට ගත නො හැකි බව මගේ අදහසයි. කෙසේ නමුත් බොහෝ දෙනා එම යෙදුම නිශේධනාත්මක අරුතකින් සලකන බව පෙනේ. ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොරු වන්නේ ආකාර කිහිපයකිනි.
1. වියුක්ත අනපෝහනයකි (an abstract abduction)
2. ආවරණය වන කලාපය පොල් වැටීම ම නො වේ. පොල් නො නිදහස් ව වැටීමයි. එවන් අදහසක් ඇතිවන්නේ ගුරුත්වාකර්ෂණය ද අංගයක් වූ මේ දෘෂ්ටිවාදි පද්ධතිය නිසා පමණක් බව හියුම්ගෙන් වංගීස උපුටාගත් ඡේදයේ ද ඇත. එම නිසා එය පූර්වයෙන් විශ්වාසය හා බැඳී ඇත්තාටත් වඩා මෙහි අර්බුදය වන්නේ ඊට පදනම් වූ දෘෂ්ටිවාදීමය විශ්වාසය ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගැනෙන මේ හා ප්‍රතිසම අවස්ථාව (ඒකාකාරී චලිතය) අනුභූතික (positivistic) හෝ තාර්කික (logical) නොවන, අසත්භාවී හෝ සත්භාවී වුවත් අප්‍රයොජ්‍ය වන සංකල්පයක් (නිරපේක්ෂ අවකාශය) මට නිර්ණය වීමයි.
3. ගණිතමයව නිරීක්ෂණ හා අසංගත වීම

දෙවියන් බුදු රැස් විහිදුවීම මෙසේ නො වේ.

කෙසේ නමුත් සතුරාගේ සතුරා මාගේ මිතුරා ය කියන්නාක් මෙන් ප්‍රතිවාදීන්ගේ තර්කයට ප්‍රතිපක්ෂ දේ තම කරගැනීමට ගොස් මෙහි ඇති මේ පටලැවුණු ප්‍රවේශ ගණනාව තවදුරටත් පටලැවී ඇත. එනම් ප්‍රවාද දෙකේ වෙනස සංස්ථාපනය කිරීමේ ප්‍රතිවාදියාගේ උත්සාහයට පටහැනිව මේ දෙක අතර වෙනසක් නොමැති බව කියැවෙන කිණිස්සක් වැනි දෙපස ම කපා හරින ප්‍රවේශයන් ගැනීම ද සිදු වී ඇත. මේ සංවාදයට හියුම් සම්බන්ධ වී ඇත්තේ මේ කිණිස්සේ කාර්යභාරය ලෙසයි. මෙවන් කිණිස්සක් 'සටනට' ගෙන ඒමෙන් පසු කළ යුත්තේ තමාගෙන් ඉවතට , අනෙකා වෙතට තල්ලු කිරීමේ දෑත් කැපී තුවාල වීමට ද ඉඩ ඇති භයානක කාර්යයට අවතීර්ණ වීමයි. මෙතැන දී මේ හියුමියානු කිණිස්සෙන් වැඩක් නැත. එය මීට අදාළ ම නො වේ. මෙතන එක් සිද්ධියක (event) හේතුව ලෙස තවෙකක් කතා කෙරී නැත. හියුම්ගේ උද්ගමනය පිළිබඳ ගැටලුව මෙතනට අදාළ නො වේ.

අවසන් වශයෙන් පැවසිය හැක්කේ හුදු පෞද්ගලික හැඟීමකින් ඔබ්බට යන 'විපරීතභාවයක්' ගැන කතා කළ හැකි බවක් මට නම් කෙසේවත් නො පෙනෙන බවයි.

මීට එකඟ විය නො හැකි නම් කළ යුත්තේ මෙහි අමතක කර දමා ඇති 'විපරීතභාවය' යනු කුමක් ද යන ප්‍රශ්නයට මුලින් පිළිතුරු දී සිටීමයි. 'විපරීතභාවය' යුක්තියුක්ත කිරීම අරභයා දැනට ඇති වී ඇති මේ අඹ ගහට පොලු ගහන්නා වැනි එකක් සාර්ථක වීමේ අභිප්‍රායයෙන් එකිනෙකට වෙනස් ප්‍රවේශ කිහිපයක් ගැනීම කරන්නේ මේ සංවාදය තවදුරටත් වියවුලක් කිරීම පමණි.
(මේ ඡායාරූපය මෙය ලිවීමට පෙර අදාළ මුහුණුපොත් සටහන් හා ප්‍රතිචාර කියවීමේ දී සිතට නැඟුණු අදහසට අදාළ
කදිම උපමා කතාවක් සිහිපත් කරයි.)

අයින්ස්ටයින් කළේ නිවුටන් ගේ අදහස වර්ධනය කිරීම ද, ප්‍රතික්ෂේප කිරීම ද? (ප්‍රශ්නවලින් පැන යන බටහිර විද්‍යාව)




අයින්ස්ටයින් කියන නම බොහෝ දෙනාට හුරු පුරුදුයි. අයින්ස්ටයින් කියන්නේ කවුදැයි ඇසුවොත් විසිවන සියවසේ මහා ප්‍රාඥයා වැනි විවිධ පිළිතුරු ලැබේවි. ඔහු සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළ බවත් බොහෝ දෙනා අසා ඇති. එහෙත් සාපේක්ෂතාවාදය කියන්නේ කුමක් ද යන්න නම් බොහෝ දෙනා නො දැන සිටින්නට පුළුවන්. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ පියවර දෙකකිනි. විශේෂ සාපේක්ෂතාවාදය මුලිනුත් සාමාන්‍ය සාපේක්ෂතාවාදය පසුවත් ඉදිරිපත් විය. මේ ලිපියෙන් මම විශේෂ සාපේක්ෂතාවාදයට පසුබිම් වූ කරුණු කාරණා කිහිපයක් ගැන අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වෙමි. විශේෂ සාපේක්ෂතාවාදයේ ගණිතමය ස්වභාවයන් ගැන වැඩි අවධානයක් යොමු නොකර එහි සරල අදහස හා පසුබිම් කරුණු ගැන වැඩි විස්තරයක් කිරීමට සිතමි.

බොහෝ දෙනා අයින්ස්ටයින් කුඩා කල ඉතා අදක්ෂ බව කියන කතාව අසත්‍යයක්. ඒ කතාව ඇති වී ඇත්තේ විශ්වවිද්‍යාලයේ එක් විභාගයක් ඔහුට නැවත ලිවීමට සිදු වී ඇති නිසයි.  උපාධි නිමා කළ ද අයින්ස්ටයින්ට විශ්වවිද්‍යාලයේ තැනක් ලැබුණේ නැත. එහෙයින් ඔහු රැකියාව කළේ පේටන්ට් කාර්යාලයේ ය. අයින්ස්ටයින්ගේ නම ඉදිරියේ සටහන් වන වැදගත් ම අධ්‍යයන තුනක් ම සිදුවුණේ ඔහුට අවුරුදු 25 දී එක අවුරුද්දක කාලයක් ඇතුළතයි. ඔහු ආචාර්ය උපාධියක් හිමි කරගත්තේ ඊටත් වසර කීපයකට පසුයි. විශේෂ සාපේක්ෂතාවාදයත් මේ අධ්‍යයනවලින් එකක්.

එකල තිබූ භෞතික විද්‍යාවේ දැවැන්තයා වූ නිවුටන් පැවසුවේ කාලය අපේ සම්බන්ධයකින් තොරව ගලා යන බවයි. එනම් අප හැමට ම කාලය ගත වෙන්නේ එක ම ආකාරයට බවයි. අවකාශය ද අපේ සම්බන්ධයකින් තොරව පවතින බව නිවුටන් කීවේ ය. යම් කිසිවක දිගක් සැලකුවහොත් ඒ දිග එක එක පුද්ගලයා මත වෙනස් නොවන බව නිවුටන්ගේ අදහස විය. උදාහරණයක් ලෙස ඔබ ඉදිරියේ ඇති මේසයක දිග කාටත් එක ම දිගකි. එහෙත් නිවුටන්ට අනුව චලිතය නම් එක එක පුද්ගලයාට පෙනෙන ආකාරය වෙනස් වේ. අප වාහනයක ඉදිරියට යන විට අවට ඇති දෑ පිටුපසට යනු දැනේ. හුළඟක් හමන විට හුළඟ එන දෙසට දිව්වොත් හුළඟේ වේගය වැඩි ය. හුළඟ හමන දෙසට ම දිව්වොත් හුළඟේ වේගය අඩු ය. විශ්වය මේ ආකාර යැයි නිවුටන් කීවේ ය.

අයින්ස්ටයින් සිටි කාලයේ මයිකල්සන් හා මෝලි නම් විද්‍යාඥයෝ ආලෝකය පිළිබඳ ඉතා සියුම් පරීක්ෂණයක් කළ හ. සරලව පැහැදිලි කළහොත් පරීක්ෂණයේ අරමුණ වූයේ ඉහත සුළඟේ වේගය මෙන් ආලෝකයේ වේගයත් 'දුවමින් බලන විට' වෙනස් වන්නේ ද යන්න සෙවීමයි. (මේ වාක්‍යය ඉතා සරල නිරූපණය කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නො වෙයි.) . නිවුටන් නිවැරදි නම් ආලෝකය එන අතට 'දුවමින් බැලුවොත්' ආලෝකයේ වේගය වැඩි විය යුතුයි. ආලෝකය යන අතට ම 'දුවමින් බැලුවොත්' ආලෝකයේ වේගය අඩු විය යුතුයි. එහෙත් පරීක්ෂණය සිදු කර බැලූ විට සුළඟේ සිදුවන දේ ආලෝකයේ සිදුවන්නේ නැති බව පෙනුණි. කුමන අතට දිව්වත් ආලෝකයේ වේගය එක ම විය. නිවුටන් වැරදි බව පෙනිණි. මෙය පැහැදිලි කිරීම ඊළඟ අභියෝගය විය.

අයින්ස්ටයින් මීට විසඳුමක් දුන්නේ ය. එහෙත් ආලෝකයේ වේගය බලන ආකාරය මත වෙනස් නො වූයේ ඇයි ද යන්නට ඔහු පැහැදිලි කිරීමක් දුන්නේ නම් නැත. ඒ වෙනුවට ඔහු ආලෝකයේ මේ හැසිරීම ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගත්තේ ය. ඉන්පසු නිවුටන් විසින් මූලිකව පිළිගන්නා ලද කාලය හා අවකාශය සැම දෙනාට ම ඒකාකාරී ය යන්න අයින්ස්ටයින් බැහැර කළේ ය. ඒ වෙනුවට ඔහු ආලෝකයේ ප්‍රවේගය සැමට ම සාපේක්ෂව එක ම අගයකි යන්නෙන් අරඹා ගණනය කිරීම් කළේ ය. එවිට පෙනුණේ වස්තුවක දිග , පළල මෙන් ම කාලය ද අප එකිනෙකාට සාපේක්ෂ ව වෙනස් වන බව ය. එමෙන් ම ඒවා වස්තුවේ චලිතය මත රඳා පවතින බව ය. වස්තුවේ කුඩා වේගවල දී අපට මේ දිගෙහි හා කාලයෙහි වෙනස නො දැනෙන තරම් ය. සැම දෙනාට ම කාලය ගත වන්නේ එක ම අයුරින් බවත් සැම දෙනාට ම පෙනෙන්නේ එක ම දිග පළල බවත් අප සිතන්නේ  ඒ නිසා ය.

අයින්ස්ටයින් සිදු කළ මේ ක්‍රියාවෙන් අපට බටහිර විද්‍යාවේ ස්වභාවය ගැන අවබෝධයක් ලබා ගත හැකි ය. බටහිර විද්‍යාව හෝ එහි ඉතිහාසය ගැන පුළුල්ව හදාරා නැති එහෙත් බටහිර විද්‍යාව භක්තියෙන් අදහන සමහරුන් කියන්නේ බටහිර විද්‍යාව අතිවිශිෂ්ට බවත්, එහි සැම දෙයක් ම ප්‍රශ්න කරන බවත්, ඕනෑ ම දෙයක හේතුව සෙවීමට වෙහෙසෙන බවත් ය. බටහිර විද්‍යාව දිගින් දිගට ම වර්ධනය වන බවත් මෙතෙක් හේතු හොයා නො ගත් දේ නුදුරු අනාගතයේ දී ම හොයා ගනු ඇති බවත් වැඩි දුරටත් ඔවුන් මහත් උද්දාමයෙන් පවසනු ඇත.

එහෙත් මෙතන අයින්ස්ටයින් සිදු කළ දෙය විමසීමෙන් ඔවුන්ගේ අදහස්වල වරද වටහා ගත හැකි ය. මයිකල්සන් හා මෝර්ලි පරීක්ෂණයක් කර ආලෝකයේ වේගය සියලු අවස්ථාවලට සාපේක්ෂව නියත අගයක් බව දුටුවෝ ය. එය ප්‍රශ්නයක් වූයේ ඇයි? එය ප්‍රශ්නයක් වූයේ නිවුටන්ගේ අදහසට එය නො ගැළපීම නිසා ය. නිවුටන් නො සිටියේ නම් ප්‍රශ්නයක් ද නැත. ගැටලු ඇති වන්නේ ද අදහස් නිසා ම බව මින් පෙනේ. දැන් ආලෝකයේ වේගය නියතයක් වීම ගැටලුවක් වී ඇත්තේ නිවුටන්ගේ කල්පිතය නිසා ය.  අයින්ස්ටයින් කළේ ආලෝකයේ වේගය නියත අගයක් වීමට හේතුවක් සෙවීම ද? නැත. ඔහු එවන් හේතුවක් දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු එය ප්‍රශ්න කිරීමෙන් තොරව මූලික කරුණක් ලෙස පිළිගත්තේ ය. මෙහි දී හොයාගත් හේතුවක් නැත. අයින්ස්ටයින් කළේ නිවුටන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරමින්, එනිසා ම මතු වෙන ප්‍රශ්නය මඟ හැර යාම ය. ඉන්පසුව අයින්ස්ටයින්ට තමාගේ මේ ක්‍රියාව නිසා නව ප්‍රශ්නයක් ඇති විය. එය නම් මෙතෙක් කලක් නිවුටන්ගේ භෞතික විද්‍යාව පරීක්ෂණ ප්‍රතිඵල සමඟ ගැළපුණේ ඇයි ද යන්න ය. ගණනය කිරීමකින් ඊට ඔහු දුන්නේ සරල පිළිතුරකි. එනම්, නිවුටන්ගේ භෞතික විද්‍යාව වැරදි නමුත් ඒ වරද සාමාන්‍ය අවස්ථාවල දී ඉතා කුඩා අගයක් වූ නිසා එය පරීක්ෂණවලට හසු නො වූ බවයි.

බටහිර විද්‍යාවේ කල්පිතයක් ඇතිවෙන්නේ ගැටලුවක් ඇති වූ පසු නොව ගැටලු ඇති වන්නේ ම කල්පිත නිසා ය. අනෙක් අතට අවසානයේ කර ඇත්තේ ගැටලුවලට හේතු සෙවීමක් නොව ගැටලුව මඟ හැර යාමකි. නිවුටන්ගේ ගැටලුව මඟහරිමින් අයින්ස්ටයින් පිළිතුරු දුන්නේ තමාගේ ම ගැටලුවකට ය. මෙයින් පෙනෙන්නේ බටහිර විද්‍යාව හේතු හඳුනා ගනිමින් ක්‍රමයෙන් වර්ධනය වන්නක් නොව පද්ධතියෙන් පද්ධතියට මාරු වන්නක් බවයි. මෙවැනි ක්‍රියාවක් අනුගමනය කරන බටහිර විද්‍යාව සත්‍යයකට ආසන්න වන බවක් කිව හැකි නො වේ.

අයින්ස්ටයින්ගේ මතය ගැන තරමක් අසා ඇති ඇතැම්හු එහි දිග හා කාලය වෙනස් වීම අනිත්‍යයට සම්බන්ධ කිරීමට උත්සාහ කරති. ඉහළ ම පෙළේ බුද්ධිවාදියකු (rationalist) වූ අයින්ස්ටයින් එළඹුණේ ඊට හාත්පසින් වෙනස් ප්‍රවේශයකට ය. ඔහු අවකාශය හා කාලය එකතු කර අවකාශ-කාලය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කළේ ය. අයින්ස්ටයින්ට අනුව අවකාශය හා කාලය නිරීක්ෂණය කරන අයගේ හා වස්තුවල චලනය මත වෙනස් වුව ද එම දෙක ඒකාබද්ධ කළ පසු නියත වේ. අයින්ස්ටයින් නිර්මාණය කළ සංකල්පය ඉතා භයානක අකාරයෙන් නිත්‍යභාවය ගැන පවසන අතර අතීත , වර්තමාන, අනාගත සියලු දෑ ආරම්භයේ සිට ම නිශ්චිතව තීරණය වී ඇත යනාදී නියතිවාදී මතයන්ට ද තල්ලුවක් ලබා දුන්නේ ය. ඒ නිසා සාපේක්ෂතාවාදය බුදු දහම සමඟ ඈඳිය යුතු නො වේ.

අයින්ස්ටයින් අවකාශයට හා කාලයට සමාන තැනක් දුන් බවට සාවද්‍ය මතයක් පවතී. ඔහු ඒ දෙක ඒකාබද්ධ කළ ද ඒවාට සමතැනක් දුන්නේ නැත. ඔහු අවකාශය තාත්වික සංඛ්‍යාවලින් නිරූපණය කළ අතර කාලය නිරූපණය කළේ අතාත්වික සංඛ්‍යාවලිනි.

නිවුටන්ගේ මතවාදය පැවති සමයේ , පෘථිවියේ හා දිව්‍ය ලෝකයේ කාලය වෙනස් වේගවලින් ගලා යන බව කියැවෙන බෞද්ධ මතය භෞතික විද්‍යා උගතකුට විහිළුවක් සේ පෙනීමට ඉඩ තිබුණි. අද මෙවැනි දෑ සිදුවන බවට පිළිගැනීමට බාධාවක් නැත. සියල්ලට මුල් වී තිබුණේ නිවුටන්ගේ උපකල්පනය ම ය. මෙයින් අප අවබෝධ කරගත යුත්තේ බටහිර විද්‍යාව උපකල්පන උඩ රඳා පවතින පද්ධතියෙන් පද්ධතියකට මාරු වන්නක් මිස ක්‍රමික විකාශනයක් සිදුවන්නක් නොවන බැවින්, එය මත පිහිටා වෙනත් දැනුම් පද්ධති ගැන කෙරෙන විවේචන සලකා බැලිය යුත්තේ ඒවායේ සීමා මායිම සියුම්ව හඳුනා ගනිමින් බවයි.

                          - තමලු මලිත්ත පියදිගම
                            2017 ජූලි 08
                           ඉරිදා රිවිර

කල්ලිවාදයෙන් යටපත් කළ ලාංකීය නවකතාවේ සලකුණ: පියදාස සිරිසේන

පියදාස සිරිසේන මහතා ගැන පොඩි කාලේ මම අහලා තිබුණේ මෙන්න මෙහෙම කතා:
පියදාස සිරිසේන මහත්මයාගේ නවකතා මුල් ම කාලේ ඒවා. ඒවාගේ භාෂාව හරි පරණ ශෛලියේ.. ඒ නවකතා මුල් කාලෙ නිසා බොහො ම ප්‍රාථමිකයි. මාර්ටින් වික්‍රමසිංහ වගේ අයගෙන් පස්සේ තමා නවකතා දියුණු වුණේ.
ඔන්න ඔහොම කතා තමයි ඇහුවේ.

ඔය කතා පට්ටපල් බොරු ... අසත්‍ය ප්‍රචාර කියලා දැන ගන්න ගොඩක් කල් ගියා....

පියදාස සිරිසේන මහතා කියන්නේ ලංකාවේ දෙවන නවකතාකරුවා. ලංකාවේ පළමු නවකතාව වන සයිමන් එෆ් ද සිල්වා මහත්මාගේ මීනා නවකතාව බොහොම ව්‍යාකූල ආකෘතියකයි දුවන්නේ. පියදාස සිරිසේන මහත්මයා ජයතිස්ස හා රොසලින් නවකතාවේ දී උත්සාහ කරන්නේ පැරණි ගද්‍ය ශෛලිය සංශෝධනය කරලා නවකතාව සිංහල භාෂාවේ තහවුරු කරන්න පුළුවන් අලුත් ශෛලි හා ආකෘති හදන්න. ජයතිස්ස හා රොසලින් නවකතාව දෙබස් , නාට්‍ය කොටස් , පැරණි ශෛලියේ ගද්‍ය කොටස් නව ශෛලිවල ගද්‍ය කොටස් පද්‍ය කොටස් මිශ්‍රව තියෙන පරීක්ෂණාත්මක කෘතියක්. ලිඛිත ව්‍යවහාරය කථන ව්‍යවහාරය යන දෙයාකාරය ම යොදා ගැනීම පරීක්ෂා කරලා බලන්න උත්සාහ කරලා තියෙනවා. මේ නිසා මේ පළමුවෙනි නවකතාවේ නම් පැරණි හා නව ලේඛන ශෛලි අතර දෝලනයක් දකින්න පුළුවන්. මේ මිශ්‍රණය ම පෙන්වන්නේ මෙය පරීක්ෂණ කෘතියක් කියලා. හොඳට බැලුවොත් පේනවා පියදාස සිරිසේන මහතා විවිධ කොටස් ගැන විවිධ අත්හදා බැලීම් කරමින් මේ නූතන සිංහල ලේඛන ශෛලිය ගොඩනඟන විදිහ හා නවකතා ආකෘති ගොඩ නඟන විදිහ. පසුකාලීන කෘතිවලට එද්දී අද ඊයේ ලියූ ලිපියක් වගේ ශෛලිය අලුත්.  සරලයි. දිව උළුක් වෙන වචන , හෑලි මුකුත් නෑ.

පියදාස සිරිසේන මහත්මයා තමයි ලංකාවේ මුලින් ම නවකතා ලියන පරම්පරාවක් ඇති කළේ. පියදාස සිරිසේන මහත්මයාගේ භාෂා ශෛලිය එක්ක සැසඳුවොත් මාටින් වික්‍රමසිංහ ලීවේ ඊට පැරණි භාෂා ශෛලියකින්.

මෙහෙම පරිස්සමට අරගෙන ආපු නවකතා කලාවට කණකොකා හඬන්නේ පේරාදෙණි ගුරුකුලයත් එක්ක. සරච්චන්ද්‍ර ප්‍රධාන කොටගත් කල්ලිය මේ ආකෘතිමය හා භාෂාමය වර්ධනය වීම්හි වැදගත්කම යටපත් කරලා ඒ වෙනුවට ඒ කාලයේ මාක්ස්වාදය ගැන තිබුණු බොහොම සරල බොළඳ අර්ථකථනය නිරූපණය කරන ඕනෑ ම හෑල්ලක් අනෙක් ඒවාට වඩා උසස් කියලා එක ඛේදනීය විචාර කලාවක් පටන් ගත්තා. මේ කල්ලිවාදී වැඩෙන් කලාව ගුණාත්මකව පිරිහුණා වගේ ම රුසියාව බිඳ වැටිලා මාක්ස්වාදයේ ජනප්‍රිය අර්ථකථන කියන සළුව විසිවුණහම සරච්චන්ද්‍රලා ඉහළින් සලකපු රැල්ලේ නිරුවත පේන්න ගත්තා.. ඒත් ඒ කරපු හානිය ආය සම්පූර්ණයෙන් යථාවත් කරන්න පුළුවන් එකක් නෙවෙයි.

දැන් නවකතාවේ අර ගල්ගැස්සිලා තියෙන තැනින් ඉස්සරහට ගන්න විවිධ බටහිර ආකෘති පස්සේ යන්න උත්සාහ තියෙනවා. අපි කරන්න ඕනේ ජනප්‍රිය බොරු රැල්ලකින් සඟවලා දාපු පියදාස සිරිසේන මහත්මයාව නැවත මතු කරලා ගන්න එක. පියදාස සිරිසේන මහත්මයා තමයි රහස් පරීක්ෂක කතා හඳුන්වා දුන්නෙත්. ඒත් සරච්චන්ද්‍ර කල්ලියට ඒ වගේ කෘති අල්ලන්නේ නෑ. මේ බොරු කාරයන්ගෙන් බේරිලා පියදාස සිරිසේන මහතා ගැන සංවාදයක් පටන් ගන්න ඕනේ.
(දැන් පොත් අලුතින් මුද්‍රිතයි. ඒවා පරණයි කියන එක විකාරයක්! පුළුවන් තරම් හොයන් කියවන්න.)

Wikibook ලෙස මේ නවකතා වෙළුමක් ඇත. තරමක මුද්‍රණ දෝෂ හා අක්ෂර දෝෂ ඇති බව පෙනේ. ඒ නවකතා වෙළුමට මෙතැනින් යොමුවන්න.

චින්තන ධර්මදාස නම් අද්භූත ඔහු.

රොන්සියර් ගැන චින්තන ධර්මදාස ඇරඹූ කතා බහක් මේ දිනවල කරළියේ තියෙනවා. මොනවා වුණත් මට රොන්සියර් ගැන මොකක් දෝ දුකක් වගේ හැඟීමක් එනවා. ඒ මොක ද කියලා නම් මටවත් තාම හිතා ගන්න බෑ. රොන්සියර් ගැන කතා කරන ධර්මදාස තව ටික කාලෙක දී රොන්සියර් ගැන රොන්සියර්වත් නො දැන සිටි දේ කියන බව නම් මට ගොඩක් විශ්වාසයි. චින්තන ධර්මදාස කාලෙකට කලින් ධර්මපාලතුමා ගැන ලිපියක් ලිව්වා.. ඒක බලලා සමහරු කියන පිස්සු කතා දැක්කහම ඒ අය ගැන හිතේ ඇති වෙන්නේ අනුකම්පාවක්. එහෙම අය සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න එකට කියන්න ඕනේ ඛේදවාචකයක් කියලා ද වෙන මොකක් හරි කියලා ද කියන්න මම දන්නේ නෑ. ඒ කොහොම වුණත් චින්තන ධර්මදාස මගේ කුතුහලය ඇවිස්සූ චරිතයක්. මේ කාලෙකට කලින් චින්තන ධර්මදාස ගැන ලියූ ලිපියක්.. ආයෙත් පළ කරන්න හිතුණා.. 

ඔය විවිධ සිංහල බෞද්ධ විරෝධී කණ්ඩායම්වල සාමාජිකයන් අතරේ චින්තන ධර්මදාස කියන්නේ අති විශේෂ චරිතයක්.... ඒ වෙන මොකක් නිසාවත් නෙවෙයි.. ඍද්ධි බලයක් හෝ අධිමානසික ශක්තියක් වැනි යමක් තියෙනවා....

සමහර විට මම වැරදි වෙන්න පුළුවන්... ඔහුට එවැනි ශක්තියක් නැතුව ඇති... බ්‍රිතාන්‍යය ඔත්තු සේවාවේ වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන් ....... එහෙමත් නොවෙයි නම් බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ රහසිගත අංශවලට කඩා වදින පරිගණක හැකර්වරයෙක්... රටරටවල බුද්ධි තොරතුරු සොයායන රහස් පරීක්ෂකයකු වෙන්නත් පුළුවන්...

ඔය මොන ආකාරයක කෙනෙක් වුණත් ඔහු අති විශේෂ චරිතයක් වෙන්න ඕනේ...

චින්තන ධර්මදාස නම් ඒ අතිවිශේෂ පුද්ගලයා ධර්මපාලතුමා ගැන ලිපියක් ලියනවා... ඒකේ සමහර කරුණු බ්‍රිතාන්‍ය ඔත්තු සේවාවේ ප්‍රසිද්ධ නො කළ රහසිගත වාර්තාවලින් ගත් බව කියනවා......

මම නම් උඩ කියපු එක විදිහක විශේෂත්වයක්වත් නැති සාමාන්‍ය කෙනෙක්...ඒ නිසා චින්තන ධර්මදාස කියපුවා හරි ද කියලා මට බලන්න විදිහක් නෑ...

ඒ ලිපියේ ඕල්කොට්තුමා , ලෙඩ් බීටර් ගැනත් සඳහන් වෙනවා... පරම විඥානාර්ථවාදී සංගමයේ මහාබෝධියේ අපිට ගන්න පුළුවන් ලියවිලිවල තියෙන්නේ නම් ඊට පටහැනි කරණු.... ඒත් චින්තන ධර්මදාස ගේ මොකක් දෝ සුවිශේෂී හැකියාවකින් හොයා ගන්න ඒ තොරතුරුවලට මට අභියෝග කරන්න බෑ... අපි අධ්‍යයනය කළ ලියකියවිලි නම් සිද්ධි අනුපිළිවෙලවල් වෙනස්...

සමාන්තර විශ්වවල සිද්ධි අනුපිළිවෙල වෙනස් වෙන්න පුළුවන් කියලා දැන ගත්තේ බටහිර චිත්‍රපටයකින්... ඇත්තට චින්තන ධර්මදාස සමාන්තර ලෝක තරණය කරගෙන යන ගවේෂකයෙක්වත් ද?

මෑත කාලීනව මගේ කුතුහලය ඇවිස්සූ චරිතවලින් එකක් විදිහට මේ චින්තන ධර්මදාස නම් විශේෂ පුද්ගලයා නම් කරන්න පුළුවන්....

                                - තමලු මලිත්ත පියදිගම

Debate of Panadura: Report පානදුරාවාදයේ වාර්තාව

Debate of Panadura was a crucial movement of the Buddhist revivalism. Unfortunately, the debate has not been studied in an academic context in past few decades. The debate is always mentioned as an important historical event , a victory of Buddhists but never was it mentioned as an important philosophical conversation between Buddhism and Modernism. This is because of the ignorance of academics who research into philosophical history as they simply tend to consider the whole debate as a trivial discussion happened in a small far-east island where the light of modern western science and philosophy had not paid a vist to at the time debate happened (1873). Textbooks of history reduces the consequences of the debate to the attraction of theosophists who were generally considered to be important roles of Buddhist revivalisms. The usual misunderstanding that it were theosophists the first to introduce western philosophy and science in an academic context in Sri Lanka prevents academics from taking the debate serious.

On the contrary , if we pay our attention to the original report of the debate we can understand that the debate is not only a debate between Buddhism and Christianity rather it is a debate between Eastern epistemological tradition and modern western philosophy and science. Need not to mention that the both parties involved in the debate had not systematically studied western philosophy and science and you cannot find a bulk of philosophical and scientific buzzwords here, but the most fundemental ideas which run the modern philosophy and science were strictly challenged in the deabate. To mention a few,
Aristotlean dialectic , causuality, deduction, the intolerance of action at a distance and Newtonian Mechanics.

The debate is full of rhetorics and humorous statements as common in every debate. The philosophical background underlying the debate is unimaginable comparing to the usual prejudices about Buddhist education. We can understand when we inspect into the report that the academic background of Buddhist scholars then was much better than the background of the participants of the academic discussions, university educated people, now in Sri Lanka.

1873 was yet the fruitful years of Newtonian Physics and yet Newtonian mechanics was not tought properly in Sri Lanka (As far as I know, it was not in academic curriculum that time.). Therefore it is a curious to know that Buddhists were able to present the books containing alternative western views to Newtonian Mechanics. I do not say at this movement they have properly studied Newtonian Mechanics or alternative views, but they knew such views were existed. It is a great forwardness because most of the educated Sri Lankan people in physics surely do not know even if any alternative views to Newtonian Mechanics exists.


                                 
  - Thamalu Maliththa Piyadigama 


To download:
The Great Debate Buddhism and Christianity - Face to Face

විද්‍යාත්මක ක්‍රමය හා සුරංගනා කතා

2017.07.02 ඉරිදා රිවිර.


බටහිර විද්‍යාව බොහෝ දේ මැනීමේ උරගලක් ලෙස භාවිත වේ. යම් දෙයක් වෙනත් අයට ඒත්තු ගැන්වීමට විද්‍යාත්මකයි, විද්‍යාඥයන් සොයා ගෙන ඇත වැනි යෙදුම් නිතර යෙදෙන අතර විවිධ දේ හෙළා දැකීමට අවිද්‍යාත්මක යන වචනය නිතර යෙදේ. බටහිර විද්‍යාවේ ආරම්භයේ සිට ම ලෝක් , බේකන් , ගැලීලියෝ, නිවුටන් වැනි අයට බටහිර විද්‍යාවට අනෙක් දැනුම්වලට නැති විශේෂත්වයක් තියෙනවා යැයි කීමට අවශ්‍ය විය. බේකන් ගේ අදහස වූයේ බටහිර විද්‍යාවට විශේෂ වූ 'විද්‍යාත්මක ක්‍රමයක්' ඇති බවයි. ඔහුට අනුව බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ විවිධ සිද්ධි ගණනාවක් නිරීක්ෂණය කර එය පොදු ප්‍රකාශනයක් ලෙස සියල්ලට ආදේශ කිරීමයි. මේ ක්‍රමය උද්ගමනය නම් වේ.

ගැලීලියෝ මේ අදහසට තරමක් විරුද්ධ විය. බටහිර විද්‍යාවට පරීක්ෂණ ගෙන ආවේ ඔහු ය. ඔහු පැවසුවේ, විද්‍යාවේ දී මුලින් කල්පිතයක් ඇති කරගෙන එය පරීක්ෂණවලින් සනාථ වේ දැයි සෙවීම සිදුවන බවයි. මෙය නිගාමී ක්‍රමය නම් වේ. ඔහු විද්‍යාත්මක ක්‍රමයට පියවර කීපයක් නම් කළේ ය. කල්පිතය , පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය ලෙස එම පියවර නම් කෙරිණි.

බොහෝ විට පාසල්වල විද්‍යාත්මක ක්‍රමය යනුවෙන් ඉගැන්වෙන්නේ මේ පියවරයන් පමණි. දොරක් විවෘත කිරීමට යතුරු කැරැල්ලෙන් අදාළ යතුර සෙවීම, ගොඩනැගිල්ලක විදුලි බුබුළුවලට අදාළ ස්විච සෙවීම යනා දී දේවල මේ පියවර පෙන්වමින් එම ක්‍රියාවල ද ඇත්තේ විද්‍යාත්මක ක්‍රමය යැයි විහිළු සැපයෙයි.

විද්‍යාත්මක ක්‍රමයක් ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ ම විද්‍යාව එවැනි දේවලින් හා වෙනත් දැනුම් පද්ධතිවලින් වෙන් කිරීම ය. විද්‍යාත්මක ක්‍රමයේ දී කතා කෙරෙන්නේ ඉහත පියවර ගැන නො ව විද්‍යාවේ දී ඉහත පියවරයන් අනුගමනය කරන්නේ 'කවර ආකාරයට ද' යන්නයි.

ප්‍රවාදයක සත්‍යතාව පරීක්ෂා කිරීමට ඒ ප්‍රවාදයෙන් ලබා ගත හැකි ප්‍රතිඵල සොයා ඒවා සත්‍ය දැයි තහවුරු කිරීම විද්‍යාවේ ක්‍රමය බවට මතයක් ඉදිරිපත් විය.

මේ මතයට පළමු අභියෝගය එල්ල වූයේ කාල් පොපර් නම් දාර්ශනිකයාගෙනි. කාල් පොපර් මෙවැනි උදාහරණයක් ලබා දෙයි. 'සියලු කපුටන් කළු පාට ය' යන වාක්‍යය සලකන්න. දැන් අපට අතීත , වර්තමාන , අනාගත සියලු කපුටන් දැකිය නො හැකි ය. අපට මුණ ගැසෙන කපුටන් දහසක් ම කළු පැහැ වුව ද, සමහර විටෙක මී ළඟ කපුටා සුදු පැහැ විය හැකි ය. එම නිසා කොතෙක් කපුටන් දුටුවත් ප්‍රකාශනය සත්‍ය බව කිව නො හැකි ය. එහෙත් එක් සුදු කපුටකු දුටු පමණින් පැහැදිලි ව ම ඉහත ප්‍රකාශය අසත්‍ය වී යයි. මෙයින් අපට පෙනෙන්නේ විද්‍යාත්මක ප්‍රවාදයක් සත්‍ය බව පෙන්වීම කළ නො හැකි වුව ද, අසත්‍ය බව පෙන්වීම කළ හැකි බව ය. පොපර්ගේ විද්‍යාත්මක ක්‍රමය ඔහු නම් කළේ නිගාමී අසත්‍යේක්ෂණය යනුවෙනි. එනම් විද්‍යාවේ කිසිවක් සත්‍ය බව පෙන්විය නො හැකි අතර කළ හැක්කේ අසත්‍ය බව පෙන්වීම පමණි. මෙබඳු විද්‍යාවකින් ඇති ඵලය කුමක් ද? පොපර් කීවේ අසත්‍ය දේ හැකි තරම් බැහැර කළ විට සත්‍ය ඉතිරි වනු ඇත යනුවෙනි.

විද්‍යාත්මක ක්‍රමයක අරමුණ විද්‍යා හා නො-විද්‍යා වෙන් කිරීම බව පෙර සඳහන් කළෙමි. පොපර් තමා ගේ ක්‍රමයට අනුව විද්‍යා හා නො-විද්‍යා වෙන් කළේ මෙසේ ය. යමක් අසත්‍ය බව ඔප්පු කිරීමට 'හැකියාවක්' ඇති නම් එය විද්‍යාවට අයත් වේ. පොපර්ට අනුව මාක්ස්වාදය , මනෝ විෂ්ලේෂණය හා ජෝතිෂ්‍යය විද්‍යා නො වේ. ඒවායේ පවතින කිසිවක් අසත්‍ය බව ඔප්පු කළ හැකි ක්‍රම සපයන්නේ නැත යන්න පොපර්ගේ අදහස විය.

දැන් සමහර ජීව විද්‍යඥයින් තර්ක කරනු ඇත්තේ සියලු කපුටන් කළු වැනි දෑ කියනුයේ එතරම් සරලව නො ව අතිවිශේෂ , දියුණු ක්‍රම මඟින් බව ය. මේ සඳහා අපට ඇසීමට ඇත්තේ ඒ ක්‍රම කවරේ ද යන්නයි. කවර ක්‍රමයක වුව ද මේ ප්‍රශ්නය පවතී. පොපර් මෙසේ දළ වාක්‍යයකින් නැවතුණේ ද නැත. ඔහු විස්තරාත්මකව මේ පිළිබඳ සාකච්චා කළේ ය. එනිසා එවන් තර්ක හාස්‍යජනක ය.

විද්‍යාවේ යමක් අසත්‍ය බව පෙන්වීම ද පොපර් කියූ තරම් පහසු නො වන බව විද්‍යා ඉතිහාසය පිළිබඳ නිබන්ධනයක් සකසමින් සිටි තෝමස් කූන් නම් දාර්ශනිකයාට වැටහිණි. ආලෝකය අංශුවක් බව පරීක්ෂණවලින් ප්‍රතික්ෂේප වුව ද, පසු කලෙක නැවත එය යම් වෙනසක් සහිතව පිළිගැනීමට ලක් විය. යුරේනස් ග්‍රහ ලෝකය නිරීක්ෂණය කළ පසු විද්‍යාඥයෝ එහි කක්ෂය ගණනය කළ හ. එහෙත් විද්‍යාඥයින් දුටුවේ තමන් ගණනය කළ කක්ෂය වැරදි බව ය. ගුරුත්වාකර්ෂණය අසත්‍ය බවට සැක ඇති වුවත් එය ඉවත් කළේ නැත. ඒ වෙනුවට අප නො දන්නා තවත් ග්‍රහලොවක බලපෑමක් තිබිය හැකි බව සිතා ගණනය කරන ලදී. නෙප්චූන් ග්‍රහලෝකය ගැන දැන ගත්තේ එසේ ය. එහෙත් තවමත් කක්ෂය ගැටළුකාරී විය. ප්ලූටෝ පිළිබඳ දැන ගත්තේ එසේ ය. බුධ ග්‍රහයාගේ කක්ෂය ද මෙසේ ම ගණනය කළ අගයන්ට විරුද්ධ විය. හිරු හා බුධ අතර තවත් ග්‍රහලෝකයක් ඇතැයි සිතුව ද, එවැන්නක් හමු වූයේ නැත. අයින්ස්ටයින් නිවුටන්ගේ භෞතික විද්‍යාවට විකල්පව තමාගේ භෞතික විද්‍යාව ගෙන එන තෙක් ම ගුරුත්වාකර්ෂණයට ප්‍රබල අභියෝග නො වී ය.

මින් පෙනෙන්නේ පොපර් පවසන තරම් පහසුවෙන් යමක් අසත්‍ය බව පෙන්වීමටවත් බටහිර විද්‍යාවට නො හැකි බවයි.

මුලින් සඳහන් කළ තෝමස් කූන් මේ බව පැහැදිලි කරමින් සුසමාදර්ශය (paradigm) යන අදහස ඉදිරිපත් කළේ ය. තෝමස් කූන්ට අනුවේ විද්‍යාවේ සාමාන්‍ය විද්‍යාව , විප්ලවකාරී විද්‍යාව ලෙස කාල දෙකක් පවතී. සාමාන්‍ය විද්‍යාව පවතින කාලයක දී විද්‍යාව යම් කිසි එක් කේන්ද්‍රීය ප්‍රවාදයක් (theory) මත ගොඩනැඟී පවතී.  සියල්ලේ සත්‍ය අසත්‍ය භාවය තීරණය කෙරෙන්නේ ඒ කේන්ද්‍රීය ප්‍රවාදයට ගැළපෙන්නේ ද යන්න මතයි. එම සම්පූර්ණ පද්ධතිය සුසමාදර්ශයක්‌ නම් වේ. විප්ලවකාරී කාලය යනු සුසමාදර්ශ වෙනස් වීමක් සිදුවන කාලයයි. එවිට කේන්ද්‍රීය ප්‍රවාදය ඇතුළු සියල්ල වෙනස් වේ. සුසමාදර්ශ දෙකක් වෙන් වන්නේ අසම්මේයතාව නම් ලක්ෂණයෙනි. අසම්මේයතාව යනු සුසමාදර්ශ දෙකක එක ම දේ විස්තර වන්නේ අහසට පොළොව මෙන් වෙනස්ව ය යන්නයි. කූන් ද විද්‍යා හා නො විද්‍යා වෙන් කළේ ය. ඔහුට අනුව සුසමාදර්ශ වෙනස් විය හැක්කේ විද්‍යාවේ පමණි. පසුව එන සුසමාදර්ශයට වැඩි ගැටළු සංඛ්‍යාවක් විසඳිය හැකි බවට කූන් අදහස් පළ කළේ ය.

ඉම්රි ලකටෝස් හා පෝල් ෆෙයරබාන්ඩ් අතර විවාදය මින්පසු අපට දක්නට ලැබෙන වැදගත් අවස්ථාවයි. ලකටෝස් වැඩසටහන් ක්‍රමය නමින් ක්‍රමයක් ඉදිරිපත් කළ අතර ෆෙයරබාන්ඩ් එය විවේචනය කළේ ය. ලකටෝස් කෙටි කලක දී මිය ගිය අතර ෆෙයරබාන්ඩ් තම අධ්‍යයන ඉදිරියට ගෙන ගියේ ය. Against Method කෘතියේ දී ෆෙයරබාන්ඩ් විද්‍යාත්මක ක්‍රමයක් සඳහා ඇති සියලු අදහස් විවේචනය කොට විද්‍යාවේ වැදගත් නිර්මාණ සිදු වී ඇත්තේ සියලු ක්‍රමවලට විරුද්ධව බව ඉතා සියුම්ව පෙන්වා දෙයි. විද්‍යාත්මක ක්‍රමයක් නැති බව පෙන්වාදුන් ෆෙයරබාන්ඩ්, විද්‍යා හා නො-විද්‍යා ලෙස වෙනසක් නොමැති බව ද සියලු දැනුම් පද්ධති එක සේ වැදගත් බව ද මිනිසුන් මත බටහිර විද්‍යාව අධිපතිවාදී ව ක්‍රියාත්මක නො විය යුතු බව ද පෙන්වා දුන්නේ ය. සාම්ප්‍රදායික දැනුම ඇතුළු සියලු දැනුම් සඳහා වර්ධනය වීමේ සම අවස්ථා දිය යුතු බව ද ඔහු පැවසී ය.

මෙහි දී බටහිර විද්‍යාවේ ස්වභවය උදෙසා තවත් වැදගත් අදහසක් ආචාර්ය නලින් ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇත. එනම් බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ යම් යම් දේ පැහැදිලි කිරීමට කතා ගෙතීමක් බවයි. මේ සඳහා බොහෝ විට ලැබෙන ප්‍රතිචාරයක් වන්නේ විද්‍යාවේ ඇත්තේ කතන්දර නම් ඒවා ලෝකයේ හොඳ ම කතන්දර බව ය. ඔවුන් කියන්නේ විද්‍යාවේ ප්‍රවාද මුල , මැද , අග ඉතා හොඳින් ගැලපී ඇති බව ය. එහෙත් මෙහි යම් හාස්‍යයක් වෙයි. නවකතා ඇතුළු කතා ගැන අධ්‍යයනය කළ ප්‍රකට ව්‍යුහවාදියකු වන ෆෝස්ටර් (නවකතා විචාරය ගැන උගන්නා සියල්ලන්ට ම පාහේ මුලින් ම මුණ ගැසෙන නමකි.) පවසන්නේ හොඳින් ම මුල මැද අග ගැළපුණු කතා වින්‍යාස (tight plots) ඇත්තේ සුරංගනා කතාවලට හා අභිරහස් කතාවලට බවයි.

ඇත්තෙන් ම මේ ගැන පුදුම විය යුතු නැත. ඩේකාට් නම් දාර්ශනිකයාගේ අනුගාමිකයකු වූ වොන් ලෙයිබ්නිට්ස් නම් ගණිතඥයා නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය ගැන කීවේ මෙවැන්නකි:

"සිහින ලෝකවල සිදුවන දෙය ශාස්ත්‍රීය ලෝකයේ ද සිදු වී ඇත. විද්වත් ප්‍රජාව තාත්වික දේ අතහැර සුරංගනා කතා විශ්වාස කිරීමට පෙළඹී ඇත."

                - තමලු මලිත්ත පියදිගම
                2017.07.02 ඉරිදා රිවිර.

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි