Showing posts with label කොවුර්ගේ අභියෝග. Show all posts
Showing posts with label කොවුර්ගේ අභියෝග. Show all posts

ජ්‍යෝතිෂ්‍ය හස්ත රේඛා ශාස්ත්‍රය හා සත්‍යය


සහේතු: අපි කොවුර්ගේ මීළඟ අභියෝගයට යමු. අනාගත සිද්ධියක් පුරෝකථනය කරන්න.

ප්‍රබෝධ: ඇත්තට ම ඕක එතරම් තේරුමක් ඇතුව කියපු කතාවක් නෙවෙයි. මම කියන්නම් හෙට උදේට ඉර පායනවා කියලා. ඒකත් පුරෝකථනයක් නේ. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ සිදුවන වෙලාවන් අපි පුරෝකථනය කරන්නේ. කාලගුණ අනාවැකි කියෙන්නේ.
සතුන්ගේ හැසිරීම් බලා චීනයේ භූමිකම්පා අනාවැකි කියනවා. ඒවත් සාර්ථක වුණ අවස්ථා තියෙනවා. පස් හා ජලය දෙස බලා අනාවැකි කීවා 1975 දී හයිචෙං භූමිකම්පාවෙ දි. ඒත් ඊට පස්සේ ඒ ක්‍රමය එතරම් සාර්ථක වුණේ නෑ. ජ්‍යෝතිෂ්‍ය , හස්ත ශාස්ත්‍ර විතරක් නෙවෙයි බටහිර විද්‍යාවේ අරමුණත් අනාවැකි කීමේ හැකියාව දියුණු කර ගැනීම ම තමයි.

සහේතු: අපි ඊළඟ අභියෝගයට යමු. මේක තමයි කොවුර්ගේ අවසාන අභියෝගය. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට හා හස්ත ශාස්ත්‍රඥයින්ටයි මේ අභියෝගය යොමු වෙන්නේ.
මම උපන් වේලාවන් හා උපන් ස්ථානයේ අක්ෂාංශ දේශාංශ සමඟ කේන්දර 10ක් දෙනවා (නැතිනම් අත්ලේ සටහන් 10ක් දෙනවා). ඔබ ඒවායින් 5%ක දෝෂ සීමාවක් තුළ පිරිමි ද ගැහැනු ද ඉපදිලා ද මැරිලා ද යන්න තෝරා දෙන්න ඕනෙ.

ප්‍රබෝධ: ඔයිට කලින් කොවුර් කියනවා ඕක අදාළ වෙන්නේ කාට ද කියලා. ඇයි ඒ කොටස හළන්නේ.

සහේතු: ආ. ඔව්...මේ අභියෝගයට කලින් කොවුර් කියනවා මේක අදාළ වෙන්නේ ජ්‍යෝතිෂ්‍ය‍ය හා හස්ත ශාස්ත්‍රය පූර්ණ විද්‍යාත්මකයි කියමින් , පහසුවෙන් රැවටෙන්නන් ‍රවටන ජ්‍යෝතිෂ්‍යවේදීන්ට හා හස්ත ශාස්ත්‍රඥයින්ට බව.

ප්‍රබෝධ: ඒ කියන්නේ ජ්‍යෝතිෂ්‍ය පූර්ණ විද්‍යාත්මක බව නො කියන අයට ඕක අදාළ නැද්ද?

සහේතු: අ.. අ.. මේකෙ තියෙන විදිහට නම්... එහෙම නෑ..

ප්‍රබෝධ: හේතුවාදීන් ජ්‍යෝතිෂ්‍යයට එරෙහිව කතා කරද්දී නිතර කියන දෙයක් තමයි කොවුර්ගේ අභියෝග 23 තාමත් එතන මයි කියන එක. දැන් අපි අභියෝගවල අගට ම ඇවිත්. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට අදාළ අභියෝග දෙකයි මේ 23හි තියෙන්නේ. 23 ම ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ ඇඟේ ගහන්නේ එක්කෝ හේතුවාදීන්ගේ වංචනික භාවය නිසා එහෙමත් නැතිනම් හේතුවාදී සංගමයේ අයවත් කොවුර්ගේ අභියෝග මොනවාද කියලා හරියට බලලා නෑ.
මේ අභියෝගයවත් සියලු ජ්‍යෝතිෂ්‍යවේදීන්ට අදාළ නෑ. ජ්‍යෝතිෂ්‍යය පූර්ණ විද්‍යාත්මකයි කියන අයට තමයි ඒක අදාළ වෙන්නේ.
මෙතන දී මට අහන්න තියෙන්නේ කොවුර් පූර්ණ විද්‍යාත්මකයි කියන්නේ මොනවට ද කියලා. බොහෝ දේ පූර්ණ විද්‍යා නො වෙන්න පුළුවන් ඔහොම ගත්තොත්.

සහේතු: මේ අභියෝගයේ කියන දේ ගැන ඔබට මොකක් ද කියන්න තියෙන්නේ?
ප්‍රබෝධ: මේකේ ගන්නේ මිනිස්සු දහයයි. හොඳට ම මදි  සංඛ්‍යානය අනුව. සාමාන්‍යයෙන් සංඛ්‍යානයේ දී අවම වශයෙන් 30ක්වත් සැලකිල්ලට ගන්න ඕනේ. ඒ මුල් ම වරද. ඊළඟ දේ 5%ක දෝෂ සීමාව. ගෑනු ද පිරිමි ද , මැරිල ද ඉන්නවා ද කියන ඒවා සන්තතික නෑනෙ. එක්කො මැරිලා නැත්නම් ඉන්නවා. 25%ක් මැරිලා වගේ දේ නෑනේ. ඒ වගේ තත්වයක දී 5% දෝෂ සීමාව ගන්න වෙන්නේ කේන්දර හෝ හස්ත සටහන් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් විදිහට.
දැන් කේන්දර හෝ හස්ත සටහන් දහයකින් 5%ක් කියන්නේ කේන්දර (හස්ත සටහන්) බාගයක්. ඒ කියන්නේ වරදින්න පුළුවන් කේන්දර බාගයයි. ඒත් කේන්දර (හස්ත සටහන් ) බාග නෑනේ. එතකොට එක කේන්දරයක්වත් (හස්ත සටහනක්වත්) වරදින්න බෑ. ඒ කියන්නේ ඔක්කොම හරියට කියන්න ඕනේ. 5%ක දෝෂ සීමාව තේරුමක් නැති විකාරයක්. කොවුර් අභියෝගය ඉදිරිපත් කරද්දී ඒ සංඛ්‍යාව ගැනවත් සැලකිලිමත් වෙලා නෑ. ඔහේ ඉලක්කම් නියම කරලා තියෙන්නේ. ඒ නිසා කොහොමත් අභියෝගය අශාස්ත්‍රීයයි.

සහේතු: ජ්‍යෝතිෂ්‍ය ගැන ඔබේ අදහස මොකක් ද?

ප්‍රබෝධ: මේ ප්‍රවේශයට ඔබ ආපු එක හොඳයි. හේතුවාදීන් වැඩිමනත් ම අභියෝග කරනවා දක්නට ලැබෙන්නේ ජ්‍යෝතිෂ්‍යයට. මුදල් සූරාකන වංචාකාරයන්ගෙන් මිනිසුන් ගලවා ගැනීමක් ලෙස ඔවුන් තමන්ගේ ව්‍යාපෘතිය හඳුන්වනවා. මෙතන දී එවන් දේ ජ්‍යෝතිෂ්‍යයේ වරදක් නෙවෙයි ජ්‍යෝතිෂ්‍ය නමින් පෙනී ඉන්නා ඇතැම් පුද්ගලයින්ගේ වරදක් ලෙස ප්‍රතිතර්කයක් ගේන්න පුළුවන්.  ඒත් හේතුවාදීන් එතැනින් එහාට යනවා.
ඔවුන් ඍජුව ම පවසනවා. සමස්ත ජ්‍යෝතිෂ්‍යය ම ප්‍රෝඩාවක් බව. ජ්‍යෝතිෂ්‍ය සියයට සියයක් මිථ්‍යාවක්. එනිසා සියලු ජ්‍යොතිෂ්‍යවේදීන් කරන්නේ බොරුවක් බව හේතුවාදීන් නිතර ම කියනවා. ඒත් හේතුවාදීන් විෂයක් විදිහට ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්න ඉදිරිපත් කරන තර්ක සියල්ල ම පුස් වෙඩිලි විතරයි.

සහේතු: ඒ කොහොම ද?

ප්‍රබෝධ: ඔබත් හේතුවාදියෙක්නේ. ඔය තර්ක එකින් එක කියන්න. මම උත්තර දෙන්නම්.

සහේතු: ජ්‍යෝතිෂ්‍යය පෘථිවි කේන්ද්‍රවාදය උඩ ගොඩ නැගුණු ශාස්ත්‍රයක්. අපි දැන් දන්නවා ඉර වටේ පොළොව යනවා මිස පොළොව වටේ ඉර යනවා නෙවෙයි කියලා ඔප්පු කරලා තියෙන්නේ. පදනම ම මිථ්‍යාවක් වෙද්දී ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් නෙවෙයි ද?

ප්‍රබෝධ: පුළුවන් නම් ඉර යන්නේ පොළොව වටේ නෙවෙයි පොළොව යන්නේ ඉර වටේ කියලා ඔප්පු කරපු විදිහ කියන්නකෝ.

සහේතු: අ.. කොපර්නිකස් පෙන්නුවා... අ.. දුරේක්ෂවලින් පෙන්වලා තියෙනවා.

ප්‍රබෝධ: කොපර්නිකස් , දුරේක්ෂ කියලා නිකම් වචනවලින් දමල ගහන්නේ නැතිව කවුරු හරි මොන උපකරණයෙන් හරි ඔප්පු කරපු ක්‍රමවේදය කියන්නකෝ.

සහේතු: (නිරුත්තරව සිටී.)

ප්‍රබෝධ: කවුරුවත් ඔහොම ඔප්පු කරලා නෑ. ඔප්පු කිරීම් කියලා ඉදිරිපත් වුණු ඒවා හතරක් විතර තියෙනවා. ඒ හැම එකක් ම අද තියෙන භෞතික විද්‍යා දැනුම අනුව සාවද්‍යයි. අයින්ස්ටයින් කියනවා නිරපේක්ෂ චලිතයක් නෑ. සියලු චලිතය සාපේක්ෂයි කියලා. එතකොට ඔය පොළොව ඉර වටේ යනවා කියන එකයි ඉර පොළොව වටේ යනවා කියන එකයි එක හා සමානව හරි. එක ම පිළිතුරු ලබා ගත හැකියි. ඒ දෙකෙන් එකකවත් අමුතු විශේෂත්වයක් නෑ. එතකොට පෘථිවි කේන්ද්‍රවාදය උඩ පදනම් වෙන නිසා ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් කියන්න බෑ.
අනික ජ්‍යෝතිෂ්‍යයේ ගණනය කිරීම් අයිති වෙන්නේ ප්‍රගති විද්‍යාව (kinematics) කියන කොටසට. අයින්ස්ටයින් විතරක් නෙවෙයි නිවුටන්ගේ භෞතික විද්‍යාව ගත්තත් ප්‍රගති විද්‍යාවේ ගණනය කිරීම් කුමකට සාපේක්ෂව සිදු කළත් නිවැරදියි. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇතුළේ ම පවා ජ්‍යෝතිෂ්‍යයේ මෙසේ ගණනය කිරීම් සිදු කිරීමේ වරදක් කියන්න බෑ.

සහේතු: ජ්‍යෝතිෂ්‍යවේදීන් චන්ද්‍රග්‍රහණ සූර්ය ග්‍රහණ ඇති වන විදිහවත් තේරුම් ගන්න බැරුව රාහු වගේ ග්‍රහයෝ ඉන්නවා කියලා හිතුවා. ග්‍රහලෝකවලට අමතරව උපකල්පිත ග්‍රහයෝ දෙන්නකුත් හිඳීමෙන් පේනවා ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් බව.

ප්‍රබෝධ: ජ්‍යෝතිෂ්‍යවේදීන් මේවා උපකල්පිත ග්‍රහයන් බව තේරුම් අරගෙනයි මෙහෙම සලකලා තියෙන්නේ. අනික් ග්‍රහයන් පූර්ණ ශරීරයකින් නිරූපණය වෙද්දී රාහු හා කේතු අර්ධ ශරීරවලින් නිරූපණය කරන්නේ. රාහුට හෝ කේතුට අධිපති වන ලග්නයක්වත් නැකැතක්වත් පනවලා නෑ. ඒ නිසා මේ උපකල්පිත ග්‍රහයින් පනවලා තියෙන්නේ කරන්නේ මොකක් ද හොඳට දැනගෙන බව පැහැදිලියි. ඒ නිසා ජ්‍යෝතිෂ්‍ය මේ මත මිථ්‍යාවක් කියන්න බෑ.

සහේතු: දැනගෙන කළත් ග්‍රහයෝ නො වෙන දේ ග්‍රහයින් ලෙස ගත්තු එක මිථ්‍යාවක්

ප්‍රබෝධ: එහෙනම් මං කලිනුත් කීවා වගේ ඊට වඩා මිථ්‍යාවක් වෙන්න ඕනේ විදුලි ඉංජිනේරු ශිල්පය. සන්නායකවල ධන ඉඳන් ඍණට යන දේවල් නොමැතිව ඒ පැත්තට යමක් යන බව ලකුණු කරමින් ඒක ගොඩනැඟෙන්නේ. අනික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිල්පය ගොඩනැඟෙන්නේ කුහර කියන උපකල්පිත සංකල්පය මඟින්. කුහර කියන්නේ අර්ධ සන්නායක ද්‍රව්‍යයක අත්කර ගත හැකි ශක්ති අගයන්වලින් කිසිදු  ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන නොමැති ශක්ති අගයක් උපකල්පිත ආරෝපණ වාහකයක් සේ නිරූපණය කිරීමක්.
ඔබ කියන කරුණ පිළිගත්තොත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව තරම් මිථ්‍යාවක් තවත් නෑ. මේකෙන් පේන්නේ උපකල්පිත සංකල්ප භාවිත කිරීමෙන් ප්‍රයෝජන ගත හැකි බව. ඒ නිසා රාහු කේතු යොදාගැනීම මත ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවක් කියන්න බෑ.

සහේතු: ඒත් ග්‍රහලෝක තාරකා තියෙන්නේ පෘථිවියට බොහෝ ඈතින්. ඒ නිසා ඒවායින් එන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය ආදී බල ඉතා කුඩයි.

ප්‍රබෝධ: ජ්‍යෝතිෂ්‍යයක පැවැත්ම සඳහා ග්‍රහ තරුවලින් පොළොවට බලපෑමක් තිබිය යුතු නැහැ. ජ්‍යෝතිෂ්‍යයක පැවැත්ම මම විග්‍රහ කරන්නේ මේ විදිහට. අපි දන්නවා ස්වභාවික ලෝකයේ චක්‍රීයතාවන් තියෙනවා. ග්‍රහ පද්ධතියේ චලනවලත් චක්‍රීයතා තියෙනවා. මිනිස් සමාජයේ හැසිරීමෙත් චක්‍රීයතා තියෙනවා. දැන් හිතන්න මිනිස් සමාජයේ චක්‍රයක් එක්ක ග්‍රහලෝකවල චක්‍රයක් සමපාත වුණා කියලා. එතකොට අපිට ඒ දෙක ගළපන්න පුළුවන්. ග්‍රහලෝකවල චලිතය ගැන තියෙන සූත්‍ර අනුව මිනිස් සමාජය ගැන දැන් අපිට අනාවැකි කියන්න පුළුවන්.
මම මේ නිශ්චිත ජ්‍යෝතිෂ්‍ය ප්‍රවර්ගයක් ගැන නෙවෙයි කියන්නේ. ඊට වඩා සමස්තයක් ලෙස සම්පූර්ණ ශාස්ත්‍රය ගැනයි මම කතා කරන්නේ. ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවක් කියන්න අපිට නො හැකියි.

සහේතු: අපි ග්‍රහතරු දකින්නේ එවෙලේ ම නෙවෙයි. ආලෝකය අප වෙත එන්න යම් කාලයක් යනවා. ඒ කාලය තුළ ඒ තත්වය වෙනස් වී තියෙයි. එතකොට ජ්‍යෝතිෂ්‍ය වැරදියි නේ ද?

ප්‍රබෝධ: ඔය ඔබ ආයෙත් බලපෑමක් එන කතාවේ සිරවෙනවානෙ. මම කියන දේට බලපාන්නේ අපිට පේන අහස මිසක් 'දැන් ඇත්තට ම තියෙන' ග්‍රහ තරු නෙවෙයි.
ජ්‍යොතිෂ්‍ය ග්‍රහතරුවල බලපෑමෙන් බිහි වෙනවා කියලා හුදු තර්කය සඳහා ගමු. ඒත් භෞතික විද්‍යාව අනුව ම අපිට ඒ තරුවල ඉඳලා බලපෑමක් එන්නත් ආලෝකයට වගේ ම කාලයක් ගත වෙනවා. එතකොටත් ජ්‍යොතිෂ්‍යයේ දී 'දැන් ඇත්තට ම තියෙන' ග්‍රහ තරු නැතුව අපට පෙනෙන ග්‍රහ තරු සැලකීම ඉතාම නිවැරදියි.

සහේතු: හස්ත විද්‍යාව ගැන ඔබේ මතය කුමක් ද?

ප්‍රබෝධ: අපේ අත්ල සටහන් කියන්නේ අපේ ජාන එකතුවට , ගෙනෝමයට ඍජුව සම්බන්ධ දෙයක්. ගෙනෝමයෙන් පුද්ගලයකු ගැන අනාවැකි කිව හැකි බව කියන්නේ බටහිර විද්‍යාඥයින් මයි. ඉතින් ගෙනෝමයට ඍජුව සම්බන්ධ අත්ල සටහන් මඟින් පුද්ගලයින් ගැන අනාවැකි කීමේ හැකියාව මිථ්‍යාවක් කියන්නේ කොහොම ද?

සහේතු: බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කරලා 'කිං කරිස්සන්ති තාරකා' , තාරකාවෝ කුමක් කරන්න ද කියලා ඇහුවා නේ ද?

ප්‍රබෝධ: ඕක එන්නේ නක්ඛත්ත ජාතකයේ. ගොඩක් අය ඕක වැරදියට අර්ථකථනය කරනවා. නක්ඛත්ත ජාතකය කියෙව්වා නම් ඔය ප්‍රශ්නය විසඳෙනවා. ජාතකයේ තියෙන්නේ කෝපයට පත් වීම නිසා හිතා මතා බොරු අනාවැකි කීමක් නිසා වූ ගැටලුවක්. ඔය පාඨය ජාතකයේ පරිවර්තනය කරලා තියෙන්නේ මෙහෙම: "අර්ථයට අභිෂ්ටාර්ථප්‍රතිලාභය ම නක්‍ෂත්‍ර නම් තාරකා රූපයෝ කවර නම් අර්ථයක් සාදද්දැයි කීසේක." මේකෙන් කියන්නේ යමක් කිරීමෙන් සිදුවන වාසිය හෝ පාඩුව නිශ්චිතව ම දන්නා විටෙක නක්ෂත්‍රය ගැන සලකා බැලීමෙන් තේරුමක් නැති බව. හෙට කසාද බඳින්න තියාගෙන ඔක්කොම සූදානම් කරලා හැමෝට ම කියලා අද කලබල වෙලා නැකැත් බලලා තේරුමක් නෑ. දවස හොඳ නැත්නම් විවාහය කල් දානවා ද? හෙට තියෙන විවාහය අද නැවැත්වීමේ අපකීර්තිය ගැන අපි නිශ්චිතව දන්නවානෙ. එහෙම එකක් වුණොත් ආයේ ඒ විවාහය සිදු වෙන එකකුත් නෑ. ජාතක කතාවේ තියෙන්නේ එහෙම සිද්ධියක්.
ධෝවන සූත්‍රයේ බුදුන් වහන්සේ කියනවා තමන් වහන්සේ නැකැත් නො පවතින්නේ යැයි නො කියන බව.

සහේතු: බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය තිරශ්චීන විද්‍යාවක් බව කීවා නේ ද?

ප්‍රබෝධ: ඒ තිරශ්චීන විද්‍යා ලැයිස්තුව දිගට බලාගෙන යන්න. සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇති වන දින වකවානු පැවසීම වගේ තාරකා විද්‍යාත්මක දේවල්, භෞතික විද්‍යාව, සත්ත්ව විද්‍යාව වගේ දේත් තියෙනවා. ශල්‍යකර්ම කිරීමත් තියෙනවා. දැන් බුදුන් වහන්සේ ඕවා නො කරන්න කියල ද කියන්නේ. නෑ. සූත්‍රවල කොටස් හළලා අර්ථ නිරූපණය කරන්න එපා. බුදුන් වහන්සේ කියනවා තිරශ්චීන විද්‍යාව වෙන්නේ ගිහියන් විසින් සැදැහෙන් දෙන දානය සිවුපසය පරිභෝජනය කරමින් ඔය දේවලින් මුදල් ඉපැයීම කියලා. මේවා දක්වලා තියෙන්නේ පැවිද්දන්ගේ අධිශීලයේ කොටසක් විදිහට.

සහේතු: අපට ලැබී තිබෙන කාල වේලාව අවසන් වෙමින් යනවා. 'මිථ්‍යාව විනිවිද' වැඩසටහනෙන් අද අපිත් සමඟ සාකච්චාවට එකතු වුණේ මානව විද්‍යාඥ ප්‍රබෝධ එරන්දක මහතා. අද අපි කතා කළේ කොවුර්ගේ අභියෝග විසිතුනේ අශාස්ත්‍රීයභාවය පිළිබඳව. ස්තූතියි ප්‍රබෝධ මහත්මයා.
එසේ නම් අලුත් සතියක දී හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. මම සහේතු.

සටහන:
චන්දන රණසිංහ මහතා පසුගිය සතියේ එවා තිබූ පිළිතුරෙන් පෙනෙන්නේ ඒ මහතා විද්‍යාත්මක ක්‍රම ගැන කියවා අධ්‍යයනය කිරීමට යොමු වී ඇති බවයි. මේ ලිපිවල එක් අරමුණක් වූයේ ද එවන් පෙළඹවීමක් ඇති කිරීම ය. මෙය සතුටට කරුණකි. හේතුවාදීන්ට අවාසි වීම නොසලකා හැර අද ලෝකය පිළිගන්නා කූන්ගේ මතවාද අනුව විග්‍රහයන් කරන ලෙස මට කියන ලද චන්දන මහතා ඔහුගේ ලිපියේ දී කූන් කරුණුමය හරයක් රහිත කුඩා ඡේදයකට ලඝු කොට පොපර්ගේ දර්ශනය ම විස්තරාත්මකව දැක්වීම උත්ප්‍රාසවත් ය. චන්දන මහතා ලියූ දැයින් මගේ ලිපිවලට යම් ඇගයීමක් මෙන් ම ඒ ලිපි තහවුරු කිරීමක් ද සිදුවී ඇත. විවේචකයන් අතින් සිදුවන තහවුරු කිරීම් ඉතා වැදගත් ය. චන්දන මහතාගේ මෙවර ලිපියේ කරුණු සියල්ලට ම ද 2017 අගෝස්තු 12 දින මගේ ලිපියෙන් ම පිළිතුරු දී ඇති බැවින් එය නැවත පෙරළා බලන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. ලබන සතියේ මේ ලිපි පෙළ සම්බන්ධ සමාලෝචනයක් පළ කෙරෙන අතර එහි දී චන්දන රණසිංහ මහතාගේ පිළිතුර ගැන ද අවධානයක් යොමු කරමි.

හැම ගුප්ත දේට ම වඩා ගුප්ත දේ පිරුණු බටහිර විද්‍යාව

2017  සැප්තැම්බර් 02 ඉරිදා රිවිර
සහේතු: අපි කොවුර්ගේ ඊළඟ අභියෝගයට යමු. වසා ඇති මුදල් නෝට්ටුවක කේත අංකය කියන්න.

ප්‍රබෝධ: තව තියෙනවා ඔහොම අභියෝගයක්

සහේතු: ඔව්. සැඟවූ වස්තුවක් හඳුනාගන්න.

ප්‍රබෝධ: කීප සැරයක් ම කීවා වගේ කොවුර් එක හා ඉතා ආසන්න අභියෝග වෙන වෙන ම ඉදිරිපත් කිරීමෙන් අභියෝග සංඛ්‍යාව පුම්බලා පෙන්නලා තියෙනවා. තව අභියෝගයක් තියෙනවා කුටියක සිර කිරීම ගැන ඒකට උත්තරයත් මේ එක්ක ම දෙන්නම්

සහේතු: ඔව් අගුළු ලූ සිරකුටියකින් මිදී පලා ගොස් පෙන්වන්න.

ප්‍රබෝධ: මම මේ ගැන ආකාර කිහිපයකට පිළිතුරු දෙන්න කැමතියි. මම කියන්නේ මේවා සිදු කිරීමේ හැකියාව ප්‍රතික්ෂේප කරන්න තරම් සාධක නැති බව. නැතුව මේවා කරන්නේ මේ විදිහට මයි කියලා මම කියන්නේ නෑ.

සහේතු: ඔබේ පළමු පිළිතුර කුමක් ද?

ප්‍රබෝධ: මුලින් ම මම කතා කරන්නම් හතරවෙනි අවකාශ මානය කියන අදහස ගැන. අපි දන්නවා අපිට පෙනෙන ලෝකයේ අවකාශ මාන තුනයි තියෙන්නේ. දිග , පළල , උස. මේවා එකකට එකක් ඍජුකෝණීයි. සමහරු කාලය තවත් මානයක් විදිහට අරගන්නවා. මේ කියන්න යන කතාවෙන් කියැවෙන්නේ මේ මානවලට අමතරව තවත් මාන තියෙන්න පුළුවන් කියන එක. මේක බොහෝ කතා වුණ අදහසක්. කඩදාසියක් ද්විමානයි කියන්න පුළුවන් (ආසන්නව). දැන් කඩදාසිය උඩ රවුමක් අඳින්න. දැන් කඩදාසිය ඔස්සේ ම ගියොත් මුලින් රවුමෙන් එළියේ හිටියොත් ‍රවුමේ දාරය පහු නො කර ඇතුළට යන්න බෑ. ඇතුළේ හිටියොත් එළියට යන්න බෑ. ඒත් කඩදාසියෙන් ඉහළ ත්‍රිමාණයට ආවොත් රවුමේ ඇතුළ පිට දෙක ම එකවර පේනවා.ඇතුළෙන් එළියට , එළියෙන් ඇතුළට යන්න පුළුවන් රවුමේ දාරයේ ගැටෙන්නේ නැතුව. ත්‍රිමාණය මඟින් ද්විමානයේ මායිම් නොසලකා ගියා වගේ ඔය විදිහට ම ත්‍රිමාණයට අමතර තවත් මානයක් තිබුණොත් ඒ මානය භාවිත කරලා බිත්තරයක ඇතුළ බලන්න පුළුවන්, ශරීරය විවර නො කර ශල්‍ය කර්ම කරන්න පුළුවන් වගේ කතා කියනවා. මේවා ගැන ගොඩක් ලියපු කෙනෙක් ආතර් සී. ක්ලාක්. හේතුවාදීන් බොහෝ දෙනෙක් ඔහු සමඟ ගත් ඡායාරූප ප්‍රචාරය කිරීමටත් උනන්දුවක් දක්වනවා. ආතර් සී. ක්ලාක්ගේ පළමුවෙනි රූපවාහිනි වැඩසටහනත් අධිගණය ගැන (මාන හතරක් ඇති ඝනය). තන්තුවාදයෙත් මෙවැනි වෙනත් මාන ගැන කියැවෙනවා.
වෙනත් මාන දකින්න පුළුවන් කෙනෙකුට මුදල් නෝට්ටුව හා සැඟවුණු භාණ්ඩය සොයා ගැනීම එමඟින් කළ හැකියි. අගුළු දැමූ කාමරයෙනුත් එලෙස නිදහස් වෙන්න පුළුවන්, නව මානයන් පාලනය කිරීමේ හැකියාවක් ලබා ගත්තොත්. අනික ඒ වගේ වෙනත් මානවල ඉන්න ජීවීන් (එහෙම ඉන්නවා නම්) එක්ක ගනුදෙනු කළ හැකි මානසික ශක්තියක් තිබුණත් මුදල් නෝට්ටුවේ අංකය, සැඟවුණු වස්තුව හඳුනාගන්න පුළුවන්.

සහේතු: අනෙක් තර්කත් කෙටියෙන් සඳහන් කරමු.

ප්‍රබෝධ: මම කීවා පරමාණුවල ඉතා වැඩි කොටස හිස් අවකාශ කියලා. පදාර්ථය තියෙන්නේ අතිශයින් කුඩා ප්‍රමාණයක්. අපි මේ දැඩියි කියා හිතන් ඉන්න දේවල්වල එහෙම් පිටින් ම වගේ තියෙන්නේ හිස් තැන්. ඉතින් නිසි පරිදි පරමාණු සකසා ගත්තොත් ඔය හිඩැස් අතරින් රිංගලා යන්න පුළුවන්. හරියට කාඩ් අතර හිඩැස් තියෙන විදිහට සකසපු කාඩ් කුට්ටම් දෙකක් ගත්තොත් අපිට එකක් අනික තුළින් යවන්න පුළුවන්. මේ විදිහට සිර කළ කුටියකින් ගැළවී යෑමේ හැකියාව අපිට බැහැර කරන්න බෑ.
ඊළඟ දේ තමයි මුදල් නෝට්ටුව ප්‍රශ්නය සාකච්ඡා වෙද්දී අපි එක දර්ශනයක් උඩ විතරක් රැඳෙන්න බෑ. ගුප්ත විද්‍යා මේ මේ දර්ශනය මත ම විග්‍රහ කළ යුතුයි කියලා නියම කරන්න බෑ. දැන් ඉන්ද්‍රියානුභූතවාදය කියන දර්ශනවාදය අනුව නිරීක්ෂණය නො කරන විට යමක් පවතින්නේ නෑ. මේ අදහස ක්වොන්ටම් භෞතිකයේ දී තීරණාත්මක ලෙස වැදගත් වෙනවා.
උදාහරණයක් විදිහට ෂ්‍රෝඩිංගර්ගේ බළලා ප්‍රශ්නයේ එක විවරණයක කියැවෙනවා නිරීක්ෂණය නො කරන විට පෙට්ටියක් තුළ සිටින බළලා මැරී මෙන් ම ජීවත් වෙමින් සිටින බව. නිරීක්ෂණය කරද්දියි ඉන් එකක් නිර්ණය වෙන්නේ.
හියු එවරිට් කියන විද්‍යාඥයාගේ තවත් විවරණයක් අනුව මැරුණු බළලෙකුයි ජීවිත් වෙන බළලෙකුයි ඉන්න සමාන්තර ලෝක දෙකක් එකට පැටලිලයි තියෙන්නේ. අපි නිරීක්ෂණය කිරීමේ දී ඉන් එක ලෝකයකට ඇතුළු වෙනවා.
දැන් මේක මුදල් නෝට්ටුවට යෙදුවොත් කොහොම ද? මුදල් නෝට්ටුව වසා තිබෙද්දී ඊට නිශ්චිත අංකයක් නෑ. අංක ඔක්කොම මිශ්‍රව තියෙනවා. නිරීක්ෂණය කරද්දියි අංකය හටගන්නේ.
එහෙම නැත්නම් අනිත් විවරණය අනුව සියලු අංක තියෙන මුදල් නෝට්ටු සමාන්තර ලෝක ගණනාවක කවර ඇතුළේ තියෙනවා. මේ ඔක්කොම එකට පැටලිලා තියෙන්නේ. දැන් කවරය විවෘත කරලා නිරීක්ෂණය කරද්දියි ඒකෙන් එක ලෝකෙකට ඇතුළු වෙලා
නිශ්චිත අංකයක් ලැබෙන්නේ.
දැන් වසා ඇති විට මුදල් නෝට්ටුවට කේත අංකයක් නෑ කියලා හරි කේත අංක ගණනාවක් තියෙනවා කියලා හරි කීවොත් මොක ද වෙන්නේ. ඒ උත්තරය අභියෝග කරන්න හේතුවාදයට කිසි ම ශක්තිමත් තර්කයක් නෑ. හේතුවාදීන්ට තියෙන්නේ තමා ඇතුළු කළ මුදල් නෝට්ටුව ම ඒ තුළ එලෙස ම තිබෙනවා, ඒක අපෙන් ස්වායත්ත යථාර්ථයක් කියලා හුදු විශ්වාස කිරීමක් පමණයි.
ඔය විශ්වාසය අපිට බොහෝ තැන්වල දී ගැටලු ඇති නො කළාට ක්වොන්ටම් භෞතිකයේ දී තීරණාත්මක ගැටලු ඇති කරනවා. හැකිනම් මේ ක්වොන්ටම් භෞතිකයට සාර්ථක හේතුවාදී විවරණයක් මුලින් ලබා දීලා එන්න. මේවා ගුප්තයි වගේ පේන්න පුළුවන්. ඒත් අනෙක් හැම ගුප්ත දේට ම වඩා ගුප්ත දේවල් බටහිර විද්‍යාවේ තිබෙන බව අමතක කරන්න එපා.

සහේතු: ඊළඟ අභියෝගය ශරීරය එක තැනක තබා තවත් තැනකින් පෙනී සිටින්න.

ප්‍රබෝධ: මේක කරන්න පුළුවන් යම් සීමාවක් තුළ. චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ කතා වස්තුව බලන්න. ශරීර කිහිපයක් මවා ගත්තත් ඒවා ක්‍රියාකරවිය හැක්කේ එකකට පසු එකක්. බුදු වරයකුට පමණයි අනෙක් අයට පරතරය නො දැනෙන තරම් වේගයෙන් ශරීර කිහිපයක් ක්‍රියාත්මක කළ හැක්කේ. අනික මෙය පුදුමයක් නෙවෙයි. චිත්ත සංඥාවලින් වැඩ කරන රොබෝවන් නිපදවලා තියෙනවා. එයත් ශරීරය එක් තැනක තිබිය දී වෙනත් තැනක දෘශ්‍යමාන වීමක්. ද්‍රව්‍යමය නොවන මාධ්‍ය ඔස්සේත් මෙවැනි දේ කළ හැකියි.
තවත් හොඳ ම උදාහරණයක් පුනර්භවය. පුනර්භවයේ දීත් එක් තැනක සිරුර අතහැර වෙනත් තැනක ඉපදීම සිදුවෙනවා.

සහේතු: ඊළඟ අභියෝගය සැත්කමකින් කපා වෙන් කළ අවයවයක් අඟලකට වඩා දිගු කොට පෙන්වන්න.

ප්‍රබෝධ: ශල්‍යකර්මයකින් කපා වෙන් කළ අතක් කියන්නේ පූර්ණ ස්වාභාවික දෙයක් නෙවෙයි. මෙවන් දේවලින් අභියෝග කිරීමේ තේරුමක් නෑ. අනෙක ශරීරයේ බොහෝ අංග මෙහෙම වර්ධනය වෙනවා. එනිසා අපිට එවැන්නක් පෙන්වුවත් එමඟින් නිගමනයක් ගැනීමට බැහැ.

සහේතු: මීළඟ අභියෝගය කකුළේ දිය පට්ටා ඇති නො වී මිනිත්තු බාගයක් ගල් අඟුරු මත කකුළ නිසලව තබාගෙන සිටින්න.

ප්‍රබෝධ: දැන් කවුරුවත් ඔහොම මිනිත්තු බාගයක් ම පුළුවන් කියනවා ද? ඔය ගිනි පෑගීම ගැන කොවුර්ගේ අභියෝගය වගේ ම හේතුවාදී සංගමය කළ පරීක්ෂණත් තියෙනවා. මම මෙතනදී කතා කරන්නේ කොවුර්ගේ අභියෝගය ගැන. අනික් ඒවා ගැන කතා කිරීම අපේ මූලික මාතෘකාවට අදාළ නෑ. මේ අභියෝගය පැහැදිලි ව ම තේරුමක් නෑ. ගිනි පෑගීම සඳහා දෙවියන්ගේ බලය ලැබෙන බව කීවිට ඊට අදාළ ක්‍රම වේදයෙන් බැහැරට ගිහින් මිනිත්තු බාගයක් කකුළ නිසලව තබා ගෙන ඉන්න කියන එක නිවැරදි අභියෝග කිරීමක් නෙවෙයි. අපි බලන්න ඕනේ අනෙක් අයට වඩා දෙවියන්ගෙන් උදව්වක් තියෙනවා ද කියන එක.

සහේතු: මීළඟ අභියෝගය චිත්ත බලයෙන් වස්තු චලනය කර හෝ නැවීමට ලක් කොට හෝ පෙන්වන්න.
ප්‍රබෝධ: මුල් ම දේ චලිතය කියන්නේ ම අපි මනසින් අත්දකින දෙයක්. කුඩා කාලයේ වාහනයක යද්දී ගස් පිටිපස්සට දුවනවා අපි දැකලා තියෙනවා. පාසල්වල දී අපි ඉගෙන ගන්නවා එසේ පෙනීම ස්වභාවිකයි. අපට පේන්නේ අපට සාපේක්ෂ චලිතය කියලා. හැබෑ ප්‍රශ්නය ඕක නෙවෙයි. හැබෑ ප්‍රශ්නය එහෙනම් ඇයි වයසින් වැඩෙද්දී ඕක පේන එක නවතින්නේ කියන එක. චලිතයන් මනසින් තීරණය වෙන බව මින් පේනවා.
අනික් දේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සඟල සිදුරු පරීක්ෂණය කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒකේ පෙනෙනවා අපි ඉලෙක්ට්‍රෝන ගමන් කරන සිදුර සොයන්න උත්සාහ කරන විටයි එසේ නොවන විටයි ඉලෙක්ට්‍රෝන හැසිරිලා තියෙන්නේ සහමුලින් ම වෙනස් විදිහට බව. මෙහි තවත් ආකාර කිහිපයක් තියෙනව. මේවායින් කියැවෙන්නේ අපේ මනස මඟින් ක්වොන්ටම් අංශුවල හැසිරීම වෙනස් කළ හැකි බව. ඉතින් දියුණු කළ මනසකින් මහේක්ෂ අංශුවලටත් ඒවැනි  කරන්න බැහැයි කියන්න තියෙන තර්කය මොකක් ද?

ලබන සතියට: ජ්‍යෝතිෂ්‍ය හා හස්තශාස්ත්‍රය

                         - තමලු මලිත්ත පියදිගම 

ගුප්ත වූ බටහිර විද්‍යාවෙන් ගුප්ත විද්‍යාවන්ට බැට දීම




මේ ලිපි පෙළ සඳහා පළවන විවේචන ලිපිවලට පිළිතුරු දීමට යාමෙන් ලිපි පෙළේ අඛණ්ඩතාවයට බාධා වන බැවින් තීරණාත්මක තර්කයක් ඇති ලිපියක් සඳහා හැරුණු කොට අනෙක් ලිපි සඳහා පිළිතුරු දීම මේ ලිපි පෙළ අවසානයේ දී සිදු කිරීමට අදහස් කරමි. මෙතැන් සිට සහේතු හා ප්‍රබෝධගේ සාකච්චාව නැවතත් ....

සහේතු: ඔබට හිතෙන්නේ නැති ද ඔප්පු කිරීමක් නැති දේවල් තියෙන ගුප්ත විද්‍යාවන් මිථ්‍යාවක් කියලා. නූතන විද්‍යාව නම් ගොඩනැඟෙන්නේ පරීක්ෂණ මඟින් ඔප්පු කළ දේ මත.

ප්‍රබෝධ: ඔය කතාව ඔබ කියන්නේ බටහිර විද්‍යාව ගැන නිසි අධ්‍යයනයක් නො කර. බටහිර විද්‍යාව පුරා ම අවකාශකාලය, ඉලෙක්ට්‍රෝන , හයිඩ්‍රජන් බන්ධන වගේ හරිහමන් පැහැදිලි කිරීමක් නැති දේවල් තියෙනවා. නිරපේක්ෂ අවස්ථිති රාමුව , ගුරුත්වාකර්ෂණය වගේ අතාර්කික පට්ටපල් බොරුත් තියෙනවා. බටහිර විද්‍යාවේ මූලික පදනමට ගිහින් බැලුවොත් ඒකත් ගුප්තයි. මෙතන තියෙන්නේ එක ගුප්ත විද්‍යාවක් (බටහිර විද්‍යාව) අධිපති බලය ලබාගෙන අනෙක් ඒවාට එරෙහිව ආධිපත්‍යය පතුරුවනවා වගේ දෙයක්.

සහේතු: ඒත් ඒ සංකල්ප මත කොච්චර නිර්මාණ බිහි වෙලා තියෙනවා ද? ඒවා බොරු ද? අපි මේ කතා කරන රූපවාහිනි තාක්ෂණයෙන් ම පේනවා මේවා නිවැරදි බව.

ප්‍රබෝධ: ඕක බොළඳ තර්කයක්. දැන් බලන්න සන්නායකවල විද්‍යුත් ධාරා (electric current) ගලන්නේ ඉලෙක්ට්‍රෝන මඟින් කියා කියනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඍණ ඉඳලා ධනට. ඒත් අපි විද්‍යුතය ගැන හදාරද්දී ධාරාව ධන ඉඳලා ඍණට ගලන දෙයක් විදිහට ගන්නවා. ඒ අතට ගලන දෙයක් සන්නායකයක නෑ. ඒත් ඉතින් විදුලි ඉංජිනේරුවෝ හදන උපකරණ හොඳින් වැඩකරනවා. ඒකෙන් කියැවෙන්නේ ධන ඉඳලා ඍණට ගලන දෙයක් තියෙන බව ද? නෑ. මේකෙන් පේන්නේ මොන විදිහට සැලකුවත් ඒකෙන් ප්‍රතිඵලයට බලපෑමක් නැති බව. ඒ නිසා සාවද්‍ය උපකල්පනවලින් පවා ක්‍රියාකාරී තාක්ෂණයක් ගොඩනඟන්න පුළුවන්.

සහේතු: දැන් අපි කොවුර්ගේ ඊළඟ අභියෝගය ගමු. හිස් අවකාශයෙන් මා කියන වස්තුවක් මවා පෙන්වන්න.

ප්‍රබෝධ: මෙතන දී තියෙන එක අඩුපාඩුවක් 'මා කියන වස්තුවක්' යන්නට මේක ලඝු කිරීම. එතකොට ඉතා සංකීර්ණ වස්තු ලබා දී ගැලවී යාමේ අවස්ථාව හේතුවාදීන් අත තබා ගැනීමක් සිදුවෙලා තියෙනවා. කොවුර් ඔය හිස් අවකාශයෙන් වස්තු මවන්න බෑ කියන්නේ ස්කන්ධ සංස්ථිති නියමය සලකලා. ඒත් ස්කන්ධ සංස්ථිති නියමය දැන් බිඳ වැටිලා ඉවරයි. ශක්තිය හා ස්කන්ධය එකිනෙකට පරිවර්තනය කළ හැකි බව අද වන විට අපි දන්නවා. හිස් අවකාශයක තියෙන ශක්තිය අපට අවශ්‍ය ලෙස ද්‍රව්‍ය බවට   හැරවිය හැකි ක්‍රමයක් හොයාගත්තොත් අපිට ශක්තිය ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකියි. අනික් දේ . අමතක කරන්න එපා පරමාණුවක ඉතා විශාල කොටසක් හිස් අවකාශය. ද්‍රව්‍ය තියෙන ප්‍රමාණය ඉතා නො ගිණිය හැකියි. ඒත් අපට මේස පුටු වගේ දේ පේන්නේ හිඩැසක් නැතිව සන්තතිකව (continuous) තියෙන දේ විදිහට. මේසයක තිබෙන ද්‍රව්‍ය ප්‍රමාණය කැටි කරලා ගත්තොත් අල්පෙනිති තුඩක් පමණ ඇති. ඒත් අපිට විශාල අවකාශයක් මේසයක් විදිහට පේනවා. ඒ නිසා හිස් අවකාශයෙන් වස්තු මවා ගැනීම අපි හැමෝ ම කරන දෙයක්. දැන් විද්‍යාව ද්‍රව්‍ය කියන දේවලත් කොතරම් හිස් අවකාශ තියෙනවා ද කියලා කියන්න පුළුවන් කාට ද? සිත දියුණු කළ කෙනෙක්ට එය තමාගේ කැමැත්ත මත හැසිරවිය හැකි විය යුතුයි.

සහේතු: ඔබ කියන්නේ කළ හැකියි කියලා විතරනෙ.

ප්‍රබෝධ: කළු කුහර වගේ දේ ගැන බටහිර විද්‍යාවේ අවසානයේ කියන්නෙත් එපමණයි. කවුරුවත් දැකලා නෑ. ඇතැම් නිරීක්ෂණය කළු කුහරවලට අදාළ විය හැකියි කියලා කියනවා විතරයි. ඒත් කළු කුහර වැනි දෑ ඔබ බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට යට වී පිළිගන්නවා.

සහේතු: බටහිර විද්‍යාවේ උපකල්පන කරලා කරන ගණනය කිරීම් සත්‍ය වෙනවා. ගුප්ත විද්‍යා හැකියාවන් උපකල්පනය කරලාවත් වැඩක් ගත් කෙනෙක් ඉන්නවා ද?

ප්‍රබෝධ: ඕකට නම් මට උදාහරණයක් දෙන්න පුළුවන්. අයින්ස්ටයින් ගේ කුළුණේ චිත්ත පරීක්ෂණය (Einstein's Tower) එහෙම එකක්.

සහේතු: ටිකක් විස්තර කරන්න බැරි ද?
ප්‍රබෝධ: කුළුණක ඉහළ සිට වස්තුවක් අතහරිනවා. එය පොළොවට පතිත වෙද්දී මායාකරුවකු තම මායා බලයෙන් එම වස්තුව එම ශක්තියෙන් ම යුතු ෆෝටෝනයක් (ආලෝක අංශුවක්) බවට පත් කරලා නැවත ඉහළට යවනවා. කුළුණ මුදුණේ දී මායාකරුවා මේ ආලෝකය නැවත වස්තුවක් බවට පත් කරනවා.

සහේතු: මොකක් ද අයින්ස්ටයින් ඒකෙන් කියන්නේ.

ප්‍රබෝධ: වස්තුවක් පහළට වැටෙද්දී වේගය වැඩිවනවා. එතකොට පොළොවට වැටෙද්දී අමතර ශක්තියක් වස්තුවට එකතු වෙනවා. ඊට පස්සේ ඒක ෆෝටෝනයක් කරද්දී මේ මුළු ශක්තිය ම ෆෝටෝනයට ලැබෙනවා. ෆෝටෝනය ඉහළට ගිය විට ඒ ශක්තිය එහෙම ම තිබුණොත් නැවත එය වස්තුවක් කරද්දී ඒ වස්තුවට ආරම්භයේ දී තිබුණාට වඩා අමතර ශක්තියක් තියෙනවා. එතකොට මෙය ශක්තිය මැවීමේ ක්‍රමයක්. එවැන්නක් තිබිය නො හැකි බව කී අයින්ස්ටයින් කීවේ කෙසේ හෝ ඉහළට යන ෆෝටෝනයේ ශක්තිය අඩුවිය යුතු බව. ෆෝටෝනවල ශක්තිය අඩුවෙද්දී ආලෝකයේ තරංග සංඛ්‍යාතය අඩු වෙනවා. පසුකාලීන පරීක්ෂණවලින් මෙවැන්නක් සිදුවන බව පෙනුණා.
මේකේ වැදගත් ම දේ උසස් පෙළ සිසුනුත් දන්න දෙයක් තමයි තරංගවල සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැති ම තරම්. (ඩොප්ලර් ආචරණය වගේ ඒවගේ වෙන්නේ නිර්මාණය වෙලා තියෙන තරංගයක සංඛ්‍යාතය වෙනස් වීමක් නෙවෙයි.)  මෙතනදී තරංග සංඛ්‍යාතය වෙනස් වීම පැහැදිලි කරන්න පෘථිවියේ සිට විවිධ දුරින් ඇති තැන්වල කාලය ගලා යන්නේ එකිනෙකට වෙනස්ව වගේ දේත් උපකල්පනය කරන්න වෙනවා. හොඳට බැලුවොත් බටහිර විද්‍යාව ඔය කෝකටත් වඩා ගුප්ත විද්‍යාවක් තමයි. ගුප්ත දේවල් අනන්ත අප්‍රමාණයි. කෙසේවෙතත් හිස් අවකාශයේ වස්තු මැවීම ප්‍රයෝජනයට ගත් අවස්ථාවක් ඔන්න මම කීවා.

සහේතු: ඊළඟ අභියෝගය මුදල් නොට්ටුවක සර්වසම පිටපතක් නිපදවන්න.

ප්‍රබෝධ: පළමුවෙනි දේ හිස් අවකාශයේ වස්තු මැවීමයි මේකයි දෙකට කඩා අභියෝග දෙකක් විදිහට ඉදිරිපත් කිරීම අභියෝග සංඛ්‍යාව වැඩි කිරීමේ උපක්‍රමයක්. අනික් දේ මුදල් නෝට්ටුවක සියුම් කොටස් බොහෝයි. පූර්ණව නිරීක්ෂණය කිරීමට අපහසු සංකීර්ණ දෙයක් යොදාගෙන අභියෝග කිරීම කිසිසේත් සාධාරණ නෑ. 

සහේතු: ඊළඟ අභියෝගය ද්‍රව්‍යයක බර වැඩි කොට පෙන්වන්න.

ප්‍රබෝධ: බර කියන්නේ මොකක් ද? පෘථිවියෙන් වස්තුවකට යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය කියලයි කියන්නේ. ඒත් අපි බර මනිනවා කියලා මනින්නේ දුන්නක නැතිනම් පටියක ආතතිය හෝ සම්පීඩනය. නැතිනම් වස්තු දෙකකින් තරාදි තැටිවලට යෙදෙන ප්‍රතික්‍රියා බල. ඔය එකක්වත් බර නෙවෙයි. ඒ ඒ අගයන් අදාළ අවස්ථාවල දී බරට සමාන බව භෞතික විද්‍යාව අනුව තීරණය කරනවා. වැලි ඔරලෝසුවක් වැලි ටික සම්පූර්ණයෙන් පහළ තියෙද්දී තරාදියක තබා බර මැනලා. උඩු යටිකුරු කරලා වැලි වැටෙමින් පවතින අතරතුර තරාදි තැටියේ තිබ්බොත් යම් ප්‍රමාණයකින් තරාදියෙන් පෙන්වන බර අඩුවෙනවා. විදුලි සෝපානයක ඉහළට ත්වරණයෙන් යන ගමන් බර මනින්න. බර වැඩි වෙනවා. දැන් තිබෙන ප්‍රශ්නය බර කියා තරාදි පාඨාංකවලට එපිටින් පවතින දෙයක් තියෙනවා ද කියන එක.  නිවුටන්ට අනුව නම් ඔව්. ඒ බර අඩු කරන්න නම් පෘථිවියෙන් ඉහළට ගමන් කළහම හරි. හඳට ගිහා ම බර හයෙන් එකයි. ඒත් කාටවත් බෑ තරාදි පාඨාංකවලට එපිටින් බරක් කියලා යමක් පවතිනවා කියලා ඔප්පු කරන්න. ඒක විශ්වාසයක් විතරයි. නිවුටන්ගේ අදහස දැන් පිළිගන්නේ නෑ. අයින්ස්ටයින් කීවේ ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නැති බව. එතකොට වස්තුවලට බර කියලා දෙයකුත් නෑ.

සහේතු: ඔබ කියන්නේ ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නෑ කියලා ද? එතකොට විවිධ දේ පොළොවට වැටෙන්නෙ කොහොම ද?

ප්‍රබෝධ: ඔව්. ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නෑ. පොළොවට වැටෙන්නේ කොහොම ද කියලා අහන අය මුලින් ම අහන්න ඕනේ නිවුටන්ගේ පළමු නියමය අනුව බලයක් නැතුවත් වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න පුළුවන් කොහොම ද කියලා. පාසලේ ඕක උගන්වද්දී මෙහෙම ඇහුවා නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වැදගත් ම දේ බලයක් ක්‍රියා නො කරද්දී වස්තු ඔහොම්ම ම යනවා කියලා නිවුටන් දන්නේ කොහොම ද? ඒක නිකම් ම උපකල්පනයක් විතරයි. බලයක් නැති විට වස්තුවක් චලනය වෙන්නේ කොහොම ද කියලා බලන්න නම් අපි වස්තුව අත ඇරලා බලන්න ඕනෙ. එතකොට පේනවා වස්තුව වැටෙනවා. බලයක් ක්‍රියා නො කරන වස්තු වැටේ. එච්චරයි කතාව. ඒකනේ අපිට පේන දේ. කොහේවත් තියෙන ඒකාකාර ප්‍රවේගයක් උපකල්පනය කරලා ඒකෙ අඩුපාඩු වහන්න අතින් දාගත්ත සංකල්පයක් ගුරුත්වාකර්ෂණය

සහේතු: විද්‍යාඥයින් මෙහෙම කියන බව ඔබට සනාථ කරන්න පුළුවන් ද?

ප්‍රබෝධ: ජෝන් වීලර්, චාල්ස් මිස්නර්, කිප් තෝර්න් කියන  සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් තුන් දෙනා ලියපු Gravitation කියන පොතේ 1.3 කොටසේ මෙහෙම තියෙනවා. Gravitation කියන්නේ සාධාරණ සාපේක්ෂතාවාදය ගැන තියෙන හොඳ ම පාඨ ග්‍රන්ථවලින් එකක්. වස්තු වැටීමේ දී ඒ සඳහා කිසිදු බලයක් ක්‍රියා නො කරන බවත් එහිදී වස්තු ගමන් කරන්නේ එහි ස්වභාවික ගමන් මාර්ගයේ ම බවත් එහි පැහැදිලිව කියා තිබෙනවා. වැටෙන වස්තුවක් හා බර රහිත වීම යනු සමාන අදහස් බවත් එහි කියැවෙනවා. පැහැදිලිව ම තරාදි පාඨාංක ඉක්මවා ගිය බර කියා දෙයක් නෑ. සෝපානයක පහළට යන ගමන් බර මනින්න බර අඩුවී ඇති බව පෙනේවි.

සහේතු: බර නැතිව ස්කන්ධය ගත්තොත්.

ප්‍රබෝධ: ස්කන්ධය කියන්නේ සාමාන්‍ය ජීවිතයේ පාවිච්චි වෙන දෙයක්වත් නෙවෙයි. ඒක එහෙම පිටින් බටහිර විද්‍යාවේ සංකල්පයක්. ඉතින් ගුප්ත විද්‍යාඥයින්ට තමන්ගේ සංකල්ප ලෝකයෙන් පිටස්තර ස්කන්ධය අඩු වැඩි කරන්න දීම තේරුමක් ම නෑ. ස්කන්ධ වැඩි කරන්න කියනවා නම් මුලින් ඒ අයට ස්කන්ධය කියන්නේ මොකක් ද කියලා පැහැදිලිව හඳුන්වා දෙන්න ඕනෙ. ස්කන්ධය කියන්නේ මොකක්ද ඇහුවොත් දෙන්න උත්තර තියෙන්නේ කාට ද?

සහේතු: ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණයට

ප්‍රබෝධ: ඕක පැහැදිලි කිරීමක් නෙවෙයිනෙ සහේතු. ප්‍රමාණය කියද්දී අපේ හිතේ මැවෙන්නේ පරිමාව, නැතිනම් බර. ඉතින් පදාර්ථ ප්‍රමාණය කියන්නේ මොකක් ද? අනික ඔය ප්‍රමාණ කරන්න පුළුවන් පදාර්ථ කියන්නේ
මොනව ද? ඔය උත්තරය ප්‍රමාණවත් වෙන්නේ හයේ පන්තියේ ළමයි රවට්ටගන්න විතරයි.
මම කීවොත් නිදහසේ වැටෙන වස්තුවක ස්කන්ධයත් ශුන්‍ය වෙනවා කියලා. කාට ද පුළුවන් බොරුයි කියලා ඔප්පු කරන්න. තමන්ගෙ හුදු විශ්වාසයකින් ඔබ්බට එවන් ස්කන්ධයක අගය පරීක්ෂා කරන්න බෑ. අනික අයින්ස්ටයින්ට අනුව ගත්තත් වේගය අනුව ස්කන්ධය වෙනස් වෙනවා.
ඒ නිසා මේ අභියෝගයේ තේරුමක් නෑ. ස්කන්ධය හෝ බර ගැන බටහිර විද්‍යාවේ තියෙන්නෙත් හුදු විශ්වාස කිරීම් ම පමණයි.

ලබන සතියට: ආවරණය කළ මුදල් නෝට්ටුවක කේත අංකය කියවීම

වාස්තවික යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න


සහේතු: කොවුර්ගේ මීළඟ අභියෝගය ගැනත් අපි බලමු. වයින් රුධිරය බවට හරවන්න.

ප්‍රබෝධ: තවත් ද්‍රව්‍ය පරිවර්තනයක් ඇති ඔතන.

සහේතු: ඔව්. ජලය පෙට්‍රල් හෝ වයින් බවට හරවන්න.

ප්‍රබෝධ: සහේතු, මට තියෙන ප්‍රශ්නය ඕවා කවුද කරන්න පුළුවන් කීවේ කියලා. එහෙම කියලා නැත්නම් පැත්තකට වෙලා අභියෝග කළාට ඒක අදාළ නෑනේ. මම අභියෝග කළොත් හේතුවාදීන්ට තර්කන ශක්තිය භාවිත කරලා අංශක හැටේ කෝණයක් කවකටුවයි මුකුත් සලකුණක් නැති රූලයි පමණක් භාවිත කරලා පරිමිත පියවර ගණනකින් හරියට ම තුනට බෙදන්න කියලා ඒක ඔවුන්ට අදාළ ද? නෑනේ. එක අතකට සමහර මුල් කාලීන හේතුවාදියෝ ඕක කරන්න පුළුවන් කියලා කියලා තිබුණ නිසා ටිකක්වත් අදාළයි. (ගණිතය අනුව නම් ඕක කොහොමවත් කරන්න බෑ.) . ඒ නිසා කවුද මේවා කරන්න පුළුවන් කීවේ කියලා කියන්න.

සහේතු: ම්.. මේ.. ආ..ඒකාලේ හිටපු අය.. ඔහොම පුළුවන් කියන්න ඇති... අ..

ප්‍රබෝධ: කවුද ඔවුන්?

සහේතු: අ...

ප්‍රබෝධ: (සිනාසෙමින්) මම ම කියන්නම්. දැන් හේතුවාදීන් බොහෝ දෙනකු කොවුර් මේවා ඉදිරිපත් කළේ කවුරු ඉලක්ක කොට ද කියන එකවත් දන්නේ නෑ..
වයින් රුධිරය කිරීම ගැන කියවෙන්නේ කතෝලික ආගමේ සැක්‍රමේන්තුවක දී. ඒ දිව්‍ය සත් ප්‍රසාද ලබා දීමේ දී වයින් යේසුස් වහන්සේගේ රුධිරය බවට පත්වන බව කියනවා. ඔන්න ඕකටයි කොවුර් ඔය අභියෝගය එල්ල කරන්නේ.

සහේතු: ඉතින් ඒක තමයි අපි කියන්නේ ආගම්වල ඕවා කීවට වෙන්නේ නෑ. කෝ කොවුර්ගෙ අභියෝගය තාමත් එහෙම්ම මයි.

ප්‍රබෝධ: ඔතන හොඳ තැනක් කොවුර් හොයන්නේ බලන්නේ නැතුව අභියෝග එල්ල කරනවා කියන්න. ඔය සක්‍රමේන්තුවේ දී පාන් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය බවටත් වයින් රුධිරය බවටත් පත් වෙන බව කියනවා. අර දේවස්ථානවල ලබා දෙන පූපය (eucharist)/ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගැන තමයි මේ කියන්නේ. ඔය ගැන මත දෙකක් තියෙනවා එකක් transubstantiation අනික consubstantation. Consubstantationවල දී කියන්නේ පාන් හා වයින් හදන අමුද්‍රව්‍ය දේව මැවීමෙන් එන නිසාත් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ වූ ත්‍රිත්වයට අයත් නිසාත් සත්ප්‍රසාදය ක්‍රිස්තු ශරීරයට හා ක්‍රිස්තු රුධිරයට සංකේතයක් බව. මේක ගැන කොහොමවත් විරුද්ධ වෙන්න බෑ. මොක ද සංකේතයක් කියලා නේ තියෙන්නේ. ඒත් කතෝලිකයන් අතර ප්‍රචලිත මතය transubstantiation ඒකෙ දී කියන්නේ සත්ප්‍රසාද මංගල්‍යයේ දී පාන් හා වයින් ක්‍රිස්තු මාංශය හා රුධිරය බවට සාරාර්ථිමය වශයෙන් (in substance , in essence) පත් වෙන බව. කොවුර් අමතක කරන්නේ මේ සාරාර්ථිමය වශයෙන් කියන වචනය.
මොකක් ද මේ substance කියලා කියන්නේ substance කිව්වහම ගොඩක් අය කියයි ද්‍රව්‍යය කියලා. එතකොට matter කියන්නේ මොකක් ද? ඕවා ආසන්න පරිවර්තන යම් යම් විෂය කොටස්වල දී යෙදෙන. Substantial කියන වචනයේ තේරුම ගැන ඇහුවොත් ඕක තේරුම් ගන්න පුළුවන්. යථාර්ථමය , වාස්තවික , නිරපේක්ෂ වගේ තේරුමක් නේ තියෙන්නේ. Substance කියන්නේ යම් කිසිවකට අපේ සංවේදනවලින් බාහිර වූ නිරපේක්ෂ පැවැත්මක් තියෙනවා කියන එක . වාස්තවිකත්වය , යථාර්ථය කියන්නෙත් ඕකට . අපෙන් බාහිරව පිහිටි යථාර්ථයක් තියෙනවා කියන එක හේතුවාදීන්ගේත් මූලික පදනමක්. වාස්තවිකත්වය ගැන හේතුවාදීන් නිතර කතා කරනවා. කොවුර් ආදී අය ඒ කාලයේ තමන්ව හඳුන්වා ගත්තේ යථාර්ථවාදී යන නමින්. යථාර්ථවාදය (realism) කියන්නේ අපෙන් බාහිර නිරපේක්ෂ යථාර්ථයක් තියෙනවා කියන එක. මේක බුදු දහමේ කියැවෙන යථාභූත එක්ක පටල ගන්න එපා. යථාභූත වෙනත් කතාවක්. බුදු දහම යථාර්ථවාදයට විරුද්ධයි. වාස්තවික යථාර්ථයක පැවැත්ම බුදු දහමේ ප්‍රතික්ෂේප කෙරෙනවා. හේතුවාදය (rationalism) කියන්නේ මේ බාහිර යථාර්ථයේ ස්වභාවය සංවේදනවලින් හරි හැටි ග්‍රහණය නො වුණත් තර්කයෙන් ග්‍රහණය කළ හැකි බවට වූ මතය. ඒක තවත් පැහැදිලි කළොත් අපි ඉස්සරහින් තොප්පියක් තියෙනවා නම් තොප්පියේ අපේ අතට දැනන රළු සිනිදු බව , ඇහට පේන පාට ආදිය ඉක්මවා ගිය යමක් තොප්පියට තියෙනවා කියන එක. ඔය මතවාදවල කියැවෙනවා ප්‍රාථමික ගුණ ද්විතීයික ගුණ කියලා දෙකක්. ප්‍රාථමික ගුණ කියන්නේ බාහිර යථාර්ථයේ ගුණ , ද්විතීයික ගුණ කියන්නේ අපට සංවේදනය වන ගුණ.

සහේතු: තවත් පැහැදිලි කළොත්.

ප්‍රබෝධ: මේ පරීක්ෂණය පාසල් යන කාලේ කරලා ඇති. ඇයි මේ පරීක්ෂණය කරන්නේ කියලා නො කීවට මේකේ අරමුණ මේ කරුණු ගැන විස්තර කිරීම. උණු වතුරටයි සීත වතුරටයි අත් දෙක වෙන වෙන ම තරමක් වෙලා ඔබා ගෙන ඉන්න කියලා එකපාර සාමාන්‍ය වතුරට අත් දෙක ම ඔබන්න කියනවා. මෙතන දී එක අතකට සීතලයි අනෙත් අතට රස්නෙයි. එක ම වතුර. ඊට පස්සේ කියනවා. රස්නෙයි සීතලයි කියන්නේ ද්විතීයික ගුණ. ඒවා මායාවන්. උෂ්ණත්වය කියලා ජලයට වාස්තවික ගුණයක් තියෙනවා. ඒක නම් ප්‍රාථමික ගුණයක්. ඒක තමයි යථාර්ථය කියලා. හේතුවාදීන්ට අනුව නම් ප්‍රාථමික ගුණ ග්‍රහණය කරගත හැක්කේ තර්කයෙන්.
ඔය හේතුවාදී සංගමය වාර්ෂික සැසිවාර තියද්දී එහෙම බැනර්වල එල්ලන බර්ට්‍රන්ඩ් රසල් කියන දාර්ශනිකයාත් ඔහොම්ම ම කියනවා නීල ගුණය කියන එක නිරීක්ෂණයන්ගෙන් ස්වායත්තයි කියලා.

සහේතු: ඉතින් වයින් රුධිරය බවට පත්වෙන්නේ කොහොම ද?

ප්‍රබෝධ: කතෝලික ඉගැන්වීමේ විදිහට වයින්වලවත් පාන්වලවත් දෘශ්‍යමානය (appearance) නෙවෙයි රුධිරය හෝ මාංශය වෙන්නේ ඒකේ සාරාර්ථය (substance , essence). එතකොට අණුක ස්වභාව , සංයුතිය, වර්ණය ආදී සියලු දේ (ද්විතීයික ගුණ) නො වෙනස්ව තිබිය දී වාස්තවික පැවැත්ම තමයි වෙනස් වෙන්නේ. පසුකාලීනව කාන්ට් (Kant) වගේ දාර්ශනිකයන් කියන විදිහට අපෙන් බාහිර යථාර්ථයක් තිබුණත් ඒක අපිට කවදාවත් අවබෝධ කරගන්න බෑ. මේකට තාම හේතුවාදීන් කිසිම සාර්ථක පිළිතුරක් දීලා නෑ.

මේක හරියට මේවගේ නත්තල් සීයට ඇඳගෙන කඩේක ඉන්න මිනිහෙක් ඉන්නවා කියන්න සුනිල් කියලා. හදිස්සියේ ම දවසක සුනිල් වෙන වැඩකට යවලා ඒ වෙනුවට නිමල් කියන වෙනත් සේවකයකු නත්තල් සීයට ඇන්දුවා. දැන් පිටින් බැලුවහම කාටවත් කියන්න බෑ මේ සුනිල් ද නිමල් ද කියලා. ඒත් ඇතුළේ ඉන්නේ නිමල්. දැන් හිතන්න කාටවත් හොයන්න විදිහක් නෑ මේ ඉන්නේ සුනිල් නෙවෙයි කියලා. මේක උදාහරණයක් . කටහඬ වෙනස් වීම ගැන අහන්න එපා. අහන්නම ඕනෙ නම් කටහඬත් යාන්ත්‍රිකව එක ම ආකාරයකට වෙනස් කරලා හදලා තියෙනවා කියලා හිතන්න. දැන් සුනිල් නිමල් හොයන්න විදිහක් නෑ.

දැන් සක්‍රමේන්තුවේ දී වයින් රුධිරය වෙනවා කියන්නෙත් මෙහෙම අපිට පෙනෙන දේ එහෙම ම තියෙද්දී අපිට බාහිර යථාර්ථය මාරු වෙනවා කියලා. දැන් මේක පරීක්ෂණවලින් බිඳ හෙළන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මුකුත් අධ්‍යයනය නො කරයි කොවුර් මේ විහිළු අභියෝගය කරන්නේ.

සහේතු: ඔබ වාස්තවික යථාර්ථයක් පිළිගන්නවා ද?

ප්‍රබෝධ: මම වාස්තවික යථාර්ථය පිළිගන්නේ නෑ. ඒත් හේතුවාදීන්ගේ මූලික පදනමක් තමයි වාස්තවික යථාර්ථයක පැවැත්ම පිළිගැනීම. ඒ නිසයි මම මේ ගැන කතා කරන්නේ. හේතුවාදීන්ට තමන් ඉන්න ආස්ථානය රැකගෙන මේ තර්කය බිඳින්න බෑ. ඇත්තට ම ඩේවිඩ් හියුම් වගේ දාර්ශනිකයන් යථාර්ථවාදයේ හා හේතුවාදයේ මේ අදහසට ප්‍රබල ප්‍රහාර එල්ල කළා.

1980 දශකයේ දී නලින් ද සිල්වා මහත්මයා මේ හේතුවාදී , යථාර්ථවාදී , භෞතිකවාදී පිරිස්වලට මෙහෙම අභියෝගයක් කරනවා. 'වාස්තවික යථාර්ථයක් ඇති බව මනසෙන් තොරව පෙන්වන්න.' මේ අභියෝගයට කිසි ම භෞතිකවාදියෙක් තව ම පිළිතුරක් දී නෑ. බොහෝ අයට මේ අභියෝගය තේරෙන්නෙත් නෑ. ලංකාවේ භෞතිකවාදීන්ගේ බුද්ධි මට්ටම හොඳින් ම පේනවා මේක තේරුම් ගන්නත් බැරි වීමෙන්.

මෙතන අහන්නේ වාස්තවික යථාර්ථයක් පවතින බව පෙන්වන්න කියලා. මනස භාවිත කොට පෙන්වුවොත් ඒක නැවත අදහසක් ම වෙනවා. ඒ කියන්නේ නැවත මනසට සාපේක්ෂ වෙනවා. වාස්තවික යථාර්ථයක් නම් මනසට බාහිර වීම ම නේ මූලික ලක්ෂණය. එතකොට එතන ම විසංවාදීයි. ඒ නිසා මනසින් තොරව (අදහස් භාවිත නො කර) වාස්තවික යථාර්ථයක් ඇති බව පෙන්වන්න. මේ අභියෝගයට මුහුණ නො දී මඟ හැරීමෙන් හේතුවාදීන්ට ගැළවී යන්න බෑ. හේතුවාදයේ පදනමට ම මේකෙන් පහර දීලයි තියෙන්නේ. ඒ නිසා හේතුවාදීන් අද මුලින් ම කරලා ඉන්න ඕනේ මේකට උත්තර දෙන එක.

සහේතු: එතකොට ජලය පෙට්‍රල් බවට හැරවීම.

ප්‍රබෝධ: කවුද ඕක පුළුවන් කීවේ?
.
සහේතු: ඒ කාලෙ කවුරුහරි ඉන්න ඇති පුළුවන් කියපු.

ප්‍රබෝධ: කවුරුහරි නෙවෙයි ගොඩක් අය හිටියා. Dr. Alexander Kraft කියලා කල්පිත චරිතයක් වටේ කතාව හැදුණේ. එක පෙත්තක් තියෙනවා. ඒක ජලයට දාපු ගමන් පෙට්‍රල් වෙනවා කියලා. Guido Franch කියලා කෙනෙක් ඕක ප්‍රචාරය කළේ. ඊට පස්සේ ඔය කතාව තව කීප දෙනක් කීවා. තමිල් නාඩුවේ කෙනෙකුත් කීවා. ඕක නම් බොරු බවට අහුවුණු කතාවක්. Conspiracy theory එකක්. ඔහොම එකක් හැදුවොත් එක්කො ඒක රහසිගතව තියන් ඉන්නවා නැතිනම් ප්‍රසිද්ධියේ ඕක පෙන්වනවා හේතුවාදී සංගමය හොය හොය ඉන්නේ නෑ. ඔය පෙත්තේ කතාව කෙසේ වෙතත් මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන්. ජලයයි කාබන්ඩයොක්සයිඩුයි භාවිත කරලා පෙට්‍රල් හදන්න පුළුවන් වෙන්න පුළුවන්.

සහේතු: ඒ සංකීර්ණ උපකරණ භාවිතයෙන්නේ. ගුප්ත විද්‍යාවෙන් පුළුවන් ද?

ප්‍රබෝධ: ඇයි ගුප්ත විද්‍යාවල සංකීර්ණ උපකරණ ගැන කියැවෙන්නේ නෑ කියලා ද හිතන්නේ. ගුප්ත රසායන විද්‍යා කියන ඒවගේ කියනවා සංකීර්ණ ක්‍රියාකාරකම් හා ක්‍රියා පිළිවෙළවල් ගැන . මායාකරුවාගේ ගල (Sorcerer's stone) වගේ ඒවා ගැන කියවලා බලන්න. ඔය ගොල්ලෝ ගුප්ත, ගුප්ත නැති වෙන් කරන්නේ මොන තර්කයකින් ද? එහෙම එකක් හරියට පෙන්වන්න බෑනේ.

සහේතු: දැන් ඔය කවුරුවත් ඔය විදිහට පෙට්‍රල් හදලා තියෙනවා ද?

ප්‍රබෝධ: ජර්මනියේ අවුඩි (AUDI) සමාගම නම් එහෙම කියනවා. මේ අදාල ලිපියක් . හැබැයි පෙට්‍රල් නෙවෙයි ඩීසල් .( https://www.audi-mediacenter.com/en/press-releases/fuel-of-the-future-research-facility-in-dresden-produces-first-batch-of-audi-e-diesel-352 ) (සිනාසෙමින්) හොයලා බලලා ත්‍යාග මුදල ලබා දෙනවා ද තීරණය කරන එක හේතුවාදීන්ගේ වැඩක්. ජර්මනියේ තවත් සමාගම් කිහිපයක් මෙහෙම කියනවා.

සහේතු: ඊළඟ අභියෝගය ඡායාරූපගත කළ හැකි භූතයෙක් පෙන්වන්න.

ප්‍රබෝධ: මේක ඉතින් හිනා වෙන්න ඕනේ අභියෝගයක්. භූතයෝ අල්ලන් ඇවිල්ලා ඕනෙ ඕනෙ විදිහට photo ගහන්න දෙන්න පුළුවන් නම් ආය ඕක අමුතු දෙයක් වෙනවා ද? භූතයා බල්ලෙක් පූසෙක් වගේ වෙනවා. ආය කොවුර්ගේ අභියෝග ඕනෙ නෑ. සැරියුත් හිමි වරක් ගිජුකුළු පව්වේ ප්‍රේතයෙක් දැක්කා කියනවා. එතකොට බුදුන් වහන්සේ කීවේ තමන් වහන්සේත් ඒ ප්‍රේතයා දුටුවත් තව කෙනකුත් කියන නිසා සිටියා කියලා. මනස දියුණු අයටයි සාමාන්‍ය අවස්ථාවලත් ප්‍රේතයෝ දකින්න පුළුවන්.වෙනත් අයට පේන්නේ ඉතා කලාතුරකින්. ඒ පේන්නේ භෞතික ඇසට නෙවෙයි. ඉතින් භූතයෝ හෝ ප්‍රේතයෝ හෝ ගෙනල්ලා ඡායාරූප ගන්න දෙන්නේ කොහොම ද?

අනික අධිඝනය (අවකාශ මාන තුනකට වැඩි ඝනය) ගැන තම මුල්  ම රූපවාහිනි වැඩසටහනක් කළ ආතර්.සී. ක්ලාක් එක්ක ඡායාරූප ගසා පළකරන්න උත්සුක වූ බොහෝ හේතුවාදීන් පෙළඹෙද්දී ඔවුන් අධිඝනයේ ඡායාරූපයක් ඉල්ලන්නේ නැති එක පුදුමයක්.

සහේතු: මීළඟ අභියෝගය ඡායාරූප ගතකෙරෙන විට ඡායාරූපයෙන් ඉවත් වෙලා පෙන්වන්න.

ප්‍රබෝධ: මේවා කරන්න පුළුවන් කියන්නේ කවුද කියන එක මුල් ම ප්‍රශ්නය. අහක ඉඳලා අභියෝග කළාට වැඩක් නෑනේ. කොවුර් ම බොරු පඹයෙක් හදාගෙන කෑ ගැහුවට වැඩක් නෑනේ. කවුරුහරි එහෙම කීවා නම් ඒ කැමරා හැදුවට පස්සෙ කාලෙ වෙන්න එපැයි. එතකොට ඉතා මෑතකාලීන ගුප්ත විද්‍යාවක්.

දැන් ෆොටෝ එක ගද්දී හැංගිලා ඉන්න නම් අපිටත් පුළුවන් නේ. මේකේ තේරුම නො පෙනී ඉඳලා පෙන්නන්න ෆොටෝ එකටත් එහෙම්ම ම අහු නො වෙන්න කියන එක ද? ඇසට පෙනිලා photo එකෙන් නො පෙනී යන්න කියන එක ද?

පළමුවෙනි එක ගත්තොත් කළුවර අඳුන වගේ කතා තියෙනවා. කළුවර අඳුන ගෑවහම ඇස්වලට පේන්නේ නෑ. ෆොටෝවලට අහුවෙනවා ද නැද්ද කියන්නේ නෑනේ. කැමරා එන්න කලින් තිබුණු අදහස් නේ. ඕක කෙසේවෙතත් මෙටා ද්‍රව්‍යවලින් වට වෙලා නො පෙනී ඉන්න පුළුවන් බව අද අපි දන්නවා. එවන් ද්‍රව්‍ය මීට පෙර නො තිබුණා මයි කියන්නත් බෑ. මෙටා ද්‍රව්‍යවල එක ම ප්‍රශ්නේ ඇතුළේ ඉන්න කෙනාට එළිය පේන්නේ නෑ. නො පෙනී යන ඇඳුම් වගේ ඒවා මේ නිසා බැහැර කරන්න බෑ.
ඇස්වලට පෙනිලා ෆොටෝ එකෙන් අතුරු දහන් වෙන්න නම් ඒක කැමරාවේ ක්‍රියාකාරිත්වයට බාධා කිරීමකින් වෙන්න ඕනේ.

මේවගේ අභියෝගවලට කවුරුවත් ආවේ නෑ කියලා සමස්තයට ඒක ආදේශ කිරීම විහිළුවක්.

              - තමලු මලිත්ත පියදිගම 

ලබන සතියට: හිස් අවකාශයේ වස්තු මැවීම

හේතුවාදීන්ට අභියෝගයක්




සහේතු: අපි කොවුර්ගේ මීළඟ අභියෝගයට එමු. කොවුර් කියනවා යෝග බලයෙන් නැතිනම් භාවනා බලයෙන් රහත් වී හෝ බුදු වී (enlightment) හෝ නිර්මාණශීලී දැනුමක් නිපදවලා හෝ පෙන්වන්න කියලා. අපි අහලා තියෙනවා සිද්ධාර්ථ ගෞතම භාවනාවෙන් බුද්ධත්වය ලැබුවා, ලෝකය අතැඹුලක් සේ දැනගත්තා කියලා. රහත් වීම ගැන කියනවා. රහතුන් සිටි බව කියනවා. ධ්‍යාන ලබා ගැනීමෙන් දැනුම ප්‍රත්‍යක්ෂ කරගත් ඉසිවරු ආදීන් ගැන කියනවා. ඒත් මේවා නිකම් ම කට කතා විතරයි. කොවුර්ගේ අභියෝගය ජයගන්න මේ කිසි කෙනෙක් ඉදිරිපත් වී නෑ. 
මේ රහත් වීම් , බුදු වීම් , ධ්‍යාන බොරු මිථ්‍යා බව කීමට මේක ම ප්‍රමාණවත් නැද්ද? ඇත්තට ම ලංකාවේ සමාජයේ ප්‍රතිගාමීත්වයට හේතුවෙලා තියෙන්නේ මේ බුදු දහම ඇතුළු ආගම්. මේ වැඩවසම් ආගමික ආයතන මිනිස්සුන්ව රවට්ටන්න තමයි මේ බුදු වීම්, රහත් වීම් වගේ පාරභෞතිකය මිථ්‍යා පාවිච්චි කරන්නේ. ප්‍රබෝධ මහත්මයා, මීට උත්තරයක් තියෙනවා ද? ඇයි කොවුර්ගේ අභියෝග පිළිගන්න කිසිම රහතෙක් ඇවිල්ලා නැත්තේ? කෝ භාවනාවෙන් දැනුම ලබාගත් කෙනෙක්?

ප්‍රබෝධ: ඕකත් ඉතින් කොවුර් හිතුමතේට විහිළු අභියෝග කරපු තව එක තැනක් තමයි. අපි හිතමු දැන් රහතන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියලා. එහෙම පහළ වුණොත් කොවුර්ගේ මේ විහිළු අභියෝග බාරගන්න යයි ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. ගියා කියල ම හිතමු. හොඳයි දැන් කොහොම ද හේතුවාදී සංගමයේ අය තීරණය කරන්නේ උන් වහන්සේ රහත් හෝ රහත් නෙවෙයි හෝ කියලා. හේතුවාදීන්ට ඒක කරන්න නම් මොකක් හරි විශේෂ අධිමානසික බලයක් තියෙන්න ඕනේ. ඒත් මේ අය ඒවා ප්‍රතික්ෂේප කරන අය ම නේ. ඉතිං කොහොම ද කියන්නේ රහත් වෙලා ද නැද්ද කියලා. රහතන්වහන්සේලාට විශේෂ ඍද්ධි තියෙනවා තමයි. ඒත් ඒ සතර ඍද්ධිපාදත් වඩා රහත් වුවහොත් පමණයි. නැතිනම් එවන් දේ නැහැ. ඒ නිසා මේ අභියෝගය විකාරයක්. බුදුවෙලා පෙන්නන්න කියන එක නම් උපරිම විහිළුවක්. අපි දන්නවා බුදු වීම සඳහා බලපාන ලෝක ධර්මතා ගණනාවක් තියෙනවා කියලා. කවුරුහරි තමුන් බුදු වුණා කියනවා නම් තමයි ඕක වලංගු. මේ වෙනකම් කොවුර්ට අභියෝග කරන්න බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් ආවේ නෑ කියලා ඒ තත්ව නැහැයි කියනවා නම් ඒ කොවුර්ගේ මෝඩකම මිසක් වෙන දෙයක් නෙවෙයි.
මේකේ ඊළඟ කොටස භාවනාවෙන් නිර්මාණාත්මක දැනුමක් ගොඩනැඟිය හැකි ද කියන එක. දැන් අපි හිතමු කවුරු හරි භාවනාවෙන් දැනුමක් ලබාගෙන හේතුවාදී සංගමයට ඉදිරිපත් කළා කියලා. එතකොට හේතුවාදී සංගමය කියන්නේ මෙහෙම ඒවා. ' ඒ දැනුම ඒ පුද්ගලයා ලබා ගත්තේ භාවනාවෙන් නෙවෙයි සාමාන්‍ය ලෙස කල්පනා කිරීමෙන්. පසුව එය වංචනික ලෙස භාවනාව එක්ක ඈඳනවා. ' හේතුවාදී සංගමයට මේ වගේ නිදහසට කරුණු දක්වලා ත්‍යාග මුදල නො දී බේරෙන්න පුළුවන්. මේ වගේ හේතුවාදීන්ට අවශ්‍ය ලෙස වංචාසහගතව මඟ හරින්න පුළුවන් විධි ඉතුරු කරගෙන අභියෝග ඉදිරිපත් කිරීම අන්තිම අශාස්ත්‍රීයයි. බොළඳයි. රාමානුජන් කියන ඉන්දියානු ගණිතඥයා තම සමීකරණ ලබා ගත්තේ දෙවඟනක් පිදීමෙන්. මෙවැනි දේ ගැන කිසිදු විමසීමකින් තොරව හේතුවාදීන් කරන්නේ මේ වගේ නිදහසට කරුණු දැක්වීම. අනික මේක පරීක්ෂණයක් නො වෙයි අභියෝගයක්. හරි අභියෝගයක් නම් දෙපැත්තට ම සාධාරණව ඔප්පු කළ හැකි වෙන්න ඕනේ. මෙවැනි අභියෝග මහ ඉහළින් සලකාගෙන සිටීමෙන් හේතුවාදීන්ගේ ළඳ බොළඳ බව හොඳින් වටහා ගන්න පුළුවන්.
අනෙක හේතුවාදීන් ඥානයේ මාර්ගය ලෙස දකින්නේ තර්ක බුද්ධිය. අපි අනිත් අතට අභියෝගයක් කරනවා තර්ක බුද්ධිය පමණක් භාවිත කොට නිර්මාණාත්මක දැනුමක් ගොඩනඟලා පෙන්වන්න කියලා. එතන දී හේතුවාදී සංගමය අන්ත පරාජිතයි. ඔවුන්ගෙන් කවුද කට්ටඩියන් හා ජෝතිෂ්‍යයවේදීන් සමඟ සෙල්ලම් කර කර ඉන්නවාට වඩා නව නිර්මාණාත්මක දැනුමක් ගොඩනඟලා තියෙන්නේ? ඒ නිසා ඔවුන් විවිධ බටහිර විද්‍යාඥයින්ගේ නම් කියලා තමන්ගේ සාක්කුවට දා ගනියි. ඒත් ගැලවීමක් නෑ. ඩේවිඩ් හියුම් වගේ දාර්ශනිකයෝ පැහැදිලි ප්‍රබල තර්ක මඟින් පෙන්වලා තියෙනවා තර්ක බුද්ධියේ ඉතා විශාල හිඩැසක්, අඩුපාඩුවක් පවතින බව.  පියර්ස් වගේ අය පෙන්වලා තිබෙනවා තර්ක බුද්ධියෙන් පමණක් ම ප්‍රවාද (theory) ගොඩනැඟීමට නො හැකි බව. ඒවාට පිළිතුරු දීලයි ඔවුන්ට මේ අභියෝගය ජයගන්න වෙන්නේ. තර්ක බුද්ධිය උපරිමව භාවිත වන ගණිතය පවා අවසානයේ ගොඩනැඟෙන්නේ ස්වසිද්ධි උඩ හා අනුමාන රීති උඩ. එතන දීත් ගණිතයේ එකිනෙකට පරස්පර පද්ධතිවලට තර්කනය ඉඩ කඩ දීලා තියෙනවා. අනික අංගසම්පුර්ණ පද්ධති තර්කයෙන් ගොඩ නඟන්න බැරි බව ගෝඩල් (Godel) කියන ගණිතයඥයා ඔප්පු කරලා දැන් බොහෝ කල්.

සහේතු: මාක්ස් ආගම අබිං කියපු එක ගැන ඔබ මොනවා ද කියන්නේ?

ප්‍රබෝධ: ඔය මාතෘකාව ගැන දීර්ඝව කතා කළොත් අපේ මූලික අරමුණ යටපත් වෙනවා. කෙටියෙන් මම අහන්නම් මෙහෙම. මාක්ස් අපෝහකය පිළිගන්නවා. අපෝහකයේ එක සිද්ධාන්තයක් තමයි ප්‍රතිවිරෝධතාවන් එකිනෙක විනිවිද යමින් එකිනෙක තුළ පැවතීම. දැන් භෞතික පාරභෞතික කියන ප්‍රතිවිරෝධතා දෙකින් පාරභෞතිකය බැහැර කරන්න පුළුවන් ද අපෝහකයකින්. ඒවා එකිනෙක විනිවිද යමින් පවතින්න ඕනේ. එනිසා එසේ බැහැර කිරීම ම අපෝහක විරෝධී. මේවා මාක්ස්ගේ ම පරස්පරත් අනෙක් අය මාක්ස් අර්ථ කථනය කිරීමේ දී ඇති වූ පරස්පරත් එකතු වී සෑදෙන විපරීත අදහස්. දෘශ්‍යමානය යථාර්ථය නම් විද්‍යාවක් කුමකට ද කියා මාක්ස් ඇසූ බවත් අමතක කරන්න එපා.

සහේතු: මීළඟට අපි ගමු යෝග බලයෙන් අහසින් යාම ගැන.

ප්‍රබෝධ: ඔය කිට්ටුවෙන් ම යන තව එකක් තියෙනවා. දිය මත ඇවිදීම ගැන අභියෝගයකුත්.

සහේතු: ඔව්. දිය මත ඇවිද පෙන්වන්න කියන අභියෝගය

ප්‍රබෝධ: දිය මත ඇවිදීම ගත්තොත් ඕක කිතු දහමේ කියැවෙන්නේ  ක්‍රිස්තුස් වහන්සේගේ විශේෂ හැකියාවක් විදිහට. එතකොට කරලා පෙන්වන්න කියන හේතුවාදීන්ගේ අභියෝගය වලංගු නෑ. බුදු දහමේත් මේ ගැන කියැවෙනවා. ඒත් බුදු දහමේ භික්ෂූන්ට ප්‍රසිද්ධියේ ඍද්ධි බල පෙන්වීම තහනම් කරනවා, එවැන්නක් කළ පසු මිනිස්සු ඇවිත් ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෙන්වන්න කියා දිගින් දිගට ඇවිටිලි කරන නිසා. ඒ නිසා එවැන්නක් භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීම නො කළ යුතුයි. ඍද්ධි බලය ගැන සාමඤ්ඤඵල සූත්‍රයේ කියැවෙනවා, ඍද්ධිබල ලබා ගත හැකි ආකාරයත් එක්ක. විසුද්ධිමාර්ගයේ මේ ඍද්ධි බල ලබා ගන්නා ආකාරය සවිස්තරව දක්වා තිබෙනවා. සතර ඍද්ධිපාද සමඟ කසිණ භාවනා වඩා හතරවෙනි ධ්‍යානයට පැමිණි පසු සිත දඹ රන් කඳක් සේ පිරිසිදුයි. එවන් තත්වයකට එළඹිලායි ඍද්ධි බල ලබා ගන්න පුළුවන්. වර්තමානයේ භාවනා කරන්න පෙළඹෙන අය අඩුයි. පෙළඹුණත් පෙළඹෙන්නේ විදර්ශනාව ගැන. කෙනෙක්ට ඍද්ධි ප්‍රාතිහාර්ය ගැන සැකයක් තියෙනවා නම් කරන්න ඕනේ විසුද්ධිමාර්ගයේ කියලා තියෙන මාර්ගය අනුගමනය කරලා තහවුරු කර ගැනීම මිසක් පැත්තක ඉඳන් අභියෝග කිරීම නෙවෙයි.
අමතක කරන්න එපා ලියනාඩෝ ඩාවින්චිගේ අර සුප්‍රසිද්ධ කෘතියේ දිය මත ඇවිදීමක් තියෙනවා. අනික භෞතික විද්‍යාත්මකව දිය මත ඇවිදීමේ දී බලපාන්නේ පෘෂ්ටික ආතතිය මඟින් ජලයේ සෑදෙන පටලයේ ශක්තිමත් බව. අපි දන්නවා යකඩ අල්පෙනෙත්තක් ජලයට දැම්මොත් ගිලෙනවා. ඒත් වීදුරුවකට ජලය හොඳින් පුරවලා හරස් අතට අල්පෙනෙත්ත ජල පෘෂ්ඨය මත තියන්න උත්සාහ කරන්න. ( ජල පෘෂ්ඨය අල්පෙනෙත්තෙන් සිදුරු නොවන විදිහට ). අල්පෙනෙත්ත පාවෙනවා දකින්න පුළුවන්. ඒ විදිහට ම විශේෂ පියවර තැබීමකින් ජල පෘෂ්ඨයේ පටලය සිදුරු වීම වළක්වා ගත හැකි වීම බැහැර කරන්නත් බෑ. අනික විශේෂ ක්‍රමයක් මඟින් හෝ ද්‍රව්‍යයක් මඟින් ජලයේ පෘෂ්ඨික ආතතිය වැඩි කරන්න පුළුවන් විය හැකියි. Hidden Messages in Water නම් පරීක්ෂණ කෘතිය බලන්න. එහි ජපාන පරීක්ෂකයින් පෙන්වා දී තිබෙනවා පිරිත් මඟින් ජලයේ අන්තර් අණුක ව්‍යුහයන් වෙනස් කළ හැකි බව. එවැනි උපක්‍රමයකින් ජලයේ පෘෂ්ඨික ආතතිය වෙනස් කළ නො හැකියි කියන්නේ කොහොම ද? ඇත්තෙන් ම විද්‍යා පරීක්ෂණ මේ සඳහා යොදන්න අවශ්‍යත් නෑ. ඒත් 'විද්‍යාත්මකව' මේවා බොරු බව පෙන්වන්න ඉන්න අය මුලින් මේ පරීක්ෂණ විග්‍රහ කර සිටිය යුතුයි. සියලු දේට විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් දිය යුතුයි කියන්න තියෙන්නේ මොන නිර්ණායකයක් ද?
අහසෙන් යෑම පවා එහෙමයි. බටහිර පුද්ගලයින් කිහිපදෙනකු එසේ බොරු මවා පෙන්වීමක් කොට හසු වූ පමණින් එය කිසිසේත් විය නො හැක්කක් කියන්නේ කොහොම ද?
ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මෙහෙම: 'වායුගති විද්‍යාව අනුව බඹරාට පියෑඹිය නො හැකි ය. එහෙත් එය නො දන්නා බඹරා පියාඹා යයි' කියලා. මේක ඇත්තට ම මූලික අවස්ථාවේ තිබෙන වායුගති විද්‍යාව බඹරාට යෙදීමෙන් වුණු ප්‍රශ්නයක්. මේ වන විට ගුවන්ගත වීම සඳහා යොදාගත හැකි නව වායු රටා හඳුනා ගැනීමත් සමඟ බඹරාගේ පියෑඹීම පරිගණක මඟින් විග්‍රහ කොට තිබෙනවා. ඒවාත් පූර්ණ සතුටුදායකයි කියන්න නම් අමාරුයි. මම කියන්නේ විද්‍යාව වර්තමානයේ දී බැහැයි කියන දේ එහි නියම වැරදි සන්දර්භවල යෙදීමෙන් කියන දේ විය හැකියි. අභ්‍යවකාශයට රොකට් යැවිය නො හැකි බවට විද්‍යාත්මක 'ඔප්පු කිරීම්' කිහිපයක් තිබුණු බව අමතක කරන්න එපා. කතාවට කියනවා හොඳ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකුට ප්‍රස්තාරයක් හරි අතට අල්ල ගත්තත් උඩු යටිකරු කරලා අල්ල ගත්තත් ඒකට පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් කියලා. ඉතින් එවැනි විද්‍යාවකින් දැනට යමක් බැහැයි කීවට ඒක සහමුලින් ප්‍රතික්ෂේප කරන්නේ කොහොම ද?

සහේතු: (සිනාසෙමින්) ඉතින් මෑත කාලයේ දී කොවුර්ගේ අභියෝග බිඳින්න කවුරුවත් ඉදිරිපත් වෙලා නෑනේ. ඉතින් ඒ උඩ අපි ඒවා විහිළුවට ලක් කරන එක වැරදි ද?

ප්‍රබෝධ: ඇත්තට ම හේතුවාදීන් තේරුම් නො ගන්නේ ඔය කතාව 1972 සිට මේ වෙනකම් කිසිවකු හඳට නො ගිය නිසා හඳ ගමන් මිථ්‍යාවක් කියන එකට දෙවනි නෑ කියන එක. මම හේතුවාදී සංගමයේ අයට කීවොත් මිනිසකු හඳට යවා පෙන්වන්න කියලා ඔවුන්ට එය කළ හැකි ද? එවන් අභියෝගයකට මුහුණ දීම උදෙසා ම නාසා ආයතනය ව්‍යාපෘතියක් අරඹයි ද? කොවුර් වගේ කවුරුහරි කෙනෙක් ලෝකයේ 'කොනකට' වෙලා 1990 දී විතර කීව නම් 'හැකි නම් සියලු දත්ත මට විවෘතව පෙන්වමින් මිනිසකු හඳට යවන්න' කියලා නාසා ආයතනය ඔහුව ගණන් ගනියි ද, හිනා වෙලා අමතක කරලා දායි ද?
ඒ විදිහට ම ඍද්ධි ලාභියෙක් හිටියොත් ඔහු කොවුර් වැනි අජිත කේශකම්බිලිගේ පුනරාගමනයක් ගණනකට ගනියි ද?
ලබන සතියට: දිව්‍ය සත්ප්‍රසාදය ගැන අධ්‍යයනය නො කළ කොවුර්ගේ නිරර්ථක අභියෝගය 

හේතුවාදීන්ගේ දුබලකම පෙන්වන කොවුර්ගේ පුහු අභියෝග

                තමලු මලිත්ත පියදිගම 
                2017.07.29
                ඉරිදා රිවිර

සහේතු: කොවුර්ගේ එක අභියෝගයක් තමයි ටෙලිපති එහෙමත් නැතිනම් පරචිත්ත විජානනය මඟින් හිතක් කියවලා පෙන්වන්න කියන එක. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

ප්‍රබෝධ: ඒක නම් මට වුණත් මේ වෙලාවේ බාරගන්න පුළුවන් එකක්. මට විනාඩියක් දෙන්න. ඒ වෙලාව ඇතුළේ ඔබ හිතූ දෙය කියන්න මට පුළුවන්.

සහේතු: එහෙනම් අපි විනාඩියක් බලමු.
(විනාඩියකට පසු)

ප්‍රබෝධ: ඔබ හිතුවේ ප්‍රබෝධ මෙච්චර විශ්වාසයෙන් මේක බාර ගත්තේ මේ අභියෝගය බැරි වෙලාවත් දිනයි ද දන්නේ නෑ කියන එක.

සහේතු: මම එහෙම හිතුවේ නෑ.

ප්‍රබෝධ: අපිට ඕක විශ්වාස කරන්න බෑ. ඔබ පරාජය වසා ගැනීමට බොරු කියනවා.  ඔබ හිතුවේ වෙන දෙයක් ගැන කියලා හැමෝට ම පැහැදිලි වෙන විදිහට ඔප්පු කරන්න පුළුවන් නම් විතරයි අපි ඔබව පිළිගන්නේ.

සහේතු: (කලබල වී) ඔබ පැහැදිලිව අභියෝගය දිනුවේ නෑ. මේක නිකම් උපක්‍රමයක් විතරයි.

ප්‍රබෝධ: (සිනාසෙමින්) ඔය හේතුවාදීන් ප්‍රශ්න මඟ ඇරලා යන කලාව තමයි ඩීල්, උපක්‍රම කියලා කෑ ගහන එක.

    ඇත්තට ම සහේතු මම ඕක කළේ ඔය අභියෝගයේ අඩුපාඩුව පෙන්වන්න. මිනිසෙක්ගේ සිත කියවීම කියන්නේ ඒ මොහොතේ ඇතිවන සිතුවිල්ල දැන ගැනීම.දැන් කවුරුහරි කෙනෙක් හිත් කියවලා පෙන්නුවත් ඒක සැබැවින් ම කළා ද නැද්ද කියලා අනිත් අයට තහවුරු කරන්නේ කොහොම ද? ඒක තහවුරු කරන්න නම් හිත් කියවන්න පුළුවන් තවත් අය ඉන්න ඕනේ. එහෙම අය ඉන්න බව පිළිගත්තොත් අභියෝගය එතැනින් ම ඉවරයි.  හිත් කියවීමට ලක් වන කෙනා තමා හිතුවේ එවැන්නක් නෙවෙයි කියලා කීවත් ඔහු ගැන අපිට විශ්වාසයක් තබන්න බෑ. මොක ද ඔහු හේතුවාදී සංගමයේ සාමාජිකයෙක් නම් ඔහුට තම සංගමයට පාක්ෂික වෙමින් බොරුවක් කියන්න පුළුවන්. අනික ඔහු තමා සිතුවේ එය ම බව පිළිගත්තත් හේතුවාදීන්ට පුළුවන් අල්ලස් දීමක් නිසා හෝ අල්ලසක් පසුව ලබා ගැනීමේ අරමුණින් හෝ ඔහු එසේ කළ බවට මඩ ප්‍රහාර එල්ල කරන්න. මධ්‍යස්ථ පුද්ගලයෙක් ගෙන්වනවා කීම ප්‍රායෝගික නෑ. මොක ද ඔහුගේ මධ්‍යස්ථභාවය තහවුරු කරන්නත් බෑ. ඔහු පසුව වාසි ලබා ගැනීමේ අරමුණ ඇතිව අදාළ මොහොතේ දී පක්ෂග්‍රාහී වුණා කියන එක බැහැර කරන්න බෑ.

අනික කියවන්නේ හිත මිස මතකය නෙවෙයි. නමක් දුරකථන අංකයක් හොයාගන්න කීම අසාධාරණ කොන්දේසියක්. හිත් කියවීමේ දී ඒ මොහොතේ හිතන දේ කියවීමයි වෙන්නේ කීවිට මේ ක්‍රමය බිඳ වැටෙනවා. අනික තමා හිත් කියවීමකට ලක් වෙන බව අදාළ පුද්ගලයා දන්නවා නම් ඔහු හිත් කියවන්නා අයාලේ යවන්න කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා තමා හිත් කියවීමකට ලක් වන බව නො දන්නා කෙනෙක් ගන්න වෙනවා. ඒක සදාචාරාත්මක නෑ. කොහොම වුණත් හිත් කියවලා එය ඔහුගෙන් විමසා සිටිද්දී ඔහු පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. අනෙක් අතට තමා සිතූ දේ සැඟවීමට ඔහු කටයුතු කරන්න පුළුවන්. අනික විශේෂයෙන් කල්පනා නො කරන අවස්ථාවල දී අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ටිකකට කලින් ඔබ හිතුවේ මොනවා ද කියලා බොහෝවිට ඔහුට හරියට කියන්න බෑ. හිතනවා වගේ ම හිතෙනවා කියලා එකකුත් තියෙනවා. තමන් හිතන්නේ මොකක් ද කියලා දන්නේ කල්පනා කරන විට පමණයි.

සහේතු: ඔබේ විග්‍රහය මොකක් ද?
ප්‍රබෝධ : මම කියන්නේ මේක ඉතා ම දුර්වල අභියෝගයක්. අභියෝගයක් නම් එය ජයගත් හෝ නොගත් බව පැහැදිලිව පෙනෙන්න ඕනේ. මේකෙ දී බොහොම ලේසියෙන් ජයග්‍රහණය නො දී මඟ අරින්න පුළුවන්. අමතක කරන්න එපා මේක ඉදිරිපත් වෙන්නේ ම පරීක්ෂණයක් විදිහට නෙවෙයි අභියෝගයක් විදිහට. ඉතින් අර මධ්‍යස්ථභාවයන් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වෙන්නේ කොහොම ද? අනික හේතුවාදී සංගමයේ සාහසික ප්‍රචාරණ යාන්ත්‍රණ එක්ක කොහොමත් ඔවුන්ගෙන් මධ්‍යස්ථ භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක හරිහමන් අභියෝගයක් නෙවෙයි. මෙවන් අභියෝග ඉදිරිපත් කිරීම ම කොවුර්ගේ අශාස්ත්‍රීය භාවය පෙන්වනවා. මේ අභියෝගය ම අපිට අර්ථකථනය කරන්න වෙන්නේ හුදු ජනප්‍රිය භාවය ලබා ගන්න කරපු තේරුමක් නැති අභියෝගයක් විහිළුවක් විදිහට. .

සහේතු: මීළඟට අපි ගමු පුනුරුත්පත්තියේ ප්‍රතිඵලයක් විදිහට හරි භූත , යක්ෂ හෝ දේව බලයෙන් හරි නොදන්නා භාෂාවක් කතා කොට හෝ තේරුම් ගෙන හෝ පෙන්වන්න කියන අභියෝගය

ප්‍රබෝධ: ඔතන නොදන්නා භාෂාවක් කියන්නේ මොකක් ද? මේ ලෝකයේ නැති භාෂාවක් ද? නැතිනම් මේ ලෝකයේ තිබෙන ඔහුට සාමාන්‍ය වශයෙන් නම් දැන ගැනීමට ඉඩකඩක් නැති භාෂාවක් ගැන ද? භූතයෝ හා දෙවියෝ ගැන කියලා නැවතුණා නම් අපට කියන්න පුළුවන් මෙතන අදහස කිසියම් කෙනෙක් නො දැන සිටි භාෂාවක ප්‍රකාශ දේව හෝ යක්ෂ බලයෙන් අවබෝධ කරගෙන පිළිතුරු දීම කියලා. එතන දිත් ප්‍රශ්නයක් එනවා දෙවියන් හෝ යක්ෂයන් එක්ක ගණුදෙනු කරන්නේ චිත්ත රූපවලින් කියලා ගත්තොත්. නො දන්නා භාෂාවක් චිත්ත රූපවලට හරවන්නේ කොහොම ද? චිත්ත රූපවලින් නො දන්නා භාෂාවක් එවන්නේ කොහොම ද? මෙතන දී ඒ බලවේගය එක්ක අතරමැදියා වෙන්නෙත් අභියෝගය භාරගන්නා පුද්ගලයාගේ මනස ම නිසා මේක තීරණාත්මකයි. අනික දෙවියන් සියලු භාෂා දැන සිටිය බව පූර්ව උපකල්පනය කරන්න පුළුවන් අඩු තරමින් සර්වබලධාරි දෙවියකු සම්බන්ධව විතරයි.

තීරණාත්මක විදිහට මේ අභියෝගය මීටත් පහළ තලයකට වැටෙනවා පුනර්භවය ගාවාගෙන තිබීමෙන්. එතකොට අභියෝගය බාරගන්නා පුද්ගලයාට ඕනෑ ම භාෂාවක් ඉදිරිපත් කරන්න බෑ. ඔහුගේ පුනර්භව සිද්ධියට අදාළ භාෂාවයි ලබා දෙන්න ඕනේ. ඇත්තට ම මෙවන් සිද්ධිවලට සාධක තියෙනවා. ආචාර්ය ඉයන් ස්ටීවන්ස්ගේ Twenty Cases Suggestive of Reincarnation කියන පොතේ ඒ සම්බන්ධව ඉතා පැහැදිලි අවස්ථා කීපයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනා ඒ උදාහරණ පිළිගන්නවා. ඒත් ලංකාවේ හේතුවාදියෝ ඒ වගේ දේ සම්බන්ධව කරන්නේ කිසිදු සියුම් අධ්‍යයනයක් නො කර තමන්ගේ හිතු මතයේ ප්‍රකාශ සිදු කිරීම. සමහර විට ලංකාවේ හේතුවාදීන්ගේ ම වර්ගයේ විදේශිකයින් උපුටා දැක්වීමත් සිදු කරනවා. මේවාට  වාර්තා බොරු , ඒ පුද්ගලයින් ඒ භාෂා කලින් දැන සිට තිබෙන්නට ඇති, ඒවා උපවිඥානයේ පවතින්න ඇති වගේ මතයන් ඉදිරිපත් කරන්න හේතුවාදීන් ඉක්මන් වෙන්නේ සියුම් විමසා බැලීම්වලින් තොරව. එවැනි කණ්ඩායමක් ඉදිරිපත් කරන අභියෝග ගැන දෙවරක් හිතන්න වෙනවා. මොක ද ඔවුන් නැවතත් විමසා බැලීමෙන් තොරව එවන් අදහස් ඉදිරිපත් කරලා ගැලවී යාමට ඉක්මන් වෙන බවට නම් සැකයක් නැති නිසා. අනික මේ ඉදිරිපත් කරන්නේ පරීක්ෂණයක් නෙවෙයි අභියෝගයක්. ඒක ඇතුළේ අවිනිශ්චිතතා, යටිකූට්ටු උගුල් තියෙන්න බෑ. මෙය අභියෝගයක් ලෙස ඉදිරිපත් කිරීම ම විහිළුවක්. 

සහේතු: මීළඟට තියෙන්නේ යෝග බලයෙන් මිනිත්තු පහක් හදගැස්ම නවත්වන්න කියන එක.

ප්‍රබෝධ: ඔය වගේ ම තව එකක් තියෙනවා හුස්ම ගැනීම ගැන.

සහේතු: ඔව් මිනිත්තු තිහක් යෝගී බලයෙන් හුස්ම නොගෙන පෙන්වන්න කියන එක.

ප්‍රබෝධ: ඔහොම එක හා සමාන ඒවා දෙකට තුනට කඩා ඉදිරිපත් කිරීමත් තවත් සෙල්ලමක් තමයි. ඔය කියන්නේ අත්ථකිලමථානුයෝගයේ එන අප්‍රාණක ධ්‍යානය ගැන. බුදු දහමට අනුව අප්‍රාණක ධ්‍යානය වඩන්න බෑ. ඔතන දී තියෙන ප්‍රශ්නය මේ අය මේ අභියෝග විසි තුන කියන ඉලක්කම පොදුවේ භාවිත කරනවා ගුප්ත විද්‍යා කටයුතු හෙළා දකින්න. ඒක අශාස්ත්‍රීයයි. මොක ද මේ අභියෝග යොමුවන්නේ විවිධ පද්ධති ගණනාවකට. ඒවා එකිනෙක සමජාතීය නෑ. එක පද්ධතියකින් පුළුවන් කියන දේ අනෙක් පද්ධතියෙන් බැහැයි කියනවා. එහෙම තත්වයක් යටතේ අපේ අග්‍රගණ්‍ය අභියෝග විසිතුන තාම බාරගෙන නෑ කියලා පොදුවේ අරන් කරන විවේචන විහිළුවක්. අනික එය අදාළ වන්නේ අප්‍රාණක ධ්‍යානය වඩා අවසන් කියලා යමෙක් කීවොත් ඔහු විෂයෙහි විතරයි.

බුදු දහමට අනුව මහා නිරෝධායන සමාපත්තියේ දී කායික ක්‍රියා නිරුද්ධ කරන්න පුළුවන් දවස් හතක් දක්වා. ඊට සතර ඍද්ධිපාදත් වඩා තිබීම සමඟ රහත් හෝ අනාගාමී විය යුතුයි. යමෙක් එවැනි උසස් ඵල ලබාගෙන ඇති බව කියනවා නම් එයින් ඔහු පරීක්ෂා කළ හැකියි. එහෙත් තවම රහතන් වහන්සේ කෙනකු මෙවන් අභියෝගයකට මුහුණ දීමට නො පැමිණි නිසා මෙය ප්‍රතික්ෂේප කළ යුතුයි කියනවා නම් මුළාවක්.

අනෙක් අතට මෙතන දී මම කැමතියි මීට අනුරූපව හේතුවාදීන් සඳහා ඉදිරිපත් කළ හැකි අභියෝගය සඳහන් කරන්න. හේතුවාදී සංගමයේ අය කියන විදිහට පුනර්භවයක් නෑ. මනස සම්පූර්ණයෙන් මොළයේ (මස්තිෂ්කයේ) ‍රසායනික ක්‍රියාවලිවල ප්‍රතිඵලයක්. මේවා විද්‍යාත්මක අදහස් ලෙසයි ඔවුන් පවසන්නේ. විද්‍යාව නැවත නැවත සිදු කරමින් තහවුරු කරගත හැකි බව මෙවන් වැඩසටහන්වලට පැමිණෙන හේතුවාදී වෘත්තිකයන් පවසනවා. එහෙම නම් හේතුවාදීන්ට මගේ විවෘත අභියෝගය මිය ගොස් ඇති බව හොඳින් තහවුරු කෙරුණු පුද්ගලයකුගේ මොළයේ
රසායනික ක්‍රියාවලි යථාවත් කොට හෝ ප්‍රතිනිර්මාණය කොට පුද්ගලයා මරණයෙන් නැඟිටුවන්න හෝ නැවත නිර්මාණය කරවන්න. මෙතන දී සතෙක් යොදා ගන්න අවසර දෙන්න පුළුවන් එක කොන්දේසියක් මත පමණයි. බොහෝ හේතුවාදීන් සතුන්ට මනස් නැති බව දිගට ම කීවා. ඔවුන්ට ඇත්තේ නිසගයෙන් එන ප්‍රතිචාර සමූහයක් පමණක් බව කීවා. සතෙක් යොදා ගත්තොත් මුලින් ම ඔවුන් මෙවන් හේතුවාදී පිරිස්වල තර්කවලට විරුද්ධව සතුන්ට මනසක් තිබෙන බව පෙන්වන්න ඕනේ. ඒ තර්ක බිඳ හෙළූ පදනම මත ම සිට සතාගේ මනස යථාවත් කළ බව, ප්‍රතිනිර්මාණය කළ බව පැහැදිලිව පෙන්වන්න ඕනේ. පුනර්භවය පිළිගන්න අයකුට අනුව නම් මරණයෙන් පසු වෙනත් තැනක උත්පත්තිය ලබන බැවින් මෙය කළ නො හැකියි. මනස මොළයට ඌනනය කළ හැකි බව කීමට පෙර හේතුවාදීන් මේ අභියෝගය පිළිගත යුතුය.

ලබන සතියට: භාවනාවෙන් දැනුම ලබා ගත හැකි ද යන්නත් වස්තු මැවීම විනාශ කිරීම හා පරිවර්තනය කිරීමත් පිළිබඳ අදහස්

කොවුර්ගේ අභියෝගවලට අභියෝගයක්

සහේතු: දැන් අපි කොවුර්ගේ අභියෝග පැත්තට එමු. අපි දන්නවා ගුප්ත විද්‍යාවල හා ජ්‍යෝතිෂ්‍යයේ යෙදෙන්නන්ට ඔහු අභියෝග විසි තුනක් ඉදිරිපත් කළා. අභියෝග ඉදිරිපත් කිරීම හේතුවාදයේ රටාව නො වුණත් මේ අභියෝගවලට කිසිවකු ඉදිරිපත් නො වීමෙන් ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාවල අවිද්‍යාත්මක බව තහවුරු කෙරිලා තියෙනවා නේ ද? ඒ නිසා පිරිසිදු හේතුවාදියෙක් විදිහට කොවුර් හැසිරිලා නෑ කියන එකෙන් විතරක් කොවුර්ගේ අභියෝග බොළඳයි කියන්න බෑ නේ ද? ඔහු විද්‍යාර්ථියෙක් විදිහට ගුප්ත විද්‍යාව හා ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාත්මක බව පෙන්වා දී තියෙනවා නේ ද?

ප්‍රබෝධ: ඇත්තෙන් ම සහේතු මම ඒ කරුණු ගැන සඳහන් කළේ ලංකාවේ හේතුවාදීන්ගේ අනවබෝධය පෙන්වන්න. ඔවුන් නියෝජනය කරන මතවාදය හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය දෙපැත්තක තියෙන්නේ.

   දැන්, ඔය විද්‍යාත්මක නොවන බව පෙන්වීම කියන කාරණයට එමු. ඔතන දී විද්‍යාත්මක අවිද්‍යාත්මක බෙදීම තීරණය කරන මිනුම් දණ්ඩ ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන බුද්ධිවාදීන් (rationalists) ළඟා කරගත් ඉහළ ම ප්‍රවේශය පෙන්නුම් කරන්නේ කාල් පොපර් (Karl Popper) කියන දාර්ශනිකයා. බුද්ධිවාදීන්ට අනුව කාල් පොපර් තමයි ඉහළ ම බුද්ධිවාදී විද්‍යා දාර්ශනිකයා. නොබෙල් ත්‍යාග ලාභී මෙඩවර් වගේ බුද්ධිවාදී ජීව විද්‍යාඥයන් ඔහුව ඉතා ඉහළින් සැලකුවා. ලංකාවේ හේතුවාදී සංගමයේ දැවැන්ත චරිතත් තමන් පොපර්වාදීන් බව පවසනවා.

පොපර් පෙන්වා දෙනවා විද්‍යාත්මක පරීක්ෂණවලින් කිසිවක් සත්‍ය බව ඔප්පු කරන්න තර්කානුකූල හැකියාවක් නැති බව. තර්ක ශාස්ත්‍රයේ මූලික නියම අනුව ප්‍රායෝගිකව කළ හැකි එක දෙයයි තියෙන්නේ. ඒ කල්පිතයක් අසත්‍ය බව පෙන්වීම. කිසි විටක තර්කානුකූලව කල්පිතයක් සත්‍ය බව පෙන්වන්න බෑ.

සහේතු: පොපර්ගේ තර්කය දළව සඳහන් කළොත්.

ප්‍රබෝධ: දැන් බටහිර විද්‍යාවේ කල්පිතයක් ඉදිරිපත් වුණහම අපිට ඍජුව ම ඒක පරීක්ෂා කරන්න බෑ. මොක ද කල්පිතයක් ඉදිරිපත් වෙන්නේ අවස්ථා ගණනාවකට සාධාරණව ගොඩක් ලොකු කලාපයක් ආවරණය කරගෙන. අතීත වර්තමාන අනාගත ඒ හැම අවස්ථාවක් ම ගැන හොයලා අපිට ඒක හරි ද බලන්න බෑ. එහෙම හැම එකක් ම බලන්නත් බෑ විතරක් නෙවෙයි එහෙම බලනවා නම් කල්පිතයක් හදලා වැඩකුත් නෑ. හැම අවස්ථාවක් ම වෙන වෙන වෙන ම බලන්න පුළුවන්කම තියෙනවා නම් , එහෙම බලනවා නම් ආය අමුතුවෙන් කල්පිතයක් මොකට ද? කල්පිතයක් හදන්නේ ම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. විවිධ පුරෝකථන කරන්න බලාගෙන නේ. හැබැයි කල්පිතය වරදින අවස්ථාවක් ලැබුණොත් පොපර් කියන විදිහට කෙලින් ම කල්පිතය වැරදි බව ඔප්පු වෙනවා.

දැන් අපිට කපුටන් දාහක් දිහා බැලුවත් 'සියලු කපුටන් කළුයි' කියන එක ඔප්පු කරන්න බෑනේ. අතීත වර්තමාන අනාගත සියලු කපුටන් ගැන අපි දන්නේ නෑනේ. ඒ නිසා කවදාවත් සියලු කපුටන් කළුයි කියලා ඔප්පු කරන්න බෑ. ඒත් එක සුදු කපුටෙක් හම්බුණු ගමන් කල්පිතය බිඳ වැටෙනවා. ඕක ඇත්තට ම සිදුවුණු සිද්ධියක් හංසයෝ සම්බන්ධව. කළු හංසයෝ කියන්නේ මිථ්‍යා සත්ව විශේෂයක් කියලා 1967 දී අහම්බෙන් කැලයෙන් හමු වෙනකම් සියවස් ගණනාවක් හිතන් හිටියා . තර්කානුකූලව කරන්න පුළුවන් කල්පිත බිඳ හෙළීම විතරයි.

සහේතු: යමක් පෙන්වා දීමේ කාර්යභාරය තියෙන්නේ ඒක ඉදිරිපත් කරන කෙනාට නේද? මෙහෙම ගියොත් පැහැදිලිව ම පදනමක් නැති පොඩි පොඩි දේත් පිළිගන්න ඕනෙ ද?

ප්‍රබෝධ: පොපර් පෙන්වන්නේ කල්පිතය තහවුරු කිරීමට සාක්ෂ්‍ය ඉල්ලීම නිශ්ඵල , තේරුමක් නැති දෙයක් බව. පැහැදිලිව ම පදනමක් නැති ඒවා සම්බන්ධව ඔය කියන ප්‍රශ්නය මතු වෙන්නේ නෑ. ඒවා ඉතා පහසුවෙන් ආරම්භයේ දීම බැහැර කරන්න පුළුවන්. සියලු කපුටන් රතු පාටයි කියලා කවුරුහරි කීවොත් කළු කපුටෙක් පෙන්නලා ඉතා කෙටි වෙලාවකින් සරලව ම ඔහුගේ මතය වැරදියි කියලා පෙන්වන්න පුළුවන්.

සහේතු: ඔබ පොපර්වාදියෙක් ද?

ප්‍රබෝධ: නෑ. මම දකින්නේ බටහිර විද්‍යාවේ බොහෝ තැන්වල අසත්‍ය බවවත් නිශ්චිතව ඔප්පු කරන්න බැරි බව. මෙතනදි මම පොපර්ව ගන්නේ හේතුවාදීන්ගේ දියුණු ම ප්‍රවේශය ඔහු නිසාත් හේතුවාදීන් අතර දැවැන්ත චරිත ඔහු පිළිගන්න නිසාත් තමයි. අනෙක් අතට පොපර්ගේ මතයට එරෙහි වුණු අය හේතුවාදයටත් විරුද්ධ වුණ අය. අපි හේතුවාදීන් පිළිගන්න අදහස් එක්ක මුලින් ගණුදෙනු කරලා ඉමු.

පොපර් ඊළඟට කියනවා මෙහෙම . යම් කල්පිතයක් විද්‍යාත්මක වෙන්න නම් එය අසත්‍ය බව ඔප්පු කිරීමට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අසත්‍ය වෙන්න ඕනේ කියන එක නෙවෙයි. අසත්‍ය ද කියලා හොයන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට අයින්ස්ටයින් කීවා සූර්ය ග්‍රහණයක් වෙලාවේ ආලෝකය යම් ප්‍රමාණයකට නැවෙනවා පේන්න ඕනෙ. මගේ කල්පිතය අනුව ඒ නැවෙන කෝණය මේක. මේ අගය නො ලැබුණොත් මගේ කල්පිතය අළු දූවිලි වෙනවා කියලා. ඔය වගේ අසත්‍ය බව පෙන්වන්න ක්‍රම තියෙන්න ඕනේ.

ඊළඟට පොපර් කියනවා ජ්‍යෝතිෂ්‍ය , මාක්ස්වාදය , මනෝවිශ්ලේෂණය කියන විෂයන් තුනේ තියෙන දේවල් අසත්‍යකරණය කරන්න කිසිදු ක්‍රමයක් නෑ. ඒ නිසා මේවා විද්‍යාවන් නෙවෙයි කියලා.

සහේතු: මනෝ විෂ්ලේෂණය?

ප්‍රබෝධ: ඔව්. හේතුවාදී සංගමයේ තමන් පොපර්වාදීන් කියන දැවැන්තයින් ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කළත් මාක්ස්වාදය මනෝවිශ්ලේෂණය විද්‍යාවන් ලෙස පිළිගන්නවා. ඒත් ඒ ගැන කිසිම විග්‍රහයක් කරලා නෑ. (ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහත්මයාගේ මාක්ස්වාදය පිළිබඳ අතෘප්තිමත් පිළිතුර මේ සන්දර්භයට අදාළ නෑ.) . මනෝ විශ්ලේෂණය ගැන කරපු විවේචනවලට පසුකාලීනව ලැකාන් වගේ අය එරෙහි වුණේ විද්‍යාවේ ඇති අමුතු සත්‍ය මොකක් ද කියලා අහමින් හේතුවාදයටත් විරුද්ධව. ඒ නිසා මේ දේවල් විද්‍යාවන් ලෙස පිළිගැනීම හේතුවාදී සංගමයේ පරස්පරයක්.

දැන් ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාත්මකයි කියන්නේ එහි කරුණු වැරදි බව ඔප්පු කිරීමට ක්‍රමයක් නැති බව කියමින් නේ. මේ සියල්ලට ප්‍රතිවිරුද්ධව හේතුවාදී සංගමය, කොවුර් කියන්නේ ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා අසත්‍ය බව පෙන්වීමට ක්‍රම ඇති බව. ඒ කතාව පිළිගත්තොත් එවිට ම කියැවෙනවා මේ ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා විද්‍යාත්මක බව. ඔවුන් ඒවා අසත්‍ය බව ඔප්පු කළත් එවිට ඒවා ඔවුන් පිහිටුවන්නේ මේ වන විට අසත්‍ය වී ගිය විද්‍යාත්මක ප්‍රවාද සමඟ එක මට්ටමේ. හේතුවාදීන්ගේ සුපුරුදු ප්‍රකාශ අනුව ගත්තොත් මේ සියල්ල ක්‍රමයෙන් වර්ධනය වෙන විද්‍යාවේ කොටස්.. එතකොට ඔවුන්ට ඒ ශාස්ත්‍ර ගැරහීමට ලක් කරන්න සාධාරණ අයිතියක් නෑ. එහෙනම් නිවුටන්ව පවා ගැරහීමට ලක් කරන්න ඕනේ.. ඒ වගේ ම ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංශෝධනය කිරීමෙන් නිවැරදි කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිගන්න ඕනේ. එහෙම දේකට ලෑස්ති බවක් ලංකාවේ හේතුවාදීන්ගේ ක්‍රියාකාරිත්වයෙන් පේන්නේ නෑ. ඔවුන් සාහසික ලෙස ඒවා සහමුලින් ම මිථ්‍යා බව කියනවා.

සහේතු: මේ උදාහරණය ගන්න. 'අලින්ට වඩා ඇතුන් ඇත' කියලා කවුරුහරි කීවොත් දැන් ඕකත් අපි ගණන් ගන්න ඕනෙ ද කවුරුහරි වැරදියි කියලා පෙන්නලා දෙනකම්.. දැන් ඕකට අලි ඇත්තු කීයක් පෙන්නුවත් මදිනේ .. දැන් සංගණනයක් ම කරන්න එපැයි.. කවුරුහරි මෙහෙම කීවොත් සංගණනයක් කරලා බැහැර කරනකම් ඒකත් පිළිගන්න ඕනෙ ද?
(උපහාසයෙන් සිනා සෙමින්)

ප්‍රබෝධ: ඕක හොඳ උදාහරණයක්.. ලංකාවේ ඉන්න කෙනෙක් තමන් අහල තියෙන විශ්වාස උඩ ඇත්තු සීමිතයි ඊට වඩා අලි ඉන්නවා කියලා හිතන එක ස්වභාවිකයි. ඒත් ඔය තත්වේ තියෙන්නේ ලංකාවෙ විතරනේ. දළ නැති පිරිමි සත්තු බහුතරය ඉන්නේ ලංකාවේ විතරයි. අප්‍රිකානු අලින්ට , පිටරටවල ආසියානු අලින්ට දළ තියෙනවා උන් අති බහුතරය ඇත්තු.. අනිවාර්යයෙන් ලෝකෙ පුරා සංගණනයකින් මිසක් නිකම් අහලා දැකලා පුරුදු දෙයින් ඔය මතය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇත්තට ම ඕක හොඳ උදාහරණයක් අපිට හරියි වගේ හැඟෙන දේ කනපිට හැරෙන්න පුළුවන් කියන්න. තමුන්ට වෙන්න බෑ පදනමක් නෑ කියලා එකවර පේන දේවල්වල පදනමක් තියෙන්න පුළුවන්. දැන් මේ ගුප්ත කියලා කියන ඇතැම් දේත් 'ගුප්ත' විදිහට හැඟෙන්නේ තමන්ගේ දැනුමේ අඩුපාඩු නිසා වෙන්න පුළුවන්. දැන් හිතන්න ලංකාවෙන් පිට තොරතුරු දැනගන්න නො තිබුණු කාලෙක පිටරට ඉඳන් ආපු වෙළෙන්දෙක් අලින්ට වඩා ඇත්තු ඉන්නවා කියලා කාට හරි කියලා ගියා කියලා. එතකොට දැන් මේ මිනිහා මේක කිව්වොත්  ලංකාවේ අයට .. මිනිස්සු ඔහු පිස්සෙක් කියලා කියන්නත් පුළුවන්. ඔප්පු කරන්න කියලා අභියෝග එන්නත් පුළුවන්.. ලංකාව ඇතුළේ අභියෝගය භාර ගත්තොත් අනිවාර්යයෙන් පරදිනවා. ඇත්තු නම් බහුතරය පිට රට වෙළෙන්දො ලංකාවෙනුත් ඇත් දළ අරන් යන්නේ ඇයි කියන එක 'මිථ්‍යාවට එරෙහි ප්‍රබල තර්කයක්' විදිහට කියැවෙන්නත් තිබුණා.

ලංකාවේ අලි හා ඇත්තු අතර අනුපාතය ලෝකෙදී කනපිට හැරෙන්න පුළුවන් වගේ දැනට පරීක්ෂා කරපු විද්‍යාත්මක ප්‍රවාද වුණත් එහෙම පිටින් ම කනපිට හැරෙන්නත් පුළුවන්. ගුප්ත ශාස්ත්‍ර ගුප්ත නො වෙන්න පුළුවන්.

සහේතු: ඔබ කොවුර්ගේ අභියෝග අශාස්ත්‍රීය බව ප්‍රකාශ කොට තිබුණා. ඔබ මේ අභියෝග භාර ගන්නවා ද?

ප්‍රබෝධ: සහේතු මම මානව විද්‍යාඥයෙක් ( Anthropologist ). මම ජ්‍යෝතිෂ්‍යවේදියෙක්වත් ගුප්ත විද්‍යාවේදියෙක්වත් නෙවෙයි. ඒවා ගැන අධ්‍යයනය කරන්නෙක්. බටහිර විද්‍යාව හා දර්ශනය අධ්‍යයනය කළ කෙනෙක් විදිහට මම කියන්නේ කොවුර්ගේ අභියෝගවලින් බොහෝමයක් අශාස්ත්‍රීය හා හේතුවාදයට අනුව ම අවිද්‍යාත්මක බව. ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින්ට හා ගුප්ත විද්‍යාඥයින්ට කරන්න පුළුවන් අසාධාරණ ම දේ තමයි මේ අභියෝග මත පදනම් වෙලා ඔවුන් හෙළා දැකීම. මේ අභියෝගවලින් සමහරක් තමන්ට අවශ්‍ය විදිහට වංචනිකව හසුරුවන්න පුළුවන්. සමහරක් ඒවා ගුප්ත විද්‍යාඥයින්ට හා ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින්ට අදාළ නෑ.. අනික අභියෝගවලට ඉදිරිපත් නො වීම සමස්ත ශාස්ත්‍රය ම හෙළා දකින්න හේතුවක් කර ගැනීම ඉතා සාහසිකයි. මම පෙන්වන්නේ ඒ බව.

සහේතු: ඔබ මේ වැඩසටහනට ආවේ විවිධ පුද්ගලයින්ට 'කඩේ යාමට' බව සමහරු කියනවා.

ප්‍රබෝධ: ලංකාවේ හේතුවාදීන්ගේ නො දන්නාකම පේන තැනක් ඔය. ඔවුන් හිතන්නේ ලෝකයේ ඉන්නේ ජාති දෙකයි. 1.ජ්‍යෝතිෂ්‍යවේදීන් , ගුප්ත විද්‍යාවේදීන්
2.හේතුවාදීන් කියලා.

මේ ගොල්ලෝ හිතන්නේ ලෝකෙ ම හොරා පොලිස් සෙල්ලමක් කියලා. ජ්‍යෝතිෂ්‍යවේදීන් ගුප්ත විද්‍යාඥයින් අතර හොරුත් ඉන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් මේ හේතුවාදියෝ කියන්නේ ඊටත් එහා ගිය මිථ්‍යා වපුරන කණ්ඩායමක්. පුනර්භවය නිවන වගේ සංකල්ප ප්‍රතික්ෂේප කරන්න 6 වසර විද්‍යාව පොත් බලන්න කියන තරම් බාගෙට උගත් අඥානයින් වගේ ම හේතුවාදය බුදු දහමට අනුකූලයි , ජ්‍යෝතිෂ්‍යය බුදු දහමින් ප්‍රතික්ෂේපිතයි වගේ පට්ටපල් බොරු තර්ක හදන්න බෞද්ධ සූත්‍රවලට විකෘති පරිවර්තන දෙන වචන අත ඇරලා පරිවර්තන කරලා සූත්‍ර විකෘති කරන මහා වංචනිකයොත් හේතුවාදීන් අතර ඉන්නවා. බටහිර විද්‍යාවත් විෂය කරුණු විකෘති කරලා යොදා ගන්නවා. මේවායින් අනාථ වෙන්නේ මේවා බලන් ඉන්න මිනිස්සු, ළමයි. පුනර්භවය නෑ කියන්න සූත්‍ර විකෘති කරන හේතුවාදීනුත් ඉන්නවා. මේ අයට විරුද්ධ වෙන එක මගේ වගකීම කියලයි මම හිතන්නේ. මේවා ගැන කතා කරන්නම් ඉස්සරහට. සහේතු ඔබ හේතුවාදියෙක් වුණත් මෙහෙම නැති බව දන්නවා. ඒත් බහුතරය එහෙම බව කීවොත් ඔබ විරුද්ධ වෙන එකක් නෑ.

සහේතු: ඔබ බටහිර විද්‍යාව කියන්නේ ඇයි? තියෙන්නේ එක ම විද්‍යාව . නැගෙනහිර බටහිර කියලා නෑ.

ප්‍රබෝධ: බටහිර කියලා ඔතන කියන්නේ ඥානවිභාග (epistemology) සලකලා මිසක් භූගෝලීය පදනමින් නෙවෙයි. ඔච්චර ම ඒ ගැන හිතට අමාරුයි නම් මං මේ වැඩසටහනේ ඕකට විද්‍යාව කියලා ම කියන්නම්කෝ. පස්සේ පැහැදිලි කරන්නම්.

සහේතු: ඔබ රුපියල් මිලියනයේ ත්‍යාගය බලාපොරොත්තු වෙනවා ද?
ප්‍රබෝධ : (සිනාසෙමින්) මම ආවේ අභියෝග අශාස්ත්‍රීයයි කියන්න මිස ඒවා කරලා පෙන්නන්න නෙවෙයි. ඒ ගැනත් සලකලා ත්‍යාගය දෙනවා නම් එපා කියන්නේ නෑ. හැබැයි මුලින් ඇපයට තියන්න ඕනෙ ගාණ ගෙවන්න නම් මා ගාව සල්ලි නෑ! දැන් අපි අර අභියෝග ටික අරන් බලමු.

සහේතු: අභියෝග විසි තුනෙන් හා අලුත් කළ අභියෝග දහයෙන් මුලින් ගමු ටෙලිපති එහෙම නැත්නම් හිත් කියවීම. මේ ගැන කතා කිරීමට පළමුව අපි කෙටි විරාමයක් ගනිමු.

ලබන සතියට: හිත් කියවන්න බැරි බව ඔප්පු කරලා තියෙනවා ද?
පෙර ලිපියට

            - තමලු මලිත්ත පියදිගම


http://www.rivira.lk/online/2017/07/22/119519

හේතුවාදීන්ගේ මිථ්‍යා කතා

ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා ගැන විවිධ කතා බහ ඇහෙනවා. ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා සම්පූර්ණයෙන් ම 'මිථ්‍යා' බව කීම අද නිතර රූපවාහිනියෙන් ගුවන් විදුලියෙන් අහන්න ලැබෙනවා. මේ සංවාදය දිවෙන්නේ ඉතා ම මතුපිට තලයක. අද දින මිථ්‍යාව සේ සැලකෙන දේ හෙට දිනයේ සත්‍යය විය හැකියි. අනික හැම කළු වලාවක ම රිදී රේඛාවක් පවතින්නා වගේ ඕනෑ ම මිථ්‍යා කතාවක පවා ගන්නට දෙයක් ඇති බව අද ලෝකයේ පිළිගැනෙද්දී ලංකාවේ තියෙන්නේ ඉතා පසුගාමී ආකල්පයක්. මධ්‍යකාලීන යුරෝපයේ මායාකාරියන්, මූල රසායන විද්‍යාඥයින් (Alchemists) මරා දැම්මාක් මෙන් ගින්නෙන් පිළිස්සුවේ නැති වුණත් සංවාද අවකාශයේ අන්තවාදී තර්ක කියන ගින්නෙන් තමන් මිථ්‍යා ලෙස නම් කරන දෑ දවා අලු කරමින් හේතුවාදීන් ගෙන යන වැඩපිළිවෙළ ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයෙන් ඉතා භයානකයි. මෙසේ උනන්දුවක් ඇති අයගේ ගවේෂණයෙන් ඈත් කරවන්නේ හෙට ලෝකයේ 'සත්‍ය' සැඟවී ඇති තැන් විය හැකියි.
      මීටත් වඩා භයානක ම දේ හේතුවාදීන් තමන් 'විද්‍යාව' නියෝජනය කරන බව පවසමින් ඉදිරිපත් කරන්නේත් මේ වන විට නො පිළිගැනෙන, එමෙන් ම විකෘති කළ කරුණු. සංඛ්‍යානයේ සිට භෞතික විද්‍යාව දක්වා අසත්‍ය විෂය කරුණු හේතුවාදීන්ගෙන් ප්‍රසිද්ධ මාධ්‍යයේ කියැවෙනවා. 'මිථ්‍යාවට' විරුද්ධව හඬ නඟන 'විද්‍යාවේ' වීර පුරුෂයින් සේ පෙනී සිටින අයගෙන් නො සැලකිලිමත් ලෙස වැරදි විෂය කරුණු සඳහන් වීම පාසල් සිසුන් ඇතුළු මහජනතාවට ඉතා අහිතකරයි. එමෙන් ම මූලාශ්‍රවලින් තොරතුරු විකෘති කොට උපුටා දැක්වීම, ත්‍රිපිටකය වචන හලා වැරදි ලෙස පරිවර්තනය කරමින් තමන්ට සිතෙන දේ කීම වැනි දේත් තිබෙනවා. මුදල් ගසා කන ජ්‍යෝතිෂ්‍යකරුවන්ගේ වංචා හෙළිදරවු කරන ලෙසින් ම හේතුවාදීන්ගේ වංචා ඔප්පු කිරීමත් අත්‍යවශ්‍ය දෙයක්. අනිත් අතට හේතුවාදීන් 'සත්‍ය' ලෙස පිළිගන්නා දෑත් බුදු දහමට අනුව නම් නියත මිථ්‍යා දෘෂ්ටියක්.
  මේ ලිපි ලියැවෙන්නේ 'ජනප්‍රිය රැල්ලේ හේතුවාදයෙන්' ලංකාවේ සංවාද ගලවා ගෙන වඩා පුළුල් මනසකින් මේ දේවල් විමසා බැලෙන සංවාදයන්ට ඉඩ හසර විවර කර දීමට.

මේ ක්‍රියාවේ සන්ධිස්ථානයක් වෙන්නේ, ලංකාවේ හේතුවාදීන් තමන්ගේ ශක්තිමත් පදනම ලෙස සලකන කොවුර්ගේ අභියෝග තාර්කිකව බිඳ හෙළීම. ලංකාවේ සංවාදවල බොළඳ භාවය ඇති වෙන්නේ මේ අභියෝග කේන්ද්‍ර කොටගෙන තිබීම නිසා. මේ අභියෝග ගැන ශාස්ත්‍රීය විග්‍රහයක් කරමින් ඒවායේ බොළඳ, අසාර්ථක හා 'අවිද්‍යාත්මක' බව පෙන්වීම මගේ ඉලක්කය. මේක කිරීමට සුදුසු ම රසවත් ම විදිහ සංවාද ආකෘතිය. මම මේ ආකෘතිය ලබා ගත්තේ මිථ්‍යා මත වපුරන්නකු ලෙස කලක් පීඩාවට ලක්වුණු ගැලීලියෝ ගැලීලිගෙන්. ඔහු ප්‍රතිවිරුද්ධ මත බින්දේ Simplicio හා Salviati අතර සංවාදවලින් . මාත් කොවුර්ගේ දුර්මත බිඳින්න මේ ආකෘතිය යොදා ගන්නවා. මෙතැන් සිට ඉදිරියට එය ප්‍රබන්ධයක ස්වරූපයෙන් .....

ප්‍රබෝධ මගේ හොඳ මිත්‍රයෙක්. ඔහු බටහිර විද්‍යාවත් දර්ශනයනුත් ඉතා හොඳින් හදාරා පසුව මානව විද්‍යාව (Anthropology) ගැන ගවේෂණවල නියැලුණේ ඒ අංශයට ඇති ඉමහත් ආශාවට. මාසෙකට කලින් මගේ ගෙදරදි සිදුවුණු සුහද කතා බහක දී කොවුර් ගැනත් කතා වුණා. කොවුර්ගේ අභියෝග ඉතා අශාස්ත්‍රීය බව ඔහු කීවිට මම පුදුමයෙන් පුදුමයට පත් වුණා. මගේ මිත්‍ර උග්‍ර හේතුවාදියකු වන ගවේෂණාත්මක මාධ්‍යවේදී සහේතු මෙහෙයවන 'මිථ්‍යාවට එරෙහිව' වැඩසටහනට මා ප්‍රබෝධව යොමු කරන්නේ ඔන්න ඔය විදිහට....

සහේතු:
ආයුබෝවන්! දයාබර ප්‍රේක්ෂකයිනි 'මිථ්‍යාව විනිවිද' වැඩසටහනට අද සහභාගී වන්නේ ප්‍රබෝධ එරන්දක මහතා. ඔහු විද්‍යාව හා දර්ශනවාදය ගැන ප්‍රසිද්ධ දේශකයෙක් වගේ ම ප්‍රකට මානව විද්‍යාඥයෙක්. ගුප්ත විද්‍යා හා ජ්‍යෝතිෂ්‍ය ගැන ඔහුගේ අධ්‍යයන ජාත්‍යන්තර කීර්තියක් උසුළනවා. ඔහු ගුප්ත විද්‍යාව ගැන ප්‍රබන්ධ කතා ලිවීමෙන් ඉතා ප්‍රසිද්ධියට පත් වුණා. ප්‍රබෝධ මහතා මේ වැඩසටහනට ගෙන්වූයේ ලංකාවේ හේතුවාදීන්ගේ මිථ්‍යාවට එරෙහි අයෝමය ශක්තිය වන කොවුර්ගේ අභියෝග ගුප්ත විද්‍යාව හා ජ්‍යෝතිෂ්‍ය ගැන ඉතා අසාර්ථක ප්‍රවේශයක් බව ඔහු පවසා තිබූ  නිසා. සුවහසක් ප්‍රේක්ෂක ජනතාව විස්මයෙන් බලා සිටි මේ අවස්ථාවට ප්‍රබෝධ මහතා සාදරයෙන් පිළිගන්නවා.

ප්‍රබෝධ: ආයුබෝවන්!

සහේතු: ඔබ වර්තමානයේ දී දරන භූමිකාවට එළඹුණේ කොහොම ද?

ප්‍රබෝධ: ඇත්තෙන් ම මම කුඩා කාලයේ උග්‍ර හේතුවාදියෙක්. මම වෙනස් වුණේ සාපේක්ෂතාවාදය , ක්වොන්ටම් භෞතිකය , අමුර්ත වීජ ගණිතය වැනි දේ විශ්වවිද්‍යාලයේ දී ඉගෙන ගැනීමට ලැබුණු විට. ඇත්තෙන් ම අමුර්ත වීජ ගණිතයේ දී 1+1=2 ද යන්න පවා ප්‍රශ්න කරනවා. බොහෝ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් මෙවැනි දේ අනිවාර්ය සත්‍ය ලෙස පිළිගැනීමට පුරුදු වී සිටින නිසා අමු‍ර්ත වීජ ගණිතය (Abstract Algebra ) හා තාත්වික විශ්ලේෂණය (Real Analysis) වගේ විෂයන්වල දී අසරණ වෙනවා. ඔබ පරම සත්‍ය කියා අදහපු දෙයක් එහෙම නො වෙයි කියද්දී කැලඹිල්ල ආයේ අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. 1+1=0 වැනි දෑ විශ්ව විද්‍යාලයේ ගැටළුවලට ලැබුණු විට අපි ඉතා අසරණ වුණා. රියල්, තාත්වික විෂ්ලේෂණය, කිව්වහම අදටත් මගේ මිතුරු විද්‍යාවේදීන්ගේ , ඉංජිනේරුවන්ගේ දෙපා වෙවුළනවා. අන්තිමට ගණන් කටපාඩම් කරලා තමයි විභාගෙට ලියන්නේ බහුතරය. ලකුණු ඉතා අඩුයි. උග්‍ර හේතුවාදියකු වූ මට මේක අනිත් අයටත් වඩා අමාරු වුණා. පස්සේ මම තේරුම් ගත්තා ඔය ලංකාවේ පවතින සරල ප්‍රවේශයෙන් පාසල්වල ඉගැන්වෙන පද්ධතියට විද්‍යාව කියලා ඊට විරුද්ධ අදහස් මෝඩ , මිථ්‍යා කියන එකේ ලොකු අර්බුදයක් තියෙන බව. ඒකට හුරු වීම උසස් අධ්‍යාපනයට තියෙන තීරණාත්මක බාධාවක් . ඒ වගේ ම සාපේක්ෂතාවාදය , ක්වොන්ටම් භෞතිකය වගේ දේ ඔය සාමාන්‍ය රැල්ලෙන් බැලුවොත් ගුප්ත දේ, මිථ්‍යා වගේ පේනවා. මේ වගේ දේ දැඩිව සිත්වල තහවුරු වීම ඉතා අයහපත්.

සහේතු: ඉතිං හේතුවාදියෝ ඉන්නේ ලංකාවේ විතර ද පිටරටත් ඉන්නවා. ඒත් ඒ රටවලින් විද්‍යාඥයෝ බිහි වුණා.

ප්‍රබෝධ: ඉන්නවා. ඒත් ඔය ජනප්‍රිය රැල්ල නෙවෙයි. ඔය rationalism කියන එක බැඳිලා තියෙනවා reason එක්ක. Reason කියලා ඔතන කියන්නේ තර්ක බුද්ධියට. ඕක හේතුවාදයට වඩා බුද්ධිවාදය කියන විදිහටත් පරිවර්තනය වෙන්න ඕනේ. ඇත්තට ම ලංකාවේ හේතුවාදය කියලා තියෙන රැල්ල තියෙන්නේ ඔය දාර්ශනයට ප්‍රතිවිරුද්ධ අන්තයේ. ලංකාවේ ජනප්‍රිය හේතුවාදීන් ගේන බොහෝ තර්ක බුද්ධිවාදයට ප්‍රතිවිරුද්ධ දර්ශනවල එන තර්ක නො පිටින් අල්ලා ගැනීම්.  ඇත්තට ම අච්චාරුවක්! හැබැයි ඔය ජනප්‍රිය රැල්ල වරක් බ්‍රිතාන්‍යයේත් ඇවිත් කොච්චර දුර ගියා ද කිව්වොත් ශුද්ධ ගණිතයත් මිථ්‍යාවක් කියලා කියන්න ගත්තා. කේම්බ්‍රිජ්වලින් කප්පාදු කරන්නත් උත්සාහ කළා. G.H. Hardy කියන ගණිතඥයාට ඊට පිළිතුරක් විදිහට ඔහුගේ Mathematicians Apology කියන පොත රචනා කිරීමට පවා සිදු වුණා.

සහේතු: ඔබ ගුප්ත විද්‍යා ගැන ප්‍රබන්ධ කතා ලීවා. ඒ ගැන සඳහන් කළොත්

ප්‍රබෝධ: ඔව්. මම ආතර් සී. ක්ලාක් මහතාගේ විද්‍යා ප්‍රබන්ධ , රයිඩර් හැගාඩ්ගේ කතා රස වින්දා.. පාවුලෝ කොයියෝ වගේ අයගේ මායා සම්ප්‍රදායත් කියෙව්වා. මටත් හිතුණා. ආතර්. සී. ක්ලාක්ගේ කතා වගේ මගේ මේ ක්ෂේත්‍රයේ කතා ගොතන්න.

සහේතු: ඔබ ලංකා හේතුවාදීන්ගේ සංගමයේ ප්‍රවේශය දකින්නේ මොන විදිහට ද?

ඔවුන් පරස්පර කීපෙක හිර වෙලා ඉන්නවා. මුල් ම දේ ඔවුන්ගේ කියවීම බොහෝ දුර්වලයි. දාර්ශනික පොත පත කියවා ඇත්තේ කිහිප දෙනකු පමණක් බව පේනවා. අනික ඔවුන්ගේ ප්‍රධාන විරෝධාකල්පය ප්‍රකාශ වෙන්නේ අදෘශ්‍යමාන කියන වචනයෙන්. අදෘශ්‍යමාන විරෝධය පවතින්නේ හේතුවාදයේ නෙවෙයි අනුභූතිවාදයේ (positivism). අනුභූතිවාදීන් එතැන දී අවංකයි. ඔවුන් ඉලෙක්ට්‍රෝන , ගුරුත්වාකර්ෂණය , අවකාශ-කාලය ආදී අපට අදෘශ්‍යමාන සියල්ල විද්‍යාවේ භාවිත කිරීම බැහැර කරනවා. ලංකාව එක්කත් සම්බන්ධකම් තිබුණු . අර්න්ස්ට් මක් දාර්ශනිකයා ඒ වගේ. දැන් බුද්ධිවාදීන් අදෘශ්‍යමාන යථාර්ථ පිළිගන්නවා. හේතුවාදීන් ගේ සංගමයේ දැවැන්තයින් පිළිගන්න කාල් මාක්ස් ඇහුවේ 'දෘශ්‍යමානය යථාර්ථය නම් ආයෙ විද්‍යාවක් මොකට ද කියලා' . ඒකෙ තේරුම විද්‍යාවේ කාර්යය අදෘශ්‍යමාන වූ යථාර්ථය සොයා ගැනීම බව. බුද්ධිවාදයට පසමිතුරු තවත් දර්ශනයක් වුණු ආනුභවිකවාදයෙන් (Empiricism) තමයි ඔය 'පිළිගන්න නම් කරලා පෙන්නන්න' වගේ අදහස් , මේ අභියෝග ඇවිල්ලා තියෙන්නේ. ඉතිහාසයේ කාලාන්තරයක් ගැටුණු මතවාද දෙකක් මේ.ඇත්තට ම ශුද්ධ නියමාකාරයේ බුද්ධිවාදියාගේ අභියෝගය වෙන්න ඕනේ තර්කයෙන් සනාථ කරන්න කියන එක. ඒත් ලංකාවේ අච්චාරු හේතුවාදයේ ඇහෙන්නේ නැත්තෙ ම ඕක. කරලා පෙන්නන්න කියන කොවුර්ගේ අභියෝග හේතුවාදී සංගමයකින් ආපු එක ම පොඩි පරස්පරයක්. ජනප්‍රිය රැල්ල ශුද්ධ ගණිතයට කීවෙත් මුකුත් කරන්න බෑ කියන එක. එතන දී හාඩි කීවේ කරලා පෙන්වන්න ඕනෙත් නෑ. ගණිතය තියෙන්නේ ගණිතය වෙනුවෙන්. ඒකෙන් කවුරුවත් කියන විදිහට ප්‍රයෝජන පෙන්වන්න ඕනේ නෑ. ඒකට හිතට හරි නැත්නම් සමාවෙන්න . වනචාරියාට සාන්තුවරයා පිස්සෙක් වගේ පේන්න පුළුවන් කියලා.

ලබන සතියට: විද්‍යාවෙන් නො-විද්‍යා බොරු බව පෙන්වීම හේතුවාදයට එකඟ ද හා කොවුර්ගේ අභියෝග එකින් එක.
මීළඟ ලිපියට

                                           - තමලු මලිත්ත පියදිගම
                                      2017 ජූලි 16 ඉරිදා රිවිර

අලුත් ම සටහන

බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

  බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම   බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...

වැඩිපුර කියවූ ලිපි