අහම්බෙන් මා කලකට පෙර කර තිබු මේ පරිවර්තනය නැවත හමු විය. මෙය අමතකව ගොස් තිබුණි. මතක හැටියට මෙය වැසි දිනක කම්මැලිකම මකා ගන්නට කළ පරිවර්තනයකි. එදින එය සම්පුර්ණයෙන්ම පරිවර්තනය කොට අහවරව තිබී ඇති බව අද දකින තුරු නිනව්වක් නොවී ය. කාට හෝ කියවගන්නට මෙහි පළකිරීම උචිත යයි හඟිමි.
ගෙටියර්ගේ පත්‍රිකාව දැනුම යනු කුමක් ද යන්නට බටහිර දර්ශනයේ තිබූ අදහසක් ප්‍රශ්න කරයි. ලංකාවේ සමහරුන් කියන්නේ බටහිර දර්ශනය තුළ දැනුම විශ්වාසයක් ලෙස පොදුවේ නො සැලකෙන බවයි. තවමත් වැදගත් ස්ථානයක් ලබා දෙන ගෙටියර්ගේ පත්‍රිකාවේ ඔහු දැනුම විශ්වාසයක් වීමේ අනිවාර්යතාව ප්‍රශ්න කරන්නේ නැත.
සාධාරණීකෘත සත්‍ය විශ්වාස දැනුම ද?
- එඩ්මන්ඩ් ගෙටියර් 1963 Analysis
යම් කෙනකු කිසියම් ප්‍රස්තුතයක් දන්නවා යැයි කීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතා කවරේ දැයි දැක්වීමට මෑත වසර කීපයේ විවිධ උත්සාහ දරා තිබේ. මේ උත්සාහ බොහෝ විට පහත දැක්වෙන ආකාරයට සමාන ස්වරූපයකින් දැක්විය හැකි පරිදි වේ. 1
(a) S (නම් පුද්ගලයා) P (නම් ප්‍රස්තුතය) දනියි නම් හා නම් ම පමණක්
(i) P සත්‍ය වේ,
(ii) S P විශ්වාස කරයි
(iii) P වේ යැයි විශ්වාස කිරීම සාධාරණ බව Sට වැටහෙයි.
උදාහරණ ලෙස, චිෂෝම් පහත දේ දැනුමේ අනිවාර්ය හා ප්‍රමාණාත්මක අවශ්‍යතා ලෙස දක්වයි.2
(b) S P දනියි නම් හා නම් ම පමණක්
(i) S P පිළිගනියි
(ii) Sට P සඳහා මනා සාක්ෂ්‍ය ඇත.
(iii) P සත්‍ය වේ.
ඒයර් දැනුමේ අනිවාර්ය හා ප්‍රමාණාත්මක අවශ්‍යතා මෙසේ දක්වයි.3
(c) P සත්‍ය වේ.
(ii) P සත්‍ය බව Sට නිසැක ය.
(iii) P සත්‍ය බවට නිසැක වීම සඳහා Sට අයිතියක් ඇත.
S P දන්නවා ය යන ප්‍රස්තුතය සත්‍ය වීම සඳහා ප්‍රමාණාත්මක අවශ්‍යතාවක් ලබා නො දෙන බැවින් මම (a) සාවද්‍ය බවට තර්ක කරමි. "විශ්වාස කිරීම සාධාරණ බව වැටහෙයි" යන්න වෙනුවට "මනා සාක්ෂ්‍ය ඇත", "නිසැක වීමට අයිතියක් ඇත" යන ඒවා ආදේශ කළ විට මෙම තර්කය මඟින් ම දිගට (b) හා (c) ද අසමත් වන බව පෙන්වා දේ.
කරුණු දෙකක් අවධානයට ගනිමින් මම පටන් ගන්නම්. පළමුව, S P දැන ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස දක්වන P විශ්වාස කිරීම සාධරණ යැයි වැටහීම අර්ථයෙන් "සාධාරණ යැයි වැටහීම" සැලකූවිට ඇත්ත වශයෙන් ම අසත්‍ය වූ ප්‍රස්තුතයක් විශ්වාස කිරීම සාධාරණ යැයි සැලකීම විය හැක්කකි. දෙවනුව, ඕනෑ ම P ප්‍රස්තුතයක් සඳහා, P විශ්වාස කිරීම සාධාරණ යැයි Sට වැටහී ඇති විට P තුළ Q අන්තර්ගත වී ඇති නම් හා S P මඟින් Q අපෝහනය කර Q මේ අපෝහනයේ ප්‍රතිඵලයක් ලෙස පිළිගෙන ඇත් නම්, Sට Q විශ්වාස කිරීම සාධාරණ යැයි වැටහී ඇත. මේ කරුණු දෙක සිතේ තබාගෙන, මම ඔබට සමහර ප්‍රස්තුත සඳහා (a)හි දක්වා ඇති අවශ්‍යතා සත්‍ය වූ එහෙත් ඒ සමඟ ම ප්‍රශ්නයේ සිටිනා පුද්ගලයා ඒ ප්‍රස්තුතය දන්නවා ය යන්න අසත්‍ය වූ අවස්ථා දෙකක් දක්වන්නම්.
I අවස්ථාව
ස්මිත් හා ජෝන්ස් එක්තරා රැකියාවකට ඉල්ලුම් කොට ඇත. ස්මිත්ට පහත සංයෝජක ප්‍රස්තුතය සඳහා ප්‍රබල සාක්ෂ්‍ය ඇති බව සලකන්න:
(d) රැකියාව ලැබෙන්නේ ජෝන්ස්ට ය සහ ජෝන්ගේ සාක්කුවේ කාසි දහයක් ඇත.
ස්මිත්ගේ (d) සඳහා සාක්ෂ්‍යය වන්නේ සමාගමේ සභාපතිවරයා ජෝන්ස් අවසානයේ දී තේරී පත්වන බව ඔහුට සනාථ කොට තිබීම හා මිනිත්තු 10කට පෙර ඔහු ජෝන්ස්ගේ සාක්කුවේ ඇති කාසි ගණන් කොට තිබීම විය හැකි ය.
(d) ප්‍රස්තුතය පහත ප්‍රස්තුතය ගැබ් කරගෙන ඇත.
(e) රැකියාව ලැබෙන පුද්ගලයාගේ සාක්කුවේ කාසි දහයක් ඇත.
ස්මිත් (d) තුළ (e) ගැබ්වන බව දැක, තමාට විශ්වාස කිරීමට ප්‍රබල සාක්ෂ්‍ය ඇති (d) මත පිහිටා (e) පිළිගත්තා යැයි සිතමු. මේ අවස්ථාවේ ස්මිත්ට (e) සත්‍ය යැයි විශ්වාස කිරීම සාධාරණ යැයි වැටහී ඇත.
එහෙත්, තවදුරටත්, ස්මිත් නො දැනුවත්ව ජෝන්ස් නොව ඔහු රැකියාවට තෝරාගත්තේ යැයි පරිකල්පනය කරන්න. එමෙන් ම ස්මිත් නො දැනුවත්ව ඔහුගේ සාක්කුවේ ද කාසි දහයක් තිබේ. එවිට (e) ප්‍රස්තුතය සත්‍ය වන නමුත් ස්මිත් එය අනුමාන කිරීමට යොදාගත් (d) ප්‍රස්තුතය අසත්‍ය වේ. අපගේ උදාහරණයේ පහත සියල්ල සත්‍ය වේ: (i) (e) සත්‍ය වේ, (ii) ස්මිත් (e) සත්‍ය බව විශ්වාස කරයි, (iii) ස්මිත්ට (e) සත්‍ය බව විශ්වාස කිරීම සාධාරණ යැයි වැටහී ඇත. එහෙත් එතරම් ම පැහැදිලිව (e) සත්‍ය බව ස්මිත් 'දන්නේ' නැත; මක් නිසා ද යත්, (e) සත්‍ය වන්නේ ස්මිත්ගේ සාක්කුවේ තිබෙන කාසි ගණන නිසා වුව ද ස්මිත් තමාගේ සාක්කුවේ කාසි කීයක් තිබේදැයි දන්නේ නැති අතර ඔහුගේ විශ්වාසය පදනම් වන්නේ ඔහු රැකියාව ලබන පුද්ගලයා යැයි සාවද්‍ය ලෙස විශ්වාස කරන ජෝන්ස්ගේ සාක්කුවේ කාසි ගණන් කිරීමක් මත ය.
II අවස්ථාව
පහත ප්‍රස්තුතය සඳහා ස්මිත්ට ප්‍රබල සාක්ෂ්‍ය ඇතැයි උපකල්පනය කරමු.
(f) ජෝන්ස්ට ෆෝඩ් රථයක් ඇත.
ස්මිත්ගේ සාක්ෂ්‍යය ඔහුගේ මතකය තුළ සියලු අතීත අවස්ථාවල ජෝන්ස්ට කාරයක් තිබීම, එය හැම විට ම ෆෝඩ් රථයක් වීම හා ෆෝඩ් රථයෙන් ජෝන්ස් ස්මිත්ව ඇරලවා තිබීම විය හැකි ය. අපි දැන් ස්මිත්ට කොහේ සිටිනවා දැයි නොදන්නා බ්‍රවුන් නම් තවත් මිතුරකු සිටී යැයි පරිකල්පනය කරමු. ස්මිත් අහඹු ලෙස ප්‍රදේශ නාම තුනක් තෝරා පහත ප්‍රස්තුත ගොඩනගයි.
(g) ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් තිබේ හෝ බ්‍රවුන් බොස්ටන්හි සිටී.
(h) ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් තිබේ හෝ බ්‍රවුන් බාසිලෝනාහි සිටී.
(i) ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් තිබේ හෝ බ්‍රවුන් බෙස්ට්-ලිටොව්ස්ක්හි සිටී.
මේ සියලු ප්‍රස්තුත (f) මගින් ගම්‍ය වේ. ස්මිත් ඔහු (f) ඇසුරෙන් ගොඩනැඟූ ප්‍රස්තුතවල ගම්‍ය වීම වටහා ගෙන (f) මත පිහිටා (g), (h), (i) පිළිගැනීමට යන අවස්ථාවක් සලකන්න. ස්මිත් තමාට ප්‍රබල සාක්ෂ්‍ය ඇති ප්‍රස්තුතයකින් නිවැරදි ලෙස (g), (h), (i) අපෝහනය කර ඇත. එම නිසා ස්මිත්ට මේ ප්‍රස්තුත තුන විශ්වාස කිරීම සාධාරණ බව සම්පූර්ණයෙන් වැටහී ඇත. ස්මිත්ට, ඇත්ත වශයෙන් ම, බ්‍රවුන් ඉන්නා තැන ගැන කිසි අදහසක් නැත.
දැන් තවත් අමතර කොන්දේසි දෙකක් ඇතැයි සිතන්න. පළමුව, ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් නැති අතර, මේ වන විට ඔහු පදවන්නේ කුලියට ගත් කාරයකි. දෙවනුව ඉතා අහඹු සමපාත වීමකින් ස්මිත් කිසිසේත් නො දැන (h) හි සඳහන් කරන ස්ථානය ඇත්තෙන් ම බ්‍රවුන් සිටිනා ස්ථානය වේ. මේ කොන්දේසි දෙක සිදු වුවහොත් එවිට
(i) (h) සත්‍ය වේ.
(ii) (h) සත්‍ය බව ස්මිත් විශ්වාස කරයි.
(iii) ස්මිත්ට (h) සත්‍ය බව දැනීම සාධාරණ යැයි වැටහී ඇත
යන තුන ම සිදු වුව ද (h) සත්‍ය බව 'දන්නේ' නැත.
මේ උදාහරණ දෙක (a) නිර්වචනය යම් කෙනකු ප්‍රස්තුතයක් දැනීම පිළිබඳව ප්‍රමාණවත් කොන්දේසියක් නොදක්වන බව පෙන්වයි. එම අවස්ථාවන් ම සුදුසු වෙනස්කම් සහිතව (b) හා (c) නිර්වචන ද එසේ ම බව දක්වයි.
සටහන්:
1. ප්ලේටෝ Thaetetus 20 Iහි සමහර මෙවැනි නිර්වචන සැලකිල්ලට ගෙන Meno 98හි සමහර විට එකක් පිළිගන්නා බවක් පෙන්වයි.
2. රොඩ්රික් එම්. චිෂෝම්, Perceiving: A Philosophical Study. (ඉතකා, නිව්යෝක්,
1957), 16.
3. A.J. එයර්, The Problem of Knowledge, (London, 1956).
Pigeon hallprinciple (ප්‍රවාදය) හා එහී භාවිතාවන අකාරය ගැන සටහනක් පල කිරීමට හැකිද මහත්මයා !
ReplyDelete