මානවවාදයේ දේවවාදය

2017 ඔක් 18 විදුසර (පළමු ඡේදය සංස්කරණය වී ඇත.)

මානවවාදයේ දේවවාදය 


හේතුවාදීන්ට, තවදුරටත් තමන් හේතුවාදීන් ම නොවන බව මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කළ හැකි ද?

සැම්සන් මහතා කොතරම් බංකොලොත් අඩියකට වැටී ඇති ද යත් ඔහු දැන් ගෙනෙන තර්ක පාසල් මට්ටමේ විවාදයක තබා පෙර පාසලක විවාදයක් තැබුවහොත් එහි දී වත් නැඟේ දැයි සැකසහිත ය. ඒ තරම් ම ළද බොළඳ ය. පාඨකයන් සිනහ ගන්වන තරම් විහිළු සහගත ය. ඔක්තෝබර් 04 ලිපියේ මම සැම්සන් මහතා කර තිබූ අරුත්සුන් චෝදනා කිහිපයකට පිළිතුරු ලෙස අභියෝග කිහිපයක් ම ඔහුට ඉදිරිපත් කළෙමි. ඒවා ගැන වගේ වගක් නැත.

මම මූලාශ්‍ර සහිතව යුරෝපීයයන් මෙහි ඒමට බොහෝ පෙර සිට බෞද්ධයන් පෘථිවිය ගෝලාකාර බව දැන සිටි බව පෙන්වා දුන්නෙමි. මේ සඳහා සැම්සන් මහතා දී ඇති පිළිතුර පාසල් ළමුන් පවා සිනහ ගන්වන සුලු ය. ඔහු කියන්නේ පොළොව ගෝලාකාර බව කීවේ පයිතගරස් හා ඇරිස්ටෝටල් බව නවය වසරේ විද්‍යාව පොතේ ද ඇති බවත් එයට විද්‍යාව උගන්වන කිසිදු බෞද්ධයකු විරුද්ධ වී නැති බවත් ය. අපගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සුද්දන් විසින් නොමඟ යැවුණි දැයි ඔහු අසයි. මේ ප්‍රශ්නවල ඇති හාස්‍යය අමුතුවෙන් පැහැදිලි කර දිය යුතු නො වෙතත් එතරම් දෙයක්වත් තේරුම් ගැනීමට ප්‍රමාණවත් බුද්ධි කෞශල්‍යයක් නැති සැම්සන් මහතා වැනි හේතුවාදීන් ද මෙය කියවන බැවින් තව දුරටත් විස්තර කරමි. පිරිවෙන් ක්‍රමය කඩා බිඳ දමා බටහිරයන් මෙරටේ ‍පාසල් හා විශ්වවිද්‍යාල ඇති කොට ඒවායින් පිට වෙන්නන්ට ඉහළ සමාජ තත්වය හා ජීවන මාර්ග හිමිවන සේ සමාජ ක්‍රම සැකසූ පසු අප රටේ අධ්‍යාපනය බටහිරයන්ට යට වී ඇත. අප ඉගෙන ගන්නා දැනුම බටහිර කේන්ද්‍රීයව අර්ථකථනය කෙරෙයි. ඉන්දියාව 'හොයාගත්තේ' වස්කෝ ද ගාමා යැයි කියන්නට අපට ඉගැන්වෙයි. උසස් පෙළ රසායන විද්‍යාව ඉගෙන ගන්නා විට සැලකිය යුතු කාමර උෂ්ණත්වය වන්නේ 'සුද්දන්ගේ කාමර උෂ්ණත්වයයි' (25°C). මෙසේ අපට ඉගැන්වෙන්නේ බටහිරට සාපේක්ෂව අර්ථකථනය වූ දැනුමකි. බටහිර විද්‍යාව එක ම විද්‍යාව ලෙස ඉගැන්වෙයි. පිරිවෙන්වල තිබූ පංචාංග ගණිතයේ කුමන දේ ඉගැන්විණි දැයි අද අප බොහෝ දෙනා දන්නේ නැත. සුල්බ ගැන, බරණ ගැන ආර්යභට ගැන භාෂ්කර ගැන අප ඉගෙන ගන්නේ නැත. එහෙත් නිවුටන් අයින්ස්ටයින් ගැන අපි ඉගෙන ගනිමු. මෙවැනි තත්වයක් තුළ බෞද්ධයන් පවා මා මීට පෙර උපුටා දැක්වූ කරුණු නො දැන සිටීමට ඉඩකඩ අතිවිශාල ය. බොහෝ දෙනා මිලින්ද ප්‍රශ්නය කියවා නැත. සූර්ය සිද්ධාන්තය අධ්‍යයනය කළ ජ්‍යොතිෂ්‍යවේදීන් සෙවීමත් වර්තමානයේ අපහසු ය. එහෙයින් නවය වසරේ පොතේ මේ ගැන සඳහන් නො වීමේත් බෞද්ධයන් ඊට විරෝධය නො පෑමේත් අරුමයක් නැත. බටහිරයන් අප මත පැටවූ දුර්මතවලින් ලංකාවේ ජනයා මුදා ගැනීම මේ සංවාද ලිපිවලින් සිදුවන එක් මෙහෙයකි. සැම්සන් මහතා වැන්නෝ දැනුම සම්බන්ධයෙන් බටහිර ආධිපත්‍යය ක්‍රියාත්මක වීමට දායක වන වක්‍ර ඒජන්තයෝ ය. බටහිර මායාව විනිවිද යමින් මේ කරුණු හෙළි දරව් කළ විට ඔවුහු එය අන්තර්ජාතිකව (සුද්දන්) පිළිගෙන නැති බවත් අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ග හමුවේ අන්ධ වී ඇති බෞද්ධයන්වත් පිළිගෙන නැති බවත් කියමින් දැනුමේ යතුර සුද්දන් අතට ම දීමට ඉමහත් වෙහෙසක් දරති. පාසල් පෙළපොත්වල මෙවන් දේ පළවීම තබා බටහිර විද්‍යාව සම්බන්ධ කරුණු ද සාවද්‍යව සඳහන් වූ තැන් බහුල ය. එමෙන් ම ලබා දෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු පවතී. පාඨකයන්ට මේ බව අවබෝධ කර ගැනීමට සරල උදාහරණයක් ලබා දෙමි. බොහෝ දෙනා සිතා සිටින්නේ චන්ද්‍රයාගේ ගුරුත්වාකර්ෂණය නිසා වතුර ඉහළට ඇද ගැනීමෙන් මුහුද එස වී වඩදිය ඇතිවන බවයි. ගැටලුව වන්නේ හඳ පිහිටන දිශාවේ මෙන් ම හඳට විරුද්ධ දිශාවේ ද එකවර වඩදිය ඇති වීමයි. අපේ අධ්‍යාපනය කෙතරම් හොඳින් සිදුවෙනවා ද යත් වඩදිය කෙසේ ඇති වෙනවා දැයි නිවැරදිව දැන ගැනීම තබා මෙසේ දෙපැත්තේ ම වඩදිය ඇතිවන බවවත් බොහෝ දෙනා දන්නේ නැත. එක්තරා වසරක පෙළපොතක කියා තිබුණේ මෙසේ වන්නේ සමමිතිය නිසා බව ය!

සැම්සන් මහතා මා විද්‍යාඥයන්ව අජිත කේශකම්බලට සමාන කරමින් ඔවුන්ට අවමන් කළේ යැයි කිඹුල් කඳුළු හෙළමින් සැරසෙන්නේ පාඨකයන්ගේ අනුකම්පාව දිනා ගැනීමට ය. බුද්ධිමත් විදුසර පාඨකයන් ඔහුගේ කිඹුල් කඳුළු පිස දැමීමට නො එන බව සැම්සන් මහතා වටහා ගත යුතු ය. මා කළේ පුනර්භවය විෂයෙහි සැම්සන් මහතා සඳහන් කරන විද්‍යාඥයන් අජිත කේශකම්බලට සම කිරීම පමණි. ඒ සම කිරීම අපහාසයක් ලෙස දකින්නේ සැම්සන් මහතා ය. බුදු දහම සමඟ සමබිමක් සෙවීමට වලිකන සැම්සන් මහතා බුද්ධ කාලයේ සිටි භෞතික වාදියකුට ඔවුන් සමාන කිරීම අවමානයක් ලෙස දකින්නේ ඇයි? භෞතිකවාදය ප්‍රතික්ෂේප කොට ආලාර කාලාම ආදී විඥානවාදී ප්‍රභවයක් ඇති ගුරුවරුන්ගෙන් ඉගෙන විඥානවාදය ඉක්මවා ගිය බුදුන් වහන්සේට සමාන වීමට දඟලමින් සිටින අතරතුර එකල ම සිටි භෞතිකවාදියාට සමාන කිරීම ගැන ඔතරම් නො පහන් වන්නට සැම්සන් මහතා පෙළඹෙන්නේ ඇයි? සැම්සන් මහතා තුළ අතීත භෞතිකවාදීන් පිළිබඳ විශාල හීනමානයක් පවතින බව පෙනේ.

ඉන්දියාවේ ජ්‍යෝතිෂ්‍යවේදීන් ජ්‍යෝතිෂ්‍යයේ සිද්ධාන්ත වැරදි බව පර්යේෂණාත්මකව පෙන්වූ බව කියන සැම්සන් මහතා අදාළ ලේඛන තබා ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ නම් සඳහන් කිරීමටවත් දක්වන්නේ පුදුමාකාර මැලිකමකි. වර්ෂ පවා දක්වන්නේ 1925 දී 'පමණ' ආදී වශයෙන් අවිනිශ්චිත ය. ජ්‍යෝතිෂ්‍යය ගැන ජ්‍යෝතීර්වේදීන් දෙදෙනකු ලියූ පොතකින් කොටසක් උපුටා ගන්නා ඔහු වැදගත් ම දත්තයක් වන අදාළ පොතේ නම සඳහන් කිරීම අමතක කරයි. මූලාශ්‍ර භාවිතය ගැන සැම්සන් මහතා වෙන ම ම පාඨමාලාවක් හැදෑරිය යුතු ය. මෙසේ මූලාශ්‍ර අවිධිමත්ව දක්වන විට සැම්සන් මහතා කියන පර්යේෂණ කෙතරම් ම විධිමත්ව වී ඇති ද, ක්‍රමවේදවල අඩුපාඩු පවතී ද යන්න පිළිබඳව අප සොයා බලන්නේ කෙසේ ද? සැම්සන් මහතා හෝකිංගේ ප්‍රකාශ විකෘති වන සේ මැදින් උපුටා ගනිමින් කිහිප වරක් ම ඔහුට කළ අසාධාරණය දුටු අපට මෙවන් ඡේද සැම්සන් මහතා පෙන්වන නිසා ම පිළිගත හැකි ද? මෙසේ මූලාශ්‍ර අවිධිමත්ව දැක්වීම සදාචාරයට ද පටහැනි ය. ඔහු කියන දෑ සත්‍ය යැයි ගත්ත ද ඒවා කිසිසේත් ප්‍රමාණවත් නොවේ. විද්‍යුතය හා චුම්භකත්වය අතර සම්බන්ධතාවය ඇති බව පෙන්වීමට අද අප කරන පරීක්ෂණය ම අතීතයේ දී ඒ සංසිද්ධි අතර සම්බන්ධයක් නැති බව කීමට භාවිත කොට තිබූ බව සැම්සන් මහතා දන්නේ ද? තවදුරටත් කිව යුත්තේ උසස් පෙළ තර්ක ශාස්ත්‍රය පිළිබඳ කෘති බොහෝමයක් රචනා කළ 80 දශකයේ සුප්‍රසිද්ධ ගුරුවරයකු සඳහන් කර තිබුණේ තර්ක ශාස්ත්‍රය ඉගෙනීමෙන් අපට කිසිදු විශේෂ ප්‍රයෝජනයක් නො ලැබෙන බවයි! පසුගිය සතියේ දැක්වූ පරිදි ස්ටීවන්ස් හෝකිං ම පවසන ලෙස තාරකා විද්‍යාවේ බොහෝ සිද්ධාන්තවලට ජ්‍යෝතිෂ්‍යයට තරම්වත් සාධක නැත!

සැම්සන් මහතා පැරැන්නන් ග්‍රහලෝක පුද්ගලාරෝපණය කිරීම දකින්නේ ඉතා බරපතල වරදක් ලෙසයි. බටහිර වෛද්‍ය ක්‍රමයේ සංකේතය වන්නේ ග්‍රීක ජාතිකයකුට දෙවියන් ලබා දුන්නා යැයි මිථ්‍යා කතාවල සඳහන් වන ස්පර්ශ කළ විට නයි විෂ බැස යන දණ්ඩකි. සැම්සන් මහතා හෝ වෙනත් හේතුවාදියකු හෝ බටහිර වෛද්‍ය ක්‍රමය පිළිබඳ ආයතනවලට එරෙහිව මෙවන් තර්ක ගෙනෙන්නේ නැත. නාසා ආයතනය ආකාශ වස්තු නම් කරන්නේ ද පැරණි ග්‍රීක මිථ්‍යා කතාවල නම්වලිනි. සැම්සන් මහතා මේවාටත් එරෙහි වෙනවා ද? ජ්‍යෝතිෂ්‍යයේ ද ඔවුන්ගේ ගණිතමය සමීකරණවලට අනුරූප වන පරිදි උපමා කතා ඉදිරිපත් කොට ඔවුන්ගේ විෂය රසවත් කරගැනීමේ ඇත්තේ කවර වරදක් ද? ධන ඍණ ආරෝපණ ගැහැනුන්ට හා පිරිමින්ට උපමා කොට භෞතික විද්‍යාව උගන්වන ගුරුවරුන් මා ඕනෑ තරම් දැක ඇත.

රාශි යනු ආකාශය බෙදා ඇති කෝණ මිස තරු රටා නො වේ. බටහිර ජ්‍යෝතිෂ්‍යයේ හා පෙරදිග ජ්‍යෝතිෂ්‍යයේ ඇති රාශි චක්‍රවල පිහිටීම් ද වෙනස් ය. ජ්‍යෝතිෂ්‍යයේ තරු රටා ද්විමාන ය යනු සැම්සන් මහතාගේ හිතලුවකි. අනාගතයේ පහළ වන ඉතිහාසඥයකු මෙකල අප භාවිත කරන මර්කේටර් සිතියමක් සොයාගෙන අප ලෝකය ඍජුකෝණාස්‍රාකාර යැයි සිතූ බවත් රටවල්වල වර්ගඵල හා දුර අනුපාත වැරදියට ලකුණු කොට ඇති බවත් කිවහොත් නිවැරදි ද? අප පෘථිවිය ගෝලාකාර බව දැන සිටියත් අපේ පහසුවට මෙවන් නිරූපණ කරමු. ජ්‍යෝතිෂ්‍යන්හි එවන් දේ උඩින් පල්ලෙන් අතගා සැම්සන් මහතා මේ කරන විහිළුව කුමක් ද?

දැන් අපි ඒ මහතා කියන මානවවාදය හා නිදහස් චින්තනය විමසමු.

සැම්සන් මහතාට අනුව දැන් හේතුවාදීන්, මානවවාදීන් හා නිදහස් චින්තකයන් ලෙස වෙනස් වී ඇති අතර ඔවුහු හේතුවාදයේ වර්තමානයට ගැළපෙන කොටස් පමණක් පිළිගනිති. මෙසේ නම් ප්‍රසිද්ධ මාධ්‍යයේ සිටින හේතුවාදීන් වහ වහා එම මාධ්‍යවලින් තමා හේතුවාදයෙන් දැන් ප්‍රතික්ෂේප කරන්නේ කවර අංග ද යන්නත් තමන් තවදුරටත් හේතුවාදීන් ම නොවන බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතු ය. එසේ කරන ලෙස ඔවුන්ට අභියෝග කරමි. පසුගිය සතිවල අපි බුද්ධිවාදය, යථාර්ථය හා ද්‍රව්‍යවාදයේ බිඳ වැටීම විමසා බැලීමු. මෙසේ තීරණාත්මක දාර්ශනික පද්ධති බිඳ වැටීමෙන් පසු හේතුවාදීන් දර්ශනය පිළිබඳව ප්‍රබලව ඉස්මතු නො කෙරෙන වචනවල එල්ලීමට පටන් ගෙන ඇත. මානවවාදය නිදහස් චින්තනය එවැනි වචන දෙකකි.

මේ මානවවාදය යන වචනය මුලින් ම නිර්මාණය කළේ ෆ්‍රෙඩ්‍රික් නීත්හැමර් නම් දේව ධර්මවාදියා ය. මුල් කාලයේ මානවවාදීන්ට අනුව මානවවාදය යනු දෙවියන් ගවේෂණය කළ යුත්තේ විද්‍යාව මඟින් බව පිළිගැනීමයි. මේ ඉතිහාසය තරමක් වැදගත් ය. පුනරුද යුගයේ දී පැරණි ග්‍රීක රෝම කෘති අධ්‍යයනයත් සමඟ මධ්‍යකාලීන යුගයේ තිබූ මතවාද අභියෝගයට ලක් විය. ඒ සමඟ ම තෝමස් ඇක්වයිනාස් වැනි දේවගැතිවරු ඇරිස්ටෝටලියානු දර්ශනය පල්ලියේ ඉගැන්වීමට එක් කිරීමට කටයුතු කළ හ. බයිබලයේ පාඨවලට එතෙක් දුන් අර්ථකථනයන්ට වෙනස්ව ග්‍රීක රෝම දර්ශනයන්ට හා ආරම්භක බටහිර විද්‍යාවට අනුකූල වන ලෙස අර්ථකථනය කිරීම ඇරඹුණ අතර මෙහි ප්‍රතිඵලය වූයේ දේවධර්මය (Theology) නමින් හැඳින්වෙන දාර්ශනික විෂයන් බිහි වීමයි. හේතුවාදය හා මානව වාදය ලෙස පසුව වර්ධනය වූයේ ද දේවධර්ම නිකායන් සමහරකි. ආරම්භක මානවවාදීන් දේවවාදීන් වූවා පමණක් නොව මානවවාදී ප්‍රකාශනය (Humanist Manifesto) ලෙස හැඳින්වෙන ප්‍රකට ලේඛනය ද දේවධර්මවාදීන් ලියූවකි. මේ ආරම්භක මානවවාදය , ආගමික මානවවාදය හෝ පුනරුද මානවවාදය ලෙස හැඳින්වේ. දේවධර්මවාදීන් හෙගල්වාදීන් ආදී විවිධාකාරයේ මතවාද දරන්නන් මානවවාදී නමින් තමන් හඳුන්වා ගෙන ඇත.

ෆුවබාක් ආදී දාර්ශනිකයන් පසුව දෙවියන්ගේ පැවැත්මට එරෙහිව අදහස් දක්වන්නට වූ විට දෙවියන් නො පිළිගන්නා මානවවාදීහු ද බිහිවූ හ. මොවුහු ඓහිකවාදය (secularism) එනම් රාජ්‍යය ආගමින් ස්වායත්ත විය යුතු ය යන දේශපාලන මතවාදය දැරූ හ. මොවුන් හැඳින්වෙන්නේ ඓහික මානවවාදීන් ලෙස ය. වර්තමානයේ සිටින්නේ මේ ඓහික මානවවාදීන් (secular humanists) ය. සැම්සන් මහතා පසුගිය වර සඳහන් කළ ඔවුන්ගේ ජාත්‍යන්තර සංගමය IHEU සිය ඇම්ස්ටර්ඩෑම් අර්ථකථනයෙන් මානවවාදය අර්ථ දක්වන අයුරින් ඔවුන් හේතුවාදී හා සදාචාරවත් වන අතර අධානග්‍රාහිකත්වයට එරෙහිව පෙනී සිටියි.

දැන් අපි නිදහස් චින්තනය ගැන සලකමු. මෙය ද එකිනෙකට වෙනස් බොහෝ කණ්ඩායම් විසින් භාවිත කොට ඇති වචනයකි. දේවවාදීන් ද මෙසේ තමන් හඳුන්වාගෙන ඇත. ඇමරිකානු මානවවාදී සංගමයේ Fred Edwardsට අනුව කතෝලික පල්ලියට විරුද්ධ වූ ප්‍රතිසංස්කරණවාදී හා ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානින් වර්තමාන අරුතින් ද නිදහස් චින්තකයන් වේ. මේ විකිපීඩියාව නිදහස් චින්තනය අර්ථ දක්වන ආකාරයයි.

Freethought (or "free thought") is a philosophical viewpoint which holds that positions regarding thruth should be formed on the basis of logic, reason, and empiricism, rather than authority, tradition, revelation, or other dogma. In particular, freethought is strongly tied with rejection of traditional religious belief.

මීට අනුව නිදහස් චින්තනයේ දී ඔවුන් අධිකාරය, සම්ප්‍රදාය, හෙළිදරව්ව හා අනෙක් අධානග්‍රාහිකත්වයන් වෙනුවට න්‍යාය, තර්ක බුද්ධිය හා අනුභූතිවාදය මත පදනම් වේ. එමෙන් ම එය සාම්ප්‍රදායික ආගමික විශ්වාස ප්‍රතික්ෂේප කිරීම සමඟ බැදී ඇත.

මේ මානවවාදීන් හා නිදහස් චින්තකයන් ලෙස තමන් හඳුන්වා ගන්නන් ඔබට කියන කතාවයි. දැන් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය තුළ සැංගී ඇති දේ අප විමසා බලමු. පළමුවැනි දේ වන්නේ ඔවුන් හේතුවාදය හා ආනුභවිකවාදය මත පදනම් වන බව කීව ද මේ වන විට ඒවාට එල්ල වී ඇති අභියෝග පිළිබඳව හෝ ඒවායේ සීමා මායිම් හෝ පිළිබඳව කිසිදු පැහැදිලි කිරීමක් කරන්නේ නැත. හේතුවාදය මගේ පසුගිය ලිපියේ පෙන්වා දී ඇති අයුරෙන් බිඳ වැටී පවතින විට එය මත පදනම් වීම සත්‍ය දැන ගැනීමේ විශිෂ්ටතම මාර්ගයක් යැයි කීම ම ගැටලු සහගත ය. සැම්සන් මහතා කියන පරිදි බිඳ වැටුණු මතවාදවලින් අදට ගැළපෙන දේ පමණක් පිළිගන්නේ නම් ඒ පිළිගන්නේ කවර කොටස් ද යන්නත්, ඔවුන් එසේ එම ක්‍රමවේද සංශෝධනය කිරීමෙන් පසු එය සත්‍ය දැන ගැනීමේ විශ්වසනීය මාර්ගයක් වන අයුරු ගැනත් ඔවුන් පෙන්වා දිය යුතු ය. එහෙත් ඔවුන් එසේ කරන්නේ නැත.එසේ නො කිරීමෙන් පෙනෙන්නේ ඔවුන් අතීතයේ සිට පැවත එන තම සම්ප්‍රදාය මත කටයුතු කරන බවයි. එහෙයින් ඔවුන් ඔවුන්ට අනුව ම නිදහස් චින්තකයන් නො වේ. මෙය දාර්ශනික අධානග්‍රාහීත්වය ලෙස ද හැඳින්වේ.

රසල් වරක් පැවසූ පරිදි ප්‍රවේශමෙන් සිතා බැලූ විට තමාට යමක් පිළිගැනීමට තරම් සාක්ෂ්‍ය ඇතැයි විකාරරූපී අදහසක් පිළිගන්නා ඕනෑ ම අයකු පවා නිදහස් චින්තකයකු වේ.

 (..but if he holds them because, after careful thought he finds a balance of evidence in their favour, then his thought is free, however odd his conclusions may seem.

— Bertrand Russell, The Value of Free Thought.)

දැන් ලංකාවේ ඊනියා මානවවාදීන් හා ඊනියා නිදහස් චින්තකයන් සලකමු. මේ සඳහා උදාහරණයක් ලෙස අප සමඟ සංවාදයට එළඹී තමාගේ ගතිපැවැතුම් හොඳින් ම පාඨකයන්ට නිරාවරණය කළ සැම්සන් මහතා සලකමු. සැම්සන් මහතා මේ සංවාදය පුරා තර්ක කළ අයුරෙන් ප්‍රායෝගික තලයේ ඔවුන්ගේ ක්‍රියාකරිත්වය විමසිය හැකි ය.

ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව හේතුවාදීන් ඉදිරිපත් කළ තර්ක බොළඳ අශාස්ත්‍රීය හා අසත්‍ය ඒවා බව මා ඔප්පු කළේ විස්තරාත්මක පැහැදිලි කිරීම් සහිතව ය.  මේවාට සැම්සන් මහතා දුන් පිළිතුරු මොනවා ද? මාගේ එක් එක් තර්කය සමඟ විමසා බලමු.

සූර්ය කේන්ද්‍රවාදය මෙන් ම පෘථිවි කේන්ද්‍රවාදය ද නිවැරදි ප්‍රතිඵල ලබා දේ.
    පිළිතුර: එසේ වුවත් සූර්ය කේන්ද්‍රවාදය වඩා දියුණු ය. 
(දෙක ම එක සේ නිරවද්‍ය බව පිළිගත් පසු එකක් දියුණු බව කීමට ඇති නිර්ණායක කවරේ ද නො කියා සම්ප්‍රදායෙන් එන අදහසක් පුනරුච්චාරණය කිරීමට සැම්සන් මහතා පෙළඹී ඇත)

කාල්සන්ගේ පරීක්ෂණයේ සංඛ්‍යාන විද්‍යාත්මක භාවිතය එහෙම පිටින් ම පාහේ වැරදි ය.
පිළිතුර: එය පළවූයේ Nature සඟරාවේ ය. 
(මා විස්තරාත්මකව අදාළ සංඛ්‍යාන වැරදි පෙන්වා දුන්න ද ඒවාට පිළිතුරක් නැත. මෙය හුදෙක් ම පළවූ ප්‍රකාශනයේ අධිකාරය -authority- මත පදනම් වීමක් ය.)

කාලාම සූත්‍රයේ සැම්සන් මහතා දැක්වූ පරිවර්තනය පාඨය විකෘති කොට පරිවර්තනය කිරීමකි.
     පිළිතුර: එය පරිවර්තනය කළේ සුචරිත ගම්ලත් නම් දැවැන්තයා ය. ඔහුට ඒ පිළිබඳව ඇති අධිකාරීමය බලයට විරුද්ධ වීමට ඔබට නො හැකි ය. හැකි නම් අධිකාරීමය බලය ඇත්තකු ලවා එය ප්‍රකාශ කරන්න.
(ගම්ලත් මහතාගේ පරිවර්තනය විකෘතියක් පමණක් නොව අරුත්සුන් එකක් බව ද පැහැදිලිව පෙන්වා දුන් විට නො පිළිගන්නා සැම්සන් මහතා ඊට ප්‍රතිතර්කයක් ඉදිරිපත් නො කොට පිළිගැනීම සඳහා ඉල්ලා සිටින්නේ අධිකාරීමය බලයකි.)

මේ උදාහරණ කිහිපයක් පමණි. ජ්‍යෝතිෂ්‍යයට විරුද්ධ කිසිදු ප්‍රමාණවත් තර්කයක් රහිත ලියැවිල්ලක් පවා විද්‍යාඥයන් අත්සන් කොට ඇති විට අනභියෝගී ප්‍රකාශනයක් වන්නේ යැයි සැම්සන් මහතා කියයි. මේ අධිකාරී බලය මත යමක් පිළිගැනීමට නැඹුරු වීම ය.

උත්ප්‍රාසාත්මක ම කරුණ වන්නේ සැම්සන් මහතාට අතීතයේ පෙරදිග බෞද්ධ හා ජ්‍යෝතිෂ්‍ය පොත්වල පෘථිවිය ගෝලාකාර බව සඳහන් යැයි උපුටා ගැනීම් සහිතව පෙන්වා දුන්න ද සැම්සන් මහතා අන්තර්ජාතික (සුද්දන්ගේ) පිළිගැනීමක් ගැන වද වුණේ ය. සැම්සන් මහතා තරම් අධිකාරින්ට යට වන්නෙක් ආගමික සංස්ථා තුළ පවා නැතිවාට සැක නැත. දැන් නවය වසරේ පෙළපොත උපුටා දක්වන්නේ ද කුඩා කල අසන දෙයින් මිදීමට ඇති නො හැකියාව එනම් සම්ප්‍රදායේ හිරවීම හේතුවෙනි.

සැම්සන් මහතා ජ්‍යෝතිෂ්‍ය හා පුනර්භවය ගැන ඉදිරිපත් කළ තර්ක කෙතරම් අධානග්‍රාහී ද යන්න මේ වන විට මා විස්තරාත්මකව පෙන්වා දී අවසන් ය. මේ අනුව පෙනෙන්නේ සැම්සන් මහතාගේ නිදහස් චින්තනයේ තරම ය. අනිත් නිදහස් චින්තකයන් ද ඊට වෙනස් නැත. කතාව හා ක්‍රියාව අතිශයින් පරස්පර ය.

සැම්සන් මහතා මූලාශ්‍ර විකෘති කරන අයුරුත් හෝකිං මහතාගේ සිට බුදුන් වහන්සේ කළ ප්‍රකාශ දක්වා විකෘති කරමින් විකෘති අර්ථ මතු කරන අයුරුත් සවිස්තරව පෙන්වා දී ඇත. මානවවාදීන්ගේ ඊනියා සදාචාරය මෙයින් ම බලාගත හැකි ය.

මානවවාදයේ මූලික ම පදනම වන්නේ සියල්ල අර්ථකථනය කළ යුත්තේ 'මානවයා' මූලික කොටගෙන බව ය. මේ මානවයා යනු වියුක්ත මිනිසා (Abstract Human) ය. වියුක්ත මිනිසා ලෝකය නිර්ණය කොට ලෝකයෙන් වෙන් වී සිටී සියලු දෑ තීරණය කරන්නේ 'මානවයාට' අනුව ය. මෙය දෙවියන් ලෝකය මවා ලෝකයෙන් වෙන් වී ලෝකය තීරණය කිරීමට අනුරූපී ය. බයිබලයට අනුව මිනිසා දෙවියාගේ ප්‍රතිරූපයයි. එම දෙවියන් ද වියුක්ත ය. රූප මඟින් නිරූපණය කිරීම ආගමින් ම තහනම් කොට ඇත. එහෙයින් වියුක්ත මිනිස් ප්‍රතිරූපය වන දෙවියන් වියුක්ත මානවයාගෙන් ප්‍රතිස්ථාපනය කිරීමෙන් අවසානයේ මානවවාදය දේවවාදය මතට ම කඩා වැටී ඇත. මෙහි අධිපතිවාදී අන්තය වන්නේ වියුක්ත මානවයා ලෙස බටහිර සුදු පිරිමියා චිත්‍රණය වීම ය. එහෙයින් මානවවාදය බටහිර අධිරාජ්‍යවාදයේ උපක්‍රමික මෙවලමක් ලෙස ම භාවිත වේ. යුරෝපයේ ම ෆූකෝ නම් ප්‍රංශ දාර්ශනිකයා ද මේ බව සියුම්ව පැහැදිලි කරමින් මානවවාදය විවේචනය කරයි. මිලින්ද ප්‍රශ්නය අන්තර්ජාතිකව පිළිගත්තා දැයි අසන සැම්සන් මහතාගෙන් නියෝජනය වන ඊනියා මානවවාදීන්ගෙන් නිරූපණය වන්නේ වියුක්ත මානවයා බවට පත් කෙරී ඇති බටහිර සුදු පිරිමියාගේ අනුමැතිය මත දැනුම පැවතිය යුතු ය යන්න බව පාඨකයන්‍ට සක් සුදක් සේ පෙනෙනු ඇත.

මානවවාදීන් හා නිදහස් චින්තකයන් යැයි කියන්නන්ගේ ගුප්ත විද්‍යා විරෝධයේ ප්‍රභවය ගැන ද සඳහනක් කළ යුතුයි. යුරෝපයේ ජ්‍යොතිෂ්‍ය හා ගුප්ත විද්‍යා විරෝධය පහළ වූ ආකාරයත් ගුප්ත විද්‍යාවලින් බටහිර විද්‍යාවට ගත් දේ ගැනත් මේ මානවවාදය හා නිදහස් චින්තනය ලෙස අද හඳුන්වන පද්ධති විකසනය වන අවධියේ ඊට සමගාමීව ඇති වුණු ඇඟ කිලි පොළා යන බිහිසුණු ඉතිහාසය ගැනත් ඒ ගැන පැතිරී ඇති ව්‍යාජ මත ගැනත් අද ඉන්නා මානවවාදීන් හා නිදහස් චින්තකයන් යැයි කියා ගන්නා අයගෙන් ප්‍රතිරාව නඟන අතීත ප්‍රචණ්ඩත්වය ගැනත් මේ සතියේ ඔබ දැනුවත් කිරීමට සිතා සිටිය ද ලිපිය ඉතා දිගු වනු ඇති බැවින් එය ඊළඟ වාරයට කල් දමමි. පාඨකයන්ගේ කුතුහලය ඇවිස්සීම සඳහා සූර්ය කේන්ද්‍රවාදය බටහිරට පැමිණියේ ගුප්ත විද්‍යා තුළින් බව පමණක් අදට සඳහන් කොට නවතිමි.

- තමලු මලිත්ත පියදිගම

හේතුවාදී දර්ශනය යුරෝපයේ දී බිඳ වැටීම


හේතුවාදීන්ගේ කරුණු විකෘති කිරීම් , බොළඳ සාවද්‍ය තර්ක ඉදිරිපත් කිරීම් හා තමන් ද අවිචාරශීලී වෙමින් ජනතාව අතර අවිචාරශීලීත්වය වැපිරීමේ ක්‍රියාවන් ගැන හෙළිදරව් කිරීම උදෙසා මා විසින් එළඹුණු මේ සංවාදය මේ වන විට එක්තරා අදියරකට එළඹී ඇත. මෙහි දී හේතුවාදීන්ගේ අවිචාරවත්භාවයට  කදිම නිදසුනක් සපයමින් මට සහය දුන් අභයසිංහ මහතාට ද සැම්සන් මහතාට ද මගේ ස්තූතිය හිමි වේ. මාගේ අරමුණ සාර්ථක වී ඇති බව අන්තර්ජාලය ඔස්සේ මට ලැබෙන උණුසුම් පාඨක ප්‍රතිචාරවලින් පෙනේ. විශේෂයෙන් ම පාසල් සිසුන්, විද්‍යාවේ නාමයෙන් හේතුවාදීන් ගෙන හැර දක්වන විකෘති විෂය කරුණු හා බොළඳ තර්ක විනිවිද එහි ව්‍යාජය දකින්නට යොමු වීම අගය කළ යුත්තකි. ඒ පිළිබඳව මට ඇත්තේ ඉමහත් සතුටකි.
මෙවර සැප්තැම්බර් 13 ලිපියෙන් ද සැම්සන් ගුණතිලක මහතා සුපුරුදු පරිදි ම හේතුවාදීන්ට නිරවුල්ව සිතිය නො හැකි බවට මනා සාදෘශ්‍යයක් සපයා ඇත. තමන්ට බලපාන පොදු කරුණක දී (බොහෝ විට ව්‍යසනයක දී) පරස්පර මතවාදයන් දරන්නන් එක්ව කටයුතු කරනු දැකීම පුදුමයට කරුණක් නො වේ. ඒ පොදු අරමුණ ජයගන්නා තෙක් ම පමණි. එය පුද්ගල චර්යාවක් විනා තම තමන් ගේ දර්ශන සමපාත වීමෙන් සිදුවන්නක් නො වේ. සමාජ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා එක් වීම මතවාද අතර සමබිමක් ලෙස දැකීමෙන් පෙනෙන්නේ සැම්සන් මහතාට නිරවුල්ව සිතිය නො හැකි බව මිස අන් කිසිවක් නො වේ. තීව්‍ර වෙනස්කම් තිබිය දී එකක් අනෙකෙහි පදනම ම ප්‍රතික්ෂේප කරද්දී ඇතැම් සමාජ දේශපාලනික කරුණු උදෙසා හේතුවාදීන්ට බෞද්ධයන් සමඟ එකතු විය හැකි බැවින් හේතුවාදයත් බුදු දහමත් අතර සමබිමක් ඇතැයි කීම විහිළුවක් ම පමණි. ඉදිරියේ දී සැම්සන් මහතා සමබිම් ගැන කියමින් බෞද්ධයන්ගේ මෙන් ම හේතුවාදීන්ගේ ද ලේ රතුපාට ය වැනි බොළඳ ප්‍රකාශ කළහොත් මා පුදුම වන්නේ නැත. වරක් ප්‍රංශ රාජාණ්ඩුවෙන් එල්ල වූ ජීවිත තර්ජන නිසා සැඟවී සිටීමට සිදුවූ ෂෝන් රූසෝ නම් ලිබරල්වාදී දාර්ශනිකයා ගියේ ප්‍රබුද්ධ ඒකාධිපතිවාදියකු වූ වොල්ටෙයාර්ගේ නිවසට ය. රූසෝට සැඟවීමට ඉඩ දුන් වොල්ටෙයාර් කීවේ මා ඔබට සැඟවීමට ඉඩ කඩ ලබා දෙනුයේ ඔබේ මතවාදය පිළිගන්නා නිසා නොව මගේ මතවාදයෙන් ඔබේ ජීවත් වීමේ අයිතිය පිළිගැනෙන නිසා බව ය. එකතු වී කටයුතු කළ පමණින් මතවාදී සමබිම් ඇතිවන්නේ නැත.
සංවාද ආරම්භයේ දී කේන්ද්‍රීය කරුණ වූ ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ මා ඉදිරිපත් කළ තර්ක දෙකෙන් පළමුවැන්න පිළිගත් සැම්සන් මහතා දෙවැන්න නො දුටුවා සේ සිටියේ ය. දැන් ඔහු කියන්නේ ඔහු ඒ ගැන සඳහන් කිරීමට සැලකිලිමත් නො වූයේ එහි අඩුපාඩු තිබූ හෙයින් බවයි. තමා හා සංවාදයට එළඹුණු ප්‍රතිවාදියාගේ මූලික ම තර්කයේ අඩුපාඩු දුටු විට ඒ ගැන අංශුමාත්‍රයක් හෝ කතා නො කර නො දැක්කා සේ සිටින අරුම පුදුම සංවාදකයකු ඔබට මට මුණ ගැසී ඇත. අපේ මේ අපූරු සංවාදකයා මගේ තර්කයේ අඩුපාඩුව ලෙස දකින්නේ ද අමුතු ම දෙයකි: කල්පිත ඉදිරිපත් කළ යුත්තේ නිරීක්ෂණවලට හේතු පැහැදිලි කරමිනි. ජ්‍යෝතිෂ්‍යයේ ප්‍රතිඵල නො පෙනේ. එනිසා කල්පිතවලින් අලුත් න්‍යායන්වලින් ඵලක් නැත. මේ හැර මගේ තර්කයට වෙනත් අභියෝගයක් කිරීමට සැම්සන් මහතා අපොහොසත් වී ඇත.
සැම්සන් මහතා නැවත වරක් පෙන්වා ඇත්තේ තමාට නිරවුල්ව සිතිය නො හැකි බවයි. යමක් වැටීම යනු ස්වභාවික සංසිද්ධියකි. ජ්‍යෝතිෂ්‍යය යනු මිනිසුන් නිර්මාණය කළ ව්‍යවහාර ශාස්ත්‍රයකි (Practice). අනෙක් අතට මා සිදු කොට ඇත්තේ කල්පිත ඉදිරිපත් කිරීමක් නොව ව්‍යුත්පන්න කිරීමකි. සැම්සන් මහතා කල්පිතයක් යනු කුමක් ද කියාවත් කල්පිත ඉදිරිපත් කරන්නේ කුමකට ද කියාවත් නො දන්නා බව පැහැදිලි ය.
මා හේතුවාදීන්ව වංචනික ලෙස අජිත කේශකම්බලට සමාන කරන බව කියන සැම්සන් මහතා එහි ඇති වංචාව කුමක් දැයි කියන්නේ නැත. එසේ සමාන වන්නේ පුනර්භවය නොපිළිගන්නා නිසා විය යුතු යැයි ඔහු ම කියයි. උගුරට හොරා බෙහෙත් කෑ නො හැකි යැයි කියන්නේ මේවාට ය. වංචා කරන්නේ කවුද යන්න පාඨකයන්ට වැටහෙනු ඇත.
සැම්සන් මහතා කාලාම සූත්‍රය උපුටා දක්වයි. කාලාම සූත්‍රයෙන් කොටස් උපුටා ගනිමින් විකෘති අර්ථකථන දීම බහුල ය. හේතුවාදී නැඹුරුවක් ඇති පිරිස් අතින් මේ සූත්‍රය පාලි සූත්‍රයේ සඳහන් සමහර වචන මඟහැර තමන්ට වාසි සහගත වන ලෙස වංචනික අයුරින් අර්ථකථනය කිරීම බහුල ය.
'..තර්කයට හරි යැයි නො පිළිගන්න. න්‍යායට හරි යැයි නො පිළිගන්න...' යනුවෙන් සැම්සන් මහතා ලියා තිබේ. මෙහි ඇති පඨකයන් නොමඟයවනසුලු බව වන්නේ දෙවරක් ම යෙදී තිබූ 'හේතු' යන පදය පරිවර්තනයෙන් හලා තිබීමයි. පාලි පාඨය මෙසේ ය.
මා අනුස්‌සවෙන, මා පරම්‌පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්‌පදානෙන, මා තක්‌කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්‌කෙන, මා දිට්‌ඨිනිජ්‌ඣානක්‌ඛන්‌තියා, මා බ්‌බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති’  
මෙහි තක්කහේතු ,  නයහේතු යනුවෙන් ඇති පදවල හේතු යන වචනය හැළීමට හේතුවාදීහු කටයුතු කරති. සැබෑ පරිවර්තනය මෙසේ වෙයි. "...තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව" (- බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනය)
බුදුන් වහන්සේ මෙහි දී බැහැර කළේ හේතුවාදයේ ක්‍රමවේදයයි.
හේතුවාදීන් වචන මඟහැර කරන පරිවර්තනවලින් අනාගත පරපුරේ විමර්ශන බුද්ධියට සිදු වන්නේ සුළුපටු හානියක් නො වේ.
හේතුවාදීන්ගේ සුපුරුදු පිළිවෙත අනුගමනය කරමින් සැම්සන් මහතා ද වාසෙට්ඨ සූත්‍රයේ සියුම් කොටස් හළමින් විකෘති අදහස් මතු කරයි.
"යම් පරිදි තෙල ජාතියෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග ඇත්ද, එපරිදි මිනිසුන් කෙරෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග නැත.බ්‍රාහ්මණාදි භෙදවත්) මිනිස් සිරුරෙහි වෙන වෙන තෙල (ජාතිමය ලිඞ්ගය) නො පැනේ. මිනිසුන් කෙරෙහි නානාත්වය ද ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ."
"(නෑසහලේනෑ ආදීන් විසින්) කරනලද නාමගෝත්‍රයෙක් ඇද්ද ලෝකයෙහි තෙල ව්‍යවහාර මාත්‍රයෙකි. දීර්‍ඝරාත්‍රයෙහි අනුශය වශයෙන් බැස සිටි දෘෂ්ටිගතය නො දත නෑයන් විසින් ඒ ඒ තන්හි (ජාත කාලයෙහි) කරනලද (නාමගොත්‍රය) සමනුඥායෙන් පහළ වූයෙකි. එය නො දන්නාහු ‘ජාතියෙන් බ්‍රාහ්මණයහ’යි කියත්."
බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ ජාතිමය ලිංගයක් (සංස්ථානයක්) මිස ජාතිය නො වේ. (සූත්‍රයෙහි ජාති යන වචනයෙන් කියැවෙන්නේ උපතයි.)
මෙසේ හරසුන් විකෘති කරුණු ගහණ සැම්සන් මහතාගේ ලිපියේ පසුබිමෙන් නින්නාද නඟන්නේ සිත තුළ පවතින පරාජිත හැඟීමක දෝංකාරය බව පෙනෙන්නට තිබේ.
ලංකාවේ හේතුවාදීන්ගේ මතවාද හා ස්වරූපය කවරේ ද යන්න සැම්සන් මහතා හා අභයසිංහ මහතා විසින් පාඨකයන්ට ක්‍රියාවෙන් ම පෙන්වා දී ඇති බැවින් හේතුවාදය කෙරේ ඍජුව ඇගයීමක් කිරීමට උචිත කාලය එළඹී ඇත. ඊට පළමුව පසුගිය සතියක පොරොන්දු වූ ලෙස මිලින්ද ප්‍රශ්නයේ දී නාගසේන මහරහතන් වහන්සේ කළ පොළව ගෝලාකාර බව දැක්වෙන ප්‍රකාශය ඔබ වෙත ඉදිරිපත් කරමි.
"මේ දඹදිවට යම් කලෙක හිරු උදා වේ නම්, එකල පූර්ව විදේහයට හිරු මුදුන් වූ මධ්‍යහ්නකාලය වන්නේ ය. උතුරුකුරු දිවයිනට හිරු අස්තංග වන්නේ ය. අපරගොයානයට අර්ධරාත්‍රිය වන්නේ ය. යම් කලෙක අපරගොයානයට හිරු උදා වේ නම් එකල මේ ජම්බුද්වීපයට හිරු මුදුන් වූ මධ්‍යහ්න කාලය වන්නේ ය.පූර්ව විදේහයට හිරු අස්තංග වන්නේ ය. උතුරුකුරු දිවයිනට අර්ධ රාත්‍රිය වන්නේ ය."
මෙසේ දිවා රාත්‍රී ඇතිවන්නේ ගෝලාකාර පොළොවක බව ඔබට වැටහෙනු ඇත. කරුණු මෙසේ වන කල බුදු දහමේ පෘථිවිය 'මහද්වීප හතක් හෝ හතරක් අඩංගු කරදිය සයුරින් වට වූ වෘත්තාකාර තැටියක්' ලෙස විශ්වාස කළ බව සැම්සන් මහතා කියන්නේ කවර පදනමකින් ද?
දැන්, සැම්සන් මහතා වැනි ලංකාවේ හේතුවාදීන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ වංචනික බොළඳ ස්වරූපය හෙළි දරවු කිරීමෙන් ඔබ්බට ගොස් සැබෑ හේතුවාදයේ කඩා වැටීම හෙළි දරවු කිරීමට කාලය එළඹ ඇත.
දැනුම ලබා ගැනීමේ ඒකායන මාර්ගය ලෙස හෝ විශිෂ්ටතම මාර්ගය ලෙස හෝ තර්ක බුද්ධිය (reason) සැලකීම හේතුවාදයයි. එයට අනුව සංවේදන (sensations), දැනුම ලබා ගැනීමේ විශ්වාසනීය මාර්ගයක් නො වේ.
හේතුවාදීන්ට අනුව තර්ක බුද්ධියෙන් විශ්වාසනීයව දැනුම ලබා ගත හැකි ය. එනම් අසත්‍ය කරුණකින් පටන් ගෙන තර්ක කරමින්‍ යන විට විසංවාද මතු වී අනිවාර්යයෙන්ම කරුණ බිඳ වැටෙනු ඇත.  එවැනි විසංවාද මතු නොවන කරුණුවලට එසේ වන්නේ ඒවා සත්‍ය බැවින් යැයි හේතුවාදීහු පවසති. සත්‍ය කරුණකින් අරඹා තර්ක කරන විට ලැබෙන නිගමන ද සත්‍ය බව හේතුවාදීහු පවසති.
හේතුවාදය නම් දාර්ශනික පද්ධතිය මූලිකව හඳුනා ගැනෙන්නේ වාද (thesis) තුනක් මඟිනි. එම වාද තුනෙන් එකක් හෝ පිළිගන්නා තැනැත්තා හේතුවාදියකු (rationalism) ලෙස දර්ශනයේ දී වර්ග කෙරේ. මේ සියල්ලෝ ම අපෙන් බාහිරව නිරපේක්ෂව පවතින ලෝකයක වාස්තවික හේතුක සම්බන්ධතා (Causal Relations) ඇතැයි සිතති. ඔවුහු සියල්ලෝ ම දැනුම ප්‍රාගානුභූතයක් (a priori) බව කියති. එනම් අප යමක් ගැන අත්දැකීම් ලැබීමට පෙර ම අප තුළ ඒ පිළිබඳව දැනුම පවතින බවයි.
1. Intuition Deduction Thesis ප්‍රතිභාන අපෝහන වාදය
2. Innate Knowledge Thesis  නිසග දැනුම් වාදය
3. Innate Concept Thesis නිසග සංකල්ප වාදය
1 වන ප්‍රතිභාන අපෝහනවාදයෙන් කියන්නේ අප තුළ යම් කිසි දැනුම් සමූහයක් ආරම්භයේ සිට ම පවතින බවත් (පිටතින් ලබා ගැනීමකින් තොරව) ඒ දැනුම් සමූහය මත පදනම්ව තර්ක කිරීමෙන් අනෙක් සියලු දැනුම් ලබා ගත හැකි බවයි. එනම් අත්දැකීම් ලැබීම දැනුම ලබා ගැනීමට අත්‍යවශ්‍ය නො වන බවයි. මුල් කාලයේ දී ගණිතය සකස් වූයේ මේ ආකාරයට ය. ප්‍රත්‍යක්ෂ හෝ ස්වසිද්ධි (axioms) අප නිසගයෙන් ම දන්නා ඔප්පු කළ යුතු නොවන සත්‍යයන් ලෙසත් (self evident truth) ඒවායින් තර්කනය මඟින් ප්‍රමේයයන් යන සත්‍යයන් ලබා ගත හැකි බවත් ය. මෙසේ ආරම්භයේ දී සත්‍ය ලෙස සලකනු ලබන දෑ ප්‍රතිභාන (intuition) ද එයින් තර්කයෙන් ගන්නා ප්‍රතිඵල අපෝහන (deduction) ද වේ.
2 වන නිසග දැනුම් වාදයෙන් කියැවෙන්නේ සියලු දැනුම අපගේ යටි සිතේ ආරම්භයේ සිට පවතින බවයි. අප අත්දැකීම් ලැබීමෙන් හෝ තර්ක කිරීමෙන් කරන්නේ මේ යටි සිතේ සැඟවුණු දැනුම මතු කරගැනීම පමණි.
3 වන නිසග සංකල්පවාදයෙන් කියැවෙන්නේ සියලු සංකල්ප අපේ සිතේ ආරම්භයේ සිට ම පවතින බවයි. තර්කයෙන් ම පමණක් වුවත් අනෙක් දැනුම් ලබා ගත හැකි බව මෙයින් කියවේ.
මේ මතවාද තුනෙන් එකක් දැරීමෙන් හේතුවාදියකු බවට පත් වේ. මේ හැරුණු කොට මේ සමඟ ම අමතරව දැරිය හැකි අනිවාර්ය නො වන තවත් වාද දෙකක් ඇත.
එනම් තර්කයෙන් ලැබෙන දැනුම වෙනත් ක්‍රමවලින් ලැබිය නො හැකි බවයි. අනෙක වෙනත් ක්‍රමවලින් ලබා ගන්නා දැනුම් තර්කයෙන් ලබා ගන්නා දැනුම් මෙන් උසස් නොවන බවයි.
බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දී තක්ක හේතු ලෙස අපෝහන (deduction) ද නය හේතු ලෙස ප්‍රතිභාන (intuition) ද ප්‍රතික්ෂේප කළ සේක. හේතු යන වචනය හළා හේතුවාදීන් ම වංචනිකව මෙය ඉදිරිපත් කිරීම  උත්ප්‍රාසාත්මක ය.
කාළකාරාම සූත්‍රයේ දී බුදුන් වහන්සේ ආරම්භයේ සිට පවතින නිරපේක්ෂ දැනුමක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළ සේක. තමන් වහන්සේට පවා ඇත්තේ ප්‍රාගානුභූත (a priori) දැනුමක් නොවන බව උන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළ හ.
නිසග නිරපේක්ෂ සංකල්ප පිළිබඳ අදහසට ද බුදුන් වහන්සේ විරෝධතාවය පළ කළ හ. මිලින්ද ප්‍රශ්නයේ දී නාගසේන හිමියෝ මේ බව මිලින්ද රජුට මැනැවින් පැහැදිලි කර දෙති.
මෙසේ බුදුන් වහන්සේ හේතුවාදයේ පදනමට ම විරුද්ධ වී ඇත.
බටහිර දාර්ශනික ලෝකයේ හේතුවාදය කඩා වැටුණු අයුරු ගැන විස්තරයක් කළ යුතු ය. අපට දැනුම ලැබෙන්නේ අත්දැකීම්වලින් යැයි කියන ආනුභවිකවාදීන් (empiricist) හා හේතුවාදීන් අතර ගැටුම දර්ශන ඉතිහාසයේ ඉතා දිගු කලක් මුළුල්ලේ ඇවිලී ගිය උණුසුම් වාද විවාද රැසකින් සමන්විත වූවකි. ප්‍රායෝගික තලයේ දී හේතුවාදයට ප්‍රමාණවත් සාර්ථකත්වයක් පෙන්විය හැකි වූයේ ගණිතයේ දී පමණි. මහද්වීපික හේතුවාදියකු (continental rationalist) වූ ලෙයිබ්නිස් වරක් කීවේ දැනුම ලැබීමට තර්ක බුද්ධිය ම පමණක් ප්‍රමාණවත් වුවත් අපගේ ප්‍රායෝගික දුර්වලතා මත වර්තමානයේ වෙනත් ක්‍රමවලටත් යෑමට සිදු වී ඇති බවයි. හේතුවාදීන් ද ප්‍රායෝගිකව අවස්ථාවලින් තුන් කාලක දී ආනුභවිකවාදීන් ලෙස හැසිරෙන බව ඔහු කීවේ ය. එනම් පුද්ගලයින්ගේ හැකියාව මත තීරණය වන ප්‍රායෝගික තත්ව නො සැලකූ විට තර්ක බුද්ධිය දැනුම ලබා ගැනීමේ ඉතාමත් විශ්වාසදායී පරිපූර්ණ ක්‍රමයක් බවයි.
නො සිතූ විරූ ලෙස හේතුවාදීන් උපරිමව සාර්ථක වූ ගණිතයෙන් ම හේතුවාදීන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ප්‍රත්‍යක්ෂවල සිට තර්ක කිරීමෙන් ගණිතයේ සත්‍ය සෙවිය හැකි ය යන්න නො සිතූ විරූ ලෙස බිඳ වැටී ගියේ ය. මෙය ඇරඹුණේ ජ්‍යාමිතියෙනි. පාසල්වල ඉගෙන ගන්නා යුක්ලිඩීය ජ්‍යාමිතියේ ස්වසිද්ධි (ප්‍රත්‍යක්ෂ - axioms) දහයකි. දහවෙනි ස්වසිද්ධිය ගැන සැකපහළ කළ ගණිතඥයෝ එය වෙනුවට ඊට පටහැනි වෙනත් ස්වසිද්ධියක් යොදා බැලූ හ. එහි සිට ඉදිරියට තර්ක කරන විට ද විසංවාද මතු නො වන ගණිතමය පද්ධතියක් ලැබුණි. හේතුවාදය අනුව නම් වැරදි අදහසකින් තර්ක කිරීම ඇරඹූ විට විසංවාද මතු විය යුතු ම ය. එහෙත් මෙහි දී එවැන්නක් නො වී ය. එකිනෙකට පටහැනි මේ ස්වසිද්ධි දෙක ම 'සත්‍ය' විය නො හැකි ය. මෙයින් පෙනී ගියේ තර්ක බුද්ධියෙන් පමණක් සත්‍ය සෙවිය නො හැකි බවයි. එවැනි තත්වයක් තුළ ඒ ස්වසිද්ධි දෙකෙන් අරඹමින් ගන්නා නිගමනවල ද සත්‍යාසත්‍ය භාවයක් තීරණය කළ නො හැකි ය. මෙසේ හේතුවාදය බිඳ වැටුණු පසු හේතුවාදී ගණිතඥයෝ ගණිතයේ සත්‍ය සෙවීමේ වෑයම අතහැර අංග සම්පූර්ණ පද්ධති ගොඩනැඟීම අරමුණ කරගනිමින් බුද්ධිවාදී ප්‍රවේශයකට එළඹුණ හ. අවසානයේ ලෝකයේ විශිෂ්ටතම ගණිතඥයා වූ ගොඩෙල් සිය අසම්පූර්ණතා ප්‍රමේයය මඟින් ඇතැම් ගණිතමය පද්ධතිවල හුදු තර්ක බුද්ධියෙන් පමණක් ගොඩනැංවිය නො හැකි වලංගු ප්‍රතිඵල ඇති බවත් එහෙයින් ගණිතය අසම්පූර්ණ බවත් පෙන්වීමෙන් පසු එම උත්සාහය ද බිඳ වැටී ගියේ ය.
ආනුභවිකවාදය සමඟ හේතුවාදයේ උණුසුම් විවාදය කෙළවර වූයේ ඩේවිඩ් හියුම් නම් ආනුභවිකවාදි (පසුව සංශයවාදී) දාර්ශනිකයා අතින් හේතුවාදයට මරණීය ප්‍රහාරයක් එල්ල වීමෙනි. එය කුමක් දැයි දැන් අපි විමසා බලමු.
.
හේතුවාදීන් අතර ඉතා ප්‍රකට කියමනක් තිබුණි. එය නම් අනාගතය අතීතය ම වේ යන්න ය. එනම් විශ්වයේ නිශ්චිත නීති පද්ධතියක් ඇති බවයි. අතීතයේ සිදු කළ පරීක්ෂණයක තිබූ තත්ව එලෙස ම නැවත ඇතිකළ විට එක ම ප්‍රතිඵලය ලැබිය යුතු බව මින් අදහස් විය. හියුම් ඇසුවේ සරල ප්‍රශ්නයකි. A නම් සිද්ධියක් වූ පසු B නම් සිද්ධියක් වූයේ යැයි සිතමු. දැන් දහස් වාරයක් ම මෙසේ A වූ පසු B වූයේ යැයි සිතමු. හියුම් අසන්නේ මෙසේ දහස් වාරයක් ම සිදුවූවත් ඊළඟ වාරයේ දීත් එසේ වේයැයි කියන්නට අපට ඇති හැකියාව කුමක් ද යන්නයි. එය අපේ අත්දැකීම් මත එළඹුණු හුදු විශ්වාසයක් ම පමණි. හේතුවාදයට අනුව නම් හේතුව හා ඵලය අතර සම්බන්ධය පිළිබඳ දැනුම අප තුළ ම පවතී නැතිනම් තර්කයෙන් ලබා ගත හැකි ය. එහෙත් මේ සඳහා යොදා ගත හැකි එක ම කරුණ වන අනාගතය අතීතය ම වේ යන්න හියුම් පෙන්වන පරිදි අත්දැකීම මත හුදු විශ්වාසයක් මිස දැනුමක් නො වේ. A හේතුව හා B ඵලය ය යන දැනුම අප තුළ ම පවතින්නේ යැයි තර්ක කරන්නකු එය අත්දැකීම්වලින් ගත් විශ්වාසයකට ඔබ්බෙන් පවතින්නක් යැයි දැන ගන්නේ කෙසේ ද? හියුම්ට විරුද්ධව එවන් ක්‍රමයක් යෝජනා කිරීමට කිසිදු හේතුවාදියකුට  නො හැකි විය.
අවසානයේ හියුම්ට පිළිතුරක් ලෙස එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයා දැනුමේ ප්‍රාගානුභූතයන් වන්නේ අවකාශය හා කාලය යන සංකල්පයන් යැයි කීව ද එය ප්‍රමාණාත්මක පිළිතුරක් නො වේ. අවකාශය හා කාලය යනුත් අත්දැකීමෙන් ම නිර්මිත බව කිව හැකි ය. මෙය සාර්ථක පිළිතුරක් නොවන බව සැම්සන් මහතා නිතර කියන බර්ට්‍රන්ඩ් රසල්ගෙන් ම දැනගත හැකි ය.
German philosophers, from Kant  to Hegel, had not  assimilated Hume's arguments. I  say  this deliberately,  in spite of the belief which many  philosophers share  with Kant, that his  Critique of Pure Reason  answered Hume.  In fact, these philosophers--at least  Kant and Hegel--represent a  pre-Humian  type  of rationalism,  and can  be  refuted by  Humian  arguments. The philosophers  who cannot be  refuted in this way  are those  who  do not  pretend to be rational, such as  Rousseau, Schopenhauer, and Nietzsche.
A History of Western Philosophy , Russell B.
කාන්ට් හෝ හෙගල්ටවත් හියුම්‍ට පිළිතුරු දීමට නො හැකි වූ බවත් මින් ප්‍රතික්ෂේප නො වූයේ හේතුවාදී නොවන දාර්ශනිකයන් පමණක් බවත් රසල් සඳහන් කරයි.
හියුම්ගේ මරණීය ප්‍රහාරයෙන් පසු නැඟී සිටීමට හේතුවාදීන්ට තව ම නො හැකි වී ඇති අතර වර්තමාන මහද්වීපික දාර්ශනිකයකු වන මියැසුගේ උත්සාහය වී ඇත්තේ ද කෙසේ හෝ මීට පිළිතුරක් දීම ය.  ඔහුගේ ව්‍යාපෘතිය තවමත් අසම්පූර්ණ බැවින් ඒ ගැන කතා කිරීමට තවත් කලක් බලා සිටිය යුතු වනු ඇත. 
මීළඟ වතාවේ දී ලංකාවේ හේතුවාදීන් පෙනී සිටිනා යථාර්ථවාදය හා භෞතිකවාදය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.

සැම්සන් මහතාගේ තර්ක ගැන පසු විපරමක්

සැප්තැම්බර් 06 විදුසර


සැම්සන් ගුණතිලක මහතාගේ පසුගිය ප්‍රතිචාරය මාගේ ලිපිවලට කිසිදු පිළිතුරක් නොසපයන්නාක් මෙන් ම එය බෙහෙවින් පිරී ඇත්තේ මේ සංවාදයට කිසිසේත් අදාළ නැති වැල්වටාරම් ගොන්නකිනි. සැම්සන් මහතා මේ කියන කරුණුවලට පිළිතුරක් අවශ්‍ය පාඨකයකුට අගෝස්තු 23 වන දා මාගේ ලිපිය නැවත කියවා බැලිය හැකි ය. 30 වන දා පත්‍රයේ සැම්සන් මහතා කියා ඇති දෑට පිළිතුරු එයින් ම සොයා ගත හැකි ය. දැන් මේ සංවාදය යම් කිසි දුරකට පැමිණ ඇති බැවින් මේ වන තෙක් ඉදිරිපත් වූ තර්ක ගැන පසු විපරමක් කරමු.
මා මුලින් සංවාදයට එළඹුණේ අභයසිංහ මහතා සමඟ ය. පසුව සැම්සන් මහතා සංවාදයට එක් විය. මට අවශ්‍ය වූයේ ජ්‍යෝතිෂ්‍යට විරුද්ධව හේතුවාදීන් ගෙන එන තර්ක අසාර්ථක බව පෙන්වීමටත් හේතුවාදීන්ගේ ශාස්ත්‍රීය වංචනිකත්වය හෙළි දරවු කිරීමටත් ය. මාගේ තර්කයේ ප්‍රධාන කොටස් දෙකකි.
1. පෘථිවි කේන්ද්‍රවාදයෙන් ද සූර්ය කේන්ද්‍රවාදයෙන් ලැබෙන නිරවද්‍යතාවයෙන් ම පිළිතුරු ලබා ගත හැකි බැවින්, පෘථිවි කේන්ද්‍රවාදය මත පදනම් වූ ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවකි යන ජනප්‍රිය තර්කය වලංගු නො වෙයි.
       - සැම්සන් මහතා මේ බව පිළිගනියි. කේන්ද්‍රය සැදීම දක්වා මිථ්‍යාවක් නො වන බව ඔහු දැන් කියයි. පරිධියේ ඇති කරුණුවලට විරුද්ධ වෙමින් තමාට නො වැරදුණු බව කීමට සැම්සන් මහතා කිනම් උත්සාහයක් දැරුව ද ඔහු මගේ තර්කයේ මූලික හරය පිළිගෙන අවසන් ය. අපගේ ප්‍රස්තුතය සඳහා එය හොඳින් ම සෑහේ. කේන්ද්‍රය සෑදීම දක්වා මිථ්‍යාවක් නොවන බවට මේ වන විට අප එකඟ වී ඇත. දැන් ප්‍රශ්නය වන්නේ ඉන් ඵලාපල කිව හැකි ද යන්නයි.
2. ග්‍රහ පද්ධතියේ චක්‍රීයතාවයන් පවතියි. භෞමික පරිසරයේ ද චක්‍රියතා පවතියි. මිනිස් සමාජයේ ද චක්‍රියතා පවතියි. ග්‍රහ පද්ධතියේ චක්‍රියතා හා මිනිස් සමාජයේ චක්‍රියතා අතර සමපාත වීම් හඳුනාගතහොත් ග්‍රහ පද්ධතියේ ගණනයන් ඇසුරෙන් මිනිස් හැසිරීම් හා ගතිලක්ෂණ පුරෝකථනය කළ හැකි ය. සාධාරණ වශයෙන් මෙවිට ඇති වන්නේ ජ්‍යෝතිෂ්‍යයකි. මීට ඉදිරිපත් කළ හැකි ප්‍රතිතර්කයක් වන්නේ මනස් ඇති මිනිසුන් මේ චක්‍රියතා බිඳ දමමින් කටයුතු කරනු ඇත යන්න ය. එහෙත් ලංකාවේ හේතුවාදියෝ මනස මොළයේ රසායනික ප්‍රතික්‍රියාවලට ඌනනය කරති. එවිට මිනිස් හැසිරීම් ද රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල වේ. මෙවිට මිනිසුන් ස්වභාවයේ චක්‍රියතාවයට ම නතු වනු ඇත. මේ නිසා හේතුවාදය හා ජ්‍යෝතිෂ්‍ය අතර 'සමබිමක්' පවතිනවාටත් වඩා හේතුවාදී භූමියේ ජ්‍යෝතිෂ්‍යය සංස්ථාපනය කළ හැකි බව ම පෙනේ. (මනස මොළයට ඌනනය නො කරන විට කිව හැක්කේ ජ්‍යෝතිෂ්‍යය සාර්ථක වනු ඇත්තේ යම් සම්භාවිතාවක් යටතේ පමණක් බවයි.)
        - මේ තර්කය නැවත නැවත සඳහන් කළ ද අභයසිංහ මහතා සංවාදය පුරා ම මෙය දුටු බවක්වත් ඇඟවූවේ නැත. සැම්සන් මහතා ද මේ තර්කය ගැන අල්පමාත්‍ර සඳහනක් වත් නො කර ලිස්සා යනු දක්නට ලැබේ. මගේ ප්‍රධාන තර්කය වන මෙය මේ සංවාදය පුරා ම අල්පමාත්‍ර අභියෝගයකින් හෝ පීඩාවක් නො ලැබ විරාජමානව සිටියේ ය. අතුරු කතා ගැන සියලු වාද විවාදවලින් ප්‍රයෝජනයක් ඇත්තේ ප්‍රධාන තර්කයට සාර්ථක පිළිතුරක් ලබා දුනහොත් පමණි. සැම්සන් මහතා ද ඊට අපොහොසත් බව පෙනෙන්නට තිබේ.
දැන් සංවාදයේ දී මතු වූ අමතර කරුණු වෙත එළඹෙමු. කාල්සන් පරීක්ෂණය පුස්සක් වී යන ආකාරය Ertel හා අනෙක් විවේචකයන්ගේ පත්‍රිකාත් කාල්සන්ගේ පත්‍රිකාත් ඇසුරින් මා අගෝස්තු 09 පත්‍රයේ සවිස්තරව පැහැදිලි කළෙමි. එහි ඇති කරුණු සම්බන්ධව කිසිදු පිළිතුරක් නො දෙන සැම්සන් මහතා Nature වැනි සාම්‍ය සමාලෝචිත ජර්නලයක පලවන පත්‍රිකාවල වැරදි තිබිය නො හැකි යැයි බොළඳ තර්කයක් ගෙනෙයි. එවැනි ජර්නලවල පළ කිරීමේ දී නැවත විමසා බැලෙන්නේ ආකෘතික කරුණු මිස සවිස්තරව සමස්ත පරීක්ෂණය නො වේ. ඊට හොඳ ම උදාහරණය වන්නේ කාල්සන් ආරාධනය පිළිගත් ජ්‍යෝතිෂ්‍යවේදීන්ගෙන් ( නිශ්චිතව සංඛ්‍යාව නො දක්වා ) 'කිහිප දෙනකු' පසුව එයින් ඉවත් වූ බව සඳහන් කරන විට නිශ්චිත සංඛ්‍යාව සඳහන් කර එවන ලෙස ඔහුට උපදෙස් නො ලැබීමෙන් ය. Ertel ආදීන් පෙන්වා දුන් කරුණු පමණක් නොව කාල්සන් ඔහුට දුන් පිළිතුරේ බොළඳකමත් පෙන්වා දී හමාර ව ඇති මොහොතක ඒවාට කරුණුමය පිළිතුරක් නො දී සැම්සන් මහතා ලියන හිස් වදන්වල කිසිදු ගත යුත්තක් නැත.
සුපුරුදු පරිදි තමාට විමර්ශනශීලීත්වක් නොමැති බව පෙන්වන සැම්සන් මහතා ස්ටීවන්ස් හෝකිං දේශනයක දී තමා ඉදිරිපත් කරන අදහසට ආරම්භයක් ගැනීමට කියූ වාගාලංකාරයක් (rhetoric) සන්දර්භයෙන් එළියට ගනිමින් විකෘති අර්ථකථනයක් දෙයි.මීට පසු ලිපිවල ද සැම්සන් මහතා කරුණු රහිතව පුනරුච්චාරණය කරන බිඳ වැටී අවසන් තර්කවලට පිළිතුරු දීම සීමා කොට හෝකිං ඇතුළු වියතුන් ජ්‍යොතිෂ්‍ය හා හේතුවාදය ගැන දැරූ මතවාද පාඨකයින්ට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.
බෘනෝ ගැන සඳහන් කරන සැම්සන් මහතා සිය අගෝස්තු 16 ලිපියේ කියන්නේ බෘනෝ පුළුස්සා මරා දැම්මේ සූර්ය කේන්ද්‍රවාදය ගැන පැවසූ නිසා බවත් 'ඔවුන් දිවි පිදුවේ සිරගත වූයේ නිශ්ඵල අර්ථශුන්‍ය කරුණක් නිසා නො වේ.' යන්නත් ය. බෘනෝ වෙනුවෙන් හේතුවාදීන් හෙළන කඳුළු කිඹුල් කඳුළු වන්නේ බෘනෝ යනු ගුප්ත විද්‍යාඥයකු හා අරාබි ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයකු බැවිනි. ඔහුට කතෝලික පල්ලියෙන් එල්ල වූ චෝදනා අතර වූයේ ගුප්ත විද්‍යාවල නියැලීම හා පුනර්භවය පිළිගැනීම ආදී දේ බව මා මගේ අගෝස්තු 23 ලිපියේ සවිස්තරව පෙන්වා දුන්නෙමි.  බෘනෝ දිවි පිදුවේ අර්ථ ශූන්‍ය කරුණක් නිසා නො වේ යන සැම්සන් මහතාගේ තර්කය පුනර්භවය විෂයෙහි ඔහු වෙත ම පරාවර්තනය වී ඇති විට ඊට පිළිතුරු නො දෙන සැම්සන් මහතා බෘනෝ තම සාක්කුවට දා ගන්නා හේතුවාදී තර්කය යළි යළිත් පුනරුච්චාරණය කරයි. ගුප්ත විද්‍යාඥයකු හා ජ්‍යෝතිෂ්‍යවේදියකු මෙන් ම බෘනෝ දාර්ශනිකයකු හා ගණිතඥයකු වුව ද බෘනෝ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කළ විද්වතුන්ට අනුව බෘනෝ තාරකා විද්‍යඥයකු නම් නො වේ.
(Except for certain particular passages that excite our interest today, much of his work had little to do with astronomy. Indeed, Bruno was not an astronomer and demonstrated a very poor grasp of the subject in what he did write. The theme of his On the Infinite Universe and Worlds(De l'Infinito Universo et Mondi) is not Copernicanism but pantheism and animism, themes also developed in his The Ash Wednesday Supper (La Cena de le Ceneri). - Ohio state university web site.  )
පල්ලියේ බලය බිඳ වැටුණේ බෘනෝට හා ගැලීලියෝට අත් වූ ඉරණමට ආ ජනතා විරෝධය නිසා ය යන්න ඉතිහාසය ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නොමැති සැම්සන් මහතාගේ සිහින ලෝකයක සිදු වූවක් විය යුතු ය. කතෝලික හා ක්‍රිස්තියානි වෙනස නො දන්නා නිලධාරීන් සිටින හේතුවාදී සංගමයේ සාමාජිකයෝ කතෝලික පල්ලියේ ආධිපත්‍යය බිඳ වැටුණේ මාටින් ලූතර්ගේ ව්‍යාපාරයෙන් බවවත් නො දනිති. සූර්ය කේන්ද්‍රවාදයට විරුද්ධ වූ ලූතර් කොපර්නිකස් හැඳින්වූයේ පිස්සකු ලෙසිනි. යුරෝපා ඉතිහාසය ගැන අධ්‍යයනය නො කර හිතලු ප්‍රකාශ නො කරන මෙන් සැම්සන් මහතාට පවසා සිටිමි. ජ්‍යෝතිෂ්‍යයට හා ගුප්ත විද්‍යාවට එරෙහිව තවමත් බටහිර විද්‍යාඥයින් තුළ පවතින නැඹුරුව කතෝලික පල්ලියේ බිහිසුණු දණ්ඩන නිසා ඇති වූවකි. ඒ බව කාල්සන්ගේ පරීක්ෂණ වාර්තාව බැලුවේ නම් සැම්සන් මහතාට ම වටහා ගත හැකි ය. astrology was the work of the devil - ජ්‍යෝතිෂ්‍යය යක්ෂයාගේ වැඩකි - කියමින් සරසවි සිසුන් දෙදෙනකු පරීක්ෂණයෙන් ඉවත් වී ඇත. මේ සෙවණැල්ල හේතුවාදීන් මත ද වැටී තිබීම කදිම උත්ප්‍රාසයකි.
අගෝස්තු 30 ලිපියේ දී සැම්සන් මහතා හේතුවාදය හා බුදු දහම අතර 'සමබිමක්' ගැන කීමට උත්සාහ දරයි. සැම්සන් මහතාගේ ආරම්භක ලිපිය වන ජූලි 12 ලිපියේ ඔහු කීවේ මෙවැන්නකි:
    "එහෙත් ඔවුහු බෞද්ධ දර්ශනයේ පදනම වූ පුනර්භවය ප්‍රතික්ෂේප කළ හ."
බෞද්ධ දර්ශනයේ පදනමට ම හේතුවාදීන් එරෙහි වන්නේ නම් සියලු වෙනස්කම් අතහැර සමානකම් සලකා සමබිම් සෙවීම තරම් විහිළුවක් තවත් නැත. හේතුවාදය හා බුදු දහම අතර සමබිම් සෙවීමට වඩා ඉන්ද්‍රියානුභූතවාදය (positivism), පශ්චාත්නූතනවාදය ආදී ඇතැම් බටහිර දර්ශන හා බුදු දහම අතර සමබිම් සොයා ගත හැකි ය. තීව්‍ර වෙනස්කම් නො සලකා සමානකම් සැලකීම යනු අර්ථ විරහිත ක්‍රියාවකි.
හේතුවාදීන්ට සමබිමක් සෙවීමට අවශ්‍ය නම් ඊට සුදුසු ශාස්තෘවරයකු ඇත. ඒ ෂඩ් ශාස්තෘවරුන් අතර සිටි අජිත කේශ කම්බල ය. සාමඤ්ඤඵල සූත්‍රය අනුව ඔහුගේ දර්ශනය මෙසේ ය:
කේශකම්බල අජිතයො මට මෙය කීහ: “මහරජ, දුන් දැයෙහි පල නැත. කළ මහායාගයෙහි පල නැත. කුශලාකුශල කර්මයන්ගේ ඵලයෙක් විපාකයෙක් නැත. පරලොවැ සිටියා හට මෙ ලොව නැත, මෙලොව සිටියා හට පරලොවෙක් නැත. මවට උපකාර අපකාර කිරිමෙහි ඵල විපාක නැත. පියාට උපකාර අපකාර කිරීමෙහි ඵල විපාක නැත. උප්පාදුක (මෙයින් සැව නැවත උපදනා) සත්ත්වයෝ නැත. සම්‍යග්ගත (නිවැරදි මඟින් ගිය) සම්‍යක්ප්‍රතිපන්න (නිසි මඟ පිළිපන්), මෙ ලොවත් පරලොවත් තුමු ම වෙසෙසින් දැන පසක් කොට (ලොවට) හෙළි කරන මහණබමුණු කෙනෙක් නැත. සතර මහාභූතයන්ගෙන් නිපන් මේ පුරුෂ තෙමෙ යම් විටෙක කළුරිය කෙරේ නම්, එ විටැ (මොහුගේ කයෙහි වු) පෘථිවිධාතුව බාහිර පෘථිවිධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. ආපෝධාතුව බාහිර ආපෝධාතු රැස කරා යෙයි, එය අනුගමනය කරයි. තේජෝධාතුව බාහිර තේජෝධාතු රැස කරා යයි, එය අනුගමනය කරයි. වායුධාතුව බාහිර වායුධාතුව කරා යයි, එය අනුගමනය කරයි. ඇස් ආදී ඉන්ද්‍රිෙයා් අහසට පැන යෙත්. වැදහොත් ඇඳ පස්වනු කොටැති පුරුෂයෝ මළ සිරුර ගෙන යෙත්. සොහොන තෙක් පමණක් පදයෝ (ගුණාගුණ වචනයෝ) පැණෙත්. ඇට පරෙවිවන් වේ. ආගන්තුකසත්කාරාදී වශයෙන් දුන් දන් මළ සිරිරෙහි අළු කිස නිමහම් තෙක්ම වේ. (එයින් පසු එහි කිසිත් ඉතිරි නොවේ). දාන යනු අඥයන් විසින් පණවන ලද්දකි. යම් කෙනෙක් ආස්තික වාදය (පරලොවක් ඇතැයි කර්ම විපාක ඇතැයි යන ආදි වූ වාදය) කියත් නම්, එය ඔවුන්ගේ හිස් බොරුවෙකි, ප්‍රලාපයෙකි. අනුවණයෝ ද නුවණැත්තෝ ද යන හැම කය බිඳීමෙන් මුල සුන් වෙත්, වැනසෙත්, මරණින් මතු ඇති නොවෙත්”
හේතුවාදීන්ගේ අදහස් මොනවා දැයි මේ වන විට හොඳින් ම දන්නා පාඨකයින්ට හේතුවාදය සමඟ සමබිමක් ඇත්තේ බුදුන් වහන්සේට ද අජිත කේශකම්බලට ද යන්න දැන් තීරණය කළ හැකි ය. බුදු දහම සමඟ සමබිම් සෙවීමට පෙර හේතුවාදීන් විරුද්ධ වන බෞද්ධ ඉගැන්වීම් ලැයිස්තු ගත කර සිටින මෙන් සැම්සන් මහතාට අභියෝග කරමි.
බුදු දහමේ පෘථිවිය පැතලි බව කියූ බව කියන සැම්සන් මහතා මිළින්ද ප්‍රශ්නය කියවා නොමැති බව පෙනේ. ලිපිය දිගුවන නිසා මෙවර අදාළ කොටස් උපුටා නො දැක්වෙන නමුත් ඉදිරි ලිපියක දී මිළින්ද ප්‍රශ්නයේ සඳහන් වන පෘථිවි හැඩය ගැන සවිස්තර සඳහනක් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
බුදු දහමට පටහැනි තම මතය බුදු දහම සමඟ ඈඳීමට හේතුවාදීන් දරන වංචනික උත්සාහයෙන් අන්ධ නො වීමට පාඨකයින් විමර්ශනශීලී විය යුතු ය.
" ' හේතුවාදය' සැබෑ දැනුමේ අද්විතීය මූලාශ්‍රය ලෙස 'හේතුව' පිළිගැනීමට නැඹුරු වන ඥාන මාර්ගයයි." ලෙස සිය ආරම්භක ජූලි 12 ලිපියේ දී සැම්සන් මහතා ම හේතුවාදය හඳුන්වාදෙයි.
බුදු දහම හා හේතුවාදය අතර සමබිම් ගැන කියන හේතුවාදීන් නිතර උපුටා දක්වන කාලාම සූත්‍ර පරිවර්තනය ද වචන හළා පරිවර්තනය කිරීමකි. කාලාම සූත්‍රයේ බුදුන් වහන්සේ තර්කය මත හා න්‍යාය මත පදනම්ව යමක් නො පිළිගන්නා ලෙස කී බව සැම්සන් මහතා ඇතුළු හේතුවාදීන්ගේ ලේඛනවල දක්නට ලැබේ. මෙහි අඩුපාඩුව වන්නේ ඉහත අවස්ථා දෙකෙහි ම ඇති හේතු යන වචනය පරිවර්තනයේ දී හළා තිබීමයි. තර්කහේතු (තක්ක හේතු), න්‍යාය හේතු (නය හේතු) ලෙස බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දී ප්‍රතික්ෂේප කරන්නේ හේතුවාදීන් ගේ ඥාන මාර්ගයේ 'අද්විතීය මූලාශ්‍රය'යි.
බුදු දහමින් ප්‍රතික්ෂේපිත මතවාදයක් සමඟ බුදු දහමේ සමබිම් සෙවීමට නො ගොස් විමර්ශනශීලීත්වයෙන් පිරිහී තමා වැටී සිටින  ප්‍රපාතයෙන් ගොඩ ඒමට උත්සුක වන මෙන් සැම්සන් මහතා කෙරෙහි මෙත් සිතින් යුතුව පවසමි.

මාටින් වික්‍රමසිංහ අතින් කෙලෙසුණු විමර්ශන බුද්ධිය

අගෝස්තු 23 විදුසර
දිලුම් සෙනෙවිරත්න මහතාට ප්‍රතිචාරයක් ලෙස සැම්සන් ගුණතිලක මහතා අගෝස්තු 07 පත්‍රයේ ලිපියක් පළ කොට තිබූ අතර අගෝස්තු 16 වෙනිදා ද ඔහු තවත් ලිපියක් පළ කොට තිබුණි. කෙසේ වෙතත් ලිපි දෙකෙහි ම හිස් වචන ගොන්නක් මිස තර්කයක් හෝ පිළිතුරක් දක්නට නො ලැබීම ගැන ඒ මහතා වෙත මගේ කනගාටුව පළ කරමි.
සැම්සන් මහතා මුලින් ම සංවාදයට එළඹුණේ දිලුම් සෙනවිරත්න මහතා සමඟ ය. දිලුම් මහතාගේ තර්ක හමුවේ සැම්සන් මහතාගේ බොළඳ තර්ක සුණු විසුණුව ගිය බව කිසි සේත් අපැහැදිලි කරුණක් නො වේ. ලිපි දෙකක් ම ලියා ඇති සැම්සන් මහතා තවමත් ඊට කිසිදු නිසි පිළිතුරක් දීමට අපොහොසත්ව ඇති බැවින් ඒ බව ප්‍රකාශිතව පැවසීම තීරකයාගේ කාර්යය අතට ගැනීමක් නො වේ. එය කොයි කාටත් එළිපිට ම පෙනෙන්නට තිබෙන්නකි.
සංවාද වට කිහිපයකට පසු සැම්සන් මහතා දැන් කියන්නේ කේන්දර සටහන සෑදීම දක්වා කොටස මිථ්‍යාවක් නොවන බවයි. පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්ය කේන්ද්‍රවාදය එක ම නිරවද්‍යතාවයෙන් ප්‍රතිඵල ලබා දෙන බව ද දැන් ඒ මහතා පිළිගනියි. මේ බව මුලින් ම කීවේ නම් මෙතරම් සංවාද කළ යුතු වන්නේ නැත. ඒ මහතා පමා වී හෝ තම මතය නිවැරදි කරගැනීම සතුටට කරුණකි. මෙවන් සංවාදවල අරමුණ ද එයයි.  එනම් තම වැරදි මත නිවැරදි කරගැනීම ය. සැම්සන් මහතා දැන් මෙයට කිසිසේත් අදාළත්වයක් නැති සරල- සංකීර්ණ බෙදීමක එල්ලී සිටින්නේ තමාට වැරදුණේ නැති බව කීමට විය යුතු ය. අයින්ස්ටයින්ගේ ප්‍රකාශය "නොතකා හරිමින්" හෝකිං අදහස් ප්‍රකාශ කළේ යැයි හෝකිංගේ අදහසක් විකෘති කර දැක්වූ සැම්සන් මහතා මුලින් සිටියේ කුමන ස්ථාවරයක ද යන්න සියල්ලන්ට ම ප්‍රදර්ශනය වී අවසන් ය. සූත්‍ර සරල වන්නේ දියුණු අවස්ථාවේ බවට හිතලුවක් ඉදිරිපත් කරන සැම්සන් මහතා වඩා සංකීර්ණ සූත්‍ර ඇති සාපේක්ෂතාවාදය හා ක්වොන්ටොම් භෞතිකය ඊට පෙර පැවති ප්‍රවාදවලට වඩා නො දියුණු බව කීමට පෙළඹෙනු ඇති ද? අනෙක් අතට මෙසේ අදහස වෙනස් කරගත් විට ඒ මහතා සඳහන් කරන ඔහුගේ කෘතියේ පිටු කොපමණක් ඉවත් කිරීමට සිදුවේ ද යන්න මම නො කියමි. අදාළ පොත සංශෝධනය කොට තම දුර්මතවලින් පාඨකයන් රැක ගැනීමේ වගකීම ඔහුට ම පැවරේ.
සැම්සන් මහතා සංවාදයෙන් පැන යාමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ. අවුරුදු 400කට පෙර විද්‍යාඥයන් ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කළ බවත් අද ඒ ගැන සංවාදයක් කිරීම නිරර්ථක බවත් කීමෙන් ඒ බව පැහැදිලි වේ. අවුරුදු 400කට පෙර තිබූ මේ වන විට බිඳ වැටී ඇති විද්‍යාත්මක දැනුමේ අවිචාරවත්ව කරවටක් ගිලී සිටින ඒ මහතා විද්‍යාවේ පසුකාලීන වර්ධනයන් විමසන ලෙස අපට පැවසීම තරම් විහිළුවක් තවත් නැත. පුවත්පත් සංවාදයක අරමුණ වන්නේ තමාගේ තර්කය විස්තරාත්මකව ප්‍රකාශ කොට එය සාකච්ඡාවට බඳුන් කිරීමෙන් පාඨකයන් ගේ දැනුම වර්ධනය කිරීම මිස අසුවල් පොතේ ඇත ආදී වශයෙන් කිසිදු සාරාංශයක්වත් නො දක්වා හිස් වචන දමා ගසා පැන යාම නො වේ. පාඨකයන් මුළා කිරීමට නම් එය ඉතා කදිම උපක්‍රමයකි. (සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳ අදහස් කොපර්නිකස් අතින් ඉදිරිපත් වන විට චියැරමොන්ති ආදීන් පැවසුවේ පොළොව චලනය වන්නේ ය ලෙස මතයක් ඊට බොහෝ කලකට පෙර පයිතගරස් හා ඇරිස්ටාකස් විසින් ඉදිරිපත් කරන ලද බවත් ඇරිස්ටෝටල් සිය තර්ක මඟින් එම මතය බිඳ හෙළූ බවත් ය. එනිසා මේ ගැන කතා කිරීම ම නිරර්ථක බවත් ය. පසුව ගැලීලියෝ පෙන්වූයේ ඇරිස්ටෝටල්ගේ පැරණි තර්කය තවදුරටත් වලංගු නැති බවයි. මෙනිසා අතීතයේ පැවති විද්‍යා දැනුමෙන් බැහැර කළ දෑ වර්තමාන විද්‍යා දැනුම හමුවේ බැහැර කළ හැකි ද යන්න යළිත් විමසිය ‍යුත්තකි. සැම්සන් මහතා චියැරමොන්ති ගේ පුනරාගමනය නිරූපණය කිරීම දෛවෝපගත ය. සැම්සන් මහතා කියන කරුණු ද දැන් යල් පැන ගොසිනි. )
සංවාදයෙන් පැන යමින් කරුණු වසන් කිරීමට දරනා උත්සාහ ගණනාවක් සැම්සන් මහතාගේ ලිපියෙන් දැකගත හැකි ය. බෘනෝ ගැලීලියෝ දිවි පිදුවේ නිශ්ඵල දෙයක් සඳහා විය නො හැකි ය යන්න, ජ්‍යෝතිෂ්‍යයට එරෙහිව Culver , Ianna ආදීන්ගේ කෘති හරසුන් විය නො හැකි ‍ය යන්න , The Humanist සඟරාවේ පළවූ ලිපියකට විද්‍යාඥයින් අත්සන් කොට තිබීම වැනි ප්‍රකාශ එසේ වේ. මේවා තර්ක ද යනුවෙන් අප ඒ මහතාගෙන් ඇසිය යුතු ය. මේ කරන්නේ සංවාදයකි. තමා පදනම් වන මූලාශ්‍ර මත අදාළ තර්ක ගෙනහැර දැක්වීම සැම්සන් මහතාගේ කාර්යයභාරයයි. ඊට සැම්සන් මහතා අපොහොසත් බව අපගේ තර්කවලට පිළිතුරු නො දී පොත්පත්වල නම් ගම් පැවසීමෙන් පෙනේ. සැම්සන් මහතාට ඒ මහානර්ඝ ප්‍රකාශනවල ඇතුළත් කරුණුවලින් අපේ තර්කවලට පිළිතුරු දිය නො හැක්කේ ඇයි?  මේ අතර ඒ මහතා මට කරන්නේ පුදුමාකාර යෝජනාවකි. එනම් ඉහත පොත්වලින් ද කරුණු ගෙන හැර දක්වන ලෙසයි. සංවාදයක් යනු කුමක් දැයි ඒ මහතා නො දන්නේ ද යන්න සැක සිතේ. සංවාදයේ දී එම කරුණු ඉදිරිපත් කිරීමේ වගකීම ඇත්තේ ජ්‍යෝතිෂ්‍ය විරෝධියකු සේ පෙනී සිටිනා සැම්සන් මහතාට ය. අදාළ කරුණු ඔහුගේ අග්‍රගණ්‍ය ප්‍රකාශනවලින් උපුටා නො දක්වන ඒ මහතා ඒ කාර්යය ද මට ම පවරයි. තම පරීක්ෂණයට එල්ලවූ චෝදනා සඳහා කාල්සන්ගේ කෙටි පිළිතුර පිළිබඳ සඳහන් කරන ඒ මහතා මා එය ඉදිරිපත් නො කිරීම මගේ ලිපියේ විශාල අඩුපාඩුවක් බව කීම ගැන කෙසේ සිනා සිය යුතු දැයි මම නො දනිමි.
සැම්සන් මහතා මේ උත්සාහ කරන්නේ මා මට වාසිදායක කරුණු පමණක් සඳහන් කරන බව කීමට ය. මා එසේ විශේෂයෙන් තෝරා ඉදිරිපත් කරන්නේ නැත. මේ ලියන්නේ සංවාද ලිපි මිස මාගේ විශේෂාංග ලිපියක් නො වේ. කාල්සන් විවිධ සමාලෝචකයන්ට පිළිතුරු දී ඇතත් ඔහු Ertelට ලබා දී ඇති කෙටි පිළිතුර ඉතා බොළඳ එකකි. (මේ පිළිතුර තවත් සංශයවාදියකුට ඔහු යැවූ email පණිවිඩයකි. ඔහු එය සිය blog අඩවියේ පළකර තිබුණි. ) එය සම්පුර්ණයෙන් ම පදනම් වී ඇත්තේ පහත වාක්‍යය මත ය. For now, let me just point out that a scientist never figures out how to analyze his data after the fact with all the data in view. This leads to selection biases that can skew the results to favor the experimenter's hopes. Apparently Dr. Ertel has done just that and from many possible approaches he has selected a particular method of analysis that gives him a result that he says is "marginally significant" in favor of the astrologers.  කාල්සන් කියන්නේ Ertel විවිධ ක්‍රම ඇසුරෙන් ජ්‍යෝතිෂ්‍යයට වාසි සහගත ක්‍රමය ම තෝරාගත් බව ය. ක්‍රමය තීරණය කළ යුත්තේ දත්ත ලබා ගැනීමට පෙර මිස පසුව නොවන බව ඔහු කියයි. මෙහි දී කාල්සන් මේ කර ඇත්තේ ඉතා වංචනික විවේචනයකි. ඇත්තෙන් ම මේ විවේචනය අදාළ වෙන්නේ කාල්සන්ට ම ය. කාල්සන් දත්ත ලැබීමට පෙර තීරණය කරගෙන සිටි ක්‍රමය දත්ත ලැබීමෙන් පසු වෙනස් කළ බව මම අගෝස්තු 09 වෙනි දා ලිපියේ අදාළ පරීක්ෂණ පත්‍රිකාවෙන් ම උපුටාගෙන පෙන්වා දුන්නෙමි. Ertel කළේ කාල්සන් මුලින් ම තීරණය කරගෙන සිටි ක්‍රමය අනුව ම ගණනය කර බැලීමයි. තමාගේ වංචනිකභාවය අනුන් මත පැටවීම අතින් කාල්සන් ද ලංකාවේ හේතුවාදීන්ට දෙවනි නැත. මගේ වගකීමෙන් ද පිටස්තර වූ මෙවන් වැදගැම්මකට නැති බොළඳ "පිළිතුරු" උදෙසා මගේ ලිපියේ ඉඩකඩ වැයකිරීමට මම අකැමැත්තෙමි. මේවා මතු කළ යුත්තේ සැම්සන් මහතා ය.
   කාල්සන් හුදු උපහාසය සඳහා කියූ නොබෙල් ත්‍යාග කතාවක් සැම්සන් මහතා ඉතා බරපතල ලෙස සලකයි. ඒ මහතා සිතා සිටින්නේ නොබෙල් ත්‍යාග කමිටුවේ බලධරයා කාල්සන් බව ද? අනෙක් අතට ඒ මහතා ඩෝකින්ස් උපුටා ගන්නේ පිටසක්වල ජීවින් අපෙන් අසන පළමු ප්‍රශ්නය ඔබ පරිණාමවාදය දන්නේ ද යන්න බව කීමට ය. ඩෝකින්ස් නොබෙල් ත්‍යාගලාභියකු වුවත් ඔහුගේ මෙවන් ප්‍රකාශන ජනප්‍රිය කෘති හා දේශන රසවත් කිරීමට යෙදූ ලොසින්ජර පමණි. සැම්සන් මහතා ඒ ලොසින්ජරවලට ඉමහත් වැදගත්කමක් දෙයි.
කතෝලික පල්ලිය විසින් බෘනෝ පණ පිටින් ගිනි තබා පුළුස්සනු ලැබීම ගැන හේතුවාදියෝ කිඹුල් කඳුළු හෙළති. බෘනෝ පිළිබඳ හේතුවාදීන්ගේ නො දන්නාකම ඔහු ගැන ඔවුන් ලියන දේවලින් පෙනේ. බෘනෝ යනු ගුප්ත විද්‍යාඥයෙකි (occultist).  ප්‍රසිද්ධ හර්මෙටික ගුප්ත ලේඛන අධ්‍යයනය කර ඒ මතවාද බටහිරට ගෙනා කිහිප දෙනාගෙන් එක් අයෙකි. නිවුටන් ද හර්මෙටික ගුප්ත විද්‍යාවේ impetus ආදී සංකල්ප බොහෝමයකින් ආභාසය ලැබුවේ ය. හේතුවාදීහු බෘනෝට පල්ලිය ඉදිරිපත් කළ චෝදනා පවා නො දනිති. බෘනෝට එල්ල වූ චෝදනා වන්නේ ත්‍රිත්වය , ක්‍රිස්තුස්ගේ දිව්‍යභාවය, මරියාවගේ කන්‍යාභාවය, transubstantiation ආදී කතෝලික විශ්වාසවලට එරෙහි වීම, බහු ලෝක ගැන පැවසීම , පුනුරුත්පත්තිය පිළිගැනීම, ගුප්ත විද්‍යාවල නියැලීම ආදී කරුණුයි. බෘනෝගේ වැඩි අවධානයක් යොමු වූයේ හර්මෙටික ගුප්ත විද්‍යාව හා අරාබි ජ්‍යෝතිෂ්‍ය වෙත ය. මේ ඉතිහාස කතාවේ සැම්සන් මහතා ආදීන් නො දන්නා තවත් පැත්තක් පවතී. පුනර්භවය කතෝලික විශ්වාසයන්ට පටහැනි වූ අතර ජ්‍යෝතිෂ්‍ය සාතන්ගේ ශාස්ත්‍රයක් ලෙස සැලකිණි. ඒවා ගැන අධ්‍යයනය කිරීමට පෙළඹුණු විද්වතුන් ඉන් ඈත් වීමට බෲනෝට අත් වූ මෙම කෲර ඉරණම හේතු විය. ඇත්තෙන් ම අවුරුදු 400කට පෙර ජ්‍යෝතිෂ්‍ය බැහැර කළේ ප්‍රබල විද්‍යාත්මක තර්ක මඟින් නම් නො වේ. ඊට බලපෑ ප්‍රබල සාධකයක් වූයේ බෲනෝ පණපිටින් පිළිස්සීමයි. මේ සංස්කෘතික සාධකයේ ප්‍රබලත්වය මත බටහිර විද්වත්තු ජ්‍යෝතිෂ්‍ය වෙත සහය පළ කරමින් කතා කිරීමට බියක් දක්වති. මේ කිසිත් නො දන්නා සැම්සන් මහතා වැනි අය ජ්‍යෝතිෂ්‍ය ප්‍රබල  විද්‍යාත්මක තර්ක මඟින් බැහැර වූ බව සිතා සිටිති. දැන් බෘනෝ දිවි පිදුවේ නිරර්ථක කරුණක් උදෙසා ද යන සැම්සන් මහතාගේ තර්කය ජ්‍යෝතිෂ්‍ය හා පුනර්භවය විෂයෙහි ඒ මහතාගෙන් ම ඇසිය යුතු ය. (බෘනෝගේ ගුප්ත විද්‍යා අදහස් කෙප්ලර්ට බලපෑ බව සැබෑ ය. එහෙත් බෘනෝ මරණයට පත් කළේ සූර්ය කේන්ද්‍රවාදයට සහය දුන් නිසා ම නො වේ. ප්‍රධාන චෝදනා ඉහත ඒවා ය.)
කාල්සන්ගේ පරීක්ෂණය Nature සඟරාවේ පළවූ බව කියා එනිසා එය ඉතා නිරවද්‍ය බව අඟවන්නට සැම්සන් මහතා දරන උත්සාහය පෙන්වන්නේ ඒ මහතා Nature සඟරාව දේව වාක්‍යයක් ලෙස සිතා ඇති බවයි. කාල්සන්ට එරෙහි Ertel ගේ සමාලෝචනය ද Journal of Scientific Exploration ජර්නලයේ පළවූවකි. එනිසා සැම්සන් මහතාගේ දෝෂ පෙන්වන්නේ නම් ජර්නලයක පළ කරන්න යන්න දැනට ම සිඳී බිඳී ගොසිනි. ජ්‍යෝතිෂ්‍යවේදීන් පරීක්ෂණවලට බිය බව කීමට ඒ මහතා උත්සාහ කරයි. එවැනි පරීක්ෂණ සාධාරණව නො පැවැත්වෙන බව හොඳින් දන්නා ජ්‍යෝතිෂ්‍යවේදීන් ඒවාට සහභාගී නො වීම සාධාරණ ය. තර්කවලට පිළිතුරු දීමට බිය වී නම් ගම් හුවා දක්වන හේතුවාදීන් ම මෙසේ කීම විහිළුවකි.
දැන් අපි සැම්සන් මහතාගේ අදහස විමසමු. "කේන්ද්‍ර සටහනක් ඇසුරෙන් ඵලාපල කීම ජ්‍යෝතිෂ්‍යයේ කාර්යයයි. මිථ්‍යාවක් වන්නේ එයයි." යනුවෙන් සැම්සන් මහතා පවසයි. කේන්ද්‍ර සටහන සෑදීම දක්වා මිථ්‍යාවක් නොවන බව ඔහු පිළිගනියි. ඔහුගේ මේ තර්කයට පිළිතුර මා අභයසිංහ මහතා සමඟ සංවාදයට එළඹි මුල් ම ලිපියේ ද දෙවන ලිපියේ ද සඳහන් වේ. අභයසිංහ මහතා නම් දිගින් දිගට ම එය නො දැක්කා සේ මඟ හැර සිටියේ ය. සැම්සන් මහතාවත් මීට පිළිතුරක් දෙන්නේ නම් යහපත් ය.
මාගේ පැරණි ලිපියකින් උපුටා ගනිමින් මගේ ප්‍රධාන තර්කය මෙසේ දක්වමි.
"පෙර ලිපියේ මා පෙන්වූයේ ජෝතිෂ්‍යය සඳහා ග්‍රහලෝකවලින් බලපෑමක් තිබීම පවා අත්‍යවශ්‍ය නො වනා බවයි.  ස්වභාවය ආවර්තීය චක්‍රවලින් යුතු බව කියන්නේ හේතුවාදීන් ම ය. ඉන් නො නවතින ඔවුහු මනස මොළයට ඌනනය කරති. එවිට මිනිස් ක්‍රියාකාරකම් ද රසායනික විපර්යාස ම වන බැවින් ඒවා ද ස්වභාවික චක්‍රීයතාවයට නතු වෙනු ඇත. අහසේ චක්‍ර හා මිනිසුන් ගේ චක්‍ර අතර සමපාත වීම් සොයා ගත හැකි නම් අහසේ චක්‍ර හා සම්බන්ධ ගණනයෙන් මිනිස් හැසිරීම් සොයා ගත හැකි බව හේතුවාදයෙන් ම ගම්‍ය වේ. එහෙයින් ජෝතිෂ්‍යයට අවශ්‍ය ම දාර්ශනික පදනම හේතුවාදීන් සපයා දී ඇත." (ජුනි 28 විදුසර )
අහසේ චක්‍ර හා මිනිස් සමාජයේ චක්‍ර අතර සමපාත භාවය මඟින් අනාවැකි කීමකට විරුද්ධ විය හැකි එක ම තර්කය මිනිසුන්ට මනසක් ඇති නිසා ඔවුන් මේ භෞතික ස්වභාවයන් ඉක්මවමින් ඒවා උල්ලංඝනය කරමින් ක්‍රියාකරනු ඇත යන්න ය. මනස මොළයට ඌනනය කිරීම පිළිගතහොත් එම තර්කය අවලංගු වී යනු ඇත. ඒ නිසා ලංකාවේ හේතුවාදීන්ගේ දර්ශනයම ජ්‍යෝතිෂ්‍යයක පැවැත්මට පදනම සපයයි. මම ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයකු නොවෙමි. එනිසා මා කිසියම් ජ්‍යෝතිෂ්‍ය ශාඛාවක් වෙනුවෙන් පෙනී නො සිටිමි. මා පෙන්වා දෙන්නේ මෙවන් ආකාර ජ්‍යෝතිෂ්‍යයක පැවැත්ම හේතුවාදයෙන් ම ඔප්පු කෙරෙන බව ය. මනස මොළයට ඌනනය නො කළ විට නම් අර පළමු තර්කය වලංගු වේ. එවිට කිව හැක්කේ ජ්‍යෝතිෂ්‍යයකට අනාවැකි කිව හැක්කේ යම් තාක් දුරකට පමණක් බව ය. ඒත් හේතුවාදීන්ට තමාගේ ආස්ථානය නො බිඳී තබා ගනිමින් සාධාරණ වශයෙන් ජ්‍යෝතිෂ්‍යයකට එරෙහි විය නො හැකි ය. එහෙයින් හේතුවාදීන්ගේ ජ්‍යෝතිෂ්‍ය විරෝධය හුදු වචන ප්‍රකාශ කිරීමක් පමණ ය.
මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සැම්සන් මහතා එය අනුමත කරයි. සැම්සන් මහතා එම අදහස කී බව මා කියා ඇති තැනක් දක්වන ඔහු, එය කීවේ තමා නොව මාර්ටින් වික්‍රමසිංහ බවත් තමා එසේ නො කී බවත් කියයි. යම් අයකුගේ ප්‍රකාශයක් අනුමත කිරීම ඔහුගේ අදහස නැවත කීමකි. ඔහු වික්‍රමසිංහගේ අදහසට එකඟ නැතිනම් එය උපුටාගත්තේ ඇයි? සැම්සන් මහතා මෙතරම් ම ළද බොළඳ ලෙස පිළිතුරු ලිවීම අනුකම්පා කටයුතු ය.
භව කර්ම විකාශය යනු ලැමාක්ගේ හා ඩාවින්ගේ මත ද ලිසෙන්කෝගේ මත ද පටලවාගෙන ලියන ලද්දක් බව එය කියවන උසස්පෙළ සිසුවකුට පවා පහසුවෙන් ම වැටහෙනු ඇත. ප්‍රවේණිය හා පරිණාමය ගැන මාර්ටින් වික්‍රමසිංහ ලියා ඇති දේ ශාස්ත්‍රීය වශයෙන් උසස් නො වේ.
ගස්වැල්වලට පුනුරුත්පත්තිය අදාළ නො වන්නේ මන් ද යන්න සරලව පැහැදිලි කළ හැක්කකි. ජීවීන් පරිණාමය වූයේ අජීවී ද්‍රව්‍යවලින් යැයි ජීව විද්‍යාඥයෝ කියති. එවිට ඉහත ප්‍රශ්නය ම අජීවී ද්‍රව්‍යවලට ජීවයක් රහිත වූයේ ඇයි යනුවෙන් සැම්සන් මහතාගෙන් ඇසිය හැකි ය. අනික ශාක දේහ හා සත්ත්ව දේහ අතර තීව්‍ර වෙනස්කම් ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. ශාකවලට නැති සත්වයන්ට පමණක් ඇති ජීව විද්‍යාත්මක වෙනස්කම් ම බොහෝ ය.
බෞද්ධ ඉගැන්වීම් අනුව පංචස්කන්ධයක් පවතී. ඉන් රූප ස්කන්ධය භෞතික ද ඉතිරි ස්කන්ධ හතර (වේදනා, සඤ්ඤා,  සංඛාර, විඤ්ඤාණ) අභෞතික ද වේ. සත්ත්වයන් බිහිවන්නේ මේ භෞතික හා අභෞතික සංරචක එක් වීමෙනි. මේ සංරචක පහ එක් වී ඉන්ද්‍රියන් හයක් නිර්මාණය කරයි.  මනස ඉන් එකකි. වටහා ගත යුත්තේ මනස පූර්ණ අභෞතික නොවන බව ය. මනස සෑදෙන්නේ ද මේ භෞතික අභෞතික සංරචක සියල්ලේ ම ඒකාබද්ධතාවයෙනි. මෙනිසා මනසට භෞතික බලපෑම් ද ඇත. මොළයේ ආබාධ , ශාරීරික දුබලතා මනසට බලපාන්නේ මනසේ එක් සංරචකයක් භෞතිකය බැවිනි. හේතුවාදීන් මේ භෞතික බලපෑම් පෙන්වා එහි සීමාව ඉක්මවා යමින් මනස ඊට ම ඌනනය කරති. මනසට තවත් අභෞතික සංරචක හතරක් ඇත. එනිසා මනසේ භෞතික නො වන ක්‍රියාකාරිත්වයක් ද ඇත. මරණයේ දී සිදුවන්නේ මේ සංරචක පහේ ඒකාබද්ධතාව සිඳී යාමයි. එහි දී අවසානයේ ඇති වන සිත චුති සිත නම් වේ. මේ චුති සිතට අනුරූපව අභෞතික සංරචක නැවත භෞතිකය සමග ඒකාබද්ධ වී ප්‍රතිසන්ධි සිතක් සාදයි. (සිත දියුණු කරගත් පුද්ගලයින්ගේ මරණයෙන් පසු ප්‍රතිසන්ධි සිත භෞතික සංරචක නැතුව ද හටගනී. මේ අරූප භව උපතයි. මෙවන් අවස්ථා මේ මොහොතේ නො සලකමු.)
අභෞතිකය භෞතිකය සමඟ එක් වී ප්‍රතිසන්ධි සිත ඇති කොට නව මනසක් සාදයි. එවිට එවන් මනසක් ඇතිවන්නේ ඊට සුදුසු භෞතික සංරචක ඇති දේහයක ය. මනසක් ඇති වීමට උචිත භෞතික අවශ්‍යතා ඇත්තේ සත්ත්ව දේහවල බැවින් සත්ත්වයින්ට  මිස ශාකවලට පුනර්භවයක් නැත.
අභෞතික සංරචකලට භෞතික අවකාශීය සීමා පැනවීම තේරුමක් නැති ක්‍රියාවකි. ද්විමානයට ඉහළින් ත්‍රිමාණය තිබෙන්නාක් මෙන් ත්‍රිමාණ වස්තූන්ට ද්විමානයට බැඳී සිටීමට හැක්කාක් මෙන් අභෞතිකය ද භෞතිකයේ සීමා මායිම්වලට එපිටින් පවතින අතර අභෞතික සංරචකවලට භෞතිකය හා බැඳීමට ද හැකි ය. මේ බැමි බිඳුණු මරණින් පසු (සාමාන්‍ය අවස්ථාවල) එහි ඵලය ලෙස තවත් බැම්මක් ඇති වේ. මෙහි දී මරණයට පත්වන්නා හා උපදින්නා අතර කිසිවක් ගමන් කරන්නේ නැත. ගමන් කිරීම අදාළ වන්නේ අවකාශීය සීමා තුළ පවතින දෑට පමණි.
හේතුවාදීන්ගේ තර්ක මඟින් අනාගත පරම්පරාවේ විමර්ශන බුද්ධිය කෙලෙසෙන බව මා කීවේ ලංකාවේ සියලු හේතුවාදීන්ට අදාළව මිස මාර්ටින් වික්‍රමසිංහ මහතා විෂයෙහි පමණක් නො වේ. එය මාර්ටින් වික්‍රමසිංහ මහතාට ම බැර කිරීමට සැම්සන් මහතා කටයුතු කරයි. වික්‍රමසිංහ මහතාගේ ඉහත ආකාරයේ ලේඛනවලින් අනාගත පරම්පරාවල විමර්ශන බුද්ධිය කෙලෙසුණු අයුරු පහදා දෙන ලෙස සැම්සන් මහතා මගෙන් ඉල්ලා සිටියි. ඒ බව පැහැදිලි කිරීමට හොඳ ම උදාහරණය සැම්සන් මහතා ම ය. ඒ බව මා ඉහත සවිස්තරව පෙන්වා දී ඇති නිසා නැවත නො ලියමි.
මේ වන විට තම ඇතැම් සාවද්‍ය මත නිවැරදි කරගත්තාක් මෙන් ඉදිරියේ දී  සැම්සන් මහතා හේතුවාදී පටු ආස්ථානයෙන් ද මිදී විමර්ශනය බුද්ධිය වර්ධනය කරගනු ඇතැයි අපේක්ෂා කරමි.

පරමාර්ථ ධර්ම හා වාස්තවිකත්වය

2017 ඔක්තෝබර් 1හා 8 රිවිර පුවත්පත්

පරමාර්ථ ධර්ම හා වාස්තවිකත්වය 


(සාපේක්ෂතාවාදය වෙනස් වූයේ නම් පටිච්ච සමුප්පාදයත් වෙනස් වී ඇත් ද?)


කොවුර්ගේ අභියෝගවලට අභියෝග කළ මගේ ලිපි පෙළින් පසු මට පිළිතුරු දීමට චන්දනලා යුගලක් ඉදිරියට පැමිණ ඇත. දෙදෙනා ම චන්දන බැවින් චන්දන නමින් ඇමතීමෙන් පාඨකයන් පමණක් නොව ඔවුන් දෙදෙනා පවා ව්‍යාකූල විය හැකි ය. එනිසා මෙතැන් සිට ඔවුන්ගේ දෙවනි නම්වලින් එනම් රණසිංහ මහතා හා හේරත් මහතා ලෙස ඔවුන් ඇමතීමට බලාපොරොත්තු වෙමි.

හේරත් මහතාගේ පළමුවන පිළිතුරු ලිපිය කියවූ පාඨකයන් පුදුමයෙන් පුදුමයට පත් වන්නට ඇත්තේ කොවුර්ගේ අභියෝග ලිපි පෙළේ සාකච්ඡා කෙරුණු ගුප්ත විද්‍යා , පුනර්භවය හා රහත් භාවය ආදී දේවල පැවැත්ම හේරත් මහතා ද පිළිගෙන ඇති බැවිනි. හේරත් මහතා මට එරෙහි වන්නේ කොවුර්ගේ අභියෝග යන කේන්ද්‍රීය කරුණේ දී නො වේ. මෙහි පසුබිමේ දී මා කියූ කරුණකට ය. එනම් බුදු දහම වාස්තවික යථාර්ථයක් ප්‍රතික්ෂේප කරන්නේ ය යන්නට ය. හේරත් මහතාගෙන් නිරූපණය වන්නේ තමන් ලැබූ බටහිර අධ්‍යාපනයේ සිරවූ බෞද්ධ 'උගතුන්' කුලකයකි. බටහිර විද්‍යාව ද, හේතුවාදය යථාර්ථවාදය වැනි ප්‍රාථමික බටහිර දර්ශන ද පිළිබඳව උඩින් පල්ලෙන් ලබා ගත් දැනුමක් සහිතව බටහිර ව්‍යවහාරික ශාස්ත්‍ර උගෙන එයින් ජීවිකාව සපයා ගන්නා පිරිසක් ලෙස මේ පිරිස හඳුනා ගත හැකි ය. තම සමාජ තත්වය සපයා දුන් බටහිර විද්‍යාව (ඔවුන්ගේ වචනයෙන් නූතන විද්‍යාව) ගැන ආදර භක්තියෙන් යුතුව බටහිර විද්‍යාවේ සමාජ ආධිපත්‍ය තහවුරු කිරීම තුළින් තම සමාජ තත්වය ප්‍රවර්ධනය කිරීමේ සැඟවුණු ආශාව ඔවුන්ගෙන් බහුතරයක් තුළ දක්නට ලැබේ. බටහිර විද්‍යාව හා බුදු දහම එකක් බව හෝ බටහිර විද්‍යාව බුදු දහමට ළං වන බව හෝ කීමත් හේතුවාදය වැනි ප්‍රාථමික දර්ශන සමඟ මතුපිටින් සැසඳීම් කොට අද මේ කියන දේ බුදුන් වහන්සේ අවුරුදු 2500කට පෙර දෙසූ සේකැයි බෞද්ධයන් වීම ගැන බොළඳ අභිමානයක් ඇති කර ගැනීමේ ආස්වාදනීය උත්සාහයත් ඔවුන්ගේ පොදු ලක්ෂණ වේ. මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ ඔවුන්ගේ නො ගැඹුරු අධ්‍යයන තුළින් බෞද්ධ පාඨයන් විකෘති අර්ථකථනයන්ට ලක් වී බටහිර විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ වියවුල් මතවාද සමඟ ඈඳී යාම ය. මෙහි අහිතකර ප්‍රතිඵල දෙයාකාරයකින් දැකිය හැකි වනු ඇත. පළමුවැන්න නම් බටහිර විද්‍යාව අවබෝධයෙන් යුතුව විධිමත්ව හදාරන සිසුන් ඉහත කී වියවුල් මතවාද පුස්සක් බව වටහා ගත් විට බෞද්ධ පාඨවල එම ජනප්‍රිය විකෘති අර්ථකථන මත පිහිටා බුදු දහම ගැන සැක ඉපිදවීමට පෙළඹීම ය; තවදුරටත් අදාළ බටහිර විද්‍යා ප්‍රවාදය අනාගතයේ දී ප්‍රතික්ෂේප වුවහොත් ඒ සමඟ ම බුදු දහම ද බැහැර කිරීමට සිසුන් තුළ පෙළඹීමක් ඇති වීම ය. අනෙක බටහිර විද්‍යාවට පසුබිම් වූ, බුදු දහමට ඉදුරා පටහැනි විශ්වාසයන් සමඟ බුදු දහම ඈඳීමේ අවදානම ය. ඒ නිසා හේරත් මහතා මේ ඇරඹූ සංවාදය 'බෞද්ධ උගතුන්' අතර දුර්මත බිඳීමට ඉතා හොඳ අවස්ථාවක් විවර කර දීමකි.

මුලින් ම මම පාඨකයන්ට හේරත් මහතා කොතරම් වියවුල් මතවාද දරන්නකු ද යන්න පැහැදිලි කර දෙමි. නුවණ දියුණු කරගත හැකි වන්නේ කරුණු අසා කියවා දැන ගැනීමෙන් හා නිරවුල්ව කල්පනා කිරීමකි. තම ලිපිය කරුණු ගොන්නකින් පුරවා ඇති හේරත් මහතා නිරවුල්ව කල්පනා කරන අයකු බවක් නම් පෙනෙන්නට නැත. මේ ඔහුගේ සැප්තැම්බර් 24 ලිපියෙන් උපුටා ගත් කොටස් දෙකකි.

"බෞද්ධ දර්ශනයේ හේතුඵලවාදයත්, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් දෙකක් නොව එකක් බව ඔබට පැහැදිලි වනු ඇත."

"ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඇතුළු ඔහු ලොවට දායාද කළ දැනුම පසුව නොයෙක් වෙනස්කම්වලට බඳුන් විය. එමෙන් ම එහි ඇති අපැහැදිලි තැන් ද පසුව අනාවරණය වී ඇත. නමුත් බුදුන් වහන්සේ විසින් බුද්ධ ඥානයෙන් ඉදිරිපත් කරන බෞද්ධ දර්ශනයේ අභිධර්මය තුළ කිසිදු පරස්පර විරෝධී කරුණක් අඩංගු නොවන බව පියදිගම මහතා මෙන් ම අනෙක් පාඨකයින් ද තේරුම් ගත යුතු ය."

එක ම ලිපියේ ඇති මේ කොටස් දෙක කියවන පාඨක ඔබට හේරත් මහතා සිටින වියවුල හොඳින් පැහැදිලි වන්නට ඇත. මුල් කොටස අනුව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් පටිච්ච සමුප්පාදයත් එකකි. දෙවැනි කොටස අනුව සාපේක්ෂතාවාදය පසුව වෙනස් වී ඇති අතර එහි අපැහැදිලි තැන් ද ඇත. දැන් පටිච්ච සමුප්පාදය හා සාපේක්ෂතාවාදය එක නම් පටිච්ච සමුප්පාදයත් වෙනස් වී ඇති ද?   පටිච්ච සමුප්පාදයේත් අපැහැදිලි තැන් ඇති ද? පටිච්ච සමුප්පාදය අභිධර්මයට අයත් නැති ද?  පටිච්චසමුප්පාදය හා සාපේක්ෂතාවාදය එකට ඈඳීමේ මූලික වරද මෙසේ හේරත් මහතාගෙන් ම පෙනී යාම කදිම උත්ප්‍රාසයකි.

හේරත් මහතා බටහිර විද්‍යාව පිළිබඳව කරන විස්තර කොතෙක් වියවුල් සහගත හා විකාර රූපී දැයි පාඨකයන්ට තවතවත් හොඳින් පෙන්වීමට මීළඟට මා යොමුවන්නේ හේරත් මහතාගේ සැප්තැම්බර් 17 වෙනි දා ලිපියටයි. මෙහි ඔහු විද්‍යාව යැයි ප්‍රකාශ කරන කරුණු බටහිර විද්‍යාවට අනුව කෙතරම් සාවද්‍ය ද යත් පාසල් සිසුන් එම දුර්මතවලින් ව්‍යාකූල වීම වැළැක්වීමට මේ කරුණු විස්තරාත්මකව විවේචනය කිරීම අත්‍යවශ්‍ය වෙයි.

සෙලියුලෝස් ගැන කියන හේරත් මහතා සෙලියුලෝස් නිපදවන්නේ ශාක පත්‍රවල ප්‍රභාසංස්ලේෂණයේ දී ආලෝක ශක්තිය උපයෝගී කරගැනීමෙන් බව කියයි. ඉන්පසු පේළි කීපයේ දී හේරත් මහතා ලියා දක්වන්නේ අතිශයින් සාවද්‍ය විෂය කරුණු ගොන්නකි.

"මෙම ලබා ගන්නා ආලෝකයේ ශක්තිය ශක්තියේ කුඩා ම ඒකකය වන පෝටෝන් (Photon) ස්කන්ධය රහිත අංශුන් ලෙස ගබඩා කරයි." (Zero mass particals). "

පළමුකොට ම කිව යුත්තේ ෆෝටෝන (Photon) ශක්තියේ ඒකකයක් නොව යම් කිසි සංඛ්‍යාතයක් ඇති විකිරණයක ශක්තිය වෙන් කළ හැකි කුඩා ම කොටස බවයි. එක් එක් වර්ණවල ආලෝක ෆෝටෝනවලට ඇත්තේ එකිනෙකට වෙනස් ශක්ති අගයන් ය. මෙහි ඇති ප්‍රධාන වරද එය නො වේ. ඉන්පසුව කියා ඇති කතාව ය. එනම් මෙම ෆෝටෝන් ස්කන්ධ රහිත අංශුන් ලෙස ශාක පත්‍ර තුළ ගබඩා කරන බවට ඔහු කියන විපරීත අදහසයි. ආලෝකයේ ශක්තිය ස්කන්ධ රහිත අංශු ලෙස ශාක පත්‍රවල ගබඩා කෙරෙන්නේ හේරත් මහතා අලුතින් හැදූ විද්‍යාවක විය යුතු ය. ප්‍රභාසංස්ලේෂණයේ දී ආලෝක ශක්තිය උපකාරයෙන් විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදුවන විට ආලෝක ශක්තිය ගබඩා වන්නේ රසායනික විභව ශක්තිය ලෙස මිස ස්කන්ධය රහිත අංශු ලෙස නො වේ. සැබැවින් ම මෙහි දී අදාළ ආලෝකයේ ශක්තියට අනුරූප ස්කන්ධයේ ප්‍රමාණයෙන් එම රසායනික සංයෝගවල ස්කන්ධය වැඩි වේ. හේරත් මහතා කියන ස්කන්ධ රහිත අංශු ගබඩා වී ඇත්තේ ශාක පත්‍රයේ කුමන කොටස්වල දැයි කීම හේරත් මහතාට ම බාර ය. සාපේක්ෂතාවාදය අනුව නිශ්චලතාවයේ දී ස්කන්ධය ශුන්‍ය වන අංශුවක් පවතියි නම් එහි නිශ්චලතාවේ දී ශක්තිය ශුන්‍ය වේ. එනිසා කිසිසේත් ම ශාකයක් තුළ ස්කන්ධ රහිත අංශු මඟින් ශක්තිය ගබඩා විය නො හැකි ය. (එහෙත් ෆෝටෝනයක නිසලතා ස්කන්ධය ශූන්‍ය වෙමින් ශක්තියක් පවතියි. මෙසේ වන්නේ ෆෝටෝනය චලනය වන බැවිනි. චාලක ශක්තියක් පවතින බැවිනි. ෆෝටෝන ඇත්තේ අවකාශ කාලයේ ශුන්‍ය භූමිතිකවල ය.-null geodesic . ෆෝටෝනයක් නිශ්චල කළ නො හැකි ය. එනිසා ගබඩා කළ නො හැකි ය.) එනිසා ස්කන්ධ රහිත අංශු මඟින් ශාකවල ශක්තිය ගබඩා වේ යන්න සාවද්‍ය අදහසකි.

"අප දකින ආලෝකය තරංගයක් වුව ද ඔබ කියවන පුවත්පත තුළ එය ඇත්තේ ස්කන්ධ රහිත අංශුන් ලෙස ය. ඔබ මේ පුවත්පත දහනය කළහොත් එහි ගබඩා වූ ආලෝක කිරණ (LIGHT WAVES) නැවත ආලෝක ශක්තිය බවට පත්වේ. "
ස්කන්ධය රහිත අංශුන් ලෙස ශක්තිය 'ගබඩා වීමේ' සාවද්‍ය අදහසින් පසු එම අංශු මඟින් ශක්තිය නිපදවෙන ක්‍රමයක් ගැන ද හේරත් මහතා නන් දොඩවයි. දහනයේ දී වන්නේ පුවත්පතේ රසායනික සංයෝගවල රසායනික විභව ශක්තිය ආලෝකය හා තාපය බවට පිට වී යෑම ය. එහි දී එම සංයෝගවල ස්කන්ධයෙන් පිටවී යන ශක්තියට අනුරූප ස්කන්ධ ප්‍රමාණයක් අඩු වේ. මේ ස්කන්ධ ප්‍රමාණ සාමාන්‍ය උපකරණවලට හසු නොවන තරම් කුඩා ය.

අපේ ආහාරවල මෙන් ම අපේ ශරීර තුළ ද මෙම විපරීත අංශු පවතින බව කියන හේරත් මහතා අංශු තරංග ද්වෛතය මුලින් ම දැන ගත්තේ Double Slit Experiment මඟින් යැයි තවත් සාවද්‍ය මතයක් ප්‍රචාරය කරයි. ද්වෛතය ගැන අදහස් පළ වූයේ (ෆෙයින්මාන්ගේ) සඟල සිදුරු පරීක්ෂණයට බොහෝ පෙර ය. (යංගේ පරීක්ෂණය තරංග වාදයට සහය වුවද එකල ද්වෛතය ඉදිරිපත් වූයේ නැත.)

බටහිර විද්‍යාව ගැන තමාගේ හිතලු විපරීත අදහස් ඉදිරිපත් කළ හේරත් මහතා එම විප්‍රකාරයන් බුදු දහම සමඟ ඈඳමින් පුනර්භවය එම විප්‍රකාරයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ ත්‍රිපිටකයේ සූත්‍රවලට ද පටහැනිව යමිනි.

හේරත් මහතාගේ අමුතු අංශු මරණයෙන් පසු තරංග ආකාරයෙන් වෙනත් නාමරූපයක් වෙතට යන්නේ යැයි ඔහු කියන්නේ ථෙරවාදයට විරුද්ධ වෙමිනි. ථෙරවාදය අනුව පුනර්භවයේ දී 'අවකාශීය ගමනක්' නැත. මෙය හේරත් මහතාට පයාසි රාජන්‍ය සූත්‍රය කියවා හෝ පානදුරාවාදයේ වාර්තාව කියවා හෝ දැන ගත හැකි ය. මෙවන් තරංග ආකෘතිවලින් සිදු වන්නේ අවකාශීය පැවැත්මක් ඇති ආත්මයක් පිළිබඳ සංකල්පයක් අනාත්මවාදී බුදු දහමට එබ්බවීම ය.

බුදුන් වහන්සේ වාස්තවික යථාර්ථයක පැවැත්ම ප්‍රතික්ෂේප කළ බව පාඨකයන්ට පැහැදිලි කිරීමට දැන් මම යොමු වෙමි. යථාර්ථවාදීන්ගේ් හා හේතුවාදීන්ගේ ප්‍රධාන සංකල්පයක් වන්නේ යම් කිසිවක් හඳුනා ගැනීම සඳහා ඊට ම අනන්‍ය දෙයක් , A thing in itself, වාස්තවිකව ඇති බව ය. බුදුන් වහන්සේ පෙන්වන්නේ එවන් වාස්ත්වික නිරපේක්ෂ පුද්ගලයකු හෝ සත්ත්වයකු සොයා ගත නො හැකි බවයි.

"අනුරාධ, මෙහි ලා තොපට දිටුදැමියෙහි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්ත්වයෙකු නොලැබෙන කල්හි.."
අනුරාධ සූත්‍රය, සළායතන වර්ගය, සංයුක්ත නිකාය

නිවන් දැකීම යනු පවත්නා පුද්ගලයකු අවසන් වීම යැයි මිථ්‍යා මතයක සිටි යමක තෙරුන්ට ඉන් මිදීමට සැරියුත් හිමියන් උපදෙස් ලබා දීමේ දී සිදු වූ සංවාදය මෙසේ වෙයි.

ඇවැත්නි, යමකයෙනි, මෙහි ලා මේ අත්බැව්හි ම තොපට සත්‍ය විසින් ස්ථිර විසින් සත්ත්වයකු නො ලැබෙන කල්හි යම්සේ රහත් මහණ කාය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි” යි තොපගේ ඒ පැවසීම සුදුසු ද? ඇවැත්නි ශාරිපුත්‍රනි, නුවණ නැති මට පෙර මේ ලාමක දෘෂ්ටිය විය. අයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා ඒ ලාමක දෘෂ්ටිය පහ වැ ගියේ ය. ම විසින් ධර්මය ද අවබෝධ කරණ ලද්දේ” යයි.

 සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » ථෙර වර්ගය>> යමක සූත්‍රය

මෙයින් කියැවෙන්නේ වාස්තවික පුද්ගලයකු හෝ සත්ත්වයකු බුදු දහමේ නො පිළිගැනෙන බවයි.

දැන් බොහෝ විශ්ව විද්‍යාල බෞද්ධ උගතුන්ගේ මතය වී ඇත්තේ වාස්තවික සත්ත්වයකු හෝ පුද්ගලයකු නැති වුවත් වෙනත් වාස්තවික දේ ඇති බව ය. එනම් නිරපේක්ෂ වූ වාස්තවික වූ බාහිර ලෝකයක් ඇති බව ය.

බුදුන් වහන්සේ වාස්තවික ලෝකයක් ඇතැයි පැවසුවේ ද යන්න පහත පාඨයෙන් බලාගත හැකි ය.

[දෙවි:]

70. කුමක් හටගත් කල්හි ලොව හටගත්තේ වේ ද? කිමෙක සන්ථවය කෙරේ ද? ලොව කුමක් නිසා කිමෙක පෙළේ ද?

[භගවත්හු:]

ෂඩායතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ. ෂඩායතනයෙහි සන්ථවය කෙරේ. ෂඩායතන ම නිසා ෂඩායතනයෙහි ලොව පෙළේ.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 1. දෙවතා සංයුත්‌තය » අන්ව වර්ගය>> ලොක සූත්‍රය

හේතුවාදීන්ගේ හා යථාර්ථවාදීන්ගේ එක් මූලික අදහසක් වන්නේ Ancestral Exsistence ය. එනම් ෂඩායතනවලට පෙර ලෝකය පැවතියේ ය යන්න ය. ෂඩාතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ යැයි බුදුන් වහන්සේ මේ වාස්තවික යථාර්ථයක පැවැත්ම පිළිබඳ කේන්ද්‍රීය අදහසක් වන Ancestral Existence ප්‍රතික්ෂේප කරයි.

පහත දක්වා ඇති පාඨයෙන් ද පෙනෙන්නේ බුදුන් වහන්සේ ලෝකයේ බාහිර වාස්තවික නිරපේක්ෂ පැවැත්මක් පිළිබඳව අදහස ප්‍රතික්ෂේප කළ බවයි.

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “ලෝක ය ලෝකය යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් ලෝකය යි කියනු ලැබේ දැ” යි.

මහණ, (පලුදු වේ) නැසේ නු යි එහෙයින් ලෝකය යි කියනු ලැබේ. කිමෙක් පලුදු වේ ද යත්: මහණ, ඇස පලුදු වේ. රූ පලුදු වේ. චක්ඛුවිඤ්ඤාණය පලුදු වේ. ඇස්පහස පලුදු වේ. ඇස් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද පලුදු වෙයි … මහණ, පලදු වේ නු යි (නැසේ) එහෙයින් ලෝකය යි කියනු ලැබේ යි.

සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 1. සළායතන සංයුක්තය » ගිලාන වර්ගය

මේ සම්බන්ධව වැදගත් ම අදහසක් දක්වන සූත්‍රයක් වන්නේ රෝහිතස්ස සූත්‍රයයි.

ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි.

පාගමනින් කිසිකලෙක ලොව කෙලවර නො පැමිණිය හැක්කේ ය. ලොව කෙළවරට නො පැමිණ දුකෙන් මිදීමෙකුත් නැත.

සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 2. දෙවපුත්‌ත සංයුත්‌තය » නානාතිර්ථය වර්ගය >>රොහිතස්ස සූත්‍රය

ලෝකය අප තුළ ම පවතින බවත් එහි පහළ වීමත් නිරෝධයත් අප තුළ ම වන බවත් බුදුන් වහන්සේ පවසා ඇත. බාහිර නිරපේක්ෂ වාස්තවික යථාර්ථයක් ගැන අදහස බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බවට මෙය ඉතා පැහැදිලි උදාහරණයකි.

හේරත් මහතා ආදීන්ට බලපා ඇත්තේ බටහිර විද්‍යාව සමඟ බුදු දහම ඈඳීමට අසාර්ථක ප්‍රයත්න ගත් ඇතැම් බෞද්ධ උගතුන්ගේ මතවාදයන් ය.  ථෙරවාදය පරමාණුකවාදයක් (Annalysation of Matter ) ලෙස දැකීමට ඔවුහු උත්සුක වූ හ. ථෙරවාදයේ සම්මුති හා පරමාර්ථ ධර්ම බෙදීම ඔවුන් අතින් විකෘති අර්ථ කථනයකට ලක් විය. වස්තු හා සත්ත්වයින් සම්මුති බවත් පරමාර්ථ ධර්ම යනු 'ඔවුන් සහ ඒවා සෑදුණු කුඩා ම කොටස්' ලෙසත් අර්ථකථනය කොට සත්ත්වයින් පුද්ගලයින් නොමැති වුණත් පරමාර්ථ ධර්ම අපෙන් බාහිරව වාස්තවිකව පවතී යැයි විපරීත අදහසකට ඔවුන් එළඹුණ හ.

මෙහි භයානක ම ප්‍රතිඵලය වන්නේ ථෙරවාදය යනු ඌනිත වාදයක් ය එනම් එක් වාස්තවික යථාර්ථයක් වෙනුවට වෙනෙකක් පැනවීම ය යනුවෙන් මතයක් ඇති වීම ය. මාධ්‍යමික මහායාන සම්ප්‍රදාය හමුවේ ථෙරවාදය පරාජය වී යැයි බෞද්ධ උගතුන් අතර පවා පිළිගැනීමක් ඇති වීමට තරම් මේ විපරීත අදහස හේතු වී ඇත. නාගර්ජුනපාද හිමියන් ඉදිරිපත් කළ ආත්මවාදී චෝදනාවට මුහුණ දීමට මේ ජනප්‍රිය අර්ථකථනයට නො හැකි ය.

"අප අත් දකින සියල්ල කුඩා කොටස්වලට කඩා ගෙන යා හැකි බැවින් ඒවා සම්මුති පමණි. වාස්තවිකව පවතින්නේ කුඩා ම කොටස ය" යන්න ආත්මවාදයකි. පරමාර්ථ ධර්මවල උත්පාද ඨිති භංග අවස්ථා තුනෙහි ඨිති යන්න අනිත්‍ය සමඟ ගැටේ දැයි විචිකිච්ඡා ඇති වන්නේ ද මේ නිසා ය. (ඨිති අවස්ථාව පාලියේ සඳහන් වන්නේ 'ඨිතස්ස අඥත' යනුවෙනි. එනම් මුල් තත්වය වෙනස් වේ යන්න ය. 'පවතී' යන්න නො වේ.
ඨිති යන්නඅර්ථකථනය සාවද්‍ය වූවකි.)

ථෙරවාදයේ පරමාර්ථ ධර්ම හතරක් වේ. චිත්ත, චෛතසික , රූප, නිබ්බාණ ලෙස ඒවා නම් කෙරේ. එයින් නිවන අසංඛාර ද අනෙක් තුන සංඛාර ද වේ. මේවා සංඛාර බැවින් ඒ කිසිවක් වාස්තවිකව පවතින්නේ නැත. නිවන කෙසේවත් අස්ත්‍යාර්ථයක්, පවතින්නක් නො වේ. පරමාර්ථ ධර්මයක් යන්නෙහි අදහස මෙසේ ය. අපේ ෂඩායතනයන්ට පුද්ගලයින් හෝ වස්තු හෝ ගෝචර නො වේ. මිනිසකුගේ රූපය දැකිය හැකි වුවත් මිනිසා ස්පර්ශ කළ විට දැඩි බව දැකිය හැකි වුවත් 'මිනිසා' දැනෙන්නේ කවර ආයතනයකට ද? මිනිසා යනු ෂඩායතනවල ස්පර්ශ වේදනා ඇසුරෙන් නිර්මාණය කරගන්නා සංඛාරයක් , නාම ප්‍රඥප්ති මාත්‍රයක් පමණි.

මේ ෂඩායතනවලට සැම විට ම හසුවන්නේ ක්‍රියාවකි; ලක්ෂණයකි. ෂඩායතනවලට හසුවන්නේ ම වෙනස් වීමකි. ඒ මිස ආයතනයෙහි පැවැත්මක් හෝ අරමුණුවල පැවැත්මක් හෝ අරමුණුවලට පිටතින් පැවැත්මක් හෝ විඳින්නකු ලෙස පැවැත්මක් හෝ ආයතනවලට ගෝචර නො වේ. එහෙයින් මෙම ක්‍රියා ලක්ෂණ සියල්ලට මූලික වන අතර අනෙක් සියල්ල සම්මුති වේ. ඒ අයුරින් මේවා පරමාර්ථ ය. එහෙත් මෙහි ගැටළුවක් ඇත. ක්‍රියාවක් යැයි මා කියන විට ම ඔබ මගෙන් අසනු ඇත්තේ එය කරන්නේ කවුද යන්නයි. ලක්ෂණයක් යැයි මා කියන විට ම ඔබ මගෙන් අසනු ඇත්තේ එය කාගේ ලක්ෂණයක් ද යන්නයි. එහෙත් අපි මුලින් දුටු ලෙස පුද්ගලයින් හා වස්තූන් සම්මුති පමණි. එබැවින් පරමාර්ථ සැලකීමේ දී ඒවා යම් අයකු කරන්නේ නො වන ක්‍රියා හා යම් අයකු ගේ නොවන ආකාරයේ ලක්ෂණ ද විය යුතු ය. මෙය පෘථග්ජන අපගේ භාෂාවලින් නිසි පරිදි කිව නො හැකි බව පැහැදිලි ය. එහෙයින් එතැනින් එහා අවබෝධය ප්‍රඥාවෙන් ම ලැබෙන්නකි. මෙවැනි ක්‍රියා ලක්ෂණ වාස්තවික පැවැත්මක් ඇති දේ නොවන බව පැහැදිලි ය.

වැඩිදුරටත් මෙම සූත්‍ර කොටස විමසමු.

වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද? මේ ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක (සත්ත්වයෙක් හො පුද්ගලයෙක්) ස්පර්‍ශ කෙරේ ය යි මම නො කියමි. ඉදින් ස්පර්‍ශ කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද?’ යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් “වහන්ස, කිනම් ප්‍රත්‍යයයකින් ස්පර්‍ශය වේ දැ” යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා “ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වෙදනාව වේ ය”යි විසඳීම යුක්ත ය.

සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » අහාර වර්ගය>>මොළියඵග්ගුන සූත්‍රය

පටිච්ච සමුප්පාදයේ කියැවෙන්නේ බාහිර වාස්තවික යථාර්ථයක හේතුක සම්බන්ධතා (Causal Relations) නො ව ප්‍රත්‍ය අතර සමපැවැත්මයි.

අයින්ස්ටයින්ගේ ආලෝක කේතුවෙන් කියවෙන්නේ ඔහුට අනුව ආලෝකයේ වේගයට වඩා වේගයෙන් තොරතුරු ගමන් කළ නො හැකි බැවින් එක් සිද්ධියක සිට තවත් සිද්ධියකට තොරතුරු ගමන් කළ හැක්කේ එම සිද්ධි දෙක ආලෝකය මඟින් ආවරණය කළ හැකි කලාපයේ පැවතිය හොත් පමණක් බවයි. පටිච්ච සමුප්පාදයේ කියැවෙන්නේ ප්‍රත්‍ය අතර සම්බන්ධය මිස අවකාශ කාලයේ සිද්ධි දෙකක් අතර සම්බන්ධයක් නො වේ. මෙය කිසිසේත් ම බෞද්ධ මතයට අදාළ වූවක් නොවනවා පමණක් නොව මින් කර ඇත්තේ ද හේතුක සම්බන්ධතාවලට සීමාවක් පැන වීම මිස අන් කිසිවක් නො වේ. අනෙක් අතට පැටලුණු අංශු කේතුවෙන් ඉවත සිට ද තොරතුරු සන්නිවේදනය කරන බව පරීක්ෂණ මඟින් පෙනේ.

උඩින් පල්ලෙන් හදාරා සංකල්ප ගැටගැසීම හානිකර ව්‍යාපෘතියකි. අපට මිථ්‍යාව නමින් අභූතයෙන් චෝදනා කිරීමට පෙර තවත් විමසිලිමත් වීමට හේරත් මහතා කටයුතු කරන්නේ නම් ඉතා වටී.

සටහන:
මේ පිළිතුර ලිවීමේ දී ඊට එක් විය යුතු වැදගත් කරුණු කිහිපයක් ගැන උපදෙස් දුන් කලල්පිටියේ සුමනසිරි හිමියන්ට මගේ ගෞරව පූර්වක ස්තූතිය හිමි වේ.
ත්‍රිපිටකයට අමතරව ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ හා ආචාර්ය සසිත් රාජසූරිය මහතාගේ ලිපි කිහිපයක් ද මෙහි දී නිදැල්ලේ පරිහරණය කරන ලද බව වෙසෙසින් කිවයුත්තේ බොහෝ බෞද්ධ 'උගතුන්' අතර පවතින විකෘති කරුණු හා දුර්මතවලින් මිදීමට එම ලිපිවලින් ඉතා මාහැඟි සහයක් ලැබුණු බැවිනි.
මට පිළිතුරු සපයන රණසිංහ මහතා ක්ෂුද්‍ර අංශු නිරීක්ෂණය කරන විට ආලෝකයේ ශක්තිය නිසා ඒවා චලනය වන්නේ යැයි ක්වොන්ටම් භෞතිකය ගැන ජනප්‍රිය දුර්මතයක් ප්‍රකාශ කොට ඇත. ක්වොන්ටම් භෞතිකයේ සරල ම ගැටලුවක් විසඳීමට තරම්වත් ප්‍රමාණවත් ලෙස ඒ මහතා එය ගණිතමයව හදාරා නැති බව මින් පෙනේ. මේ දුර්මතවලින් පාඨකයන් මුළා වීම වැළැක්වීමට ඉදිරියේ දී ලිපියක් පළ කරමි.

- තමලු මලිත්ත පියදිගම 

යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය

යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය 

(2017 ඔක් 04 විදුසර,  මුල් ඡේදය සංස්කරණය වී ඇත.)

මෙවර (සැප්තැම්බර් 27) සැම්සන් මහතා  ලියා ඇති නිසරු බොළඳ රචනය පිළිතුරක් ලෙස තබා ප්‍රතිචාරයක් ලෙසවත් නම් කිරීම ප්‍රතිචාරවලට කරන අපහාසයකි. යමකු සිය හැකියාවෙහි අන්තයට එළඹීමෙන් පසු ඉස්මතු වන නොහැකියාව දෘශ්‍යමාන වනු ඇත්තේ තම සැබෑ නමින් නොව හරසුන් විපරීත තර්ක හා අවලාද ගොන්නක් ලෙස ය. සැම්සන් මහතාගේ ලිපිය සඳහන් කළ හැක්කේ මීට කදිම උදාහරණයක් ලෙසිනි. සැම්සන් මහතා සතුව තිබූ තර්ක මඩිස්සලය හිඳී ගොස් හිස් මඩිස්සලයේ පතුළ අතගෑමට ඔහුට සිදුවී ඇති බව පැහැදිලි ය. මෙවන් ඛේදනීය තත්වයක් තුළ සැම්සන් මහතාට උරුමව ඇත්තේ භාවිතයට ගත නො හැකි තරම් දිරා ගිය ගෘහ භාණ්ඩ සහිත නිවස දෙස බලා සුසුම් ලමින් අමුත්තන් සමඟ තම පරපුර ඒවා මිල දී ගත් සාප්පුවල විශිෂ්ට භාවය ප්‍රකාශ කරමින් තම තත්වය රැකගැනීමට අහිංසක උත්සාහයක යෙදෙන ධනයෙන් පිරිහුණු ප්‍රභූවරයාගේ භූමිකාව ය. ඔහු පාඨකයන්ගේ අනුකම්පාවට ලක්විය යුතු ය.

සැම්සන් මහතා මා හේතුවාදය ගැන කියා තිබුණේ සියවසකටත් පැරණි නිර්වචනයක් බවත් හේතුවාදය කුමක් දැයි තීරණය කළ යුත්තේ හේතුවාදී සංගමයේ ඔවුන් බවත් ඉතා විහිළු තර්කයක් දක්වයි. හේතුවාදය යන දාර්ශනික මතවාදය ලොව පුරා දර්ශනය විෂය යටතේ සාකච්ඡා කෙරේ. මා දැක්වූ අර්ථකථනය දර්ශනය විෂයේ දී හේතුවාදය අර්ථකථනය කරන නූතන ම අර්ථ දැක්වීමයි. අතීත හේතුවාදීන්ගේ සිට ඉතා නූතන ම හේතුවාදී දාර්ශනිකයන් දක්වා ඒ අර්ථකථනය තුළ ගැබ් වී ඇත. විවිධ හේතුවාදීන් අතර පොදු ලක්ෂණ මෙන් ම විශේෂ ලක්ෂණ ද එහි මනාව ගැබ් වී ඇත. වෙනෙකක් තබා සැම්සන් මහතා මේ සංවාදවලට එළඹෙමින් ප්‍රකාශ කළ අර්ථ දැක්වීම ද එය යටතේ සාකච්ඡා වී ඇත. ඒ මහතා නිතර කතා කරන රසල් වැන්නන් ගැන ද මේ යටතේ සාකච්ඡා වී ඇත. හේතුවාදය පිළිබඳ මා සැප්තැම්බර් 20 වෙනි දා දැක්වූ කරුණු පිළිබඳ තව දුරටත් විමසීමට අවශ්‍ය විමසිලිමත් පාඨකයන්ට මා ඊට මූලාශ්‍ර කරගත් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනය විශ්වකෝශයට යොමුවිය හැකි ය. හේතුවාදී සංගමයේ බොහෝ අයට නම් හේතුවාදී දර්ශනය ගැන අල්පමාත්‍ර දැනුමක්වත් නැත. ලංකාවේ හේතුවාදීන්ගෙන් එපිටට ගොස් සැබෑ හේතුවාදයේ සීමා මායිම් ගවේෂණයේ දී දර්ශනයේ නූතන අර්ථ දැක්වීම් වෙත යොමු වනවා මිස අප රටේ හේතුවාදී සංගමයෙන් නිර්වචන ඉල්ලීම ඵලක් ඇති කරුණක් නො වේ.

මීළඟට ඔහු ඉදිරිපත් කරන තර්ක මා මඟ හැරියේ යැයි ඔහු කරන චෝදනාව පාඨකයන් සිනා ගන්වන සුලු ය. අපේ ලිපි මුල සිට කියවන පාඨකයෝ සැම්සන් මහතා කෙතරම් කරුණු මඟ හැර ලිස්සා ගියේ දැයි හොඳින් ම දනිති. අවශ්‍ය නම් වැඩිදුරටත් සැප්තැම්බර් 20 මගේ ලිපිය නැවත කියවා ගියවර සැම්සන් මහතාගේ ලිපිය විමසීම ම සෑහේ. සැම්සන් මහතා මා මඟ හැරි බව කියන්නේ කරුණු දෙකකි. පළමුවැන්න පුනර්භවය හේතුවෙන් අජිත කේශකම්බලට සමවන්නේ හේතුවාදීන් පමණ ද යන්න ය. දෙවැන්න ජ්‍යොතිෂයට විරුද්ධව 2001 දී හෝකිං කළා යැයි සැම්සන් මහතා කියන ප්‍රකාශනයකි. පුනර්භවය ගැන කිව යුත්තේ ලංකාවේ හේතුවාදීන්ගේ මතවාද මේ වන විට හොඳින් දන්නා පාඨකයන්ට අජිත කේශකම්බලගේ මතවාදය විස්තර කිරීමෙන් පසුව ඒවායේ සාම්‍යය ඇස් පනාපිට පෙනෙන බැවින් වැඩි දුරටත් විස්තර කිරීමට යෑම ම පාඨකයන්ගේ බුද්ධියට නිග්‍රහ කිරීමක් බවයි. හේතුවාදීන් පමණක් නොව පුනර්භවය නො පිළිගන්නා අනෙකුත් භෞතිකවාදීන් (විද්‍යාඥයන් ඇතුළු) ඒ කරුණේ දී අජිත කේශකම්බලට සම වෙයි. හේතුවාදීන් පමණක් සමවන්නේ යැයි මා කියූ බව සැම්සන් මහතා ම මා පිට බලෙන් පටවන්නක් මිස මා කීවක් නො වේ. හෝකිංගේ ප්‍රකාශය ගැන කිව යුත්තේ  සැම්සන් මහතා කියන 2001 දී හෝකිංගේ දේශනයේ සම්පූර්ණ වාර්තාවක් සොයා ගැනීමට නො හැකි වූ බවයි. ඉන්දීය පුවත්පත් මෙන් ම ඉන්දියාවේ (සැම්සන් මහතාගේ වර්ගයේ ) හේතුවාදීන් ද දේශනය වාර්තා කොට තිබූ අතර ඒවා අනුව පෙනෙන්නේ සුපුරුදු පරිදි හේතුවාදීන් හෝකිං තම කතාවට ආරම්භයක් ගැනීමට ඔහු කියූ කරුණු මැදින් උපුටා දක්වමින් විකෘති අදහසක් උලුප්පන බව ය. ඉන්දීය පුවත්පත් අනුව නම් හෝකිං කියා ඇත්තේ බොහෝ විද්‍යඥයන් විද්‍යාවේ ඇතැම් ප්‍රවාදයන්ට පටහැනි යැයි සිතමින් ජ්‍යොතිෂ්‍ය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ ද විද්‍යාවේ ඇති ප්‍රවාද සඳහා ජ්‍යෝතිෂ්‍ය තරම්වත් සාක්ෂ්‍ය නැති බවයි. මේ වාර්තා වී ඇති ප්‍රකාශ හා ආසන්න කරුණු හෝකිං ලියූ පොතක ද එයි.

But  the  real  reason  most  scientists  don't  believe  in  astrology  is not  scientific  evidence  or  the  lack  of  it  but  because  it  is  not  consistent  with  other  theories  that  have  been  tested  by  experiment................................... There  is  no  more  experimental  evidence  for  some  of  the  theories  described  in  this  book than  there  is  for  astrology,  but  we  believe  them  because  they  are consistent  with  theories  that  have  survived  testing.

(Universe in a Nutshell , Hawking S., page 103)

සැම්සන් මහතා සූර්යකේන්ද්‍රවාදය නිසා ජ්‍යෝතිෂ්‍යය විය නො හැකි වූ බව ( 'impossible' ) හෝකිං කීවේ යැයි කීව ද පොතෙහි හෝකිං යොදන්නේ implausible යන්න ය. එනිසා සම්පූර්ණ කතාවේ වාර්තාවට මූලාශ්‍රයක් ලබා දෙන ලෙස සැම්සන් මහතාට අභියෝග කරමි.

හෝකිං යනු ජ්‍යෝතිෂ්‍ය හදාළ අයෙක් නො වේ. ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව හෝකිංගේ ප්‍රකාශ ඔහු විද්‍යාඥයකු වීම නිසා ම අප පිළිගත යුතු ද? අප කළ යුත්තේ ඔහු ඊට පාදක කරගත් තර්ක සලකා බැලීම නො වේ ද? එවන් කිසිදු තර්කයක් උපුටා නො දක්වමින් හෝකිං උපුටා දක්වමින් සැම්සන් මහතා කළ බොළඳ තර්කය වෙනුවෙන් පාඨකයන්ගේ කාලයත් පත්‍රයේ ඉඩකඩත් වැය කිරීමට අකැමති වීමි. මෙවර සැම්සන් මහතා අභියෝග කර ඇති බැවින් මේ ගැන ලිවීම ගැන පාඨකයන්ගෙන් සමාව අයැදිමි.

ඇත්තෙන් ම හෝකිං වැන්නකුගේ අදහස් විකෘති කරමින් සැම්සන් මහතා තමන් සිටින මඩ වළට හෝකිං ඇද දැමීමට දරන උත්සාහය හෙළා දැකිය යුතු ය. හෝකිං කෙතරම් ලිහිල් මතයක සිටියා ද යත් ඔහුගේ මෙම ඡේදයෙන් පෙනේ.

A  butterfly  flapping  its wings  in  Tokyo  can  cause  rain  in  New  York's  Central  Park  (Fig.  4.3). The  trouble  is  the  sequence  of  events  is  not  repeatable.  The  next  time the  butterfly  flaps  its  wings,  a  host  of  other  factors  will  be  different and  will  also  influence  the  weather.  That  is  why  weather  forecasts are  so  unreliable.

ටෝකියෝවේ තටු සලන සමනලයකු නිව්යෝක් මධ්‍ය උද්‍යානයේ වැසි ඇති වීමට හේතුවිය හැකි ය. ප්‍රශ්නය ඇත්තේ සිද්ධි ශ්‍රේණිය නැවත නැවත කළ නො හැකි වීම ය. සමනලයා තටු සලන ඊළඟ වාරයේ අනෙක් බොහෝ කරුණු වෙනස්ව කාලගුණයට බලපානු ඇත. කාලගුණ අනාවැකි මෙතරම් අවිශ්වසනීය එබැවිනි.

මෙවැන්නක් ජ්‍යෝතිෂ්‍යවේදියකු කීවා නම් හේතුවාදී සංගමය මාධ්‍ය වැඩසටහන් දෙවනත් කරන ආකාරය සිතා ගැනීම ඔබට බාර ය. සමනලයාගේ සිට නිව්යෝක් නගරයට ගුරුත්වාකර්ෂණ බලයත් ගණනය කොට රූපවාහිනියෙන් ඔබට පෙන්වීමට ඔවුන් කටයුතු කරනු ඇත.

මේ සංවාදය ආරම්භයේ දී අභයසිංහ මහතාට මා තර්ක කළේ ජ්‍යෝතිෂ්‍ය අනාවැකි වැරදීම නිසා සේවා ලාභීන්ගෙන් මුදල් අහිමි වීම සාහසික අපරාධයක් නම් ඒ තර්කය අනුව මුලින් ම වසා දැමිය යුත්තේ ඊටත් වඩා අනාවැකි වරදින මහජන බදු මුදලින් යැපෙන කාලගුණ දෙපාර්තමේන්තුව බවයි. ඇතැමුන් මෙය අප රටේ තාක්ෂණික අඩුපාඩුකම්වලට පැවරුව ද ඇමරිකාවේ කාලගුණ අනාවැකිවලත් වැඩි වෙනසක් නොමැති බව හෝකිංගේ so unreliable යන්නෙන් පෙනේ.

ඉන්පසුව විද්‍යාඥයින් අත්සන් තබා ලියන ලද ලිපියක් ඉදිරිපත් කරන සැම්සන් මහතා කියන්නේ එය ලියා ඇත්තේ විද්‍යාඥයන් බැවින් අප එය පිළිගත යුතු බවයි. ජ්‍යෝතිෂ්‍ය ගැන හැදෑරීමක් නොමැතිව හිස් තර්කවලින් දමා ගසනා අය විද්‍යාඥයින් වූ පමණින් ඔවුන් ඇදහිය යුතු නො වේ. තමාගේ විෂය ක්ෂේත්‍රයෙන් පිටත දී විද්‍යාඥයන් ද සාමාන්‍ය මිනිසුන් ය. එහි ජ්‍යෝතිෂ්‍යයට විරුද්ධව මීට පෙර සැම්සන් මහතා විසින් ඉදිරිපත් වී බිඳ වැටුණු බොළඳ තර්කවලට අමතරව කිසිවක් නැත. විද්‍යාඥයින් ජ්‍යෝතිෂ්‍ය අසත්‍ය යැයි කියූ බව නො කියා ඔවුන් ඊට යොදා ගත් තර්ක ඉදිරිපත් කරන ලෙස සැම්සන් මහතාට අභියෝග කරමි. මෙවන් බොළඳ අශාස්ත්‍රීය ලිවීම්වලින් පෙනෙන්නේ තව දුරටත් තර්ක ඉදිරිපත් කිරීමට සැම්සන් මහතා අපොහොසත් බවයි. මෙවන් දේ කියන්නේ 'පුද්ගල ගෞරවයෙන් නො පිළිගන්න' යැයි කාලාම සූත්‍රය උපුටා දක්වන සැම්සන් මහතා ම වීම තරම් උත්ප්‍රාසයක් තවත් නැත.

ඔහු කාලාම සූත්‍රය විකෘති කරන බවට මම සැප්තැම්බර් 20 වෙනිදා මැනැවින් පෙන්වා දුනිමි. මීට සැම්සන් මහතාට කීමට ඇත්තේ පදගත පරිවර්තන වැඩක් නැත, සුචරිත ගම්ලත්ගේ පරිවර්තනයේ මෙසේ ඇත යන්න ය. ගම්ලත් මහතා බුදුන් වහන්සේ සැන් සිමොන් හා ෆූරියර් වැනි මනෝරාජික සමාජවාදියකු බවට පත් කිරීමේ අසාර්ථක වෑයමක් දැරූවෙකි. හේතුවාදියකු වූ ඔහු ද හීන් සැරේ හේතු යන වචනය හැළීම පුදුමයක් නො වේ. වැදගත් ම වචනය හළා අරුත් කීම කපටි කලාවක් මිස පරිවර්තන දක්ෂතාවයක් නො වේ. තර්කහේතුව (deduction) හා න්‍යායහේතුව (intuition) අතර වෙනස පැහැදිලි වුවද තර්කය හරි වූ පමණින් න්‍යායට හරි වූ පමණින් යන විකෘති පරිවර්තනවලින් ඒ දෙකෙහි වෙනස පැහැදිලි වන්නේත් නැත.

ජාතිමය ලිංගය යන්න හැලීම ගැන ඔහු කියන්නේ එය අදිකාරම්තුමාගෙන් උපුටා ගත්තක් බවයි. අදිකාරම් මහතා ද බොහෝ තැන්වල බුදු දහම විකෘති කළ භෞතිකවාදියෙකි. එකල සිටි වියත් හිමිවරු අදිකාරම් මහතාට ප්‍රසිද්ධියේ තම විරෝධය පළ කළ හ. ඔහු කලක් ක්‍රිෂ්ණමූර්ති අනුගාමිකයකු ද විය. මා සැප්තැම්බර් 20 ලිපියේ උපුටා දැක්වූ ලෙස බුදුන් වහන්සේ ජාතිමය පෘථු ලිංගය ප්‍රතික්ෂේප කළ ද සම්මුති ව්‍යවහාරයේ දී ජාතිය හා වර්ණය පිළිගත් හ.

සැම්සන් මහතා මෙවර වැඩිපුර ම කර තිබුණේ ඔහු 'අදහන' දැවැන්තයන්ගේ ඇඟේ එල්ලීම මිස පිළිතුරු සැපයීමක් නො වේ.

මිලින්ද ප්‍රශ්නයේ පෘථිවිය ගෝලාකාර බව දැක්වෙන ප්‍රකාශය 'අන්තර්ජාතිකව' පිළිගෙන නැතැයි සැම්සන් මහතා තවත් විහිළු කතාවක් කියන්නේ විකිපීඩියාව බලා ය. මෙතරම් පහත් අඩියකට වැටීම ගැන ඔහුට අනුකම්පා කරමි. බුදු දහම ගැන අප කතා කළ යුත්තේ 'ජාත්‍යන්තරය' (සුද්දන්) පිළිගන්නේ කුමන අයුරින් දැයි බලා ද? බෞද්ධ මූලාශ්‍ර රැසකින් කරුණු ගෙන බුදු දහම අනුව පොළොව පැතලි යැයි විකිපීඩියාවේ කියන බව පවසන සැම්සන් මහතාට එම මූලාශ්‍ර ලැයිස්තුව නම් කර අදාළ ලිපියට සබැඳිය ද පළ කරන මෙන් අභියෝග කරමි. ඒ මහතාගේ ඉතිහාස දැනුම නම් ශුන්‍යයට ආසන්න ය. ග්‍රීක රෝම ශිෂ්ටාචාරය බිඳ වැටුණු පසු ග්‍රීක දර්ශනය මධ්‍යකාලීන යුගයේ යටපත්ව තිබී නැවත එම කෘති පරිශීලනය කිරීම ඇරඹුණේ පුනරුද යුගයේ ය. එම යුගයේ දී තෝමස් ඇක්වයිනාස් දේවගැතිවරයා පල්ලියේ ඉගැන්වීමට ඇරිස්ටෝටලියානු දර්ශනය එක් කළේ ය. පෘථිවිය ගෝලාකාරය යන්නට ඇරිස්ටෝටල්ට ඊනියා අන්තර්ජාතික (සුද්දන්ගේ හා පල්ලියේ) ගෞරවය හිමි වූයේ එසේ ය.

පෘථිවිය ගෝලාකාර බවට ජ්‍යෝතිෂ්‍ය ග්‍රන්ථවලින් ද උදාහරණ සැපයිය හැකි ය. ජ්‍යෝතිෂ්‍යයේ කියැවෙන ග්‍රහ ලෝකවල චලනය ගණනය කිරීමේ ක්‍රම පිළිබඳව මම සොයා බැලීමි. ජ්‍යෝතිෂ්‍යයේ මූලික පොත වන සූර්ය සිද්ධාන්තයේ (වර්තමානයේ තිබෙන සූර්‍ය සිද්ධාන්තය අඩු ම වශයෙන් හතරවන හෝ පස්වන සියවසට වඩා පැරණි බව විද්වත් මතයයි. ) දොළොස්වැනි පරිඡේදයේ 53 වැනි ශ්ලෝකයේ සඳහන් වන්නේ මෙසේ ය.

ලෝක ගෝලයේ සැම තැන ම ඉන්නා මිනිස්සු තමා සිටින තැන ඉහළ යැයි සිතති. එහෙත් අවකාශයේ පවතින ගෝලයක උඩක් යටක් කොහි ද?

එහි ම 52 ශ්ලෝකය එක ම විෂ්කම්භයෙන් දෙපස ඇති රටවල් නම් කරයි.

එමෙන් ම භූගෝලය නම් විෂය ඈත අතීතයේ සිට ම භූගෝලාධ්‍යාය නම් විය. මේවා නො දන්නා සැම්සන් මහතා අතීතයේ බෞද්ධයන් පොළොව පැතලි යැයි සිතූ බව කියයි.

මේ වන විට විකටයකුගේ භූමිකාවට පූර්ණව අවතීර්ණ වී ඇති සැම්සන් මහතාට අනුකම්පා කිරීම පාඨකයන්ට භාර දී හේතුවාදීන් නිතර පෙනී සිටින යථාර්ථවාදයේ හා භෞතිකවාදයේ කඩා වැටීම ගැන සාකච්ඡා කරමි. යථාර්ථවාදය (realism) යනු අපට පරිබාහිර වූ නිරපේක්ෂ පැවැත්මක් ඇති බව ය. එය ඔවුහු වාස්තවිකත්වය (objectivity) , යථාර්ථය (reality) ලෙස නම් කරති. සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් අපට සාපේක්ෂ චලිතය සැලකීමට හැකි ය. සාපේක්ෂ චලිතයෙන් කියැවෙන්නේ යමක් චලනය වන විට එක් එක් නිරීක්ෂකයාට සාපේක්ෂව පෙනෙන්නේ එකිනෙකට වෙනස් චලිත බව ය. දැන් යථාර්ථවාදියාට අනුව යථාර්ථය (reality) ඇත්තේ අපෙන් පරිබාහිරව ය. එනිසා අප එකිනෙකා මේ දකින චලිත සියල්ල ම යථාර්ථය විය නො හැකි ය. මෙහි දී යථාර්ථවාදියාට ප්‍රවේශයන් දෙකක් ඇත. එකක් යථාර්ථවත් චලිතයක් පිළිගැනීම ය. එවිට යථාර්ථයේ අපෙන් බාහිරව චලිතයක් ඇති අතර අප කරන්නේ එය නිරීක්ෂණය කිරීම ය. එය නිරීක්ෂණය කිරීම අපට අංග සම්පූර්ණව කළ නො හැකි ය. එනිසා එකිනෙකට වෙනස් නිරීක්ෂණ ලැබේ. ඒ නිරීක්ෂණ අතරින් උපරිම වශයෙන් සත්‍ය විය හැක්කේ එකක් පමණි. ඔබ පාසලේ ඉගෙන ගන්නා සත්‍ය චලිතය හා දෘශ්‍ය චලිතය යන වචන ගොඩනැඟෙන්නේ මේ අදහස මත ය. අනෙක් ප්‍රවේශය වන්නේ චලිතය ම යථාර්ථයක් නොවන බව කීමයි. එවිට යථාර්ථයේ ඇත්තේ චලිතය නොව වෙන කිසිවකි. එය විකෘති වී අපට චලිතය ලෙස මායාවක් දෘශ්‍යමාන වේ. නිවුටන් මෙහි දී පළමුවන ප්‍රවේශය ගත් අතර අයින්ස්ටයින් ගත්තේ දෙවන ප්‍රවේශයයි.

ද්‍රව්‍යවාදය (materialism) යනු යථාර්ථයේ පදනමේ ඇත්තේ ද්‍රව්‍ය පමණි යන මතය ය. ඔවුන්ට අනුව මනස ද්‍රව්‍යයේ මායාමය දෘශ්‍යමාන වීමකි. මනස මොළයට ඌනනය කිරීම එයින් ජනිත වූ අදහසකි.

කෙසේ වෙතත් මේ යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය යුරෝපයේ දී තීරණාත්මක ලෙස අභියෝගයට ලක් වූයේ ජෝජ් බාක්ලී (George Berkley) නම් දාර්ශනිකයා අතිනි. සමස්ත යථාර්ථවාදය ම සොලවා දැමීමට ඔහු සමත් වූයේ සිය A Treatise on Principles of Human Knowledge කෘතියෙනි. බාක්ලී යථාර්ථවාදීන්ගෙන් ඇහුවේ සරල හා මූලික ප්‍රශ්නයකි. අපට දැනෙන්නේ සංවේදන පමණි. ඔබ ඉදිරියේ ඇති පුටුවක් පිළිබඳව සිතන්න. ඔබට පුටුවේ රූපය පෙනෙනු ඇත. ඇල්ලූ විට දෘඩ බව දැනෙනු ඇත. තට්ටු කළ විට හඬක් ඇසෙනු ඇත. මෙසේ විවිධ සංවේදන ඇතිවනු ඇත. එහෙත් ඔබගේ කිසි ම ඉන්ද්‍රියකට 'පුටුව' දැනෙන්නේ නැත. පුටුව යනු මෙම සංවේදන ඇසුරු කරගනිමින් මනසින් නිර්මාණය කරගන්නා සංකල්පයක් පමණි. දැන් බාක්ලී අසන්නේ පුටුවෙහි අපට පරිබාහිර දෙයක් ඇති බව කීමට අපට ඇති හැකියාව කුමක් ද යන්නයි. එසේ පරිබාහිර යමක් ඇත යන්න හුදු විශ්වාසයක් ම පමණි. පුටුව යනු මනසේ නිර්මාණයකි. මේ තර්කයත් සමඟ යුරොපයේ යථාර්ථවාදය බිඳ වැටී ගියේ ය. අපට බාහිරව පවතින නිරපේක්ෂ යථාර්ථයක් ගැන අදහස අසරණව ගියේ ය.

මෙහි දී නූතන දර්ශනයේ පියා ලෙස සැලකෙන එම්මානුවෙල් කාන්ට් (Immanuel Kant) කීවේ බාහිර වාස්තවික යථාර්ථයක් තිබුණ ද , අපට ඒ ගැන කිසිවක් ම දැනගැනීමේ හැකියාවක් නැති බැවින් ඒ ගැන කතා කිරීම ඵලක් නො වන බවයි. ඒ වෙනුවට අපට පෙනෙන දැනෙන දේ අභ්‍යන්තරව විස්තර කිරීම දර්ශනයේ කාර්යය විය යුතු යැයි ඔහු කීවේ ය. යථාර්ථවාදය බිඳ වැටීමෙන් බටහිර නූතන දර්ශනවාද ඇති විය.

එහෙත් බාක්ලීට වියුක්ත සංකල්ප ගැන පැහැදිලි විග්‍රහයක් නො වීමත් කිතු දහමේ පසුබිමත් නිසා ඔහු ඉන්පසු දෙවියන් වහන්සේ වෙත තම මතය ඈඳුවේ ය. යමක් මගේ මනසේ හෝ දෙවියන් වහන්සේගේ මනසේ නැතිනම් එය නැත ලෙස බාක්ලීගේ මතය බොහෝවිට සාරාංශ වන්නේ ඒ නිසා ය.

ලංකාවේ තත්වය සැලකූ විට යථාර්ථවාදයට විරුද්ධ බාක්ලීගේ තර්කයට සමීප ඊටත් වඩා දියුණු තර්ක කිහිපයක් ම ත්‍රිපිටකයෙන් හා මිලින්ද ප්‍රශ්නය වැනි බෞද්ධ පොතපත්වලින් සොයා ගත හැකි ය. 1980 දශකයේ දී ආචාර්ය නලින් ද සිල්වා මහතා බෞද්ධ ආභාසය අනුව සිය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ඥානවිභාග ( epistemology of constructive relativism ) මතය ඉදිරිපත් කරමින්  වාස්තවික යථාර්ථයක් නො පවතින බව විස්තරාත්මකව පෙන්වා දුන්නේ බාක්ලී ආදීන්ට වඩා ඉදිරියට යමින් සංවේදනවල මනසින් ස්වායත්තභාවය පවා ප්‍රශ්න කරමිනි. මෙහි දී තවත් ඉදිරියට යමින් මනසේ පැවැත්ම පවා ප්‍රතික්ෂේප කෙරුණේ බුදු දහමට අනුව යමිනි.

නලින් ද සිල්වා මහතා සියලු යථාර්ථවාදීන්ට අභියෝගයක් කළේ ය. එනම් මනසට බාහිර යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන ලෙසයි. මෙහි අදහස වන්නේ මනස උපයෝගී කරගනිමින් කිනම් පෙන්වා දීමක් කළත් එය නැවත මනසේ අදහසක් ම වන බවයි. එනිසා වාස්තවික යථාර්ථයක් ඔප්පු කළ යුත්තේ මනසින් තොරව ය.

ලංකාවේ යථාර්ථවාදීන්ට මෙයට පිළිතුරු දීමට තබා ප්‍රශ්නය අවබෝධ කරගැනීමටවත් නො හැකි විය. මෙයින් පසු ශාස්ත්‍රීයව ලංකාවේ ද භෞතිකවාදය සුණු විසුණුව ගිය අතර ඉන්පසුව භෞතිකවාදීන් ලෙස තමන් හඳුන්වාගත්තේ ප්‍රමාණවත් හැදෑරීමක් සඳහා ප්‍රමාණවත් බුද්ධි කෞශල්‍යයක් නැති පිරිස පමණි.

මෙසේ යථාර්ථවාදය සමඟ ම ද්‍රව්‍යවාදය ද බිඳ වැටී ගියේ ද්‍රව්‍යය මනසට ද වඩා ද්විතීයික බව පෙනී ගිය බැවිනි. ඉන්පසුව ඉන්ද්‍රිය සංවේදනවලට මුල් තැන දෙන ඉන්ද්‍රියානුභූතවාදීහු  (positivists) විශේෂයෙන් වියානා කවයේ දාර්ශනිකයන් වන කාර්නැප් ආදීන් සමහරක් 1930 සිට භෞතිකවාදය (physicalism) නමින් දර්ශනයක් ඇරඹූ අතර එය ද්‍රව්‍යවලට මුල් තැන දීමක් නොව සියලු වචන ඍජුව හෝ වක්‍රව සංවේදන මත රැඳෙන බව කීවකි. ලංකාවේ දී භෞතිකවාදය යන වචනය තවමත් යෙදෙන්නේ (ලෝකයේ ද තරමක් මෙසේ යෙදේ.) ද්‍රව්‍යවාදය සඳහා ම ය. මේ දර්ශනය ගැන සිංහලෙන් ලියැවුණු ලේඛන ඉතා අඩු වුව ද නලින් ද සිල්වා මහතාගේ 'විද්‍යා කතන්දර' කෘතිය යාන්ත්‍රික භෞතිකවාදීන් (ද්‍රව්‍යවාදීන්) හා භෞතිකවාදීන් (ඉන්ද්‍රියානුභූතවාදීන්) අතර දාර්ශනික හා විද්‍යා ගැටුම හෙළි කරන අගනා මූලාශ්‍රයකි.

හේතුවාදයේ යථාර්ථවාදයේ හා භෞතිකවාදයේ අසාර්ථකභාවය වටහා ගෙන විමසුම් නුවණ වර්ධන කර ගනිමින් සැම්සන් මහතා වැන්නන් පෙන්වන විකෘති මතවලින් මිදීමට පාඨකයන් සැලකිලිමත් විය යුතු ය.

තමලු මලිත්ත පියදිගම

ජ්‍යෝතිෂ්‍ය හස්ත රේඛා ශාස්ත්‍රය හා සත්‍යය


සහේතු: අපි කොවුර්ගේ මීළඟ අභියෝගයට යමු. අනාගත සිද්ධියක් පුරෝකථනය කරන්න.

ප්‍රබෝධ: ඇත්තට ම ඕක එතරම් තේරුමක් ඇතුව කියපු කතාවක් නෙවෙයි. මම කියන්නම් හෙට උදේට ඉර පායනවා කියලා. ඒකත් පුරෝකථනයක් නේ. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ සිදුවන වෙලාවන් අපි පුරෝකථනය කරන්නේ. කාලගුණ අනාවැකි කියෙන්නේ.
සතුන්ගේ හැසිරීම් බලා චීනයේ භූමිකම්පා අනාවැකි කියනවා. ඒවත් සාර්ථක වුණ අවස්ථා තියෙනවා. පස් හා ජලය දෙස බලා අනාවැකි කීවා 1975 දී හයිචෙං භූමිකම්පාවෙ දි. ඒත් ඊට පස්සේ ඒ ක්‍රමය එතරම් සාර්ථක වුණේ නෑ. ජ්‍යෝතිෂ්‍ය , හස්ත ශාස්ත්‍ර විතරක් නෙවෙයි බටහිර විද්‍යාවේ අරමුණත් අනාවැකි කීමේ හැකියාව දියුණු කර ගැනීම ම තමයි.

සහේතු: අපි ඊළඟ අභියෝගයට යමු. මේක තමයි කොවුර්ගේ අවසාන අභියෝගය. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට හා හස්ත ශාස්ත්‍රඥයින්ටයි මේ අභියෝගය යොමු වෙන්නේ.
මම උපන් වේලාවන් හා උපන් ස්ථානයේ අක්ෂාංශ දේශාංශ සමඟ කේන්දර 10ක් දෙනවා (නැතිනම් අත්ලේ සටහන් 10ක් දෙනවා). ඔබ ඒවායින් 5%ක දෝෂ සීමාවක් තුළ පිරිමි ද ගැහැනු ද ඉපදිලා ද මැරිලා ද යන්න තෝරා දෙන්න ඕනෙ.

ප්‍රබෝධ: ඔයිට කලින් කොවුර් කියනවා ඕක අදාළ වෙන්නේ කාට ද කියලා. ඇයි ඒ කොටස හළන්නේ.

සහේතු: ආ. ඔව්...මේ අභියෝගයට කලින් කොවුර් කියනවා මේක අදාළ වෙන්නේ ජ්‍යෝතිෂ්‍ය‍ය හා හස්ත ශාස්ත්‍රය පූර්ණ විද්‍යාත්මකයි කියමින් , පහසුවෙන් රැවටෙන්නන් ‍රවටන ජ්‍යෝතිෂ්‍යවේදීන්ට හා හස්ත ශාස්ත්‍රඥයින්ට බව.

ප්‍රබෝධ: ඒ කියන්නේ ජ්‍යෝතිෂ්‍ය පූර්ණ විද්‍යාත්මක බව නො කියන අයට ඕක අදාළ නැද්ද?

සහේතු: අ.. අ.. මේකෙ තියෙන විදිහට නම්... එහෙම නෑ..

ප්‍රබෝධ: හේතුවාදීන් ජ්‍යෝතිෂ්‍යයට එරෙහිව කතා කරද්දී නිතර කියන දෙයක් තමයි කොවුර්ගේ අභියෝග 23 තාමත් එතන මයි කියන එක. දැන් අපි අභියෝගවල අගට ම ඇවිත්. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට අදාළ අභියෝග දෙකයි මේ 23හි තියෙන්නේ. 23 ම ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ ඇඟේ ගහන්නේ එක්කෝ හේතුවාදීන්ගේ වංචනික භාවය නිසා එහෙමත් නැතිනම් හේතුවාදී සංගමයේ අයවත් කොවුර්ගේ අභියෝග මොනවාද කියලා හරියට බලලා නෑ.
මේ අභියෝගයවත් සියලු ජ්‍යෝතිෂ්‍යවේදීන්ට අදාළ නෑ. ජ්‍යෝතිෂ්‍යය පූර්ණ විද්‍යාත්මකයි කියන අයට තමයි ඒක අදාළ වෙන්නේ.
මෙතන දී මට අහන්න තියෙන්නේ කොවුර් පූර්ණ විද්‍යාත්මකයි කියන්නේ මොනවට ද කියලා. බොහෝ දේ පූර්ණ විද්‍යා නො වෙන්න පුළුවන් ඔහොම ගත්තොත්.

සහේතු: මේ අභියෝගයේ කියන දේ ගැන ඔබට මොකක් ද කියන්න තියෙන්නේ?
ප්‍රබෝධ: මේකේ ගන්නේ මිනිස්සු දහයයි. හොඳට ම මදි  සංඛ්‍යානය අනුව. සාමාන්‍යයෙන් සංඛ්‍යානයේ දී අවම වශයෙන් 30ක්වත් සැලකිල්ලට ගන්න ඕනේ. ඒ මුල් ම වරද. ඊළඟ දේ 5%ක දෝෂ සීමාව. ගෑනු ද පිරිමි ද , මැරිල ද ඉන්නවා ද කියන ඒවා සන්තතික නෑනෙ. එක්කො මැරිලා නැත්නම් ඉන්නවා. 25%ක් මැරිලා වගේ දේ නෑනේ. ඒ වගේ තත්වයක දී 5% දෝෂ සීමාව ගන්න වෙන්නේ කේන්දර හෝ හස්ත සටහන් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් විදිහට.
දැන් කේන්දර හෝ හස්ත සටහන් දහයකින් 5%ක් කියන්නේ කේන්දර (හස්ත සටහන්) බාගයක්. ඒ කියන්නේ වරදින්න පුළුවන් කේන්දර බාගයයි. ඒත් කේන්දර (හස්ත සටහන් ) බාග නෑනේ. එතකොට එක කේන්දරයක්වත් (හස්ත සටහනක්වත්) වරදින්න බෑ. ඒ කියන්නේ ඔක්කොම හරියට කියන්න ඕනේ. 5%ක දෝෂ සීමාව තේරුමක් නැති විකාරයක්. කොවුර් අභියෝගය ඉදිරිපත් කරද්දී ඒ සංඛ්‍යාව ගැනවත් සැලකිලිමත් වෙලා නෑ. ඔහේ ඉලක්කම් නියම කරලා තියෙන්නේ. ඒ නිසා කොහොමත් අභියෝගය අශාස්ත්‍රීයයි.

සහේතු: ජ්‍යෝතිෂ්‍ය ගැන ඔබේ අදහස මොකක් ද?

ප්‍රබෝධ: මේ ප්‍රවේශයට ඔබ ආපු එක හොඳයි. හේතුවාදීන් වැඩිමනත් ම අභියෝග කරනවා දක්නට ලැබෙන්නේ ජ්‍යෝතිෂ්‍යයට. මුදල් සූරාකන වංචාකාරයන්ගෙන් මිනිසුන් ගලවා ගැනීමක් ලෙස ඔවුන් තමන්ගේ ව්‍යාපෘතිය හඳුන්වනවා. මෙතන දී එවන් දේ ජ්‍යෝතිෂ්‍යයේ වරදක් නෙවෙයි ජ්‍යෝතිෂ්‍ය නමින් පෙනී ඉන්නා ඇතැම් පුද්ගලයින්ගේ වරදක් ලෙස ප්‍රතිතර්කයක් ගේන්න පුළුවන්.  ඒත් හේතුවාදීන් එතැනින් එහාට යනවා.
ඔවුන් ඍජුව ම පවසනවා. සමස්ත ජ්‍යෝතිෂ්‍යය ම ප්‍රෝඩාවක් බව. ජ්‍යෝතිෂ්‍ය සියයට සියයක් මිථ්‍යාවක්. එනිසා සියලු ජ්‍යොතිෂ්‍යවේදීන් කරන්නේ බොරුවක් බව හේතුවාදීන් නිතර ම කියනවා. ඒත් හේතුවාදීන් විෂයක් විදිහට ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්න ඉදිරිපත් කරන තර්ක සියල්ල ම පුස් වෙඩිලි විතරයි.

සහේතු: ඒ කොහොම ද?

ප්‍රබෝධ: ඔබත් හේතුවාදියෙක්නේ. ඔය තර්ක එකින් එක කියන්න. මම උත්තර දෙන්නම්.

සහේතු: ජ්‍යෝතිෂ්‍යය පෘථිවි කේන්ද්‍රවාදය උඩ ගොඩ නැගුණු ශාස්ත්‍රයක්. අපි දැන් දන්නවා ඉර වටේ පොළොව යනවා මිස පොළොව වටේ ඉර යනවා නෙවෙයි කියලා ඔප්පු කරලා තියෙන්නේ. පදනම ම මිථ්‍යාවක් වෙද්දී ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් නෙවෙයි ද?

ප්‍රබෝධ: පුළුවන් නම් ඉර යන්නේ පොළොව වටේ නෙවෙයි පොළොව යන්නේ ඉර වටේ කියලා ඔප්පු කරපු විදිහ කියන්නකෝ.

සහේතු: අ.. කොපර්නිකස් පෙන්නුවා... අ.. දුරේක්ෂවලින් පෙන්වලා තියෙනවා.

ප්‍රබෝධ: කොපර්නිකස් , දුරේක්ෂ කියලා නිකම් වචනවලින් දමල ගහන්නේ නැතිව කවුරු හරි මොන උපකරණයෙන් හරි ඔප්පු කරපු ක්‍රමවේදය කියන්නකෝ.

සහේතු: (නිරුත්තරව සිටී.)

ප්‍රබෝධ: කවුරුවත් ඔහොම ඔප්පු කරලා නෑ. ඔප්පු කිරීම් කියලා ඉදිරිපත් වුණු ඒවා හතරක් විතර තියෙනවා. ඒ හැම එකක් ම අද තියෙන භෞතික විද්‍යා දැනුම අනුව සාවද්‍යයි. අයින්ස්ටයින් කියනවා නිරපේක්ෂ චලිතයක් නෑ. සියලු චලිතය සාපේක්ෂයි කියලා. එතකොට ඔය පොළොව ඉර වටේ යනවා කියන එකයි ඉර පොළොව වටේ යනවා කියන එකයි එක හා සමානව හරි. එක ම පිළිතුරු ලබා ගත හැකියි. ඒ දෙකෙන් එකකවත් අමුතු විශේෂත්වයක් නෑ. එතකොට පෘථිවි කේන්ද්‍රවාදය උඩ පදනම් වෙන නිසා ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් කියන්න බෑ.
අනික ජ්‍යෝතිෂ්‍යයේ ගණනය කිරීම් අයිති වෙන්නේ ප්‍රගති විද්‍යාව (kinematics) කියන කොටසට. අයින්ස්ටයින් විතරක් නෙවෙයි නිවුටන්ගේ භෞතික විද්‍යාව ගත්තත් ප්‍රගති විද්‍යාවේ ගණනය කිරීම් කුමකට සාපේක්ෂව සිදු කළත් නිවැරදියි. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇතුළේ ම පවා ජ්‍යෝතිෂ්‍යයේ මෙසේ ගණනය කිරීම් සිදු කිරීමේ වරදක් කියන්න බෑ.

සහේතු: ජ්‍යෝතිෂ්‍යවේදීන් චන්ද්‍රග්‍රහණ සූර්ය ග්‍රහණ ඇති වන විදිහවත් තේරුම් ගන්න බැරුව රාහු වගේ ග්‍රහයෝ ඉන්නවා කියලා හිතුවා. ග්‍රහලෝකවලට අමතරව උපකල්පිත ග්‍රහයෝ දෙන්නකුත් හිඳීමෙන් පේනවා ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් බව.

ප්‍රබෝධ: ජ්‍යෝතිෂ්‍යවේදීන් මේවා උපකල්පිත ග්‍රහයන් බව තේරුම් අරගෙනයි මෙහෙම සලකලා තියෙන්නේ. අනික් ග්‍රහයන් පූර්ණ ශරීරයකින් නිරූපණය වෙද්දී රාහු හා කේතු අර්ධ ශරීරවලින් නිරූපණය කරන්නේ. රාහුට හෝ කේතුට අධිපති වන ලග්නයක්වත් නැකැතක්වත් පනවලා නෑ. ඒ නිසා මේ උපකල්පිත ග්‍රහයින් පනවලා තියෙන්නේ කරන්නේ මොකක් ද හොඳට දැනගෙන බව පැහැදිලියි. ඒ නිසා ජ්‍යෝතිෂ්‍ය මේ මත මිථ්‍යාවක් කියන්න බෑ.

සහේතු: දැනගෙන කළත් ග්‍රහයෝ නො වෙන දේ ග්‍රහයින් ලෙස ගත්තු එක මිථ්‍යාවක්

ප්‍රබෝධ: එහෙනම් මං කලිනුත් කීවා වගේ ඊට වඩා මිථ්‍යාවක් වෙන්න ඕනේ විදුලි ඉංජිනේරු ශිල්පය. සන්නායකවල ධන ඉඳන් ඍණට යන දේවල් නොමැතිව ඒ පැත්තට යමක් යන බව ලකුණු කරමින් ඒක ගොඩනැඟෙන්නේ. අනික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිල්පය ගොඩනැඟෙන්නේ කුහර කියන උපකල්පිත සංකල්පය මඟින්. කුහර කියන්නේ අර්ධ සන්නායක ද්‍රව්‍යයක අත්කර ගත හැකි ශක්ති අගයන්වලින් කිසිදු  ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන නොමැති ශක්ති අගයක් උපකල්පිත ආරෝපණ වාහකයක් සේ නිරූපණය කිරීමක්.
ඔබ කියන කරුණ පිළිගත්තොත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව තරම් මිථ්‍යාවක් තවත් නෑ. මේකෙන් පේන්නේ උපකල්පිත සංකල්ප භාවිත කිරීමෙන් ප්‍රයෝජන ගත හැකි බව. ඒ නිසා රාහු කේතු යොදාගැනීම මත ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවක් කියන්න බෑ.

සහේතු: ඒත් ග්‍රහලෝක තාරකා තියෙන්නේ පෘථිවියට බොහෝ ඈතින්. ඒ නිසා ඒවායින් එන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය ආදී බල ඉතා කුඩයි.

ප්‍රබෝධ: ජ්‍යෝතිෂ්‍යයක පැවැත්ම සඳහා ග්‍රහ තරුවලින් පොළොවට බලපෑමක් තිබිය යුතු නැහැ. ජ්‍යෝතිෂ්‍යයක පැවැත්ම මම විග්‍රහ කරන්නේ මේ විදිහට. අපි දන්නවා ස්වභාවික ලෝකයේ චක්‍රීයතාවන් තියෙනවා. ග්‍රහ පද්ධතියේ චලනවලත් චක්‍රීයතා තියෙනවා. මිනිස් සමාජයේ හැසිරීමෙත් චක්‍රීයතා තියෙනවා. දැන් හිතන්න මිනිස් සමාජයේ චක්‍රයක් එක්ක ග්‍රහලෝකවල චක්‍රයක් සමපාත වුණා කියලා. එතකොට අපිට ඒ දෙක ගළපන්න පුළුවන්. ග්‍රහලෝකවල චලිතය ගැන තියෙන සූත්‍ර අනුව මිනිස් සමාජය ගැන දැන් අපිට අනාවැකි කියන්න පුළුවන්.
මම මේ නිශ්චිත ජ්‍යෝතිෂ්‍ය ප්‍රවර්ගයක් ගැන නෙවෙයි කියන්නේ. ඊට වඩා සමස්තයක් ලෙස සම්පූර්ණ ශාස්ත්‍රය ගැනයි මම කතා කරන්නේ. ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවක් කියන්න අපිට නො හැකියි.

සහේතු: අපි ග්‍රහතරු දකින්නේ එවෙලේ ම නෙවෙයි. ආලෝකය අප වෙත එන්න යම් කාලයක් යනවා. ඒ කාලය තුළ ඒ තත්වය වෙනස් වී තියෙයි. එතකොට ජ්‍යෝතිෂ්‍ය වැරදියි නේ ද?

ප්‍රබෝධ: ඔය ඔබ ආයෙත් බලපෑමක් එන කතාවේ සිරවෙනවානෙ. මම කියන දේට බලපාන්නේ අපිට පේන අහස මිසක් 'දැන් ඇත්තට ම තියෙන' ග්‍රහ තරු නෙවෙයි.
ජ්‍යොතිෂ්‍ය ග්‍රහතරුවල බලපෑමෙන් බිහි වෙනවා කියලා හුදු තර්කය සඳහා ගමු. ඒත් භෞතික විද්‍යාව අනුව ම අපිට ඒ තරුවල ඉඳලා බලපෑමක් එන්නත් ආලෝකයට වගේ ම කාලයක් ගත වෙනවා. එතකොටත් ජ්‍යොතිෂ්‍යයේ දී 'දැන් ඇත්තට ම තියෙන' ග්‍රහ තරු නැතුව අපට පෙනෙන ග්‍රහ තරු සැලකීම ඉතාම නිවැරදියි.

සහේතු: හස්ත විද්‍යාව ගැන ඔබේ මතය කුමක් ද?

ප්‍රබෝධ: අපේ අත්ල සටහන් කියන්නේ අපේ ජාන එකතුවට , ගෙනෝමයට ඍජුව සම්බන්ධ දෙයක්. ගෙනෝමයෙන් පුද්ගලයකු ගැන අනාවැකි කිව හැකි බව කියන්නේ බටහිර විද්‍යාඥයින් මයි. ඉතින් ගෙනෝමයට ඍජුව සම්බන්ධ අත්ල සටහන් මඟින් පුද්ගලයින් ගැන අනාවැකි කීමේ හැකියාව මිථ්‍යාවක් කියන්නේ කොහොම ද?

සහේතු: බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කරලා 'කිං කරිස්සන්ති තාරකා' , තාරකාවෝ කුමක් කරන්න ද කියලා ඇහුවා නේ ද?

ප්‍රබෝධ: ඕක එන්නේ නක්ඛත්ත ජාතකයේ. ගොඩක් අය ඕක වැරදියට අර්ථකථනය කරනවා. නක්ඛත්ත ජාතකය කියෙව්වා නම් ඔය ප්‍රශ්නය විසඳෙනවා. ජාතකයේ තියෙන්නේ කෝපයට පත් වීම නිසා හිතා මතා බොරු අනාවැකි කීමක් නිසා වූ ගැටලුවක්. ඔය පාඨය ජාතකයේ පරිවර්තනය කරලා තියෙන්නේ මෙහෙම: "අර්ථයට අභිෂ්ටාර්ථප්‍රතිලාභය ම නක්‍ෂත්‍ර නම් තාරකා රූපයෝ කවර නම් අර්ථයක් සාදද්දැයි කීසේක." මේකෙන් කියන්නේ යමක් කිරීමෙන් සිදුවන වාසිය හෝ පාඩුව නිශ්චිතව ම දන්නා විටෙක නක්ෂත්‍රය ගැන සලකා බැලීමෙන් තේරුමක් නැති බව. හෙට කසාද බඳින්න තියාගෙන ඔක්කොම සූදානම් කරලා හැමෝට ම කියලා අද කලබල වෙලා නැකැත් බලලා තේරුමක් නෑ. දවස හොඳ නැත්නම් විවාහය කල් දානවා ද? හෙට තියෙන විවාහය අද නැවැත්වීමේ අපකීර්තිය ගැන අපි නිශ්චිතව දන්නවානෙ. එහෙම එකක් වුණොත් ආයේ ඒ විවාහය සිදු වෙන එකකුත් නෑ. ජාතක කතාවේ තියෙන්නේ එහෙම සිද්ධියක්.
ධෝවන සූත්‍රයේ බුදුන් වහන්සේ කියනවා තමන් වහන්සේ නැකැත් නො පවතින්නේ යැයි නො කියන බව.

සහේතු: බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය තිරශ්චීන විද්‍යාවක් බව කීවා නේ ද?

ප්‍රබෝධ: ඒ තිරශ්චීන විද්‍යා ලැයිස්තුව දිගට බලාගෙන යන්න. සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇති වන දින වකවානු පැවසීම වගේ තාරකා විද්‍යාත්මක දේවල්, භෞතික විද්‍යාව, සත්ත්ව විද්‍යාව වගේ දේත් තියෙනවා. ශල්‍යකර්ම කිරීමත් තියෙනවා. දැන් බුදුන් වහන්සේ ඕවා නො කරන්න කියල ද කියන්නේ. නෑ. සූත්‍රවල කොටස් හළලා අර්ථ නිරූපණය කරන්න එපා. බුදුන් වහන්සේ කියනවා තිරශ්චීන විද්‍යාව වෙන්නේ ගිහියන් විසින් සැදැහෙන් දෙන දානය සිවුපසය පරිභෝජනය කරමින් ඔය දේවලින් මුදල් ඉපැයීම කියලා. මේවා දක්වලා තියෙන්නේ පැවිද්දන්ගේ අධිශීලයේ කොටසක් විදිහට.

සහේතු: අපට ලැබී තිබෙන කාල වේලාව අවසන් වෙමින් යනවා. 'මිථ්‍යාව විනිවිද' වැඩසටහනෙන් අද අපිත් සමඟ සාකච්චාවට එකතු වුණේ මානව විද්‍යාඥ ප්‍රබෝධ එරන්දක මහතා. අද අපි කතා කළේ කොවුර්ගේ අභියෝග විසිතුනේ අශාස්ත්‍රීයභාවය පිළිබඳව. ස්තූතියි ප්‍රබෝධ මහත්මයා.
එසේ නම් අලුත් සතියක දී හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. මම සහේතු.

සටහන:
චන්දන රණසිංහ මහතා පසුගිය සතියේ එවා තිබූ පිළිතුරෙන් පෙනෙන්නේ ඒ මහතා විද්‍යාත්මක ක්‍රම ගැන කියවා අධ්‍යයනය කිරීමට යොමු වී ඇති බවයි. මේ ලිපිවල එක් අරමුණක් වූයේ ද එවන් පෙළඹවීමක් ඇති කිරීම ය. මෙය සතුටට කරුණකි. හේතුවාදීන්ට අවාසි වීම නොසලකා හැර අද ලෝකය පිළිගන්නා කූන්ගේ මතවාද අනුව විග්‍රහයන් කරන ලෙස මට කියන ලද චන්දන මහතා ඔහුගේ ලිපියේ දී කූන් කරුණුමය හරයක් රහිත කුඩා ඡේදයකට ලඝු කොට පොපර්ගේ දර්ශනය ම විස්තරාත්මකව දැක්වීම උත්ප්‍රාසවත් ය. චන්දන මහතා ලියූ දැයින් මගේ ලිපිවලට යම් ඇගයීමක් මෙන් ම ඒ ලිපි තහවුරු කිරීමක් ද සිදුවී ඇත. විවේචකයන් අතින් සිදුවන තහවුරු කිරීම් ඉතා වැදගත් ය. චන්දන මහතාගේ මෙවර ලිපියේ කරුණු සියල්ලට ම ද 2017 අගෝස්තු 12 දින මගේ ලිපියෙන් ම පිළිතුරු දී ඇති බැවින් එය නැවත පෙරළා බලන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. ලබන සතියේ මේ ලිපි පෙළ සම්බන්ධ සමාලෝචනයක් පළ කෙරෙන අතර එහි දී චන්දන රණසිංහ මහතාගේ පිළිතුර ගැන ද අවධානයක් යොමු කරමි.

අලුත් ම සටහන

මානවවාදයේ දේවවාදය

2017 ඔක් 18 විදුසර (පළමු ඡේදය සංස්කරණය වී ඇත.) මානවවාදයේ දේවවාදය  හේතුවාදීන්ට, තවදුරටත් තමන් හේතුවාදීන් ම නොවන බව මාධ්‍ය මඟින් ප්‍රසි...

වැඩිපුර කියවූ ලිපි