බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

 

බුද්ධිමතුන්ගේ සැකැස්ම

බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි

පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම

Antonio Gramsci - Wikipedia 

බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ කණ්ඩායමක් ද, නැති නම් සියලු සමාජ කණ්ඩායම්වලට ඒවාට ආවේණික විශේෂිත බුද්ධිමතුන් කාණ්ඩයක් සිටිනවා ද? විවිධ බුද්ධිමය කාණ්ඩයන් බිහිවීමේ සැබෑ ඓතිහාසික ක්‍රියාවලිය මෙතෙක් ගෙන ඇති විවිධ ස්වරූපයන් නිසා මෙම ගැටලුව සංකීර්ණ වේ.

මේ ස්වරූපවලින් වඩාත් ම වැදගත් වන්නේ දෙකකි.

  1. සෑම සමාජ කණ්ඩායමක්ම [2] ආර්ථික නිෂ්පාදන ලෝකය තුළ තමන් ඉටුකරන අත්‍යවශ්‍ය කාර්යභාරය මත පදනම්ව සම්භවය වන විට, එයත් සමඟ ම ඓන්ද්‍රිය ලෙස, බුද්ධිමතුන් කාණ්ඩ එකක් හෝ කිහිපයක් බිහි කරගන්නා අතර එම බුද්ධිමතුන් කාණ්ඩ අදාළ සමාජ කණ්ඩායමට සමජාතීයත්වයක් හා ආර්ථික මෙන් ම සාමාජයීය හා දේශපාලනික ක්ෂේත්‍රවල ඊට පැවරෙන කාර්යභාරය ගැන දැනුවත්කමක් ද ලබා දෙයි. ධනවාදී ව්‍යවසායකයා ඔහු සම‌ඟ ම කාර්මික තාක්ෂණ‌ඥයා, ආර්ථික විශේෂඥයා, නව සංස්කෘතියක සැලසුම්කරුවන්, නව නීති පද්ධතියක සැලසුම්කරුවන් ආදීන් නිර්මාණය කරයි. යම් විධායක හා තාක්ෂණික (එනම් බුද්ධිමය) ධාරිතාවක් තිබීම මඟින් ව්‍යවසායකයා ම සමාජ විග්‍රහයෙහි ඉහල මට්ටමක් නිරූපණය කරන බව මතක තබා ගත යුතු ය: ඔහුට තමන් වැඩකරන, හැඩගස්වන ක්ෂේත්‍රයෙහි මෙන් ම අඩු තරමින් ආර්ථික නිෂ්පාදනයට වඩාත් කිට්ටු අනික් ක්ෂේත්‍රවලවත් යම් තාක්ෂණික දැනුමක් තිබිය යුතු ම ය; ඔහු ප්‍රජාවන්ගේ සංවිධායකයකු විය යුතු ම ය; ඔහු තම ව්‍යාපාරයෙහි ආයෝජකයන් සහ තම නිෂ්පාදනවල පාරිභෝගිකයන් ආදීන්ගේ විශ්වාසයෙහි සංවිධායකයා විය යුතු ය. සියලු ම ව්‍යවසායකයන් නො වුණත්, අවම වශයෙන් ඔවුන්ගෙන් ඉහල ම ගණයේ කොටසක්වත් තම පන්තියේ ප්‍රසාරණයට හිතකර වාතාවරණ සකසා ගැනීම සඳහා, රාජ්‍ය යාන්ත්‍රණය දක්වා වූ සංකීර්ණ යාන්ත්‍රණ සියල්ලෙන් හෙබි සමස්ත සමාජය සංවිධානය කීරීමේ විභවයකින් සමන්විත විය යුතු ය; අඩු තරමින් ඔවුන්ට ව්‍යාපාරයෙන් බාහිර සමස්ත සම්බන්ධතා පද්ධතිය සංවිධානය කිරීමේ කාර්යය පැවරිය හැකි නියෝජිතයන් (මේ සඳහා විශේෂීකරණය කළ සේවකයන්) තෝරාගැනීමට ශක්‍යතාවක්වත් තිබිය යුතු ය. ඕනෑ ම නව සමාජ පන්තියක් එයත් සමඟ ම නිර්මාණය කරගන්නා හා එහි වර්ධනය සම‌ඟ ම විකාසනය කරගන්නා ඓන්ද්‍රිය බුද්ධිමතුන් යනු බොහෝ සෙයින් අදාළ සමාජ පන්තිය විසින් ඉස්මතු කරන නව සමාජ ස්වරූපයේ මූලික ක්‍රියාකාරකමෙහි යම් කිසි ආංශික ස්වරූපයක් සඳහා විශේෂීකරණය වූවන් බව නිරීක්ෂණය වේ.

වැඩවසම් රදලයන්ට පවා යම් තාක්ෂණික ධාරිතාවක් හා මිලිටරි ධාරිතාවක් තිබූ අතර වැඩවසම් ක්‍රමය අර්බුදයට යාම හරියට ම ඇරඹෙන්නේ ප්‍රභූ තන්ත්‍රයට තාක්ෂණික-මිලිටරි ධාරිතාවෙහි ඒකාධිකාරය අහිමි වූ මොහොතිනි. එහෙත් වැඩවසම් සමාජයේ හා ඊට පෙර තිබූ සම්භාව්‍ය සමාජයෙහි බුද්ධිමතුන්ගේ බිහිවීම වෙන ම අධ්‍යයනය කළ යුත්තකි: මෙම බුද්ධිමතුන් බිහිවීම හා විකාසනය වීම සිදුවූයේ අනිවාර්යයෙන් ම සංයුක්තව අධ්‍යයනය කළ යුතුව ඇති ක්‍රම සහ විධි අනුව ය. එම නිසා ප්‍රවේණිදාස ප්‍රජාව, නිෂ්පාදන ක්ෂේත්‍රයෙහි අත්‍යවශ්‍ය කාර්යයක් කළ ද, ස්වකීය ඓන්ද්‍රිය බුද්ධිමතුන් පිරිසක් ගොඩනැඟුවේ හෝ යම් සාම්ප්‍රදායික බුද්ධිමතුන් පිරිසක් අන්තර්ග්‍රහණය කළේ හෝ නැත. එහෙත් අනෙක් සමාජ කණ්ඩායම් තම බුද්ධිමතුන් බහුතරයක් ලබාගත්තේ ප්‍රවේණිදාසයන් අතරෙනි. සාම්ප්‍රදායික බුද්ධිමතුන්ගෙන් විශාල කොටසකට ද ප්‍රවේණිදාස සම්භවයක් තිබුණි.

  1. කෙසේ වෙතත්, සියලු ම අනිවාර්ය සමාජ කණ්ඩායම් ඉතිහාසයෙහි පැනනැඟුණේ ඊට පෙර පැවති ආර්ථික ව්‍යුහය තුළ ය. මෙහි ප්‍රතිඵලයක් ලෙස (අඩු තරමින් මේ දක්වා පැවති සියලු ඉතිහාසයන්හි) මේ කණ්ඩායම්වලට ඊට පෙර සිට පැවතෙන බුද්ධිමතුන් කාණ්ඩ මුණ ගැසුණි. එම නිසා ඉතා ව්‍යාකූල හා රැඩිකල් දේශපාලන, සාමාජයීය වෙනස්කම් මධ්‍යයෙහි පවා බුද්ධිමතුන් කාණ්ඩවල ඓතිහාසික අඛණ්ඩත්වයක් නිරූපණය වන්නාක් මෙන් දිස් වේ.

මෙයින් ඉතා ම දර්ශීය බුද්ධිමත්තු කාණ්ඩය වන්නේ පැවිද්දෝ ය. ඔවුහු බොහෝ කලක් තිස්සේ වැදගත් සේවාවන් ගණනාවක ඒකාධිකාරය දැරූ හ. (ඉතිහාසයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් ම යම් ප්‍රමාණයකින් හැඩගැස්වුණේ මේ ඒකාධිකාරය මඟිනි.) එම සේවාවන් අතර ආගමික දෘෂ්ටිවාදය, එනම් එම යුගයෙහි දර්ශනය හා විද්‍යාව, එමෙන් ම පාසල්, අධ්‍යාපනය, සදාචාරය, යුක්තිය, අසරණසරණය, පින්කම් ආදී දේ වේ. පැවිද්දන්ගේ කාණ්ඩය යනු ඉඩම්හිමි රදලයන්ට ඓන්ද්‍රියව බැඳුණු බුද්ධිමතුන් කාණ්ඩය ලෙස සැලකිය හැකි ය. එය අධිකරණ බලයෙන් රදලයන්ට සම තත්ත්වයක වූ අතර, රදලයන් සම‌ඟ වැඩවසම් භූමි අයිතිය සහ දේපළ හා සබැඳුණු රාජ්‍ය වරප්‍රසාද ද බෙදා ගත්තේ ය. එහෙත් උපරිව්‍යුහ ක්ෂේත්‍රයෙහි පැවිද්දන් දැරූ ඒකාධිකාරය [1] ඔවුන් පවත්වාගත්තේ අරගල රහිතව හෝ සීමාවලින් තොරව හෝ නො වේ. එම නිසා විවිධ ආකාරයෙන් (මේ ආකාර සමීපව සංයුක්තව අධ්‍යයනය කළ යුතු ය) තවත් කාණ්ඩ බිහි වී වර්ධනය වූයේ, පරමත්වය දක්වා වර්ධනය වෙමින් පැවති රජුගේ මධ්‍යගත බලයේ ශක්තිය හා ආශිර්වාදය සහිතව ය. එහෙයින් අපට ඔවුන්ට අනන්‍ය වූ වරප්‍රසාදයන්ගෙන් යුත් ලෝගුවේ ප්‍රභූන් (Nobles of the Robe) [3], එනම් පරිපාලකයන් පැලැන්තියක්, පඬිවරුන් හා විද්‍යාඥයින්, න්‍යායිකයන්, ගිහි දාර්ශනිකයන් ආදීන් බිහි වීම හමු වේ.

සටහන

මේ විවිධ සාම්ප්‍රදායික බුද්ධිමත්තු කාණ්ඩ එක්තරා සාමූහික හැ‌ඟීමකින් ඔවුන්ගේ නො බිඳුණු ඓතිහාසික අඛණ්ඩත්වයක් හා ඔවුන්ගේ විශේෂ සුදුසුකම් සමූහයක් පිළිබඳ හඟිත්. එහෙයින් ඔවුහු තමන් අධිපති සමාජ කණ්ඩායමෙන් ස්වාධීනව ස්වයංපාලිත වන්නේ යැයි කියා සිටිති. මේ ස්වයං-නිරූපණය දෘෂ්ටිවාදී දේශපාලනික ක්ෂේත්‍රයට බලපෑම් කිරීමෙන් තොර නො වේ. මේ බලපෑම් විවිධ මට්ටම්වලින් වැදගත් වේ. සමස්ත වි‌ඥානවාදී දර්ශනය ම මේ බුද්ධිමතුන්ගේ සමාජ සංකීර්ණයෙහි ස්ථාවරයට පහසුවෙන් සම්බන්ධ කළ හැකි ය; එමෙන් ම බුද්ධිමතුන් ස්වාධීන, ස්වයංපාලිත, තමන්ගේ ම වූ චරිතයකින් හෙබි අය ලෙස තමතමන්ව දකින මනෝරාජික සමාජ ප්‍රකාශනයක් ලෙස එය අර්ථදැක්විය හැකි ය.

කෙසේ වෙතත් යම් කෙනකු දකිනු ඇත්තේ පාප්වරයා හා පල්ලියේ නායක ධූරාවලිය තමන් අග්නෙලි [4] හා බෙන්නි [5] යන සෙනෙට් සභිකයන් දෙදෙනාට සම්බන්ධ වන ප්‍රමාණයට වඩා ක්‍රිස්තුස්වහන්සේට හා අපෝස්තලුවරුන්ට සම්බන්ධ යැයි සලකන නමුත් ජෙන්ටීලේ [6] හා ක්‍රෝචෙ [7] එසේ නොවන බවයි. උදාහරණ ලෙස ක්‍රෝචෙ තමා ඇරිස්ටෝටල්ට හා ප්ලේටෝට සමීපව සම්බන්ධ යැයි සිතුව ද ඔහු ඇත්තෙන් ම අග්නෙලි හා බෙන්නි සෙනට් සභිකයන් සම‌ඟ තම සම්බන්ධය සඟවන්නේ නැත. යමකුට ක්‍රෝචෙගේ දර්ශනයේ වඩාත් වැදගත් ම ලක්ෂණය හඳුනාගත හැක්කේ මෙහි දී ය.

බුද්ධිමතා යන පදයෙහි උපරිම කෙළවර කුමක් ද? යමකුට බුද්ධිමතුන්ගේ විවිධාකාර, විෂම වූ ක්‍රියාකාරකම් එක ලෙස ගොනු කරගනිමින් ඒ අතරම ඔවුන් අනෙක් සමාජ කණ්ඩායම්වල ක්‍රියාකාරකම්වලින් අත්‍යවශ්‍යයෙන් වෙන් කරගත හැකි ඒකායන නිර්ණායකයක් තිබේ ද? මට පෙනෙන ආකාරයට ප්‍රචලිත ම වැරදි ක්‍රමවේදය වන්නේ මේ නිර්ණායකය උදෙසා බුද්ධිමය ක්‍රියාකාරකම්වල නිසග ස්වභාවය දෙස ම බලනවා විනා ඒ වෙනුවට, එම ක්‍රියාකාරකම් (සහ ඒවා නියෝජනය කරන කණ්ඩායම්) පොදු සමාජ සමබන්ධතා සංකීර්ණය තුළ පිහිටා ඇති ආකාරයට පාදක වූ සමස්ත සම්බන්ධතා පද්ධතිය දෙස නො බැලීමයි. ඇත්තෙන් ම උදාහරණයක් ලෙස අයකු කම්කරුවකු හෝ නිර්ධනයකු බවට පත්වන්නේ ඔහු අතින් හෝ උපකරණවලින් හෝ කරන වැඩ නිසා නොව, ඔහු මේ වැඩ යම් විශේෂිත තත්ත්ව හා විශේෂිත සමාජ සම්බන්ධතා තුළ කිරීම නිසා ය. (තනිකර කායික ම වූ ශ්‍රමයක් නොමැති ය යන්නට හා ටේලර්ගේ පුහුණු ගෝරිල්ලා [8] යෙදුම පවා එක් දෙසකට ඇති සීමා දැක්වීමට යෙදූ හුදු රූපිකයකි යන්නට අමතරව ඉතා ම යාන්ත්‍රික හා පහත් කොට සලකන කාර්යයන් ද ඇතුළත්ව ඕනෑම කායික වැඩකට යම් අවම තාක්ෂණික සුදුසුකමක් ඇත, එනම්, අවම නිර්මාණාත්මක බුද්ධිමය ක්‍රියාකාරකමක් ඇත.) තව ද අප මීට පෙර ද දුටු ලෙස ව්‍යවසායකයා ඔහුගේ කාර්යය වෙනුවෙන් යම් බුද්ධිමය ස්වරූපයකින් යුත් සුදුසුකම් යම් ප්‍රමාණයක් යම් තරමකට ලබා ගත යුතු ම වන නමුත් ඔහුගේ සමාජ කාර්යභාරය නිර්ණය වන්නේ මේවායින් නොව, කර්මාන්තය තුළ ව්‍යවසායකයාගේ ස්ථානය හැඩගස්වන සාමාන්‍ය සමාජ සම්බන්ධතාවලිනි.

සියලු මිනිස්සු බුද්ධිමත්තු ය කියා එහෙයින් යමකුට කිව හැකි ය: එහෙත් සෑම මිනිසාට ම සමාජයෙහි බුද්ධිමතුන්ගේ කාර්යය පැවරෙන්නේ නැත.

යම් අයකු බුද්ධිමතුන් හා නො-බුද්ධිමතුන් වෙන් කරන විට, ඔහු ඇත්තෙන් ම සලකා බලන්නේ බුද්ධිමතුන්ගේ වෘත්තීයමය කාණ්ඩයේ සෘජු සමාජ කාර්යය ගැන පමණි. එනම් ඔහුගේ මනසෙහි කිරා මැන බැලෙන්නේ අදාළ පුද්ගලයන්ගේ විශේෂ වෘත්තියමය ක්‍රියාකාරකම, බුද්ධිමය විග්‍රහ කිරීම දිශාවට වේ ද, මාංසපේශි-ස්නායු මෙහෙයවීම දිශාවට වේ ද යන්න ය. මෙයින් අදහස් වන්නේ අයකුට බුද්ධිමතුන් ගැන කිව හැකි වුව ද නොබුද්ධිමතුන් ගැන කිව නො හැකි බව ය. ඒ නොබුද්ධිමතුන් නොමැති බැවිනි. බුද්ධිමය-මෂ්තිෂ්ක විග්‍රහය හා මාංසපේෂි-ස්නායු මෙහෙයවීම අතර සම්බන්ධය පවා සැමවිටම ඒකාකාර නො වන නමුත් ඒවා යම් බුද්ධිමයක කර්තව්‍යයක විවිධ තීව්‍රතාවයන් ය. සකලවිධ බුද්ධිමය සහභාගී වීම්වලින් තොර කිසිදු මිනිස් ක්‍රියාකාරකමක් නැත: හෝමෝ ෆාබර් (තනන මිනිසා Man the maker) හොමෝ සාපියන්ස්ගෙන් (බුද්ධි මිනිසාගෙන්) වෙන් නො වේ. ඕනෑ ම මිනිසෙක්, අවසන් වශයෙන්, සිය වෘත්තීය ක්‍රියාකාරිත්වයෙන් පරිබාහිරව, යම් ආකාර බුද්ධිමය ක්‍රියාකාරකම්වල නියැලෙයි. එනම් ඔහු දාර්ශනිකයෙකි, කලාකරුවෙකි, රසවතෙකි, ලෝකයක් ගැන යම් සංකල්පනයක් දරන්නෙකි, සදාචාරය ගැන සවිඥානික දැක්මක් ඇත්තෙකි, එනිසා ම ඔහු ලෝකය පිළිබ‌ඳ සංකල්පනයක් පවත්වා ගැනීමට හෝ වෙනස් කිරීමට දායක වේ, එනම් නව චින්තන විධි ගෙන එයි.

එබැවින් නව බුද්ධිමතුන් කාණ්ඩයක් බිහි කිරීමේ ගැටලුව තුළ, මාංසපේශි-ස්නායු මෙහෙයවීම සම‌ඟ බුද්ධිමය ක්‍රියාකාරකම් දක්වන සම්බන්ධතාවය නව සමතුලිතයක් කරා ගෙන යමින්, භෞතික හා සමාජයීය ලෝකය නිරන්තරයෙන් නවෝත්පාදනය කරනා සාමාන්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයෙහි අංගයක් වශයෙන් මාංසපේශි-ස්නායු මෙහෙයවීම ම සම්පූර්ණ නව ලෝකයක් සංකල්පනය කිරීමේ පදනම බව සනාථ කරමින්, සියල්ලන් තුළ ම යම් ප්‍රමාණයකින් පවතින බුද්ධිමය ක්‍රියාකාරකම් විචාරාත්මකව විග්‍රහ කිරීම ඇතුළත් වේ. සාම්ප්‍රදායිකව හා ඉතා සරලමතිකව බුද්ධිමතුන් ගණයා හඳුන්වාදෙනු ලබන්නේ ලියන කියන මිනිසා, දාර්ශනිකයා, කලාකරුවා ආදීන්ගෙනි. එම නිසා, ලියන කියන මිනිසුන්, දාර්ශනිකයන්, කලාකරුවන් ලෙස තමන් හඳුන්වාගන්නා මාධ්‍යවේදීහු සැබෑ බුද්ධිමතුන් ලෙස තමන්ව සලකාගැනීම ද සිදු කරති. වර්තමාන ලෝකයේ, ඉතා ම ප්‍රාථමික හා අසමර්ථ මට්ටම්වල සිට පවා කාර්මික ශ්‍රමයට බැඳුණු තාක්ෂණික අධ්‍යාපනය නව බුද්ධිමතුන් ගණයේ පදනම සැකසීම අනිවාර්ය ය.

මේ පදනමින්, Ordine Nuovo සතිපතා සඟරාව [9] නව බුද්ධිමයවාදයක් (intellectualism) ගොඩ නැ‌ඟීම හා එහි නව සංකල්ප හඳුනාගැනීම කෙරෙහි යොමු විය. මෙය සාර්ථක වූයේ එම නිසා පමණක් ම නොව එවැනි සංකල්පනයක් සැඟවුණු අභිලාෂයයන්ට අනුරූප වීමත් ප්‍රායෝගික ජීවිතය වර්ධනය කිරීම කෙරෙහි ඒකාත්මික වීමත් නිසා ය. හැ‌ඟීම් හා ආශාවේ තාවකාලික බාහිර උත්ප්‍රේරකයක් පමණක් වන දෙඩුම් ශිල්පය [10] (Eloquence) තවදුරටත් නව බුද්ධිමතකු වීමේ ක්‍රමය විය නො හැකි ය. ඒ වෙනුවට ගොඩනඟන්නකු, සංවිධානය කරන්නකු, (හුදෙක් දෙඩුම් ශිල්පියකු නොවන බැවින් ද වියුක්ත ගණිත ආත්මය ඉක්මවා සිටියකු වන බැවින් ද) ස්ථිරසාර ඒත්තු ගන්වන්නකු ලෙස ප්‍රායෝගික ජීවිතයට සක්‍රියව මැදිහත්වීම එම ක්‍රමය වනු ඇත; ඔහු තාක්ෂණික-ශ්‍රමයෙන් තාක්ෂණික-විද්‍යාවට ද, ඉන්පසු ඓතිහාසික මානවවාදී සංකල්පනයට [11] ද යා යුතු ය. නැතිනම් ඔහු විශේ‌ෂ‌ඥයකු වන නමුත් විධායකයකු නො වේ. (විශේෂඥභාවය+දේශපාලනය)

එම නිසා බුද්ධිමය කාර්යයන් සඳහා ඓතිහාසිකව සැකසුණු විශේෂ කාණ්ඩ තිබේ. මේවා බිහි වූයේ සියලු සමාජ කණ්ඩායම් හා සම්බන්ධව නමුත් විශේෂයෙන් ම වඩා වැදගත් කණ්ඩායම් හා සම්බන්ධව ය. එහෙත් වඩාත් ම විහිදුණු හා සංකීර්ණ ලෙස මේ සම්බන්ධතා විකාසනය වූයේ ආධිපත්‍යය දරන සමාජ කණ්ඩායම සම‌ඟ ය. ආධිපත්‍යය කරා වර්ධනය වන ඕනෑ ම කණ්ඩායමක වඩාත් ම වැදගත් ලක්ෂණය වන්නේ වඩාත් සාම්ප්‍රදායික බුද්ධිමතුන් අන්තර්ග්‍රහණය කරගැනීමට හෝ පරාජය කරගැනීමට දෘෂ්ටිවාදීව කරනා අරගලයයි. මේ අන්තර්ග්‍රහණය හා පරාජය කිරීම වඩාත් වේගවත් හා කාර්යක්ෂ්ම වන්නේ අදාළ කණ්ඩායම මීට සමගාමීව තමන්ගේ ම ඓන්ද්‍රිය බුද්ධිමතුන් විකාසනය කරගන්නා තරමට ය. පුළුල් අර්ථයෙන්, මධ්‍යකාලීන යුගයෙන් නික්මුණු සමාජයන්ගේ අධ්‍යාපන ක්‍රියාකාරකම්වල හා අධ්‍යාපන සංවිධානයේ දැවැන්ත වර්ධනය වර්තමාන ලෝකයේ බුද්ධිමය ක්‍රියාකාරකම් හා කණ්ඩායම් අත්කරගෙන ඇති වැදගත්කම ගැන දර්ශකයකි. එක් එක් පුද්ගලයාගේ බුද්ධිමයභාවය ගැඹුරු හා පුළුල් කිරීමේ උත්සාහයට සමගාමීව පටු විශේෂීකරණයන් බහුල කිරීමේ නැඹුරුවක් ද ඇත. මෙය සකල විද්‍යා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි ඊනියා විදග්ධ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන ව්‍යුහයන් දක්වා වූ සියලු මට්ටම්වල අධ්‍යාපන ආයතනවල දැකිය හැකි ය.

පාසල යනු විවිධ මට්ටම්වල බුද්ධිමතුන් වර්ධනය කරනා උපකරණයයි. පාසල් සංඛ්‍යාව හා ශ්‍රේණිගත කිරීම් ම‌ඟින් විවිධ රාජ්‍යවල බුද්ධිමය කාර්යයෙහි සංකීර්ණත්වය වාස්තවිකව මැන ගත හැකි ය: වඩාත් පැතිරුණු වපසරියක් අධ්‍යාපනයට ඇතුළත් වන තරමට, හා අධ්‍යාපන ආයතනවල සිරස් මට්ටම් වැඩි වැඩියෙන් ආවරණය වන තරමට, රාජ්‍යයක සංස්කෘතික ලෝකය හා ශිෂ්ටාචාරය ද සංකීර්ණ වේ. කාර්මික හා තාක්ෂණ ක්ෂේත්‍රයෙහි මීට සන්සන්දනයක් සොයාගත හැකි ය: රටක කාර්මීකරණය ඒ රට යන්ත්‍ර සෑ‌දීම ස‌ඳහා යොදා ගන්නා යන්ත්‍ර, යන්ත්‍ර සෑදීම ස‌ඳහා යොදාගන්නා යන්ත්‍ර හා උපකරණ නිපදවීමට යොදාගන්නා වඩාත් නිරවද්‍ය උපකරණ ආදියෙන් කෙතරම් සමන්විත වේ ද යන්නෙන් මැන බැලිය හැකි ය. ආනුභවික විද්‍යා විද්‍යාගාර ස‌ඳහා උපකරණ සාදන හා ඒ උපකරණ පරීක්ෂා කොට බැලීමට උපකරණ තනනා රටවල් වඩාත් සංකීර්ණ තාක්ෂණික-කාර්මික ක්ෂේත්‍රයකින්, ඉහල ම මට්ටමේ ශිෂ්ටාචාරයකින් ආදියෙන් යුතු ය. මෙය බුද්ධිමතුන් සූදානම් කිරීමට හා ඔවුන් සූදානම් කරවන පාසල්වලට ද අදාළ වේ; පාසල් හා විදග්ධ සංස්කෘතික ආයතන එකිනෙකට සමරූපීව සැලකිය හැකි ය. මේ ක්ෂේත්‍රයෙහි පවා ප්‍රමාණාත්මකතාව ගුණාත්මකතාවෙන් වෙන් කළ නොහැකි ය. එම නිසා ප්‍රාථමික අධ්‍යාපනය හැකිතාක් උපරිමව පුළුල් කිරීමට හා ද්විතීයික (මධ්‍යම) ශ්‍රේණීන් සංඛ්‍යාත්මකව ප්‍රසාරණය කිරීමට අනුරූප වීමෙන් තොරව වඩාත් පිරිසිදු තාක්ෂණ-සංස්කෘතික විශේෂීකරණයක් ලබා ගත නො හැකි ය. තමන් කැමති ලෙස උසස් බුද්ධිමය සුදුසුකම් තෝරාගෙන වර්ධනය කොට ගැනීම සඳහා හැකි පුළුල් ම පදනමක් ලබා දීමේ අවශ්‍යතාවය (විදග්ධ සංස්කෘතිය හා ඉහල මට්ටමේ තාක්ෂණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් ලබා දීම) අවාසිවලින් තොර නො වේ: එම‌ඟින් මධ්‍යම කාණ්ඩවල බුද්ධිමතුන්ට දරුණු විරැකියා අර්බුදයක් ඇතිවීමට ඉඩකඩක් නිර්මාණය වේ; සියලු නූතන සමාජවල මෙය සැබැවින් ම සිදු වී ඇත.

සංයුක්ත යථාර්ථයෙහි බුද්ධිමතුන් කාණ්ඩ විකසනය වීම සිදු වූයේ වියුක්ත ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් යටතේ නොව ඉතා සංයුක්ත සාම්ප්‍රදායික ඓතිහාසික ක්‍රියාවලිවලට අනුකූලව බව මතක තබා ගත යුතුයි. සාම්ප්‍රදායිකව නිෂ්පාදන බුද්ධිමතුන් කාණ්ඩ මතු වී ඇති අතර මේවා ඉතිරි කිරීමෙහි විශේෂීකරණය වී ඇති කාණ්ඩවලට සමපාත වේ: එනම් සුළු හා මධ්‍ය පරිමාණ ඉඩම් හිමි ධනපතියන් හා සමහර සුළු හා මධ්‍ය පරිමාණ නාගරික ධනපතියන් ය. ආර්ථික ක්ෂේත්‍රයෙහි විවිධ (සම්භාව්‍ය හා වෘත්තීය) පාසල්වල විෂම ව්‍යාප්තිය හා මේ (බුද්ධිමතුන්) කාණ්ඩවල එක් එක් ප්‍රවර්ගවල අනේකවිධ අභිලාෂයන් අනුව විවිධ බුද්ධිමය විශේෂීකරණ ශාඛා තීරණය වී හෝ හැඩගැසී හෝ ඇත. එහෙයින් ඉතාලියේ පිටිසර ධනපතියන් මූලික වශයෙන් යම් යම් රාජ්‍ය නිලධාරීන් හා ස්වයං-වෘත්තිකයන් [12] බිහි කරන අතර නාගරික ධනපතියන් කර්මාන්ත සඳහා තාක්ෂණ‌වේදීන් බිහි කරයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෙස උතුරු ඉතාලිය මූලික වශයෙන් තාක්ෂණවේදීන් බිහි කරන අතර දකුණ නිලධාරීන් හා වෘත්තිකයන් බිහි කරයි.

බුද්ධිමතුන් හා නිෂ්පාදනය අතර සම්බන්ධතාවය, නිෂ්පාදනය හා මූලික සමාජ කණ්ඩායම් අතර සම්බන්ධය තරම් ඍජු නො වූ (අව්‍යවහිත නො වූ) සමස්ත සමාජ වියමනෙන් හා බුද්ධිමතුන් නිලධාරීන් ලෙස ක්‍රියා කරන සමාජ උපරිව්‍යුහ සංකීර්ණයන්ගෙන් මැදිහත් වූ (ව්‍යවහිත mediated) වක්‍ර එකකි. පහල සිට ඉහලට (අධෝව්‍යුහයෙහි සිට ඉහලට) කෘත්‍යයන් හා උපරිව්‍යුහයන් ශ්‍රේණිගත කිරීම මඟින් අයකුට විවිධ බුද්ධිමතුන් කාණ්ඩයන්ගේ ඓන්ද්‍රිය ගුණය [organicità] සහ යම් මූලික සමාජ කණ්ඩායමක් සමඟ ඔවුන්ගේ සම්බන්ධය මැන බැලිය හැකි ය. දැනට ප්‍රධාන උපරිව්‍යුහ මට්ටම් දෙකක් ලකුණු කළ හැකි ය: එකක් නම් සිවිල් සමාජය [13] හෙවත් සාමාන්‍යයෙන් පෞද්ගලික (private) ලෙස හඳුන්වන ප්‍රාණීන් සමූහය සහ අනෙක නම් දේශපාලනික සමාජය හෙවත් රාජ්‍යයයි. මේ මට්ටම් දෙක පිළිවෙළින් අධිපතිවාදී සමාජ කණ්ඩායම සමාජය පුරා පතුරවන හෙජමනියේ කාර්යයට ද, ඍජු ආධිපත්‍යය හෙවත් රාජ්‍යයේ හා නෛතික ආණ්ඩුවේ අණ දීමට ද අනුරූප වේ. මේ කාර්යයන් නිශ්චිතව ම සංවිධානාත්මක අතර එකිනෙකට සම්බන්ධ ය. බුද්ධිමතුන් යනු සමාජ හෙජමනියේ හා දේශපාලන ආණ්ඩුවේ පහල පෙළේ කාර්යයන් කරනා නියෝජිතයන් ය. සමාජ හෙජමනිය හා දේශපාලන ආණ්ඩුව යනු පිළිවෙළින්,

  1. අධිපතිවාදී මූලික සමාජ කණ්ඩායම සමාජ ජීවිතය මත තබා ඇති සලකුණේ දිශානතිය වෙත මහ ජනයා ලබා දෙන නිරායාස අනුමැතිය; මේ අනුමැතියට ඓතිහාසිකව හේතු වී ඇත්තේ අධිපති සමාජ කණ්ඩායම නිෂ්පාදන ක්ෂේත්‍රයේ දරන ස්ථානය හා කෘත්‍යය නිසා අධිපති කණ්ඩායමට ලැබී ඇති වරප්‍රසාදය (සහ එහෙයින් ම ඇතිවූ ආත්මවිශ්වාසය) ය.

  2. රාජ්‍යයේ බලහත්කාරී බලය, එනම් ක්‍රියාකාරීව හෝ නිෂ්ක්‍රියව හෝ අනුමැතිය ලබා නොදෙන කණ්ඩායම් නීත්‍යානුකූලව බලය යොදවා හික්මවීම; නිරායාස අනුමැතිය අසාර්ථක වන විධානයේ හා අධ්‍යක්ෂණයේ අර්බුදවල දී මේ යාන්ත්‍රණය සමස්ත සමාජය කෙරෙහි යෙදවීමට බලාපොරොත්තු වන්නකි.

මේ ආකාරයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කිරීම මඟින් බුද්ධිමතා යන සංකල්පයෙහි සැලකිය යුතු විස්තීරණයක් සිදු වන නමුත් මෙය යථාර්ථය ගැන සංයුක්ත විග්‍රහයක් ලබාගත හැකි එක ම ආකාරයයි. එමෙන් ම එය කුලය පිළිබඳව පූර්වෝකල්පනයන්ට ද පහර දෙයි. සමාජ හෙජමොනිය හා රාජ්‍ය ආධිපත්‍යය සංවිධානය කිරීමේ කාර්යයෙන් නිසැකව ම යම්කිසි ශ්‍රම විභේදනයක් ඇති කෙරෙන අතර එහෙයින් බැලූ බැල්මට අධ්‍යක්ෂණ හෝ සංවිධාන කාර්යයන්හි ලා නොගැනෙන සුදුසුකම් පවා ඇතුළත් සුදුසුකම් ධූරාවලියක් ඇති කරයි. උදාහරණයක් ලෙස, සමාජ හා රාජ්‍ය අධ්‍යක්ෂණයෙහි හස්තකාර්මික හා උපකරණ භාවිතය සහිත රැකියා ශ්‍රේණියක් ඇත. (විධායක නොවන, නිලධාරීන් නොවන රැකියා). අනෙක් වෙනස්කම් සේ ම මේ වෙනස්කම ද ලකුණු විය යුතු බව පැහැදිලි ය. ඇත්තෙන් ම බුද්ධිමය කාර්යයන් ද ඒවායේ අභ්‍යන්තර ස්වරූපය මත විවිධ මට්ටම්වලට බෙදිය යුත්තේ ඒවායේ ඉහල ම හා පහල ම අන්තයන් සැබෑ ගුණාත්මක වෙනසක් නිරූපණය කරන පරිදි ය: ඉහල ම මට්ටමේ දී විවිධ විද්‍යාවන්, දර්ශනය, කලාව ආදිය නිපදවන්නන් සිටිනු ඇති අතර පහල ම මට්ටමේ දී සුළු පරිපාලකයන් ද දැනට ම තිබෙන, සම්ප්‍රදායික, සම්මුච්ඡිත දැනුම් සම්පත සන්නිවේදනය කරන්නන් ද සිටිනු ඇත.

මේ අර්ථයෙන් ගන්නා කල නූතන ලෝකයෙහි බුද්ධිමතුන් කාණ්ඩය පෙර නොවූ විරූ ප්‍රසාරණයකට ලක්ව ඇත. ප්‍රජාතන්ත්‍රවාදී-නිලධාරිවාදී ව්‍යුහය විසින් නිෂ්පාදනයෙහි සමාජ අවශ්‍යතා මඟින් සම්පූර්ණයෙන් යුක්ති යුක්ත නොකෙරෙන එහෙත් අධිපති මූලික සමාජ කණ්ඩායමේ දේශපාලනික අවශ්‍යතාවලින් යුක්ති යුක්ත කෙරෙන කාර්යයන් විශාල ප්‍රමාණයක් බිහි කරනු ලැබ ඇත. එනිසා මේ ප්‍රජාව විසින් සිය තනතුරු දඩමීමා කරගෙන තමන් වෙනුවෙන් ජාතික ආදායමෙන් ඩැහැගනු ලබන විශාල පංගුව සලකා බැලීමෙන් යම් අයකුට ලෝරියාගේ [14] නිෂ්ප්‍රයෝජන වැඩකරන්නා පිළිබඳ සංකල්පය (නිෂ්ප්‍රයෝජන වන්නේ කාට සාපේක්ෂව ද? කවර නිෂ්පාදන මාතයකට සාපේක්ෂව ද?) යම් තරමකින් සනාථ කිරීමට හැකි වේ. ප්‍රජා සංවිධානය විසින් තනි තනි පුද්ගලයන් මානසිකව මෙන් ම ස්වකීය කුසලතාවලින් ද ඒකාකාරී ලෙස ප්‍රමිතිකරණය කරනු ලැබ ඇති අතර අනෙක් ප්‍රමිතිකරණය වූ ප්‍රජාවන්ට ද මෙය එසේ ම සිදුවී ඇත: වෘත්තීන්ගේ ආරක්ෂාව පිණිස ආයතනවල අවශ්‍යතාව ඇති කරන තරගය, විරැකියාව, පාසල්වල අධි-නිෂ්පාදනය, විගමනය ආදිය ඇතිව තිබේ.

නාගරික හා ග්‍රාමීය-වර්ගයේ බුද්ධිමතුන්ගේ ස්ථානගත වීමේ වෙනස්කම

නාගරික වර්ගයේ බුද්ධිමත්තු කර්මාන්ත සමඟ වර්ධනය වී ඒවායේ සෞභාග්‍යය සමඟ බද්ධ වී ඇත. ඔවුන්ගේ කාර්යභාරය හමුදාවේ සුළු මුලාදෑනීන්ගේ කාර්යභාරයට සන්සන්දනය කළ හැකි ය. නිෂ්පාදන සඳහා සැලසුම් ගොඩනැඟීමට ඔවුන් ස්වයංසිද්ධව මුල පුරන්නේ නැත. ඔවුන්ගේ කාර්යය වන්නේ උපකරණ සමඟ වැඩ කරන ප්‍රජාව හා ව්‍යවසායකයා අතර සම්බන්ධතාවය ආමන්ත්‍රණය කරමින්, වැඩෙහි මූලික පියවරවල් පාලනය කරමින්, කාර්මික ප්‍රධාන මාණ්ඩලිකය [15] තීරණය කළ නිෂ්පාදන සැලැස්ම ඍජුව ක්‍රියාත්මක කිරීමයි. සමස්තයක් වශයෙන් සාමාන්‍ය නාගරික බුද්ධිමතුන් බෙහෙවින් ප්‍රමිතිකරණය වී ඇති අතර ඉහල ම මට්ටමේ නාගරික බුද්ධිමතුන් වඩ වඩාත් ම කාර්මික ප්‍රධාන මාණ්ඩලිකය සමඟ ම අනන්‍ය වේ.

ග්‍රාමීය වර්ගයේ බුද්ධිමතුන් වැඩිමනත් වශයෙන් සාම්ප්‍රදායික ය, එනම් ඔවුහු ගැමි සුළු ධනේෂ්වර පන්තිය හා ධනවාදී ක්‍රමය යටතේ තව ම වර්ධනය වී සංචලනය නො වූ (විශේෂයෙන් කුඩා) නගරවල සුළු ධනේෂ්වර ප්‍රජාව සමඟ බද්ධ වී ඇත. මේ වර්ගයේ බුද්ධිමත්තු ප්‍රාදේශීය හා රාජ්‍ය පරිපාලනය සමඟ ගොවි ප්‍රජාව (pesants) සම්බන්ධ කරති (නීතිඥයන් හා නොතාරිස්වරුන් ආදීන්). වෘත්තීයමය මැදිහත් වීම දේශපාලනයෙන් වෙන් කිරීම අපහසු වීම හේතුවෙන් මේ කාර්යය නිසා ඔවුන්ට වැදගත් දේශපාලනික-සමාජ කෘත්‍යයක් පැවරී ඇත. තවදුරටත් ග්‍රාමීය බුද්ධිමතුන්ට (පූජකයා, නීතිඥයා, නොතාරිස්, ගුරුවරයා, වෛද්‍යවරයා ආදීන්ට) සමස්ත වශයෙන් සාමාන්‍ය ගොවියකුට වඩා ඉහල හෝ අඩු තරමින් වෙනස් හෝ ජීවන තත්ත්වයක් හිමිව ඇති අතර එහෙයින් එය ගොවියාට තමාගේ ඉරණමින් මිදීමට හෝ ඉන්නා තැනින් ඉහලට යාමට හෝ ඇති අභිප්‍රායට මගක් ලෙස දැකීමට සමාජ ආකෘතියක් නිරූපණය කරයි. ගොවියා සෑම විට ම තමාගේ එක් පුතකුටවත් බුද්ධිමතකු (විශේෂයෙන් පූජකයකු) විය හැකි යැයි සිතය; එනම් මහත්මයකු වී අනෙක් මහත්වරුන් සමඟ නිසැකයෙන් ම ඇති කරගැනීමට නියමිත සමාජ සම්බන්ධකම් මඟින් පවුලේ ආර්ථිකය සවිමත් කොට පවුලේ සමාජ තත්ත්වය ඉහල නැංවිය හැකි යැයි සිතයි. බුද්ධිමතා කෙරෙහි ගොවියාගේ ආකල්පය දෙබිඩි හා විසංවාදී ලෙස දිස්වේ. ඔහු බුද්ධිමතුන්ගේ සමාජ තත්ත්වයට හා සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයන්ගේ සමාජ තත්ත්වයට ගෞරව කරන නමුත් සමහර අවස්ථාවල ඔහු එයට වෛර කරයි. එහි තේරුම වන්නේ ඔහුගේ ගෞරවය ඊර්ෂ්‍යාව හා තදබල කෝපය සමඟ මිශ්‍රව ඇති බවයි. බුද්ධිමතුන් කෙරෙහි ඇති මේ සඵල යටහත් පහත් භාවය සැලකිල්ලට ගෙන සංයුක්තව හා ගැඹුරෙන් විමර්ශනය නොකොට ගොවි ජීවිතයේ සාමූහිකත්වය හා එහි තුළ වර්ධනය වී ඇති බිජුවට තේරුම් ගත නො හැකි ය. ගොවි සමූහයාගේ සියලු ඓන්ද්‍රීය වර්ධනයන් එක්තරා මට්ටමක් දක්වා බුද්ධිමතුන්ගේ චලනයන් මත බද්ධව හා පරායත්තව ඇත.

නාගරික බුද්ධිමතුන් කෙරෙහි මෙය වෙනස් තත්ත්වයකි ය. කර්මාන්තශාලා තාක්ෂණවේදීන් උපකරණ හසුරුවන ප්‍රජාවට ඉහලින් කිසිදු දේශපාලන කෘත්‍යයක් අභ්‍යාස කරන්නේ නැත, අඩු තරමින් මෙය මේ වන විට පසු වී ගිය අවධියකි. සමහරවිට, මීට වඩා මෙය අනික් අතට සිදු වේ. එනම් උපකරණ හසුරුවන ප්‍රජාව හෝ අඩු තරමින් ඔවුන්ගේ ම ඓන්ද්‍රීය බුද්ධිමත්තු හෝ තාක්ෂණවේදීන් කෙරෙහි යම් දේශපාලන බලපෑමක් අභ්‍යාස කරති.

ප්‍රශ්නයේ මූලික හරය තවමත් සියලු මූලික සමාජ කණ්ඩායම්වල ඓන්ද්‍රීය ප්‍රවර්ගයක් වශයෙන් බුද්ධිමතුන් හා සාම්ප්‍රදායික ප්‍රවර්ගයක් වශයෙන් බුද්ධිමතුන් අතර විභේදනයයි. මේ විභේදනයෙන් ඉතිහාස පර්යේෂණ සඳහා ගත හැකි ගැටලු හා ප්‍රශ්න පෙළක් ම පැන නඟී.

වඩාත් ම සිත් ඇද ගන්නාසුලු ගැටලුව වන්නේ, මේ දෘෂ්ටිකෝණයෙන් අධ්‍යයනය කළ විට, නූතන දේශපාලන පක්ෂය සම්බන්ධයෙන්, එහි සැබෑ ප්‍රභවය, වර්ධනයන් හා එය අත් කරගන්නා විවිධ ස්වරූපයි. බුද්ධිමතුන්ගේ ගැටලුව හා සම්බන්ධව දේශපාලන පක්ෂයේ ස්වභාවය කුමක් ද? මෙහිදී සමහර විභේදනයන් ලකුණු කළ යුතු ය.

  1. සමහර සමාජ කණ්ඩායම් සඳහා දේශපාලන පක්ෂය යනු තමන්ගේ ම ඓන්ද්‍රීය බුද්ධිමතුන් ප්‍රවර්ගයක් නිෂ්පාදන තාක්ෂණ ක්ෂේත්‍රයෙහි පමණක් නොව ඍජුව දේශපාලන හා දාර්ශනික ක්ෂේත්‍රවල ද වර්ධනය කර ගැනීමේ විශේෂ ක්‍රමය මිස අන් කිසිවක් නො වේ. සමාජ කණ්ඩායමේ සාමාන්‍ය ස්වරූපය, එහි සැකැස්ම පිළිබඳ කොන්දේසි, එහි වගතුග හා වර්ධනය සැලකු කල මේ ආකාරයෙන් ගොඩනඟන බුද්ධිමතුන් ඇත්තෙන් ම වෙනත් ආකාරයකින් ගොඩනඟා ගත නො හැකි ය.

  1. සියලු කණ්ඩායම් සඳහා, දේශපාලන පක්ෂය යනු, හරියට ම, රාජ්‍යය දේශපාලන සමාජය මත වඩා සංස්ලේෂීව හා මහා පරිමාණයෙන් කරන්නා වූ කෘත්‍යය ම සිවිල් සමාජය මත සිදු කරන යාන්ත්‍රණයයි. වෙනත් වචනවලින් කිවහොත්, යම් දෙන ලද කණ්ඩායමක ඓන්ද්‍රීය බුද්ධිමතුන් (වඩා ප්‍රමුඛ කොටස) සමඟ සාම්ප්‍රදායික බුද්ධිමතුන් වාත්තු කිරීම එහි වගකීමයි. මේ කාර්යය පක්ෂයේ මූලික කාර්යය වන ආර්ථික කණ්ඩායමක් ලෙස බිහිව වර්ධනය වූ සමාජ කණ්ඩායමකට අයත් වන සිය සාමාජිකයන් සුදුසුකම් ලත් දේශපාලන බුද්ධිමතුන් ද, නායකයන් (අධ්‍යක්ෂකයන්) ද සිවිල් හා දේශපාලන දෙයාකාර වූ සමස්ත සමාජයේ ඓන්ද්‍රීය වර්ධනයෙහි සියලු අත්‍යන්ත ක්‍රියාකාරකම් හා කාර්යයන් සංවිධානය කරන්නන් ද බවට පත් කිරීමට බෙහෙවින් අනුරූප වේ. ඇත්තෙන් ම රාජ්‍යය එයට අදාළ වඩා විශාල වපසරියේ කරනවාට වඩා සම්පූර්ණ හා ඓන්ද්‍රීය ලෙස දේශපාලන පක්ෂය සිය වපසරියෙහි මෙය ඉෂ්ට කරන බව කිව හැකි ය. යම් සමාජ කණ්ඩායමක දේශපාලන පක්ෂයට එකතු වන බුද්ධිමතකු අදාළ කණ්ඩායමේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් හා යාවනු ඇති අතර අදාළ කණ්ඩායම සමඟ තදින් බැඳෙනු ඇත. රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමෙන් මෙය සිදුවනු ඇත්තේ ඉතා සුළු වශයෙනි; බොහෝ විට සිදුවන්නේ ම නැත. ඇත්තෙන් ම බොහෝ බුද්ධිමත්තු රාජ්‍යය ඔවුන් යැයි සිතන්නට පටන් ගනිති. මේ බුද්ධිමතුන් ප්‍රමාණය සැලකූ විට මේ විශ්වාසය සමහර විට වැදගත් ප්‍රතිඵල ඇතිකරන අතර, සත්‍ය වශයෙන් ම රාජ්‍යය වන මූලික ආර්ථික කණ්ඩායමට අප්‍රසන්න අර්බුද ඇති කරයි.

දේශපාලන පක්ෂයක සියලු සාමාජිකයන් බුද්ධිමතුන් ලෙස සැලකිය යුතු ය යන්න පහසුවෙන් කවටකමක් හා විගඩමක් විය හැකි ය. එහෙත් යමෙක් ඒ ගැන සිතා බලන විට මීට වඩා හරියන දෙයක් නැතැයි පෙනෙනු ඇත. ඇත්තෙන් ම මට්ටම්වල විභේදනයක් ලකුණු කළ යුතු ය. යම් පක්ෂයක ඉහල හා පහල මට්ටම්වල සාමාජිකයන් විශාල හෝ කුඩා අනුපාතයක් සිටිය හැකි ය, ඒත් අදාළ කාරණය වන්නේ මෙය නො වේ. අදාළ වෙන්නේ කෘත්‍යයයි, එය අධ්‍යක්ෂණ හා සංවිධායනමය ස්වරූපයක් (අධ්‍යාපන හා බුද්ධිමය ලෙස) ගනී. දේශපාලන පක්ෂයකට වෙළෙන්දකු සම්බන්ධ වන්නේ ව්‍යාපාර කිරීමටවත්, කර්මාන්තකරුවකු සම්බන්ධ වෙන්නේ අඩු පිරිවැයකට වැඩියෙන් නිපදවීමටවත්, ගොවියකු සම්බන්ධ වන්නේ නව වගා ක්‍රම ඉගෙනීමටවත් නො වේ. (වෙළෙන්දාගේ, කර්මාන්තකරුවාගේ හා ගොවියාගේ මේ සමහර ඉල්ලීම් පක්ෂය මඟින් සපිරිය හැකි නමුත් ඔවුන් සම්බන්ධ වන්නේ ඒ සඳහා නො වේ.)

මේ කාර්යයන් සඳහා, සීමාවන් තුළ, වෙළෙන්දන්ගේ කර්මාන්තකරුවන්ගේ හා ගොවීන්ගේ ආර්ථික-ව්‍යාපාරික ක්‍රියාකාරකම්, වඩා හොඳින් ප්‍රවර්ධනය කරන වෘත්තීයමය සංවිධාන ඇත. දේශපාලන පක්ෂය තුළ, සමාජ හා ආර්ථික කණ්ඩායමක සාමාජිකයෝ ඔවුන්ගේ ඓතිහාසික වර්ධනය තුළ මේ අවධිය පසු කොට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වඩා පොදු කාර්යයන්හි කාරකයන් බවට පත් වෙති. විවිධ ජාතික ඉතිහාසවල සන්දර්භයෙහි හා එක් එක ජාතියෙහි විවිධ ප්‍රධාන සමාජ කණ්ඩායම්වල (විශේෂයෙන් ආර්ථික ක්‍රියාකාරකම උපකරණ භාවිතය වූ කණ්ඩායම්වල) වර්ධනය සන්දර්භයෙහි ඓන්ද්‍රීය හා සාම්ප්‍රදායික ප්‍රවර්ගවල බුද්ධිමතුන් වර්ධනය වීම ගැන සංයුක්ත ඓතිහාසික විශ්ලේෂණයකින් දේශපාලන පක්ෂයේ කාර්යභාරය වඩා පැහැදිලිව මතු වී පෙනෙනු ඇත.

පාදක සටහන්

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර

man in black jacket walking on sidewalk during night time

Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පරිච්ඡේදයට විවේචනයක් කොට ඇත. මෙහි දී මගේ බොහෝ ස්ථාවර ඔවුන් ද පිළිගෙන ඇති අතර පොත ඉදිරියේ ලංකාවේ වාමාංශිකයන් පරාජයව ඇති බව ඔවුන්ගේ ද නිරීක්ෂණයයි.

උපුටා ගැනීම 1:

“මෙම තමලුගේ අදහස පිළිබඳව අපගේ මතය ඉදිරිපත් කිරීමේදී, එනම් අප වාමාංශිකයින් හෝ මාක්ස්වාදීන් නොවන්නෙමු. අප භෞතිකවාදීන් හෝ විඥානවාදීන්ද නොවන්නෙමු. අප විමුක්ති දේශපාලනය අරමුණු කරගනිමින් මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් විශ්ලේෂණියව ( Marxian) බාරගන්නා පිරිසකි. එබැවින් මාක්ස්වදය ලෙස සෝවියට් රුසියාව හරහා පැමිණි මාක්ස්වාදයත්, ද්‍රව්‍යවාදී භෞතිකවාදයත්, එය බාරගනිමින් ඒ වෙනුවෙන් පෙනීසිටින මාක්ස්වාදීන් සහ වාමාංශිකයිනුත්, මාක්ස් ධනවාදී ආර්ථික විද්‍යාවට විකල්ප ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේය යන්න පවසන්නනුත් එක මිටට තබා පරාජය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීමේ වෙනුවෙන් මැදිහත් වන්නන්‍ ය. එම අර්තයෙන් අප තමලු සමග එකඟතාවය ඵල කරන මුත් ඔහුගේ සමස්ත දේශපාලනයේදී අප ඔහුගෙන් වෙනස් වන්නේ කෙසේද යන්න පසක් කල යුතුය.

එහිදී තමලු සිදුකරනු ලබන මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් අප පිළිගන්නා අර්ථයෙන් නිවැරදි නොවීම විසින් අපට තමලු සමග අභිමුඛ වීමට බලකර සිටියි. මේ මොහොතේ තමලු විසින් මාක්ස්වාදීන්ට, සමාජවාදීන්ට, වාමාංශිකයින්ට, මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේයැයි පවසන්නන්ට ප්‍රභල විවේචනයක් කලද ඔවුන් කිසිම හාවක් හූවක් නැතිව සිටීනා තත්වයක් තුල අප තමලු සමග අභිමුඛ වන්නේ ඔවුන් බේරාගැනීමට නොවේ. ඔවුන් දැනටම නිරුත්තරව පරාජය බාරගෙන සිටියි. එසේනම්, අපගේ උත්සහය අප මාක්ස්ගේ ඉදිරිපත්කිරීම් විශ්ලේෂණීය අර්තයෙන් භාරගන්නේ කුමන හේතුවකටද යන්න පසක් කිරීමටය. එය මේ මොහොතේ අප්ගේ කාර්‍යභාරයකි.”

මින් පසු මගේ පොතෙහි ඇති අදහස්වලට එකඟ වීම් හා පොතේ අදහස සාරාංශ කිරීම් සමූහයක් ඇති අතර හුදෙක් ඔවුන් කියා ඇති අදහස පැහැදිලි කර ගැනීම සඳහා Exit way out කණ්ඩායමෙන් පහත කාරණය විමසා සිටීමට සිදුවේ.


පහත නිරීක්ෂණය වැරදි ය:

උපුටා ගැනීම 2: “මෙය තව දුරටත් සනාත කිරීමට තමලු එංගල්ස්ගේ “සොභාදහමේ දයලෙත්තිකය” මාක්ස්ගේ ප්‍රකාශයට සම්බන්ද කරයි. එමගින් ඔහු ඉදිරිපත් කරන්නේ එංගල්ස් ගෙන් එන අපෝහකය ප්‍රවාදය මාක්ස් පිළිගත් බවත් එය මාක්ස්ගේ ආර්ථික විචාරයට එකතු කල බවත්‍ ය. ඇත්තටම අපට අනුවද මෙම සොභාදහමේ දයලෙත්තිකය ඒංගල්ස්ගේ, ප්ලෙකනොව්ගේ, අපනසියෙව්ගේ, එම්. නේස්තූර්හ් වැන්නන්ගේ විකාරයකි. මෙය රුසියව හරහා මක්ස්වාදීන් සහ වාමංශිකයින් පිළිගත් ළදරු වලිප්පුවකි. තාමලු මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් වලට අපෝහකය සම්බන්ද කරගත් බව මෙසේ පවසයි.

// කෙසේ නමුත් මාක්ස්ගේ දස් කපිටාල්හී දේශපාලන ආර්ථිකය සම්බන්ද ගනුදෙනුව ඒංගල්ස්ගේ ස්වභාවික විද්‍යාව සමඟ ගනුදෙනුවට මදක් කිට්ටුය.// ( පිටුව 6)

// ස්මිත්ගේ ශ්‍රම න්‍යාය පිරිසිදුව දක්වන රිකාඩො එයින් ඇතිවන පරස්පර කිහිපයක් සදහන් කරයි. ඒ පරස්පර නිරවුල් කර ගැනීම රිකාඩෝගේ ව්‍යාපෘතිය සාර්තක වීමට අවශ්‍ය ය. මාක්ස් මෙය අපෝහකය ගැන ඔහුගේ අදහස් සමඟ එක් කරයි// ( පිටුව 6)”

මා කියා ඇත්තේ මෙය නො වේ. ඒංගල්ස්ගේ හා මාක්ස්ගේ අපෝහක භාවිතය එකක් යැයි මා මෙහි කියා නැත. මා කියන්නේ ඒංගල්ස් ස්වභාවික විද්‍යාව අපෝහකයෙන් විග්‍රහ කිරීමට උත්සාහ කළ ලෙස මාක්ස් ද ‘දේශපාලන ආර්ථිකය’ විෂය අපෝහකයෙන් විහ්‍රහ කිරීමට උත්සාහයක් දැරූ බව පමණි. මා පැහැදිලිව දෙදෙනාගේ ක්‍රියාකාරීත්වයේ වෙනස පොතේ 8 වෙනි පිටුවේ අග දක්වා ඇත.

ඉන්පසු පහත එන වැරදි නිරීක්ෂණය සිදුවන්නේ ‘ඇත්තෙන් ම’, ‘ඇත්ත ලෝකයේ’, ‘සැබෑ පැවැත්මක්’ යන ව්‍යවහාර පාරභෞතික පැවැත්මක් (metaphysical existence/being) සමඟ පටලවා ගැනීම නිසා ය. ඔවුන් ‘යථ’ භාවිත කරන්නේ කාගේ අර්ථයෙන් ද යන්නත් මෙහි දී ඇසීමට සිදු වේ. ‘යථ’ යනු මනසින් පරිබාහිරව පවතින යථාර්ථයක් ද? ජේසුස් වහන්සේ ගැන ජිජැක්ගේ කතාවේ තේරුම මොකක් ද? මේ වචන භාවිතය exit way out කණ්ඩායම නිවැරදිව කරන බවට සහතික විය හැකි ද?

ලැකෝන් ජිජැක් ආදීන් කෙසේ වෙතත් මාක්ස් wirklich (real) යන වචනය භාවිත කරන ආකාරය ඔවුන් කියන ආකාරය නො වේ. මාක්ස් real කියන්නේ ඉන්ද්‍රිය ගෝචර හා හිතින් මවා ගත හැකි ලෝකයට ය. (‘සුමනසිරි ලියනගේගේ සංයුක්ත වියුක්ත පටලැවිල්ල වීඩියෝව බලන්න.’) පාරභෞතික ලෝකයක් ගැන නො වේ. (මාක්ස් පාරභෞතික යථාර්ථයක් විශ්වාස කළේ ද යන්න වෙන ම සාකච්ඡාවකි.) පහත ඔවුන් උපුටා ගන්වන දෑ අර්ථකථනය කොට ඇති ආකාරය නොමඟ යාමකි.

“මෙලෙස තමලු මාක්ස්ගේ ඉදිරිපත් කිරීම් අපෝහකය සමඟ ගැට ගසා මාක්ස් භාෂාවෙන් ගොඩනගන ලද ලෝකයක් වෙනුවට ඇත්ත භෞතික ලෝකයක් නැතහොත් ද්‍රව්‍යවදී යතාර්තයක් පවතින බව පිළිගෙන් තමන්ගේ විචාරය ඉදිරිපත් කර ඇති බව සහ එබැවින් මාක්ස් ඉදිරිපත් කලේ බොරුවක්, නැතහොත නිශේදනය කල යුත්තක් බව ඔප්පු කිරීමට උත්සහා දරයි. ඒ මෙසේය.

// ආර්ථික මතවදයේ පවතින පරස්පර ප්‍රවාද සංශෝදනය කොට සංවර්ධනය කොට විසඳාගත යුතුය යනුවෙන් නොගෙන මාක්ස් ඇත්තෙන්ම සමජයේ එම පරස්පර පවතින ලෙස ගනියි.//

// මාක්ස් අපෝහකය නිසා, ප්‍රතිවිරුද්ධත්වයන් ගැන තමාට ඇති ආශාව නිසා, රිකඩෝගේ ප්‍රවාද පරස්පර සහිතව එලෙසින්ම පිළිගනියි. රිකාඩෝට අනුව ඇත්ත ලොකයේ පරස්පර තිබිය නොහැකි වුවද මාක්ස්ට අනුව ඇත්ත ලෝකයේ පරස්පර තිබිය හැකි අතර ඒ පරස්පර වර්ධනය වී එක් අවස්තාවකකින් පසුව ගුනාත්මකව සන්තතියකට පෙරළී යයි// ( 6 පිටුව)

// මාක්ස්ගේ දේශපාලන ආර්ථිකයට විචාරය හෙවත් රිකාඩෝගේ පරස්පර සැබෑ පැවැත්මක් ලෙස දකින්නට යන යොජනාව අලුත් ආර්ථික විද්‍යාවක් ලෙස අර්ථ දැක්වීම වරදකි.// ( 8 පිටුව).”

Exit way out කණ්ඩායම ඉවසිල්ලෙන් යුතුව දෙවන පරිච්ඡේදයත් කියවූයේ නම් 14 සහ 15 වැනි පිටුවල මෙහි අදහස් පාරභෞතික අර්ථයක් නො දක්වන බව විස්තර කොට දක්වා තිබෙනු දැක ගත හැකි ය.  

පහත උපුටා ගැනීම වැරදි ය: “එලෙස තමලුට අලුත් ගොඩනැවීමක් නොමැතිනම් තමලු දන්නා එකකින් තව එකක් විග්‍රහ කල යුතුය. එලෙස තමලු දන්නේ පවතින ලිබරල් එකය. එයට අනුව මාක්ස් ඉදිරිපත් කල විචාරය වැරදිය. එසේනම් පවතින එක තුල තමලු පයගසාගෙන මාක්ස්ව නිශේධනය කිරීමක් කරයි. එබැවින් තමලු යනු තවදුරටත් ලිබරල් ආත්මයකි.”

අලුත් ගොඩනැංවීමක් නොමැතිව යමක් විවේචනය කළ නො හැකි ය යන්න ම වැරදි ය. මෙය Exit way out කණ්ඩායම ම කලින් කියූ පරිදි මාක්ස් ආර්ථික විද්‍යාවක්/ දේශපාලන ආර්ථිකයක් ගොඩනැඟූවේ නැති නමුත් එය විවේචනය කළේ ය යන ඔවුන්ගේ ම ප්‍රකාශය අභියෝගයට ලක් කරයි. කෙසේ වෙතත් ලෝකයේ ඇත්තේ ‘ලිබරල් එක’ පමණක් නොවන අතර ‘ලිබරල් එක’ට විරුද්ධ වූයේ මාක්ස් පමණක් නො වේ. ජොවෑන් රොබින්සන්ගේ විවේචන මාක්ස්ගේ විවේචනවලට වඩා අතිශයින් දරුණු ය. මාක්ස් ස්මිත්ගේ රිකාඩෝගේ ඔළුව අතගායි. ජොවෑන් රොබින්සන් ආර්ථික විද්‍යාව ම රැවටිල්ලක් බව කීවා ය. ආර්ථික විද්‍යාඥයන් යනු සියල්ලන්ට පෙනෙන ලෙස හාවකු තොප්පිය අස්සට දමා ඉන්පසු එම තොප්පියෙන් හාවා අරගෙන පෙන්වන මැජික්කාරයන් පිරිසකැයි ඔච්චම් කළා ය. මාක්ස් මේ අහලකවත් නැත. මගේ පොතේ රොබින්සන්, ස්‍රෆ්ෆා, ස්ටීඩ්මන්, රෛෂල්ට්, ඔකිෂෝ, හාන්ස් බක්හවුස්, හෛන්‍රිෂ් ආදී ‘ලිබරල් එක’ට විරුද්ධ අය මාක්ස්ට කරන විවේචන මත පදනම් වී ඇත.

පහත උපුටා ගැනීම බලන්න: “ ප්‍රවාද වල පරස්පර නිවැරදි කිරීමෙන් ගැටලුව විසදාගත හැකිය යන ලිබරල් මතය සනාත කරන්නෙකි.” ඔහු සැඟවීමට තිස්සේම උත්සහ දරන ලිබරල් ආත්මය මෙම පොත හරහා නැවත එලියට ප්‍රකාශමාන වී ඇත.”

ප්‍රශ්නය වන්නේ එසේ කළ හැකි ද යන්න නො වේ. මේ වන විට ආර්ථික විද්‍යාඥයන් එසේ කොට පෙන්වා හමාර ය. එසේ පෙන්වීමට පෙර නම් මෙය ‘මතය’ ලෙස කිව හැකි ය. දැන් ඔවුන් ඒ බව පෙන්වා හමාර නිසා ප්‍රවාදවල පරස්පර නිවැරදි කළ හැකි ය යන්න පිළිගැනීමට සිදු වේ. මෙහි තෝරා ගැනීමක් දැන් නැත.

 “මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේ නැත යනුවෙන් මුලින් මතෘකාවක් යොදන මොහු මාක්ස් ස්මිත්ට ඩේවිඩ් රිකාඩෝට විරුද්ධව සහ සමගාමීව යන ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේදැයි විමසයි. එහි පරමාර්තය මාක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේය යන්නය.”

මාතෘකාවේ ම ඇත්තේ ‘නැත’ කියා ය. පරමාර්ථය කළේ ය යන්න වන්නේ කෙසේ ද? මෙය වැරදි තර්කයකි.

“එබැවින් ඔහුට අනුව මාක්ස් ලිබරල් ආර්ථික ගොඩනැගිමට සමානව ආර්ථික ගොඩනැංවීමක් කර නැති බැවින් ඔහු ආර්ථික විද්‍යාර්ථයෙක් නොවන බව පවසනවා මිස අප පෙනීසිටින අර්තයෙන් මක්ස් ආර්ථික විද්‍යාවක් ඉදිරිපත් කලේ නැත යන්න ඉදිරිපත් කරනවා නොවේ. ඇත්ත්ටම ලිබරල් ඇකඩමිකයකුගේ තැන සිට මාක්ස් ලිබරල් ආර්ථික ගොඩනැංවීමට ආසන්න ලෙසවත් දෙයක් කර නැත යන තක්කඩි ප්‍රවේශය ඔහු විසින් ගෙන ඇත”

එය කරුණක් ලෙස නිවැරදි යැයි ඔවුනුත් පිළිගන්නවා නම් තක්කඩි ප්‍රවේශයක් වන්නේ කෙසේ ද?

“මාක්ස්ව ද්‍රව්‍යවාදියකුගේ සහ භෞතිකවාදියකුගේ තැන සිරකිරීමට ගත් අසාර්තක උත්සහයයි. අපට අනුව මාක්ස් එවැන්නකු නොවේ.” මෙවැන්නක් නොමැති බව කලින් පිළිතුරු දී ඇත.

“එමනිසා මාක්ස් ධනවදයේ පරස්පර ලෙසල ගෙන එන කරුණු හුදෙක් ප්‍රවාද වල පරස්පරතා නොව ධනවදි නිශ්පාදන ක්‍රියාවලියෙහිම පරස්පරයන්‍ ය. මාක්ස් එසේ පවසන දේ සෝවියට් අර්තයෙන් භෞතිකවාදයක් හෝ ද්‍රව්‍යවදයක් උවද මාක්ස් මින් අර්තවත් කරන්නේ මිනිසා ක්‍රියා කරන්නේම ඔවුන් විසින් ගොඩනගාගන්නා ලද යතාර්තයක බවයි. ඇත්ත ලෝකයක් මිනිසාට හමු නොවෙයි. මිනිසා තමන් භෂාවෙන් හදුනාගත් ලෝකයක් තුල වැඩ කිරීම යනු පරස්පරයකි”

මෙය මා කියන කතාවට අදාළ නො වේ. මිනිසා ඔවුන් ගොඩනැඟූ ලෝකයක සිටීමෙන් යම් කාලයක පවතින ශාස්ත්‍රීය ප්‍රවාදයකට අනුව අනිවාර්යයෙන් එම ලෝකය වැඩ කරන බව නො කිය වේ. ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ නිර්මාණයකි. නිවුටන්ගේ කාලයේ ලෝකය නිවුටන් ඇතුළු සමකාලීනයන්ගේ නිර්මාණයකි. එසේ වූවා කියා ඒ ලෝකයේ බුධ ග්‍රහයා නිවුටන් නියම අනුව ම හැසිර්‍රීම සිදු වන්නේ නැත. එහෙයින් මේ විවේචනය මා කියන දේට අදාළ නැත.

“ධනවදී ආර්ථික මොඩලයද ක්‍රියාත්මක වන්නේ එම පරස්පරය තුලයි. එම පරස්පරය සමනය කල නොහැකිය” මේ කතා කරන්නේ එම පරස්පර ගැන නොව රිකාඩෝ කියූ පරස්පර ගැන ය. මම නැවත මගෙන් උපුටා දැක්වුවහොත්,
"ආර්ථිකය සම්බන්ධව මේ ප්‍රවේශයේ ප්‍රධාන අර්බූදයක් පවතී. අපෝහකය අනුව වර්තමාන සමාජයේ නිසගයෙන් පරස්පර පැවතිය යුතු බව පිළිගත්තද ඒ පරස්පර රිකඩෝ දැක්වූ පරස්පරම බව කීමට හේතුවක් නැත. පරස්පර සඳහා මක්ස්ගේ ලැදියව මත ඔහු එකල දුටු මේ පරස්පරවල එල්ලීම මිස මේ පරස්පරම සනාථ කිරීමට මාක්ස් හෝ පසුකලීනයකු හෝ සමත් වන්නේ නැත. අපෝහකය පිළිගත්තද රිකාඩෝ කී පරස්පර ඔහුගේ ප්‍රවදයේ පවතින අර්බූද යැයි කියා එය නිරවුල් කිරීමට බාධාවක් නැත. ඇත්තෙන්ම පසුව ආර්ථික විද්‍යාවේ සිදුවූයේ ද එයයි. රිකඩොගේ පරස්පර නොමැති ප්‍රවද නිර්මාණය විය"

//අප තමලුගෙන් අහන්නේ මිනිසුන් හට කෙදිනක හෝ ඇත්ත යතර්තයක් හමුවෙනවාද යන්නයි. එසේනම් ඒ කවදාද යන්නත් විමසිය යුතුය.// හමු නො වේ.

මේ ඔවුන්ගේ මාක්ස්ගේ යෙදුමක් පරිවර්තනයකි. ඔවුන්ය අනුව මට එය හමු වී නැත. මේ කොටස දස් කපිටාල් හි ප්‍රසිද්ධතම කොටසකි. එය හමු නොවූවා යන්න ම විහිළුවකි. // මාගේ දයලෙත්තික වික්‍රමය හෙගේලියානු විධික්‍රමයෙන් වෙනස් වනවා පමණක් නොව එහි සෘජු විරෝධය ද වෙයි. හෙගල්ට මානව මොළයෙහි ජීව ක්‍රියාවලිය, එනම්, චින්තන ක්‍රියවලිය සැබෑ ලෝකයෙහි විශ්වකර්මයා ය. ඔහු ” අදහස” යන නාමය යටතේ චින්තන ක්‍රියාවලිය ස්වාදීන වස්තුවක් බවට පවා පත්කරයි. ඔහුට සැබෑ ලෝකය ” අදහසෙහි” බාහිර, ප්‍රපංචමය ස්වරූපය පමණි. ඊට ඉදුරා පටහැණි පරිදි මට පරමාදර්ශය යනු අන් කිසිවක් නොව මානව මනැස තුළ පරාවර්තනය වූ, චින්තන ස්වරූප බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලෝකයම ය. //

(ඔවුන්ගේ මේ පරිවර්තයයේ අවුල් තැන් ඇත.)

ඔවුන්ගේ ලිපියෙන් පහත උපුටා ගැනීම බලන්න.

“මෙමගින් මාක්ස් කියා සිටින්නේ කුමක්ද? හෙගේලියානු අර්තයට අනුව සැබෑ ලෝකය ( ද්‍රවයමය ලෝකය) යනු මානව මොලයෙහි ජීව ක්‍රියාවලිය නැතිනම් චින්තන ක්‍රියාවලිය ( සහජඥානය) විසින් විශ්මකර්ම ලෙස නිර්මාණය කර ඇති බවයි. ඔහුගේ අර්තයෙන් අදහස යන නාමය පවා චින්තන ක්‍රියාවලියට අයත් ස්වාධීන වස්තුවකි. එනම් ඔහුට සැබෑ ලොකය යනු අදහසෙහි ( චින්ත්නයේ) බාහිර ප්‍රපංචමය ස්වරූපයකි යනුවෙනි. ඊට ඉදුරාම පටහැනිව මාක්ස් කියන්නේ තමන්ට පරමාදර්ශය යනු අන් කිසිවක් නොව මානව මනැස තුල පරාවර්තනය වූ ( රූප, ශබ්ද, ගන්ද, රස, වස්තු සහ ක්‍රියාකාරකම් ලෙස , මෙහි වස්තු යනු හදුනා නොගත් විශ්වයකි) චින්තන ස්වරූපය බවට පරිවර්තනය වූ ද්‍රව්‍යමය ලොකය ය. එනනම් පෙර කී පරාවර්තනයන් චින්තනමය ස්වරූපයට පරිවර්තනය වූ, නැතහොත් භාෂාමය ලෙස පරිකල්පනය කරන ලද ද්‍රව්‍යමය ලෝකයකි ලෙසය. එනම් එසේ පරිකල්පනය නොකල ද්‍රව්‍ය හරහා චින්තනය ලැබෙන වස්තුවේ එහිම වූ ගුනයක් හෝ සහජඥානයේහී ආකෘතියක් මාක්ස් නොහඟවයි. මෙය භෞතිකවාදයෙන් ( ද්‍රව්‍යවාදයෙන්) ඉදුරාම වෙනස් ස්තාවරයකි. තමලු මෙය මගහැර ගියේ කෙසේද? සොවියට් ද්‍රව්‍යවදයක් ගැන කතා කරන මාක්ස්වාදීන්ට මෙය අහුවන්නේ නැත. එපමණක් නොව මක්ස් ෆොයාබග් තිසීස තුලින් තවත් එය තහවුරු කරයි. එනම්, ෆොයාබග් පළමු තිසීසයේ මෙසේ සදහන් කරයි.”

Ideal පරමාදර්ශය ලෙස පරිවර්තනය කිරීම නිවැරදි ද? Exit way out කණ්ඩායමට අනුව ඇත්තේ මිනිසුන් ගොඩනැඟූ ලෝකයකි. එහෙත් ඔවුන්ගේ මාක්ස් පරිවර්තනයට අනුව නම් ද්‍රව්‍යමය ලෝකයක් ඇති අතර එය පරාවර්තනය වනවා පමණි. පරිකල්පනය නොකළ ද්‍රව්‍ය හරහා චින්තතනය ලැබෙන ගුණ ආදී පටලැවිලි වාක්‍ය පැත්තකින් තියමු. පරිකල්පනය නොකර පවතින ද්‍රව්‍ය පවතී ද? එසේ නම් ඒ බව දන්නේ කෙසේ ද? මේවාට Exit way out කණ්ඩායමට උත්තර තිබේ ද?

 මේ ෆොයබාහ් තීසිස පරිවර්තනය කිසි ම තේරුමක් ලබා නොදෙන බාගෙට ලියූ වාක්‍යවලින් සමන්විත බවක් පෙනේ. කෙසේ වෙතත් ඉහත දක්වා ඇති ලෙස මගේ විග්‍රහය සඳහා ෆොයබාඃ තීසසයෙන් බලපෑමක් නැත. මම ෆොයබාඃ තීසසයේ අදාළ කරුණු ගැන දෙවන පරිච්ඡේදයේ සැකෙවින් දක්වා ඇත.

// ෆොයාබග් ඇතුලු මෙතෙක් පවතින සියලු භෞතිකවාදයන්ගේ මූලික වරද වී ඇත්තේ දෙය, යථාර්ථය, ඉන්ද්‍රීය ගෝචරත්වය සංකල්පගත වී ඇත්තේ වස්තුවෙහි හෝ සහජඥනයේහී හෝ ( intuition) ආකෘතියක් ( ආකාරයක්) තුල පමණක් වන මුත් එය එසේ වන්නේ මිනිස් ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වය ලෙස, ව්‍යවහාරික ලෙස, ආත්මීය ලෙස නොවේ. එතැන් සිට එය භෞතිකවාදයට හත්පසින්ම වෙනස් භාවයකින් ( ආකාරයකින්), එහි ක්‍රියාකාරී පැත්ත ( අංශය) විඥානවාදය විසින් වියුක්තව වර්ධනය කෙරුනේ, සත්තකින්ම විඥානවාදය එවැනි ඉන්ද්‍රීයමූලික ක්‍රියාකාරීත්වයක් හෝ යථ (real) නොදන්නවා යන්නෙහි සිට ය. ෆොයාබාග්ට සත්‍යවශයෙන්ම සංකල්පිත වස්තූන්ගෙන් වෙනස් වන ඉන්ද්‍රීයගෝචර වස්තූන් අවශ්‍ය කරනමුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම් මිනිස් ක්‍රියාකාරීත්වය යනු වාස්තවික ක්‍රියාකාරීත්වය බවයි. එම නිසා ” ක්‍රිස්තියානියෙහි සාරය” තුළ න්‍යායික අකාරය නියම ( සත්‍යමය) වශයෙන් එකම මිනිස් ආකරය හැටියට පමණක් සලකන්නේ වයවහරය සංකල්පගත වී ඇත්තේ සහ ස්තාපිත වී ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් විද්‍යාමාන වීම තුළය යන්න සලකන අතරතුරය. එම නිසා ඔහු ග්‍රහණය කරනොගන්නේ ව්‍යවහාරික – විවේචනාත්මක ක්‍රියාකාරීත්වයෙහි ” විප්ලවකාරී ” අර්ථාන්විත භාවයයි.// යනුවෙනි.

මෙබඳු දෙයක් ඉන්පසු කියා ඇත. “මෙම ප්‍රශ්නය පසුව ඇසීමට ඉතිරි කරමින් තමලුගේ ඊලඟ බොරුවට ප්‍රවේශ වන්නේනමු, මාක්ස්ගේ දයලෙත්තිකය සහ තමලු මාක්ස් ඔහුගේ ආර්ථික විචාරයන්ට පාදම කරගත් අපෝහකය. සාවද්‍ය කි. එංගල්ස් සොබාදහමේ දයලෙත්තිකය ලෙස ගෙන ආ විකාරය වන්නේ තමලු පවසන ලෙස වස්තුවක හෝ වස්තූන් දෙකක ප්‍රතිපක්ෂයන්ගේ ප්‍රතිවිරෝධය සහ අන්තර් ක්‍රියාකාරීතවයි. මෙම ප්‍රතිවිරෝධය හෝ අන්තර ක්‍රියාකාරීත්වය ප්‍රමාණාත්මකව වර්ධනය වී යම් මොහොතක ගුනාත්මක වෙනසක්ට ( තමලුගේ ලෙස සහවාදයක් හෝ සංවාදයක්) ( පිටුව 5) ලක්වේ. එතනින් පසුව එය පැවති ප්‍රපංචය නොව වෙනත් එකකි. එංගල්ස්ගෙන් පසුව ප්ලෙකනොව්, අෆනාසියෙව් ආදීන් සෝවියට් රුසියාව හරහා වර්ධනය කල විකාරය මෙයයි. ඛේදවාචකය යනු එය තමලුට මාක්ස් ඉදිරිපත් කල එකයැයි පැවසීමට සිදුවීමයි. එය මාක්ස්ව කියවා ගැනීමේදී සිදු වූ තවත් ගැටළුවකි.

මාක්ස් දයලෙත්තිකය ලෙස හදුන්වන්නේ, මිනිසුන්ගේ ඉන්ද්‍රීයමූලික, ව්‍යවහාරික සහ ආත්මීය ක්‍රියාකාරීත්වයයි. එය ඇත්තවශයෙන්ම මාක්ස් ඉදිරිපත් කරන්නේ මෙසේය.



මෙමගින් මාක්ස් පවසන්නේ මිනිස් ක්‍රියාකාරීත්වය සිදුවන්නේ ව්‍යවහාරිකව බවමය. එනම්, මාක්ස් පවසන්නේ මිනිසුන්ගේ එක් ව්‍යවහාරික ක්‍රියාවක ප්‍රතිඵලය ඔවුන්ගේ ඊලඟ ක්‍රියාකාරීත්වයට මූලාරම්භය සපයන බවයි. …. සියලු විද්‍යාවන්ද දයලෙත්තිකය. දැනුමද දයලෙත්තිකය, මේවා සත්භාවාත්මකය.

මෙනයින් ගත්කල මාක්ස්ගේ දයලෙත්තිකය යනු තමලු මාක්ස්ව කොටුකිර්‍ර්මට ව්‍යාජ ලෙස ගෙන එන එංගල්ස්ගේ සොබාදහමේ දයලෙත්තිකය නොවේ.”

මාක්ස් කොහේ හෝ ‘තමන්ගේ අපෝහකය’ මෙය ය කියා නිශ්චිතව යමක් දක්වා නැත. හෙගල්ගෙන් හා ෆොයබාඃගෙන් තම අදහස් වෙනස් වන ආකාර පමණක් කියා ඇත. එමෙන් ම විවිධ තැන්වල විධික්‍රම ගැන කියා ඇත. එක් එක් අය ඒවායින් තමාට කැමති දේ මාක්ස්ගේ අපෝහකය නම් මෙය ය යනුවෙන් ඉදිරිපත් කිරීම සිදු වේ.

කෙසේ නමුත් මාක්ස් ‘අපෝහකය’ යනු මෙය ය කියා දැක්වූ කොටස් දර්ශනයේ  දරිද්‍රතාවේ ඇත.

What constitutes dialectical movement is the coexistence of two contradictory sides, their conflict and their fusion into a new category. The very setting of the problem of eliminating the bad side cuts short the dialectic movement. It is not the category which is posed and opposed to itself, by its contradictory nature, it is M. Proudhon who gets excited, perplexed and frets and fumes between the two sides of the category.

මෙය මාක්ස්ගේ මුල් ම යුගයේ ලියැවිල්ලකි.  කෙසේ නමුත් මේවා ඒංගල්ස්ට සීමා නො වේ. 

අනික් අතට, මේ Exit way out කණ්ඩායම මා දැක නැතැයි කී දස් කපිටාල් දෙවන ජර්මන් සංස්කරණයට මාක්ස් ලියූ පසුවදනේ අග කොටසයි. ඔවුන්ට අග කොටස නොපෙනුණාදැයි සැක සිතේ.

"In its mystified form, dialectic became the fashion in Germany, because it seemed to transfigure and to glorify the existing state of things. In its rational form it is a scandal and abomination to bourgeoisdom and its doctrinaire professors, because it includes in its comprehension and affirmative recognition of the existing state of things, at the same time also, the recognition of the negation of that state, of its inevitable breaking up; because it regards every historically developed social form as in fluid movement, and therefore takes into account its transient nature not less than its momentary existence; because it lets nothing impose upon it, and is in its essence critical and revolutionary.

The contradictions inherent in the movement of capitalist society impress themselves upon the practical bourgeois most strikingly in the changes of the periodic cycle, through which modern industry runs, and whose crowning point is the universal crisis. That crisis is once again approaching, although as yet but in its preliminary stage; and by the universality of its theatre and the intensity of its action it will drum dialectics even into the heads of the mushroom-upstarts of the new, holy Prusso-German empire."

දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්

 මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්


කාල් මාක්ස්ගේ දස් කපිටාල් කෘතියේ කියැවෙන ආර්ථික විග්‍රහය අසාර්ථක වන්නේ ඇයි දැයි මේ පොතේ විග්‍රහ කෙරේ..

ග්‍රන්ථ වෙබ් අඩවියෙන් හා සරසවි පොත්හල්වවලින් මිල දී ගත හැකි ය.

https://grantha.lk/marksiyanu-arthika-thamalu-maliththa-kathru-grantha-distribution.html




Left Bot වම්බොට්ටා

වම්බොට්ටා (Left bot) හෙවත් වාමාංශික රොබෝ වෙත ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිත කරන්න.

Link to the robot, Left bot - A true leftist to chat, is below.

https://ora.ai/chat/c5eea091-00a2-4c3f-b8bf-146d6e845649

* රොබෝ නිර්මාල් දේවසිරිගේ රසිකයකු බව පෙනේ.

* Bot looks like a die-hard fan of Nirmal Dewasiri.




 පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභය හා ධනවාදය

 පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභය හා ධනවාදය




අපි ඔකිෂෝ ප්‍රමේයය විදහා දැක්වීම සඳහා ගත් උදාහරණය සලකමු.
 
 
 
ලාභ රේට්ටුව = 83.45%
 
 එහි යකඩ කර්මාන්තයක් හා ඉරිඟු කර්මාන්තයක් ඇත. යකඩ කර්මාන්තයේ ශ්‍රම යෙදවීම් යකඩවලින් තැනූ පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රවලට බාර දුන්නේ යැයි සිතන්න. තිරිඟු කර්මාන්තයට ද එවන් ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර නිර්මාණය කළ බව සිතන්න. දැන් ශ්‍රම යෙදූ ප්‍රමාණ ශුන්‍ය වේ. යකඩ යෙදූ ප්‍රමාණවලට වෙනසක් නොවේ යැයි ගන්න. යන්ත්‍රවල ආයුකාලය විශාල බැවින් එක් ඉරිඟු හෝ යකඩ ඒකකයට බෙදී එන යන්ත්‍රයේ ක්ෂය වී යන වටිනාකම අතිශයින් ම කුඩා ය. අනෙක් අතට තාක්ෂණ දියුණුව සමඟ උපකරණ ද වඩා කාර්යක්ෂම වී අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් සැකසේ. එම නිසා උදාහරණය සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණ එලෙසින් ම තැබිය හැකි ය.
 


දැන් මාක්ස්ගේ ශ්‍රම න්‍යාය අනුව යෙදවෙන ශ්‍රමය ශුන්‍ය බැවින් එක්වන අමතර වටිනාකම ශුන්‍ය විය යුතු ය. එහෙයින් නොගෙවා ගත් ශ්‍රමය හෙවත් අතිරික්ත වටිනාකම ද ශුන්‍ය ය. දස් කපිටාල් තුන්වෙනි වෙළුමට අනුව ආර්ථිකයේ ලාභ රේට්ටුව ද ශුන්‍ය වී යයි.

මාක්ස්ට අනුව කොහොමටත් කවර මට්ටමකින් වුවත් තාක්ෂණික වර්ධනයෙන් ශ්‍රම අනුපාතය අඩු කළ විට ලාභ රේට්ටුව අඩු විය යුතු ය. පූර්ණ ස්වයංක්‍රීය තත්වයේ දී එය ශුන්‍ය විය යුතු ය. එහෙත් ඔකිෂෝ ප්‍රමේයය පෙන්වා දුන්නේ කාර්යක්ෂමතාව ඉහල නැංවීමෙන් සමතුලිත අවස්ථාවේ දී ද ලාභ රේට්ටුව ඉහල යන බවයි. ශ්‍රමය ශුන්‍ය කරන පූර්ණ ස්වයංක්‍රීයත්වයට පවා මෙය අදාළ ය.

අපි දැන් ලාභ රේට්ටුව ගණනය කොට බලමු.
r = 1, p_2 = p_1/2

අපට පෙනෙන්නේ ලාභ රේට්ටුව 100%ක් ලෙස ලැබෙන බවයි. (මුලින් ලැබුණේ ඊට අඩු අගයකි: 83.45%) එහෙයින් පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක දී ද ඉහල ලාභයක් ලැබෙන බව අපට පෙනේ. දැන් මෙවන් තත්වයක් ප්‍රායෝගිකව පැවතිය හැකි දැයි ප්‍රශ්න කරමින් බොහෝ කුතර්ක මතු විය හැකි ය.

මේ නිසා අප වඩාත් ඒත්තු යන මෙවැනි සරල ආර්ථිකයක උදාහරණයක් සලකමු.

ඉන්ධන (ඛනිජ තෙල්) කර්මාන්තයක්, යකඩ කර්මාන්තයක් හා ඉරිඟු කර්මාන්තයත් යන තුන ඇත.

මේ කර්මාන්ත තුන ම ස්වයංක්‍රීය රොබෝ  යන්ත්‍ර සහ ස්වයංක්‍රීය නිෂ්පාදන රේඛා (automated production line ඔස්සේ සිදුවේ) 

ඉන්ධන නිධි, යකඩ පතල්, ඉරිඟු ගොවිපොලවල් ආදී සියල්ල ද රොබෝ යන්ත්‍ර මඟින් සිදු කෙරෙන අතර ප්‍රවාහනය ගොඩබෑම ආදිය ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර මඟින් සිදු වී ස්වයංක්‍රීය නිෂ්පාදන රේඛා ඇති කර්මාන්තශාලාවල දී නිමිද්‍රව්‍ය බවට පත් කෙරේ. 

දැන් යකඩ කර්මාන්තයේ යන්ත්‍ර සඳහා යකඩ හා ඉන්ධන අවශ්‍ය ය. ඉන්ධන කර්මාන්තයේ යන්ත්‍ර සඳහා ද යකඩ හා ඉන්ධන අවශ්‍ය ය. ඉරිඟු කර්මාන්තය සඳහා ද යකඩ හා ඉන්ධන අවශ්‍ය ය.

මේ ප්‍රමාණ පහත ආකාරයෙන් ගනිමු. ඒකකයක් නිපදවීමට අවශ්‍ය යකඩ හා ඉන්ධන එකක ප්‍රමාණ දැක්වේ.
 
 

යකඩ ඒකකයක මිල p1 නම්, ඉන්ධන ඒකකයක මිල p2 නම්, ඉරිඟු ඒකකයක මිල p3 නම්, ලාභ රේට්ටුව r නම් අපට මෙසේ සමීකරණ ලිවිය හැකි ය.

දැන් මේවා විසඳීමෙන් අපට ලාභ රේට්ටුව හා හුවමාරු අනුපාත මෙසේ ලැබේ.
r≈22.4254, p_2≈0.376887 p_1, p_3≈0.0184088 p_1
ලාභ රේට්ටුව = 2242.54%

 මෙයින් අපට පෙනෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය සමාජයේ ද වෙළෙඳභාණ්ඩවල මිල, භාණ්ඩ හුවමාරු වීම හා ලාභ රේට්ටුව ඇති බවත් මෙය තවදුරටත් ධනවාදී ආර්ථිකයක් ම බවත් ය.

මාක්ස් ගෘන්ට්‍රිසහි මෙවන් ආර්ථිකයක් ගැන ලියයි (Fragments on Machine නම් ප්‍රකට සටහන් සමූහය). පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර ඇති ආර්ථිකයක මාක්ස්ගේ ශ්‍රම න්‍යාය අනුව ලාභය ශුන්‍ය විය යුතු ය. එමෙන් ම ඔහුට අනුව ප්‍රාග්ධනයට සාපේක්ෂව ශ්‍රමය අඩු කරන සෑම විට ම ලාභ රේට්ටුව සමතුලිතයේ දී අඩුව යා යුතු ය. ඒ නිසා මාක්ස්ට අනුව එවන් තත්වයක් ඇති වීමට පෙර ධනවාදය කඩන් වැටෙනු ඇත. ධනවාදය තුළ මෙවන් තත්වයක් තිබිය නොහැකි ය. එහෙත් ඔකිෂෝ ප්‍රමේයය අනුව පෙනෙන්නේ මෙහි ප්‍රතිලෝමය වන බව ය. තාක්ෂණික දියුණුව සමඟ ලාභ රේට්ටුව වැඩි වෙමින් ගොස් පූර්ණ ස්වයංක්‍රීය තත්ත්වයේ දී ඉහල ලාභ රේට්ටුවක් ඇති වෙළෙඳපොළක් පවතිනු ඇත. එහෙයින් මේ තත්වය ධනවාදය රැඩිකල් ලෙස ඛණ්ඩනය වීමකින් එන්නක් නොව ධනවාදය තුළ තත්ත්වයකි.

 ගෘන්ට්‍රිසහි දී මාක්ස් මේ සඳහා General intellect යනුවෙන් සංකල්පයක් ගොඩ නංවයි. මෙහි කීප ආකාරයක විකල්ප අදහස් රාශියක් මාක්ස් අතින් කියැවේ. මෙවන් සමාජයක් ධනවාදය පෙරළීමෙන් එන පශ්චාත් ධනවාදී සමාජයක් බැවින් වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය ඊට අදාළ නො වේ. මෙවන් යුගයක බුද්ධිමය හා කායික ශ්‍රමය අතර වෙනස නොමැති වනු ඇත. සමහර විට ධනවාදය වටිනාකම වෙනත් ආකාරයකට ගොඩනඟන න්‍යායක් ඊට පෙර ස්ථාපිත කරගත හැකි ය. මෙවැනි යුගයක යන්ත්‍ර සාමාන්‍ය යන්ත්‍ර නොව බුද්ධිමය හැකියාවක් සහිත නිසා ඒවාට වටිනාකම් නිර්මාණය කළ හැකි ය.

මේ අදහස් මාක්ස් ඊට පසු වර්ධනය කරන්නේ නැත. දස් කපිටාල් වෙත ගෙන යන්නේ නැත. ඒ වෙනුවට ඔහුට අසුවන්නේ ශ්‍රමය නොමැතිව ලාභය ලබන්නේ කෙසේ ද යන පරිකල්පිත අනාගතයක් ගැන ප්‍රශ්නය ඔහු අත්දකින වර්තමානයේ ද ශ්‍රමය අඩුවෙන් යොදාගැනෙන ව්‍යාපාර අනෙක් ව්‍යාපාර සේ ම සම මට්ටමින් ලාභ ලබන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ලෙස මුණ ගැසෙන බවයි. මාක්ස් පරිණාමන ප්‍රශ්නයට අසාර්ථක නමුත් යම් පිළිතුරක් ලබා දෙන්නේ එහෙයිනි.

මේ විස්තරය මෙතෙකින් නැවැත්වීමට හැකි නමුත් බාධාව වන්නේ බොහෝ මාක්ස්වාදීන් චිත්‍රපටි පිස්සන් වීම ය. මේ නිසා ඔවුහු පූර්ණ ස්වයංක්‍රීය නිෂ්පාදන සහිත ආර්ථිකයක් යන්න දකින්නේ සාමාන්‍ය ධනවාදී සමාජයක් ලෙස නොව අප අත්දකින සමාජයෙන් සම්පූර්ණ වෙනස් වූ නාටකීය සමාජයක් ලෙස ය. එවන් නාටකීය පූර්ණ ස්වයංක්‍රීය සමාජ අවම වශයෙන් පරිකල්පනයේ හෝ තිබිය හැකි ය. එහෙත් එය පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක් පැවතිය හැකි එක ම ආකාරය හෝ ප්‍රායෝගිකව වඩාත් බලාපොරොත්තු විය හැකි ආකාරය හෝ නො වේ. 

චිත්‍රපටිවලින් තාක්ෂණය තේරුම් ගන්නට යන අයට රොබෝ යන්ත්‍රයක් විස්තර කරන්නට කීවහොත් විස්තර කරන්නේ මිනිසකු වැනි ස්වරූපයේ රොබෝවකි. බහුතරයක් රොබෝ යන්ත්‍ර එවැනි ආකාරයේ නොවේ. රොබෝ යන්ත්‍රයක් යනු බාහිර පරිසරයෙන් දත්ත රැගෙන යම් උපදෙස් පද්ධතියකට අනුව ක්‍රියාත්මක වෙන යන්ත්‍රයකි. එහි සංවේදක (sensors) හා ප්‍රචාලක (actuators) ඇති අතර උපදෙස් පද්ධතියක් හා යාමන ක්‍රමවේදයක් ඇත (controlled system). එම නිසා එම යන්ත්‍රයට උපදෙස් අනුව ස්වයංව වැඩ කිරීමට හැකි ය. CNC යන්ත්‍ර ආදී යන්ත්‍රවලට දි ඇති සැලැස්මකට අනුව යමක් නිර්මාණය කිරීමට හැකි ය. ස්වයංක්‍රීය නිෂ්පාදන රේඛාවකට (automated production line) මේ නිෂ්පාදනයක් පියවරෙන් පියවර විවිධ යන්ත්‍ර වෙත ගෙන ගිය හැකි ය. 

ගොවිපොළක් ගත්ත ද මෙසේ ය. බීජ පැළ කිරීමේ, තවාන් දැමීමේ, සිටුවීමේ, අස්වනු නෙළීමේ යන්ත්‍ර ඇත. ඩ්‍රෝන මඟින් කෘමිනාශක, පොහොර යෙදිය හැකි ය.  ස්වයංක්‍රීය රථ ධාවනය හා සමාන ක්‍රමවේදවලින් මේවා ක්‍රියාත්මක කළ හැකි ය. (සංවෘත භූමියක නිසා මෙය ඊට වඩා සරල ය) පළිබෝධකයින් හා සත්ත්ව හානි වළක්වා ගැනීමට කැමරා ආදියෙන් නිරීක්ෂණය, සතුන් එළවීම සඳහා ස්වයංක්‍රීය මෙවලම් ආදිය යොදාගත හැකි ය. 

මේ ආකාරවලින් පූර්ණ ස්වයංක්‍රීය වගා බිම් හා කර්මාන්තශාලා සැකසිය හැකි අතර ප්‍රවාහනය, පැටවීම ආදිය ද ස්වයංක්‍රීය කළ හැකි ය. පතල් ද ස්වයංක්‍රීය කළ හැකි ය. මේවා සඳහා යන්ත්‍ර විසින් ලෝකය පාලනය කරනු ලැබීම වැනි චිත්‍රපට කතන්දර අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ යන්ත්‍රවලට සැලසුම් හා ඉහල මට්ටමෙන් (high level) විධාන ලබා දීමයි. ව්‍යාපාර සංවිධාන විධි ක්‍රමය සකසා ඊට අනුකූලව යන්ත්‍රවල පරාමිති සැකසීමයි (configuration). මේවා ධනපතියාගේ කාර්යයන් ය. ධනපතියා ශ්‍රමිකයන්ට නියෝග දීම වෙනුවට යන්ත්‍රවලට නියෝග දී ව්‍යාපාර සංවිධානය කරයි. 

මෙවන් තත්ත්වයක් තාක්ෂණිකව පැවැත්මේ අර්බුදයක් නැත. මාක්ස්වාදීන් හා මාක්සියානුවන් බොහෝ විට පටලාගන්නේ මෙවන් තත්වයක දී මිනිස් කාර්යයන් මොනවා ද යන්න ගැන ය.

බොහෝ දෙනා මෙවන් තත්වයක් ගැන ඇති කරගෙන සිටිනා නාටකීය වැරදි වැටහීම් මේවා ය.
1. මෙවන් තත්ත්වයක දී මිනිස්සු වැඩ කරන්නේ නැත.
2. මෙවන් තත්ත්වයක දී මිනිස්සුන්ට ආදායම්, වැටුප් නැත.
3. මෙවන් තත්ත්වයක දී මිනිසුන්ට ආදායම් නැති නිසා වෙළෙඳභාණ්ඩ මිල දී ගැනීමේ හැකියාවක් නැත. 
4. මිල දී ගන්නන් නැති නිසා වෙළෙඳ භාණ්ඩ විකිණීමක් නැත.

උදාහරණ ලෙස දස් කපිටාල් පෙන්ගුවින් සංස්කරණයට හැඳින්වීම ලියන අර්න්ස්ට්  මැන්ඩල් මාක්ස්ගේ වටිනාකම සඳහා සාධන තුනක් දක්වයි. ඔහු එහි එක් සාධනයක් අරඹන්නේ ශ්‍රමය නොයෙදෙන සමාජයක වැටුප් නැත, මිලදී ගැනීම් නැත, එනිසා හුවමාරුව නැත, එහෙයින් වටිනාකම නො උපදී, එනයින් වටිනාකම යනු ශ්‍රමය ගැබ් වීම ය යන්න ය. මේ සාධනය කිරීමට නම් මැන්ඩල් එවන් ආර්ථිකයක දී ද වටිනාකම පිළිබඳව සමාන නියම යෙදේ යැයි සැලකිය යුතු ය. එසේ නැති නම් එවන් සමාජයක දී වටිනාකම ශුන්‍ය බව කියා වර්තමාන ආර්ථිකයට ද සමස්ත වටිනාකම ශ්‍රමයෙන් එන බව කීව අර්ථ විරහිත වේ.

ඉහත ගණනයෙන් අප දුටුවේ පූර්ණ ස්වයංක්‍රීය සමාජයේ ද ලාභ හා මිල ඇති බවයි. එමෙන් ම එය අවසාන වශයෙන් සාමාන්‍ය ධනවාදී ආර්ථික හැසිරීම්වලින් මෙය වෙන් වන්නට හේතුවක් නැති බවයි. මෙවන් තත්ත්වයක ආදායම් හා මිල දී ගැනීම් සිදුවන්නේ කෙසේ ද යන මාක්ස්වාදීන්ගේ කුතුහලය විසඳා ගැනීමට අපි මීළඟට යොමු වෙමු.

බඩු මිල ශුන්‍ය බවට පත් නොවන්නේ ඇයි? ශ්‍රමය නොයෙදෙන තත්ත්වයක දී වුවත් ඇති තරම් යකඩ ඉබේ පහළ වෙන්නේ නැත. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට තෙල් අවශ්‍ය ය. කැඩුණු යන්ත්‍ර වෙනුවට නව යන්ත්‍ර යෙදිය යුතු ය. එසේ ම ඇති තරම් තෙල් ඉබේ ලැබෙන්නේ නැත. මේ සඳහා යන්ත්‍ර සෑදීම, අලුත් වැඩියාව, ප්‍රතිස්ථාපනය කිරීම අවශ්‍ය ය. ඉරිඟු සෑදීමට ද යන්ත්‍ර හා තෙල් අවශ්‍ය ය. මේ නිසා හිතූ හිතූ හැටියට වෙළෙඳභාණ්ඩ මැවිය නො හැකි ය. මේවා සැපයුම්වලින් සීමා වී ඇත. ඒ නිසා තවදුරටත් පිරිවැයක් ඇත. 

මේවා මිල දී ගන්නේ කවුද? ඉතා පැහැදිලි ලෙස ඉන්ධන කර්මාන්තකරුවන්ට යකඩ අවශ්‍ය ය. යකඩ කර්මාන්තකරුවන්‍ට ඉන්ධන අවශ්‍ය ය. ඉරිඟු කර්මාන්තකරුවන්ට යකඩ හා ඉන්ධන අවශ්‍ය ය. මේ නිසා යකඩ හා ඉන්ධන මිල දී ගැනීම දිගට ම සිදුවනු ඇත. එමෙන් ම මේ ව්‍යාපාරවලට ආදායම් ද ඇත. ඒවායින් මිල දී ගැනීම ද කළ හැකි ය.

දැන් අපට ඉතිරිව ඇත්තේ ඉරිඟු විකුණන්නේ කාට ද ඔවුන් ඉරිඟු මිල දී ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයයි.

අපි බොහෝ දෙනා සිතන පරිදි මෙවන් ආර්ථිකයක ශ්‍රමිකයන් නැත කියා හුදු තර්කය සඳහා සිතමු. එසේ වුව ද එම ආර්ථිකයේ ධනපතියන් සිටින අතර ඔවුහු ද ආහාරවලින් යැපෙති. එම නිසා යකඩ, ඉන්ධන, ඉරිඟු කර්මාන්තවල නියැලෙන ප්‍රාග්ධන හිමියන් මේ ඉරිඟු මිලට ගෙන ඉන් යැපෙනු ඇත. මේ ආර්ථිකයේත් ලාභය පවතින බව අප දුටු නිසා ඔවුන්ට ඉරිඟු මිල දී ගැනීම සඳහා හැකියාවක් ඇත. මේ නිසා මේ ආර්ථික ගනුදෙනු හා හුවමාරු දිගින් දිගට ම සිදු වනු ඇත.

ඊළඟට අනිවාර්යයෙන් ම ඇසෙන ප්‍රශ්නය ධනපතියන් නොවන මිනිසුන්ට කුමක් සිදුවේ ද යන්න ය. මෙයට පිළිතුරු ලබා දිය හැකි සරල ආකාර දෙකක් පවතී. මෙම අවධිය වන විට ශ්‍රමිකයන් ඉවත්ව ගොස් සියලු දෙනා විවිධ ආකාරවල ප්‍රාග්ධන හිමියන් බවට පත් වෙති. ඉහත දැක්වූ පරිදි තව ම ලාභ රේට්ටුවක් ඇති නිසා ඔවුන්ට ආදායමක් ලැබේ. අනික් ආකාරය වන්නේ ආදායම් නොලබන පිරිස් යනු පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක නොව වර්තමානයේ ද ජීවත්වන පිරිසක් බව සිහිපත් කිරීමයි. රාජ්‍ය හා පුණ්‍ය ආයතන මඟින් බදු හා අරමුදල් වශයෙන් මේ පිරිස් නඩත්තු කෙරේ. පූර්ණ ස්වයංක්‍රීය සමාජයක එවන් පිරිසක් සිටීම ද එක් විය හැකියාවකි. ආහාර ද්‍රව්‍ය ආදියේ මිල දැනට වඩා අඩුව තිබීමත් ධනපතියන් අත තවදුරටත් ලාභය තිබීමත් නිසා මෙවන් පිරිසක් නඩත්තු කිරීමේ හැකියාව ලැබේ. අනෙක් අතට ධනවාදීන් සිය අරමුදල් යොදවා මූලික ජීවන පැවැත්මක් සඳහා අවශ්‍ය දෑ විවෘතව නොමිලයේ ලබා දීමත් බලාපොරොත්තු විය හැකි ය. වර්තමානයේ ම අප නොමිලයේ සැපයෙන සේවා කොපමණක් ලබා ගන්නවා ද? ඒවායේ පිරිවැය දරන්නේ ධනපතියන් ය.

මාක්ස්වාදීන් පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක් පරිකල්පනය කරන ආකාරයේ ප්‍රධාන ම වරද මෙය නො වේ. ඔවුහු ඉතා ම ඉක්මන් හා නොසැලකිලිමත් ලෙස මෙවන් ආර්ථිකයක ශ්‍රමිකයන් සිටිය නොහැකි යැයි කියන්නට ඉක්මන් වෙති.

මාක්ස් වටිනාකම ජනනය කරන ශ්‍රමය කියා කීවේ සාමාජයීයව අනිවාර්ය ශ්‍රමය ආශ්‍රයෙන් එන වියුක්ත ශ්‍රමය මිස සංයුක්ත ශ්‍රමය නො වේ. සාමාජයීයව අනිවාර්ය ශ්‍රමය යෙදවීම ශුන්‍ය වූ නමුත් සංයුක්ත ශ්‍රමය යොදවන ශ්‍රමිකයන් සිටීමට පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක පැවැත්ම බාධාවක් නොවේ.

ජව විවීමේ යන්ත්‍ර ඒමෙන් පසු අතින් වියන ශ්‍රමිකයන් හා කර්මාන්ත සහමුලින් අතුරුදහන්ව ගියේ නැත. ඒවායින් කොටසක් යම් සුඛෝපභෝගී භාණ්ඩ තත්ත්වයක් ආරෝපණය කරගෙන ලාභ ලැබී ය. අනෙක් කොටසට රෙදි ලාභ වීම නිසා අතින් වියූ රෙදි විකිණීමට හැකි වූයේ පෙරට වඩා අඩු මුදලකට ය. මේ නිසා මේ කර්මාන්තවල ලාභය අඩු විය. එහෙත් ලාභය සහමුලින් ම ශුන්‍ය ව ගියේත් නැත. මේ කර්මාන්තවල නියැලෙන ශ්‍රමිකයන් ජව විවීමේ යන්ත්‍ර භාවිත කළ ශ්‍රමිකයන් හා සමාන කාලයක් වැය කළ ද නිෂ්පාදනයට එකතු කරන්නේ වියුක්ත ශ්‍රමය අඩු ප්‍රමාණයකි.

පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ‍‍ද ලාභය හා මිල පවතින බව අපි ගණනය කිරීමෙන් දුටුවෙමු. එවන් ආර්ථිකයක් පවතිද්දී ම පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රවලින් සිදු කළ හැකි දෑ අතින් කරන ශ්‍රමිකයන් හෝ සාමාන්‍ය යන්ත්‍රවලින් කරන ශ්‍රමිකයන් හෝ සිටීමට බාධාවක් නැත. එම අවධියේ ඒවාට ශ්‍රමිකයන් අනිවාර්යයෙන් අවශ්‍ය නොවන බැවින් සාමාජයීය අනිවාර්ය ශ්‍රමය ශුන්‍ය ය. එහෙත් මේ ශ්‍රමිකයෝ සංයුක්ත ශ්‍රමය යොදවා වැටුප් ලබති. මෙවැනි කර්මාන්ත පවත්වාගෙන යන ධනපතියන්ට ලැබෙන ලාභය සාමාන්‍ය ලාභ රේට්ටුවට වඩා අඩු වනු ඇත. එහෙත් සාමාන්‍ය ලාභ රේට්ටුව ඉහල අගයක ඇති නිසා එවිට ද යම් ලාභයක් ලැබෙනු ඇත. එමෙන් ම ශ්‍රමිකයන් ද තමන් යොදන වියුක්ත ශ්‍රම ප්‍රමාණය වන ශුන්‍යය ඉක්මවූ වැටුපක් තම සංයුක්ත ශ්‍රමය වෙනුවෙන් ලබනු ඇත.

ශ්‍රමිකයන් අවශ්‍ය නැති නම් ධනපතියන් ශ්‍රමිකයන් යොදා ගනු ඇත්තේ ඇයි? පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා විශාල ආරම්භක පිරිවැයක් අවශ්‍ය වනු ඇත. එම නිසා ඊට අවශ්‍ය ප්‍රාග්ධනයක් සංචිත වන තෙක් ඊට වඩා අඩු ආරම්භක පිරිවැයක් අවශ්‍ය වන ශ්‍රමිකයන් යොදා ගැනීම වැනි සාපේක්ෂව කාර්ක්ෂමතාව අඩු ක්‍රමවේද මුලින් යොදා ගැනෙනු ඇත. පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිත වනු ඇත්තේ එය දැරිය හැකි ආරම්භක ප්‍රාග්ධනයක් සංචිත වීමෙන් පසුවයි.

 මාක්ස්ගේ අවධානයට යොමු වූයේ සමතුලිතයේ පවතින ආර්ථිකයයි. සමතුලිතය වටා විචලනය වන ආර්ථිකයේ ගතිකයන් මාක්ස්ගේ අවධානයට එතරම් ලක් වූයේ නැත (එය ඔහුගේ අරමුණ නො වුණි). එහෙත් අපට දැක ගත හැක්කේ මේ විචලනයන් හා ව්‍යාපාරයක් සමතුලිත වන තුරු ඊට ඇති ප්‍රවේශ බාධා, ආරම්භක ප්‍රාග්ධනය සපයා ගැනීමේ ගැටලු ආදී දේ පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක (ඇත්තෙන් ම වර්තමාන ආර්ථිකයට ද මෙය පොදු ය) ධනපතියන් නොවන පිරිස් වෙත ආදායමක් ලබා දීමට තීරණාත්මක කාර්යභාරයක් සිදු කරන බව ය.

අනෙක් අතට මේ වන විට පවා ව්‍යවසයකයින් බිහි කරවන හා ඔවුන්ට ප්‍රාග්ධනය සම්පාදනය කරවන මාර්ග විවිධාකාරයෙන් වර්ධනය වී ඇත. ණය හා වෙන්චර් ප්‍රාග්ධනය ආදී උපාය මාර්ග මඟින් ස්ථාවර ධනපතියන් නොවූ එසේ පත් වීමට විභවයක් ඇති අස්ථාවර ආරම්භක ව්‍යාපාරවල යෙදෙන්නන් පිරිසක් හෙවත් ධනපතියන්ගේ සංචිතයක් පවත්වා ගැනීම වර්තමානයේ සිදු කෙරේ. ණය අනුපාතික අවදානම සමඟ බැඳෙන ප්‍රමාණයට වඩා ව්‍යාපාරවල ලාභ අවදානම සමඟ බැඳී ඇති නිසා ණය ගැනීමෙන්, වෙන්චර් ප්‍රාග්ධනය සපයා ගැනීමෙන්, සුරංගනා ආයෝජකයන් හමුවීමෙන් (angel investors) වැනි මාර්ගවලින් ව්‍යාවසායයන් ඇරඹීමට තවත් පිරිසකට ඉඩ කඩ ලැබී ඇත. මේ සංසිද්ධි කෙටිකාලීන අසමතුලිතතා ආශ්‍රයෙන් උපදින දේ ය.

එහෙයින් සමතුලිතයේ ඇති පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක පසුබිමේ පවතින අසමතුලිතයේ විවිධ ශ්‍රමික හා ව්‍යාපාරික අවස්ථා පැන නඟිනු ඇත. මේවායේ සමාජ අනිවාර්ය ශ්‍රමය ශුන්‍ය වේ. එනම් මේවා සමතුලිත ව්‍යාපාරවලට යන්ත්‍ර යොදවා කළ හැකි දේ ය. 

වැදගත් කරුණ වන්නේ පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභ නොපවතී යන්න වැරදි අදහසක් බව හා ඒ ලාභ සමතුලිතය තුළ ම පැන නඟින බව හඳුනා ගැනීම ය. මේ ලාභ ධනපතියන් නොවන පිරිස් අතරත් බෙදී යාම සඳහා ආර්ථිකයේ අසමතුලිතතා හා සංවිධිතව ගන්නා ප්‍රතිපත්තිමය තීරණ වැනි දේ වැදගත් ය.

තවදුරටත් පර්යේෂණ හා වර්ධන ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කළ යුතු ය. මේවායේ ලාභ රේට්ටු සමඟ සම්බන්ධය සාමාන්‍ය ශ්‍රමිකයන්ගේ මෙන් ඍජු නො වේ. බොහෝ විට මේවා වියදම මිස ලාභ නො උපදවනු ඇත. සාර්ථක වන ඒවා ක්‍රියාවට නැංවෙන්නේ එය නිර්මාණය කිරීමට බුද්ධිමය ශ්‍රමය යෙදවූවන්ට ද යම් දේපළ අයිතියක් හිමිවන පරිදි ය. (උදාහරණ ලෙස නකමුරා නඩුව බලන්න) 

අනෙක් අතට පූර්ණ ස්වයංක්‍රීය සමාජයක ලාභ රේට්ටුව තවදුරටත් වර්ධනය කිරීමට ද ඉඩකඩ ඇත. යන්ත්‍ර තව තවත් කාර්යක්ෂම කිරීම, යන්ත්‍ර කුඩා කිරීම, ඉන්ධන පරිභෝජනය අවම කිරීම, අමුද්‍රව්‍ය නාස්තිය අවම කිරීම ආදී පිරිවැය අඩු කොට ලාබ රේට්ටුව වැඩි කරවන දියුණු කිරීම් කළ හැකි ය. ඔකිෂෝ ප්‍රමේයය අනුව සමතුලිතයේ දී පවා මේවායින් ලාභ රේට්ටුව තව වැඩි වනු ඇත.
 
 
 
 උදාහරණ:

 r≈28.8368, p_2≈0.442735 p_1, p_3≈0.00966845 p_1
 ලාභ රේට්ටුව = 2883.68%
(මුලින් ලැබුණේ මීට අඩු අගයකි: 2242.54%)
 
තාක්ෂණය කාර්යක්ෂම කරවීම සඳහා යම් බුද්ධිමය ශ්‍රමය යොදවන පිරිසක් සිටිනු ඇත. බොහෝ මාක්සියානුවන් ලිස්සා යාමේ පහසු මාර්ගයක් ලෙස තෝරාගන්නා යන්ත්‍ර නිපදවෙන්නේ කාර්යක්ෂම වන්නේ මෙවැන්නන්ගේ ශ්‍රමයෙනි යන්න ශ්‍රම න්‍යාය ගලවා ගැනීමට අසමත් අතිශයින් දුර්වල පිළිතුරකි.

මේ වැඩි දියුණු කිරීම් නොමැතිව පවා ඉහළ ලාභ රේට්ටුවක් ලබමින් ආර්ථික සමතුලිතය පවත්වාගත හැකි ය. ඒ සඳහා මෙම ශ්‍රමය අත්‍යවශ්‍ය නොවේ. මේ බුද්ධිමය ශ්‍රමය අවශ්‍ය සමතුලිතය බිඳ ලාභ රේට්ටුව වඩාත් ඉහල නව සමතුලිතයක් වෙත ආර්ථිකය තල්ලු කිරීම සඳහා ය.

අවශ්‍ය නම් සමතුලිතයක් දිගට ම පවත්වා ගත හැකි බැවින් තාක්ෂණ වර්ධනයක් ඇති කරන බුද්ධිමය ශ්‍රමයේ පරිණාමනයට ආර්ථික ලාභයේ සම්භවය බැර කිරීමේ හැකියාවක් නො පවතී.

අනෙක් අතට විනෝදාස්වාදය සම්බන්ධ ක්‍රියාකාරකම් දිගින් දිගිට ම පවතිනු ඇති අතර ඒවා ද මිනිසුන් හට ආදායම් ලබා දෙනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය සාවද්‍ය බව පරිණාමන ප්‍රශ්නය හා ඔකිෂෝ ප්‍රමේයය පෙන්වා දෙන බව ය. එමෙන් ම ඒවා පෙන්වා දෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක් බිහි වීම සඳහා ධනවාදයෙන් ඛණ්ඩනය වීමේ අවශ්‍යතාවක් නැති බවයි. එනම් වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායේ සීමා රාමුව තුළ ම අපට මෙම ආර්ථිකය හමුවන අතර පරිණාමන ප්‍රශ්නයෙන් හා ඔකිෂෝ ප්‍රමේයයෙන් ඔප්පු වන ශ්‍රම න්‍යායේ සාවද්‍යතාව ඉතා හොඳින් අපට ආදර්ශනය (demonstrate) කරයි

අලුත් ම සටහන

බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

  බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම   බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...

වැඩිපුර කියවූ ලිපි