පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභය හා ධනවාදය

 පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභය හා ධනවාදය




අපි ඔකිෂෝ ප්‍රමේයය විදහා දැක්වීම සඳහා ගත් උදාහරණය සලකමු.
 
 
 
ලාභ රේට්ටුව = 83.45%
 
 එහි යකඩ කර්මාන්තයක් හා ඉරිඟු කර්මාන්තයක් ඇත. යකඩ කර්මාන්තයේ ශ්‍රම යෙදවීම් යකඩවලින් තැනූ පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රවලට බාර දුන්නේ යැයි සිතන්න. තිරිඟු කර්මාන්තයට ද එවන් ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර නිර්මාණය කළ බව සිතන්න. දැන් ශ්‍රම යෙදූ ප්‍රමාණ ශුන්‍ය වේ. යකඩ යෙදූ ප්‍රමාණවලට වෙනසක් නොවේ යැයි ගන්න. යන්ත්‍රවල ආයුකාලය විශාල බැවින් එක් ඉරිඟු හෝ යකඩ ඒකකයට බෙදී එන යන්ත්‍රයේ ක්ෂය වී යන වටිනාකම අතිශයින් ම කුඩා ය. අනෙක් අතට තාක්ෂණ දියුණුව සමඟ උපකරණ ද වඩා කාර්යක්ෂම වී අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් සැකසේ. එම නිසා උදාහරණය සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණ එලෙසින් ම තැබිය හැකි ය.
 


දැන් මාක්ස්ගේ ශ්‍රම න්‍යාය අනුව යෙදවෙන ශ්‍රමය ශුන්‍ය බැවින් එක්වන අමතර වටිනාකම ශුන්‍ය විය යුතු ය. එහෙයින් නොගෙවා ගත් ශ්‍රමය හෙවත් අතිරික්ත වටිනාකම ද ශුන්‍ය ය. දස් කපිටාල් තුන්වෙනි වෙළුමට අනුව ආර්ථිකයේ ලාභ රේට්ටුව ද ශුන්‍ය වී යයි.

මාක්ස්ට අනුව කොහොමටත් කවර මට්ටමකින් වුවත් තාක්ෂණික වර්ධනයෙන් ශ්‍රම අනුපාතය අඩු කළ විට ලාභ රේට්ටුව අඩු විය යුතු ය. පූර්ණ ස්වයංක්‍රීය තත්වයේ දී එය ශුන්‍ය විය යුතු ය. එහෙත් ඔකිෂෝ ප්‍රමේයය පෙන්වා දුන්නේ කාර්යක්ෂමතාව ඉහල නැංවීමෙන් සමතුලිත අවස්ථාවේ දී ද ලාභ රේට්ටුව ඉහල යන බවයි. ශ්‍රමය ශුන්‍ය කරන පූර්ණ ස්වයංක්‍රීයත්වයට පවා මෙය අදාළ ය.

අපි දැන් ලාභ රේට්ටුව ගණනය කොට බලමු.
r = 1, p_2 = p_1/2

අපට පෙනෙන්නේ ලාභ රේට්ටුව 100%ක් ලෙස ලැබෙන බවයි. (මුලින් ලැබුණේ ඊට අඩු අගයකි: 83.45%) එහෙයින් පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක දී ද ඉහල ලාභයක් ලැබෙන බව අපට පෙනේ. දැන් මෙවන් තත්වයක් ප්‍රායෝගිකව පැවතිය හැකි දැයි ප්‍රශ්න කරමින් බොහෝ කුතර්ක මතු විය හැකි ය.

මේ නිසා අප වඩාත් ඒත්තු යන මෙවැනි සරල ආර්ථිකයක උදාහරණයක් සලකමු.

ඉන්ධන (ඛනිජ තෙල්) කර්මාන්තයක්, යකඩ කර්මාන්තයක් හා ඉරිඟු කර්මාන්තයත් යන තුන ඇත.

මේ කර්මාන්ත තුන ම ස්වයංක්‍රීය රොබෝ  යන්ත්‍ර සහ ස්වයංක්‍රීය නිෂ්පාදන රේඛා (automated production line ඔස්සේ සිදුවේ) 

ඉන්ධන නිධි, යකඩ පතල්, ඉරිඟු ගොවිපොලවල් ආදී සියල්ල ද රොබෝ යන්ත්‍ර මඟින් සිදු කෙරෙන අතර ප්‍රවාහනය ගොඩබෑම ආදිය ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍ර මඟින් සිදු වී ස්වයංක්‍රීය නිෂ්පාදන රේඛා ඇති කර්මාන්තශාලාවල දී නිමිද්‍රව්‍ය බවට පත් කෙරේ. 

දැන් යකඩ කර්මාන්තයේ යන්ත්‍ර සඳහා යකඩ හා ඉන්ධන අවශ්‍ය ය. ඉන්ධන කර්මාන්තයේ යන්ත්‍ර සඳහා ද යකඩ හා ඉන්ධන අවශ්‍ය ය. ඉරිඟු කර්මාන්තය සඳහා ද යකඩ හා ඉන්ධන අවශ්‍ය ය.

මේ ප්‍රමාණ පහත ආකාරයෙන් ගනිමු. ඒකකයක් නිපදවීමට අවශ්‍ය යකඩ හා ඉන්ධන එකක ප්‍රමාණ දැක්වේ.
 
 

යකඩ ඒකකයක මිල p1 නම්, ඉන්ධන ඒකකයක මිල p2 නම්, ඉරිඟු ඒකකයක මිල p3 නම්, ලාභ රේට්ටුව r නම් අපට මෙසේ සමීකරණ ලිවිය හැකි ය.

දැන් මේවා විසඳීමෙන් අපට ලාභ රේට්ටුව හා හුවමාරු අනුපාත මෙසේ ලැබේ.
r≈22.4254, p_2≈0.376887 p_1, p_3≈0.0184088 p_1
ලාභ රේට්ටුව = 2242.54%

 මෙයින් අපට පෙනෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය සමාජයේ ද වෙළෙඳභාණ්ඩවල මිල, භාණ්ඩ හුවමාරු වීම හා ලාභ රේට්ටුව ඇති බවත් මෙය තවදුරටත් ධනවාදී ආර්ථිකයක් ම බවත් ය.

මාක්ස් ගෘන්ට්‍රිසහි මෙවන් ආර්ථිකයක් ගැන ලියයි (Fragments on Machine නම් ප්‍රකට සටහන් සමූහය). පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර ඇති ආර්ථිකයක මාක්ස්ගේ ශ්‍රම න්‍යාය අනුව ලාභය ශුන්‍ය විය යුතු ය. එමෙන් ම ඔහුට අනුව ප්‍රාග්ධනයට සාපේක්ෂව ශ්‍රමය අඩු කරන සෑම විට ම ලාභ රේට්ටුව සමතුලිතයේ දී අඩුව යා යුතු ය. ඒ නිසා මාක්ස්ට අනුව එවන් තත්වයක් ඇති වීමට පෙර ධනවාදය කඩන් වැටෙනු ඇත. ධනවාදය තුළ මෙවන් තත්වයක් තිබිය නොහැකි ය. එහෙත් ඔකිෂෝ ප්‍රමේයය අනුව පෙනෙන්නේ මෙහි ප්‍රතිලෝමය වන බව ය. තාක්ෂණික දියුණුව සමඟ ලාභ රේට්ටුව වැඩි වෙමින් ගොස් පූර්ණ ස්වයංක්‍රීය තත්ත්වයේ දී ඉහල ලාභ රේට්ටුවක් ඇති වෙළෙඳපොළක් පවතිනු ඇත. එහෙයින් මේ තත්වය ධනවාදය රැඩිකල් ලෙස ඛණ්ඩනය වීමකින් එන්නක් නොව ධනවාදය තුළ තත්ත්වයකි.

 ගෘන්ට්‍රිසහි දී මාක්ස් මේ සඳහා General intellect යනුවෙන් සංකල්පයක් ගොඩ නංවයි. මෙහි කීප ආකාරයක විකල්ප අදහස් රාශියක් මාක්ස් අතින් කියැවේ. මෙවන් සමාජයක් ධනවාදය පෙරළීමෙන් එන පශ්චාත් ධනවාදී සමාජයක් බැවින් වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය ඊට අදාළ නො වේ. මෙවන් යුගයක බුද්ධිමය හා කායික ශ්‍රමය අතර වෙනස නොමැති වනු ඇත. සමහර විට ධනවාදය වටිනාකම වෙනත් ආකාරයකට ගොඩනඟන න්‍යායක් ඊට පෙර ස්ථාපිත කරගත හැකි ය. මෙවැනි යුගයක යන්ත්‍ර සාමාන්‍ය යන්ත්‍ර නොව බුද්ධිමය හැකියාවක් සහිත නිසා ඒවාට වටිනාකම් නිර්මාණය කළ හැකි ය.

මේ අදහස් මාක්ස් ඊට පසු වර්ධනය කරන්නේ නැත. දස් කපිටාල් වෙත ගෙන යන්නේ නැත. ඒ වෙනුවට ඔහුට අසුවන්නේ ශ්‍රමය නොමැතිව ලාභය ලබන්නේ කෙසේ ද යන පරිකල්පිත අනාගතයක් ගැන ප්‍රශ්නය ඔහු අත්දකින වර්තමානයේ ද ශ්‍රමය අඩුවෙන් යොදාගැනෙන ව්‍යාපාර අනෙක් ව්‍යාපාර සේ ම සම මට්ටමින් ලාභ ලබන්නේ කෙසේ ද යන ප්‍රශ්නය ලෙස මුණ ගැසෙන බවයි. මාක්ස් පරිණාමන ප්‍රශ්නයට අසාර්ථක නමුත් යම් පිළිතුරක් ලබා දෙන්නේ එහෙයිනි.

මේ විස්තරය මෙතෙකින් නැවැත්වීමට හැකි නමුත් බාධාව වන්නේ බොහෝ මාක්ස්වාදීන් චිත්‍රපටි පිස්සන් වීම ය. මේ නිසා ඔවුහු පූර්ණ ස්වයංක්‍රීය නිෂ්පාදන සහිත ආර්ථිකයක් යන්න දකින්නේ සාමාන්‍ය ධනවාදී සමාජයක් ලෙස නොව අප අත්දකින සමාජයෙන් සම්පූර්ණ වෙනස් වූ නාටකීය සමාජයක් ලෙස ය. එවන් නාටකීය පූර්ණ ස්වයංක්‍රීය සමාජ අවම වශයෙන් පරිකල්පනයේ හෝ තිබිය හැකි ය. එහෙත් එය පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක් පැවතිය හැකි එක ම ආකාරය හෝ ප්‍රායෝගිකව වඩාත් බලාපොරොත්තු විය හැකි ආකාරය හෝ නො වේ. 

චිත්‍රපටිවලින් තාක්ෂණය තේරුම් ගන්නට යන අයට රොබෝ යන්ත්‍රයක් විස්තර කරන්නට කීවහොත් විස්තර කරන්නේ මිනිසකු වැනි ස්වරූපයේ රොබෝවකි. බහුතරයක් රොබෝ යන්ත්‍ර එවැනි ආකාරයේ නොවේ. රොබෝ යන්ත්‍රයක් යනු බාහිර පරිසරයෙන් දත්ත රැගෙන යම් උපදෙස් පද්ධතියකට අනුව ක්‍රියාත්මක වෙන යන්ත්‍රයකි. එහි සංවේදක (sensors) හා ප්‍රචාලක (actuators) ඇති අතර උපදෙස් පද්ධතියක් හා යාමන ක්‍රමවේදයක් ඇත (controlled system). එම නිසා එම යන්ත්‍රයට උපදෙස් අනුව ස්වයංව වැඩ කිරීමට හැකි ය. CNC යන්ත්‍ර ආදී යන්ත්‍රවලට දි ඇති සැලැස්මකට අනුව යමක් නිර්මාණය කිරීමට හැකි ය. ස්වයංක්‍රීය නිෂ්පාදන රේඛාවකට (automated production line) මේ නිෂ්පාදනයක් පියවරෙන් පියවර විවිධ යන්ත්‍ර වෙත ගෙන ගිය හැකි ය. 

ගොවිපොළක් ගත්ත ද මෙසේ ය. බීජ පැළ කිරීමේ, තවාන් දැමීමේ, සිටුවීමේ, අස්වනු නෙළීමේ යන්ත්‍ර ඇත. ඩ්‍රෝන මඟින් කෘමිනාශක, පොහොර යෙදිය හැකි ය.  ස්වයංක්‍රීය රථ ධාවනය හා සමාන ක්‍රමවේදවලින් මේවා ක්‍රියාත්මක කළ හැකි ය. (සංවෘත භූමියක නිසා මෙය ඊට වඩා සරල ය) පළිබෝධකයින් හා සත්ත්ව හානි වළක්වා ගැනීමට කැමරා ආදියෙන් නිරීක්ෂණය, සතුන් එළවීම සඳහා ස්වයංක්‍රීය මෙවලම් ආදිය යොදාගත හැකි ය. 

මේ ආකාරවලින් පූර්ණ ස්වයංක්‍රීය වගා බිම් හා කර්මාන්තශාලා සැකසිය හැකි අතර ප්‍රවාහනය, පැටවීම ආදිය ද ස්වයංක්‍රීය කළ හැකි ය. පතල් ද ස්වයංක්‍රීය කළ හැකි ය. මේවා සඳහා යන්ත්‍ර විසින් ලෝකය පාලනය කරනු ලැබීම වැනි චිත්‍රපට කතන්දර අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ යන්ත්‍රවලට සැලසුම් හා ඉහල මට්ටමෙන් (high level) විධාන ලබා දීමයි. ව්‍යාපාර සංවිධාන විධි ක්‍රමය සකසා ඊට අනුකූලව යන්ත්‍රවල පරාමිති සැකසීමයි (configuration). මේවා ධනපතියාගේ කාර්යයන් ය. ධනපතියා ශ්‍රමිකයන්ට නියෝග දීම වෙනුවට යන්ත්‍රවලට නියෝග දී ව්‍යාපාර සංවිධානය කරයි. 

මෙවන් තත්ත්වයක් තාක්ෂණිකව පැවැත්මේ අර්බුදයක් නැත. මාක්ස්වාදීන් හා මාක්සියානුවන් බොහෝ විට පටලාගන්නේ මෙවන් තත්වයක දී මිනිස් කාර්යයන් මොනවා ද යන්න ගැන ය.

බොහෝ දෙනා මෙවන් තත්වයක් ගැන ඇති කරගෙන සිටිනා නාටකීය වැරදි වැටහීම් මේවා ය.
1. මෙවන් තත්ත්වයක දී මිනිස්සු වැඩ කරන්නේ නැත.
2. මෙවන් තත්ත්වයක දී මිනිස්සුන්ට ආදායම්, වැටුප් නැත.
3. මෙවන් තත්ත්වයක දී මිනිසුන්ට ආදායම් නැති නිසා වෙළෙඳභාණ්ඩ මිල දී ගැනීමේ හැකියාවක් නැත. 
4. මිල දී ගන්නන් නැති නිසා වෙළෙඳ භාණ්ඩ විකිණීමක් නැත.

උදාහරණ ලෙස දස් කපිටාල් පෙන්ගුවින් සංස්කරණයට හැඳින්වීම ලියන අර්න්ස්ට්  මැන්ඩල් මාක්ස්ගේ වටිනාකම සඳහා සාධන තුනක් දක්වයි. ඔහු එහි එක් සාධනයක් අරඹන්නේ ශ්‍රමය නොයෙදෙන සමාජයක වැටුප් නැත, මිලදී ගැනීම් නැත, එනිසා හුවමාරුව නැත, එහෙයින් වටිනාකම නො උපදී, එනයින් වටිනාකම යනු ශ්‍රමය ගැබ් වීම ය යන්න ය. මේ සාධනය කිරීමට නම් මැන්ඩල් එවන් ආර්ථිකයක දී ද වටිනාකම පිළිබඳව සමාන නියම යෙදේ යැයි සැලකිය යුතු ය. එසේ නැති නම් එවන් සමාජයක දී වටිනාකම ශුන්‍ය බව කියා වර්තමාන ආර්ථිකයට ද සමස්ත වටිනාකම ශ්‍රමයෙන් එන බව කීව අර්ථ විරහිත වේ.

ඉහත ගණනයෙන් අප දුටුවේ පූර්ණ ස්වයංක්‍රීය සමාජයේ ද ලාභ හා මිල ඇති බවයි. එමෙන් ම එය අවසාන වශයෙන් සාමාන්‍ය ධනවාදී ආර්ථික හැසිරීම්වලින් මෙය වෙන් වන්නට හේතුවක් නැති බවයි. මෙවන් තත්ත්වයක ආදායම් හා මිල දී ගැනීම් සිදුවන්නේ කෙසේ ද යන මාක්ස්වාදීන්ගේ කුතුහලය විසඳා ගැනීමට අපි මීළඟට යොමු වෙමු.

බඩු මිල ශුන්‍ය බවට පත් නොවන්නේ ඇයි? ශ්‍රමය නොයෙදෙන තත්ත්වයක දී වුවත් ඇති තරම් යකඩ ඉබේ පහළ වෙන්නේ නැත. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට තෙල් අවශ්‍ය ය. කැඩුණු යන්ත්‍ර වෙනුවට නව යන්ත්‍ර යෙදිය යුතු ය. එසේ ම ඇති තරම් තෙල් ඉබේ ලැබෙන්නේ නැත. මේ සඳහා යන්ත්‍ර සෑදීම, අලුත් වැඩියාව, ප්‍රතිස්ථාපනය කිරීම අවශ්‍ය ය. ඉරිඟු සෑදීමට ද යන්ත්‍ර හා තෙල් අවශ්‍ය ය. මේ නිසා හිතූ හිතූ හැටියට වෙළෙඳභාණ්ඩ මැවිය නො හැකි ය. මේවා සැපයුම්වලින් සීමා වී ඇත. ඒ නිසා තවදුරටත් පිරිවැයක් ඇත. 

මේවා මිල දී ගන්නේ කවුද? ඉතා පැහැදිලි ලෙස ඉන්ධන කර්මාන්තකරුවන්ට යකඩ අවශ්‍ය ය. යකඩ කර්මාන්තකරුවන්‍ට ඉන්ධන අවශ්‍ය ය. ඉරිඟු කර්මාන්තකරුවන්ට යකඩ හා ඉන්ධන අවශ්‍ය ය. මේ නිසා යකඩ හා ඉන්ධන මිල දී ගැනීම දිගට ම සිදුවනු ඇත. එමෙන් ම මේ ව්‍යාපාරවලට ආදායම් ද ඇත. ඒවායින් මිල දී ගැනීම ද කළ හැකි ය.

දැන් අපට ඉතිරිව ඇත්තේ ඉරිඟු විකුණන්නේ කාට ද ඔවුන් ඉරිඟු මිල දී ගන්නේ කෙසේ ද යන ප්‍රශ්නයයි.

අපි බොහෝ දෙනා සිතන පරිදි මෙවන් ආර්ථිකයක ශ්‍රමිකයන් නැත කියා හුදු තර්කය සඳහා සිතමු. එසේ වුව ද එම ආර්ථිකයේ ධනපතියන් සිටින අතර ඔවුහු ද ආහාරවලින් යැපෙති. එම නිසා යකඩ, ඉන්ධන, ඉරිඟු කර්මාන්තවල නියැලෙන ප්‍රාග්ධන හිමියන් මේ ඉරිඟු මිලට ගෙන ඉන් යැපෙනු ඇත. මේ ආර්ථිකයේත් ලාභය පවතින බව අප දුටු නිසා ඔවුන්ට ඉරිඟු මිල දී ගැනීම සඳහා හැකියාවක් ඇත. මේ නිසා මේ ආර්ථික ගනුදෙනු හා හුවමාරු දිගින් දිගට ම සිදු වනු ඇත.

ඊළඟට අනිවාර්යයෙන් ම ඇසෙන ප්‍රශ්නය ධනපතියන් නොවන මිනිසුන්ට කුමක් සිදුවේ ද යන්න ය. මෙයට පිළිතුරු ලබා දිය හැකි සරල ආකාර දෙකක් පවතී. මෙම අවධිය වන විට ශ්‍රමිකයන් ඉවත්ව ගොස් සියලු දෙනා විවිධ ආකාරවල ප්‍රාග්ධන හිමියන් බවට පත් වෙති. ඉහත දැක්වූ පරිදි තව ම ලාභ රේට්ටුවක් ඇති නිසා ඔවුන්ට ආදායමක් ලැබේ. අනික් ආකාරය වන්නේ ආදායම් නොලබන පිරිස් යනු පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක නොව වර්තමානයේ ද ජීවත්වන පිරිසක් බව සිහිපත් කිරීමයි. රාජ්‍ය හා පුණ්‍ය ආයතන මඟින් බදු හා අරමුදල් වශයෙන් මේ පිරිස් නඩත්තු කෙරේ. පූර්ණ ස්වයංක්‍රීය සමාජයක එවන් පිරිසක් සිටීම ද එක් විය හැකියාවකි. ආහාර ද්‍රව්‍ය ආදියේ මිල දැනට වඩා අඩුව තිබීමත් ධනපතියන් අත තවදුරටත් ලාභය තිබීමත් නිසා මෙවන් පිරිසක් නඩත්තු කිරීමේ හැකියාව ලැබේ. අනෙක් අතට ධනවාදීන් සිය අරමුදල් යොදවා මූලික ජීවන පැවැත්මක් සඳහා අවශ්‍ය දෑ විවෘතව නොමිලයේ ලබා දීමත් බලාපොරොත්තු විය හැකි ය. වර්තමානයේ ම අප නොමිලයේ සැපයෙන සේවා කොපමණක් ලබා ගන්නවා ද? ඒවායේ පිරිවැය දරන්නේ ධනපතියන් ය.

මාක්ස්වාදීන් පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක් පරිකල්පනය කරන ආකාරයේ ප්‍රධාන ම වරද මෙය නො වේ. ඔවුහු ඉතා ම ඉක්මන් හා නොසැලකිලිමත් ලෙස මෙවන් ආර්ථිකයක ශ්‍රමිකයන් සිටිය නොහැකි යැයි කියන්නට ඉක්මන් වෙති.

මාක්ස් වටිනාකම ජනනය කරන ශ්‍රමය කියා කීවේ සාමාජයීයව අනිවාර්ය ශ්‍රමය ආශ්‍රයෙන් එන වියුක්ත ශ්‍රමය මිස සංයුක්ත ශ්‍රමය නො වේ. සාමාජයීයව අනිවාර්ය ශ්‍රමය යෙදවීම ශුන්‍ය වූ නමුත් සංයුක්ත ශ්‍රමය යොදවන ශ්‍රමිකයන් සිටීමට පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක පැවැත්ම බාධාවක් නොවේ.

ජව විවීමේ යන්ත්‍ර ඒමෙන් පසු අතින් වියන ශ්‍රමිකයන් හා කර්මාන්ත සහමුලින් අතුරුදහන්ව ගියේ නැත. ඒවායින් කොටසක් යම් සුඛෝපභෝගී භාණ්ඩ තත්ත්වයක් ආරෝපණය කරගෙන ලාභ ලැබී ය. අනෙක් කොටසට රෙදි ලාභ වීම නිසා අතින් වියූ රෙදි විකිණීමට හැකි වූයේ පෙරට වඩා අඩු මුදලකට ය. මේ නිසා මේ කර්මාන්තවල ලාභය අඩු විය. එහෙත් ලාභය සහමුලින් ම ශුන්‍ය ව ගියේත් නැත. මේ කර්මාන්තවල නියැලෙන ශ්‍රමිකයන් ජව විවීමේ යන්ත්‍ර භාවිත කළ ශ්‍රමිකයන් හා සමාන කාලයක් වැය කළ ද නිෂ්පාදනයට එකතු කරන්නේ වියුක්ත ශ්‍රමය අඩු ප්‍රමාණයකි.

පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ‍‍ද ලාභය හා මිල පවතින බව අපි ගණනය කිරීමෙන් දුටුවෙමු. එවන් ආර්ථිකයක් පවතිද්දී ම පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍රවලින් සිදු කළ හැකි දෑ අතින් කරන ශ්‍රමිකයන් හෝ සාමාන්‍ය යන්ත්‍රවලින් කරන ශ්‍රමිකයන් හෝ සිටීමට බාධාවක් නැත. එම අවධියේ ඒවාට ශ්‍රමිකයන් අනිවාර්යයෙන් අවශ්‍ය නොවන බැවින් සාමාජයීය අනිවාර්ය ශ්‍රමය ශුන්‍ය ය. එහෙත් මේ ශ්‍රමිකයෝ සංයුක්ත ශ්‍රමය යොදවා වැටුප් ලබති. මෙවැනි කර්මාන්ත පවත්වාගෙන යන ධනපතියන්ට ලැබෙන ලාභය සාමාන්‍ය ලාභ රේට්ටුවට වඩා අඩු වනු ඇත. එහෙත් සාමාන්‍ය ලාභ රේට්ටුව ඉහල අගයක ඇති නිසා එවිට ද යම් ලාභයක් ලැබෙනු ඇත. එමෙන් ම ශ්‍රමිකයන් ද තමන් යොදන වියුක්ත ශ්‍රම ප්‍රමාණය වන ශුන්‍යය ඉක්මවූ වැටුපක් තම සංයුක්ත ශ්‍රමය වෙනුවෙන් ලබනු ඇත.

ශ්‍රමිකයන් අවශ්‍ය නැති නම් ධනපතියන් ශ්‍රමිකයන් යොදා ගනු ඇත්තේ ඇයි? පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර මිලදී ගැනීම සඳහා විශාල ආරම්භක පිරිවැයක් අවශ්‍ය වනු ඇත. එම නිසා ඊට අවශ්‍ය ප්‍රාග්ධනයක් සංචිත වන තෙක් ඊට වඩා අඩු ආරම්භක පිරිවැයක් අවශ්‍ය වන ශ්‍රමිකයන් යොදා ගැනීම වැනි සාපේක්ෂව කාර්ක්ෂමතාව අඩු ක්‍රමවේද මුලින් යොදා ගැනෙනු ඇත. පූර්ණ ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිත වනු ඇත්තේ එය දැරිය හැකි ආරම්භක ප්‍රාග්ධනයක් සංචිත වීමෙන් පසුවයි.

 මාක්ස්ගේ අවධානයට යොමු වූයේ සමතුලිතයේ පවතින ආර්ථිකයයි. සමතුලිතය වටා විචලනය වන ආර්ථිකයේ ගතිකයන් මාක්ස්ගේ අවධානයට එතරම් ලක් වූයේ නැත (එය ඔහුගේ අරමුණ නො වුණි). එහෙත් අපට දැක ගත හැක්කේ මේ විචලනයන් හා ව්‍යාපාරයක් සමතුලිත වන තුරු ඊට ඇති ප්‍රවේශ බාධා, ආරම්භක ප්‍රාග්ධනය සපයා ගැනීමේ ගැටලු ආදී දේ පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක (ඇත්තෙන් ම වර්තමාන ආර්ථිකයට ද මෙය පොදු ය) ධනපතියන් නොවන පිරිස් වෙත ආදායමක් ලබා දීමට තීරණාත්මක කාර්යභාරයක් සිදු කරන බව ය.

අනෙක් අතට මේ වන විට පවා ව්‍යවසයකයින් බිහි කරවන හා ඔවුන්ට ප්‍රාග්ධනය සම්පාදනය කරවන මාර්ග විවිධාකාරයෙන් වර්ධනය වී ඇත. ණය හා වෙන්චර් ප්‍රාග්ධනය ආදී උපාය මාර්ග මඟින් ස්ථාවර ධනපතියන් නොවූ එසේ පත් වීමට විභවයක් ඇති අස්ථාවර ආරම්භක ව්‍යාපාරවල යෙදෙන්නන් පිරිසක් හෙවත් ධනපතියන්ගේ සංචිතයක් පවත්වා ගැනීම වර්තමානයේ සිදු කෙරේ. ණය අනුපාතික අවදානම සමඟ බැඳෙන ප්‍රමාණයට වඩා ව්‍යාපාරවල ලාභ අවදානම සමඟ බැඳී ඇති නිසා ණය ගැනීමෙන්, වෙන්චර් ප්‍රාග්ධනය සපයා ගැනීමෙන්, සුරංගනා ආයෝජකයන් හමුවීමෙන් (angel investors) වැනි මාර්ගවලින් ව්‍යාවසායයන් ඇරඹීමට තවත් පිරිසකට ඉඩ කඩ ලැබී ඇත. මේ සංසිද්ධි කෙටිකාලීන අසමතුලිතතා ආශ්‍රයෙන් උපදින දේ ය.

එහෙයින් සමතුලිතයේ ඇති පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක පසුබිමේ පවතින අසමතුලිතයේ විවිධ ශ්‍රමික හා ව්‍යාපාරික අවස්ථා පැන නඟිනු ඇත. මේවායේ සමාජ අනිවාර්ය ශ්‍රමය ශුන්‍ය වේ. එනම් මේවා සමතුලිත ව්‍යාපාරවලට යන්ත්‍ර යොදවා කළ හැකි දේ ය. 

වැදගත් කරුණ වන්නේ පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභ නොපවතී යන්න වැරදි අදහසක් බව හා ඒ ලාභ සමතුලිතය තුළ ම පැන නඟින බව හඳුනා ගැනීම ය. මේ ලාභ ධනපතියන් නොවන පිරිස් අතරත් බෙදී යාම සඳහා ආර්ථිකයේ අසමතුලිතතා හා සංවිධිතව ගන්නා ප්‍රතිපත්තිමය තීරණ වැනි දේ වැදගත් ය.

තවදුරටත් පර්යේෂණ හා වර්ධන ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කළ යුතු ය. මේවායේ ලාභ රේට්ටු සමඟ සම්බන්ධය සාමාන්‍ය ශ්‍රමිකයන්ගේ මෙන් ඍජු නො වේ. බොහෝ විට මේවා වියදම මිස ලාභ නො උපදවනු ඇත. සාර්ථක වන ඒවා ක්‍රියාවට නැංවෙන්නේ එය නිර්මාණය කිරීමට බුද්ධිමය ශ්‍රමය යෙදවූවන්ට ද යම් දේපළ අයිතියක් හිමිවන පරිදි ය. (උදාහරණ ලෙස නකමුරා නඩුව බලන්න) 

අනෙක් අතට පූර්ණ ස්වයංක්‍රීය සමාජයක ලාභ රේට්ටුව තවදුරටත් වර්ධනය කිරීමට ද ඉඩකඩ ඇත. යන්ත්‍ර තව තවත් කාර්යක්ෂම කිරීම, යන්ත්‍ර කුඩා කිරීම, ඉන්ධන පරිභෝජනය අවම කිරීම, අමුද්‍රව්‍ය නාස්තිය අවම කිරීම ආදී පිරිවැය අඩු කොට ලාබ රේට්ටුව වැඩි කරවන දියුණු කිරීම් කළ හැකි ය. ඔකිෂෝ ප්‍රමේයය අනුව සමතුලිතයේ දී පවා මේවායින් ලාභ රේට්ටුව තව වැඩි වනු ඇත.
 
 
 
 උදාහරණ:

 r≈28.8368, p_2≈0.442735 p_1, p_3≈0.00966845 p_1
 ලාභ රේට්ටුව = 2883.68%
(මුලින් ලැබුණේ මීට අඩු අගයකි: 2242.54%)
 
තාක්ෂණය කාර්යක්ෂම කරවීම සඳහා යම් බුද්ධිමය ශ්‍රමය යොදවන පිරිසක් සිටිනු ඇත. බොහෝ මාක්සියානුවන් ලිස්සා යාමේ පහසු මාර්ගයක් ලෙස තෝරාගන්නා යන්ත්‍ර නිපදවෙන්නේ කාර්යක්ෂම වන්නේ මෙවැන්නන්ගේ ශ්‍රමයෙනි යන්න ශ්‍රම න්‍යාය ගලවා ගැනීමට අසමත් අතිශයින් දුර්වල පිළිතුරකි.

මේ වැඩි දියුණු කිරීම් නොමැතිව පවා ඉහළ ලාභ රේට්ටුවක් ලබමින් ආර්ථික සමතුලිතය පවත්වාගත හැකි ය. ඒ සඳහා මෙම ශ්‍රමය අත්‍යවශ්‍ය නොවේ. මේ බුද්ධිමය ශ්‍රමය අවශ්‍ය සමතුලිතය බිඳ ලාභ රේට්ටුව වඩාත් ඉහල නව සමතුලිතයක් වෙත ආර්ථිකය තල්ලු කිරීම සඳහා ය.

අවශ්‍ය නම් සමතුලිතයක් දිගට ම පවත්වා ගත හැකි බැවින් තාක්ෂණ වර්ධනයක් ඇති කරන බුද්ධිමය ශ්‍රමයේ පරිණාමනයට ආර්ථික ලාභයේ සම්භවය බැර කිරීමේ හැකියාවක් නො පවතී.

අනෙක් අතට විනෝදාස්වාදය සම්බන්ධ ක්‍රියාකාරකම් දිගින් දිගිට ම පවතිනු ඇති අතර ඒවා ද මිනිසුන් හට ආදායම් ලබා දෙනු ඇත.

අවසාන වශයෙන් කිව යුත්තේ වටිනාකම පිළිබඳව ශ්‍රම න්‍යාය සාවද්‍ය බව පරිණාමන ප්‍රශ්නය හා ඔකිෂෝ ප්‍රමේයය පෙන්වා දෙන බව ය. එමෙන් ම ඒවා පෙන්වා දෙන්නේ පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක් බිහි වීම සඳහා ධනවාදයෙන් ඛණ්ඩනය වීමේ අවශ්‍යතාවක් නැති බවයි. එනම් වටිනාකම පිළිබඳ ශ්‍රම න්‍යායේ සීමා රාමුව තුළ ම අපට මෙම ආර්ථිකය හමුවන අතර පරිණාමන ප්‍රශ්නයෙන් හා ඔකිෂෝ ප්‍රමේයයෙන් ඔප්පු වන ශ්‍රම න්‍යායේ සාවද්‍යතාව ඉතා හොඳින් අපට ආදර්ශනය (demonstrate) කරයි

No comments:

Post a Comment

අලුත් ම සටහන

 පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභය හා ධනවාදය

 පූර්ණ ස්වයංක්‍රීය ආර්ථිකයක ලාභය හා ධනවාදය අපි ඔකිෂෝ ප්‍රමේයය විදහා දැක්වීම සඳහා ගත් උදාහරණය සලකමු.       ලාභ රේට්ටුව = 83.45%    එහි යකඩ ...

වැඩිපුර කියවූ ලිපි