ලාභ රේට්ටුව කඩා නොවැටේ: මාක්ස්ට එරෙහිව ඔකිෂෝ

 ලාභ රේට්ටුව කඩා නොවැටේ: මාක්ස්ට එරෙහිව ඔකිෂෝ

 


මාක්ස් තාක්ෂණික දියුණුව සමඟ ලාභ රේට්ටුව කඩා වැටෙන බව කීවේ කවර තර්කයකින් දැයි මීට පෙර විස්තර කළෙමු.

මාක්ස්ට අනුව ව්‍යාපාර ඵලදායිතාව වැඩි කරගැනීමේ උපක්‍රමවල නියැලෙන්නේ තාවකාලික වාසිය සලකා ය. කාර්යක්ෂමතාව වැඩි කරන නව තාක්ෂණික ක්‍රමයක් මුලින් ම භාවිත කරන නිෂ්පාදන සමාගමකට සිය පිරිවැය අඩු කරගත හැකි ය. අනෙක් සමාගම් පරණ ක්‍රමයට ම නිෂ්පාදනය කරන බැවින් එම සමාගමට පරණ මිලට ම භාණ්ඩ විකුණා වැඩි ලාභයක් ලබා ගත හැකි ය. 

එහෙත් පසුව අනෙක් සමාගම් ද මෙම ක්‍රමය අනුගමනය කරනු ඇත. මෙම ක්‍රමය ව්‍යාප්ත වූ විට ඔවුන් භාණ්ඩයේ මිල අඩු කරමින් එකිනෙකා හා තරග කරනු ඇත. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ කාර්යක්ෂමතාව වැඩිවීම නිසා වෙළෙඳභාණ්ඩයේ මිල කලින් තිබූ අගයට වඩා අඩු වීමයි. වෙළෙඳභාණ්ඩයේ මිල අඩු වී ගිය පසු එම නිෂ්පාදනයේ නිරත සමාගම්වල ලාභයට කුමක් සිදුවනු ඇති ද? ඒවා පෙර සේම ලාභ ලබනු ඇති ද? ලාභය වැඩිවනු ඇති ද? අඩුවනු ඇති ද?

මාක්ස් සිය ශ්‍රම න්‍යාය අනුව තර්ක කළේ වෙළඳ භාණ්ඩවල ගැබ්වන ශ්‍රම ප්‍රමාණය ප්‍රාග්ධනයට සාපේක්ෂව අඩුවන විට නොගෙවූ ශ්‍රම පංගුව ද අඩුවන නිසා අතිරික්ත වටිනාකම හා එනයින් ලාභය අඩුවන බවයි. එනම් මාක්ස් කීවේ එම නිෂ්පාදනයේ නිරත සියල්ලන් නව ක්‍රමවේදය භාවිත කරන්නට ගෙන ස්ථාවර වූ පසු කලින් තිබුණාටත් වඩා අඩු ලාභයක් ලැබෙනු ඇති බවයි. එනම් තාවකාලික පෞද්ගලික ලාභය උදෙසා කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් අවසානයේ ධනපතියෝ සාමූහිකව ලාභය අඩු කරගනිති.

ජපානයේ මාක්සියානු අර්ථ ශාස්ත්‍රඥයකු වූ ඔකිෂෝ ගණිතමයව පෙන්වා දුන්නේ කාර්යක්ෂමතාව වැඩි කිරීම මඟින් නිසග වශයෙන් ලාභ රේට්ටුව කඩා නොවැටෙන බවයි. ඔහු පෙන්වූයේ සත්‍ය වැටුප් (real wages) නියතව පවතී නම් කාර්යක්ෂමතාව වැඩි කිරීම මඟින් ධනපතියන්ගේ ලාභ රේට්ටුව සාමූහිකව වැඩිවන බවයි.

මාක්ස් පවසන පරිදි ම මුලින් ම නව ක්‍රමවේදය භාවිත කරන සමාගම ඉහල ලාභ රේට්ටුවක් ලබනු ඇත. පසුව අනෙක් සමාගම් ද එම ක්‍රමවේදය භාවිත කිරීම සමඟ ඒ මුල් සමාගමේ ලාභ රේට්ටුව අඩු වනු ඇත. එහෙත් ඔකිෂෝ පෙන්වා දුන්නේ නැවත සමතුලිත වන විට සියලු සමාගම්වල ලාභ රේට්ටුව පවතින්නේ මුලින් ම තිබුණාට වඩා ඉහල අගයක බවයි.

ගුණාත්මකව ඔකිෂෝගේ තර්කය මෙසේ ය. ආර්ථිකයක විවිධ නිෂ්පාදන ඇත. එක් නිෂ්පාදනයක් තවත් නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය හෝ උපකරණ ලෙස භාවිත වේ. (නැතිනම් ශ්‍රමිකයන්ගේ පරිභෝජනයට භාවිත වේ.)  මේ නිසා එක් කර්මාන්තයක නිරත සියලු සමාගම් තම කාර්යක්ෂමතාව වැඩි කරගත් විට අදාළ නිෂ්පාදනයේ මිල අඩු වේ. එවිට එම නිෂ්පාදනය අමුද්‍රව්‍ය හෝ උපකරණ ලෙස භාවිත කරන අනෙක් කර්මාන්තවල පිරිවැය අඩු වී යයි. මේ නිසා ඒවාට වැඩි ලාභ ලැබිය හැකි ය. මේ ලාභ ආර්ථිකය පුරා පරිණාමනය වනු ඇත. 

එම නිසා එක් කර්මාන්තයකින් උපදින නිෂ්පාදනයේ මිල අඩු වීම අනෙක් කර්මාන්ත ආශ්‍රයෙන් තවත් ලාභ ඉපදීම සඳහා හේතු වේ. දැන් ප්‍රශ්නය ඇත්තේ මේ ලාභ අඩු කරවන ප්‍රවණතාව හා වැඩි කරවන ප්‍රවණතාව යන දෙකෙන් වඩා ප්‍රබල බලපෑම කුමක් ද යන්නයි. ඔකිෂෝ ගණිතමය සාධනයකින් ශුද්ධ බලපෑම ලාභය වැඩි කරවන්නක් බව පෙන්වයි.

ඔකිෂෝ ප්‍රමේයයේ ගණිත සාධනය සංකීර්ණ ය. එහි න්‍යාස අයිගන්-දෛශික ආදී සංකල්ප යෙදේ. මේ ගණිත සංකල්පවලින් පාඨකයින් වෙහෙසට පත් නොකර ඒ වෙනුවට අප කුඩා ආදර්ශ ආර්ථිකයක් උදාහරණ ලෙස ගෙන බලමු.

ප්‍රයෝජ්‍ය භාණ්ඩයක් හා කාර්මික භාණ්ඩයක් ඇති ආර්ථිකයක් සලකමු. උදාහරණය අපට වඩාත් සමීප වීමට භාණ්ඩ දෙක පිළිවෙළින් යකඩ හා ඉරිඟු ලෙස ගනිමු. 

දැන් යකඩ හා ඉරිඟු නිෂ්පාදනයන්ට අවශ්‍ය ශ්‍රම හා ප්‍රාග්ධන සම්බන්ධතා පහත වගුවේ දැක්වේ. (එක් එක් ද්‍රව්‍යයේ ඒකවලින් සංඛ්‍යා සටහන් කොට ඇති අතර ශ්‍රමයේ මිනුම ශ්‍රම-කාල ඒකකයි)



දැන් ශ්‍රම-ශක්තිය ප්‍රතිනිෂ්පාදනය සඳහා ශ්‍රම ඒකකයක් ලබා ගැනීමේ දී ඉරිඟු ඒකක 1/3ක් පරිභෝජනයට ලබා දිය යුතු බව සලකන්න.
(සරල ගණනයකින්
 ගෙවූ ශ්‍රමය: නොගෙවූ ශ්‍රමය = 1:7
අනුපාතයක් ඇති බව ඔබට දැකගත හැකිය.)

මිල සඳහා සමීකරණ මෙසේ වේ. (යකඩ මිල = p1; ඉරිඟු මිල = p2; ලාභ රේට්ටුව = r)



Solution:
r≈0.834475, p_2≈0.541381 p_1
 
විසඳීමෙන් ලාභ රේට්ටුව = 83.45%  (To check the solution)

දැන් ඉරිඟු කර්මාන්තයේ තාක්ෂණ දියුණු වීමකින් අවශ්‍ය ශ්‍රම ප්‍රමාණය 1/4 සිට 1/8 දක්වා අඩු වූයේ යැයි සිතන්න.
 
 

Solution:
 r≈0.846154, p_2≈0.5 p_1
 
විසඳීමෙන් සමතුලිතයේ දී ලාභ රේට්ටුව = 84.62%   (To check the solution)
 
ලාභ රේට්ටුව පවතින්නේ මුලින් ම තිබුණාට (83.45%) වඩා ඉහල අගයකයි (84.62%).
 


 හමාර කිරීමට මත්තෙන් අප ඔකිෂෝ ප්‍රමේයයේ සැබෑ සාධනයේ සැලැස්ම කෙටියෙන් විමසා බලා සිටිමු.

 සියලු නිෂ්පාදන කර්මාන්ත සඳහා අනෙක් නිෂ්පාදන යොදා ගැනෙන ප්‍රමාණ ද ශ්‍රමිකයන්හට ශ්‍රම ශක්තිය පුනර්ජනනය කිරීමට අවශ්‍ය යැපුම් නිෂ්පාදන පොදිය ද සලකා මිල සඳහා සමීකරණ ලියනු ලැබේ. ඉන්පසු එය න්‍යාස (matrix) සමීකරණයකට පරිවර්තනය කරගත යුතු ය. අපට සංගුණකවල න්‍යාසයේ අයිගන් ශ්‍රිතයක් ලෙස මිල දෛශිකය ලැබෙන බව පෙනේ. ඉන්පසු ඒකජ වීජගණිතයේ (linear algebra) එන පෙරන්-ෆ්‍රොබේනියස් ප්‍රමේයය භාවිත කොට මේ සමීකරණ විසඳා ලාභ රේට්ටුව සෙවිය හැකි ය. එසේ ම එක් සමාගමකට තාවකාලිකව වැඩි ලාභයක් ලබා දෙන ඕනෑ ම කාර්යක්ෂමතා ඉහල නැංවීමකින් අවසන් සමතුලිත ලාභ රේට්ටුව මුල් අගයට වඩා ඉහල යන බව දැකි ය හැකි ය. (වෙනත් නිෂ්පාදනයකට හෝ පරිභෝජනයට හෝ දායක නොවන සුඛෝපභෝගී භාණ්ඩ වැනි දේ සම්බන්ධ වූ විට සමතුලිතයේ දී පරණ ලාභ රේට්ටුව ම ලැබීමේ ව්‍යතිරේක අවස්ථා ඇත. එහෙත් ලාභ රේට්ටුව නිසගව අඩු වන්නේ නම් නැත.)

ලාභ රේට්ටුව කිසිසේත් අඩු නොවේ යැයි ඔකිෂෝ ප්‍රමේයය කියන්නේ ඇත. උදාහරණ ලෙස ශ්‍රමිකයන්ගේ සත්‍ය වැටුප් ඉහල දැමීමෙන් ලාබ රේට්ටුව අඩුවනු ඇත. එමෙන් ම විවිධ ආර්ථික ප්‍රතිපත්ති ආදිය නිසා ද ලාභ රේට්ටුව අඩු විය හැකි ය. එහෙත් මාක්ස් කී පරිදි කාර්යක්ෂමතාව හා තාක්ෂණයේ වර්ධනය නිසා ලාභ රේට්ටුව නිසගව කඩා වැටෙන ප්‍රවණතාවක් නැත. අනෙක් අතට සත්‍ය වැටුප් හා ශ්‍රමිකයන්ගේ පරිභෝජනය කපා හැරීම සිදුවන 'අනිවාර්යතාවක්' ද නැත.

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි