ජ්‍යෝතිෂ්‍ය හස්ත රේඛා ශාස්ත්‍රය හා සත්‍යය


සහේතු: අපි කොවුර්ගේ මීළඟ අභියෝගයට යමු. අනාගත සිද්ධියක් පුරෝකථනය කරන්න.

ප්‍රබෝධ: ඇත්තට ම ඕක එතරම් තේරුමක් ඇතුව කියපු කතාවක් නෙවෙයි. මම කියන්නම් හෙට උදේට ඉර පායනවා කියලා. ඒකත් පුරෝකථනයක් නේ. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ සිදුවන වෙලාවන් අපි පුරෝකථනය කරන්නේ. කාලගුණ අනාවැකි කියෙන්නේ.
සතුන්ගේ හැසිරීම් බලා චීනයේ භූමිකම්පා අනාවැකි කියනවා. ඒවත් සාර්ථක වුණ අවස්ථා තියෙනවා. පස් හා ජලය දෙස බලා අනාවැකි කීවා 1975 දී හයිචෙං භූමිකම්පාවෙ දි. ඒත් ඊට පස්සේ ඒ ක්‍රමය එතරම් සාර්ථක වුණේ නෑ. ජ්‍යෝතිෂ්‍ය , හස්ත ශාස්ත්‍ර විතරක් නෙවෙයි බටහිර විද්‍යාවේ අරමුණත් අනාවැකි කීමේ හැකියාව දියුණු කර ගැනීම ම තමයි.

සහේතු: අපි ඊළඟ අභියෝගයට යමු. මේක තමයි කොවුර්ගේ අවසාන අභියෝගය. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට හා හස්ත ශාස්ත්‍රඥයින්ටයි මේ අභියෝගය යොමු වෙන්නේ.
මම උපන් වේලාවන් හා උපන් ස්ථානයේ අක්ෂාංශ දේශාංශ සමඟ කේන්දර 10ක් දෙනවා (නැතිනම් අත්ලේ සටහන් 10ක් දෙනවා). ඔබ ඒවායින් 5%ක දෝෂ සීමාවක් තුළ පිරිමි ද ගැහැනු ද ඉපදිලා ද මැරිලා ද යන්න තෝරා දෙන්න ඕනෙ.

ප්‍රබෝධ: ඔයිට කලින් කොවුර් කියනවා ඕක අදාළ වෙන්නේ කාට ද කියලා. ඇයි ඒ කොටස හළන්නේ.

සහේතු: ආ. ඔව්...මේ අභියෝගයට කලින් කොවුර් කියනවා මේක අදාළ වෙන්නේ ජ්‍යෝතිෂ්‍ය‍ය හා හස්ත ශාස්ත්‍රය පූර්ණ විද්‍යාත්මකයි කියමින් , පහසුවෙන් රැවටෙන්නන් ‍රවටන ජ්‍යෝතිෂ්‍යවේදීන්ට හා හස්ත ශාස්ත්‍රඥයින්ට බව.

ප්‍රබෝධ: ඒ කියන්නේ ජ්‍යෝතිෂ්‍ය පූර්ණ විද්‍යාත්මක බව නො කියන අයට ඕක අදාළ නැද්ද?

සහේතු: අ.. අ.. මේකෙ තියෙන විදිහට නම්... එහෙම නෑ..

ප්‍රබෝධ: හේතුවාදීන් ජ්‍යෝතිෂ්‍යයට එරෙහිව කතා කරද්දී නිතර කියන දෙයක් තමයි කොවුර්ගේ අභියෝග 23 තාමත් එතන මයි කියන එක. දැන් අපි අභියෝගවල අගට ම ඇවිත්. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට අදාළ අභියෝග දෙකයි මේ 23හි තියෙන්නේ. 23 ම ජ්‍යෝතිෂ්‍යවේදීන්ගේ ඇඟේ ගහන්නේ එක්කෝ හේතුවාදීන්ගේ වංචනික භාවය නිසා එහෙමත් නැතිනම් හේතුවාදී සංගමයේ අයවත් කොවුර්ගේ අභියෝග මොනවාද කියලා හරියට බලලා නෑ.
මේ අභියෝගයවත් සියලු ජ්‍යෝතිෂ්‍යවේදීන්ට අදාළ නෑ. ජ්‍යෝතිෂ්‍යය පූර්ණ විද්‍යාත්මකයි කියන අයට තමයි ඒක අදාළ වෙන්නේ.
මෙතන දී මට අහන්න තියෙන්නේ කොවුර් පූර්ණ විද්‍යාත්මකයි කියන්නේ මොනවට ද කියලා. බොහෝ දේ පූර්ණ විද්‍යා නො වෙන්න පුළුවන් ඔහොම ගත්තොත්.

සහේතු: මේ අභියෝගයේ කියන දේ ගැන ඔබට මොකක් ද කියන්න තියෙන්නේ?
ප්‍රබෝධ: මේකේ ගන්නේ මිනිස්සු දහයයි. හොඳට ම මදි  සංඛ්‍යානය අනුව. සාමාන්‍යයෙන් සංඛ්‍යානයේ දී අවම වශයෙන් 30ක්වත් සැලකිල්ලට ගන්න ඕනේ. ඒ මුල් ම වරද. ඊළඟ දේ 5%ක දෝෂ සීමාව. ගෑනු ද පිරිමි ද , මැරිල ද ඉන්නවා ද කියන ඒවා සන්තතික නෑනෙ. එක්කො මැරිලා නැත්නම් ඉන්නවා. 25%ක් මැරිලා වගේ දේ නෑනේ. ඒ වගේ තත්වයක දී 5% දෝෂ සීමාව ගන්න වෙන්නේ කේන්දර හෝ හස්ත සටහන් සංඛ්‍යාවෙන් ප්‍රතිශතයක් විදිහට.
දැන් කේන්දර හෝ හස්ත සටහන් දහයකින් 5%ක් කියන්නේ කේන්දර (හස්ත සටහන්) බාගයක්. ඒ කියන්නේ වරදින්න පුළුවන් කේන්දර බාගයයි. ඒත් කේන්දර (හස්ත සටහන් ) බාග නෑනේ. එතකොට එක කේන්දරයක්වත් (හස්ත සටහනක්වත්) වරදින්න බෑ. ඒ කියන්නේ ඔක්කොම හරියට කියන්න ඕනේ. 5%ක දෝෂ සීමාව තේරුමක් නැති විකාරයක්. කොවුර් අභියෝගය ඉදිරිපත් කරද්දී ඒ සංඛ්‍යාව ගැනවත් සැලකිලිමත් වෙලා නෑ. ඔහේ ඉලක්කම් නියම කරලා තියෙන්නේ. ඒ නිසා කොහොමත් අභියෝගය අශාස්ත්‍රීයයි.

සහේතු: ජ්‍යෝතිෂ්‍ය ගැන ඔබේ අදහස මොකක් ද?

ප්‍රබෝධ: මේ ප්‍රවේශයට ඔබ ආපු එක හොඳයි. හේතුවාදීන් වැඩිමනත් ම අභියෝග කරනවා දක්නට ලැබෙන්නේ ජ්‍යෝතිෂ්‍යයට. මුදල් සූරාකන වංචාකාරයන්ගෙන් මිනිසුන් ගලවා ගැනීමක් ලෙස ඔවුන් තමන්ගේ ව්‍යාපෘතිය හඳුන්වනවා. මෙතන දී එවන් දේ ජ්‍යෝතිෂ්‍යයේ වරදක් නෙවෙයි ජ්‍යෝතිෂ්‍ය නමින් පෙනී ඉන්නා ඇතැම් පුද්ගලයින්ගේ වරදක් ලෙස ප්‍රතිතර්කයක් ගේන්න පුළුවන්.  ඒත් හේතුවාදීන් එතැනින් එහාට යනවා.
ඔවුන් ඍජුව ම පවසනවා. සමස්ත ජ්‍යෝතිෂ්‍යය ම ප්‍රෝඩාවක් බව. ජ්‍යෝතිෂ්‍ය සියයට සියයක් මිථ්‍යාවක්. එනිසා සියලු ජ්‍යොතිෂ්‍යවේදීන් කරන්නේ බොරුවක් බව හේතුවාදීන් නිතර ම කියනවා. ඒත් හේතුවාදීන් විෂයක් විදිහට ජ්‍යෝතිෂ්‍ය බොරුයි කියන්න ඉදිරිපත් කරන තර්ක සියල්ල ම පුස් වෙඩිලි විතරයි.

සහේතු: ඒ කොහොම ද?

ප්‍රබෝධ: ඔබත් හේතුවාදියෙක්නේ. ඔය තර්ක එකින් එක කියන්න. මම උත්තර දෙන්නම්.

සහේතු: ජ්‍යෝතිෂ්‍යය පෘථිවි කේන්ද්‍රවාදය උඩ ගොඩ නැගුණු ශාස්ත්‍රයක්. අපි දැන් දන්නවා ඉර වටේ පොළොව යනවා මිස පොළොව වටේ ඉර යනවා නෙවෙයි කියලා ඔප්පු කරලා තියෙන්නේ. පදනම ම මිථ්‍යාවක් වෙද්දී ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් නෙවෙයි ද?

ප්‍රබෝධ: පුළුවන් නම් ඉර යන්නේ පොළොව වටේ නෙවෙයි පොළොව යන්නේ ඉර වටේ කියලා ඔප්පු කරපු විදිහ කියන්නකෝ.

සහේතු: අ.. කොපර්නිකස් පෙන්නුවා... අ.. දුරේක්ෂවලින් පෙන්වලා තියෙනවා.

ප්‍රබෝධ: කොපර්නිකස් , දුරේක්ෂ කියලා නිකම් වචනවලින් දමල ගහන්නේ නැතිව කවුරු හරි මොන උපකරණයෙන් හරි ඔප්පු කරපු ක්‍රමවේදය කියන්නකෝ.

සහේතු: (නිරුත්තරව සිටී.)

ප්‍රබෝධ: කවුරුවත් ඔහොම ඔප්පු කරලා නෑ. ඔප්පු කිරීම් කියලා ඉදිරිපත් වුණු ඒවා හතරක් විතර තියෙනවා. ඒ හැම එකක් ම අද තියෙන භෞතික විද්‍යා දැනුම අනුව සාවද්‍යයි. අයින්ස්ටයින් කියනවා නිරපේක්ෂ චලිතයක් නෑ. සියලු චලිතය සාපේක්ෂයි කියලා. එතකොට ඔය පොළොව ඉර වටේ යනවා කියන එකයි ඉර පොළොව වටේ යනවා කියන එකයි එක හා සමානව හරි. එක ම පිළිතුරු ලබා ගත හැකියි. ඒ දෙකෙන් එකකවත් අමුතු විශේෂත්වයක් නෑ. එතකොට පෘථිවි කේන්ද්‍රවාදය උඩ පදනම් වෙන නිසා ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් කියන්න බෑ.
අනික ජ්‍යෝතිෂ්‍යයේ ගණනය කිරීම් අයිති වෙන්නේ ප්‍රගති විද්‍යාව (kinematics) කියන කොටසට. අයින්ස්ටයින් විතරක් නෙවෙයි නිවුටන්ගේ භෞතික විද්‍යාව ගත්තත් ප්‍රගති විද්‍යාවේ ගණනය කිරීම් කුමකට සාපේක්ෂව සිදු කළත් නිවැරදියි. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇතුළේ ම පවා ජ්‍යෝතිෂ්‍යයේ මෙසේ ගණනය කිරීම් සිදු කිරීමේ වරදක් කියන්න බෑ.

සහේතු: ජ්‍යෝතිෂ්‍යවේදීන් චන්ද්‍රග්‍රහණ සූර්ය ග්‍රහණ ඇති වන විදිහවත් තේරුම් ගන්න බැරුව රාහු වගේ ග්‍රහයෝ ඉන්නවා කියලා හිතුවා. ග්‍රහලෝකවලට අමතරව උපකල්පිත ග්‍රහයෝ දෙන්නකුත් හිඳීමෙන් පේනවා ජ්‍යෝතිෂ්‍යය මිථ්‍යාවක් බව.

ප්‍රබෝධ: ජ්‍යෝතිෂ්‍යවේදීන් මේවා උපකල්පිත ග්‍රහයන් බව තේරුම් අරගෙනයි මෙහෙම සලකලා තියෙන්නේ. අනික් ග්‍රහයන් පූර්ණ ශරීරයකින් නිරූපණය වෙද්දී රාහු හා කේතු අර්ධ ශරීරවලින් නිරූපණය කරන්නේ. රාහුට හෝ කේතුට අධිපති වන ලග්නයක්වත් නැකැතක්වත් පනවලා නෑ. ඒ නිසා මේ උපකල්පිත ග්‍රහයින් පනවලා තියෙන්නේ කරන්නේ මොකක් ද හොඳට දැනගෙන බව පැහැදිලියි. ඒ නිසා ජ්‍යෝතිෂ්‍ය මේ මත මිථ්‍යාවක් කියන්න බෑ.

සහේතු: දැනගෙන කළත් ග්‍රහයෝ නො වෙන දේ ග්‍රහයින් ලෙස ගත්තු එක මිථ්‍යාවක්

ප්‍රබෝධ: එහෙනම් මං කලිනුත් කීවා වගේ ඊට වඩා මිථ්‍යාවක් වෙන්න ඕනේ විදුලි ඉංජිනේරු ශිල්පය. සන්නායකවල ධන ඉඳන් ඍණට යන දේවල් නොමැතිව ඒ පැත්තට යමක් යන බව ලකුණු කරමින් ඒක ගොඩනැඟෙන්නේ. අනික ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිල්පය ගොඩනැඟෙන්නේ කුහර කියන උපකල්පිත සංකල්පය මඟින්. කුහර කියන්නේ අර්ධ සන්නායක ද්‍රව්‍යයක අත්කර ගත හැකි ශක්ති අගයන්වලින් කිසිදු  ඉලෙක්ට්‍රෝනයක් ලබා ගෙන නොමැති ශක්ති අගයක් උපකල්පිත ආරෝපණ වාහකයක් සේ නිරූපණය කිරීමක්.
ඔබ කියන කරුණ පිළිගත්තොත් ඉලෙක්ට්‍රොනික විද්‍යාව තරම් මිථ්‍යාවක් තවත් නෑ. මේකෙන් පේන්නේ උපකල්පිත සංකල්ප භාවිත කිරීමෙන් ප්‍රයෝජන ගත හැකි බව. ඒ නිසා රාහු කේතු යොදාගැනීම මත ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවක් කියන්න බෑ.

සහේතු: ඒත් ග්‍රහලෝක තාරකා තියෙන්නේ පෘථිවියට බොහෝ ඈතින්. ඒ නිසා ඒවායින් එන්න පුළුවන් ගුරුත්වාකර්ෂණ බලය ආදී බල ඉතා කුඩයි.

ප්‍රබෝධ: ජ්‍යෝතිෂ්‍යයක පැවැත්ම සඳහා ග්‍රහ තරුවලින් පොළොවට බලපෑමක් තිබිය යුතු නැහැ. ජ්‍යෝතිෂ්‍යයක පැවැත්ම මම විග්‍රහ කරන්නේ මේ විදිහට. අපි දන්නවා ස්වභාවික ලෝකයේ චක්‍රීයතාවන් තියෙනවා. ග්‍රහ පද්ධතියේ චලනවලත් චක්‍රීයතා තියෙනවා. මිනිස් සමාජයේ හැසිරීමෙත් චක්‍රීයතා තියෙනවා. දැන් හිතන්න මිනිස් සමාජයේ චක්‍රයක් එක්ක ග්‍රහලෝකවල චක්‍රයක් සමපාත වුණා කියලා. එතකොට අපිට ඒ දෙක ගළපන්න පුළුවන්. ග්‍රහලෝකවල චලිතය ගැන තියෙන සූත්‍ර අනුව මිනිස් සමාජය ගැන දැන් අපිට අනාවැකි කියන්න පුළුවන්.
මම මේ නිශ්චිත ජ්‍යෝතිෂ්‍ය ප්‍රවර්ගයක් ගැන නෙවෙයි කියන්නේ. ඊට වඩා සමස්තයක් ලෙස සම්පූර්ණ ශාස්ත්‍රය ගැනයි මම කතා කරන්නේ. ජ්‍යෝතිෂ්‍ය මිථ්‍යාවක් කියන්න අපිට නො හැකියි.

සහේතු: අපි ග්‍රහතරු දකින්නේ එවෙලේ ම නෙවෙයි. ආලෝකය අප වෙත එන්න යම් කාලයක් යනවා. ඒ කාලය තුළ ඒ තත්වය වෙනස් වී තියෙයි. එතකොට ජ්‍යෝතිෂ්‍ය වැරදියි නේ ද?

ප්‍රබෝධ: ඔය ඔබ ආයෙත් බලපෑමක් එන කතාවේ සිරවෙනවානෙ. මම කියන දේට බලපාන්නේ අපිට පේන අහස මිසක් 'දැන් ඇත්තට ම තියෙන' ග්‍රහ තරු නෙවෙයි.
ජ්‍යොතිෂ්‍ය ග්‍රහතරුවල බලපෑමෙන් බිහි වෙනවා කියලා හුදු තර්කය සඳහා ගමු. ඒත් භෞතික විද්‍යාව අනුව ම අපිට ඒ තරුවල ඉඳලා බලපෑමක් එන්නත් ආලෝකයට වගේ ම කාලයක් ගත වෙනවා. එතකොටත් ජ්‍යොතිෂ්‍යයේ දී 'දැන් ඇත්තට ම තියෙන' ග්‍රහ තරු නැතුව අපට පෙනෙන ග්‍රහ තරු සැලකීම ඉතාම නිවැරදියි.

සහේතු: හස්ත විද්‍යාව ගැන ඔබේ මතය කුමක් ද?

ප්‍රබෝධ: අපේ අත්ල සටහන් කියන්නේ අපේ ජාන එකතුවට , ගෙනෝමයට ඍජුව සම්බන්ධ දෙයක්. ගෙනෝමයෙන් පුද්ගලයකු ගැන අනාවැකි කිව හැකි බව කියන්නේ බටහිර විද්‍යාඥයින් මයි. ඉතින් ගෙනෝමයට ඍජුව සම්බන්ධ අත්ල සටහන් මඟින් පුද්ගලයින් ගැන අනාවැකි කීමේ හැකියාව මිථ්‍යාවක් කියන්නේ කොහොම ද?

සහේතු: බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කරලා 'කිං කරිස්සන්ති තාරකා' , තාරකාවෝ කුමක් කරන්න ද කියලා ඇහුවා නේ ද?

ප්‍රබෝධ: ඕක එන්නේ නක්ඛත්ත ජාතකයේ. ගොඩක් අය ඕක වැරදියට අර්ථකථනය කරනවා. නක්ඛත්ත ජාතකය කියෙව්වා නම් ඔය ප්‍රශ්නය විසඳෙනවා. ජාතකයේ තියෙන්නේ කෝපයට පත් වීම නිසා හිතා මතා බොරු අනාවැකි කීමක් නිසා වූ ගැටලුවක්. ඔය පාඨය ජාතකයේ පරිවර්තනය කරලා තියෙන්නේ මෙහෙම: "අර්ථයට අභිෂ්ටාර්ථප්‍රතිලාභය ම නක්‍ෂත්‍ර නම් තාරකා රූපයෝ කවර නම් අර්ථයක් සාදද්දැයි කීසේක." මේකෙන් කියන්නේ යමක් කිරීමෙන් සිදුවන වාසිය හෝ පාඩුව නිශ්චිතව ම දන්නා විටෙක නක්ෂත්‍රය ගැන සලකා බැලීමෙන් තේරුමක් නැති බව. හෙට කසාද බඳින්න තියාගෙන ඔක්කොම සූදානම් කරලා හැමෝට ම කියලා අද කලබල වෙලා නැකැත් බලලා තේරුමක් නෑ. දවස හොඳ නැත්නම් විවාහය කල් දානවා ද? හෙට තියෙන විවාහය අද නැවැත්වීමේ අපකීර්තිය ගැන අපි නිශ්චිතව දන්නවානෙ. එහෙම එකක් වුණොත් ආයේ ඒ විවාහය සිදු වෙන එකකුත් නෑ. ජාතක කතාවේ තියෙන්නේ එහෙම සිද්ධියක්.
ධෝවන සූත්‍රයේ බුදුන් වහන්සේ කියනවා තමන් වහන්සේ නැකැත් නො පවතින්නේ යැයි නො කියන බව.

සහේතු: බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය තිරශ්චීන විද්‍යාවක් බව කීවා නේ ද?

ප්‍රබෝධ: ඒ තිරශ්චීන විද්‍යා ලැයිස්තුව දිගට බලාගෙන යන්න. සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ ඇති වන දින වකවානු පැවසීම වගේ තාරකා විද්‍යාත්මක දේවල්, භෞතික විද්‍යාව, සත්ත්ව විද්‍යාව වගේ දේත් තියෙනවා. ශල්‍යකර්ම කිරීමත් තියෙනවා. දැන් බුදුන් වහන්සේ ඕවා නො කරන්න කියල ද කියන්නේ. නෑ. සූත්‍රවල කොටස් හළලා අර්ථ නිරූපණය කරන්න එපා. බුදුන් වහන්සේ කියනවා තිරශ්චීන විද්‍යාව වෙන්නේ ගිහියන් විසින් සැදැහෙන් දෙන දානය සිවුපසය පරිභෝජනය කරමින් ඔය දේවලින් මුදල් ඉපැයීම කියලා. මේවා දක්වලා තියෙන්නේ පැවිද්දන්ගේ අධිශීලයේ කොටසක් විදිහට.

සහේතු: අපට ලැබී තිබෙන කාල වේලාව අවසන් වෙමින් යනවා. 'මිථ්‍යාව විනිවිද' වැඩසටහනෙන් අද අපිත් සමඟ සාකච්චාවට එකතු වුණේ මානව විද්‍යාඥ ප්‍රබෝධ එරන්දක මහතා. අද අපි කතා කළේ කොවුර්ගේ අභියෝග විසිතුනේ අශාස්ත්‍රීයභාවය පිළිබඳව. ස්තූතියි ප්‍රබෝධ මහත්මයා.
එසේ නම් අලුත් සතියක දී හමුවන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්නවා. මම සහේතු.

සටහන:
චන්දන රණසිංහ මහතා පසුගිය සතියේ එවා තිබූ පිළිතුරෙන් පෙනෙන්නේ ඒ මහතා විද්‍යාත්මක ක්‍රම ගැන කියවා අධ්‍යයනය කිරීමට යොමු වී ඇති බවයි. මේ ලිපිවල එක් අරමුණක් වූයේ ද එවන් පෙළඹවීමක් ඇති කිරීම ය. මෙය සතුටට කරුණකි. හේතුවාදීන්ට අවාසි වීම නොසලකා හැර අද ලෝකය පිළිගන්නා කූන්ගේ මතවාද අනුව විග්‍රහයන් කරන ලෙස මට කියන ලද චන්දන මහතා ඔහුගේ ලිපියේ දී කූන් කරුණුමය හරයක් රහිත කුඩා ඡේදයකට ලඝු කොට පොපර්ගේ දර්ශනය ම විස්තරාත්මකව දැක්වීම උත්ප්‍රාසවත් ය. චන්දන මහතා ලියූ දැයින් මගේ ලිපිවලට යම් ඇගයීමක් මෙන් ම ඒ ලිපි තහවුරු කිරීමක් ද සිදුවී ඇත. විවේචකයන් අතින් සිදුවන තහවුරු කිරීම් ඉතා වැදගත් ය. චන්දන මහතාගේ මෙවර ලිපියේ කරුණු සියල්ලට ම ද 2017 අගෝස්තු 12 දින මගේ ලිපියෙන් ම පිළිතුරු දී ඇති බැවින් එය නැවත පෙරළා බලන මෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි. ලබන සතියේ මේ ලිපි පෙළ සම්බන්ධ සමාලෝචනයක් පළ කෙරෙන අතර එහි දී චන්දන රණසිංහ මහතාගේ පිළිතුර ගැන ද අවධානයක් යොමු කරමි.

හැම ගුප්ත දේට ම වඩා ගුප්ත දේ පිරුණු බටහිර විද්‍යාව

2017  සැප්තැම්බර් 02 ඉරිදා රිවිර
සහේතු: අපි කොවුර්ගේ ඊළඟ අභියෝගයට යමු. වසා ඇති මුදල් නෝට්ටුවක කේත අංකය කියන්න.

ප්‍රබෝධ: තව තියෙනවා ඔහොම අභියෝගයක්

සහේතු: ඔව්. සැඟවූ වස්තුවක් හඳුනාගන්න.

ප්‍රබෝධ: කීප සැරයක් ම කීවා වගේ කොවුර් එක හා ඉතා ආසන්න අභියෝග වෙන වෙන ම ඉදිරිපත් කිරීමෙන් අභියෝග සංඛ්‍යාව පුම්බලා පෙන්නලා තියෙනවා. තව අභියෝගයක් තියෙනවා කුටියක සිර කිරීම ගැන ඒකට උත්තරයත් මේ එක්ක ම දෙන්නම්

සහේතු: ඔව් අගුළු ලූ සිරකුටියකින් මිදී පලා ගොස් පෙන්වන්න.

ප්‍රබෝධ: මම මේ ගැන ආකාර කිහිපයකට පිළිතුරු දෙන්න කැමතියි. මම කියන්නේ මේවා සිදු කිරීමේ හැකියාව ප්‍රතික්ෂේප කරන්න තරම් සාධක නැති බව. නැතුව මේවා කරන්නේ මේ විදිහට මයි කියලා මම කියන්නේ නෑ.

සහේතු: ඔබේ පළමු පිළිතුර කුමක් ද?

ප්‍රබෝධ: මුලින් ම මම කතා කරන්නම් හතරවෙනි අවකාශ මානය කියන අදහස ගැන. අපි දන්නවා අපිට පෙනෙන ලෝකයේ අවකාශ මාන තුනයි තියෙන්නේ. දිග , පළල , උස. මේවා එකකට එකක් ඍජුකෝණීයි. සමහරු කාලය තවත් මානයක් විදිහට අරගන්නවා. මේ කියන්න යන කතාවෙන් කියැවෙන්නේ මේ මානවලට අමතරව තවත් මාන තියෙන්න පුළුවන් කියන එක. මේක බොහෝ කතා වුණ අදහසක්. කඩදාසියක් ද්විමානයි කියන්න පුළුවන් (ආසන්නව). දැන් කඩදාසිය උඩ රවුමක් අඳින්න. දැන් කඩදාසිය ඔස්සේ ම ගියොත් මුලින් රවුමෙන් එළියේ හිටියොත් ‍රවුමේ දාරය පහු නො කර ඇතුළට යන්න බෑ. ඇතුළේ හිටියොත් එළියට යන්න බෑ. ඒත් කඩදාසියෙන් ඉහළ ත්‍රිමාණයට ආවොත් රවුමේ ඇතුළ පිට දෙක ම එකවර පේනවා.ඇතුළෙන් එළියට , එළියෙන් ඇතුළට යන්න පුළුවන් රවුමේ දාරයේ ගැටෙන්නේ නැතුව. ත්‍රිමාණය මඟින් ද්විමානයේ මායිම් නොසලකා ගියා වගේ ඔය විදිහට ම ත්‍රිමාණයට අමතර තවත් මානයක් තිබුණොත් ඒ මානය භාවිත කරලා බිත්තරයක ඇතුළ බලන්න පුළුවන්, ශරීරය විවර නො කර ශල්‍ය කර්ම කරන්න පුළුවන් වගේ කතා කියනවා. මේවා ගැන ගොඩක් ලියපු කෙනෙක් ආතර් සී. ක්ලාක්. හේතුවාදීන් බොහෝ දෙනෙක් ඔහු සමඟ ගත් ඡායාරූප ප්‍රචාරය කිරීමටත් උනන්දුවක් දක්වනවා. ආතර් සී. ක්ලාක්ගේ පළමුවෙනි රූපවාහිනි වැඩසටහනත් අධිගණය ගැන (මාන හතරක් ඇති ඝනය). තන්තුවාදයෙත් මෙවැනි වෙනත් මාන ගැන කියැවෙනවා.
වෙනත් මාන දකින්න පුළුවන් කෙනෙකුට මුදල් නෝට්ටුව හා සැඟවුණු භාණ්ඩය සොයා ගැනීම එමඟින් කළ හැකියි. අගුළු දැමූ කාමරයෙනුත් එලෙස නිදහස් වෙන්න පුළුවන්, නව මානයන් පාලනය කිරීමේ හැකියාවක් ලබා ගත්තොත්. අනික ඒ වගේ වෙනත් මානවල ඉන්න ජීවීන් (එහෙම ඉන්නවා නම්) එක්ක ගනුදෙනු කළ හැකි මානසික ශක්තියක් තිබුණත් මුදල් නෝට්ටුවේ අංකය, සැඟවුණු වස්තුව හඳුනාගන්න පුළුවන්.

සහේතු: අනෙක් තර්කත් කෙටියෙන් සඳහන් කරමු.

ප්‍රබෝධ: මම කීවා පරමාණුවල ඉතා වැඩි කොටස හිස් අවකාශ කියලා. පදාර්ථය තියෙන්නේ අතිශයින් කුඩා ප්‍රමාණයක්. අපි මේ දැඩියි කියා හිතන් ඉන්න දේවල්වල එහෙම් පිටින් ම වගේ තියෙන්නේ හිස් තැන්. ඉතින් නිසි පරිදි පරමාණු සකසා ගත්තොත් ඔය හිඩැස් අතරින් රිංගලා යන්න පුළුවන්. හරියට කාඩ් අතර හිඩැස් තියෙන විදිහට සකසපු කාඩ් කුට්ටම් දෙකක් ගත්තොත් අපිට එකක් අනික තුළින් යවන්න පුළුවන්. මේ විදිහට සිර කළ කුටියකින් ගැළවී යෑමේ හැකියාව අපිට බැහැර කරන්න බෑ.
ඊළඟ දේ තමයි මුදල් නෝට්ටුව ප්‍රශ්නය සාකච්ඡා වෙද්දී අපි එක දර්ශනයක් උඩ විතරක් රැඳෙන්න බෑ. ගුප්ත විද්‍යා මේ මේ දර්ශනය මත ම විග්‍රහ කළ යුතුයි කියලා නියම කරන්න බෑ. දැන් ඉන්ද්‍රියානුභූතවාදය කියන දර්ශනවාදය අනුව නිරීක්ෂණය නො කරන විට යමක් පවතින්නේ නෑ. මේ අදහස ක්වොන්ටම් භෞතිකයේ දී තීරණාත්මක ලෙස වැදගත් වෙනවා.
උදාහරණයක් විදිහට ෂ්‍රෝඩිංගර්ගේ බළලා ප්‍රශ්නයේ එක විවරණයක කියැවෙනවා නිරීක්ෂණය නො කරන විට පෙට්ටියක් තුළ සිටින බළලා මැරී මෙන් ම ජීවත් වෙමින් සිටින බව. නිරීක්ෂණය කරද්දියි ඉන් එකක් නිර්ණය වෙන්නේ.
හියු එවරිට් කියන විද්‍යාඥයාගේ තවත් විවරණයක් අනුව මැරුණු බළලෙකුයි ජීවිත් වෙන බළලෙකුයි ඉන්න සමාන්තර ලෝක දෙකක් එකට පැටලිලයි තියෙන්නේ. අපි නිරීක්ෂණය කිරීමේ දී ඉන් එක ලෝකයකට ඇතුළු වෙනවා.
දැන් මේක මුදල් නෝට්ටුවට යෙදුවොත් කොහොම ද? මුදල් නෝට්ටුව වසා තිබෙද්දී ඊට නිශ්චිත අංකයක් නෑ. අංක ඔක්කොම මිශ්‍රව තියෙනවා. නිරීක්ෂණය කරද්දියි අංකය හටගන්නේ.
එහෙම නැත්නම් අනිත් විවරණය අනුව සියලු අංක තියෙන මුදල් නෝට්ටු සමාන්තර ලෝක ගණනාවක කවර ඇතුළේ තියෙනවා. මේ ඔක්කොම එකට පැටලිලා තියෙන්නේ. දැන් කවරය විවෘත කරලා නිරීක්ෂණය කරද්දියි ඒකෙන් එක ලෝකෙකට ඇතුළු වෙලා
නිශ්චිත අංකයක් ලැබෙන්නේ.
දැන් වසා ඇති විට මුදල් නෝට්ටුවට කේත අංකයක් නෑ කියලා හරි කේත අංක ගණනාවක් තියෙනවා කියලා හරි කීවොත් මොක ද වෙන්නේ. ඒ උත්තරය අභියෝග කරන්න හේතුවාදයට කිසි ම ශක්තිමත් තර්කයක් නෑ. හේතුවාදීන්ට තියෙන්නේ තමා ඇතුළු කළ මුදල් නෝට්ටුව ම ඒ තුළ එලෙස ම තිබෙනවා, ඒක අපෙන් ස්වායත්ත යථාර්ථයක් කියලා හුදු විශ්වාස කිරීමක් පමණයි.
ඔය විශ්වාසය අපිට බොහෝ තැන්වල දී ගැටලු ඇති නො කළාට ක්වොන්ටම් භෞතිකයේ දී තීරණාත්මක ගැටලු ඇති කරනවා. හැකිනම් මේ ක්වොන්ටම් භෞතිකයට සාර්ථක හේතුවාදී විවරණයක් මුලින් ලබා දීලා එන්න. මේවා ගුප්තයි වගේ පේන්න පුළුවන්. ඒත් අනෙක් හැම ගුප්ත දේට ම වඩා ගුප්ත දේවල් බටහිර විද්‍යාවේ තිබෙන බව අමතක කරන්න එපා.

සහේතු: ඊළඟ අභියෝගය ශරීරය එක තැනක තබා තවත් තැනකින් පෙනී සිටින්න.

ප්‍රබෝධ: මේක කරන්න පුළුවන් යම් සීමාවක් තුළ. චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ කතා වස්තුව බලන්න. ශරීර කිහිපයක් මවා ගත්තත් ඒවා ක්‍රියාකරවිය හැක්කේ එකකට පසු එකක්. බුදු වරයකුට පමණයි අනෙක් අයට පරතරය නො දැනෙන තරම් වේගයෙන් ශරීර කිහිපයක් ක්‍රියාත්මක කළ හැක්කේ. අනික මෙය පුදුමයක් නෙවෙයි. චිත්ත සංඥාවලින් වැඩ කරන රොබෝවන් නිපදවලා තියෙනවා. එයත් ශරීරය එක් තැනක තිබිය දී වෙනත් තැනක දෘශ්‍යමාන වීමක්. ද්‍රව්‍යමය නොවන මාධ්‍ය ඔස්සේත් මෙවැනි දේ කළ හැකියි.
තවත් හොඳ ම උදාහරණයක් පුනර්භවය. පුනර්භවයේ දීත් එක් තැනක සිරුර අතහැර වෙනත් තැනක ඉපදීම සිදුවෙනවා.

සහේතු: ඊළඟ අභියෝගය සැත්කමකින් කපා වෙන් කළ අවයවයක් අඟලකට වඩා දිගු කොට පෙන්වන්න.

ප්‍රබෝධ: ශල්‍යකර්මයකින් කපා වෙන් කළ අතක් කියන්නේ පූර්ණ ස්වාභාවික දෙයක් නෙවෙයි. මෙවන් දේවලින් අභියෝග කිරීමේ තේරුමක් නෑ. අනෙක ශරීරයේ බොහෝ අංග මෙහෙම වර්ධනය වෙනවා. එනිසා අපිට එවැන්නක් පෙන්වුවත් එමඟින් නිගමනයක් ගැනීමට බැහැ.

සහේතු: මීළඟ අභියෝගය කකුළේ දිය පට්ටා ඇති නො වී මිනිත්තු බාගයක් ගල් අඟුරු මත කකුළ නිසලව තබාගෙන සිටින්න.

ප්‍රබෝධ: දැන් කවුරුවත් ඔහොම මිනිත්තු බාගයක් ම පුළුවන් කියනවා ද? ඔය ගිනි පෑගීම ගැන කොවුර්ගේ අභියෝගය වගේ ම හේතුවාදී සංගමය කළ පරීක්ෂණත් තියෙනවා. මම මෙතනදී කතා කරන්නේ කොවුර්ගේ අභියෝගය ගැන. අනික් ඒවා ගැන කතා කිරීම අපේ මූලික මාතෘකාවට අදාළ නෑ. මේ අභියෝගය පැහැදිලි ව ම තේරුමක් නෑ. ගිනි පෑගීම සඳහා දෙවියන්ගේ බලය ලැබෙන බව කීවිට ඊට අදාළ ක්‍රම වේදයෙන් බැහැරට ගිහින් මිනිත්තු බාගයක් කකුළ නිසලව තබා ගෙන ඉන්න කියන එක නිවැරදි අභියෝග කිරීමක් නෙවෙයි. අපි බලන්න ඕනේ අනෙක් අයට වඩා දෙවියන්ගෙන් උදව්වක් තියෙනවා ද කියන එක.

සහේතු: මීළඟ අභියෝගය චිත්ත බලයෙන් වස්තු චලනය කර හෝ නැවීමට ලක් කොට හෝ පෙන්වන්න.
ප්‍රබෝධ: මුල් ම දේ චලිතය කියන්නේ ම අපි මනසින් අත්දකින දෙයක්. කුඩා කාලයේ වාහනයක යද්දී ගස් පිටිපස්සට දුවනවා අපි දැකලා තියෙනවා. පාසල්වල දී අපි ඉගෙන ගන්නවා එසේ පෙනීම ස්වභාවිකයි. අපට පේන්නේ අපට සාපේක්ෂ චලිතය කියලා. හැබෑ ප්‍රශ්නය ඕක නෙවෙයි. හැබෑ ප්‍රශ්නය එහෙනම් ඇයි වයසින් වැඩෙද්දී ඕක පේන එක නවතින්නේ කියන එක. චලිතයන් මනසින් තීරණය වෙන බව මින් පේනවා.
අනික් දේ ක්වොන්ටම් භෞතික විද්‍යාවේ සඟල සිදුරු පරීක්ෂණය කියලා පරීක්ෂණයක් තියෙනවා. ඒකේ පෙනෙනවා අපි ඉලෙක්ට්‍රෝන ගමන් කරන සිදුර සොයන්න උත්සාහ කරන විටයි එසේ නොවන විටයි ඉලෙක්ට්‍රෝන හැසිරිලා තියෙන්නේ සහමුලින් ම වෙනස් විදිහට බව. මෙහි තවත් ආකාර කිහිපයක් තියෙනව. මේවායින් කියැවෙන්නේ අපේ මනස මඟින් ක්වොන්ටම් අංශුවල හැසිරීම වෙනස් කළ හැකි බව. ඉතින් දියුණු කළ මනසකින් මහේක්ෂ අංශුවලටත් ඒවැනි  කරන්න බැහැයි කියන්න තියෙන තර්කය මොකක් ද?

ලබන සතියට: ජ්‍යෝතිෂ්‍ය හා හස්තශාස්ත්‍රය

                         - තමලු මලිත්ත පියදිගම 

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි