කඳුළු ගංගා රුධිර දහරා ගිනි ජාලා අතරේ වළලා දැමූ මානවවාදයේ බිහිසුණු අතීතය

බටහිර ගුප්ත විද්‍යාවේ වර්ධනය හා මර්දනය

 (2017.11.08 විදුසර)


ඊනියා මානවවාදය හා ඊනියා නිදහස් චින්තනය බටහිර අධිරාජ්‍යවාදයේ අතකොළුවක් වී ඇති අන්දම පෙන්වාදුන් මගේ ඔක්තෝබර් 18 වෙනි දින ලිපියෙන් පසු සැම්සන් මහතා වෙන කවරදාකටත් වඩා සලිතව ඇති බව ඔහුගේ ඔක්තෝබර් 25 වෙනි දා ලිපියේ ඔහු ලියා ඇති දෙයින් මෙන් ම ලියා ඇති ශෛලියෙන් ද පෙනේ. ආක්‍රමණික අධිරාජ්‍යවාදීන්ගේ ක්‍රියාකාරකම්වලින් පසු පවා ලංකාවේ 70%ක් බෞද්ධ බවත් එනිසා ඔවුන්ට දොස් පැවරීම ඵලක් නැති ක්‍රියාවක් බවත් කියමින් සැම්සන් මහතා තම ස්වාමි වූ අධිරාජ්‍යවාදීන්ට සුදු හුණු ගෑමක යෙදේ. ලංකාවේ දැනට සිටින බෞද්ධයන්ට පවා ඇත්තේ බටහිරින් අර්ථකථනය වූ දැනුමක් බව මා 18 වෙනි දා ලිපියේ පෙන්වා දී ඇත. විශාල හානියක් කළ ද බටහිරයන්ට මේ රට සම්පූර්ණයෙන් ම නතු කර ගැනීමට නො හැකි වූ බව සත්‍යයකි. එහෙත් බටහිරයෝ ඒ තමන්ට නො හැකිවූ කොටස ඉටු කර ගැනීමට සැම්සන් මහතා වැනි අධිරාජ්‍යවාදයේ වක්‍ර නියෝජිතයන් බිහි කොට ගිය හ. සැම්සන් මහතා වැන්නන්ගේ විකෘති කිරීම්වලින් මූලාශ්‍ර ගලවා ගත යුත්තේ එහෙයිනි.

සැම්සන් මහතා මාගේ ලිපිවලින් ඔහුට එල්ල වන වාග් ප්‍රහාර දකින්නේ අපහාස කිරීමක් ලෙස ය. වාග් ප්‍රහාරයක හා අපහාසයක වෙනසවත් නො දන්නා ඔහු දෙස් විදෙස් වියතුන්ගේ සංවාද ලිපිවත් කියවා ඇතැයි සිතීම උගහට ය. මා බොළඳ හරසුන් වංචනික ළාමක කිඹුල් කඳුළු වැනි වචන ඔහු සඳහා යොදන්නේ ඔහුට ඒ වචන උචිත වන ආකාරය සවිස්තරව පෙන්වා දීමක් ද සමඟිනි. සැම්සන් මහතා ඔහුගේ පසුගිය ලිපිවල නිතර සඳහන් කළ හේතුවාදී දැවැන්තයකු නම් සංවාදවල දී ප්‍රතිවාදීන් උදෙසා යොදා ගත්තේ මෙවන් වචන නොව 'උග්‍ර මැට්ටා' යන වචනයයි. හේතුවාදීන් හුරු පුරුදු එවන් වචන වෙනුවට මා ඉහත දැක්වූ වචන භාවිත කරන්නේ අර්ථ නො දැක්විය හැකි උග්‍ර මැට්ටා මෙන් නොව වංචනිකබව හරසුන්බව ළාමකබව කිඹුල් කඳුළු වන අයුරු උදාහරණ මඟින් නිශ්චිතව පෙන්වාදිය හැකි බැවිනි. සැම්සන් මහතාට ඉහත වචන උචිත වන අයුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් පසුගිය ලිපිවල මා එම වචන භාවිත කොට ඇති තැන් නැවත කියවා බලන්න. 'සුද්දන්', 'බටහිරයන්' වැනි වචන අපහාසාත්මක වචන ලෙස අර්ථකථනය කළ මුල් ම තැනැත්තා සැම්සන් මහතා ම විය යුතු ය. සැම්සන් මහතා මේ නො කියා කියන්නේ අප බටහිරයන්ට අසීමිතව ගෞරව කරමින් ආමන්ත්‍රණය කළ යුතු ය කියා විය යුතු ය. සැම්සන් මහතා අජිත කේශකම්බලගේ 'මවට උපකාර/ අපකාර කිරීමෙහි ඵල විපාක නැත. පියාට උපකාර/අපකාර කිරීමෙහි ඵල විපාක නැත.' යන ප්‍රකාශය හේතුවාදීන්ට පැවරීම දකින්නේ අපහාසයක් ලෙස ය. අජිත කේශකම්බල මෙතැන ප්‍රකාශ කරන්නේ අදාළ ක්‍රියාවල ඵල විපාක ගැන මිස එම ක්‍රියාවල හොඳ නරක ගැන නො වේ. මෙවන් සරල දේ පටලා ගෙන කරන තර්කවලට විශේෂණ පදය වන්නේ බොළඳ යන්න ම මිස වෙන කුමක් ද? කර්මය හා කර්ම විපාකය නො පිළිගන්නා අයකුට විශේෂයෙන් මවට පියාට උපකාර කිරීමෙන් ඵල විපාක ඇති බවක් කිව නො හැකි ය. දැන් සැම්සන් මහතා කර්ම හා කර්ම විපාක පිළිගන්නේ ද? මා විද්‍යාඥයන් ඇතුළු භෞතිකවාදීන් අජිත කේශකම්බලට සම කරන විට සඳහන් කළ 'එම කරුණෙහි දී' යන්න හොර රහසේ ම හළා දමා සැම්සන් මහතා කරන තර්කවල වංචනිකභාවය වටහා ගැනීම විදුසර පාඨකයන්ට අපහසු නො වේ.
පසුගිය ලිපියක දී මා පෙන්වා දුන්නේ ෂෝන් කාල්සන් දත්ත රැස් කිරීමෙන් පසු විෂ්ලේෂණ ක්‍රමවේදය වංචනිකව වෙනස් කොට ඒ බව තම පත්‍රිකාවේ තමන් ම සටහන් කොට තිබිය දී කිසිත් මතක නැති අහිංසක ළදරුවකු මෙන් පෙනී සිටිමින් තම වරද, එම වරද නිවරද කළ Ertel වෙත පැවරූ බවයි. එබඳු 'තක්කඩිකමක්' කරන මුත් කාල්සන් සැම්සන් මහතා මෙන් පත්‍රිකා පළවූ ප්‍රකාශන ගැන විහිළු කතා කියමින් විවේචනය මඟ හරින්නේ නැත. Ertelගේ විවේචනයට විධිමත් පිළිතුරක් ළඟ දී ම දෙන බව කියන කාල්සන් 2009 සිට මේ දක්වා ම එවැනි කිසිවක් ලිවීමට අපොහොසත් වී ඇත. තමාගේ වැරදි වංචනිකව අනුන් පිට පැටවීමේ කාල්සන්ගේ කපටි කලාව නම් සැම්සන් මහතා ගියවර ලිපියේ හොඳින් ම අනුගමනය කර ඇත. මා සවිස්තරව පෙන්වා දී ඇති අයුරින් නැවත නැවතත් වචන විකෘති කරමින්, මූලාශ්‍ර විකෘති කරමින්, වැදගත් වචන හළමින්, අසන දේට පිළිතුරු නො දෙමින් ලිපි ලියන සැම්සන් මහතා පසුගියවර ලිපියේත් එසේ ම කරන අතරතුර වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්නකු මෙන් ඒ චෝදනා මවෙත එල්ල කිරීමට නිරර්ථක උත්සාහයක් දරා ඇත. ඊට උදාහරණ සැපයීමට ගොස් ඒ මහතා වීදුරු ගෙය ද බිඳ දමා පොළොවට සමතලා කරගෙන ඇත.

ඔහු පිළිගත්තේ 'සූර්ය කේන්ද්‍රවාදය මෙන් ම පෘථිවි කේන්ද්‍රවාදය ද නිවැරදි ප්‍රතිඵල ලබා දෙයි' යන්නක් නො වන බවත් නිවැරදි ප්‍රතිඵල යන්නට පළමුව 'ග්‍රහලෝකවල සාපේක්ෂ චලිත සමීකරණ ලබා ගැනීම සම්බන්ධයෙන්' යන්න එක් විය යුතු බව ය. මා හළා දමා ඇති සැම්සන් මහතාගේ 'වැදගත් වචන' මේවාලු. දැන් මෙයින් කියැවෙන්නේ මා දැක්වූ ප්‍රකාශය වැරදි බවත් එය ඉහත වචන එක් වීමෙන් නිවැරදි විය යුතු බවත් ය. එනම් මා දැක්වූ ප්‍රකාශය නිවැරදි වන්නේ ග්‍රහලෝකවල සාපේක්ෂ චලිතය ලබා ගැනීම සම්බන්ධයෙන් පමණි. මෙයින් නිගමනය වන්නේ සැම්සන් මහතාට අනුව ග්‍රහලෝකවල සාපේක්ෂ චලිත සමීකරණ ලබා ගැනීම නොවන සමහර වෙනත් කටයුතුවල දී සූර්යකේන්ද්‍රවාදයත් පෘථිවි කේන්ද්‍රවාදයත් යන දෙකෙන් ම එක සේ නිවැරදි ප්‍රතිඵල නො ලැබෙන බව ය. ග්‍රහලෝකවල සාපේක්ෂ චලිත සමීකරණ ලබා ගැනීම නොවන මෙම වාද දෙකෙන් සමාන නිවැරදිතාවකින් ප්‍රතිඵල ලබා නො දෙන එක් අවස්ථාවකට හෝ උදාහරණයක් ලබා දෙන ලෙස අභියෝග කරමි. මා වැදගත් වචන හළන බවට දී ඇති මේ එක ම උදාහරණයෙන් පසු සැම්සන් මහතා කියන්නේ 'ඔහු වෙනත් තර්ක ද බිඳ දමන්නේ මේ අපූරු අකාරයෙන් (වචන හළමින් හෝ වැදගත් කරුණු සඟවමින්) විය යුතු ය'  බවයි.   '...අපූරු අකාරයෙන් ය.' යනුවෙන් ස්ථිරව නො කියා '....අපූරු ආකාරයෙන් විය යුතු ය.' යැයි අවිනිශ්චිතභාවයෙන් යුතුව මෙය ප්‍රකාශ කරන්නේ තමා ප්‍රකාශ කරන්නේ කුමන විලම්භීතයක් දැයි සැම්සන් මහතාට ම නො තේරෙන බැවින් විය යුතු ය.
මීළඟට ඔහු ඉදිරිපත් කළ ගුත්තිලයේ කවියකට මා පිළිතුරු නොදුන්නේ යැයි කරන විහිළුවට කෙසේ සිනහ විය යුතු දැයි මම නො දනිමි. එම කවියේ සතර මහද්වීපය 'එකවිට' දුටු බවක් සඳහන් නොවන අතර පොළොව වටා භ්‍රමණය වී දෙව්ලොව ගියේ නම් සතර මහද්වීප බලා ගැනීමට ගුත්තිල පඬිතුමාට හැකි ය. මීට පොළොව පැතලි විය යුතු නො වේ. මිලින්ද ප්‍රශ්නයෙන් මෙන් ම සූර්ය සිද්ධාන්තයෙන් ද උපුටා ගනිමින් මීට පිළිතුරු දුන් බව පාඨකයන්ට හොඳින් මතක ඇතුවාට සැක නැත. එහෙත් විකිපීඩියා ලිපියක බෞද්ධ මූලාශ්‍ර ගණනාවක් ඇසුරෙන් බෞද්ධයන්ට අනුව පොළොව පැතලි බව දක්වා ඇතැයි කියන සැම්සන් මහතා නම් අදාළ මූලාශ්‍ර ලැයිස්තුව සටහන් කොට අදාළ ලිපියේ සබැඳිය ලබා දෙන මෙන් කළ අභියෝගයෙන් හොර රහසේ පැන ගොස් ඇත. ස්ටීවන්ස් හෝකිංගේ ප්‍රකාශයකට පිළිතුරු නොදුන්නේ යැයි අපට චෝදනා කරන සැම්සන් මහතාට අමතක වී ඇත්තේ එම ප්‍රකාශයට මා පමණක් නොව මුල දී සංවාදයේ යෙදී සිටි දිලුම් සෙනවිරත්න මහතා ද පිළිතුරු දුන් බවයි. එහෙත් අප හෝකිංගෙන් උපුටා දැක්වූ ප්‍රකාශවලින් හොර රහසේ පැනගොස් ඇති සැම්සන් මහතා දැන්වත් ඊට පිළිතුරු දෙන්නේ නම් යහපත් ය. සැම්සන් මහතා මේවන විට කරුණු රහිත අවලාද හා මැසිවිලි ගොන්නක් පිළිතුරක් ලෙස නම් කොට පළකිරීමට පටන්ගෙන ඇති බැවින් සැම්සන් මහතා විවාදයේ දී හොර රහසේ මඟ හැර ගිය තර්ක හා අභියෝග ගැන ලබන වාරයේ දී සමාලෝචනයක් කරමි. පසුගිය වාරයේ පොරොන්දු වූ ලෙස මෙවර මා යුරෝපයේ ගුප්ත විද්‍යාවේ ඇති වූ පිබිදීම හා මර්දනය ගැන විස්තර ඔබ හමුවට ගෙන එමි.

යුරෝපයේ පැවති මධ්‍යකාලීන වැඩවසම් යුගය නිමාවී පුනරුදය ඇරඹුණු වසර ලෙස සලකන්නේ කොන්ස්තන්තිනෝපල් (ඉස්තාන්බුල්) නගරය තුර්කියට යටත් වූ 1453 වසරයි. පැරණි ග්‍රීක රෝම කෘති එක් රැස් කොට තිබූ මහා පුස්තකාලය පැවතුණේ එහි ය. මුස්ලිම් ආක්‍රමණිකයන්ගෙන් එම පොත් පත් රැකගැනීමට එම පොත් යුරෝපයේ උතුරට ගෙන යෑමට පූජකයෝ කටයුතු කළ හ. මෙකල කතෝලික දේවස්ථාන ආශ්‍රිතව විද්‍යාල ඇති වෙමින් පැවතුණු අතර ඒවාට මෙම ග්‍රීක රෝම කෘති ගෙන යන ලද අතර පැරණි දැනුම ගවේෂණය කිරීමේ කුතුහලයෙන් ඇලලුණු ශිෂ්‍යයෝ එම පොත් අධ්‍යයනය කළ හ. මෙසේ උතුරට ගෙන ගියේ ග්‍රීක රෝම පොත් පත් පමණක් නො වේ. අරාබි පොත පත ද, කබල්ලාහ් හර්මෙටික් වැනි ගුප්ත විද්‍යාවල පොත පත ද ඇතැම් ඉන්දීය පොත පත ද මෙලෙස උතුරු යුරෝපයට ගෙන යන ලදී. එමෙන් ම මේ යුගයට තරමක් පෙර සිට පවා මුස්ලිම් විද්වතුන්ගෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට ගිය යුරෝපීය ශිෂ්‍යයෝ වූ හ. මේ කාලයට සියවස් කීපයකට පෙර ඉබන් සිනා නමින් මුස්ලිම් උගතෙක් විය. ඔහු ප්ලේටෝගේ දර්ශනය ඉස්ලාම් ආගම සමඟ බද්ධ කෙරුණු දර්ශනවාදයක් නිර්මාණය කළේ ය. මෙවන් නව ප්ලේටෝනික ඉස්ලාම් දාර්ශනිකයෝ මූලික මට්ටමේ ඉස්ලාමික විද්‍යාවක් නිර්මාණය කොට තිබුණි. අල් ඝසාලි නම් තවත් ඉස්ලාමික දාර්ශනිකයකු මෙම දර්ශනයට එරෙහි වෙමින් ඉතා තීව්‍රව මත පළ කළ අතර බොහෝ ඉතිහාසඥයන්ට අනුව නබිතුමාට පසුව පහළ වූ වඩාත් බලපෑම්කාරී ඉස්ලාම් දාර්ශනිකයා ඔහු ය. 1453 වන විටත් ඉස්ලාම් ආගමේ බලවත්ව පැවතුණේ අල් ඝසාලිගේ කතිකාවයි. ඊට සියවස් තුනකට පෙර සිටි Ibn Rushd නම් තවත් ඉස්ලාමික දාර්ශනිකයකු ගසාලි විවේචනය කරමින් ප්ලේටෝ ඇරිස්ටෝටල්ගේ් මතවාද නැවත ඉස්මතු කළේ ය. යුරෝපීයයන් ද එකල බලවත්ව පැවති ඉස්ලාම් දර්ශනයට අභියෝග කළ Ibn Rushdට ආකර්ෂණය වූ අතර ඔහු විසින් ඉතා අගය කිරීමට ලක් වූ ඇරිස්ටෝටල්ගේ ලේඛන කියවීමට උනන්දු වූ හ. ඇරිස්ටෝටලීය ඉගැන්වීම් ජනප්‍රිය වී කතෝලික පල්ලියට ද බද්ධ වූ අතර තෝමස් ඇක්වයිනාස් දේවගැතිවරයා ඇතුළු පිරිස්වල බලපෑම හමුවේ පැතැලි පොළොව ආදී මතවාද හැර දමමින් ගෝලාකාර පොළොවත් පෘථිවි කේන්ද්‍රවාදයත් ඇරිස්ටෝටලියානු අවකාශ කාලයත් සාදරයෙන් පිළිගැනිණි. එතෙක් පැවති බයිබල් අර්ථකථන ද සංශෝධනය කොට ඇරිස්ටෝටලියානු මතයට අනුගත කෙරුණු අතර එහි දී ඇතිවුණු විවිධ මතවාද ඇසුරෙන් දේවධර්ම නිකායන් ඇති විය. ඉබන් සිනාගේ හා Ibn Rushdගේ නම් ඇවිසෙන්නා හා ඇවරෝස් ලෙස ලතින්කරණය කොට ඉස්ලාමික මූල සඟවා දමන ලදී. මේ ඇරිස්ටෝටලියානු ආධිපත්‍යයෙන් පිටස්තරව ඇවරෝස්ගේ දර්ශනයේ තිබූ අරාබි ජ්‍යෝතිෂ්‍යයත් තවද කබල්ලාහ් pagan ඇල්කෙමි හා හර්මෙටික් යන ගුප්ත විද්‍යාත් යුරොපයේ ජනප්‍රිය වන්නට විය. ඇක්වයිනාස් දේවගැතිවරයා හර්මෙටික් පිළිබඳව උනන්දු වුව ද, සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලියානු දර්ශනය හා මෙම ගුප්ත විද්‍යා හැදෑරීමට යොමු වුණේ වෙනස් පිරිස් ය. මුලින් ම ජ්‍යෝතිෂ්‍යයත් තාරකා විද්‍යාවත් වෙන් කෙරුණේ සමහර ඉස්ලාමික දාර්ශනිකයන් අතිනි. දෙවියන්ට අයත් අනාගත කථනය මිනිසුන්ට තහනම් බවත් එම නිසා එය සාතන්ගේ ශාස්ත්‍රයක් බවටත් මත පල විය. එහෙත් එහි දී ආ ප්‍රතිතර්කයක් වූයේ රාමසාන් දවස දැනගැනීමට ආකාශ වස්තු සම්බන්ධ ගණනයන් ප්‍රයෝජනවත් බව ය. මේ මත පිහිටමින් ජ්‍යෝතිෂ්‍ය හා තාරකා විද්‍යාව වෙන් කරන ලදී. තාරකා විද්‍යාව ප්‍රයෝජනවත් බවත් ජ්‍යෝතිෂ්‍ය යක්ෂයාගේ බවත් මත පළ විය.

මෙසේ යුරෝපය තුළ ඇරිස්ටෝටලියානු දර්ශනය හා ගුප්ත විද්‍යා ජනප්‍රිය වන අතරතුරේ කතෝලික පල්ලියට විරුද්ධව ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාර ඇති විය. ලූතරියානු කැල්විනියානු ව්‍යාපාර ඒ අතර ප්‍රමුඛ ය. මීට පෙර මා දැක්වූ ලෙස ඇමරිකානු මානවවාදී සංගමයට අනුව මෙම ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාර වර්තමාන අරුතින් ද මානවවාදී වේ. කතෝලික පල්ලියෙන් මුල් කාලයේ ගුප්ත විද්‍යා සඳහා එතරම් විරෝධයක් එල්ල නො වුණ ද ප්‍රතිසංස්කරණවාදී ව්‍යාපාරවලින් මේවා සාතන්ගේ ශාස්ත්‍ර යැයි ප්‍රබල විරෝධයක් එල්ල විය. මේ යුගය වන විට සමාජයේ ප්‍රභූ පුද්ගලයින් ද ගුප්ත විද්‍යා හැදෑරූ අතර මීට එරෙහිව මායාකාරියන් දඩයම (Witch Hunt) ලෙස ගුප්ත විද්‍යාවල යෙදෙන්නන් සමූල ඝාතනය කිරීමට ප්‍රතිසංස්කරණවාදීන් පෙළඹුණි. මේ සඳහා පණ පිටින් පිළිස්සීම පපුව මත බරැති ගල් තබා තෙරපා මරා දැමීම එල්ලා මැරීම භාවිත විය. නවකතා හා චිත්‍රපටිවල මායාකාරියන් දඩයම් කිරීම මධ්‍යකාලීන යුගයේ කතෝලික පල්ලිය අතින් සිදු වූ බව සාවද්‍යව දැක්වුව ද එය අසත්‍ය බව ඉතිහාසඥයෝ පෙන්වා දෙති. ( Gaskill, Malcolm Witchcraft, a very short introduction, Oxford University Press, 2010 ) පසුකාලීනව කතෝලික පල්ලිය ද ගුප්ත විද්‍යාවලට තරමක විරෝධයක් එල්ල කරන ලද මුත් මායාකාරියන් දඩයම් කිරීම් නම් ඔවුන් අතින් සිදු වී නැත. ඊනියා මානවවාදය ආරම්භ වී ඇත්තේ ගිනිජාලා හා ලේ ගංගා මතින් බව මතක තබා ගත යුතු ය. 

   එහෙත් පිටරටවල වත්මන් ඊනියා නිදහස් චින්තකයන් නම් මේ අතීතයෙන් වෙන් වීමට ඉමහත් වෙහෙසක් දරති. සැම්සන් මහතා කියන ඔවුන්ගේ IHEU සංගමයේ වෙබ් අඩවිය අනුව නිදහස් චින්තන දිනය ලෙස ඔවුන් හඳුන්වන ඔක්තෝබර් 12 වෙනිදා සැමරෙන්නේ ඇමරිකානු කොලනිවල සිදුවූ කුප්‍රකට මායාකාරියන් දඩයමක (Salem Witch Trial) අවසන් දිනයයි. මේ මායාකාරියන් දඩයම වැළැක්වීමට මැසචුසෙට්හි ආණ්ඩුකාරයා වූ විලියම් ෆිප්ස් ක්‍රියා කළේ ය. නිදහස් චින්තකයෝ ඔහු තම වීරයකු සේ සලකති. එහෙත් මේ මායාකාරියන් සමූලඝාතනය කළ අධිකරණය පිහිටුවීමට ආරම්භයේ ඔහු ද දායක වූ අතර මෙය නිමාවන විට විසි දෙනකු ඝාතනය කොට තිබුණි. තවත් දෙදෙනකු හිරගෙවල්වල ම මිය ගොස් තිබුණි. මොවුන් අතරින් විශාල ප්‍රමාණයක් කාන්තාවන් ය. මේ සිද්ධියට නිදහස් චින්තකයෝ විවිධ අර්ථකථන දෙති. සමහරුන්ට අනුව ෆිප්ස් ආණ්ඩුකාරයාට මුලින් 'කොන්ද පණ නොතිබුණු' අතර එනිසා ක්‍රිස්තියානි නිකායන් කියන කියන පරිදි ක්‍රියා කළත් පසුව සමූල ඝාතනය දැක ප්‍රකම්පනය වීමෙන් කශේරුකාව ඍජු වී මෙය නවත්වා තිබේ. සමහරුන්ට අනුව ආණ්ඩුකාරයා ලෙස ෆිප්ස්ට අකැමැත්තෙන් වුවත් මෙය කිරීමට සිදු වී ඇත. නිදහස් චින්තකයන් හොර රහසේ යට ගහන කරුණුවල ඇත්ත නැත්ත පෙනෙන්නේ සලෙම් මායාකාරි දඩයමේ චූදිත ලේඛනය ගත් විටයි. ෆිප්ස් ආණ්ඩුකාරයාගේ බිරිඳ මේරි ෆිප්ස් ද අවසානයේ මායාකාරියක සේ නම් කෙරී ඇත! ඇයට වරෙන්තුවක් ඒමට පෙර පිෆ්ස් ආණ්ඩුකාරයාට හදිසියේ ම නිදහස් චින්තනය හා මානවවාදය පහළ වූ බව හොඳින් ම පැහැදිලි ය. මෙසේ ලෙයින් කඳුලින් තෙත් වූ, ඊනියා නිදහස් චින්තකයන් විසින් යටපත් කෙරෙන බිහිසුණු ඉතිහාසය පොළොව යට වළලමින් මානවවාදීන් හා නිදහස් චින්තකයන් ද සාමාන්‍ය මිනිසුන් බව පෙන්වීම සඳහා වර්තමාන විදේශීය නිදහස් චින්තකයෝ නිදහස් චින්තන දිනය භාවිත කරන බව කියති. එහෙත් ලංකාවේ ඊනියා මානවවාදී හේතුවාදියෝ නම් යෑමට තැත් කරන්නේ රුධිර ගංගා ගැලූ ඒ අතීතයට ය. මීට උදාහරණයක් මෙලෙස දක්වමි. සැම්සන් මහතා ජ්‍යෝතිෂ්‍ය ගැන ලියූ පොත අගයමින් හේතුවාදියකු සති අන්ත විකල්ප පුවත්පතක ලිපියක් පළ කළේ ය. ප්‍රශ්නය එම ලිපිය නො වේ. ඒ ලිපිය තම බ්ලොග් අඩිවියට එක් කරන ලේඛකයා පසුව ලියමියි අලුතින් එක් කරන ආවේගශීලී ප්‍රකෝපකාරී සටහන ය. සැම්සන් මහතාට මෙය තහවුරු කර ගැනීම අපහසු නො වේ. ලංකාවේ මානවවාදීන්ගේ, නිදහස් චින්තකයන්ගේ තරම මින් පෙනේ.

කොපර්නිකස් තමාගේ සූර්ය කේන්ද්‍රවාදය ලබා ගත්තේ ඔහුට පෙර පොළොව චලනය වන බව කී පයිතගරස්ගෙන් හා ඇරිස්ටාකස්ගෙනි. එහෙත් මෙම පයිතගරස්ගේ මතය ඒ වන විට ඇරිස්ටෝටල්ගේ ප්‍රබල තර්ක කිහිපයක් හමුවේ පරාජය වී පැවතිණි. කොපර්නිකස් ඇරිස්ටෝටල්ට පිළිතුරු සෙවූයේ හර්මෙටික ගුප්ත විද්‍යාව තුළිනි.  කතෝලික පල්ලිය කොපර්නිකස්ව කුතුහලයෙන් යුතුව පිළිගත් අතර හත්වෙනි ක්ලෙමන්ට් පාප්තුමා තමන්ට මුලින් ම මෙම මතය පැවසූ විඩ්මැන්ස්ටෙටර්ට වටිනා ත්‍යාග ලබා දී කොපර්නිකස්ව දේශන මාලාවක් සඳහා රෝමයට කැඳවූයේ ය. කොපර්නිකස් සිය වැදගත් ම කෘතිය පිදුවේ තුන්වෙනි පෝල් පාප්තුමාට ය. එය ප්‍රකාශයට පත් වූයේ කොපර්නිකස්ගේ මරණින් පසු ය. කොපර්නිකස්ට විරෝධතා එල්ල වූයේ වර්තමාන මානවවාදීන් ද මානවවාදී යැයි කියන ප්‍රතිසංස්කරණවාදීන්ගෙනි. 1582 දී ග්‍රෙගරි පාප්තුමා කොපර්නිකස්ගේ ගණනයන් මත නූතන දින දර්ශනය ගොඩනැඟූ විට මානවවාදී ප්‍රතිසංස්කරණවාදීහු කොපර්නිකස් ජ්‍යෝතිෂ්‍යවේදියකු යැයි කියමින් සෑහෙන කාලයක් පැරණි සාවද්‍ය දින දර්ශනය ම භාවිත කළ හ.

ජියොර්ඩානෝ බෘනෝ යනු මීට පසු යුගයේ සිටි ගුප්ත විද්‍යාඥයෙකි. අතීත හර්මෙටික ගුප්ත විද්‍යාඥයකු වූ Ficino ගේ Solar Magic පිළිබඳව හැදෑරූ ඔහු එහි කියැවෙන අදහස් අනුව සූර්යයා තවත් තරුවක් ලෙසත් අනෙක් තරු වටා ද ග්‍රහලෝක ඇති බවත් කීවේ ය. විශ්වයේ නිශ්චිත කේන්ද්‍රයක් නැති බවත් සූර්ය කේන්ද්‍රවාදය ගුප්ත කර්ම සඳහා වඩා වැදගත් බවත් ඔහු කීවේ ය. පුනර්භවය ද පිළිගත්තේ ය. ඍජුව ම ගුප්ත විද්‍යාඥයකු වූ බෘනෝ කතෝලික විශ්වාස පූර්ණව බැහැර කරමින් ගුප්ත විද්‍යා හා පුනර්භවය පිළිගැනීම හේතුවෙන් උරණ වූ කතෝලික පල්ලිය එකල සිටි ගුප්ත විද්‍යා විරෝධීන්ගේ සහය ලබමින් බෘනෝ පණපිටින් පිළිස්සී ය. මෙයින් පසු ගුප්ත විද්‍යා උගතුන්ට තිබූ රැකවරණය අඩු වූයේ කතෝලික පල්ලියේ මෙන් ම ප්‍රතිසංස්කරණවාදීන්ගෙන් ද පීඩනයට ලක් වීමට සිදු වූ බැවිනි.

මීළඟට අපට හමුවන ප්‍රකට ගුප්ත විද්‍යාඥයා වන්නේ අයිසෙක් නිවුටන් ය. ගුප්ත විද්‍යාව තර්ජනයට ලක්වූ යුගයක සිටි ඔහු මියයන තුරා ම තමා ගුප්ත විද්‍යාඥයකු බව සඟවාගෙන සිටියේ ය. ඔහුගේ භෞතික විද්‍යාව ද ගුප්ත විද්‍යා චෝදනාවලට ලක් වූ බව සැබෑ ය. එහෙත් ඔහු ඍජුව ම ගුප්ත විද්‍යාඥයකු බව ලෝකය දැන ගත්තේ මරණින් බොහෝ කලකට පසුව ලියවිලි පරීක්ෂා කරන විටයි. ඔහු හෙන්රි මෝ නම් ගුප්ත ශාස්ත්‍රඥයා සමඟ හර්මෙටික ගුප්ත විද්‍යාව ගැන පරීක්ෂණ කර ඇති අතර ඇල්කෙමි තහනම් යුගයක ඇල්කෙමි පරීක්ෂණ කොට පළ නො කළ පොතක් ද ලීවේ ය. සොලමන් රජුගේ මන්දිරය ගැන ද මත පළ කළේ ය. නිවුටන් හේතුවාදියෙකි. දාර්ශනික හේතුවාදීන්ට ගුප්ත විද්‍යා සමඟ ගැටීමක් තිබුණේ නැත. නිවුටන් ගුරුත්වාකර්ෂණය ඇතුළු තම ප්‍රවාද බොහෝමයක් ඉදිරිපත් කළේ ද හර්මෙටික ගුප්ත විද්‍යාව ඇසුරෙනි. නිවුටන් සිය ලේඛනවල වරක් සඳහන් කොට තිබිණේ තම විද්‍යාවට වඩා තම ගුප්ත විද්‍යාව වැදගත් බවයි.

මෙසේ ගුප්ත විද්‍යාවට, ජ්‍යෝතිෂ්‍යට පමණක් නොව බටහිර විද්‍යාවට ද සාහසික ලෙස විරුද්ධ වූ ප්‍රතිසංස්කරණවාදීන් ඇතුළු පුනරුද මානවවාදීන් නිසා ගුප්ත විද්‍යාව සමාජයෙන් සැඟවී ගිය අතර විද්‍යාඥයෝ ද පුනර්භවය ආදී මාතෘකාවලට ප්‍රතිරෝධයක් දක්වමින් තමන් යක්ෂයාගේ ශාස්ත්‍රඥයන් නොවන බව පෙන්වීමට වෙර දැරූ හ. සැම්සන් මහතා කියන ලේඛනවලින් පෙනෙන්නේ එහි පිළිබිඹුවකි. අවසානයේ ඇතැම් ප්‍රොතෙස්තන්තවාදීන් නැවත ගුප්ත විද්‍යා හා පුනර්භවය ගැන උනන්දු වුවද ඔවුන්ට එතරම් සාර්ථක විය හැකි වූයේ නැත.
කොපර්නිකස්, බෘනෝ හා නිවුටන් ගැන මේ මා දැක්වූයේ ඉතා සුළු විස්තරයකි. බෘනෝගේ හා නිවුටන්ගේ ගුප්ත විද්‍යා දායකත්වය ගැන ඔවුන්ගේ ම ලේඛන ඇසුරෙන් වැඩි දුර විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.

ආශ්‍රිත ග්‍රන්ථ

Repcheck, Jack. Copernicus' secret: How the scientific revolution began. Simon and Schuster, 2007.

Bruno, Giordano, and Robert De Lucca. Giordano Bruno: Cause, Principle and Unity: And Essays on Magic.
Cambridge University Press, 1998.

Dobbs, Betty Jo Teeter. The foundations of Newton's alchemy. CUP Archive, 1983.

Yates, Frances A. Giordano Bruno & Hermetic Trad. Routledge, 2014.

Feyerabend, Paul. Against method. Verso, 1993.
Keynes, John Maynard. "Newton, the man." Essays in biography 10 (1947).

White, Michael. "The Pope and the Heretic a True Story of Courage and Murder." (2002).

             - තමලු මලිත්ත පියදිගම 

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි