A ෆෝ ඇපල් N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින්

A ෆෝ ඇපල්  N ෆෝ නිවුටන් E ෆෝ අයින්ස්ටයින් 


-තමලු මලිත්ත පියදිගම 
        
ඇල්කෙමිස්ට් සඟරාව



පාසල් යන කාලයේ භෞතික විද්‍යාව නම ඇසෙද්දී ම මතක් වන වීරයා අයිසෙක් නිවුටන් ය. නිවුටන් නියම තුන ම දැනගැනීම කෙසේ වෙතත් නිවුටන්ගේ තුන්වෙනි නියමයවත් බොහෝ අය අසා ඇතුවාට සැක නැහැ. එහෙත් බොහෝ දෙනා සෑම ක්‍රියාවකට සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත යන්න තේරුම් ගෙන තියෙන්නේ වැරදි ආකාරවලින් බව ප්‍රකට කරුණක්.

ඇත්තෙන් ම නිවුටන් කළේ කුමක් ද? නිවුටන්ට පෙර සිටි අයට වඩා නිවුටන් ඇති කළ වෙනස කුමක් ද?

මෙයට පිළිතුරු සෙවීම අපහසු නො වේ. නිවුටන්ගේ පළමුවෙනි නියමයෙන් කියවෙන්නේ බලයක් නොයෙදෙන විට අංශුවක් නිශ්චලව හෝ එක ම වේගයකින් එක ම අතකට ගමන් කරමින් හෝ පවතින බවයි. බලයක් නොමැති විට නිශ්චලව තිබීමේ අරුමයක් නැත. බලයක් නොමැති විට චලනය විය හැකි ද?

නිවුටන් කළ ප්‍රධානතම වෙනස මෙයයි. බලයක් නැති වස්තුවකටත් චලනය විය හැකි බව නිවුටන් කීවේ ය. ඇරිස්ටෝටල්ගේ නියමය අනුව බලයක් නොයෙදෙන වස්තුවක් චලනය විය නොහැකි ය. නිවුටන් ඉස්මතු වූයේ මීට අභියෝග කරමිනි.

එහෙත් බලයක් නැතිව චලනය විය හැකි බව කී පළමු වැන්නා ද නිවුටන් නො වේ. ආකාශ වස්තුවල චලිතය දුටු පැරැන්නෝ පොළොව උඩ වස්තු බලයක් නැති විට නිශ්චලව තිබුණ ද ආකාශ වස්තු බලයක් නොමැති විට චක්‍රීයව ගමන් කරන බව කීවෝ ය. නිවුටන්ට අවශ්‍ය වූයේ අහසටත් පොළොවටත් එක සේ වැඩකරන භෞතික විද්‍යාවක් සෑදීමටයි. එනිසා ඔහු ඕනෑ ම වස්තුවකට බලයක් නොයෙදෙන විට එක ම දිශාවකට එක ම වේගයෙන් චලනය විය හැකි බව සැලකුවේ ය.

දැන් මෙතෙක් වෙලා අප කතා කළ බලය යනු කුමක් ද? බලයක් යනු වස්තුවකට අනෙක් වස්තුවකින් එල්ල වන බලපෑමයි. දැන් නිවුටන් ඔහුගේ පළමුවෙනි නියමයෙන් කියන්නේ වෙනත් වස්තුවල බලපෑමක් නොමැතිව ඕනෑ ම වස්තුවකට නිසලව සිටින්නට හෝ එක ම වේගයෙන් එක ම පැත්තට චලනය වන්නට පුළුවන් බවයි.

අනෙක් වස්තුවලින් එල්ල වන බලපෑම් මඟින් සිදුවන්නේ මෙම ස්වභාවික චලිතයෙන් වස්තුව අත් මිදීමයි.

දැන් නිවුටන් ඇපල් ගස් අසළ නිතර කාලය ගත කළ බව ඔහුගේ ලේලිය වෝල්ටෙයාර්ට කියා ඇත. ගහෙන් වැටෙන ඇපල් ගෙඩියක් නිවුටන්ට මෙතරම් ප්‍රශ්නයක් වූයේ ඇයි? නිවුටන්ට කලින් සිටි ගැලීලියෝට නම් මේවා ප්‍රශ්න නො වේ. ගැලීලියෝ කීවේ බලයක් නොමැති විට වස්තුවක් පොළොවට වැටෙන බවයි. ඉතින් නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩිය පොළොවට වැටීම ගැන පුදුම වෙන්නේ ඇයි?

ඒත් නිවුටන්ට එසේ නො වේ. නිවුටන් බලයක් නොමැති විට චලිතය එක ම වේගයකින් බව කලින් ම පවසා හමාර ය. ඒත් ඇපල් ගෙඩිය පොළොවට වැටෙන්නේ වේගය වැඩි කරගනිමිනි. නිවුටන්ගේ පළමුවෙනි නියමය අභියෝගයට ලක් විය. එහෙත් නිවුටන් පළමුවෙනි නියමය විසි කළේ නැත. ඒ වෙනුවට වැටෙමින් පවතින ඇපල් ගෙඩිය මත බලයක් එනම් බාහිර බලපෑමක් ඇති බව සැලකී ය. මෙහි දී නිවුටන් ගුප්ත විද්‍යාවෙන් ආභාෂය ලබා ගත්තේ ය. දැන් මේ බාහිර  බලපෑම කරන්නේ කවුද යන ප්‍රශ්නය මතු වේ. පොළොව යන්න නිවුටන් ඊට දුටු උත්තරයයි. පොළොව ඈතින් ඇති ඇපල් ගෙඩියට බලපෑම් කරන්නේ කඹ යොදලා ද යන ප්‍රශ්නයට නිවුටන්ට කිසිදා පිළිතුරක් නො වී ය. නිවුටන් ම පවා ඔහුගේ පිළිතුරෙන් තෘප්තිමත් නොවුණේ ය. ගුරුත්වාකර්ෂණය යනු මෙම බලයට දුන් නමයි.

පොළොව ඇපල් ගෙඩිය අදින බලයෙන් ම ඇපල් ගෙඩිය පොළොව  ද ඇදගනී. මේ බලය වස්තු දෙකේ ස්කන්ධ ගුණිතය හා ඒ දෙක අතර දුර අනුව තීරණය වේ. දැන් මේ අගයන් ඇපල් ගෙඩිය හා පොළොව සන්නිවේදනය කරගන්නේ කෙසේ ද? මීට නිවුටන්ට උත්තර නො වී ය.

නිවුටන්ගේ පද්ධතිය මෙතන දී පමණක් නොව ආරම්භයේ සිට ම අර්බුදයකට පත්ව තිබුණි. බලයක් නොයෙදෙන වස්තුවක් නිසලව හෝ එක ම වේගයෙන් එක ම පැත්තට යන්නේ කාට සාපේක්ෂව ද? වාහනයක සිට බලන විට ගස් පිටුපසට යන්නා පෙනේ. හිරු පොළොව යටා සේ පොළොවට දිස් වුව ද හිරු සිට බැලුවහොත් දිස් වන්නේ පොළොව හිරු වටා යන බවකි.

දැන් නිවුටන්ගේ නියමය සත්‍ය වන්නේ කොහේ සිට බැලුවහොත් ද? මෙයට ද නිවුටන්ට හරිහමන් පිළිතුරක් නො වී ය. නිවුටන් දුන් පිළිතුරු ද පසුකලෙක අර්න්ස්ට් මාක් නම් ජර්මානු දාර්ශනිකයා ප්‍රබල තර්ක මඟින් නිෂ්ප්‍රභ් කොට දැමී ය.

නිවුටන්ගේ නියම තුන පදනමින් ම අසාර්ථක ය. එහෙත් ඒවායින් බොහෝ වැඩ ගත හැකි ය.

අයින්ස්ටයින් යනු නිවුටන්ගේ මෙම කතාවට අභියෝග කළ පුද්ගලයා ය.

වස්තුවකට බලයක් නොයෙදෙන විට වස්තුව එක ම වේගයෙන් එක ම පැත්තට ගමන් කරයි යනු හිතුවක්කාර නීතියකි. ඕනෑම අවස්ථාවක මෙසේ ම වන බව නිවුටන් දන්නේ කෙසේ ද? අනෙක් අතට මෙසේ ගමන් කරන්නේ කාට සාපේක්ෂව දැයි නිවුටන්ට කිව නො හැකි විය. (හිස් අවකාශයට සාපේක්ෂව බවට ඔහු කී කතාව පුස්සක් බවට පත් විය.)

අයින්ස්ටයින් කළේ නිවුටන්ගේ හිතුවක්කාර නීතිය අත හැරීම ය. එවිට බලයක් එනම් බාහිර බලපෑමක් නැති වස්තු කෙසේ ගමන් කරයි ද? අයින්ස්ටයින් කීවේ එය දැන ගැනීමට නම් වස්තුවක් කිසිදු බලයකින් තොරව නිදහසේ ගමන් කිරීමට ඉඩ ලබ දී (එනම් වස්තුව අතහැර ම) එය දැන ගත යුතු බවයි. එවිට වස්තුව ගමන් කරන්නේ යම් ආකාරයට ද අවකාශයේ එම ස්ථානයේ වස්තු බලයක් රහිත විට අදාළ නිරීක්ෂකයාට සාපේක්ෂව ගමන් කරන්නේ ඒ ආකාරයට ය.

දැන් නිවුටන්ට ප්‍රශ්නයක් ඇති කළ ඇපල් ගස අසළට අපි අයින්ස්ටයින් සමඟ යමු. අයින්ස්ටයින්ටත් ඇපල් ගෙඩිය ප්‍රශ්නයක් ද? නටුවෙන් ගිලිහුණු ඇපල් ගෙඩියේ වේගය වැඩිවෙමින් වැටීම ප්‍රශ්නයක් වූයේ නිදහස් චලිතය එක ම වේගයෙන් එක ම පැත්තට සිදු වේ යැයි කියූ නිවුටන්ට ය. අයින්ස්ටයින්ට අනුව බලයක් නැති විට ඇපල් ගෙඩියේ චලිතය ඇපල් ගෙඩිය අතහැරලා ම බලා ගත යුතු ය. දැන් ඇපල් ගෙඩිය අතහැරි විට එය වේගය වැඩි කරගනිමින් පහළට වැඩේ. අයින්ස්ටයින්ට අනුව ඇපල් ගෙඩියේ නිදහස් චලිතය එයයි. එම නිසා හිතුවක්කාර නියමයකින් නිවුටන්ට ආ ප්‍රශ්නය අයින්ස්ටයින්ට මතු වෙන්නේ නැත. ඇපල් ගෙඩිය යෙදෙන්නේ නිදහස් චලිතයේ නිසා බාහිර බලපෑමක් අවශ්‍ය නැත. එම නිසා ගුරුත්වාකර්ෂණය කියා බලයකුත් අවශ්‍ය නැත.

අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවේ දී ගුරුත්වාකර්ෂණයක් අවශ්‍ය නො වේ. එනම් ගුරුත්වාකර්ෂණ බලය අවලංගු ප්‍රපංචයක් බවට පත් වේ. වැටීම අමුතු බාහිර බලයකින් සිදු වන්නක් නොව බාහිර බලයක් රහිතව ම එම ස්ථානයේ ඇති ස්වභාවික චලිතය වැටීමයි.

බොහෝ දෙනා පාසල් සිසුන්ට දේශන පවත්වද්දී නිවුටන් ඇපල් ගෙඩියක් දෙස බලා ගුරුත්වාකර්ෂණය 'සොයාගත්' බවත් අපට නම් එවැනි දේ නොසිතුණු බවත් එසේ ස්වභාව ධර්මය ප්‍රශ්න කළ යුතු බවත් කියනු අසන්නට ලැබී ඇති වාර අනන්ත ය.

මෙය සම්පුර්ණ විහිළු කතාවකි. ඇපල් හෝ පොල් හෝ වැටෙනු දුටුවාට අපිට එහි ප්‍රශ්නයක් තිබීමට විදිහක් නැත. නිවුටන්ට එය ප්‍රශ්නයක් වූයේ තමන් ම හිතුවක්කාර ලෙස සූත්‍රගත කළ නියමයක් නිසා ය. එනම් නිදහස් චලිතයට ඒකාකාර ප්‍රවේගය හිතුවක්කාර ලෙස පැනවීමෙන් නිවුටන්ට ඇපල් වැටීම අරුමයක් විය. ඉතින් නිවුටන්ට ආ ප්‍රශ්නය අපට ඇති වන්නේ කෙසේ ද? නිවුටන් පිළිතුරු දුන්නේ තමන් ම විසින් හදා ගත් ප්‍රශ්නයකටයි.

ඉතින් නිවුටන් 'සොයාගන්නේ' කොහේ තිබූ ගුරුත්වාකර්ෂණයක් ද? ගුරුත්වාකර්ෂණය නිවුටන්ගේ ම නිර්මාණයකි.

දෙවියන් ලෝකයේ යතුර නිවුටන්ට දුන්නේ ය ඉන්පසු ආලෝකය විය යැයි එක්තරා ඉංග්‍රීසි කවියෙක් ලීවේ ය.

පසුකාලීන කවියකු ලීවේ 
යක්ෂයා මෙය දැක අයින්ස්ටයින් පහළ වේවායි කීවේ ය
සියල්ල ආපසු මුලට ම ගියේ ය යනුවෙනි.

දැන් අයින්ස්ටයින් යමක් 'සොයාගෙන' තිබේ ද? ඇත්තට ම යමක් සොයාගැනීමට නම් එය අපෙන් සඟවා තැබෙන දෙයක් විය යුතු ය. එසේ සඟවා තැබිය හැක්කේ දෙවියන් වහන්සේ කෙනෙකුට ම ය. අයින්ස්ටයින් කළේ ද තම හැකියාව භාවිත කොට ඉතා හොඳට ගෙතූ කතන්දරයක් නිර්මාණය කිරීම ය. ඒ කතන්දරයේ ද ඇත්තේ ඔහු නිර්මාණය කළ සංකල්ප මිස 'සොයාගත්' දෑ නො වේ. 'සොයාගන්නට' සැඟවී ඇති නීති පද්ධතියක් විශ්වයේ  නැත.

                         - තමලු මලිත්ත පියදිගම

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි