අරගලය ශිෂ්‍ය ව්‍යාපාරය හා වම
ශිෂ්‍ය ව්‍යාපාරය හා ශිෂ්‍ය සටන් ගැන පොදුවේ කියැවෙන දේ ප්‍රධාන කරුණු කිහිපයක් ඔස්සේ සාරාංශ කළ හැකි ය.
නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස් මුලින් ම ඉදිරිපත් කළේ වාමාංශිකයන් ය. නිදහස් අධ්‍යාපනය වමේ සටන් පාඨයකි. එහෙයින් ශිෂ්‍ය ව්‍යාපාරය වම සමඟ බැඳී ඇත. ධනේශ්වර ක්‍රමය විසින් අධ්‍යාපනය සෞඛ්‍යය වැනි මූලික මිනිස් අයිතිවාසිකම් වෙළඳ භාණ්ඩ බවට පත් කෙරී මිල නියම කොට ඇත. මීට එරෙහි විය යුතු ය. ධනේශ්වර දෘෂ්ටිවාදය ඊට එරෙහි නො වී තමාගේ අභිවෘද්ධිය සලසා ගන්නා ලෙස මිනිසුන් තුළ මතයක් ගොඩනඟා ඇත.
මේ සියල්ල විමසීමට පෙර දක්ෂිණාංශික වාමාංශික ධනපති ධනවාදී නිර්ධන ආදී යෙදුම්වල අර්ථ පැහැදිලි කර ගත යුතු ය.
දේශපාලනයේ දකුණ හා වම ලෙස දෙපැත්තක් දැකිය හැකි ය. දැනට පවත්නා දේශපාලන ආර්ථික සාමාජයීය ව්‍යුහය සංස්ථාපනය (establishment) ලෙස හැඳින්වේ. මේ සංස්ථාපනය එලෙස පවත්වා ගනිමින් ඒතුළින් ම ජනතාවගේ අභිලාශ ඉටුකරගැනීමට හැකි ය යන්න දකුණ හෙවත් දක්ෂිණාංශික මතවාදය වෙයි.
ජනතාවගේ අභිලාශ ඉටු කර ගැනීමට පවතින සංස්ථාපනය සහමුලින් වෙනස් කළ යුතු ය යන මතය වම හෙවත් වාමාංශික මතවාදය වේ.
මෙම ව්‍යවහාරය ඉපැදුණේ ප්‍රංශ විප්ලවය කාලයේ දී එවකට ප්‍රංශ පාර්ලමේන්තුව වූ ස්ටේට්ස් ජෙනරල් සභාවේ රාජාණ්ඩුවට පක්ෂ පුද්ගලයින් දකුණෙන් ද විරුද්ධ අය වමෙන් ද හිඳ ගැනීමෙනි. පසුකාලීනව පුළුල්ව සංස්ථාපන පක්ෂ හා සංස්ථාපන විරෝධී ලෙස මෙය යෙදෙන විට වචන දෙක ද දක්ෂිණාංශික හා වාමාංශික ලෙස වෙනස් විය. වාමාංශික බව හා සමාජවාදය අතර සමපාත වීමක් තිබුණ ද ඒ දෙක එකක් නො වේ.
සමාජවාදය සැලකූවිට මාක්ස්වාදය කේන්ස්වාදය බොලිවේරියානුවාදය ආදී විවිධ මත දරන කණ්ඩායම් සිටින අතර එම එක් එක් මතවාදය තුළ ද අනු බෙදීම් රාශියක් පවතී.
ධනපති (bourgeois බූර්ෂුවා) යනුවෙන් හැඳින්වෙන්නේ නිෂ්පාදන මාර්ග අයත් සමාජ පන්තිය වන අතර නිර්ධන (proletariat ප්‍රොලටේරියට්) යනුවෙන් හැඳින්වෙන්නේ විකිණීමට ශ්‍රමය පමණක් ම ඇති ජනතාව ය. එනම් ඔවුන්ට ඉඩම් අයිතියක් හෝ පාරම්පරික මුදල් හෝ නොමැති ය. ඔවුන්ගේ සමාජ පන්තියක් නිර්මාණය වී නොමැති අතර එය අනාගතයේ දී ක්‍රමයෙන් නිර්මාණය වන බව මාක්ස් සඳහන් කරයි. මාක්ස්ට විරුද්ධව යමින් ලෙනින් සඳහන් කරන්නේ එසේ නිසගයෙන් පන්තියක් නිර්මාණය නොවන බවත් බුද්ධිමතුන් (intellectuals) ඔවුන්ට පන්ති විඥානයක් පිටින් ගෙන ගොස් සාදා දිය යුතු බව ය. අවසානයේ දී ලෙනින්වාදයෙන් සිදු වූයේ නිර්ධනයින් හා නිර්ධන පන්තියේ විඥානය දෙකක් බවට පත් වීම ය. එනම් නිර්ධන පන්ති විඥානය පක්ෂ මධ්‍යම කාරක සභාව බවට පත් වීම ය. මාක්ස් පාදඩ නිර්ධන/ නන්නත්තාර නිර්ධන (lumpen proletariat) ලෙස නිර්ධනයින් කොටසක් නම් කරයි. ඒ මාසික හෝ දෛනික වැටුප් වේතන නොලබන කුලී කරුවන්, හිඟන්නන්, ජනතාව පිනවීමෙන් මුදල් උපයන්නන් (entertainers), ගණිකාවන්, ශිල්පීන්, කාර්මික කම්කරුවන්, පෙදරේරුවන් ආදී පිරිසයි. මාක්ස් පවසන්නේ මේ පිරිස දේශපාලනික අරගලයට හවුල් නො කරගත යුතු බවයි.
දැන් සිතා බැලිය යුත්තේ ලංකාවට මාක්ස්වාදය ආදේශ කළහොත් ඉඩම් අහිමි, විකිණීමට ශ්‍රමය පමණක් ම ඇති ජනතාවක් ලංකාවේ වෙසේ ද යන්න ය. ඒ සිටින අයගෙන් ද ඉහත සඳහන් කළ මාසික හෝ දෛනික වැටුප් වේතන නො ලබන කුලීකරුවන්, ශිල්පීන්, හිඟන්නන් ආදීන් ඉවත් කළ යුතු ය. ඉඩම් හිමි ගොවියන් මෙන් ම අඳ ගොවියන් ද ඉවත් කළ යුතු ය. මාක්ස්ට අනුව සමාජ පරිවර්තනය සිදු කළ යුත්තේ එවිට ඉතුරු වන ජනයා ය. මාක්ස්වාදය ලංකාව තුළ ප්‍රායෝගික නොවන බවට මෙයින් ම පෙනේ. ලංකාවේ සමාජවාදීහු මේ නිසා තම පැවැත්ම උදෙසා බාහිර සටන් පාඨ සඳහා යොමු වෙති.
ලංකාවේ ජනතාව සමාජවාදය ලෙස හැඳිනගෙන ඇත්තේ ද රාජ්‍ය ධනවාදයයි (State Capitalism). එනම් රජය ප්‍රාග්ධනය සාමූහනය කොට නිෂ්පාදනයන්හි නියැළී සමාජ සුබසාධනය කිරීමයි. නිෂ්පාදන මාර්ග රජය වෙත පවරා ගැනීමයි.
මේ විපරීත තත්වය තුළ සමාජවාදීහු නිදහස් අධ්‍යාපනය සටන් පාඨයක් ලෙස භාවිත කරති.
කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියැවෙන්නේ පවත්නා ක්‍රමය තුළ අධ්‍යාපන නිදහස ලබා ගැනීම නොව ඔවුන්ගේ නව සමාජ ක්‍රමයේ දී නිදහස් අධ්‍යාපනය ලබා දෙන බව ය. ධනවාදී ක්‍රමය තුළ නිදහස් අධ්‍යාපනය පිළිබඳව සමාජවාදීන් දරන්නේ එය ධනවාදයේ උපකරණයකි යන මතයයි. රුසියානු විප්ලවයේ පුරෝගාමියකු වන මැක්සිම් ගෝර්කි සිය විශිෂ්ටතම නවකතාව වන පොමා ගොර්දෙයෙව්හි සවිඥානික ධනවාදියා නිරූපණය කරන චරිතය වන මයාකින් ලවා වරක් පොමාට කියන්නේ නිදහස් අධ්‍යාපනය මඟින් සමාජය ගඩොල් ගොඩක් මෙන් එක ම අච්චු කිහිපයකින් කප්පවන බැවින් ව්‍යාපාරිකයන්ට පාරිභෝගිකයන් ග්‍රහණය කර ගැනීමට උපක්‍රම යෙදීම වඩාත් පහසු වන බවක් ය. එනම් නිදහස් අධ්‍යාපනය ද ධනවාදයේ උපකරණයක් වන බව ය. නිර්ධන පන්තියේ විමුක්තිය උදෙසා නිර්ධනයින්ට ලැබෙන ලිවීමේ හා කියවීමේ හැකියාව ආයුධයක් ලෙස උපකාරී වන බව මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ දී කියයි. මාක්ස් මේ කියන්නේ නිර්ධනයින්ට ලැබෙන අධ්‍යාපනය පිළිබඳව මිස සමාජයේ 'ඉහළට නැඟීමට' අවස්ථාව සලසන අධ්‍යාපනය පිළිබඳව නො වේ.
එනිසා ශිෂ්‍ය ව්‍යාපාරය හා වම අතර සබඳතාව අරමුණු සමාන වීමක් නොව වම විසින් ශිෂ්‍ය ව්‍යාපාර තම පැවැත්ම උදෙසා තමන් වෙත නතු කර ගැනීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් ය.
නිදහස් අධ්‍යාපනය පිළිබඳ අදහස මුලින් ම ගෙන ආවේ සමාජවාදීන් බව සාවද්‍ය කරුණකි. අධ්‍යාපනය මූලික මිනිස් අයිතියක් බව සඳහන් කළේ රූසෝ වන අතර ජෙපර්සන් ජනාධිපතිවරයා නිදහස් අධ්‍යාපන යෝජනා ඉදිරිපත් කළේ ද නිව්යොක් නගරයේ ප්‍රථම නිදහස් විශ්වවිද්‍යාල ඇරඹුවේ ද කොමියුනිස්ට් ප්‍රකාශනය ලිවීමට කලිනි. ජූල්ස් ෆෙරී ප්‍රංශයේ නිදහස් අධ්‍යාපන පණතක් ගෙන එන්නේ රුසියානු විප්ලවයට දශක කීපයකට ම පෙර ය. මෙසේ දක්ෂිණාංශික බලවේග ඊට කලකට පෙර නිදහස් අධ්‍යාපනය පිළිබඳව අදහස් ගෙන ආ බව පෙනේ.
එක්තරා අන්දමක උත්ප්‍රාසයක් වන්නේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි ද්විතීයික අවශ්‍යතා වෙළඳ භාණ්ඩ නොවේ යැයි කියන පිරිස් ආහාර වැනි මූලික අවශ්‍යතාවයක් සඳහා එම අදහස ඉදිරිපත් නො කිරීම ය. රජයෙන් ලබා දුන්න ද පෞද්ගලිකව ලබා ගත්ත ද අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් නො වී තියෙන්නේ නැත. අවශ්‍ය උපකරණ ඉගෙනුම් ආධාරක හා පොත් පත් සඳහා අප පෞද්ගලිකව හෝ රජය සාමූහිකව හෝ කෙතරම් මුදල් ප්‍රමාණයක් බටහිර රටවලට වැය කෙරේ ද? රාජ්‍ය අධ්‍යාපනය යනු සාමූහිකව මුදල් ගෙවා අධ්‍යාපනය මිල දී ගැනීමකි.
මේ තත්වය නිමා කළ හැක්කේ සමස්ත විෂය පද්ධතියම දේශීය චින්තනය තුළින් නිපදවමින් බටහිර ශාස්ත්‍රීය ආධිපත්‍යයෙන් නිදහස් වීමෙන් පමණි.
මේ සියල්ල ලීවේ ශිෂ්‍ය අරගලය හා වමේ දේශපාලනයේ සමපාතභාවය වම විසින් තම පැවැත්ම උදෙසා නඩත්තු කෙරෙන මායාවක් පමණක් බව කීමට ය. ශිෂ්‍ය සංගම් හා ශිෂ්‍ය ව්‍යාපාර ඔස්සේ ශිෂ්‍ය අයිතීන් දිනා ගැනීමේ දී සමස්ත සංස්ථාපනයට එරෙහි වීම හෝ නො වීම කේන්ද්‍රීය කරුණක් නොවන බව කීමට ය. එහෙයින් ශිෂ්‍ය ව්‍යාපාරයේ හා වමේ අරමුණු වෙන් වෙන්ව වටහා ගත යුතු ය.
වර්තමාන අධ්‍යාපන අයිතිවාසිකම් ඉල්ලීම පිළිබඳ අරගලයේ ශිෂ්‍යයන් බැඳ තබා ගන්නා අදෘශ්‍යමාන හුය වන්නේ නූතනත්ව සමාජය විසින් නම් කරන පහළ ජීවන තත්වයක් ඇති පිරිස්වලට ඉහළ ජීවන තත්වය වෙතට පිය නැඟීමට අවශ්‍ය මාර්ගය රැකගත යුතු ය පුළුල් කරගත යුතු ය යන හැඟීමයි. සමාජවාදීන් විසින් වර්තමානයේ කරණු ලබන ප්‍රධානතම කාර්යය වන ශිෂ්‍ය අරගලයන් ධනවාදයේ මානසික අල්ලස් තහවුරු කිරීමට ම වීම කදිම උත්ප්‍රාසයකි. වැඩිපුර ම හඬනැඟෙන්නේ මූලික අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනයට වඩා වෛද්‍ය අධ්‍යාපනය වැනි වඩාත් 'සුළු ධනේශ්වර' අංශ වෙනුවෙන් වීම මේ උත්ප්‍රාසය තවත් තීව්‍ර කරයි.....
මතු සම්බන්ධයි..
- තමලු මලිත්ත පියදිගම
(කලකට පෙර ලියූ සටහනක් සුළු වශයෙන් සංස්කරණය කිරීමකි.)
No comments:
Post a Comment