වෑකන්දේ කළු පතිරණ
- තමලු
Alchemist Magazine
Marvel ආයතනයේ නිර්මාණයක් වූ Black Panther චිත්‍රකථා චරිතය ඇසුරෙන් නිපදවූ Black Panther චිත්‍රපටය මෙම වසරේ ප්‍රදර්ශනය වූ අතර මේ වන විට ලංකාවේ විදෙස් චිත්‍රපට ලෝලීන් අතර ද ජනප්‍රිය වී ඇත. Stan Lee හා Jack Kirby නිර්මාණය කළ මෙම චිත්‍රකථා චරිතය ඇමරිකානු චිත්‍රකථා ඉතිහාසය තුළ පළමු අප්‍රිකානු සම්භවයක් ඇති සුපිරි වීරයා වෙයි. Ryon Coolgerගේ අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය පැය දෙකකුත් මිනිත්තු දහහතරක ධාවන කාලයකින් සමන්විත ය.
ජනප්‍රිය සිනමා ධාරාවේ අංගයක් වන සුපිරි වීර චිත්‍රපටයක විශේෂයෙන් කීමට ඇති වැදගත්කම කුමක් ද යන්න සමහරකුට ගැටලුවක් විය හැකි ය. මෙහි මගේ අවධානයට ලක් වන්නේ කථා වින්‍යාසය (Plot) නොව කථාව ගොඩනැඟෙන සමාජ සංස්කෘතික පරිසරය ය.
Black Panther චිත්‍රපටය ගොඩනැඟෙන්නේ වකන්දා නම් කල්පිත අප්‍රිකානු රාජ්‍යයක රජු වන T'Challa (ත්චලා) නම් වූ පුද්ගලයා වටා ය. ඔහු Black Panther (කළු පැන්තර්) යන අපර නාමයෙන් හැඳින්වේ. ලාංකීය සිනමා රසිකයන් වකන්දාවේ කළු පැන්තර් යන්න වෑකන්දේ කළු පතිරණ යනුවෙන් 'සිංහලකරණයට' ලක් කොට තිබෙනු මම දුටුවෙමි. මෙය පෙන්වන්නේ ලංකාවේ රසිකයන්ට ද සිනමා කෘතියේ යම් සමීපකමක් දැනී ඇති බවයි. අතීතයේ ද අල්විස් සවියෙල්ලා අලවු ඉසි සැබිහෙළලා විය. ඒ හෙළ හවුලේ ආලෝකය නිසා ය.
වකන්දාවේ කළු පැන්තර් හෙවත් ත්චලාගේ කථාව ගොඩනැඟෙන්නේ මෙවන් සමාජ සංස්කෘතික දේශපාලනික පසුබිමක ය. චිත්‍රපටය ඇරඹෙන්නේ වකන්දාව පිළිබඳ වැඩිහිටියකු (ත්චලාගේ බාප්පා විය යුතු යැයි හැඟේ.) දරුවකුට කියා දෙන පුරාවෘත්තයකිනි.
ශතවර්ෂ ගණනාවකට පෙර අප්‍රිකාවේ වනාන්තරයකට උල්කාපාතයක් පතිත විය. එම උල්කාපාතය තැනී තිබුණේ විශ්වයේ ශක්තිමත් ම ද්‍රව්‍යය වන වයිබ්‍රේනියම්වලිනි (vibranium). පසුව මිනිසුන් ව්‍යාප්ත වන කාලයේ ගෝත්‍ර පහක් පැමිණ උල්කාපාතය සහිත භූමියේ පදිංචි වූ හ. ඔවුන් නිරතුරුව එකිනෙකා හා යුද්ධ අරගලවල නිරත වූහ. පැන්තර් යනු දිවියන් විශේෂයකි. කළු පැන්තර් සතෙකුගේ රූපීයත්වය ඇති දෙවියකුගේ උපකාරයෙන් එක්තරා යුධ නායකයකු හදවත බඳු හැඩැති ශාක වර්ගයක් සොයාගත් අතර වයිබ්‍රේනියම්හි ශක්තිය කැටි වූ එය ආහාරයෙන් අසහාය කාය ශක්තියක් ලබා ගත්තේ ය. ඔහු ගෝත්‍ර පහ ම අවනත කර ගැනීමට සමත් වන අතර ගෝත්‍ර එක් කොට වකන්දා ජාතිය නිර්මාණය කළේ ය. ජබාරි නම් ගෝත්‍රය ජාතියට එක් නොවී වකන්දා ජාතියෙන් ඈත්ව පර්වත ප්‍රදේශවල ජීවත් වූහ. එහෙත් ඔවුන් ද වකන්දාවේ බලයට අවනත වූ අතර වකන්දා රාජ්‍යය හා වකන්දා ජාතිය මෙසේ චිරාත් කාලයක් පැවතිණි. වයිබ්‍රේනියම් යනු ඉතා බහුකාර්ය ද්‍රව්‍යයකි. ශක්තිමත් බවේ සිට බලශක්තිය සැපයීම, බුද්ධිමත් ද්‍රව්‍යයක් (smart material) ලෙස හැසිරීම ආදී ලක්ෂණ ඊට හිමි ය. වකන්දා රාජ්‍යයේ බුද්ධිමත්තු මෙම ගුණාංග වටහාගෙන තාක්ෂණික අතින් ලෝකයේ දියුණු ම ජාතිය බවට පත් වූහ. එහෙත් වකන්දා ජනතාව තාක්ෂණික උපක්‍රම මඟින් තම බලගතු රාජ්‍යය ලෝකයෙන් සඟවා තබා ගෙන එහි දේශසීමාවේ කුඩා කොටසක් පමණක් දුප්පත් කුඩා රාජ්‍යයක් ලෙස පෙන්වමින් ජීවත් වෙති.
ත්චලා මෙහි රජු වන අතර ඔහුට බලගතු තාක්ෂණික ඇඳුමක් ද හිමි ය. ලෝකයේ විවිධ රටවල් තුළට ඔත්තු කරුවන් යැවූ ඔත්තු සේවයක් ද අධි තාක්ෂණික උපකරණවලින් මෙන් ම සාම්ප්‍රදායික උපකරණවලින් ද සන්නද්ධ වූ හමුදාවක් ද හිමි ය.
ඔවුන් පරම්පරාවෙන් රජු පත් කරන අතර හදවත හැඩති ශාකයෙන් ශක්තිය ලබා ගත හැක්කේ ඔහුට පමණ ය. රාජ්‍යත්වයට පත් කරන උත්සවයේ දී හා වෙනත් අවස්ථාවල දී අනෙක් ගෝත්‍රවලට හා රාජකීයයන්ට රාජ්‍යත්වයට අභියෝග කළ හැකි ය. එවිට රජුගේ විශේෂ බල ඉවත් කොට අභියෝග කරන්නා සමඟ ද්වන්ධ සටනකින් මෙය විසඳා ගැනීමට සිදු වේ.
තාක්ෂණිකව අතිශයින් ම වර්ධිත රාජ්‍යයක් වන වකන්දාවේ අධිතාක්ෂණික උපකරණ බහුල ය.
චිත්‍රපටයේ තිර රචකයකු වන Cole මෙහි නිර්මාණය සඳහා අප්‍රිකානු සංස්කෘතිය විශේෂයෙන් අධ්‍යයනය කළ බව කියැවේ. මෙය ඉතා අලංකාරවත් ලෙස අප්‍රිකානු ජන සංගීත ඌරුව ඇති සංගීතයෙන් ද නැටුම් ගැයුම්වලින් ද හැඩවේ.
දැන් අප මේ චිත්‍රපටය ගොඩනැඟෙන පසුබිම සියුම්ව විමසා බලමු. ජනවර්ග හා ජාති යන සංකල්ප සාවද්‍ය ලෙස භාවිතය නිතර දක්නට ලැබේ. ජනවර්ගයක් යනු පොදු සංස්කෘතියකින් යුතු තමා එක ම සමූහයක් ය යන සාමූහික විඥානයකින් යුතු පිරිසකි. ජාතියක් යනු එක ම චින්තනයකින් හා පොදු සංස්කෘතිකාංගවලින් යුතු සාමූහික හැඟීමක් ඇති තම සංස්කෘතික ජීවිතය පවත්වා ගැනීම උදෙසා සන්තතික භූමි ප්‍රදේශයක රාජ්‍යයක් බිහි කළ ජන සමූහයක් ය. මෙම රාජ්‍යය තුළ ජාතියට අයත් නොවන ජන සමූහ ද සිටිනු ඇත. රාජ්‍යය බිහි කරන්නේ ජාතියේ සංස්කෘතිය විසිනි.
ජාතියක බිහි වීම යනු දේශපාලනිකව එක්තරා සන්ධිස්ථානයකි. රාජ්‍යයට මහජන පදනමක් ලැබෙන්නේ ජාතිය බිහි වීම සමඟ ය. ජාතිය යනු දහනවවන සියවසේ දී යුරෝපයේ නිර්මාණය වූවක් ය යන නූතනවාදි මතය මේ වන විට ශාස්ත්‍රාලීය (academic) බලය තහවුරු කරගෙන ඇත. (එහෙත් චීනය, ලංකාව වැනි රටවල ඊට පෙර ම ජාතිය බිහිව තිබූ බව පෙනේ.) ජාතිය යන සංකල්පය බටහිර ගොඩනැඟුණේ 19 වන සියවස ආසන්න කාලයේ ය. ධනවාදයේ නැඟී සිටීම, බටහිර කාර්මික විප්ලවය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ වර්ධනය මේ සමඟ ම සිදුවිය.
එහෙයින් බටහිර සමාජය අධ්‍යයනය කරන අයකුට ජාතිය යන සංකල්පය හමුවන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ එක්තරා අවධියක නිර්මාණයක් ලෙස ය. එම අධ්‍යයන්හි යෙදෙන ඉතිහාඥයින්, සමාජ විද්‍යාඥයින් අනිවාර්යයෙන් ම ජාතිය යන්න විමසා බලනු ඇත්තේ මේ පසුබිමේ ඇති සමාජ පෙරළි ද සමඟ ය. ආසන්න කාලයේ යුරෝපයේ සිදු වූ සිද්ධි වන බැවින් ජාතින් ඇති වීමේ නිර්ණායක ලෙස කරුණු ගොනු කිරීමේ දී අනිවාර්යයෙන් ම ධනවාදය වර්ධනය වීමෙහි අංග ලක්ෂණ මෙන් ම, කාර්මීකරණය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනයෙහි අංග ලක්ෂණ ද ඊට ගැබ් වී පවතිනු ඇත. යුරෝපීය සන්දර්භයේ දී මෙයින් ප්‍රශ්නයක් වන්නේ නැත. ජාතිය බිහි වූ තැන්වල, කාලවල ධනවාදයේ වර්ධනය ද, කාර්මීකරණය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය ද දක්නට ලැබෙනු ඇත.
සංකල්ප සංකල්ප වශයෙන් හෝ ප්‍රවාද ප්‍රවාද වශයෙන් තේරුම් ගැනීමට නොහැකි පොතේ ගුරු අනුකාරක උගත්තු කරුණු හා නිර්ණායක මත එල්බ ගනිති. නිර්ණායක හා කරුණු එතෙක් අධ්‍යයනය කළ අවකාශයේ විද්‍යමාන වූ දේ පමණක් බව ඔවුහු තේරුම් නො ගනිති.
නිර්ණායක හා කරුණුවල එල්ලී සිටින අනුකාරක උගතුන් වල්මත් වන්නේ අධ්‍යයනය කළ අවකාශයෙන් එළියට පැමිණි විට ය. ඔවුහු නිර්ණායක සොයමින් අඳුරේ අතපත ගාති.
ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ජාතිය යන සංකල්පයෙන් පරිබාහිරව වෙනත් චින්තනවල ජාතිය කෙසේ සංකල්පනය වනු ඇති ද? දැන් මේ චින්තනවල ජාතිය සෙවීමට භාවිත කළ යුත්තේ බටහිර නූතනත්වයේ ඉතිහාසය තුළ ධනවාදයට ලිබරල්වාදයට පැටලී පැන නඟුණු නිර්ණායක ද?
ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරව ධනවාදයෙන් තොරව ජාතිය ඇති නො වේ යැයි කීම හුදු විහිළුවක් ම පමණි. කළ යුත්තේ නිර්ණායක සෙවීම නොව සංකල්පය හඳුනා ගැනීම ය.
දැන් අපි නැවත වකන්දාවට යමු. වකන්දාව කල්පිත අප්‍රිකානු රාජ්‍යයකි. අප්‍රිකානු කලාපයේ දැකීමට නො තිබුණු අංශ දෙකක වර්ධනයන් වකන්දාවෙන් පරිකල්පනය කෙරේ. පළමුවැන්න තාක්ෂණික වර්ධනයයි. දෙවැන්න දේශපාලනිකව ජාතියක් ලෙස වර්ධනය වීමයි.
දැන් යුරෝපීය සන්දර්භයෙන් පූර්ණ වශයෙන් පිටස්තර ලෙස, වකන්දාවේ එම වර්ධනයන් දෙක ම බටහිර නූතනත්වයේ නැඟීමට ඉතා ඈත කාලයකට පෙර සිදු වූ දේ ලෙස නිරූපණය කෙරේ. භෞතික දුර අනුව ද වකන්දාව තීරණාත්මක ලෙස යුරෝපා කලාපයෙන් දුරස්ථ වේ.
දැන් කාලයෙන් හා අවකාශයෙන් යුරෝපා කලාපයෙන් දුරස් කෙරුණු මේ කල්පිත අප්‍රිකානු රාජ්‍යය තුළ ස්වයංව පැන නඟින වර්ධනයන් නිරූපණය කරන්නේ, පැහැදිලි කරන්නේ කෙසේ ද? මෙහි දී මුහුණ දීමට සිදු වන ප්‍රධාන ප්‍රශ්න වන්නේ මේ තාක්ෂණික හා දේශපාලනික වර්ධනය පැන නඟින්නේ බටහිර නූතනත්වය වැනි ම එළඹුමක් ඇති වීම නිසා ද නැති ද යන්නයි.
චීනයේ ඇතිවුණු තාක්ෂණික වර්ධනය බටහිර විද්‍යාව වැන්නක බිහි වීමට පදනම් නො වීම ජෝෂප් නීඩ්හැම් මහතාගේ ද අවධානයට ලක් වූ ප්‍රශ්නයකි.
වකන්දාවේ දේශපාලනික වර්ධනය පිළිබඳව විමසීමේ දී පෙනී යන්නේ බටහිර ස්වභාවයෙන් පරිබාහිර වූ ජාතිය බිහි වීමක් නිරූපණය කරන්නට චිත්‍රපටය සමත් වන බවයි. තොල් පටි, පච්ච, අඩ නිරුවත් හෝ සරල ඇඳුම්, වෙස් මුහුණු , සමපාට කිරීම්, අප්‍රිකානු අවි ආයුධ මෙන් ම අප්‍රිකානු සංස්කෘතියේ වර්ණ සංකලනයන් ද භාවිත කරමින් අප්‍රිකානු සංස්කෘතිය මැනැවින් නිරූපණය කර ඇති මෙහි (බටහිර සමාජය මඟින් ගර්හාවට ලක් කෙරෙන හෝ අනුකූලතාවයට ලක් නො වුණු හෝ විලාසිතා ආදිය පවා ඒවායේ අලංකාරත්වය හා අනන්‍යතාව ඉස්මතු වන අයුරින් භාවිත කොට තිබීම ඉතා විශිෂ්ට ය.) ගෝත්‍ර පහේ වෙනස් අනන්‍යතා ලක්ෂණ මෙන් ම පොදු ලක්ෂණ ද ඉතා විශිෂ්ට ලෙස දක්වයි. ලංකාවේ පණ්ඩුකාභය හා දුටුගැමුණු රජු අතර කාලය තුළ ගෝත්‍ර එක් වී සිංහල ජාතිය නිර්මාණය කරගත්තාක් මෙන් හා ව්‍යාධ ගෝත්‍රය (වැද්දන්) එයින් වෙන් වී එම රාජ්‍යය තුළ ම වන ලැහැබ්වලට වී ස්වකීය ජීවිතය ගත කළ මෙන් මෙහි ජබාරි ගෝත්‍රියෝ ද වකන්දාව තුළ ජාතියෙන් වෙන් වී රාජ්‍යය තුළ ම හිඳිමින් තම අනන්‍යතාව පවත්වා ගනිති.
මේ කල්පිත රාජ්‍ය හා ජාතිය ගොඩනැංවීමේ දී කලාකරුවා බටහිර ලිබරල්වාදය හා ජාතිය සමකාලීන වීම නිසා ඒ අතර ගොඩනැඟුණු සම්බන්ධයෙන් මිදී වකන්දාවට ම ආවේණික වූ අප්‍රිකානු ඌරුව ඇති රාජාණ්ඩු ක්‍රමයක් මඟින් වකන්දා රාජ්‍යය පාලනය වීම දක්වයි. වකන්දා ජාතිය හා රාජ්‍යය අතර සම්බන්ධය නිරූපණය වන්නේ රාජ්‍යය රජු හා ජනයා අතර බැඳීම තුළිනි. මේ සම්බන්ධය ආරක්ෂා කර ගැනීම පාර්ශ්ව තුන අතින් ම 'පුරුද්දක් ලෙස' සිදු වේ. මේ සම්බන්ධතාවයන් බිඳී යන මොහොතක දී ඇති වන අසමතුලිතතාවයන් සටන් ක්‍රියාමාර්ග මඟින් තුලනය වේ.
ජාතියේ නිර්ණායකයක් ලෙස පාලනය වෙනස් කිරීමේ ප්‍රතිමාන (නිල වශයෙන්) අවසරය වන මැතිවරණ සහිත ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ජාතියේ නිර්ණායකයක් ලෙස ගැනීම කෙතරම් විහිළුවක් ද? ප්‍රතිමාන අවසරය පොතේ තිබුණ ද ජනතාවට තමා වෙනුවෙන් ම වූ පාලනයක් ලබා ගැනීමට මෙම ආකෘතියෙන් ඉඩකඩ ලැබේ ද? ඊට පරස්පර ලෙස මහජන සහභාගිත්වය ඍජුව නොලැබුණු පාලන ක්‍රම යටතේ දීත් ලංකාව වැනි රටවල මෙන් ම වකන්දාවේත් සංස්කෘතිකමය බැඳීම් මඟින් රජු රාජ්‍යය හා ජනතාව අතර ඒකාබද්ධතාවය ස්ථාවර විය. මේ සම්බන්ධතා ක්‍රියාත්මක වන්නේ පොත්වල ඇති නීති රීති ලෙස නොව සාමාන්‍ය පුරුද්දක් ලෙස ය. වකන්දාව වෙනුවෙන් ඇති දේශප්‍රේමය වකන්දා ජාතියේ පමණක් නොව ජාතියෙන් බැහැරව සිටින ජබාරි ගෝත්‍රිකයන් තුළ ද දකින්නට ඇත.
යුරෝපයේ මධ්‍යතන යුගයේ දී පාප්තුමාගේ ආගමික ජාත්‍යන්තරවාදයකට යුරෝපය නතු වී තිබුණු බැවින් ආගම සමඟ මිනිසුන්ගේ හා රාජ්‍යයේ බැඳීම තුළින් ජාතීන් නිර්මාණය වූයේ නැත. ඊට පටහැනිව බුදු දහම හැම විට ම ගත්තේ ඒ ඒ සංස්කෘතිය තුළ ස්වාධීනව වර්ධනය වන සාසන ඇති කිරීම මිස මධ්‍යගත ලෝක සාසනයක් ඇති කිරීමට නො වේ. එනිසා බෞද්ධ සංස්කෘති තුළ ජාති ද පැන නැඟුණි. කතෝලික පල්ලිය ඉතා මෑතක් වන තුරු 'සියලු කටයුතු' කළේ ලතින් භාෂාවෙන් හා රෝම සංස්කෘතිය අනුව ය. එහෙයින් යුරෝපයේ ජාතිය ඇති වීම මේ ආගමික ජාත්‍යන්තරවාදයෙන් මිදීමේ ව්‍යාපෘති තුළින් පැන නැඟීම පුදුමයක් නො වේ. ජාතිය සමඟ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයක් පටලවන්නේ නිරවුල්ව සිතීමට නොහැකි අය ය.
වකන්දාවේ තාක්ෂණික දියුණුව ගැන කථා කිරීමේ දී නම් චිත්‍රපටය එතරම් සාර්ථක නිරූපණයක් නොකරන බව මගේ මතයයි. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙන් පරිබාහිර චින්තනවල බටහිරට වෙනස්ව ජාතිය වැනි සංකල්ප පැන නඟින ලෙස ම එවන් බටහිරින් හුදෙකලාව ගොඩනැඟෙන තාක්ෂණයක් හා විද්‍යාවක් ද ක්‍රියාත්මක වනු ඇත්තේ බටහිර මූලධර්මවලට වඩා වෙනස් පදනම්වලිනි. චිත්‍රපටයෙන් පෙනෙන්නේ බටහිර විද්‍යාවට හා වකන්දාවේ විද්‍යාව අතර මූලධර්ම අතින් වෙනසක් නැති බවයි. එවන් වෙනසක් චිත්‍රපටයේ නොපෙන්වයි. තාක්ෂණික උපකරණවල බාහිර පෙනුම පමණක් අප්‍රිකානු ඌරුවකට හා වර්ණ සංකලනවලට අනුව යම් පමණකට හැඩ ගැසී ඇත.
මීට හේතුව වී ඇත්තේ ස්වභාවික විද්‍යා ,යනුත් චින්තනයන්හි බිහි වූ නිර්මාණයන් මිස වාස්තවික යථාර්ථයක නිරූපණයක් නොවන බව බටහිරයන් අවබෝධ කර නො ගැනීමයි. කාන්ට්ගේ ශිෂ්‍ය හර්ඩර් වැනි පිරිස් සංස්කෘතික සාපේක්ෂතාවක් ගැන කතා කළ ද ඔවුන් ස්වභාවික විද්‍යා සංස්කෘතික සාපේක්ෂ යැයි කීවේ නැත. ඔවුන් සාපේක්ෂ බව දුටුවේ මානව ශාස්ත්‍ර වැනි අංශයන්හි ය. බටහිර සංගීතය, ඉන්දීය රාගධාරී සංගීතය, කර්ණාටක සංගීතය, චීන සංගීතය ආදී සංගීත පද්ධති මිස වාස්තවික සංගීතයක් නොමැති බව වටහා ගන්නා පිරිස තරම්වත් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ආදියේ සාපේක්ෂතාව වටහා ගන්නා පිරිසක් නැත. බටහිර විද්‍යාව යන නාමකරණයට විරුද්ධ වන බොහෝ දෙනා බටහිර සංගීතය යන නාමකරණයට විරුද්ධ නො වන්නේ එය එනමින් පාසල් විෂය මාලාවේ ඇති නිසා ය. අනුකාරකයෝ පාසල් විෂය මාලාවේ පවා වහල්ලු ය.
බටහිර විද්‍යාව තුළ ම විවිධ පද්ධතිවල පැහැදිලි කිරීම් හාත්පසින් වෙනස් නම් වකන්දාව තුළ ගොඩනැඟෙන විද්‍යාව බටහිරින් වෙනස් විය යුතු ය. විද්‍යාව යනු අපෙන් බාහිරව නිරපේක්ෂව පවතින වාස්තවික යථාර්ථයේ ප්‍රකාශනය ය යන මිථ්‍යාව නිසා බටහිරයන්ට මේ බව වැටහෙන්නේ නැත.
මේ වකන්දා රාජ්‍යයේ පැන නැඟීම පැහැදිලි කිරීමට පැන්තර් දෙවියන්, හදවත හැඩති ශාකය වැනි සංකල්ප භාවිත වේ.
කෙසේ නමුත් අප්‍රිකාවේ මෙසේ ජාතිය ඇති වීමේ හෝ තාක්ෂණය ඇති වීමේ නැඹුරුවක් නො තිබිණි. මේ තත්වය තුළ වකන්දාවේ එම පැන නැඟීමට ප්‍රභවය කරගන්නේ එක්තරා 'පතිත වීමකි'. වයිබ්‍රේනියම් නම් වූ ද්‍රව්‍යයක පැවැත්මයි. (කොංගෝවේ ද මෙසේ එරටෙහි පමණක් පවතින ඛනිජයක් නම් ඇත.) ජාතියේ හා තාක්ෂණයේ මෙම අසාමාන්‍ය පහළ වීම භෞතික සුපිරි බලයකට ඌනනය කිරීම මඟින් චිත්‍රපටයේ පැහැදිලි කෙරේ. එහෙත් මෙහි දී වැදගත් වන්නේ පැන්තර් දෙවියකුගේ ආධාරයෙන් මේ භෞතික බලවේගය වෙත වකන්දා ජනයා ප්‍රවේශ වීමේ කතාව ය. ලංකාවේ ජාතිය ඇති වීම සමඟ සම්බන්ධ කෙරෙන සිංහයාගේ කතාව ද මෙවැන්නකි. මේවායේ සංකේතමය ස්වරූපය මේවා බැහැර කිරීමට යොදා ගැනීම සුදුසු නො වේ.
වකන්දාව අනෙක් අප්‍රිකානු කලාපයේ දේශපාලනික ක්‍රියාවලියෙන් වෙන්ව සිටී. පෝල් හන්ටිංටන්ගේ අරුතෙන් නම් වකන්දාව අප්‍රිකානු සභ්‍යත්වයක (African Civilization) වන රාජ්‍යයක් නො වේ. බාහිර අප්‍රිකාවෙන් හුදෙකලාව වකන්දාව පවතියි. වකන්දාව මාටින් ජැක්ස් පවසන සභ්‍යත්ව රාජ්‍යයක් (civilization state) ද නොවන බව පෙනේ.
එහෙත් වක්න්දාවේ ජාතියක් පවතින බව පැහැදිලි ය. එය බටහිර ජාතික රාජ්‍යයක් හෝ සභ්‍යත්ව රාජ්‍යයක් හෝ නො වේ. කල්පිත වකන්දාවේ ජාතිය හා රාජ්‍ය අතර සම්බන්ධය ඊට ම අනන්‍ය ය.
ලංකාවේ ද සිංහල ජාතියේ පැවැත්ම ගැමුණු රජුගේ කාලයේ සිට ම විද්‍යමාන වේ. බොහෝ රටවලට ප්‍රතිවිරුද්ධව පෘතුගීසින්ගේ පැමිණීම දක්වා ම සමස්ත දිවයින පුරා ම පැවති භාෂාමය හා ආගමික ඒකාබද්ධතාවක් පුරාවිද්‍යා සාක්ෂ්‍යවලින් පවා පෙනී යයි. එහෙත් ලංකාවේ රාජ්‍යය බටහිර ජාතික රාජ්‍යයක් හෝ සභ්‍යත්ව රාජ්‍යයක් නො වී ය. එය වකන්දාවේ රාජ්‍යය ද නො වේ. ලංකාවේ රාජ්‍යය ලංකාවට ම ආවේණික වූ එක්සේසත් රාජ්‍යයකි. බටහිර නිර්ණායක අනුව අඳුරේ අත ගෑමෙන් එය වටහා ගත හැකි නො වේ.