පෘථීවි කේන්ද්‍රවාදයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන තර්කවල බොල් බව

මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර)

සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළිබඳ මා ලබා දුන් පිළිතුරු පිළිබඳව නිහඬතාවය පළ කොට ඇත. මා පසුගිය වාරයේ දැක්වූ සැම්සන් මහතා පිළිතුරු නොදුන් ප්‍රශ්න මාලාවට ඔහු පිළිතුරු දී ඇති බවක් එම ලිපියේ පවසයි. එහෙත් ඔහු එසේ පිළිතුරු දුන් එක් තැනක් හෝ සඳහන් නොකර හුදු වාක්‍යයක් ලෙස එසේ කීමට අතිශයින් ප්‍රවේසම් වෙයි. පාඨකයන්ට පසුගිය ලිපි පෙරළා බලා උගුරට හොරා බෙහෙත් කෑමට සැම්සන් මහතාට ඇති අසහාය හැකියාව පිළිබඳව තහවුරු කරගත හැකි ය.

    සැම්සන් මහතා මූලාශ්‍ර විශාල ගණනක් ඇසුරෙන් අතීත බෞද්ධයන් පොළොව පැතලි බව සිතුවේ යැයි කියන බවට ඔහු සඳහන් කරන විකිපීඩියා ලිපියකින් තම කරුණු ඉදිරිපත් කළ බව කියයි. මා ඔහුට අභියෝග කළේ අදාළ ලිපියේ සබැඳිය (link) ලබා දී එහි ඇති බෞද්ධ මූලාශ්‍ර ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙසයි. එම ඉතා සරල කාර්යය සඳහා අධික භීතියක් දක්වන ඔහු මූලාශ්‍ර ලැයිස්තුව නො දීමට දෙන්නේ අමුතු හේතුවකි. මා එවිට ඒවා බටහිරයන් ලියූ හෝ බටහිර බලපෑම මත ලියූ ඒවා ලෙස නම් කරයිලු. මෙයින් පෙනෙන්නේ සැම්සන් මහතා කියන ඊනියා මූලාශ්‍ර බටහිරයන් පෙරදිගට ඒමෙන් පසු ලියවූ ඒවා බව ද? බෞද්ධ මූලාශ්‍ර කීවේ මේවාට ද? විකිපීඩියා ලිපියේ සබැඳිය නො දී ලිස්සා යෑමට හේතුවක් සාදා ගැනීමට නො හැකි වී ඇත. විකිපීඩියාවට ලිපියක් සැපයීමට ඕනෑ ම පුද්ගලයකුට හැකි ය. පාඨක ඔබට පවා ඒ සඳහා ඉතා පහසුවෙන් යොමු විය හැකි ය. එනිසා විකිපීඩියාවෙන් යමක් ගන්නා විට එහි මූලාශ්‍ර පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. නැතිනම් විෂය පිළිබඳ අවබෝධයකින් තොරව සඳහන් කළ දේ පවා ඔබට ලැබෙනු ඇත. එක ම කරුණ ගැන ලිපි කිහිපයක් පවතින අවස්ථා ඇති බැවින් කවර ලිපිය දැයි සඳහන් නො කිරීම ගැන සැම්සන් මහතාට සමාවක් දිය නො හැකි ය. මෙවන් වාක්‍යයක් පවතින එක් ලිපියක් මට ද හමු වූ නමුත් මූලාශ්‍ර ලැයිස්තුව බලන විට එහි කිසිදු බෞද්ධ පොතක නමක් තිබුණේ නැත. සැම්සන් මහතාට කරුණු වසා ලමින් පැන යාමේ නිදහසක් නොමැත. මෙවන් විහිළු සැපයීම පසෙකලා අදාළ ලිපියේ සබැඳිය (link) හෝ ලබා දෙන ලෙස අභියෝග කරමි. සුපුරුදු පරිදි ඔහු මීළඟ වාරයේ දීත් බීරි අලියාගේ වෘතය හෝ තණ කොළ කැපීමට ගහට නැඟි මිනිහාගේ වෘතය හෝ ආරක්ෂා කිරීමට පෙළඹෙනු ඇත. ඔහු මේ සඳහා මූලාශ්‍ර තුනක් ලබා දී ඇති බව කියයි. එකක් ඉහත කී නමක් ගමක් නැති වෙබ් ලිපිය වනු ඇත. අනෙක ගුත්තිලයේ කවියකි. කවියේ කොතැනකවත් පොළොව පැතලි බවට ඉඟියක්වත් නැති නමුත් සැම්සන් මහතා එවැන්නක් තමාගේ අතින් එක් කරමින් ඊට අනුව පොළොව පැතලි බව කියයි. මෙවන් "මූලාශ්‍ර" දෙකකට පසු ඔහුගේ තුන්වන මූලාශ්‍රය කුමක් ද? එය කුමක් දැයි සැම්සන් මහතාට නම් කළ හැකි ද? විදුසර පුවත්පත කියවන පාසල් සිසුන් වටහා ගත යුත්තේ මූලාශ්‍ර දැක්වීම යනු මෙසේ හොරා පොලිස් සෙල්ලම් කිරීමක් නොවන බව ය. සැම්සන් මහතාගේ වැරදි ආදර්ශ ලබා නො ගනිමින් ඔබගේ ලේඛන හා ව්‍යාපෘතිවල දී ලේඛනයේ නම කර්තෘ හා පිටු අංකය සහිතව අදාළ කොටස් දැක්වීමට හුරු වන්න. මුද්‍රණය කළ වර්ෂය හා ආයතනය ද එක් කිරීම මෙය සම්පූර්ණ වීම සඳහා වැදගත් ය. වෙබ් ලිපියක් නම් සබැඳිය දැක්වීමට හුරුවන්න. හේතුවාදීහු මාධ්‍ය ඉදිරියේ ජනතාවගේ විමර්ශනශීලීත්වය නැති කරමින් වංචනික ලෙස මූලාශ්‍ර විකෘති කරමින් කරුණු දක්වනවාට අමතරව මූලාශ්‍ර නිසි ලෙස නොදක්වා එය සාධාරණීකරණය කරමින් ආචාරධර්මීය වශයෙන් ද ජනතාව නොමඟට යවති. මේවායින් අනාගත පරපුර ගලවා ගැනීම අප හැමගේ වගකීමකි. මිලින්ද ප්‍රශ්නය හෝ සූර්ය සිද්ධාන්තය වැනි පෘථිවිය ගෝලාකාර බව ඍජුව ම කියන ග්‍රන්ථයක කරුණු පිළිගැනීමට නම් සැම්සන් මහතාට එය සුද්දකු හිසට ඇන පෙන්විය යුතු ය. විකිපීඩියාව අදහන සැම්සන් මහතාට කිව යුත්තේ සූර්ය සිද්ධාන්තය පිළිබඳ විකිපීඩියා ලිපිය හෝ කියවා බලාවත් පෘථිවිය ගෝලාකාර බව පෙරදිග ජනයා අතීතයේ සිට දැන සිටි බව වටහා ගන්නා ලෙසයි.

 
   

මීළඟට සැම්සන් මහතා සාවද්‍ය ඉතිහාස කරුණක් වපුරයි. එනම් කොපර්නිකස් සූර්යකේන්ද්‍රවාදය ගෙන ආවිට ආගමෙන් විශාල විරෝධයක් එල්ල වූ බව ය. මෙය හේතුවාදීන් ගොඩනඟන ව්‍යාජ ඉතිහාසයකි. ක්ලෙමන්ට් පාප්වරයා සූර්ය කේන්ද්‍රවාදය දැනගත්තේ විඩ්මැන්ස්ටෙටර් නම් පුද්ගලයාගෙනි. ඔහුට වටිනා ත්‍යාගයක් ද ලබා දුන් පාප්තුමා කොපර්නිකස් රෝමයට ගෙන්වා දේශනයක් ද සංවිධානය කළේ ය. කොපර්නිකස්ගේ මරණය තෙක් ඔහුගේ කෘතිය ප්‍රකාශයට පත් නොවූයේ ආගමික ආයතනවල විරෝධයක් තිබූ නිසා නොව ඔහු සිය කෘතිය සම්පූර්ණ කොට නොතිබූ නිසාවෙනි. කොපර්නිකස් සිය කෘතිය පුදා තිබුණේ ද තුන්වන පෝල් පාප්වරයාට ය. ග්‍රෙගරි පාප්වරයා සිය දින දර්ශනය සැකසුවේ ද කොපර්නිකස්ගේ ගණනයන් මත පිහිටමිනි. ඩොමිනිකන් නිකායේ ටොසලානි වැනි ඇතැම් අය කොපර්නිකස්ව විවේචනය කළ ද එය හුදෙක් ම ශාස්ත්‍රීය විවේචනයක් පමණක් ම වූ අතර එකල බලවත් ජුසෙයිට් නිකාය කොපර්නිකස්ගේ මතයට පක්ෂ විය. ප්‍රතිසංස්කරණවාදීන් විරෝධතා එල්ල කොට තිබූ නමුත් ඒවා ආහාර මේසවල කතාබහ කෙරුණු දේ පමණි. කොපර්නිකස්ට විශාල පිළිගැනීමක් ඒ යුගයේ ලැබුණු අතර ඔහුට ආගමෙන් බලපෑම්කාරී බාධාවක් එල්ල වීය යන්න සහමුලින් ම අසත්‍යයකි.
(Repcheck, Jack. Copernicus' secret: How the scientific revolution began. Simon and Schuster, 2007.) හේතුවාදීන්ගේ බොරු කීමේ හැකියාවට සැම්සන් මහතා මේ වන විට ගණන් කළ නො හැකි තරම් උදාහරණ සපයා ඇත.

පසුගිය වාරයේ මා පැවසුවේ ඔබට මිදුලට බැස අහස දෙස බැලීමෙන් පෘථිවි කේන්ද්‍රවාදය දැක බලා ගත හැකි බව ය. සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ප්‍රායෝගිකව පෙනෙන්නේ යැයි විවිධ සංසිද්ධි කීපයක් ඉදිරිපත් කොට ඇත. එම සංසිද්ධි විමසා බලන විට පෙනෙන්නේ සූර්ය කේන්ද්‍රවාදය නොව සැම්සන් මහතාගේ නො දැනුවත්කමේ තරම ය.

ඔහු ඉදිරිපත් කරන කරුණු වන්නේ ග්‍රහයන් වක්‍ර වීම (retrograde), පෘථිවියට සාපේක්ෂව තාරකාවල චලනය, බුධ හා සිකුරුට පොළොවේ සිට ඇති දුර පොළොවේ සිට හිරුට ඇති දුරට වඩා අඩු වැඩි වීම වොයේජර් යානාවල වීඩියෝ දර්ශන යන කරුණු ය. මේ කරුණු කිසිවකින් පෘථිවි කේන්ද්‍රවාදය බිඳ හෙළිය නො හැකි ය.

මුලින් ම පෘථිවියට සාපේක්ෂව තාරකාවල චලනය සලකමු. පෘථිවියට සාපේක්ෂව තාරකා චලනය වන බව කීමෙන් ම පෙනෙන්නේ එය පෘථිවියේ සිට පැහැදිලි කොටගෙන ඇති බවයි. ඇත්තෙන් ම මෙසේ තාරකාවල චලිතයක් (stellar parallax) ඉතා දියුණු දුරේක්ෂවලට හැරුණු කොට හසු නොවන තරම් ය. මේ පිහිටීම් වෙනස් වීම අතිශයින් ම කුඩා ය. එහෙත් මෙය පෘථිවි කේන්ද්‍රවාදයට කිසි ලෙසකින්වත් ගැටලුවක් නොවේ. ගැටලුව ඇති වන්නේ තාරකා නිශ්චලයැයි උපකල්පනය කිරීම හේතුවෙනි. තාරකා නිශ්චලය යන්න අතීතයේ පැවති සාවද්‍ය අදහසකි. පෘථිවි කේන්ද්‍රවාදයේ එවන් දෘඩ උපකල්පනයක් නැත. තරුවක් වන සූර්යයා චලනය වන විට අනෙක් තරු නිශ්චලව තිබිය යුත්තේ ඇයි? තාරකාවල චලිතයක් 'පෙනීම' පෘථිවි කේන්ද්‍රවාදයේ දී ගැටලුවක් නො වේ. එනිසා මෙම කරුණින් කිසිදු බලපෑමක් එල්ල නො වේ.

වොයෙජර් යානාවල වීඩියෝ දර්ශන ගැන කියන කරුණු ද අසත්‍ය ය. වොයේජර් යානාවලින් ලැබෙන්නේ යානයට සාපේක්ෂ වීඩියෝ ය. ඒවායෙන් සැම්සන් මහතා පවසන ආකාරයේ වීඩියෝවක් සාදාගත හැක්කේ සූර්යයා එක ම පිහිටුමකට එන ලෙස සංස්කරණය කිරීමෙනි. එම සංස්කරණිත වීඩියොවෙන් කිසිවක් කියැවෙන්නේ නැත. අවශ්‍ය නම් පොළොව එක ම පිහිටුමේ පවතින සේ වීඩියෝවේ ඡායාරූප සංස්කරණය කරගනිමින් පෘථිවිය වටා ග්‍රහලෝක චලිතය දැකිය හැකි ය. අධෝරක්ත දුරේක්ෂ ආදියෙන්, ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ආදියෙන් ගන්නා ප්‍රතිබිම්බ පරිගණකානුසාරයෙන් සංස්කරණය කොට වර්ණ ගන්වා එවන ඡායාරූපවලින් වර්ණය පිළිබඳ නිසි දත්ත ලබා ගත නො හැකි ලෙසින් ම මෙවන් සංස්කරණිත වීඩියෝ මඟින් සූර්යකේන්ද්‍රවාදය නිර්ණය කළ නො හැකි ය.

මීළඟට අපි ග්‍රහ චලිතය පිළිබඳව විමසමු. හේතුවාදීන් ඇතුළු බොහෝ දෙනා සිතා සිටින්නේ පෘථිවි කේන්ද්‍රවාදයේ ග්‍රහ චලිතයන් විස්තර කරන්නේ පළමු රූපයේ ආකාරයෙන් බවයි. මෙය කරුණු නො දැනීමෙන් ඇතිවන සාවද්‍ය අදහසකි.

පෘථිවි කේන්ද්‍රවාදයේ ග්‍රහචලිතය නිරූපණය කරන්නේ චක්‍ර (deferent) හා අපි චක්‍ර (epicycles) ඇසුරෙනි. අපිචක්‍ර නම් වෘත්තයක් ප්‍රධාන චක්‍රය වටා යයි. ග්‍රහලෝකය ගමන් කරන්නේ මෙම අපිචක්‍රය වටා ය. මෙවැනි අපිචක්‍ර කිහිපයක් තිබිය හැකි ය. එ නිසා පෘථිවියේ සිට ග්‍රහලෝකයකට ඇති දුර සැමවිට ම නියතව පවතින්නේ නැත. ප්‍රධාන චක්‍රයට දුර නියත වුව ද ග්‍රහලෝකය අපිචක්‍රයේ ගමන් කරන විට පොළොවට ළං වීම හා ඈත් වීම සිදුවේ. මේ අපිචක්‍ර ක්‍රමය කිසිසේත් ම නො දියුණු ක්‍රමයක් නො වේ. මෙය ග්‍රහලෝක කක්ෂයේ ෆූරියර් ශ්‍රේණියයි. ඔබේ නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍රය රූපවාහිනිය පරිගණකය ජංගම දුරකතනය ආදී සියල්ල තනා ඇත්තේ ෆූරියර් ශ්‍රේණිය මඟින් ගණනය කිරීම් කරමිනි. චන්ද්‍රිකා සන්නිවේදනය සිදුවන්නේ ද ෆූරියර් ශ්‍රේණිය ඇසුරෙන් කරන ගණනය කිරීම් මඟිනි. විද්‍යුත් පරිපථ නිර්මාණයේ දී මෙන් ම අවකල සමීකරණ විසඳීමේ දී ද, වඩදිය හා ඇතැම් කාලගුණික ගණනයන්හි දී ද මෙම ක්‍රමය ඉතා වැදගත් ය. මෙම ක්‍රමය මුලින් ම යොදා ගෙන ඇත්තේ ජ්‍යෝතිෂ්‍යයේ ය. සායන නිරායන ජ්‍යෝතිෂ්‍ය ක්‍රම දෙකට ම මෙය පොදු ය. ඕනෑ ම සංකීර්ණ කක්ෂයක් මෙසේ නිරූපණය කළ හැකි අතර එහි දී ගණනයන් සරල වේ. මෙය ඉතා වටිනා ක්‍රමවේදයකි.




පෘථිවි කේන්ද්‍රවාදයේ දී පොළොවේ සිට සූර්යයාට ඇති දුරට වඩා සිකුරුගේ හා බුධගේ දුර අඩු වැඩි වීම විස්තර කරන්නේ අදාළ ග්‍රහලෝකයක හා සූර්යයාගේ චක්‍ර අතර අරයන්ගේ වෙනසට වඩා අපිචක්‍ර අරයන්වල දිගේ එකතුව විශාල වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ නිසා පෘථිවියට පෙනෙන සූර්යයාගේ පථයෙන් ඇතුළටත් පිටටත් බුධ හා සිකුරු එළඹේ. සූර්යකේන්ද්‍රවාදයේ දී පවා ප්ලූටෝ හා නෙප්චූන් යන ආකාශ වස්තූන් එකිනෙකාගේ පථයන් ඡේදනය කරගනිමින් ගමන් කරන බව සැම්සන් මහතාට සිහිපත් නො වීම අරුමයකි. වල්ගා තරු කක්ෂ ද ග්‍රහලෝක ගණනාවක ම කක්ෂ ඡේදනය කරමින් වැටී ඇත. ප්ලූටෝ නෙප්චූන් වටා යන්නේ යැයි කියැවෙන්නේ නැත. (අතීතයේ එසේ වන්නට ඇත යන්න අදාළ නොවේ. වර්තමානයේ ද කක්ෂ ඡේදනය වුවද එය එවැන්නක් කීමට තරම් ප්‍රමාණවත් නොවේ.)

බුධ හා සිකුරු ග්‍රහලෝකවල පොළොවට ඇති දුර සූර්යයාට වඩා අඩු වැඩි වීමෙන් ඒවා සූර්යයා වටා චලනය වන්නේ ම යැයි කීමට හැකියාවක් නැත. එසේ වූ විට එම ග්‍රහලෝක දෙක පෙන්වා එසේ නොවන අනෙක් ග්‍රහලෝකවලට ද එය යෝජනා කොට පොළොවටත් යෝජනා කිරීම විහිළුවක් ම පමණි. සැම්සන් මහතාගේ මෙම තර්කය ද බිඳී යයි.

ග්‍රහලෝක වක්‍ර වීම ගැන මීළඟට කතා කරමු. ඇතැම් ග්‍රහලෝක අහස් ගෝලයේ (ඛගෝලයේ) ගමන් කරන අතරතුරේ දී සුළු කාලයක් ආපසු හැරී ගමන් කොට නැවත හැරී මුල් දිශාවට ගමන් කරයි. ග්‍රහයින් වක්‍ර වීම ලෙස හැඳින්වෙන්නේ මෙම ගමනයි. මෙය පෘථිවි කේන්ද්‍රවාදයට හෝ ජ්‍යෝතිෂ්‍යයට තර්ජනයක් යැයි කීම අනවබෝධයෙන් කරන කතාවකි. පෘථිවි කේන්ද්‍රවාදීන් මීට ඉතා සිත් ඇදගන්නා සුලු පැහැදිලි කිරීමක් දී ඇත.

නැවත වරක් චක්‍ර හා අපිචක්‍ර දැක්වෙන රූපසටහන බලන්න. අපිචක්‍රය පොළොව වටා චක්‍රය ඔස්සේ ගමන් කරන අතරතුරේ දී ග්‍රහලෝකය අපිචක්‍රය දිගේ එහි කේන්ද්‍රය වටා ගමන් කරයි. මෙහිදී යම් අවස්ථාවක දී චක්‍රයේ ප්‍රවේගය හා අපිචක්‍රයට සාපේක්ෂ ග්‍රහලෝකයේ ප්‍රවේගය එක ම දිශාවට ද තවත් අවස්ථාවක දී විරුද්ධ දිශාවට ද පවතී. අපිචක්‍රය ඔස්සේ ග්‍රහලෝකය ගමන් කරන්නේ චක්‍රය ඔස්සේ අපිචක්‍රය ගමන් කරන වේගයට වැඩි වේගයකින් නම් ග්‍රහලෝකයක් සිය ගමන අතරතුර සුළු කාලයක දී සිය සම්ප්‍රයුක්ත වේගය ප්‍රතිවර්ත්‍ය කරගනී. ප්‍රතිඵලය වන්නේ ග්‍රහලෝකය වක්‍ර වීමයි. (සුළු කාලයක් ආපස්සට ගමන් කිරීමයි)


පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්යකේන්ද්‍රවාදය අතර විවාදයේ අවසාන භාගය වන විට පෘථිවි කේන්ද්‍රවාදීන් මෙම වක්‍ර වීමේ සංවාදය ජයගෙන තිබුණි. තමාගේ මතයෙන් පැහැදිලි කළ නො හැකිවූ දුරේක්ෂ නිරීක්ෂණ ගණනාවක් ගැලීලියෝ රහසිගතව සඟවා දැමූ බව පසුකාලීනව අනාවරණය වූ ප්‍රකට කරුණකි. මෙය ගැලීලියෝගේ ආචාරධර්මීය ක්‍රියාකාරිත්වය අභියෝගයට ලක් කෙරෙන අවස්ථාවකි.

නිවුටෝනීය ගුරුත්වාකර්ෂණයෙන් සූර්ය කේන්ද්‍රවාදය ඍජුව තහවුරු නො කෙරේ. නිවුටන්ගේ නියම වලංගු අවස්ථිති රාමුවල ය. මෙවන් රාමු නොමැති බව අර්න්ස්ට් මාක් හා අයින්ස්ටයින් පෙන්වා දී ඇත. මේ බව මේ ලිපිවල ආරම්භක ලිපිවල ම විස්තර කර දී ඇත. ස්කන්ධය වැඩි වස්තුව වටා චලනය වීමක් ගැන නිවුටන්ගේ මතවාදයේ දී කියැවෙන්නේ නැත. මෙසේ සැලකුවහොත් ස්කන්ධයෙන් වැඩි වස්තුවේ 'උදම් බල' ඇති වීම පැහැදිලි කළ නො හැකි ය. නිවුටන්ගේ නියමවලට අනුව සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ අචල ඉලිප්සවල ය. පසුව නිරීක්ෂණය වූයේ සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ අචල ඉලිප්සවල නොව ඉලිප්සය ද කරකවා ගනිමින් බව ය. මෙය නිවුටන්ට පැහැදිලි කළ හැකි වූයේ නැත. නිවුටන්ගේ භෞතික විද්‍යාවේ උපකල්පන බැහැර කරමින් අයින්ස්ටයින් සාධාරණ සාපේක්ෂතාවාදය නිර්මාණය කළේ ය. ඉන් මේ නිරීක්ෂණ පැහැදිලි කළ හැකි විය. සාධාරණ සාපේක්ෂතාවාදය අනුව සියලු චලිතයන් සාපේක්ෂ ය. ඉන් එකක් අනෙකකට වඩා දියුණු හෝ වැදගත් හෝ සත්‍ය හෝ නැත. සාධාරණ සාපේක්ෂතාවාදය අනුව පෘථිවි කේන්ද්‍රවාදයත් සූර්ය කේන්ද්‍රවාදයත් සමාන නිරවද්‍යතාවයෙන් යුතු ය. මේ බව මම මීට පෙර අයින්ස්ටයින්ගෙන් ම උපුටා දැක්වීමි. අයින්ස්ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණය බලයක් නො පවතින අතර අංශූන් ගමන් කරන්නේ අවකාශ කාලයේ ඇති කාල සමාන භූමිතිකවල ය (time like geodesic). (භූමිතිකයක් යනු අවකාශ කාලයේ පවතින අවම වක්‍රතාවයෙන් යුතු රේඛාවකි.) සැම්සන් මහතා යල් පැන ගිය භෞතික විද්‍යාවෙන් මිදිය යුතු ය. ස්කන්ධය වැඩි නිසා සූර්යයා වටා අනෙක් වස්තු ගමන් කළ යුතු බව බොළඳ තර්කයකි. සියලු අංශු ස්පර්ශීය හෝ විද්‍යුත් චුම්භක අන්තර්ක්‍රියා රහිත විට අවකාශ කාල භූමිතිකයන්හි ගමන් කරයි.

කොපමණ සූර්ය කේන්ද්‍රවාදය ගැන කියූව ද සැම්සන් මහතා ද තවමත් හිත යටින් පොළොවේ පය ගසා සිටිනා පෘථිවි කේන්ද්‍රවාදියකු බව පෙන්වන ප්‍රකාශයක් ද ඔහු සිදු කොට ඇත.

එනම් වොයේජර් යානා "හිරු වටා එක් වටයක් පුරා ම එනම් දින 365ක් තිස්සේ ම පෘථිවියේ වෙනස්කම්" පිළිබඳව ඡායාරූප එවා ඇති බවයි. අපට හුරුපුරුදු දිනයක් පැය 24 කි (තත්පර 86400කි). ඒ ඉර පෑයීම් දෙකක් අතර කාලයයි. එහෙත් සූර්ය කේන්ද්‍රවාදය අනුව පෘථිවියේ භ්‍රමණ කාලය පැය 23 මිනිත්තු 56 තත්පර 4කි. මෙසේ වන්නේ සූර්යයා වටා පරිභ්‍රමණය වීම ම අමතර භ්‍රමණයක් ලබා දෙන බැවිනි. මේ නිසා එක ම තරු රටාව ඊළඟ දිනයේ පායන්නේ පළමු දිනයේ වේලාවට මිනිත්තු හතරකට පෙර ය.  පැය විසි හතරේ දිනයක් ජ්‍යෝතිෂ්‍යයේ සාවන දිනයක් (civil day) නම් වේ. පැය 23 මිනිත්තු 56 හි පෘථිවි භ්‍රමණ කාලය තාරකා විද්‍යාව අනුව තාරකා දිනයකි (stellar day). සූර්යයා වටා එක් පෘථිවි පරිභ්‍රමණයකට සාවන දින 365.25ක් පමණ ඇති අතර තාරකා දින 366.25ක් ඇත. සාවන දින යනු පෘථිවියට දෘශ්‍යමාන වන දෙයකි. වොයෙජර් යානාවල ඡායාරූපවලින් සාවන දින පෙන්නුම් වූයේ කෙසේ දැයි නාසා ආයතනය වෙන ම පරීක්ෂණයක් ඇරඹිය යුතු ය! සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ගැන කියන්නේත් පෘථිවි කේන්ද්‍රවාදීව ම වීම දෛවයේ සරදමකි.

මෙවර සූර්ය සිද්ධාන්තයේ පරිච්ඡේද කිහිපයක් පරිවර්තනය කිරීමට සූදානම්ව සිටිය ද මේ ගෙවී යන්නේ මා හට කාර්ය බහුල ම සතියක් බැවින් එම පොරොන්දුව ලබන සතියට කල් දැමීමට සිදුවේ.

දෙසතියකින් නැවත හමුවන අතරතුර සැම්සන් මහතාගේ මෙවන් පිළිතුරු ලිපි කියවා හාස්‍ය රසයෙන් කුල්මත් වෙමු.

          - තමලු මලිත්ත පියදිගම

4 comments:

  1. කාර්‍ය්‍ය බහුලකම නිසා ඔයාගේ මේ පිටුවට එන්නේ ඉඳල හිටලා. ඒත් ආවම අතඇරගන්න බෑ

    මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ පෘථිවි කේන්ද්‍රවාදය කියන්නේ පෘථිවියවටා කවකට්ටකින් ඇඳුනු හරි රවුම් රැස්වළලු කීපයක් වගේ සරල දෙයක් කියලා. මේ අයට අඩුමගනනේ ලබන වෙසක් පෝයටවත් තොටලඟ තොරන බලන්න යන්න කියන්න. තොරනක බුද්ධරූපයක රැස්වලලේ ලස්සනම රටා මැවෙන්නේ ආලෝකය, වක්‍රය තුලම අපිචක්‍රවල රටා මවනකොටයි. ඒක දිහා ටිකක් බලන් හිටියාම අවබෝදවේවි කේන්ද්‍රගත චලිතවල පැවතිය හැකි විවිධත්වයන්. ඒත් මේ මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද මේවා සියල්ලන්ම දැකීමේ එක්තරා ක්‍රමයන්ම පමණක්ම බව.
    වාස්ථවික යථාර්තය ඉස්මොලේටම ගහලා.

    ReplyDelete
  2. පෘථුවි කේන්ද්‍ර වාදයට අනුව ආලෝක වර්ශ ගණනාවක් ඈත ඇති වස්තු පවා පෘථිවිය වටා භ්‍රමණය විය යුතුයි. එවිට ඒවායේ ආලෝකය ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයකින් පෘථුවියට ලඟාවිය යුතුයි.
    පෘථුවි කේන්ද්‍ර වාදයේදී මෙයට ඇති උත්තරය කුමක්ද?

    ReplyDelete
    Replies
    1. ජගත් පතිරණ, ඔබ නිවුටන්ගේ භෞතිකයේ චලිත නියම ආලෝකයට යොදන බව පෙනෙනවා. අප දෙසට යමක් පැමිණෙන විට අපත් ඒ දෙසට ගමන් කරනවා නම් නිවුටන් ගේ භෞතික විද්‍යාව අනුව අපට සාපේක්ෂව එහි ප්‍රවේගය අපේ ප්‍රවේගය එහි ප්‍රවේගයට එක් වීමෙන් ලැබෙනවා.මේ නිවුටන්ගේ භෞතික විද්‍යාව පදනම් කරගනිමින් සූර්ය කේන්ද්‍රවාදයට ආලෝකයේ චලිතය ඇසුරෙන් 'සාධන' තුනක් විවිධ අය දී තිබෙනවා. නමුත් මේ නිවුටන්ගේ භෞතික විද්‍යාවත් එහි චලිත නියමත් වැරදියි.

      මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය නමින් ප්‍රසිද්ධ පරීක්ෂණයක් තිබෙනවා. එහි දී ඔප්පු වෙනවා ආලෝක ප්‍රභවයේ ප්‍රවේගයවත් නිරීක්ෂණය කරන අපගේ ප්‍රවේගයවත් ආලෝකයේ අපට පෙනෙන ප්‍රවේගයට බල නො පාන බව. කවුරුන් හෝ පෘථිවිය නිශ්චල බව ආලෝකය යොදා ගනිමින් පෙන්වන්න හැදුවා නම් ඒකත් 'සාධනය' කරන්න පුළුවන්කම තිබුණා. නිවුටන්ගේ භෞතික විද්‍යාව ප්‍රතික්ෂේප කරමින් අයින්ස්ටයින්ට අලුත් භෞතික විද්‍යාවක් හදන්න වුණා. ඒකේ සාපේක්ෂ ප්‍රවේග සූත්‍රය වන්නේ w=(u+v)/(1+uv/c^2). (c ආලෝකයේ ප්‍රවේගය)

      මේ සමීකරණයේ u ආලෝකයේ ප්‍රවේගය (c) වුණොත් v කවර අගයක් වුවත් අවසන් පිළිතුර c ම පමණයි. සාපේක්ෂ ප්‍රවේගයෙන් ආලෝකයට බලපෑමක් නෑ.

      Delete
  3. ජගත් පතිරණ, ඔබ නිවුටන්ගේ භෞතිකයේ චලිත නියම ආලෝකයට යොදන බව පෙනෙනවා. අප දෙසට යමක් පැමිණෙන විට අපත් ඒ දෙසට ගමන් කරනවා නම් නිවුටන් ගේ භෞතික විද්‍යාව අනුව අපට සාපේක්ෂව එහි ප්‍රවේගය අපේ ප්‍රවේගය එහි ප්‍රවේගයට එක් වීමෙන් ලැබෙනවා.මේ නිවුටන්ගේ භෞතික විද්‍යාව පදනම් කරගනිමින් සූර්ය කේන්ද්‍රවාදයට ආලෝකයේ චලිතය ඇසුරෙන් 'සාධන' තුනක් විවිධ අය දී තිබෙනවා. නමුත් මේ නිවුටන්ගේ භෞතික විද්‍යාවත් එහි චලිත නියමත් වැරදියි.

    මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය නමින් ප්‍රසිද්ධ පරීක්ෂණයක් තිබෙනවා. එහි දී ඔප්පු වෙනවා ආලෝක ප්‍රභවයේ ප්‍රවේගයවත් නිරීක්ෂණය කරන අපගේ ප්‍රවේගයවත් ආලෝකයේ අපට පෙනෙන ප්‍රවේගයට බල නො පාන බව. කවුරුන් හෝ පෘථිවිය නිශ්චල බව ආලෝකය යොදා ගනිමින් පෙන්වන්න හැදුවා නම් ඒකත් 'සාධනය' කරන්න පුළුවන්කම තිබුණා. නිවුටන්ගේ භෞතික විද්‍යාව ප්‍රතික්ෂේප කරමින් අයින්ස්ටයින්ට අලුත් භෞතික විද්‍යාවක් හදන්න වුණා. ඒකේ සාපේක්ෂ ප්‍රවේග සූත්‍රය වන්නේ w=(u+v)/(1+uv/c^2). (c ආලෝකයේ ප්‍රවේගය)

    මේ සමීකරණයේ u ආලෝකයේ ප්‍රවේගය (c) වුණොත් v කවර අගයක් වුවත් අවසන් පිළිතුර c ම පමණයි. සාපේක්ෂ ප්‍රවේගයෙන් ආලෝකයට බලපෑමක් නෑ.

    ReplyDelete

අලුත් ම සටහන

වෑකන්දේ කළු පතිරණ Black Panther

වෑකන්දේ කළු පතිරණ               -  තමලු  Alchemist Magazine  Marvel ආයතනයේ නිර්මාණයක් වූ Black Panther චිත්‍රකථා චරි...

වැඩිපුර කියවූ ලිපි