හේතුවාදීන්ගේ දුබලකම පෙන්වන කොවුර්ගේ පුහු අභියෝග

                තමලු මලිත්ත පියදිගම 
                2017.07.29
                ඉරිදා රිවිර

සහේතු: කොවුර්ගේ එක අභියෝගයක් තමයි ටෙලිපති එහෙමත් නැතිනම් පරචිත්ත විජානනය මඟින් හිතක් කියවලා පෙන්වන්න කියන එක. මේ ගැන ඔබේ අදහස මොකක් ද?

ප්‍රබෝධ: ඒක නම් මට වුණත් මේ වෙලාවේ බාරගන්න පුළුවන් එකක්. මට විනාඩියක් දෙන්න. ඒ වෙලාව ඇතුළේ ඔබ හිතූ දෙය කියන්න මට පුළුවන්.

සහේතු: එහෙනම් අපි විනාඩියක් බලමු.
(විනාඩියකට පසු)

ප්‍රබෝධ: ඔබ හිතුවේ ප්‍රබෝධ මෙච්චර විශ්වාසයෙන් මේක බාර ගත්තේ මේ අභියෝගය බැරි වෙලාවත් දිනයි ද දන්නේ නෑ කියන එක.

සහේතු: මම එහෙම හිතුවේ නෑ.

ප්‍රබෝධ: අපිට ඕක විශ්වාස කරන්න බෑ. ඔබ පරාජය වසා ගැනීමට බොරු කියනවා.  ඔබ හිතුවේ වෙන දෙයක් ගැන කියලා හැමෝට ම පැහැදිලි වෙන විදිහට ඔප්පු කරන්න පුළුවන් නම් විතරයි අපි ඔබව පිළිගන්නේ.

සහේතු: (කලබල වී) ඔබ පැහැදිලිව අභියෝගය දිනුවේ නෑ. මේක නිකම් උපක්‍රමයක් විතරයි.

ප්‍රබෝධ: (සිනාසෙමින්) ඔය හේතුවාදීන් ප්‍රශ්න මඟ ඇරලා යන කලාව තමයි ඩීල්, උපක්‍රම කියලා කෑ ගහන එක.

    ඇත්තට ම සහේතු මම ඕක කළේ ඔය අභියෝගයේ අඩුපාඩුව පෙන්වන්න. මිනිසෙක්ගේ සිත කියවීම කියන්නේ ඒ මොහොතේ ඇතිවන සිතුවිල්ල දැන ගැනීම.දැන් කවුරුහරි කෙනෙක් හිත් කියවලා පෙන්නුවත් ඒක සැබැවින් ම කළා ද නැද්ද කියලා අනිත් අයට තහවුරු කරන්නේ කොහොම ද? ඒක තහවුරු කරන්න නම් හිත් කියවන්න පුළුවන් තවත් අය ඉන්න ඕනේ. එහෙම අය ඉන්න බව පිළිගත්තොත් අභියෝගය එතැනින් ම ඉවරයි.  හිත් කියවීමට ලක් වන කෙනා තමා හිතුවේ එවැන්නක් නෙවෙයි කියලා කීවත් ඔහු ගැන අපිට විශ්වාසයක් තබන්න බෑ. මොක ද ඔහු හේතුවාදී සංගමයේ සාමාජිකයෙක් නම් ඔහුට තම සංගමයට පාක්ෂික වෙමින් බොරුවක් කියන්න පුළුවන්. අනික ඔහු තමා සිතුවේ එය ම බව පිළිගත්තත් හේතුවාදීන්ට පුළුවන් අල්ලස් දීමක් නිසා හෝ අල්ලසක් පසුව ලබා ගැනීමේ අරමුණින් හෝ ඔහු එසේ කළ බවට මඩ ප්‍රහාර එල්ල කරන්න. මධ්‍යස්ථ පුද්ගලයෙක් ගෙන්වනවා කීම ප්‍රායෝගික නෑ. මොක ද ඔහුගේ මධ්‍යස්ථභාවය තහවුරු කරන්නත් බෑ. ඔහු පසුව වාසි ලබා ගැනීමේ අරමුණ ඇතිව අදාළ මොහොතේ දී පක්ෂග්‍රාහී වුණා කියන එක බැහැර කරන්න බෑ.

අනික කියවන්නේ හිත මිස මතකය නෙවෙයි. නමක් දුරකථන අංකයක් හොයාගන්න කීම අසාධාරණ කොන්දේසියක්. හිත් කියවීමේ දී ඒ මොහොතේ හිතන දේ කියවීමයි වෙන්නේ කීවිට මේ ක්‍රමය බිඳ වැටෙනවා. අනික තමා හිත් කියවීමකට ලක් වෙන බව අදාළ පුද්ගලයා දන්නවා නම් ඔහු හිත් කියවන්නා අයාලේ යවන්න කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා තමා හිත් කියවීමකට ලක් වන බව නො දන්නා කෙනෙක් ගන්න වෙනවා. ඒක සදාචාරාත්මක නෑ. කොහොම වුණත් හිත් කියවලා එය ඔහුගෙන් විමසා සිටිද්දී ඔහු පක්ෂග්‍රාහී වෙන්න පුළුවන්. අනෙක් අතට තමා සිතූ දේ සැඟවීමට ඔහු කටයුතු කරන්න පුළුවන්. අනික විශේෂයෙන් කල්පනා නො කරන අවස්ථාවල දී අපි කෙනෙක්ගෙන් ඇහුවොත් ටිකකට කලින් ඔබ හිතුවේ මොනවා ද කියලා බොහෝවිට ඔහුට හරියට කියන්න බෑ. හිතනවා වගේ ම හිතෙනවා කියලා එකකුත් තියෙනවා. තමන් හිතන්නේ මොකක් ද කියලා දන්නේ කල්පනා කරන විට පමණයි.

සහේතු: ඔබේ විග්‍රහය මොකක් ද?
ප්‍රබෝධ : මම කියන්නේ මේක ඉතා ම දුර්වල අභියෝගයක්. අභියෝගයක් නම් එය ජයගත් හෝ නොගත් බව පැහැදිලිව පෙනෙන්න ඕනේ. මේකෙ දී බොහොම ලේසියෙන් ජයග්‍රහණය නො දී මඟ අරින්න පුළුවන්. අමතක කරන්න එපා මේක ඉදිරිපත් වෙන්නේ ම පරීක්ෂණයක් විදිහට නෙවෙයි අභියෝගයක් විදිහට. ඉතින් අර මධ්‍යස්ථභාවයන් කිසි ලෙසකින්වත් බලාපොරොත්තු වෙන්නේ කොහොම ද? අනික හේතුවාදී සංගමයේ සාහසික ප්‍රචාරණ යාන්ත්‍රණ එක්ක කොහොමත් ඔවුන්ගෙන් මධ්‍යස්ථ භාවයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේක හරිහමන් අභියෝගයක් නෙවෙයි. මෙවන් අභියෝග ඉදිරිපත් කිරීම ම කොවුර්ගේ අශාස්ත්‍රීය භාවය පෙන්වනවා. මේ අභියෝගය ම අපිට අර්ථකථනය කරන්න වෙන්නේ හුදු ජනප්‍රිය භාවය ලබා ගන්න කරපු තේරුමක් නැති අභියෝගයක් විහිළුවක් විදිහට. .

සහේතු: මීළඟට අපි ගමු පුනුරුත්පත්තියේ ප්‍රතිඵලයක් විදිහට හරි භූත , යක්ෂ හෝ දේව බලයෙන් හරි නොදන්නා භාෂාවක් කතා කොට හෝ තේරුම් ගෙන හෝ පෙන්වන්න කියන අභියෝගය

ප්‍රබෝධ: ඔතන නොදන්නා භාෂාවක් කියන්නේ මොකක් ද? මේ ලෝකයේ නැති භාෂාවක් ද? නැතිනම් මේ ලෝකයේ තිබෙන ඔහුට සාමාන්‍ය වශයෙන් නම් දැන ගැනීමට ඉඩකඩක් නැති භාෂාවක් ගැන ද? භූතයෝ හා දෙවියෝ ගැන කියලා නැවතුණා නම් අපට කියන්න පුළුවන් මෙතන අදහස කිසියම් කෙනෙක් නො දැන සිටි භාෂාවක ප්‍රකාශ දේව හෝ යක්ෂ බලයෙන් අවබෝධ කරගෙන පිළිතුරු දීම කියලා. එතන දිත් ප්‍රශ්නයක් එනවා දෙවියන් හෝ යක්ෂයන් එක්ක ගණුදෙනු කරන්නේ චිත්ත රූපවලින් කියලා ගත්තොත්. නො දන්නා භාෂාවක් චිත්ත රූපවලට හරවන්නේ කොහොම ද? චිත්ත රූපවලින් නො දන්නා භාෂාවක් එවන්නේ කොහොම ද? මෙතන දී ඒ බලවේගය එක්ක අතරමැදියා වෙන්නෙත් අභියෝගය භාරගන්නා පුද්ගලයාගේ මනස ම නිසා මේක තීරණාත්මකයි. අනික දෙවියන් සියලු භාෂා දැන සිටිය බව පූර්ව උපකල්පනය කරන්න පුළුවන් අඩු තරමින් සර්වබලධාරි දෙවියකු සම්බන්ධව විතරයි.

තීරණාත්මක විදිහට මේ අභියෝගය මීටත් පහළ තලයකට වැටෙනවා පුනර්භවය ගාවාගෙන තිබීමෙන්. එතකොට අභියෝගය බාරගන්නා පුද්ගලයාට ඕනෑ ම භාෂාවක් ඉදිරිපත් කරන්න බෑ. ඔහුගේ පුනර්භව සිද්ධියට අදාළ භාෂාවයි ලබා දෙන්න ඕනේ. ඇත්තට ම මෙවන් සිද්ධිවලට සාධක තියෙනවා. ආචාර්ය ඉයන් ස්ටීවන්ස්ගේ Twenty Cases Suggestive of Reincarnation කියන පොතේ ඒ සම්බන්ධව ඉතා පැහැදිලි අවස්ථා කීපයක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනා ඒ උදාහරණ පිළිගන්නවා. ඒත් ලංකාවේ හේතුවාදියෝ ඒ වගේ දේ සම්බන්ධව කරන්නේ කිසිදු සියුම් අධ්‍යයනයක් නො කර තමන්ගේ හිතු මතයේ ප්‍රකාශ සිදු කිරීම. සමහර විට ලංකාවේ හේතුවාදීන්ගේ ම වර්ගයේ විදේශිකයින් උපුටා දැක්වීමත් සිදු කරනවා. මේවාට  වාර්තා බොරු , ඒ පුද්ගලයින් ඒ භාෂා කලින් දැන සිට තිබෙන්නට ඇති, ඒවා උපවිඥානයේ පවතින්න ඇති වගේ මතයන් ඉදිරිපත් කරන්න හේතුවාදීන් ඉක්මන් වෙන්නේ සියුම් විමසා බැලීම්වලින් තොරව. එවැනි කණ්ඩායමක් ඉදිරිපත් කරන අභියෝග ගැන දෙවරක් හිතන්න වෙනවා. මොක ද ඔවුන් නැවතත් විමසා බැලීමෙන් තොරව එවන් අදහස් ඉදිරිපත් කරලා ගැලවී යාමට ඉක්මන් වෙන බවට නම් සැකයක් නැති නිසා. අනික මේ ඉදිරිපත් කරන්නේ පරීක්ෂණයක් නෙවෙයි අභියෝගයක්. ඒක ඇතුළේ අවිනිශ්චිතතා, යටිකූට්ටු උගුල් තියෙන්න බෑ. මෙය අභියෝගයක් ලෙස ඉදිරිපත් කිරීම ම විහිළුවක්. 

සහේතු: මීළඟට තියෙන්නේ යෝග බලයෙන් මිනිත්තු පහක් හදගැස්ම නවත්වන්න කියන එක.

ප්‍රබෝධ: ඔය වගේ ම තව එකක් තියෙනවා හුස්ම ගැනීම ගැන.

සහේතු: ඔව් මිනිත්තු තිහක් යෝගී බලයෙන් හුස්ම නොගෙන පෙන්වන්න කියන එක.

ප්‍රබෝධ: ඔහොම එක හා සමාන ඒවා දෙකට තුනට කඩා ඉදිරිපත් කිරීමත් තවත් සෙල්ලමක් තමයි. ඔය කියන්නේ අත්ථකිලමථානුයෝගයේ එන අප්‍රාණක ධ්‍යානය ගැන. බුදු දහමට අනුව අප්‍රාණක ධ්‍යානය වඩන්න බෑ. ඔතන දී තියෙන ප්‍රශ්නය මේ අය මේ අභියෝග විසි තුන කියන ඉලක්කම පොදුවේ භාවිත කරනවා ගුප්ත විද්‍යා කටයුතු හෙළා දකින්න. ඒක අශාස්ත්‍රීයයි. මොක ද මේ අභියෝග යොමුවන්නේ විවිධ පද්ධති ගණනාවකට. ඒවා එකිනෙක සමජාතීය නෑ. එක පද්ධතියකින් පුළුවන් කියන දේ අනෙක් පද්ධතියෙන් බැහැයි කියනවා. එහෙම තත්වයක් යටතේ අපේ අග්‍රගණ්‍ය අභියෝග විසිතුන තාම බාරගෙන නෑ කියලා පොදුවේ අරන් කරන විවේචන විහිළුවක්. අනික එය අදාළ වන්නේ අප්‍රාණක ධ්‍යානය වඩා අවසන් කියලා යමෙක් කීවොත් ඔහු විෂයෙහි විතරයි.

බුදු දහමට අනුව මහා නිරෝධායන සමාපත්තියේ දී කායික ක්‍රියා නිරුද්ධ කරන්න පුළුවන් දවස් හතක් දක්වා. ඊට සතර ඍද්ධිපාදත් වඩා තිබීම සමඟ රහත් හෝ අනාගාමී විය යුතුයි. යමෙක් එවැනි උසස් ඵල ලබාගෙන ඇති බව කියනවා නම් එයින් ඔහු පරීක්ෂා කළ හැකියි. එහෙත් තවම රහතන් වහන්සේ කෙනකු මෙවන් අභියෝගයකට මුහුණ දීමට නො පැමිණි නිසා මෙය ප්‍රතික්ෂේප කළ යුතුයි කියනවා නම් මුළාවක්.

අනෙක් අතට මෙතන දී මම කැමතියි මීට අනුරූපව හේතුවාදීන් සඳහා ඉදිරිපත් කළ හැකි අභියෝගය සඳහන් කරන්න. හේතුවාදී සංගමයේ අය කියන විදිහට පුනර්භවයක් නෑ. මනස සම්පූර්ණයෙන් මොළයේ (මස්තිෂ්කයේ) ‍රසායනික ක්‍රියාවලිවල ප්‍රතිඵලයක්. මේවා විද්‍යාත්මක අදහස් ලෙසයි ඔවුන් පවසන්නේ. විද්‍යාව නැවත නැවත සිදු කරමින් තහවුරු කරගත හැකි බව මෙවන් වැඩසටහන්වලට පැමිණෙන හේතුවාදී වෘත්තිකයන් පවසනවා. එහෙම නම් හේතුවාදීන්ට මගේ විවෘත අභියෝගය මිය ගොස් ඇති බව හොඳින් තහවුරු කෙරුණු පුද්ගලයකුගේ මොළයේ
රසායනික ක්‍රියාවලි යථාවත් කොට හෝ ප්‍රතිනිර්මාණය කොට පුද්ගලයා මරණයෙන් නැඟිටුවන්න හෝ නැවත නිර්මාණය කරවන්න. මෙතන දී සතෙක් යොදා ගන්න අවසර දෙන්න පුළුවන් එක කොන්දේසියක් මත පමණයි. බොහෝ හේතුවාදීන් සතුන්ට මනස් නැති බව දිගට ම කීවා. ඔවුන්ට ඇත්තේ නිසගයෙන් එන ප්‍රතිචාර සමූහයක් පමණක් බව කීවා. සතෙක් යොදා ගත්තොත් මුලින් ම ඔවුන් මෙවන් හේතුවාදී පිරිස්වල තර්කවලට විරුද්ධව සතුන්ට මනසක් තිබෙන බව පෙන්වන්න ඕනේ. ඒ තර්ක බිඳ හෙළූ පදනම මත ම සිට සතාගේ මනස යථාවත් කළ බව, ප්‍රතිනිර්මාණය කළ බව පැහැදිලිව පෙන්වන්න ඕනේ. පුනර්භවය පිළිගන්න අයකුට අනුව නම් මරණයෙන් පසු වෙනත් තැනක උත්පත්තිය ලබන බැවින් මෙය කළ නො හැකියි. මනස මොළයට ඌනනය කළ හැකි බව කීමට පෙර හේතුවාදීන් මේ අභියෝගය පිළිගත යුතුය.

ලබන සතියට: භාවනාවෙන් දැනුම ලබා ගත හැකි ද යන්නත් වස්තු මැවීම විනාශ කිරීම හා පරිවර්තනය කිරීමත් පිළිබඳ අදහස්

2 comments:

  1. සමහරතැන් මට පැහැදිලි නෑ බන්

    ReplyDelete
  2. හොඳ සාකච්චාවක්.
    හේතු වාදීන් හරිම පක්ශග්‍රාහි තර්ක ගොඩ නගන්නේ. ඔවුන් තුල මධ්‍යස්ත වූ චින්තනයක් නැහැ.
    මේ විදියට සියුම්ව විග්‍රහ කලොත් හේතුවාදීන්ගේ සියළු තර්ක බිඳ හැමිය හැකියි.

    ඔවුන්ගේ සරලම උපක්‍රමයක් තමයි අනෙකුත් දැනුම් පද්ධති හුදු විශ්වාසයන් හෝ ඇදහීම් ලෙසින් අවඥාවට ලක් කිරීම. ඒ ගැන හැදෑරීමක් කර ශාස්ත්‍රීයව එම දැනුම් බිඳ හෙලීමට ඔවුන් උත්සුක වන්නේ නැහැ.

    ReplyDelete

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි