මෝහිනී මිථ්‍යාවක් නො වේ

මෝහිනී මිථ්‍යාවක් නො වේ


තමලු මලිත්ත පියදිගම
 ඇල්කෙමිස්ට් සඟරාව
මැයි කලාපය 2018


මෝහිනී නමින් යක්ෂණියක් ගැන අපි අසා ඇත්තෙමු. ඒ යක්ෂණිය සුරූපී මිනිස් ගැහැනියකගේ වෙසක් මවා ගෙන බිළිඳකු වඩා ගෙන රාත්‍රියේ මහ මඟ පෙනී සිටියි. මහ මඟ රාත්‍රියේ ඇවිදින්නකු හමු වූ විට මෝහිනී ඔහුට කතා කොට තමා ඇඳ සිටින වස්ත්‍රය සකසා ගැනීමට මඳකට බිළිඳා ඔහු අතට ගන්නා ලෙස පවසා සිටී. ඔහු බිළිඳා අතට ගතහොත් යක්ෂණිය ඔහු මරා ආහාරයට ගනියි. මෝහිනියට යමකු මරා කෑමට අවසර ඇත්තේ බිළිඳා වඩා ගතහොත් පමණි. බිළිඳා අතට නොගෙන මෝහිනියගේ වස්ත්‍රය සකසා දෙන ලෙස දැනමුත්තෝ පවසති.

මෙදා නගරයේ මෙන් ම ගම්වල ගැහැනුත් රෙද්ද හැට්ට වෙනුවට කලිසම, සාය හා ගවුම ඇඳීමට පුරුදුව සිටින බැවින් දෝ ළඟක දී මෝහිනී පාරක තොටක දර්ශනය වී සිටි බවක් අහන්නට නො ලැබේ. කොහොමටත් අද කාලයේ රාත්‍රියේ පාළු පාරක සිටීමේ අවදානම ගන්නට මෝහිනීවත් නො පෙළඹෙනු ඇත. බොහෝ දෙනා මෝහිනී වැනි සංකල්ප මිථ්‍යා සේ බැහැර කරති. ඒවා විශ්වාස කරන්නන් මෝඩයන් ලෙස අවඥාවට ලක් කරති.

රාත්‍රී යාමයේ කොතරම් සංචාරය කොට තිබුණ ද මා මෝහිනී පාරේ සිටිනු නම් දැක නැත. එහෙත් මෝහිනී යනු මිථ්‍යාවක් නොවන බව නම් මම හොඳ හැටි දනිමි. මෝහිනියව මා හොඳින් ම දුටුවේ පාසලේ හා විශ්වවිද්‍යාලයේ දී ය. දැන් මෙය කියවන කවුරුන් හෝ මගේ හිතවත් කෙල්ලක කලබල වී තමාට තොප්පිය දමා ගත යුතු නො වේ. රාත්‍රියේ පාරේ දී මෝහිනී නො දැක්කත් මම මෝහිනීගේ බිළිඳාව නම් දිනපතා ම දිවා රැයේ දකිමි. ඔහුව වඩා ගන්නා අය අනන්තවත් දැක ඇත්තෙමි. මේ මෝහිනිය මරා කෑ මිනිසුන් ගණනින් අප්‍රමාණ ය.


''සත්තකින් ම විද්‍යාව හැමවිට ම අධිකාරීත්වයටත් අන්ධ විශ්වාසයටත් එරෙහි සටනේ පෙරමුණේ සිටියේ ය. ආගමික විශ්වාසයන්ට එරෙහිව අපගේ බුද්ධිමය නිදහස වර්ධනය කරගැනීම ගැන අප ණයගැති වන්නේ විද්‍යාවට ය. පුරාණ දැඩි චින්තන රාමුවලින් මිනිස් වර්ගයා ගලවා ගැනීම පිළිබඳව විද්‍යාවට අප ණයගැති ය. " අද වන විට මේ ආකාරයේ කල්පනාවන් නපුරු සිහිනයන් ම පමණි. ඉහත ආකාරයේ කතා අප ඉගෙන ගත්තේ ද විද්‍යාව තුළින් ම ය. විද්‍යාව හා පුනුරුදය එකකි: මෙය සමාජයේ ඉතා ම රැඩිකල් විවේචකයන් පවා  විශ්වාස කරන්නකි. ක්‍රොප්ට්කින්ට සියලු සාම්ප්‍රදායික ආයතන හා විශ්වාසයන් බැහැර කිරීමට අවශ්‍ය විය. එහෙත් විද්‍යාව ඊට අයත් නො විණි. ඉබ්සන් දහනවවන සියවසේ ධනපති දෘෂ්ටිවාදයේ සූක්ෂ්ම ම අතු බෙදීම් විවේචනය කළ නමුත් විද්‍යාවට අතක් නො තැබී ය. කලක් සිතා සිටි පරිදි බටහිර සිතීම් රටාව මානව ප්‍රතිලාභයන්ගේ එකම මුදුන් හිණි පෙත්ත නොවන බව අපට පෙන්වූව ද ලෙවී ස්ට්‍රවුස් ඔහුගේ දෘෂ්ටිවාදයන්හි සාපේක්ෂතාවෙන් විද්‍යාව වෙන්ව තැබී ය.  විද්‍යාව වැඩ කරන ජනතාවට ඔවුන්ගේ මානසික හා සාමාජීය විමුක්තිය ලබා ගැනිමේ අභිලාශයට සහය දෙනු ඇතැයි මාක්ස් හා ඒංගල්ස්ට ඒත්තු ගැන්වී තිබුණි. මේ සියල්ලෝ මුලා වූවෝ ද? මේ සියල්ලෝ විද්‍යාවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව නොමඟ ගියෝ ද? මේ සියල්ලෝ එක්තරා මෝහිනියකට ගොදුරු වූවෝ ද?


මෙතෙක් මේ ලිපිය කියවා ගෙන ආ අයට දිශානතිය හා භාෂා ශෛලිය එකවර වෙනස් වූ බවක් සමහර විටෙක හැඟෙන්නට ඇත. ඉහත ඡේදය How to Defend the Society against Science යන මාතෘකාවෙන් පෝල් ෆයරාබන්ඩ් නම් දාර්ශනිකයා කළ දේශනයකින් උපුටා ගෙන (එක් වචනයක් පමණක් වෙනස් කොට) මවිසින් පරිවර්තනය කරන ලද්දකි. මෙහි මෝහිනිය යන්න වෙනුවට තිබුණේ කයිමියරා (Chimeara) නම් වචනයයි. ඒ ග්‍රීක මිථ්‍යා කථාවල එන අද්භූත සත්ව විශේෂයකි. කයිමියරාට හසුවෙන්නන් ගැන හෝමර් ගේ ඔඩිසි කෘතිය කියවා ඔබට දැන ගත හැකි ය. කෙසේ නමුත් මෝහිනී කුමක් කරයි දැයි යන්න නම් ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

ලෝකයේ ඇත්තේ එක ම විද්‍යාවක් නො වේ. එක එක චින්තනයන්හි එක එක විද්‍යා බිහිවිය. බටහිර ජනයා ආමන්ත්‍රණය කළ ෆයරාබන්ඩ් විද්‍යාව ලෙස හැඳින්වූයේ බටහිර විද්‍යාව ය. සිය Against Method කෘතියේ චීන මුද්‍රණයට පෙරවදන ලියමින් ඔහු බටහිර විද්‍යාව බටහිර විද්‍යාව ලෙස ම හඳුන්වමින් විවිධ සංස්කෘතීන්හි විද්‍යා ගැන ද ලියයි.

අපි දැන් ෆයරාබන්ඩ් ගැන කතාව පසෙක තබා නැවතත් මෝහිනී දෙස හැරෙමු. බටහිර විද්‍යාව ඇතුළු බටහිර නූතනත්ව දැනුම් පද්ධතියේ ආධිපත්‍යයට අප නතු වීම හේතුවෙන් දේශපාලනිකව ආර්ථිකව මෙන් ම සමාජයීව ද අප පරාධීන වී ඇත. මෙහිදී කතා කළ යුතු තවත් වැදගත් ප්‍රශ්නයක් වනුයේ බටහිර නූතනත්ව දැනුම් මෝහිනී අප අතට දෙන බිළිඳා කවුරුන් ද යන්න ය.

මේ බිළිඳා නම් බටහිර තාක්ෂණය ය. අපේ ජීවන රටාව බටහිර තාක්ෂණය විසින් ආක්‍රමණය කරනු ලැබී ඇත. බටහිර තාක්ෂණය මඟින් අපේ ජීවිතය පහසු කර දෙනු ලැබ ඇතැයි අපි සිතමු. බටහිර තාක්ෂණයේ විලාසිතාමය දේවලට අපි අධික ලෙස මුදල් වැය කරමු.

බටහිර තාක්ෂණය නම් බිළිඳා සුරතල් කරමින් සතුටු වන අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම් මහා ඉහළින් සැළකීමට පෙළඹෙමු. මේ ආකල්පය ඔස්සේ බටහිර දැනුම අධිපතිවාදීව අප මත පැටවේ. පාසල් හා විශ්වවිද්‍යාලවල දී බටහිර දැනුම ඉගැන්වීමත් සමඟ ම යකිනිය කෙමෙන් කෙමෙන් අපගේ සාරය උරා බී අප අනුකාරකයන් බවට පත් කරයි.

මෙසේ ක්‍රමයෙන් බෙලහීන බවට පත් කෙරෙන අතරතුර දී ම අප බටහිර සංස්කෘතියේ පිල්ලි හෙවත් සොම්බි බවට පත් කරනු ලැබේ. අපව අඩපණ කොට බෙලහීන කළ ද මෝහිනිය අප තුළ වෙනත් කිසිවක් උපද්දවන්නේ ද නැත. තමාගේ මන්ත්‍ර අනුව ක්‍රියා කරන පිල්ලි බවට අප පත් කරනවා පමණි.

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම්වල ආධිපත්‍යයට එරෙහිව කතා කරන විට බොහෝ දෙනා ඊට විරුද්ධ වන්නේ, බිය වන්නේ වැඩිමනත් ම බටහිර තාක්ෂණයට ඇති ඇබ්බැහි වීම නිසා ය. බටහිර තාක්ෂණයෙන් තොරව එදිනෙදා ජීවිතයේ මේ දේ කරන්නේ කෙසේ ද අර දේ කරන්නේ කෙසේ ද යනුවෙන් ඔවුහු කැළඹිල්ලට පත් වෙති. එහෙත් ඔවුන් අමතක කරන්නේ අපගේ ජීවන කර්තව්‍යයන් මෙතරම් සංකීර්ණ වී ඇත්තේ ද බටහිර නූතනත්වය නිසා ම බව ය.

බටහිර තාක්ෂණික මායාවෙන් වශීවීම නිසා අප බටහිර දැනුමෙන් වෙනතක් ගැන සිතන්නේ නැත. ඒ නිසා ම අප අහිමි කරගන්නා සම්පත් ප්‍රමාණය සුළු පටු නො වේ. බටහිර වෙදකමට ම වහල් වීම නිසා අප වසරකට කොතරම් සම්පත් ප්‍රමාණයක් බටහිර වෙළඳපොළ වෙනුවෙන් බිලි දෙනවා ද? ඒවායින් කොපමණ ප්‍රමාණයක් සිංහල වෙදකමට මුල් තැන දුන්නා නම් රැකගනු හැකි වේ දැයි කිසිවකු ගණන් බලා තිබේ ද? එසේ ගණන් බැලීමටවත් කිසිවකු උත්සාහ කරන්නේ නැත.

මෙතරම් කලක් බටහිර විද්‍යාව උගන්වා ඇති නමුත් අප වැනි රටවලින් බටහිර විද්‍යාවට ඉතා සුළු ව්‍යතිරේක දෙක තුනක් නො සැලකූ විට වැදගත් දායකත්වයක් සිදු වී නැත. මීට හේතුව වන්නේ බටහිර විද්‍යාව බිහි වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය අපගේ චින්තනය නො වීමයි. එනිසා අපට බටහිර විද්‍යාව නිසි පරිදි හසුරුවා ගත නො හැකි ය. එනම් අපට බටහිර විද්‍යාව ගැළපෙන්නේ නැත.

මේ නිසා අපේ අධ්‍යාපනයෙන් බිහි වෙන්නේ අනුකාරකයන් ය. ඔවුන්ගේ සිංහල බෞද්ධ අංග ලක්ෂණ ක්‍රමයෙන් විනාශ වී අනුකාරක බටහිර දැනුමෙන් හිස් ඉදිමී ගොසිනි. ඔවුහු බටහිර මතවාද වමාරා කමින් බඩවියත රැකගනිති. ශාස්ත්‍රීය අධ්‍යාපනයේ පමණක් නොව වෘත්තීය අධ්‍යාපනයන්හි පවා වැඩි වෙනසක් නැත. එක්තරා සමාගමකින් පාසල් හා විශ්වවිද්‍යාල සඳහා තම නිෂ්පාදන නොමිලයේ ලබා දෙන්නේ ඇයි දැයි ඇසූ විට එහි කලාපීය අධ්‍යක්ෂකවරයකු ඉතා අවංක ලෙස කීවේ එම නිෂ්පාදනවලින් ඉගැන්වීම් කටයුතු කළ විට රැකියා සඳහා යන කාලයක දී එම සිසුන්ට තම නිෂ්පාදන ම අවශ්‍ය වනු ඇතැයි යන්න ය. ඇතැම් වෘත්තීයමයභාවයෙන් ඉතා පහළ නිෂ්පාදන විවිධ උපක්‍රම මඟින් විෂය නිර්දේශයන්ට ඇතුළු කොට ප්‍රවර්ධනය කෙරෙන අතර ඒවාට අවශ්‍ය සහායක මෘදුකාංග ආදිය ද අධික මිලට අලෙවි කෙරේ. සමහර විට ඒ ඊට වඩා වෘත්තීයමයභාවයෙන් වැඩි නිෂ්පාදන ඊට වඩා අඩු මිලට තිබිය දී ය. මේ නිෂ්පාදන සම්බන්ධ වෙළඳ ආධිපත්‍යය බටහිර රටවල ද පවතී. අප වැනි රටවල දරුණුවට ම පවතී.

බටහිර දැනුම අපට උගන්වන්නේ ද එවිට එය ඉගෙන ගන්නා සිසුන්ට වැඩ කිරීම සඳහා බටහිර දැනුම, විශේෂඥ උපදෙස්, සහායක නිෂ්පාදන ආදිය අවශ්‍ය වේ ය යන අරමුණ ඇතුව ය. එමෙන් ම බටහිර දැනුමෙන් හිස කුරුවල් වූවන් බටහිරට කිරීමට අවශ්‍ය දේ අප රටේ සිට ම කර දෙයි.

ලංකාවේ කෘෂිකර්මය බටහිරකරණය කිරීම නිසා බටහිර විද්‍යාවේ අභිජනන ක්‍රම, පොහොර, කෘමිනාශක ආදිය ව්‍යාප්ත විය. මෙයින් අස්වැන්න වැඩි වූයේ යැයි කියමින් දැන් කෘෂිකර්ම විශේෂඥයන් උදම් අනනු ඇත. එහෙත් මෙය උපකල්පනවලට හා තෝරාගත් තත්ව කිහිපයක් සලකා බලන ඊනියා පර්යෙෂණවලට පමණක් සීමා වේ. එනම් අබිජනන ක්‍රම, පොහොර, කෘමිනාශක ආදිය යෙදූ වගාව සංසන්දනය කරන්නේ නිදැල්ලේ වැවෙන වගාවකට ය. මන්තර කෙම් ක්‍රම නැකත් ආදී දේ අවිද්‍යාත්මක ලෙස හංවඩු ගසා ඒවා මේ පර්යේෂණ අසලටවත් වැද්ද ගන්නේ නැත. වල් පැලෑටි පළිබෝධ හානි ආදී දේ ගැන සැලකිල්ලට ගන්නේ නැත. බටහිර විද්‍යාත්මක විධික්‍රමය සමස්තය නො සලකා එක එක අංගය වෙන ම ගෙන විෂ්ලේෂණය කොට ගුණාගුණ කියයි. ඒවාට ලිපි ලේඛන සකස් කරයි. අප බටහිර කෘෂිකර්මයට එරෙහි වන විට විශේෂඥයන් අපට සමස්තය නො සැලකූ එවන් ලිපි ලේඛනවලින් පහර දෙනු ඇත.

දකුණේ පොල් වගාවේ දරුණු ලෙස පැතිරී යන රෝග හතර සම්බන්ධ තත්වය ද මෙවැන්නක් බව අසන්නට ලැබේ. මේවාට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේ පොල් ගස් කපා දමා පොල් සිටුවීම තහනම් කිරීම වැනි දේ පමණි. ඉතියෝපියාව ඇතුළු බොහෝ අප්‍රිකානු රටවල් තමන්ගේ ඵලදාවන් විනාශ කරගත්තේ බටහිර විද්‍යාත්මක ක්‍රමවේද මඟින් හරිත විප්ලව කිරීමට ගොසිනි.

බටහිර විද්‍යාවෙන් හෝ තාක්ෂණයෙන් කිසිවක් නො ගත යුතු බව මින් නො කියැවේ. බොහෝ දෙනා කියනු ඇත්තේ ඒවායින් හොඳ දේ ගෙන නරක දේ නොගත යුතු බව ය. මෙය විහිළුවකට වැඩි යමක් නො වේ. ගුප්තකර්මවල නම් සුදු හා කළු (White and Dark Arts) ප්‍රභේද තිබුණ ද බටහිර විද්‍යාවේ හා තාක්ෂණයේ සුදු හා අඳුරු අංශ යනු මොනවා ද? බටහිර විද්‍යාව හා තාක්ෂණය වර්ධනය වීමට ලෝක යුද්ධ බලපෑ අයුරු සලකා බැලුවහොත් හොඳ බටහිර ව්ද්‍යාව හා හොඳ බටහිර තාක්ෂණය ලෙස කුමක් ඉතුරු වේ ද? මෙහි ඇත්තේ හොඳ නරක කතාවක් නො වේ. අප බටහිර විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් යමක් ගත යුත්තේ ගෙඩිපිටින් නොව එය අපේ කරගනිමිනි. එනම් එය අපේ චින්තනයට අනුව ගොඩනඟා ගනිමිනි. නැතහොත් එයින් අවැඩක් මිස වැඩක් වන්නේ නැත.

අපේ චින්තනයේ විද්‍යාවක් බිහි කිරීමේ දී අප බටහිර තාක්ෂණය වෙත අප තුළ ඇති වහල්භාවය තුරන් කර ගැනීමට කටයුතු කළ යුතු ය. අපට අපේ චින්තනයේ අපේ විද්‍යාවක් ආශ්‍රිතව අපේ තාක්ෂණයක් ගොඩනඟා ගත හැකි ය. දරු සුරතල් බැලීමට අවශ්‍ය නම් තමාගේ දරුවකු සාදා ගනු විනා මෝහිනීගේ බිළිඳා ම නැළවිය යුතු නො වේ.

       - තමලු මලිත්ත පියදිගම

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි