පැරණි ශාස්ත්‍ර
- තමලු මලිත්ත පියදිගම
ඇල්කෙමිස්ට් සඟරාව - ජනවාරි
පැරණි ශාස්ත්‍ර ගැන කතා කිරීම ලෝකය පුරා දක්නට ලැබේ. බොහෝ දෙනා පැරණි ශාස්ත්‍ර පිළිබඳව උදම් ඇනුව ද ඒවාට ඓතිහාසිකව මිස වෙනත් වැදගත්කමක් ඇතැයි නො සිතති. නැතහොත් එවන් වැදගත්කමක් නැතැයි සිතීමට අප පොළඹවා ඇත. 'ලෝකයේ ඇත්තේ එක ම දැනුමක විකාශනයකි. අතීතයේ පැවති දැනුම පසු කර ගොස් වර්තමානයේ අප වඩා දියුණු දැනුමක් අත්පත් කරගෙන ඇත. පැරණි දැනුමෙන් දැන් ප්‍රයෝජනයක් නොමැත. ලෝකය පිළිබඳව සැබෑ තතු නොදත් කාලයේ නිර්මාණය කළ එම දැනුමෙන් අදට වැඩක් නැත. ඇත්තේ කෞතුක වැදගත්කමක් පමණකි. මානව විද්‍යඥයන්ගේ විෂය පථයට අදාළව මිස ශාස්ත්‍රීයව ඒවා අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවක් නො මැත.' මේ අපට කාවද්දා ඇති අදහසයි. බිසෝකොටුවේ තාක්ෂණය ගැන වර්ණනා කරන දේශහිතෛෂින් පවා යටිහිතින් සිතන්නේ එකල හෙළයා අද අප භාවිත කරන පිට් වෑල්වය නිපදවීමට තරම් විද්‍යා දැනුමකින් සමන්විත වූ බව ය. බිසෝකොටුව පිට් වෑල්වයක් නොවන බව දන්නා අය පවා සිතීමට පෙළඹෙන්නේ අද අප ඉගෙන ගන්නා තරල ගති විද්‍යාවේ මූලිකාංග අවුරුදු දහස් ගණනකට පෙර දැන සිටීමට අතීත හෙළයා සමත් වූ බවයි. රුවන්වැලි සෑයට සවි කළ වජ්‍ර චුම්භඨක ගැන ලිපි ලියන දේශප්‍රේමහු පවා 'එකල සිංහලයන්ගේ ස්ථිති විද්‍යුතය පිළිබඳ දැනුම නූතනය හා සමව පැවතියේ ය' ආදී වාක්‍ය ලිවීමට පෙළඹෙති. (මාක්ස්වාදීන්, පශ්චාත්නූතනවාදීන් හා 'උගතුන්' පිළිබඳ කතා කිරීම ම ඵලක් නැත. ඔවුන්ට නම් මහා සෑය ගඩොල් ගොඩකි. වැව් නිකම් හෑරූ වළවල් ය. බටහිරයන් ඒමට පෙර පෙරදිග සිට ඇත්තේ මිනිසුන් නොව සතුන් පමණ ය.)
මේ සියල්ලට යටින් ඇති අප මත පැටවූ අදහස වන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාව ය යන්න ය. එම අදහස අනුව අතීත තාක්ෂණයේත් වර්තමාන තාක්ෂණයේත් භාවිතයට ගැනී ඇත්තේ එක ම මූලධර්මයන් ය. එනිසා කළ යුත්තේ නූතන විද්‍යාව අනුව පැරණි නිර්මාණයන් වටහා ගැනීම ය. සීගිරියේ වතුර මල්වල, වැව්වල බිසෝකොටුවේ ක්‍රියාකාරිත්වය අප සොයා ගත යුතු යැයි නිතර අසන්නට ලැබේ. ක්‍රියාකාරිත්වය යනුවෙන් මෙහි අදහස් කෙරෙන්නේ බටහිර විද්‍යා ප්‍රවාද, නියම හා සමීකරණවලින් මේවා ක්‍රියා කරන ආකාරය පෙන්වා දිය යුතු බව යැයි පැහැදිලි ය.
එහෙත් මේ මූලික අදහස කොතරම් දුරට නිවැරදි ද? බටහිර විද්‍යාවත් එදා පැවති විද්‍යාවත් එක ම විද්‍යාවක් ම ද? එම දෙකෙහි ම තිබූයේ එක ම මූලධර්ම ද? මෙසේ විය යුතු ම ද?
බටහිර විද්‍යාවේ ම ඉතිහාසය විමසීමෙන් මීට පිළිතුරක් සොයා ගත හැකි ය. ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවත්, නිවුටන්ගේ භෞතික විද්‍යාවත්, අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාවත් එක ම භෞතික විද්‍යාව නො වේ. එක ම දෙය මේ තුනේ විස්තර කෙරෙන්නේ සහමුලින් වෙනස් තුන් ආකාරයකට ය. මේවා ඇති වූයේ එකින් එක වර්ධනය වීමෙන් නො වේ. නිවුටන්ගේ භෞතික විද්‍යාව ඇරිස්ටෝටල්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යාව නිවුටන්ගේ භෞතික විද්‍යාවේ වර්ධනයක්වත් නො වේ. තෝමස් කූන් නම් දාර්ශනිකයා මේ බව සිය The Structure of Scientific Revolution කෘතියේ පැහැදිලිව පෙන්වා දී ඇත. බටහිර විද්‍යාව තුළ ම පවා මෙසේ සහමුලින් වෙනස් පැහැදිලි කිරීම් පවතිද්දී, ඉන් පරිබාහිර අතීත සිංහල දැනුමේ බටහිර විද්‍යාවේ මූලධර්ම ඇතැයි කිව හැක්කේ කෙසේ ද?
ආචාර්ය නලින් ද සිල්වා මහතා මගේ ලෝකය කෘතිය රචනා කරමින් පෙන්වා දුන්නේ අපගේ සංකල්ප මෙන් ම සංවේදන ද මනස මත ම රඳා පවතින බව ය. එනම් සියලු සංකල්ප මනසින් නිර්මාණය වී ඇති බව ය. මෙවන් විටෙක නිරපේක්ෂ බාහිර ලෝකයක්, වාස්තවික යථාර්ථයක් කිසිසේත් ම නැත. අපගේ දැනුම අප මනසින් නිර්මාණය කරගන්නක් මිස අපෙන් වෙන්ව බාහිරව පැවතුණු යමක් නො වේ. බටහිර විද්‍යාව ඇතුළු සියලු දැනුම් මනසේ නිර්මාණ මිස වාස්තවික යථාර්ථයක් නො වේ. මේ විවිධ දැනුම් බිහිව ඇත්තේ විවිධ චින්තනවල ය. අපේ අතීත දැනුම සිංහල බෞද්ධ චින්තනයේ ද බටහිර විද්‍යාව ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ද නිර්මාණය වී ඇත. නිවුටන්ගේ හා අයින්ස්ටයින්ගේ භෞතික විද්‍යා අතර පවතින වෙනසටත් වඩා තීව්‍ර වෙනසක් අපේ විද්‍යාවත් බටහිර විද්‍යාවත් අතර ඇත. බටහිර විද්‍යාව කොතරම් උගත්ත ද ලංකාවේ කිසිවකුට එය තුළ දැනුමක් නිපදවිය නො හැක්කේ මේ චින්තනයන්හි පවතින වෙනස හේතුවෙනි. අපට නැඟී සිටීමට අවශ්‍ය නම් අපගේ චින්තනයේ ගොඩනැඟුණු අපගේ දැනුමක් බිහිකළ යුතු ය; ඉස්මතු කරගත යුතු ය.
නලින් ද සිල්වා මහතා ආරම්භයේ දී ගවේෂකයෝ සංවිධානය මඟිනුත් අනතුරුව චින්තන පර්ශදය ඔස්සේත් සිංහල බෞද්ධ දැනුමක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රියා කරන විට එය වාමාංශිකයන්ගේ උපහාසයට ලක් විය. ජාතික චින්තනය යනු බර කරත්තයෙන් අනුරාධපුර යුගයට යෑමකැයි ඔවුහු උසුළු විසුළු කළ හ. බොහෝ මාර්ක්ස්වාදීන්ට අමතකව ඇත්තේ කොමියුනිස්ට් සමාජයක් වෙතට යන්නේ යැයි ඔවුන් කියන විට ප්‍රාග් කොමියුනිස්ට් සමාජ යනු කවරක් ද යන්නයි. ජාතිකවාදීන් යන්නේ අනුරාධපුර යුගයට නම් මාක්ස්වාදීන් කතා කරන්නේ ගල් යුගයට යෑමට නො වේ ද? බොහෝ මාක්ස්වාදීන් ප්‍රාග් කොමියුනිස්ට් සමාජ ගැන අසාවත් නැත. (ප්‍රාග් කොමියුනිස්ට් සමාජයක් යනු ගල් යුගය හෝ පූර්ව ගොවි යුගය හෝ නොව පැරණි සිංහල සමාජය වැනි සමාජ ක්‍රම යැයි කියන මාක්ස්වාදීන්ට මෙය අදාළ නො වේ.)
පසුගිය දා චීන රජය එරට සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ ඖෂධවලට තිබූ සීමා මායිම් ලිහිල් කළේ ය. ඒ නිමිති කරගෙන චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම නැවත නැඟී සිටි අයුරු විමසා බැලීමට යොමු වෙමු. චීනයේ රාජාණ්ඩුව අවසන් වන විට බටහිර බලපෑම මත දේශීය වෛද්‍ය ක්‍රම හා ඖෂධ ගණනාවක් ම තහනමට ලක්ව තිබුණි. වර්තමානයේ ඉතා ප්‍රචලිත කටු චිකිත්සාව ද එලෙස ම තහනමට ලක්ව තිබුණි. චීනයේ පැරණි වෛද්‍ය ක්‍රමයන්ට නැවත හිස එසවීමට හැකි වූයේ කොමියුනිස්ට් චීනය බිහි වීමෙන් පසුව ය. අතීතය විනාශ කළ යුතු යැයි කියමින් චීනයේ පුරාවිද්‍යාත්මක ස්ථාන පවා විනාශ කළ මාඕ සේතුං වැන්නකු දේශීය වෛද්‍ය ක්‍රම නඟා සිටුවීමට මුල් වීම ම ආශ්චර්යවත් ය. කෙසේ හෝ එය සිදු විය.
චීනයේ සමාජවාදී විප්ලවයෙන් පසු මාඕ සේතුං සමාජයේ විවිධ පිරිස්වලට හිමිව තිබූ විශේෂ වරප්‍රසාද කප්පාදු කර දැමී ය. මීට සුඛෝපභෝගී ජීවිත ගත කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා අංශවලින් ප්‍රබල විරෝධයක් එල්ල වන්නට ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. 'විද්‍යාවේ ධනපති අංශයන්' මර්දනය කළ යුතු බව මාඕගේ සිතට නැඟෙන්නට මෙය ප්‍රබල හේතුවක් විය. ඒ සඳහා විකල්පය වන්නේ පැරණි සාම්ප්‍රදායික චීන වෙදකමට අතහිත දීමයි. මාඕ 1950 දී පමණ මේ පිළිබඳව කතාවක් පැවැත්වී ය. 1954 දී නිල වශයෙන් වැඩ පිළිවෙළ ඇරඹුණි. කටු චිකිත්සාව, 'මොක්සා දැවීම' ආදී ප්‍රතිකාර ක්‍රමවල තහනම් ඉවත් කරනු ලැබී ය. මෙසේ මාඕ යුගයේ සිට චීනයේ සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයේ පිබිදීමක් ඇති විය.
ලංකාවේ දේශීය වෙදකමට සිදුව ඇති ලෙසින් ම බටහිර වෛද්‍යවරුන්ගේ නොතිත් කෙනෙහිලිකම්වලට ලක් වීමට සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රමයට ද සිදු විය. චීන වෛද්‍ය ක්‍රමයේ පදනම ඇඟ පුරා දිවෙන චී ශක්තිය යන සංකල්පයක් මත පදනම් වේ. බටහිර වෛද්‍යවරුන්ට එය බටහිර සංකල්ප අනුව අර්ථකථනය කිරීම අත්‍යවශ්‍ය ය. බටහිර වෛද්‍ය ක්‍රමය හුදෙක් තවත් එක් වෛද්‍ය ක්‍රමයක් පමණක් වන විට චීන වෛද්‍ය ක්‍රම බටහිර දැනුමේ වචනයෙන් විස්තර කර දිය යුත්තේ ඇයි? මේ බටහිර දැනුමේ ආධිපත්‍යයි. යිංයං, ඊඡිං ආදී සංකල්ප බටහිර විද්‍යාවෙන් පැහැදිලි කර නො දුන්නේ යැයි ඒවා ඉවත හෙළීමට බටහිර විද්‍යාවට ඇති විශේෂ අයිතිවාසිකම කුමක් ද? චීන වෛද්‍යවරයකු ඇමොක්සිසිලින්හි ක්‍රියාකාරිත්වය යිංයැං මඟින් පැහැදිලි කරන ලෙස බටහිර වෛද්‍යවරයකුට නියම කළහොත් කුමක් සිදු වේ ද?
කෙසේ නමුත් වාසනාවකට චීන රජය බටහිර වෛද්‍යවරුන්ගේ විරෝධය බරපතලව සැලකුවේ නැත. චීනයේ වෙදකම ආයුර්වේදය සමඟ ද සම්බන්ධතාවක් ඇත. ආරම්භයේ දී ආයුර්වේද පොත් එකොළහක් චීන බසට පරිවර්තනය වූ බව කියැවේ. චීන වෛද්‍ය ක්‍රමයට මූලික වූ වෛද්‍ය ශාස්ත්‍ර ක්‍රම බොහෝමයක් එරටට ගෙන ගියේ බෞද්ධ භික්ෂූන් ය. සැත්කම් කිරීම චීනයට ලැබුණේ බෞද්ධ භික්ෂූන්ගෙන් යැයි එරට සාම්ප්‍රදායික ග්‍රන්ථවල දැක් වුණ ද පුරාවිද්‍යාඥයන්ට හසු වූ ඉතා පැරණි ෂං යුගයට අයත් ඇටසැකිලි සමහරක ද සැත්කම් කරන ලද ලකුණු දකින්නට ඇත. ඇතැම් චීන වෙදපොත් බොහෝ වෛද්‍ය ක්‍රම ජීවක කෝමාරබච්චයන්ගේ (බුදුන්වහන්සේට ප්‍රතිකාර කළේ ඔහු ය.) නිර්මාණ බව දක්වයි.
චීන වෙදකමට එරෙහිව බොහෝ විට බටහිර වෛද්‍යවරුන් නඟන තර්කයක් වන්නේ ඒවායේ රසදිය ආදී බැර ලෝහ පවතින බවයි. සිංහල වෙදකමට හා ආයුර්වේදයට එරෙහිව ද මේ රසදිය භීතිකාව ඇතැම් විට මතු කරනු අසන්නට ලැබේ. මා දන්නා අයුරින් ආයුර්වේදයේ හා සිංහල වෙදකමේ රසදිය යොදා ගන්නේ එහි විෂ නැසීමේ ක්‍රියාවලියකට ලක් කිරීමෙනි. විෂ නැසීම බටහිර විද්‍යාවෙන් විස්තර කර දිය යුතු යැයි නියම කිරීමේ අයිතියක් බටහිර වෛද්‍ය ක්‍රමයට නැත. චීනයේ මෙවන් ක්‍රියාවලියක් ඇති දැයි මම නො දනිමි. කෙසේ වුවත් එක් ක්‍රමවේදයක දී විෂ වන්නක් තවත් ක්‍රමවේදයක දී විෂ නොවන්නක් විය හැකි ය. එලෙස ම මාත්‍රාව මත එහි බලපෑම ද තීරණය වනු ඇත.
සාමාන්‍යයෙන් බටහිර වෛද්‍ය ක්‍රමයේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන ආකාරය අනුව එයට අවශ්‍ය වන්නේ අනෙක් වෛද්‍ය ක්‍රමවලට පහර ගැසිය හැකි පොටක් සෙවීම ය. එවැන්නක් හමු වූ විට එය වලංගු ද අවලංගු වී යයි ද යන්න සියුම්ව විමසීමටවත් ඉවසීමකින් තොරව එයින් අනෙක් වෛද්‍ය ක්‍රමයන්ට දමා ගසනු ලැබේ. දේශපාලන ආධිපත්‍යය සමඟ එම ප්‍රකාශයන්ට බලයක් ද ලැබේ. අනෙක් වෛද්‍ය ක්‍රමවල රසදිය ගැන කලබල වන බොහෝ බටහිර වෛද්‍යවරුන්ට බටහිර දන්ත වෛද්‍ය ක්‍රමයේ දත් පිරවීමට භාවිත කරන ඇමල්ගමයේ රසදිය හා රිදී ගැන සිහියට එන්නේත් නැත. දත් බැඳීමට චීන්නු ප්‍රසිද්ධ ය. බටහිර වෛද්‍ය ක්‍රමයට එක් කරගත්තේ ද චීන ශිල්පීය ක්‍රමය ය. කාමරංගාවල අහිතකර බව ගැන සිදුකළ එක ම ප්‍රකාශයකට පවා ඉමහත් ප්‍රසිද්ධියක් දීමට පෙළඹී සිටින පරිසරයක බටහිර බෙහෙත්වල අගුණ ගැන එවන් හඬක් නො නැඟෙන්නේ ඇයි? ලංකාවේ ප්‍රතිජීවක ඖෂධ භාවිතය විධිමත්ව සිදුවේ යැයි කාට නම් කිව හැකි ද? මේ වන විට මැලේසියාවේ ප්‍රතිජීවක ඖෂධ බොහෝ සංඛ්‍යාවක් අක්‍රියව ගොස් ඇත. මෙය ලෝකයේ අන් රටවලට කෙසේ බලපානු ඇද්ද? ප්‍රතිජීවක ඖෂධ සියල්ල අක්‍රියව ගියහොත් බටහිර වෙදකමේ 'ඇස්පනා පිට ප්‍රතිඵලයන්ට' කුමක් සිදු වේ ද? මේවා ගැන කතා කිරීමක් සිදු නොවන තරම් ය.
වියට්නාම් යුද්ධයේ දී හෝ චී මිංට ගැටලුවක් වූයේ යුද්ධය අතරතුර දී මැලේරියාව පැතිරී යාම ය. හෝ චී මිං මීට විසඳුමක් ඉල්ලා සිටියේ චීන අගමැති මාඕ සේතුංගෙන් ය. මාඕ අංක 523 නමින් ව්‍යාපෘතියක් අරඹා එම වගකීම ථූ යොව් යොව් නම් කාන්තාවට පැවරී ය. ඇය මැලේරියා මර්දන ඖෂධයක් සෙවීම සඳහා පැරණි චීන වෙද පොත් පීරමින් පරීක්ෂා කළා ය. එක්තරා ශාකයකින් නිපදවන ඔසුවක් ඉතා ප්‍රතිඵලදායී බව දුටු ඈ එම ශාකයෙන් සක්‍රිය සංඝටකය වෙන් කර ගැනීමට ද උත්සාහ කළා ය. එහෙත් සක්‍රිය සංඝඨකයක් ලැබුණේ නැත. පසුව ඇය වෙද පොත් පරීක්ෂා කරන විට දුටුවේ එම ඖෂධය පිළියෙළ කළ යුත්තේ ශීත ජලයේ බවයි. රත් කිරීම මඟින් සංඝඨක නිස්සාරණය කරන සාමාන්‍ය ක්‍රමවේදය ගැන සැක පහළ කළ ඈ අඩු උෂ්ණත්ව යටතේ සංයෝග නිස්සාරණය කළ හැකි ක්‍රමයක් නිර්මාණය කළා ය. මේ අවසන් ප්‍රතිඵලය වූයේ ආටිමෙසිනින් නම් ඖෂධයයි. එය දැනට මැලේරියාවට එරෙහිව පවතින ප්‍රබල ම ඖෂධයයි. ථූ යොව් යොව්ට 2015 දී නොබෙල් ත්‍යාගය ද හිමි විය.
දැන් අප අවදානය යොමු කළ යුත්තේ මෙහි කතා නො කරන අන්තය ගැනයි. මාඕ සේතුං චීන වෛද්‍ය ක්‍රමයට සහය නො දැක්වූවා නම් කුමක් වන්නට තිබුණි ද? මාඕ පවා දේශපාලනිකව මෙම ව්‍යාපෘතීන්ට සහය ලබා දුන්න ද විශ්වාසය තැබුවේ බටහිර වෛද්‍ය ක්‍රමයට ය. මා ඕ ගේ ප්‍රතිපත්තිය නිසා නොවන්නට ආටිමෙසිනින් තහනම් වෛද්‍ය ක්‍රමයක කෞතුක වස්තුවක් පමණක් වනු ඇත. බටහිර වෛද්‍ය ක්‍රමය සක්‍රිය සංඝඨකය සෙවීමට ඉතා විශාල ස්ථානයක් ලබා දෙයි. මෙතැන දී එය ද සාර්ථක විය. බොහෝ තැන්වල ඇති පරිදි ඖෂධය, ශාක ද්‍රව්‍යවල සංඝටකයක් නො වී සමස්ත ශාක කොටස ම වූයේ නම් කුමක් වන්නට තිබුණි ද? එසේ නම් බටහිර ලෝකයෙන් ආටිමෙසිනින් පිටමං වන්නට ඉඩ තිබුණි. අනෙක් අතට ථූ යොව් යොව් සාමාන්‍ය නිස්සාරණ ක්‍රමවේද වෙනස් කළා ය. එවන් වෙනසකට යොමු නොවී සම්මත ක්‍රමය අනුව පරීක්ෂණ කොට එම ඖෂධය බොරුවකැයි කීවා නම් කුමක් වන්නට තිබුණි ද? ලංකාවේ 'ආසනික් පරීක්ෂණයේ දී' ජලයේ ආසනික් සංයුතිය සෙවීමේ ක්‍රමවේදය සුළු වෙනසකට ලක් කොට කන්ඩෙන්සරයක් ද එක් කළ විට 'උගතුන්' ඊට දැක්වූ විරෝධය අපට හොඳින් මතක ය. සම්මතවල එල්ලී පහර ගැසීම අධිපතිවාදය ක්‍රියාත්මක වන එක ආකාරයකි.
කෙසේ නමුත් චීන රජයේ ඍජු ප්‍රතිපත්තිය හමුවේ මේ බාධා අඩුවන්නට ඇත. එහෙත් මෙවන් දේ හේතුවෙන් සැඟව යන ප්‍රතිකාරයන් චීනයේත් කොතෙකුත් ඇතිවාට සැක නැත.
මේ සියල්ල අපට පෙන්වා දෙන්නේ පැරණි ශාස්ත්‍රයන් නැවත ඉස්මතු කිරීමේත් ඒවාට ස්වාධීනව දියුණු වීමට ඉඩකඩ සපයා දීමේත් වැදගත්කම ය.
ඇස් පනා පිට ප්‍රතිඵල පෙන්වන කැඩුම් බිඳුම් වෙදකමක් අප සතුව තිබිය දීත් සමහර බටහිර වෛද්‍යවරුන් තාක්ෂණික කාරණා හා වෙදකම පටලවමින් සිය අධිකාරිමය බලය අයුතු ලෙස යොදා ගනිමින් ඉදිරිපත් කරනා බොළඳ හරසුන් තර්ක සමූහයකට යට වී එහි දියුණුවට මඟ අවුරා තිබීම අප හට ලැජ්ජාවට කරුණක් පමණක් නොව මහා ඛේදවාචකයක් ද වෙයි.
No comments:
Post a Comment