ලංකාවේ කලාවේ පිරිහී යාම


ලංකාවේ කලාවේ පිරිහී යාම

ලංකාවේ කලාවේ පිරිහී යාමට එක්තරා ප්‍රධාන සාධකයක් වූයේ වාමාංශිකයන් ය. මෙසේ කියන විට ලංකාවේ කලාවේ සියලු අධිකාරිමය ආයතනවල හා පුද්ගලයින්ගේ කෝපාග්නිය අප වෙත එල්ල වීමට ඇති ඉඩ බොහෝ ය. මාර්ටින් වික්‍රමසිංහගේ එදිරිවීර සරච්චන්ද්‍රගේ කාලයේ සිට ලංකාවේ සාහිත්‍යයට හා විචාරයට මාක්ස්වාදී සංකල්ප එක් විය. රුසියාවේ යකඩ අච්චුවෙන් හැඩ ගැස්වුණු ඒ රළු පරළු මතවාද ස්ටැලින්වාදී හා ට්‍රොට්ස්කිවාදී ධාරා ලෙස ලංකාවට සැපත් විය.

    කාල් මාක්ස් පවා හෙගල්ගෙන් ලබා ගත් අපෝහක අච්චුවට භෞතික ඉතිහාසයක් හා සමාජ විකාශනයක් නිර්මාණය කිරීමට ගොස් පොට පටලවා ගත්තේ ය. ප්‍රතිවිරුද්ධතා එකිනෙක තුළ පවතී නම් සමාජය භෞතිකයට ඌනනය කරන්නේ කෙසේ ද? මාක්ස් කීවේ හෙගල් ඔළුවෙන් හිට වූ අපෝහකය තමා දෙපයින් සිට වූ බව ය. වෙනස් වීම තේරුම් ගත නො හැකිව, වෙනස් වීම විග්‍රහ කිරීමට හෙගල් බිහිකළ නොමේරූ අබ්බගාත දරුවා 'දෙපයින් සිටවීමට' උත්සාහ කළ මාක්ස් තමාට ම විලංගු ලා ගත්තේ ය. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ උණුසුමට හසුවූ මාක්ස් තව තවත් දෘඩ රාමුවල සිරවිණි. ලංකාවේ, බෙංගාලයේ, ජාවා දූපතේ තිබූ අතීත සමාජ ක්‍රම ගැන ඔහුගේ අවධානය යොමු වන විට ඔහු බොහෝ පමා වී තිබුණි. ඒංගල්ස් මාක්ස්ටත් වඩා අපෝහකය දෘඩ අච්චුවක් ලෙස ගත්තේ ය. ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව අපෝහක අච්චුවට එබීමට ඒංගල්ස් කළ 'කෙස් පැලෙන තර්ක' සොබාදහමේ අපෝහකය (Dialectic of Nature) ලෙස ඔහු ලියූ පොතක දැක්වේ. ඒවා මහා වැදගත් තර්ක ලෙස ගන්නා මාක්ස්වාදීහු අද ද මෙසිරිලක වෙසෙති. මේ ලංකාවේ වමේ හැටි ය.

   ට්‍රොට්ස්කි ස්ටාලින් මෙවන් යකඩ අච්චු සෑදීමේ අන්තයට ම ගිය අය ය. පැරණි කලා කෘති මාක්ස්වාදී අච්චුවෙන් විවරණය කරමින් ලියන ඕනෑ ම හෑල්ලක් විශිෂ්ට විශ්ලේෂණයක් ලෙස සැලකීමේ මුග්ධ සම්ප්‍රදායන් ඇති වූයේ මේ කාලයේ ය. ස්ටාලින් කොතරම් අන්තවාදී ලෙස අපෝහක අච්චුවට හිරවූයේ ද යත් අපෝහක විරෝධී යැයි කියමින් ජාන තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කළ විද්‍යාඥයන් සිරගතකොට දැමී ය. සමාජ සත්තා යථාර්ථවාදය නමින් කලාව සඳහා ද යකඩ අච්චුවක් සාදනු ලැබී ය. ගතිකත්වය පැහැදිලි කිරීමට ඉදිරිපත් වූ හෙගල්ගේ අපෝහකය ස්ථිතික දළදඬු අච්චු බිහි කොට අවසන් ගමන් යාම ම දෛවයේ සරදමකි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගම්පෙරළිය ලියමින් මාක්ස්වාදී අච්චුවේ නවකතා ලිවීම ඇරඹී ය. සරච්චන්ද්‍ර මහතා ප්‍රමුඛ පේරාදෙණි ගුරුකුලය ඊනියා යථාර්ථවාදී විචාරය ගෙන එමින් සමාජවාදී අච්චුවේ ඕනෑ ම හෑල්ලක් ඉහළින් අගය කිරීමේ ප්‍රවණතාවයට මුල පිරී ය. මෙයින් පසු ලංකාවේ විචාරය මෙන් ම කලාව ද රළු පරළු වාමාංශික අධිකාරියකට ලක් විය.

මේ රළු අච්චුවට එබ්බුණු කලාවෙන් සෞන්දර්යය පලා ගියේ ය. මිනිසුන් කලාවෙන් ඈත් වී ගිය අතර ඊනියා ප්‍රබුද්ධ කලාව විශ්වවිද්‍යාලවලට හා වාමාංශිකයන් එක් රැස් වන සුරාසැල්වලට සීමා විය. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය, පශ්චාත්නූතනවාදය ආදී රැලිවලින් ලෝකයේ යථාර්ථවාදී අච්චුව දෙදරා කැඩී බිඳී යද්දී අනාථ වූ 'කලාකරුවෝ' අච්චුවෙන් මිදුණා නොව තවත් අලුත් අච්චුවලට බලහත්කාරයෙන් ම සිර වුණ හ. නිදහස් මනස් ඇතැයි තමන් ම කියා ගන්නා මොවුහු ඊනියා පශ්චාත්නූතනවාදී අච්චුවලට හරි හැටි සිරවීමට නො හැකිව ලත වෙන්නෝ ය.

ආගමික සංකල්ප ගැන ලිවීම, ජාතිය ගැන ලිවීම කලාවේ පංචානන්තරීය පාප කර්මයක් ලෙස 'ප්‍රබුද්ධයෝ' උගන්වති. ජාතියට, ආගමට විරුද්ධව ලියන ලෙසත් එසේ ලිවීමෙන් උසස් කලා කෘති බිහිවෙන බවත් ඔවුහු උගන්වති. සීමා ඉක්මවා ගිය පුළුල් මනසක් ඇති කලාකරුවකු බිහිවන්නේ එසේ වූ විට යැයි ඔවුහු කියති. මෙහි ඇති හාස්‍යජනක කරුණ වන්නේ මේ සීමා මායිම් ඉක්මවා ගියා යැයි කියාගන්නා මහා කලාකරුවන්ගේ කෘති කියවන්නේ ලංකාවේ මිනිසුන් අල්පතරයක් ම පමණක් වීම ය. ඔවුන්ගෙන් බහුතරය මේවා කියවන්නේ අධිකාරීන් විසින් අධ්‍යාපනයට නියම කරන ලද නිසා ය. නැතිනම් 'ප්‍රබුද්ධයකු' වීමේ ආශාවෙන් ශාස්ත්‍රීය විලාසිතාවක් ලෙස ය.



අපට බාහිර අච්චුවල සිර නො වූ අපේ කලාවක් අපේ අතීත කලාවන් ඇසුරෙන් යළි ඇති කරගත හැකි ද? එසේ ඇතිකර ගැනීමට අවශ්‍ය මුල් පියවර පසුගිය සියවසේ මුල් භාගයේ දී ගනු ලැබිණි. එහෙත් ඒ සියල්ල වාමාංශිකයන් විසින් විනාශ කොට දමනු ලැබී ය. ලංකාවේ කලා පරිහානියට වාමාංශිකයන් වගකිව යුත්තේ එසේ ය.
පියදාස සිරිසේන මහතා ලංකාවේ පළමුවරට නවකතා ලියන පරපුරක් බිහි කළේ ය. පියදාස සිරිසේන මහතා ජාතිකත්වය උදෙසා තම කෘති මෙහෙයවී ය. ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා ද විවිධ ආකෘති ඔස්සේ කථා වින්‍යාස අත්හදා බැලී ය. එසේ වර්ධනය වෙමින් ආ කෙටිකතා හා නවකතා කලාව විනාශ කිරීම නිල වශයෙන් සිදු කළේ සරච්චන්ද්‍ර මහතා ය. ඔහු සිංහල නවකතා සඳහා ඉංග්‍රීසියෙන් Sinhalese Modern Fiction නම් විචාරය ලියමින් ගොඩනැඟෙමින් ආ සිංහල නවකතාව ප්‍රපාතයට ඇද හෙළුවේ අධිකාරිත්ව බලය යොදා ගනිමිනි. ඩබ්ල්යු. ඒ. සිල්වා පැවසූ පරිදි සරච්චන්ද්‍ර තම විචාරය ඉංග්‍රීසියෙන් ලිවීමට පෙර එක දු නවකතාවක්වත් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමක්වත් නොකර සිටියේ ය. ඉංග්‍රීසියෙන් උගත් පිරිස සිංහල නවකතා වෙත නැඹුරු කරලීම වැළැක්වූයේ මෙවන් කූටෝපක්‍රම මඟිනි. ඒ අතරතුර මාර්ටින් වික්‍රමසිංහගේ දේශීය දැනුම වෙනුවට මිනිසුන් බටහිර දැනුම වෙත යොමු කෙරෙන නවකතා අගය කරන ලද අතර ගම් පෙරළියෙන් පසු ඊනියා සමාජ සත්තා යථාර්ථවාදී නවකතා උඩට ඔසවනු ලැබිණි.

පියදාස සිරිසේන මහතාගේ එක් නවකතාවක හූණු ශාස්ත්‍රය පිළිබඳ සඳහනක් වේ. හුණු ශාස්ත්‍රය දැන සිටියා නම් අනතුරකින් ගැලව සිටිය හැකි වන්නට තිබිණි යැයි ලියා තිබීම සරච්චන්ද්‍ර දුටුවේ ධර්මපාලතුමන්ගේ දේශානුරාගයෙන් ඔද වැඩී පෙරදිග සියල්ල එසවීම සඳහා හූණු ශාස්ත්‍ර වැනි ප්‍රතිගාමී දේ ප්‍රවර්ධනය කිරීමක් බව ය. මේ විචාර කියවන වත්මන් ප්‍රබුද්ධයෝ පවා පියදාස සිරිසේන ප්‍රතිගාමියකු ලෙස සලකා නිග්‍රහ කරති. එහෙත් පාවුලෝ කොයියෝ, ගාර්ෂියා මාකේස් ලතින් ඇමරිකානු විශ්වාසයන් තම නවකතාවලට එක් කරගත් තැන්වල එය මායා යථාර්ථවාදය, අධියථාර්ථවාදය කියමින් අගය කරති. ඒ අච්චුවලට සිරවී ලිවීමට දඟලති. කාටවත් නො තේරෙන විප්‍රකාර ලියති. ලංකාවේ ගොඩනැඟෙමින් පැවති නවකතාවේ වැදගත්කම ඔවුන් වටහා ගන්නේ නැත.
සරච්චන්ද්‍ර මහතා ලංකාවේ නාට්‍ය කලා ඉතිහාසය ලිවීමේ දී ගුණපාල මලලසේකර මහතා සෑදූ නාට්‍ය මඟ හැර ඇති බව සේන තෝරදෙණිය මහතා ලිපියක පෙන්වාදුන් බව මට මතක ය.

සුනිල් සාන්ත මහතා, ආනන්ද සමරකෝන් මහතා ඇතුළු පිරිස් සිංහල සංගීතයක් නිපදවීමට ගත් වෑයම නොයෙක් කෙනෙහිලිකම් මධ්‍යයේ ඊනියා ප්‍රබුද්ධයන් විසින් බිඳ දමන ලදී.



මෙසේ වාමාංශික නැඹුරුව සිංහල කලාවේ වර්ධනයට බාධාවක් විය. මෑතක දී අපගේ හිතවතකු වන ජන සංගීතය මත පදනම් වන ගායකයකුට ප්‍රතිචාර දැක්වූ වාමාංශික කවියකු ජන ගී පෝෂක ප්‍රදේශයක් පමණක් බව කීවේ ය. සංගීත වේදියකු වීමට විශ්වීය මනසක් අවශ්‍ය බවටත් පොදු මිනිස් සත්තාව අරමුණු කරගත යුතු බවටත් කවියා කටපාඩම් කරගත් වදන් පෙළක් ගෙනහැර දැක්වී ය. ඔවුන්ට අනුව ජන ගී පෝෂක ප්‍රදේශයක් පමණි. සංගීතය ඊනියා විශ්ව භාෂාවකි. ගැටලුව වන්නේ මෙම ඊනියා විශ්ව භාෂාව බටහිර භාෂාව වීමත් ඊනියා පොදු මිනිස් සත්තාව බටහිර සුදු පිරිමියාගේ ස්වරූපය වීමත් ය. තමන් අංක එකේ අනුකාරකයන් බවවත් නො දන්නා වාමාංශික කවියෝ බටහිර සංස්කෘතිය ඊනියා පොදු සාධාරණ සංස්කෘතිය කොටගෙන අනෙක් සංස්කෘතීන්ට විරුද්ධ වෙති. ඔවුන් සිතන්නේ ඔවුන් ප්‍රතිසංස්කෘතික විප්ලවවාදීන් බව ය. ඔවුන් අනෙක් සංස්කෘතීන්ට එරෙහිව පොදු සත්තාව නමින් ඔසවන්නේ බටහිර නූතනත්වයේ සංස්කෘතිය බව තේරුම් ගැනීමට මේ අනුකාරකයන්ට නො හැකි ය. ඔවුන්ට එය නො පෙනේ. ඩෙරීඩා විසංයෝජනය යැයි කීවේ මේ ඔවුන්ට නොපෙනෙන වසා දැමීම් බිඳ හෙළීමට ය. එය නොතේරෙන ඔවුන්ට විසංයෝජනය යනු ලුණු බෝතලයට මිරිස් දමා මිරිස් බෝතලයට ලුණු දැමීමේ විකාරයකි. ඔවුන්ගේ ඊනියා විසංයෝජනය ඔවුන්ගේ ඊනියා පොදු සත්තාවෙන් බාහිරව ඇති සංස්කෘති විනාශ කිරීමට කරනා විප්‍රකාරයකි. මේ පශ්චාත්නූතන යැයි කියන කලාකරුවන් නූතනවාදීන් නොව බටහිර නූතනත්වයේ දාසයන් ය.

ජාතිකත්වයේ කලාව ගැන වාමාංශිකයන්ට ලතින් ඇමරිකාවෙන් උගත හැකි ය. අයියන්දේගේ පාලන සමයේ නැඟී ආ Violetta Parra නම් කාන්තාව චිලී දේශයට අමතක කළ නො හැකි තැනැත්තියකි. ස්පාඤ්ඤ ගී ගයමින් සිටි Violetta සිය සොහොයුරා වන භෞතික විද්‍යා ආචාර්යවරයකු හා ප්‍රතිකවියකු වන Niconar Parra ගේ මඟ පෙන්වීම මත ජන සංගීතයට යොමු විය. ඈ දිවා රෑ නො බලා චිලී දේශයේ අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් ජන සංගීතය සෙව්වා ය. ඇය ජන ගී, ජන සංගීතයේ වාදන භාණ්ඩ පිළිබඳ උගත්තේ ගොවියන්ගෙනි, කම්කරුවන්ගෙනි, සුදු ජාතිකයන්ට සේවය කළ වහලුන්ගෙනි. මෙසේ අප්‍රමාණ දුකක් විඳ ඇය කළ ගවේෂණය කෙළවර වූයේ නව චිලියානු ජන සංගීතය නිපදවීමෙනි. ඇගේ ගී ලෝකය පුරා ජනප්‍රිය විය. ඇය හෝ ඇගේ සොහොයුරු Niconar Parra ප්‍රතිකවියා හෝ ලංකාවේ වාමාංශික අනුකාරකයන් මෙන් ජන ගී ඊනියා පෝෂක ප්‍රදේශ පමණක් යැයි කීවේ නැත. ඊනියා පොදු මානව සත්තා, විශ්ව භාෂා සොයා ගියේ ද නැත. ඔවුන්ගේ පදනම ජාතිකත්වයයි. අයියන්දේලාගේ පදනම ද එයයි. සුප්‍රසිද්ධ වික්ටර් හාරා Violetta Parra ගේ සිසුවෙකි. ඔහු ද නව චිලී ජන සංගීතය වෙනුවෙන් කැපවුණු ජාතිකවාදියෙකි.
ඇමරිකානු ගැති පිනෝෂේ හාරා මරා දැම්මේ වෙඩි උණ්ඩ  හතළිහක් තබමිනි. මැරෙන මොහොතේ ද ඔහු සොල්දාදුවකුගේ ඉල්ලීම වෙනුවෙන් ගී ගැයූ බව කියැවේ. ලංකාවේ වාමාංශිකයෝ වික්ටර් හාරා ආදීන් තමාගේ ඊනියා විශ්වීය කුලකයකට එක් කර ගැනීමට පෙළඹෙති. වාමාංශිකයන් දන්නේ වික්ටර් හාරාට තැබූ වෙඩි උණ්ඩ හතළිහ ගැන පමණ ය. ඔහුගේ ජාතිකත්වය ගැන හෝ ඔහු චිලියානු සංගීතයට කළ සේවය ගැන ඔවුන් දන්නේ නැත. නව චිලියානු සංගීතය ගැන විමසා බැලූ  'ප්‍රබුද්ධ' වාමාංශික කලාකරුවකු නම් කළ හැකි ද? හාරාගේ La Partida නම් සංගීත නිර්මාණය අපගේ පෙරහැරක ඇසෙන නාද රටාවට ඉතා සමීප ය. චිලියානු ජනසංගීතයේත් අපේ ජන සංගීතයේත් බෙරවලට දෙන ප්‍රමුඛතාව ඉහළ ය. දකුණු ඇමරිකාව සමඟ යක්ෂ ගෝත්‍රයේ සම්බන්ධතා වූ බවට මත පළව ඇත. කෙසේ වෙතත් වාමාංශිකයන්ට ඒවායින් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය හැකිතාක් බටහිර සුදු පිරිමියාට සමීප වීමට පමණ ය.

හාරා නවීකරණය කොට ගැයූ කොලොම්බියානු වෙනිසියුලානු ජන ගීයක් වන Duerme Duerme Negrito ගීතයේ පද කිහිපයකින් මෙම ලිපිය නිමා කරමි.
Y si negro no se duerme
Viene diablo blanco
Y sale comen la patita
(නිදා නොගත්තොත්, සුදු යකා ඇවිදින් පුතාගෙ කකුළ කාවි!)
නිදා නොගෙන නැඟී සිට අධිපතිවාදී සුදු යකාට ද උගේ දාසයන් වන ව්‍යාජ වාමාංශිකයන්ට ද එරෙහි වෙමින් ජාතිකත්වයේ කලාව සාහිත්‍යය ගොඩනඟමු.

          - තමලු මලිත්ත පියදිගම 

1 comment:

  1. කියෙව්වා.අළුත්. මුනිදාස කුමාර තුංග මහත්තයාගෙ හෙළ මියැසිය මෙතෙන්ට බොහොම අදාළ පොතක් කියල හිතෙනව. මම ඒ පොත දැකලවත් නැහැ. ඒ පොත ඔබේ නිරීක්ෂණයේ කොටසක් නොවීම අඩුවක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි