විසංවාදයට විකල්ප පැවැත්ම Alterity to Contradiction


විසංවාදයට විකල්ප පැවැත්ම         

 - තමලු මලිත්ත පියදිගම



අනිවාර්ය වූ දෙයක් (necessary entity) ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදය පරම වශයෙන් සිදු නොහැකි යැයි ප්‍රතික්ෂේප කොට දැමිය හැකි ද?

මෙයසූගේ දර්ශනය අනුව ආපාතිකත්වය (contingency) (ඇතැම් විට සත්‍ය වීමටත් තවත් විටක අසත්‍ය වීමටත් ඇති හැකියාව) පරමවශයෙන් අනිවාර්යය ය. මේ නිසා සියලු විට පැවැතිය යුතු දෙයක් තිබිය නො හැකි ය. මේ අනිවාර්ය වූ දෙයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමයි.

විසංවාදී (contradiction) දෙයක් අනිවාර්ය දෙයක් වේ යැයි කිව හැකි නම් අනිවාර්ය දේ ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදී දේ ප්‍රතික්ෂේප කළ හැකි ය.

විසංවාදී දෙයක් තවත් දෙයකට පරිවර්තනය විය නො හැකි ද? එනම් විසංවාදී දෙයකට එහි නො වීම ලෙස වෙනත් දෙයක් නොපවතී ද?

1. යම් වස්තුවක් එක් ගති ගුණයකින් විසංවාදී වී තවත් ගති ගුණයකින් එසේ නො විය හැකි ය.

එවිට එම වස්තුවට මුල් ගති ගුණයේ පැවැත්ම හා නොපැවැත්ම දෙක ම තිබුණ ද දෙවනි ගති ගුණය එසේ නැති නිසා වෙනස් විය හැකි ය. වෙනෙකකට පරිවර්තනය විය හැකි ය.

එම නිසා විසංවාදී වස්තුවක් අනිවාර්ය නො වේ.

මෙවන් වස්තුවක් බැහැර කිරීමට මෙයසූට තර්කයක් නැත. ඔහු කියන්නේ මෙවන් ආකාර වස්තු ගැන සංගත අදහසක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි. පාර-සංගත තර්ක ශාස්ත්‍රය වස්තුවක් ගැන ප්‍රතිවිරුද්ධ ප්‍රස්තුත එකට පැවැත්ම පමණක් මිස එක ම වස්තුවේ ප්‍රතිවිරුද්ධ ගුණ තිබීමක් ගැන නොකියන බව ඔහු කියයි.

චතුස්කෝටිකය පිළිබඳ සාක්ච්ඡාව අත් හළ ද ක්වොන්ටම් භෞතික විද්‍යාව යනු සංගත වූත් විසංවාදී වූත් ප්‍රයෝජ්‍යතාවක් ඇති ආනුභවිකව පරීක්ෂා කර බැලිය හැකි පිළිතුරු ලබා දෙන එවන් පද්ධතියකි.

සාමාන්‍යයෙන් සම්භාවිතාව ආපතිකත්වය (contingency) සම්බන්ධ කතාවකි. වස්තුවකට යම් යම් අවස්ථා සමූහයකින් එක් අවස්ථාවක් ගත හැකි ය. ඒ සියලු අවස්ථා ගැනීමේ සම්භාවිතා තිබීම යනු එක ම වස්තුවේ වාර විශාල ගණනක් හෝ සමරූපී වස්තු විශාල ගණනක විවිධ අවස්ථා ආපතිකව ලබා ගන්නා අවස්ථාවල අනුපාතයි.

දැන් ක්වොන්ටම් භෞතිකය එසේ නො වේ. සඟල සිදුරු පරීක්ෂණයේ සිදුරු දෙක ම විවෘත විට ඒ ඒ සිදුරුවලින් යාමේ සම්භාවිතාව යනු ඉලෙක්ට්‍රෝන විශාල ගණනකින් එක් එක් ඉලෙක්ට්‍රෝනය එක් එක් සිදුරෙන් යෑමෙන් ඇතිවන අනුපාතය නො වේ. එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යෑමේ ප්‍රතිඵල ඒ ඒ අනුපාතයෙන් ඇති කරයි.

ක්වොන්ටම් භෞතිකයේ සම්භාවිතාව විසංවාදයේ මිම්මකි. එනම් එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යා හැකි ය. එහෙත් ඒ තැන් දෙකේ ඉලෙක්ට්‍රෝනයේ පිටපත් දෙකක් නොපවතී. ඇත්තේ එක ඉලෙක්ට්‍රෝනයකි.

දැන් මෙවන් පද්ධතියක් ඇති විට එය මඟ හැර යාම මෙයසුගේ වරදකි.

2. මෙයසුට අනුව මෙතෙක් විස්තර කොට ඇති විසංවාදී පද්ධති තාර්කිකව අසංගත (inconsistence) ද වේ. එනම් විසංවාදයක් ඇත් නම් එහි සියලු ම දේ විසංවාදී වේ.

දැන් මෙයසූ බැහැර කරන්නේ විසංවාදී පද්ධති නොව අසංගත පද්ධතිය.

අසංගත පද්ධතියක් වෙනස් නොවීම අනිවාර්ය ද?

මෙයසූ උදාහරණයට ගන්නේ සියල්ල ඇති වී නැති වෙන ඕඝයක් (flux) වූ පද්ධතියකි.

ඔහුට අනුව පැවැත්ම නොපැවැත්ම දෙක ම මෙහි එකවිට ඇති නිසා පවතින විට ද නොපවතියි, නොපවතින විට ද පවතියි.

එම නිසා මෙය වෙනත් යමකට පෙරළීමට නො හැකි ය. කවර විටකත් එය පවතින බැවින් එය අනිවාර්යතාවකි. එම නිසා එය බැහැර කළ හැකි ය.

මෙය අසාර්ථක තර්කයකි. මෙවන් අසංගත පද්ධතියක විස්තරය හඳුනා ගැනීම හා සමඟ ම එය ශුද්ධ පැවැත්මෙන් හා ශුද්ධ නොපැවැත්මෙන් වෙන් කර ගැනෙයි. එනම් මෙවන් පද්ධතියක හා ශුද්ධ පැවැත්ම හෝ නොපැවැත්ම ලෙස හඳුනා ගන්නා පද්ධතියක පැහැදිලි විභේදනයක් ඇත. එහෙයින් මේ අසංගත පද්ධතියට අසංගත නොවන ශුද්ධ පැවැත්මේ හෝ නො පැවැත්මේ පද්ධතියක් විය හැකි ය.

පැවැත්ම හා නොපැවැත්ම එක විට පවතින පද්ධතියක් එක්වර ම ශුද්ධ පැවැත්ම පමණක් වන සේ නොපැවැත්ම රහිත අන්‍ය ස්වභාවයකට පත්වීම හෝ පැවැත්මේ සංරචකය සිඳී ගොස් ශුද්ධ නොපැවැත්මේ අන්‍ය ස්වභාවයකට පත් වීම සිදු විය හැකි ය. මෙවන් අන්‍ය ස්වභාව ඇති නිසා අසංගත පද්ධතියක් අනිවාර්ය නො වේ.

මෙය චතුස්කෝටිකයේ අගයන් හා කෝටික පිළිබඳව කතාව ය. චතුස්කෝටිකයේ අගයන් දෙකෙහි එක් අගයක් ලබාගත් අගයන් දෙක ම ලබා ගත් අගයන් කිසිවක් ලබා නො ගත් සේ විකල්ප (කෝටික) සතරක් ඇත. විසංවාදී හෝ අසංගත අවස්ථා අනිවාර්යතා නො වේ.

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි