මෙයසුගේ විශ්වාසය
මෙයසු, ග්‍රැහැම් හාමන් සමඟ කරන සංවාදයක තමා මනසින් බාහිර ලෝකයක් 'විශ්වාස' නොකරන බවත් එය පවතින බව තමා 'දන්නා' බවත් කියයි.
මෙහි ඇති පෙරළි කොමාවලින් පෙනෙන්නේ හුදෙක් විශ්වාසයක් හා දැනුම යන්න පෙන්වීමේ මෙයසුගේ වුවමනාව බවත් එය දැනුම විශ්වාසයක් නොවන බව කීමක් නොවන බවත් මෙයසුගේ ලංකා නියෝජිතයන් පිළිගන්නේ නැත.
අපි මේ මතය තර්කය සඳහා පිළිගනිමු. දැනුම හා විශ්වාසය බහිෂ්කාරකය. ඒවා දෙකකි. දැනුම විශ්වාසයක් නො වේ.
මෙයසූට මනසින් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව සාධනයක් පවතී. ඒ සාධනය අනුව ඔහු මනසින් බාහිර ලෝකයක් පවතින බව දනී. ඔහු එය විශ්වාස නොකරයි.
මේ සාධනය සත්‍ය දැයි ඇසූ විට ඒ එසේ යැයි මෙයසූ පවසනු ඇත.
දැන් අප මෙයසුගෙන් මෙසේ අසමු.
මනසින් බාහිර ලෝකයක් ඇති බවට ඔබේ සාධනය සාවද්‍ය බව අනාගතයේ පෙනී යා නො හැකි ද? එසේ නැතිනම් වෙන අයකු එම සාධනයේ අඩු පාඩුවක් සොයා පෙන්වීමට ඉඩකඩක් ඇති ද?
මෙයසූට මෙසේ කිව හැකි ය. මෙම සාධනය නිවැරැදි ය. අඩුපාඩු වැරදි නැත.
දැන් අප ඍජුව ප්‍රශ්න කරන්නේ මෙවැනි අඩුපාඩුවක් තමා ම සොයා ගැනීම හෝ පෙන්වා දීම අනාගතයේ පරම වශයෙන් විය නො හැකි බව මෙයසූ කියන්නේ ද යන්නයි.
එහි පිළිතුර ඔවු නම් අපට පෙරළා තර්ක කළ හැක්කේ මෙයසූට තමාගේ තර්කවලට වලංගු විවේචන ඒමේ හෝ සංස්කරණය වීමේ හැකියාව පිළිගැනීම දෘෂ්ටිවාදී සූදානම නොමැති බවයි. එවිට මෙයසූ දර්ශනවාදී ශික්ෂණය තුළ ස්ථානගත කිරීම ප්‍රශ්නකාරී වේ. මේ ස්ථාවරය බොහෝ විට ආගම අර්ථකථනය කිරීමට යෙදීම මෙයසූ අර්බුදයට ලක් කරයි.
එහෙත් මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇති වේ යැයි මම විශ්වාස නො කරමි. මෙයසූ ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායට එකඟ වෙමින් යම් අයකුට හෝ තමාට තම සාධනවල අඩු පාඩු පෙනීමේ හා පෙන්වීමේ ඉඩකඩ යනු පවතින්නක් හා තමා ඒ සඳහා විවෘත බව කියනු ඇත.
දැන් වංගීසගේ අර්ථකථනය අනුව මෙයසුගේ බාහිර ලෝකයක පැවැත්ම අදහස දැනුමක් වන අතර එය මෙයසුගේ විශ්වාසයක් නො වේ. දැන් මේ දෘෂ්ටිවාදී විවෘත භාවය සමඟ මෙය අප විග්‍රහ කරගත යුත්තේ කෙසේ ද?
සාධනයේ වරදක් පෙනීමේ පෙන්වීමේ විය හැකියාව පිළිගැනීම යනු තමාට බාහිර ලෝකය පිළිබඳව කියූ දේ ඒ ගැන දැනුමක් නො වීමේ හැකියාව පිළිගැනීමකි. එවිට තමාගේ ක්‍රියාකාරීත්වය බාහිර ලෝකය පිළිබඳව ප්‍රස්තුතයක් විශ්වාස කිරීමකි.
පැහැදිලිව ම මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම විශ්වාස කරයි. ඔහුගේ ඒ විශ්වාසය සාධාරණ යැයි කීමට ඔහුට සාධනයක් පවතී. මේ සාධනය සත්‍ය බව ඔහු විශ්වාස කරයි. ඒ සාධනයේ අඩුපාඩු හෝ වැරදි තිබීමේ හා ඒවා අනාගතයේ පෙනීමේ හෝ පෙන්වා දීමේ හැකියාව විවෘතව තබා ගන්නා තුරු ඔහුට ඇත්තේ විශ්වාසය සාධාරණ යැයි කීමට ප්‍රබල සාක්ෂ්‍ය ඇති බැවින් තමාගේ විශ්වාසය දැනුමක් බව ය. එම සාධාරණ යැයි කීමට ඇති සාක්ෂ්‍ය වෙනස් වීමෙන් තමා මෙතෙක් කළ විශ්වාසය තව දුරටත් දැනුමක් ලෙස සැලකීමට නො හැකි බව ඔහුට කිව හැකි ය.
එවිට එය දැනුමක් ලෙස සැලකූ කාලයේ ඔහු කර සිටින්නේ එය විශ්වාස කිරීමකි. අනෙක් අතට සාධනය වැරදි හෝ අඩුපාඩු සහගත බවට පෙන්වූවා යැයි කියමු. එවිට මෙයසුගේ අදහස තවදුරටත් දැනුමක් නො වේ. එහෙත් විශ්වාසය එතෙකින් බිඳ වැටෙන්නේ නැත. බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව තම පැරණි සාධනය බිඳ වැටුණ ද තමා පෙර මෙන් ම තවදුරටත් එය විශ්වාස කරන බවත් එම වැරදි මඟ හැර අලුත් සාධනයක් සඳහා උත්සාහ කරන බවත් කිව හැකි ය.
එහෙයින් අපට දැකිය හැක්කේ දැනුම ද විශ්වාසයක් ලෙස ම පවතින බව ය. දැනුමට ඊට අමතරව එය පිළිගැනීම සඳහා සංගත සාක්ෂ්‍ය හා සාධන තිබිය හැකි ය. එසේ තිබීම විශ්වාසයට අනුපූරකයක් වනවා මිස විශ්වාසයක් නොවන්නක් කරවන්නේ නැත.
- අනෙක් අතට දැනුමක් වීම සඳහා හේතුවුණු සාධනය කෙරෙහි ඇත්තේ විශ්වාසයකි. එහි සාවද්‍යතා සඳහා දෘෂ්ටිවාදී ඉඩකඩ තබා ගැනීම යනු එය විශ්වාසයක් බවට පත් වීමයි. එවිට් එම සාධනයෙන් යුක්ති යුක්ත කෙරෙන දැනුම විශ්වාසයක් නො වන්නේ කෙසේ ද? ඒ දැනුමට සාධනයක් ඇති බව සැබෑ ය. සාධනයක් තිබීමෙන් එය විශ්වාසයක් නො වී තිබෙන්නේ නැත. සාධනය කෙරෙහි ඇත්තේ ද විශ්වාසයක් හෙයිනි.
පහත ප්‍රශ්නෝත්තරවලින් මෙය ඉවර කරමු.
- දැනුම විශ්වාසයක් ද?
දැනුම විශ්වාසයක් නොවේ. ඒ දෙක දෙකකි.
- මෙයසූගේ බාහිර ලෝකය ගැන අදහස දැනුමක් ද විශ්වාසයක් ද?
එය දැනුමකි. ඔහුට ඒ ගැන සාධනයක් පවතී.
- මෙයසුගේ සාධනය අඩුපාඩු සහගත හෝ වැරදි බව අනාගතයේ පෙනීමේ හෝ පෙන්වීමේ ඉඩකඩක් තිබීමේ හැකියාවට ඔබ දෘෂ්ටිවාදීව විවෘත ද?
ඔව්.
- එසේ නම්, ඒ ඉඩකඩ යටතේ එවන් අවස්ථාවක අඩුපාඩු පෙන්වා දෙනු ලැබේ නම් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව අදහස දැනුමක් බව තව දුරටත් කිව හැකි ද?
නැත. එය දැනුමක් නො වේ. ඔහුගේ අදහස අසත්‍ය බව එයින් ම කිව නො හැකි ය. තවත් සාධනයක් ගෙන ඒමට ඔහුට ඉඩකඩ පවතී. එහෙත් එතෙක් එය දැනුමක් නො වේ.
- එවන් ඉඩකඩක් යටතේ එසේ පෙන්වා දෙනු ලැබූ විට එතෙක් කල් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව දැන සිටි බව කිව හැකි ද?
නො හැකි ය. ඔහුගේ සාධනය වැරදි නිසා එය දැනුමක් නො වේ.
- එවිට එම කාලය තුළ ඔහු බාහිර ලෝකයක් විශ්වාස නොකළේ ද?
ඔහු බාහිර ලෝකයක් විශ්වාස කළේ ය. ඔහුගේ සාධනය සත්‍ය යැයි ඔහු විශ්වාස කළේ ය. මේ නිසා තමා බාහිර ලෝකයක් ඇතැයි දන්නවා යැයි විශ්වාසයක ද සිටියේ ය.
- දැන් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම දන්නවා යැයි සිතා සිටි කාලය තුළ ම බාහිර ලෝකයක පැවැත්මක් විශ්වාස කර තිබෙනවා නො වේ ද? මේ නිසා විශ්වාසය හා දැනුම බහිෂ්කාරක යැයි කිව හැකි ද? සාධනයන් හා සාක්ෂ්‍ය අඩුපාඩු සහගත වීමේ දෘෂ්ටිවාදී ඉඩකඩ පිළිගැනීම යනු ම තමාගේ දැනුම විශ්වාසයක් වීමේ ඉඩකඩ පිළිගැනීම නො වේ ද?
එවිට දැනුම විශ්වාසයක් නොවන්නේ කෙසේ ද?
දැනුම සාක්ෂ්‍ය හා සාධන මඟින් අනුපූරනය වූ විශ්වාසයක් පමණි.
සුපිරි
ReplyDeleteඔබගේ වෙබ් අඩවිය අපගේ සින්ඩියට ඇතුල් කිරීමට අවශ්‍ය නම් මේ ලින්ක් එක ක්ලික් කරන්න.
ReplyDeleteමෙය 2020 නවතම සින්ඩියයි. https://techwishwayasyndi.blogspot.com/
පරම සත්‍යය කියන එකත් පද්ධතියෙන් පද්ධතියට සාපේක්ෂයි නේද? දැන් ලේ පොම්ප් කරන්නෙ හදවතෙන් නෙමේ කියල මේ පද්ධතියෙදි කවදාවත් එයි කියල හිතන්න අමාරුයි නේහ්. දැන් කවදහරි හොයාගත්තොත් මේ ලෝකෙම simulation එකක් කියල එදාට සමහරු කියයි පිස්සුද මොන හදවතක්ද ඔක්කොම simulation එකක්නෙ කියල. හැබැයි ඒ ප්‍රකාශෙ වැරදියි නේහ්.අර පද්ධතිය ඇතුලෙ ඒක සත්‍යයක්. එලියෙ පද්ධතියට ඒක බොරුවක්.
ReplyDeleteඇරිස්ටෝටල්ට අනුව හිතන්නේ හෘදය ලේ ශීත කිරීම කරන්නේ මොළය.. ඒ කාලෙත් ඔහොම ම කියන්න ඇති.
ReplyDelete