යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය
(2017 ඔක් 04 විදුසර, මුල් ඡේදය සංස්කරණය වී ඇත.)මෙවර (සැප්තැම්බර් 27) සැම්සන් මහතා ලියා ඇති නිසරු බොළඳ රචනය පිළිතුරක් ලෙස තබා ප්‍රතිචාරයක් ලෙසවත් නම් කිරීම ප්‍රතිචාරවලට කරන අපහාසයකි. යමකු සිය හැකියාවෙහි අන්තයට එළඹීමෙන් පසු ඉස්මතු වන නොහැකියාව දෘශ්‍යමාන වනු ඇත්තේ තම සැබෑ නමින් නොව හරසුන් විපරීත තර්ක හා අවලාද ගොන්නක් ලෙස ය. සැම්සන් මහතාගේ ලිපිය සඳහන් කළ හැක්කේ මීට කදිම උදාහරණයක් ලෙසිනි. සැම්සන් මහතා සතුව තිබූ තර්ක මඩිස්සලය හිඳී ගොස් හිස් මඩිස්සලයේ පතුළ අතගෑමට ඔහුට සිදුවී ඇති බව පැහැදිලි ය. මෙවන් ඛේදනීය තත්වයක් තුළ සැම්සන් මහතාට උරුමව ඇත්තේ භාවිතයට ගත නො හැකි තරම් දිරා ගිය ගෘහ භාණ්ඩ සහිත නිවස දෙස බලා සුසුම් ලමින් අමුත්තන් සමඟ තම පරපුර ඒවා මිල දී ගත් සාප්පුවල විශිෂ්ට භාවය ප්‍රකාශ කරමින් තම තත්වය රැකගැනීමට අහිංසක උත්සාහයක යෙදෙන ධනයෙන් පිරිහුණු ප්‍රභූවරයාගේ භූමිකාව ය. ඔහු පාඨකයන්ගේ අනුකම්පාවට ලක්විය යුතු ය.
සැම්සන් මහතා මා හේතුවාදය ගැන කියා තිබුණේ සියවසකටත් පැරණි නිර්වචනයක් බවත් හේතුවාදය කුමක් දැයි තීරණය කළ යුත්තේ හේතුවාදී සංගමයේ ඔවුන් බවත් ඉතා විහිළු තර්කයක් දක්වයි. හේතුවාදය යන දාර්ශනික මතවාදය ලොව පුරා දර්ශනය විෂය යටතේ සාකච්ඡා කෙරේ. මා දැක්වූ අර්ථකථනය දර්ශනය විෂයේ දී හේතුවාදය අර්ථකථනය කරන නූතන ම අර්ථ දැක්වීමයි. අතීත හේතුවාදීන්ගේ සිට ඉතා නූතන ම හේතුවාදී දාර්ශනිකයන් දක්වා ඒ අර්ථකථනය තුළ ගැබ් වී ඇත. විවිධ හේතුවාදීන් අතර පොදු ලක්ෂණ මෙන් ම විශේෂ ලක්ෂණ ද එහි මනාව ගැබ් වී ඇත. වෙනෙකක් තබා සැම්සන් මහතා මේ සංවාදවලට එළඹෙමින් ප්‍රකාශ කළ අර්ථ දැක්වීම ද එය යටතේ සාකච්ඡා වී ඇත. ඒ මහතා නිතර කතා කරන රසල් වැන්නන් ගැන ද මේ යටතේ සාකච්ඡා වී ඇත. හේතුවාදය පිළිබඳ මා සැප්තැම්බර් 20 වෙනි දා දැක්වූ කරුණු පිළිබඳ තව දුරටත් විමසීමට අවශ්‍ය විමසිලිමත් පාඨකයන්ට මා ඊට මූලාශ්‍ර කරගත් ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දර්ශනය විශ්වකෝශයට යොමුවිය හැකි ය. හේතුවාදී සංගමයේ බොහෝ අයට නම් හේතුවාදී දර්ශනය ගැන අල්පමාත්‍ර දැනුමක්වත් නැත. ලංකාවේ හේතුවාදීන්ගෙන් එපිටට ගොස් සැබෑ හේතුවාදයේ සීමා මායිම් ගවේෂණයේ දී දර්ශනයේ නූතන අර්ථ දැක්වීම් වෙත යොමු වනවා මිස අප රටේ හේතුවාදී සංගමයෙන් නිර්වචන ඉල්ලීම ඵලක් ඇති කරුණක් නො වේ.
මීළඟට ඔහු ඉදිරිපත් කරන තර්ක මා මඟ හැරියේ යැයි ඔහු කරන චෝදනාව පාඨකයන් සිනා ගන්වන සුලු ය. අපේ ලිපි මුල සිට කියවන පාඨකයෝ සැම්සන් මහතා කෙතරම් කරුණු මඟ හැර ලිස්සා ගියේ දැයි හොඳින් ම දනිති. අවශ්‍ය නම් වැඩිදුරටත් සැප්තැම්බර් 20 මගේ ලිපිය නැවත කියවා ගියවර සැම්සන් මහතාගේ ලිපිය විමසීම ම සෑහේ. සැම්සන් මහතා මා මඟ හැරි බව කියන්නේ කරුණු දෙකකි. පළමුවැන්න පුනර්භවය හේතුවෙන් අජිත කේශකම්බලට සමවන්නේ හේතුවාදීන් පමණ ද යන්න ය. දෙවැන්න ජ්‍යොතිෂයට විරුද්ධව 2001 දී හෝකිං කළා යැයි සැම්සන් මහතා කියන ප්‍රකාශනයකි. පුනර්භවය ගැන කිව යුත්තේ ලංකාවේ හේතුවාදීන්ගේ මතවාද මේ වන විට හොඳින් දන්නා පාඨකයන්ට අජිත කේශකම්බලගේ මතවාදය විස්තර කිරීමෙන් පසුව ඒවායේ සාම්‍යය ඇස් පනාපිට පෙනෙන බැවින් වැඩි දුරටත් විස්තර කිරීමට යෑම ම පාඨකයන්ගේ බුද්ධියට නිග්‍රහ කිරීමක් බවයි. හේතුවාදීන් පමණක් නොව පුනර්භවය නො පිළිගන්නා අනෙකුත් භෞතිකවාදීන් (විද්‍යාඥයන් ඇතුළු) ඒ කරුණේ දී අජිත කේශකම්බලට සම වෙයි. හේතුවාදීන් පමණක් සමවන්නේ යැයි මා කියූ බව සැම්සන් මහතා ම මා පිට බලෙන් පටවන්නක් මිස මා කීවක් නො වේ. හෝකිංගේ ප්‍රකාශය ගැන කිව යුත්තේ සැම්සන් මහතා කියන 2001 දී හෝකිංගේ දේශනයේ සම්පූර්ණ වාර්තාවක් සොයා ගැනීමට නො හැකි වූ බවයි. ඉන්දීය පුවත්පත් මෙන් ම ඉන්දියාවේ (සැම්සන් මහතාගේ වර්ගයේ ) හේතුවාදීන් ද දේශනය වාර්තා කොට තිබූ අතර ඒවා අනුව පෙනෙන්නේ සුපුරුදු පරිදි හේතුවාදීන් හෝකිං තම කතාවට ආරම්භයක් ගැනීමට ඔහු කියූ කරුණු මැදින් උපුටා දක්වමින් විකෘති අදහසක් උලුප්පන බව ය. ඉන්දීය පුවත්පත් අනුව නම් හෝකිං කියා ඇත්තේ බොහෝ විද්‍යඥයන් විද්‍යාවේ ඇතැම් ප්‍රවාදයන්ට පටහැනි යැයි සිතමින් ජ්‍යොතිෂ්‍ය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ ද විද්‍යාවේ ඇති ප්‍රවාද සඳහා ජ්‍යෝතිෂ්‍ය තරම්වත් සාක්ෂ්‍ය නැති බවයි. මේ වාර්තා වී ඇති ප්‍රකාශ හා ආසන්න කරුණු හෝකිං ලියූ පොතක ද එයි.
But the real reason most scientists don't believe in astrology is not scientific evidence or the lack of it but because it is not consistent with other theories that have been tested by experiment................................... There is no more experimental evidence for some of the theories described in this book than there is for astrology, but we believe them because they are consistent with theories that have survived testing.
(Universe in a Nutshell , Hawking S., page 103)
සැම්සන් මහතා සූර්යකේන්ද්‍රවාදය නිසා ජ්‍යෝතිෂ්‍යය විය නො හැකි වූ බව ( 'impossible' ) හෝකිං කීවේ යැයි කීව ද පොතෙහි හෝකිං යොදන්නේ implausible යන්න ය. එනිසා සම්පූර්ණ කතාවේ වාර්තාවට මූලාශ්‍රයක් ලබා දෙන ලෙස සැම්සන් මහතාට අභියෝග කරමි.
හෝකිං යනු ජ්‍යෝතිෂ්‍ය හදාළ අයෙක් නො වේ. ජ්‍යෝතිෂ්‍ය පිළිබඳව හෝකිංගේ ප්‍රකාශ ඔහු විද්‍යාඥයකු වීම නිසා ම අප පිළිගත යුතු ද? අප කළ යුත්තේ ඔහු ඊට පාදක කරගත් තර්ක සලකා බැලීම නො වේ ද? එවන් කිසිදු තර්කයක් උපුටා නො දක්වමින් හෝකිං උපුටා දක්වමින් සැම්සන් මහතා කළ බොළඳ තර්කය වෙනුවෙන් පාඨකයන්ගේ කාලයත් පත්‍රයේ ඉඩකඩත් වැය කිරීමට අකැමති වීමි. මෙවර සැම්සන් මහතා අභියෝග කර ඇති බැවින් මේ ගැන ලිවීම ගැන පාඨකයන්ගෙන් සමාව අයැදිමි.
ඇත්තෙන් ම හෝකිං වැන්නකුගේ අදහස් විකෘති කරමින් සැම්සන් මහතා තමන් සිටින මඩ වළට හෝකිං ඇද දැමීමට දරන උත්සාහය හෙළා දැකිය යුතු ය. හෝකිං කෙතරම් ලිහිල් මතයක සිටියා ද යත් ඔහුගේ මෙම ඡේදයෙන් පෙනේ.
A butterfly flapping its wings in Tokyo can cause rain in New York's Central Park (Fig. 4.3). The trouble is the sequence of events is not repeatable. The next time the butterfly flaps its wings, a host of other factors will be different and will also influence the weather. That is why weather forecasts are so unreliable.
ටෝකියෝවේ තටු සලන සමනලයකු නිව්යෝක් මධ්‍ය උද්‍යානයේ වැසි ඇති වීමට හේතුවිය හැකි ය. ප්‍රශ්නය ඇත්තේ සිද්ධි ශ්‍රේණිය නැවත නැවත කළ නො හැකි වීම ය. සමනලයා තටු සලන ඊළඟ වාරයේ අනෙක් බොහෝ කරුණු වෙනස්ව කාලගුණයට බලපානු ඇත. කාලගුණ අනාවැකි මෙතරම් අවිශ්වසනීය එබැවිනි.
මෙවැන්නක් ජ්‍යෝතිෂ්‍යවේදියකු කීවා නම් හේතුවාදී සංගමය මාධ්‍ය වැඩසටහන් දෙවනත් කරන ආකාරය සිතා ගැනීම ඔබට බාර ය. සමනලයාගේ සිට නිව්යෝක් නගරයට ගුරුත්වාකර්ෂණ බලයත් ගණනය කොට රූපවාහිනියෙන් ඔබට පෙන්වීමට ඔවුන් කටයුතු කරනු ඇත.
මේ සංවාදය ආරම්භයේ දී අභයසිංහ මහතාට මා තර්ක කළේ ජ්‍යෝතිෂ්‍ය අනාවැකි වැරදීම නිසා සේවා ලාභීන්ගෙන් මුදල් අහිමි වීම සාහසික අපරාධයක් නම් ඒ තර්කය අනුව මුලින් ම වසා දැමිය යුත්තේ ඊටත් වඩා අනාවැකි වරදින මහජන බදු මුදලින් යැපෙන කාලගුණ දෙපාර්තමේන්තුව බවයි. ඇතැමුන් මෙය අප රටේ තාක්ෂණික අඩුපාඩුකම්වලට පැවරුව ද ඇමරිකාවේ කාලගුණ අනාවැකිවලත් වැඩි වෙනසක් නොමැති බව හෝකිංගේ so unreliable යන්නෙන් පෙනේ.
ඉන්පසුව විද්‍යාඥයින් අත්සන් තබා ලියන ලද ලිපියක් ඉදිරිපත් කරන සැම්සන් මහතා කියන්නේ එය ලියා ඇත්තේ විද්‍යාඥයන් බැවින් අප එය පිළිගත යුතු බවයි. ජ්‍යෝතිෂ්‍ය ගැන හැදෑරීමක් නොමැතිව හිස් තර්කවලින් දමා ගසනා අය විද්‍යාඥයින් වූ පමණින් ඔවුන් ඇදහිය යුතු නො වේ. තමාගේ විෂය ක්ෂේත්‍රයෙන් පිටත දී විද්‍යාඥයන් ද සාමාන්‍ය මිනිසුන් ය. එහි ජ්‍යෝතිෂ්‍යයට විරුද්ධව මීට පෙර සැම්සන් මහතා විසින් ඉදිරිපත් වී බිඳ වැටුණු බොළඳ තර්කවලට අමතරව කිසිවක් නැත. විද්‍යාඥයින් ජ්‍යෝතිෂ්‍ය අසත්‍ය යැයි කියූ බව නො කියා ඔවුන් ඊට යොදා ගත් තර්ක ඉදිරිපත් කරන ලෙස සැම්සන් මහතාට අභියෝග කරමි. මෙවන් බොළඳ අශාස්ත්‍රීය ලිවීම්වලින් පෙනෙන්නේ තව දුරටත් තර්ක ඉදිරිපත් කිරීමට සැම්සන් මහතා අපොහොසත් බවයි. මෙවන් දේ කියන්නේ 'පුද්ගල ගෞරවයෙන් නො පිළිගන්න' යැයි කාලාම සූත්‍රය උපුටා දක්වන සැම්සන් මහතා ම වීම තරම් උත්ප්‍රාසයක් තවත් නැත.
ඔහු කාලාම සූත්‍රය විකෘති කරන බවට මම සැප්තැම්බර් 20 වෙනිදා මැනැවින් පෙන්වා දුනිමි. මීට සැම්සන් මහතාට කීමට ඇත්තේ පදගත පරිවර්තන වැඩක් නැත, සුචරිත ගම්ලත්ගේ පරිවර්තනයේ මෙසේ ඇත යන්න ය. ගම්ලත් මහතා බුදුන් වහන්සේ සැන් සිමොන් හා ෆූරියර් වැනි මනෝරාජික සමාජවාදියකු බවට පත් කිරීමේ අසාර්ථක වෑයමක් දැරූවෙකි. හේතුවාදියකු වූ ඔහු ද හීන් සැරේ හේතු යන වචනය හැළීම පුදුමයක් නො වේ. වැදගත් ම වචනය හළා අරුත් කීම කපටි කලාවක් මිස පරිවර්තන දක්ෂතාවයක් නො වේ. තර්කහේතුව (deduction) හා න්‍යායහේතුව (intuition) අතර වෙනස පැහැදිලි වුවද තර්කය හරි වූ පමණින් න්‍යායට හරි වූ පමණින් යන විකෘති පරිවර්තනවලින් ඒ දෙකෙහි වෙනස පැහැදිලි වන්නේත් නැත.
ජාතිමය ලිංගය යන්න හැලීම ගැන ඔහු කියන්නේ එය අදිකාරම්තුමාගෙන් උපුටා ගත්තක් බවයි. අදිකාරම් මහතා ද බොහෝ තැන්වල බුදු දහම විකෘති කළ භෞතිකවාදියෙකි. එකල සිටි වියත් හිමිවරු අදිකාරම් මහතාට ප්‍රසිද්ධියේ තම විරෝධය පළ කළ හ. ඔහු කලක් ක්‍රිෂ්ණමූර්ති අනුගාමිකයකු ද විය. මා සැප්තැම්බර් 20 ලිපියේ උපුටා දැක්වූ ලෙස බුදුන් වහන්සේ ජාතිමය පෘථු ලිංගය ප්‍රතික්ෂේප කළ ද සම්මුති ව්‍යවහාරයේ දී ජාතිය හා වර්ණය පිළිගත් හ.
සැම්සන් මහතා මෙවර වැඩිපුර ම කර තිබුණේ ඔහු 'අදහන' දැවැන්තයන්ගේ ඇඟේ එල්ලීම මිස පිළිතුරු සැපයීමක් නො වේ.
මිලින්ද ප්‍රශ්නයේ පෘථිවිය ගෝලාකාර බව දැක්වෙන ප්‍රකාශය 'අන්තර්ජාතිකව' පිළිගෙන නැතැයි සැම්සන් මහතා තවත් විහිළු කතාවක් කියන්නේ විකිපීඩියාව බලා ය. මෙතරම් පහත් අඩියකට වැටීම ගැන ඔහුට අනුකම්පා කරමි. බුදු දහම ගැන අප කතා කළ යුත්තේ 'ජාත්‍යන්තරය' (සුද්දන්) පිළිගන්නේ කුමන අයුරින් දැයි බලා ද? බෞද්ධ මූලාශ්‍ර රැසකින් කරුණු ගෙන බුදු දහම අනුව පොළොව පැතලි යැයි විකිපීඩියාවේ කියන බව පවසන සැම්සන් මහතාට එම මූලාශ්‍ර ලැයිස්තුව නම් කර අදාළ ලිපියට සබැඳිය ද පළ කරන මෙන් අභියෝග කරමි. ඒ මහතාගේ ඉතිහාස දැනුම නම් ශුන්‍යයට ආසන්න ය. ග්‍රීක රෝම ශිෂ්ටාචාරය බිඳ වැටුණු පසු ග්‍රීක දර්ශනය මධ්‍යකාලීන යුගයේ යටපත්ව තිබී නැවත එම කෘති පරිශීලනය කිරීම ඇරඹුණේ පුනරුද යුගයේ ය. එම යුගයේ දී තෝමස් ඇක්වයිනාස් දේවගැතිවරයා පල්ලියේ ඉගැන්වීමට ඇරිස්ටෝටලියානු දර්ශනය එක් කළේ ය. පෘථිවිය ගෝලාකාරය යන්නට ඇරිස්ටෝටල්ට ඊනියා අන්තර්ජාතික (සුද්දන්ගේ හා පල්ලියේ) ගෞරවය හිමි වූයේ එසේ ය.
පෘථිවිය ගෝලාකාර බවට ජ්‍යෝතිෂ්‍ය ග්‍රන්ථවලින් ද උදාහරණ සැපයිය හැකි ය. ජ්‍යෝතිෂ්‍යයේ කියැවෙන ග්‍රහ ලෝකවල චලනය ගණනය කිරීමේ ක්‍රම පිළිබඳව මම සොයා බැලීමි. ජ්‍යෝතිෂ්‍යයේ මූලික පොත වන සූර්ය සිද්ධාන්තයේ (වර්තමානයේ තිබෙන සූර්‍ය සිද්ධාන්තය අඩු ම වශයෙන් හතරවන හෝ පස්වන සියවසට වඩා පැරණි බව විද්වත් මතයයි. ) දොළොස්වැනි පරිඡේදයේ 53 වැනි ශ්ලෝකයේ සඳහන් වන්නේ මෙසේ ය.
ලෝක ගෝලයේ සැම තැන ම ඉන්නා මිනිස්සු තමා සිටින තැන ඉහළ යැයි සිතති. එහෙත් අවකාශයේ පවතින ගෝලයක උඩක් යටක් කොහි ද?
එහි ම 52 ශ්ලෝකය එක ම විෂ්කම්භයෙන් දෙපස ඇති රටවල් නම් කරයි.
එමෙන් ම භූගෝලය නම් විෂය ඈත අතීතයේ සිට ම භූගෝලාධ්‍යාය නම් විය. මේවා නො දන්නා සැම්සන් මහතා අතීතයේ බෞද්ධයන් පොළොව පැතලි යැයි සිතූ බව කියයි.
මේ වන විට විකටයකුගේ භූමිකාවට පූර්ණව අවතීර්ණ වී ඇති සැම්සන් මහතාට අනුකම්පා කිරීම පාඨකයන්ට භාර දී හේතුවාදීන් නිතර පෙනී සිටින යථාර්ථවාදයේ හා භෞතිකවාදයේ කඩා වැටීම ගැන සාකච්ඡා කරමි. යථාර්ථවාදය (realism) යනු අපට පරිබාහිර වූ නිරපේක්ෂ පැවැත්මක් ඇති බව ය. එය ඔවුහු වාස්තවිකත්වය (objectivity) , යථාර්ථය (reality) ලෙස නම් කරති. සරල උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් අපට සාපේක්ෂ චලිතය සැලකීමට හැකි ය. සාපේක්ෂ චලිතයෙන් කියැවෙන්නේ යමක් චලනය වන විට එක් එක් නිරීක්ෂකයාට සාපේක්ෂව පෙනෙන්නේ එකිනෙකට වෙනස් චලිත බව ය. දැන් යථාර්ථවාදියාට අනුව යථාර්ථය (reality) ඇත්තේ අපෙන් පරිබාහිරව ය. එනිසා අප එකිනෙකා මේ දකින චලිත සියල්ල ම යථාර්ථය විය නො හැකි ය. මෙහි දී යථාර්ථවාදියාට ප්‍රවේශයන් දෙකක් ඇත. එකක් යථාර්ථවත් චලිතයක් පිළිගැනීම ය. එවිට යථාර්ථයේ අපෙන් බාහිරව චලිතයක් ඇති අතර අප කරන්නේ එය නිරීක්ෂණය කිරීම ය. එය නිරීක්ෂණය කිරීම අපට අංග සම්පූර්ණව කළ නො හැකි ය. එනිසා එකිනෙකට වෙනස් නිරීක්ෂණ ලැබේ. ඒ නිරීක්ෂණ අතරින් උපරිම වශයෙන් සත්‍ය විය හැක්කේ එකක් පමණි. ඔබ පාසලේ ඉගෙන ගන්නා සත්‍ය චලිතය හා දෘශ්‍ය චලිතය යන වචන ගොඩනැඟෙන්නේ මේ අදහස මත ය. අනෙක් ප්‍රවේශය වන්නේ චලිතය ම යථාර්ථයක් නොවන බව කීමයි. එවිට යථාර්ථයේ ඇත්තේ චලිතය නොව වෙන කිසිවකි. එය විකෘති වී අපට චලිතය ලෙස මායාවක් දෘශ්‍යමාන වේ. නිවුටන් මෙහි දී පළමුවන ප්‍රවේශය ගත් අතර අයින්ස්ටයින් ගත්තේ දෙවන ප්‍රවේශයයි.
ද්‍රව්‍යවාදය (materialism) යනු යථාර්ථයේ පදනමේ ඇත්තේ ද්‍රව්‍ය පමණි යන මතය ය. ඔවුන්ට අනුව මනස ද්‍රව්‍යයේ මායාමය දෘශ්‍යමාන වීමකි. මනස මොළයට ඌනනය කිරීම එයින් ජනිත වූ අදහසකි.
කෙසේ වෙතත් මේ යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය යුරෝපයේ දී තීරණාත්මක ලෙස අභියෝගයට ලක් වූයේ ජෝජ් බාක්ලී (George Berkley) නම් දාර්ශනිකයා අතිනි. සමස්ත යථාර්ථවාදය ම සොලවා දැමීමට ඔහු සමත් වූයේ සිය A Treatise on Principles of Human Knowledge කෘතියෙනි. බාක්ලී යථාර්ථවාදීන්ගෙන් ඇහුවේ සරල හා මූලික ප්‍රශ්නයකි. අපට දැනෙන්නේ සංවේදන පමණි. ඔබ ඉදිරියේ ඇති පුටුවක් පිළිබඳව සිතන්න. ඔබට පුටුවේ රූපය පෙනෙනු ඇත. ඇල්ලූ විට දෘඩ බව දැනෙනු ඇත. තට්ටු කළ විට හඬක් ඇසෙනු ඇත. මෙසේ විවිධ සංවේදන ඇතිවනු ඇත. එහෙත් ඔබගේ කිසි ම ඉන්ද්‍රියකට 'පුටුව' දැනෙන්නේ නැත. පුටුව යනු මෙම සංවේදන ඇසුරු කරගනිමින් මනසින් නිර්මාණය කරගන්නා සංකල්පයක් පමණි. දැන් බාක්ලී අසන්නේ පුටුවෙහි අපට පරිබාහිර දෙයක් ඇති බව කීමට අපට ඇති හැකියාව කුමක් ද යන්නයි. එසේ පරිබාහිර යමක් ඇත යන්න හුදු විශ්වාසයක් ම පමණි. පුටුව යනු මනසේ නිර්මාණයකි. මේ තර්කයත් සමඟ යුරොපයේ යථාර්ථවාදය බිඳ වැටී ගියේ ය. අපට බාහිරව පවතින නිරපේක්ෂ යථාර්ථයක් ගැන අදහස අසරණව ගියේ ය.
මෙහි දී නූතන දර්ශනයේ පියා ලෙස සැලකෙන එම්මානුවෙල් කාන්ට් (Immanuel Kant) කීවේ බාහිර වාස්තවික යථාර්ථයක් තිබුණ ද , අපට ඒ ගැන කිසිවක් ම දැනගැනීමේ හැකියාවක් නැති බැවින් ඒ ගැන කතා කිරීම ඵලක් නො වන බවයි. ඒ වෙනුවට අපට පෙනෙන දැනෙන දේ අභ්‍යන්තරව විස්තර කිරීම දර්ශනයේ කාර්යය විය යුතු යැයි ඔහු කීවේ ය. යථාර්ථවාදය බිඳ වැටීමෙන් බටහිර නූතන දර්ශනවාද ඇති විය.
එහෙත් බාක්ලීට වියුක්ත සංකල්ප ගැන පැහැදිලි විග්‍රහයක් නො වීමත් කිතු දහමේ පසුබිමත් නිසා ඔහු ඉන්පසු දෙවියන් වහන්සේ වෙත තම මතය ඈඳුවේ ය. යමක් මගේ මනසේ හෝ දෙවියන් වහන්සේගේ මනසේ නැතිනම් එය නැත ලෙස බාක්ලීගේ මතය බොහෝවිට සාරාංශ වන්නේ ඒ නිසා ය.
ලංකාවේ තත්වය සැලකූ විට යථාර්ථවාදයට විරුද්ධ බාක්ලීගේ තර්කයට සමීප ඊටත් වඩා දියුණු තර්ක කිහිපයක් ම ත්‍රිපිටකයෙන් හා මිලින්ද ප්‍රශ්නය වැනි බෞද්ධ පොතපත්වලින් සොයා ගත හැකි ය. 1980 දශකයේ දී ආචාර්ය නලින් ද සිල්වා මහතා බෞද්ධ ආභාසය අනුව සිය නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ඥානවිභාග ( epistemology of constructive relativism ) මතය ඉදිරිපත් කරමින් වාස්තවික යථාර්ථයක් නො පවතින බව විස්තරාත්මකව පෙන්වා දුන්නේ බාක්ලී ආදීන්ට වඩා ඉදිරියට යමින් සංවේදනවල මනසින් ස්වායත්තභාවය පවා ප්‍රශ්න කරමිනි. මෙහි දී තවත් ඉදිරියට යමින් මනසේ පැවැත්ම පවා ප්‍රතික්ෂේප කෙරුණේ බුදු දහමට අනුව යමිනි.
නලින් ද සිල්වා මහතා සියලු යථාර්ථවාදීන්ට අභියෝගයක් කළේ ය. එනම් මනසට බාහිර යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන ලෙසයි. මෙහි අදහස වන්නේ මනස උපයෝගී කරගනිමින් කිනම් පෙන්වා දීමක් කළත් එය නැවත මනසේ අදහසක් ම වන බවයි. එනිසා වාස්තවික යථාර්ථයක් ඔප්පු කළ යුත්තේ මනසින් තොරව ය.
ලංකාවේ යථාර්ථවාදීන්ට මෙයට පිළිතුරු දීමට තබා ප්‍රශ්නය අවබෝධ කරගැනීමටවත් නො හැකි විය. මෙයින් පසු ශාස්ත්‍රීයව ලංකාවේ ද භෞතිකවාදය සුණු විසුණුව ගිය අතර ඉන්පසුව භෞතිකවාදීන් ලෙස තමන් හඳුන්වාගත්තේ ප්‍රමාණවත් හැදෑරීමක් සඳහා ප්‍රමාණවත් බුද්ධි කෞශල්‍යයක් නැති පිරිස පමණි.
මෙසේ යථාර්ථවාදය සමඟ ම ද්‍රව්‍යවාදය ද බිඳ වැටී ගියේ ද්‍රව්‍යය මනසට ද වඩා ද්විතීයික බව පෙනී ගිය බැවිනි. ඉන්පසුව ඉන්ද්‍රිය සංවේදනවලට මුල් තැන දෙන ඉන්ද්‍රියානුභූතවාදීහු (positivists) විශේෂයෙන් වියානා කවයේ දාර්ශනිකයන් වන කාර්නැප් ආදීන් සමහරක් 1930 සිට භෞතිකවාදය (physicalism) නමින් දර්ශනයක් ඇරඹූ අතර එය ද්‍රව්‍යවලට මුල් තැන දීමක් නොව සියලු වචන ඍජුව හෝ වක්‍රව සංවේදන මත රැඳෙන බව කීවකි. ලංකාවේ දී භෞතිකවාදය යන වචනය තවමත් යෙදෙන්නේ (ලෝකයේ ද තරමක් මෙසේ යෙදේ.) ද්‍රව්‍යවාදය සඳහා ම ය. මේ දර්ශනය ගැන සිංහලෙන් ලියැවුණු ලේඛන ඉතා අඩු වුව ද නලින් ද සිල්වා මහතාගේ 'විද්‍යා කතන්දර' කෘතිය යාන්ත්‍රික භෞතිකවාදීන් (ද්‍රව්‍යවාදීන්) හා භෞතිකවාදීන් (ඉන්ද්‍රියානුභූතවාදීන්) අතර දාර්ශනික හා විද්‍යා ගැටුම හෙළි කරන අගනා මූලාශ්‍රයකි.
හේතුවාදයේ යථාර්ථවාදයේ හා භෞතිකවාදයේ අසාර්ථකභාවය වටහා ගෙන විමසුම් නුවණ වර්ධන කර ගනිමින් සැම්සන් මහතා වැන්නන් පෙන්වන විකෘති මතවලින් මිදීමට පාඨකයන් සැලකිලිමත් විය යුතු ය.
නුතන දර්ශනයේ පියා යැයි සැලකෙන්නේ දෙකාර්ත්. ඊට හේතු වන්නේ බටහිර අඩුවැඩි වශයෙන් දෙතාර්ත්ට පසුව එන සියලුම දාර්ශනිකයන්ට පාහේ ඔහුව බලපා තිබීම යි. කාන්ට්ට ලැබෙන්නේ බොහොවේලාවට බුද්ධිවාදයත් අනුබූතිවාදයත් එක්කිරීමට උත්සාහගත් බටහිර පළමු දාර්ශනිකයාගේ තැන නේද?
ReplyDelete