'නිර්මාල් දේවසිරිලා' සමඟ සංවාදය

'නිර්මාල් දේවසිරිලා' සමඟ සංවාදය



ඊයේ (2018.04.09) නිර්මාල් දේවසිරි මහතා සමඟ පැවති සංවාදය බොහෝ දුරට සාර්ථකව කරගත හැකි විය.

සංවාදය සංවිධානය කළ ප්‍රදීප් ජයරත්න, වංගීස සුමනසේකර ඇතුළු පිරිසට ස්තූතිවන්ත වන අතර මාස ගණනාවකට පෙර ජානක වංශපුර මහතා සමඟ පැවති සංවාදය අවසානයේ දී මෙවැන්නක් සඳහා යෝජනා කළ නිර්මාල් දේවසිරි මහතාට ද ආසන්න අවස්ථාවේ දී මෙවැන්නක් සඳහා යෝජනා කළ ඇන්ටන් එම්. ෆර්නෑන්ඩු මහතාට ද ස්තූතිවන්ත වෙමි.

සංවාදය සජීවීව අන්තර්ජාලයට මුදා හළ කැලුම් ජයසුමන මහතාට ද කෘතඥතාව පළ කරමි.

එමෙන් ම පැමිණ සිට මීට සවන් දුන් පිරිසට ද මගේ කෘතඥතාවය පළකරමි.

නිර්මාල් දේවසිරි මහතා සහභාගී වූ සංවාද මා බලා ඇත්තේ එකක් දෙකක් නො වේ. කෙසේ නමුත් මෙවර සංවාදයේ දී නිර්මාල් මහතා භාවිත කළ උපායමාර්ගය අලුත් ය.

ප්‍රසිද්ධ සංවාදයක් හා කිහිප දෙනකු එක් වී නිවී හැනහිල්ලේ පෞද්ගලිකව කරන කතිකාවක එක්තරා වෙනසක් ඇත. පෞද්ගලික හමුවීම්වල දී එකිනෙකා පිළිබඳව අතීත අත්දැකීම් හා ඔවුන්ගේ මතවාද පිළිබඳව තමා දන්නා දේ ගැන පදනම් වෙමින් එතැන සිට කතා කළ හැකි ය.

එහෙත් ප්‍රසිද්ධ සංවාදයක අරමුණ එය නො වේ. එය සිදු කරන්නේ ප්‍රේක්ෂකයන් වෙනුවෙනි. එහි ප්‍රධාන ප්‍රතිලාභීහු ප්‍රේක්ෂකයෝ ය. ප්‍රසිද්ධ සංවාදයක් යනු ද එක්තරා ප්‍රාසාංගික අංගයකි. එය හුදෙක් දෙදෙනකු අතර වන කතාවක් අගක් මුලක් නැතිව තවත් පිරිසක් නැරඹීම නො වේ. ඇතැම් වේදිකා නාට්‍යවල නළුවකුට රඟ පෑමට ඇති චරිතය වන්නේ තමා ම ය. එසේ වූවා කියා එම නළුවාට තම භූමිකාව කුමක් දැයි වේදිකාව මත දී ගොඩනඟන නිරූපණයෙන් නිදහස් විය හැකි ද? නො හැකි ය. තමාට තමාව වේදිකාව මත නිර්මාණය කිරීමට සිදුවේ.

ප්‍රාසාංගික අංගයක් වන වාචික සංවාදයක දී තමාට තමාගේ ම චරිතය එය තුළ ම ගොඩ නැංවීමට සිදුවේ. සංවාදයක සාකච්චා වන්නේ මතවාද බැවින් තමා තමාව ම ගොඩනැඟීම යනු තම ස්ථාවරයන් ඉදිරිපත් කිරීම ය.

මෙහි දී මා මගේ අදහස් හා ස්ථාවරවයන් දැක් වූව ද නිර්මාල් මහතා පැවසූවේ තමාට අදහසක් කීමට නැති බවත් ප්‍රශ්න කිරීම් කිරීමට බලාපොරොත්තු වන බවත් ය. ඉන්පසු ඔහු ප්‍රශ්න කිරීම සිදු කළේ ය. කෙටියෙන් කිවහොත් නිර්මාල් මහතා තමාව ගොඩනැඟුවේ නැත. ගණනාථ පතිරණ කියන්නේ නිර්මාල් දේවසිරි යනු දේශපාලන ගන්දබ්බයකු බවයි. මෙතන දී තමාව නො දක්වා සිටිමින් ඔහු නිර්මාණය කළේ ද ගන්දබ්බයෙකි.

ඔහු අදහසක් නො දක්වා සිටි බැවින් ඔහුව ප්‍රශ්න කිරීම සඳහා මට ලැබුණු වාරය අර්ථ විරහිත විය. කියන්නට අදහසක් නැතැයි මුලින් ම පැවසූ අයකුගෙන් ප්‍රශ්න අසන්නේ කෙසේ ද?

කෙසේ නමුත් ඔහු මගෙන් විමසූ මුල් ම අපැහැදිලි ප්‍රශ්නය වූයේ ද ඔහුව ස්ථාන ගත කරන්නේ කෙසේ ද යන්නයි. සංවාදය තුළ ඔහු නිර්මාණය කළ ගන්දබ්බයා ස්ථාන ගත කරන්නේ කෙසේ ද? ඔහු මා ලියූ දේ කීයක් කියවා තිබේද? මීට වඩා දියුණු ස්ථාවරයක මා සිටි බව දන්නවා ද? ආදී වශයෙන් ප්‍රශ්න මගෙන් ඇසී ය. එයින් පෙනෙන්නේ නිර්මාල් යෝජනා කරන්නේ මේ සංවාදයට පෙර නිර්මාල්ගේ අදහස් හා ක්‍රියාකාරිත්වය මතු කොට ඊට පිළිතුරු දෙන ලෙසයි.

සංවාදයේ ඇති වූ ගන්දබ්බයාට පෙර සිටි නිර්මාල් දේවසිරි අපි දේවසිරි පූර්වභවිකයා ලෙස හඳුන්වමු. ප්‍රශ්නය වන්නේ පූර්වභවිකයකු ලෙස සිටින්නේ නිර්මාල් වන්නේත් නැති නොවන්නේත් නැති දේවසිරිලා බැවිනි.

එනම් එක් එක් අයගේ නිර්මාල් දේවසිරි නමින් හඳුනාගෙන ඇති පද්ධතිය විවිධ වීමයි. මෙහි හඳුනා ගැනීම යන්න වැරදි ය. එක් එක් අය එක් එක් දේවසිරිලා නිර්මාණය කරගෙන ඇත. දැන් සංවාදයේ වූයේ ගන්දබ්බයකු බැවින් මට ප්‍රවේශ දෙකක් තිබුණි. එකක් පූර්වභවික දේවසිරි කළ කී දෑ උපුටා ගෙන එම අදහස් බිඳ හෙළීමයි. එහෙත් එවිට එහි දී නිර්මාණය වූ ගන්දබ්බයාගෙන් මෙසේ කීවා/කළා නේ දැයි විමසීමට සිදුවේ. නිර්මාල් මහතා ලියූ දේවල පේළි උපුටා දැක්වීමටත් කී දේවල වීඩියෝ කොටස් පෙන්වීමටත් වේ යැයි මා නො සිතූ බැවින් එවැනි සාක්ෂ්‍ය ගෙන ගියේ නැත. එ නිසා මා ඔහු කියූ යමක් මතු කොට පෙන්වූ විට මා කී දෙය වෙනස් යැයි යම් දාර්ශනික වටරවුම් අපගමනයක් දැක්වීමට ඔහුට පුළුවන. ඒවාට ද පිළිතුරු දිය හැකි නමුත් කාලය එතෙක් නො නැවතී ගලා යන බැවින් එය ද ගැටලුකාරී ය. අනෙක් ප්‍රවේශය වන්නේ ගන්දබ්බයා ඉපදීමට සම්භාවිතාවක් ඇති ස්ථානවලට ප්‍රශ්න කිරීම් කිරීමයි.

කාලය සමඟ මේ ප්‍රවේශ දෙක ම භාවිතය තරමක් ප්‍රශ්නකාරී වුවත් ලැබී තිබුණ කාලය තුළ මේ ප්‍රවේශ දෙක ම හැකි උපරිමයෙන් යොදා ගැනීමට මට හැකි විය. ඒ නිසා සංවාදය සාර්ථක ය.

නිර්මාල් ස්වකීය ස්ථාවරය යන්තමින් පැහැදිලි කළේ අවසාන භාගයේ ය. ඒ පිළිබඳ ප්‍රශ්න කළා නම් කලින් කියන බවට කියූ දෙය අදාළ නොවන්නේ පැවසීමට යමක් නැතැයි මුලින් කියා ප්‍රශ්න කිරීම්වල අවකාශය අහෝසි කළ බැවිනි.

ගණනාථ ඔබේසේකර කෙරෙහි මා නිෂේධනීය ආකල්පයක් ඇති කළ බවට නිර්මාල් කී දෙය අසත්‍ය බව හඬපටයට සවන් දෙන්නන්ට වැටහෙනු ඇත.
ගණනාථ ඔබේසේකර ඍජුව සඳහන් කළේ සිංහල බෞද්ධ කුමක් හෝ යන්න නොව බෞද්ධ කුමක් හෝ (Buddhist Whatever)  යන්න බව කිව යුතු ය. එය මා අතින් සිදු වූ අත්වැරැද්දකි. ඒත් මූලික ස්ථාවරය මම වෙනස් නො කරමි. ජාතිය යන (නූතන) නාමකරණයෙන් ගැලවුණ ද එයින් අභිප්‍රේත අවශ්‍යතා සඳහා ඒ වෙනුවට යමක් ඕනෑ කරන බව ගණනාථ ඔබේසේකරගේ ද අදහස විය. එහෙත් ඔහු එය සෙව්වේ අතීතයේ පැවති සිංහල වචන අතරිනි. එහෙයින් ඔහු එය ආසන්නයේ ඇති සාසනය යන වචනයට කඩා වැටේ. ගණනාථ ඔබේසේකර ම පවසන ලෙස සාසනය හා nation වචන දෙක බහුඅර්ථවත් යැයි පැවසීමෙන් ගැටලුව විසඳෙන්නේ නැත. මේවා බහුඅර්ථවත් වෙන පරාසවල  (ඔබේසේකර ම ලෝක සාසන යන්න ගැන සඳහන් කරයි) වෙනස පිළිබඳව ඔබේසේකර සැලකිල්ලට නොගනී. ඒ වෙනුවට මෙහි නම් නොකළ සංකල්පයක වියහැකියාව පිළිබඳව ඔහු සැලකිල්ලට ගෙන නැත.

ජාතිකවාදීන් ඔබේසේකර විවේචනය කරන්නේ ඇයි දැයි නිර්මාල් මහතා අසයි. ඔබේසේකර පිළිබඳ කරුණ සියුම් ය. ගණනාථ කීර්තිය ලබා ගත් මාෂල්  සාහ්ලින් සමඟ විවාදයේ දී ගණනාථ ප්‍රකාශිතව 'ස්වදේශිකයන්'ගේ පැත්තේ සිටියි. දෙදෙනා ම දෙදෙනාට යුරෝකේන්ද්‍රීයවාදීන් ලෙස චෝදනා කරගනිති. දෙදෙනාම යුරෝ කේන්ද්‍රීයවාදීන් වන නමුත් ඒ ආකාර දෙකකිනි. මේ සමඟ දිමුතු සමන් වෙත්තසිංහ සමඟ ඇරඹූ සංවාදයක් ද ඇත. මෙය ඉදිරියට ගෙන යා හැක්කේ විවේකයක් ගෙන අදාළ පොත් කීපය නැවත කියවූ පසු ය.

ජී.සී. මෙන්ඩිස් මත පදනම් වී ය යනුවෙන් මා කීවේ වාමාංශිකයන් පුනරුච්චාරණය කරන බොහෝ අධ්‍යයනයන් හා මිථ්‍යා කථා (mythology) පිළිබඳ ජී.සී. මෙන්ඩිස් සාරාංශ ලෙස වාක්‍යයක් හෝ ලියා තිබීම නිසා ය. ජී.සී. මෙන්ඩිස් සිංහල විරෝධී ස්ථාවරයක වූවකු යැයි මම නො කියමි. ඔහු මහාවංශයේ අසංගත තැන් ප්‍රශ්න කළේ ය. බොහෝ ප්‍රචලිත වූ පසු කාලීන අධ්‍යයන ඔහු වාක්‍යයක් වශයෙන් හෝ සඳහන් කළ ඒවා ය. අනෙක් අතට මා මේ දිනවල බොහෝ සැලකිලිමත් වෙන වළගම්බා පිළිබඳ කතාවේ විසංවාදයන් පිළිබඳව ඔහු සඳහන් කළ තැනක් මට හමු වී නොමැත. ජී.සී. මෙන්ඩිස් මත පදනම් වී යැයි මා කියන්නේ ඒ අයුරිනි.

ලෙස්ලි ගුණවර්ධනගේ ලේඛන තුන් අවධියකට බෙදිය හැකි බව මගේ අදහසයි. ඔහු වෙත මගේ ඇති ප්‍රධාන විවේචනය වන්නේ භාෂා අනන්‍යතා හා භාෂා පරිණාමය පිළිබඳව ඔහු ඉදිරිපත් කරන සාවද්‍ය හා බංකොලොත් තර්ක පිළිබඳව හා ඔහුට මූලික දැනීමක්වත් නොමැති බව පැහැදිලිව පෙනෙන භාෂා පරිණාමය, වාග් විද්‍යාව හා නිරුක්ති පිළිබඳ කරුණු අගතිගාමීව තම අදහස් සනාථ කිරීමට බොහෝ වැඩි මාත්‍රාවකින් යොදා ගැනීමයි.

සුමුදු ගුරුගේ විමසූ ප්‍රශ්නය වචන නිපදවීම පිළිබඳව අවබෝධයකින් තොරව ඇසූවකි. බොහෝ පශ්චාත්නූතනවාදීන් There is nothing outside text යන ඩෙරීඩා කීවා යැයි කියන ප්‍රකාශය මත තීන්දු ගන්නට පෙළඹෙන්නේ එය සාවද්‍යව වටහා ගනිමිනි. ඇත්තෙන් ම මේ උදාන වාක්‍යයක්ව ඇති වාක්‍යය ගයත්‍රි ස්පිවැක්ගේ සාවද්‍ය පරිවර්තනයකි. il n'y a pas de hors-texte යන්න පරිවර්තනය කළ යුත්තේ There is no-outside text ලෙස මිස There is nothing outside text ලෙස නො වේ. ඇත්තෙන් ම There is nothing outside text යන්න ඩෙරීඩා කීවා යැයි සිතන ෆූකෝ ඔහුට දෝෂාරෝපණය කරයි. ෆූකෝ ඩෙරීඩාට "දෝෂාරෝපණය" කර ඇත්තේ සිසුන්ට  Il n'y a rien en dehors du text (There is nothing outside the text) ලෙස උගන්වනවා ලෙසිනි. එහිදී ඩෙරීඩා තමා There is nothing outside the text යන්නක් නොකී බවක් පිළිතුරු වශයෙන් සඳහන් කරයි. මෙහි දී ඩෙරීඩා අදහස් කර ඇත්තේ පද්ධතිය හා කේන්ද්‍රය පිළිබඳ ඔහුගේ ගොඩනැංවීම සම්බන්ධ අදහසකි. මෙහිදී මහින්ද පතිරණ මහතා බොහෝ පශ්චාත්නූතනවාදීන්ට වඩා ඉදිරියෙන් සිටින බව කිව යුතු ය. ඔහු පරිවර්තන වරද පිළිබඳ සිද්ධිය නොදැන සිටිය ද සන්දර්භය අනුව අර්ථය ග්‍රහණය කොට ගනී. (නලින් ස්වාරිස්ගේ ඉතා පැටලිලි සහගත විස්තරවලින් පසු මේ පිළිබඳව පශ්චාත්නූතනවාදීන් යැයි කියන්නන් ප්‍රමාණවත් අධ්‍යයනයක් කොට නැත.)

වචන නැති සංකල්ප පවතී. එවැනි සංකල්ප නැතැයි කීම විහිළුවකි.

කපිල ක්‍රිශාන්ත අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම යනු වෙන ම සංවාදයක් කිරීමකි. එවැන්නකට පෙර ශබ්දකෝශ භාවිතය පිළිබඳව පාඨමාලවක් පැවැත්වීම අවශ්‍ය වේ.

නිර්මාල් දේවසිරි තමා බලාපොරොත්තු වූ පරාසය මෙය නොවේ යැයි කීම පිළිගත නොහැක්කේ ප්‍රදීප් ජයරත්න වෙත මා ඉදිරිපත් කළ උපමාතෘකාවලට නිර්මාල් එකඟ වූ බැවිනි.


* ජාතිකවාදීන්ට දුරකථන පරිගණක ෆේස්බුක් භාවිත කිරීමට කලිසම් ඇඳීමට අයිතියක් තිබේ ද?



*රාජ්‍යය යනු කුමක් ද?

* රාජ්‍යයේ කාර්යභාරය කුමක් ද?
*ජාතිකවාදය හා ජාතිකවාදීන්ගේ අභිලාෂය කුමක් ද?


*සිංහල බෞද්ධ රාජ්‍යයේ ආරම්භය හා පුරාවෘත

*සිංහල අනන්‍යතාව
*සිංහල බෞද්ධ චින්තනය මත රාජ්‍යය ගොඩ නැංවිය යුතු ද? සුදුසු ද? ඇයි?


* බටහිරකරණය යනු කුමක් ද?


මෙහි අවසන් කලාප නිසි පරිදි ආවරණය කෙරුණේ නැත. ඒ කාලය ප්‍රමාණවත් නොවුණු හේතුවෙනි. මේ පිළිබඳව දේවසිරි මහතාට යමක් කීමට නොතිබුණු බව අවසාන භාගයේ ඔහු කී දෙයින් කෙසේවත් ඇඟ වෙන්නේ නැත.

සංවාදයේ කලාපය නිශ්චිතව අර්ථ දක්වා තිබුණු බැවින් පණ්ඩුකාභය කතාව වැනි දෑ අතුරුකතා නො වේ. ඒවා පිළිබඳ නිර්මාල් සිය මතය ඉදිරිපත් කළේ අවසානයේ දී බැවින්

විදර්ශන කන්නංගරගේ, වංගීස සුමනසේකරගේ හා ශිරන්ත චාමරගේ මැදිහත් වීම් අගය කරමි.

විදර්ශන කන්නංගර හා අවසාන මොහොතේ නිර්මාල් දේවසිරි මතු කරන ලද අදහස් කැලුම් නවරත්න පෞද්ගලිකව හමුවී දැක්වූ අදහස් වෙත ද අවධානය යොමු කිරීමේ අරමුණ මුල සිට ම මට ද තිබුණ ද කාල වේලාව ප්‍රමාණවත් නො වීම තිබූ ප්‍රශ්නයයි.ඉදිරියේ දී මේ පිළිබඳව ඉලක්ක කොටගෙන ලිවීමට හෝ වෙනත් මාර්ගයකින් අදහස් දැක්වීමක් කිරීමට බලාපොරොත්තු වෙමි.

කෙසේ නමුත් නිර්මාල්ට නොව නිර්මාල්ලාට පිළිතුරු දීමට සිදු වූ සංවාදය සාර්ථකව අවසන් කළෙමි. සිංහල ජාතිය හා ජාතිය සමඟ රාජ්‍යයේ සම්බන්ධතාව ගැන අදහසට විරුද්ධව ප්‍රබල දෘඩ ප්‍රතිතර්ක ඇති නිර්මාල් කෙනෙක් නිර්මාණය කරගත් අයට මෙන් ම එවන් ලෙස්ලි ගුණවර්ධන හෝ ගණනාථ ඔබේසේකර කෙනෙක් නිර්මාණය කරගත් අයට ද එවන් අර්ථයකින් ඒ මත පදනම් වන අයට ද මෙයින් පසු තම නිර්මාණය සුණු විසුණු කොට දැමීමට සිදුවේ.

එහෙයින් මෙය සාර්ථක සංවාදයකි.

සංවාදයේ කැලුම් ජයසුමන මහතා ඉදිරිපත් කළ වීඩියෝ කොටස් දෙකේ සංවාදයේ කොටසක් අඩංගු වී නැත. ඒ අතරමග දී එක්තරා අනපේක්ෂිත සිද්ධියක් හේතුවෙන් ඔහුට පටිගත කිරීම් නැවැත්වීමට සිදු වීම ය.

හඬපටයේ සමස්ත සංවාදය ඇත.

  - තමලු මලිත්ත පියදිගම 



වීඩියෝ:


නිර්මාල් දේවසිරි ගෙවිඳු කුමාරතුංග සමඟ ජාතිකවාදය පිළිබඳ වෙනත් සාකච්චාවක දී දැක්වූ අදහස් හා ප්‍රවේශය >>

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

අලුත් ම සටහන

වෑකන්දේ කළු පතිරණ Black Panther

වෑකන්දේ කළු පතිරණ               -  තමලු  Alchemist Magazine  Marvel ආයතනයේ නිර්මාණයක් වූ Black Panther චිත්‍රකථා චරි...

වැඩිපුර කියවූ ලිපි