ගැලීලියෝ කෙප්ලර් කේන්දර බැලූ හැටි

2017.12.20  විදුසර

             උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ


 ගැලීලියෝ තමා සඳහා නිර්මාණය කරගත් කේන්දර සටහන

පුරා මාස හතක් ඇදී ගිය සංවාදයක් එහි අවසානය කරා එළඹී ඇත. පසුගිය සතියේ සැම්සන් මහතා සිය අවසන් ලිපිය ලියා තිබේ. මෙවර මගේ ලිපියෙන් සැම්සන් මහතා ප්‍රශ්න කළ නො හැකි වුවත් ඔහුගේ පසුගිය සතියේ ලිපියේද පවතින සාවද්‍ය කරුණු ගොන්න හෙළිදරවු කිරීම පාඨකයන් වෙනුවෙන් මා හට ඇති වගකීමකි. මෙනිසා ඉතා කෙටියෙන් සැම්සන් මහතාගේ ලිපියේ සාවද්‍ය කරුණු විමසීමට බලාපොරොත්තු වෙමි.

තරුවල පිහිටුම් වෙනස් වීම (stellar paradox) පිළිබඳ කරුණ සලකන විට මාස හයක දී ආසන්න තරුවල පිහිටීම් වෙනස් වීම මැනීමට ප්‍රබල උපකරණ අවශ්‍ය නොවේ යන සැම්සන් මහතාගේ ප්‍රකාශය අසත්‍යයකි. හිරුට ළඟින් ම ඇති තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චූරි තරුවේ මෙම කෝණය පවා විකලා 0.7687ක් පමණි. මෙය ඉතා ප්‍රබල උපකරණ මඟින් මිස නිරීක්ෂණය කිරීමට අපහසු ය. අනෙක් තාරකාවල මෙම අගය මීටත් වඩා කුඩා ය. අනෙක් අතට මේ සංසිද්ධිය පවා පෘථිවියට සාපේක්ෂ ඛගෝලයේ චලිතය මඟින් පහසුවෙන් පැහැදිලි කළ හැක්කකි. ඍතු භේදය පෘථිවි කේන්ද්‍රවාදය මඟින් පැහැදිලි කළ හැකි ආකාරය මම මීට පෙර දැක්වූයෙමි. සැම්සන් මහතා සූර්යයා පෘථිවිය වටා චලනය වීම අසත්‍යයක් බව පූර්ව උපකල්පනය කොට එම කරුණ මත ම ඍතු ඇති වීම එයින් පැහැදිලි කළ නො හැකි යැයි පවසමින් නැවත එය ම පෘථිවි කේන්ද්‍රවාදය අසත්‍ය බව කීමට උදාහරණයක් ලෙස ලබා දීම විසම චක්‍රයක හිරවීමකි. විසම චක්‍රයන්වල හිරවීම ශාස්ත්‍රීය අන්ධභාවය ඇති කරන්නකි. ජ්‍යෝතිෂ්‍ය නිර්මාණය කළ ඍෂිවරුන්ට තිබුණේ අල්ප දැනුමකි වැනි ප්‍රකාශ ද එලෙසින් ම කිසිදු ගැඹුරු අධ්‍යයනයකින් තොරව හිතුමතයේ කියන දේ පමණක් බවට සැක නැත. අපිචක්‍රක්‍රමය යල් පැන ගිය ක්‍රමයක් බවට ඔහු පවසන්නේ සාවද්‍ය කරුණකි. අපිචක්‍ර යනු ග්‍රහලෝක චලිතයේ ෆූරියර් ශ්‍රේණියයි. එය යල් පැන ගොස් නැත. ඍජුව ඉතා සංකීර්ණ ගණනයන් පවා පහසුවෙන් කිරීමට මෙය ඉතා හොඳ ක්‍රමවේදයකි. ග්‍රහයන් මිනිසුන් උපන් වෙලාවල් මතක තබා ගනිතැයි යන්න සැම්සන් මහතාගේ මනසේ පහළ වූ විපරීත සිතුවිල්ලක් මිස ජ්‍යෝතිෂ්‍ය පද්ධතිවල පැමිණෙන්නක් නො වේ. 1950 ආසන්න කාලයේ දී පාසල් අධ්‍යාපනය ලැබූ සුළුතරයක් පමණක් පොළොව ගෝලාකාර බව දැන සිටියේ නම් ඊට හේතුව වන්නේ විදේශීය ආක්‍රමණ නිසා අපගේ පැවති දේශීය අධ්‍යාපන ක්‍රමය පරිහානියට ගොස් තිබීම පමණි. එය බෞද්ධ මතය ලෙස හුවා දැක්වීම කෙතරම් අසාධාරණ ද? පැරණි සිංහල බෞද්ධයන් පොළොව ගෝලාකාර බව දැන සිටියේ යැයි මා පෙන්වූයේ ඉහළ මට්ටමේ පැරණි ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකකින් උදාහරණ දක්වමිනි.

මා වරක් බ්ලොග් අඩවියක් ගැන සඳහන් කළේ සැම්සන් මහතාට තමන් වැපුරූ දෙයෙහි ප්‍රතිඵල ලෙස නෙළන්නට වී ඇති ආන්තික ප්‍රචණ්ඩත්වය ගැන පෙන්වා දීමට මිස එයින් කරුණු දැක්වීමට නොවේ. එය මා නිශ්චිතව ම නො දැක්වුවේ මෙම සංවාදයේ ඔහු නොමැති බැවින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නොමැති තැනක ඔහුගේ නම සඳහන් කිරීම ආචාරධර්මීයව සුදුසු නොවන නිසා ය. මේ බව නොතේරෙන්නා සේ රංගනයක යෙදෙන සැම්සන් මහතා එය මගේ තර්කයන්ට මූලාශ්‍රයක් ලෙස හුවා දැක්වීමේ අසාර්ථක උත්සාහයක යෙදී ඇත.

මෙවන් සංවාදයක් ඇති වූයේ ඇයි දැයි මින්පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. බටහිර අධිරාජ්‍යවාදීන් අප රට යටත් කරගත් පසුව තම බලය පවත්වා ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හ. ඍජු ආධිපත්‍යය නොමැති අදත් ඔවුහු එම උපක්‍රම යොදති. දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන අංශ ඔස්සේ අධිරාජ්‍යවාදී බලපෑම් එල්ල කිරීම ගැන බොහෝ දෙනා දැනුවත් ය. ඊට එරෙහිව පෙළගැසීමට මිනිස්සු එකතු වෙති. අවාසනාවකට බටහිර ආධිපත්‍යය ගොඩනඟන සූක්ෂ්ම ම ආකාරය බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ඒ දැනුම් ආධිපත්‍යයයි. මේ බව මුල් වරට හෙළිදරවු කොට දුන්නේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ය. ඒ විදුසර හා දිවයින පුවත්පත්වලිනි. බටහිරයන් ඔවුන්ගේ විද්‍යාව හා අනෙක් ශාස්ත්‍ර අපට උගන්වන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන් නො වේ. බටහිරයන්ගේ විද්‍යාව හා ශාස්ත්‍ර ගොඩනැඟී ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත ය. එය අපගේ චින්තනයෙන් වෙනස් ය. එහෙයින් අපට මේ ආගන්තුක විද්‍යාවන්හි පතුළට කිඳා බැස නිර්මාණකරණයේ යෙදිය නො හැකි ය. අපට කළ හැක්කේ මතුපිට සුළු කාර්යයන් කිරීම පමණකි. බටහිර විද්‍යාවට සාදා දී ඇති ආධිපත්‍ය තුළ නිමිද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, ඖෂධ, තාක්ෂණය ආදී සියල්ල ආනයනය කෙරේ. මේ නිසා ඇති වී තිබෙන ප්‍රශ්නවල නිමක් නැත. යටත් විජිත පිහිට වූ මුල් කාලයේ ඇතැම් ඉංග්‍රීසින් ස්වදේශිකයන්ට බ්‍රිතාන්‍ය අධ්‍යාපනය දීමට එරෙහි විය. එහි දී පත්කර එවූ කමිටුවේ ප්‍රධානී මැකෝලි ස්වාමිවරයා එම අදහස ප්‍රතික්ෂේප කොට බටහිර අධ්‍යාපනය නියම කරමින් පැවසුවේ යටත් විජිතවල ලෙයින් හා හමින් ස්වදේශිකයන් වන සිතුම් පැතුම්වලින් හා සංස්කෘතියෙන් යුරෝපීයයන් වන ජන කොටසක් බිහි කළ යුතු බවයි. මෙය අර්බුදයේ එක් පැතිකඩකි. ආර්ථික ආධිපත්‍යය පවා දැනුම් ආධිපත්‍ය මත තීරණය වේ.

"ආර්ථික විද්‍යාඥයන් අපට පවසන්නේ භාණ්ඩයක මිල නියම වන්නේ වෙළෙඳ පොළෙහි බව ය. මිනිසාගෙන් ස්වායත්තව, ස්වාධීනව, වෙළෙඳ පොළෙහි නියම ක්‍රියාත්මක වන්නේ යැයි ඔවුහු අපට පවසති. ඉල්ලුම සැපයුම වැනි දෑ පදනම් කර ගෙන ගමේ වෙළඳ පොළෙහි සිට ලෝක වෙළෙඳ පොළ දක්වා සෑම තැනකදී ම මිල නියම වන බව අපට කියා දෙනු ලැබේ.එහෙත් එය මුසාවකි. ලෝක වෙළෙඳ පොළෙහි මිල නියම නොවේ. එහි දී සිදු වන්නේ මිල නියම කිරීමකි. මිල නියම කිරීම යනු මිල නියම වීම නොවේ. මිල නියම කෙරෙන්නේ මිනිසුන්ගේ මැදිහත් වීමෙනි. එහිදී ඉල්ලුම සැපයුමට වඩා බලපාන්නේ ලෝක අධිරාජ්‍යවාදයයි."

            නිදහස දිනා ගැනීම , නලින් ද සිල්වා

(මේ හා සමගාමී අදහසක් ප්‍රෙබිෂ් හා සිංගර් යන ආර්ථික විශේෂඥයන්ගේ වාර්තා අනුව ද ලැබී ඇත)

අපට උගන්වන තාක්ෂණය පවා කාර්යක්ෂම නැත. සැබෑ තාක්ෂණික විධික්‍රම පවතින්නේ ව්‍යාපාරවල වෙළඳ රහස් ලෙස ය. බටහිර දැනුමෙන් අපට වැඩක් ගත නොහැකි බව බටහිරයෝ දනිති.

මේ උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ අපේ චින්තනය අනුව අපට හුරු පුරුදු අපේ විද්‍යාවන් ශාස්ත්‍රයන් තාක්ෂණයන් බිහිකිරීමයි. තිබූ මෙවන් දේ නැවත මතු කිරීමයි. අපගේ පැරණි ශාස්ත්‍රයන් අධ්‍යාත්මික වේ. ඒවා ජ්‍යෝතිෂ්‍යය හා ගුප්ත යැයි කියන විද්‍යා සමඟ ද බැඳී පවතී. අපගේ විද්‍යාවන් ගොඩනැඟීම පියවර කිහිපයකින් යුතු ය.


*අපගේ න්‍යාය (logic) හා ඥානවිභාගය (epistemology) හඳුනා ගැනීම

*පැරණි ශාස්ත්‍රවල මූලික මූලාශ්‍ර එක් රැස් කිරීම
*එම මූලාශ්‍ර නැවත මුද්‍රණය කිරීම, පරිවර්තනය කිරීම, ප්‍රචලිත කිරීම අධ්‍යයනය කිරීම
*ජ්‍යෝතිෂ්‍ය, ගුප්ත විද්‍යා හා අධ්‍යාත්මික ප්‍රපංච සමඟ බැඳුණු ශාස්ත්‍ර අධ්‍යයනය
*ජනප්‍රවාදවල කියැවෙන දැනුම් හා තාක්ෂණයන් ගවේෂණය
* අප විසින් නව දැනුම් නිර්මාණය කිරීම
* වෙනත් සංස්කෘතිවල දැනුම් අවශෝෂණය කිරීම 
* අපගේ පැරණි ශාස්ත්‍ර සංශෝධයන්ට ලක් කරමින් නව දැනුම් නිපදවීම

මේ කටයුතු සාර්ථක කරගැනීමට අප අපගේ අතීත දැනුම වෙත යා යුතු ය.

බටහිර විද්‍යාව එක්තරා යුගයක ඉස්මතු වූයේ එවකට බටහිර සමාජයේ ගල්ගැසී තිබූ සමහර ඇදහිලි ප්‍රශ්න කිරීමෙනි. එයින් ඇරඹුණු බටහිර විද්‍යාව ක්‍රමයෙන් වර්ධනය වූ අතර උත්ප්‍රාසාත්මක ලෙස අද වන විට සිදු වී ඇත්තේ එය ද ගල් ගැසී ගිය තවත් ඇදහිල්ලක් බවට ම පත් වීමයි. එපමණක් නොව එය අධිරාජ්‍යවාදීන්ගේ මර්දක අවියක් ද වී ඇත.

මේ මධ්‍යකාලීන පල්ලිවලවත් නොතිබූ තරමට ම සීමාන්තික වූ විමර්ශනශීලීත්වයක් ඇති විද්‍යා පල්ලියේ මෙරට නියෝජිතයන් සේ පෙනී සිටින්නේ භෞතිකවාදී පිරිස් ය. ඔවුහු තමන් බටහිර විද්‍යාවේ නියෝජිතයන් බව පෙන්වාලමින් දේශීය පද්ධතිවලට පහර දෙති. හාස්‍ය ජනක ලෙස ඔවුන් එම පද්ධති හැඳින ගන්නේ අහුමුළුවලින් අල්ලා ගැනීමෙනි. බටහිර විද්‍යාව භක්තියෙන් ඇදහූව ද මොවුන්ට බටහිර විද්‍යාව පිළිබඳවවත් නිසි අවබෝධයක් නැත. මූලාශ්‍ර විකෘති කිරීමේ සිට සාවද්‍ය තර්ක හා අභියෝග එල්ල කිරීම දක්වාත් පුද්ගල නාම ප්‍රකාශන නාම හා නිලතල යොදා ගනිමින් ඒවා අධිකාරීත්වයෙන් පැටවීම දක්වා නොපණත්කම්වල මොවුහු නිරත වෙති. මොවුන්ගෙන් සමහරුන් වාචිකව අධිරාජ්‍ය විරෝධීන් වුව ද අවසාන අර්ථයෙන් මොවුන් සියල්ලන් ම අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බවට පත්වී ඇත. එහෙයින් මොවුන්ගේ අධානග්‍රාහී බව, බොළඳකම හා මොවුන් අතින් කෙරෙන මූලාශ්‍ර විකෘති හා සාවද්‍ය කරුණු හා තර්ක දැක්වීම් හෙළි දරවු කිරීම දේශීය දැනුම් පද්ධතියක් කරා යන ගමනේ එක් මූලික පියවරකි. මොවුන් බෞද්ධ මූලාශ්‍ර ද විකෘති කරන බැවින් බුදු දහමේ සුරක්ෂිතභාවය සඳහාත් මෙය ඉතා වැදගත් ය.

ශාස්ත්‍රීය මට්ටමෙන් භෞතිකවාදී දර්ශනය හදාළ හා එය පිළිගත් කිහිප දෙනකු සමඟ අප කලක පටන් සමාජ මාධ්‍ය අවකාශයේ  සංවාදයේ නිරත වීමු. එහි දී අපට පෙනී ගියේ සාමාන්‍ය ජනතාවගේ දර්ශන පිළිබඳ දැනුම ඉතා අවම මට්ටමක පවතින බවත් මේ වන විට ඉතිහාසයේ කුණු බක්කියට ම විසි වී ඇති හේතුවාදයේ අසාර්ථක බව පිළිබඳවත් සාමාන්‍ය ජනතාව නො දැනුවත් බව ය. භෞතිකවාදී යැයි කියන බොහෝ දෙනා ඉතා බොළඳ ගණයේ ඇති කොවුර්ගේ අභියෝග පවා ඉතා වැදගත් තර්ක බව සිතා සිටිති. සාමාන්‍ය ජනයාට මාධ්‍යවලින් විද්වතුන් ලෙස දකින්නට ලැබෙන්නේ ද දර්ශනය හෝ විද්‍යාව ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නො කළ එහෙන් මෙහෙන් අහුලාගත් දැයින් හිතු මතයේ අදහස් ප්‍රකාශ කරන ව්‍යවහාරික වෘත්තීන්වල නාමය භාවිත කරමින් සමාජ තත්වයක් ගොඩ නඟා ගත් පිරිසක් මිස සැබෑ අධ්‍යයනයක් කළ පිරිසක් නො වේ. මෙහි ප්‍රතිඵලය ලෙස භෞතිකවාදී සංවාදය ලෙස සාමාන්‍ය ජනයා හැඳිනගන්නේ ඉබාගාතේ කෙරෙන කේන්දර පුනර්භව විරෝධයකි. මෙවන් පිරිස් විද්වතුන් සේ හුවා දැක්වෙන විට අනෙක් පසින් ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාව පිළිබඳ ද මෙවන් නිසි අධ්‍යයනයෙන් තොර පිරිස්වලට මාධ්‍ය ඔස්සේ දොරගුලු විවෘත විය. මේ එක තැන පල් වෙන සංවාද රැල්ලෙන් ජනතාව මුදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.

හේතුවාදීන් සමඟ සංවාද කිරීම දර්ශනය විධිමත්ව උගත් බොහෝ දෙනා සලකන්නේ කිලිටි රාජකාරියක් ලෙසිනි. එහෙත් මා විශ්වාස කරන්නේ සාමාන්‍ය ජනතාව අතරට නොගොසින් සීමිත පිරිසක් අතර සංවාද කිරීම අපගේ යුතුකම නොවන බවයි. සාමාන්‍ය ජනතාව කොටු වී සිටින මේ සිරගෙය බිඳ දමා ඔවුන්ට ආලෝකය සැපයීම අපගේ වගකීමකි. මීට ආරම්භයක් වශයෙන් මා විදුසර තෝරා ගත්තේ එය ලංකාවේ අනාගත පරපුරට බලපෑම් කළ හැකි එමෙන් ම බුද්ධිමත් ශිෂ්‍යයින් වෙත ආමන්ත්‍රණය කිරීමට යොදා ගත හැකි විමර්ශනශීලී පාඨක පිරිසක් එක් රොක් වී සිටිනා පුවත්පතක් නිසාවෙනි. ලංකාවේ හේතුවාදීන්ගේ ප්‍රධාන මාතෘකාව ජ්‍යෝතිෂ්‍ය විරෝධයයි. කේ.ආර්. අභයසිංහ මහතා මෙහි පළ කළ "ජ්‍යෝතිෂ්‍යය මුළාවක් ම ය" ලිපියට ඉතා කෙටි පිළිතුරු ලිපියක් මා සැපයූයේ ඒ අනුව ය. එම ප්‍රතිචාරය සංවාදයක් බවට හරවමින් විදුසර පාඨකයන්ගේ දැනුමේ නිම් වළලු පුළුල් වීමට අවස්ථාවක් සැපයීම පිළිබඳව අභයසිංහ මහතාට අප සියල්ලන්ගේ ම කෘතඥතාව හිමි විය යුතු ය. ඉන්පසුව සංවාදයට එක් වූ සැම්සන් ගුණතිලක මහතාට ද මාහට සහය දක්වමින් සංවාදයට එළඹුණු දිලුම් සෙනවිරත්න මහතාට ද මාගේ ස්තූතිය හිමි වේ. අභයසිංහ මහතා මට කිසිසේත් අදාළ නොවන ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ අභියෝග පිළිබඳ නිතර නිතර සඳහන් කිරීම හේතුවෙන් මේ සංවාදය අතරතුර දී මා සතිඅන්ත ජාතික පුවත්පතක කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීයභාවය හෙළි දරවු කරමින් ලිපි පෙළක් පළ කළෙමි. ඒ කාර්යයට මා යොමු කිරීම පිළිබඳව ඒ මහතාට ස්තූතිවන්ත වෙමි. මාස හතක සංවාදයකින් පසු පාඨකයන්ට දැන ගත හැකි වූයේ කුමක් දැයි මීළඟට අපි විමසා බලමු.

සංවාදයට එළඹෙමින් මා පියවර දෙකකින් තර්ක කළෙමි. පළමු පියවර වූයේ පෘථිවි කේන්ද්‍රවාදය ද සූර්ය කේන්ද්‍රවාදය හා සමාන නිරවද්‍යතාවයෙන් ම ප්‍රතිඵල ලබා දෙන බැවින් පෘථිවි කේන්ද්‍රවාදය මත ගොඩනැඟුණු නිසා ජ්‍යෝතිෂ්‍යය බැහැර කළ නො හැකි යන්න ය. දෙවැනි පියවර වූයේ ජ්‍යෝතිෂ්‍යයේ සිදු කෙරෙන්නේ මිනිස් සමාජයේ චක්‍රීය හැසිරීම් ආකාශ වස්තූන්ගේ චක්‍රීය චලිත රටා සමඟ ගැළපීමක් බවයි. වෙනත් අයුරකින් කියන්නේ නම් මිනිස් සමාජයේ ඇතැම් හැසිරීම් කාලයේ ශ්‍රිත ලෙස පවතී. අප කාලය මනින්නේ ආකාශ වස්තුවල චලිතයන් පාදක කර ගනිමින් (උදා දිනය, වසර) බැවින් අවසානයේ මෙම ශ්‍රිත ග්‍රහ චලිතයන්හි ශ්‍රිත ම වේ. එනම් ග්‍රහ පිහිටීම් අනුව අනාවැකි කීමේ හැකියාවක් ඇත. ඒ බව හේතුවාදීන්ට බැහැර කළ නො හැකි ය. හේතුවාදීන් කියන පරිදි මනස මොළයේ ප්‍රතිඵලයක් නම් මෙහි පදනම ඉතා දැඩි ලෙස ශක්තිමත් වේ. එ නිසා හේතුවාදීන්ට නම් කෙසේවත් ම ජ්‍යොතිෂයට විරුද්ධ විය නො හැකි ය.

මින් පළමු පියවරට අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය එකඟ විය. දෙවන පියවරට පිළිතුරක් මේ මාස හතේ දී ම ලැබුණේ නැත. එය නො දුටුවා සේ ම සිටීම ප්‍රශ්න කළ විට එය නව කල්පිතයක් ලෙස නම් කරමින් ඒ සඳහා මවෙත සුබ පැතුමක් ද සැම්සන් මහතාගෙන් ලැබුණි. එය කල්පිතයක් නොව ව්‍යුත්පන්නයක් බව මා පෙන්වා දුන් පසු ඊට ප්‍රතිචාරයක් දැක්වීමට හේතුවාදී පාර්ශ්වය අපොහොසත් විය. මේ අපගේ සංවාදයේ අරටුවයි. මාස හතක් තිස්සේ ම ඒ අරටුව අසළකින්වත් පොරෝ පහරක් වැදුණේ නැත.

මෙසේ ජ්‍යෝතිෂ්‍යයේ සෛද්ධාන්තික විභවය පිළිබඳ කේන්ද්‍රීය තර්කය නිරුපද්‍රිතව තිබිය දී සංවාදය සිදුවූයේ පරිධියේ කරුණුවල ය. එයින් කිසිසේත් ම පාඨකයන්ට අවැඩක් නොවන්නට ඇත. අතීත පෙරදිග ජනයා පොළොව ගෝලාකාර බව දැන සිටි බව, ෂෝන් කාල්සන් පරීක්ෂණ ආදී ජ්‍යෝතිෂ්‍ය විරෝධී පරීක්ෂණවල අසාර්ථකත්වය, සූර්ය කේන්ද්‍රවාදය පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදි හෝ දියුණු නොවන බව, සාපේක්ෂතාවාදය, ගුප්ත විද්‍යාව බෘනෝගේ මරණය හා කොපර්නිකස් ගැලීලියෝ සම්බන්ධ සැබෑ ඉතිහාසය අපිචක්‍ර සූර්ය සිද්ධාන්තය පිළිබඳ දැනුම් සම්භාරයක් පාඨකයන්ට ලැබෙන්නට ඇත. මේ සංවාදයෙන් ජ්‍යෝතිෂ්‍ය විරෝධියකුට තම මතය සනාථ කිරීමට උපයෝගී කරගත හැකි තර්ක කීයක් ලැබෙන්නට ඇති ද? එය පාඨකයන්ට සිතා බැලීමට ප්‍රශ්නයක් සේ ඉතුරු කරමි.

හේතුවාදීන් මූලාශ්‍ර විකෘති කරන ආකාරයත් නක්ඛත්ත ජාතකය කාලාම සූත්‍රය විකෘති ලෙස අර්ථ දක්වන ආකාරයත් මෙහි දී හෙළි දරවු වූ අතර දාර්ශනික තලයේ හේතුවාදයේ භෞතිකවාදයේ පරාජය ගැනත් පාඨකයන්ට අවබෝධයක් ලැබෙන්නට ඇත. ශාක පුනර්භවයට පත් නොවන්නේ ඇයි ද යන්නට මා දුන් පිළිතුරට ද අභියෝග එල්ල වූයේ නැත.

කෙසේ නමුත් හේතුවාදීන්ගේ පෘථිවි කේන්ද්‍රවාද විරෝධී හා ජ්‍යෝතිෂ්‍ය විරෝධී සුපුරුදු තර්ක කිහිපයක් මෙහි ඉස්මතු වූයේ නැත. එකක් නම් රාහු හා කේතු යනු කල්පිත ග්‍රහයන් ය යන්නයි. මොවුන්ට අමතක වන්නේ අප භාවිත කරන විද්‍යුත් මෙවලම් නිර්මාණය කිරීමේ දී ධන සිට ඍණට ගලන කල්පිත ධාරාවක (සම්මත ධාරාවක) සංකල්පය යොදා ගත් බවයි. අර්ධ සන්නායකවල ඇති කුහර ද එවැනි කල්පිත සංකල්පයකි. පෘථිවි කේන්ද්‍රවාදයට විරුද්ධව ආලෝකය යොදා ගෙන කළ පරීක්ෂණ ප්‍රතිඵල සියල්ල ම මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය හා සාපේක්ෂතාවාදය හේතුවෙන් වර්තමානයේ දී ප්‍රතික්ෂේපව ගොස් තිබේ. කොරියෝලිස් බල පිළිබඳ තර්ක සාපේක්ෂතාවාදයේ එන කොරියෝලිස් ක්ෂේත්‍රය ආදී සංකල්ප මඟින් අවලංගුව ගොස් ඇත. සිකුරු ග්‍රහයාගේ කලා පිළිබඳව ප්‍රශ්නය ඇති වූයේ ග්‍රහ කක්ෂ භෞතික පථ යැයි සිතූ ටොලමි ඒවා එකිනෙක කැපී නොයන සේ ඇඳීමේ අරමුණ උදෙසා ම කක්ෂ විකෘති කළ නිසා ය. කක්ෂය නිවැරදිව ඇන්දේ නම් මෙයින් පෘථිවි කේන්ද්‍රවාදයට කිසිදු අර්බුදයක් නැත. බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය තිරශ්චීන විද්‍යාවක් යැයි දේශනා කළ බව ද අසත්‍යයකි. උන් වහන්සේ තිරශ්චීන විද්‍යාව ලෙස හැඳින්වූයේ පැවිද්දන් මේවායේ යෙදෙමින් මුදල් ඉපයීමයි. එම ලැයිස්තුවේ ජ්‍යෝතිෂ්‍ය පමණක් නොව වෙදකම් සැත්කම් භෞතික විද්‍යාව සත්ත්ව විද්‍යාව තාරකා විද්‍යාව වැනි විෂයන් පවා ඇත.

පෙරදිග ජ්‍යෝතිෂ්‍යයේ අපිචක්‍ර ක්‍රමය බටහිර ජ්‍යෝතිෂ්‍යයට වෙනස් ය. දැන් සංවාදය අවසානයට එළඹී ඇති බැවින් එය මේ තුළ සඳහන් නො කොට වෙන ම සන්සන්දනාත්මක ලිපියක් ලෙස ඉදිරිපත් කරමි. සූර්ය සිද්ධාන්තය ග්‍රන්ථයේ පරිච්ඡේද කිහිපයක මා පොරොන්දු වූ පරිවර්තනය එම ලිපියේ ම පළකරමි.

ටස්කනි ඩියුක්වරයාගේ ගැලීලියෝ සෑදූ කේන්දරය

හමාර කිරීමට මත්තෙන් කිව යුත්තේ සූර්ය කේන්ද්‍රවාදයෙන් ජ්‍යෝතිෂ්‍යයට තර්ජනයක් නැති බව අමුතුවෙන් පැහැදිලි කිරීමට පවා දෙයක් නැති බවයි. මේ ඉතාලියේ සිටි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ ප්‍රකාශයකි.

Mercury rising is very strong for all things, and Jupiter which is conjunct gives knowledge and bounty, simplicity, humanity, erudition and prudence.

මේ ජ්‍යෝතිෂ්‍යවේදියා වෙන කවරකුත් නොව පාදුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට එකල වෙදකම් කිරීමට අවශ්‍ය වූ ජ්‍යෝතිෂ්‍යය ඉගැන්වූ ගැලීලියෝ ගැලීලි ය. මා මේ උපුටා ගත්තේ ගැලීලියෝ සිය බාල දියණියගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහනෙන් කොටසකි. ගැලීලියෝ ටස්කනිහි ඩියුක්වරයාගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහන ද මා සතුව ඇත. ගැලීලියෝ තමා අනාවරණය කරගත් බ්‍රහස්පති චන්ද්‍රයන් ඇසුරෙන් ද අනාවැකි කියූ බව මින් පෙනේ. (විස්තර සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ The Inspiration of Astronomical Phenomena සම්මන්ත්‍රණයට Nick Kollerstrom ඉදිරිපත් කළ How Galileo Dedicated the Moons of
Jupiter to Cosimo II de Medici පත්‍රිකාව බලන්න) ගැලීලියෝ බ්‍රහස්පති ගැන සඳහන් කරමින් ලිවූ  Sidereus Nuncius ග්‍රන්ථය ඇරඹෙන්නේ බ්‍රහස්පතිගේ සුබ ඵල, අසුබ ඵල ගුණ දැක්වීමෙනි.  ගැලීලියෝ පමණක් නොව ජොහැනස් කෙප්ලර් ද එකල සිටි ප්‍රමුඛ පෙළේ ජ්‍යෝතිෂ්‍යවේදියෙකි. ඔහු නව පැරණි ජ්‍යෝතිෂ්‍යයෙන් මිදී නව ජ්‍යෝතිෂ්‍ය පද්ධතියක් සකසමින් එය Science of harmonics ලෙස නම් කළේ ය. මේ උපුටා ගැනීම ඔහුගෙනි.


'The soul of the newly born baby is marked for life by the pattern of the stars at the moment it comes into the world, unconsciously remembers it, and remains sensitive to the return of configurations of a similar kind.' 


Kepler, Harmonics Mundi, chapter 7
ආරම්භක සූර්ය කේන්ද්‍රවාදීහු ද ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෝ ය.

ලෝකයේ විවිධ ජ්‍යෝතිෂ්‍ය පද්ධති පවතී. සාධාරණව ජ්‍යෝතිෂ්‍යයෙන් සිදුවන්නේ මා මගේ මූලික තර්කයේ සඳහන් කළ දේ ය. එය බිඳ දැමීමට ශක්තියක් හේතුවාදයට නම් කිසි ලෙසකින්වත් ඇතැයි නො සිතමි.

මේ සංවාදය අවසානයේ පාඨකයන් වෙත දීමට මට ඇති පණිවිඩය වන්නේ අපගේ චින්තනයේ දැනුම් පද්ධතියක් වෙත යාමේ දී ඊට බාධක ලෙස පෙනෙන බොහෝ දේ ව්‍යාජ මවා පෙන්වීම් හා විකෘති කිරීම් පමණක් බවයි. අවශ්‍ය උනන්දුව ඇතිනම් බටහිර ආධිපත්‍යයෙන් පෙන්වන ඉතිහාස කතා, සත්‍ය බවට ඔප්පු වී ඇත්තාක් මෙන් ස්ථිර ලෙස අප වෙත ඉදිරිපත් කරන කරුණු ආදිය ගැඹුරෙන් විමසා බිඳ හෙළා දමමින් අපගේ පැරණි දැනුම් අධ්‍යයනය කිරීමට හැකි බවයි. බටහිර විලාසිතාවන්ට යට වී ජ්‍යෝතිෂ්‍ය හෝ ගුප්ත විද්‍යාව දෙස ශාස්ත්‍රීය ඇසකින් නො බලමින් ඒවාට ගරහමින් වීරයකු හා බුද්ධිමතකු විය හැකි ය යන සිතුවිල්ල හා මෙම ආධිපත්‍යයට යට වීම නිසා ඒවා ගැන අධ්‍යයනයට මැලිවීම ඔබ තුළින් තුරන් කර දැමිය හැකි නම් අප මේ වෙළී සිටිනා අධිරාජ්‍යවාදී මර උගුල පුපුරවාහැර නිදහස් නිවහල් ස්වයංපෝෂිත රටක් දකිනා දිනය වැඩි ඈතක නොවනු ඇත.

Sargedrioගේ ගැලීලියෝ සෑදූ කේන්දරය

පුරා මාස හතක් අප හා රැඳී සිටි නොයෙක්වර අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අප දිරිමත් කළ පාඨකයන්ට ස්තූතිය පළ කිරීමට මේ අවස්ථාව යොදා ගනිමි.

බටහිර විද්‍යාව ගොඩනැඟුණු ආකාරය, එහි ආධිපත්‍යය හා විද්‍යාත්මක ක්‍රමය නමින් මවා පෙන්වන ව්‍යාජයේ සැබෑ මුහුණුවර පිළිබඳව වටහා ගැනීමට ඇති අගනා පොත් කිහිපයක් ලෙස නලින් ද සිල්වා මහතාගේ මගේ ලෝකය, විද්‍යා කතන්දර, අපේ ප්‍රවාද යන ග්‍රන්ථ ද පෝල් ෆයරාබන්ඩ් මහතාගේ Against Method ග්‍රන්ථය හා Farewell to Reason ග්‍රන්ථය ද, ජෙරමි ලෙන්ට් මහතාගේ Patterning Instinct ග්‍රන්ථය ද විමර්ශනශීලී පාඨකයන්ගේ අවධානයට යොමු කරන්නේ ඔවුන්ගේ දැනුම වර්ධනය උදෙසා ය.

විශේෂ සටහන: පත්‍රයේ ඉඩකඩ කළමනාකරණය කරගනිමින් අපගේ දීර්ඝ ලිපිවලට පවා ඉඩ ලබා දෙමින් මෙම සංවාදයට සිය සහයෝගය දැක්වූ විදුසර කර්තෘතුමාට හා කාර්යය මණ්ඩලයට ද අපගේ ප්‍රණාමය හිමි වේ.



                        - තමලු මලිත්ත පියදිගම 

තාත්වික විශ්ලේෂණය (Real Analysis): පාඩම් අංක 01

        තාත්වික විශ්ලේෂණය (Real Analysis)

අර්න්ස්ට් සර්මෙලෝ (Ernst Zermelo)

විශ්වවිද්‍යාල පළමු වසර සිසුන් ඇතුළු බොහෝ දෙනාගේ ඉල්ලීම මත තාත්වික විශ්ලේෂණය (real analysis) ගැන ලිපි පෙළක් ලියන්න හිතුවා. අපරිමේය සංඛ්‍යා (irrational numers) ද ඇතුළුව තාත්වික සංඛ්‍යා (real numbers) ගැන හැදෑරීම තාත්වික විශ්ලේෂණය කියලා කියනවා.

ගණිතයේ විධික්‍රමය (Method of Mathematics)


බටහිර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය රේඛීයයි (teleological). ලෝකය රේඛාවක් දිගේ විකාශනය වෙනවා වගේ දකිනවා. මේ බටහිර ගණිතයේ ඒ බව උපරිමව ම තියෙනවා.

ගණිතයේ ක්‍රියාකාරකම් දෙකක් අපිට මෙහෙම නම් කරන්න පුළුවන්.
1.සංකල්ප නිර්මාණය කිරීම,
2. සංකල්ප අතර සම්බන්ධතා දැක්වීම

අලුත් සංකල්පයක් නිර්මාණය කළොත් ඒක හඳුන්වා දෙන්න ඕනේ. ගණිතයේ දී නම් සංකල්පයක් හඳුන්වා දෙන්න තියෙන ක්‍රමය අර්ථ දැක්වීම. ඒ කියන්නේ සංකල්පය වඩා සරල සංකල්පවලින් විස්තර කිරීම. ගණිතයේ අර්ථ දැක්වීමක් හැමවිට ම නම් හා නම්ම පමණක් කාරකයෙන් (if and only if operator) තමයි ලියැවෙන්නේ.

උදා: ඉරට්ට සංඛ්‍යාවක් නම් හා නම් ම පමණක් සංඛ්‍යාව දෙකෙන් බෙදේ.

ඉරට්ටේ නම් දෙකෙන් බෙදේ. දෙකෙන් බෙදේ නම් ඉරට්ටේ. 'නම් හා නම්ම පමණක්' දිග වැඩි නිසා අර්ථ දැක්වීම්වල 'නම්' කියලා විතරක් ලියන තැනුත් තියෙනවා. ඒත් තේරුම් ගන්න ඕනෙ අර්ථ දැක්වීමක 'නම් හා නම්ම පමණක්' අනිවාර්යයි. ඒ නිසා ඒ කෙටි කරලා ලියලා තියෙන්නේ ඒක ම තමයි කියල කියලා. ඒ වෙනුවට කෙටිකිරීම සඳහා 'යනු' කියන වචනය ලියන්න පුළුවන්. iff කියලා ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් f අකුරු දෙකක් එක්ක.

උදා: x is even iff x is divided by 2.

දැන් සංකල්පයක් ඊට වඩා සරල සංකල්ප පාවිච්චි කරලා අර්ථ දක්වන්න ඕනේ. එතකොට ඒ සරල සංකල්ප? ඒවා ඊටත් සරල සංකල්පවලින් අර්ථ දක්වන්න ඕනේ. එතකොට ඒ සරල සංකල්ප......?

මේක ඉවරයක් වෙයි ද? කොතැනින් හරි නවත්තන්න වෙනවා. කොතනින් ද නවතින්න වෙන්නේ? ඉතාමත් සරලතම සංකල්පවලින් වෙන්න ඕනෙ.
බටහිර ගණිතඥයෝ මේක නැවැත්තුවේ කුලකය කියන සංකල්පයෙන්. ඒක තමයි සරලතම සංකල්පය කියලා බටහිර ගණිතඥයන්ට සලකන්න වුණේ. කුලකයට අර්ථ දැක්වීමක් දුන්නේ නෑ. ඊටත් වඩා සරල සංකල්ප නැත්නම්, කුලකය අර්ථ දක්වන්නේ මොනවා යොදා ගෙන ද?

එතකොට ඉස්කෝලේ ඉගැන්නුවේ අර්ථ දැක්වීමක් : කුලකයක් යනු අවයවවල හොඳින් අර්ථදැක්වූ එකතුවකි කියලා? ඔය අර්ථ දැක්වීම අද පිළිගන්නේ නෑ. කාන්ටර් (Canter) කියන ගණිතඥයා ඔය අර්ථ දැක්වීම මත හදපු ගණිතය එහෙම පිටින් 'පුපුරලා ගිහින්' විනාශ වුණා. මේ බෝම්බය එල්ල කළේ ගණිතඥයන් වන සර්මෙලෝ (Zermelo) හා රසල් (Russell).

 ඇත්තට ම කුලකය සරල සංකල්පයක් ද? හිතලා බලමු. මේකේ අග හරිය කියවද්දී හිතෙයි එහෙම නෙවෙයි කියලා. කොහොමත් බටහිර ගණිතය කියන්නේත් එක විදිහකින් පට්ටපල් බොරුවක් ම තමයි. වියුක්තකරණයක් (abstraction). මේවායේ මුලට ගිහා ම අර්බුද මතු වෙනවා. කොහොමවෙතත් වියුක්තය (abstract) ගැන මුලින් ම හරිහැටි විස්තර කිරීමක් කරපු Fredgeගේ සංඛ්‍යා පිළිබඳ අර්ථ දැක්වීමටත් රසල්ගේ බෝම්බයෙන් අභියෝග එල්ල වුණා.

මේ කුලකය මත පදනම් වීම උදාහරණයකින් තේරුම් ගනිමු. පටිපාටි ගත යුගලය (ordered  pair) කියන සංකල්පය ඔබ දන්නවා ඇති. (1,3) පටිපාටිගත යුගලයක්. මේකේ පිළිවෙළක් තියෙනවා. (1,3) හා (3,1) වෙනස් පටිපාටිගත යුගල දෙකක්. පටිපාටිගත යුගලයක් කියන්නේ මොකක් ද කියලා ඇහුවොත් ගණිතයේ දී කරන්න ඕනේ මොකක් ද? ඒ සංකල්පය කුලක ඇසුරෙන් අර්ථ දක්වන එක. ඉතින් පටිපාටිගත යුගලයක් ගණිතයේ අර්ථ දක්වන්නේ මෙහෙමයි.

(1,2) = {{1,2},{1}}
පටිපාටිගත යුගලයක් කියන්නේ කුලක දෙකක කුලකයක් කෙටි කොට ලිවීමක්. ඒකයි ගණිතයේ අර්ථ දැක්වීම. අවයව දෙක ම තියෙන කුලකයයි. එක් අවයවයක් විතරක් තියෙන කුලකයයි. අවයව දෙකක් අතරින් එක අවයවයකට විශේෂයෙන් සැලකීමක්. පටිපාටියක් කියන්නේ එහෙම එකක් නේ.
(2,1)={{2,1}, {2} } මේ දෙක වෙනස්. {1,2}={2,1} වුණත් (1,2) හා (2,1) අසමාන බව අපට පේනවා. පටිපාටිගත යුගල ඇතුළත් සියලු සම්බන්ධ මේ විදිහට කුලක යොදා ගෙන පැහැදිලි කරන්න පුළුවන්. මේක සරලව හඳුන්වාදීමක් ද වියවුලක් ද මම දන්නේ නෑ. ගණිතඥයෝ අර්ථ දැක්වීමක් කියන්නේ මේකට. අර්ථ දැක්වීම් කියන්නේ අවසාන අර්ථයෙන් කුලකවලට කරන ඌනනයක් (reduction).

ඊළඟ දේ සංකල්ප අතර සම්බන්ධතා. ඒවා ඔප්පු කරන්න ඕනෙ. ඔප්පු කරන්න පාවිච්චි කරන්න ඕනේ ඊට වඩා සරල සම්බන්ධතා. ඔප්පු කරපු සම්බන්ධය වැදගත් නම් ඒකට ප්‍රමේයයක් (Theorem) කියනවා. ප්‍රමේයයකින් එක පාර ම ගම්‍ය වෙන සම්බන්ධයක් නම් උපප්‍රමේයයක් (corollary) කියනවා. කිසියම් එක් ප්‍රමේයයක් සාධනය කිරීමට වැදගත්වන එහෙත් පොදුවේ ගත්විට එතරම් ම වැදගත් නොවන සම්බන්ධතාවලට උපසාධ්‍ය (lemma) කියනවා. තව ම ඔප්පු නො කළ ප්‍රකාශවලට ඌහන (conjecture) කියලා කියනවා.

හරි දැන් සම්බන්ධතා ඊට වඩා සරල ඒවායින් ඔප්පු කරන්න ඕනේ. එතකොට ඒ සරල සම්බන්ධතා? ඒවා ඊටත් වඩා සරල සම්බන්ධතාවලින් ඔප්පු කරන්න ඕනේ. එතකොට ඒ සම්බන්ධතා........... මේක කෙළවරක් වෙයි ද? මේක කෙළවරක් කරන්න වෙනවා. බටහිර ගණිතඥයෝ මෙහෙම ආපස්සට ආපස්සට ගිහින් අන්තිමට එන ඉතා ම සරල සම්බන්ධතාවලට කියුවා ස්වසිද්ධි (axiom) කියලා. Axiom සරල ම නිසා ඊට වඩා සරල ම ඒවා නෑ. ඉතින් ඒවා ඔප්පු කරන්න විදිහකුත් නෑ. තෝරා ගැනීමේ ස්වසිද්ධිය (Axiom of choice) වගේ එකක් ගත්තොත් හිතෙන්න පුළුවන් ස්වසිද්ධි ඇත්තට ම අතිශයින් සරල ද කියලා. ඒ ගැන කතා කිරීම ඉදිරියට ඉතුරු කරමු.

ගණිතයේ කුලක ඇත්තට ම තියෙනවායි කියලවත් ස්වසිද්ධි, ප්‍රමේයයන් ඇත්‍ත කියලාවත් කියන්නේ නෑ. ඒ වෙනුවට කියන්නෙ කුලක තියෙනවා නම් මේවාත් තියෙනවා.
මේ ස්වසිද්ධි හරි නම් මේ මේ සම්බන්ධතාත් හරි කියන එක විතරයි කියන්නේ.

මෙහෙම ඔප්පු නො කළ 'සරල' (?) දේ ඉඳලා අනෙක් දේට රේඛීයව ඔප්පු කරමින් යන ක්‍රමයට ස්වසිද්ධාත්මක විධික්‍රමය (axiomatic method) කියලා කියනවා. සමස්ත ගණිතය ම මේ විදිහට හදන්න ඩේවිඩ් හිල්බර්ට් ගණිතඥයා ව්‍යාපෘතියක් පටන් ගත්තා. ඒක ඉදිරියට ගෙන ගොස් සර්මෙලෝ හා ෆ්‍රැඑන්කල්ගේ කුලකවාදයත් රසල්ගේ Principia Mathematica ග්‍රන්ථයත් බිහිවුණා. ලෝකයේ පහළ වූ විශිෂ්ටතම ගණිතඥයා ලෙස සැලකෙන ගර්ඩ්ල් අවසානයේ දී ඔප්පු කළේ සමහර ගණිත පද්ධතිවල ඔප්පු නොකළ හැකි ගණිතමය සත්‍යයන් පවතින බව හා මේ සියල්ල ආවරණය වන ලෙස ස්වසිද්ධි සැකසුවහොත් එකිනෙකට පටහැනි ස්වසිද්ධි ලැබිය යුතු බව. ගණිතය අසම්පූර්ණ බව පෙන්වූ ගර්ඩ්ල්ගේ අසම්පූර්ණතා ප්‍රමේයයෙන් (Godel's Incompleteness Theorem) මේ ව්‍යාපෘතිය අසාර්ථක බව පෙන්වමින් නිමා වුණා.

බටහිර ගණිතයේ යොදා ගන්නේ ද්විකෝටික න්‍යාය (two valued logic). එක්කො සත්‍ය නැතිනම් අසත්‍ය. වෙනත් විකල්ප නෑ.


කාන්ටර් ඉදිරිපත් කරපු පාසලේ දී අප ඉගෙන ගන්නා කුලක අර්ථ දැක්වීම අසාර්ථක ඇයි?


කාන්ටර්ගේ බොළඳ කුලක වාදය (naive set theory) අනුව කුලකයක් කියන්නේ නිශ්චිතව අර්ථදැක්වූ අවයව සමූහයක්. අපි ඔය අර්ථකථනය මතකයේ තියාගෙන ඉස්සරහට යමු.

කුලකත් ගණිතයේ දෙවියා වගේ. සියල්ල කරන්න පුළුවන් දෙවියන් වහන්සේට පුළුවන් ද දෙවියන් වහන්සේට උස්සන්න බැරි තරම් ලොකු ගලක් මවන්න කියන ප්‍රශ්නය (omnipotence paradox) ඕගොල්ලෝ අහලා ඇති. දේවවාදයටත් ඉතින් මේකට උත්තර නම් තිබුණා. මේකේ ගණිතයට හරියන ආකාරය මොකක් ද? ඒකට තමයි රසල්ගේ විරුද්ධාභාසය (Russell's paradox) කියන්නේ. බර්ට්‍රන්ඩ් රසල්ට (Bertrand Russell) කලින් අර්න්ස්ට් සර්මෙලෝ (Ernst Zermelo) මේක ම කිව්වත් ඒක හරියට දැනගන්න ලැබුණේ ඩේවිඩ් හිල්බට් (David Hilbert) ගණිතඥයාටත්, හුසර්ල් (Husserl) කියන භාෂා දාර්ශනිකයාටත් විතරයි. ඒකයි මේක රසල්ගේ නමින් තියෙන්නේ.

මොකක් ද මේ රසල් විරුද්ධාභාසය. අපි බලමු. ඊට කලින් ප්‍රශ්නයක් අහන්නම්. අවයව ලෙස කුලක එකතු කරලා හදන කුලකත් තියෙන්න පුළුවන් බව ඔබ දන්නවා. මම අහන්නේ තමන් තමන්ගේ ම අවයවයක් වෙන කුලකයක් තියෙනවා ද කියන එක. (උපකුලකයක් කියලා නෙවෙයි අවයවයක් කියලයි ඇහුවේ.)

මේකට උත්තර දෙන්න අමාරු වෙයි.

හොඳයි එහෙම නොවෙන කුලකත් තියෙනවා ද? තමන් තමන්ගේම අවයවයක් නොවන කුලක තියෙනවා ද?

මේක ලේසි ප්‍රශ්නයක්. උත්තරය ඔව්. {1,2} කුලකය ගන්න. ඒකේ අවයව 1 හා 2. {1,2} ඒකේ අවයවයක් නෙවෙයි. තමන් තමන්ගේ අවයවයක් නොවෙන කුලක මේ වගේ ඕනෑ තරම්.

රසල් කියන්නේ මෙහෙම දෙයක්.

තමා තමාගේ ම අවයවයක් නොවන කුලක සියල්ල සලකන්න.
මේ ආකාරයේ සියලු කුලක ඇතුළත් කුලකය M ලෙස ගන්න. M කියන්නේ තමා තමාගේ ම අවයවක් නොවන කුලකවල කුලකයයි. ප්‍රශ්නය වන්නේ M, Mගේ ම අවයවයක් ද යන්නයි.
M, M කුලකයේ ම අවයවයක් නම් එය තමා තමාගේ අවයවයක් නොවන පරිදි කුලකයක් වේ.
M, M කුලකයේ අවයවයක් නොවේ නම් M තමා තමාගේ අවයවයක් නොවන පරිදි කුලකයකි. එනම් එය Mට අයත් වේ.

මේ අවස්ථා දෙක ම සම්පූර්ණයෙන් විසංවාදීයි. අපට පාසලේ ඉගන්වන කාන්ටර්ගේ බොළඳ කුලකවාදය මේ තර්කය හමුවේ සුණු විසුණු වී යනව. මීට විසඳුම කුමක් ද?
රසල් කීවේ විවිධ මට්ටම්වල කුලක ඇති බව ය. (One type, two type). One type කුලක රැසක් එක් කොට තනනුයේ Two type කුලකයකි. එවිට Two type කුලකවල අවයව වන්නේ one type කුලකය. එවිට රසල්ගේ විරුද්ධාභාසය (paradox) අවලංගු වී යනවා. එතකොට කිසි ම කුලකයකට තමාගේ ම අවයවයක් වෙන්න බෑ. Type එක වෙනස් නොවෙන නිසා. A කියන්නේ One type කුලකයක් නම් ඒක ඇතුළේ one type කුලකයක් වන A තියෙන්න බෑ. A තියෙන්න පුළුවන් two type කුලකයක්.

එහෙත් වර්තමානයේ හොඳින් පිළිගැනෙන්නේ සර්මෙලෝගේ තර්කයයි. ඔහු කීවේ x, Y කුලකයේ අවයවයක් නම් හා නම් ම පමණක් x, Y කුලකය ගොඩනැඟෙන ගතිලක්ෂණය තෘප්ත කරමින් තවත් Z නම් කිසියම් කුලකයක අවයවයක් වේ කියලයි.

ඒ කියන්නේ x,Yහි අවයවයක් වෙන්න නම් මුලින් x කුමක් හෝ Z කුලකයක අවයවයක් වෙලා ඉන්න ඕනේ. මේකේ අර්බුදය කුලකයක අවයවක් වීම කුලකයක අවයවයක් වීමෙන් ම විස්තර කරන එක. මේකෙදී තමන් තමන්ගේ ම අවයවක් වෙන කුලක තියෙන්න පුළුවන් ඒත් අර මුල කියපු M කුලකය එහි ම අවයවයක් නෙවෙයි. ඉතින් දැන් ඒ නිසා ම ඒක M කුලකයේ අවයවයක් වෙන්නේ නැද්ද? සර්මෙලෝට අනුව නම් නැහැ. මොකද සර්මෙලෝ කියනවා කුලකයක අවයවයක් වෙන්න නම් අදාළ ලක්ෂණය තෘප්ත කළාට ම මදි කිසියම් කුලකයක අවයවයක් වෙන්නත් ඕනේ කියලා. සර්මෙලෝ කියනවා. M, Mගේ විතරක් නෙවෙයි කිසි ම කුලකයක අවයවයක් නෙවෙයි කියලා. ඉතින් එහෙම එකකට කාගේවත් අවයවයක් වීමේ හැකියාව නෑ. මේකේ විහිලු සහගත බව වෙන්නේ ඕනෑ ම කුලකයක් කීවහම සලකන කුලකයත් ඇතුළත් එතකොට ඒකෙ අවයවයක් වීමෙන් ඒකෙ අවයවයක් වීමේ හැකියාව ලබා දෙනවා. අවසානයේ කුලක, ගණිතයේ සර්ව බලධාරී දෙවියන් බව අලුත් වටයකින් තහවුරු කොට කතා වස්තුව අහවර වෙනවා.

කෙසේ වෙතත් මේ අර්ථ දැක්වීම (ගැලවිජ්ජාව) රසල්ගේ විරුද්ධාභාසය මඟින් බිඳ හෙළිය නො හැකි එකක්. ඉතින් මෙතනින් බටහිර ගණිතය පටන් ගන්නවා.

නූතන බටහිර ගණිතය කුලක යනු කුමක් දැයි අර්ථ ගන්වා නැත. නමුත් ගණිතයේ පදනම ම ගොඩනැඟී ඇත්තේ කුලක මත ය. පටිච්ච සමුප්පාදයට සූත්‍ර හදන්න පුළුවන් කියන සබරගමුවේ ජර්මන් භාෂා කථිකාචාර්යවරු මේ අර්බුද විසඳගෙන ද ඉන්නේ?

මේක ඉවර කරන්න කලින් ආයේ අර ප්‍රශ්නය අහන්නම්. කුලක සරල ද?


                            - තමලු මලිත්ත පියදිගම

(උපුටා ගැනීමේ දී නම හා blog අඩවිය දැක්වීමට කාරුණික වන්න.)


             මීළඟ ලිපිය: තුල්‍යතාවය (equivalence )


සිංහලයන්ගෙන් පැවතෙන කේරලයේ විප්ලවීය කවියා මහා කිවි කුමාරන් අසන්

සිංහලයන්ගෙන් පැවතෙන කේරලයේ විප්ලවීය කවියා මහා කිවි කුමාරන් අසන් 






1873 අප්‍රේල් 12වන දා ඉපිද 1924 ජනවාරි 16 වන දින පරලොව සැපත් වූ කුමාරන් අසන් මලයාලම් කවියේ විප්ලවයක් කළ අයෙකි. මහා කාව්‍යයක් ලිවීමෙන් තොරව මහා කිවි පදවිය ලැබූ එක ම මලයාලම් කවියා ඔහු ය.

නාලිනී, ලීලා, කරුණා, චණ්ඩාල භික්ෂුකී යන ඛණ්ඩ කාව්‍ය ඔහු ලියූ සම්භාවනයට පත් වූ කාව්‍යයන් අතර වේ. ඔහු ලියූ බුද්ධ චරිත වීර කාව්‍යය ද ප්‍රසිද්ධියට පත් විය. වීනා පූවු ඔහුගේ ප්‍රසිද්ධියට පත් තවත් කවි පොතකි. මෙහි දී මලක ජීවන චක්‍රය ඇසුරෙන් ජීවිතයේ අනිත්‍යභාවය අපට පෙන්වා දෙයි.

ඔහු අයත් වූයේ සිංහලයන්ගෙන් පැවතෙන බවට විශ්වාස කරන Ezhavas නම් ජන පිරිසට ය. කේරලයට ලංකාවෙන් පොල් වගාව ගෙන ගියේ මේ පිරිස බවට ද, භාෂ්කර වර්ම රජ සමයේ චේර රාජ්‍යයට යුද ආධාර පිණිස ලංකාවෙන් යැවූ සිංහල බටයන්ගෙන් මොවුන් පැවතෙන බවට ද මත ඇත. Thiyya යනු තවත් මෙවන් සිංහල සම්භවයක් ඇති කේරල ජන පිරිසකි. කේරලයේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ ජනපදනම සකස් වීමට ද කේරල ජනගහණයෙන් 25%ක් වූ මොවුන් වැදගත් විය.

මේ ජන පිරිස බුදු දහම අනුව ජීවත් වන අතර කතරගම දෙවියන් (මුරුගන්) ද අදහයි. ඔවුන් හින්දු කුල ධූරාවලියෙන් වෙන් කොට තැබුව ද බෞද්ධයන් වීම හේතුවෙන් කුල අනුව වූ විවිධ තාඩන පීඩනවලට ලක්වීමට සිදු වී ඇත.

කුමාරන් අසන් මේ කුල පීඩනයෙන් මිදී පෙරට පැමිණි අතර ඔහු Ezhavas ජන පිරිස හා තමන් සිංහලයන්ගෙන් පැවතෙන බව සැලකුවේ ය. ලංකාවේ අතීත සිංහල විරුවන්ගේ උදාරත්වය පිළිබඳ ඔහු ලියූ කවි බොහෝ ය.

වරක් එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට කේරල ප්‍රාන්ත රජය පිරිනැමුවේ කුමාරන් අසන් සම්මානයයි.

ලංකාවේ සිංහල ජනතාව ඔවුන්ගේ විරුවන් අමතක කොට 'උගත් බුද්ධිමත්' ලේබලය අලවා ගැනීමට අපගේ ඉතිහාසය හා සිංහල විරුවන් අමතක කොට දමා ඔවුන්ට ගරහන යුගයක මලයාලම් බසින් මේ මහා කවියා අපට මතක් කර දෙන්නේ කුමක් ද?

ඔහුගේ මේ කවිය සිංහලයට පරිවර්තනය කරන්නේ ඔහුට උපහාරයක් වශයෙනි.


අහා! පුෂ්පය,

ඔබ සතු අලංකාරය!

රැජින වාගෙයි පඳුර මත්තේ.

එහෙත් මේ ලොව අනිත්‍ය ය නිසැකව.

නියත වනු ඇත්තේ

පොළව මත තේජසක් රහිතව

දුක්මුසුව

ඔබ වැතිර සිටිනා

මොහොත එන බව ම පමණි ය.




                                                              - තමලු මලිත්ත පියදිගම 

(උපුටා දක්වන්නේ නම් කර්තෘ හා බ්ලොග් අඩවිය සඳහන් කිරීමට කාරුණික වන්න.)

Interstellar තරු අතර


ඇල්කෙමිස්ට් සඟරාව


විද්‍යා ප්‍රබන්ධ සිනමාව තුළ විද්‍යාඥයන්ගේ පැසසුමට ලක් වන චිත්‍රපට ඇත්තේ අතළොස්සක් තරම් ය. බොහෝ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට තුළ විද්‍යාත්මක කරුණුවල ගැටලු පවතී. Intestellar චිත්‍රපටය මේ අතරින් විශේෂ වන්නේ විද්‍යාත්මක කරුණුවල නිවැරදිභාවය පිළිබඳව බොහෝ දෙනා විසින් අගය කරනු ලැබීමයි. එක් අතකින් මේ පිළිබඳ පුදුම විය යුතු නැත. මේ චිත්‍රපටයට භෞතික විද්‍යා උපදෙස් ලබා දුන්නේ නොබෝ දා නොබෙල් ත්‍යාගය හිමි කරගත් කිප් තෝර්න් ය.  විද්‍යා ප්‍රබන්ධ සිනමාව හුදු විද්‍යා ප්‍රකාශනයක් නො වී කලාවක් වන්නේ ඒ තුළ ගැබ් වන සෞන්දර්යය නිසා ය. කලාවක් වශයෙන් විද්‍යා ප්‍රබන්ධය තුළ ඇති එක්තරා සුවිශේෂියත්වයක් වන්නේ කාන්ට් පවසන උත්කෘෂ්ටභාවයන් (sublime) දෙකෙහි ම තීව්‍ර ප්‍රකාශනයක් වීමට විද්‍යා ප්‍රබන්ධයට ඇති හැකියාව නිසා ය. සෞන්දර්ය පිළිබඳ ඔහුගේ මතවාදයේ දී එක් උත්කෘෂ්ටභාවයක් වන ගණිතමය (mathematical sublime) උත්කෘෂ්ටභාවය ඇතිවන්නේ මිනිස් වර්ගයා යනු අපගේ පරිකල්පන සීමාව ඉක්මවා යන අතිදැවැන්ත විශ්වයක සිටින ස්වභාව ධර්මයේ නියාමයන්ගෙන් පාලනය වන ඉතා කුඩා ප්‍රජාවක් යැයි දකින අතරතුරේ දී සිය තර්ක බුද්ධිය මඟින් සහය ලත් පරිකල්පනයෙන් සමස්ත විශ්වයේ ම රහස් දැනගැනීමට ඇති මිනිසාට ඇති අපරිමිත හැකියාව වින්දනය කිරීමෙනි. දෙවැන්න වන ගතික උත්කෘෂ්ටභාවය (dynamical sumblime) ඇති වන්නේ ස්වභාව ධර්මයේ බලාධිකාරියෙන් මිදී සිටීමට තර්ක බුද්ධියෙන් සහය ලත් මිනිස් වර්ගයාට ඇති හැකියාව වින්දනය කිරීමෙනි. මෙහි පළමුවැනි උත්කෘෂ්ටභාවය ප්‍රධාන වශයෙන් විද්‍යාව මඟින් ද දෙවැන්න තාක්ෂණය මඟින් ද ඇති වේ. මේ ස්වභාව ධර්මය සමඟ අරගලයේ දී මෙම හැකියාවන් දෙකෙහි සීමා මායිම් පෙනී යාමෙන් ඇතිවන බලාපොරොත්තු කඩ වීම ද මේ උත්කෘෂ්ටභාවය තුළින් පැන නඟී. කාන්ට්ගේ මේ මතවාද බොහෝ අඩුපාඩු සහිත බව පෙනෙන්නට තිබුණ ද 'බටහිර මිනිසා' ලෝක සෞන්දර්යය දකින ආකාරය ගැන මෙය ඉතා හොඳ අර්ථකථනයකි. විද්‍යා ප්‍රබන්ධ මේ උත්කෘෂ්ටභාවයන් දෙක ම සමීපව ඇසුරු කෙරේ.

විද්‍යා ප්‍රබන්ධයක් ලෙස Intestellarහි වැදගත්කම රඳා පවතින්නේ මේ 'තර්ක බුද්ධියේ උත්කෘෂ්ටභාවය' ඔප්නැංවීමේ බටහිර කලාවෙන් යම්කිසි ඛණ්ඩනය වීමක් මේ සිනමා කෘතිය දක්වන නිසා ය. ඒ වෙනුවට එහි විරුද්ධ අන්තයට යමින් දේවාරූඪ ආදී පැරණි සමාජවල දැනුම් මාර්ගවලට නව අර්ථකථනයක් සැපයීම මෙහි දී සිදු කෙරේ. බලාපොරොත්තු විය හැකි පරිදි ම Intestellarහි ඇති භෞතික විද්‍යාව ගැන පොත් පත් පවා මුද්‍රණය වුව ද, එහි මේ නැඹුරුව පිළිබඳව බටහිර සමාජයේ වැඩි කතා බහක් ඇති වූයේ නැත.

මෙහි අධ්‍යක්ෂකවරයා වන Christopher Nolan යනු අමුතුවෙන් හඳුන්වාදිය යුතු නොවන තරම් ස්වකීය දක්ෂතාවය ප්‍රදර්ශනය කළ අයෙකි. Memento , Inception , The Dark Knight, The Dark Knight Rises වැනි චිත්‍රපට ඉතා ජනප්‍රිය විය. මෙහි තිරපිටපට ලියූ ඔහුගේ සොහොයුරු Jonathan Nolan මේ සඳහා ම භෞතික විද්‍යාව ද හැදෑරුවේ ය. දැන් අපි චිත්‍රපටයේ කතා වින්‍යාසය වෙතට හැරෙමු.
මිහිතලය විනාශව ගොස් ඇත. පරිසර දූෂණය උපරිමයට එළඹී ඇත. ආහාර හිඟයක් ඇතිව තිබෙන අතර නිතර නිතර වැලි කුණාටු ඇති වේ. අනෙක් ව්‍යාපෘතීන් නවත්වා දමමින් සියලු දෙනා ම පාහේ ගොවියන් වී ඇත. ඉතා විශාල වගා භූමි පැවතුණ ද ඵලදාව ඉතා අඩු ය. නාසා ආයතනය වසා දමා ඇති අතර සියලු මුදල් වෙන් කරන්නේ වගා කිරීම් සඳහා ය. පාසල් පෙළ පොත් සංශෝධනය කොට ඇති අතර අභ්‍යාවකාශ තරණය පිළිබඳ උනන්දුවන්නන් අධෛර්ය කිරීමට සඳ ගමන ව්‍යාජයක් බව උගන්වන පශ්චාත් සත්‍ය සමාජයක් ඇති වී තිබේ. ජෝසප් කූපර් (කූප්) නාසා ආයතනයේ ගගනගාමියකුව සිට ගොවියකු බවට පත් වූ අයෙකි. ඔහු එය ප්‍රිය කරන්නේ නැත. කූප්ගේ දුව වන මර්පි විද්‍යාවට උනන්දුවක් දක්වන්නියකි. ඇය නිරීක්ෂණය කරන්නේ ඇගේ නිවසේ පොත් රාක්කය අසළ අත්භූත දෑ සිදුවන බවයි. පොත් පත් රටාවකට බිම වැටීම සිදුවේ. පසුව ඔවුන් තේරුම් ගන්නේ පොත් රාක්කය මඟින් මෝර්ස් කේතය (අතීතයේ ටෙලිග්‍රාප් පණිවිඩ යැවූ තිත් හා ඉරිවලින් සමන්විත කේතය) යොදාගෙන පණිවිඩ එවන බවයි. මර්පි සිතන්නේ මේ භූතයකුගේ ක්‍රියාකාරකම් බවයි. දිනක් වැලි කුණාටුවක් ඇති වේ. එහි දී කාමරයේ බිම මත රටාවකට අනුව වැලි පතිත වී ඇති බව මර්පි දකියි. කූප් එය පරීක්ෂා කොට මෙය ගුරුත්වාකර්ෂණ අසමතුලිතතාවක් බව දැන ගනියි. වැලි පතිත වූ රටාවෙන් ලබා දුන්නේ අක්ශාංශ දේශාංශ පිහිටුමකි. ඔවුන් එම පිහිටුමට ගිය පසු දැන ගන්නේ එතැන නාසා ආයතනය තවමත් රහසිගතව ක්‍රියාත්මක වන බවයි.

නාසා ආයතනයේ දී ඔවුහු ඔවුන් අත්දුටු අත්භූත හැසිරීම් යම්කිසි පිටසක්වල පිරිසකගේ ක්‍රියාකාරිත්වය බව දැන ගනිති. එම ජීවීන් ශනි ග්‍රහයා අසළ දී පණු කුහරයක් (අවකාශ කාලයේ එක් තැනක සිට තවත් තැනකට ක්ෂණිකව යා හැකි කෙටි මාර්ගයක් ) සාදා ඇත. එය තුළින් ගොස් කළු කුහරයක් අසළ ඇති ග්‍රහලෝක සමූහයක් අධ්‍යයනය කිරීමට නාසා විද්‍යාඥයන් සමත් වී ඇත. ඉන් තුනක් පිළිබඳ ධනාත්මක දත්ත ලැබී ඇත. නාසාවේ මහාචාර්ය බ්‍රෑන්ඩ් ව්‍යාපෘති දෙකක් සැලසුම් කරයි. පළමුවැන්න ගුරුත්වාකර්ෂණය හැසිරවිය හැකි ආකාරය සොයා ගැනීම ය. අනෙක මිනිස් සෛල වෙනත් ග්‍රහලෝකයකට ගෙන ගොස් එහි නව මිනිස් වාසයක් බිහි කිරීම ය. එම ග්‍රහලෝක වෙත ගොස් පරීක්ෂා කොට දෙවන ව්‍යාපෘතිය සම්පූර්ණ කොට ඒමට කූප්ට පැවරේ. ඒ අතරතුර දී මර්පි නාසාවේ විද්‍යාඥවරියක වේ. මේ අතර ඔවුන් අවබෝධ කරගන්නේ එම ග්‍රහලෝකවලින් දෙකක් ම ජීවය සඳහා සුදුසු නොවන බවයි. මේ අතරතුර ඔවුන් දැනගන්නේ ගුරුත්ව සමීකරණය විසඳීමට නම් කළු කුහරයක් තුළ ක්වොන්ටම් දත්ත අවශ්‍ය බවයි. කළු කුහරයක් තුළට ගමන් කිරීමේ අවධානම ගන්නා කූප් කළු කුහරය තුළට යානය පදවයි. අධික දුර නිසා සන්නිවේදන කටයුතු සඳහා දිගු කාලයක් ගතවන බැවින් කූප්ගේ තීරණය ගැන මර්පි දන්නේ නැත. කළුකුහරය තුළදී කූප් දැනගන්නේ ඔහුට එහි සිට නිවසේ පොත් රාක්කයට විවිධ කාලවල දී ගුරුත්වයෙන් බලපෑම් කළ හැකි බවයි. මර්පි ගේ භූතයා ඔහු ම ය. පිටත් වීමට පෙර මර්පිට ලබා දුන් අත් ඔරලෝසුවට ඔහු කළු කුහරය තුළ ක්වොන්ටම් විද්‍යා දත්ත මෝස් කේතය මඟින් ලබා දේ. මර්පි එය ලබාගෙන ගුරුත්ව සමීකරණය විසඳා පෘථිවියෙන් මිනිසුන් ඉවත් කොටගෙන යහපත් පරිසරයක් ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරයි. දත්ත ලැබුණු ආකාරය ගැන ඇය කියන කතාව මිනිස්සු විශ්වාස නො කරති. ඔවුන් සිතන්නේ මේ ඇගේ තර්ක බුද්ධියේ අග්‍ර ඵලයක් බවයි. අවසානයේ කූප් ඇය වෙත එන විට ඇය සිටින්නේ වියපත්ව මරණාසන්න මොහොතෙහි ය. එහෙත් කාලය සෙමෙන් ගතවන කළුකුහරය අසල සිටි නිසා කූප්ට එතරම් කාලයක් ගත වී නැත.

දැන් අපි මෙම කතාව විග්‍රහ කරමු. අතීත මිනිසුන් මෙන් ම මෑතකාලීන ඉන්දියාවේ සිටි රාමානුජන් ද කීවේ තමාට දැනුම ලබා දුන්නේ දෙවියන් බවයි. බොහෝ දෙනා මේවා නො පිළිගනිති. ලංකාවේ දී නාථ දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම බොහෝ දෙනාගේ හාස්‍යයට ලක් විය. බටහිර විද්‍යාවේ ප්‍රධාන ධාරාව දැනුමේ මාර්ගය ලෙස දකින්නේ තර්ක බුද්ධිය ය. එහෙත් මේ තර්ක බුද්ධියේ මාර්ගය පිළිබඳව අපේක්ෂා භංගත්වයට පත්වීමට සිදුවන අවස්ථා වර්තමානයේ කොතෙකුත් පවතී. සුප්‍රකට ආසනික් පරීක්ෂාවේ දී සිදු වූයේ ද අපගේ සීමාවෙන් එපිටට යන දේ පිළිබඳව වෙනස් ඉන්ද්‍රිය පද්ධතින් හා විභවයන් ඇති ප්‍රාණියකුගෙන් තොරතුරු ලබා ගැනීම ය. Intestellarහි කළුකුහරය තුළ ඇති දත්ත ලබා ගැනීම ද එවැන්නකි. මර්පි දකින භූතයා කවුදැයි කතාවේ දී හෙළිකෙරේ. එසේ හෙළි නො කෙරුණේ නම් අපට කිව හැකි එක ම දේ වන්නේ මර්පි අදෘශ්‍යමාන ප්‍රාණියකුගෙන් දැනුම ලබා ගත් බවයි. අනෙක් අතට මේ සියල්ල සැලසුම් කළ ජීවීන් කවු දැයි කතාවේ දී හෙළි නො කෙරේ. මේ කරුණු මත Intestellar මඟින් ප්‍රතිනිර්මාණය වී ඇත්තේ උත්තර ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්නා පෙරදිග ක්‍රමවේදයයි.
දෙවියන් සමඟ සන්නිවේදනයෙන් දැනුම ලබා ගත හැකි නම් වහ වහා දැනුම ලබා ගෙන සිංහල බෞද්ධ විද්‍යාවක් හා තාක්ෂණයක් ගොඩනඟන්න යන්න අභියෝගයක් ලෙස බොහෝ භෞතිකවාදීන්ගේ හා පශ්චාත්නූතනවාදීන්ගේ මුවින් පිට වේ. මේ තර්කයට Intestellar කදිම පිළිතුරු දෙකක් ලබා දෙයි. අදෘශ්‍යමාන බලවේගයක් හරහා ලද මේ දැනුමින් ප්‍රයෝජනයක් ගත හැකි වූයේ මෙය ලැබුණේ නාසාවේ විද්‍යාඥවරියක වූ මර්පිට නිසා ය.  අදෘශ්‍යමාන බලවේගයට සන්නිවේදනයේ යෙදිය හැකි වූයේත් යම් සීමා මායිම් සහිත ආකාරයකට ය. මර්පිට මේ සඳහා අවශ්‍ය බුද්ධිමය කුශලතාව නො තිබුණේ නම් කුමක් වන්නට තිබුණි ද?
අනෙක් අතට අදෘශ්‍යමාන බලවේගය කූප්ව කළු කුහරය වෙත ගෙන්වන්නේ ඍජුව ම මර්පිට දත්ත ලබා දෙන ආකාරය ඊට තේරුම්  ගත නො හැකි හෙයින් ය. මින් පෙනෙන්නේ ඉතා වැදගත් තොරතුරු ලබා දීමේ දී පෞද්ගලික සම්බන්ධකම් පවා වැදගත් බවයි. මේ ලබා දී ඇත්තේ දත්ත මිස ප්‍රවාද හෝ සංකල්ප නො වේ. සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ සන්නිවේදනය මීට වඩා අතිශයින් සංකීර්ණ වනු ඇත.

මේ නිසා දෙවියන් ආදී පාරභෞතික මාර්ගවලින් දැනුම ලබා ගැනීම යනු වලංගු හා වැදගත් මාධ්‍යයක් වුවත් එමඟින් දවසින් දෙකෙන් ලෝකය උඩු යටිකුරු කළ හැකි යැයි නො සිතිය යුතු ය. එසේ දැනුම ලබා ගන්නට, ලබාගන්නා දේ වටහා ගන්නට මෙන් ම ඉන් ප්‍රවාද ගොඩනඟා තාක්ෂණික භාවිතයන් කිරීමට විවිධ හැකියාවන් ගණනාවකින් පරිපාකයට පත් වූවන් සිටිය යුතු ය. දිගු කාලයක් ශ්‍රමයක් කැප කළ යුතු ය.
අදෘශ්‍යමාන බලවේගයකින් දැනුම ලබා ගැනීමක් ගැන පවසන Intestellar එනිසා ම අසාර්ථක යැයි කීමට කිසිවකු නොපෙළඹුණු අතර එය විශිෂ්ට නිර්මාණයක් ලෙස අගය කෙරුණි.

එහෙත් කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන පරීක්ෂණය සමච්චලයට ලක් කිරීමට එක ම හේතුව වූයේ නාථ දෙවියන් ය. මෙය විවේචනය කළ බොහෝ දෙනා පරීක්ෂණ පත්‍රිකාවවත් කියවූ අය නො වෙති. මෙම පරීක්ෂණයේ දී, චිත්‍රපටයේ මර්පිගේ කාර්යයටත් වැඩි කාර්යභාරයක් කළ පුද්ගලයින්ගේ වටිනාකම පිළිබඳව කෑ කොක්සන් ගසන්නන් ඇහැක් ඇර බැලුවේ නැත.

- තමලු මලිත්ත පියදිගම 

පෘථීවි කේන්ද්‍රවාදයට විරුද්ධව ඉදිරිපත් කෙරෙන තර්කවල බොල් බව

මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර)

සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළිබඳ මා ලබා දුන් පිළිතුරු පිළිබඳව නිහඬතාවය පළ කොට ඇත. මා පසුගිය වාරයේ දැක්වූ සැම්සන් මහතා පිළිතුරු නොදුන් ප්‍රශ්න මාලාවට ඔහු පිළිතුරු දී ඇති බවක් එම ලිපියේ පවසයි. එහෙත් ඔහු එසේ පිළිතුරු දුන් එක් තැනක් හෝ සඳහන් නොකර හුදු වාක්‍යයක් ලෙස එසේ කීමට අතිශයින් ප්‍රවේසම් වෙයි. පාඨකයන්ට පසුගිය ලිපි පෙරළා බලා උගුරට හොරා බෙහෙත් කෑමට සැම්සන් මහතාට ඇති අසහාය හැකියාව පිළිබඳව තහවුරු කරගත හැකි ය.

    සැම්සන් මහතා මූලාශ්‍ර විශාල ගණනක් ඇසුරෙන් අතීත බෞද්ධයන් පොළොව පැතලි බව සිතුවේ යැයි කියන බවට ඔහු සඳහන් කරන විකිපීඩියා ලිපියකින් තම කරුණු ඉදිරිපත් කළ බව කියයි. මා ඔහුට අභියෝග කළේ අදාළ ලිපියේ සබැඳිය (link) ලබා දී එහි ඇති බෞද්ධ මූලාශ්‍ර ලැයිස්තුවක් ඉදිරිපත් කරන ලෙසයි. එම ඉතා සරල කාර්යය සඳහා අධික භීතියක් දක්වන ඔහු මූලාශ්‍ර ලැයිස්තුව නො දීමට දෙන්නේ අමුතු හේතුවකි. මා එවිට ඒවා බටහිරයන් ලියූ හෝ බටහිර බලපෑම මත ලියූ ඒවා ලෙස නම් කරයිලු. මෙයින් පෙනෙන්නේ සැම්සන් මහතා කියන ඊනියා මූලාශ්‍ර බටහිරයන් පෙරදිගට ඒමෙන් පසු ලියවූ ඒවා බව ද? බෞද්ධ මූලාශ්‍ර කීවේ මේවාට ද? විකිපීඩියා ලිපියේ සබැඳිය නො දී ලිස්සා යෑමට හේතුවක් සාදා ගැනීමට නො හැකි වී ඇත. විකිපීඩියාවට ලිපියක් සැපයීමට ඕනෑ ම පුද්ගලයකුට හැකි ය. පාඨක ඔබට පවා ඒ සඳහා ඉතා පහසුවෙන් යොමු විය හැකි ය. එනිසා විකිපීඩියාවෙන් යමක් ගන්නා විට එහි මූලාශ්‍ර පිළිබඳ සැලකිලිමත් විය යුතු ය. නැතිනම් විෂය පිළිබඳ අවබෝධයකින් තොරව සඳහන් කළ දේ පවා ඔබට ලැබෙනු ඇත. එක ම කරුණ ගැන ලිපි කිහිපයක් පවතින අවස්ථා ඇති බැවින් කවර ලිපිය දැයි සඳහන් නො කිරීම ගැන සැම්සන් මහතාට සමාවක් දිය නො හැකි ය. මෙවන් වාක්‍යයක් පවතින එක් ලිපියක් මට ද හමු වූ නමුත් මූලාශ්‍ර ලැයිස්තුව බලන විට එහි කිසිදු බෞද්ධ පොතක නමක් තිබුණේ නැත. සැම්සන් මහතාට කරුණු වසා ලමින් පැන යාමේ නිදහසක් නොමැත. මෙවන් විහිළු සැපයීම පසෙකලා අදාළ ලිපියේ සබැඳිය (link) හෝ ලබා දෙන ලෙස අභියෝග කරමි. සුපුරුදු පරිදි ඔහු මීළඟ වාරයේ දීත් බීරි අලියාගේ වෘතය හෝ තණ කොළ කැපීමට ගහට නැඟි මිනිහාගේ වෘතය හෝ ආරක්ෂා කිරීමට පෙළඹෙනු ඇත. ඔහු මේ සඳහා මූලාශ්‍ර තුනක් ලබා දී ඇති බව කියයි. එකක් ඉහත කී නමක් ගමක් නැති වෙබ් ලිපිය වනු ඇත. අනෙක ගුත්තිලයේ කවියකි. කවියේ කොතැනකවත් පොළොව පැතලි බවට ඉඟියක්වත් නැති නමුත් සැම්සන් මහතා එවැන්නක් තමාගේ අතින් එක් කරමින් ඊට අනුව පොළොව පැතලි බව කියයි. මෙවන් "මූලාශ්‍ර" දෙකකට පසු ඔහුගේ තුන්වන මූලාශ්‍රය කුමක් ද? එය කුමක් දැයි සැම්සන් මහතාට නම් කළ හැකි ද? විදුසර පුවත්පත කියවන පාසල් සිසුන් වටහා ගත යුත්තේ මූලාශ්‍ර දැක්වීම යනු මෙසේ හොරා පොලිස් සෙල්ලම් කිරීමක් නොවන බව ය. සැම්සන් මහතාගේ වැරදි ආදර්ශ ලබා නො ගනිමින් ඔබගේ ලේඛන හා ව්‍යාපෘතිවල දී ලේඛනයේ නම කර්තෘ හා පිටු අංකය සහිතව අදාළ කොටස් දැක්වීමට හුරු වන්න. මුද්‍රණය කළ වර්ෂය හා ආයතනය ද එක් කිරීම මෙය සම්පූර්ණ වීම සඳහා වැදගත් ය. වෙබ් ලිපියක් නම් සබැඳිය දැක්වීමට හුරුවන්න. හේතුවාදීහු මාධ්‍ය ඉදිරියේ ජනතාවගේ විමර්ශනශීලීත්වය නැති කරමින් වංචනික ලෙස මූලාශ්‍ර විකෘති කරමින් කරුණු දක්වනවාට අමතරව මූලාශ්‍ර නිසි ලෙස නොදක්වා එය සාධාරණීකරණය කරමින් ආචාරධර්මීය වශයෙන් ද ජනතාව නොමඟට යවති. මේවායින් අනාගත පරපුර ගලවා ගැනීම අප හැමගේ වගකීමකි. මිලින්ද ප්‍රශ්නය හෝ සූර්ය සිද්ධාන්තය වැනි පෘථිවිය ගෝලාකාර බව ඍජුව ම කියන ග්‍රන්ථයක කරුණු පිළිගැනීමට නම් සැම්සන් මහතාට එය සුද්දකු හිසට ඇන පෙන්විය යුතු ය. විකිපීඩියාව අදහන සැම්සන් මහතාට කිව යුත්තේ සූර්ය සිද්ධාන්තය පිළිබඳ විකිපීඩියා ලිපිය හෝ කියවා බලාවත් පෘථිවිය ගෝලාකාර බව පෙරදිග ජනයා අතීතයේ සිට දැන සිටි බව වටහා ගන්නා ලෙසයි.

 
   

මීළඟට සැම්සන් මහතා සාවද්‍ය ඉතිහාස කරුණක් වපුරයි. එනම් කොපර්නිකස් සූර්යකේන්ද්‍රවාදය ගෙන ආවිට ආගමෙන් විශාල විරෝධයක් එල්ල වූ බව ය. මෙය හේතුවාදීන් ගොඩනඟන ව්‍යාජ ඉතිහාසයකි. ක්ලෙමන්ට් පාප්වරයා සූර්ය කේන්ද්‍රවාදය දැනගත්තේ විඩ්මැන්ස්ටෙටර් නම් පුද්ගලයාගෙනි. ඔහුට වටිනා ත්‍යාගයක් ද ලබා දුන් පාප්තුමා කොපර්නිකස් රෝමයට ගෙන්වා දේශනයක් ද සංවිධානය කළේ ය. කොපර්නිකස්ගේ මරණය තෙක් ඔහුගේ කෘතිය ප්‍රකාශයට පත් නොවූයේ ආගමික ආයතනවල විරෝධයක් තිබූ නිසා නොව ඔහු සිය කෘතිය සම්පූර්ණ කොට නොතිබූ නිසාවෙනි. කොපර්නිකස් සිය කෘතිය පුදා තිබුණේ ද තුන්වන පෝල් පාප්වරයාට ය. ග්‍රෙගරි පාප්වරයා සිය දින දර්ශනය සැකසුවේ ද කොපර්නිකස්ගේ ගණනයන් මත පිහිටමිනි. ඩොමිනිකන් නිකායේ ටොසලානි වැනි ඇතැම් අය කොපර්නිකස්ව විවේචනය කළ ද එය හුදෙක් ම ශාස්ත්‍රීය විවේචනයක් පමණක් ම වූ අතර එකල බලවත් ජුසෙයිට් නිකාය කොපර්නිකස්ගේ මතයට පක්ෂ විය. ප්‍රතිසංස්කරණවාදීන් විරෝධතා එල්ල කොට තිබූ නමුත් ඒවා ආහාර මේසවල කතාබහ කෙරුණු දේ පමණි. කොපර්නිකස්ට විශාල පිළිගැනීමක් ඒ යුගයේ ලැබුණු අතර ඔහුට ආගමෙන් බලපෑම්කාරී බාධාවක් එල්ල වීය යන්න සහමුලින් ම අසත්‍යයකි.
(Repcheck, Jack. Copernicus' secret: How the scientific revolution began. Simon and Schuster, 2007.) හේතුවාදීන්ගේ බොරු කීමේ හැකියාවට සැම්සන් මහතා මේ වන විට ගණන් කළ නො හැකි තරම් උදාහරණ සපයා ඇත.

පසුගිය වාරයේ මා පැවසුවේ ඔබට මිදුලට බැස අහස දෙස බැලීමෙන් පෘථිවි කේන්ද්‍රවාදය දැක බලා ගත හැකි බව ය. සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ප්‍රායෝගිකව පෙනෙන්නේ යැයි විවිධ සංසිද්ධි කීපයක් ඉදිරිපත් කොට ඇත. එම සංසිද්ධි විමසා බලන විට පෙනෙන්නේ සූර්ය කේන්ද්‍රවාදය නොව සැම්සන් මහතාගේ නො දැනුවත්කමේ තරම ය.

ඔහු ඉදිරිපත් කරන කරුණු වන්නේ ග්‍රහයන් වක්‍ර වීම (retrograde), පෘථිවියට සාපේක්ෂව තාරකාවල චලනය, බුධ හා සිකුරුට පොළොවේ සිට ඇති දුර පොළොවේ සිට හිරුට ඇති දුරට වඩා අඩු වැඩි වීම වොයේජර් යානාවල වීඩියෝ දර්ශන යන කරුණු ය. මේ කරුණු කිසිවකින් පෘථිවි කේන්ද්‍රවාදය බිඳ හෙළිය නො හැකි ය.

මුලින් ම පෘථිවියට සාපේක්ෂව තාරකාවල චලනය සලකමු. පෘථිවියට සාපේක්ෂව තාරකා චලනය වන බව කීමෙන් ම පෙනෙන්නේ එය පෘථිවියේ සිට පැහැදිලි කොටගෙන ඇති බවයි. ඇත්තෙන් ම මෙසේ තාරකාවල චලිතයක් (stellar parallax) ඉතා දියුණු දුරේක්ෂවලට හැරුණු කොට හසු නොවන තරම් ය. මේ පිහිටීම් වෙනස් වීම අතිශයින් ම කුඩා ය. එහෙත් මෙය පෘථිවි කේන්ද්‍රවාදයට කිසි ලෙසකින්වත් ගැටලුවක් නොවේ. ගැටලුව ඇති වන්නේ තාරකා නිශ්චලයැයි උපකල්පනය කිරීම හේතුවෙනි. තාරකා නිශ්චලය යන්න අතීතයේ පැවති සාවද්‍ය අදහසකි. පෘථිවි කේන්ද්‍රවාදයේ එවන් දෘඩ උපකල්පනයක් නැත. තරුවක් වන සූර්යයා චලනය වන විට අනෙක් තරු නිශ්චලව තිබිය යුත්තේ ඇයි? තාරකාවල චලිතයක් 'පෙනීම' පෘථිවි කේන්ද්‍රවාදයේ දී ගැටලුවක් නො වේ. එනිසා මෙම කරුණින් කිසිදු බලපෑමක් එල්ල නො වේ.

වොයෙජර් යානාවල වීඩියෝ දර්ශන ගැන කියන කරුණු ද අසත්‍ය ය. වොයේජර් යානාවලින් ලැබෙන්නේ යානයට සාපේක්ෂ වීඩියෝ ය. ඒවායෙන් සැම්සන් මහතා පවසන ආකාරයේ වීඩියෝවක් සාදාගත හැක්කේ සූර්යයා එක ම පිහිටුමකට එන ලෙස සංස්කරණය කිරීමෙනි. එම සංස්කරණිත වීඩියොවෙන් කිසිවක් කියැවෙන්නේ නැත. අවශ්‍ය නම් පොළොව එක ම පිහිටුමේ පවතින සේ වීඩියෝවේ ඡායාරූප සංස්කරණය කරගනිමින් පෘථිවිය වටා ග්‍රහලෝක චලිතය දැකිය හැකි ය. අධෝරක්ත දුරේක්ෂ ආදියෙන්, ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ආදියෙන් ගන්නා ප්‍රතිබිම්බ පරිගණකානුසාරයෙන් සංස්කරණය කොට වර්ණ ගන්වා එවන ඡායාරූපවලින් වර්ණය පිළිබඳ නිසි දත්ත ලබා ගත නො හැකි ලෙසින් ම මෙවන් සංස්කරණිත වීඩියෝ මඟින් සූර්යකේන්ද්‍රවාදය නිර්ණය කළ නො හැකි ය.

මීළඟට අපි ග්‍රහ චලිතය පිළිබඳව විමසමු. හේතුවාදීන් ඇතුළු බොහෝ දෙනා සිතා සිටින්නේ පෘථිවි කේන්ද්‍රවාදයේ ග්‍රහ චලිතයන් විස්තර කරන්නේ පළමු රූපයේ ආකාරයෙන් බවයි. මෙය කරුණු නො දැනීමෙන් ඇතිවන සාවද්‍ය අදහසකි.

පෘථිවි කේන්ද්‍රවාදයේ ග්‍රහචලිතය නිරූපණය කරන්නේ චක්‍ර (deferent) හා අපි චක්‍ර (epicycles) ඇසුරෙනි. අපිචක්‍ර නම් වෘත්තයක් ප්‍රධාන චක්‍රය වටා යයි. ග්‍රහලෝකය ගමන් කරන්නේ මෙම අපිචක්‍රය වටා ය. මෙවැනි අපිචක්‍ර කිහිපයක් තිබිය හැකි ය. එ නිසා පෘථිවියේ සිට ග්‍රහලෝකයකට ඇති දුර සැමවිට ම නියතව පවතින්නේ නැත. ප්‍රධාන චක්‍රයට දුර නියත වුව ද ග්‍රහලෝකය අපිචක්‍රයේ ගමන් කරන විට පොළොවට ළං වීම හා ඈත් වීම සිදුවේ. මේ අපිචක්‍ර ක්‍රමය කිසිසේත් ම නො දියුණු ක්‍රමයක් නො වේ. මෙය ග්‍රහලෝක කක්ෂයේ ෆූරියර් ශ්‍රේණියයි. ඔබේ නිවසේ ඇති ගුවන් විදුලි යන්ත්‍රය රූපවාහිනිය පරිගණකය ජංගම දුරකතනය ආදී සියල්ල තනා ඇත්තේ ෆූරියර් ශ්‍රේණිය මඟින් ගණනය කිරීම් කරමිනි. චන්ද්‍රිකා සන්නිවේදනය සිදුවන්නේ ද ෆූරියර් ශ්‍රේණිය ඇසුරෙන් කරන ගණනය කිරීම් මඟිනි. විද්‍යුත් පරිපථ නිර්මාණයේ දී මෙන් ම අවකල සමීකරණ විසඳීමේ දී ද, වඩදිය හා ඇතැම් කාලගුණික ගණනයන්හි දී ද මෙම ක්‍රමය ඉතා වැදගත් ය. මෙම ක්‍රමය මුලින් ම යොදා ගෙන ඇත්තේ ජ්‍යෝතිෂ්‍යයේ ය. සායන නිරායන ජ්‍යෝතිෂ්‍ය ක්‍රම දෙකට ම මෙය පොදු ය. ඕනෑ ම සංකීර්ණ කක්ෂයක් මෙසේ නිරූපණය කළ හැකි අතර එහි දී ගණනයන් සරල වේ. මෙය ඉතා වටිනා ක්‍රමවේදයකි.




පෘථිවි කේන්ද්‍රවාදයේ දී පොළොවේ සිට සූර්යයාට ඇති දුරට වඩා සිකුරුගේ හා බුධගේ දුර අඩු වැඩි වීම විස්තර කරන්නේ අදාළ ග්‍රහලෝකයක හා සූර්යයාගේ චක්‍ර අතර අරයන්ගේ වෙනසට වඩා අපිචක්‍ර අරයන්වල දිගේ එකතුව විශාල වීමේ ප්‍රතිඵලයක් ලෙසය. මේ නිසා පෘථිවියට පෙනෙන සූර්යයාගේ පථයෙන් ඇතුළටත් පිටටත් බුධ හා සිකුරු එළඹේ. සූර්යකේන්ද්‍රවාදයේ දී පවා ප්ලූටෝ හා නෙප්චූන් යන ආකාශ වස්තූන් එකිනෙකාගේ පථයන් ඡේදනය කරගනිමින් ගමන් කරන බව සැම්සන් මහතාට සිහිපත් නො වීම අරුමයකි. වල්ගා තරු කක්ෂ ද ග්‍රහලෝක ගණනාවක ම කක්ෂ ඡේදනය කරමින් වැටී ඇත. ප්ලූටෝ නෙප්චූන් වටා යන්නේ යැයි කියැවෙන්නේ නැත. (අතීතයේ එසේ වන්නට ඇත යන්න අදාළ නොවේ. වර්තමානයේ ද කක්ෂ ඡේදනය වුවද එය එවැන්නක් කීමට තරම් ප්‍රමාණවත් නොවේ.)

බුධ හා සිකුරු ග්‍රහලෝකවල පොළොවට ඇති දුර සූර්යයාට වඩා අඩු වැඩි වීමෙන් ඒවා සූර්යයා වටා චලනය වන්නේ ම යැයි කීමට හැකියාවක් නැත. එසේ වූ විට එම ග්‍රහලෝක දෙක පෙන්වා එසේ නොවන අනෙක් ග්‍රහලෝකවලට ද එය යෝජනා කොට පොළොවටත් යෝජනා කිරීම විහිළුවක් ම පමණි. සැම්සන් මහතාගේ මෙම තර්කය ද බිඳී යයි.

ග්‍රහලෝක වක්‍ර වීම ගැන මීළඟට කතා කරමු. ඇතැම් ග්‍රහලෝක අහස් ගෝලයේ (ඛගෝලයේ) ගමන් කරන අතරතුරේ දී සුළු කාලයක් ආපසු හැරී ගමන් කොට නැවත හැරී මුල් දිශාවට ගමන් කරයි. ග්‍රහයින් වක්‍ර වීම ලෙස හැඳින්වෙන්නේ මෙම ගමනයි. මෙය පෘථිවි කේන්ද්‍රවාදයට හෝ ජ්‍යෝතිෂ්‍යයට තර්ජනයක් යැයි කීම අනවබෝධයෙන් කරන කතාවකි. පෘථිවි කේන්ද්‍රවාදීන් මීට ඉතා සිත් ඇදගන්නා සුලු පැහැදිලි කිරීමක් දී ඇත.

නැවත වරක් චක්‍ර හා අපිචක්‍ර දැක්වෙන රූපසටහන බලන්න. අපිචක්‍රය පොළොව වටා චක්‍රය ඔස්සේ ගමන් කරන අතරතුරේ දී ග්‍රහලෝකය අපිචක්‍රය දිගේ එහි කේන්ද්‍රය වටා ගමන් කරයි. මෙහිදී යම් අවස්ථාවක දී චක්‍රයේ ප්‍රවේගය හා අපිචක්‍රයට සාපේක්ෂ ග්‍රහලෝකයේ ප්‍රවේගය එක ම දිශාවට ද තවත් අවස්ථාවක දී විරුද්ධ දිශාවට ද පවතී. අපිචක්‍රය ඔස්සේ ග්‍රහලෝකය ගමන් කරන්නේ චක්‍රය ඔස්සේ අපිචක්‍රය ගමන් කරන වේගයට වැඩි වේගයකින් නම් ග්‍රහලෝකයක් සිය ගමන අතරතුර සුළු කාලයක දී සිය සම්ප්‍රයුක්ත වේගය ප්‍රතිවර්ත්‍ය කරගනී. ප්‍රතිඵලය වන්නේ ග්‍රහලෝකය වක්‍ර වීමයි. (සුළු කාලයක් ආපස්සට ගමන් කිරීමයි)


පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්යකේන්ද්‍රවාදය අතර විවාදයේ අවසාන භාගය වන විට පෘථිවි කේන්ද්‍රවාදීන් මෙම වක්‍ර වීමේ සංවාදය ජයගෙන තිබුණි. තමාගේ මතයෙන් පැහැදිලි කළ නො හැකිවූ දුරේක්ෂ නිරීක්ෂණ ගණනාවක් ගැලීලියෝ රහසිගතව සඟවා දැමූ බව පසුකාලීනව අනාවරණය වූ ප්‍රකට කරුණකි. මෙය ගැලීලියෝගේ ආචාරධර්මීය ක්‍රියාකාරිත්වය අභියෝගයට ලක් කෙරෙන අවස්ථාවකි.

නිවුටෝනීය ගුරුත්වාකර්ෂණයෙන් සූර්ය කේන්ද්‍රවාදය ඍජුව තහවුරු නො කෙරේ. නිවුටන්ගේ නියම වලංගු අවස්ථිති රාමුවල ය. මෙවන් රාමු නොමැති බව අර්න්ස්ට් මාක් හා අයින්ස්ටයින් පෙන්වා දී ඇත. මේ බව මේ ලිපිවල ආරම්භක ලිපිවල ම විස්තර කර දී ඇත. ස්කන්ධය වැඩි වස්තුව වටා චලනය වීමක් ගැන නිවුටන්ගේ මතවාදයේ දී කියැවෙන්නේ නැත. මෙසේ සැලකුවහොත් ස්කන්ධයෙන් වැඩි වස්තුවේ 'උදම් බල' ඇති වීම පැහැදිලි කළ නො හැකි ය. නිවුටන්ගේ නියමවලට අනුව සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ අචල ඉලිප්සවල ය. පසුව නිරීක්ෂණය වූයේ සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන්නේ අචල ඉලිප්සවල නොව ඉලිප්සය ද කරකවා ගනිමින් බව ය. මෙය නිවුටන්ට පැහැදිලි කළ හැකි වූයේ නැත. නිවුටන්ගේ භෞතික විද්‍යාවේ උපකල්පන බැහැර කරමින් අයින්ස්ටයින් සාධාරණ සාපේක්ෂතාවාදය නිර්මාණය කළේ ය. ඉන් මේ නිරීක්ෂණ පැහැදිලි කළ හැකි විය. සාධාරණ සාපේක්ෂතාවාදය අනුව සියලු චලිතයන් සාපේක්ෂ ය. ඉන් එකක් අනෙකකට වඩා දියුණු හෝ වැදගත් හෝ සත්‍ය හෝ නැත. සාධාරණ සාපේක්ෂතාවාදය අනුව පෘථිවි කේන්ද්‍රවාදයත් සූර්ය කේන්ද්‍රවාදයත් සමාන නිරවද්‍යතාවයෙන් යුතු ය. මේ බව මම මීට පෙර අයින්ස්ටයින්ගෙන් ම උපුටා දැක්වීමි. අයින්ස්ටයින්ට අනුව ගුරුත්වාකර්ෂණය බලයක් නො පවතින අතර අංශූන් ගමන් කරන්නේ අවකාශ කාලයේ ඇති කාල සමාන භූමිතිකවල ය (time like geodesic). (භූමිතිකයක් යනු අවකාශ කාලයේ පවතින අවම වක්‍රතාවයෙන් යුතු රේඛාවකි.) සැම්සන් මහතා යල් පැන ගිය භෞතික විද්‍යාවෙන් මිදිය යුතු ය. ස්කන්ධය වැඩි නිසා සූර්යයා වටා අනෙක් වස්තු ගමන් කළ යුතු බව බොළඳ තර්කයකි. සියලු අංශු ස්පර්ශීය හෝ විද්‍යුත් චුම්භක අන්තර්ක්‍රියා රහිත විට අවකාශ කාල භූමිතිකයන්හි ගමන් කරයි.

කොපමණ සූර්ය කේන්ද්‍රවාදය ගැන කියූව ද සැම්සන් මහතා ද තවමත් හිත යටින් පොළොවේ පය ගසා සිටිනා පෘථිවි කේන්ද්‍රවාදියකු බව පෙන්වන ප්‍රකාශයක් ද ඔහු සිදු කොට ඇත.

එනම් වොයේජර් යානා "හිරු වටා එක් වටයක් පුරා ම එනම් දින 365ක් තිස්සේ ම පෘථිවියේ වෙනස්කම්" පිළිබඳව ඡායාරූප එවා ඇති බවයි. අපට හුරුපුරුදු දිනයක් පැය 24 කි (තත්පර 86400කි). ඒ ඉර පෑයීම් දෙකක් අතර කාලයයි. එහෙත් සූර්ය කේන්ද්‍රවාදය අනුව පෘථිවියේ භ්‍රමණ කාලය පැය 23 මිනිත්තු 56 තත්පර 4කි. මෙසේ වන්නේ සූර්යයා වටා පරිභ්‍රමණය වීම ම අමතර භ්‍රමණයක් ලබා දෙන බැවිනි. මේ නිසා එක ම තරු රටාව ඊළඟ දිනයේ පායන්නේ පළමු දිනයේ වේලාවට මිනිත්තු හතරකට පෙර ය.  පැය විසි හතරේ දිනයක් ජ්‍යෝතිෂ්‍යයේ සාවන දිනයක් (civil day) නම් වේ. පැය 23 මිනිත්තු 56 හි පෘථිවි භ්‍රමණ කාලය තාරකා විද්‍යාව අනුව තාරකා දිනයකි (stellar day). සූර්යයා වටා එක් පෘථිවි පරිභ්‍රමණයකට සාවන දින 365.25ක් පමණ ඇති අතර තාරකා දින 366.25ක් ඇත. සාවන දින යනු පෘථිවියට දෘශ්‍යමාන වන දෙයකි. වොයෙජර් යානාවල ඡායාරූපවලින් සාවන දින පෙන්නුම් වූයේ කෙසේ දැයි නාසා ආයතනය වෙන ම පරීක්ෂණයක් ඇරඹිය යුතු ය! සැම්සන් මහතා සූර්ය කේන්ද්‍රවාදය ගැන කියන්නේත් පෘථිවි කේන්ද්‍රවාදීව ම වීම දෛවයේ සරදමකි.

මෙවර සූර්ය සිද්ධාන්තයේ පරිච්ඡේද කිහිපයක් පරිවර්තනය කිරීමට සූදානම්ව සිටිය ද මේ ගෙවී යන්නේ මා හට කාර්ය බහුල ම සතියක් බැවින් එම පොරොන්දුව ලබන සතියට කල් දැමීමට සිදුවේ.

දෙසතියකින් නැවත හමුවන අතරතුර සැම්සන් මහතාගේ මෙවන් පිළිතුරු ලිපි කියවා හාස්‍ය රසයෙන් කුල්මත් වෙමු.

          - තමලු මලිත්ත පියදිගම

මිථ්‍යා ප්‍රෝඩා ලේබල් ගසමින් ගොබෙල්ස් න්‍යයෙන් සමාජයට වින කැටීම

2017.08.12. ඉරිදා රිවි




වෛද්‍ය චන්දන රණසිංහ මහතා අගෝස්තු 06 රිවිරෙහි මට පිළිතුරක් ලෙස 'ප්‍රෝඩාකාරී මතවාද ආරක්ෂා කිරීම සමාජය අගාධයට යැවීමක්' යන හිසින් ලිපියක් ලියා තිබුණි. තමා තම මතය ම තරයේ අදහාගෙන සිටින්නකු නො වන බව ප්‍රකාශිතව කීමට ඒ මහතා දැඩි වෙහෙසක් දරා තිබුණ ද හේතුවාදීන්ගේ සුපුරුදු අධානග්‍රාහීත්වය (dogmatism) චන්දන මහතා ද තම ක්‍රියාවෙන් පෙන්වා ඇති බව විමසිල්ලෙන් බැලූ විට පෙනී යයි. හේතුවාදීන් කරුණු වසන් කිරීමට යොදා ගන්නා වාග් හරඹ කිහිපයක් ම මෙහි ද යෙදී ඇත.

"මලිත්ත පියදිගම මහතා අමුතු තර්කයක් ගොඩනඟයි" යනුවෙන් පවසන ඒ මහතා ඉන්පසු උපුටාගැනීමේ කොමා තුළ ඡේදයක් දක්වයි. මෙය ඔහුගේ වංචනික උපක්‍රමයකි. සංවාදයක දී උපුටා ගැනීමේ කොමා තුළ දක්වන්නේ යම් අයකු එලෙසින් ම කියා ඇති කොටස් උපුටා ගන්නා විට ය. චන්දන මහතාගේ ඡේදයේ ඇත්තේ මා කොතනවත් කියා තිබෙන යමක් නො වේ. ඒ මහතා ම කළ (වැරදි) සාරාංශයකි. වෙනත් අයකුගේ ප්‍රකාශ තමා සාරාංශ කළ විට ලිවිය යුත්තේ උපුටා ගැනීමේ කොමා රහිතව යන්න ඒ මහතා නො දන්නා බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් සංවාද විනය උල්ලංඝනය කරමින් ම ඒ මහතා දක්වා ඇති සාරාංශය කිසිසේත් ම මට අදාළ වන්නක් නො වේ. මා කියා ඇත්තේ විද්‍යාත්මක ක්‍රමය යටතේ හේතුවාදීන්ට (rationalist - බුද්ධිවාදීන්ට) ලබා ගත හැකි වූ ඉහළ ම ප්‍රවේශය නිරූපණය කරන්නේ කාල් පොපර් බව හා ලංකාවේ හේතුවාදී සංගමයේ දැවැන්ත චරිත තමන් පොපර්වාදීන් බව පවසා ඇති බව ය. (කාල් පොපර්ගේ දර්ශනය හැඳින්වෙන්නේ ද critical rationalism යන නමිනි.) එහෙයින් ඒ මහතාගේ සාවද්‍ය සාරාංශය ඔහුගේ යමක් කියවා වටහා ගැනීමේ දුර්වලතාවයෙහි හෝ පාඨකයා වචන හරඹයෙන් මුළා කිරීමේ ආශාවෙහි හෝ ප්‍රතිඵලයකි.

   මින් පසුව චන්දන මහතා තවත් හරඹයක යෙදේ. ඔහු කියනුයේ අද ලෝකයේ පිළිගැනෙන්නේ "නොබෙල් ත්‍යාගලාභී තෝමස් කූන්" වැනි අය බව ය. තෝමස් කූන්ට නොබෙල් ත්‍යාගය පිරිනැමුණු බව පැවසීමෙන් චන්දන මහතාගේ විමර්ශනශීලීත්වයේ තරම හොඳින් ම පෙනේ. තෝමස් කූන්ට නොබෙල් ත්‍යාගය හිමි නො වුණා පමණක් නොව ඔහුගේ විශිෂ්ට දායකත්වය හිමි වූ විද්‍යාත්මක විධික්‍රම අධ්‍යයනය ඇතුළත් ඥානවිභාගය (epistemology) නොබෙල් ත්‍යාගය ලබා දෙන විෂය ක්ෂේත්‍රවලින් එකක් නො වේ. (නොබෙල් ත්‍යාගයකට නිර්දේශ වූ කූන්, තෝමස් කූන් නොව රිචඩ් කූන් නම් වෙනත් කෙනෙකි. ඒ 1938 දී රසායන විද්‍යාවට ය.) මෙතරම් නො විමසිලිමත් බවින් යුතුව අවිචාරවත්ව ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් පලකිරීමට ඉක්මන් වූ ඒ මහතා තෝමස් කූන්ගේ නම ප්‍රකාශ කරමින් කරන්නේ ද කදිම තර්කයකි: තෝමස් කූන් වැනි අය පිළිගන්නේ විද්‍යාත්මක විධි ක්‍රමයයි. අද ලෝකයේ පොපර්ට වඩා තෝමස් කූන්ට තැනක් ඇති බව සැබෑ ය. කූන්ගේ අදහස පොපර්ට වඩා ඉතා දියුණු එකකි. අද ලෝකයේ මේ සම්බන්ධව බහුලව පිළිගැනෙන්නේ තෝමස් කුන්ගේ හා පෝල් ෆෙයරබාන්ඩ්ගේ අදහස් ය. (විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ අදහස්වල වර්ධනය 2017 ජූලි 02 දින පත්‍රයට මා ලියූ 'විද්‍යාත්මක ක්‍රමය හා සුරංගනා කතා' ලිපියේ දැක්වේ.) චන්දන මහතා කූන්ගේ කිසිදු මතවාදයක් ඉදිරිපත් නො කර නම පමණක් ඉදිරිපත් කරයි. ඇත්තෙන් ම ඒ මහතා කූන්ගේ මතවාද පිළිබඳ අධ්‍යයනය නො කළ බව හොඳින් ම පෙනෙන්නේ කූන් හේතුවාදියකු නො වන බැවිනි. හේතුවාදය ලෝකයේ තවදුරටත් බරපතලව සලකන්නක් නොවන බැවින් කූන්ට වැඩි පිළිගැනුමක් හිමි වීම ගැන කිසි අරුමයක් නැත.

හේතුවාදයේ (rationalism) නියමවලින් විද්‍යාව අර්ථකථනය කළ නො හැකි බව පෙන්වූ කූන්ට හේතුවාදීන් එල්ල කළ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු විද්‍යාව අහේතුක (irrational) යැයි කියූ බවයි. (This rejection of rules of rationality was one of the factors that led Kuhn's critics to accuse him of irrationalism - Stanford Encyclopedia of Philosopy) පොපර් හේතුවාදියකු වූ අතර ඔහුට පසුව විද්‍යාත්මක විධික්‍රමයන් ගැන ප්‍රධාන ලෙස අදහස් දැක්වූවෝ හේතුවාදයට විරුද්ධ මතධාරියෝ වූ හ. (ලකටෝස් හේතුවාදියකු වුව ද ඔහු අසාර්ථක ලෙස උත්සාහ කළේ පොපර්ගේ ක්‍රමවේදය වර්ධනය කිරීමටයි.) අනෙක තිබුණේ එක ම විද්‍යාත්මක විධික්‍රමයක් බව චන්දන මහතා කියා සිටියි. එය ඒ මහතා මේ පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නො කළ බව ම කියාපාන්නකි. විද්‍යාත්මක විධික්‍රම පහක් ගැන මතවාද ඥානවිභාගයේ පවතී. කූන් සිය Structure of Scientific Revolution නිබන්ධනයෙන් ඉදිරිපත් කළේ මින් සාපේක්ෂක ක්‍රමය නමින් හැඳින්වෙන මතයයි. එනම් සුසමාදර්ශ (paradigm) යනුවෙන් දැනුම් පද්ධති ඇති බවත් විද්‍යාත්මක විධික්‍රමයන් ඒ ඒ පද්ධතියට සාපේක්ෂ බවත් ය. (They - paradigms  - are the source of the methods, problem-field, and standards of solution accepted by any mature scientific community at any given time.
- Kuhn T. , Structure of Scientific Revolution , Chapter IX)
එනම් විද්‍යාවෙන් උපරිම ව කළ හැක්කේ දැනුමක් යම් පද්ධතියකට ගැළපේ ද බැලීම මිස සත්‍ය අසත්‍ය සෙවීමක් නො වේ. මෙය හේතුවාදීන්ට හිතකර මතයක් නො වේ. මෙය අනුව ජ්‍යෝතිෂ්‍ය වෙන ම පද්ධතියකි. එවිට ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ කටයුතු සඳහා විධික්‍රම සෙවිය යුත්තේ ජ්‍යෝතිෂ්‍යයෙන් ම මිස වෙනත් පද්ධතිවලින් නො වේ. එනම් ජ්‍යෝතිෂ්‍ය ගවේෂණයට බටහිර විද්‍යාව අදාළ නො කරගත යුතු ය. (ජ්‍යෝතිෂ්‍ය හා බටහිර විද්‍යාව අතර සුසමාදර්ශ ඉක්මවූ 'චින්තන' වෙනසක් පවා ඇත. චින්තනය නලින් ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඥානවිභාග සංකල්පයකි.). කූන්ව අදාළ කරගතහොත් ලංකාවේ හේතුවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට යාන්තමින්වත් සුජාතභාවයක් හිමි නො වේ. ෆෙයරබාන්ඩ් නම් පැහැදිලිව ම ගුප්ත විද්‍යා හා ජ්‍යෝතිෂ්‍ය හෙළාදැකීමේ ක්‍රියාවලට තම විරෝධය එක එල්ලේ පළ කළේ ය. ඔහු විද්‍යාත්මක ක්‍රමයක් යනුවෙන් යමක් නොමැති බව සිය Against Method කෘතියෙන් පෙන්වා දුන්නේ ය. ඉතින් මෙවැනි හේතුවාදයට විරෝධී දාර්ශනිකයන් පිළිබඳ කතා නො කොට හේතුවාදියකු වූ හා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ හේතුවාදීන් එළඹුණු ඉහළ ම ප්‍රවේශය නිරූපණය කළ පොපර් ගැන කතා කිරීම ගැන හේතුවාදීන් මට ස්තූතියක් දිය යුතු ය. මීට කූන් හෝ ෆෙයරබාන්ඩ් අදාළ කරගත්තේ නම් කටවහරේ වචන අනුව හේතුවාදීන්ට ඇපත් නැති වනු ඇත.

    මෙසේ තමාට වාසිදායක වන සේ දාර්ශනිකයන්ගේ නම් ගම් භාවිත කිරීමට පෙළඹෙන ඒ මහතා මා දාර්ශනික මතවාද මගේ වාසියට ගන්නේ ය කීම තරම් විහිළුවක් තවත් නැත. මම බොහෝ විට මතවාද හා තර්ක සාරාංශ කොට ප්‍රකාශ කිරීමට උත්සාහ කරමි. චන්දන මහතා වැනි හේතුවාදීන් මෙසේ හුදු නම් ගම් පමණක් කියා පැනයනු බොහෝ විට දක්නට ලැබේ.

   අභියෝග කිරීමේ සාපරාධී බව ගැන ඒ මහතා අසයි. කූන්ගේ ම ඉහත දැක්වූ නිබන්ධය කියවූයේ නම් එය ඒ මහතාට හොඳින් ම අවබෝධ කරගත හැකි ය. එක් පද්ධතියක සත්‍ය අසත්‍යභාවය මැනීමට පිටත වෙනත් පද්ධතියක සිට ක්‍රමවේද ලබා දිය හැකි නො වේ. එනිසා අභියෝග ඉදිරිපත් කිරීම අර්ථ විරහිත ය. උපරිමව කළ හැක්කේ දැනුමක් පද්ධතියකට ගැළපීම මිස සත්‍ය අසත්‍ය සෙවීමක් නො වේ. සූර්ය කේන්ද්‍රවාදය ගැන පැවසූ ගැලීලියෝට බෙලාමින් කාදිනල්වරයා අභියෝග කළේ භෞතික සාක්ෂ්‍යවලින් එය ඔප්පු කර පෙන්වන ලෙසයි. (හේතුවාදීන්ගේ වචනයෙන් නම් 'කරලා පෙන්වන්න') ගැලීලියෝ එම අභියෝගයෙන් වරක් පැරදීමෙන් පසු එය මඟ හැරියේ ය. ඒ වෙනුවට ඔහු Salviati හා Simplicio යන පුද්ගලයන් අතර සංවාදයක් ලෙස ඊට විරුද්ධව තර්ක (චන්දන මහතාගේ වචනයෙන් නම් කෙස් පැළෙන) කළේ ය. අදටත් සූර්යකේන්ද්‍රවාදයට භෞතික ඔප්පු කිරීමක් නැත.චන්දන මහතාට අනුව නම් පල්ලියේ ක්‍රියාකාරිත්වය නිවැරදි විය යුතු ය.

  බොළඳ අශාස්ත්‍රීය අභියෝග ඉදිරිපත් කරමින් කිසිදු සාධාරණ තර්කයකින් තොරව සාවද්‍ය තර්ක ගෙන එමින් තමා නියෝජනය කරන පද්ධතියෙන් පිටත පිහිටි ශාස්ත්‍රවලට මිථ්‍යා ලේබලය අලවමින් හේතුවාදීන් ගෙන යන ප්‍රොපගැන්ඩාව සාධාරණීකරණය කරන චන්දන මහතා මෙවන් අභියෝගවලින් තර්ජනයට ලක්වන්නේ නිවැරදි නොවන, ශක්තිමත් පදනමක් නැති අතාර්කික විෂයන් බවට අතිශයින් බොළඳ ප්‍රකාශයක් සිදු කරයි. හයිජීන්ස්ගේ ආලෝකය පිළිබඳ තරංගවාදය නිවුටන්ට සමකාලීනව ම ඉදිරිපත් වුවත් නිවුටන්ගේ දේශපාලන හා ඇකඩමික බලය ඔස්සේ ඇති කෙරුණු ප්‍රොපගැන්ඩාවට සෑහෙන කලක් තිස්සේ යට වී තිබුණි. සාවද්‍ය කටකතා හා ඕපාදූප පැතිරවීමෙන් මතවාද ද යටපත් කළ හැකි ය. එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගය නම් ඒ ප්‍රචාරවල අශාස්ත්‍රීයභාවය හෙළිදරව් කිරීමයි. කලබල නො වී කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීයභාවය හෙළිදරව් කරන මගේ ලිපි පෙළ අවසන් වනතුරු කියවා සිටින මෙන් ඒ මහතාට පවසා සිටිමි.

         පැතිරුණු අනාවැකි ගැන කියන ඒ මහතා සංඛ්‍යානය ගැන හා ආයුගණනය ආදී ගණිත ක්‍රම ගැන අල්පමාත්‍ර අවබෝධයක්වත් නැත්තකු බව පෙනේ. ජ්‍යෝතිෂ්‍ය ගැන කතා කිරීම මගේ ලිපි පෙළේ ඉදිරියේ දී සිදුවන්නක් බැවින් සවිස්තර පිළිතුරු ඉදිරියේ දී ලැබෙනු ඇත. පැරණි ශාස්ත්‍රවල ඇත්තේ තවදුරටත් වැඩක් නැති කෞතුක වටිනාකම් යැයි කියන ඒ මහතා මෙන් ම ෆෙයරබාන්ඩ්ගේ කෘතියකට විචාරයක් ලියූ ආචාර්ය හෙස් ද අප තර්ක සොයා නැවත ඇරිස්ටෝටල් වෙත හෝ වූඩූව (ගුප්ත වෛද්‍ය ක්‍රමයකි.) වෙත යාවි දැයි උපහාසයෙන් ඇසුවා ය. ඇත්තෙන් ම අයින්ස්ටයින් නිවුටන්ගේ සිට නැවත ඇරිස්ටෝටල්ගේ තර්ක කරා ගියේ ය. ඒ බව කූන්ගේ ඉහත ග්‍රන්ථයට ම 1969 දී ඔහු ලියූ පසුවදනෙහි 06 වන පරිච්ඡේදයේ අවසාන ඡේදයේ දැක්වේ. හේතුවාදීන් රිවිර පාඨකයන් කොණ්ඩේ බැඳපු චීනුන් යැයි සලකා දෝ විශාල වශයෙන් කරුණු මඟහැර තම තර්ක ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණකි.

     ඒ මහතා ඇතුළු හේතුවාදීන් නිතර ම මිථ්‍යාව, ප්‍රෝඩාව , සත්‍ය යන යෙදුම් භාවිත කරන්නේ කිසිදු සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව ය. (නැතිනම් බොළඳ තර්කවලිනි.). මිථ්‍යාව , ප්‍රෝඩාව , සත්‍ය යනු ඒවා ඇලවීමේ පරමාධිකාරී බලය හේතුවාදී සංගමයට ලබා දුන් ලේබල සමූහයක් යැයි සිතා තමාට රිසි රිසි සේ ඇලවීමට හේතුවාදීහු කටයුතු කරති. චන්දන මහතාගේ ලිපියේත් මේ හිතුවක්කාර ලේබල් ගැලවූ විට ගත යුතු කිසිවක් නැත.

හේතුවාදී සංගමයේ උපක්‍රමික න්‍යාය, සාධාරණ ලෙස කරුණු දැක්වීම නො ව එක ම ප්‍රලාපය සියවරක් කියූ විට සත්‍ය වේ යන හිට්ලර්ගේ ආණ්ඩුවේ ගොබෙල්ස්ගේ න්‍යාය අනුව මේ ලේබල පුනරුච්චාරණය කිරීම ය.
මගේ මේ වෑයම මෙවන් 'හිට්ලර්'ලා තමන්ට බාහිර පද්ධතිවලට දක්වන ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින් ලංකාවේ සංවාද අවකාශය මේ විපරීතභාවයෙන් ගලවා ගැනීමයි.

          - තමලු මලිත්ත පියදිගම 

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි