මිථ්‍යා ප්‍රෝඩා ලේබල් ගසමින් ගොබෙල්ස් න්‍යයෙන් සමාජයට වින කැටීම

2017.08.12. ඉරිදා රිවි




වෛද්‍ය චන්දන රණසිංහ මහතා අගෝස්තු 06 රිවිරෙහි මට පිළිතුරක් ලෙස 'ප්‍රෝඩාකාරී මතවාද ආරක්ෂා කිරීම සමාජය අගාධයට යැවීමක්' යන හිසින් ලිපියක් ලියා තිබුණි. තමා තම මතය ම තරයේ අදහාගෙන සිටින්නකු නො වන බව ප්‍රකාශිතව කීමට ඒ මහතා දැඩි වෙහෙසක් දරා තිබුණ ද හේතුවාදීන්ගේ සුපුරුදු අධානග්‍රාහීත්වය (dogmatism) චන්දන මහතා ද තම ක්‍රියාවෙන් පෙන්වා ඇති බව විමසිල්ලෙන් බැලූ විට පෙනී යයි. හේතුවාදීන් කරුණු වසන් කිරීමට යොදා ගන්නා වාග් හරඹ කිහිපයක් ම මෙහි ද යෙදී ඇත.

"මලිත්ත පියදිගම මහතා අමුතු තර්කයක් ගොඩනඟයි" යනුවෙන් පවසන ඒ මහතා ඉන්පසු උපුටාගැනීමේ කොමා තුළ ඡේදයක් දක්වයි. මෙය ඔහුගේ වංචනික උපක්‍රමයකි. සංවාදයක දී උපුටා ගැනීමේ කොමා තුළ දක්වන්නේ යම් අයකු එලෙසින් ම කියා ඇති කොටස් උපුටා ගන්නා විට ය. චන්දන මහතාගේ ඡේදයේ ඇත්තේ මා කොතනවත් කියා තිබෙන යමක් නො වේ. ඒ මහතා ම කළ (වැරදි) සාරාංශයකි. වෙනත් අයකුගේ ප්‍රකාශ තමා සාරාංශ කළ විට ලිවිය යුත්තේ උපුටා ගැනීමේ කොමා රහිතව යන්න ඒ මහතා නො දන්නා බව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් සංවාද විනය උල්ලංඝනය කරමින් ම ඒ මහතා දක්වා ඇති සාරාංශය කිසිසේත් ම මට අදාළ වන්නක් නො වේ. මා කියා ඇත්තේ විද්‍යාත්මක ක්‍රමය යටතේ හේතුවාදීන්ට (rationalist - බුද්ධිවාදීන්ට) ලබා ගත හැකි වූ ඉහළ ම ප්‍රවේශය නිරූපණය කරන්නේ කාල් පොපර් බව හා ලංකාවේ හේතුවාදී සංගමයේ දැවැන්ත චරිත තමන් පොපර්වාදීන් බව පවසා ඇති බව ය. (කාල් පොපර්ගේ දර්ශනය හැඳින්වෙන්නේ ද critical rationalism යන නමිනි.) එහෙයින් ඒ මහතාගේ සාවද්‍ය සාරාංශය ඔහුගේ යමක් කියවා වටහා ගැනීමේ දුර්වලතාවයෙහි හෝ පාඨකයා වචන හරඹයෙන් මුළා කිරීමේ ආශාවෙහි හෝ ප්‍රතිඵලයකි.

   මින් පසුව චන්දන මහතා තවත් හරඹයක යෙදේ. ඔහු කියනුයේ අද ලෝකයේ පිළිගැනෙන්නේ "නොබෙල් ත්‍යාගලාභී තෝමස් කූන්" වැනි අය බව ය. තෝමස් කූන්ට නොබෙල් ත්‍යාගය පිරිනැමුණු බව පැවසීමෙන් චන්දන මහතාගේ විමර්ශනශීලීත්වයේ තරම හොඳින් ම පෙනේ. තෝමස් කූන්ට නොබෙල් ත්‍යාගය හිමි නො වුණා පමණක් නොව ඔහුගේ විශිෂ්ට දායකත්වය හිමි වූ විද්‍යාත්මක විධික්‍රම අධ්‍යයනය ඇතුළත් ඥානවිභාගය (epistemology) නොබෙල් ත්‍යාගය ලබා දෙන විෂය ක්ෂේත්‍රවලින් එකක් නො වේ. (නොබෙල් ත්‍යාගයකට නිර්දේශ වූ කූන්, තෝමස් කූන් නොව රිචඩ් කූන් නම් වෙනත් කෙනෙකි. ඒ 1938 දී රසායන විද්‍යාවට ය.) මෙතරම් නො විමසිලිමත් බවින් යුතුව අවිචාරවත්ව ප්‍රසිද්ධ මාධ්‍යයේ අදහස් පලකිරීමට ඉක්මන් වූ ඒ මහතා තෝමස් කූන්ගේ නම ප්‍රකාශ කරමින් කරන්නේ ද කදිම තර්කයකි: තෝමස් කූන් වැනි අය පිළිගන්නේ විද්‍යාත්මක විධි ක්‍රමයයි. අද ලෝකයේ පොපර්ට වඩා තෝමස් කූන්ට තැනක් ඇති බව සැබෑ ය. කූන්ගේ අදහස පොපර්ට වඩා ඉතා දියුණු එකකි. අද ලෝකයේ මේ සම්බන්ධව බහුලව පිළිගැනෙන්නේ තෝමස් කුන්ගේ හා පෝල් ෆෙයරබාන්ඩ්ගේ අදහස් ය. (විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ අදහස්වල වර්ධනය 2017 ජූලි 02 දින පත්‍රයට මා ලියූ 'විද්‍යාත්මක ක්‍රමය හා සුරංගනා කතා' ලිපියේ දැක්වේ.) චන්දන මහතා කූන්ගේ කිසිදු මතවාදයක් ඉදිරිපත් නො කර නම පමණක් ඉදිරිපත් කරයි. ඇත්තෙන් ම ඒ මහතා කූන්ගේ මතවාද පිළිබඳ අධ්‍යයනය නො කළ බව හොඳින් ම පෙනෙන්නේ කූන් හේතුවාදියකු නො වන බැවිනි. හේතුවාදය ලෝකයේ තවදුරටත් බරපතලව සලකන්නක් නොවන බැවින් කූන්ට වැඩි පිළිගැනුමක් හිමි වීම ගැන කිසි අරුමයක් නැත.

හේතුවාදයේ (rationalism) නියමවලින් විද්‍යාව අර්ථකථනය කළ නො හැකි බව පෙන්වූ කූන්ට හේතුවාදීන් එල්ල කළ ප්‍රධාන චෝදනාවක් වූයේ ඔහු විද්‍යාව අහේතුක (irrational) යැයි කියූ බවයි. (This rejection of rules of rationality was one of the factors that led Kuhn's critics to accuse him of irrationalism - Stanford Encyclopedia of Philosopy) පොපර් හේතුවාදියකු වූ අතර ඔහුට පසුව විද්‍යාත්මක විධික්‍රමයන් ගැන ප්‍රධාන ලෙස අදහස් දැක්වූවෝ හේතුවාදයට විරුද්ධ මතධාරියෝ වූ හ. (ලකටෝස් හේතුවාදියකු වුව ද ඔහු අසාර්ථක ලෙස උත්සාහ කළේ පොපර්ගේ ක්‍රමවේදය වර්ධනය කිරීමටයි.) අනෙක තිබුණේ එක ම විද්‍යාත්මක විධික්‍රමයක් බව චන්දන මහතා කියා සිටියි. එය ඒ මහතා මේ පිළිබඳ කිසිදු අධ්‍යයනයක් නො කළ බව ම කියාපාන්නකි. විද්‍යාත්මක විධික්‍රම පහක් ගැන මතවාද ඥානවිභාගයේ පවතී. කූන් සිය Structure of Scientific Revolution නිබන්ධනයෙන් ඉදිරිපත් කළේ මින් සාපේක්ෂක ක්‍රමය නමින් හැඳින්වෙන මතයයි. එනම් සුසමාදර්ශ (paradigm) යනුවෙන් දැනුම් පද්ධති ඇති බවත් විද්‍යාත්මක විධික්‍රමයන් ඒ ඒ පද්ධතියට සාපේක්ෂ බවත් ය. (They - paradigms  - are the source of the methods, problem-field, and standards of solution accepted by any mature scientific community at any given time.
- Kuhn T. , Structure of Scientific Revolution , Chapter IX)
එනම් විද්‍යාවෙන් උපරිම ව කළ හැක්කේ දැනුමක් යම් පද්ධතියකට ගැළපේ ද බැලීම මිස සත්‍ය අසත්‍ය සෙවීමක් නො වේ. මෙය හේතුවාදීන්ට හිතකර මතයක් නො වේ. මෙය අනුව ජ්‍යෝතිෂ්‍ය වෙන ම පද්ධතියකි. එවිට ජ්‍යෝතිෂ්‍ය සම්බන්ධ කටයුතු සඳහා විධික්‍රම සෙවිය යුත්තේ ජ්‍යෝතිෂ්‍යයෙන් ම මිස වෙනත් පද්ධතිවලින් නො වේ. එනම් ජ්‍යෝතිෂ්‍ය ගවේෂණයට බටහිර විද්‍යාව අදාළ නො කරගත යුතු ය. (ජ්‍යෝතිෂ්‍ය හා බටහිර විද්‍යාව අතර සුසමාදර්ශ ඉක්මවූ 'චින්තන' වෙනසක් පවා ඇත. චින්තනය නලින් ද සිල්වා මහතා ඉදිරිපත් කළ ඥානවිභාග සංකල්පයකි.). කූන්ව අදාළ කරගතහොත් ලංකාවේ හේතුවාදීන්ගේ ක්‍රියාකාරකම්වලට යාන්තමින්වත් සුජාතභාවයක් හිමි නො වේ. ෆෙයරබාන්ඩ් නම් පැහැදිලිව ම ගුප්ත විද්‍යා හා ජ්‍යෝතිෂ්‍ය හෙළාදැකීමේ ක්‍රියාවලට තම විරෝධය එක එල්ලේ පළ කළේ ය. ඔහු විද්‍යාත්මක ක්‍රමයක් යනුවෙන් යමක් නොමැති බව සිය Against Method කෘතියෙන් පෙන්වා දුන්නේ ය. ඉතින් මෙවැනි හේතුවාදයට විරෝධී දාර්ශනිකයන් පිළිබඳ කතා නො කොට හේතුවාදියකු වූ හා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ හේතුවාදීන් එළඹුණු ඉහළ ම ප්‍රවේශය නිරූපණය කළ පොපර් ගැන කතා කිරීම ගැන හේතුවාදීන් මට ස්තූතියක් දිය යුතු ය. මීට කූන් හෝ ෆෙයරබාන්ඩ් අදාළ කරගත්තේ නම් කටවහරේ වචන අනුව හේතුවාදීන්ට ඇපත් නැති වනු ඇත.

    මෙසේ තමාට වාසිදායක වන සේ දාර්ශනිකයන්ගේ නම් ගම් භාවිත කිරීමට පෙළඹෙන ඒ මහතා මා දාර්ශනික මතවාද මගේ වාසියට ගන්නේ ය කීම තරම් විහිළුවක් තවත් නැත. මම බොහෝ විට මතවාද හා තර්ක සාරාංශ කොට ප්‍රකාශ කිරීමට උත්සාහ කරමි. චන්දන මහතා වැනි හේතුවාදීන් මෙසේ හුදු නම් ගම් පමණක් කියා පැනයනු බොහෝ විට දක්නට ලැබේ.

   අභියෝග කිරීමේ සාපරාධී බව ගැන ඒ මහතා අසයි. කූන්ගේ ම ඉහත දැක්වූ නිබන්ධය කියවූයේ නම් එය ඒ මහතාට හොඳින් ම අවබෝධ කරගත හැකි ය. එක් පද්ධතියක සත්‍ය අසත්‍යභාවය මැනීමට පිටත වෙනත් පද්ධතියක සිට ක්‍රමවේද ලබා දිය හැකි නො වේ. එනිසා අභියෝග ඉදිරිපත් කිරීම අර්ථ විරහිත ය. උපරිමව කළ හැක්කේ දැනුමක් පද්ධතියකට ගැළපීම මිස සත්‍ය අසත්‍ය සෙවීමක් නො වේ. සූර්ය කේන්ද්‍රවාදය ගැන පැවසූ ගැලීලියෝට බෙලාමින් කාදිනල්වරයා අභියෝග කළේ භෞතික සාක්ෂ්‍යවලින් එය ඔප්පු කර පෙන්වන ලෙසයි. (හේතුවාදීන්ගේ වචනයෙන් නම් 'කරලා පෙන්වන්න') ගැලීලියෝ එම අභියෝගයෙන් වරක් පැරදීමෙන් පසු එය මඟ හැරියේ ය. ඒ වෙනුවට ඔහු Salviati හා Simplicio යන පුද්ගලයන් අතර සංවාදයක් ලෙස ඊට විරුද්ධව තර්ක (චන්දන මහතාගේ වචනයෙන් නම් කෙස් පැළෙන) කළේ ය. අදටත් සූර්යකේන්ද්‍රවාදයට භෞතික ඔප්පු කිරීමක් නැත.චන්දන මහතාට අනුව නම් පල්ලියේ ක්‍රියාකාරිත්වය නිවැරදි විය යුතු ය.

  බොළඳ අශාස්ත්‍රීය අභියෝග ඉදිරිපත් කරමින් කිසිදු සාධාරණ තර්කයකින් තොරව සාවද්‍ය තර්ක ගෙන එමින් තමා නියෝජනය කරන පද්ධතියෙන් පිටත පිහිටි ශාස්ත්‍රවලට මිථ්‍යා ලේබලය අලවමින් හේතුවාදීන් ගෙන යන ප්‍රොපගැන්ඩාව සාධාරණීකරණය කරන චන්දන මහතා මෙවන් අභියෝගවලින් තර්ජනයට ලක්වන්නේ නිවැරදි නොවන, ශක්තිමත් පදනමක් නැති අතාර්කික විෂයන් බවට අතිශයින් බොළඳ ප්‍රකාශයක් සිදු කරයි. හයිජීන්ස්ගේ ආලෝකය පිළිබඳ තරංගවාදය නිවුටන්ට සමකාලීනව ම ඉදිරිපත් වුවත් නිවුටන්ගේ දේශපාලන හා ඇකඩමික බලය ඔස්සේ ඇති කෙරුණු ප්‍රොපගැන්ඩාවට සෑහෙන කලක් තිස්සේ යට වී තිබුණි. සාවද්‍ය කටකතා හා ඕපාදූප පැතිරවීමෙන් මතවාද ද යටපත් කළ හැකි ය. එයට විරුද්ධව ගත හැකි ක්‍රියාමාර්ගය නම් ඒ ප්‍රචාරවල අශාස්ත්‍රීයභාවය හෙළිදරව් කිරීමයි. කලබල නො වී කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීයභාවය හෙළිදරව් කරන මගේ ලිපි පෙළ අවසන් වනතුරු කියවා සිටින මෙන් ඒ මහතාට පවසා සිටිමි.

         පැතිරුණු අනාවැකි ගැන කියන ඒ මහතා සංඛ්‍යානය ගැන හා ආයුගණනය ආදී ගණිත ක්‍රම ගැන අල්පමාත්‍ර අවබෝධයක්වත් නැත්තකු බව පෙනේ. ජ්‍යෝතිෂ්‍ය ගැන කතා කිරීම මගේ ලිපි පෙළේ ඉදිරියේ දී සිදුවන්නක් බැවින් සවිස්තර පිළිතුරු ඉදිරියේ දී ලැබෙනු ඇත. පැරණි ශාස්ත්‍රවල ඇත්තේ තවදුරටත් වැඩක් නැති කෞතුක වටිනාකම් යැයි කියන ඒ මහතා මෙන් ම ෆෙයරබාන්ඩ්ගේ කෘතියකට විචාරයක් ලියූ ආචාර්ය හෙස් ද අප තර්ක සොයා නැවත ඇරිස්ටෝටල් වෙත හෝ වූඩූව (ගුප්ත වෛද්‍ය ක්‍රමයකි.) වෙත යාවි දැයි උපහාසයෙන් ඇසුවා ය. ඇත්තෙන් ම අයින්ස්ටයින් නිවුටන්ගේ සිට නැවත ඇරිස්ටෝටල්ගේ තර්ක කරා ගියේ ය. ඒ බව කූන්ගේ ඉහත ග්‍රන්ථයට ම 1969 දී ඔහු ලියූ පසුවදනෙහි 06 වන පරිච්ඡේදයේ අවසාන ඡේදයේ දැක්වේ. හේතුවාදීන් රිවිර පාඨකයන් කොණ්ඩේ බැඳපු චීනුන් යැයි සලකා දෝ විශාල වශයෙන් කරුණු මඟහැර තම තර්ක ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණකි.

     ඒ මහතා ඇතුළු හේතුවාදීන් නිතර ම මිථ්‍යාව, ප්‍රෝඩාව , සත්‍ය යන යෙදුම් භාවිත කරන්නේ කිසිදු සාධාරණ කරුණු ඉදිරිපත් කිරීමකින් තොරව ය. (නැතිනම් බොළඳ තර්කවලිනි.). මිථ්‍යාව , ප්‍රෝඩාව , සත්‍ය යනු ඒවා ඇලවීමේ පරමාධිකාරී බලය හේතුවාදී සංගමයට ලබා දුන් ලේබල සමූහයක් යැයි සිතා තමාට රිසි රිසි සේ ඇලවීමට හේතුවාදීහු කටයුතු කරති. චන්දන මහතාගේ ලිපියේත් මේ හිතුවක්කාර ලේබල් ගැලවූ විට ගත යුතු කිසිවක් නැත.

හේතුවාදී සංගමයේ උපක්‍රමික න්‍යාය, සාධාරණ ලෙස කරුණු දැක්වීම නො ව එක ම ප්‍රලාපය සියවරක් කියූ විට සත්‍ය වේ යන හිට්ලර්ගේ ආණ්ඩුවේ ගොබෙල්ස්ගේ න්‍යාය අනුව මේ ලේබල පුනරුච්චාරණය කිරීම ය.
මගේ මේ වෑයම මෙවන් 'හිට්ලර්'ලා තමන්ට බාහිර පද්ධතිවලට දක්වන ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින් ලංකාවේ සංවාද අවකාශය මේ විපරීතභාවයෙන් ගලවා ගැනීමයි.

          - තමලු මලිත්ත පියදිගම 

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි