ගුප්ත වූ බටහිර විද්‍යාවෙන් ගුප්ත විද්‍යාවන්ට බැට දීම




මේ ලිපි පෙළ සඳහා පළවන විවේචන ලිපිවලට පිළිතුරු දීමට යාමෙන් ලිපි පෙළේ අඛණ්ඩතාවයට බාධා වන බැවින් තීරණාත්මක තර්කයක් ඇති ලිපියක් සඳහා හැරුණු කොට අනෙක් ලිපි සඳහා පිළිතුරු දීම මේ ලිපි පෙළ අවසානයේ දී සිදු කිරීමට අදහස් කරමි. මෙතැන් සිට සහේතු හා ප්‍රබෝධගේ සාකච්චාව නැවතත් ....

සහේතු: ඔබට හිතෙන්නේ නැති ද ඔප්පු කිරීමක් නැති දේවල් තියෙන ගුප්ත විද්‍යාවන් මිථ්‍යාවක් කියලා. නූතන විද්‍යාව නම් ගොඩනැඟෙන්නේ පරීක්ෂණ මඟින් ඔප්පු කළ දේ මත.

ප්‍රබෝධ: ඔය කතාව ඔබ කියන්නේ බටහිර විද්‍යාව ගැන නිසි අධ්‍යයනයක් නො කර. බටහිර විද්‍යාව පුරා ම අවකාශකාලය, ඉලෙක්ට්‍රෝන , හයිඩ්‍රජන් බන්ධන වගේ හරිහමන් පැහැදිලි කිරීමක් නැති දේවල් තියෙනවා. නිරපේක්ෂ අවස්ථිති රාමුව , ගුරුත්වාකර්ෂණය වගේ අතාර්කික පට්ටපල් බොරුත් තියෙනවා. බටහිර විද්‍යාවේ මූලික පදනමට ගිහින් බැලුවොත් ඒකත් ගුප්තයි. මෙතන තියෙන්නේ එක ගුප්ත විද්‍යාවක් (බටහිර විද්‍යාව) අධිපති බලය ලබාගෙන අනෙක් ඒවාට එරෙහිව ආධිපත්‍යය පතුරුවනවා වගේ දෙයක්.

සහේතු: ඒත් ඒ සංකල්ප මත කොච්චර නිර්මාණ බිහි වෙලා තියෙනවා ද? ඒවා බොරු ද? අපි මේ කතා කරන රූපවාහිනි තාක්ෂණයෙන් ම පේනවා මේවා නිවැරදි බව.

ප්‍රබෝධ: ඕක බොළඳ තර්කයක්. දැන් බලන්න සන්නායකවල විද්‍යුත් ධාරා (electric current) ගලන්නේ ඉලෙක්ට්‍රෝන මඟින් කියා කියනවා. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ ඍණ ඉඳලා ධනට. ඒත් අපි විද්‍යුතය ගැන හදාරද්දී ධාරාව ධන ඉඳලා ඍණට ගලන දෙයක් විදිහට ගන්නවා. ඒ අතට ගලන දෙයක් සන්නායකයක නෑ. ඒත් ඉතින් විදුලි ඉංජිනේරුවෝ හදන උපකරණ හොඳින් වැඩකරනවා. ඒකෙන් කියැවෙන්නේ ධන ඉඳලා ඍණට ගලන දෙයක් තියෙන බව ද? නෑ. මේකෙන් පේන්නේ මොන විදිහට සැලකුවත් ඒකෙන් ප්‍රතිඵලයට බලපෑමක් නැති බව. ඒ නිසා සාවද්‍ය උපකල්පනවලින් පවා ක්‍රියාකාරී තාක්ෂණයක් ගොඩනඟන්න පුළුවන්.

සහේතු: දැන් අපි කොවුර්ගේ ඊළඟ අභියෝගය ගමු. හිස් අවකාශයෙන් මා කියන වස්තුවක් මවා පෙන්වන්න.

ප්‍රබෝධ: මෙතන දී තියෙන එක අඩුපාඩුවක් 'මා කියන වස්තුවක්' යන්නට මේක ලඝු කිරීම. එතකොට ඉතා සංකීර්ණ වස්තු ලබා දී ගැලවී යාමේ අවස්ථාව හේතුවාදීන් අත තබා ගැනීමක් සිදුවෙලා තියෙනවා. කොවුර් ඔය හිස් අවකාශයෙන් වස්තු මවන්න බෑ කියන්නේ ස්කන්ධ සංස්ථිති නියමය සලකලා. ඒත් ස්කන්ධ සංස්ථිති නියමය දැන් බිඳ වැටිලා ඉවරයි. ශක්තිය හා ස්කන්ධය එකිනෙකට පරිවර්තනය කළ හැකි බව අද වන විට අපි දන්නවා. හිස් අවකාශයක තියෙන ශක්තිය අපට අවශ්‍ය ලෙස ද්‍රව්‍ය බවට   හැරවිය හැකි ක්‍රමයක් හොයාගත්තොත් අපිට ශක්තිය ද්‍රව්‍ය බවට පරිවර්තනය කළ හැකියි. අනික් දේ . අමතක කරන්න එපා පරමාණුවක ඉතා විශාල කොටසක් හිස් අවකාශය. ද්‍රව්‍ය තියෙන ප්‍රමාණය ඉතා නො ගිණිය හැකියි. ඒත් අපට මේස පුටු වගේ දේ පේන්නේ හිඩැසක් නැතිව සන්තතිකව (continuous) තියෙන දේ විදිහට. මේසයක තිබෙන ද්‍රව්‍ය ප්‍රමාණය කැටි කරලා ගත්තොත් අල්පෙනිති තුඩක් පමණ ඇති. ඒත් අපිට විශාල අවකාශයක් මේසයක් විදිහට පේනවා. ඒ නිසා හිස් අවකාශයෙන් වස්තු මවා ගැනීම අපි හැමෝ ම කරන දෙයක්. දැන් විද්‍යාව ද්‍රව්‍ය කියන දේවලත් කොතරම් හිස් අවකාශ තියෙනවා ද කියලා කියන්න පුළුවන් කාට ද? සිත දියුණු කළ කෙනෙක්ට එය තමාගේ කැමැත්ත මත හැසිරවිය හැකි විය යුතුයි.

සහේතු: ඔබ කියන්නේ කළ හැකියි කියලා විතරනෙ.

ප්‍රබෝධ: කළු කුහර වගේ දේ ගැන බටහිර විද්‍යාවේ අවසානයේ කියන්නෙත් එපමණයි. කවුරුවත් දැකලා නෑ. ඇතැම් නිරීක්ෂණය කළු කුහරවලට අදාළ විය හැකියි කියලා කියනවා විතරයි. ඒත් කළු කුහර වැනි දෑ ඔබ බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට යට වී පිළිගන්නවා.

සහේතු: බටහිර විද්‍යාවේ උපකල්පන කරලා කරන ගණනය කිරීම් සත්‍ය වෙනවා. ගුප්ත විද්‍යා හැකියාවන් උපකල්පනය කරලාවත් වැඩක් ගත් කෙනෙක් ඉන්නවා ද?

ප්‍රබෝධ: ඕකට නම් මට උදාහරණයක් දෙන්න පුළුවන්. අයින්ස්ටයින් ගේ කුළුණේ චිත්ත පරීක්ෂණය (Einstein's Tower) එහෙම එකක්.

සහේතු: ටිකක් විස්තර කරන්න බැරි ද?
ප්‍රබෝධ: කුළුණක ඉහළ සිට වස්තුවක් අතහරිනවා. එය පොළොවට පතිත වෙද්දී මායාකරුවකු තම මායා බලයෙන් එම වස්තුව එම ශක්තියෙන් ම යුතු ෆෝටෝනයක් (ආලෝක අංශුවක්) බවට පත් කරලා නැවත ඉහළට යවනවා. කුළුණ මුදුණේ දී මායාකරුවා මේ ආලෝකය නැවත වස්තුවක් බවට පත් කරනවා.

සහේතු: මොකක් ද අයින්ස්ටයින් ඒකෙන් කියන්නේ.

ප්‍රබෝධ: වස්තුවක් පහළට වැටෙද්දී වේගය වැඩිවනවා. එතකොට පොළොවට වැටෙද්දී අමතර ශක්තියක් වස්තුවට එකතු වෙනවා. ඊට පස්සේ ඒක ෆෝටෝනයක් කරද්දී මේ මුළු ශක්තිය ම ෆෝටෝනයට ලැබෙනවා. ෆෝටෝනය ඉහළට ගිය විට ඒ ශක්තිය එහෙම ම තිබුණොත් නැවත එය වස්තුවක් කරද්දී ඒ වස්තුවට ආරම්භයේ දී තිබුණාට වඩා අමතර ශක්තියක් තියෙනවා. එතකොට මෙය ශක්තිය මැවීමේ ක්‍රමයක්. එවැන්නක් තිබිය නො හැකි බව කී අයින්ස්ටයින් කීවේ කෙසේ හෝ ඉහළට යන ෆෝටෝනයේ ශක්තිය අඩුවිය යුතු බව. ෆෝටෝනවල ශක්තිය අඩුවෙද්දී ආලෝකයේ තරංග සංඛ්‍යාතය අඩු වෙනවා. පසුකාලීන පරීක්ෂණවලින් මෙවැන්නක් සිදුවන බව පෙනුණා.
මේකේ වැදගත් ම දේ උසස් පෙළ සිසුනුත් දන්න දෙයක් තමයි තරංගවල සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැති ම තරම්. (ඩොප්ලර් ආචරණය වගේ ඒවගේ වෙන්නේ නිර්මාණය වෙලා තියෙන තරංගයක සංඛ්‍යාතය වෙනස් වීමක් නෙවෙයි.)  මෙතනදී තරංග සංඛ්‍යාතය වෙනස් වීම පැහැදිලි කරන්න පෘථිවියේ සිට විවිධ දුරින් ඇති තැන්වල කාලය ගලා යන්නේ එකිනෙකට වෙනස්ව වගේ දේත් උපකල්පනය කරන්න වෙනවා. හොඳට බැලුවොත් බටහිර විද්‍යාව ඔය කෝකටත් වඩා ගුප්ත විද්‍යාවක් තමයි. ගුප්ත දේවල් අනන්ත අප්‍රමාණයි. කෙසේවෙතත් හිස් අවකාශයේ වස්තු මැවීම ප්‍රයෝජනයට ගත් අවස්ථාවක් ඔන්න මම කීවා.

සහේතු: ඊළඟ අභියෝගය මුදල් නොට්ටුවක සර්වසම පිටපතක් නිපදවන්න.

ප්‍රබෝධ: පළමුවෙනි දේ හිස් අවකාශයේ වස්තු මැවීමයි මේකයි දෙකට කඩා අභියෝග දෙකක් විදිහට ඉදිරිපත් කිරීම අභියෝග සංඛ්‍යාව වැඩි කිරීමේ උපක්‍රමයක්. අනික් දේ මුදල් නෝට්ටුවක සියුම් කොටස් බොහෝයි. පූර්ණව නිරීක්ෂණය කිරීමට අපහසු සංකීර්ණ දෙයක් යොදාගෙන අභියෝග කිරීම කිසිසේත් සාධාරණ නෑ. 

සහේතු: ඊළඟ අභියෝගය ද්‍රව්‍යයක බර වැඩි කොට පෙන්වන්න.

ප්‍රබෝධ: බර කියන්නේ මොකක් ද? පෘථිවියෙන් වස්තුවකට යෙදෙන ගුරුත්වාකර්ෂණ බලය කියලයි කියන්නේ. ඒත් අපි බර මනිනවා කියලා මනින්නේ දුන්නක නැතිනම් පටියක ආතතිය හෝ සම්පීඩනය. නැතිනම් වස්තු දෙකකින් තරාදි තැටිවලට යෙදෙන ප්‍රතික්‍රියා බල. ඔය එකක්වත් බර නෙවෙයි. ඒ ඒ අගයන් අදාළ අවස්ථාවල දී බරට සමාන බව භෞතික විද්‍යාව අනුව තීරණය කරනවා. වැලි ඔරලෝසුවක් වැලි ටික සම්පූර්ණයෙන් පහළ තියෙද්දී තරාදියක තබා බර මැනලා. උඩු යටිකුරු කරලා වැලි වැටෙමින් පවතින අතරතුර තරාදි තැටියේ තිබ්බොත් යම් ප්‍රමාණයකින් තරාදියෙන් පෙන්වන බර අඩුවෙනවා. විදුලි සෝපානයක ඉහළට ත්වරණයෙන් යන ගමන් බර මනින්න. බර වැඩි වෙනවා. දැන් තිබෙන ප්‍රශ්නය බර කියා තරාදි පාඨාංකවලට එපිටින් පවතින දෙයක් තියෙනවා ද කියන එක.  නිවුටන්ට අනුව නම් ඔව්. ඒ බර අඩු කරන්න නම් පෘථිවියෙන් ඉහළට ගමන් කළහම හරි. හඳට ගිහා ම බර හයෙන් එකයි. ඒත් කාටවත් බෑ තරාදි පාඨාංකවලට එපිටින් බරක් කියලා යමක් පවතිනවා කියලා ඔප්පු කරන්න. ඒක විශ්වාසයක් විතරයි. නිවුටන්ගේ අදහස දැන් පිළිගන්නේ නෑ. අයින්ස්ටයින් කීවේ ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නැති බව. එතකොට වස්තුවලට බර කියලා දෙයකුත් නෑ.

සහේතු: ඔබ කියන්නේ ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නෑ කියලා ද? එතකොට විවිධ දේ පොළොවට වැටෙන්නෙ කොහොම ද?

ප්‍රබෝධ: ඔව්. ගුරුත්වාකර්ෂණය කියලා බලයක් නෑ. පොළොවට වැටෙන්නේ කොහොම ද කියලා අහන අය මුලින් ම අහන්න ඕනේ නිවුටන්ගේ පළමු නියමය අනුව බලයක් නැතුවත් වස්තු ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙන්න පුළුවන් කොහොම ද කියලා. පාසලේ ඕක උගන්වද්දී මෙහෙම ඇහුවා නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. වැදගත් ම දේ බලයක් ක්‍රියා නො කරද්දී වස්තු ඔහොම්ම ම යනවා කියලා නිවුටන් දන්නේ කොහොම ද? ඒක නිකම් ම උපකල්පනයක් විතරයි. බලයක් නැති විට වස්තුවක් චලනය වෙන්නේ කොහොම ද කියලා බලන්න නම් අපි වස්තුව අත ඇරලා බලන්න ඕනෙ. එතකොට පේනවා වස්තුව වැටෙනවා. බලයක් ක්‍රියා නො කරන වස්තු වැටේ. එච්චරයි කතාව. ඒකනේ අපිට පේන දේ. කොහේවත් තියෙන ඒකාකාර ප්‍රවේගයක් උපකල්පනය කරලා ඒකෙ අඩුපාඩු වහන්න අතින් දාගත්ත සංකල්පයක් ගුරුත්වාකර්ෂණය

සහේතු: විද්‍යාඥයින් මෙහෙම කියන බව ඔබට සනාථ කරන්න පුළුවන් ද?

ප්‍රබෝධ: ජෝන් වීලර්, චාල්ස් මිස්නර්, කිප් තෝර්න් කියන  සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් තුන් දෙනා ලියපු Gravitation කියන පොතේ 1.3 කොටසේ මෙහෙම තියෙනවා. Gravitation කියන්නේ සාධාරණ සාපේක්ෂතාවාදය ගැන තියෙන හොඳ ම පාඨ ග්‍රන්ථවලින් එකක්. වස්තු වැටීමේ දී ඒ සඳහා කිසිදු බලයක් ක්‍රියා නො කරන බවත් එහිදී වස්තු ගමන් කරන්නේ එහි ස්වභාවික ගමන් මාර්ගයේ ම බවත් එහි පැහැදිලිව කියා තිබෙනවා. වැටෙන වස්තුවක් හා බර රහිත වීම යනු සමාන අදහස් බවත් එහි කියැවෙනවා. පැහැදිලිව ම තරාදි පාඨාංක ඉක්මවා ගිය බර කියා දෙයක් නෑ. සෝපානයක පහළට යන ගමන් බර මනින්න බර අඩුවී ඇති බව පෙනේවි.

සහේතු: බර නැතිව ස්කන්ධය ගත්තොත්.

ප්‍රබෝධ: ස්කන්ධය කියන්නේ සාමාන්‍ය ජීවිතයේ පාවිච්චි වෙන දෙයක්වත් නෙවෙයි. ඒක එහෙම පිටින් බටහිර විද්‍යාවේ සංකල්පයක්. ඉතින් ගුප්ත විද්‍යාඥයින්ට තමන්ගේ සංකල්ප ලෝකයෙන් පිටස්තර ස්කන්ධය අඩු වැඩි කරන්න දීම තේරුමක් ම නෑ. ස්කන්ධ වැඩි කරන්න කියනවා නම් මුලින් ඒ අයට ස්කන්ධය කියන්නේ මොකක් ද කියලා පැහැදිලිව හඳුන්වා දෙන්න ඕනෙ. ස්කන්ධය කියන්නේ මොකක්ද ඇහුවොත් දෙන්න උත්තර තියෙන්නේ කාට ද?

සහේතු: ස්කන්ධය කියන්නේ පදාර්ථ ප්‍රමාණයට

ප්‍රබෝධ: ඕක පැහැදිලි කිරීමක් නෙවෙයිනෙ සහේතු. ප්‍රමාණය කියද්දී අපේ හිතේ මැවෙන්නේ පරිමාව, නැතිනම් බර. ඉතින් පදාර්ථ ප්‍රමාණය කියන්නේ මොකක් ද? අනික ඔය ප්‍රමාණ කරන්න පුළුවන් පදාර්ථ කියන්නේ
මොනව ද? ඔය උත්තරය ප්‍රමාණවත් වෙන්නේ හයේ පන්තියේ ළමයි රවට්ටගන්න විතරයි.
මම කීවොත් නිදහසේ වැටෙන වස්තුවක ස්කන්ධයත් ශුන්‍ය වෙනවා කියලා. කාට ද පුළුවන් බොරුයි කියලා ඔප්පු කරන්න. තමන්ගෙ හුදු විශ්වාසයකින් ඔබ්බට එවන් ස්කන්ධයක අගය පරීක්ෂා කරන්න බෑ. අනික අයින්ස්ටයින්ට අනුව ගත්තත් වේගය අනුව ස්කන්ධය වෙනස් වෙනවා.
ඒ නිසා මේ අභියෝගයේ තේරුමක් නෑ. ස්කන්ධය හෝ බර ගැන බටහිර විද්‍යාවේ තියෙන්නෙත් හුදු විශ්වාස කිරීම් ම පමණයි.

ලබන සතියට: ආවරණය කළ මුදල් නෝට්ටුවක කේත අංකය කියවීම

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි