වාස්තවික යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න


සහේතු: කොවුර්ගේ මීළඟ අභියෝගය ගැනත් අපි බලමු. වයින් රුධිරය බවට හරවන්න.

ප්‍රබෝධ: තවත් ද්‍රව්‍ය පරිවර්තනයක් ඇති ඔතන.

සහේතු: ඔව්. ජලය පෙට්‍රල් හෝ වයින් බවට හරවන්න.

ප්‍රබෝධ: සහේතු, මට තියෙන ප්‍රශ්නය ඕවා කවුද කරන්න පුළුවන් කීවේ කියලා. එහෙම කියලා නැත්නම් පැත්තකට වෙලා අභියෝග කළාට ඒක අදාළ නෑනේ. මම අභියෝග කළොත් හේතුවාදීන්ට තර්කන ශක්තිය භාවිත කරලා අංශක හැටේ කෝණයක් කවකටුවයි මුකුත් සලකුණක් නැති රූලයි පමණක් භාවිත කරලා පරිමිත පියවර ගණනකින් හරියට ම තුනට බෙදන්න කියලා ඒක ඔවුන්ට අදාළ ද? නෑනේ. එක අතකට සමහර මුල් කාලීන හේතුවාදියෝ ඕක කරන්න පුළුවන් කියලා කියලා තිබුණ නිසා ටිකක්වත් අදාළයි. (ගණිතය අනුව නම් ඕක කොහොමවත් කරන්න බෑ.) . ඒ නිසා කවුද මේවා කරන්න පුළුවන් කීවේ කියලා කියන්න.

සහේතු: ම්.. මේ.. ආ..ඒකාලේ හිටපු අය.. ඔහොම පුළුවන් කියන්න ඇති... අ..

ප්‍රබෝධ: කවුද ඔවුන්?

සහේතු: අ...

ප්‍රබෝධ: (සිනාසෙමින්) මම ම කියන්නම්. දැන් හේතුවාදීන් බොහෝ දෙනකු කොවුර් මේවා ඉදිරිපත් කළේ කවුරු ඉලක්ක කොට ද කියන එකවත් දන්නේ නෑ..
වයින් රුධිරය කිරීම ගැන කියවෙන්නේ කතෝලික ආගමේ සැක්‍රමේන්තුවක දී. ඒ දිව්‍ය සත් ප්‍රසාද ලබා දීමේ දී වයින් යේසුස් වහන්සේගේ රුධිරය බවට පත්වන බව කියනවා. ඔන්න ඕකටයි කොවුර් ඔය අභියෝගය එල්ල කරන්නේ.

සහේතු: ඉතින් ඒක තමයි අපි කියන්නේ ආගම්වල ඕවා කීවට වෙන්නේ නෑ. කෝ කොවුර්ගෙ අභියෝගය තාමත් එහෙම්ම මයි.

ප්‍රබෝධ: ඔතන හොඳ තැනක් කොවුර් හොයන්නේ බලන්නේ නැතුව අභියෝග එල්ල කරනවා කියන්න. ඔය සක්‍රමේන්තුවේ දී පාන් ක්‍රිස්තුස් වහන්සේගේ මාංශය බවටත් වයින් රුධිරය බවටත් පත් වෙන බව කියනවා. අර දේවස්ථානවල ලබා දෙන පූපය (eucharist)/ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ගැන තමයි මේ කියන්නේ. ඔය ගැන මත දෙකක් තියෙනවා එකක් transubstantiation අනික consubstantation. Consubstantationවල දී කියන්නේ පාන් හා වයින් හදන අමුද්‍රව්‍ය දේව මැවීමෙන් එන නිසාත් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධ වූ ත්‍රිත්වයට අයත් නිසාත් සත්ප්‍රසාදය ක්‍රිස්තු ශරීරයට හා ක්‍රිස්තු රුධිරයට සංකේතයක් බව. මේක ගැන කොහොමවත් විරුද්ධ වෙන්න බෑ. මොක ද සංකේතයක් කියලා නේ තියෙන්නේ. ඒත් කතෝලිකයන් අතර ප්‍රචලිත මතය transubstantiation ඒකෙ දී කියන්නේ සත්ප්‍රසාද මංගල්‍යයේ දී පාන් හා වයින් ක්‍රිස්තු මාංශය හා රුධිරය බවට සාරාර්ථිමය වශයෙන් (in substance , in essence) පත් වෙන බව. කොවුර් අමතක කරන්නේ මේ සාරාර්ථිමය වශයෙන් කියන වචනය.
මොකක් ද මේ substance කියලා කියන්නේ substance කිව්වහම ගොඩක් අය කියයි ද්‍රව්‍යය කියලා. එතකොට matter කියන්නේ මොකක් ද? ඕවා ආසන්න පරිවර්තන යම් යම් විෂය කොටස්වල දී යෙදෙන. Substantial කියන වචනයේ තේරුම ගැන ඇහුවොත් ඕක තේරුම් ගන්න පුළුවන්. යථාර්ථමය , වාස්තවික , නිරපේක්ෂ වගේ තේරුමක් නේ තියෙන්නේ. Substance කියන්නේ යම් කිසිවකට අපේ සංවේදනවලින් බාහිර වූ නිරපේක්ෂ පැවැත්මක් තියෙනවා කියන එක . වාස්තවිකත්වය , යථාර්ථය කියන්නෙත් ඕකට . අපෙන් බාහිරව පිහිටි යථාර්ථයක් තියෙනවා කියන එක හේතුවාදීන්ගේත් මූලික පදනමක්. වාස්තවිකත්වය ගැන හේතුවාදීන් නිතර කතා කරනවා. කොවුර් ආදී අය ඒ කාලයේ තමන්ව හඳුන්වා ගත්තේ යථාර්ථවාදී යන නමින්. යථාර්ථවාදය (realism) කියන්නේ අපෙන් බාහිර නිරපේක්ෂ යථාර්ථයක් තියෙනවා කියන එක. මේක බුදු දහමේ කියැවෙන යථාභූත එක්ක පටල ගන්න එපා. යථාභූත වෙනත් කතාවක්. බුදු දහම යථාර්ථවාදයට විරුද්ධයි. වාස්තවික යථාර්ථයක පැවැත්ම බුදු දහමේ ප්‍රතික්ෂේප කෙරෙනවා. හේතුවාදය (rationalism) කියන්නේ මේ බාහිර යථාර්ථයේ ස්වභාවය සංවේදනවලින් හරි හැටි ග්‍රහණය නො වුණත් තර්කයෙන් ග්‍රහණය කළ හැකි බවට වූ මතය. ඒක තවත් පැහැදිලි කළොත් අපි ඉස්සරහින් තොප්පියක් තියෙනවා නම් තොප්පියේ අපේ අතට දැනන රළු සිනිදු බව , ඇහට පේන පාට ආදිය ඉක්මවා ගිය යමක් තොප්පියට තියෙනවා කියන එක. ඔය මතවාදවල කියැවෙනවා ප්‍රාථමික ගුණ ද්විතීයික ගුණ කියලා දෙකක්. ප්‍රාථමික ගුණ කියන්නේ බාහිර යථාර්ථයේ ගුණ , ද්විතීයික ගුණ කියන්නේ අපට සංවේදනය වන ගුණ.

සහේතු: තවත් පැහැදිලි කළොත්.

ප්‍රබෝධ: මේ පරීක්ෂණය පාසල් යන කාලේ කරලා ඇති. ඇයි මේ පරීක්ෂණය කරන්නේ කියලා නො කීවට මේකේ අරමුණ මේ කරුණු ගැන විස්තර කිරීම. උණු වතුරටයි සීත වතුරටයි අත් දෙක වෙන වෙන ම තරමක් වෙලා ඔබා ගෙන ඉන්න කියලා එකපාර සාමාන්‍ය වතුරට අත් දෙක ම ඔබන්න කියනවා. මෙතන දී එක අතකට සීතලයි අනෙත් අතට රස්නෙයි. එක ම වතුර. ඊට පස්සේ කියනවා. රස්නෙයි සීතලයි කියන්නේ ද්විතීයික ගුණ. ඒවා මායාවන්. උෂ්ණත්වය කියලා ජලයට වාස්තවික ගුණයක් තියෙනවා. ඒක නම් ප්‍රාථමික ගුණයක්. ඒක තමයි යථාර්ථය කියලා. හේතුවාදීන්ට අනුව නම් ප්‍රාථමික ගුණ ග්‍රහණය කරගත හැක්කේ තර්කයෙන්.
ඔය හේතුවාදී සංගමය වාර්ෂික සැසිවාර තියද්දී එහෙම බැනර්වල එල්ලන බර්ට්‍රන්ඩ් රසල් කියන දාර්ශනිකයාත් ඔහොම්ම ම කියනවා නීල ගුණය කියන එක නිරීක්ෂණයන්ගෙන් ස්වායත්තයි කියලා.

සහේතු: ඉතින් වයින් රුධිරය බවට පත්වෙන්නේ කොහොම ද?

ප්‍රබෝධ: කතෝලික ඉගැන්වීමේ විදිහට වයින්වලවත් පාන්වලවත් දෘශ්‍යමානය (appearance) නෙවෙයි රුධිරය හෝ මාංශය වෙන්නේ ඒකේ සාරාර්ථය (substance , essence). එතකොට අණුක ස්වභාව , සංයුතිය, වර්ණය ආදී සියලු දේ (ද්විතීයික ගුණ) නො වෙනස්ව තිබිය දී වාස්තවික පැවැත්ම තමයි වෙනස් වෙන්නේ. පසුකාලීනව කාන්ට් (Kant) වගේ දාර්ශනිකයන් කියන විදිහට අපෙන් බාහිර යථාර්ථයක් තිබුණත් ඒක අපිට කවදාවත් අවබෝධ කරගන්න බෑ. මේකට තාම හේතුවාදීන් කිසිම සාර්ථක පිළිතුරක් දීලා නෑ.

මේක හරියට මේවගේ නත්තල් සීයට ඇඳගෙන කඩේක ඉන්න මිනිහෙක් ඉන්නවා කියන්න සුනිල් කියලා. හදිස්සියේ ම දවසක සුනිල් වෙන වැඩකට යවලා ඒ වෙනුවට නිමල් කියන වෙනත් සේවකයකු නත්තල් සීයට ඇන්දුවා. දැන් පිටින් බැලුවහම කාටවත් කියන්න බෑ මේ සුනිල් ද නිමල් ද කියලා. ඒත් ඇතුළේ ඉන්නේ නිමල්. දැන් හිතන්න කාටවත් හොයන්න විදිහක් නෑ මේ ඉන්නේ සුනිල් නෙවෙයි කියලා. මේක උදාහරණයක් . කටහඬ වෙනස් වීම ගැන අහන්න එපා. අහන්නම ඕනෙ නම් කටහඬත් යාන්ත්‍රිකව එක ම ආකාරයකට වෙනස් කරලා හදලා තියෙනවා කියලා හිතන්න. දැන් සුනිල් නිමල් හොයන්න විදිහක් නෑ.

දැන් සක්‍රමේන්තුවේ දී වයින් රුධිරය වෙනවා කියන්නෙත් මෙහෙම අපිට පෙනෙන දේ එහෙම ම තියෙද්දී අපිට බාහිර යථාර්ථය මාරු වෙනවා කියලා. දැන් මේක පරීක්ෂණවලින් බිඳ හෙළන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මුකුත් අධ්‍යයනය නො කරයි කොවුර් මේ විහිළු අභියෝගය කරන්නේ.

සහේතු: ඔබ වාස්තවික යථාර්ථයක් පිළිගන්නවා ද?

ප්‍රබෝධ: මම වාස්තවික යථාර්ථය පිළිගන්නේ නෑ. ඒත් හේතුවාදීන්ගේ මූලික පදනමක් තමයි වාස්තවික යථාර්ථයක පැවැත්ම පිළිගැනීම. ඒ නිසයි මම මේ ගැන කතා කරන්නේ. හේතුවාදීන්ට තමන් ඉන්න ආස්ථානය රැකගෙන මේ තර්කය බිඳින්න බෑ. ඇත්තට ම ඩේවිඩ් හියුම් වගේ දාර්ශනිකයන් යථාර්ථවාදයේ හා හේතුවාදයේ මේ අදහසට ප්‍රබල ප්‍රහාර එල්ල කළා.

1980 දශකයේ දී නලින් ද සිල්වා මහත්මයා මේ හේතුවාදී , යථාර්ථවාදී , භෞතිකවාදී පිරිස්වලට මෙහෙම අභියෝගයක් කරනවා. 'වාස්තවික යථාර්ථයක් ඇති බව මනසෙන් තොරව පෙන්වන්න.' මේ අභියෝගයට කිසි ම භෞතිකවාදියෙක් තව ම පිළිතුරක් දී නෑ. බොහෝ අයට මේ අභියෝගය තේරෙන්නෙත් නෑ. ලංකාවේ භෞතිකවාදීන්ගේ බුද්ධි මට්ටම හොඳින් ම පේනවා මේක තේරුම් ගන්නත් බැරි වීමෙන්.

මෙතන අහන්නේ වාස්තවික යථාර්ථයක් පවතින බව පෙන්වන්න කියලා. මනස භාවිත කොට පෙන්වුවොත් ඒක නැවත අදහසක් ම වෙනවා. ඒ කියන්නේ නැවත මනසට සාපේක්ෂ වෙනවා. වාස්තවික යථාර්ථයක් නම් මනසට බාහිර වීම ම නේ මූලික ලක්ෂණය. එතකොට එතන ම විසංවාදීයි. ඒ නිසා මනසින් තොරව (අදහස් භාවිත නො කර) වාස්තවික යථාර්ථයක් ඇති බව පෙන්වන්න. මේ අභියෝගයට මුහුණ නො දී මඟ හැරීමෙන් හේතුවාදීන්ට ගැළවී යන්න බෑ. හේතුවාදයේ පදනමට ම මේකෙන් පහර දීලයි තියෙන්නේ. ඒ නිසා හේතුවාදීන් අද මුලින් ම කරලා ඉන්න ඕනේ මේකට උත්තර දෙන එක.

සහේතු: එතකොට ජලය පෙට්‍රල් බවට හැරවීම.

ප්‍රබෝධ: කවුද ඕක පුළුවන් කීවේ?
.
සහේතු: ඒ කාලෙ කවුරුහරි ඉන්න ඇති පුළුවන් කියපු.

ප්‍රබෝධ: කවුරුහරි නෙවෙයි ගොඩක් අය හිටියා. Dr. Alexander Kraft කියලා කල්පිත චරිතයක් වටේ කතාව හැදුණේ. එක පෙත්තක් තියෙනවා. ඒක ජලයට දාපු ගමන් පෙට්‍රල් වෙනවා කියලා. Guido Franch කියලා කෙනෙක් ඕක ප්‍රචාරය කළේ. ඊට පස්සේ ඔය කතාව තව කීප දෙනක් කීවා. තමිල් නාඩුවේ කෙනෙකුත් කීවා. ඕක නම් බොරු බවට අහුවුණු කතාවක්. Conspiracy theory එකක්. ඔහොම එකක් හැදුවොත් එක්කො ඒක රහසිගතව තියන් ඉන්නවා නැතිනම් ප්‍රසිද්ධියේ ඕක පෙන්වනවා හේතුවාදී සංගමය හොය හොය ඉන්නේ නෑ. ඔය පෙත්තේ කතාව කෙසේ වෙතත් මෙහෙම දෙයක් නම් කරන්න පුළුවන්. ජලයයි කාබන්ඩයොක්සයිඩුයි භාවිත කරලා පෙට්‍රල් හදන්න පුළුවන් වෙන්න පුළුවන්.

සහේතු: ඒ සංකීර්ණ උපකරණ භාවිතයෙන්නේ. ගුප්ත විද්‍යාවෙන් පුළුවන් ද?

ප්‍රබෝධ: ඇයි ගුප්ත විද්‍යාවල සංකීර්ණ උපකරණ ගැන කියැවෙන්නේ නෑ කියලා ද හිතන්නේ. ගුප්ත රසායන විද්‍යා කියන ඒවගේ කියනවා සංකීර්ණ ක්‍රියාකාරකම් හා ක්‍රියා පිළිවෙළවල් ගැන . මායාකරුවාගේ ගල (Sorcerer's stone) වගේ ඒවා ගැන කියවලා බලන්න. ඔය ගොල්ලෝ ගුප්ත, ගුප්ත නැති වෙන් කරන්නේ මොන තර්කයකින් ද? එහෙම එකක් හරියට පෙන්වන්න බෑනේ.

සහේතු: දැන් ඔය කවුරුවත් ඔය විදිහට පෙට්‍රල් හදලා තියෙනවා ද?

ප්‍රබෝධ: ජර්මනියේ අවුඩි (AUDI) සමාගම නම් එහෙම කියනවා. මේ අදාල ලිපියක් . හැබැයි පෙට්‍රල් නෙවෙයි ඩීසල් .( https://www.audi-mediacenter.com/en/press-releases/fuel-of-the-future-research-facility-in-dresden-produces-first-batch-of-audi-e-diesel-352 ) (සිනාසෙමින්) හොයලා බලලා ත්‍යාග මුදල ලබා දෙනවා ද තීරණය කරන එක හේතුවාදීන්ගේ වැඩක්. ජර්මනියේ තවත් සමාගම් කිහිපයක් මෙහෙම කියනවා.

සහේතු: ඊළඟ අභියෝගය ඡායාරූපගත කළ හැකි භූතයෙක් පෙන්වන්න.

ප්‍රබෝධ: මේක ඉතින් හිනා වෙන්න ඕනේ අභියෝගයක්. භූතයෝ අල්ලන් ඇවිල්ලා ඕනෙ ඕනෙ විදිහට photo ගහන්න දෙන්න පුළුවන් නම් ආය ඕක අමුතු දෙයක් වෙනවා ද? භූතයා බල්ලෙක් පූසෙක් වගේ වෙනවා. ආය කොවුර්ගේ අභියෝග ඕනෙ නෑ. සැරියුත් හිමි වරක් ගිජුකුළු පව්වේ ප්‍රේතයෙක් දැක්කා කියනවා. එතකොට බුදුන් වහන්සේ කීවේ තමන් වහන්සේත් ඒ ප්‍රේතයා දුටුවත් තව කෙනකුත් කියන නිසා සිටියා කියලා. මනස දියුණු අයටයි සාමාන්‍ය අවස්ථාවලත් ප්‍රේතයෝ දකින්න පුළුවන්.වෙනත් අයට පේන්නේ ඉතා කලාතුරකින්. ඒ පේන්නේ භෞතික ඇසට නෙවෙයි. ඉතින් භූතයෝ හෝ ප්‍රේතයෝ හෝ ගෙනල්ලා ඡායාරූප ගන්න දෙන්නේ කොහොම ද?

අනික අධිඝනය (අවකාශ මාන තුනකට වැඩි ඝනය) ගැන තම මුල්  ම රූපවාහිනි වැඩසටහනක් කළ ආතර්.සී. ක්ලාක් එක්ක ඡායාරූප ගසා පළකරන්න උත්සුක වූ බොහෝ හේතුවාදීන් පෙළඹෙද්දී ඔවුන් අධිඝනයේ ඡායාරූපයක් ඉල්ලන්නේ නැති එක පුදුමයක්.

සහේතු: මීළඟ අභියෝගය ඡායාරූප ගතකෙරෙන විට ඡායාරූපයෙන් ඉවත් වෙලා පෙන්වන්න.

ප්‍රබෝධ: මේවා කරන්න පුළුවන් කියන්නේ කවුද කියන එක මුල් ම ප්‍රශ්නය. අහක ඉඳලා අභියෝග කළාට වැඩක් නෑනේ. කොවුර් ම බොරු පඹයෙක් හදාගෙන කෑ ගැහුවට වැඩක් නෑනේ. කවුරුහරි එහෙම කීවා නම් ඒ කැමරා හැදුවට පස්සෙ කාලෙ වෙන්න එපැයි. එතකොට ඉතා මෑතකාලීන ගුප්ත විද්‍යාවක්.

දැන් ෆොටෝ එක ගද්දී හැංගිලා ඉන්න නම් අපිටත් පුළුවන් නේ. මේකේ තේරුම නො පෙනී ඉඳලා පෙන්නන්න ෆොටෝ එකටත් එහෙම්ම ම අහු නො වෙන්න කියන එක ද? ඇසට පෙනිලා photo එකෙන් නො පෙනී යන්න කියන එක ද?

පළමුවෙනි එක ගත්තොත් කළුවර අඳුන වගේ කතා තියෙනවා. කළුවර අඳුන ගෑවහම ඇස්වලට පේන්නේ නෑ. ෆොටෝවලට අහුවෙනවා ද නැද්ද කියන්නේ නෑනේ. කැමරා එන්න කලින් තිබුණු අදහස් නේ. ඕක කෙසේවෙතත් මෙටා ද්‍රව්‍යවලින් වට වෙලා නො පෙනී ඉන්න පුළුවන් බව අද අපි දන්නවා. එවන් ද්‍රව්‍ය මීට පෙර නො තිබුණා මයි කියන්නත් බෑ. මෙටා ද්‍රව්‍යවල එක ම ප්‍රශ්නේ ඇතුළේ ඉන්න කෙනාට එළිය පේන්නේ නෑ. නො පෙනී යන ඇඳුම් වගේ ඒවා මේ නිසා බැහැර කරන්න බෑ.
ඇස්වලට පෙනිලා ෆොටෝ එකෙන් අතුරු දහන් වෙන්න නම් ඒක කැමරාවේ ක්‍රියාකාරිත්වයට බාධා කිරීමකින් වෙන්න ඕනේ.

මේවගේ අභියෝගවලට කවුරුවත් ආවේ නෑ කියලා සමස්තයට ඒක ආදේශ කිරීම විහිළුවක්.

              - තමලු මලිත්ත පියදිගම 

ලබන සතියට: හිස් අවකාශයේ වස්තු මැවීම

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි