හේතුවාදීන්ට අභියෝගයක්




සහේතු: අපි කොවුර්ගේ මීළඟ අභියෝගයට එමු. කොවුර් කියනවා යෝග බලයෙන් නැතිනම් භාවනා බලයෙන් රහත් වී හෝ බුදු වී (enlightment) හෝ නිර්මාණශීලී දැනුමක් නිපදවලා හෝ පෙන්වන්න කියලා. අපි අහලා තියෙනවා සිද්ධාර්ථ ගෞතම භාවනාවෙන් බුද්ධත්වය ලැබුවා, ලෝකය අතැඹුලක් සේ දැනගත්තා කියලා. රහත් වීම ගැන කියනවා. රහතුන් සිටි බව කියනවා. ධ්‍යාන ලබා ගැනීමෙන් දැනුම ප්‍රත්‍යක්ෂ කරගත් ඉසිවරු ආදීන් ගැන කියනවා. ඒත් මේවා නිකම් ම කට කතා විතරයි. කොවුර්ගේ අභියෝගය ජයගන්න මේ කිසි කෙනෙක් ඉදිරිපත් වී නෑ. 
මේ රහත් වීම් , බුදු වීම් , ධ්‍යාන බොරු මිථ්‍යා බව කීමට මේක ම ප්‍රමාණවත් නැද්ද? ඇත්තට ම ලංකාවේ සමාජයේ ප්‍රතිගාමීත්වයට හේතුවෙලා තියෙන්නේ මේ බුදු දහම ඇතුළු ආගම්. මේ වැඩවසම් ආගමික ආයතන මිනිස්සුන්ව රවට්ටන්න තමයි මේ බුදු වීම්, රහත් වීම් වගේ පාරභෞතිකය මිථ්‍යා පාවිච්චි කරන්නේ. ප්‍රබෝධ මහත්මයා, මීට උත්තරයක් තියෙනවා ද? ඇයි කොවුර්ගේ අභියෝග පිළිගන්න කිසිම රහතෙක් ඇවිල්ලා නැත්තේ? කෝ භාවනාවෙන් දැනුම ලබාගත් කෙනෙක්?

ප්‍රබෝධ: ඕකත් ඉතින් කොවුර් හිතුමතේට විහිළු අභියෝග කරපු තව එක තැනක් තමයි. අපි හිතමු දැන් රහතන් වහන්සේ කෙනෙක් පහළ වුණා කියලා. එහෙම පහළ වුණොත් කොවුර්ගේ මේ විහිළු අභියෝග බාරගන්න යයි ද කියන එක වෙන ම ප්‍රශ්නයක්. ගියා කියල ම හිතමු. හොඳයි දැන් කොහොම ද හේතුවාදී සංගමයේ අය තීරණය කරන්නේ උන් වහන්සේ රහත් හෝ රහත් නෙවෙයි හෝ කියලා. හේතුවාදීන්ට ඒක කරන්න නම් මොකක් හරි විශේෂ අධිමානසික බලයක් තියෙන්න ඕනේ. ඒත් මේ අය ඒවා ප්‍රතික්ෂේප කරන අය ම නේ. ඉතිං කොහොම ද කියන්නේ රහත් වෙලා ද නැද්ද කියලා. රහතන්වහන්සේලාට විශේෂ ඍද්ධි තියෙනවා තමයි. ඒත් ඒ සතර ඍද්ධිපාදත් වඩා රහත් වුවහොත් පමණයි. නැතිනම් එවන් දේ නැහැ. ඒ නිසා මේ අභියෝගය විකාරයක්. බුදුවෙලා පෙන්නන්න කියන එක නම් උපරිම විහිළුවක්. අපි දන්නවා බුදු වීම සඳහා බලපාන ලෝක ධර්මතා ගණනාවක් තියෙනවා කියලා. කවුරුහරි තමුන් බුදු වුණා කියනවා නම් තමයි ඕක වලංගු. මේ වෙනකම් කොවුර්ට අභියෝග කරන්න බුදු කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් ආවේ නෑ කියලා ඒ තත්ව නැහැයි කියනවා නම් ඒ කොවුර්ගේ මෝඩකම මිසක් වෙන දෙයක් නෙවෙයි.
මේකේ ඊළඟ කොටස භාවනාවෙන් නිර්මාණාත්මක දැනුමක් ගොඩනැඟිය හැකි ද කියන එක. දැන් අපි හිතමු කවුරු හරි භාවනාවෙන් දැනුමක් ලබාගෙන හේතුවාදී සංගමයට ඉදිරිපත් කළා කියලා. එතකොට හේතුවාදී සංගමය කියන්නේ මෙහෙම ඒවා. ' ඒ දැනුම ඒ පුද්ගලයා ලබා ගත්තේ භාවනාවෙන් නෙවෙයි සාමාන්‍ය ලෙස කල්පනා කිරීමෙන්. පසුව එය වංචනික ලෙස භාවනාව එක්ක ඈඳනවා. ' හේතුවාදී සංගමයට මේ වගේ නිදහසට කරුණු දක්වලා ත්‍යාග මුදල නො දී බේරෙන්න පුළුවන්. මේ වගේ හේතුවාදීන්ට අවශ්‍ය ලෙස වංචාසහගතව මඟ හරින්න පුළුවන් විධි ඉතුරු කරගෙන අභියෝග ඉදිරිපත් කිරීම අන්තිම අශාස්ත්‍රීයයි. බොළඳයි. රාමානුජන් කියන ඉන්දියානු ගණිතඥයා තම සමීකරණ ලබා ගත්තේ දෙවඟනක් පිදීමෙන්. මෙවැනි දේ ගැන කිසිදු විමසීමකින් තොරව හේතුවාදීන් කරන්නේ මේ වගේ නිදහසට කරුණු දැක්වීම. අනික මේක පරීක්ෂණයක් නො වෙයි අභියෝගයක්. හරි අභියෝගයක් නම් දෙපැත්තට ම සාධාරණව ඔප්පු කළ හැකි වෙන්න ඕනේ. මෙවැනි අභියෝග මහ ඉහළින් සලකාගෙන සිටීමෙන් හේතුවාදීන්ගේ ළඳ බොළඳ බව හොඳින් වටහා ගන්න පුළුවන්.
අනෙක හේතුවාදීන් ඥානයේ මාර්ගය ලෙස දකින්නේ තර්ක බුද්ධිය. අපි අනිත් අතට අභියෝගයක් කරනවා තර්ක බුද්ධිය පමණක් භාවිත කොට නිර්මාණාත්මක දැනුමක් ගොඩනඟලා පෙන්වන්න කියලා. එතන දී හේතුවාදී සංගමය අන්ත පරාජිතයි. ඔවුන්ගෙන් කවුද කට්ටඩියන් හා ජෝතිෂ්‍යයවේදීන් සමඟ සෙල්ලම් කර කර ඉන්නවාට වඩා නව නිර්මාණාත්මක දැනුමක් ගොඩනඟලා තියෙන්නේ? ඒ නිසා ඔවුන් විවිධ බටහිර විද්‍යාඥයින්ගේ නම් කියලා තමන්ගේ සාක්කුවට දා ගනියි. ඒත් ගැලවීමක් නෑ. ඩේවිඩ් හියුම් වගේ දාර්ශනිකයෝ පැහැදිලි ප්‍රබල තර්ක මඟින් පෙන්වලා තියෙනවා තර්ක බුද්ධියේ ඉතා විශාල හිඩැසක්, අඩුපාඩුවක් පවතින බව.  පියර්ස් වගේ අය පෙන්වලා තිබෙනවා තර්ක බුද්ධියෙන් පමණක් ම ප්‍රවාද (theory) ගොඩනැඟීමට නො හැකි බව. ඒවාට පිළිතුරු දීලයි ඔවුන්ට මේ අභියෝගය ජයගන්න වෙන්නේ. තර්ක බුද්ධිය උපරිමව භාවිත වන ගණිතය පවා අවසානයේ ගොඩනැඟෙන්නේ ස්වසිද්ධි උඩ හා අනුමාන රීති උඩ. එතන දීත් ගණිතයේ එකිනෙකට පරස්පර පද්ධතිවලට තර්කනය ඉඩ කඩ දීලා තියෙනවා. අනික අංගසම්පුර්ණ පද්ධති තර්කයෙන් ගොඩ නඟන්න බැරි බව ගෝඩල් (Godel) කියන ගණිතයඥයා ඔප්පු කරලා දැන් බොහෝ කල්.

සහේතු: මාක්ස් ආගම අබිං කියපු එක ගැන ඔබ මොනවා ද කියන්නේ?

ප්‍රබෝධ: ඔය මාතෘකාව ගැන දීර්ඝව කතා කළොත් අපේ මූලික අරමුණ යටපත් වෙනවා. කෙටියෙන් මම අහන්නම් මෙහෙම. මාක්ස් අපෝහකය පිළිගන්නවා. අපෝහකයේ එක සිද්ධාන්තයක් තමයි ප්‍රතිවිරෝධතාවන් එකිනෙක විනිවිද යමින් එකිනෙක තුළ පැවතීම. දැන් භෞතික පාරභෞතික කියන ප්‍රතිවිරෝධතා දෙකින් පාරභෞතිකය බැහැර කරන්න පුළුවන් ද අපෝහකයකින්. ඒවා එකිනෙක විනිවිද යමින් පවතින්න ඕනේ. එනිසා එසේ බැහැර කිරීම ම අපෝහක විරෝධී. මේවා මාක්ස්ගේ ම පරස්පරත් අනෙක් අය මාක්ස් අර්ථ කථනය කිරීමේ දී ඇති වූ පරස්පරත් එකතු වී සෑදෙන විපරීත අදහස්. දෘශ්‍යමානය යථාර්ථය නම් විද්‍යාවක් කුමකට ද කියා මාක්ස් ඇසූ බවත් අමතක කරන්න එපා.

සහේතු: මීළඟට අපි ගමු යෝග බලයෙන් අහසින් යාම ගැන.

ප්‍රබෝධ: ඔය කිට්ටුවෙන් ම යන තව එකක් තියෙනවා. දිය මත ඇවිදීම ගැන අභියෝගයකුත්.

සහේතු: ඔව්. දිය මත ඇවිද පෙන්වන්න කියන අභියෝගය

ප්‍රබෝධ: දිය මත ඇවිදීම ගත්තොත් ඕක කිතු දහමේ කියැවෙන්නේ  ක්‍රිස්තුස් වහන්සේගේ විශේෂ හැකියාවක් විදිහට. එතකොට කරලා පෙන්වන්න කියන හේතුවාදීන්ගේ අභියෝගය වලංගු නෑ. බුදු දහමේත් මේ ගැන කියැවෙනවා. ඒත් බුදු දහමේ භික්ෂූන්ට ප්‍රසිද්ධියේ ඍද්ධි බල පෙන්වීම තහනම් කරනවා, එවැන්නක් කළ පසු මිනිස්සු ඇවිත් ඍද්ධි ප්‍රාතිහාර්යයක් පෙන්වන්න කියා දිගින් දිගට ඇවිටිලි කරන නිසා. ඒ නිසා එවැන්නක් භික්ෂූන් වහන්සේලාගෙන් ඉල්ලීම නො කළ යුතුයි. ඍද්ධි බලය ගැන සාමඤ්ඤඵල සූත්‍රයේ කියැවෙනවා, ඍද්ධිබල ලබා ගත හැකි ආකාරයත් එක්ක. විසුද්ධිමාර්ගයේ මේ ඍද්ධි බල ලබා ගන්නා ආකාරය සවිස්තරව දක්වා තිබෙනවා. සතර ඍද්ධිපාද සමඟ කසිණ භාවනා වඩා හතරවෙනි ධ්‍යානයට පැමිණි පසු සිත දඹ රන් කඳක් සේ පිරිසිදුයි. එවන් තත්වයකට එළඹිලායි ඍද්ධි බල ලබා ගන්න පුළුවන්. වර්තමානයේ භාවනා කරන්න පෙළඹෙන අය අඩුයි. පෙළඹුණත් පෙළඹෙන්නේ විදර්ශනාව ගැන. කෙනෙක්ට ඍද්ධි ප්‍රාතිහාර්ය ගැන සැකයක් තියෙනවා නම් කරන්න ඕනේ විසුද්ධිමාර්ගයේ කියලා තියෙන මාර්ගය අනුගමනය කරලා තහවුරු කර ගැනීම මිසක් පැත්තක ඉඳන් අභියෝග කිරීම නෙවෙයි.
අමතක කරන්න එපා ලියනාඩෝ ඩාවින්චිගේ අර සුප්‍රසිද්ධ කෘතියේ දිය මත ඇවිදීමක් තියෙනවා. අනික භෞතික විද්‍යාත්මකව දිය මත ඇවිදීමේ දී බලපාන්නේ පෘෂ්ටික ආතතිය මඟින් ජලයේ සෑදෙන පටලයේ ශක්තිමත් බව. අපි දන්නවා යකඩ අල්පෙනෙත්තක් ජලයට දැම්මොත් ගිලෙනවා. ඒත් වීදුරුවකට ජලය හොඳින් පුරවලා හරස් අතට අල්පෙනෙත්ත ජල පෘෂ්ඨය මත තියන්න උත්සාහ කරන්න. ( ජල පෘෂ්ඨය අල්පෙනෙත්තෙන් සිදුරු නොවන විදිහට ). අල්පෙනෙත්ත පාවෙනවා දකින්න පුළුවන්. ඒ විදිහට ම විශේෂ පියවර තැබීමකින් ජල පෘෂ්ඨයේ පටලය සිදුරු වීම වළක්වා ගත හැකි වීම බැහැර කරන්නත් බෑ. අනික විශේෂ ක්‍රමයක් මඟින් හෝ ද්‍රව්‍යයක් මඟින් ජලයේ පෘෂ්ඨික ආතතිය වැඩි කරන්න පුළුවන් විය හැකියි. Hidden Messages in Water නම් පරීක්ෂණ කෘතිය බලන්න. එහි ජපාන පරීක්ෂකයින් පෙන්වා දී තිබෙනවා පිරිත් මඟින් ජලයේ අන්තර් අණුක ව්‍යුහයන් වෙනස් කළ හැකි බව. එවැනි උපක්‍රමයකින් ජලයේ පෘෂ්ඨික ආතතිය වෙනස් කළ නො හැකියි කියන්නේ කොහොම ද? ඇත්තෙන් ම විද්‍යා පරීක්ෂණ මේ සඳහා යොදන්න අවශ්‍යත් නෑ. ඒත් 'විද්‍යාත්මකව' මේවා බොරු බව පෙන්වන්න ඉන්න අය මුලින් මේ පරීක්ෂණ විග්‍රහ කර සිටිය යුතුයි. සියලු දේට විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් දිය යුතුයි කියන්න තියෙන්නේ මොන නිර්ණායකයක් ද?
අහසෙන් යෑම පවා එහෙමයි. බටහිර පුද්ගලයින් කිහිපදෙනකු එසේ බොරු මවා පෙන්වීමක් කොට හසු වූ පමණින් එය කිසිසේත් විය නො හැක්කක් කියන්නේ කොහොම ද?
ප්‍රසිද්ධ කතාවක් තියෙනවා මෙහෙම: 'වායුගති විද්‍යාව අනුව බඹරාට පියෑඹිය නො හැකි ය. එහෙත් එය නො දන්නා බඹරා පියාඹා යයි' කියලා. මේක ඇත්තට ම මූලික අවස්ථාවේ තිබෙන වායුගති විද්‍යාව බඹරාට යෙදීමෙන් වුණු ප්‍රශ්නයක්. මේ වන විට ගුවන්ගත වීම සඳහා යොදාගත හැකි නව වායු රටා හඳුනා ගැනීමත් සමඟ බඹරාගේ පියෑඹීම පරිගණක මඟින් විග්‍රහ කොට තිබෙනවා. ඒවාත් පූර්ණ සතුටුදායකයි කියන්න නම් අමාරුයි. මම කියන්නේ විද්‍යාව වර්තමානයේ දී බැහැයි කියන දේ එහි නියම වැරදි සන්දර්භවල යෙදීමෙන් කියන දේ විය හැකියි. අභ්‍යවකාශයට රොකට් යැවිය නො හැකි බවට විද්‍යාත්මක 'ඔප්පු කිරීම්' කිහිපයක් තිබුණු බව අමතක කරන්න එපා. කතාවට කියනවා හොඳ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකුට ප්‍රස්තාරයක් හරි අතට අල්ල ගත්තත් උඩු යටිකරු කරලා අල්ල ගත්තත් ඒකට පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් කියලා. ඉතින් එවැනි විද්‍යාවකින් දැනට යමක් බැහැයි කීවට ඒක සහමුලින් ප්‍රතික්ෂේප කරන්නේ කොහොම ද?

සහේතු: (සිනාසෙමින්) ඉතින් මෑත කාලයේ දී කොවුර්ගේ අභියෝග බිඳින්න කවුරුවත් ඉදිරිපත් වෙලා නෑනේ. ඉතින් ඒ උඩ අපි ඒවා විහිළුවට ලක් කරන එක වැරදි ද?

ප්‍රබෝධ: ඇත්තට ම හේතුවාදීන් තේරුම් නො ගන්නේ ඔය කතාව 1972 සිට මේ වෙනකම් කිසිවකු හඳට නො ගිය නිසා හඳ ගමන් මිථ්‍යාවක් කියන එකට දෙවනි නෑ කියන එක. මම හේතුවාදී සංගමයේ අයට කීවොත් මිනිසකු හඳට යවා පෙන්වන්න කියලා ඔවුන්ට එය කළ හැකි ද? එවන් අභියෝගයකට මුහුණ දීම උදෙසා ම නාසා ආයතනය ව්‍යාපෘතියක් අරඹයි ද? කොවුර් වගේ කවුරුහරි කෙනෙක් ලෝකයේ 'කොනකට' වෙලා 1990 දී විතර කීව නම් 'හැකි නම් සියලු දත්ත මට විවෘතව පෙන්වමින් මිනිසකු හඳට යවන්න' කියලා නාසා ආයතනය ඔහුව ගණන් ගනියි ද, හිනා වෙලා අමතක කරලා දායි ද?
ඒ විදිහට ම ඍද්ධි ලාභියෙක් හිටියොත් ඔහු කොවුර් වැනි අජිත කේශකම්බිලිගේ පුනරාගමනයක් ගණනකට ගනියි ද?
ලබන සතියට: දිව්‍ය සත්ප්‍රසාදය ගැන අධ්‍යයනය නො කළ කොවුර්ගේ නිරර්ථක අභියෝගය 

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි