පසුගිය කාල සීමාවේ වංගීස සුමනසේකර හා අප අතර ඇති වූ සංවාදය තීරණාත්මක ස්ථානයකින් එකවර ම අවසන් විය. මෙය අවසානයක් වන්නේ එම මොහොතින් පසු ඒ වෙනුවෙන් ලිපි ලිවීමක් මෙතෙක් සිදු නො වීම නිසා ය. වංගීස , නිර්මාල් ඇතුළු පිල මෙය අර්ථකථනය කළේ චරිත කාරියවසම් හා අනුජ මංචනායක සංවාදයෙන් පැන යාමත් මගේ පිළිතුර ප්‍රමාණවත් නො වීමත් ලෙස ය. (පිල යෙදෙන්නේ කවර අර්ථයෙන් දැයි බොහෝ වාර ගණනක් පැහැදිලි කොට ඇති බැවින් නැවත නො ලියමි.) . අපගේ විග්‍රහය අනුව නම් ( වංගීස ම කියන ආකාරයෙන් සාම්ප්‍රදායික වමට නලින් ද සිල්වා මහතාගේ අභියෝගයවත් ඒ හමුවේ තමන් පරාජය වී ඇති බවවත් අවබෝධ කර ගත නො හැකි වූ ලෙසින් ම ) අලුත් වටයකින් වංගීසට ද තමා ඇලී සිටින ස්වචාරයන්ගේ සිරව අපගේ පිළිතුර අවබෝධ කරගත නො හැකිව ඇත.
මනස ලෝකය නිර්මාණය කරයි කී විට කකුළ ගලක ගසා ගත් ආචාර්ය ජොන්සන්ගේ 'පිළිතුර' මහා ඉහළින් සලකන සාම්ප්‍රදායික භෞතිකවාදීන්ට මනසින් තොරව යථාර්ථයක් පවතින බව මනසින් තොරව පෙන්වන්න කීමෙහි ඇති අභියෝගය නො වැටහීම අරුමයක් නැත. ඔවුන් සිතා සිටින්නේ තමා පරාජය වී නැති බව ය. ඔවුන් සිතන්නේ ආචාර්ය ජොන්සන් හමුවේ පරාජය වී ඇත්තේ අප බවයි! තමන් පරාජය වී ඇති බව මේ භෞතිකවාදීන්ට ඒත්තු ගන්වන්නේ කෙසේ ද? මෙය තීරණාත්මක ප්‍රශ්නයකි. මේ බව වංගීස ද පිළිගනී.
අප කියන්නේ මේ සාම්ප්‍රදායික භෞතික වාදයෙන් මිදී ඉදිරියට පැමිණි වංගීස ද ඊළඟ වටයේ දී මේ ඉරණමට ම මුහුණ දී ඇති බවයි. දැන් තීරණාත්මක ප්‍රශ්නය වන්නේ වංගීසට ඒ බව ඒත්තු ගන්වන්නේ කෙසේ ද යන්නයි.
වංගීසට ඇත්තේ රැඩිකල් අනේකත්වය හා රැඩිකල් පරිවර්තනය පිළිබඳ ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයේ විධිමත් ලිඛිත මූලාරම්භය අතීත ග්‍රීසියේ පූර්ව සොක්‍රටික යුගයේ පවතින්නකි. සංස්ථිතික නියම ඇතුළු සමස්ත බටහිර විද්‍යාවට ද යථාර්ථය පිළිබඳ අදහස් ඇතුළත් දර්ශනවාදවලට ද පදනම්ව ඇති මූලික ම කරුණ පැමිණියේ පාර්මිනිඩීස්ගෙනි. පාර්මිනිඩීසියානු සෙවණැල්ල වංගීස මත ද වැටී තිබෙන බව පෙනෙන්නට තිබේ.
පාර්මිනිඩීස්ගේ 'පැවැත්ම' (Being)
සියල්ල එක් දෙයකට ඌනනය කිරීමේ බලවත් ආශාව ග්‍රීක දාර්ශනිකයන්ට ද විය. අද 'සියල්ලේ ප්‍රවාදය' සොයන්නාක් මෙන් ඔවුහු සියල්ලේ ද්‍රව්‍යය සෙවූ හ. ගින්න , පස , ජලය , වාතය අතරින් එකක් මේ මූලික ද්‍රව්‍ය ලෙස සඳහන් කිරීම පූර්ව සොක්‍රටික යුගයේ දක්නට ලැබුණි. පාර්මිනිඩීස් මෙහි දී ඉඳුරා වෙනත් මඟක් ගත්තේ ය. ඔහු කීවේ දෙවඟනක තමාට මේ දැනුම ලබා දුන් බවයි.
පාමිනිඩීස් සියල්ලේ මූලය ලෙස ලබා දුන්නේ වෙනත් ම පිළිතුරකි.
සියල්ලේ මූලය වන්නේ පැවැත්ම (being) ය.
යන්න ඔහුගේ වාදය විය. ඔහුගේ මේ පිළිතුර ඉතා ක්ෂුද්‍ර අදහසක් බව බැලූ බැල්මට පෙනුණ ද වාස්තවික යථාර්ථය මෙන් ම සංස්ථිතික නියමවල ද මූලාරම්භය ජනිත වූයේ මේ අදහස තුළ ය. වංගීස සිරවී සිටින ස්වචාරයක ආරම්භය ද පාර්මිනිඩීස්ගෙන් ම සනිටුහන් වේ.
පාර්මිනිඩීස් තම ප්‍රවාදයට නියම දෙකක් ඉදිරිපත් කළේ ය.
1. පැවැත්ම වේ. (Being is)
2. නො පැවැත්ම නො වේ. (Not being is not)
මෙහි පැවැත්ම වේ යන්න අපට අමුතු කුතුහලයක් දනවන්නක් නො වේ. නො පැවැත්ම නො වේ යන්න ගැන තරමක් විමසිය යුතු ය. සියල්ලේ පදනම පැවැත්ම නම් පැවැත්ම රහිත දෙයක් නො විය යුතු ය. එනම් 'නො පැවැත්මක්' 'විය' නො හැකි ය.
ඉන්පසුව පාර්මිනිඩීස් මෙසේ පැවසී ය. පැවැත්ම ම හරය නම් විය හැකි එකම වෙනස (difference) පැවැත්ම හා නො පැවැත්ම අතර වෙනසයි. එහෙත් නො පැවැත්ම නො වේ. එනිසා වෙනසක් පැවතිය නො හැකි ය. අපට පෙනෙන වෙනස්කම් මායාවක් වන අතර සමස්ත විශ්වය ම සන්තතික නො වෙනස් එක ම පැවැත්මකි.
පැවැත්ම ම හරය නම් විය හැකි එක ම වෙනස් වීම (change). පැවැත්ම හා නො පැවැත්ම අතර වෙනස් වීම ය. එහෙත් නො පැවැත්ම නැත. එහෙයින් වෙනස් වීමක් නැත. වෙනස් වීම යනු මායාවක් පමණි.සමස්ත විශ්වය ම නො වෙනස් පැවැත්මකි.
ශක්ති සංස්ථිති නියමයේ සිට වාස්තවිකත්වය දක්වා අදහස්වලට මූලය වූයේ ඉහත ආකර්ෂණීය තර්කය ය.
වංගීස හා පාර්මිනිඩීස්
වංගීසගේ තර්කය මෙසේ සාරාංශ කළ හැකිය. ඔහු උත්සාහ කරන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ තර්ක පිළිගෙන ඒ තුළින් ම එය පුපුරවා හැරීමට උත්සාහ කිරීමටයි.
මනසට බාහිරව යථාර්ථයක් ඇති බව මනසට ම සාපේක්ෂ බැවින් එවැන්නක් විය නො හැකිය යන්න මෙහි දී කරුණක් ලෙස පිළිගන්නා වංගීස අපට කියන්නේ නිවන පිළිගැනීමට ඒ මත ඉඩක් නොමැති වන්නේ ය යන්නයි. ආරම්භයේ වංගීස කීවේ නිවන නොවන යන්නෙන් නැවත ලෝකය ගැන කියැවෙන බව ය. ද්විත්ව නිෂේධයක් ඇත යන්න හඟවයි යන්නෙහි ඔහු මුලින් සිටියේ ය. ඊට අප විරුද්ධ වූ විට ඔහු එයින් බැහැරව ගොස් නිවනේ පැවැත්ම යන්නේ සිට නිවනේ 'විය හැකි' බව දක්වා මාරු විය. එවන් තත්වයක් යටතේත් තම තර්කය වලංගු බව ඔහු කියා සිටියේ ය.
මෙහි දී වංගීස පාමිනිඩීස්ගේ මූලික තර්කය වෙත නව ආකාරයකින් පැමිණියේ ය. පුටුව, මේසය පවතින මෙන් ම නො පවතින අවස්ථා අපට සිතා ගත හැකි ය. මනස නොපවතින අවස්ථාවක් පරිකල්පනය කළ නො හැකි බැවින් මනස නො පවතින 'අවස්ථාවක්' යනු රැඩිකල් අනේකත්වයකි. එහෙයින් නිවන් දැකීම රැඩිකල් පරිවර්තනයකි.
වංගීසගේ අදහස මෙහි දී පාර්මිනිඩීස් සමඟ සමපාතව යයි. මනස හා පැවැත්ම සියල්ලට මූලිකව ඇත. මනස නැති අවස්ථාවක් විය නො හැකි ය. Being සිට not being නම් රැඩිකල් අනේකත්වයට රැඩිකල් පරිවර්තනයක් කළ නො හැක්කේ not being is not බැවින් ය.
වංගීසගේ දාර්ශනික ව්‍යාපෘතියේ ප්‍රධාන අංගයක් වන්නේ සත්‍ය යන නාමකරණයට අරුතක් ලබා දීමයි. ඒ කිනම් උත්සාහයක වුවත් පැවැත්ම හා සත්‍ය එකිනෙක හා අතුරුමාරු කළ හැකි වචන බව පෙනෙන්නට තිබේ.
මේ අරමුණ උදෙසා වංගීසගේ වෙහෙසීම තුළ පාමිනිඩීස්ගේ අවතාරය දක්නට හැකි ය. යම් ම ආකාරයක පැවැත්මක් හෝ සත්‍යයක් ප්‍රාගානුභූතව ගතහොත් ඒ අනුව පාර්මිනිඩීස්ගේ ප්‍රතිනිර්මාණය කළ හැකි ය.
අප අතර වූ සංවාදයේ දී වංගීස මේ ප්‍රාගානුභූතයේ අවශ්‍යතාව සපුරා ගත්තේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය රේසරයක් බවට පෙරළීමෙනි. මනසින් ස්වායත්ත දේ බැහැර කිරීමේ රේසරය ඔහුගේ ක්‍රියාකාරිත්වය තුළ 'සත්‍ය' ඉතිරි කරන්නක් ලෙස යොදා ගැනුණි. එවිට සත්‍ය යනු මනස්වලට සාපේක්ෂව පවතින්නක් වේ. මෙය ප්‍රාගානුභූතිකව ගත් විට පාර්මිනිඩීස්ගේ පරම සන්තතික පැවැත්ම මෙන් වංගීසගේ වචනයෙන් පූර්ණ විකසිත විඥානවාදයක් නිර්මාණය වන බව සැබෑ ය. නිවන් දැකීම යනු අවිශ්වාසනීය රැඩිකල් අනේකත්වයක් බවට මෙම ආස්ථානයේ දී නිර්ණය වේ.
කෙසේ වෙතත් මේ සියලු ක්‍රියාකාරිත්වයේ වලංගු භාවය ඇත්තේ පාමිනිඩීස්ගේ පැවැත්ම ප්‍රාගානුභූතිකව ගැනීම තුළ ය. වරක් ප්ලේටෝ විසින් අප සැමගේ ම පියා ලෙස නම් කෙරුණු පාර්මිනිඩීස්ගේ තර්කන අච්චුවෙන් ඉවතට යා හැක්කේ කෙසේ ද?
දාර්ශනික ගුරු කුල ගණනාවක් ම වෙළා ගනිමින් ඒවායේ කතිකාවන් (discourses) නිර්මාණය කරවූ පාර්මිනිඩීසියානු ශාපයෙන් මිදෙන්නේ කෙසේ ද? පාර්මිනිඩීසියානු සිරගෙහි සිටිනවුන් ඉන් මිදවීමට කතා කළ යුත්තේ කවර භාෂාවකින් ද? මේවා සන්නිවේදනය පිළිබඳ බරපතල ප්‍රශ්න බව සැබෑ ය. වත්මන් සන්දර්භයේ මින් කියැවෙන්නේ වංගීස පරාජිත බව වංගීසට වටහා දෙන්නේ කෙසේ ද යන්න ය.
පාර්මිනිඩීස්ගේ සෙවණැල්ලේ හිඳිමින් වංගීස ඉදිරිපත් කරන තර්කනය රඳා පවතින්නේ මූලික කරුණු කිහිපයක් මත ය.
1. පැවැත්ම (සත්‍ය) නම් හැඟවුම්කාරකය සියල්ලේ ප්‍රාගානුභූතයක් සේ ගත හැකි බව
2. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය ඇසුරෙන් රේසරයක් නිර්මාණය කරගත හැකි බව (හා එහි දී මනස ප්‍රාගානුභූතයක් බව)
වංගිස මෙහි දී නිතර ම අමතක කරන කරුණ වන්නේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීන් සිය පදනම ගොඩනැඟීමේ දී යොදාගන්නා වචනය සත්‍ය හෝ පැවැත්ම නොව 'බොරු' යන්න වීමයි. පාර්මිනිඩීසියානු හෙවණැල්ලෙන් එළියට විත් කරන අදහස් දැක්වීමක දී 'බොරු' යන්න 'සත්‍ය' යන්නට වඩා තීරණාත්මක වනු ඇත.
නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අරභයා වංගීස කරන ඊළඟ වරද වන්නේ බාක්ලී රේසරය මෙන් රේසරයක් සෑදීමට එය යොදා ගැනීමට දරන උත්සාහයයි. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ මනස ප්‍රාගානුභූතයක් නො වේ. එහි එම තර්කයේ මනස යන වචනය යෙදෙන්නේ ලෞකික භාෂාවල ඇති අඩුලුහුඬුකම් නිසා ය. බාක්ලීට මනස ප්‍රාගානුභූතයක් විය. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ දී ප්‍රධාන තර්කය මනස සඳහා ද යෙදේ.
මනස නැති අවස්ථාවක් දැන ගත නො හැකි ය ආදී වශයෙන් ගෙනෙන තර්ක නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයට අදාළ නො වේ.
වංගීසගේ සිරවී සිටින මේ පාර්මිනිඩීසියානු සිපිරි ගෙයෙහි බිත්තිවල බොල් බව වංගීසට පැහැදිලි කොට දීමට නම් තවත් ලිපි කිහිපයක් ලිවීමට සිදුවනු ඇත. තීරණාත්මක ප්‍රශ්නය වන්නේ වංගීසට කතා කළ යුත්තේ කවර භාෂාවෙන් ද යන්න සොයා ගැනීමට ඉමහත් වෙහෙසක් දැරිය යුතු ව තිබීම ය.
මතු සම්බන්ධයි
- තමලු මලිත්ත පියදිගම
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
Exit way out කණ්ඩායමට පිළිතුර
Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...
වැඩිපුර කියවූ ලිපි
-
මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර) සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළ...
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය (2017 ඔක් 04 විදුසර, මුල් ඡේදය සංස්කරණය වී ඇත.) මෙවර (සැප්තැම්බර් 27) සැම්සන් මහතා ලියා ඇති නිසරු බොළඳ රචන...
-
පැරණි ශාස්ත්‍ර - තමලු මලිත්ත පියදිගම ඇල්කෙමිස්ට් සඟරාව - ජනවාරි පැරණි ශාස්ත්‍ර ගැන කතා කිරීම ලෝකය පුරා දක්නට ලැබේ. බොහෝ දෙනා...
-
නලින් ද සිල්වා මහතාගේ මේ වන විට අක්‍රිය තත්වයේ ඇති කාලය පැරණි වෙබ් අඩවිය (2016ට පෙර ලිපි) වෙතට නැවත පිවිසීම සඳහා පහත සබැඳිය භාවිත කළ හැකි...
No comments:
Post a Comment