සැම්සන් ගුණතිලකගේ අවිචාරශීලී සදොස් තර්ක නොහොත් හේතුවාදයේ නිරුවත


(සංස්කරණයට පෙර)  2017.08.09 විදුසර
සුපුරුදු තප්පු ලෑම පසුගිය ලිපියෙන් ද ප්‍රදර්ශනය කරන කේ.ආර්. අභයසිංහ මහතාට පිළිතුරු දීම මට නො තරම් බැවින් සැම්සන් ගුණතිලක මහතා වෙනුවෙන් මේ ලිපිය වෙන් කරමි.
සැම්සන් ගුණතිලක මහතා විසින් සංවාද ලිපිවල සදොස් තැන් පෙන්වීමේ අටියෙන් ලියන ලද ලිපිවලින් ඒ මහතා සාවද්‍ය විෂය කරුණු නිවැරදි සේ සමාජගත කිරීමට දැරූ අනර්ථකාරී උත්සාහයට එරෙහිව නිසි පිළිතුරු ලබා දුන් දිලුම් සෙනවිරත්න මහතාට පළමු කොට මාගේ පැසසුම හිමි වේ. සැම්සන් මහතා සමාජ ගත කිරීමට උත්සාහ කළ සාවද්‍ය තර්ක සියල්ල ම පාහේ දිලුම් මහතාගේ පිළිතුරු හමුවේ මේ වන විටත් සුණු විසුණුව ගොස් අවසන් ය. මේ ලිපිය වෙන්වන්නේ ගුණතිලක මහතා දැක්වූ කරුණු පිළිබඳ පසු විපරමක් කිරීමටයි.
ස්ටීවන්ස් හෝකිං මහතාගේ ජනප්‍රිය කෘතියකින් ඡේදයක් උපුටා ගනිමින් ගුණතිලක මහතා හෝකිංගේ අදහස් විකෘති කිරීම පිණිස එය යොදාගැනීමට උත්සාහ කරයි. පසුගිය සතියේ හෝකිංගේ මෑතකාලීන පොතකින් කරුණු දක්වූ දිලුම් මහතා හෝකිංගේ සැබෑ මතය කුමක් ද යන්න පාඨකයින්ට මනාව පෙන්වා දී ඇත. ගුණතිලක මහතා වැනි හේතුවාදීන්ට චලිත ආකෘතිවලින් එකකට විශේෂ යථාර්ථමය වැදගත්කමක් දීමට ඇත්තේ මහත් වුවමනාවකි. එහි ප්‍රභවය ඒ මහතාට හෝකිං ගේ පොතෙන් ම වටහා ගත හැකි ය.
Newton was very worried by this lack of absolute position, or absolute space, as it was called, because it did not accord with his idea of an absolute God.......He was severely criticized for this irrational belief.
Hawkings, S. A Brief History of Time (Chapter 2)
හේතුවාදීන් ද නො දැනීම උත්සාහ කොට ඇත්තේ සර්ව බලධාරී දෙවියන් සෙවීමට බවත් සැම්සන් මහතාගේ තර්කය අහේතුක (irrational) බවත් පොත සම්පූර්ණයෙන් කියවූයේ නම් ඒ මහතාට ම වැටහෙනු ඇත. සැම්සන් මහතා අපෙන් අසන්නේ පොළොවට සාපේක්ෂව දුම්රිය චලනය වීමත් දුම්රියට සාපේක්ෂව පොළොව විරුද්ධ අතට චලනය වීමත් ගණිතමයව සමාන වුවත් 'සිද්ධි දෙකේ වෙනසක් ප්‍රායෝගිකව නැතැයි කිව හැක්කේ කාට ද?' යනුවෙනි. හෝකිං ම එම ප්‍රශ්නයට පිළිතුරු දී ඇති බව ඒ මහතාට නො පෙනීම පුදුම සහගත ය.
So there is no way to tell whether it is the train or the earth that is moving. (A brief History of Time , Chapter 2). *චලනය වන්නේ දුම්රිය ද පොළොව දැයි කීමට ක්‍රමයක් නැත.*
හෝකිංගේ අදහස් තම අරමුණ උදෙසා විකෘති කිරීමට ගොස් සැම්සන් මහතා පඹගාලක පැටලී ඇත.
ජ්‍යෝතිෂ්‍යයේ සායන හා නිරායන ලෙස අංශ දෙකක් ඇති බව ඒ පිළිබඳ දළ සොයා බැලීමක් වුවත් කොට ඇති අය දනිති. ෂෝන් කාල්සන්ගේ පරීක්ෂණය බටහිර සායන ජ්‍යෝතිෂ්‍ය විෂයෙහි කරන ලද්දක් බැවින් එය සමස්ත ජ්‍යෝතිෂ්‍යයට ම අදාළ කර ගැනීම ම විහිළුවකි. එ නිසා පෙරදිග ජ්‍යෝතිෂ්‍යයට (නිරායන) කාල්සන් පරීක්ෂණයෙන් බලපෑමක් වන්නේ ම නැත. ලංකාවේ ජ්‍යෝතිෂ්‍යවේදියකුට නම් සැම්සන් මහතාගේ තර්කය ඉවත ලීමට මෙපමණක් ම සෑහේ. එහෙත් මම ජ්‍යෝතිෂ්‍යවේදියෙක් නො වෙමි. මගේ අරමුණ හේතුවාදීන් ජ්‍යෝතිෂ්‍යයට එරෙහිව ගෙනෙන තර්කවල අරුත් සුන් බොළඳ බව පෙන්වීම ය. ඒ හේතුවාදී මිථ්‍යාව සමාජගත කිරීමේ ප්‍රචාරණ යාන්ත්‍රණය ලෙස ජ්‍යෝතිෂ්‍ය විරෝධය භාවිත කෙරෙන බැවිනි. මෙනිසා ෂෝන් කාල්සන් පරීක්ෂණයේ දුර්වලතාව පිළිබඳ පසුකාලීන සමාලෝචනවල පෙන්වා දී ඇති කරුණු පාඨක අවධානයට යොමු කරමි.
කාල්සන්ගේ පරීක්ෂණයට කළ ආරාධනය පිළිගත් විසි අටෙනුත් සමහර ජ්‍යෝතිෂ්‍යවේදීන් එම ආරාධනය පසුව බැහැර කොට ඇත. කාල්සන් මෙම සංඛ්‍යාව පවා නො දක්වා "කිහිප දෙනකු" ලෙස සඳහන් කොට මඟහැර ගොස් ඇත.  මෙසේ සහභාගී වීම ප්‍රතික්ෂේප කරන ලද ජ්‍යෝතිෂ්‍යවේදීන් අතරින් එක් අයකු වන තෙරේසා හැමිල්ටන් ඇගේ සමාලෝචන පත්‍රිකාවේ කියන්නේ පරීක්ෂණ ක්‍රමවේදයේ දෝෂ පැවති නිසා තමා ඉවත් වූ බවයි. කාල්සන් ඇගෙන් 'වටිනා උපදෙස්' ලැබුණු  බව ඔහුගේ පත්‍රිකාවේ සඳහන් කළත් ඇය පරීක්ෂණ ක්‍රමවේදයට එරෙහි වූ බව සඳහන් නො කිරීමට ප්‍රවේසම් වී ඇත. කාල්සන් තම උපදෙස් අනුව ක්‍රියා කොට නැති බව හැමිල්ටන් පවසයි.
සැම්සන් මහතා පාඨකයින් මුළා කිරීමට අපූරු උපමාවක් සොයාගෙන ඇත. ඒ මහතා කියන්නේ මේ ජ්‍යෝතිෂ්‍ය පරීක්ෂණය වරණ තුනකින් එකක් තේරීමට ඇති විභාග බහුවරණ ප්‍රශ්නයක් තරම් සරල බව ය. උසස් පෙළ දී වරණ ගණන පහ දක්වා ඉහළ දමා ඇති බැවින් ඒ හා සසඳන විට මෙය ඉතා සරල කඩයිමක් බව පෙන්වීමේ වංචනික උත්සාහයක් ඒ මහතා දරා තිබේ. ගුණතිලක මහතාගේ වාග් හරඹයන්ගෙන් පාඨකයන් අන්ධ වීම වැළැක්වීමට ෂෝන් කාල්සන් පරීක්ෂණය සිදු කළ ක්‍රමවේදය පාඨකයන්ට කෙටියෙන් දක්වමි.
මෙහිදී 28කට වඩා අඩු ජ්‍යෝතිෂ්‍යවේදීන් සංඛ්‍යාවක් සම්බන්ධ වු අතර උපාධිධාරීන් හා උපාධි අපේක්ෂකයින් 128හි කණ්ඩායම් දෙකකට ආරාධනා කෙරිණි. එක කණ්ඩායමක් යොදා ගත්තේ පාලක පරීක්ෂණය ලෙසයි. අනෙක් කණ්ඩායම අපි ප්‍රධාන කණ්ඩායම ලෙස හඳුන්වමු. ප්‍රධාන කණ්ඩායමේ පුද්ගලයන් සඳහා කැලිෆෝනියානු මනෝ විද්‍යා ලේඛනය (CPI) බැගින් සාදනු ලැබේ. මේවා අපි CPI ලෙස හඳුන්වමු. CPI නිර්මාණය කරන්නේ එක් එක් පුද්ගලයාට ප්‍රශ්න 480ක ප්‍රශ්නාවලියක් යොමු කොට ඒවාට දෙන පිළිතුරු අනුව ආධිපත්‍යය , සමාජශීලීභාවය, ඉවසීම වැනි ගුණාංග 18ක් සඳහා ප්‍රතිශත අගයන් ලබා දී ඒවා රේඛා ප්‍රස්තාරයක දැක්වීමෙනි. එවැනි ප්‍රශ්නාවලි පාඨක ඔබත් ඇතැම් විට පුවත්පත්වල දැක ඇතුවාට සැක නැත. ඒවාට පිළිතුරු සැපයීමට දීම හොරාගේ අම්මාගෙන් නොව හොරාගෙන් ම පේන ඇසීමක් ලෙස ඔබට සිතිය හැකි වෙතත් මනෝ විද්‍යාව වැනි සාමාජයීය විද්‍යාවන්ගේ මීට වඩා දත්ත රැස් කිරීමේ ක්‍රම සෙවීම උගහට ය. එම කරුණු කෙසේ වෙතත් CPI අත්පොත කියන්නේ CPI සුදුසුකම් ලත් මනෝවිද්‍යාඥයකු (a competent psychologist who has become familiar with this particular device) විසින් භාවිත කළ යුතු බවයි. එහෙත් මේ පරීක්ෂණයට එබඳු අයකු සහභාගී වී නැත. කාල්සන් භෞතික විද්‍යාව හැදෑරූ අයෙකි. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට හා කණ්ඩායම් දෙකට මේවා සමඟ ගනුදෙනු කිරීමට තිබූ අතර CPI අත්පොත පමණක් සැපයීම ප්‍රමාණවත් බව සැලකීම යුක්ති සහගත නො වේ. සුපුරුදු පරිදි කාල්සන් මෙම ජ්‍යෝතිෂ්‍යවේදීන්ට 'යම් මනෝ විද්‍යාත්මක පසුබිමක්' තිබූ බව පවසා මෙහි සංකීර්ණත්වය ලඝු කරයි. CPI කෙතරම් සංකීර්ණ ප්‍රස්තාරයක් දැයි ඔබට වැටහෙනු ඇත. එමෙන් ම ප්‍රධාන කණ්ඩායමේ සාමජිකයන්ගේ කේන්දර පරිගණක මඟින් සකසන ලදී. මේ කේන්දර මඟින් පුද්ගලයාගේ පෞරුෂත්වය පිළිබඳ විස්තර සඳහන් රචනය බැගින් ලිවීමට ජ්‍යෝතිෂ්‍යවේදීන්ට නියම කෙරිණි.“පෞරුෂය” (වචන 300 ), “සබඳතා” (වචන 150), “වෘත්තිය” (වචන 150), “අධ්‍යාපනය” (වචන 100), වර්තමාන තත්වය ( වචන 150) ලෙස රචනාවේ අඩංගු විය යුතු ය. සැම්සන් මහතාගේ උපමාවේ කියැවෙන ප්‍රශ්න හා වරණවල දිග ගැන පාඨකයින්ට මෙයින් වැටහෙනු ඇත!
කාල්සන්ගේ පරීක්ෂණයේ පියවර තුනක් විය. පළමුවැන්න ලෙස ජ්‍යෝතිෂ්‍යවේදීන්ට කේන්දරයක් ලබා දී ඊට අදාළ CPI සටහන හා අහඹු ලෙස තෝරාගත් තවත් CPI දෙක බැගින් ලබා දෙනු ලැබේ. මේ එක් එක් CPI සටහන ඉහත කේන්දරයට කොතරම් ගැළපේ ද යන්න ඒවාට 1 සිට 10 දක්වා ලකුණු දීමෙන් දක්වන ලෙස උපදෙස් ලැබිණි. මීළඟට වඩාත් ම ගැළපෙන CPI සටහන 1  ලෙසත් ඉන්පසුව ගැළපෙන CPI සටහන 2 ලෙසත් අනෙක 3 ලෙසත් ලකුණු කරන ලෙස උපදෙස් ලැබිණි. මෙය කොතරම් කාලය ගතවන සංකීර්ණ ක්‍රියාවක් දැයි පාඨක ඔබට වැටහෙනු ඇත. ජෝතිෂ්‍යයවේදීන් සමහරුන් මෙය අත් හැරියේත් එහෙයිනි. සැම්සන් මහතා මූලාශ්‍ර උඩින් පල්ලෙන් කියවා සාවද්‍ය කරුණු දක්වන්නකු බවට මෙහි දී පැහැදිලිව පෙනී යන්නේ ඒ මහතා පරීක්ෂණය ගැන දක්වා ඇත්තේ එය සිදුවූ අයුරින් නොව අනෙක් අතට බැවිනි. සැම්සන් මහතා කියා ඇත්තේ CPI එකකට කේන්දර තුනක් දුන් බවයි. සැබැවින් දී ඇත්තේ කේන්දරයකට CPI තුන බැගිනි. (three CPIs for each natal chart. - Carlson, page 13)
මෙහි දී හැමිල්ටන් මහත්මිය සිය පරීක්ෂණ පත්‍රිකාවේ දී සඳහන් කරන්නේ තමාට එවා තිබූ CPI නිරීක්ෂණය කළ විට බොහෝ විට ඒ CPI තුන අතර තිබුණේ ඉතා ම ආසන්නව සමාන සටහන් බව ය. මෙය සැම්සන් මහතාගේ අපූරු උපමාවට ආදේශ කළහොත් කියැවෙන්නේ කුමක් ද? මෑත කාලයේ වසර කිහිපයක දී ම සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ වරණ අතර කපිලවස්තුපුරය මෙන් ම කිඹුල්වත්පුර ද දී තිබීම වැනි අවස්ථා දක්නට ලැබේ. (දෙක ම එක ම නගරයයි.) මෙවැනි ප්‍රශ්න බිහිවන්නේ නිවැරදි උත්තරය සමඟ අනිත් වරණවලට අහඹු ලෙස වචන තේරීමට යාමෙනි. විභාගවල දී නම් මේවායේ දී සියල්ලට (All) ලකුණු දෙනු ලැබේ. හැමිල්ටන් පෙන්වන පරිදි කාල්සන් දී තිබූ ප්‍රශ්න බොහෝමයක් 'All' දිය යුතු වර්ගයේ ඒවා ය. ඒත් කාල්සන් මේවාට 'All' දුන්නේ නැත.
මෙවැන්නක දී පිළිගත් ක්‍රමවේදය වනුයේ 1 හා 2 ලෙස තෝරාගත් සාර්ථක පිළිතුරු සංඛ්‍යාව එකතු කොට විශ්ලේෂණය කිරීමයි. නැතිනම් 1,2,3 ලෙස තේරීම් ලබා දීමෙහි තේරුමක් නැත. මේ බව කාල්සන් ද පිළිගනියි. (Before the data had been analyzed, we had decided to test to see if the astrologers could select the correct CPI profile as either their first + second choice at a higher than expected rate.)
එහෙත් කාල්සන් මේ ක්‍රමවේදයෙන් බැහැරව පළමු තේරීම පමණක් සැලකීමට පෙළඹී ඇත. මෙවන් සංකීර්ණ තේරීම් ක්‍රියාවලියක දී මෙය අතිශය අසාධාරණ ය. මෙසේ සාවද්‍ය ගණනයක යෙදෙන කාල්සන් මහතා තුන්වන වරණයේ නිරවද්‍යතාව සලකා බැලීමෙන් පළමු හා දෙවන වරණවල එකතුව සැලකූ විට ලැබෙන ප්‍රතිඵලය ගැන අදහසක් ගත හැකි යැයි සංඛ්‍යානයට හා ගණිතයට සපුරා පටහැනි තර්කයක් ඉදිරිපත් කරයි. තුන්වෙනි වරණය විශ්ලේෂණයෙන් එවැන්නක් ලබා ගත නො හැකි ය. Suitbert Ertel මහතා කාල්සන්ගේ දත්ත නිසි ක්‍රමවේදය අනුව විශ්ලේෂණය කර පෙන්වන්නේ එවිට අපේක්ෂිත සම්භාවිතාව වූ 66% සම්භාවිතාව ඉක්මවා යමින් 74%ක සම්භාවිතාවක් වාර්තා කිරීමට ජ්‍යෝතිෂ්‍යවේදීන් සමත් වී ඇති බවයි. කාල්සන් මහතා තමා විශ්‍රම්භ සීමා (confidence limit) ගණනය කළ ක්‍රමය ද නො දක්වා ඇති අතර සම්මත ක්‍රමවලින් නම් එම අගය නො ලැබේ. සම්මත ක්‍රමවේදය යටතේ සම්මත අපගමනය  ගතහොත් තුන්වන තේරීමේ ප්‍රතිඵල පවා කැපී පෙනෙන ලෙස ජ්‍යෝතිෂ්‍යයට වාසි සහගත වේ. අනෙක් අතට කාල්සන් දත්තවල ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියක් ලෙස සලකා ගණනය කිරීම් සිදු කොට ඇත. එහෙත් දත්ත විසිරී ඇත්තේ ද්විපද Z ව්‍යාප්තියක ය. එම නිසා ද කාල්සන්ගේ ගණනය දෝෂ සහගත වේ. නිවැරදි ගණනයෙන් නියැදි සංගහන සමානුපාතය 0.054 (binomial) ලෙස ලැබේ. මෙය කාල්සන්ගේ නිගමනය පුස්සක් කරයි.
ඉන්පසුව කාල්සන් මහතා CPIවලට ජ්‍යෝතිෂ්‍යවේදීන් ආරම්භයේදී ම ලබා දුන් 1 සිට 10 දක්වා ලකුණු විශ්ලේෂණය කරයි. එහි දී ද ඊට ස්වායත්තව කෙරුණු තේරීම් තුනේ ක්‍රියාවලිය ඊට මිශ්‍ර කරගනිමින් විකෘති ප්‍රතිඵලයකට පැමිණේ. ස්වායත්ත නිවැරදි විශ්ලේෂණයෙන් Suitbert Ertel මහතා කාල්සන්ගේ අදාළ අනුසීහුම් රේඛාව ශූන්‍ය බෑවුමකි යන සාවද්‍ය ප්‍රකාශය ද බිඳ හෙළයි. ඒ අනුව කාල්සන්ගේ දත්ත විශ්ලේෂණය ඉතා දුර්වල හා වැරදි එකකි.
කාල්සන් පරීක්ෂණයේ දෙවන පියවර වූයේ කේන්දර ඇසුරෙන් ජ්‍යෝතිෂ්‍යවේදීන් ලියූ රචනා තමා සමඟ ගැලපීමට ප්‍රධාන කණ්ඩායමට ලබා දීමයි. තමාට අදාළ විස්තරය සමඟ අහඹු ලෙස තෝරාගත් විස්තර දෙකක් අතරින් තමාගේ විස්තරය තෝරාගත යුතු ය. Sun sign (අප ලගන පලාපල බලන්නාක් මෙන් බටහිර පුවත්පත්වල ඇත්තේ Sun sign ඵලාපල ය.) අනුව පුද්ගල ගුණ යනාදී දේ ඉතා හුරු පුරුදු දෑ විය හැකි බැවින් මෙහි දෝෂ ඉවත් කිරීමට ප්‍රධාන කණ්ඩායමේ එක් අයකුට එම sun sign එකෙහි ම අයකු බැගින් පාලක කණ්ඩායම ගලපා පාලක කණ්ඩායමේ අදාළ පුද්ගලයාට ද ප්‍රධාන කණ්ඩායමේ පුද්ගලයාට දෙන දත්ත ම ලබා දී තේරීම් සඳහා අවස්ථාව ලබා දී ඇත. මෙහිදී පාලක කණ්ඩායමට ලැබෙන රචනා අතරින් එකක්වත් තමාට අදාළ ඒවා නො වේ. ඒවායින් එකක් අදාළ වන්නේ ප්‍රධාන කණ්ඩායමේ අනුරූප පුද්ගලයාට ය. මෙතැන දී නම් ආශ්චර්යයක් සිදු විය. ප්‍රධාන කණ්ඩායම තම සටහන සොයා ගැනීමට සම සේ භව්‍ය සම්භාවිතාවටත් වඩා මදක් අඩුවෙන් සමත් වෙද්දී පාලකය කැපී පෙනෙන ලෙස සාර්ථක වී තිබීමයි. මේ අමුතු ප්‍රතිඵලය අහඹු ලෙස සිදුවිය හැකි විකෘතියකට (chance fluctuation) බැර කිරීමට කාල්සන් කටයුතු කරයි. කාල්සන් කණ්ඩායම් දෙකේ දත්ත මිශ්‍ර කරගත්තේ ද යන්න ගැන සැකයක් මතු වේ.
ඉන්පසුව තුන් වෙනි පියවරේ දී කාල්සන් කරන්නේ තමාගේ CPI සටහන තමාට ගැළපිය හැකි දැයි සෙවීම ය. ඒ සඳහා තමාගේ හා තවත් අහඹු CPI දෙකක් ප්‍රධාන කණ්ඩායමේ පුද්ගලයින්ට ලබා දෙන අතර පාලක කණ්ඩායමේ අනුරූපී පුද්ගලයින්ට එම තුන ම ලබා දේ (ඔවුන්ට තමාගේ CPI සටහන නැත.). මෙහිදී ද කණ්ඩායම් දෙක අතර තීරණාත්මක වෙනසක් සලකුණු වී නැත. එබැවින් කාල්සන්ගේ පරීක්ෂණය එතැන දී ද අසාර්ථක වී තිබේ.
අනෙක් දේ මේ සඳහා සහභාගී වී ඇත්තේ 56, 50 වැනි අඩු පුද්ගලයින් සංඛ්‍යාවකි. මුල් පරීක්ෂණයට සහභාගී වූ අය හා සසඳන විට (83,94) මෙතරම් අඩු වීමක් වූයේ අදාළ කාර්යයේ වෙහෙසකර බව නිසා විය හැකි ය. එවිට මේ පැමිණ ඇත්තේ වඩාත් උනන්දුවක් තිබූ පිරිසයි. එසේ වුවහොත් මේ ප්‍රතිඵල තවත් විග්‍රහ කළ යුතු වේ.
පාලක පරීක්ෂණ දත්ත විශ්ලේෂණයේ දී මෙන් ම නිගමන ගැනීමේ දී ද කාල්සන් අතින් අප්‍රතිෂ්ඨෙය කල්පිත (null hypothesis) පිළිබඳ මූලික මූලධර්ම ද උල්ලංඝනය වී ඇත.
Ertel පවසන පරිදි, ජ්‍යෝතිෂ්‍යය සත්‍ය බව පෙන්වීමට මෙය ප්‍රමාණවත් නො වූවත් කාල්සන්ගේ නිගමනය පුස්සක් බව දැන් පැහැදිලි ය.
පුනර්භවය ශාකවලට වලංගු නො වන්නේ ඇයි දැයි සැම්සන් මහතා අසයි. සත්ත්වයන්ට වලංගු ශාකවලට අවලංගු ජීව විද්‍යාත්මක කරුණු ම කෙතරම් වේදැයි ජීව විද්‍යාව ඉගෙන ගන්නා අය දනිති. ජීවී ද්‍රව්‍ය ද අජීවී ද්‍රව්‍යවලින් පරිණාමය වූයේ නම් අජීවී ද්‍රව්‍යවල ජීවය නැත්තේ ඇයි යනු හේතුවාදීන්ට නම් ප්‍රබුද්ධ ප්‍රශ්නයක් විය හැකි ය. මනස යනු අභෞතිකයේ බලපෑමක් ඇති ක්‍රියාකාරීත්වයකි. මනසක් ඇති විය හැක්කේ සත්ත්ව ශරීරයක ය. ශාක ශරීරවල ඊට අවශ්‍ය භෞතික සංරචක නැත. නාම ස්කන්ධ මඟින් මනසක් ජනිත කරන විට භෞතික ව්‍යුහයක් ලෙස තෝරා ගැනෙන්නේ සත්ත්ව දේහයකි. එම සත්ත්වයා මිය ගිය විට නාම ස්කන්ධයන් එහි ඵලය ලෙස තවත් සත්ත්ව දේහයක මනසක් උපදවනු ඇත නැතිනම් නම් පූර්ණ අභෞතික වූ මනසක් නිර්මාණය කරමින් අරූ බඹ තලයක උපත ලබනු ඇත.
සැම්සන් මහතා ඇතුළු හේතුවාදීන් අනෙක් පද්ධතිවලට අභියෝග කිරීමට පෙර යමක් නිවැරදිව කියවා තේරුම් ගැනීමටවත් පුරුදු වන්නේ නම් වටී. ඔවුන්ගේ මේ විප්‍රකාරවලින් කෙලෙසෙන්නේ අනාගත පරම්පරාවේ විමර්ශන බුද්ධියයි.
             - තමලු මලිත්ත පියදිගම 

1 comment:

රස්තියාදුකාරයා said...

හේතුවාදය ගැන මොනවා වුනත් මගේ තියෙන්නෙ ධනාත්මක සිතුවිලි.කොහොම වුනත් වටින ලියවිල්ලක්

අලුත් ම සටහන

වාස්තවික යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න

2017.08.19 ඉරිදා රිවිර - කොවුර්ගේ පඹ අභියෝගය  සහේතු: කොවුර්ගේ මීළඟ අභියෝගය ගැනත් අපි බලමු. වයින් රුධිරය බවට හරවන්න. ප්‍රබෝධ: තවත් ද්‍...

වැඩිපුර කියවූ ලිපි