පරමාර්ථ ධර්ම හා වාස්තවිකත්වය

2017 ඔක්තෝබර් 1හා 8 රිවිර පුවත්පත්

පරමාර්ථ ධර්ම හා වාස්තවිකත්වය 


(සාපේක්ෂතාවාදය වෙනස් වූයේ නම් පටිච්ච සමුප්පාදයත් වෙනස් වී ඇත් ද?)


කොවුර්ගේ අභියෝගවලට අභියෝග කළ මගේ ලිපි පෙළින් පසු මට පිළිතුරු දීමට චන්දනලා යුගලක් ඉදිරියට පැමිණ ඇත. දෙදෙනා ම චන්දන බැවින් චන්දන නමින් ඇමතීමෙන් පාඨකයන් පමණක් නොව ඔවුන් දෙදෙනා පවා ව්‍යාකූල විය හැකි ය. එනිසා මෙතැන් සිට ඔවුන්ගේ දෙවනි නම්වලින් එනම් රණසිංහ මහතා හා හේරත් මහතා ලෙස ඔවුන් ඇමතීමට බලාපොරොත්තු වෙමි.

හේරත් මහතාගේ පළමුවන පිළිතුරු ලිපිය කියවූ පාඨකයන් පුදුමයෙන් පුදුමයට පත් වන්නට ඇත්තේ කොවුර්ගේ අභියෝග ලිපි පෙළේ සාකච්ඡා කෙරුණු ගුප්ත විද්‍යා , පුනර්භවය හා රහත් භාවය ආදී දේවල පැවැත්ම හේරත් මහතා ද පිළිගෙන ඇති බැවිනි. හේරත් මහතා මට එරෙහි වන්නේ කොවුර්ගේ අභියෝග යන කේන්ද්‍රීය කරුණේ දී නො වේ. මෙහි පසුබිමේ දී මා කියූ කරුණකට ය. එනම් බුදු දහම වාස්තවික යථාර්ථයක් ප්‍රතික්ෂේප කරන්නේ ය යන්නට ය. හේරත් මහතාගෙන් නිරූපණය වන්නේ තමන් ලැබූ බටහිර අධ්‍යාපනයේ සිරවූ බෞද්ධ 'උගතුන්' කුලකයකි. බටහිර විද්‍යාව ද, හේතුවාදය යථාර්ථවාදය වැනි ප්‍රාථමික බටහිර දර්ශන ද පිළිබඳව උඩින් පල්ලෙන් ලබා ගත් දැනුමක් සහිතව බටහිර ව්‍යවහාරික ශාස්ත්‍ර උගෙන එයින් ජීවිකාව සපයා ගන්නා පිරිසක් ලෙස මේ පිරිස හඳුනා ගත හැකි ය. තම සමාජ තත්වය සපයා දුන් බටහිර විද්‍යාව (ඔවුන්ගේ වචනයෙන් නූතන විද්‍යාව) ගැන ආදර භක්තියෙන් යුතුව බටහිර විද්‍යාවේ සමාජ ආධිපත්‍ය තහවුරු කිරීම තුළින් තම සමාජ තත්වය ප්‍රවර්ධනය කිරීමේ සැඟවුණු ආශාව ඔවුන්ගෙන් බහුතරයක් තුළ දක්නට ලැබේ. බටහිර විද්‍යාව හා බුදු දහම එකක් බව හෝ බටහිර විද්‍යාව බුදු දහමට ළං වන බව හෝ කීමත් හේතුවාදය වැනි ප්‍රාථමික දර්ශන සමඟ මතුපිටින් සැසඳීම් කොට අද මේ කියන දේ බුදුන් වහන්සේ අවුරුදු 2500කට පෙර දෙසූ සේකැයි බෞද්ධයන් වීම ගැන බොළඳ අභිමානයක් ඇති කර ගැනීමේ ආස්වාදනීය උත්සාහයත් ඔවුන්ගේ පොදු ලක්ෂණ වේ. මෙහි ඇති භයානක පැතිකඩ වන්නේ ඔවුන්ගේ නො ගැඹුරු අධ්‍යයන තුළින් බෞද්ධ පාඨයන් විකෘති අර්ථකථනයන්ට ලක් වී බටහිර විද්‍යාව පිළිබඳ ඔවුන්ගේ වියවුල් මතවාද සමඟ ඈඳී යාම ය. මෙහි අහිතකර ප්‍රතිඵල දෙයාකාරයකින් දැකිය හැකි වනු ඇත. පළමුවැන්න නම් බටහිර විද්‍යාව අවබෝධයෙන් යුතුව විධිමත්ව හදාරන සිසුන් ඉහත කී වියවුල් මතවාද පුස්සක් බව වටහා ගත් විට බෞද්ධ පාඨවල එම ජනප්‍රිය විකෘති අර්ථකථන මත පිහිටා බුදු දහම ගැන සැක ඉපිදවීමට පෙළඹීම ය; තවදුරටත් අදාළ බටහිර විද්‍යා ප්‍රවාදය අනාගතයේ දී ප්‍රතික්ෂේප වුවහොත් ඒ සමඟ ම බුදු දහම ද බැහැර කිරීමට සිසුන් තුළ පෙළඹීමක් ඇති වීම ය. අනෙක බටහිර විද්‍යාවට පසුබිම් වූ, බුදු දහමට ඉදුරා පටහැනි විශ්වාසයන් සමඟ බුදු දහම ඈඳීමේ අවදානම ය. ඒ නිසා හේරත් මහතා මේ ඇරඹූ සංවාදය 'බෞද්ධ උගතුන්' අතර දුර්මත බිඳීමට ඉතා හොඳ අවස්ථාවක් විවර කර දීමකි.

මුලින් ම මම පාඨකයන්ට හේරත් මහතා කොතරම් වියවුල් මතවාද දරන්නකු ද යන්න පැහැදිලි කර දෙමි. නුවණ දියුණු කරගත හැකි වන්නේ කරුණු අසා කියවා දැන ගැනීමෙන් හා නිරවුල්ව කල්පනා කිරීමකි. තම ලිපිය කරුණු ගොන්නකින් පුරවා ඇති හේරත් මහතා නිරවුල්ව කල්පනා කරන අයකු බවක් නම් පෙනෙන්නට නැත. මේ ඔහුගේ සැප්තැම්බර් 24 ලිපියෙන් උපුටා ගත් කොටස් දෙකකි.

"බෞද්ධ දර්ශනයේ හේතුඵලවාදයත්, අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් දෙකක් නොව එකක් බව ඔබට පැහැදිලි වනු ඇත."

"ඇල්බට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඇතුළු ඔහු ලොවට දායාද කළ දැනුම පසුව නොයෙක් වෙනස්කම්වලට බඳුන් විය. එමෙන් ම එහි ඇති අපැහැදිලි තැන් ද පසුව අනාවරණය වී ඇත. නමුත් බුදුන් වහන්සේ විසින් බුද්ධ ඥානයෙන් ඉදිරිපත් කරන බෞද්ධ දර්ශනයේ අභිධර්මය තුළ කිසිදු පරස්පර විරෝධී කරුණක් අඩංගු නොවන බව පියදිගම මහතා මෙන් ම අනෙක් පාඨකයින් ද තේරුම් ගත යුතු ය."

එක ම ලිපියේ ඇති මේ කොටස් දෙක කියවන පාඨක ඔබට හේරත් මහතා සිටින වියවුල හොඳින් පැහැදිලි වන්නට ඇත. මුල් කොටස අනුව අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයත් පටිච්ච සමුප්පාදයත් එකකි. දෙවැනි කොටස අනුව සාපේක්ෂතාවාදය පසුව වෙනස් වී ඇති අතර එහි අපැහැදිලි තැන් ද ඇත. දැන් පටිච්ච සමුප්පාදය හා සාපේක්ෂතාවාදය එක නම් පටිච්ච සමුප්පාදයත් වෙනස් වී ඇති ද?   පටිච්ච සමුප්පාදයේත් අපැහැදිලි තැන් ඇති ද? පටිච්ච සමුප්පාදය අභිධර්මයට අයත් නැති ද?  පටිච්චසමුප්පාදය හා සාපේක්ෂතාවාදය එකට ඈඳීමේ මූලික වරද මෙසේ හේරත් මහතාගෙන් ම පෙනී යාම කදිම උත්ප්‍රාසයකි.

හේරත් මහතා බටහිර විද්‍යාව පිළිබඳව කරන විස්තර කොතෙක් වියවුල් සහගත හා විකාර රූපී දැයි පාඨකයන්ට තවතවත් හොඳින් පෙන්වීමට මීළඟට මා යොමුවන්නේ හේරත් මහතාගේ සැප්තැම්බර් 17 වෙනි දා ලිපියටයි. මෙහි ඔහු විද්‍යාව යැයි ප්‍රකාශ කරන කරුණු බටහිර විද්‍යාවට අනුව කෙතරම් සාවද්‍ය ද යත් පාසල් සිසුන් එම දුර්මතවලින් ව්‍යාකූල වීම වැළැක්වීමට මේ කරුණු විස්තරාත්මකව විවේචනය කිරීම අත්‍යවශ්‍ය වෙයි.

සෙලියුලෝස් ගැන කියන හේරත් මහතා සෙලියුලෝස් නිපදවන්නේ ශාක පත්‍රවල ප්‍රභාසංස්ලේෂණයේ දී ආලෝක ශක්තිය උපයෝගී කරගැනීමෙන් බව කියයි. ඉන්පසු පේළි කීපයේ දී හේරත් මහතා ලියා දක්වන්නේ අතිශයින් සාවද්‍ය විෂය කරුණු ගොන්නකි.

"මෙම ලබා ගන්නා ආලෝකයේ ශක්තිය ශක්තියේ කුඩා ම ඒකකය වන පෝටෝන් (Photon) ස්කන්ධය රහිත අංශුන් ලෙස ගබඩා කරයි." (Zero mass particals). "

පළමුකොට ම කිව යුත්තේ ෆෝටෝන (Photon) ශක්තියේ ඒකකයක් නොව යම් කිසි සංඛ්‍යාතයක් ඇති විකිරණයක ශක්තිය වෙන් කළ හැකි කුඩා ම කොටස බවයි. එක් එක් වර්ණවල ආලෝක ෆෝටෝනවලට ඇත්තේ එකිනෙකට වෙනස් ශක්ති අගයන් ය. මෙහි ඇති ප්‍රධාන වරද එය නො වේ. ඉන්පසුව කියා ඇති කතාව ය. එනම් මෙම ෆෝටෝන් ස්කන්ධ රහිත අංශුන් ලෙස ශාක පත්‍ර තුළ ගබඩා කරන බවට ඔහු කියන විපරීත අදහසයි. ආලෝකයේ ශක්තිය ස්කන්ධ රහිත අංශු ලෙස ශාක පත්‍රවල ගබඩා කෙරෙන්නේ හේරත් මහතා අලුතින් හැදූ විද්‍යාවක විය යුතු ය. ප්‍රභාසංස්ලේෂණයේ දී ආලෝක ශක්තිය උපකාරයෙන් විවිධ රසායනික ප්‍රතික්‍රියා සිදුවන විට ආලෝක ශක්තිය ගබඩා වන්නේ රසායනික විභව ශක්තිය ලෙස මිස ස්කන්ධය රහිත අංශු ලෙස නො වේ. සැබැවින් ම මෙහි දී අදාළ ආලෝකයේ ශක්තියට අනුරූප ස්කන්ධයේ ප්‍රමාණයෙන් එම රසායනික සංයෝගවල ස්කන්ධය වැඩි වේ. හේරත් මහතා කියන ස්කන්ධ රහිත අංශු ගබඩා වී ඇත්තේ ශාක පත්‍රයේ කුමන කොටස්වල දැයි කීම හේරත් මහතාට ම බාර ය. සාපේක්ෂතාවාදය අනුව නිශ්චලතාවයේ දී ස්කන්ධය ශුන්‍ය වන අංශුවක් පවතියි නම් එහි නිශ්චලතාවේ දී ශක්තිය ශුන්‍ය වේ. එනිසා කිසිසේත් ම ශාකයක් තුළ ස්කන්ධ රහිත අංශු මඟින් ශක්තිය ගබඩා විය නො හැකි ය. (එහෙත් ෆෝටෝනයක නිසලතා ස්කන්ධය ශූන්‍ය වෙමින් ශක්තියක් පවතියි. මෙසේ වන්නේ ෆෝටෝනය චලනය වන බැවිනි. චාලක ශක්තියක් පවතින බැවිනි. ෆෝටෝන ඇත්තේ අවකාශ කාලයේ ශුන්‍ය භූමිතිකවල ය.-null geodesic . ෆෝටෝනයක් නිශ්චල කළ නො හැකි ය. එනිසා ගබඩා කළ නො හැකි ය.) එනිසා ස්කන්ධ රහිත අංශු මඟින් ශාකවල ශක්තිය ගබඩා වේ යන්න සාවද්‍ය අදහසකි.

"අප දකින ආලෝකය තරංගයක් වුව ද ඔබ කියවන පුවත්පත තුළ එය ඇත්තේ ස්කන්ධ රහිත අංශුන් ලෙස ය. ඔබ මේ පුවත්පත දහනය කළහොත් එහි ගබඩා වූ ආලෝක කිරණ (LIGHT WAVES) නැවත ආලෝක ශක්තිය බවට පත්වේ. "
ස්කන්ධය රහිත අංශුන් ලෙස ශක්තිය 'ගබඩා වීමේ' සාවද්‍ය අදහසින් පසු එම අංශු මඟින් ශක්තිය නිපදවෙන ක්‍රමයක් ගැන ද හේරත් මහතා නන් දොඩවයි. දහනයේ දී වන්නේ පුවත්පතේ රසායනික සංයෝගවල රසායනික විභව ශක්තිය ආලෝකය හා තාපය බවට පිට වී යෑම ය. එහි දී එම සංයෝගවල ස්කන්ධයෙන් පිටවී යන ශක්තියට අනුරූප ස්කන්ධ ප්‍රමාණයක් අඩු වේ. මේ ස්කන්ධ ප්‍රමාණ සාමාන්‍ය උපකරණවලට හසු නොවන තරම් කුඩා ය.

අපේ ආහාරවල මෙන් ම අපේ ශරීර තුළ ද මෙම විපරීත අංශු පවතින බව කියන හේරත් මහතා අංශු තරංග ද්වෛතය මුලින් ම දැන ගත්තේ Double Slit Experiment මඟින් යැයි තවත් සාවද්‍ය මතයක් ප්‍රචාරය කරයි. ද්වෛතය ගැන අදහස් පළ වූයේ (ෆෙයින්මාන්ගේ) සඟල සිදුරු පරීක්ෂණයට බොහෝ පෙර ය. (යංගේ පරීක්ෂණය තරංග වාදයට සහය වුවද එකල ද්වෛතය ඉදිරිපත් වූයේ නැත.)

බටහිර විද්‍යාව ගැන තමාගේ හිතලු විපරීත අදහස් ඉදිරිපත් කළ හේරත් මහතා එම විප්‍රකාරයන් බුදු දහම සමඟ ඈඳමින් පුනර්භවය එම විප්‍රකාරයෙන් පැහැදිලි කිරීමට උත්සාහ කරන්නේ ත්‍රිපිටකයේ සූත්‍රවලට ද පටහැනිව යමිනි.

හේරත් මහතාගේ අමුතු අංශු මරණයෙන් පසු තරංග ආකාරයෙන් වෙනත් නාමරූපයක් වෙතට යන්නේ යැයි ඔහු කියන්නේ ථෙරවාදයට විරුද්ධ වෙමිනි. ථෙරවාදය අනුව පුනර්භවයේ දී 'අවකාශීය ගමනක්' නැත. මෙය හේරත් මහතාට පයාසි රාජන්‍ය සූත්‍රය කියවා හෝ පානදුරාවාදයේ වාර්තාව කියවා හෝ දැන ගත හැකි ය. මෙවන් තරංග ආකෘතිවලින් සිදු වන්නේ අවකාශීය පැවැත්මක් ඇති ආත්මයක් පිළිබඳ සංකල්පයක් අනාත්මවාදී බුදු දහමට එබ්බවීම ය.

බුදුන් වහන්සේ වාස්තවික යථාර්ථයක පැවැත්ම ප්‍රතික්ෂේප කළ බව පාඨකයන්ට පැහැදිලි කිරීමට දැන් මම යොමු වෙමි. යථාර්ථවාදීන්ගේ් හා හේතුවාදීන්ගේ ප්‍රධාන සංකල්පයක් වන්නේ යම් කිසිවක් හඳුනා ගැනීම සඳහා ඊට ම අනන්‍ය දෙයක් , A thing in itself, වාස්තවිකව ඇති බව ය. බුදුන් වහන්සේ පෙන්වන්නේ එවන් වාස්ත්වික නිරපේක්ෂ පුද්ගලයකු හෝ සත්ත්වයකු සොයා ගත නො හැකි බවයි.

"අනුරාධ, මෙහි ලා තොපට දිටුදැමියෙහි ම සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්ත්වයෙකු නොලැබෙන කල්හි.."
අනුරාධ සූත්‍රය, සළායතන වර්ගය, සංයුක්ත නිකාය

නිවන් දැකීම යනු පවත්නා පුද්ගලයකු අවසන් වීම යැයි මිථ්‍යා මතයක සිටි යමක තෙරුන්ට ඉන් මිදීමට සැරියුත් හිමියන් උපදෙස් ලබා දීමේ දී සිදු වූ සංවාදය මෙසේ වෙයි.

ඇවැත්නි, යමකයෙනි, මෙහි ලා මේ අත්බැව්හි ම තොපට සත්‍ය විසින් ස්ථිර විසින් සත්ත්වයකු නො ලැබෙන කල්හි යම්සේ රහත් මහණ කාය බිඳීමෙන් සිඳේ ද, වැනසේ ද, මරණින් මතු නො වේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් එසෙයින් දෙසන ලද දහමක් මම දනිමි” යි තොපගේ ඒ පැවසීම සුදුසු ද? ඇවැත්නි ශාරිපුත්‍රනි, නුවණ නැති මට පෙර මේ ලාමක දෘෂ්ටිය විය. අයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ මේ දහම් දෙසුම අසා ඒ ලාමක දෘෂ්ටිය පහ වැ ගියේ ය. ම විසින් ධර්මය ද අවබෝධ කරණ ලද්දේ” යයි.

 සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » ථෙර වර්ගය>> යමක සූත්‍රය

මෙයින් කියැවෙන්නේ වාස්තවික පුද්ගලයකු හෝ සත්ත්වයකු බුදු දහමේ නො පිළිගැනෙන බවයි.

දැන් බොහෝ විශ්ව විද්‍යාල බෞද්ධ උගතුන්ගේ මතය වී ඇත්තේ වාස්තවික සත්ත්වයකු හෝ පුද්ගලයකු නැති වුවත් වෙනත් වාස්තවික දේ ඇති බව ය. එනම් නිරපේක්ෂ වූ වාස්තවික වූ බාහිර ලෝකයක් ඇති බව ය.

බුදුන් වහන්සේ වාස්තවික ලෝකයක් ඇතැයි පැවසුවේ ද යන්න පහත පාඨයෙන් බලාගත හැකි ය.

[දෙවි:]

70. කුමක් හටගත් කල්හි ලොව හටගත්තේ වේ ද? කිමෙක සන්ථවය කෙරේ ද? ලොව කුමක් නිසා කිමෙක පෙළේ ද?

[භගවත්හු:]

ෂඩායතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ. ෂඩායතනයෙහි සන්ථවය කෙරේ. ෂඩායතන ම නිසා ෂඩායතනයෙහි ලොව පෙළේ.

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 1. දෙවතා සංයුත්‌තය » අන්ව වර්ගය>> ලොක සූත්‍රය

හේතුවාදීන්ගේ හා යථාර්ථවාදීන්ගේ එක් මූලික අදහසක් වන්නේ Ancestral Exsistence ය. එනම් ෂඩායතනවලට පෙර ලෝකය පැවතියේ ය යන්න ය. ෂඩාතන හටගත් කල්හි ලොව හටගත්තේ වේ යැයි බුදුන් වහන්සේ මේ වාස්තවික යථාර්ථයක පැවැත්ම පිළිබඳ කේන්ද්‍රීය අදහසක් වන Ancestral Existence ප්‍රතික්ෂේප කරයි.

පහත දක්වා ඇති පාඨයෙන් ද පෙනෙන්නේ බුදුන් වහන්සේ ලෝකයේ බාහිර වාස්තවික නිරපේක්ෂ පැවැත්මක් පිළිබඳව අදහස ප්‍රතික්ෂේප කළ බවයි.

එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “ලෝක ය ලෝකය යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් ලෝකය යි කියනු ලැබේ දැ” යි.

මහණ, (පලුදු වේ) නැසේ නු යි එහෙයින් ලෝකය යි කියනු ලැබේ. කිමෙක් පලුදු වේ ද යත්: මහණ, ඇස පලුදු වේ. රූ පලුදු වේ. චක්ඛුවිඤ්ඤාණය පලුදු වේ. ඇස්පහස පලුදු වේ. ඇස් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද පලුදු වෙයි … මහණ, පලදු වේ නු යි (නැසේ) එහෙයින් ලෝකය යි කියනු ලැබේ යි.

සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 1. සළායතන සංයුක්තය » ගිලාන වර්ගය

මේ සම්බන්ධව වැදගත් ම අදහසක් දක්වන සූත්‍රයක් වන්නේ රෝහිතස්ස සූත්‍රයයි.

ඇවැත්නි, මම ලොව කෙළවරට නො පැමිණ දුක් කෙළවර කිරීමක් නො ම කියමි. ඇවැත්නි, වැලිදු මම සංඥා සහිත සිත් සහිත සහිත බඹයක් පමණ වූ මේ සිරුරෙහි ම ලෝකයත්, ලෝකසමුදයයත්, ලෝකනිරෝධයත්, ලෝකනිරෝධගාමිනී පටිපදාවත් පණවමි.

පාගමනින් කිසිකලෙක ලොව කෙලවර නො පැමිණිය හැක්කේ ය. ලොව කෙළවරට නො පැමිණ දුකෙන් මිදීමෙකුත් නැත.

සංයුත්‌ත නිකාය » සගාථා වර්ගය » 2. දෙවපුත්‌ත සංයුත්‌තය » නානාතිර්ථය වර්ගය >>රොහිතස්ස සූත්‍රය

ලෝකය අප තුළ ම පවතින බවත් එහි පහළ වීමත් නිරෝධයත් අප තුළ ම වන බවත් බුදුන් වහන්සේ පවසා ඇත. බාහිර නිරපේක්ෂ වාස්තවික යථාර්ථයක් ගැන අදහස බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළ බවට මෙය ඉතා පැහැදිලි උදාහරණයකි.

හේරත් මහතා ආදීන්ට බලපා ඇත්තේ බටහිර විද්‍යාව සමඟ බුදු දහම ඈඳීමට අසාර්ථක ප්‍රයත්න ගත් ඇතැම් බෞද්ධ උගතුන්ගේ මතවාදයන් ය.  ථෙරවාදය පරමාණුකවාදයක් (Annalysation of Matter ) ලෙස දැකීමට ඔවුහු උත්සුක වූ හ. ථෙරවාදයේ සම්මුති හා පරමාර්ථ ධර්ම බෙදීම ඔවුන් අතින් විකෘති අර්ථ කථනයකට ලක් විය. වස්තු හා සත්ත්වයින් සම්මුති බවත් පරමාර්ථ ධර්ම යනු 'ඔවුන් සහ ඒවා සෑදුණු කුඩා ම කොටස්' ලෙසත් අර්ථකථනය කොට සත්ත්වයින් පුද්ගලයින් නොමැති වුණත් පරමාර්ථ ධර්ම අපෙන් බාහිරව වාස්තවිකව පවතී යැයි විපරීත අදහසකට ඔවුන් එළඹුණ හ.

මෙහි භයානක ම ප්‍රතිඵලය වන්නේ ථෙරවාදය යනු ඌනිත වාදයක් ය එනම් එක් වාස්තවික යථාර්ථයක් වෙනුවට වෙනෙකක් පැනවීම ය යනුවෙන් මතයක් ඇති වීම ය. මාධ්‍යමික මහායාන සම්ප්‍රදාය හමුවේ ථෙරවාදය පරාජය වී යැයි බෞද්ධ උගතුන් අතර පවා පිළිගැනීමක් ඇති වීමට තරම් මේ විපරීත අදහස හේතු වී ඇත. නාගර්ජුනපාද හිමියන් ඉදිරිපත් කළ ආත්මවාදී චෝදනාවට මුහුණ දීමට මේ ජනප්‍රිය අර්ථකථනයට නො හැකි ය.

"අප අත් දකින සියල්ල කුඩා කොටස්වලට කඩා ගෙන යා හැකි බැවින් ඒවා සම්මුති පමණි. වාස්තවිකව පවතින්නේ කුඩා ම කොටස ය" යන්න ආත්මවාදයකි. පරමාර්ථ ධර්මවල උත්පාද ඨිති භංග අවස්ථා තුනෙහි ඨිති යන්න අනිත්‍ය සමඟ ගැටේ දැයි විචිකිච්ඡා ඇති වන්නේ ද මේ නිසා ය. (ඨිති අවස්ථාව පාලියේ සඳහන් වන්නේ 'ඨිතස්ස අඥත' යනුවෙනි. එනම් මුල් තත්වය වෙනස් වේ යන්න ය. 'පවතී' යන්න නො වේ.
ඨිති යන්නඅර්ථකථනය සාවද්‍ය වූවකි.)

ථෙරවාදයේ පරමාර්ථ ධර්ම හතරක් වේ. චිත්ත, චෛතසික , රූප, නිබ්බාණ ලෙස ඒවා නම් කෙරේ. එයින් නිවන අසංඛාර ද අනෙක් තුන සංඛාර ද වේ. මේවා සංඛාර බැවින් ඒ කිසිවක් වාස්තවිකව පවතින්නේ නැත. නිවන කෙසේවත් අස්ත්‍යාර්ථයක්, පවතින්නක් නො වේ. පරමාර්ථ ධර්මයක් යන්නෙහි අදහස මෙසේ ය. අපේ ෂඩායතනයන්ට පුද්ගලයින් හෝ වස්තු හෝ ගෝචර නො වේ. මිනිසකුගේ රූපය දැකිය හැකි වුවත් මිනිසා ස්පර්ශ කළ විට දැඩි බව දැකිය හැකි වුවත් 'මිනිසා' දැනෙන්නේ කවර ආයතනයකට ද? මිනිසා යනු ෂඩායතනවල ස්පර්ශ වේදනා ඇසුරෙන් නිර්මාණය කරගන්නා සංඛාරයක් , නාම ප්‍රඥප්ති මාත්‍රයක් පමණි.

මේ ෂඩායතනවලට සැම විට ම හසුවන්නේ ක්‍රියාවකි; ලක්ෂණයකි. ෂඩායතනවලට හසුවන්නේ ම වෙනස් වීමකි. ඒ මිස ආයතනයෙහි පැවැත්මක් හෝ අරමුණුවල පැවැත්මක් හෝ අරමුණුවලට පිටතින් පැවැත්මක් හෝ විඳින්නකු ලෙස පැවැත්මක් හෝ ආයතනවලට ගෝචර නො වේ. එහෙයින් මෙම ක්‍රියා ලක්ෂණ සියල්ලට මූලික වන අතර අනෙක් සියල්ල සම්මුති වේ. ඒ අයුරින් මේවා පරමාර්ථ ය. එහෙත් මෙහි ගැටළුවක් ඇත. ක්‍රියාවක් යැයි මා කියන විට ම ඔබ මගෙන් අසනු ඇත්තේ එය කරන්නේ කවුද යන්නයි. ලක්ෂණයක් යැයි මා කියන විට ම ඔබ මගෙන් අසනු ඇත්තේ එය කාගේ ලක්ෂණයක් ද යන්නයි. එහෙත් අපි මුලින් දුටු ලෙස පුද්ගලයින් හා වස්තූන් සම්මුති පමණි. එබැවින් පරමාර්ථ සැලකීමේ දී ඒවා යම් අයකු කරන්නේ නො වන ක්‍රියා හා යම් අයකු ගේ නොවන ආකාරයේ ලක්ෂණ ද විය යුතු ය. මෙය පෘථග්ජන අපගේ භාෂාවලින් නිසි පරිදි කිව නො හැකි බව පැහැදිලි ය. එහෙයින් එතැනින් එහා අවබෝධය ප්‍රඥාවෙන් ම ලැබෙන්නකි. මෙවැනි ක්‍රියා ලක්ෂණ වාස්තවික පැවැත්මක් ඇති දේ නොවන බව පැහැදිලි ය.

වැඩිදුරටත් මෙම සූත්‍ර කොටස විමසමු.

වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද? මේ ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක (සත්ත්වයෙක් හො පුද්ගලයෙක්) ස්පර්‍ශ කෙරේ ය යි මම නො කියමි. ඉදින් ස්පර්‍ශ කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද?’ යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් “වහන්ස, කිනම් ප්‍රත්‍යයයකින් ස්පර්‍ශය වේ දැ” යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා “ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වෙදනාව වේ ය”යි විසඳීම යුක්ත ය.

සංයුත්‌ත නිකාය » නිදාන වර්ගය » 1. අභිසමය සංයුක්තය » අහාර වර්ගය>>මොළියඵග්ගුන සූත්‍රය

පටිච්ච සමුප්පාදයේ කියැවෙන්නේ බාහිර වාස්තවික යථාර්ථයක හේතුක සම්බන්ධතා (Causal Relations) නො ව ප්‍රත්‍ය අතර සමපැවැත්මයි.

අයින්ස්ටයින්ගේ ආලෝක කේතුවෙන් කියවෙන්නේ ඔහුට අනුව ආලෝකයේ වේගයට වඩා වේගයෙන් තොරතුරු ගමන් කළ නො හැකි බැවින් එක් සිද්ධියක සිට තවත් සිද්ධියකට තොරතුරු ගමන් කළ හැක්කේ එම සිද්ධි දෙක ආලෝකය මඟින් ආවරණය කළ හැකි කලාපයේ පැවතිය හොත් පමණක් බවයි. පටිච්ච සමුප්පාදයේ කියැවෙන්නේ ප්‍රත්‍ය අතර සම්බන්ධය මිස අවකාශ කාලයේ සිද්ධි දෙකක් අතර සම්බන්ධයක් නො වේ. මෙය කිසිසේත් ම බෞද්ධ මතයට අදාළ වූවක් නොවනවා පමණක් නොව මින් කර ඇත්තේ ද හේතුක සම්බන්ධතාවලට සීමාවක් පැන වීම මිස අන් කිසිවක් නො වේ. අනෙක් අතට පැටලුණු අංශු කේතුවෙන් ඉවත සිට ද තොරතුරු සන්නිවේදනය කරන බව පරීක්ෂණ මඟින් පෙනේ.

උඩින් පල්ලෙන් හදාරා සංකල්ප ගැටගැසීම හානිකර ව්‍යාපෘතියකි. අපට මිථ්‍යාව නමින් අභූතයෙන් චෝදනා කිරීමට පෙර තවත් විමසිලිමත් වීමට හේරත් මහතා කටයුතු කරන්නේ නම් ඉතා වටී.

සටහන:
මේ පිළිතුර ලිවීමේ දී ඊට එක් විය යුතු වැදගත් කරුණු කිහිපයක් ගැන උපදෙස් දුන් කලල්පිටියේ සුමනසිරි හිමියන්ට මගේ ගෞරව පූර්වක ස්තූතිය හිමි වේ.
ත්‍රිපිටකයට අමතරව ආචාර්ය නලින් ද සිල්වා මහතාගේ හා ආචාර්ය සසිත් රාජසූරිය මහතාගේ ලිපි කිහිපයක් ද මෙහි දී නිදැල්ලේ පරිහරණය කරන ලද බව වෙසෙසින් කිවයුත්තේ බොහෝ බෞද්ධ 'උගතුන්' අතර පවතින විකෘති කරුණු හා දුර්මතවලින් මිදීමට එම ලිපිවලින් ඉතා මාහැඟි සහයක් ලැබුණු බැවිනි.
මට පිළිතුරු සපයන රණසිංහ මහතා ක්ෂුද්‍ර අංශු නිරීක්ෂණය කරන විට ආලෝකයේ ශක්තිය නිසා ඒවා චලනය වන්නේ යැයි ක්වොන්ටම් භෞතිකය ගැන ජනප්‍රිය දුර්මතයක් ප්‍රකාශ කොට ඇත. ක්වොන්ටම් භෞතිකයේ සරල ම ගැටලුවක් විසඳීමට තරම්වත් ප්‍රමාණවත් ලෙස ඒ මහතා එය ගණිතමයව හදාරා නැති බව මින් පෙනේ. මේ දුර්මතවලින් පාඨකයන් මුළා වීම වැළැක්වීමට ඉදිරියේ දී ලිපියක් පළ කරමි.

- තමලු මලිත්ත පියදිගම 

3 comments:

  1. වටින ලිපියක්. මට පොඩි ගැටලු තිබෙනවා සමහර විට මෙය ඔබ ලිපියෙන් කියන අදහස හරියට තේරුනේ නැති නිසා වෙන්න පුලුවන් නමුත් ඔබට පිලිතුරක් ලබාදීමට හැකිනම් වටිනවා.
    1. සත්වයෙක් කිය ස්ථිර දෙයක් නැතිනිසා කර්මයක් කරන්නෙ කවුද? එය විපාක දෙන්නේ කාටද?
    2. සලායතන නිසා ලෝකය හට ගන්නවා නමුත් කාලය ගෙවීයම වැනිදේ ගෝචර වන්නේ කෙසේද ?
    ස්තූතියි ඔබට !

    ReplyDelete
  2. 1.කර්මය කරන්නේ කවුදැයි ඇසීම පරමාර්ථයේ දී වැරදි ප්‍රශ්නයක්. කර්ම කියන්නේ චේතනා චෛතසිකය සහිත සිත්වලට . අපි සම්මුතියේ දී එය සත්ත්වයකුගේ ක්‍රියාකාරකමක් ලෙස දකිනවා. විපාක ලැබෙන්නෙත් චිත්ත හා රූප ධර්මවලට. එයත් අපි සම්මුතියෙන් සත්ත්වයකු සේ දකිනවා.

    2. අටුවාවේ සඳහන් වන ආකාරයට කාලය පඤ්ඤත්තියක් පැනවීමක්. වෙනස් වීම්වලින් අපි කාලය කියා සංකල්පයක් නිර්මාණය කරගන්නවා මිස බාහිර ලෝකයක කාලයක් පවතින්නේ නෑ.

    ReplyDelete
  3. ගොඩක් ස්තූතියි පිලිතුරට!

    ReplyDelete

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි