හේතුවාදීන්ගේ කරුණු විකෘති කිරීම් , බොළඳ සාවද්‍ය තර්ක ඉදිරිපත් කිරීම් හා තමන් ද අවිචාරශීලී වෙමින් ජනතාව අතර අවිචාරශීලීත්වය වැපිරීමේ ක්‍රියාවන් ගැන හෙළිදරව් කිරීම උදෙසා මා විසින් එළඹුණු මේ සංවාදය මේ වන විට එක්තරා අදියරකට එළඹී ඇත. මෙහි දී හේතුවාදීන්ගේ අවිචාරවත්භාවයට කදිම නිදසුනක් සපයමින් මට සහය දුන් අභයසිංහ මහතාට ද සැම්සන් මහතාට ද මගේ ස්තූතිය හිමි වේ. මාගේ අරමුණ සාර්ථක වී ඇති බව අන්තර්ජාලය ඔස්සේ මට ලැබෙන උණුසුම් පාඨක ප්‍රතිචාරවලින් පෙනේ. විශේෂයෙන් ම පාසල් සිසුන්, විද්‍යාවේ නාමයෙන් හේතුවාදීන් ගෙන හැර දක්වන විකෘති විෂය කරුණු හා බොළඳ තර්ක විනිවිද එහි ව්‍යාජය දකින්නට යොමු වීම අගය කළ යුත්තකි. ඒ පිළිබඳව මට ඇත්තේ ඉමහත් සතුටකි.
මෙවර සැප්තැම්බර් 13 ලිපියෙන් ද සැම්සන් ගුණතිලක මහතා සුපුරුදු පරිදි ම හේතුවාදීන්ට නිරවුල්ව සිතිය නො හැකි බවට මනා සාදෘශ්‍යයක් සපයා ඇත. තමන්ට බලපාන පොදු කරුණක දී (බොහෝ විට ව්‍යසනයක දී) පරස්පර මතවාදයන් දරන්නන් එක්ව කටයුතු කරනු දැකීම පුදුමයට කරුණක් නො වේ. ඒ පොදු අරමුණ ජයගන්නා තෙක් ම පමණි. එය පුද්ගල චර්යාවක් විනා තම තමන් ගේ දර්ශන සමපාත වීමෙන් සිදුවන්නක් නො වේ. සමාජ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා එක් වීම මතවාද අතර සමබිමක් ලෙස දැකීමෙන් පෙනෙන්නේ සැම්සන් මහතාට නිරවුල්ව සිතිය නො හැකි බව මිස අන් කිසිවක් නො වේ. තීව්‍ර වෙනස්කම් තිබිය දී එකක් අනෙකෙහි පදනම ම ප්‍රතික්ෂේප කරද්දී ඇතැම් සමාජ දේශපාලනික කරුණු උදෙසා හේතුවාදීන්ට බෞද්ධයන් සමඟ එකතු විය හැකි බැවින් හේතුවාදයත් බුදු දහමත් අතර සමබිමක් ඇතැයි කීම විහිළුවක් ම පමණි. ඉදිරියේ දී සැම්සන් මහතා සමබිම් ගැන කියමින් බෞද්ධයන්ගේ මෙන් ම හේතුවාදීන්ගේ ද ලේ රතුපාට ය වැනි බොළඳ ප්‍රකාශ කළහොත් මා පුදුම වන්නේ නැත. වරක් ප්‍රංශ රාජාණ්ඩුවෙන් එල්ල වූ ජීවිත තර්ජන නිසා සැඟවී සිටීමට සිදුවූ ෂෝන් රූසෝ නම් ලිබරල්වාදී දාර්ශනිකයා ගියේ ප්‍රබුද්ධ ඒකාධිපතිවාදියකු වූ වොල්ටෙයාර්ගේ නිවසට ය. රූසෝට සැඟවීමට ඉඩ දුන් වොල්ටෙයාර් කීවේ මා ඔබට සැඟවීමට ඉඩ කඩ ලබා දෙනුයේ ඔබේ මතවාදය පිළිගන්නා නිසා නොව මගේ මතවාදයෙන් ඔබේ ජීවත් වීමේ අයිතිය පිළිගැනෙන නිසා බව ය. එකතු වී කටයුතු කළ පමණින් මතවාදී සමබිම් ඇතිවන්නේ නැත.
සංවාද ආරම්භයේ දී කේන්ද්‍රීය කරුණ වූ ජ්‍යෝතිෂ්‍ය පිළිබඳ මා ඉදිරිපත් කළ තර්ක දෙකෙන් පළමුවැන්න පිළිගත් සැම්සන් මහතා දෙවැන්න නො දුටුවා සේ සිටියේ ය. දැන් ඔහු කියන්නේ ඔහු ඒ ගැන සඳහන් කිරීමට සැලකිලිමත් නො වූයේ එහි අඩුපාඩු තිබූ හෙයින් බවයි. තමා හා සංවාදයට එළඹුණු ප්‍රතිවාදියාගේ මූලික ම තර්කයේ අඩුපාඩු දුටු විට ඒ ගැන අංශුමාත්‍රයක් හෝ කතා නො කර නො දැක්කා සේ සිටින අරුම පුදුම සංවාදකයකු ඔබට මට මුණ ගැසී ඇත. අපේ මේ අපූරු සංවාදකයා මගේ තර්කයේ අඩුපාඩුව ලෙස දකින්නේ ද අමුතු ම දෙයකි: කල්පිත ඉදිරිපත් කළ යුත්තේ නිරීක්ෂණවලට හේතු පැහැදිලි කරමිනි. ජ්‍යෝතිෂ්‍යයේ ප්‍රතිඵල නො පෙනේ. එනිසා කල්පිතවලින් අලුත් න්‍යායන්වලින් ඵලක් නැත. මේ හැර මගේ තර්කයට වෙනත් අභියෝගයක් කිරීමට සැම්සන් මහතා අපොහොසත් වී ඇත.
සැම්සන් මහතා නැවත වරක් පෙන්වා ඇත්තේ තමාට නිරවුල්ව සිතිය නො හැකි බවයි. යමක් වැටීම යනු ස්වභාවික සංසිද්ධියකි. ජ්‍යෝතිෂ්‍යය යනු මිනිසුන් නිර්මාණය කළ ව්‍යවහාර ශාස්ත්‍රයකි (Practice). අනෙක් අතට මා සිදු කොට ඇත්තේ කල්පිත ඉදිරිපත් කිරීමක් නොව ව්‍යුත්පන්න කිරීමකි. සැම්සන් මහතා කල්පිතයක් යනු කුමක් ද කියාවත් කල්පිත ඉදිරිපත් කරන්නේ කුමකට ද කියාවත් නො දන්නා බව පැහැදිලි ය.
මා හේතුවාදීන්ව වංචනික ලෙස අජිත කේශකම්බලට සමාන කරන බව කියන සැම්සන් මහතා එහි ඇති වංචාව කුමක් දැයි කියන්නේ නැත. එසේ සමාන වන්නේ පුනර්භවය නොපිළිගන්නා නිසා විය යුතු යැයි ඔහු ම කියයි. උගුරට හොරා බෙහෙත් කෑ නො හැකි යැයි කියන්නේ මේවාට ය. වංචා කරන්නේ කවුද යන්න පාඨකයන්ට වැටහෙනු ඇත.
සැම්සන් මහතා කාලාම සූත්‍රය උපුටා දක්වයි. කාලාම සූත්‍රයෙන් කොටස් උපුටා ගනිමින් විකෘති අර්ථකථන දීම බහුල ය. හේතුවාදී නැඹුරුවක් ඇති පිරිස් අතින් මේ සූත්‍රය පාලි සූත්‍රයේ සඳහන් සමහර වචන මඟහැර තමන්ට වාසි සහගත වන ලෙස වංචනික අයුරින් අර්ථකථනය කිරීම බහුල ය.
'..තර්කයට හරි යැයි නො පිළිගන්න. න්‍යායට හරි යැයි නො පිළිගන්න...' යනුවෙන් සැම්සන් මහතා ලියා තිබේ. මෙහි ඇති පඨකයන් නොමඟයවනසුලු බව වන්නේ දෙවරක් ම යෙදී තිබූ 'හේතු' යන පදය පරිවර්තනයෙන් හලා තිබීමයි. පාලි පාඨය මෙසේ ය.
මා අනුස්‌සවෙන, මා පරම්‌පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්‌පදානෙන, මා තක්‌කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්‌කෙන, මා දිට්‌ඨිනිජ්‌ඣානක්‌ඛන්‌තියා, මා බ්‌බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති’
මෙහි තක්කහේතු , නයහේතු යනුවෙන් ඇති පදවල හේතු යන වචනය හැළීමට හේතුවාදීහු කටයුතු කරති. සැබෑ පරිවර්තනය මෙසේ වෙයි. "...තර්‍කහේතුයෙනුදු නො ගණුව, නයහේතුයෙනුදු නො ගණුව" (- බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තනය)
බුදුන් වහන්සේ මෙහි දී බැහැර කළේ හේතුවාදයේ ක්‍රමවේදයයි.
හේතුවාදීන් වචන මඟහැර කරන පරිවර්තනවලින් අනාගත පරපුරේ විමර්ශන බුද්ධියට සිදු වන්නේ සුළුපටු හානියක් නො වේ.
හේතුවාදීන් වචන මඟහැර කරන පරිවර්තනවලින් අනාගත පරපුරේ විමර්ශන බුද්ධියට සිදු වන්නේ සුළුපටු හානියක් නො වේ.
හේතුවාදීන්ගේ සුපුරුදු පිළිවෙත අනුගමනය කරමින් සැම්සන් මහතා ද වාසෙට්ඨ සූත්‍රයේ සියුම් කොටස් හළමින් විකෘති අදහස් මතු කරයි.
"යම් පරිදි තෙල ජාතියෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග ඇත්ද, එපරිදි මිනිසුන් කෙරෙහි වෙන වෙන ජාතිමය ලිඞ්ග නැත.බ්‍රාහ්මණාදි භෙදවත්) මිනිස් සිරුරෙහි වෙන වෙන තෙල (ජාතිමය ලිඞ්ගය) නො පැනේ. මිනිසුන් කෙරෙහි නානාත්වය ද ව්‍යවහාරමාත්‍රයෙන් කියනු ලැබේ."
"(නෑසහලේනෑ ආදීන් විසින්) කරනලද නාමගෝත්‍රයෙක් ඇද්ද ලෝකයෙහි තෙල ව්‍යවහාර මාත්‍රයෙකි. දීර්‍ඝරාත්‍රයෙහි අනුශය වශයෙන් බැස සිටි දෘෂ්ටිගතය නො දත නෑයන් විසින් ඒ ඒ තන්හි (ජාත කාලයෙහි) කරනලද (නාමගොත්‍රය) සමනුඥායෙන් පහළ වූයෙකි. එය නො දන්නාහු ‘ජාතියෙන් බ්‍රාහ්මණයහ’යි කියත්."
බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ ජාතිමය ලිංගයක් (සංස්ථානයක්) මිස ජාතිය නො වේ. (සූත්‍රයෙහි ජාති යන වචනයෙන් කියැවෙන්නේ උපතයි.)
මෙසේ හරසුන් විකෘති කරුණු ගහණ සැම්සන් මහතාගේ ලිපියේ පසුබිමෙන් නින්නාද නඟන්නේ සිත තුළ පවතින පරාජිත හැඟීමක දෝංකාරය බව පෙනෙන්නට තිබේ.
ලංකාවේ හේතුවාදීන්ගේ මතවාද හා ස්වරූපය කවරේ ද යන්න සැම්සන් මහතා හා අභයසිංහ මහතා විසින් පාඨකයන්ට ක්‍රියාවෙන් ම පෙන්වා දී ඇති බැවින් හේතුවාදය කෙරේ ඍජුව ඇගයීමක් කිරීමට උචිත කාලය එළඹී ඇත. ඊට පළමුව පසුගිය සතියක පොරොන්දු වූ ලෙස මිලින්ද ප්‍රශ්නයේ දී නාගසේන මහරහතන් වහන්සේ කළ පොළව ගෝලාකාර බව දැක්වෙන ප්‍රකාශය ඔබ වෙත ඉදිරිපත් කරමි.
"මේ දඹදිවට යම් කලෙක හිරු උදා වේ නම්, එකල පූර්ව විදේහයට හිරු මුදුන් වූ මධ්‍යහ්නකාලය වන්නේ ය. උතුරුකුරු දිවයිනට හිරු අස්තංග වන්නේ ය. අපරගොයානයට අර්ධරාත්‍රිය වන්නේ ය. යම් කලෙක අපරගොයානයට හිරු උදා වේ නම් එකල මේ ජම්බුද්වීපයට හිරු මුදුන් වූ මධ්‍යහ්න කාලය වන්නේ ය.පූර්ව විදේහයට හිරු අස්තංග වන්නේ ය. උතුරුකුරු දිවයිනට අර්ධ රාත්‍රිය වන්නේ ය."
මෙසේ දිවා රාත්‍රී ඇතිවන්නේ ගෝලාකාර පොළොවක බව ඔබට වැටහෙනු ඇත. කරුණු මෙසේ වන කල බුදු දහමේ පෘථිවිය 'මහද්වීප හතක් හෝ හතරක් අඩංගු කරදිය සයුරින් වට වූ වෘත්තාකාර තැටියක්' ලෙස විශ්වාස කළ බව සැම්සන් මහතා කියන්නේ කවර පදනමකින් ද?
දැන්, සැම්සන් මහතා වැනි ලංකාවේ හේතුවාදීන්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ වංචනික බොළඳ ස්වරූපය හෙළි දරවු කිරීමෙන් ඔබ්බට ගොස් සැබෑ හේතුවාදයේ කඩා වැටීම හෙළි දරවු කිරීමට කාලය එළඹ ඇත.
දැනුම ලබා ගැනීමේ ඒකායන මාර්ගය ලෙස හෝ විශිෂ්ටතම මාර්ගය ලෙස හෝ තර්ක බුද්ධිය (reason) සැලකීම හේතුවාදයයි. එයට අනුව සංවේදන (sensations), දැනුම ලබා ගැනීමේ විශ්වාසනීය මාර්ගයක් නො වේ.
හේතුවාදීන්ට අනුව තර්ක බුද්ධියෙන් විශ්වාසනීයව දැනුම ලබා ගත හැකි ය. එනම් අසත්‍ය කරුණකින් පටන් ගෙන තර්ක කරමින් යන විට විසංවාද මතු වී අනිවාර්යයෙන්ම කරුණ බිඳ වැටෙනු ඇත. එවැනි විසංවාද මතු නොවන කරුණුවලට එසේ වන්නේ ඒවා සත්‍ය බැවින් යැයි හේතුවාදීහු පවසති. සත්‍ය කරුණකින් අරඹා තර්ක කරන විට ලැබෙන නිගමන ද සත්‍ය බව හේතුවාදීහු පවසති.
හේතුවාදය නම් දාර්ශනික පද්ධතිය මූලිකව හඳුනා ගැනෙන්නේ වාද (thesis) තුනක් මඟිනි. එම වාද තුනෙන් එකක් හෝ පිළිගන්නා තැනැත්තා හේතුවාදියකු (rationalism) ලෙස දර්ශනයේ දී වර්ග කෙරේ. මේ සියල්ලෝ ම අපෙන් බාහිරව නිරපේක්ෂව පවතින ලෝකයක වාස්තවික හේතුක සම්බන්ධතා (Causal Relations) ඇතැයි සිතති. ඔවුහු සියල්ලෝ ම දැනුම ප්‍රාගානුභූතයක් (a priori) බව කියති. එනම් අප යමක් ගැන අත්දැකීම් ලැබීමට පෙර ම අප තුළ ඒ පිළිබඳව දැනුම පවතින බවයි.
1. Intuition Deduction Thesis ප්‍රතිභාන අපෝහන වාදය
2. Innate Knowledge Thesis නිසග දැනුම් වාදය
3. Innate Concept Thesis නිසග සංකල්ප වාදය
2. Innate Knowledge Thesis නිසග දැනුම් වාදය
3. Innate Concept Thesis නිසග සංකල්ප වාදය
1 වන ප්‍රතිභාන අපෝහනවාදයෙන් කියන්නේ අප තුළ යම් කිසි දැනුම් සමූහයක් ආරම්භයේ සිට ම පවතින බවත් (පිටතින් ලබා ගැනීමකින් තොරව) ඒ දැනුම් සමූහය මත පදනම්ව තර්ක කිරීමෙන් අනෙක් සියලු දැනුම් ලබා ගත හැකි බවයි. එනම් අත්දැකීම් ලැබීම දැනුම ලබා ගැනීමට අත්‍යවශ්‍ය නො වන බවයි. මුල් කාලයේ දී ගණිතය සකස් වූයේ මේ ආකාරයට ය. ප්‍රත්‍යක්ෂ හෝ ස්වසිද්ධි (axioms) අප නිසගයෙන් ම දන්නා ඔප්පු කළ යුතු නොවන සත්‍යයන් ලෙසත් (self evident truth) ඒවායින් තර්කනය මඟින් ප්‍රමේයයන් යන සත්‍යයන් ලබා ගත හැකි බවත් ය. මෙසේ ආරම්භයේ දී සත්‍ය ලෙස සලකනු ලබන දෑ ප්‍රතිභාන (intuition) ද එයින් තර්කයෙන් ගන්නා ප්‍රතිඵල අපෝහන (deduction) ද වේ.
2 වන නිසග දැනුම් වාදයෙන් කියැවෙන්නේ සියලු දැනුම අපගේ යටි සිතේ ආරම්භයේ සිට පවතින බවයි. අප අත්දැකීම් ලැබීමෙන් හෝ තර්ක කිරීමෙන් කරන්නේ මේ යටි සිතේ සැඟවුණු දැනුම මතු කරගැනීම පමණි.
3 වන නිසග සංකල්පවාදයෙන් කියැවෙන්නේ සියලු සංකල්ප අපේ සිතේ ආරම්භයේ සිට ම පවතින බවයි. තර්කයෙන් ම පමණක් වුවත් අනෙක් දැනුම් ලබා ගත හැකි බව මෙයින් කියවේ.
මේ මතවාද තුනෙන් එකක් දැරීමෙන් හේතුවාදියකු බවට පත් වේ. මේ හැරුණු කොට මේ සමඟ ම අමතරව දැරිය හැකි අනිවාර්ය නො වන තවත් වාද දෙකක් ඇත.
එනම් තර්කයෙන් ලැබෙන දැනුම වෙනත් ක්‍රමවලින් ලැබිය නො හැකි බවයි. අනෙක වෙනත් ක්‍රමවලින් ලබා ගන්නා දැනුම් තර්කයෙන් ලබා ගන්නා දැනුම් මෙන් උසස් නොවන බවයි.
බුදුන් වහන්සේ කාලාම සූත්‍රයේ දී තක්ක හේතු ලෙස අපෝහන (deduction) ද නය හේතු ලෙස ප්‍රතිභාන (intuition) ද ප්‍රතික්ෂේප කළ සේක. හේතු යන වචනය හළා හේතුවාදීන් ම වංචනිකව මෙය ඉදිරිපත් කිරීම උත්ප්‍රාසාත්මක ය.
කාළකාරාම සූත්‍රයේ දී බුදුන් වහන්සේ ආරම්භයේ සිට පවතින නිරපේක්ෂ දැනුමක් පිළිබඳ අදහස ප්‍රතික්ෂේප කළ සේක. තමන් වහන්සේට පවා ඇත්තේ ප්‍රාගානුභූත (a priori) දැනුමක් නොවන බව උන් වහන්සේ මෙහිදී ප්‍රකාශ කළ හ.
නිසග නිරපේක්ෂ සංකල්ප පිළිබඳ අදහසට ද බුදුන් වහන්සේ විරෝධතාවය පළ කළ හ. මිලින්ද ප්‍රශ්නයේ දී නාගසේන හිමියෝ මේ බව මිලින්ද රජුට මැනැවින් පැහැදිලි කර දෙති.
මෙසේ බුදුන් වහන්සේ හේතුවාදයේ පදනමට ම විරුද්ධ වී ඇත.
බටහිර දාර්ශනික ලෝකයේ හේතුවාදය කඩා වැටුණු අයුරු ගැන විස්තරයක් කළ යුතු ය. අපට දැනුම ලැබෙන්නේ අත්දැකීම්වලින් යැයි කියන ආනුභවිකවාදීන් (empiricist) හා හේතුවාදීන් අතර ගැටුම දර්ශන ඉතිහාසයේ ඉතා දිගු කලක් මුළුල්ලේ ඇවිලී ගිය උණුසුම් වාද විවාද රැසකින් සමන්විත වූවකි. ප්‍රායෝගික තලයේ දී හේතුවාදයට ප්‍රමාණවත් සාර්ථකත්වයක් පෙන්විය හැකි වූයේ ගණිතයේ දී පමණි. මහද්වීපික හේතුවාදියකු (continental rationalist) වූ ලෙයිබ්නිස් වරක් කීවේ දැනුම ලැබීමට තර්ක බුද්ධිය ම පමණක් ප්‍රමාණවත් වුවත් අපගේ ප්‍රායෝගික දුර්වලතා මත වර්තමානයේ වෙනත් ක්‍රමවලටත් යෑමට සිදු වී ඇති බවයි. හේතුවාදීන් ද ප්‍රායෝගිකව අවස්ථාවලින් තුන් කාලක දී ආනුභවිකවාදීන් ලෙස හැසිරෙන බව ඔහු කීවේ ය. එනම් පුද්ගලයින්ගේ හැකියාව මත තීරණය වන ප්‍රායෝගික තත්ව නො සැලකූ විට තර්ක බුද්ධිය දැනුම ලබා ගැනීමේ ඉතාමත් විශ්වාසදායී පරිපූර්ණ ක්‍රමයක් බවයි.
නො සිතූ විරූ ලෙස හේතුවාදීන් උපරිමව සාර්ථක වූ ගණිතයෙන් ම හේතුවාදීන්ට ප්‍රබල ප්‍රහාරයක් එල්ල විය. ප්‍රත්‍යක්ෂවල සිට තර්ක කිරීමෙන් ගණිතයේ සත්‍ය සෙවිය හැකි ය යන්න නො සිතූ විරූ ලෙස බිඳ වැටී ගියේ ය. මෙය ඇරඹුණේ ජ්‍යාමිතියෙනි. පාසල්වල ඉගෙන ගන්නා යුක්ලිඩීය ජ්‍යාමිතියේ ස්වසිද්ධි (ප්‍රත්‍යක්ෂ - axioms) දහයකි. දහවෙනි ස්වසිද්ධිය ගැන සැකපහළ කළ ගණිතඥයෝ එය වෙනුවට ඊට පටහැනි වෙනත් ස්වසිද්ධියක් යොදා බැලූ හ. එහි සිට ඉදිරියට තර්ක කරන විට ද විසංවාද මතු නො වන ගණිතමය පද්ධතියක් ලැබුණි. හේතුවාදය අනුව නම් වැරදි අදහසකින් තර්ක කිරීම ඇරඹූ විට විසංවාද මතු විය යුතු ම ය. එහෙත් මෙහි දී එවැන්නක් නො වී ය. එකිනෙකට පටහැනි මේ ස්වසිද්ධි දෙක ම 'සත්‍ය' විය නො හැකි ය. මෙයින් පෙනී ගියේ තර්ක බුද්ධියෙන් පමණක් සත්‍ය සෙවිය නො හැකි බවයි. එවැනි තත්වයක් තුළ ඒ ස්වසිද්ධි දෙකෙන් අරඹමින් ගන්නා නිගමනවල ද සත්‍යාසත්‍ය භාවයක් තීරණය කළ නො හැකි ය. මෙසේ හේතුවාදය බිඳ වැටුණු පසු හේතුවාදී ගණිතඥයෝ ගණිතයේ සත්‍ය සෙවීමේ වෑයම අතහැර අංග සම්පූර්ණ පද්ධති ගොඩනැඟීම අරමුණ කරගනිමින් බුද්ධිවාදී ප්‍රවේශයකට එළඹුණ හ. අවසානයේ ලෝකයේ විශිෂ්ටතම ගණිතඥයා වූ ගොඩෙල් සිය අසම්පූර්ණතා ප්‍රමේයය මඟින් ඇතැම් ගණිතමය පද්ධතිවල හුදු තර්ක බුද්ධියෙන් පමණක් ගොඩනැංවිය නො හැකි වලංගු ප්‍රතිඵල ඇති බවත් එහෙයින් ගණිතය අසම්පූර්ණ බවත් පෙන්වීමෙන් පසු එම උත්සාහය ද බිඳ වැටී ගියේ ය.
ආනුභවිකවාදය සමඟ හේතුවාදයේ උණුසුම් විවාදය කෙළවර වූයේ ඩේවිඩ් හියුම් නම් ආනුභවිකවාදි (පසුව සංශයවාදී) දාර්ශනිකයා අතින් හේතුවාදයට මරණීය ප්‍රහාරයක් එල්ල වීමෙනි. එය කුමක් දැයි දැන් අපි විමසා බලමු.
.
හේතුවාදීන් අතර ඉතා ප්‍රකට කියමනක් තිබුණි. එය නම් අනාගතය අතීතය ම වේ යන්න ය. එනම් විශ්වයේ නිශ්චිත නීති පද්ධතියක් ඇති බවයි. අතීතයේ සිදු කළ පරීක්ෂණයක තිබූ තත්ව එලෙස ම නැවත ඇතිකළ විට එක ම ප්‍රතිඵලය ලැබිය යුතු බව මින් අදහස් විය. හියුම් ඇසුවේ සරල ප්‍රශ්නයකි. A නම් සිද්ධියක් වූ පසු B නම් සිද්ධියක් වූයේ යැයි සිතමු. දැන් දහස් වාරයක් ම මෙසේ A වූ පසු B වූයේ යැයි සිතමු. හියුම් අසන්නේ මෙසේ දහස් වාරයක් ම සිදුවූවත් ඊළඟ වාරයේ දීත් එසේ වේයැයි කියන්නට අපට ඇති හැකියාව කුමක් ද යන්නයි. එය අපේ අත්දැකීම් මත එළඹුණු හුදු විශ්වාසයක් ම පමණි. හේතුවාදයට අනුව නම් හේතුව හා ඵලය අතර සම්බන්ධය පිළිබඳ දැනුම අප තුළ ම පවතී නැතිනම් තර්කයෙන් ලබා ගත හැකි ය. එහෙත් මේ සඳහා යොදා ගත හැකි එක ම කරුණ වන අනාගතය අතීතය ම වේ යන්න හියුම් පෙන්වන පරිදි අත්දැකීම මත හුදු විශ්වාසයක් මිස දැනුමක් නො වේ. A හේතුව හා B ඵලය ය යන දැනුම අප තුළ ම පවතින්නේ යැයි තර්ක කරන්නකු එය අත්දැකීම්වලින් ගත් විශ්වාසයකට ඔබ්බෙන් පවතින්නක් යැයි දැන ගන්නේ කෙසේ ද? හියුම්ට විරුද්ධව එවන් ක්‍රමයක් යෝජනා කිරීමට කිසිදු හේතුවාදියකුට නො හැකි විය.
.
හේතුවාදීන් අතර ඉතා ප්‍රකට කියමනක් තිබුණි. එය නම් අනාගතය අතීතය ම වේ යන්න ය. එනම් විශ්වයේ නිශ්චිත නීති පද්ධතියක් ඇති බවයි. අතීතයේ සිදු කළ පරීක්ෂණයක තිබූ තත්ව එලෙස ම නැවත ඇතිකළ විට එක ම ප්‍රතිඵලය ලැබිය යුතු බව මින් අදහස් විය. හියුම් ඇසුවේ සරල ප්‍රශ්නයකි. A නම් සිද්ධියක් වූ පසු B නම් සිද්ධියක් වූයේ යැයි සිතමු. දැන් දහස් වාරයක් ම මෙසේ A වූ පසු B වූයේ යැයි සිතමු. හියුම් අසන්නේ මෙසේ දහස් වාරයක් ම සිදුවූවත් ඊළඟ වාරයේ දීත් එසේ වේයැයි කියන්නට අපට ඇති හැකියාව කුමක් ද යන්නයි. එය අපේ අත්දැකීම් මත එළඹුණු හුදු විශ්වාසයක් ම පමණි. හේතුවාදයට අනුව නම් හේතුව හා ඵලය අතර සම්බන්ධය පිළිබඳ දැනුම අප තුළ ම පවතී නැතිනම් තර්කයෙන් ලබා ගත හැකි ය. එහෙත් මේ සඳහා යොදා ගත හැකි එක ම කරුණ වන අනාගතය අතීතය ම වේ යන්න හියුම් පෙන්වන පරිදි අත්දැකීම මත හුදු විශ්වාසයක් මිස දැනුමක් නො වේ. A හේතුව හා B ඵලය ය යන දැනුම අප තුළ ම පවතින්නේ යැයි තර්ක කරන්නකු එය අත්දැකීම්වලින් ගත් විශ්වාසයකට ඔබ්බෙන් පවතින්නක් යැයි දැන ගන්නේ කෙසේ ද? හියුම්ට විරුද්ධව එවන් ක්‍රමයක් යෝජනා කිරීමට කිසිදු හේතුවාදියකුට නො හැකි විය.
අවසානයේ හියුම්ට පිළිතුරක් ලෙස එම්මානුවෙල් කාන්ට් නම් දාර්ශනිකයා දැනුමේ ප්‍රාගානුභූතයන් වන්නේ අවකාශය හා කාලය යන සංකල්පයන් යැයි කීව ද එය ප්‍රමාණාත්මක පිළිතුරක් නො වේ. අවකාශය හා කාලය යනුත් අත්දැකීමෙන් ම නිර්මිත බව කිව හැකි ය. මෙය සාර්ථක පිළිතුරක් නොවන බව සැම්සන් මහතා නිතර කියන බර්ට්‍රන්ඩ් රසල්ගෙන් ම දැනගත හැකි ය.
German philosophers, from Kant to Hegel, had not assimilated Hume's arguments. I say this deliberately, in spite of the belief which many philosophers share with Kant, that his Critique of Pure Reason answered Hume. In fact, these philosophers--at least Kant and Hegel--represent a pre-Humian type of rationalism, and can be refuted by Humian arguments. The philosophers who cannot be refuted in this way are those who do not pretend to be rational, such as Rousseau, Schopenhauer, and Nietzsche.
A History of Western Philosophy , Russell B.
කාන්ට් හෝ හෙගල්ටවත් හියුම්‍ට පිළිතුරු දීමට නො හැකි වූ බවත් මින් ප්‍රතික්ෂේප නො වූයේ හේතුවාදී නොවන දාර්ශනිකයන් පමණක් බවත් රසල් සඳහන් කරයි.
හියුම්ගේ මරණීය ප්‍රහාරයෙන් පසු නැඟී සිටීමට හේතුවාදීන්ට තව ම නො හැකි වී ඇති අතර වර්තමාන මහද්වීපික දාර්ශනිකයකු වන මියැසුගේ උත්සාහය වී ඇත්තේ ද කෙසේ හෝ මීට පිළිතුරක් දීම ය. ඔහුගේ ව්‍යාපෘතිය තවමත් අසම්පූර්ණ බැවින් ඒ ගැන කතා කිරීමට තවත් කලක් බලා සිටිය යුතු වනු ඇත.
මීළඟ වතාවේ දී ලංකාවේ හේතුවාදීන් පෙනී සිටිනා යථාර්ථවාදය හා භෞතිකවාදය ගැන සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
No comments:
Post a Comment