සාධාරණීකෘත සත්‍ය විශ්වාස දැනුම ද? - ගෙටියර්

අහම්බෙන් මා කලකට පෙර කර තිබු මේ පරිවර්තනය නැවත හමු විය. මෙය අමතකව ගොස් තිබුණි. මතක හැටියට මෙය වැසි දිනක කම්මැලිකම මකා ගන්නට කළ පරිවර්තනයකි. එදින එය සම්පුර්ණයෙන්ම පරිවර්තනය කොට අහවරව තිබී ඇති බව අද දකින තුරු නිනව්වක් නොවී ය. කාට හෝ කියවගන්නට මෙහි පළකිරීම උචිත යයි හඟිමි.

    ගෙටියර්ගේ පත්‍රිකාව දැනුම යනු කුමක් ද යන්නට බටහිර දර්ශනයේ තිබූ අදහසක් ප්‍රශ්න කරයි. ලංකාවේ සමහරුන් කියන්නේ බටහිර දර්ශනය තුළ දැනුම විශ්වාසයක් ලෙස පොදුවේ නො සැලකෙන බවයි. තවමත් වැදගත් ස්ථානයක් ලබා දෙන ගෙටියර්ගේ පත්‍රිකාවේ ඔහු දැනුම විශ්වාසයක් වීමේ අනිවාර්යතාව ප්‍රශ්න කරන්නේ නැත.




සාධාරණීකෘත සත්‍ය විශ්වාස දැනුම ද? 

            - එඩ්මන්ඩ් ගෙටියර් 1963 Analysis 




යම් කෙනකු කිසියම් ප්‍රස්තුතයක් දන්නවා යැයි කීම සඳහා අනිවාර්ය හා ප්‍රමාණවත් අවශ්‍යතා කවරේ දැයි දැක්වීමට මෑත වසර කීපයේ විවිධ උත්සාහ දරා තිබේ. මේ උත්සාහ බොහෝ විට පහත දැක්වෙන ආකාරයට සමාන ස්වරූපයකින් දැක්විය හැකි පරිදි වේ. 1


(a) S (නම් පුද්ගලයා) P (නම් ප්‍රස්තුතය) දනියි නම් හා නම් ම පමණක්

(i) P සත්‍ය වේ,
(ii) S P විශ්වාස කරයි
(iii) P වේ යැයි විශ්වාස කිරීම සාධාරණ බව Sට වැටහෙයි.


උදාහරණ ලෙස, චිෂෝම් පහත දේ දැනුමේ අනිවාර්ය හා ප්‍රමාණාත්මක අවශ්‍යතා ලෙස දක්වයි.2

(b) S P දනියි නම් හා නම් ම පමණක්

(i) S P පිළිගනියි
(ii) Sට P සඳහා මනා සාක්ෂ්‍ය ඇත.
(iii) P සත්‍ය වේ.

ඒයර් දැනුමේ අනිවාර්ය හා ප්‍රමාණාත්මක අවශ්‍යතා මෙසේ දක්වයි.3

(c) P සත්‍ය වේ.
(ii) P සත්‍ය බව Sට නිසැක ය.
(iii) P සත්‍ය බවට නිසැක වීම සඳහා Sට අයිතියක් ඇත.

S P දන්නවා ය යන ප්‍රස්තුතය සත්‍ය වීම සඳහා ප්‍රමාණාත්මක අවශ්‍යතාවක් ලබා නො දෙන බැවින් මම (a) සාවද්‍ය බවට තර්ක කරමි. "විශ්වාස කිරීම සාධාරණ බව වැටහෙයි" යන්න වෙනුවට "මනා සාක්ෂ්‍ය ඇත", "නිසැක වීමට අයිතියක් ඇත" යන ඒවා ආදේශ කළ විට මෙම තර්කය මඟින් ම දිගට (b) හා (c) ද අසමත් වන බව පෙන්වා දේ.

කරුණු දෙකක් අවධානයට ගනිමින් මම පටන් ගන්නම්. පළමුව, S P දැන ගැනීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් ලෙස දක්වන P විශ්වාස කිරීම සාධරණ යැයි වැටහීම අර්ථයෙන් "සාධාරණ යැයි වැටහීම" සැලකූවිට ඇත්ත වශයෙන් ම අසත්‍ය වූ ප්‍රස්තුතයක් විශ්වාස කිරීම සාධාරණ යැයි සැලකීම විය හැක්කකි. දෙවනුව, ඕනෑ ම P ප්‍රස්තුතයක් සඳහා, P විශ්වාස කිරීම සාධාරණ යැයි Sට වැටහී ඇති විට P තුළ Q අන්තර්ගත වී ඇති නම් හා S P මඟින් Q අපෝහනය කර Q මේ අපෝහනයේ ප්‍රතිඵලයක් ලෙස පිළිගෙන ඇත් නම්, Sට Q විශ්වාස කිරීම සාධාරණ යැයි වැටහී ඇත. මේ කරුණු දෙක සිතේ තබාගෙන, මම ඔබට සමහර ප්‍රස්තුත සඳහා (a)හි දක්වා ඇති අවශ්‍යතා සත්‍ය වූ එහෙත් ඒ සමඟ ම ප්‍රශ්නයේ සිටිනා පුද්ගලයා ඒ ප්‍රස්තුතය දන්නවා ය යන්න අසත්‍ය වූ අවස්ථා දෙකක් දක්වන්නම්.

I අවස්ථාව

ස්මිත් හා ජෝන්ස් එක්තරා රැකියාවකට ඉල්ලුම් කොට ඇත. ස්මිත්ට පහත සංයෝජක ප්‍රස්තුතය සඳහා ප්‍රබල සාක්ෂ්‍ය ඇති බව සලකන්න:

(d) රැකියාව ලැබෙන්නේ ජෝන්ස්ට ය සහ ජෝන්ගේ සාක්කුවේ කාසි දහයක් ඇත.

ස්මිත්ගේ (d) සඳහා සාක්ෂ්‍යය වන්නේ සමාගමේ සභාපතිවරයා ජෝන්ස් අවසානයේ දී තේරී පත්වන බව ඔහුට සනාථ කොට තිබීම හා මිනිත්තු 10කට පෙර ඔහු ජෝන්ස්ගේ සාක්කුවේ ඇති කාසි ගණන් කොට තිබීම විය හැකි ය. 

(d) ප්‍රස්තුතය පහත ප්‍රස්තුතය ගැබ් කරගෙන ඇත.

(e) රැකියාව ලැබෙන පුද්ගලයාගේ සාක්කුවේ කාසි දහයක් ඇත.

ස්මිත් (d) තුළ (e) ගැබ්වන බව දැක, තමාට විශ්වාස කිරීමට ප්‍රබල සාක්ෂ්‍ය ඇති (d) මත පිහිටා (e) පිළිගත්තා යැයි සිතමු. මේ අවස්ථාවේ ස්මිත්ට (e) සත්‍ය යැයි විශ්වාස කිරීම සාධාරණ යැයි වැටහී ඇත.

එහෙත්, තවදුරටත්, ස්මිත් නො දැනුවත්ව ජෝන්ස් නොව ඔහු රැකියාවට තෝරාගත්තේ යැයි පරිකල්පනය කරන්න. එමෙන් ම ස්මිත් නො දැනුවත්ව ඔහුගේ සාක්කුවේ ද කාසි දහයක් තිබේ. එවිට (e) ප්‍රස්තුතය සත්‍ය වන නමුත් ස්මිත් එය අනුමාන කිරීමට යොදාගත් (d) ප්‍රස්තුතය අසත්‍ය වේ. අපගේ උදාහරණයේ පහත සියල්ල සත්‍ය වේ: (i) (e) සත්‍ය වේ, (ii) ස්මිත් (e) සත්‍ය බව විශ්වාස කරයි, (iii) ස්මිත්ට (e) සත්‍ය බව විශ්වාස කිරීම සාධාරණ යැයි වැටහී ඇත. එහෙත් එතරම් ම පැහැදිලිව (e) සත්‍ය බව ස්මිත් 'දන්නේ' නැත; මක් නිසා ද යත්, (e) සත්‍ය වන්නේ ස්මිත්ගේ සාක්කුවේ තිබෙන කාසි ගණන නිසා වුව ද ස්මිත් තමාගේ සාක්කුවේ කාසි කීයක් තිබේදැයි දන්නේ නැති අතර ඔහුගේ විශ්වාසය පදනම් වන්නේ ඔහු රැකියාව ලබන පුද්ගලයා යැයි සාවද්‍ය ලෙස විශ්වාස කරන ජෝන්ස්ගේ සාක්කුවේ කාසි ගණන් කිරීමක් මත ය.

II අවස්ථාව

පහත ප්‍රස්තුතය සඳහා ස්මිත්ට ප්‍රබල සාක්ෂ්‍ය ඇතැයි උපකල්පනය කරමු.

(f) ජෝන්ස්ට ෆෝඩ් රථයක් ඇත.

ස්මිත්ගේ සාක්ෂ්‍යය ඔහුගේ මතකය තුළ සියලු අතීත අවස්ථාවල ජෝන්ස්ට කාරයක් තිබීම, එය හැම විට ම ෆෝඩ් රථයක් වීම හා ෆෝඩ් රථයෙන් ජෝන්ස් ස්මිත්ව ඇරලවා තිබීම විය හැකි ය. අපි දැන් ස්මිත්ට කොහේ සිටිනවා දැයි නොදන්නා බ්‍රවුන් නම් තවත් මිතුරකු සිටී යැයි පරිකල්පනය කරමු. ස්මිත් අහඹු ලෙස ප්‍රදේශ නාම තුනක් තෝරා පහත ප්‍රස්තුත ගොඩනගයි.

(g) ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් තිබේ හෝ බ්‍රවුන් බොස්ටන්හි සිටී.
(h) ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් තිබේ හෝ බ්‍රවුන් බාසිලෝනාහි සිටී.
(i) ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් තිබේ හෝ බ්‍රවුන් බෙස්ට්-ලිටොව්ස්ක්හි සිටී.

මේ සියලු ප්‍රස්තුත (f) මගින් ගම්‍ය වේ. ස්මිත් ඔහු (f) ඇසුරෙන් ගොඩනැඟූ ප්‍රස්තුතවල ගම්‍ය වීම වටහා ගෙන (f) මත පිහිටා (g), (h), (i) පිළිගැනීමට යන අවස්ථාවක් සලකන්න. ස්මිත් තමාට ප්‍රබල සාක්ෂ්‍ය ඇති ප්‍රස්තුතයකින් නිවැරදි ලෙස (g), (h), (i) අපෝහනය කර ඇත. එම නිසා ස්මිත්ට මේ ප්‍රස්තුත තුන විශ්වාස කිරීම සාධාරණ බව සම්පූර්ණයෙන් වැටහී ඇත. ස්මිත්ට, ඇත්ත වශයෙන් ම, බ්‍රවුන් ඉන්නා තැන ගැන කිසි අදහසක් නැත.

දැන් තවත් අමතර කොන්දේසි දෙකක් ඇතැයි සිතන්න. පළමුව, ජෝන්ස්ට ෆෝර්ඩ් රථයක් නැති අතර, මේ වන විට ඔහු පදවන්නේ කුලියට ගත් කාරයකි. දෙවනුව ඉතා අහඹු සමපාත වීමකින් ස්මිත් කිසිසේත් නො දැන (h) හි සඳහන් කරන ස්ථානය ඇත්තෙන් ම බ්‍රවුන් සිටිනා ස්ථානය වේ. මේ කොන්දේසි දෙක සිදු වුවහොත් එවිට 

(i) (h) සත්‍ය වේ.
(ii) (h) සත්‍ය බව ස්මිත් විශ්වාස කරයි.
(iii) ස්මිත්ට (h) සත්‍ය බව දැනීම සාධාරණ යැයි වැටහී ඇත

යන තුන ම සිදු වුව ද (h) සත්‍ය බව 'දන්නේ' නැත.

මේ උදාහරණ දෙක (a) නිර්වචනය යම් කෙනකු ප්‍රස්තුතයක් දැනීම පිළිබඳව ප්‍රමාණවත් කොන්දේසියක් නොදක්වන බව පෙන්වයි. එම අවස්ථාවන් ම සුදුසු වෙනස්කම් සහිතව (b) හා (c) නිර්වචන ද එසේ ම බව දක්වයි.

සටහන්:


1. ප්ලේටෝ Thaetetus 20 Iහි සමහර මෙවැනි නිර්වචන සැලකිල්ලට ගෙන Meno 98හි සමහර විට එකක් පිළිගන්නා බවක් පෙන්වයි.

2. රොඩ්රික් එම්. චිෂෝම්, Perceiving: A Philosophical Study. (ඉතකා, නිව්යෝක්, 
1957), 16.

3.  A.J. එයර්, The Problem of Knowledge, (London, 1956).



ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු

 ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු






මේ දිනවල මාධව රුවන්පතිරණගේ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරක් ලෙස සංවර්ධනය සමඟ පරිසරය ගැන මේ ලිපිය ලියැවේ..

මුලින් ම ගෝඨාභයගේ සංවර්ධනය පිළිබඳ මගේ ස්ථාවරය කලින් තිබූ එක ම බව කිව යුතු ය. ගෝඨාභයගේ සංවර්ධනය බටහිර නූතනත්ව සංවර්ධන ආකෘතියකි. අප ඒ වැඩපිළිවෙළ නියෝජනය කරන්නේ නැත. දැන් මීළඟට අසන ප්‍රශ්නය වන්නේ එමඟින් අපේ අරමුණුවලට හානියක් සිදු නො වේ ද යන්නයි.. මා දකින පරිදි මේ ආකෘතිය ලංකාවේ මහා සාර්ථකත්වයකට යා හැක්කක් නොවන බවයි.. ඒ නිසා මහා අමුතු පුදුම සහගත සංවර්ධනයක් සිදු නොවනු ඇත... ඒ නිසා මෙය කිසිසේත් අපගේ අරමුණුවලට තර්ජනයක් නොවනු ඇත.. උපරිම ලෙස ආර්ථිකයේ කුඩා සීමිත වර්ධනයක් හා යාන්ත්‍රණ විධිමත් වීමක් සිදු විය හැකි ය. එහෙත් එක් සුළු ඉහළ මට්ටමක් දක්වා යාමෙන් පසු මේ ආකෘතියේ සීමාව එළඹී මෙය එතන සිර වී යනු ඇත.. මෙය ජනතාවට පෙනීම වඩාත් හොඳ ය... ජනතාව සිතා සිටින්නේ රට සංවර්ධනය නොවන්නේ හොරකම් වංචා දූෂණ නිසා බව ය. හොරකම් වංචා දූෂණ නැතුවත් මේ විධිවලින් සංවර්ධනය කළ නො හැකි ය... ඒ නිසා ක්‍රියාවලිය විධිමත් වී වංචා දූෂණ රහිතව මෙය අසාර්ථක වී යෑම ජනතාව ඉන් ඉදිරිය බැලීමට යොමු කරවන්නකි.. බැර කර්මාන්ත වෙනුවට මෘදුකාංග ආදී කර්මාන්ත, ග්‍රාමීය කර්මාන්ත නැංවීම, කෘෂිකර්මාන්තය ආරක්ෂා කිරීම හා ඒවාට රාජ්‍ය මැදිහත් වීම යන දේ ප්‍රමාණවත් නොවනු ඇත. මෘදුකාංග සමාගම් ආවරණය කරන්නේ පැතිරුණු වෙළඳපොළ මිස තාක්ෂණික දියුණුව නොවේ. (ලංකාවේ මෘදුකාංග නිෂ්පාදනය යනු සාදා ඇති මෙවලම් භාවිත කොට ගොඩනැංවීම් - implementation - කිරීම මිස උපාංග ගොඩනංවා ගැනීම නො වේ. ව්‍යාපාරික අවස්ථාව පවා ඒ හා සමක අවස්ථාවන් කලින් නිර්මාණය කරගෙන තිබුණු නමුත් ලෝකයේ අනෙක් සමාගම්වලින් ආවරණය නොවුණු වෙළඳපොළ කලාප අල්ලා ගැනීමයි. පොඩි පොඩි පර්යේෂණ යැයි කරන ඒවායින් එතරම් දෙයක් වන්නේ නැත. ඒවා කරන්නේ මොකක්වත් හදාගැනීමේ අරමුණින් ම නො වේ.) කුඩා කර්මාන්ත ලෝකයේ ඉදිරියේ දී ඇතිවන ආර්ථික අර්බුදයන් හමුවේ කඩා වැටීම හෝ ඇගලුම් ක්ෂේත්‍රයේ මෙන් මහා පරිමාණ සමාගම් දෙක තුනකට සාමූහනය වී යාම හෝ සිදුවනු ඇත.

කෙසේ හෝ මේ ආර්ථික වැඩපිළිවෙළෙහි අංග දෙකක් පවතී. 
1. ආර්ථිකය දියුණු කිරීම සඳහා මෘදුකාංග හා සේවා කර්මාන්ත
2. ග්‍රාමීය කර්මාන්ත හා කෘෂිකර්මය..

පළමුවැන්න කළ යුත්තක් හා දෙවැන්න අත්හැර නොගත යුත්තක් ලෙස මේ වැඩපිළිවෙළ සලකයි. එනම් දෙවැන්න කොටි වලිගයකි. අත් හැරීමට කැමති වුව ද ඒවා අත හැරීම හොඳ නැත. ඒ නිසා අල්ලාගෙන සිටියි.. රනිල් ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මෙන් ම SBD ද සිල්වාගේ ආර්ථික න්‍යාය අනුව ද මේ දෙවනි කාණ්ඩය ඍජුව අතහැර දමා පළමුවැන්න කළ යුතු ය. දීප්තිගේ වචනයෙන් "වී වෙනුවට රෝස" ය. ගෝඨාභය-මහින්ද පාලනයන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය "රෝස වවද්දී වී අත නො හරිමු" යන්නයි.. 

එහිදී මහින්ද සංචාරක ව්‍යාපාරය ආදී දේ ගැනත් ගෝඨාභය තොරතුරු තාක්ෂණ කර්මාන්තය ආදී දේ ගැනත් විශ්වාසය තබයි. කෙසේ නමුත් හරය වන්නේ ආර්ථිකය දියුණු කිරීමට 'රෝස' අත් අරින්න බැරි නිසා 'වී' යන්න ය. මෙය "වී වෙනුවට රෝස"වලට වඩා හොඳ යැයි කොවිඩ් නිසා ගුවන් තොටුපොළ වසා දැමූ පසු එස්.බී.ඩී.වාදීන් ද කියන්නට පටන් ගෙන ඇත.. එහෙයින් අද වන විට මේ පිරිස් සියල්ලන් ම සිටින්නේ ගෝඨාභය ආකෘතියේ ය. හදිසි වසංගත ඇති විය හැකි නිසා අකැමැති වුවත් වීත් වැවිය යුතු ය. මෑතකාලීන කෘෂි භෝග සංවර්ධනය කිරීමේ රජයේ ව්‍යාපෘතියක දක්වා තිබුණේ වී වැවීමේ ආර්ථික NPV අගය ඍණ බවත් මූල්‍යමය NPV අගය ධන බවත් ය. තේරෙන භාෂාවෙන් මේ කියන්නේ වී වැවීම සහනාධාර, බදු ආදියෙන් නිර්මාණය කොට ඇති කෘත්‍රිම වෙළඳපොළ තත්ත්ව තුළ ලාභදායී වුව ද ඒ කෘත්‍රිම තත්ව ඉවත් කළ විට ආර්ථිකව පාඩු දායී බව ය. මේ ගණනයන්ගේ පදනම බැලීම සඳහා මූලාශ්‍ර කිසිවක් අදාළ ව්‍යාපෘති ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ තිබුණේ නැත.

දැන් පරිසරය හා සංවර්ධනය ගැන කතාවට එමු.. දැන් වැඩිපුර ම කතා වෙන්නේ නෙළුව මාර්ගය ගැනයි.. කලකට පෙර කතා වුණේ ඔක්සිජන් එපා කීම හා රාජ්‍ය නිලධාරිනිය ගැනයි.

මේ සිද්ධි දෙක සමඟ මේ ගැන කතා කරමු.

නූතනත්වය ආරම්භයේ දී පරිසරය යනු මිනිසා විසින් ජයගනු ලැබිය යුතුව ඇති දෙයක් ලෙස සැලකිණි. පැරණි කලා නිර්මාණ නවකතා ආදියේ ආකල්පය එය ය. රෝමාන්තිකවාදයේ හා ස්ටාලින්ගේ සමාජ සත්තා යථාර්ථවාදයේ දී ද ප්‍රධාන කොටසක් වන්නේ පරිසරය සමඟ සටන් කොට ජයගන්නා මිනිසාගේ අරගලය නිරූපණයයි.

ලංකාවේ ද ගීත වූයේ කම්හල් ඇතුළේ යදම් යගුළු හා ගුගුම් දිදී කැරකී එන දුම් වලාවලින් එන ආසිරි වැස්ස ගැන ය. වන පෙත් එළිවේ කම්හල් ඉදිවේ යනුවෙනි.

පරිසරය හා සටන් කොට සංවර්ධනය ජයගත යුතු ය යන්න මීට දශක කිහිපයකට පෙර ප්‍රගතිශීලී ආකල්පය විය.

පසුව ඔක්සිජන් ඕනෑ කතිකාවත ආවේ ය. ඒ අනුව අපි සංවර්ධනයට කැමති වුවත් පරිසරය අමතක කරන විට ඔක්සිජන් නැතිවීම පරිසර උෂ්ණත්වය වැඩි වීම වැනි අයහපත් ප්‍රතිඵල ඇති වී මිනිසාට හානි වේ..

ඒ නිසා පරිසරය රැකගත යුතු ය. මෙහි ද ගෝඨාභය-මහින්ද ආර්ථික දැක්මේ මෙන් කළ යුතු දෙයක් හා අත හැරිය නො හැකි කොටි වලිගයක් පවතී.. අපේ අවශ්‍යතාව සංවර්ධනයයි.. වල්ගය හැරියොත් කොටියකු වී පරිසරය සපා කන නිසා එය අත හැරිය නො හැකි ය.. සංරක්ෂණය යන වචනය ම බොහෝ විට නරුම වචනයකි.. අයින් නොකර බැරි නිසා තබා ගැනීම මෙහි අර්ථයයි..

දැන් පිට්ටනිය හා ඔක්සිජන්වලට එමු. පිට්ටනිය ජනතාවගේ අවශ්‍යතාවකි.. එහෙත් ඔක්සිජන්, කඩොලාන හෝ වනාන්තර ඉල්ලා ජනතාව උද්ඝෝෂණය කරන්නේ නැත. මේ බටහිර නූතනත්වයයි. ළමයින්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් මිස රිංගලා දං හිඹුටු මාදං කන්න කැලයක් ඕනේ නැත. පලතුරු කඩෙන් ගත හැකිය. ඒවා වතුවල වැවෙයි. නූතනත්වය යටතේ පිට්ටනිය ජනතාවගේ අවශ්‍යතාවකි. 

ඔක්සිජන් එන්නේ "විද්වතුන්ගෙනි". ඔක්සිජන් දැකීමට ඇල්ලීමට නොහැකි ය. එය පට්ටපල් බොරුවකි. දැන් මා ඉස්කෝලේ ගියේ නැත්දැයි අහන අයගෙන්, හුස්ම ගන්නේ නැත් ද අහන අයගෙන් අහන්නට තියෙන්නේ ඔක්සිජන්වල තියෙනවා කියන එකසර ඉලෙක්ට්‍රෝන තියෙන්නේ p කාක්ෂිකවලද? sp2 මුහුම් කාක්ෂිකවල ද නැත්නම් මෙහෙම කාක්ෂික හෝ එකසර ඉලෙක්ට්‍රෝන නැති ද කියා හරියට ම හොයා ගෙන ඇවිත් කියන ලෙසයි... ඔබ හුස්ම ගන්නේ මොන ඔක්සිජන් ද? ඒ ප්‍රශ්නවලින් ඔබට හුස්ම ගැනීමට බාධාවක් ඇතැයි නො සිතමි.. ඔබ හුස්ම ගනියි.. ඒ හුස්ම ගන්නේ ඔක්සිජන් යැයි කියන්නේ "විද්වතුන් ය". දැන් විද්වතුන් ඔක්සිජන් ප්ලාන්ට් ලෙස ගස් අවශ්‍ය බව සිතති. ගස් ඕනේ යැයි කියන්නේ විද්වතුන් ගැන විශ්වාසය තබා පට්ටපල් බොරු වූ ඔක්සිජන් ගැන විශ්වාසය තබා ය.

දැන් මේ ගැන තවත් විද්වත් මත ඇත. මේ පරිසර අර්බුද නව කාර්මික රටවල් අඩපණ කිරීමේ ව්‍යාජ ප්‍රචාරයකි. ගස්වලින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය නොගිණිය හැකි ය. ඔක්සිජන් වැඩි ප්‍රතිශතය ලබා දෙන්නේ ජලජ ශාකයි..(මූලාශ්‍රය නැෂනල් ජියොග්‍රැෆික්)

දැන් මේවා ද විද්වත් අදහස් ය. වනාන්තරවලින් ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය නොගිණිය හැකි ය කීවිට අපට ඒවා එසේ නො වේ යැයි කිව හැකි ද? ඒවා විද්වත් මතයන් ය. ඒවා පට්ටපල් බොරු නිසා විද්වතුන්ගේ පිළිවෙත අනුව පරීක්ෂණ කොට මිස අපට හොයා බලා මේවායේ හරි වැරැද්ද බලා ගත නො හැකිය.

පරිසර සංරක්ෂණවාදයේ ප්‍රශ්නය මෙය ය. පරිසරය අතහැර බැරිකමට එය රැකගැනීමට කියා දේවල් කරනු ලැබේ..

ඔක්සිජන් ප්ලාන්ට්කාරයන්ට විරුද්ධ විය යුත්තේ මේ නිසා ය. තව ටික කාලෙකින් ජාත්‍යන්තර බලවත් රාජ්‍යයන්ට හා සමාගම්වලට හිතූ හිතූ ආකාරයට පරීක්ෂණවලින් මොවුන්ගේ දිවවල් නැමිය හැකි ය. පට්ටපල් බොරුවක් මත පදනම් වී කරන සංරක්ෂණය යනු ව්‍යාජයකි.

දැන් නෙළුව පාරට එමු.. නෙළුව පාරේ හෝටල් තිබුණා හෝ නැතා ඒ ප්‍රදේශයේ මිනිසකුගෙන් ඇසුවහොත් ඒ පාර අවශ්‍ය බව කියනු ඇත.

සිංහරාජ සීමාව හරහා යයි ද ආදී ප්‍රශ්න නෛතික ප්‍රශ්න ය. ඒවා වෙන ම විසඳාගත යුතු ය.

මෙහි දේශපාලනික වශයෙන් සංරක්ෂණවාදීන් ගෙනෙන තර්කය පාර නිසා ඒ ප්‍රදේශය තවත් සංවර්ධනයට නතු වී වන විනාශය සිදුවනු ඇති බව ය.

එහෙත් මේ පරිසර සංවිධාන මහත්තුරු ද අර කැලෑ කැපීම රෝමාන්තික වූ කාලයේ එළිපෙහෙළි වූ කොළඹ ඛනිජ තෙල්වලින් දුවන වාහනවලින් යමින් ජීවත් වෙති. පාසල් විශ්වවිද්‍යාල අනෙක් වෙළඳ ආයතන ආදිය අහෝසි කර දැමීමට ඔවුහු එකඟ නොවනවා පමණක් නොව ඔවුන් කියන්නේ ඒවා තව තවත් හොඳින් ශක්තිමත් කළ යුතු බව ය.

දැන් නෙළුවේ ජනයා කියන්නේ තමන්ට සංවර්ධනය නො දීම අසාධාරණ බව ය.

දැන් නෙළුවවාසීන් කුමක් කළ යුතු ද? එක්කෝ නෙළුවවාසීන් "ඌන සංවර්ධන" තත්වයේ තැබිය යුතු ය. මීට අර මහත්තුරු එකඟ නොවනු ඇත.

ඉතින් සංරක්ෂණවාදීන් දෙන විකල්පය මේවායින් ජනයා ඉවත් කොට නාගරිකව පදිංචි කරවීම ය. එවිට සංවර්ධන ප්‍රතිලාභ ලැබී කැලෑව ආරක්ෂා වනු ඇතැයි ඔවුහු සිතති.

සරලව ම පරිසර සංරක්ෂණය යනු ඇමරිකාව වල් නො වැදීම සඳහා ලංකාවේ කැලෑ තබා ගැනීම ය. කොළඹ මෙසේ ම තබා ගැනීම සඳහා නෙළුවේ කැලය තබා ගැනීම ය.

බටහිර නූතනත්වය විසින් ජනතාවගේ ඍජු අවශ්‍යතාව අධික පරිභෝජනය බවට පත් කොට ඇති අතර පරිසර සංරක්ෂණය වැනි දේ එහි අතහැරිය නොහැකි කොටි වලිග ලෙස පවතී.. ඒ කතාව එන්නේ පට්ටපල් බොරුවක් ලෙස ය. මේවා පහසුවෙන් "විද්වතුන්ට" අවශ්‍ය ලෙස භාවිත කළ හැකි උගුල් ය.

කැලෑ ආසන්න ගම්වල ජනතාව අලින්ගෙන් පීඩා විඳිති. ඔවුන්ගෙන් ඒ ගැන ඇසූ විට කියන්නේ අලි සමූලඝාතනය කළ යුතු බව ය (මට මතක විදිහට නයනක රන්වැල්ල ඇසූ විටෙක මිනිසුන් මෙසේ කී බව ලියා තිබුණි. නයනක රන්වැල්ල ම දැයි හරියට ම මතක නැත.). කෙසේ හෝ ඊළඟ ප්‍රශ්නය විදිහට අසා තිබුණේ එතකොට ඉස්සරහට ළමයෙකුට අලියා කියලා දෙන්නේ කොහොම ද යන්න ය. එවිට පිළිතුර වූයේ ඒකට ෆොටෝ එකක් ඇති යන්න ය. පරිසරවේදීන් සැලකිලිමත් වන්නේ ද අධ්‍යාපනය ගැන ය. 

දැන් නාගරික ප්‍රදේශවල ජනතාව රිය අනතුරුවලින් මරණයට පත් වෙති. අලින්ගෙන් සිදුවන මරණවලට වඩා මේ ප්‍රමාණය වැඩි යැයි ද අලින්ගෙන් සිදුවන හානි ප්‍රමාණයට වඩා වාහන නිසා සිදුවන හානි ප්‍රමාණය වැඩි විය හැකි ය (සමීක්ෂණයක් කොට බලන්න.)

එහෙත් රථවාහන තහනම් කරමු යැයි ඒ ජනතාවගෙන් මතු වන්නේ නැත. තහනම් කිරීමට ගියහොත් මහා පරිමාණ විරෝධයක් මතු වන්නේ සාමාන්‍ය ජනතාව තුළිනි.

වාහනය නූතනත්වයේ උපාංගයකි. අලියා අත අරින්න බැරි නිසා තියන් ඉන්නා එකෙකි! නූතනත්වයේ වාහනයක හැප්පී මැරී යාම අලියක ගසා මැරීම වැනි දුක්ඛිත මරණයක් නොව 'නම්බුකාර' මරණයකි. අලින් නැති ලෝකයක් හිතුවත් කාර් නැති ලෝකයක් යනු මේ මිනිසුන්ට භයංකාර හීනයකි.

සිංහල බෞද්ධ රාජ්‍යයක් යනු මිනිසුන්ට කැලෑ ඕනෑ වූ සමාජයකි. ඒ විද්වතුන්ගේ "පට්ටපල් බොරු" මත පදනම් වී අත හරින්නට බැරි කොටි වලිගයක් ලෙස සැලකීම නිසා නොව මිනිසුන්ගේ ජීවිතයේ කොටසක් වන බැවිනි. එවිට මිනිසුන් ම කැලෑ තබා ගනු ඇත. 

දැන් මෙවන් රාජ්‍යයක් සෑදීම සඳහා බාධාවක් හෝ උදවුවක් ගෝඨාභයගේ සංවර්ධන ආකෘතියෙන් සිදු වේ ද යන්න ගැන මගේ අදහස මෙසේ ය.

නූතනත්වය සංවර්ධනය ජාතිකවාදය සඳහා උදවුවක් යැයි මට සිතෙන්නේ නැත. අනික් අතට ගෝඨාභය ආණ්ඩුවෙන් මහා සංවර්ධන වික්‍රමයක් කළ හැකි යැයි සිතෙන්නේ නැත. එහි සංවර්ධන ආකෘතියේ ම ප්‍රශ්නයක් පවතී.. එහෙයින් මේ විවිධ ගැටුම් අතරතුර දී මේ ආණ්ඩුවට අත් කරගන්නා සීමිත සංවර්ධනයේ අමුතු වාසියක් හෝ පාඩුවක් ජාතිකවාදයට වේ යැයි මට පෙනෙන්නේ නැත. එනම් එතරම් හොඳක් නරකක් සිදුවනු ඇත. ගෝඨාභය ආණ්ඩුවෙන් එන වාසිය ඇත්තේ දේශපාලනිකව ය.

නූතනත්ව සංවර්ධනයේ ඇති උපාංග භාවිත කිරීම පිළිබඳව මාගේ විරෝධයක් නැත. විරුද්ධ වෙන්නේ මේ සංවර්ධනය සිදුවන ඉහත දැක්වූ ආකාරයට ය.

අනික් අතට නූතනත්ව සංවර්ධනය නිසා විවේකය වැඩි වේ යනා දී දේ මට හිතෙන්නේ නැත. මිනිසුන් පාන්දර නැගිට ගොවිතැනට ආදී දේවල්වලට යාම යන්ත්‍ර සූත්‍ර නිසා නැති වී ජීවිතයේ විවේකය වැඩි වන බව කියන බොහෝ දෙනා උදේ පාන්දර නැගිට සෙනඟ පිරුණු බස්වල එල්ලී මිරිකී වැඩට යති. අවුරුදු ගණන් පාසල් විශ්වවිද්‍යාලවල විප්‍රකාර විෂය නිර්දේශ සමඟ පොර බදති. එක ම දේ උදේ ම ගොවිතැනට යාම ප්‍රාථමික හා මෙය එසේ නැත යැයි සිතීම ය.

තාක්ෂණය ආදියෙන් ප්‍රශ්න විසඳන බව සැබෑ ය. එහෙත් ඒ විසඳන ප්‍රශ්නවලින් සාතිශය බහුතරය තාක්ෂණය නිසා ම ඇති වූ ප්‍රශ්නය..

මා සිතන සිංහල බෞද්ධ රාජ්‍යයෙහි ද තාක්ෂණය භාවිත කරනු ඇති අතර එය වැඩි දියුණු කෙරෙනු ඇත. එහෙත් තාක්ෂණය නිසා ම ප්‍රශ්න හද හදා ඒවා විසඳීමට තාක්ෂණය ගෙන ඒමේ විසම චක්‍රය වෙත නොයනු ඇත.

ගෝඨාභය පාලනයේ ජාතිකත්වය ස්වාධීන රටක රාජ්‍ය මැදිහත් වීම සහිත කෘෂිකර්මය හා කුඩා කර්මාන්ත "ආරක්ෂා කිරීම" සහිතව බටහිර වාණිජවාදී සංවර්ධනයක් වනු ඇත. සුපුරුදු වචනයෙන් ආසියාතික වටිනාකම් සහිත බටහිර නූතනත්වයේ රාජ්‍යයක් එහි අරමුණ වනු ඇත.

ඇත්තෙන් ම සාර්ථකව මෙවැන්නක් පූර්ණව බිහි කරගැනීම නම් සිංහල බෞද්ධ රාජ්‍යයකට බාධාවක් වනු ඇත. එහෙත් මේ ගැන බිය වීමට කරුණක් නැත. ඒ සඳහා ගෙන යන ආකෘතියේ ම ඇති සීමා මායිම් නිසා මහා විස්මජනක වෙනසක් සිදු නොවනු ඇත. එනම් එක් සීමාවකින් පසු මේ සංවර්ධන වැඩපිළිවෙළ සාර්ථක නොවනු ඇත. බාධාවක් නොවන සුළු සුළු දේ හා නොගිණිය හැකි වාසි පාඩු ලැබෙනු ඇත. එහෙත් දේශපාලනිකව ගෝඨාභය ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යාම පිණිස වාසි සහගත ය.

අවසාන වශයෙන් කිවයුත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක දී මිනිසුන්ගේ දිවි පැවැත්මේ දැනට වඩා අමුතු වෙනසක් සිදු නොවන බව අදහස් කරන ජාතිකවාදියකු කවරක් කියන්නේ දැයි මට නො වැටහේ.

ජාතිකවාදයේ දී ස්වාධීන ජාතික රාජ්‍යයක් පිහිටුවා එහි සංවර්ධනය සඳහා ඕනෑ ම ආර්ථික තාක්ෂණික උපක්‍රමයක් භාව්ත කිරීම වලංගු යැයි කීම ප්‍රංශ සිවික් ජාතිකවාදයේ ලක්ෂණයකි.

කවුරුන් හෝ සිංහල බෞද්ධ රාජ්‍යයක් දේශපාලනිකව ගොඩනංවා එයට ඕනෑම සංවර්ධන මාදිලියක් (නූතන බටහිර සංවර්ධනය වුවත්) යොදා ගත හැකි ය කියන්නේ නම් මට එය වැටහෙන්නේ පරස්පරයක් ලෙසයි.

මේ කතාව තව සරල කළහොත් මෙසේ දැක්විය හැකි ය.

"අපේ චින්තනයේ දැනුමක් නිපදවිය යුතු ය, එය කළ හැකි ය. එහෙත් එවන් දැනුමක් නොමැතිව බටහිර දැනුමින් ම වුවද සාර්ථකත්වය උදාකරගැනීමට හැකි ය."

මෙය තර්කයක් සේ පිළිගතහොත් එයින් කියැවෙන්නේ අපේ චින්තනයේ දැනුම නිපදවීම යනු අමතර වැඩක් බවයි.. එයින් කිසි ප්‍රයෝජනයක් නැත... එය හුදෙක් අභිමානය හෝ විනෝදය සඳහා කරන වැඩකි. රට ස්වාධීනව ස්වෛරීව තබා ගැනීම සෑහේ.. අපේ දැනුමකින් කරන දේ ම බටහිර දැනුමෙන් වුව ද කළ හැකි ය.
එසේ නම් අපේ දැනුමක් අලුතෙන් ගොඩ නැංවීමට මහන්සි වන එකේ තේරුමක් ම නැත..

මෙතන මට පෙනෙන්නේ සංරක්ෂණවාදීන්ගේ තර්කයයි. බටහිර දැනුමෙන් ම වැඩකරගත හැකි නමුත් අපේ දැනුම හා එවන් දැනුමක් සෑදීම වලංගු ය යන ප්‍රවේශය ආරක්ෂා කොට ගත යුතු ය. එනම් මෙය තනිකර සංස්කෘතිය රැකගැනීමේ වර්ගයේ කෞතුකාගාර ව්‍යාපෘතියකි... සිංහල වෙදකම බටහිර වෛද්‍ය ක්‍රමයට අවශෝෂණය කරගෙන භාවිත කිරීම හොඳ වුවත් අපේ ප්‍රෞඩත්වය උදෙසා වෙදකම පවත්වාගෙන යා යුතු ය වැන්නකි...

මගේ සිංහල බෞද්ධ ජාතිකත්ව ප්‍රවේශය එසේ නො වේ. මා දකින්නේ,

1. බටහිර දැනුම හා සංවර්ධනය ලංකාවේ සාර්ථක කරගත නො හැකි ය.
2. යුරෝපයේ සාර්ථක වූ එම පද්ධතිය ද දැන් කඩා වැටෙමින් පවතී.
3. එම නිසා අප අපේ සාර්ථකත්වයක් උදෙසා අපේ දැනුමකට හා අපේ දිවි පැවැත්මකට යා යුතු ය.
4. අත්‍යන්තයෙන් ම එම දිවි පැවැත්ම වර්තමාන නූතනත්ව සමාජයේ ජීවිතයේ සිට පරිකල්පනය කිරීමට උත්සාහ කළ විට කැලඹීමක් ඇති කරන්නක් වීම අනිවාර්ය ය.
(උදාහරණ ලෙස සිංහල බෞද්ධ රාජ්‍යයේ දිවි පැවැත්ම යනු හුදෙක් පාසල්වල අත් බෙහෙත් ඉගැන්වීම වැනි ඊළඟ අවුරුද්දට පණතක් ගෙනත් සරලව ස්ථාපනය කළ හැකි කැලඹිලිකාරී නොවන දෙයක් වනු ඇත.

උදාහරණයක් ලෙස මා සිංහල බෞද්ධ රාජ්‍යය ලෙස දකින්නේ බටහිර ඇලොපති වෛද්‍ය ක්‍රමය මෙරටින් අතු ගා දැමීම වැනි වැඩ ය. - මේ කියන්නේ නීතියෙන් තහනම් කිරීම නො වේ. එය මිනිසුන් පොදුවේ භාවිත වන වෛද්‍යක්‍රමයක් නොවන තැනට පත් කිරීම ගැන ය. ඒ සඳහා ගමනේ දී වෛද්‍ය අධිකාරීත්වය තර්ජනයක් වන තැනේ දී ඒවා නීතියෙන් අඩපණ කිරීම, තහනම් කිරීම, අධෛර්යවත් කිරීම වැනි ක්‍රියාමාර්ග අවශ්‍ය වුවහොත් භාවිත කිරීමට මගේ විරෝධයක් නැත.- මෙවන් දේ මෙසේ කැලඹිලිකාරී නො වී පරිකල්පනය කළ නො හැකි ය.. මිනිස්සු මරන්න ද යන්නේ කියලා මෙයට අනිත් අතට අසන අය බොහෝ සිටිය හැකි ය. ඇත්තෙන් ම සිංහල බෞද්ධ රාජ්‍යයක් ස්ථාපිත වූ පසුව මෙසේ ඇසූ මිනිසුන්ව සලකනු ඇත්තේ ජීවිත වැඩි පුර සුවපත් වීම වැළකීමට තැත් කළ කාලකණ්ණින් වශයෙනි. එහෙත් ඊට පෙර මොවුන් පෙනිය හැක්කේ ප්‍රායෝගික මිනිසුන් වශයෙනි.. පහසුවෙන් ප්‍රායෝගික ලෙස දැන් ම ම පෙනෙන කිසිදු ජීවන ක්‍රමයක් සිංහල බෞද්ධ රාජ්‍යයට අයත් යැයි මම නො සිතමි. මේ දැන් ම ප්‍රායෝගික වන ඕනෑ නම් දැන් වුණත් රජයකට කළ හැකි ය කියා සාමාන්‍ය මිනිසුන්ට හිතෙන ඒවා තියෙන්නේ මේ බටහිර නූතනත්ව තුළ ම මිස සිංහල බෞද්ධ රාජ්‍යයේ නොවේ.

එතෙක් ගෝඨාභය වැනි ආණ්ඩු මඟින් දේශපාලනිකව ජාතිකත්ව හැඟීම වර්ධනය කිරීම, ස්වාධීනත්වය රැක ගැනීම හා දේශපාලන ස්ථාවරත්වයක් ලබා දී තිබෙනු ඇත. මෙය මේවා එක්ක එල්ලී එල්ලී ඉන්නට වෙනවාට වඩා සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා යොමු වීමට පහසුවකි.

දිලිත්ගේ යෝජනාව

 දිලිත් ජයවීර අමුතු යෝජනාවක් කර තිබෙන බැවින් මේ ගැන යමක් ලිවිය යුතු ම ය. නැතිනම් මේවාට අපත් කැමති යැයි සිතීමට ඉඩ ඇති නිසා මෙය ලියා තබමි. බෙදා හරින ලෙස ද ඉල්ලමි.


දිලිත් ජයවීර මහතා අලි සබ්‍රි වෙත අධිකරණ ඇමති ධූරය යෝජනා කර තිබේ.. මෙයට එක හෙළා ම අප විරුද්ධ බව සඳහන් කළ යුතු ය. 


අලි සබ්‍රි ජනාධිපතිවරයාට සහය වූ අයකු ලෙස මන්ත්‍රීධූරයක් දීම වරදක් නො වේ. මට ඔහු ගැන එතරම් පැහැදීමක් නැතත් ඒ සඳහා මගේ අකැමැත්තක් නැත. එහෙත් අධිකරණ ඇමති ධූරය දීම සඳහා දිලිත්ගේ යෝජනාව තරයේ ම ප්‍රතික්ෂේප කරමු.


පළමුව පෞද්ගලික නීතිඥවරයා අධිකරණ ඇමති කිරීම හොඳ පූර්වාදර්ශයක් නො වේ..


අනෙක් අතට ඡන්ද ව්‍යාපාරය තුළ සිදු වී සිද්ධි දෙකක් නිසා අලි සබ්‍රි පිළිබඳව විශ්වාසය පළුදු වී ඇත.


1. මා අකැමැති ම පුද්ගලයකු වන්නේ මධුමාධවයි.. එහෙත් ඔහුව නිහඬ කිරීම සිදුවූයේ ඔහුගේ පක්ෂයේ ගම්මන්පිලට ද උඩින් ගොස් අලි සබ්‍රිගේ මැදිහත් වීම නිසා ය.. අනෙක් අතට මධු මාධවගේ වැඩ කටයුතු ගැන ප්‍රසාදයක් නැතත් එවේලේ අදාළ කරගත් කතාවේ ඇති ප්‍රශ්නයක් මට නම් පෙනෙන්නේ නැත.


2. සිංහල වෙනුවට ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකයේ යෙදීම මාරයි යන්න අලි සබ්‍රි ද මූලික වී කළ ප්‍රචාරයකි..


මේ නිසා ඔහු ගැන පැහැදීම අපට පළුදු වී ඇත. යම් තනතුරක් දීමට විරුද්ධ නැතත් ඔහුට පැමිණි මුල් මොහොතේ ම අධිකාරණ ඇමති ධූරය වැන්නක් දීමට අප තරයේ විරුද්ධ ය. 


මෙය මෙසේ ම ලියුවේ මෙය දිලිත් ජයවීර යෝජනා කර ඇති බව දුටු බැවිනි. ඒ නිසා එය සැලකිය යුතු බරකින් සලකන්නට ඉඩ තිබේ..


මේ නිසා අප තරයේ ම ඊට විරුද්ධ බව සටහන් කර තබමි.


                 - තමලු


විසංවාදයට විකල්ප පැවැත්ම Alterity to Contradiction


විසංවාදයට විකල්ප පැවැත්ම         

 - තමලු මලිත්ත පියදිගම



අනිවාර්ය වූ දෙයක් (necessary entity) ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදය පරම වශයෙන් සිදු නොහැකි යැයි ප්‍රතික්ෂේප කොට දැමිය හැකි ද?

මෙයසූගේ දර්ශනය අනුව ආපාතිකත්වය (contingency) (ඇතැම් විට සත්‍ය වීමටත් තවත් විටක අසත්‍ය වීමටත් ඇති හැකියාව) පරමවශයෙන් අනිවාර්යය ය. මේ නිසා සියලු විට පැවැතිය යුතු දෙයක් තිබිය නො හැකි ය. මේ අනිවාර්ය වූ දෙයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමයි.

විසංවාදී (contradiction) දෙයක් අනිවාර්ය දෙයක් වේ යැයි කිව හැකි නම් අනිවාර්ය දේ ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදී දේ ප්‍රතික්ෂේප කළ හැකි ය.

විසංවාදී දෙයක් තවත් දෙයකට පරිවර්තනය විය නො හැකි ද? එනම් විසංවාදී දෙයකට එහි නො වීම ලෙස වෙනත් දෙයක් නොපවතී ද?

1. යම් වස්තුවක් එක් ගති ගුණයකින් විසංවාදී වී තවත් ගති ගුණයකින් එසේ නො විය හැකි ය.

එවිට එම වස්තුවට මුල් ගති ගුණයේ පැවැත්ම හා නොපැවැත්ම දෙක ම තිබුණ ද දෙවනි ගති ගුණය එසේ නැති නිසා වෙනස් විය හැකි ය. වෙනෙකකට පරිවර්තනය විය හැකි ය.

එම නිසා විසංවාදී වස්තුවක් අනිවාර්ය නො වේ.

මෙවන් වස්තුවක් බැහැර කිරීමට මෙයසූට තර්කයක් නැත. ඔහු කියන්නේ මෙවන් ආකාර වස්තු ගැන සංගත අදහසක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි. පාර-සංගත තර්ක ශාස්ත්‍රය වස්තුවක් ගැන ප්‍රතිවිරුද්ධ ප්‍රස්තුත එකට පැවැත්ම පමණක් මිස එක ම වස්තුවේ ප්‍රතිවිරුද්ධ ගුණ තිබීමක් ගැන නොකියන බව ඔහු කියයි.

චතුස්කෝටිකය පිළිබඳ සාක්ච්ඡාව අත් හළ ද ක්වොන්ටම් භෞතික විද්‍යාව යනු සංගත වූත් විසංවාදී වූත් ප්‍රයෝජ්‍යතාවක් ඇති ආනුභවිකව පරීක්ෂා කර බැලිය හැකි පිළිතුරු ලබා දෙන එවන් පද්ධතියකි.

සාමාන්‍යයෙන් සම්භාවිතාව ආපතිකත්වය (contingency) සම්බන්ධ කතාවකි. වස්තුවකට යම් යම් අවස්ථා සමූහයකින් එක් අවස්ථාවක් ගත හැකි ය. ඒ සියලු අවස්ථා ගැනීමේ සම්භාවිතා තිබීම යනු එක ම වස්තුවේ වාර විශාල ගණනක් හෝ සමරූපී වස්තු විශාල ගණනක විවිධ අවස්ථා ආපතිකව ලබා ගන්නා අවස්ථාවල අනුපාතයි.

දැන් ක්වොන්ටම් භෞතිකය එසේ නො වේ. සඟල සිදුරු පරීක්ෂණයේ සිදුරු දෙක ම විවෘත විට ඒ ඒ සිදුරුවලින් යාමේ සම්භාවිතාව යනු ඉලෙක්ට්‍රෝන විශාල ගණනකින් එක් එක් ඉලෙක්ට්‍රෝනය එක් එක් සිදුරෙන් යෑමෙන් ඇතිවන අනුපාතය නො වේ. එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යෑමේ ප්‍රතිඵල ඒ ඒ අනුපාතයෙන් ඇති කරයි.

ක්වොන්ටම් භෞතිකයේ සම්භාවිතාව විසංවාදයේ මිම්මකි. එනම් එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යා හැකි ය. එහෙත් ඒ තැන් දෙකේ ඉලෙක්ට්‍රෝනයේ පිටපත් දෙකක් නොපවතී. ඇත්තේ එක ඉලෙක්ට්‍රෝනයකි.

දැන් මෙවන් පද්ධතියක් ඇති විට එය මඟ හැර යාම මෙයසුගේ වරදකි.

2. මෙයසුට අනුව මෙතෙක් විස්තර කොට ඇති විසංවාදී පද්ධති තාර්කිකව අසංගත (inconsistence) ද වේ. එනම් විසංවාදයක් ඇත් නම් එහි සියලු ම දේ විසංවාදී වේ.

දැන් මෙයසූ බැහැර කරන්නේ විසංවාදී පද්ධති නොව අසංගත පද්ධතිය.

අසංගත පද්ධතියක් වෙනස් නොවීම අනිවාර්ය ද?

මෙයසූ උදාහරණයට ගන්නේ සියල්ල ඇති වී නැති වෙන ඕඝයක් (flux) වූ පද්ධතියකි.

ඔහුට අනුව පැවැත්ම නොපැවැත්ම දෙක ම මෙහි එකවිට ඇති නිසා පවතින විට ද නොපවතියි, නොපවතින විට ද පවතියි.

එම නිසා මෙය වෙනත් යමකට පෙරළීමට නො හැකි ය. කවර විටකත් එය පවතින බැවින් එය අනිවාර්යතාවකි. එම නිසා එය බැහැර කළ හැකි ය.

මෙය අසාර්ථක තර්කයකි. මෙවන් අසංගත පද්ධතියක විස්තරය හඳුනා ගැනීම හා සමඟ ම එය ශුද්ධ පැවැත්මෙන් හා ශුද්ධ නොපැවැත්මෙන් වෙන් කර ගැනෙයි. එනම් මෙවන් පද්ධතියක හා ශුද්ධ පැවැත්ම හෝ නොපැවැත්ම ලෙස හඳුනා ගන්නා පද්ධතියක පැහැදිලි විභේදනයක් ඇත. එහෙයින් මේ අසංගත පද්ධතියට අසංගත නොවන ශුද්ධ පැවැත්මේ හෝ නො පැවැත්මේ පද්ධතියක් විය හැකි ය.

පැවැත්ම හා නොපැවැත්ම එක විට පවතින පද්ධතියක් එක්වර ම ශුද්ධ පැවැත්ම පමණක් වන සේ නොපැවැත්ම රහිත අන්‍ය ස්වභාවයකට පත්වීම හෝ පැවැත්මේ සංරචකය සිඳී ගොස් ශුද්ධ නොපැවැත්මේ අන්‍ය ස්වභාවයකට පත් වීම සිදු විය හැකි ය. මෙවන් අන්‍ය ස්වභාව ඇති නිසා අසංගත පද්ධතියක් අනිවාර්ය නො වේ.

මෙය චතුස්කෝටිකයේ අගයන් හා කෝටික පිළිබඳව කතාව ය. චතුස්කෝටිකයේ අගයන් දෙකෙහි එක් අගයක් ලබාගත් අගයන් දෙක ම ලබා ගත් අගයන් කිසිවක් ලබා නො ගත් සේ විකල්ප (කෝටික) සතරක් ඇත. විසංවාදී හෝ අසංගත අවස්ථා අනිවාර්යතා නො වේ.

මෙයසුගේ විශ්වාසය

මෙයසුගේ විශ්වාසය



මෙයසු, ග්‍රැහැම් හාමන් සමඟ කරන සංවාදයක තමා මනසින් බාහිර ලෝකයක් 'විශ්වාස' නොකරන බවත් එය පවතින බව තමා 'දන්නා' බවත් කියයි.

මෙහි ඇති පෙරළි කොමාවලින් පෙනෙන්නේ හුදෙක් විශ්වාසයක් හා දැනුම යන්න පෙන්වීමේ මෙයසුගේ වුවමනාව බවත් එය දැනුම විශ්වාසයක් නොවන බව කීමක් නොවන බවත් මෙයසුගේ ලංකා නියෝජිතයන් පිළිගන්නේ නැත.

අපි මේ මතය තර්කය සඳහා පිළිගනිමු. දැනුම හා විශ්වාසය බහිෂ්කාරකය. ඒවා දෙකකි. දැනුම විශ්වාසයක් නො වේ.

මෙයසූට මනසින් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව සාධනයක් පවතී. ඒ සාධනය අනුව ඔහු මනසින් බාහිර ලෝකයක් පවතින බව දනී. ඔහු එය විශ්වාස නොකරයි.

මේ සාධනය සත්‍ය දැයි ඇසූ විට ඒ එසේ යැයි මෙයසූ පවසනු ඇත. 

දැන් අප මෙයසුගෙන් මෙසේ අසමු.

මනසින් බාහිර ලෝකයක් ඇති බවට ඔබේ සාධනය සාවද්‍ය බව අනාගතයේ පෙනී යා නො හැකි ද? එසේ නැතිනම් වෙන අයකු එම සාධනයේ අඩු පාඩුවක් සොයා පෙන්වීමට ඉඩකඩක් ඇති ද?

මෙයසූට මෙසේ කිව හැකි ය. මෙම සාධනය නිවැරැදි ය. අඩුපාඩු වැරදි නැත.

දැන් අප ඍජුව ප්‍රශ්න කරන්නේ මෙවැනි අඩුපාඩුවක් තමා ම සොයා ගැනීම හෝ පෙන්වා දීම අනාගතයේ පරම වශයෙන් විය නො හැකි බව මෙයසූ කියන්නේ ද යන්නයි.

එහි පිළිතුර ඔවු නම් අපට පෙරළා තර්ක කළ හැක්කේ මෙයසූට තමාගේ තර්කවලට වලංගු විවේචන ඒමේ හෝ සංස්කරණය වීමේ හැකියාව පිළිගැනීම දෘෂ්ටිවාදී සූදානම නොමැති බවයි. එවිට මෙයසූ දර්ශනවාදී ශික්ෂණය තුළ ස්ථානගත කිරීම ප්‍රශ්නකාරී වේ. මේ ස්ථාවරය බොහෝ විට ආගම අර්ථකථනය කිරීමට යෙදීම මෙයසූ අර්බුදයට ලක් කරයි.

එහෙත් මේ ආකාරයේ ප්‍රශ්නයක් ඇති වේ යැයි මම විශ්වාස නො කරමි. මෙයසූ ශාස්ත්‍රාලයීය සම්ප්‍රදායට එකඟ වෙමින් යම් අයකුට හෝ තමාට තම සාධනවල අඩු පාඩු පෙනීමේ හා පෙන්වීමේ ඉඩකඩ යනු පවතින්නක් හා තමා ඒ සඳහා විවෘත බව කියනු ඇත.

දැන් වංගීසගේ අර්ථකථනය අනුව මෙයසුගේ බාහිර ලෝකයක පැවැත්ම අදහස දැනුමක් වන අතර එය මෙයසුගේ විශ්වාසයක් නො වේ. දැන් මේ දෘෂ්ටිවාදී විවෘත භාවය සමඟ මෙය අප විග්‍රහ කරගත යුත්තේ කෙසේ ද?

සාධනයේ වරදක් පෙනීමේ පෙන්වීමේ විය හැකියාව පිළිගැනීම යනු තමාට බාහිර ලෝකය පිළිබඳව කියූ දේ ඒ ගැන දැනුමක් නො වීමේ හැකියාව පිළිගැනීමකි. එවිට තමාගේ ක්‍රියාකාරීත්වය බාහිර ලෝකය පිළිබඳව ප්‍රස්තුතයක් විශ්වාස කිරීමකි.

පැහැදිලිව ම මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම විශ්වාස කරයි. ඔහුගේ ඒ විශ්වාසය සාධාරණ යැයි කීමට ඔහුට සාධනයක් පවතී. මේ සාධනය සත්‍ය බව ඔහු විශ්වාස කරයි. ඒ සාධනයේ අඩුපාඩු හෝ වැරදි තිබීමේ හා ඒවා අනාගතයේ පෙනීමේ හෝ පෙන්වා දීමේ හැකියාව විවෘතව තබා ගන්නා තුරු ඔහුට ඇත්තේ විශ්වාසය සාධාරණ යැයි කීමට ප්‍රබල සාක්ෂ්‍ය ඇති බැවින් තමාගේ විශ්වාසය දැනුමක් බව ය. එම සාධාරණ යැයි කීමට ඇති සාක්ෂ්‍ය වෙනස් වීමෙන් තමා මෙතෙක් කළ විශ්වාසය තව දුරටත් දැනුමක් ලෙස සැලකීමට නො හැකි බව ඔහුට කිව හැකි ය.

එවිට එය දැනුමක් ලෙස සැලකූ කාලයේ ඔහු කර සිටින්නේ එය විශ්වාස කිරීමකි. අනෙක් අතට සාධනය වැරදි හෝ අඩුපාඩු සහගත බවට පෙන්වූවා යැයි කියමු. එවිට මෙයසුගේ අදහස තවදුරටත් දැනුමක් නො වේ. එහෙත් විශ්වාසය එතෙකින් බිඳ වැටෙන්නේ නැත. බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව තම පැරණි සාධනය බිඳ වැටුණ ද තමා පෙර මෙන් ම තවදුරටත් එය විශ්වාස කරන බවත් එම වැරදි මඟ හැර අලුත් සාධනයක් සඳහා උත්සාහ කරන බවත් කිව හැකි ය.

එහෙයින් අපට දැකිය හැක්කේ දැනුම ද විශ්වාසයක් ලෙස ම පවතින බව ය. දැනුමට ඊට අමතරව එය පිළිගැනීම සඳහා සංගත සාක්ෂ්‍ය හා සාධන තිබිය හැකි ය. එසේ තිබීම විශ්වාසයට අනුපූරකයක් වනවා මිස විශ්වාසයක් නොවන්නක් කරවන්නේ නැත.

  • අනෙක් අතට දැනුමක් වීම සඳහා හේතුවුණු සාධනය කෙරෙහි ඇත්තේ විශ්වාසයකි. එහි සාවද්‍යතා සඳහා දෘෂ්ටිවාදී ඉඩකඩ තබා ගැනීම යනු එය විශ්වාසයක් බවට පත් වීමයි. එවිට් එම සාධනයෙන් යුක්ති යුක්ත කෙරෙන දැනුම විශ්වාසයක් නො වන්නේ කෙසේ ද? ඒ දැනුමට සාධනයක් ඇති බව සැබෑ ය. සාධනයක් තිබීමෙන් එය විශ්වාසයක් නො වී තිබෙන්නේ නැත. සාධනය කෙරෙහි ඇත්තේ ද විශ්වාසයක් හෙයිනි.

පහත ප්‍රශ්නෝත්තරවලින් මෙය ඉවර කරමු.

- දැනුම විශ්වාසයක් ද?

දැනුම විශ්වාසයක් නොවේ. ඒ දෙක දෙකකි.

- මෙයසූගේ බාහිර ලෝකය ගැන අදහස දැනුමක් ද විශ්වාසයක් ද?

එය දැනුමකි. ඔහුට ඒ ගැන සාධනයක් පවතී.

- මෙයසුගේ සාධනය අඩුපාඩු සහගත හෝ වැරදි බව අනාගතයේ පෙනීමේ හෝ පෙන්වීමේ ඉඩකඩක් තිබීමේ හැකියාවට ඔබ දෘෂ්ටිවාදීව විවෘත ද?

ඔව්.

- එසේ නම්, ඒ ඉඩකඩ යටතේ එවන් අවස්ථාවක අඩුපාඩු පෙන්වා දෙනු ලැබේ නම් බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව අදහස දැනුමක් බව තව දුරටත් කිව හැකි ද?

නැත. එය දැනුමක් නො වේ. ඔහුගේ අදහස අසත්‍ය බව එයින් ම කිව නො හැකි ය. තවත් සාධනයක් ගෙන ඒමට ඔහුට ඉඩකඩ පවතී. එහෙත් එතෙක් එය දැනුමක් නො වේ.

- එවන් ඉඩකඩක් යටතේ එසේ පෙන්වා දෙනු ලැබූ විට එතෙක් කල් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම පිළිබඳව දැන සිටි බව කිව හැකි ද?

නො හැකි ය. ඔහුගේ සාධනය වැරදි නිසා එය දැනුමක් නො වේ.

- එවිට එම කාලය තුළ ඔහු බාහිර ලෝකයක් විශ්වාස නොකළේ ද?

ඔහු බාහිර ලෝකයක් විශ්වාස කළේ ය. ඔහුගේ සාධනය සත්‍ය යැයි ඔහු විශ්වාස කළේ ය. මේ නිසා තමා බාහිර ලෝකයක් ඇතැයි දන්නවා යැයි විශ්වාසයක ද සිටියේ ය.

- දැන් මෙයසූ බාහිර ලෝකයක පැවැත්ම දන්නවා යැයි සිතා සිටි කාලය තුළ ම බාහිර ලෝකයක පැවැත්මක් විශ්වාස කර තිබෙනවා නො වේ ද? මේ නිසා විශ්වාසය හා දැනුම බහිෂ්කාරක යැයි කිව හැකි ද? සාධනයන් හා සාක්ෂ්‍ය අඩුපාඩු සහගත වීමේ දෘෂ්ටිවාදී ඉඩකඩ පිළිගැනීම යනු ම තමාගේ දැනුම විශ්වාසයක් වීමේ ඉඩකඩ පිළිගැනීම නො වේ ද? 

එවිට දැනුම විශ්වාසයක් නොවන්නේ කෙසේ ද? 

දැනුම සාක්ෂ්‍ය හා සාධන මඟින් අනුපූරනය වූ විශ්වාසයක් පමණි.

ගුරුත්ව හීනය

ඔන්න ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා මයි ඒක නෑ කියන්නේ මොන බූරුවෙක් ද කියල හිතන ලංකාවේ එකෙක් හීනයක් දකිනවා. හීනෙන් නිවුටන් අයින්ස්ටයින් එක්ක බර කතාවක.


අයින්ස්ටයින්: ගුරුත්වාකර්ෂණ බලයක් නෑ.

නිවුටන්: යකෝ එතකොට ඇපල් ගෙඩිය උඩ යන්නේ නැතුව ත්වරණයකින් බිමට වැටෙන්නේ ඇයි?

අයින්ස්ටයින්: වස්තුවකට බලයක් නැතිව ගමන් කළ නො හැකි ද?

නිවුටන්: ඔව්. ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්න පුළුවන්. (මගේ පළවෙනි නියමය)

අයින්ස්ටයින්: බලයක් නැතුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොහොම ද?

නිවුටන්: ඒක තමා අවකාශයේ හැටි.

අයින්ස්ටයින්: ඕයා දන්නේ කොහොම ද අවකාශයේ හැටි ඒකාකාර ප්‍රවේගයෙන් යන එක මයි වෙන විදිහක් නෙවේ කියලා.

නිවුටන්: ආ.. ඒ... මං මේ නිකම් හිතුවා.

අයින්ස්ටයින්: එතකොට මේ ඇපල් ගෙඩිය පහළට යන්නෙ ම අවකාශයේ හා කාලයේ සාමාන්‍ය ස්වභාවය නිසා වෙන්න බැරි ද?

නිවුටන්: සිරාවට! මට ඒක කල්පනා වුණේ නෑනේ.

දැන් හීනේ දකින ලංකාවේ එකාට ඉවසිල්ලක් නෑ. මිනිහා කඩන් පැන්නා සංවාදෙ මැද්දට

ලං:  ඒකාකාර වේගයෙන් වස්තු බලයක් නැති විට යන්නේ. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා.

නිවුටන්: සිරාවට! මම දන්නෙත් නෑනේ.

අයින්ස්ටයින්: මොනවා ද ඒ පරීක්ෂණ.

ලං: ආ.. ආ.. මේ... මේ..

අයින්ස්ටයින්: බලයක් නැති විට වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කාට සාපේක්ෂව ද?

ලං: පොළොවට. කියල නැත්නම් පොළොවට සාපේක්ෂව කියලා අපේ ටියුෂන් සරුත් කීවා.

නිවුටන්: පොළොවට!! මිනිහෝ මං පොළොව වටේ ඉර යනවයි කීවා කියල ද කියන්නේ.

ලං: නෑ නෑ. ඒ ඒ ගාණට ගැළපෙන රාමුවට සාපේක්ෂව ගන්න ඕනේ.

අයින්ස්ටයින්: කොහොම ද ඒ හරියන රාමුව හොයන්නේ.

ලං: අර... මේ...

නිවුටන්: ප්‍රශ්නයක් ආපු ගමන් උඹේ සර්ගෙන් අහන්න කියල ද කියන්නේ මොකක් ද රාමුව කියලා.

අයින්ස්ටයින්: ඇත්තට ම නිවුටන් කීවේ මොන රාමුවට සාපේක්ෂව ද ඕක.

නිවුටන්: හිස් අවකාශයට සාපේක්ෂව.

අයින්ස්ටයින්: එහෙම ද? එතකොට වස්තුවක් හිස් අවකාශයට සාපේක්ෂව චලනය වෙද්දී  වස්තුවට සාපේක්ෂව හිස් අවකාශයට වෙන්නේ මොකක් ද?

නිවුටන්: අනිත් අතට චලනය වෙනවා.

අයින්ස්ටයින්: හිස් නම් චලනය වෙන්නේ මොකක් ද?

නිවුටන්: (ඔළුව කසමින්) ඒක අවුලක් තමා. අදෘශ්‍යමාන ද්‍රව්‍යයක් ඊතරයක් අවකාශයේ තියෙනවා කියලා ගත්තොත් වැඩේ හරි වගේ නේ ද?

අයින්ස්ටයින්: එතකොට ආලෝකය

නිවුටන්: ඊතරයට සාපේක්ෂව තමයි යන්න ඕනේ.

අයින්ස්ටයින්: එහෙනම් එක එක්කෙනාට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේග වෙනස් වෙන්න ඕනේ.  ඒ වුණාට මයිකල්සන් හා මෝර්ලි ඔය පරීක්ෂණය කරලා බැලුවා. හැමෝට ම එන දෘශ්‍ය වේගය එක ම අගයක්.

නිවුටන්: එහෙනම් හිස් අවකාශය කතාව අවුලක් බව පිළිගන්නවා.

අයින්ස්ටයින්: එහෙම රාමුවක් නැත්නම් හිස් අවකාශයේ වස්තු මෙහෙම යනවා කියලා නිශ්චිතව කියන්න ඔයාට කොහොමත් බෑනේ. පළවෙනි නියමය ම අවුල් ජාලාවක්. උඹට කියන්න තිබ්බේ බලයක් නැති සියලු වස්තු නිදහසේ වැටේ කියලා.

ලං: ඒ වුණාට නිවුටන්ගේ සූත්‍ර හරි නේ ඒකෙන් හදපු පාලම් කඩන් වැටෙන්න එපැයි. හඳට රොකට් යන්නේ කොහොම ද? සූත්‍ර හරිනේ.

අයින්ස්ටයින්: නෑ වැරදියි.

නිවුටන්ගේ සූත්‍රයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂය ඉර වටේ කැරකීම තේරුම් ගන්න බෑ.

ආලෝකය එක ම ප්‍රවේගයක් තියාගෙන ස්කන්ධ ආසන්නයෙ නැවෙන විදිහ තේරුම් ගන්නත් බෑ.

ආලෝකය විශාල ස්කන්ධයකින් ඉවතට යද්දී ශක්තිය අඩුවෙන්නේ ඇයි සංඛ්‍යාතය අඩු වෙන්නේ කොහොම ද වගේ ඒවා කොහොමත් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් පැහැදිලි කරන්න ම බෑ.

නිවුටන්: එතකොට අයින්ස්ටයින් ඔයත් සමහර තැන්වල ගුරුත්වය වචනය පාවිච්චි කළා නේ. ඉතින් අවකාශයේ කාලයේ සාමාන්‍ය ස්වභාවය තමයි වස්තු මෙහෙම වැටෙන එක කියලා කෙලින් ම ගත්ත නම් ආයෙ අර වචනෙ පාවිච්චි කළේ ඇයි? ගුරුත්වජ කාච, ගුරුත්වජ තරංග.

අයින්ස්ටයින්: ඒ ඉතින් උඹ හදපු අවුල් තමා. උඹ කීවනේ බලයක් නැති වස්තු ඒකාකාර ප්‍රවේගවලින් මයි යන්නේ කියලා. මම කියන්නේ එහෙම් ම වෙන්න ඕනේ නෑ කියලා. ඔය උඹ කියන විදිහේ ස්වභාවයක් තියෙන අවකාශවලට පැතලි අවකාශකාල කියලා මම කිවුවා අවකාශකාලය පැතලි ස්වභාවය නොදක්වා වක්‍ර වෙන්න පුළුවන් කියලා. එහෙම පැතලි ස්වභාවය නො දැක්වීමට ගුරුත්වය වචනය නිකම් කීවට කමක් නෑ කියලා නම් මම කීවා. ඒ උඹ කියන අමුතු බලයක් හෝ අලුත් දෙයක් තියෙනවා කියන තේරුමක් නෙවේ.

හරියට නිරුවත වගේ. මිනිස්සු ඇඳුම් නිර්මාණය කරලා හැමෝ ම අඳින්න ගත්තට පස්සෙයි නිරුවත කියලා එකක් ආවේ. එතකම් ඒක සාමාන්‍ය ස්වභාවය. ඇඳුම් තමා කෘත්‍රිම. නිරුවත් මුවෝ, ගෝන්නු කියලා එකක් නෑනෙ. ඒ සාමාන්‍ය ස්වභාවය. උඹ කෘත්‍රිමව ඒකාකාර ප්‍රවේගයක් අනිවාර්ය කරලා ගෙනල්ලා ඒක පේන්නේ නැති තැන්වලට බලයක් කියලා එකක් ගෙනවා. උඹේ ගුරුත්වාකර්ෂණය ඇඳුම අනිවාර්යයි කියලා මුවෝ ගෝන්නු ඇඳන් ඉන්න ඇඳුම ට්‍රාන්ස්පේරන්ට් කියනවා වගේ කතාවක්. මං කියන්නේ ඇඳුම කියන්නේ අනිවාර්ය එකක් නෙවේ කියලා. ඒක ඇඳීම නො ඇඳීම සාමාන්‍ය ස්වභාවය.

ඉතින් මුවෝ ගෝන්නුන්ට නිරුවත් කියලා කීවට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම නිරුවත් කියන්නේ ට්‍රාන්ස්පේරන්‍ට් ඇඳුමකට නෙවේ.

ලං: එහෙම කොහොම ද? මගේ සර්ගේ ඉන්ද්‍රියන්ටත් දැනෙනවා ගුරුත්වාකර්ෂණය. තොපි දෙන්නා මේ බැල්කනියෙන් පහළට පැනපියව් ගුරුත්වාකර්ෂණය තියෙනවා ද බලන්න.

නිවුටන්: මගේ ප්‍රවාදය අනුවත් වැටෙන එකාට ගුරුත්වාකර්ෂණය තිබුණත් දැනෙන්න විදිහක් නෑ. ඉඳගෙන ගාණ හදන කෙනාට තමා ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල තියෙන්නේ. උඹ පැනපන් අපි ගාණ හදන්නම්..

ලං: ඔන්න මම පනිනවා එකායි දෙකායි තුනායි...

ලං: පොළොවේ වැදුණෝ ගුරුත්වාකර්ෂණය තියෙනෝ රිදුණෝ..

නිවුටන් හා අයින්ස්ටයින් (උඩ සිට) : ඔය ගුරුත්වාකර්ෂණය නෙවෙයි ඕයි, ආවේගය!

ලං: අම්මෝ!!

ලංකාවේ එකාගේ බිරිඳ:
උඹ මොකෝ මේ කෑ මොර දෙන්නේ. මට ගුරුත්වාකර්ෂණය දැනුණා මං නැතෝ කියාගෙන.

ලං: එතකොට මං ගුරුත්වාකර්ෂණය දැනුණා කියලා හිතං ඉඳලා තියෙන්නේ හීනෙන් ද??

කොරෝනා ගණිතය Math behind COVID-19

Covid-19 වගේ රෝගවල $R_0$ කියලා අංකයක් මේවාට ගණිතමය ආකෘති හදද්දී ඕනෙ වෙනවා.

$R_0$ reproductive number කියලා කියන්නේ එක රෝග ආසාදිතයෙක් ලෙඩේ නො හැදුණු මිනිස්සු යම් කිසි ගාණක් හම්බුණොත් ඒකෙන් කී දෙනෙක්ට සාමාන්‍යයෙන් ලෙඩේ හැදෙන්න පුළුවන් වෙයි ද කියන එක.

එතකොට සාමාන්‍යයෙන් ඔක්කොම මිනිස්සුන්ගෙන් කලින් ලෙඩේ හැදිලා නැති අයගේ අනුපාතය කීය ද කියන එක තමයි S කියලා කියන්නේ.

දැන් මිනිහෙක්‍ට හම්බුවෙන මිනිස්සු ඔක්කොම නිරෝගී නම් ඒ අයගෙන් $R_0$කට ලෙඩේ බෝවෙනවා. හැබැයි ඒ හම්බුණ මිනිස්සුන්ගෙන් S භාගයක් තමයි ඇත්තට ම නිරෝගී. එතකොට ලෙඩේ හැදෙන්නේ හම්බුණ මිනිස්සුන්ගෙන් $R_0S$ භාගයකට. මේ ගුණිතය 1 නම් දැනට රෝගී මිනිස්සු ගාණට සමාන ප්‍රමාණයකට තමයි ලෙඩේ බෝවෙන්නේ. එක්කෙනෙක් ලෙඩේ බෝ කරන්නේ හරියට ම තවත් එක්කෙනෙක්ට විතරයි. මේක endemic අවස්ථාව

මේ ගුණිතය 1ට වැඩි නම් එක්කෙනෙක් ගොඩකට රෝගය පතුරවන නිසා (ඝාතීය) වේගයෙන් පැතිරිලා යනවා. 1ට අඩු නම්  රෝගය අඩු වෙලා යනවා.

(උපකල්පන: ජනතාව රෝගීන් සමාකාරව පැතිරේ. රෝගය දෙවතාවක් නොවැළඳේ)

දැන් අපි COVID-19 ගැන කතා කරමු.
මේකේ $R_0$ අගයට 1.7 සිට 3 දක්වා අගයන් දෙනවා. බොහෝ අගයන් 2.28 කියන S Zhang ඉදිරිපත් කළ අගයට කිට්ටු නිසා මේ අගය අපි දැනට පාවිච්චි කරමු.

දැන් රෝගය endemic වෙන්න නම් $R_0S = 1$. $S= \frac{1}{R_0}$.

එතකොට S අගය 0.44ක් එනවා. ඒ කියන්නේ කිසි දා රෝගය නො වැළඳුණු ප්‍රමාණය මුළු ජනගහණයෙන් 0.44ක් වෙන්න ඕනේ. රෝගය මර්දනය වෙන්න නම් ඔය ප්‍රමාණය ඊට වඩා අඩු වෙන්න ඕනේ.

එතකොට එක් වරක් රෝගය වැළඳිලා තියෙන මුළු ප්‍රමාණය (q) 

          = 1- S = 0.56ක්

මේ කියන්නේ ජනගණයෙන් 56%කට වඩා රෝගය වැළඳුණාට පස්සෙයි මේක ස්වභාවිකව අඩු වෙලා යන්නේ.

මේ q අගයට තමා Herd immunity කියලා කියන්නේ.

මේ වගේ රෝග මොඩල් කරන්න SIR මොඩලය තියෙනවා (දැන් ඒකේ වැඩි දියුණු කරපු SEIR භාවිත වෙනවා)

මුළු ජනගහණය (N) = රෝගීන් (I) + රෝගය නොවැළඳුණු (S) + රෝගය සැදී සුවවුණු (R)
.....................................(1)

දැන් රෝගය නොවැළඳුණු අය අඩු වීමේ වේගය නොවැළඳුණු අය ප්‍රමාණයට සමානුපාතිකයි

dS/dt = - λ(I) S

මේ λ නියතය රෝගීන් අනුපාතයට (I/N) සමානුපාතිකයි

λ (I) = βIS

dS/dt = -  βIS/N

දැන් රෝගය සැදී සුවවුණු පිරිස වැඩිවන වේගය රෝගීන් ගාණට සමානුපාතිකයි.

dR/dt = γ I

දැන් (1) සමීකරණය අවකලනය කළහම

රෝගීන් සංඛ්‍යාව වැඩිවන වේගය

dI/dt = - dS/dt - dR/dt βIS/N-  γI

මේ නියත උඩ තමයි. ආකෘතිය හැදෙන්නේ.

SEIR මොඩල හදපු පත්‍රිකා කිහිපයක් දැනටත් තියෙනවා.

                       - තමලු මලිත්ත පියදිගම















අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි