2017.12.20 විදුසර
උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ
ගැලීලියෝ තමා සඳහා නිර්මාණය කරගත් කේන්දර සටහන
පුරා මාස හතක් ඇදී ගිය සංවාදයක් එහි අවසානය කරා එළඹී ඇත. පසුගිය සතියේ සැම්සන් මහතා සිය අවසන් ලිපිය ලියා තිබේ. මෙවර මගේ ලිපියෙන් සැම්සන් මහතා ප්‍රශ්න කළ නො හැකි වුවත් ඔහුගේ පසුගිය සතියේ ලිපියේද පවතින සාවද්‍ය කරුණු ගොන්න හෙළිදරවු කිරීම පාඨකයන් වෙනුවෙන් මා හට ඇති වගකීමකි. මෙනිසා ඉතා කෙටියෙන් සැම්සන් මහතාගේ ලිපියේ සාවද්‍ය කරුණු විමසීමට බලාපොරොත්තු වෙමි.
තරුවල පිහිටුම් වෙනස් වීම (stellar paradox) පිළිබඳ කරුණ සලකන විට මාස හයක දී ආසන්න තරුවල පිහිටීම් වෙනස් වීම මැනීමට ප්‍රබල උපකරණ අවශ්‍ය නොවේ යන සැම්සන් මහතාගේ ප්‍රකාශය අසත්‍යයකි. හිරුට ළඟින් ම ඇති තාරකාව වන ප්‍රොක්සිමා සෙන්චූරි තරුවේ මෙම කෝණය පවා විකලා 0.7687ක් පමණි. මෙය ඉතා ප්‍රබල උපකරණ මඟින් මිස නිරීක්ෂණය කිරීමට අපහසු ය. අනෙක් තාරකාවල මෙම අගය මීටත් වඩා කුඩා ය. අනෙක් අතට මේ සංසිද්ධිය පවා පෘථිවියට සාපේක්ෂ ඛගෝලයේ චලිතය මඟින් පහසුවෙන් පැහැදිලි කළ හැක්කකි. ඍතු භේදය පෘථිවි කේන්ද්‍රවාදය මඟින් පැහැදිලි කළ හැකි ආකාරය මම මීට පෙර දැක්වූයෙමි. සැම්සන් මහතා සූර්යයා පෘථිවිය වටා චලනය වීම අසත්‍යයක් බව පූර්ව උපකල්පනය කොට එම කරුණ මත ම ඍතු ඇති වීම එයින් පැහැදිලි කළ නො හැකි යැයි පවසමින් නැවත එය ම පෘථිවි කේන්ද්‍රවාදය අසත්‍ය බව කීමට උදාහරණයක් ලෙස ලබා දීම විසම චක්‍රයක හිරවීමකි. විසම චක්‍රයන්වල හිරවීම ශාස්ත්‍රීය අන්ධභාවය ඇති කරන්නකි. ජ්‍යෝතිෂ්‍ය නිර්මාණය කළ ඍෂිවරුන්ට තිබුණේ අල්ප දැනුමකි වැනි ප්‍රකාශ ද එලෙසින් ම කිසිදු ගැඹුරු අධ්‍යයනයකින් තොරව හිතුමතයේ කියන දේ පමණක් බවට සැක නැත. අපිචක්‍රක්‍රමය යල් පැන ගිය ක්‍රමයක් බවට ඔහු පවසන්නේ සාවද්‍ය කරුණකි. අපිචක්‍ර යනු ග්‍රහලෝක චලිතයේ ෆූරියර් ශ්‍රේණියයි. එය යල් පැන ගොස් නැත. ඍජුව ඉතා සංකීර්ණ ගණනයන් පවා පහසුවෙන් කිරීමට මෙය ඉතා හොඳ ක්‍රමවේදයකි. ග්‍රහයන් මිනිසුන් උපන් වෙලාවල් මතක තබා ගනිතැයි යන්න සැම්සන් මහතාගේ මනසේ පහළ වූ විපරීත සිතුවිල්ලක් මිස ජ්‍යෝතිෂ්‍ය පද්ධතිවල පැමිණෙන්නක් නො වේ. 1950 ආසන්න කාලයේ දී පාසල් අධ්‍යාපනය ලැබූ සුළුතරයක් පමණක් පොළොව ගෝලාකාර බව දැන සිටියේ නම් ඊට හේතුව වන්නේ විදේශීය ආක්‍රමණ නිසා අපගේ පැවති දේශීය අධ්‍යාපන ක්‍රමය පරිහානියට ගොස් තිබීම පමණි. එය බෞද්ධ මතය ලෙස හුවා දැක්වීම කෙතරම් අසාධාරණ ද? පැරණි සිංහල බෞද්ධයන් පොළොව ගෝලාකාර බව දැන සිටියේ යැයි මා පෙන්වූයේ ඉහළ මට්ටමේ පැරණි ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකකින් උදාහරණ දක්වමිනි.
මා වරක් බ්ලොග් අඩවියක් ගැන සඳහන් කළේ සැම්සන් මහතාට තමන් වැපුරූ දෙයෙහි ප්‍රතිඵල ලෙස නෙළන්නට වී ඇති ආන්තික ප්‍රචණ්ඩත්වය ගැන පෙන්වා දීමට මිස එයින් කරුණු දැක්වීමට නොවේ. එය මා නිශ්චිතව ම නො දැක්වුවේ මෙම සංවාදයේ ඔහු නොමැති බැවින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාවක් නොමැති තැනක ඔහුගේ නම සඳහන් කිරීම ආචාරධර්මීයව සුදුසු නොවන නිසා ය. මේ බව නොතේරෙන්නා සේ රංගනයක යෙදෙන සැම්සන් මහතා එය මගේ තර්කයන්ට මූලාශ්‍රයක් ලෙස හුවා දැක්වීමේ අසාර්ථක උත්සාහයක යෙදී ඇත.
මෙවන් සංවාදයක් ඇති වූයේ ඇයි දැයි මින්පසුව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි. බටහිර අධිරාජ්‍යවාදීන් අප රට යටත් කරගත් පසුව තම බලය පවත්වා ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය කළ හ. ඍජු ආධිපත්‍යය නොමැති අදත් ඔවුහු එම උපක්‍රම යොදති. දේශපාලන, ආර්ථික, සංස්කෘතික යන අංශ ඔස්සේ අධිරාජ්‍යවාදී බලපෑම් එල්ල කිරීම ගැන බොහෝ දෙනා දැනුවත් ය. ඊට එරෙහිව පෙළගැසීමට මිනිස්සු එකතු වෙති. අවාසනාවකට බටහිර ආධිපත්‍යය ගොඩනඟන සූක්ෂ්ම ම ආකාරය බොහෝ දෙනාට වැටහෙන්නේ නැත. ඒ දැනුම් ආධිපත්‍යයයි. මේ බව මුල් වරට හෙළිදරවු කොට දුන්නේ ආචාර්ය නලින් ද සිල්වා මහතා ය. ඒ විදුසර හා දිවයින පුවත්පත්වලිනි. බටහිරයන් ඔවුන්ගේ විද්‍යාව හා අනෙක් ශාස්ත්‍ර අපට උගන්වන්නේ අප කෙරෙහි අනුකම්පාවෙන් නො වේ. බටහිරයන්ගේ විද්‍යාව හා ශාස්ත්‍ර ගොඩනැඟී ඇත්තේ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත ය. එය අපගේ චින්තනයෙන් වෙනස් ය. එහෙයින් අපට මේ ආගන්තුක විද්‍යාවන්හි පතුළට කිඳා බැස නිර්මාණකරණයේ යෙදිය නො හැකි ය. අපට කළ හැක්කේ මතුපිට සුළු කාර්යයන් කිරීම පමණකි. බටහිර විද්‍යාවට සාදා දී ඇති ආධිපත්‍ය තුළ නිමිද්‍රව්‍ය, අමුද්‍රව්‍ය, ඖෂධ, තාක්ෂණය ආදී සියල්ල ආනයනය කෙරේ. මේ නිසා ඇති වී තිබෙන ප්‍රශ්නවල නිමක් නැත. යටත් විජිත පිහිට වූ මුල් කාලයේ ඇතැම් ඉංග්‍රීසින් ස්වදේශිකයන්ට බ්‍රිතාන්‍ය අධ්‍යාපනය දීමට එරෙහි විය. එහි දී පත්කර එවූ කමිටුවේ ප්‍රධානී මැකෝලි ස්වාමිවරයා එම අදහස ප්‍රතික්ෂේප කොට බටහිර අධ්‍යාපනය නියම කරමින් පැවසුවේ යටත් විජිතවල ලෙයින් හා හමින් ස්වදේශිකයන් වන සිතුම් පැතුම්වලින් හා සංස්කෘතියෙන් යුරෝපීයයන් වන ජන කොටසක් බිහි කළ යුතු බවයි. මෙය අර්බුදයේ එක් පැතිකඩකි. ආර්ථික ආධිපත්‍යය පවා දැනුම් ආධිපත්‍ය මත තීරණය වේ.
"ආර්ථික විද්‍යාඥයන් අපට පවසන්නේ භාණ්ඩයක මිල නියම වන්නේ වෙළෙඳ පොළෙහි බව ය. මිනිසාගෙන් ස්වායත්තව, ස්වාධීනව, වෙළෙඳ පොළෙහි නියම ක්‍රියාත්මක වන්නේ යැයි ඔවුහු අපට පවසති. ඉල්ලුම සැපයුම වැනි දෑ පදනම් කර ගෙන ගමේ වෙළඳ පොළෙහි සිට ලෝක වෙළෙඳ පොළ දක්වා සෑම තැනකදී ම මිල නියම වන බව අපට කියා දෙනු ලැබේ.එහෙත් එය මුසාවකි. ලෝක වෙළෙඳ පොළෙහි මිල නියම නොවේ. එහි දී සිදු වන්නේ මිල නියම කිරීමකි. මිල නියම කිරීම යනු මිල නියම වීම නොවේ. මිල නියම කෙරෙන්නේ මිනිසුන්ගේ මැදිහත් වීමෙනි. එහිදී ඉල්ලුම සැපයුමට වඩා බලපාන්නේ ලෝක අධිරාජ්‍යවාදයයි."
නිදහස දිනා ගැනීම , නලින් ද සිල්වා
(මේ හා සමගාමී අදහසක් ප්‍රෙබිෂ් හා සිංගර් යන ආර්ථික විශේෂඥයන්ගේ වාර්තා අනුව ද ලැබී ඇත)
අපට උගන්වන තාක්ෂණය පවා කාර්යක්ෂම නැත. සැබෑ තාක්ෂණික විධික්‍රම පවතින්නේ ව්‍යාපාරවල වෙළඳ රහස් ලෙස ය. බටහිර දැනුමෙන් අපට වැඩක් ගත නොහැකි බව බටහිරයෝ දනිති.
මේ උගුලෙන් ගැලවිය හැකි එක ම මඟ අපේ චින්තනය අනුව අපට හුරු පුරුදු අපේ විද්‍යාවන් ශාස්ත්‍රයන් තාක්ෂණයන් බිහිකිරීමයි. තිබූ මෙවන් දේ නැවත මතු කිරීමයි. අපගේ පැරණි ශාස්ත්‍රයන් අධ්‍යාත්මික වේ. ඒවා ජ්‍යෝතිෂ්‍යය හා ගුප්ත යැයි කියන විද්‍යා සමඟ ද බැඳී පවතී. අපගේ විද්‍යාවන් ගොඩනැඟීම පියවර කිහිපයකින් යුතු ය.
*අපගේ න්‍යාය (logic) හා ඥානවිභාගය (epistemology) හඳුනා ගැනීම
*පැරණි ශාස්ත්‍රවල මූලික මූලාශ්‍ර එක් රැස් කිරීම
*එම මූලාශ්‍ර නැවත මුද්‍රණය කිරීම, පරිවර්තනය කිරීම, ප්‍රචලිත කිරීම අධ්‍යයනය කිරීම
*ජ්‍යෝතිෂ්‍ය, ගුප්ත විද්‍යා හා අධ්‍යාත්මික ප්‍රපංච සමඟ බැඳුණු ශාස්ත්‍ර අධ්‍යයනය
*ජනප්‍රවාදවල කියැවෙන දැනුම් හා තාක්ෂණයන් ගවේෂණය
* අප විසින් නව දැනුම් නිර්මාණය කිරීම
* වෙනත් සංස්කෘතිවල දැනුම් අවශෝෂණය කිරීම
* අපගේ පැරණි ශාස්ත්‍ර සංශෝධයන්ට ලක් කරමින් නව දැනුම් නිපදවීම
මේ කටයුතු සාර්ථක කරගැනීමට අප අපගේ අතීත දැනුම වෙත යා යුතු ය.
බටහිර විද්‍යාව එක්තරා යුගයක ඉස්මතු වූයේ එවකට බටහිර සමාජයේ ගල්ගැසී තිබූ සමහර ඇදහිලි ප්‍රශ්න කිරීමෙනි. එයින් ඇරඹුණු බටහිර විද්‍යාව ක්‍රමයෙන් වර්ධනය වූ අතර උත්ප්‍රාසාත්මක ලෙස අද වන විට සිදු වී ඇත්තේ එය ද ගල් ගැසී ගිය තවත් ඇදහිල්ලක් බවට ම පත් වීමයි. එපමණක් නොව එය අධිරාජ්‍යවාදීන්ගේ මර්දක අවියක් ද වී ඇත.
මේ මධ්‍යකාලීන පල්ලිවලවත් නොතිබූ තරමට ම සීමාන්තික වූ විමර්ශනශීලීත්වයක් ඇති විද්‍යා පල්ලියේ මෙරට නියෝජිතයන් සේ පෙනී සිටින්නේ භෞතිකවාදී පිරිස් ය. ඔවුහු තමන් බටහිර විද්‍යාවේ නියෝජිතයන් බව පෙන්වාලමින් දේශීය පද්ධතිවලට පහර දෙති. හාස්‍ය ජනක ලෙස ඔවුන් එම පද්ධති හැඳින ගන්නේ අහුමුළුවලින් අල්ලා ගැනීමෙනි. බටහිර විද්‍යාව භක්තියෙන් ඇදහූව ද මොවුන්ට බටහිර විද්‍යාව පිළිබඳවවත් නිසි අවබෝධයක් නැත. මූලාශ්‍ර විකෘති කිරීමේ සිට සාවද්‍ය තර්ක හා අභියෝග එල්ල කිරීම දක්වාත් පුද්ගල නාම ප්‍රකාශන නාම හා නිලතල යොදා ගනිමින් ඒවා අධිකාරීත්වයෙන් පැටවීම දක්වා නොපණත්කම්වල මොවුහු නිරත වෙති. මොවුන්ගෙන් සමහරුන් වාචිකව අධිරාජ්‍ය විරෝධීන් වුව ද අවසාන අර්ථයෙන් මොවුන් සියල්ලන් ම අධිරාජ්‍යවාදීන්ගේ අතකොලු බවට පත්වී ඇත. එහෙයින් මොවුන්ගේ අධානග්‍රාහී බව, බොළඳකම හා මොවුන් අතින් කෙරෙන මූලාශ්‍ර විකෘති හා සාවද්‍ය කරුණු හා තර්ක දැක්වීම් හෙළි දරවු කිරීම දේශීය දැනුම් පද්ධතියක් කරා යන ගමනේ එක් මූලික පියවරකි. මොවුන් බෞද්ධ මූලාශ්‍ර ද විකෘති කරන බැවින් බුදු දහමේ සුරක්ෂිතභාවය සඳහාත් මෙය ඉතා වැදගත් ය.
ශාස්ත්‍රීය මට්ටමෙන් භෞතිකවාදී දර්ශනය හදාළ හා එය පිළිගත් කිහිප දෙනකු සමඟ අප කලක පටන් සමාජ මාධ්‍ය අවකාශයේ සංවාදයේ නිරත වීමු. එහි දී අපට පෙනී ගියේ සාමාන්‍ය ජනතාවගේ දර්ශන පිළිබඳ දැනුම ඉතා අවම මට්ටමක පවතින බවත් මේ වන විට ඉතිහාසයේ කුණු බක්කියට ම විසි වී ඇති හේතුවාදයේ අසාර්ථක බව පිළිබඳවත් සාමාන්‍ය ජනතාව නො දැනුවත් බව ය. භෞතිකවාදී යැයි කියන බොහෝ දෙනා ඉතා බොළඳ ගණයේ ඇති කොවුර්ගේ අභියෝග පවා ඉතා වැදගත් තර්ක බව සිතා සිටිති. සාමාන්‍ය ජනයාට මාධ්‍යවලින් විද්වතුන් ලෙස දකින්නට ලැබෙන්නේ ද දර්ශනය හෝ විද්‍යාව ගැන ප්‍රමාණවත් අධ්‍යයනයක් නො කළ එහෙන් මෙහෙන් අහුලාගත් දැයින් හිතු මතයේ අදහස් ප්‍රකාශ කරන ව්‍යවහාරික වෘත්තීන්වල නාමය භාවිත කරමින් සමාජ තත්වයක් ගොඩ නඟා ගත් පිරිසක් මිස සැබෑ අධ්‍යයනයක් කළ පිරිසක් නො වේ. මෙහි ප්‍රතිඵලය ලෙස භෞතිකවාදී සංවාදය ලෙස සාමාන්‍ය ජනයා හැඳිනගන්නේ ඉබාගාතේ කෙරෙන කේන්දර පුනර්භව විරෝධයකි. මෙවන් පිරිස් විද්වතුන් සේ හුවා දැක්වෙන විට අනෙක් පසින් ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාව පිළිබඳ ද මෙවන් නිසි අධ්‍යයනයෙන් තොර පිරිස්වලට මාධ්‍ය ඔස්සේ දොරගුලු විවෘත විය. මේ එක තැන පල් වෙන සංවාද රැල්ලෙන් ජනතාව මුදා ගැනීම අත්‍යවශ්‍ය කරුණකි.
හේතුවාදීන් සමඟ සංවාද කිරීම දර්ශනය විධිමත්ව උගත් බොහෝ දෙනා සලකන්නේ කිලිටි රාජකාරියක් ලෙසිනි. එහෙත් මා විශ්වාස කරන්නේ සාමාන්‍ය ජනතාව අතරට නොගොසින් සීමිත පිරිසක් අතර සංවාද කිරීම අපගේ යුතුකම නොවන බවයි. සාමාන්‍ය ජනතාව කොටු වී සිටින මේ සිරගෙය බිඳ දමා ඔවුන්ට ආලෝකය සැපයීම අපගේ වගකීමකි. මීට ආරම්භයක් වශයෙන් මා විදුසර තෝරා ගත්තේ එය ලංකාවේ අනාගත පරපුරට බලපෑම් කළ හැකි එමෙන් ම බුද්ධිමත් ශිෂ්‍යයින් වෙත ආමන්ත්‍රණය කිරීමට යොදා ගත හැකි විමර්ශනශීලී පාඨක පිරිසක් එක් රොක් වී සිටිනා පුවත්පතක් නිසාවෙනි. ලංකාවේ හේතුවාදීන්ගේ ප්‍රධාන මාතෘකාව ජ්‍යෝතිෂ්‍ය විරෝධයයි. කේ.ආර්. අභයසිංහ මහතා මෙහි පළ කළ "ජ්‍යෝතිෂ්‍යය මුළාවක් ම ය" ලිපියට ඉතා කෙටි පිළිතුරු ලිපියක් මා සැපයූයේ ඒ අනුව ය. එම ප්‍රතිචාරය සංවාදයක් බවට හරවමින් විදුසර පාඨකයන්ගේ දැනුමේ නිම් වළලු පුළුල් වීමට අවස්ථාවක් සැපයීම පිළිබඳව අභයසිංහ මහතාට අප සියල්ලන්ගේ ම කෘතඥතාව හිමි විය යුතු ය. ඉන්පසුව සංවාදයට එක් වූ සැම්සන් ගුණතිලක මහතාට ද මාහට සහය දක්වමින් සංවාදයට එළඹුණු දිලුම් සෙනවිරත්න මහතාට ද මාගේ ස්තූතිය හිමි වේ. අභයසිංහ මහතා මට කිසිසේත් අදාළ නොවන ආචාර්ය ඒබ්‍රහම් ටී කොවුර්ගේ අභියෝග පිළිබඳ නිතර නිතර සඳහන් කිරීම හේතුවෙන් මේ සංවාදය අතරතුර දී මා සතිඅන්ත ජාතික පුවත්පතක කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීයභාවය හෙළි දරවු කරමින් ලිපි පෙළක් පළ කළෙමි. ඒ කාර්යයට මා යොමු කිරීම පිළිබඳව ඒ මහතාට ස්තූතිවන්ත වෙමි. මාස හතක සංවාදයකින් පසු පාඨකයන්ට දැන ගත හැකි වූයේ කුමක් දැයි මීළඟට අපි විමසා බලමු.
සංවාදයට එළඹෙමින් මා පියවර දෙකකින් තර්ක කළෙමි. පළමු පියවර වූයේ පෘථිවි කේන්ද්‍රවාදය ද සූර්ය කේන්ද්‍රවාදය හා සමාන නිරවද්‍යතාවයෙන් ම ප්‍රතිඵල ලබා දෙන බැවින් පෘථිවි කේන්ද්‍රවාදය මත ගොඩනැඟුණු නිසා ජ්‍යෝතිෂ්‍යය බැහැර කළ නො හැකි යන්න ය. දෙවැනි පියවර වූයේ ජ්‍යෝතිෂ්‍යයේ සිදු කෙරෙන්නේ මිනිස් සමාජයේ චක්‍රීය හැසිරීම් ආකාශ වස්තූන්ගේ චක්‍රීය චලිත රටා සමඟ ගැළපීමක් බවයි. වෙනත් අයුරකින් කියන්නේ නම් මිනිස් සමාජයේ ඇතැම් හැසිරීම් කාලයේ ශ්‍රිත ලෙස පවතී. අප කාලය මනින්නේ ආකාශ වස්තුවල චලිතයන් පාදක කර ගනිමින් (උදා දිනය, වසර) බැවින් අවසානයේ මෙම ශ්‍රිත ග්‍රහ චලිතයන්හි ශ්‍රිත ම වේ. එනම් ග්‍රහ පිහිටීම් අනුව අනාවැකි කීමේ හැකියාවක් ඇත. ඒ බව හේතුවාදීන්ට බැහැර කළ නො හැකි ය. හේතුවාදීන් කියන පරිදි මනස මොළයේ ප්‍රතිඵලයක් නම් මෙහි පදනම ඉතා දැඩි ලෙස ශක්තිමත් වේ. එ නිසා හේතුවාදීන්ට නම් කෙසේවත් ම ජ්‍යොතිෂයට විරුද්ධ විය නො හැකි ය.
මින් පළමු පියවරට අපගේ ප්‍රතිවාදී පාර්ශ්වය එකඟ විය. දෙවන පියවරට පිළිතුරක් මේ මාස හතේ දී ම ලැබුණේ නැත. එය නො දුටුවා සේ ම සිටීම ප්‍රශ්න කළ විට එය නව කල්පිතයක් ලෙස නම් කරමින් ඒ සඳහා මවෙත සුබ පැතුමක් ද සැම්සන් මහතාගෙන් ලැබුණි. එය කල්පිතයක් නොව ව්‍යුත්පන්නයක් බව මා පෙන්වා දුන් පසු ඊට ප්‍රතිචාරයක් දැක්වීමට හේතුවාදී පාර්ශ්වය අපොහොසත් විය. මේ අපගේ සංවාදයේ අරටුවයි. මාස හතක් තිස්සේ ම ඒ අරටුව අසළකින්වත් පොරෝ පහරක් වැදුණේ නැත.
මෙසේ ජ්‍යෝතිෂ්‍යයේ සෛද්ධාන්තික විභවය පිළිබඳ කේන්ද්‍රීය තර්කය නිරුපද්‍රිතව තිබිය දී සංවාදය සිදුවූයේ පරිධියේ කරුණුවල ය. එයින් කිසිසේත් ම පාඨකයන්ට අවැඩක් නොවන්නට ඇත. අතීත පෙරදිග ජනයා පොළොව ගෝලාකාර බව දැන සිටි බව, ෂෝන් කාල්සන් පරීක්ෂණ ආදී ජ්‍යෝතිෂ්‍ය විරෝධී පරීක්ෂණවල අසාර්ථකත්වය, සූර්ය කේන්ද්‍රවාදය පෘථිවි කේන්ද්‍රවාදයට වඩා නිවැරදි හෝ දියුණු නොවන බව, සාපේක්ෂතාවාදය, ගුප්ත විද්‍යාව බෘනෝගේ මරණය හා කොපර්නිකස් ගැලීලියෝ සම්බන්ධ සැබෑ ඉතිහාසය අපිචක්‍ර සූර්ය සිද්ධාන්තය පිළිබඳ දැනුම් සම්භාරයක් පාඨකයන්ට ලැබෙන්නට ඇත. මේ සංවාදයෙන් ජ්‍යෝතිෂ්‍ය විරෝධියකුට තම මතය සනාථ කිරීමට උපයෝගී කරගත හැකි තර්ක කීයක් ලැබෙන්නට ඇති ද? එය පාඨකයන්ට සිතා බැලීමට ප්‍රශ්නයක් සේ ඉතුරු කරමි.
හේතුවාදීන් මූලාශ්‍ර විකෘති කරන ආකාරයත් නක්ඛත්ත ජාතකය කාලාම සූත්‍රය විකෘති ලෙස අර්ථ දක්වන ආකාරයත් මෙහි දී හෙළි දරවු වූ අතර දාර්ශනික තලයේ හේතුවාදයේ භෞතිකවාදයේ පරාජය ගැනත් පාඨකයන්ට අවබෝධයක් ලැබෙන්නට ඇත. ශාක පුනර්භවයට පත් නොවන්නේ ඇයි ද යන්නට මා දුන් පිළිතුරට ද අභියෝග එල්ල වූයේ නැත.
කෙසේ නමුත් හේතුවාදීන්ගේ පෘථිවි කේන්ද්‍රවාද විරෝධී හා ජ්‍යෝතිෂ්‍ය විරෝධී සුපුරුදු තර්ක කිහිපයක් මෙහි ඉස්මතු වූයේ නැත. එකක් නම් රාහු හා කේතු යනු කල්පිත ග්‍රහයන් ය යන්නයි. මොවුන්ට අමතක වන්නේ අප භාවිත කරන විද්‍යුත් මෙවලම් නිර්මාණය කිරීමේ දී ධන සිට ඍණට ගලන කල්පිත ධාරාවක (සම්මත ධාරාවක) සංකල්පය යොදා ගත් බවයි. අර්ධ සන්නායකවල ඇති කුහර ද එවැනි කල්පිත සංකල්පයකි. පෘථිවි කේන්ද්‍රවාදයට විරුද්ධව ආලෝකය යොදා ගෙන කළ පරීක්ෂණ ප්‍රතිඵල සියල්ල ම මයිකල්සන් මෝර්ලි පරීක්ෂණය හා සාපේක්ෂතාවාදය හේතුවෙන් වර්තමානයේ දී ප්‍රතික්ෂේපව ගොස් තිබේ. කොරියෝලිස් බල පිළිබඳ තර්ක සාපේක්ෂතාවාදයේ එන කොරියෝලිස් ක්ෂේත්‍රය ආදී සංකල්ප මඟින් අවලංගුව ගොස් ඇත. සිකුරු ග්‍රහයාගේ කලා පිළිබඳව ප්‍රශ්නය ඇති වූයේ ග්‍රහ කක්ෂ භෞතික පථ යැයි සිතූ ටොලමි ඒවා එකිනෙක කැපී නොයන සේ ඇඳීමේ අරමුණ උදෙසා ම කක්ෂ විකෘති කළ නිසා ය. කක්ෂය නිවැරදිව ඇන්දේ නම් මෙයින් පෘථිවි කේන්ද්‍රවාදයට කිසිදු අර්බුදයක් නැත. බුදුන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය තිරශ්චීන විද්‍යාවක් යැයි දේශනා කළ බව ද අසත්‍යයකි. උන් වහන්සේ තිරශ්චීන විද්‍යාව ලෙස හැඳින්වූයේ පැවිද්දන් මේවායේ යෙදෙමින් මුදල් ඉපයීමයි. එම ලැයිස්තුවේ ජ්‍යෝතිෂ්‍ය පමණක් නොව වෙදකම් සැත්කම් භෞතික විද්‍යාව සත්ත්ව විද්‍යාව තාරකා විද්‍යාව වැනි විෂයන් පවා ඇත.
පෙරදිග ජ්‍යෝතිෂ්‍යයේ අපිචක්‍ර ක්‍රමය බටහිර ජ්‍යෝතිෂ්‍යයට වෙනස් ය. දැන් සංවාදය අවසානයට එළඹී ඇති බැවින් එය මේ තුළ සඳහන් නො කොට වෙන ම සන්සන්දනාත්මක ලිපියක් ලෙස ඉදිරිපත් කරමි. සූර්ය සිද්ධාන්තය ග්‍රන්ථයේ පරිච්ඡේද කිහිපයක මා පොරොන්දු වූ පරිවර්තනය එම ලිපියේ ම පළකරමි.
ටස්කනි ඩියුක්වරයාගේ ගැලීලියෝ සෑදූ කේන්දරය
හමාර කිරීමට මත්තෙන් කිව යුත්තේ සූර්ය කේන්ද්‍රවාදයෙන් ජ්‍යෝතිෂ්‍යයට තර්ජනයක් නැති බව අමුතුවෙන් පැහැදිලි කිරීමට පවා දෙයක් නැති බවයි. මේ ඉතාලියේ සිටි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ ප්‍රකාශයකි.
Mercury rising is very strong for all things, and Jupiter which is conjunct gives knowledge and bounty, simplicity, humanity, erudition and prudence.
මේ ජ්‍යෝතිෂ්‍යවේදියා වෙන කවරකුත් නොව පාදුවා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට එකල වෙදකම් කිරීමට අවශ්‍ය වූ ජ්‍යෝතිෂ්‍යය ඉගැන්වූ ගැලීලියෝ ගැලීලි ය. මා මේ උපුටා ගත්තේ ගැලීලියෝ සිය බාල දියණියගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහනෙන් කොටසකි. ගැලීලියෝ ටස්කනිහි ඩියුක්වරයාගේ ජන්ම පත්‍රය විග්‍රහ කළ සටහන ද මා සතුව ඇත. ගැලීලියෝ තමා අනාවරණය කරගත් බ්‍රහස්පති චන්ද්‍රයන් ඇසුරෙන් ද අනාවැකි කියූ බව මින් පෙනේ. (විස්තර සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ The Inspiration of Astronomical Phenomena සම්මන්ත්‍රණයට Nick Kollerstrom ඉදිරිපත් කළ How Galileo Dedicated the Moons of
Jupiter to Cosimo II de Medici පත්‍රිකාව බලන්න) ගැලීලියෝ බ්‍රහස්පති ගැන සඳහන් කරමින් ලිවූ Sidereus Nuncius ග්‍රන්ථය ඇරඹෙන්නේ බ්‍රහස්පතිගේ සුබ ඵල, අසුබ ඵල ගුණ දැක්වීමෙනි. ගැලීලියෝ පමණක් නොව ජොහැනස් කෙප්ලර් ද එකල සිටි ප්‍රමුඛ පෙළේ ජ්‍යෝතිෂ්‍යවේදියෙකි. ඔහු නව පැරණි ජ්‍යෝතිෂ්‍යයෙන් මිදී නව ජ්‍යෝතිෂ්‍ය පද්ධතියක් සකසමින් එය Science of harmonics ලෙස නම් කළේ ය. මේ උපුටා ගැනීම ඔහුගෙනි.
'The soul of the newly born baby is marked for life by the pattern of the stars at the moment it comes into the world, unconsciously remembers it, and remains sensitive to the return of configurations of a similar kind.'
Kepler, Harmonics Mundi, chapter 7
ආරම්භක සූර්ය කේන්ද්‍රවාදීහු ද ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයෝ ය.
ලෝකයේ විවිධ ජ්‍යෝතිෂ්‍ය පද්ධති පවතී. සාධාරණව ජ්‍යෝතිෂ්‍යයෙන් සිදුවන්නේ මා මගේ මූලික තර්කයේ සඳහන් කළ දේ ය. එය බිඳ දැමීමට ශක්තියක් හේතුවාදයට නම් කිසි ලෙසකින්වත් ඇතැයි නො සිතමි.
මේ සංවාදය අවසානයේ පාඨකයන් වෙත දීමට මට ඇති පණිවිඩය වන්නේ අපගේ චින්තනයේ දැනුම් පද්ධතියක් වෙත යාමේ දී ඊට බාධක ලෙස පෙනෙන බොහෝ දේ ව්‍යාජ මවා පෙන්වීම් හා විකෘති කිරීම් පමණක් බවයි. අවශ්‍ය උනන්දුව ඇතිනම් බටහිර ආධිපත්‍යයෙන් පෙන්වන ඉතිහාස කතා, සත්‍ය බවට ඔප්පු වී ඇත්තාක් මෙන් ස්ථිර ලෙස අප වෙත ඉදිරිපත් කරන කරුණු ආදිය ගැඹුරෙන් විමසා බිඳ හෙළා දමමින් අපගේ පැරණි දැනුම් අධ්‍යයනය කිරීමට හැකි බවයි. බටහිර විලාසිතාවන්ට යට වී ජ්‍යෝතිෂ්‍ය හෝ ගුප්ත විද්‍යාව දෙස ශාස්ත්‍රීය ඇසකින් නො බලමින් ඒවාට ගරහමින් වීරයකු හා බුද්ධිමතකු විය හැකි ය යන සිතුවිල්ල හා මෙම ආධිපත්‍යයට යට වීම නිසා ඒවා ගැන අධ්‍යයනයට මැලිවීම ඔබ තුළින් තුරන් කර දැමිය හැකි නම් අප මේ වෙළී සිටිනා අධිරාජ්‍යවාදී මර උගුල පුපුරවාහැර නිදහස් නිවහල් ස්වයංපෝෂිත රටක් දකිනා දිනය වැඩි ඈතක නොවනු ඇත.
Sargedrioගේ ගැලීලියෝ සෑදූ කේන්දරය
පුරා මාස හතක් අප හා රැඳී සිටි නොයෙක්වර අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් අප දිරිමත් කළ පාඨකයන්ට ස්තූතිය පළ කිරීමට මේ අවස්ථාව යොදා ගනිමි.
බටහිර විද්‍යාව ගොඩනැඟුණු ආකාරය, එහි ආධිපත්‍යය හා විද්‍යාත්මක ක්‍රමය නමින් මවා පෙන්වන ව්‍යාජයේ සැබෑ මුහුණුවර පිළිබඳව වටහා ගැනීමට ඇති අගනා පොත් කිහිපයක් ලෙස නලින් ද සිල්වා මහතාගේ මගේ ලෝකය, විද්‍යා කතන්දර, අපේ ප්‍රවාද යන ග්‍රන්ථ ද පෝල් ෆයරාබන්ඩ් මහතාගේ Against Method ග්‍රන්ථය හා Farewell to Reason ග්‍රන්ථය ද, ජෙරමි ලෙන්ට් මහතාගේ Patterning Instinct ග්‍රන්ථය ද විමර්ශනශීලී පාඨකයන්ගේ අවධානයට යොමු කරන්නේ ඔවුන්ගේ දැනුම වර්ධනය උදෙසා ය.
විශේෂ සටහන: පත්‍රයේ ඉඩකඩ කළමනාකරණය කරගනිමින් අපගේ දීර්ඝ ලිපිවලට පවා ඉඩ ලබා දෙමින් මෙම සංවාදයට සිය සහයෝගය දැක්වූ විදුසර කර්තෘතුමාට හා කාර්යය මණ්ඩලයට ද අපගේ ප්‍රණාමය හිමි වේ.