- භාෂාවක් බිහිවන්නේ යම් චින්තනයක ය. එහෙයින් චින්තනයේ ලක්ෂණ භාෂාවේ ගැබ් වනු ඇත.
- භාෂාව සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. උගතුන් මෙන් ම පොදු ජනතාව ද භාෂාවක පෝෂණයට එක සේ දායක වෙති.
- භාෂාවේ රටා ඇති වීමේ පදනම සන්නිවේදනයේ උභයාර්ථ (අදහස පැටලිලි සහිත වීම - ambiguity ) අවම කර ගැනීමට භාෂාව කතා කරගන්නන් නිරන්තරයෙන් ඇති කරගන්නා එකඟතාවයයි. (මේ එකඟතාව නිරතුරුව ම සිදුවන්නක් මිස විශේෂයෙන් වාචිකව හෝ ලිඛිතව ගන්නා එකඟතාවන් නො වේ.)
- ව්‍යාකරණය යනු යම් භාෂාවක නිරවුල් ව්‍යවහාරවල ස්වභාවය හඳුනා ගැනීම හා ගොනු කිරීමයි. ව්‍යාකරණයේ මූලික වැදගත්කම අවුල්සහගත භාෂා භාවිත නිරවුල් කර ගැනීමට මඟ සැරසීමයි.
- ව්‍යාකරණය සූත්‍ර ගත නො කළ ද ඉහත කී එකඟතා මත භාෂාව හැඩගැස්වෙනු ඇත. ව්‍යාකරණඥයන් ගේ කාර්යභාරය විය යුත්තේ මේ නිරවුල් භාෂා භාවිතවල පොදු ලක්ෂණ මනාව හඳුනා ගෙන ගොනු කිරීම මිස ව්‍යාකරණයේ අච්චුවට භාෂාව සිර කිරීම නොවේ.
- භාෂාවේ අවුල්සහගත බව වැඩි වීම සිදුවන බව පෙනෙන තැන්වල දී එය වැළැක්වීමට ව්‍යාකරණඥයින් ඉදිරියට ආ යුතු නො වන බව මින් නො කියවේ. එවන් අවස්ථාවල ඉදිරියට පැමිණීම ව්‍යාකරණඥයන් ගේ කාර්යභාරය ය.
- භාෂා රටා ව්‍යාකරණයකට ගොනු කිරීම ඉතා අපහසු කාර්යක් වන අතර බොහෝ විට එය සර්වසම්පූර්ණ නො වනු ඇත. කාලය සමඟ භාෂා රටාවන් වෙනස් වීම ද සිදුවනු ඇත. මේ නිසා ව්‍යාකරණඥයින් නිරතුරු ව්‍යාකරණයට ප්‍රවාද නිර්මාණය කරමින් ව්‍යාකරණය වැඩි දියුණු කර ගත යුතු ය.
- සංස්කෘත පාලි ව්‍යාකරණ දෙස බලා ඒ අනුව මෙන් ම ඇතැම් විට ඊට එරෙහිව ද නිර්මාණය කර ඇති සිංහල ව්‍යාකරණය දෘඪ නීති පද්ධතියක් ලෙස නො සැලකිය යුතු ය. ඒවා පිළිබඳ විචාරාත්මක බැල්මක් හෙළීම අත්‍යවශ්‍ය කටයුත්තකි. >>>ලිපියට
- සිංහල භාෂාවේ කාල භේදයක් පවතින බව මුල් ම ව්‍යාකරණ ග්‍රන්ථවල සිට කිය වේ. මේ ග්‍රන්ථ සැකසුණේ සංස්කෘත පාලි ව්‍යාකරණ ග්‍රන්ථ ඇසුරිනි. ඒවාට අනුව සිංහලයේ ක්‍රියාපදවල කාල තුනක් ඇත. (අතීත, වර්තමාන, අනාගත)
- කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දුන්නේ වර්තමාන , අනාගත වෙනස වැරදි හඳුනා ගැනීමක් බවයි. එහෙයින් වර්තමාන , අනාගත දෙක තනි කාලයක් ලෙස ඉන්පසු ගැනිණි. කුමාරතුංග මුනිදාසයන් ගේ මතයට අනුව ඇත්තේ කාල දෙකකි. අතීත අනතීත ලෙසයි. ( හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ඉදිරිපත් කළ අදහසකට අනුව සිංහලයේ ඇත්තේ අතීත, අනාගත පමණි. මේ රූපික ව්‍යාකරණය ඇසුරෙන් ගත් තර්කයක් නොව දර්ශනය ඇසුරෙන් ගත් තර්කයකි. )
- කුමාරතුංග මුනිදාස මහතා ක්‍රියාපදවල රූපීය වෙනසේ ආකාර නිසි ලෙස සූත්‍ර ගත කළේ ය. එහෙත් රූපීය වෙනස කාලය සම්බන්ධව ම බැඳී ඇත් දැයි යන්න ගැන විශේෂයෙන් සොයා බැලූ බව නො පෙනේ. (එතුමාට ද පෙනුණු එක් හුදෙකලා ගැටලුකාරී අවස්ථාවක් ව්‍යාකරණ විවරණයේ ඇත. ඊට පෙර සිටි කර්තෘවරුන්ට ද ගැටලුකාරී අවස්ථා හමු වුව ද ඒවා ව්‍යතිරේක - කිරිය පෙරළි - ලෙස සලකා මඟ හැර දැමුණු අතර ඒ පිළිබඳ විශේෂයෙන් විමසා නො බැලූ බවක් පෙනේ.) >>>1. ලිපියට
- ව්‍යාකරණයේ ක්‍රියා පදවල පවතින රූපීය වෙනස අතීත අනතීත කාල මඟින් ඇති වෙන්නක් නො වන බව පෙන්වීමට උත්සාහ කරන්නකු කළ යුත්තේ අතීත කාල යැයි කියන ක්‍රියා පද අනතීත කාලයේ අර්ථයෙනුත් අනතීත කාලයේ යැයි කියන ක්‍රියා පද අතීත කාලයේ අර්ථයෙනුත් යෙදී ඇති බව පෙන්වීම ය. පැරණි ගද්‍ය හා පද්‍ය ,නූතන ගද්‍ය හා පද්‍ය සමඟ කටවහර ද ඇසුරෙන් මේ සඳහා උදාහරණ දක්වා තිබේ. >>>2. ලිපියට >>>3. ලිපියට >>> 4. ලිපියට
- ව්‍යාකරණඥයින් මෙයින් ම තෘප්තිමත් නො වනු ඇත. මෙසේ වන්නේ අවස්ථා කිහිපයක පමණක් විය නො හැකි දැයි ඔවුන් මට පිළිතුරු දෙනු ඇත. මා ඔවුන්ට ආරාධනා කරන්නේ සාහිත්‍ය හා කටවහර විමසා බලන ලෙසයි. ඔවුන් එවිට මේ සඳහා උදාහරණ අති විශාල සංඛ්‍යාවක් ඇති බවත් වැඩියෙන් ම ඇත්තේ එබඳු අවස්ථා ම බව කීම පවා අතිශයෝක්තියක් නො වන බවත් තමන් ම අවබෝධ කරගනු ඇත.
- එහෙත් ඔවුන් මෙයින් තෘප්තිමත් නො වී මෙය රචකයා විසින් භාවිත කළ උපක්‍රමයකියි කිව හැකි ය. රචකයා සිතූ දේ අපට දැන ගත නො හැකි බැවින් ඔවුන් ගේ මේ තර්කය බිඳ හෙළිය හැක්කේ දෙයාකාරයකින් පමණි. එකක් නම් එබඳු අවස්ථාවල දී පවත්නා ව්‍යාකරණයට ගැළපෙන සේ පද මාරු කිරීමෙන් අර්ථය විකෘති වන බව පෙන්වීමයි. අනෙක සියලු අවස්ථා ම පාහේ වෙනත් අයුරකින් විග්‍රහ කළ හැකි බව පෙන්වීමෙනි. එනම් දැනට පවත්නා ව්‍යාකරණයට අනුකූල අනනුකූල අවස්ථා සියල්ල ම පාහේ ආවරණය කළ හැකි ආකාරයක් පවතින බවත් එහි පදනම කාලය නොවන බවත් පෙන්වීමයි.
- මෙහි දී මම නිමිත, අනිමිත නමින් නව භේදයක් හඳුන්වා දී කාල භේදය ප්‍රතික්ෂේප කරමි >>>5. ලිපියට >>>6. ලිපියට >>>7. ලිපියට
- මෙහි දීත් පැරණි ක්‍රමයට ම ප්‍රිය කරන ගතානුගතික ව්‍යාකරණ ලෝලියකු මෙසේ කිව හැකි ය. පැරණි ක්‍රමය සත්‍ය ලෙස සලකා ඒ අනුව සාහිත්‍යයේ හා කටවහරේ දෝෂ නිවැරදි කළ යුතු ය. ඉතා සුලබව එන බව මා කලිනුත් සඳහන් කර ඇති පැරණි නීතිය උල්ලංඝනය වීමේ සියලු අවස්ථා 'නිවැරදි' කිරීමේ අමනොඥ තීරණය සිය කර මතට ගැනීමට ඔහුට හෝ ඇයට ම බාර දී ඔහු හෝ ඇය කෙරෙහි අනුකම්පා කරමි. ව්‍යාකරණ සාදන්නේ භාෂාව උදෙසා ද , භාෂාව සාදන්නේ ව්‍යාකරණ උදෙසා දැයි යන්න පමණක් මා ඔහු හෝ ඇයගෙන් වැඩි දුරටත් විමසා සිටින එක ම පැනයයි. ඊට වඩා ව්‍යාකරණයේ මේ සුළු වෙනස කිරීම ප්‍රායෝගික නො වේ ද?
- දැන් සමහරුන් කියනු ඇත්තේ දැන් අපට මෙතෙක් ඉගැන්වූ දේ වෙනස් කිරීමට සිදු වේ ද යන්නයි. මම 'ඔව්' කියා පිළිතුරු දෙමි. ව්‍යාකරණයේ මූලික කාර්යභාරය ගුරුවරුන්ට රැකියා අවස්ථා ලබා දීමවත් විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න සැපයීමවත් නො වන බැවිනි. අධ්‍යාපනයේ ප්‍රගතියක් දැකීමට නම් අලුත් දෙයකට හැඩ ගැසීමට බැරි ගුරුවරුන් එක්කෝ තම මානසිකත්වය වෙනස්කරගත යුතු ය. නැතිනම් එසේ කළ හැකි අයට ඉඩ දී ඉවත් විය යුතු ය. සිංහලයේ කාල තුනක් ඇති බව බොහෝ කලකට පෙර ප්‍රතික්ෂේප වීත් අධ්‍යාපන අමාත්‍යාංශය විෂය නිර්දේශවලට කුමාරතුංග මුනිදාස මතය ඇතුළත් කොට බොහෝ කලක් ගත වී තිබිය දීත් පැරණි මතය ම තව ම ඉගැන්වෙන්නේ අවිචාරශීලී ගුරුවරුන් නිසා ය. ඔවුන් විචාරශීලී වන තෙක් ව්‍යාකරණයේ වර්ධනය නැවැත්වීම සිදු කළ යුත්තක් නො වේ.
No comments:
Post a Comment