Testing Testing
පරවි කූඩු මූලධර්මය - Pigeonhole Principle.
පරවි කූඩු මූලධර්මය - Pigeonhole Principle.
සාධාරණීකෘත සත්‍ය විශ්වාස දැනුම ද? - ගෙටියර්
සාධාරණීකෘත සත්‍ය විශ්වාස දැනුම ද?
- එඩ්මන්ඩ් ගෙටියර් 1963 Analysis
සටහන්:
ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු
ඔක්සිජන්වලට එරෙහිව පරිසරය බේරා ගනිමු
දිලිත්ගේ යෝජනාව
දිලිත් ජයවීර අමුතු යෝජනාවක් කර තිබෙන බැවින් මේ ගැන යමක් ලිවිය යුතු ම ය. නැතිනම් මේවාට අපත් කැමති යැයි සිතීමට ඉඩ ඇති නිසා මෙය ලියා තබමි. බෙදා හරින ලෙස ද ඉල්ලමි.
දිලිත් ජයවීර මහතා අලි සබ්‍රි වෙත අධිකරණ ඇමති ධූරය යෝජනා කර තිබේ.. මෙයට එක හෙළා ම අප විරුද්ධ බව සඳහන් කළ යුතු ය.
අලි සබ්‍රි ජනාධිපතිවරයාට සහය වූ අයකු ලෙස මන්ත්‍රීධූරයක් දීම වරදක් නො වේ. මට ඔහු ගැන එතරම් පැහැදීමක් නැතත් ඒ සඳහා මගේ අකැමැත්තක් නැත. එහෙත් අධිකරණ ඇමති ධූරය දීම සඳහා දිලිත්ගේ යෝජනාව තරයේ ම ප්‍රතික්ෂේප කරමු.
පළමුව පෞද්ගලික නීතිඥවරයා අධිකරණ ඇමති කිරීම හොඳ පූර්වාදර්ශයක් නො වේ..
අනෙක් අතට ඡන්ද ව්‍යාපාරය තුළ සිදු වී සිද්ධි දෙකක් නිසා අලි සබ්‍රි පිළිබඳව විශ්වාසය පළුදු වී ඇත.
1. මා අකැමැති ම පුද්ගලයකු වන්නේ මධුමාධවයි.. එහෙත් ඔහුව නිහඬ කිරීම සිදුවූයේ ඔහුගේ පක්ෂයේ ගම්මන්පිලට ද උඩින් ගොස් අලි සබ්‍රිගේ මැදිහත් වීම නිසා ය.. අනෙක් අතට මධු මාධවගේ වැඩ කටයුතු ගැන ප්‍රසාදයක් නැතත් එවේලේ අදාළ කරගත් කතාවේ ඇති ප්‍රශ්නයක් මට නම් පෙනෙන්නේ නැත.
2. සිංහල වෙනුවට ශ්‍රී ලාංකික උප්පැන්න සහතිකයේ යෙදීම මාරයි යන්න අලි සබ්‍රි ද මූලික වී කළ ප්‍රචාරයකි..
මේ නිසා ඔහු ගැන පැහැදීම අපට පළුදු වී ඇත. යම් තනතුරක් දීමට විරුද්ධ නැතත් ඔහුට පැමිණි මුල් මොහොතේ ම අධිකාරණ ඇමති ධූරය වැන්නක් දීමට අප තරයේ විරුද්ධ ය.
මෙය මෙසේ ම ලියුවේ මෙය දිලිත් ජයවීර යෝජනා කර ඇති බව දුටු බැවිනි. ඒ නිසා එය සැලකිය යුතු බරකින් සලකන්නට ඉඩ තිබේ..
මේ නිසා අප තරයේ ම ඊට විරුද්ධ බව සටහන් කර තබමි.
- තමලු
විසංවාදයට විකල්ප පැවැත්ම Alterity to Contradiction
විසංවාදයට විකල්ප පැවැත්ම
- තමලු මලිත්ත පියදිගම
අනිවාර්ය වූ දෙයක් (necessary entity) ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදය පරම වශයෙන් සිදු නොහැකි යැයි ප්‍රතික්ෂේප කොට දැමිය හැකි ද?
මෙයසූගේ දර්ශනය අනුව ආපාතිකත්වය (contingency) (ඇතැම් විට සත්‍ය වීමටත් තවත් විටක අසත්‍ය වීමටත් ඇති හැකියාව) පරමවශයෙන් අනිවාර්යය ය. මේ නිසා සියලු විට පැවැතිය යුතු දෙයක් තිබිය නො හැකි ය. මේ අනිවාර්ය වූ දෙයක පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමයි.
විසංවාදී (contradiction) දෙයක් අනිවාර්ය දෙයක් වේ යැයි කිව හැකි නම් අනිවාර්ය දේ ප්‍රතික්ෂේප කරන්නකුට විසංවාදී දේ ප්‍රතික්ෂේප කළ හැකි ය.
විසංවාදී දෙයක් තවත් දෙයකට පරිවර්තනය විය නො හැකි ද? එනම් විසංවාදී දෙයකට එහි නො වීම ලෙස වෙනත් දෙයක් නොපවතී ද?
1. යම් වස්තුවක් එක් ගති ගුණයකින් විසංවාදී වී තවත් ගති ගුණයකින් එසේ නො විය හැකි ය.
එවිට එම වස්තුවට මුල් ගති ගුණයේ පැවැත්ම හා නොපැවැත්ම දෙක ම තිබුණ ද දෙවනි ගති ගුණය එසේ නැති නිසා වෙනස් විය හැකි ය. වෙනෙකකට පරිවර්තනය විය හැකි ය.
එම නිසා විසංවාදී වස්තුවක් අනිවාර්ය නො වේ.
මෙවන් වස්තුවක් බැහැර කිරීමට මෙයසූට තර්කයක් නැත. ඔහු කියන්නේ මෙවන් ආකාර වස්තු ගැන සංගත අදහසක් මෙතෙක් ඉදිරිපත්ව නැති බවයි. පාර-සංගත තර්ක ශාස්ත්‍රය වස්තුවක් ගැන ප්‍රතිවිරුද්ධ ප්‍රස්තුත එකට පැවැත්ම පමණක් මිස එක ම වස්තුවේ ප්‍රතිවිරුද්ධ ගුණ තිබීමක් ගැන නොකියන බව ඔහු කියයි.
චතුස්කෝටිකය පිළිබඳ සාක්ච්ඡාව අත් හළ ද ක්වොන්ටම් භෞතික විද්‍යාව යනු සංගත වූත් විසංවාදී වූත් ප්‍රයෝජ්‍යතාවක් ඇති ආනුභවිකව පරීක්ෂා කර බැලිය හැකි පිළිතුරු ලබා දෙන එවන් පද්ධතියකි.
සාමාන්‍යයෙන් සම්භාවිතාව ආපතිකත්වය (contingency) සම්බන්ධ කතාවකි. වස්තුවකට යම් යම් අවස්ථා සමූහයකින් එක් අවස්ථාවක් ගත හැකි ය. ඒ සියලු අවස්ථා ගැනීමේ සම්භාවිතා තිබීම යනු එක ම වස්තුවේ වාර විශාල ගණනක් හෝ සමරූපී වස්තු විශාල ගණනක විවිධ අවස්ථා ආපතිකව ලබා ගන්නා අවස්ථාවල අනුපාතයි.
දැන් ක්වොන්ටම් භෞතිකය එසේ නො වේ. සඟල සිදුරු පරීක්ෂණයේ සිදුරු දෙක ම විවෘත විට ඒ ඒ සිදුරුවලින් යාමේ සම්භාවිතාව යනු ඉලෙක්ට්‍රෝන විශාල ගණනකින් එක් එක් ඉලෙක්ට්‍රෝනය එක් එක් සිදුරෙන් යෑමෙන් ඇතිවන අනුපාතය නො වේ. එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යෑමේ ප්‍රතිඵල ඒ ඒ අනුපාතයෙන් ඇති කරයි.
ක්වොන්ටම් භෞතිකයේ සම්භාවිතාව විසංවාදයේ මිම්මකි. එනම් එක ම ඉලෙක්ට්‍රෝනය සිදුරු දෙකින් ම යා හැකි ය. එහෙත් ඒ තැන් දෙකේ ඉලෙක්ට්‍රෝනයේ පිටපත් දෙකක් නොපවතී. ඇත්තේ එක ඉලෙක්ට්‍රෝනයකි.
දැන් මෙවන් පද්ධතියක් ඇති විට එය මඟ හැර යාම මෙයසුගේ වරදකි.
2. මෙයසුට අනුව මෙතෙක් විස්තර කොට ඇති විසංවාදී පද්ධති තාර්කිකව අසංගත (inconsistence) ද වේ. එනම් විසංවාදයක් ඇත් නම් එහි සියලු ම දේ විසංවාදී වේ.
දැන් මෙයසූ බැහැර කරන්නේ විසංවාදී පද්ධති නොව අසංගත පද්ධතිය.
අසංගත පද්ධතියක් වෙනස් නොවීම අනිවාර්ය ද?
මෙයසූ උදාහරණයට ගන්නේ සියල්ල ඇති වී නැති වෙන ඕඝයක් (flux) වූ පද්ධතියකි.
ඔහුට අනුව පැවැත්ම නොපැවැත්ම දෙක ම මෙහි එකවිට ඇති නිසා පවතින විට ද නොපවතියි, නොපවතින විට ද පවතියි.
එම නිසා මෙය වෙනත් යමකට පෙරළීමට නො හැකි ය. කවර විටකත් එය පවතින බැවින් එය අනිවාර්යතාවකි. එම නිසා එය බැහැර කළ හැකි ය.
මෙය අසාර්ථක තර්කයකි. මෙවන් අසංගත පද්ධතියක විස්තරය හඳුනා ගැනීම හා සමඟ ම එය ශුද්ධ පැවැත්මෙන් හා ශුද්ධ නොපැවැත්මෙන් වෙන් කර ගැනෙයි. එනම් මෙවන් පද්ධතියක හා ශුද්ධ පැවැත්ම හෝ නොපැවැත්ම ලෙස හඳුනා ගන්නා පද්ධතියක පැහැදිලි විභේදනයක් ඇත. එහෙයින් මේ අසංගත පද්ධතියට අසංගත නොවන ශුද්ධ පැවැත්මේ හෝ නො පැවැත්මේ පද්ධතියක් විය හැකි ය.
පැවැත්ම හා නොපැවැත්ම එක විට පවතින පද්ධතියක් එක්වර ම ශුද්ධ පැවැත්ම පමණක් වන සේ නොපැවැත්ම රහිත අන්‍ය ස්වභාවයකට පත්වීම හෝ පැවැත්මේ සංරචකය සිඳී ගොස් ශුද්ධ නොපැවැත්මේ අන්‍ය ස්වභාවයකට පත් වීම සිදු විය හැකි ය. මෙවන් අන්‍ය ස්වභාව ඇති නිසා අසංගත පද්ධතියක් අනිවාර්ය නො වේ.
මෙය චතුස්කෝටිකයේ අගයන් හා කෝටික පිළිබඳව කතාව ය. චතුස්කෝටිකයේ අගයන් දෙකෙහි එක් අගයක් ලබාගත් අගයන් දෙක ම ලබා ගත් අගයන් කිසිවක් ලබා නො ගත් සේ විකල්ප (කෝටික) සතරක් ඇත. විසංවාදී හෝ අසංගත අවස්ථා අනිවාර්යතා නො වේ.
මෙයසුගේ විශ්වාසය
මෙයසුගේ විශ්වාසය
- අනෙක් අතට දැනුමක් වීම සඳහා හේතුවුණු සාධනය කෙරෙහි ඇත්තේ විශ්වාසයකි. එහි සාවද්‍යතා සඳහා දෘෂ්ටිවාදී ඉඩකඩ තබා ගැනීම යනු එය විශ්වාසයක් බවට පත් වීමයි. එවිට් එම සාධනයෙන් යුක්ති යුක්ත කෙරෙන දැනුම විශ්වාසයක් නො වන්නේ කෙසේ ද? ඒ දැනුමට සාධනයක් ඇති බව සැබෑ ය. සාධනයක් තිබීමෙන් එය විශ්වාසයක් නො වී තිබෙන්නේ නැත. සාධනය කෙරෙහි ඇත්තේ ද විශ්වාසයක් හෙයිනි.
ගුරුත්ව හීනය
අයින්ස්ටයින්: ගුරුත්වාකර්ෂණ බලයක් නෑ.
නිවුටන්: යකෝ එතකොට ඇපල් ගෙඩිය උඩ යන්නේ නැතුව ත්වරණයකින් බිමට වැටෙන්නේ ඇයි?
අයින්ස්ටයින්: වස්තුවකට බලයක් නැතිව ගමන් කළ නො හැකි ද?
නිවුටන්: ඔව්. ඒකාකාර ප්‍රවේගයෙන් නම් යන්න පුළුවන්. (මගේ පළවෙනි නියමය)
අයින්ස්ටයින්: බලයක් නැතුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කොහොම ද?
නිවුටන්: ඒක තමා අවකාශයේ හැටි.
අයින්ස්ටයින්: ඕයා දන්නේ කොහොම ද අවකාශයේ හැටි ඒකාකාර ප්‍රවේගයෙන් යන එක මයි වෙන විදිහක් නෙවේ කියලා.
නිවුටන්: ආ.. ඒ... මං මේ නිකම් හිතුවා.
අයින්ස්ටයින්: එතකොට මේ ඇපල් ගෙඩිය පහළට යන්නෙ ම අවකාශයේ හා කාලයේ සාමාන්‍ය ස්වභාවය නිසා වෙන්න බැරි ද?
නිවුටන්: සිරාවට! මට ඒක කල්පනා වුණේ නෑනේ.
දැන් හීනේ දකින ලංකාවේ එකාට ඉවසිල්ලක් නෑ. මිනිහා කඩන් පැන්නා සංවාදෙ මැද්දට
ලං: ඒකාකාර වේගයෙන් වස්තු බලයක් නැති විට යන්නේ. පරීක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙනවා.
නිවුටන්: සිරාවට! මම දන්නෙත් නෑනේ.
අයින්ස්ටයින්: මොනවා ද ඒ පරීක්ෂණ.
ලං: ආ.. ආ.. මේ... මේ..
අයින්ස්ටයින්: බලයක් නැති විට වස්තුව ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ කාට සාපේක්ෂව ද?
ලං: පොළොවට. කියල නැත්නම් පොළොවට සාපේක්ෂව කියලා අපේ ටියුෂන් සරුත් කීවා.
නිවුටන්: පොළොවට!! මිනිහෝ මං පොළොව වටේ ඉර යනවයි කීවා කියල ද කියන්නේ.
ලං: නෑ නෑ. ඒ ඒ ගාණට ගැළපෙන රාමුවට සාපේක්ෂව ගන්න ඕනේ.
අයින්ස්ටයින්: කොහොම ද ඒ හරියන රාමුව හොයන්නේ.
ලං: අර... මේ...
නිවුටන්: ප්‍රශ්නයක් ආපු ගමන් උඹේ සර්ගෙන් අහන්න කියල ද කියන්නේ මොකක් ද රාමුව කියලා.
අයින්ස්ටයින්: ඇත්තට ම නිවුටන් කීවේ මොන රාමුවට සාපේක්ෂව ද ඕක.
නිවුටන්: හිස් අවකාශයට සාපේක්ෂව.
අයින්ස්ටයින්: එහෙම ද? එතකොට වස්තුවක් හිස් අවකාශයට සාපේක්ෂව චලනය වෙද්දී වස්තුවට සාපේක්ෂව හිස් අවකාශයට වෙන්නේ මොකක් ද?
නිවුටන්: අනිත් අතට චලනය වෙනවා.
අයින්ස්ටයින්: හිස් නම් චලනය වෙන්නේ මොකක් ද?
නිවුටන්: (ඔළුව කසමින්) ඒක අවුලක් තමා. අදෘශ්‍යමාන ද්‍රව්‍යයක් ඊතරයක් අවකාශයේ තියෙනවා කියලා ගත්තොත් වැඩේ හරි වගේ නේ ද?
අයින්ස්ටයින්: එතකොට ආලෝකය
නිවුටන්: ඊතරයට සාපේක්ෂව තමයි යන්න ඕනේ.
අයින්ස්ටයින්: එහෙනම් එක එක්කෙනාට සාපේක්ෂව ආලෝකයේ ප්‍රවේග වෙනස් වෙන්න ඕනේ. ඒ වුණාට මයිකල්සන් හා මෝර්ලි ඔය පරීක්ෂණය කරලා බැලුවා. හැමෝට ම එන දෘශ්‍ය වේගය එක ම අගයක්.
නිවුටන්: එහෙනම් හිස් අවකාශය කතාව අවුලක් බව පිළිගන්නවා.
අයින්ස්ටයින්: එහෙම රාමුවක් නැත්නම් හිස් අවකාශයේ වස්තු මෙහෙම යනවා කියලා නිශ්චිතව කියන්න ඔයාට කොහොමත් බෑනේ. පළවෙනි නියමය ම අවුල් ජාලාවක්. උඹට කියන්න තිබ්බේ බලයක් නැති සියලු වස්තු නිදහසේ වැටේ කියලා.
ලං: ඒ වුණාට නිවුටන්ගේ සූත්‍ර හරි නේ ඒකෙන් හදපු පාලම් කඩන් වැටෙන්න එපැයි. හඳට රොකට් යන්නේ කොහොම ද? සූත්‍ර හරිනේ.
අයින්ස්ටයින්: නෑ වැරදියි.
නිවුටන්ගේ සූත්‍රයෙන් බුධ ග්‍රහයාගේ කක්ෂය ඉර වටේ කැරකීම තේරුම් ගන්න බෑ.
ආලෝකය එක ම ප්‍රවේගයක් තියාගෙන ස්කන්ධ ආසන්නයෙ නැවෙන විදිහ තේරුම් ගන්නත් බෑ.
ආලෝකය විශාල ස්කන්ධයකින් ඉවතට යද්දී ශක්තිය අඩුවෙන්නේ ඇයි සංඛ්‍යාතය අඩු වෙන්නේ කොහොම ද වගේ ඒවා කොහොමත් නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණයෙන් පැහැදිලි කරන්න ම බෑ.
නිවුටන්: එතකොට අයින්ස්ටයින් ඔයත් සමහර තැන්වල ගුරුත්වය වචනය පාවිච්චි කළා නේ. ඉතින් අවකාශයේ කාලයේ සාමාන්‍ය ස්වභාවය තමයි වස්තු මෙහෙම වැටෙන එක කියලා කෙලින් ම ගත්ත නම් ආයෙ අර වචනෙ පාවිච්චි කළේ ඇයි? ගුරුත්වජ කාච, ගුරුත්වජ තරංග.
අයින්ස්ටයින්: ඒ ඉතින් උඹ හදපු අවුල් තමා. උඹ කීවනේ බලයක් නැති වස්තු ඒකාකාර ප්‍රවේගවලින් මයි යන්නේ කියලා. මම කියන්නේ එහෙම් ම වෙන්න ඕනේ නෑ කියලා. ඔය උඹ කියන විදිහේ ස්වභාවයක් තියෙන අවකාශවලට පැතලි අවකාශකාල කියලා මම කිවුවා අවකාශකාලය පැතලි ස්වභාවය නොදක්වා වක්‍ර වෙන්න පුළුවන් කියලා. එහෙම පැතලි ස්වභාවය නො දැක්වීමට ගුරුත්වය වචනය නිකම් කීවට කමක් නෑ කියලා නම් මම කීවා. ඒ උඹ කියන අමුතු බලයක් හෝ අලුත් දෙයක් තියෙනවා කියන තේරුමක් නෙවේ.
හරියට නිරුවත වගේ. මිනිස්සු ඇඳුම් නිර්මාණය කරලා හැමෝ ම අඳින්න ගත්තට පස්සෙයි නිරුවත කියලා එකක් ආවේ. එතකම් ඒක සාමාන්‍ය ස්වභාවය. ඇඳුම් තමා කෘත්‍රිම. නිරුවත් මුවෝ, ගෝන්නු කියලා එකක් නෑනෙ. ඒ සාමාන්‍ය ස්වභාවය. උඹ කෘත්‍රිමව ඒකාකාර ප්‍රවේගයක් අනිවාර්ය කරලා ගෙනල්ලා ඒක පේන්නේ නැති තැන්වලට බලයක් කියලා එකක් ගෙනවා. උඹේ ගුරුත්වාකර්ෂණය ඇඳුම අනිවාර්යයි කියලා මුවෝ ගෝන්නු ඇඳන් ඉන්න ඇඳුම ට්‍රාන්ස්පේරන්ට් කියනවා වගේ කතාවක්. මං කියන්නේ ඇඳුම කියන්නේ අනිවාර්ය එකක් නෙවේ කියලා. ඒක ඇඳීම නො ඇඳීම සාමාන්‍ය ස්වභාවය.
ඉතින් මුවෝ ගෝන්නුන්ට නිරුවත් කියලා කීවට මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මම නිරුවත් කියන්නේ ට්‍රාන්ස්පේරන්‍ට් ඇඳුමකට නෙවේ.
ලං: එහෙම කොහොම ද? මගේ සර්ගේ ඉන්ද්‍රියන්ටත් දැනෙනවා ගුරුත්වාකර්ෂණය. තොපි දෙන්නා මේ බැල්කනියෙන් පහළට පැනපියව් ගුරුත්වාකර්ෂණය තියෙනවා ද බලන්න.
නිවුටන්: මගේ ප්‍රවාදය අනුවත් වැටෙන එකාට ගුරුත්වාකර්ෂණය තිබුණත් දැනෙන්න විදිහක් නෑ. ඉඳගෙන ගාණ හදන කෙනාට තමා ගුරුත්වාකර්ෂණයේ ප්‍රතිඵල තියෙන්නේ. උඹ පැනපන් අපි ගාණ හදන්නම්..
ලං: ඔන්න මම පනිනවා එකායි දෙකායි තුනායි...
ලං: පොළොවේ වැදුණෝ ගුරුත්වාකර්ෂණය තියෙනෝ රිදුණෝ..
නිවුටන් හා අයින්ස්ටයින් (උඩ සිට) : ඔය ගුරුත්වාකර්ෂණය නෙවෙයි ඕයි, ආවේගය!
ලං: අම්මෝ!!
ලංකාවේ එකාගේ බිරිඳ:
උඹ මොකෝ මේ කෑ මොර දෙන්නේ. මට ගුරුත්වාකර්ෂණය දැනුණා මං නැතෝ කියාගෙන.
ලං: එතකොට මං ගුරුත්වාකර්ෂණය දැනුණා කියලා හිතං ඉඳලා තියෙන්නේ හීනෙන් ද??
කොරෝනා ගණිතය Math behind COVID-19
λ (I) = βIS
ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?
ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි?
ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය
මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා නිසා ය යන විවරණ දෙක ම දුර්වල මට්ටමේ විවරණ ය. දූෂණ චෝදනා කවර ආණ්ඩුවකටත් එල්ල වෙන ඒවා ය. අර කියන රත්තරන් අස්සයන් අවුරුදු පහට ම හමුවුණේ ද නැත. ඉතා මෝඩ පහේ යූඑන්පීකාරයකු අහුවෙන්න හොරකම් නොකරන බව ද බිම් මට්ටමේ අඳබාල ජවිපේ සාමාජිකයන් ඩීල් බයිලාව ද යොදා ගනිමින් මෙය පැහැදිලි කරනු ඇත. මේ ආණ්ඩුවට අවුරුදු පහට ම හොයන්න බැරි වුණු දේවල් මිනිස්සු විශ්වාසනීයව දැනගත්තේ කෙසේ ද යන දේ පිළිබඳව මේ අදේශපාලනික යූඑන්පීකාරයා සැලකිලිමත් වන්නේ නැත. ඩීල් තිබේ නම් එක් පාර්ශ්වයක් පමණක් නරක වෙන හේතුව අඳබාල ජවිපේ සාමාජිකයාට ද තේරෙන්නේ නැත. (අපි කාටවත් කඩේ යන්නේ නෑ කියන මෝඩ ම ජවිපේ සාමාජිකයන්ට ෆොන්සේකාට ජනාධිපතිවරණයට හා ඊට පසුවත් පාප්ප බාල්දි උස්සන් කඩේ ගිය ආකාරය මත ම නැත.)
මේ වංචා දූෂණ හෝ වෙනත් නම්වලින් මතුපිටට පැමිණියේ වෙනත් අර්බුදයකි. වෙනත් ආතතියකි.
ඉස්සර අපිට රටක් රාජ්ජයක් තිබුණි. සුද්දෝ අපෙන් රට ලියාගෙන අපේ රටත් රාජ්ජයත් නැති කළ හ. අපි උන්ට දුන්නේ නම් අපේ රට රාජ්ජය රැකගෙන ආණ්ඩු කරන්න ය. උඩරට ගිවිසුම ඉරා දැමූ සුද්දෝ කෝල්බෲක් ප්‍රතිසංස්කරණයේ සිට අපේ රාජ්ජය විනාස කොට උන්ගේ රාජ්ජයක් මේ රටේ පිහිටවූ හ. අපේ අධ්‍යාපනය, සෞඛ්‍ය, වගාව, වෙළඳාම නැති කොට සියල්ල උන්ගේ ක්‍රියාපිළිවෙළ අනුව මූලධර්ම අනුව සිදුවන උන්ගේ රාජ්ජයක් ඇති විය. පසුව අපට අපේ රට ලැබුණත් අපේ රාජ්ජය නම් නොලැබුණි. අපට ලැබුණේ උන්ගේ රාජ්ජයකි. අප උන්ගේ රාජ්ජය කොයි විදිහට අරගෙන ගියත් අපට සෙතක් නො වේ. එන්න එන්නට උන් ම බලවත් වීම අප උන්ට පරාධීන වීමට සිදුවේ. කෙසේ නමුත් අපි අපේ රාජ්ජයක් නැති අපේ රටේ කල් ගෙවමු.
එංගලන්තය හා ඉන්දියාවත් බටහිර අධිපතිවාදී සංස්ථාපනයත් නැති කළ අපේ රාජ්ජය පමණක් නොව අපේ රට ද නැති කිරීමට උත්සාහ කරති. උන් කිරි දී හදාගත් ප්‍රභාකරන් ද නිරාගමික තක්කඩි තරුණ පරපුරේ කලාකරුවන් හිවල් සමාජය මෙරට සිංහල බෞද්ධ රටක් නොවේ කියන මංගල සමරවීරලා, චන්ද්‍රිකා කුමාරතුංගලා ආදී එකී මෙකී නරුමයන් පිරිවරාගත් බලවේග අපට අපේ රට ද නැතිකිරීමට යත්න දරති.
ප්‍රභාකරන්ගේ බරපතළ තර්ජනයෙන් විනාශයට යා නො දී අපේ රට එයින් රැකගත්තේ මහින්ද ය. ජනතාව ද ඔහුට ගරු බුහුමන් දැක්වී ය. එහෙත් පාලන කාලය අතරතුරේ දී ජනතාව ඔහු ගැන යම් අයුරකින් කළකිරුණි.
ප්‍රශ්නය වූයේ අපේ රට බේරාගත් මහින්දට පාලනය කරන්නට ඇත්තේ අපේ රට උඩ උන්ගේ රාජ්ජයක් වීම ය. උන්ගේ රාජ්ජය අපේ යහපත පිණිස පවතින්නක් නො වේ. ඒ රාජ්ජයේ ආර්ථික, දේශපාලන, සංස්කෘතික පිළිවෙත අපට එරෙහිව යයි. මේ රාජ්ජයේ හා රටේ පරස්පරය උඩ උන්ගේ රාජ්ජය මෙහෙයවන මහින්දගේ කුමක් දෝ ප්‍රශ්නයක් පවතින බව ජනතාවට දැනුණි. එය වෙනත් වෙනත් ආකාරවලින් එළිපිටට ආව ද එහි පතුළේ ඇත්තේ මෙම ප්‍රශ්නයයි.
මේ ආතතියෙන් වාසිගත් විජාතික බලවේගයන් රටට සතුරු දේශපාලන බලයක් ඇති කළ හ. විජාතික බලවේගවල මෙහෙයවීම හේතුවෙනුත් මංගල සමරවීරලා වැනි තක්කඩියන් හා ආර්ථික විශේෂඥයන්, විද්වතුන් ආදී වශයෙන් හදුන්වා ගන්නා තවත් තක්කඩියන් පිරිසකුත් අන්තවාදීන්ට කප්පන් දීමෙනුත් හැසිරවෙන රටට සතුරු එජාප ය ද ජාතිකත්ව විරෝධය දේශපාලන මාවත ලෙස හඳුනාගත් මාක්ස්වාදී ලිබරල්වාදීන් හීනමාන කලාකරුවන් ඇතුළු තක්කඩියන් පිරිවරාගත් ජවිපෙය ද රටට සතුරු බලවේග ලෙස පෙළ ගැසී ඇත.
ගෝඨාභය වටා සිටින කඳවුරේ තවමත් වැඩි බලය රටට හිතකර පිරිස් අතේ පැවතුණ ද එම කඳවුර තුළ ද විජාතික මතධාරී තක්කඩියන් හා සැඟවී සිටින දෙපිටකාට්ටුවන් සැලකිය යුතු පිරිසක් ඇති බව කිව යුතු ය. විශේෂයෙන් ම මේවන විට පොහොට්ටුවේ වැඩි බලය එවන් පිරිස් වෙත ඇති බව ද සඳහන් කළ යුතුයි. වාසනාවකට ගෝඨාභය වටා ඇති කඳවුර යන්න පොහොට්ටුව මඟින් ම මෙහෙයවෙන්නක් නො වේ. එනිසා සමස්ත කඳවුර පිළිබඳ සුබවාදී හැඟීමක් ඇත.
ගෝඨාභය මහතාගෙන් ඉල්ලා සිටීමට ඇත්තේ පොහොට්ටුව ලකුණෙන් ඡන්දයට ඉදිරිපත් වුවද පොහොට්ටුවේ සාමාජිකත්වය නො ගන්නා ලෙස ය. ඒ සමඟ ම ඔබේ කඳවුරේ සිටින තක්කඩියන් ද බැහැර කර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු. (ඔබ සමඟ මුල් ම කාලයේ සිටි එවන් අයකු ඒ පිළිබඳව ඔබට විරෝධය පළකරන අවදියේ අප සමඟ වාදයට ආ අනුගාමිකයන් අනාථ කොට රුසියාවට පැනගොස් දැන් රඟන භූමිකාව ම ඔබට මේ සඳහා පූර්වාදර්ශයකි.)
කනගාටුදායක ලෙස ඔබට ද මෙහෙයවීමට ලබා දෙන්නේ අපේ රට උඩ ඇති උන්ගේ රාජ්ජයකි. රටට සතුරන් පරාජය වුව ද උන්ගේ රාජ්ජය ඔබ මෙහෙයවන විට ස්වභාවික ලෙස ම ජනතාව තුළ කළකිරීම් ඇති වීමට බොහෝ ඉඩ ඇත. එබැවින් ඔබෙන් ඉල්ලා සිටින්නේ අපේ රට ද රැකගෙන ඒ මත ඇති උන්ගේ රාජ්ජය අවසන් කොට අපේ රාජ්ජයක් පටන් ගැනීමට පෙරමුණ ගන්නා ලෙසයි. ඒ සඳහා ඔබට හැකියාව තිබුණ ද එතරම් ශක්තිමත් පදනමක් කඳවුර තුළින් නැඟ ඒවි ද යන්න ගැන ඇත්තේ බොඳ වූ බලාපොරොත්තුවකි.
ඔබෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා පියවර කීපයක් හෝ ගන්නා ලෙස ය. එවිට ඔබගේ නාමය අපේ රාජ්ජයේ සදාකල් නොමැකෙනු ඇත්තේ ය.
ජනතාවට පැවසිය යුතුව ඇත්තේ එජාප, ජවිපේ හා පොහොට්ටුවේ බලය හිමි විජාතික මතධාරී කුඩා කණ්ඩායම ලෙස පරාජය කළ යුතු විජාතික බලවේග තුනක් ඇති බවයි. මේ බලවේග පරාජය කළ හැක්කේ එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස පරාජය කොට ගෝඨාභය ජනපතිධූරයට පත් කිරීමෙන් හා ඉන්පසු එජාපය හා ජවිපෙය තීරණාත්මක ලෙස බලයෙන් ඉවත් කරමින් ම පොහොට්ටුවේ ආධිපත්‍යය දරන විජාතික මතධාරී කණ්ඩායමේ දේශපාලන ආධිපත්‍යය බිඳ හෙළමින් ශක්තිමත් ජාතිකත්ව දේශපාලන පදනමක් ඇති කිරීමෙනි. (ගෝඨා පරාජය වුවහොත් දේශපාලනය සම්පූර්ණයෙන් මේ කණ්ඩායම් තුන අතට ගොස් සිංහල බෞද්ධ ජන පදනමේ හඬ ඉහළට නොයන ඉතා අහිතකර තත්වයක් ඇතිවනු ඇත.)
අවසාන වශයෙන් මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දිනවීමෙනුත් ඉන්පසු තුන් වැදෑරුම් විජාතික බලවේග පරාජය කෙරෙන ශක්තිමත් බලවේගයක් ගොඩනැඟීමෙනුත් අපේ රාජ්ජය නැවත ඇති කරගැනීමට පෙළගැසෙන ලෙසයි.
- තමලු මලිත්ත පියදිගම
අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්
අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක්
අනුර කුමාරට ඡන්දය දිය යුත්තේ ඇයි යනුවෙන් ජවිපේ සාමාජිකයන් හා නිර්මාල් දේවසිරි ඇතුළු විකල්ප වාමාංශිකයන් ගොඩ නඟන තර්කවල පදනම අවබෝධ කරගැනීම සඳහා උපයෝගී කරගත හැකි එක් වැදගත් ප්‍රවේශයක් පිළිබඳව මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙයි. මේ ප්‍රවේශයට ජෙලි බබාලානු විවරණය යන නම හිමි වන්නේ මොරටුව සරසවියේ ජෙලි බබාලා නමින් ප්‍රකට ජවිපේ ශිෂ්‍ය කණ්ඩායම තම ස්ථාවරය දක්වන ආකාරය මීට දක්වන සමීපතාව නිසා ය.
ජොනාතන් ස්විෆ්ට් යුරෝපා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හා වාණිජවාදයේ නිරුවත විදාරණය කළේ එංගලන්තය හා ප්‍රංශයට ආකෘතිකව සමාන කුඩා අඟුටු මිටි සමාජයන් (ලිලිපුට්ටෝ) නිර්මාණය කොට ඒ මත යුරෝපා ලිබරල් සමාජයේ ප්‍රශ්න හා දේශපාලනයේ ප්‍රවණතාවල කුඩා ආකෘතියක් නිර්මාණය කිරීමෙනි. මෙ ලෙසින් ම ජවිපේ හා සම්බන්ධ කඳවුරේ දේශපාලනය අවබෝධ කර ගැනීමට සිඟිති ආදර්ශයක් ලෙස ජවිපේ ජෙලි බබා කණ්ඩායම විමසා බැලීම සුදුසු ය.
සිසු විරු දින සැමරුම සූදානම් කිරීමේ දී එකල උපක්‍රමිකව (සැබෑ අනන්‍යතාව සඟවමින්) ශිෂ්‍ය සංගම් බලය හිමිකරගෙන සිටි ජෙලි බබාලා බහුජන ව්‍යාපාරයක් වන ශිෂ්‍ය ව්‍යාපාරය හා ජවිපේ 89 කැරැල්ල අතර පරතරයක් නිර්මාණය කොට පෙන්වීමට (තම ජවිපේ අනන්‍යතාව සඟවා තබා ගැනීම හා ඒ අතරතුර තම දේශපාලනික උපක්‍රම ක්‍රියාත්මක කිරීම සඳහා ජෙලි බබාලාට මෙම පරතරය නිර්මාණය කිරීම අතිශයින් අත්‍යවශ්‍ය විය.) බොහෝ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ජවිපේ ක්‍රියාකාරිකයන් ද වූ අතර ඝාතනයට පත් වූ ඇතැමෙක් ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාකාරකම් නිසා ද ඇතැමෙක් ජවිපේ පහර දීම් හා ප්‍රතිප්‍රහාර අතරතුර දී ද ඝාතනය විය. එ නිසා මේ පරතරය නිර්මාණය කිරීමේ අනිවාර්ය බාධකයක් වනු ඇත්තේ ජවිපේ පහරදීම් අතරතුර දී ඝාතනය වූ පිරිස් ද මෙම ලැයිස්තුවල සිටීමයි.
88, 89 කාලය වන විට ශිෂ්‍ය ව්‍යාපාරය පැවතුණේ ජවිපේ, ජාතිකවාදීන් (ජාතික චින්තන කණ්ඩායම) හා පරණ වම (ලං.ජ.සං, ස්වාධීන ශිෂ්‍ය සංගමය වැනි පිරිස්) යන බලවේග කිහිපයේ නායකත්වයෙනි. මෙහි දී ප්‍රධාන බෙදුමක් ලෙස ඊළාම් විරෝධය හා ඊළාම්වාදී වීම දක්නට හැකි විය. ජවිපේ හා ජාතික චින්තන කණ්ඩායම ඊළාම් විරෝධී ස්ථාවරය ද පැරණි වම ඊළාම්වාදී ස්ථාවරය ද දැක්වී ය. ජවිපේ පරණ වම මර්දනය කිරීමට ගත් ප්‍රධාන ප්‍රවේශය ද වූයේ පරණ වමේ ඊළාම්වාදීත්වයයි.
ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය යනු ම ජවිපේ දෘෂ්ටිවාදයෙන් ලියැවුණු ඉතිහාසයක්ව ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පිහිටවූ මැල්කම් විජිතපාලලා ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ නායකත්වය හෝ අදාළ ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් පිළිබඳව හෝ මීළඟ නායකත්වය ලබා දුන් ජාතික ශිෂ්‍ය සංගමයේ කොමියුනිස්ට් පාක්ෂිකයන් ගැන හෝ වචනයක්වත් කතා නොකෙරී ජවිපේ ශාන්ත බණ්ඩාරගෙන් පටන්ගෙන අන්තරයේ නිල ඉතිහාසය කියා දීම කවර සරසවියේත් දක්නට ලැබේ. මේ අමතක කර දමා ඇති ප්‍රාග් ඓතිහාසිකත්වයට අමතරව ඝාතනය වීමේ වාසිය උපයෝගී කරගනිමින් අසූව දශකයේ ශිෂ්‍ය ව්‍යාපාරය පූර්ණ වශයෙන් ජවිපේ ගිණුමට බැර කිරීම ද එක් පිරිසක් පමණක් නැවත නැවත සිහිපත් කිරීමෙන් සිදු වේ. ජවිපේ අතින් ඝාතනය වූ අනෙක් කණ්ඩායම්වල ශිෂ්‍යයන් පවා අමතක කර දමා ඇත.
කාලාන්තරයක් ජවිපේ බලය ද ගිලිහී තිබූ මොරටුවෙහි දැනට සිටින්නන් ඝාතනයට ලක් වූ මොරටු සිසුන් ලෙස දන්නේ ක්ලිෆඩ් පෙරේරා, නිමල් ලියනගේ හා නිමල් බාලසූරිය පමණි. දැන් මැදි වයසේ සිටින එකල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සිහිපත් කරන මොරටුවේ ඝාතනයට ලක් වූ ඉදිරිගාමී ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් ගැන මොරටුවේ වත්මන් සිසුන් දන්නේ ම නැත. (89න් පසු බිඳ වැටී ගිය අන්තරය නැවත පිහිටුවීමට මොරටුවෙහි කපිල පීරිස්ලා, සංජීවලා ඇතුළු ජාතිකවාදී පිරිස් ගත් උත්සාහය චම්පක රණවකගේ ජනතා මිතුරෝ කණ්ඩායම හා සංජීවට පහර දෙමින් චම්පක රණවකගේ කණ්ඩායම ගෙන ගිය මැර දේශපාලනික ආධිපත්‍යය පිළිබඳව කිසිවක් නොදන්නා බොහෝ සිසුන් මොරටුව අන්තරයෙන් ඉවත් වූ සිද්ධිය පිළිබඳව වැඩිහිටි සිසුන්ගෙන් අසා ඇත්තේ සාවද්‍ය කතාන්දර ය.)
මේ සියල්ල පසෙක තබා දැන් අපි පෙර කී සිදුවීමට යමු. අපි ජෙලි බබාලාගෙන් ප්‍රශ්න කොට සිටියේ ජවිපේ විසින් ඝාතනය කරන ලද මොරටුවේ ජයවර්ධන දිසානායක (වසන්ත දිසානායකගේ බාල සොහොයුරා) වැනි ලං.ජ.සං. සිසුන්, නව ප්‍රවණතාවයේ සිසුන්, නසසපයේ සිසුන්, දයා පතිරණ වැනි පිරිස් ගැන කතා නොකරන පදනම කුමක් ද යන්නයි. (මේ වන විට ජවිපේ අනුශාසකයින් ඊළාම් විරෝධීන් නොව දයා පතිරණලාගේ 'ගෝලයන්' වූ නිර්මාල් දේවසිරි වැනි පුද්ගලයින් ය. එ නිසා ජවිපෙට දැන් ඊළාම්වාදය ගැන කියා අත පිහිදා ගත නො හැකි ය.).
අනෙක් ප්‍රශ්නය වූයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ ඉතිහාසය හඳුන්වා දීමේ අරමුණින් කෙරෙන සැමරුමක ඝාතනය වූවන් පමණක් සිහිපත් කෙරෙන්නේ ඇයි ද යන්න ය. එයින් ඝාතනය නොවූවන්ගේ දායකත්වය ඉතිහාසයෙන් අතු ගෑවෙයි.
මේ දෙවනි ප්‍රශ්නයට දිය හැකි කොතෙකුත් පිළිතුරු තිබුණ ද එක් ජෙලි බබකු ඉදිරිපත් වී ලබා දුන්නේ අපූරු පිළිතුරකි.
" දැන් ඒ අය මැරිලානෙ. ඒ නිසා ඒ අයගේ මතය වෙනස් වෙන්නේ නෑනේ. දැන් ඉන්න අය මතය වෙනස් කරලා හරි මතය වෙනස් වෙලා හරි නිදහස් අධ්‍යාපනයට විරුද්ධව පෙනී හිටියොත්!"
තමන් ම සමරන්නට යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට ම එල්ල කරන අපහාසයක ද ස්වරූපය බැලූ බැල්මට දරනා මෙම ප්‍රකාශයේ සැඟවී ඇති අර්ථය විමසා බලමු.
මතය වෙනස් වීමේ ඉඩකඩ ඇති ගතික සජීවී පුද්ගලයින්ට වඩා සංකේතරූප කරගැනීමට උචිත වන්නේ ගල් කොට දැමූ අජීවී මළ සිරුරු ය. එනිසා ම ප්‍රතිරූප ගොඩනැංවිය යුත්තේ මරණයට පත්වූවන්ගෙනි.
මෙම ජෙලි බබාලානු විග්‍රහයෙන් වර්තමාන ජවිපේ AKD දේශපාලනය විමසා බලමු.
මෙවර අනුර කුමාර පැමිණෙන්නේ සමාජවාදයක් හෝ කොමියුනිස්ට්වාදයක් ගෙන ඒමට නොවේ. මෙවර අනුර කුමාරගේ දේශපාලනය යනු සුචරිතවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් (puritan democratism) සඳහා පෙනී සිටින සදාචාරවාදී ප්‍රවේශයකි. ඍජුව ම අනුර කුමාර යනු ක්‍රොම්වෙල්ටත් එහා ගිය එලිසබෙතනු සුචරිතවාදයේ ප්‍රතිමූර්තියකි. (අනුර කුමාර යනු නගර ගිනි නොතියන මිනී නොමරන ක්‍රොම්වෙල් කෙනෙකි. සුපිරිසුදු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින අකලංක කුමාරයෙකි.)
බොහෝ වාමාංශිකයන් කියන්නේ අනුර කුමාර සිහිනෙන්වත් නො දිනන බව ය. දිනීම යනු ඔවුන්ගේ බලාපොත්තුව නො වේ. ඔවුන්ට අවශ්‍ය මතයක් ප්‍රකාශ කිරීමට යැයි කියනු ලැබේ.
දැන් අපි අර ජෙලි බබා ආදර්ශය මෙතැනට රැගෙන එමු. 2015 දී ජවිපෙ හිතවාදී විකල්ප වාමාංශික බලවේග ඍජුව ද අන්න සතා මෙන්න පොල්ල ක්‍රමයෙන් ජවිපෙ ද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනික සුචරිතවාදය හා 'දේශපාලනික නිවැරදිභාවයේ' දේශපාලනය (political corectness politics හරි සිංහල නමක් සිතා ගත නොහැකි ය. ) නිරූපණය කෙරෙන යහපාලනය යන වචනයෙන්, ජයග්‍රහණය කළ හැකි (එසේ වූ) සජීවී දේශපාලන ප්‍රපංචයක් නිර්මාණය කළ හ. මහ බැංකුව කොල්ල කා පටන් ගත් එය අවසන් වූයේ නිර්මාල් දේවසිරිගේ වචනයෙන් විකල්ප වම්මුන්ගේ කලිසම් සම්පූර්ණයෙන් ගලවා දමමිනි.
මෙවර එයින් උගත් පාඩම් අනුව ජවිපෙය හා විකල්ප වම්මු ජෙලි බබා තියරියට ගොස් තිබේ. දිනිය නොහැකි අනුර කුමාර නම් අජීවී මළකඳක් සුචරිතවාදයේ අකලංක කුමාරයා ලෙස තෝරාගෙන ඇත.
මේ AKD ව්‍යාපාරය සාර්ථක කිරීමට නම් අනුර කුමාරගේ අජීවී භාවය රැකගත යුතු ය. මේ සඳහා අනුර පරාජිතව ම තබා ගැනීම යන පහසු ඉලක්කයක් ඇත. අරුම පුදුම අයුරින් හෝ අනුර දිනුවහොත් ජෙලි බබා තියරිය අනුව කලිසම්වල බඳ පටි නැවත වරක් බුරුල් වනු ඇත.
තවමත් ඇති එක් අවදානමක් වන්නේ කුමක් හෝ පෙරළියකින් මේ අකලංක කුමාරයා, සෝවියට් දේශය නම් දිව්‍යමය මහා අනෙකා මිය යාමෙන් පසුව අනන්‍යතා අර්බුදයකට ලක් වී අසරණ වූ ශ්‍රීලාංකික වම්මුන්ට මේ වන විට ලැබී ඇති යක්ෂමය මහා අනෙකා සමග එක් වීමට ඇති හැකියාවයි. මේ සඳහා මේ අනුර කුමාර බලවේගය යක්ෂයාට වැඩක් නොවන මට්ටමකින් තබා ගැනීම ද අවශ්‍ය වෙයි.
දැන් දැන් පෙනී යන්නේ විකල්ප වම්මු මේ බව දැන සිටින බවයි. ඒ නිසා ම ප්‍රතිරූපගත මළකඳ ඔසවාගෙන යන විකල්ප වම්මුන් බහුතරයකගේ ඡන්ද පෙට්ටිය අසළ ආවරණවලින් වැසී ගිය කළ හෙළි දරවු වන 'සැබෑ' ස්වරූපයන් අවබෝධ කර ගැනීමට රහස් කවුළුවක් අවශ්‍ය නො වේ.
සටහන:
සෝවියට් දේශය යහතින් පැවති කාලයේ වාම ස්ථාවරය වූයේ දැන් ධනවාදය වර්ධනය වී අවසන්ව බිඳ වැටෙමින් පවතිණ බවයි. එනම් සෝවියට් දේශය යනු ළඟා සිය යුතු එක් විය යුතු දිව්‍යමය මහා අනෙකකු වෙත පාර පෙන්වන්නකි. සෝවියට් දේශය බිඳ වැටුණු පසු ඓතිහාසික භෞතිකවාදීන්ට උරුම වන්නේ සෝවියට් දේශය යනු අපගමනයක් බවත් ධනවාදය බිඳ වැටීමට පෙර තවත් වර්ධනය වීමට ඇති බවත් ය. එහෙයින් වර්තමාන වම්මුන්ට ධනවාදයේ ඉදිරියට යාමට රුකුල් දීමට සිදුවේ. හොඳ ධනවාදයක්/ ප්‍රජාතන්ත්‍රවාදයක් ඔවුන්ගේ තේමාව ය. මෙහි දී ධනවාදීන් සමඟ පෑහීමෙන් ඇතිවන අනන්‍යතා අර්බුදය මකා ගැනීමට ඔවුන්ට මේ වන විට තවත් මහා අනෙකකු ලැබී ඇත. ලෝකය පුරා ජාතිකවාදී ප්‍රවණතාවන් මේ මහා අනෙකා ය. මෙවර ඔවුන් තෝරා ගෙන ඇත්තේ වෙන් වීම ලකුණු කිරීමට වෙර දරන යක්ෂමය මහා අනෙකා ය. ලංකාවේ වම්මුන්ගේ පිනට පහළ වූ යක්ෂයා මේ මොහොතේ දී සංකේතවත් කෙරෙන පුද්ගල රූපය හඳුනා ගැනීම අපහසු නැත. ඇතැම් වම්මුන් ඍජුව ම ඔහුට යක්ෂයා යැයි කියා සිටින බැවිනි.
- තමලු මලිත්ත පියදිගම
අලුත් ම සටහන
Exit way out කණ්ඩායමට පිළිතුර
Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...
වැඩිපුර කියවූ ලිපි
-
අනුරට සහය දිය යුතු ඇයි? ජෙලි බබාලානු විවරණයක් අනුර කුමාරට ඡන්දය දිය යුත්තේ ඇයි යනුවෙන් ජවිපේ සාමාජිකයන් හා නිර්මාල් දේවසිරි ඇතුළු විකල්...
-
ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි? ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා...
-
මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර) සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළ...
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...