සිංහල භාෂාවේ කාල භේදයක් නොමැත. (පළමුවන කොටස)
කාල භේදයක් නැති සිංහල
-තමලු මලිත්ත පියදිගම
(2016.08.21 ඉරිදා රිවිර)
කතා කරන හා ලියන භාෂා දෙකට ම අදාළ කරුණු මේ ලිපියේ සාකච්ඡා කෙරෙන බැවින් මෙවර ලිපිය ලියැවෙන්නේ ලියන භාෂාවේ ව්‍යාකරණයෙනි.
කුමාරතුංග මුනිදාස මහතාට පෙර යුගයේ පිළිගත් මතය (සිදත් සඟරාව ආදී පැරණි පොත්වල සඳහන් මතය) අනුව සිංහල භාෂාවේ කාල තුනක් (අතීත, වර්තමාන, අනාගත) පවතී. අතීතයේ සිදු වූ සිද්ධි සඳහා අතීත කාලය ද, වර්තමානයේ සිදුවන සිද්ධි සඳහා වර්තමාන කාලය ද , අනාගතයේ සිදුවන සිද්ධි සඳහා අනාගත කාලය ද යොදන බව එම මතයෙන් කියැවේ.
'දුව' ක්‍රියා ධාතුව (ක්‍රියා පදයක මූලික ම ස්වරූපය ධාතුවයි.) ඉහත මතයට අනුව වර නැගෙන්නේ මෙසේ ය.
ඒක වචනයෙහි,
අතීත කාලය ශුද්ධ ක්‍රියාව- දිවී (ය) නාම ක්‍රියාව- දිව්වේ (ය)/ දිව්වා (ය)
වර්තමාන කාලය දුවා (ය)/ දුවයි
අනාගත කාලය දුවන්නේ (ය)/දුවන්නී (ය)
බහු වචනයෙහි ,
අතීත කාලය ශුද්ධ ක්‍රියාව- දිවූ (හ) නාම ක්‍රියාව- දිව්වෝ (ය)
වර්තමාන කාලය දුවත් (ය)/ දුවති
අනාගත කාලය දුවන්නෝ (ය)
(ශුද්ධ ක්‍රියාව යනු ලිංග භේදයක් නැති පිරිසිදු ම ක්‍රියා ස්වරූපයයි.
නාම ක්‍රියාව යනු නාම පද ස්වරූපයක් ද සහිත ක්‍රියා ස්වරූපයයි.)
සිදත් සඟරා කතුවරයා මීට අමතර ව ' කිරිය පෙරළිය ' යන්නක් ද දක්වයි.එනම් මෙහි සඳහන් ආකාරයට වර නැගී නැති අවස්ථා ද පත පොතේ හමුවන බවත් ඒවා ද නිවැරදි බවත් ය.මෙම මතයේ අඩුපාඩු ඇති බව සිදත් සඟරා කතුවරයා ද දැන සිටි බව මෙයින් පැහැදිලි වේ.
විමසිල්ලෙන් බලන්නකුට පෙනී යනු ඇත්තේ අතීත කාලයේ පමණක් ශුද්ධ ක්‍රියා හා නාම ක්‍රියා ලෙස ක්‍රියා පද වර්ග දෙකක් ම පැවතීම ගැටළු සහගත බවයි. තව දුරටත්, මෙහි වර්තමාන කාල ක්‍රියාවේ ලිංග භේදයක් නැති බවත්, අනාගත කාල ක්‍රියාවේ ලිංග භේදයක් ඇති බවත් පෙනෙනු ඇත.( අතීත කාලයේ නාම ක්‍රියාවේ ලිංග භේදයක් ඇති නමුත් ශුද්ධ ක්‍රියාවේ ලිංග භේදයක් නැත.)
මේ පරස්පර දෙස විමසිල්ලෙන් බැලූ කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දුන්නේ වර්තමාන , අනාගත පද එම කාල දෙක අතර වෙනස නො සලකා පොත්පත්වල භාවිතයේ යෙදෙන බවයි. එනිසා එම කාල දෙක , කාල දෙකක් වශයෙන් නොව එක් කාලයක් ලෙස සැලකිය යුතු බව කී එතුමා එම කාලය අනතීතය ලෙස නම් කළේ ය.
එවිට පැරණි වර්තමාන , අනාගත රූප දෙක පිළිවෙළින් අනතීත කාලයේ ශුද්ධ හා නාම ක්‍රියා බවට පත් විය.
'දුව' ක්‍රියා ධාතුව (ක්‍රියා පදයක මූලික ම ස්වරූපය ධාතුවයි.) කුමරතුඟු මතයට අනුව වර නැගෙන්නේ මෙසේ ය.
ඒක වචනයෙහි,
අතීත කාලය ශුද්ධ ක්‍රියාව- දිවී (ය) නාම ක්‍රියාව- දිව්වේ (ය) /දිව්වා (ය)
අනතීත කාලය ශුද්ධ ක්‍රියාව -දුවා (ය)/ දුවයි නාම ක්‍රියාව- දුවන්නේ (ය)/දුවන්නී (ය)
බහු වචනයෙහි ,
අතීත කාලය ශුද්ධ ක්‍රියාව- දිවූ (හ) නාම ක්‍රියාව- දිව්වෝ (ය)
අනතීත කාලය ශුද්ධ ක්‍රියාව -දුවත් (ය)/ දුවති නාම ක්‍රියාව-දුවන්නෝ (ය)
කුමාරතුංග මුනිදාස මහතා ගේ මෙම නව මතය තහවුරු වීමත් සමග සිංහල ව්‍යාකරණයේ මහා පෙරළියක් සිදු විය. පැරණි ව්‍යාකරණ ග්‍රන්ථ වෙනුවට නව ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනය කෙරෙන්නට විය.
අද පොදුවේ පිළිගැනෙන්නේ මෙම මතයයි. පාසල් පෙළපොත්වලට ද දැන් ඇතුළත් ව ඇත්තේ මෙම නව මතය නමුත් බොහෝ ගුරුවරුන් තවමත් පැරණි මතය ම උගන්වනු පෙනේ.
එහෙත් මෙම අතීත-අනතීත මතයෙන් ද සියලු ගැටළු විසඳී නැත. අතීත කාලයේ සිද්ධි සඳහා අනතීත පද යෙදෙන අවස්ථා ද පොතපතෙහි හා කටවහරෙහි සුලබ ව හමුවේ. එයින් පෙනෙනු ඇත්තේ අතීත ,අනතීත යනුවෙන් ද කාල ප්‍රභේද දෙකක් වෙන් කළ නො හැකි බවයි. එනිසා ක්‍රියා පද පිළිබඳව නව විග්‍රහයක් අවශ්‍ය වෙයි.
අතීත සිද්ධි විස්තර කිරීමට අනතීත ක්‍රියා පද යෙදී ඇති අවස්ථා සඳහා උදාහරණ ඉදිරි සතියේ බලාපොරොත්තු වන්න.
- තමලු මලිත්ත පියදිගම
මීළඟ කොටස
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
වැඩිපුර කියවූ ලිපි
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
-
සිංහලයන්ගෙන් පැවතෙන කේරලයේ විප්ලවීය කවියා මහා කිවි කුමාරන් අසන් 1873 අප්‍රේල් 12වන දා ඉපිද 1924 ජනවාරි 16 වන දින පරලොව සැපත් වූ...
-
පියදාස සිරිසේන මහතා ගැන පොඩි කාලේ මම අහලා තිබුණේ මෙන්න මෙහෙම කතා: පියදාස සිරිසේන මහත්මයාගේ නවකතා මුල් ම කාලේ ඒවා. ඒවාගේ භාෂාව හරි පරණ ශෛලිය...
-
වම්බොට්ටා ( Left bot ) හෙවත් වාමාංශික රොබෝ වෙත ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිත කරන්න. Link to the robot, Left bot - A true leftist to chat, ...

No comments:
Post a Comment