විද්‍යාත්මක ක්‍රමය හා සුරංගනා කතා

2017.07.02 ඉරිදා රිවිර.


බටහිර විද්‍යාව බොහෝ දේ මැනීමේ උරගලක් ලෙස භාවිත වේ. යම් දෙයක් වෙනත් අයට ඒත්තු ගැන්වීමට විද්‍යාත්මකයි, විද්‍යාඥයන් සොයා ගෙන ඇත වැනි යෙදුම් නිතර යෙදෙන අතර විවිධ දේ හෙළා දැකීමට අවිද්‍යාත්මක යන වචනය නිතර යෙදේ. බටහිර විද්‍යාවේ ආරම්භයේ සිට ම ලෝක් , බේකන් , ගැලීලියෝ, නිවුටන් වැනි අයට බටහිර විද්‍යාවට අනෙක් දැනුම්වලට නැති විශේෂත්වයක් තියෙනවා යැයි කීමට අවශ්‍ය විය. බේකන් ගේ අදහස වූයේ බටහිර විද්‍යාවට විශේෂ වූ 'විද්‍යාත්මක ක්‍රමයක්' ඇති බවයි. ඔහුට අනුව බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ විවිධ සිද්ධි ගණනාවක් නිරීක්ෂණය කර එය පොදු ප්‍රකාශනයක් ලෙස සියල්ලට ආදේශ කිරීමයි. මේ ක්‍රමය උද්ගමනය නම් වේ.

ගැලීලියෝ මේ අදහසට තරමක් විරුද්ධ විය. බටහිර විද්‍යාවට පරීක්ෂණ ගෙන ආවේ ඔහු ය. ඔහු පැවසුවේ, විද්‍යාවේ දී මුලින් කල්පිතයක් ඇති කරගෙන එය පරීක්ෂණවලින් සනාථ වේ දැයි සෙවීම සිදුවන බවයි. මෙය නිගාමී ක්‍රමය නම් වේ. ඔහු විද්‍යාත්මක ක්‍රමයට පියවර කීපයක් නම් කළේ ය. කල්පිතය , පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය ලෙස එම පියවර නම් කෙරිණි.

බොහෝ විට පාසල්වල විද්‍යාත්මක ක්‍රමය යනුවෙන් ඉගැන්වෙන්නේ මේ පියවරයන් පමණි. දොරක් විවෘත කිරීමට යතුරු කැරැල්ලෙන් අදාළ යතුර සෙවීම, ගොඩනැගිල්ලක විදුලි බුබුළුවලට අදාළ ස්විච සෙවීම යනා දී දේවල මේ පියවර පෙන්වමින් එම ක්‍රියාවල ද ඇත්තේ විද්‍යාත්මක ක්‍රමය යැයි විහිළු සැපයෙයි.

විද්‍යාත්මක ක්‍රමයක් ඉදිරිපත් කිරීමේ අරමුණ වූයේ ම විද්‍යාව එවැනි දේවලින් හා වෙනත් දැනුම් පද්ධතිවලින් වෙන් කිරීම ය. විද්‍යාත්මක ක්‍රමයේ දී කතා කෙරෙන්නේ ඉහත පියවර ගැන නො ව විද්‍යාවේ දී ඉහත පියවරයන් අනුගමනය කරන්නේ 'කවර ආකාරයට ද' යන්නයි.

ප්‍රවාදයක සත්‍යතාව පරීක්ෂා කිරීමට ඒ ප්‍රවාදයෙන් ලබා ගත හැකි ප්‍රතිඵල සොයා ඒවා සත්‍ය දැයි තහවුරු කිරීම විද්‍යාවේ ක්‍රමය බවට මතයක් ඉදිරිපත් විය.

මේ මතයට පළමු අභියෝගය එල්ල වූයේ කාල් පොපර් නම් දාර්ශනිකයාගෙනි. කාල් පොපර් මෙවැනි උදාහරණයක් ලබා දෙයි. 'සියලු කපුටන් කළු පාට ය' යන වාක්‍යය සලකන්න. දැන් අපට අතීත , වර්තමාන , අනාගත සියලු කපුටන් දැකිය නො හැකි ය. අපට මුණ ගැසෙන කපුටන් දහසක් ම කළු පැහැ වුව ද, සමහර විටෙක මී ළඟ කපුටා සුදු පැහැ විය හැකි ය. එම නිසා කොතෙක් කපුටන් දුටුවත් ප්‍රකාශනය සත්‍ය බව කිව නො හැකි ය. එහෙත් එක් සුදු කපුටකු දුටු පමණින් පැහැදිලි ව ම ඉහත ප්‍රකාශය අසත්‍ය වී යයි. මෙයින් අපට පෙනෙන්නේ විද්‍යාත්මක ප්‍රවාදයක් සත්‍ය බව පෙන්වීම කළ නො හැකි වුව ද, අසත්‍ය බව පෙන්වීම කළ හැකි බව ය. පොපර්ගේ විද්‍යාත්මක ක්‍රමය ඔහු නම් කළේ නිගාමී අසත්‍යේක්ෂණය යනුවෙනි. එනම් විද්‍යාවේ කිසිවක් සත්‍ය බව පෙන්විය නො හැකි අතර කළ හැක්කේ අසත්‍ය බව පෙන්වීම පමණි. මෙබඳු විද්‍යාවකින් ඇති ඵලය කුමක් ද? පොපර් කීවේ අසත්‍ය දේ හැකි තරම් බැහැර කළ විට සත්‍ය ඉතිරි වනු ඇත යනුවෙනි.

විද්‍යාත්මක ක්‍රමයක අරමුණ විද්‍යා හා නො-විද්‍යා වෙන් කිරීම බව පෙර සඳහන් කළෙමි. පොපර් තමා ගේ ක්‍රමයට අනුව විද්‍යා හා නො-විද්‍යා වෙන් කළේ මෙසේ ය. යමක් අසත්‍ය බව ඔප්පු කිරීමට 'හැකියාවක්' ඇති නම් එය විද්‍යාවට අයත් වේ. පොපර්ට අනුව මාක්ස්වාදය , මනෝ විෂ්ලේෂණය හා ජෝතිෂ්‍යය විද්‍යා නො වේ. ඒවායේ පවතින කිසිවක් අසත්‍ය බව ඔප්පු කළ හැකි ක්‍රම සපයන්නේ නැත යන්න පොපර්ගේ අදහස විය.

දැන් සමහර ජීව විද්‍යඥයින් තර්ක කරනු ඇත්තේ සියලු කපුටන් කළු වැනි දෑ කියනුයේ එතරම් සරලව නො ව අතිවිශේෂ , දියුණු ක්‍රම මඟින් බව ය. මේ සඳහා අපට ඇසීමට ඇත්තේ ඒ ක්‍රම කවරේ ද යන්නයි. කවර ක්‍රමයක වුව ද මේ ප්‍රශ්නය පවතී. පොපර් මෙසේ දළ වාක්‍යයකින් නැවතුණේ ද නැත. ඔහු විස්තරාත්මකව මේ පිළිබඳ සාකච්චා කළේ ය. එනිසා එවන් තර්ක හාස්‍යජනක ය.

විද්‍යාවේ යමක් අසත්‍ය බව පෙන්වීම ද පොපර් කියූ තරම් පහසු නො වන බව විද්‍යා ඉතිහාසය පිළිබඳ නිබන්ධනයක් සකසමින් සිටි තෝමස් කූන් නම් දාර්ශනිකයාට වැටහිණි. ආලෝකය අංශුවක් බව පරීක්ෂණවලින් ප්‍රතික්ෂේප වුව ද, පසු කලෙක නැවත එය යම් වෙනසක් සහිතව පිළිගැනීමට ලක් විය. යුරේනස් ග්‍රහ ලෝකය නිරීක්ෂණය කළ පසු විද්‍යාඥයෝ එහි කක්ෂය ගණනය කළ හ. එහෙත් විද්‍යාඥයින් දුටුවේ තමන් ගණනය කළ කක්ෂය වැරදි බව ය. ගුරුත්වාකර්ෂණය අසත්‍ය බවට සැක ඇති වුවත් එය ඉවත් කළේ නැත. ඒ වෙනුවට අප නො දන්නා තවත් ග්‍රහලොවක බලපෑමක් තිබිය හැකි බව සිතා ගණනය කරන ලදී. නෙප්චූන් ග්‍රහලෝකය ගැන දැන ගත්තේ එසේ ය. එහෙත් තවමත් කක්ෂය ගැටළුකාරී විය. ප්ලූටෝ පිළිබඳ දැන ගත්තේ එසේ ය. බුධ ග්‍රහයාගේ කක්ෂය ද මෙසේ ම ගණනය කළ අගයන්ට විරුද්ධ විය. හිරු හා බුධ අතර තවත් ග්‍රහලෝකයක් ඇතැයි සිතුව ද, එවැන්නක් හමු වූයේ නැත. අයින්ස්ටයින් නිවුටන්ගේ භෞතික විද්‍යාවට විකල්පව තමාගේ භෞතික විද්‍යාව ගෙන එන තෙක් ම ගුරුත්වාකර්ෂණයට ප්‍රබල අභියෝග නො වී ය.

මින් පෙනෙන්නේ පොපර් පවසන තරම් පහසුවෙන් යමක් අසත්‍ය බව පෙන්වීමටවත් බටහිර විද්‍යාවට නො හැකි බවයි.

මුලින් සඳහන් කළ තෝමස් කූන් මේ බව පැහැදිලි කරමින් සුසමාදර්ශය (paradigm) යන අදහස ඉදිරිපත් කළේ ය. තෝමස් කූන්ට අනුවේ විද්‍යාවේ සාමාන්‍ය විද්‍යාව , විප්ලවකාරී විද්‍යාව ලෙස කාල දෙකක් පවතී. සාමාන්‍ය විද්‍යාව පවතින කාලයක දී විද්‍යාව යම් කිසි එක් කේන්ද්‍රීය ප්‍රවාදයක් (theory) මත ගොඩනැඟී පවතී.  සියල්ලේ සත්‍ය අසත්‍ය භාවය තීරණය කෙරෙන්නේ ඒ කේන්ද්‍රීය ප්‍රවාදයට ගැළපෙන්නේ ද යන්න මතයි. එම සම්පූර්ණ පද්ධතිය සුසමාදර්ශයක්‌ නම් වේ. විප්ලවකාරී කාලය යනු සුසමාදර්ශ වෙනස් වීමක් සිදුවන කාලයයි. එවිට කේන්ද්‍රීය ප්‍රවාදය ඇතුළු සියල්ල වෙනස් වේ. සුසමාදර්ශ දෙකක් වෙන් වන්නේ අසම්මේයතාව නම් ලක්ෂණයෙනි. අසම්මේයතාව යනු සුසමාදර්ශ දෙකක එක ම දේ විස්තර වන්නේ අහසට පොළොව මෙන් වෙනස්ව ය යන්නයි. කූන් ද විද්‍යා හා නො විද්‍යා වෙන් කළේ ය. ඔහුට අනුව සුසමාදර්ශ වෙනස් විය හැක්කේ විද්‍යාවේ පමණි. පසුව එන සුසමාදර්ශයට වැඩි ගැටළු සංඛ්‍යාවක් විසඳිය හැකි බවට කූන් අදහස් පළ කළේ ය.

ඉම්රි ලකටෝස් හා පෝල් ෆෙයරබාන්ඩ් අතර විවාදය මින්පසු අපට දක්නට ලැබෙන වැදගත් අවස්ථාවයි. ලකටෝස් වැඩසටහන් ක්‍රමය නමින් ක්‍රමයක් ඉදිරිපත් කළ අතර ෆෙයරබාන්ඩ් එය විවේචනය කළේ ය. ලකටෝස් කෙටි කලක දී මිය ගිය අතර ෆෙයරබාන්ඩ් තම අධ්‍යයන ඉදිරියට ගෙන ගියේ ය. Against Method කෘතියේ දී ෆෙයරබාන්ඩ් විද්‍යාත්මක ක්‍රමයක් සඳහා ඇති සියලු අදහස් විවේචනය කොට විද්‍යාවේ වැදගත් නිර්මාණ සිදු වී ඇත්තේ සියලු ක්‍රමවලට විරුද්ධව බව ඉතා සියුම්ව පෙන්වා දෙයි. විද්‍යාත්මක ක්‍රමයක් නැති බව පෙන්වාදුන් ෆෙයරබාන්ඩ්, විද්‍යා හා නො-විද්‍යා ලෙස වෙනසක් නොමැති බව ද සියලු දැනුම් පද්ධති එක සේ වැදගත් බව ද මිනිසුන් මත බටහිර විද්‍යාව අධිපතිවාදී ව ක්‍රියාත්මක නො විය යුතු බව ද පෙන්වා දුන්නේ ය. සාම්ප්‍රදායික දැනුම ඇතුළු සියලු දැනුම් සඳහා වර්ධනය වීමේ සම අවස්ථා දිය යුතු බව ද ඔහු පැවසී ය.

මෙහි දී බටහිර විද්‍යාවේ ස්වභවය උදෙසා තවත් වැදගත් අදහසක් ආචාර්ය නලින් ද සිල්වා මහතා ඉදිරිපත් කර ඇත. එනම් බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ යම් යම් දේ පැහැදිලි කිරීමට කතා ගෙතීමක් බවයි. මේ සඳහා බොහෝ විට ලැබෙන ප්‍රතිචාරයක් වන්නේ විද්‍යාවේ ඇත්තේ කතන්දර නම් ඒවා ලෝකයේ හොඳ ම කතන්දර බව ය. ඔවුන් කියන්නේ විද්‍යාවේ ප්‍රවාද මුල , මැද , අග ඉතා හොඳින් ගැලපී ඇති බව ය. එහෙත් මෙහි යම් හාස්‍යයක් වෙයි. නවකතා ඇතුළු කතා ගැන අධ්‍යයනය කළ ප්‍රකට ව්‍යුහවාදියකු වන ෆෝස්ටර් (නවකතා විචාරය ගැන උගන්නා සියල්ලන්ට ම පාහේ මුලින් ම මුණ ගැසෙන නමකි.) පවසන්නේ හොඳින් ම මුල මැද අග ගැළපුණු කතා වින්‍යාස (tight plots) ඇත්තේ සුරංගනා කතාවලට හා අභිරහස් කතාවලට බවයි.

ඇත්තෙන් ම මේ ගැන පුදුම විය යුතු නැත. ඩේකාට් නම් දාර්ශනිකයාගේ අනුගාමිකයකු වූ වොන් ලෙයිබ්නිට්ස් නම් ගණිතඥයා නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණය ගැන කීවේ මෙවැන්නකි:

"සිහින ලෝකවල සිදුවන දෙය ශාස්ත්‍රීය ලෝකයේ ද සිදු වී ඇත. විද්වත් ප්‍රජාව තාත්වික දේ අතහැර සුරංගනා කතා විශ්වාස කිරීමට පෙළඹී ඇත."

                - තමලු මලිත්ත පියදිගම
                2017.07.02 ඉරිදා රිවිර.

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි