අයින්ස්ටයින් කළේ නිවුටන් ගේ අදහස වර්ධනය කිරීම ද, ප්‍රතික්ෂේප කිරීම ද? (ප්‍රශ්නවලින් පැන යන බටහිර විද්‍යාව)
අයින්ස්ටයින් කියන නම බොහෝ දෙනාට හුරු පුරුදුයි. අයින්ස්ටයින් කියන්නේ කවුදැයි ඇසුවොත් විසිවන සියවසේ මහා ප්‍රාඥයා වැනි විවිධ පිළිතුරු ලැබේවි. ඔහු සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළ බවත් බොහෝ දෙනා අසා ඇති. එහෙත් සාපේක්ෂතාවාදය කියන්නේ කුමක් ද යන්න නම් බොහෝ දෙනා නො දැන සිටින්නට පුළුවන්. අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඉදිරිපත් කළේ පියවර දෙකකිනි. විශේෂ සාපේක්ෂතාවාදය මුලිනුත් සාමාන්‍ය සාපේක්ෂතාවාදය පසුවත් ඉදිරිපත් විය. මේ ලිපියෙන් මම විශේෂ සාපේක්ෂතාවාදයට පසුබිම් වූ කරුණු කාරණා කිහිපයක් ගැන අවධානයට ලක් කිරීමට බලාපොරොත්තු වෙමි. විශේෂ සාපේක්ෂතාවාදයේ ගණිතමය ස්වභාවයන් ගැන වැඩි අවධානයක් යොමු නොකර එහි සරල අදහස හා පසුබිම් කරුණු ගැන වැඩි විස්තරයක් කිරීමට සිතමි.
බොහෝ දෙනා අයින්ස්ටයින් කුඩා කල ඉතා අදක්ෂ බව කියන කතාව අසත්‍යයක්. ඒ කතාව ඇති වී ඇත්තේ විශ්වවිද්‍යාලයේ එක් විභාගයක් ඔහුට නැවත ලිවීමට සිදු වී ඇති නිසයි. උපාධි නිමා කළ ද අයින්ස්ටයින්ට විශ්වවිද්‍යාලයේ තැනක් ලැබුණේ නැත. එහෙයින් ඔහු රැකියාව කළේ පේටන්ට් කාර්යාලයේ ය. අයින්ස්ටයින්ගේ නම ඉදිරියේ සටහන් වන වැදගත් ම අධ්‍යයන තුනක් ම සිදුවුණේ ඔහුට අවුරුදු 25 දී එක අවුරුද්දක කාලයක් ඇතුළතයි. ඔහු ආචාර්ය උපාධියක් හිමි කරගත්තේ ඊටත් වසර කීපයකට පසුයි. විශේෂ සාපේක්ෂතාවාදයත් මේ අධ්‍යයනවලින් එකක්.
එකල තිබූ භෞතික විද්‍යාවේ දැවැන්තයා වූ නිවුටන් පැවසුවේ කාලය අපේ සම්බන්ධයකින් තොරව ගලා යන බවයි. එනම් අප හැමට ම කාලය ගත වෙන්නේ එක ම ආකාරයට බවයි. අවකාශය ද අපේ සම්බන්ධයකින් තොරව පවතින බව නිවුටන් කීවේ ය. යම් කිසිවක දිගක් සැලකුවහොත් ඒ දිග එක එක පුද්ගලයා මත වෙනස් නොවන බව නිවුටන්ගේ අදහස විය. උදාහරණයක් ලෙස ඔබ ඉදිරියේ ඇති මේසයක දිග කාටත් එක ම දිගකි. එහෙත් නිවුටන්ට අනුව චලිතය නම් එක එක පුද්ගලයාට පෙනෙන ආකාරය වෙනස් වේ. අප වාහනයක ඉදිරියට යන විට අවට ඇති දෑ පිටුපසට යනු දැනේ. හුළඟක් හමන විට හුළඟ එන දෙසට දිව්වොත් හුළඟේ වේගය වැඩි ය. හුළඟ හමන දෙසට ම දිව්වොත් හුළඟේ වේගය අඩු ය. විශ්වය මේ ආකාර යැයි නිවුටන් කීවේ ය.
අයින්ස්ටයින් සිටි කාලයේ මයිකල්සන් හා මෝලි නම් විද්‍යාඥයෝ ආලෝකය පිළිබඳ ඉතා සියුම් පරීක්ෂණයක් කළ හ. සරලව පැහැදිලි කළහොත් පරීක්ෂණයේ අරමුණ වූයේ ඉහත සුළඟේ වේගය මෙන් ආලෝකයේ වේගයත් 'දුවමින් බලන විට' වෙනස් වන්නේ ද යන්න සෙවීමයි. (මේ වාක්‍යය ඉතා සරල නිරූපණය කිරීමක් බව අමුතුවෙන් කිව යුතු නො වෙයි.) . නිවුටන් නිවැරදි නම් ආලෝකය එන අතට 'දුවමින් බැලුවොත්' ආලෝකයේ වේගය වැඩි විය යුතුයි. ආලෝකය යන අතට ම 'දුවමින් බැලුවොත්' ආලෝකයේ වේගය අඩු විය යුතුයි. එහෙත් පරීක්ෂණය සිදු කර බැලූ විට සුළඟේ සිදුවන දේ ආලෝකයේ සිදුවන්නේ නැති බව පෙනුණි. කුමන අතට දිව්වත් ආලෝකයේ වේගය එක ම විය. නිවුටන් වැරදි බව පෙනිණි. මෙය පැහැදිලි කිරීම ඊළඟ අභියෝගය විය.
අයින්ස්ටයින් මීට විසඳුමක් දුන්නේ ය. එහෙත් ආලෝකයේ වේගය බලන ආකාරය මත වෙනස් නො වූයේ ඇයි ද යන්නට ඔහු පැහැදිලි කිරීමක් දුන්නේ නම් නැත. ඒ වෙනුවට ඔහු ආලෝකයේ මේ හැසිරීම ප්‍රශ්න කිරීමෙන් තොරව පිළිගත්තේ ය. ඉන්පසු නිවුටන් විසින් මූලිකව පිළිගන්නා ලද කාලය හා අවකාශය සැම දෙනාට ම ඒකාකාරී ය යන්න අයින්ස්ටයින් බැහැර කළේ ය. ඒ වෙනුවට ඔහු ආලෝකයේ ප්‍රවේගය සැමට ම සාපේක්ෂව එක ම අගයකි යන්නෙන් අරඹා ගණනය කිරීම් කළේ ය. එවිට පෙනුණේ වස්තුවක දිග , පළල මෙන් ම කාලය ද අප එකිනෙකාට සාපේක්ෂ ව වෙනස් වන බව ය. එමෙන් ම ඒවා වස්තුවේ චලිතය මත රඳා පවතින බව ය. වස්තුවේ කුඩා වේගවල දී අපට මේ දිගෙහි හා කාලයෙහි වෙනස නො දැනෙන තරම් ය. සැම දෙනාට ම කාලය ගත වන්නේ එක ම අයුරින් බවත් සැම දෙනාට ම පෙනෙන්නේ එක ම දිග පළල බවත් අප සිතන්නේ ඒ නිසා ය.
අයින්ස්ටයින් සිදු කළ මේ ක්‍රියාවෙන් අපට බටහිර විද්‍යාවේ ස්වභාවය ගැන අවබෝධයක් ලබා ගත හැකි ය. බටහිර විද්‍යාව හෝ එහි ඉතිහාසය ගැන පුළුල්ව හදාරා නැති එහෙත් බටහිර විද්‍යාව භක්තියෙන් අදහන සමහරුන් කියන්නේ බටහිර විද්‍යාව අතිවිශිෂ්ට බවත්, එහි සැම දෙයක් ම ප්‍රශ්න කරන බවත්, ඕනෑ ම දෙයක හේතුව සෙවීමට වෙහෙසෙන බවත් ය. බටහිර විද්‍යාව දිගින් දිගට ම වර්ධනය වන බවත් මෙතෙක් හේතු හොයා නො ගත් දේ නුදුරු අනාගතයේ දී ම හොයා ගනු ඇති බවත් වැඩි දුරටත් ඔවුන් මහත් උද්දාමයෙන් පවසනු ඇත.
එහෙත් මෙතන අයින්ස්ටයින් සිදු කළ දෙය විමසීමෙන් ඔවුන්ගේ අදහස්වල වරද වටහා ගත හැකි ය. මයිකල්සන් හා මෝර්ලි පරීක්ෂණයක් කර ආලෝකයේ වේගය සියලු අවස්ථාවලට සාපේක්ෂව නියත අගයක් බව දුටුවෝ ය. එය ප්‍රශ්නයක් වූයේ ඇයි? එය ප්‍රශ්නයක් වූයේ නිවුටන්ගේ අදහසට එය නො ගැළපීම නිසා ය. නිවුටන් නො සිටියේ නම් ප්‍රශ්නයක් ද නැත. ගැටලු ඇති වන්නේ ද අදහස් නිසා ම බව මින් පෙනේ. දැන් ආලෝකයේ වේගය නියතයක් වීම ගැටලුවක් වී ඇත්තේ නිවුටන්ගේ කල්පිතය නිසා ය. අයින්ස්ටයින් කළේ ආලෝකයේ වේගය නියත අගයක් වීමට හේතුවක් සෙවීම ද? නැත. ඔහු එවන් හේතුවක් දුන්නේ නැත. ඒ වෙනුවට ඔහු එය ප්‍රශ්න කිරීමෙන් තොරව මූලික කරුණක් ලෙස පිළිගත්තේ ය. මෙහි දී හොයාගත් හේතුවක් නැත. අයින්ස්ටයින් කළේ නිවුටන්ගේ අදහස් ප්‍රතික්ෂේප කරමින්, එනිසා ම මතු වෙන ප්‍රශ්නය මඟ හැර යාම ය. ඉන්පසුව අයින්ස්ටයින්ට තමාගේ මේ ක්‍රියාව නිසා නව ප්‍රශ්නයක් ඇති විය. එය නම් මෙතෙක් කලක් නිවුටන්ගේ භෞතික විද්‍යාව පරීක්ෂණ ප්‍රතිඵල සමඟ ගැළපුණේ ඇයි ද යන්න ය. ගණනය කිරීමකින් ඊට ඔහු දුන්නේ සරල පිළිතුරකි. එනම්, නිවුටන්ගේ භෞතික විද්‍යාව වැරදි නමුත් ඒ වරද සාමාන්‍ය අවස්ථාවල දී ඉතා කුඩා අගයක් වූ නිසා එය පරීක්ෂණවලට හසු නො වූ බවයි.
බටහිර විද්‍යාවේ කල්පිතයක් ඇතිවෙන්නේ ගැටලුවක් ඇති වූ පසු නොව ගැටලු ඇති වන්නේ ම කල්පිත නිසා ය. අනෙක් අතට අවසානයේ කර ඇත්තේ ගැටලුවලට හේතු සෙවීමක් නොව ගැටලුව මඟ හැර යාමකි. නිවුටන්ගේ ගැටලුව මඟහරිමින් අයින්ස්ටයින් පිළිතුරු දුන්නේ තමාගේ ම ගැටලුවකට ය. මෙයින් පෙනෙන්නේ බටහිර විද්‍යාව හේතු හඳුනා ගනිමින් ක්‍රමයෙන් වර්ධනය වන්නක් නොව පද්ධතියෙන් පද්ධතියට මාරු වන්නක් බවයි. මෙවැනි ක්‍රියාවක් අනුගමනය කරන බටහිර විද්‍යාව සත්‍යයකට ආසන්න වන බවක් කිව හැකි නො වේ.
අයින්ස්ටයින්ගේ මතය ගැන තරමක් අසා ඇති ඇතැම්හු එහි දිග හා කාලය වෙනස් වීම අනිත්‍යයට සම්බන්ධ කිරීමට උත්සාහ කරති. ඉහළ ම පෙළේ බුද්ධිවාදියකු (rationalist) වූ අයින්ස්ටයින් එළඹුණේ ඊට හාත්පසින් වෙනස් ප්‍රවේශයකට ය. ඔහු අවකාශය හා කාලය එකතු කර අවකාශ-කාලය යනුවෙන් සංකල්පයක් නිර්මාණය කළේ ය. අයින්ස්ටයින්ට අනුව අවකාශය හා කාලය නිරීක්ෂණය කරන අයගේ හා වස්තුවල චලනය මත වෙනස් වුව ද එම දෙක ඒකාබද්ධ කළ පසු නියත වේ. අයින්ස්ටයින් නිර්මාණය කළ සංකල්පය ඉතා භයානක අකාරයෙන් නිත්‍යභාවය ගැන පවසන අතර අතීත , වර්තමාන, අනාගත සියලු දෑ ආරම්භයේ සිට ම නිශ්චිතව තීරණය වී ඇත යනාදී නියතිවාදී මතයන්ට ද තල්ලුවක් ලබා දුන්නේ ය. ඒ නිසා සාපේක්ෂතාවාදය බුදු දහම සමඟ ඈඳිය යුතු නො වේ.
අයින්ස්ටයින් අවකාශයට හා කාලයට සමාන තැනක් දුන් බවට සාවද්‍ය මතයක් පවතී. ඔහු ඒ දෙක ඒකාබද්ධ කළ ද ඒවාට සමතැනක් දුන්නේ නැත. ඔහු අවකාශය තාත්වික සංඛ්‍යාවලින් නිරූපණය කළ අතර කාලය නිරූපණය කළේ අතාත්වික සංඛ්‍යාවලිනි.
නිවුටන්ගේ මතවාදය පැවති සමයේ , පෘථිවියේ හා දිව්‍ය ලෝකයේ කාලය වෙනස් වේගවලින් ගලා යන බව කියැවෙන බෞද්ධ මතය භෞතික විද්‍යා උගතකුට විහිළුවක් සේ පෙනීමට ඉඩ තිබුණි. අද මෙවැනි දෑ සිදුවන බවට පිළිගැනීමට බාධාවක් නැත. සියල්ලට මුල් වී තිබුණේ නිවුටන්ගේ උපකල්පනය ම ය. මෙයින් අප අවබෝධ කරගත යුත්තේ බටහිර විද්‍යාව උපකල්පන උඩ රඳා පවතින පද්ධතියෙන් පද්ධතියකට මාරු වන්නක් මිස ක්‍රමික විකාශනයක් සිදුවන්නක් නොවන බැවින්, එය මත පිහිටා වෙනත් දැනුම් පද්ධති ගැන කෙරෙන විවේචන සලකා බැලිය යුත්තේ ඒවායේ සීමා මායිම සියුම්ව හඳුනා ගනිමින් බවයි.
- තමලු මලිත්ත පියදිගම
2017 ජූලි 08
ඉරිදා රිවිර
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
Exit way out කණ්ඩායමට පිළිතුර
Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...
වැඩිපුර කියවූ ලිපි
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර) සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළ...
-
යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය (2017 ඔක් 04 විදුසර, මුල් ඡේදය සංස්කරණය වී ඇත.) මෙවර (සැප්තැම්බර් 27) සැම්සන් මහතා ලියා ඇති නිසරු බොළඳ රචන...
-
නලින් ද සිල්වා මහතාගේ මේ වන විට අක්‍රිය තත්වයේ ඇති කාලය පැරණි වෙබ් අඩවිය (2016ට පෙර ලිපි) වෙතට නැවත පිවිසීම සඳහා පහත සබැඳිය භාවිත කළ හැකි...
-
පරවි කූඩු මූලධර්මය - Pigeonhole Principle. මෙය බ්ලොග් අඩවියට ලැබී තිබෙන ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ය. මුලින් ම මෙය පැහැදිලි කරන්නේ වියුක්තව...
No comments:
Post a Comment