K.R. අභයසිංහ හා විදුසර සංවාදය -2

2017.06.29 විදුසර අභයසිංහ මහතාට මාගේ පිළිතුර (සංස්කරණයට පෙර)

මාගේ අරමුණ ජෝතිෂ්‍යය සත්‍ය බව පෙන්වීම නොව ඊට එරෙහිව හේතුවාදීන් ගෙන එන තර්ක ඊටත් වඩා බොළඳ බව පෙන්වීමයි.

කේ. ආර් අභයසිංහ මහතාට මා ලියූ පිළිතුරු ලිපියෙන් ඒ මහතා බොහෝ කලබල වී ඇති බව ඒ මහතා ඊට පිළිතුරු ලියා ඇති ශෛලියෙන් පෙනේ. ඔහුගේ පිළිතුරේ වාක්‍ය දෙක තුනක් හැර අනෙක් සියල්ල හුදු හිස් වදන් වැලක් බව පෙනේ. එමෙන් ම ඒ මහතා කිසිදු පැහැදිලි කිරීමක් නො කර "පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැනුවත් ය" "වටහා ගෙන ඇත" ආදී යෙදුම්වලින් තමාගේ අධානග්‍රාහී ප්‍රකාශ ඒත්තු ගැන්වීමට උත්සාහ දරා ඇත. මෙහි ඇති හාස්‍යජනක කරුණ නම් මෙසේ ලියමින් ම ඒ මහතා කාලාම සූත්‍රය උපුටා ගනිමින් "එය එසේ ය යන ආරංචියෙන්වත්... මේ පුද්ගලයා සෑහෙන කෙනකැයි සිතාවත් නො පිළිගත යුතු බව" ද පවසයි. එහෙත් ඒ මහතා ලිපියේ කොතැනකවත් තම අදහස් පැහැදිලි කර නැත. කොපර්නිකස් , නිවුටන්, අයින්ස්ටයින් යන හුදු නාමයන් තමා කියූ දේ තහවුරු කිරීමේ මිනුම් දණ්ඩ කොටගෙන ඇත. ලිපිය පුරා ම ඇත්තේ 'එය එසේ ය' යන සාවද්‍ය ආරංචි පමණි.

අභයසිංහ මහතා මගේ අරමුණ කුමක් දැයි අසයි. මගේ අරමුණ ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පෙන්වීම නොව ඊට එරෙහිව හේතුවාදීන් ගෙන එන තර්ක ඊටත් වඩා බොළඳ බව පෙන්වීම ය. හේතුවාදය යන අන්ත මිථ්‍යා දෘෂ්ටිය සමාජ ගත කිරීමේ ප්‍රචාරක යාන්ත්‍රණය වී ඇත්තේ ජ්‍යෝතිෂ්‍ය විරෝධයයි. මේ අතිශය ළාමක , බොළඳ හේතුවාදී ප්‍රචාරණ යාන්ත්‍රණයේ නිරුවත හෙළි කිරීම මගේ අරමුණ වේ.

හේතුවාදය (rationalism) පවසන්නේ අපෙන් ස්වායත්ත පරම නිරපේක්ෂ යථාර්ථයක් ඇති බවත් එය හේතුක (causality) සම්බන්ධතාවලින් මෙහෙයවෙන බවත් අප කරන්නේ අසම්පූර්ණ ව නමුත් අපෙන් 'බාහිර නිරපේක්ෂ ලෝකය' ගෝචර කර ගැනීම බවත් ය. හේතුවාදය ලංකාවේ කරළියට එන්නේ මේ ශාස්ත්‍රීය ප්‍රවේශයෙන් නොව ඉතා බොළඳ ප්‍රචාරණ ව්‍යාපෘතියක් ලෙස ය. අදෘශ්‍යමාන දෑ ප්‍රතික්ෂේප කිරීම ලංකාවේ හේතුවාදී ප්‍රචාරණ යාන්ත්‍රණය තුළ ඇති වූ විපරීත අදහසක් මිස මුල් හේතුවාදයේ එන්නක් නො වේ. ඔවුහු ජ්‍යෝතිෂ්‍යයෙන් නො නැවතී නැවත ඉපදීම, නිවන පවා ප්‍රතික්ෂේප කරමින් මිථ්‍යා දෘෂ්ටියේ අන්තයෙහි ගැලී සිටිති. අභයසිංහ මහතා ද නැවත ඉපදීමක් නැත කියමින් විදුසරේ කලක් ලිපි ලීවා මට හොඳින් මතක ය. බුදු දහම සම්බන්ධව හේතුවාදීහු ඉතා වංචනික ප්‍රතිපත්තියක් අනුගමනය කරති. ත්‍රිපිටකයේ තමන්ට අවශ්‍ය අවශ්‍ය කොටස් පසුව එකතු වූ බව කියා අතහැරීම , පාලිය වැරදි ලෙස පරිවර්තනය කිරීම, බුදු දහමේ වචනවල රූපීය සමානකම් තමන් ගේ තාක්ෂණික පද සමඟ ඈඳීම (හේතුඵල වාදය හා හේතුවාදය එකක් යැයි වංචනිකව ඇඟවීම) , බුදුන් වහන්සේ දේශනා නො කළ දේ උන් වහන්සේ ගේ නමින් පළකිරීම එවැනි වේ.
මේ පිළිබඳව ඉදිරියේ දී විස්තරාත්මකව ලිවීමට බලාපොරොත්තු වෙමි.

"කිං කරිස්සන්ති තාරකා" යන්න අභයසිංහ මහතා ගේ ප්‍රියතම වාක්‍යයක් වී ඇත. ඔහු එයට "ග්‍රහ තාරකාවලට කළ හැකි කිසිවක් නැත." ලෙස සාවද්‍ය පරිවර්තනයක් කරයි. "තාරකාවෝ කුමක් කෙරෙත් ද?" නිවැරදි පරිවර්තනයයි. මෙහි විහිළුව වන්නේ හේතුවාදීන් නිතර ම පාහේ බුදු දහමට පසුව එකතු වූ මිථ්‍යා ලෙස නම් කරන ජාතක කථාවල එන කියමනක්, ධෝවන සූත්‍රයේ කියැවෙන දේට එරෙහිව හේතුවාදියකු ම ඉදිරිපත් කිරීමයි. මේ ගැන පුදුම වීමට දෙයක් නැත. ලංකාවේ හේතුවාදීහු අංක එකේ විහිළුකාරයෝ ය. ඒ මහතා නක්ඛත්ත ජාතකය සම්පූර්ණයෙන් කියවූයේ නම් එයින් කියැවෙන්නේ නැකැත් තීරණ ගැනීමට ප්‍රධාන සාධකය කර නො ගත යුතු බව මිස නැකැත් නො පවතින බව නො වේ. "පැවිද්දන්ට යම් දෙයක් තහනම් කර ඒ දෙය ම ගිහියන්ට වලංගු කරන දහමක් බුදුන් විසින් කොහේවත් උගන්වා නැත" යැයි අභයසිංහ මහතා සඳහන් කරන විට ඒ මහතා බොහෝ දේ නො සලකා නන් දොඩවන බව පෙර පාසල් සිසුවකුට පවා වැටහෙනු ඇත. ලිංගික ක්‍රියාකාරකම් හා ඉර මුදුන් වූ පසු ආහාර ගැනීම ආදී දේ පැවිද්දන්ට අකැප වුව ද ගිහියන්ට වලංගු බව නො දන්නේ ඇස් කන් පියා ගෙන සිටින්නකු විය යුතු ය. එහෙත් හේතුවාදීන්ට මේවාට සරල පිළිතුරු ඇත! "ඒවා බුදු දහමට පසුව එකතු වූ දේ ය." මුල් බුදු දහමේ ලිංගික ක්‍රියාකාරකම් හා විකාල භෝජනය පැවිද්දන්ට තහනම් කොට නැත වැනි විපරීත පිළිතුරු මේ සඳහා හේතුවාදීන්ට ඇත. ඒ සඳහා ඔවුන්ට ත්‍රිපිටකයෙන් විශාල ප්‍රමාණයක් බැහැර කිරීමට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නො වේ. හේතුවාදීන්ට ඒවා අදාළ නැත. බුදුන් වහන්සේ කිව යුත්තේ මොනවා දැයි තීරණය කිරීමේ පරමාධිකාරී බලය ඇත්තේ හේතුවාදීන්ට ය! මෙවන් ශාස්ත්‍රීය වංචනික කල්ලියකට ත්‍රිපිටක පාඨ පෙන්වීමෙන් ප්‍රයෝජනයක් නැතත් පාඨකයන් උදෙසා අදාළ ත්‍රිපිටක පාඨය පළ කරමි.

"මහණෙනි, දක්ෂිණජනපදයෙහි ධොවන නම් නැකැත් කෙළියෙක් ඇත...... මහණෙනි, තෙල ධොවනය ඇත් මැයි. තෙල නැතැයි නො ම කියමි. මහණෙනි, තෙල ධොවනය හීනය, ග්‍රාම්‍යය, පුහුදුනන් අයත්ය...."

ධෝවනය ඇති බවත් එය පුහුදුනන් සඳහා පමණක් බව බුදුන් වහන්සේ පැවසූ සේක. ලිංගික ක්‍රියාකාරකම් ගැන ද බුදුන් වහන්සේ පවසා ඇත්තේ මෙවැනි ම දෙයකි.

හේතුවාදීහු ඔවුන්ගේ විප්‍රකාර අදහස් සඳහා බටහිර විද්‍යාව ද විකෘති කරති. කොපර්නිකස් හා ගැලීලියෝ පොළොව සූර්යයා වටා යන බව "ඔප්පු කළ බව" ප්‍රකට බොරුවක් පමණි. පාසල් සිසුන් ඉගෙන ගන්නා සියල්ල පරම සත්‍ය වැනි මූඪ නිගමනයක් අභයසිංහ මහතා ගේ ලිපියෙහි පෙනේ. මා ඔහුට අභියෝග කරන්නේ කොපර්නිකස් , ගැලීලියෝ එසේ "ඔප්පු කළ තැන" පෙන්වන්න යනුවෙනි. ප්‍රබල දුරේක්ෂ මඟින් එසේ දැන ගන්නට ලැබුණු බව කීම වංචනික නො මඟ යැවීමකි. එසේ ඔප්පු කළේ කවර දුරේක්ෂයකින් ගත් කවර ප්‍රතිඵලවලින් දැයි යන්න විස්තරාත්මක ව දක්වන ලෙස ඒ මහතාට අභියෝග කරමි.

'පොළොව ඉර වටා යෑම යථාර්ථය වන අතර ඉර පොළොව වටා යෑම බොරුවක් ය' යන්නක් කවුරුන්වත් ඔප්පු කොට නැත. අයින්ස්ටයින්ට අනුව සූර්ය කේන්ද්‍රවාදය හා පෘථිවි කේන්ද්‍රවාදය අතර විවාදය ම කිසිදු අර්ථයක් රහිත එකකි. එමෙන් ම අයින්ස්ටයින්ට අනුව සියලු චලිතය සාපේක්ෂ වේ. නිරපේක්ෂ චලිතයක් නැත. චලිතය ම යථාර්ථයක් නො වේ. අයින්ස්ටයින්ට අනුව, සූර්ය කේන්ද්‍රවාදය යථාර්ථයක් බව මෙතෙක් ඔප්පු කිරීමට නො හැකි වූවා පමණක් නොව එසේ ඔප්පු කිරීමට ද නො හැකි ය. අභයසිංහ මහතා සිටින්නේ අදට සියවස් දෙක තුනක් පිටු පසිනි. එහෙත් ඔහු අයින්ස්ටයින් ගේ නම පවා තම පිළිතුරට ඈඳා ගැනීමට තරම් බංකොලොත් වේ. අභයසිංහ මහතා මෙන් අපි අයින්ස්ටයින් කීවා කියා නො කියූ දෙය සඳහන් නො කරමු. එනිසා අයින්ස්ටයින් ම පැවසූ ප්‍රකාශය පහත ගෙන හැර දක්වමු.

The struggle, so violent in the early days of science, between the views of Ptolemy and Copernicus would then be quite meaningless. Either C.S. could be used with equal justification.

(The Evolution of Physics.- A. Einstein, L.Infeld page 224)

මීළඟට ග්‍රහයින්ගෙන් වන බලපෑම ගුරුත්වාකර්ෂණය බව අභයසිංහ මහතා කියා ඇත. මෙය ඔහු ගේ බොළඳකමයි. ග්‍රහලෝක මඟින් ඇතිවන බලපෑම ගුරුත්වාකර්ෂණය බව කීම ඔහු ගේ හිතලුවක් පමණි. ගුරුත්වාකර්ෂණය නො වන වෙනත් බලපෑම් තිබිය නො හැකි ද? පෙර ලිපියේ මා පෙන්වූයේ ජෝතිෂ්‍යය සඳහා ග්‍රහලෝකවලින් බලපෑමක් තිබීම පවා අත්‍යවශ්‍ය නො වනා බවයි.  ස්වභාවය ආවර්තීය චක්‍රවලින් යුතු බව කියන්නේ හේතුවාදීන් ම ය. ඉන් නො නවතින ඔවුහු මනස මොළයට ඌනනය කරති. එවිට මිනිස් ක්‍රියාකාරකම් ද රසායනික විපර්යාස ම වන බැවින් ඒවා ද ස්වභාවික චක්‍රීයතාවයට නතු වෙනු ඇත. අහසේ චක්‍ර හා මිනිසුන් ගේ චක්‍ර අතර සමපාත වීම් සොයා ගත හැකි නම් අහසේ චක්‍ර හා සම්බන්ධ ගණනයෙන් මිනිස් හැසිරීම් සොයා ගත හැකි බව හේතුවාදයෙන් ම ගම්‍ය වේ. එහෙයින් ජෝතිෂ්‍යයට අවශ්‍ය ම දාර්ශනික පදනම හේතුවාදීන් සපයා දී ඇත. අභයසිංහ මහතා මාගේ ප්‍රධාන තර්කයට පිළිතුරු නො දී ගුරුත්වාකර්ෂණය ගැන නන් දොඩවයි.

අනාවැකි බොරු වීම ගැන කතා කරන අභයසිංහ මහතා කාලගුණ දෙපාර්තමේන්තුවේ සේවය කර තිබීම ම උත්ප්‍රාසයකි. රූපවාහිනිය ඉදිරියේ ප්‍රකාශ කර අසත්‍ය වූ අනාවැකි බහුතරය ජෝතිෂ්‍යය අනාවැකි ද කාලගුණ අනාවැකි ද යන්න විදුසර පාඨකයෝ දනිති. බොරු ජෝතිෂ්‍ය අනාවැකිවල දී පෞද්ගලික ධනය නාස්ති වන නිසා ඒ වංචාවක් බව හේතුවාදීහු උලුප්පා දක්වති. කාලගුණ අනාවැකි සඳහා වැයවන්නේ මහ ජනතාවගේ බදු මුදල් බැවින් හේතුවාදීන්ට වඩා භයානක දෙය විය යුත්තේ කාලගුණ අනාවැකි ය. (මෙය ලාංකීය හේතුවාදයේ වලංගු තාර්කික අවසානය මිස මගේ අදහස නොවේ. අනාවැකි වැරදිම උලුප්පීම මුග්ධ හේතුවාදීන් ගේ ලක්ෂණයකි.)

අවසාන වශයෙන් කිව යුත්තේ ජෝතිෂ්‍යයේ සීමා ගැන කතා කළ යුත්තේ වඩා දියුණු එළඹුමකින් මිස හේතුවාදය වැනි මිථ්‍යාව වපුරන, බුදු දහම විකෘති කරන, සියවස් තුනකට පෙර බටහිර විද්‍යාවේ තවමත් අවිචාරයේ ගැලී සිට, බටහිර විද්‍යාව ඉගෙන ගන්නා සිසුන්ට වැරදි කරුණු දක්වමින් ඔවුන් ගේ විමර්ශනශීලීත්වය නැති කරන බොළඳ දෘෂ්ටිවාදයකින් නො වේ.
විදුසර පාඨකයකු වීමට සුදුසු විචාරශීලීත්වය නැත්තේ අප දෙදෙනාගෙන් කාට ද යන්න තීරණය කිරීම පාඨකයාට බාර ය.

(කොවුර්ගේ අභියෝග යොමුවන්නේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රඥයන් වෙත බැවින් ජ්‍යෝතිෂ්‍යය සත්‍ය බව පෙන්වීම අරමුණක් නොවන මට එම අභියෝග අදාළ නො වේ. කොවුර්ගේ අභියෝගවල අශාස්ත්‍රීය භාවය පෙන්වා දීමට ඔබ අභියෝග කරන්නේ නම් ඕනෑ ම අවකාශයක දී එය භාර ගැනීමට මම සූදානම් බව සඳහන් කරමි.)

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි