කේ.ආර් අභයසිංහ සමඟ විදුසර සංවාදය 1

(සංස්කරණයට පෙරයි)
මෙහි මා මේ සටහන තබන්නේ ජෝතිෂ්‍ය සත්‍ය බව කීමට නොව ජෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කිරීම සඳහා හේතුවාදීන් ගෙනෙන තර්ක ඊටත් වඩා මිථ්‍යා බව කීමට ය.
බුදු දහම මඟින් ජෝතිෂ්‍ය තිරශ්චීන හා ග්‍රාම්‍ය ලෙස ශ්‍රමණයින් සඳහා පැවසුව ද ගිහියන් සඳහා එවැන්නක් පවසා නැත. ධෝවන සූත්‍රයේ බුදුන් වහන්සේ කියන්නේ ජෝතිෂ්‍ය යනු ගිහියන්ට මිස පැවිද්දන්ට නො ගැළපෙන තිරශ්චීන ග්‍රාම්‍ය ධර්මයක් වුවත් තමන් වහන්සේ නැකැත්වල 'පැවැත්ම ප්‍රතික්ෂේප' නො කරන බව ය. //තෙල ධෝවන ය ඇත් ම ය. ඒ නැතැයි මම නො කියමි.//

බුදුන් වහන්සේ නියතිවාදය ප්‍රතික්ෂේප කරන බව සැබෑ ය. එහෙත් ජෝතිෂ්‍යයේ සියලු එළඹුම් නියතිවාදී නො වේ. ජෝතිෂ්‍යයේ අනිවාර්යයෙන් ම සිදුවන අනාගතයක් නො ව සම්භාවී අනාගතයක් කියැවෙන බව කියන්නෝ බොහෝ ය. එය මෙසේ වෙද්දී හේතුවාදය යනු නියතිවාදය තමා ගේ සාරය කරගත් මිථ්‍යා දෘෂ්ටියකි. හේතුවාදයේ පදනම් දාර්ශනිකයා වන මිල් ගේ හේතුවාදයේ සුප්‍රසිද්ධ මූලධර්ම කිහිපයෙන් එකක් වන්නේ "අනාගතය ද අතීතය ම වේ යන්න ය." මෙහි අර්ථය කුමක් ද? මෙහි අර්ථය වන්නේ ඊනියා සමාන තත්ව සපයා ඇති විට කවර කාලයක වුවත් සිදුවන්නේ එක ම දේ ය යන්න ය. නියතිවාදය යනු මෙය ම නො වේ ද? යථාර්ථවාදයේ (realism) ප්‍රධානතම නියෝජිතයකු වූ අයිසෙක් නිවුටන් කීවේ විශ්වයේ සියලු ම අංශුවල ආරම්භක ප්‍රවේග ස්කන්ධ හා ඒවා අතර ක්‍රියාත්මක වන බල ලබා දෙන්නේ නම් තමාට සමස්ත අනාගතය තමන් ගේ භෞතික විද්‍යාව මගින් අංග සම්පූර්ණව ප්‍රකාශ කළ හැකි බව ය. හේතුවාදී නිවුටන් මේ කීවේ නියතිවාදය මිස වෙන කවරක් ද? නිවුටන් ගේ කයිවාරුව කෙසේ වුව ද? ඔහුට ජීවිත කාලය ම ගත වීත් n දේහ ගැටලුව (n body problem) විසඳිය නො හැකි විය. පසුව දුටුවේ n body problem නිශ්චිතව ලිවිය නො හැකි ය. ලංකාවේ හේතුවාදියා ගේ හපන්කම් හා කයිවාරුව අතර පරතරය ඊට ද වඩා බෙහෙවින් පළල් බව කිව යුතු නො වේ.

මී ළඟට ජෝතිෂ්‍යයේ පදනම පෘථිවි කේන්ද්‍රවාදය යන සැමදා කියවන මෝඩ ප්‍රකාශය නැවත කියා ඇත. සූර්ය කේන්ද්‍රවාදය ඔප්පු කොට ඇත්තේ කවරෙක් ද? පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්ය කේන්ද්‍රවාදය දෙක ම අදවන විට එක ම කුලකයකට වැටී අවසන් ය. අයින්ස්ටයින්ට අනුව සියලු චලිතය සාපේක්ෂ ය. ඉරේ සිට බැලූවිට පෙනෙන දේ විශේෂ වන්නේ කුමන සාධාරණත්වයකින් ද? අනික පෘථිවි කේන්ද්‍රවාදය වැරදි යැයි හුදු තර්කය උදෙසා සිතුව ද කේන්දර හදන්නේ පොළොවේ ඉන්න මිනිසුන්ට මිස වෙන ග්‍රහලෝකවලට නො වේ. පෘථිවි කේන්ද්‍රවාදය මුවහමට ඔච්චර තැලීමට ආසා නම් හේතුවාදීන් සිතිය යුත්තේ ඉංජිනේරු පීඨවල දේශන ශාලාවල හා උසස් පෙළ භෞතික විද්‍යා පන්තිවල ය. පොළොව නිශ්චල යැයි ගණන් තොග පිටින් හදන්නේ ඒවායේ ය. ඉංජිනේරුවෝ පොළොව නිශ්චල සේ ගෙන හදන පාලම් ගොඩනැඟිලිවලට එරෙහිව හේතුවාදී සංගමය කොළඹ දෙවනත් කර උද්ඝෝෂණ පැවැත්විය යුතු ය.

අනෙක නම් තමා දන්නා කියන බල වර්ගවලින් එකක් ග්‍රහලෝක මඟින් ද පැමිණෙන බලය විය යුතුයි යන මුග්ධ නිගමනය ය. අප මත බලපාන සම්ප්‍රයුක්ත ගුරුත්වය දුර්වල යැයි තවත් ඔළ මොට්ටල කතාවක් කියන්නේ .. බටහිර විද්‍යා දත්ත හා නිතර කියවන සූර්ය කේන්ද්‍රවාදය කුණු කූඩයට විසි කරමිනි.
කේන්දර දහයක් දී විවිධ විකාර අභියෝග කිරීම විහිළුවකි. ඕනෑ ම ශාස්ත්‍රයක විෂය සීමාවක් හා පරිධියක් ඇත. කොවුර් වැනි විපරිතයින්
තමන් විසින් ප්‍රමාණවත් යැයි සිතන දත්ත තමා ම සපයමින් , ලබා දිය යුතු උත්තරවල පරිධිය තමා ම තීරණය කරමින් කළ විකාර අභියෝග බීමතින් අභියෝග කිරීම්වලට දෙවනි නැත.

අනෙක හේතුවාදය ස්වභාවධර්මය චක්‍රීය බව කියයි.. මනස ද මොළයට ඌනනය කිරීම දක්වා යයි.. මෙවිට මිනිස් ක්‍රියාකාරකම් ද ස්වභාවික චක්‍ර යටතට වැටේ..

දැන් ග්‍රහලෝකවලින් යම් කිසි බලයක් හෝ කිරණයක් නො ආවත් ග්‍රහලෝකවල චක්‍රීයතාවය හා මිනිසුන් ගේ චක්‍රීයතාව අතර සමපාතවීම්වලට එරෙහි වීමට හේතුවාදයට නො හැකි ය.
මින් පෙනෙන්නේ ජෝතිෂ්‍යයට අවශ්‍ය ම දාර්ශනික පදනම සපයන්නේ වෙන කිසිවක් නොව හේතුවාදය බවයි.

1 comment:

  1. ".......තරු සිතියම් ගතකිරීම වඩාත් පහසු වුනි. නිර්මාණශීලී මිනිසුන් තරු රටා අළලා ආකර්ශනීය කතා නිර්මාණය කල අතර ඒවා තරු තරම්ම චමත්කාර ජනක විය. අතීතයේ සිට අද දක්කවා සිදුවූ දියුණුව හේතුවෙන් අදද අනාගතය පිළිබඳව වඩාත්ම සාර්ථකව අනාවැකි පැවසීමට හැකි එකම ක්‍ෂේත්‍රය තාරකා විද්‍යාව බවට පත්ව ඇත.

    මෙසේ තාරකා විද්‍යාව දියුණු වනවිට “සියල්ලන්න්ටම” පිළිගත හැකි ක්‍රමවේදයකට අනුව අකාෂ වස්තු පිලිබඳ අනාවැකි කීමේ හැකියාව මිනිසුන්ට ලැබුණි. ප්‍රථම සහ එකම වතාවට සාර්ථක ලෙස ඉන්ද්‍රිය ගෝචර ක්‍රමවේදයකට අනුව දීර්ඝකාලීන අනාවැකි පැවසීමේ හැකියාව සහිත එකම ක්ෂේත්‍රය බවට තාරකා විද්‍යාව පත්වුණි. මෙසේ මානවයාගේ කුතුහලය අවධිකළ එක් කරුනක අභිරහස් අනාවරණය වනවිට අනෙක් කරුණ පිළිබඳව ඇති කුතුහලයද කෙමෙන් වැඩිවන්නට ඇත. ඉතා සංකීර්ණ වූ තාරකා විද්‍යාව ඉතාමත්ම සංකීර්ණවූ මිනිස් දිවිය සමග ගැලපීමට තැත්කිරීමේ එතරම් වරදක් දැකිය නොහැක. කුතුහලය නිසාම දියුණු වූ මිනිසා මානව ඉතිහාසයේ සිදුකල දීර්ඝතම පරීක්‍ෂණය ලෙස ජෝතිෂ්‍යය හැඳින්විය හැක. මාගේ අදහස අනුව ඉතාමත් සංකීර්ණ මෙන්ම පුළුල් පරාසයක පැතිරුණු සිතුපැතුම්, හැසිරීම් රටා සහ බාහිර බලපෑම් මගින් පාලනය වන මිනිස් ජීවිතයේ සිදුවීම් තාරකා විද්‍යාවේ ඇති සංසිද්ධීන් සමග ගැලපීමට ගත් බැරෑරුම් උත්සාහයක් ලෙස ජෝතිෂ්‍ය හැඳින්විය හැක.

    බොහෝ දෙනෙකු ජෝතිෂ්‍යය පැහැදිලි කිරීමට ග්‍රහලෝක තාරකා ආදියෙන් නිකුත්වන නොපෙනෙන කිරණ භාවිතා කරයි. නමුත් මාගේ පුද්ගලික විශ්වාසයනම් ග්‍රහලෝක, තාරකා ආදියෙන් නිකුත්වන කිරණ (ආලෝකය, රේඩියෝ, ගැමා, ගුරුත්වය ආදිය) වලට මිනිස් ජීවිතය හෝ පරිසරය කෙරෙහි කළහැකි බලපෑම ඉතාම අවම බවයි. හිරු හැරුණුවිට අපහට ඉතාමත් විශාලම බලපෑම කරනුයේ චන්ද්‍රයාය. අනෙකුත් ග්‍රහ වස්තුන් මගින් සිදුවන බලපෑම් ඉතාමත් අල්ප බව සැලකිය හැක.

    ජෝතිෂ්‍යයේ ඇති සියලුම සංසිද්ධි පාහේ යම් ආකාරයක විශේෂිත තාරකාවිද්‍යාත්මක සිදුවීමකි. නැකතක් යනු තාරකා රාශි සහ අකාෂ වස්තු යම් විශේෂිත අකාරයකට පිහිටීමක් ලෙස හැඳින්විය හැක. මේ සියල්ල පෘතුවියට සාපේක්ෂව සලකනු ලබයි. එනම් වෙනත් ග්‍රහලොවක උපන් පුද්ගලයෙක් සඳහා ජෝතිෂ්‍ය භාවිතා කරයි නම් එම ග්‍රහලොවට සාපේක්ෂව නැවතත් ජෝතිෂ්‍ය නිර්මාණය කලයුතු අතර ග්‍රහයන්ගේ හැසිරීම සහ ජීවිත සිදුවීම් අතර නිවැරදි සම්බන්ධතාවයක් ගොඩනැගීමට නැවතත් පරීක්‍ෂණයක් සිදුකල යුතුය. ඒ හැර පෘතුවිය මතට සැකසු ජෝතිෂ්‍ය නියමයන් වෙනත් ග්‍රහලොවක් මත යෙදීම එතරම් සාර්ථක නොවේ....."

    ReplyDelete

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි