පාඨකයින් මුරුංගා අත්තේ තබා ලිස්සීම: අභයසිංහට පිළිතුරක්

ජූලි 12 විදුසර පත්‍රයේ පළ වූ මාගේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස කේ.ආර්. අභයසිංහ මහතා ජූලි 19 විදුසර පත්‍රයේ ඉතා අශාස්ත්‍රීය ලිපියක් පළකොට තිබේ. ඡේද හතකින් යුතු එම ලියැවිල්ලේ කිසිදු තැනක අභයසිංහ මහතා මගේ ලිපියට පිළිතුරක් දී නැත. ඒ වෙනුවට ඒ මහතා කර ඇත්තේ මගේ තර්කවලට පිළිතුරු නො දී සිටීම ගැන නිදහසට කරුණු දැක්වීම ය. එමෙන් ම තම තර්කය ලිපියේ විස්තර කොට දැක්වීම හෝ තමා පදනම් කරගත් මූලාශ්‍රවල අදාළ ස්ථාන නිශ්චිතව දැක්වීම හෝ සිදු නො කර  ඔහු පවසන දෑ තහවුරු කිරීමට 'බොහෝ පොත්වල ඇත' යනාදී අපැහැදිලි , අවිනිශ්චිත, මුළා කරනසුලු ප්‍රකාශ සිදු කිරීම එනම් වැල්ලේ ඔළුව හංගා ගන්නා පැස්බර චර්යාව සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරීම ය. එයින් පෙනෙන්නේ අභයසිංහ මහතා පෙර ලිපිවල දී ද නිසි පිළිතුරක් දීමට අපොහොසත් වූ බව මෙවර ලිපියෙන් ඔහු තමන් විසින් ම පිළිගෙන ඇති බව ය.

ඒ මහතා තම නිදහසට කරුණු ලෙස ඉදිරිපත් කරන මූලික තර්කය වන්නේ විදුසර පාඨකයින් බොහෝ විද්‍යා ලිපි කියවා ඇති බැවින් ඔවුන්ට තමාගේ තර්ක විශේෂයෙන් තහවුරු කරවිය යුතු නැති බවයි. අවාසනාවකට තම ගැලවීම සඳහා ම ඉදිරිපත් කරන බව පැහැදිලිව පෙනෙන මේ බොළඳ ප්‍රකාශයේ වලංගුභාවය අභයසිංහ මහතාගේ ක්‍රියාකාරිත්වය විසින් ම මේ වන විටත් ප්‍රතික්ෂේප කරවා හමාර ය. ඒ මහතා ප්‍රස්තුතයට අදාළ නොවන එමෙන් ම සාවද්‍ය කරුණු ඇති වැල්වටාරම් ලියමින් මේ උත්සාහ කරන්නේ කුමකට ද? මේ වන විට එවන් නිසරු ලිපි කිහිපයක් ම ලියා ඇති අභයසිංහ මහතා දැන් මේ කරන බොළඳ ප්‍රකාශය විදුසර පාඨකයින්ගේ මුවෙහි සිනහවක් රඳවන්නට ඇති බව නො අනුමාන ය. සංවාදයක දී පාඨකයන් මුරුංගා අත්තේ තබා ලිස්සා යාමේ කලාව විමර්ශනශීලී විදුසර පාඨකයින් සඳහා සාර්ථක නොවන බව වටහා ගත යුතු ය. සැම්සන් ගුණතිලක මහතාගේ ජූලි 12 වෙනි දා 'සංවාදවල සදොස් තැන් සමහරක්' ලිපිය අනුමත කරන අභයසිංහ මහතා එය මට ද කියවීමට නිර්දේශ කරයි. සැම්සන් මහතා හේතුවාදය බුදු දහමේ පදනමට ම විරුද්ධ බව පැහැදිලිව කියා තිබිය දී ඒ ගැන කිසිදු සඳහනක් නො කරමින් එය අනුමත කරන අභයසිංහ මහතා ම ථෙරවාද දහම් කරුණු ඉගෙනීමට පොත පත යෝජනා කිරීම තරම් විහිළුවක් තවත් නැත. මෙසේ නැවත නැවතත් ඔහුගේ ප්‍රකාශ ඔහුගේ ක්‍රියාකාරිත්වයෙන් ම ප්‍රතික්ෂේප වන්නේ අභයසිංහ මහතාගේ සිත තුළ පරාජිත හැඟීමක දෝංකාරය නින්නාද වෙමින් පවතින නිසා බව ලිපිය ලියා ඇති ශෛලියෙන් ම ඉස්මතු වී පෙනේ.  මෙම සංවාදය ඇරඹීමට පෙර තමා නො දන්නා දැනුම් පද්ධති ගැන වෛරී ඇසකින් යුතුව අපහාසාත්මකව කතා කරමින් ඒවාට විරුද්ධව හිස් තර්ක ගොඩනඟමින් ජයග්‍රාහී ලීලාවෙන් පාළු ගෙයි වළං බිඳීමක නිරතව හුන් ඒ මහතාගේ අදහස්වල බොල් බව විදුසර පාඨකයින්ට මේ සංවාදයේ දී කරුණු සහිතව අනාවරණය වූ පසු ඔහුගේ මේ හැසිරීම පාඨකයින්ගේ අනුකම්පාවට ලක් විය යුත්තකි. අභයසිංහ මහතා මීට වඩා දෙයක් ලිවීමට අපොහොසත්ව ඇති බැවින් සැම්සන් ගුණතිලක මහතාගේ ලිපිය වෙත අවධානය යොමු කරමි.

හේතුවාදය හා බුදු දහම එකිනෙකට පටහැනි බව පිළිගෙන තිබීම පිළිබඳව පළමුවෙන් ම සැම්සන් මහතාට ස්තූතිවන්ත වෙමි. බුදු දහම තමන්ගේ ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීමට උත්සාහ කරන අභයසිංහ මහතා වැනි හේතුවාදීන්ගෙන් ප්‍රවේසම් වීමට පාඨකයින් සැලකිලිමත් විය යුතු ය.

සැම්සන් මහතා ද පෘථිවි කේන්ද්‍රවාදය හා සූර්ය කේන්ද්‍රවාදය පිළිබඳ ඉතා සාවද්‍ය තර්කයක් ගොඩ නඟයි. ඔහු පවසන්නේ මා ගාල්ලේ සිට කොළඹ බලා බසයකින් ගමන් කළහොත් බසය ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කළේ ද පොළොව ආපස්සට ගමන් කළේ ද යන්න ගැටලුවක් කරගනිමින් මුදල් ගෙවීම ප්‍රතික්ෂේප කළ හැකි බවයි.

මෙය අතිශයින් බොළඳ ප්‍රකාශයක් බව සාමාන්‍ය පෙළ සිසුන්ට පවා වැටහේ. ගාල්ලේ සිටින අයකු බසයට නො නැඟ සිටියේ නම් ඔහු කොළඹට පැමිණෙන්නේ නැත. ඔහු කොළඹට පැමිණෙන්නේ බසයට ගොඩ වීම නිසා ය. ගාල්ලෙන් බසයට නඟින ඔහු කොළඹ දී බසයෙන් බසී. ඒ අතරතුර දී සිදු වූයේ පොළොවට සාපේක්ෂව බසය ගාල්ලේ සිට කොළඹට යාම වුවත් බසයට සාපේක්ෂව පොළොව පසු පසට යාම වුවත් එයින් ගැටළුවක් මතු නො වේ. කුමනාකාරයෙන් සිදු වුව ද ප්‍රතිඵලය එක ම ය. බසයට මුදල් ගෙවන්නේ ගාල්ලේ සිට කොළඹට යෑමට ය. බසයට නැඟීමෙන් තොරව ඒ චලිතය සිදු නො වේ. ඕනෑ ම නිරීක්ෂකයකුට සාපේක්ෂව චලිතය පැහැදිලි කළ හැකි බව මෙයින් ම තේරුම් ගත හැකි ය.

  වැඩි දුරටත් සඳහන් කළහොත් යාන්ත්‍ර විද්‍යාවේ (mechanics) ප්‍රගති විද්‍යාව (Kinematics) හා චාලක විද්‍යාව (Kinetics) ලෙස කොටස් දෙකක් පවතී. ප්‍රගති විද්‍යාවේ හුදෙක් ම චලනයන්ගේ පථ හා ප්‍රවේග, ත්වරණ ආදිය ගැන කියැවේ. චාලක විද්‍යාවේ එම චලනයන්ට හේතු වූ බල ගැන කියැවේ. ප්‍රගති විද්‍යාව ඕනෑ ම රාමුවකට සාපේක්ෂව නිවැරදි බව ඈත අතීතයේ ගැලීලියෝගේ කාලයේ සිට ම දැන සිටි අතර v=u+at ආදී චලිත සමීකරණවලින් ගැටළු විසඳීම අවශ්‍ය ඕනෑ ම රාමුවක සිට සිදු කළ හැකි බව උසස් පෙළ සිසුහු ද දනිති. සැම්සන් මහතා මගේ තර්කය සාවද්‍ය බව කීමට ප්‍රගති විද්‍යා ගැටළුවක් ඉදිරිපත් කිරීමෙන් ම ඒ මහතාගේ භෞතික විද්‍යා දැනුමේ අඩු පාඩුව ප්‍රදර්ශනය වේ. රාමුව මත ප්‍රතිඵල වෙනස් වීමක් ඇත්තේ නිවුටන් ඉදිරිපත් කළ චාලක විද්‍යාවේ (Newtonian Kinetics) ය. එනම් F=ma වැනි සමීකරණ යෙදෙන තැන්වල ය. එවන් සමීකරණ සත්‍ය වන්නේ අවස්ථිතික රාමු (inertial frames) නම් විශේෂ රාමු සමූහයකට අනුබද්ධව බව නිවුටන් කීවේ ය. අර්නස්ට් මක් (Ernst Mach) නම් දාර්ශනිකයා ඉතා ප්‍රබල තර්ක මඟින් සිය  The Science of Mechanics කෘතියේ දී පෙන්වා දුන්නේ නිවුටන්ගේ අවස්ථිති රාමු කෙසේවත් පැවතිය නො හැකි අභව්‍ය දෙයක් බව ය. ආලෝකය පිළිබඳ මයිකල්සන්- මෝර්ලි පරීක්ෂණය මඟින් ද අවස්ථිති රාමු සංකල්පය බිඳ වැටී ගිය අතර අයින්ස්ටයින් සාධාරණ සාපේක්ෂතාවාදය (General Relativity) ගෙන එමින් පෙන්වා දුන්නේ නිවුටන්ගේ සමීකරණ අසම්පූර්ණ බවත් සාධාරණ සාපේක්ෂතාවාදයේ නිවැරදි සමීකරණ යටතේ චාලක විද්‍යාව ඇතුළු භෞතික විද්‍යාවේ නියම ඕනෑ ම සමුද්දේශ රාමුවක් (reference frame) අනුබද්ධව වලංගු බව ය. එහි දී සූර්යකේන්ද්‍රවාදයත් පෘථිවිකේන්ද්‍රවාදයත් සමාන සාධාරණත්වයකින් යුතු බව ගම්‍ය වේ. අයින්ස්ටයින්ගේ අදහස්වලට කෙබඳු අභියෝග එල්ල වුව ද මෙම අදහසට කිසිදු අභියෝගයක් එල්ල වී නැත. පසුකාලීන විද්‍යඥයින් කවුරුන් ද යන්න හෝ ඔවුන් එවන් අදහස් පැවසුවේ කොතැන ද යන්න හෝ නොකියා පසුකාලීන විද්‍යඥයින් අතින් එම අදහස වෙනස් වී ඇතැයි කීම පාඨකයින් මුළා කිරීමට දරන අසාර්ථක වෑයමකි. කිසිදු රාමුවක අනෙක් රාමුවකට වඩා ඇති යථාර්ථවත් සුවිශේෂිත්වයක් අයින්ස්ටයින්ගෙන් පසු කිසිදු විද්‍යාඥයකු පෙන්වා දී නැති බව අවධාරණයෙන් සඳහන් කළ යුතු ය. අසත්‍ය කරුණුවලින් විදුසර පාඨකයින් මුළා නො කරන ලෙස ඒ මහතාට පවසමි. ග්‍රහයින්ගේ වක්‍ර වීම ගැලීලියෝගේ කාලයේ දී ප්‍රශ්නයක් වූයේ ග්‍රහවස්තුවල චලිතය පිළිබඳ එකල පැවති අදට වලංගු නැති දුර්මත නිසා ය. පොළොව චලනය වීමට සාක්ෂ්‍යයක් ලෙස එකල ගැලීලියෝ වඩදිය ඇති වීම පවා දක්වා ඇත. වඩදිය ඇති වෙන්නේ එනිසා නොව චන්ද්‍ර හා සූර්ය බලපෑම නිසා බව අද අපි දනිමු. සැම්සන් මහතා කරුණු ඉදිරිපත් කිරීමට පෙර එම කරුණු අදට වලංගු දැයි විමසා බැලීමට හුරු විය යුතු ය.

පරිණාමවාදය මඟින් පුනර්භවය අසත්‍ය යැයි පෙන්වා ඇති බවට  සාධක රහිත දුර්මතයක් අභයසිංහ මහතා හා සැම්සන් මහතා ඉදිරිපත් කර ඇත. පරිණාමවාදය පිළිබඳ ස්වභාවික වරණවාදයේ කියැවෙන්නේ අතිජනනය හා ජීවී ගහණයක පවතින මධ්‍යන්‍ය ඓකිකයන් ගණන නියත වීම හේතුවෙන් ජීවන සටනක් ඇතිවන බවත් ජීවින් ප්‍රභේදනය වී ජනනය වීම හේතුවෙන් ස්වභාවධර්මය විසින් උචිතතම ජීවීන් ප්‍රජනන කෘත්‍ය සඳහා තෝරා ගැනෙන බවත් ය. එහිදී විවිධ ලක්ෂණ සමූහයක් ඇති වී ඒවායින් උචිතතම ලක්ෂණ ඉදිරියට යාම මඟින් ජීවීන් නිරන්තරයෙන් ප්‍රගමනයට, දියුණුවට පත් වන බවත් ය. එනම් කායික ලක්ෂණ ප්‍රවර්ධනය වීම ගැන ය. පුනර්භවයෙන් කියැවෙන්නේ මරණයෙන් පසු චුති චිත්තයට අනුරූපව වෙනත් තැනක ප්‍රතිසන්ධි චිත්තය ඇති වීමෙන් තවත් උපතක් ලබන අයුරුයි. එනම් මෙය මනස සම්බන්ධ සංකල්පයකි. මනසේ අභෞතික කොටස් එ නම් නාම ස්කන්ධ ආශ්‍රිත සංකල්පයකි. මේ දෙකෙන් ආවරණය කරන කලාප සහමුලින් වෙනස් වෙයි. පරිණාමවාදයෙන් පුනර්භවය අසත්‍ය බවට තර්කයක් ගොඩනැඟිය හැක්කේ කැකිල්ලේ රජු වැන්නකුට ම බව පාඨකයින්ට වැටහෙනු ඇත. කල්පිත චරිතයක් වුවත් කැකිල්ලේ රජුගේ මී මුනුපුරන් අදත් සිටින බව මෙවන් තර්ක ඉදිරිපත් කිරීමෙන් පෙනේ.

ජ්‍යෝතිෂ්‍ය සත්‍ය බව පෙන්වීම මගේ අරමුණ නො වූවත් සැම්සන් මහතා නො විමසා ඉදිරිපත් කරන කරුණුවලින් පාඨකයින් මුළා වීම වලක්වා ගත යුතු බැවින් ජ්‍යෝතිෂ්‍ය අසත්‍ය බව කියූ ශෝන් කාල්සන් පරීක්ෂණය ගැන ද යමක් කිව යුතු ය. පරීක්ෂණ පත්‍රිකාවකින් තොරතුරු ලබා ගැනීමේ දී ඒ හා සම්බන්ධ සමාලෝචන (review) අධ්‍යයනය කළ යුතු ය. (මා අයින්ස්ටයින්ගෙන් පසු විද්‍යාඥයින් අධ්‍යයනය කර නැතැයි හිතලු ප්‍රකාශ කළ සැම්සන් මහතා ම සමාලෝචන අධ්‍යයනය කර නො තිබීම උත්ප්‍රාසවත් ය.) Hans Eysenck පෙන්වූයේ කාල්සන්ගේ අධ්‍යයනයේ ප්‍රතිඵලවලින් ඔහුගේ නිගමනයට එළඹිය නො හැකි බවයි. Mark Urban එහි මනෝවිද්‍යාත්මක ආකෘති භාවිතය විවේචනය කළේ ය. ඉතා වැදගත් කරුණ වන්නේ ජර්මනියේ සුප්‍රසිද්ධ Gottingen විශ්වවිද්‍යාලයේ මහාචාර්ය Suitbert Ertel සිය Appraisal of Shawn Carlson’s Renowned  Astrology  Tests නම් පර්යේෂණ පත්‍රිකාවෙන් කාල්සන්ගේ සංඛ්‍යාන ක්‍රමවේදය දෝෂ සහිත බව පෙන්වා එම දත්ත නිවැරදි ක්‍රමවේද අනුව විශ්ලේෂණයෙන් ජ්‍යෝතිෂ්‍ය අසත්‍ය බව කාල්සන්ගේ පරීක්ෂණයෙන් ඔප්පු වී නොමැති බව පෙන්වීම ය. (සබැඳිය:http://www.scientificexploration.org/docs/23/jse_23_2_ertel.pdf) කාල්සන් තම නිගමනය ඉදිරිපත් කිරීමේ දී සංඛ්‍යානයේ පදනම් අදහස වන අප්‍රතිෂ්ඨෙය කල්පිතය (null hypothesis) සම්බන්ධ මූලික ම සිද්ධාන්තය පවා උල්ලංඝනය කර ඇති බව එහි පැහැදිලිව පෙන්වා ඇත. මේ එම පත්‍රිකාවෙන් උපුටාගත් කොටසකි.
Nevertheless, a correct reanalysis of Carlson’s two astrological tests reveals that astrologers matched profiles of the California Personality Inventory to natal charts better than expected by chance with marginal significance  (threeway forced choice, p   =   .054), and that a positive  result was replicable by a different assessment method (10-point rating, p   =   .04).

පරීක්ෂණ පත්‍රිකා කෙතරම් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු ද යන්න සම්බන්ධව පාඨකයින්ටත් මෙය ඉතා වැදගත් ය. අභයසිංහ මහතාගේ අග්‍රගණ්‍ය රූපවාහිනි වැඩසටහන්වල දී ඉදිරිපත් කරන මීට වඩා බොහෝ ප්‍රාථමික අභියෝග සංඛ්‍යාන විද්‍යාවට අනුව කොතරම් බොළඳ අශාස්ත්‍රීය ඒවා ද යන්නත් මේ ක්‍රමවේද විමසා බලමින් ම පාඨකයින්ට වටහා ගත හැකි ය.

විද්‍යාවේ ප්‍රවාද නිතර අසත්‍ය විය හැකි බව අභයසිංහ මහතා ම සඳහන් කරයි. අසත්‍ය වන දෑට මිථ්‍යා යැයි කීමට ද ඔහු පෙළඹෙයි. තමා නියෝජනය කරන පද්ධතියේ නිරවද්‍යතාව පිළිබඳ සහතිකයක් දිය නො හැකි විටෙක අභයසිංහ මහතා එය මිනුම් දණ්ඩ කරගනිමින් අනෙක් පද්ධතිවලට මිථ්‍යා ලේබලය අලවා ගැරහීම හාස්‍යජනක ය. ඔහු නියෝජනය කරන විද්‍යා ප්‍රවාද බැහැර කරන දිනයක දී අභයසිංහ මහතා ජීවිකාව කොට බඩ වියත රැකගෙන ඇත්තේ ද මිථ්‍යාවකින් ම බව කියැවෙනු ඇත. එහෙයින් මේ වැටී සිටින ආඝාධයෙන් ගොඩ එන ලෙස ඒ මහතා කෙරේ දයානුකම්පාවෙන් උපදෙස් දෙමි. දැන් අභයසිංහ මහතා වැන්නන් කළ යුතු වන්නේ තමන් සිරවී සිටින පටු ආස්ථානයෙන් මිදී තමන් අනුදත් දැනුම් පද්ධතියේ ද තවත් තමන් නො දන්නා බොහෝ දේ ඇති බව පසක් කරගනිමින් තමන් නො දත් දැනුම් පද්ධති දෙස වෛරී ලෙස බලමින් මිථ්‍යා හංවඩුව ගසමින් ගර්හාවට ලක් නො කොට සෑම දැනුම් පද්ධතියක ම ඇති විභවයන් මෙලොවට ද එ ලොවට ද වැඩදායී ලෙස යොදා ගැනීමට බුද්ධිමය නිම් වළලු පුළුල් කර ගැනීම ය.

No comments:

අලුත් ම සටහන

වාස්තවික යථාර්ථයක් ඇති බව මනසින් තොරව පෙන්වන්න

2017.08.19 ඉරිදා රිවිර - කොවුර්ගේ පඹ අභියෝගය  සහේතු: කොවුර්ගේ මීළඟ අභියෝගය ගැනත් අපි බලමු. වයින් රුධිරය බවට හරවන්න. ප්‍රබෝධ: තවත් ද්‍...

වැඩිපුර කියවූ ලිපි