කොවුර්ගේ අභියෝගවලට අභියෝගයක්

සහේතු: දැන් අපි කොවුර්ගේ අභියෝග පැත්තට එමු. අපි දන්නවා ගුප්ත විද්‍යාවල හා ජ්‍යෝතිෂ්‍යයේ යෙදෙන්නන්ට ඔහු අභියෝග විසි තුනක් ඉදිරිපත් කළා. අභියෝග ඉදිරිපත් කිරීම හේතුවාදයේ රටාව නො වුණත් මේ අභියෝගවලට කිසිවකු ඉදිරිපත් නො වීමෙන් ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාවල අවිද්‍යාත්මක බව තහවුරු කෙරිලා තියෙනවා නේ ද? ඒ නිසා පිරිසිදු හේතුවාදියෙක් විදිහට කොවුර් හැසිරිලා නෑ කියන එකෙන් විතරක් කොවුර්ගේ අභියෝග බොළඳයි කියන්න බෑ නේ ද? ඔහු විද්‍යාර්ථියෙක් විදිහට ගුප්ත විද්‍යාව හා ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාත්මක බව පෙන්වා දී තියෙනවා නේ ද?

ප්‍රබෝධ: ඇත්තෙන් ම සහේතු මම ඒ කරුණු ගැන සඳහන් කළේ ලංකාවේ හේතුවාදීන්ගේ අනවබෝධය පෙන්වන්න. ඔවුන් නියෝජනය කරන මතවාදය හා ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය දෙපැත්තක තියෙන්නේ.

   දැන්, ඔය විද්‍යාත්මක නොවන බව පෙන්වීම කියන කාරණයට එමු. ඔතන දී විද්‍යාත්මක අවිද්‍යාත්මක බෙදීම තීරණය කරන මිනුම් දණ්ඩ ගැන කතා කරන්න ඕනේ. ඒ ගැන බුද්ධිවාදීන් (rationalists) ළඟා කරගත් ඉහළ ම ප්‍රවේශය පෙන්නුම් කරන්නේ කාල් පොපර් (Karl Popper) කියන දාර්ශනිකයා. බුද්ධිවාදීන්ට අනුව කාල් පොපර් තමයි ඉහළ ම බුද්ධිවාදී විද්‍යා දාර්ශනිකයා. නොබෙල් ත්‍යාග ලාභී මෙඩවර් වගේ බුද්ධිවාදී ජීව විද්‍යාඥයන් ඔහුව ඉතා ඉහළින් සැලකුවා. ලංකාවේ හේතුවාදී සංගමයේ දැවැන්ත චරිතත් තමන් පොපර්වාදීන් බව පවසනවා.

පොපර් පෙන්වා දෙනවා විද්‍යාත්මක පරීක්ෂණවලින් කිසිවක් සත්‍ය බව ඔප්පු කරන්න තර්කානුකූල හැකියාවක් නැති බව. තර්ක ශාස්ත්‍රයේ මූලික නියම අනුව ප්‍රායෝගිකව කළ හැකි එක දෙයයි තියෙන්නේ. ඒ කල්පිතයක් අසත්‍ය බව පෙන්වීම. කිසි විටක තර්කානුකූලව කල්පිතයක් සත්‍ය බව පෙන්වන්න බෑ.

සහේතු: පොපර්ගේ තර්කය දළව සඳහන් කළොත්.

ප්‍රබෝධ: දැන් බටහිර විද්‍යාවේ කල්පිතයක් ඉදිරිපත් වුණහම අපිට ඍජුව ම ඒක පරීක්ෂා කරන්න බෑ. මොක ද කල්පිතයක් ඉදිරිපත් වෙන්නේ අවස්ථා ගණනාවකට සාධාරණව ගොඩක් ලොකු කලාපයක් ආවරණය කරගෙන. අතීත වර්තමාන අනාගත ඒ හැම අවස්ථාවක් ම ගැන හොයලා අපිට ඒක හරි ද බලන්න බෑ. එහෙම හැම එකක් ම බලන්නත් බෑ විතරක් නෙවෙයි එහෙම බලනවා නම් කල්පිතයක් හදලා වැඩකුත් නෑ. හැම අවස්ථාවක් ම වෙන වෙන වෙන ම බලන්න පුළුවන්කම තියෙනවා නම් , එහෙම බලනවා නම් ආය අමුතුවෙන් කල්පිතයක් මොකට ද? කල්පිතයක් හදන්නේ ම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. විවිධ පුරෝකථන කරන්න බලාගෙන නේ. හැබැයි කල්පිතය වරදින අවස්ථාවක් ලැබුණොත් පොපර් කියන විදිහට කෙලින් ම කල්පිතය වැරදි බව ඔප්පු වෙනවා.

දැන් අපිට කපුටන් දාහක් දිහා බැලුවත් 'සියලු කපුටන් කළුයි' කියන එක ඔප්පු කරන්න බෑනේ. අතීත වර්තමාන අනාගත සියලු කපුටන් ගැන අපි දන්නේ නෑනේ. ඒ නිසා කවදාවත් සියලු කපුටන් කළුයි කියලා ඔප්පු කරන්න බෑ. ඒත් එක සුදු කපුටෙක් හම්බුණු ගමන් කල්පිතය බිඳ වැටෙනවා. ඕක ඇත්තට ම සිදුවුණු සිද්ධියක් හංසයෝ සම්බන්ධව. කළු හංසයෝ කියන්නේ මිථ්‍යා සත්ව විශේෂයක් කියලා 1967 දී අහම්බෙන් කැලයෙන් හමු වෙනකම් සියවස් ගණනාවක් හිතන් හිටියා . තර්කානුකූලව කරන්න පුළුවන් කල්පිත බිඳ හෙළීම විතරයි.

සහේතු: යමක් පෙන්වා දීමේ කාර්යභාරය තියෙන්නේ ඒක ඉදිරිපත් කරන කෙනාට නේද? මෙහෙම ගියොත් පැහැදිලිව ම පදනමක් නැති පොඩි පොඩි දේත් පිළිගන්න ඕනෙ ද?

ප්‍රබෝධ: පොපර් පෙන්වන්නේ කල්පිතය තහවුරු කිරීමට සාක්ෂ්‍ය ඉල්ලීම නිශ්ඵල , තේරුමක් නැති දෙයක් බව. පැහැදිලිව ම පදනමක් නැති ඒවා සම්බන්ධව ඔය කියන ප්‍රශ්නය මතු වෙන්නේ නෑ. ඒවා ඉතා පහසුවෙන් ආරම්භයේ දීම බැහැර කරන්න පුළුවන්. සියලු කපුටන් රතු පාටයි කියලා කවුරුහරි කීවොත් කළු කපුටෙක් පෙන්නලා ඉතා කෙටි වෙලාවකින් සරලව ම ඔහුගේ මතය වැරදියි කියලා පෙන්වන්න පුළුවන්.

සහේතු: ඔබ පොපර්වාදියෙක් ද?

ප්‍රබෝධ: නෑ. මම දකින්නේ බටහිර විද්‍යාවේ බොහෝ තැන්වල අසත්‍ය බවවත් නිශ්චිතව ඔප්පු කරන්න බැරි බව. මෙතනදි මම පොපර්ව ගන්නේ හේතුවාදීන්ගේ දියුණු ම ප්‍රවේශය ඔහු නිසාත් හේතුවාදීන් අතර දැවැන්ත චරිත ඔහු පිළිගන්න නිසාත් තමයි. අනෙක් අතට පොපර්ගේ මතයට එරෙහි වුණු අය හේතුවාදයටත් විරුද්ධ වුණ අය. අපි හේතුවාදීන් පිළිගන්න අදහස් එක්ක මුලින් ගණුදෙනු කරලා ඉමු.

පොපර් ඊළඟට කියනවා මෙහෙම . යම් කල්පිතයක් විද්‍යාත්මක වෙන්න නම් එය අසත්‍ය බව ඔප්පු කිරීමට ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අසත්‍ය වෙන්න ඕනේ කියන එක නෙවෙයි. අසත්‍ය ද කියලා හොයන්න ක්‍රමයක් තියෙන්න ඕනෙ. උදාහරණයක් විදිහට අයින්ස්ටයින් කීවා සූර්ය ග්‍රහණයක් වෙලාවේ ආලෝකය යම් ප්‍රමාණයකට නැවෙනවා පේන්න ඕනෙ. මගේ කල්පිතය අනුව ඒ නැවෙන කෝණය මේක. මේ අගය නො ලැබුණොත් මගේ කල්පිතය අළු දූවිලි වෙනවා කියලා. ඔය වගේ අසත්‍ය බව පෙන්වන්න ක්‍රම තියෙන්න ඕනේ.

ඊළඟට පොපර් කියනවා ජ්‍යෝතිෂ්‍ය , මාක්ස්වාදය , මනෝවිශ්ලේෂණය කියන විෂයන් තුනේ තියෙන දේවල් අසත්‍යකරණය කරන්න කිසිදු ක්‍රමයක් නෑ. ඒ නිසා මේවා විද්‍යාවන් නෙවෙයි කියලා.

සහේතු: මනෝ විෂ්ලේෂණය?

ප්‍රබෝධ: ඔව්. හේතුවාදී සංගමයේ තමන් පොපර්වාදීන් කියන දැවැන්තයින් ජ්‍යෝතිෂ්‍ය ප්‍රතික්ෂේප කළත් මාක්ස්වාදය මනෝවිශ්ලේෂණය විද්‍යාවන් ලෙස පිළිගන්නවා. ඒත් ඒ ගැන කිසිම විග්‍රහයක් කරලා නෑ. (ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහත්මයාගේ මාක්ස්වාදය පිළිබඳ අතෘප්තිමත් පිළිතුර මේ සන්දර්භයට අදාළ නෑ.) . මනෝ විශ්ලේෂණය ගැන කරපු විවේචනවලට පසුකාලීනව ලැකාන් වගේ අය එරෙහි වුණේ විද්‍යාවේ ඇති අමුතු සත්‍ය මොකක් ද කියලා අහමින් හේතුවාදයටත් විරුද්ධව. ඒ නිසා මේ දේවල් විද්‍යාවන් ලෙස පිළිගැනීම හේතුවාදී සංගමයේ පරස්පරයක්.

දැන් ජ්‍යෝතිෂ්‍ය අවිද්‍යාත්මකයි කියන්නේ එහි කරුණු වැරදි බව ඔප්පු කිරීමට ක්‍රමයක් නැති බව කියමින් නේ. මේ සියල්ලට ප්‍රතිවිරුද්ධව හේතුවාදී සංගමය, කොවුර් කියන්නේ ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා අසත්‍ය බව පෙන්වීමට ක්‍රම ඇති බව. ඒ කතාව පිළිගත්තොත් එවිට ම කියැවෙනවා මේ ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යා විද්‍යාත්මක බව. ඔවුන් ඒවා අසත්‍ය බව ඔප්පු කළත් එවිට ඒවා ඔවුන් පිහිටුවන්නේ මේ වන විට අසත්‍ය වී ගිය විද්‍යාත්මක ප්‍රවාද සමඟ එක මට්ටමේ. හේතුවාදීන්ගේ සුපුරුදු ප්‍රකාශ අනුව ගත්තොත් මේ සියල්ල ක්‍රමයෙන් වර්ධනය වෙන විද්‍යාවේ කොටස්.. එතකොට ඔවුන්ට ඒ ශාස්ත්‍ර ගැරහීමට ලක් කරන්න සාධාරණ අයිතියක් නෑ. එහෙනම් නිවුටන්ව පවා ගැරහීමට ලක් කරන්න ඕනේ.. ඒ වගේ ම ජ්‍යෝතිෂ්‍ය හා ගුප්ත විද්‍යාව ප්‍රතිසංස්කරණය කිරීමෙන් සංශෝධනය කිරීමෙන් නිවැරදි කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිගන්න ඕනේ. එහෙම දේකට ලෑස්ති බවක් ලංකාවේ හේතුවාදීන්ගේ ක්‍රියාකාරිත්වයෙන් පේන්නේ නෑ. ඔවුන් සාහසික ලෙස ඒවා සහමුලින් ම මිථ්‍යා බව කියනවා.

සහේතු: මේ උදාහරණය ගන්න. 'අලින්ට වඩා ඇතුන් ඇත' කියලා කවුරුහරි කීවොත් දැන් ඕකත් අපි ගණන් ගන්න ඕනෙ ද කවුරුහරි වැරදියි කියලා පෙන්නලා දෙනකම්.. දැන් ඕකට අලි ඇත්තු කීයක් පෙන්නුවත් මදිනේ .. දැන් සංගණනයක් ම කරන්න එපැයි.. කවුරුහරි මෙහෙම කීවොත් සංගණනයක් කරලා බැහැර කරනකම් ඒකත් පිළිගන්න ඕනෙ ද?
(උපහාසයෙන් සිනා සෙමින්)

ප්‍රබෝධ: ඕක හොඳ උදාහරණයක්.. ලංකාවේ ඉන්න කෙනෙක් තමන් අහල තියෙන විශ්වාස උඩ ඇත්තු සීමිතයි ඊට වඩා අලි ඉන්නවා කියලා හිතන එක ස්වභාවිකයි. ඒත් ඔය තත්වේ තියෙන්නේ ලංකාවෙ විතරනේ. දළ නැති පිරිමි සත්තු බහුතරය ඉන්නේ ලංකාවේ විතරයි. අප්‍රිකානු අලින්ට , පිටරටවල ආසියානු අලින්ට දළ තියෙනවා උන් අති බහුතරය ඇත්තු.. අනිවාර්යයෙන් ලෝකෙ පුරා සංගණනයකින් මිසක් නිකම් අහලා දැකලා පුරුදු දෙයින් ඔය මතය ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇත්තට ම ඕක හොඳ උදාහරණයක් අපිට හරියි වගේ හැඟෙන දේ කනපිට හැරෙන්න පුළුවන් කියන්න. තමුන්ට වෙන්න බෑ පදනමක් නෑ කියලා එකවර පේන දේවල්වල පදනමක් තියෙන්න පුළුවන්. දැන් මේ ගුප්ත කියලා කියන ඇතැම් දේත් 'ගුප්ත' විදිහට හැඟෙන්නේ තමන්ගේ දැනුමේ අඩුපාඩු නිසා වෙන්න පුළුවන්. දැන් හිතන්න ලංකාවෙන් පිට තොරතුරු දැනගන්න නො තිබුණු කාලෙක පිටරට ඉඳන් ආපු වෙළෙන්දෙක් අලින්ට වඩා ඇත්තු ඉන්නවා කියලා කාට හරි කියලා ගියා කියලා. එතකොට දැන් මේ මිනිහා මේක කිව්වොත්  ලංකාවේ අයට .. මිනිස්සු ඔහු පිස්සෙක් කියලා කියන්නත් පුළුවන්. ඔප්පු කරන්න කියලා අභියෝග එන්නත් පුළුවන්.. ලංකාව ඇතුළේ අභියෝගය භාර ගත්තොත් අනිවාර්යයෙන් පරදිනවා. ඇත්තු නම් බහුතරය පිට රට වෙළෙන්දො ලංකාවෙනුත් ඇත් දළ අරන් යන්නේ ඇයි කියන එක 'මිථ්‍යාවට එරෙහි ප්‍රබල තර්කයක්' විදිහට කියැවෙන්නත් තිබුණා.

ලංකාවේ අලි හා ඇත්තු අතර අනුපාතය ලෝකෙදී කනපිට හැරෙන්න පුළුවන් වගේ දැනට පරීක්ෂා කරපු විද්‍යාත්මක ප්‍රවාද වුණත් එහෙම පිටින් ම කනපිට හැරෙන්නත් පුළුවන්. ගුප්ත ශාස්ත්‍ර ගුප්ත නො වෙන්න පුළුවන්.

සහේතු: ඔබ කොවුර්ගේ අභියෝග අශාස්ත්‍රීය බව ප්‍රකාශ කොට තිබුණා. ඔබ මේ අභියෝග භාර ගන්නවා ද?

ප්‍රබෝධ: සහේතු මම මානව විද්‍යාඥයෙක් ( Anthropologist ). මම ජ්‍යෝතිෂ්‍යවේදියෙක්වත් ගුප්ත විද්‍යාවේදියෙක්වත් නෙවෙයි. ඒවා ගැන අධ්‍යයනය කරන්නෙක්. බටහිර විද්‍යාව හා දර්ශනය අධ්‍යයනය කළ කෙනෙක් විදිහට මම කියන්නේ කොවුර්ගේ අභියෝගවලින් බොහෝමයක් අශාස්ත්‍රීය හා හේතුවාදයට අනුව ම අවිද්‍යාත්මක බව. ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින්ට හා ගුප්ත විද්‍යාඥයින්ට කරන්න පුළුවන් අසාධාරණ ම දේ තමයි මේ අභියෝග මත පදනම් වෙලා ඔවුන් හෙළා දැකීම. මේ අභියෝගවලින් සමහරක් තමන්ට අවශ්‍ය විදිහට වංචනිකව හසුරුවන්න පුළුවන්. සමහරක් ඒවා ගුප්ත විද්‍යාඥයින්ට හා ජ්‍යෝතිෂ්‍ය ශාස්ත්‍රඥයින්ට අදාළ නෑ.. අනික අභියෝගවලට ඉදිරිපත් නො වීම සමස්ත ශාස්ත්‍රය ම හෙළා දකින්න හේතුවක් කර ගැනීම ඉතා සාහසිකයි. මම පෙන්වන්නේ ඒ බව.

සහේතු: ඔබ මේ වැඩසටහනට ආවේ විවිධ පුද්ගලයින්ට 'කඩේ යාමට' බව සමහරු කියනවා.

ප්‍රබෝධ: ලංකාවේ හේතුවාදීන්ගේ නො දන්නාකම පේන තැනක් ඔය. ඔවුන් හිතන්නේ ලෝකයේ ඉන්නේ ජාති දෙකයි. 1.ජ්‍යෝතිෂ්‍යවේදීන් , ගුප්ත විද්‍යාවේදීන්
2.හේතුවාදීන් කියලා.

මේ ගොල්ලෝ හිතන්නේ ලෝකෙ ම හොරා පොලිස් සෙල්ලමක් කියලා. ජ්‍යෝතිෂ්‍යවේදීන් ගුප්ත විද්‍යාඥයින් අතර හොරුත් ඉන්න බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒත් මේ හේතුවාදියෝ කියන්නේ ඊටත් එහා ගිය මිථ්‍යා වපුරන කණ්ඩායමක්. පුනර්භවය නිවන වගේ සංකල්ප ප්‍රතික්ෂේප කරන්න 6 වසර විද්‍යාව පොත් බලන්න කියන තරම් බාගෙට උගත් අඥානයින් වගේ ම හේතුවාදය බුදු දහමට අනුකූලයි , ජ්‍යෝතිෂ්‍යය බුදු දහමින් ප්‍රතික්ෂේපිතයි වගේ පට්ටපල් බොරු තර්ක හදන්න බෞද්ධ සූත්‍රවලට විකෘති පරිවර්තන දෙන වචන අත ඇරලා පරිවර්තන කරලා සූත්‍ර විකෘති කරන මහා වංචනිකයොත් හේතුවාදීන් අතර ඉන්නවා. බටහිර විද්‍යාවත් විෂය කරුණු විකෘති කරලා යොදා ගන්නවා. මේවායින් අනාථ වෙන්නේ මේවා බලන් ඉන්න මිනිස්සු, ළමයි. පුනර්භවය නෑ කියන්න සූත්‍ර විකෘති කරන හේතුවාදීනුත් ඉන්නවා. මේ අයට විරුද්ධ වෙන එක මගේ වගකීම කියලයි මම හිතන්නේ. මේවා ගැන කතා කරන්නම් ඉස්සරහට. සහේතු ඔබ හේතුවාදියෙක් වුණත් මෙහෙම නැති බව දන්නවා. ඒත් බහුතරය එහෙම බව කීවොත් ඔබ විරුද්ධ වෙන එකක් නෑ.

සහේතු: ඔබ බටහිර විද්‍යාව කියන්නේ ඇයි? තියෙන්නේ එක ම විද්‍යාව . නැගෙනහිර බටහිර කියලා නෑ.

ප්‍රබෝධ: බටහිර කියලා ඔතන කියන්නේ ඥානවිභාග (epistemology) සලකලා මිසක් භූගෝලීය පදනමින් නෙවෙයි. ඔච්චර ම ඒ ගැන හිතට අමාරුයි නම් මං මේ වැඩසටහනේ ඕකට විද්‍යාව කියලා ම කියන්නම්කෝ. පස්සේ පැහැදිලි කරන්නම්.

සහේතු: ඔබ රුපියල් මිලියනයේ ත්‍යාගය බලාපොරොත්තු වෙනවා ද?
ප්‍රබෝධ : (සිනාසෙමින්) මම ආවේ අභියෝග අශාස්ත්‍රීයයි කියන්න මිස ඒවා කරලා පෙන්නන්න නෙවෙයි. ඒ ගැනත් සලකලා ත්‍යාගය දෙනවා නම් එපා කියන්නේ නෑ. හැබැයි මුලින් ඇපයට තියන්න ඕනෙ ගාණ ගෙවන්න නම් මා ගාව සල්ලි නෑ! දැන් අපි අර අභියෝග ටික අරන් බලමු.

සහේතු: අභියෝග විසි තුනෙන් හා අලුත් කළ අභියෝග දහයෙන් මුලින් ගමු ටෙලිපති එහෙම නැත්නම් හිත් කියවීම. මේ ගැන කතා කිරීමට පළමුව අපි කෙටි විරාමයක් ගනිමු.

ලබන සතියට: හිත් කියවන්න බැරි බව ඔප්පු කරලා තියෙනවා ද?
පෙර ලිපියට

            - තමලු මලිත්ත පියදිගම


http://www.rivira.lk/online/2017/07/22/119519

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි