එඬේර ගණිතය හා බටහිර ගණිතය


මිනිසුන් ගණන් කිරීම පටන් ගෙන ඇත්තේ එඬේර යුගයේ බව සඳහන් ය. එකල තමාගේ රංචුවේ සිටින සතුන් සංඛ්‍යාව ගණන් කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. මීට ඔවුන් යෙදූ උපක්‍රමය වූයේ එක් සතාට එක ගලක් බැගින් තැබීමයි. එවිට ගලකට සතා බැගින් ගලපා රංචුවේ අඩුවක් ඇත් දැයි එඬේරකුට දැනගත හැකි විය.
පසුව ගණන් කිරීමට අත්වල හා පාවල ඇඟිලි භාවිත විය. ඒ කාර්යය සඳහා වචන භාවිත වූයේ ඊටත් කාලයකට පසුවයි. සංකේතවලින් සංඛ්‍යා දැක්වූවේ තවත් බොහෝ කාලයක් ගෙවුණු පසු ය.
අදටත් ඕස්ට්‍රේලියාවේ සමහර ගෝත්‍රවලට දෙකෙන් එපිටට ගණන් කළ නො හැකි ය. දහයෙන් එපිටට ගණන් කළ නො හැකි ගෝත්‍ර බොහෝ ය.
මුලින් ම බිහිවූයේ එක, දෙක , තුන , හතර , පහ....වැනි සංඛ්‍යා ය. මේ සංඛ්‍යා ගණින සංඛ්‍යා නම් වේ. මී ළඟට භාග සංඛ්‍යා ඇති විය.  භාග සංඛ්‍යාවක් ලියනු ලැබුවේ ගණින සංඛ්‍යා දෙකක බෙදීමක් ලෙසිනි.  මීළඟ වර්ධනය ඇති වූයේ පයිතගරස් ගුරුකුලය අතින් ය. පයිතගරස් මුලින් විශ්වාස කළේ ගණින සංඛ්‍යා සෑදුවේ දෙවියන් බවත් අනෙක් සියල්ල මිනිසුන් ගේ නිර්මාණ බවත් ය. (මෑත දී සිටි , ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඉතා වැදගත් සංකල්පයක් නිර්මාණය කළ ක්‍රොනෙකර් ද කීවේ මෙවන් ම අදහසකි.)
පයිතගරස් ප්‍රමේයය ගැන ඔබ අසා ඇති. ඍජුකෝණික ත්‍රිකෝණයක බද්ධ පාද දෙකේ දිග ඒකක 1 බැගින් වන විට කර්ණයේ දිග 2හි වර්ගමූලය වේ. පයිතගරස් ගුරුකුලයේ සාමාජිකයන් උත්සාහ කළේ 2හි වර්ගමූලය භාග සංඛ්‍යාවක් ලෙස ලිවීමට ය. අවසානයේ පයිතගරස් ගුරු කුලයේ අයකු සාධනය කළේ 2හි වර්ගමූලය භාගයක් ලෙස ලිවිය නො හැකි බවයි.
මෙසේ ගණිතයට එක් වූ භාග ලෙස ලිවිය නො හැකි නව සංඛ්‍යා අපරිමේය සංඛ්‍යා නමින් හැඳින්වේ.
මීළඟට භාරතයේ මාධ්‍යමික මහායානිකයෝ ශුන්‍යතාව නමින් සංකල්පයක් ඉදිරිපත් කළ හ. කිසිවක් නැති තැනත් පැවැත්මක් ඇතැයි යන අදහස එහි දී කියවිණි. මේ සංකල්පය ශූන්‍යය වශයෙන් ගණිතයට එක් විය. හින්දු ගණිතඥයෝ එය තවත් සංවර්ධනය කළ හ. අරාබිය ඔස්සේ මෙය බටහිර ගණිතයට එක් විය. බටහිර ගණිතඥයින්ට ශූන්‍යය ප්‍රශ්නයක් විය. ඇපල් ගෙඩි නො තිබීම යනු ඇපල් ගෙඩි ශූන්‍යයක් තිබීම වීම ඔවුන්ට ප්‍රශ්නයක් විය. නො තිබීමක් තිබීමක් වීම ඔවුන්ට ප්‍රශ්නයක් විය. ඔවුන් මීට විසඳුම් දෙකක් ඉදිරිපත් කළ හ. එනම් ශුන්‍යය යනු අනෙක් ඕනෑ ම සංඛ්‍යාවකට එකතු කළ විට නැවත එම සංඛ්‍යාව ම ලබා දෙන සංඛ්‍යාව ලෙස අර්ථ දැක්වීම ය. අනෙක, සියලු සංඛ්‍යාවලට වඩා කුඩා ම සංඛ්‍යාව ලෙස අර්ථ දැක්වීම ය. පළමු වන විසඳුම අදටත් බටහිර ගණිතයේ ශුන්‍යයේ අර්ථ දැක්වීමයි. දෙවන විසඳුම සංශෝධනයක් සහිතව ප්‍රමේයයක් ලෙස ගණිතමය විශ්ලේෂණයේ දී භාවිත වේ. භාරතයේ බිහි වූ ඍණ සංඛ්‍යා බටහිර ගණිතයට එක් වූයේ ධන සංඛ්‍යාවක් හා එකතු කළ විට ශූන්‍ය ලබා දෙන සංඛ්‍යා වශයෙනි. (භාරතයේ නම් ඍණ යන්නෙහි තේරුම ණය යන්න ය. ) මේ දළ විස්තරයෙන් කියැවෙන්නේ භාරතයෙන් යුරෝපයට සංඛ්‍යා ලබා ගත්තේ කෙළින් ම නොව ඒවායේ අර්ථ දැක්වීම් වෙනස් කිරීමෙන් පසු බව ය. භාරතයේ වෛදික ගණිතයත් බටහිර ගණිතයත් දෙකක් මිස එකක් නො වේ.
දැන් ගණින සංඛ්‍යා , භාග සංඛ්‍යා , අපරිමේය සංඛ්‍යා , ශූන්‍ය, ඍණ සංඛ්‍යා වශයෙන් සංඛ්‍යා බිහි කර තිබේ. මේ සියල්ල තාත්වික සංඛ්‍යා නම් වේ. සංඛ්‍යා බිහිව මෙපමණ කලක් ගත වුවද ඒවා අර්ථ දැක්වූයේ ඉතා මෑතක ය. ගණින සංඛ්‍යා අර්ථ දැක්වීමට පියනෝ  දැරූ අසාර්ථක උත්සාහය නැවතුණේ නව සාධන විධි ක්‍රමයක් (ගණිත අභ්‍යුහනය) හඳුන්වා දෙමිනි. අවසානයේ සාර්ථක වූයේ ගණිත දාර්ශනිකයකු වන බර්ට්‍රන්ඩ් රසල් ය. එය ගණින සංඛ්‍යා ගැන මුල් ම සාර්ථක අර්ථ දැක්වීමයි. තාත්වික සංඛ්‍යා අර්ථ දක්වන්නේ කෙසේ ද යන්න ද ගණිතඥයින්ට බැරෑරුම් ප්‍රශ්නයක් විය. තාත්වික සංඛ්‍යාවලට සාර්ථක අර්ථ දැක්වීමක් ලබා දුන්නේ වෙයිස්ට්‍රාස් ය. ඔහු ගේ එක් අර්ථ දැක්වීමකට අනුව තාත්වික සංඛ්‍යාවක් යනු කුලක දෙකක එකතුවකි. සංඛ්‍යාවක් කුලක දෙකක් වෙන්නේ කෙසේ දැයි ඔබ විස්මපත් විය හැකි ය. එහෙත් බටහිර ගණිතයේ ස්වභාවය එබඳු ය. එබඳු දේ පවා විය හැකි ය. ඒවා තාර්කික ය.
එතැනින් නැවතුණේ නැත. ඍණ සංඛ්‍යාවලට වර්ගමූලයක් තිබේ ද යන්න ගණිතඥයින්ට ගැටලුවක් විය. අවසානයේ ගණිතඥයෝ ඍණ සංඛ්‍යාවලට වර්ගමූල නිර්මාණය කළ හ. ඒවා අතාත්වික සංඛ්‍යා නම් වේ. අතාත්වික සංඛ්‍යාවලට තාත්වික සංඛ්‍යා එකතු කොට සංකීර්ණ සංඛ්‍යා නමින් ද සංඛ්‍යා විශේෂයක් බිහි කෙරිණි.
සංකීර්ණ සංඛ්‍යාවක් අර්ථ දක්වා ඇත්තේ සමීකරණ කුලකයක් ලෙස ය. මේ ගැන ඔබ පුදුම විය හැකි වුව ද බටහිර ගණිතය එබඳු ය.
මේ වන විට බටහිර ගණිතය අපට ඉතා හුරු පුරුදු තැනකින් ඇරඹුණු සංඛ්‍යා අපේ අත්දැකීම්වලට ඉතා ඈත තැනකට ගෙන ගොස් ඇත. නූතන බටහිර ගණිතය යනු ග්‍රීක ගණිතයෙනුත් , භාරතීය වෛදික ගණිතයෙනුත් ඉතා වෙනස් වූවකි. බටහිර ගණිතයේ සැබෑ ස්වරූපය හඳුනා ගත හැක්කේ විශ්වවිද්‍යාල අධ්‍යයන මට්ටමේ ය. ඊට පහළ මට්ටම්වල දී බටහිර ගණිතය උගන්වන්නේ අංග සම්පූර්ණ ව නො වේ.' 0ට වඩා 1 විශාල ය ' යන්න ඔබ දෙවරක් නො සිතා පිළිගත්ත ද බටහිර ගණිතඥයා එය කියන්නේ පේළි ගණනාවක සාධනයකින් පසු ය.

                                   - තමලු මලිත්ත පියදිගම 

දේව-සිරි: දැනුම හා දෙවියන් ගැන ආචාර්ය නිර්මාල් රංජිත්ට පිළිතුරකි- 03

පෙර ලිපියට
මුල් ලිපියට

දෙවියන් පිටසක්වල ජීවීන් ලෙසත් , සමාන්තර ලෝක වාසීන් ලෙසත් විවරණය කොට හේතුවාදයේ තර්ජනයෙන් නාමිකව ගැලවීම එක් අතකට නවීන විද්‍යාව කෙරෙහි උත්ප්‍රාසයක් වන්නේ මේ සංකල්ප හේතුවාදීන් ගේ තර්ක සඳහා අතුරු මාරු කළ හැකි (interchangeable) ඒවා බැවිනි.
එහෙයින් ඒවා විසඳුම් වීම ම උත්ප්‍රාසවත් ය.
මට දැන් නම අමතකව ඇති ඇමෙරිකානු ලේඛිකාවක පවසා තිබුණේ ඇයට ඇගේ ගුරුවරිය කී මේ කතාව ඉතා බලපෑම් කළ ප්‍රකාශයක් බවයි: "දැන් මිථ්‍යා කතා හා විද්‍යා ප්‍රබන්ධ අතර වෙනස තුනී වෙමින් යනවා. මලක් කතා කළා කීවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නෑ. X නම් ග්‍රහලෝකයේ මලක් කතා කළා කීවොත් කවුරුවත් අවිශ්වාස කරන්නෙත් නෑ."

මෙහි දී මට නවකතාව අධ්‍යයනය කළ Foster නම් ව්‍යුහවාදියා කී දෙයක් සිහිවේ. දෘඩ කතා වින්‍යාස (tight plots), එසේත් නැති නම් කතාවේ හොඳ ම හේතු ඵල සම්බන්ධතාවක් දක්නට ඇත්තේ සුරංගනා කතාවල හා අබිරහස් කතාවල බවයි. විද්‍යාවේ ප්‍රවාදවල විශිෂ්ටත්වයට හේතුමය දෘඩභාවය ගැන කතා කරන හේතුවාදියා ගැන අප විග්‍රහ කළ යුත්තේ කෙසේ ද? විද්‍යාත්මක ප්‍රවාද කතන්දර නම් ඒවා ලෝකයේ හොඳ ම කතන්දර බව නලින් ද සිල්වා මහතාට අභියෝග කරන හේතුවාදීහු කියති. විය හැකි ය, එහෙත් ඊට ඔබට තරග කිරීමට සිදු වී ඇත්තේ සුරංගනා කතා සමඟ ය.

ආසනික් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් විෂයෙහි සුසමාදර්ශය හා චින්තනය

දැන් මා පෙර සඳහන් කළ පරිදි දෙවියන්ගෙන් දැනුම ලැබීම සිංහල බෞද්ධ චින්තනයේ පැවතුණේ අතීතයේ සිට ය. බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ආධිපත්‍ය සමඟ බටහිර විද්‍යාව හා හේතුවාදයේ විකෘති කතිකා (discource) ආරෝපණය කරනු ලැබූ පසු ඒවාට පිළිතුරු ලැබුණේ ඒ චින්තනය අනුකරණයෙනි. දැන් මේ බටහිර විද්‍යාවෙන්වත් නව දේව මතවාදයෙන්වත් සැලකිය යුතු ප්‍රයෝජනයක් ගැනීමට ඔවුහු අසමත් වූ හ.
දැන් නලින් ද සිල්වා මහතා කළේ පැරණි දේව සංකල්පය වෙනසක් නැතුව ම සුසමාදර්ශ මාරුවක්වත් නැතිව ම නැවත මතු කිරීම ද? පැරණි දේව සංකල්පය මතු වීම මෙහි අතුරු ඵලයක් වුව ද, කෘෂිකාර්මික වකුගඩු රෝගය ගැන පරීක්ෂණයේ දී දේව සංකල්පය භාවිතයේ පැරණි ප්‍රවේශයට පැහැදිලි වෙනසක් වූ බැවින් සුසමාදර්ශ වෙනසක් නො වූ බව කීමට මැළි වෙමි. එහෙත් මෙය සිංහල බෞද්ධ චින්තනය තුළ ම සිදුවූ සුසමාදර්ශ වෙනසකි.

බටහිර විද්‍යාවේ හිඩැස

බටහිර විද්‍යාවේ ක්‍රමය පිළිබඳ සංවාදයේ ගැලීලියෝ සිට ෆෙයරබාන්ඩ් දක්වා ම , ෂෙල්ඩ්‍රේක් ආදීන් දක්වා ම වෙනස් නො වුණු එක් සංකල්පයක් වන්නේ කල්පිතයයි (hypothesis). කල්පිතයක් පරීක්ෂා කිරීම, 'තහවුරු කිරීම', ඒත්තු ගැන්වීම බටහිර සිදු කෙරේ.
දැන් කල්පිත ඇතිවන්නේ කෙසේ ද? බටහිර විද්‍යාවේ දී මෙය පවතින්නේ බුද්ධිවාදී / හේතුවාදී (rationalism), අනුභූතවාදී (positivism) , ආනුභවිකවාදි (empiricism) ආදී කිනම් දර්ශනයකට වුවත් පිටතිනි, කල්පිතයක් පහළ වීම පවතින්නේ. මෙය කිනම් විධිමත් ආකෘතියකටවත් ගත නො හැක්කක් බවට අතීතයේ සිට ම සැකයක් නො විණි. කල්පිත සපයා ගැනීමට බටහිර විද්‍යාව ක්‍රමවේද නො ඉල්ලයි.
ප්‍රතිභානය (intellect) මගින් එන අදහසක්, මිතුරකු කී දෙයක්, පෙම්වතා පෙම්වතිය ලෙස කී නැතිනම් අසනු ලැබූ බොළඳ කතාවක්, අදහස් අතර පටලා ගැනීමක් , ඇතැම් විටක මනසට එන විකාර සිතුවිල්ලක් , සිහිනයක්, කුඩා දරුවකු පැවසූ දෙයක්, විෂය නො දන්නා අයකු පැවසූ 'හිස්' කතාවක් , පිස්සෙක් පැවසූ දෙයක්, වැරදි ලෙස අවබෝධ කරගත් දෙයක්, පටලා ගත් රූපීය සමානකමක්, ‍යමකට විරුද්ධ වීමේ ප්‍රබල වුවමනාවක්, සංවාදයක දී අනිත් පසින් හෝ තමා අතින් ඉදිරිපත් වන තමන්වත් තේරුම නො දන්නා ප්‍රකාශයක් වැනි දේ පවා (මහින්ද පතිරණ මහතා සිහිවන්නේ ඇයි දැයි නො දනිමි.) කල්පිතයක මූලාරම්භය විය හැකි ය. මෙසේ ඉතා විශාල පරාසයක පැතිරෙන කල්පිතයක සම්භවය සැලකීමේ දී එයින් දෙවියකු කී දෙයක් යන්න ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නැත.

ඔබට කල්පිතයක් ලෙස වඩා විශ්වාසනීය වන්නේ කෙකුලේ සිහිනයෙන් දුටු බෙන්සීන් පිළිබඳ අදහස ද, අසාර්ථක පරීක්ෂණයක් නිසා චිත්ත ව්‍යාකූල භාවයට පත් වූ - ඔළුව විකාර වූ - අයකු රට හාවුන්ගෙන් ක්‍රෝධය පිට කර ගැනීමට අධිමාත්‍රාවෙන් නියැදිය එන්නත් කිරීමෙන් පෝලියෝ රෝගයට හේතු සොයා ගැනීමේ කල්පිත ද, නාථ දෙවියන් කී ආසනික් ද? මීට පක්ෂග්‍රාහී වීමෙන් මිස පිළිතුරක් දිය හැකි යැයි නො දනිමි.

ආසනික් පරීක්ෂණය

කෘෂි රසායන වකුගඩු රෝගයට හේතු සෙවූ පරීක්ෂණය ප්‍රකටව ඇත්තේ ඉහත නමිනි. ඉතා ප්‍රසිද්ධ ලෙස මෙහි කල්පිතය ඉදිරිපත් කළේ නාථ දෙවියන් අතරමැදියන් ඔස්සේ ය. දැන් මෙහි පැහැදිලිව ම පරස්පරයක් නැති බව පෙනේ. හීන වලංගු නම් කල්පිත ගොඩනැංවීමට දෙවියන් අවලංගු වන්නේ කෙසේ ද? යමෙකුට ඒ පිළිබඳ විවරණයක් කළ හැකි නම් ඔහු ඒ පිළිබඳ පොතක් ලිවීම සුදුසු ය. විද්‍යා ඉතිහාසයේ පළමු වරට කල්පිතයක් ඇති වීම විග්‍රහ කරමින් කල්පිත නො විය හැකි ආකාරයන් දැක්වීම වෙනුවෙන් ඔහුට නොබෙල් ත්‍යාග සියල්ල එකවර ලබා දීමට ම වටී.

දැන් අපට පෙනෙන්නේ නාථ දෙවියන්ට විරුද්ධ වීමට හේතුවක් නොමැති බව ය. නාථ දෙවියන් බටහිර විද්‍යාවේ ආසනික් වැනි සංකල්පයකින් පිළිතුරක් දුන්නේ කෙසේ ද යන්න ඇතැමුන්ට ප්‍රශ්නයකි. මෙහි දී සිදුවන්නේ භාෂා පරිවර්තනය වැන්නකි. කැවුම් යන්න oil cake ලෙස පරිවර්තනය කිරීමක් වැන්නකි. මේ භාෂා හා සංකල්ප පරතරය අතර ආතතියක් පවතී. ගැටළුවක් නැත. මේ ලැබෙන්නේ කල්පිතයකි. ඕනෑ ම වරදකින් කල්පිත බිහි විය හැකි ය. ඇත්තෙන් ම විද්‍යාවේ කතිකාව (discourse) තුළ කල්පිතයක සම්භවය නැත. නාථ දෙවියන් ගැන ඇසීමට හෝ උසුළු විසුළු කිරීම විද්‍යාත්මක කතිකාවේ කළ හැක්කක් නො වේ. නාථ දෙවියන් වෙනත් පැවැත්මක් විය නො හැකි ද යන ප්‍රශ්න පවා මේ කතිකාවේ දී අදාළ නො වේ. එය ඇත්තේ සීමාවෙන් පිටත ය.

ආසනික් ප්‍රශ්නයේ දී වැඩිපුර කතා කෙරුණු අනෙක් කරුණ නම් කිවුල් ජලයේ ආසනික් ඇති බව කීමේ පරීක්ෂණයේ දී සම්මත අගයට වඩා අම්ල භෂ්ම අගයන් මට්ටම් වෙනස් කිරීම ය. (මෙතැන දී මීට නාථ දෙවියන් ඇදගන්නේ විගඩමුන් ය.) මෙය ඊනියා විද්‍යාත්මක ප්‍රජාව අතර මහා කලබැගෑනිකට හේතු විය. මෙය ද මහා පරිමාණයේ නො සලකා හැරීම් (ignorance) මිස වෙන කිසිවක් නො වේ. පෝලියෝ රෝගයට හේතුව රෝග කාරකයාගේ විෂ දැයි සොයා බැලීමට එය රට හාවුන්ට එන්නත් කරන ලදී. කිසිදු විපර්යාසයක් සිදු නො විණි.අසාර්ථක පරීක්ෂණයේ කළකිරීමෙන් හා ශෝකයෙන් මුසපත්ව චිත්ත ව්‍යාකූලත්වයට පත් වූ -ඔළුව විකාර වූ-  පරීක්ෂකයා කෝපයෙන් යුතුව සම්මතයන්ට පිටින් අධි මාත්‍රාවලින් නියැදිය සතුන්ට එන්නත් කර අවසන් කළේ ය. ඉන්පසු සතුන්ට රෝගය වැළඳිණි. (එක් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරයකු කියන්නේ ඔහු එම පරීක්ෂකයා නම් ආරම්භයේ දී ම සාන්ද්‍රණ වෙනස් කර බලන බව ය. සිදු වී ඇති දෑට 'පශ්චාත් මරණ පරීක්ෂණ' දීම සාපේක්ෂ ව පහසු බව පෙනේ. මේ වකුගඩු රෝග විශේෂඥයා මෙතරම් බුද්ධි ප්‍රභාවකින් යුතුව සිටත් නව 'සොයාගැනීමක්' කර නැත්තේ ඇයි දැයි මම මවිත වෙමි.) . 'ඔලුව විකාර වූ විට' සාන්ද්‍රණ වෙනස් කර බැලීම හොඳ නම් හොඳ සිහියෙන් එසේ කිරීමේ වරද මම නො දනිමි. සාන්ද්‍රණ වෙනස් කර බැලීම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා පරීක්ෂකයා ගේ  කාර්යභාරය විය යුතු ය.

ආසනික්වලට අමතරව කුඹුරු පස හා කිවුල ගැනත් කියන බවත් ආසනික් නොව හේතු ගොඩක් දී ඇත යන්නකුත් කියන අඳ බාලයෝ සිටිති. මේ හේතු කීම බහුවිධ හේතු ශෛලියේ එකක් නො වේ. හේතුව ආසනික් ය. ආසනික් වතුරේ දිය වූයේ කුමන ආකාරයේ සංයෝගයක් ලෙස ද එය සම්මත අම්ල භෂ්ම අගයන්වල දී පරීක්ෂණයට හසු වූයේ නැත්තේ ඇයි ද යන්න විග්‍රහ කිරීම වෙනුවෙන් කුඹුරු පසත් කිවුලත් අවශ්‍ය වේ. එනම් ආසනික් සහිත සංගත සංකීර්ණය සෑදීම විවරණය කිරීමට ඉතුරු කරුණු අවශ්‍ය වේ. ආසනික් සංගත සංකීර්ණ නො සෑදුණොත් ආස්නේට ලෙස අවක්ෂේප (precipitate) වී ජලයෙන් ඉවත් වනු ඇත.

කෘමිනාශක සම්බන්ධව මෙබඳු තත්වයක් වත් නො වුණි. පරීක්ෂණයේ දී ඒවා පරීක්ෂා වූයේ සම්මත ක්‍රමයට අනුව ම ය.

වකුගඩු රෝග පරීක්ෂණයේ දී දෙවියන් හා දැනුම අතර සම්බන්ධය ගෙනෙනු ලැබුවේ පැරණි ආකාරයට වෙනත් අයුරකිනි. බටහිර දැනුමට විරුද්ධ ප්‍රවේශයක දී බටහිර විද්‍යාව හා ආරම්භයේ ගැටීමට සිදුවන්නේ බටහිර විද්‍යාවේ භාෂාවෙන් ම ය. මෙය ආරම්භක ප්‍රවේශයකි.

විප්ලවයේ වාස්තවික තත්ව හා දෙවියන්ගෙන් දැනුම ලබා ගැනීම


නිර්මාල් දේවසිරි මෙසේ කියයි:


නලින් ද සිල්වා කියන්නේ දෙවියන්ගෙන් වැඩ ගත හැක්කේ භාවනා කිරීම ආදියෙන් කිසියම් දියුණු මානසික තත්වයකට පත්වීම මගින් බවයි. එවැනි තත්වයක් සඳහා කටයුතු කිරීමට මාක්ස්වාදීන් “විප්ලවය සඳහා වාස්තවික තත්වයන් මොරා සිටින තෙක්” බලා සිටින්නාක් මෙන් බලා සිටිය යුතු නොවේ. 

නිර්මාල් දේවසිරි මහතා දකින තරම් භාවනාවෙන් සිත දියුණු කිරීම සරල කරුණක් නො වේ. අදාළ භාවනා හඳුනා ගැනීමේ ගැටළුවේ සිට භාවනා කිරීමේ දී මතුවන ගැටළු හා ගතවන කාලය ද යන කිසිවක් නො සලකා කරන ලද ප්‍රකාශයක් පමණි. කොයි ආකාරයෙන් හෝ දැනුමක් නිර්මාණය කළා යැයි කියමු. මා මූලික අවස්ථාවේ ස්ටාර් තරග අනවශ්‍ය බව කීවේ මෙතනට එන තුරු ක්‍රියාවට වඩා මෙතනින් පසු ක්‍රියාව සලකා ය. එනම් මතය ප්‍රසිද්ධ කිරීම හා ඒතුගැන්වීමයි. මේ ගැන ස්ටුවර්ට් මිල් ඉතා පැහැදිලි විස්තරයක් කර ඇත.

John  Stuart  Mill  has  given  a  fascinating  account  of  the  gradual transformation  of  revolutionary  ideas  into  obstacles  to  thought. When a  new  view  is  proposed  it  faces  a hostile  audience  and excellent reasons are  needed  to gain for  it  an even moderately  fair  hearing.  The reasons  are  produced,  but  they  are  often  disregarded  or  laughed  out of  court,  and  unhappiness  is  the  fate  of  the  bold  inventors.  But  new generations,  being  interested  in  new  things,  become  curious;  they consider  the  reasons,  pursue  them  further  and  groups  of  researchers initiate  detailed  studies.  The  studies  may  lead  to surprising  successes (they  also  raise  lots  of  difficulties).  Now  nothing  succeeds  like success,  even  if  it  is  success  surrounded  by  difficulties.  The  theory becomes  acceptable  as  a  topic  for  discussion;  it  is  presented  at meetings  and  large  conferences.  The  diehards  of  the  status  quo  feel an  obligation  to  study  one  paper  or  another,  to  make  a  few  grumbling comments,  and  perhaps to  join  in  its  exploration.  There  comes  then  a moment  when  the  theory  is  no  longer  an  esoteric  discussion  topic  for advanced  seminars  and  conferences,  but  enters  the  public  domain. There  are  introductory texts,  popularizations;  examination  questions start  dealing  with  problems  to  be  solved  in  its  terms.  Scientists  from distant  fields  and  philosophers,  trying  to  show  off,  drop  a  hint  here and  there,  and  this  often  quite  uninformed  desire  to  be  on  the  right side  is  taken  as  a  further  sign  of  the  importance  of  the  theory.

නව ප්‍රවාදයක් ඇති වී එය මහජන ප්‍රචාරයට ලක්වීම මේ සංකීර්ණ ක්‍රියාවලියයි.

ෆෙයරබාන්ඩ් (Feyerabend) මෙසේ කියයි.

We can  say  today  that  Galileo was  on  the  right  track,  for  his  persistent  pursuit  of what  once  seemed to  be  a  silly  cosmology  has  by  now  created  the  material  needed  to defend  it  against  all  those  who  will  accept  a  view  only  if it  is  told  in  a certain  way  and  who  will  trust  it  only  if  it  contains  certain  magical phrases,  called  'observational  reports'.  And  this  is  not  an  exception. It is  the  normal  case:  theories become  clear and  'reasonable'  only after Incoherent  parts  of  them  have  been  used  for  a  long  time. 

ගැලීලියෝ නිරන්තරයෙන් යෙදී සිටි කලක් මුග්ධ විශ්වවේදයක් සේ පෙනුණු දෙය අද වන විට ,එක්තරා ආකාරයකින් කීවිට පමණක් කිසියම් දැක්මක් පිළිගන්නා , 'නිරීක්ෂණ වර්තා' වැනි මායාවී යෙදුම් අඩංගු නම් ම පමණක් විශ්වාස කරනා සියල්ලන්ගෙන් තමා රැකගැනීමට සමත් ලියකියවිලි නිර්මාණය කරගෙන ඇති හෙයින් ගැලීලියෝ නිවැරදි මාර්ගයේ ගිය බව අද අපට පැවසිය හැකි ය.

මේ තත්වය අපට ද අදාළ ය. දෙවියන් පිළිබඳ කවර ප්‍රවේශයක් වුවත් මේ බලය ලබා ගන්නා තෙක් බාළ බොළඳ ප්‍රතිවාදීන් ගේ විහිළුවට ලක් වීම සිදුවනු ඇත. 

නිර්මාල් දේවසිරි ගේ බටහිර විද්‍යාවේ වර්ධනය මීට ප්‍රතිපක්ෂ වූවකි යන්න සාවද්‍ය කරුණකි. මේ අදාළ තත්ව සපිරීමට පෙර ස්ටාර් තරග තැබූ ගැලීලියෝට වූ දෙයයි.

මේ කෙප්ලර් ගේ ශිෂ්‍ය හෝර්කි ගේ සටහනකි:

'I never slept on  the  24th or 25th April, day or night,  but I tested the instrument of  Galileo's  in  a  thousand  ways,  both  on  things  here  below  and  on those  above.  Below  it  works  wonderfully;  in  the  heavens  it  deceives  one, as  some  fixed  stars  [Spica Virginis,  for  example,  is  mentioned,  as  well as  a  terrestrial  flame]  are  seen  double. . I  have  as  witnesses  most excellent  men  and  noble  doctors  .  .  .  and  all  have  admitted  the instrument  to  deceive .... This  silenced  Galileo  and  on  the  26th  he sadly left  quite  early  in  the  morning  ... not  even thanking Magini  for his  splendid  meal.  .. .

මා අප්‍රේල් 24 හිත් 25 දීත් දිවා රෑ නිදි නො මැතිව ගැලීලියෝ ගේ උපකරණය දහස් අයුරකින් පොළොවේ වූ වස්තු සඳහාත් අහසේ වූ වස්තු සඳහාත් පරීක්ෂා කළෙමි. පොළොවේ එය හොඳින් වැඩ කළේ ය. ඉහළ අහසට යොමු කළ විට එහි රැවටීමක් විය. සමහර අචල තරු (Spica Virginis හා පෘථිවිය මත දැල්ලක් ආදී දෑ සඳහන් ය.) දෙගුණ වී පෙනිණි. ඉතා විශිෂ්ට මිනිස්සු හා වැදගත් ආචාර්යවරු මගේ සාක්ෂ්‍ය කරුවෝ වූ හ. ...උපකරණය රැවටීමක් බව සියල්ලෝ පිළිගත් හ.... මෙය ගැලීලියෝ නිහඬ කළ අතර ගැලීලියෝ ශෝකයෙන් 26 වෙනි දා ඉරිමා උදේ පිට වී ගියේ මාගිනී සැපයූ ප්‍රණීත ආහාරවලටවත් ස්තූති නො කරමිනි.

අපි ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇත්තෙමු.

මේ ප්‍රවේශයේ අප දෙවියන්ගෙන් ලබා ගන්නේ කල්පිත නිසාත් භාෂා අතර ආතතිය නිසාත් කාලය නියම කොට ප්‍රයෝජ්‍යතා ඇසීම විහිළුවකි. කල්පිතයක් ප්‍රවාදයක් වීම සංකීර්ණ ක්‍රියාවලියකි. කල්පිතවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට කාල රාමු දෙන්නේ කෙසේ ද? මේ තර්කය සඳහා බටහිර විද්‍යව හා සිංහල බෞද්ධ දේව සංකල්පය අතුරු මාරු කළ හැකි ය (interchangeable). එහෙයින් මෙය අප කෙරේ යෙදිය නො හැකි ය.

මෙතැන දී නිර්මාල් දේවසිරි තාක්ෂණය ගැන කියයි. ඔහු අමතක කරන්නේ පශ්චාත්නූතනවාදය තුළ පවා ප්ලේටෝ ගේ episteme , techni යුගල ප්‍රතිපක්ෂය සැලකෙන බව ය. එනම් තාක්ෂණය මතින් බිහිවන විද්‍යාව තාක්ෂණය පාගා ඊට ඉහළින් නැඟී සිටින බව ය. ශිල්ප මතින් බිහිවන ශාස්ත්‍ර ශිල්පවලට උසස් ලෙස නැඟී සිටින බව ය. නූතනත්වය යටතේ මෙහි සත්‍යතාවක් ඇත.

ස්විෆ්ට් ගලිවර් ගේ චාරිකා කෘතියේ තුන්වන චාරිකාවේ බැල්නිබාරි (balnibari) දේශයෙන් ශිල්ප හෙවත් තාක්ෂණික දැනුම ද , ලාපුටාව (laputa) මඟින් ශාස්ත්‍රීය දැනුම ද නිරූපණය කරයි. ලාපුටාව ඉහළින් සිටිමින් බැල්නිබාරිය ද්‍රව්‍ය හෙළීමෙන් (ශාස්ත්‍රීය ප්‍රයෝගවලින්) යටත් කරගෙන ඇත. ලාපුටාවේ මිනිසුන්ට නො තෙමෙන්නට ගෙයක් සාදාගැනීමට බැරි වුවත් ඔවුන් බැල්නිබාරි ය යටත් කරගෙන සිටිති.

සිංහල ජනතාව තුවක්කු බලා අති විශිෂ්ට තුවක්කු සෑදූ ජනතාවකි. මේ ශිල්ප දැනුම් නිදහස්ව ලබා ගත් දේය. ආරෝපිත කරන උපරිම ප්‍රයෝජන ගත නො හැකි දැනුමක් පැටවිය හැක්කේ, ශිල්පවල වැදගත් බව පෙන්වා ඒ මත ආධිපත්‍යය පිහිටුවා ඇති ශාස්ත්‍ර ආරෝපණය කිරීමෙනි. එසේ කළ පසු ශිල්පයේ උපරිම භාවිත කිරීමේ හැකියාව ආරෝපිත වූ ශාස්ත්‍රය නිසා වැසී යයි. ශිල්ප ශාස්ත්‍ර තරම් තදින් ආරෝපණය කළ නො හැකි අතර නො බෝ කලකින් තමා ගේ ම ක්‍රමයට ගැනීමට මිනිසුන්ට වැඩි පළපුරුද්දක් ඇත. ශිල්ප පොදු ජනතාවගෙන් පැන නඟිද්දී ශාස්ත්‍ර පැන නැඟුණේ අධිපති ප්‍රජාවකගෙනි. අධිපතිවාදී ලක්ෂණ බෙහෙවින් ඇත්තේ ශාස්ත්‍රවලයි. ආරෝපණය කිරීමේ උපක්‍රමවලින් ශාස්ත්‍රය ගහණ ය.

සමඟි පෙරමුණ ආණ්ඩුවේ කාර්මික අධ්‍යාපන ප්‍රතිපත්තිය පවා අසාර්ථක වීමට බලපෑ මූලික ම කරුණක් නිර්මාල් දේවසිරි ගේ පඨිතය (text) විසංයෝජනයෙන් ම දැකගත හැකි ය. 
කාර්මික විද්‍යාල ආදියේ පවා ශිල්ප ඉගැන්වූයේ ශාස්ත්‍රයේ සෙවණැල්ලට, කැරලි ඇති වූ විට හිරු එළිය රහිත කරමින් බැල්නිබාරිය වසාලන ලාපුටා දේශයේ සෙවණැල්ලට, යටකොට ය. ශිල්පවල නිදහස් වර්ධනය හා අවශෝෂණය මකා ලන උපක්‍රමයක් ලෙසභාවිත කරමිනි.

බටහිර තාක්ෂණය ඔස්සේ විද්‍යාව ප්‍රචලිත වූවාට වඩා සිදු වූයේ තාක්ෂ්ණයේ පැතිරීම පවත්වා ගනිමින් යටත් විජිතවල තාක්ෂණය අවශෝෂණය වීම හා වර්ධනය වීම වළක්වන අඳුරු සෙවණැල්ල වශයෙන් , කෙවිට වශයෙන්, බැඳ ඇති කඹය  ලෙසින් තාක්ෂණය සමඟ බටහිර විද්‍යාව ඈඳා යැවීමයි.

එස්.ඒ. වික්‍රමසිංහ සිද්ධිය මෙතනට අදාළ නැත. එස්. ඒ. වික්‍රමසිංහ ගේ අරමුණ වෙන එකකි. ඔහු බටහිර විද්‍යාවට නිර්මාණයක් කර නැත. නිර්මාණය කර ඇති දේ භාවිත කළා පමණි. මේ කර්තව්‍යයේ දී අධිපතිවාදයෙන් ඔහුට න්‍යායික විරෝධයක් නැත. එහි ද ඇත්තේ ක්විනීන්හි මූල ඇමරිකානු සම්භවය විද්‍යාවේ ශාස්ත්‍රීයත්වයෙන් මකා දැමීමකි. එහි දී බටහිර විද්‍යාව හෝ විකල්ප භාවිත වූයේ දැනුම පිළිබඳ කරුණට අදාළව නො වේ.

අවසාන වශයෙන් කිව යුත්තේ දේවසිරි නම් පිටතින් සිටින කේන්ද්‍රය තම කඳවුරේ නිදහස් ක්‍රීඩනය (free play)  දෘශ්‍යමාන වීම රැක ගැනීමට මේ සංවාදයේ දී ගෙන ඇති උත්සාහය අප ගේ පැසසුමට ලක් වන බවයි. ස්ටාර් තරග වැනි තර්ක පවා පවත්නා සන්දර්භයන් මතු කිරීමට ගත් උත්සාහය අගය කළ යුතු ය. ඇත්තෙන් ම මෙවන් කේන්ද්‍රයක් පවතින පද්ධතියක සිටින අයට තමාගේ නිදහස් ක්‍රීඩනයේ යෙදෙන අතරතුර දී ම කේන්ද්‍රය ගැන සියුම් ගෞරවයක් ද යටි සිතේ ඇති කර ගත හැකි වනු ඇත.

දේව-සිරි: දැනුම හා දෙවියන් ගැන ආචාර්ය නිර්මාල් රංජිත්ට පිළිතුරකි- 02

මුල් ලිපියට

චින්තන අතර දැනුම් හුවමාරුව

චින්තන අතර දැනුම් හුවමාරු වන ආකාර තුනක් වේ.

  1. ආරෝපණය   :
      එක් චින්තනයක් දරන පිරිසක් තවත් චින්තනයක් දරන පිරිසක් සඳහා තම චින්තනයේ  නිපදවුණු දැනුමක් යොදා ගැනීමට නියම කිරීම ඍජු හෝ වක්‍ර ක්‍රමවලින් බල කිරීම හෝ මානසික අල්ලස් දීම.
         බටහිර විද්‍යාව ලංකාවේ ව්‍යාප්ත කිරීම ඇරඹුණේ මෙසේ ය.

     2. අනුකරණය       :

              යම් චින්තනයක් දරන පිරිසක් හෝ එම පිරිසේ ඇතැමුන් වෙනත් චින්තනයක දැනුමක් එලෙසින් ම යොදා ගැනීම. එනම් දැනුමේ චින්තන පදනම වෙනස් නො කර ඒ ප්‍රවාදයන් එසේ ම භාවිත කිරීම. 
            සරච්චන්ද්‍ර මහතා රෙඩ්ෆීල්ඩ් ගේ චූල සංස්කෘති මහා සංස්කෘති ප්‍රවාදය හඳුන්වා දීම උදාහරණයකි .( බටහිර දාර්ශනිකයන්ගේ නම් හා ඔවුන් ගේ යෙදුම් -buzzwords- තමා කියන දෑට බරක් දීමට භාවිත කිරීම මීට පහළ ගණයේ අනුකරණයකි.)


     3.   අවශෝෂණය   :

                      යම් චින්තනයක් දරන පිරිසක් වෙනත් චින්තනයක දැනුම, ඊට අනුරූපී වන පරිදි (analogous) තම චින්තනයේ ගොඩනැංවීමයි. 

               ශූන්‍ය සංකල්පය බටහිර ගණිතයට ගත් ආකාරය උදාහරණයකි.

ආරෝපණය ආධිපත්‍ය විසින් අධිකාරිමයව පැටවීමක් ද, අනුකරණය ආධිපත්‍යයකට ගැති වීමක් ද නිරූපණය කරන අතර අධිපතිවාදයකින් තොරව ක්‍රියාත්මක වන්නේ අවශෝෂණය පමණි. ඒ නිසා අධිපතිවාදයන්ට විරුද්ධ වන අයකුට අනුමත කළ හැක්කේ අවශෝෂණය පමණි.

යම් අයකුට වෙනත් චින්තනයක දැනුම භාවිත කළ හැකි නමුත් ඒ ඉතා අසම්පූර්ණ හා දුර්වල ආකාරයෙනි. එවන් විටක පරිවේදනය (insight) ඇති වීම ඉතා කලාතුරකින් සිදුවන්නක් වන අතර එම දැනුම නිර්මාණශීලීව හා උපරිමව භාවිත කිරීමේ හැකියාව ලැබෙන්නේ ම නැති තරම් ය. යථොක්ත චින්තනයේ දැනුමේ 'වර්ධනය' වීමට මේ දැනුමෙන් කිසිදු මෙහෙයක් නො වන අතර ආගන්තුක පිළිකාවක් පිළිලයක් මෙන් අසංගත භාවයක් ඇති කිරීම මිස කිසිවක් නො කරන තරම් ය. එහෙත් අවශෝෂණය මඟින් දැනුම නිර්මාණය වන්නේ එම චින්තනයේ ම බැවින් එහි උපරිම ප්‍රයෝජන ගැනීමටත් තව දුරටත් දැනුම වර්ධනය කිරීමටත් ඉතා ඉහළ ඉඩක් ලැබේ. එහෙයින් ධෛර්යවත් කළ යුත්තේ අවශෝෂණය ම ය.

දේව සංකල්පය: කෘෂි රසායන වකුගඩු රෝගය පිළිබඳ ප්‍රවාදයට පෙර

මේ සන්දර්භය යටතේ අප දකින්නේ දේව විශ්වාසය සෑම චින්තනයක ම පාහේ පැවතුණු බව ය. ඒක දේවවාදය පැවති සර්වබලධාරි දෙවියකු ගැන විශ්වාස කළ යුරෝපයේ නූතනත්වය සමඟ දෙවියන් ගැන තිබූ ආකල්පය වෙනස් වී ඇත. බටහිර විද්‍යාව තුළ දේව විරෝධී ප්‍රාකාශනයන් තිබුණ ද, බොහෝ දෙනා ගේ අවධානය යොමු වූයේ දෙවියන් ගේ ආකල්පය වෙනස් කිරීමට ය. හේතුවාදය ලංකාවේ දේව විරෝධයක් ලෙස කේන්ද්‍ර ගත වුව ද, අයිසෙක් නිව්ටන්, අයින්ස්ටයින් ආදී හේතුවාදය ඊනියා ප්‍රයෝජ්‍ය විද්‍යාවල පදනමක් බවට පත් කළ දැවැන්තයෝ සර්ව බලධාරී දෙවියන් විශ්වාස කළ හ. මා හොඳින් කියවා ඇති පරිදි නිව්ටන් තම කෘතිවල සෑම පරිච්ඡේදයකම පාහේ අවසානයේ ඔහු යෝජනා කරන ආකාරයේ යාන්ත්‍රණයකට (mechanism) සර්වබලධාරී දෙවියන් ගේ අවශ්‍යතාව අවධාරණය කරයි. දෙවියන් ගැන ම ලියැවුණු පරිච්ඡේද ද ඇත. දේව විරෝධි බව කියන ධාරාවල ප්‍රකාශනයන්හි ද Reason, Nature යන පද සමඟ God යන්න අතුරුමාරු  කළ හැකි (interchangeable) බව පෙනේ.

දැන් මේ සන්දර්භය තුළ සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියන් ගේ විශ්වාසය ගැන සලකමු. සිංහල බෞද්ධ සංස්කෘතියේ දෙවියෝ සර්වබලධාරි මැවුම්කරුවෝ නො වෙති. අප වැනි ම, අපට වඩා පින් කර ඇති , සත්ත්ව කොට්ඨාසයකි. සමහර දෙවියෝ අපට සමාන්තරව මේ ලෝකයේ ම සිටිති. සමහර දෙවියෝ සිටින්නේ අපට වඩා වෙනස්ව කාලය ගලා යන තැන්වල ය. මේ දෙවියන් ඇතැම් මිනිසුන්ට විවිධ ආකාරවලින් ගෝචර වේ.

මේ දෙවියන් දැනුම ද ලබා දී ඇත. සමහර ඍෂිවරුන් දෙවියන්ගෙන් දැනුම් ලබාගත් අතර මෑත කාලීනව පවා සමහර සිංහල බෙහෙත් එසේ සෑදූ ඒවා ය. කැටවල තෙල් හෙවත් ශ්‍රී ධන්වන්තරී තෛලය එසේ හීනයකින් පැමිණි අයකු කී අයුරින් නිර්මාණය කරන ලද මා අත් දැකීමෙන් ම සාර්ථකත්වය දන්නා ඉතා හොඳ බෙහෙතකි. ඉක්මණින් තුවාල සුව කිරීමට ඊට ඇති හැකියාව පුදුමාකාර ය.

ඉතා පැරණි පුරාවෘත නො සලකා හළ ද, රාමානුජන් තම සමීකරණ ලීවේ නමක්කාල් දෙවඟන ගේ උදව්වෙනි යන්න බැහැර කළ හැකි ද? ඒවා බටහිර ගණිතයෙන් ඔප්පු කිරීමට ඔහු නො දත් අතර ඒවා සමහරක් ඔප්පු කළේ G.H. Hardy නම් විශිෂ්ට බටහිර ගණිතඥයා ය. සමහර සූත්‍ර බටහිර ගණිතයට පටහැනි විය. ඒවා වැරදි ලෙස සලකා ඉවත දැමුණි. පුදුමාකාර ලෙස ඒ බටහිර ගණිතයට පටහැනි සූත්‍ර ක්වොන්ටම් භෞතික විද්‍යාවේ ඇතැම් ප්‍රතිඵල හා සමපාත වන බව පසු කාලීන ව පෙනී ගොස් ඇත. මෙවන් ප්‍රයෝජ්‍යතා පිළිබඳ අපට කුමක් කිව හැකි ද?

මේ අයුරින් අපට කිව හැක්කේ දෙවියන් හා දැනුම අතර සම්බන්ධය අතීතයේ සිට ම පැවැති බව ය. එහෙයින් මෙම අදහසේ පුනරාගමනයට නිර්මාල් දේවසිරි ගේ විවරණය සාධාරණ නො වේ.

බටහිර විද්‍යාවේ ආගමනයෙන් පසු ලංකාවේ දෙවියෝ

බටහිර විද්‍යාවේ ලංකාවට මුල් ආගමන සිදු වූ කාලයේ පරම විඥානාර්ථවාදී සංගමය සක්‍රියව පැවතිනි. පරම විඥානාර්ථවාදය සියලු ආගම් හා විද්‍යාව ඒකාබද්ධ කිරීමේ යෝජනාවකි. සිංහල බෞද්ධ දේව සංකල්පයට දාර්ශනික විරෝධයක් මුල් කාලයේ බටහිර විද්‍යාවෙන් එල්ල කිරීමට නො හැකි වූයේ ධර්මපාලතුමා ආදීන් දැක්වූ අදහස් නිසා ය. ධර්මපාලතුමා දෙවියන්ට විද්‍යාත්මක අර්ථකථන නොදුන් අතර විද්‍යාව සමඟ ගැටුමක් දුටුවේ ද නැත. තරුණ කාලයේ බුදු දහම හා බටහිර විද්‍යාව සංගත කළ හැකි ය යන්න පිළිගත් එතුමා පසුව පරම විඥානාර්ථවාදී සංගමයෙන් ඉවත් වූයේ එවන් උපක්‍රම අසාර්ථක බවත් බුදු දහම විකෘති කිරීමක් බවත් වටහා ගනිමිනි. පසුකාලීන ලියකියවිලි බලන විට මෙම වෙනස හොඳින් පෙනේ. මුල් කාලයේ පවා එතුමා එම අදහසේ දැඩිව නො සිටි බව ( Mc Mohan ගේ මතයට විරුද්ධව ) පැවසිය හැක්කේ මුල් කාලීන ප්‍රකාශවල භාෂා ශෛලිය විමසා බැලීමෙනි. දෙවියන් බුදු දහමෙන් ඉවත් කිරීම හා අඩුවෙන් අවධාරණය කිරීම ඇරඹුණේ පසුකාලීනව මාර්ටින් වික්‍රමසිංහ හා කොවුර් යුගවල ය.

මේ යුගය බටහිර විද්‍යාව අධ්‍යාපන ආයතන ඔස්සේ ආරෝපණය කරවූ යුගයයි. අනුකාරකයන් බිහි වී ඔවුන් සමාජයේ පිළිගැනීම ලබා ගැනීමත් සමඟ 'ශාස්ත්‍රීය' ප්‍රජාව දෙවියන් දුටුවේ උපහාසයෙනි. දැනුම සම්බන්ධයෙන් දෙවියන්ට තිබූ තැන නැති විය. ආරෝපණය හා අනුකරණය නිසා සිංහල බෞද්ධ දෙවියන් විස්ථාපනය වූයේ තවත් එවැනි ම ස්වරූපයේ සංකල්පයකින් නො ව ඊට වඩා භයානක සර්ව බලධාරී දෙවියකු ගේ ස්වරූපයෙනි. නිව්ටන්, අයින්ස්ටයින් ආදීහු අනභියෝගී දෙවියන් වැනි වූ අතර අනුකාරකයන් ඔවුන් ගේ මෙලොව (ලංකා) නියෝජිතයන් විය. මෙය පසුකාලීනව කුමන අතට වෙනස් වුව ද ලංකාවේ ශාස්ත්‍රීය සාකච්චාවල දී දාර්ශනික හා විද්‍යාඥ නම් ගම් විසිවන්නේ දේව සටන් පරිදි ය. ඔවුන්ගේ ප්‍රකාශවලට දේවවාක්‍යවල තැන් ලැබුණි.

කෙසේ නමුත් අවසානයේ මේ දාර්ශනික විද්‍යාඥ දෙවිවරුන්ට ප්‍රතිපක්ෂව සිංහල බෞද්ධ දේව සංකල්පය දැනුම පිළිබඳ සංවාදයට ගෙන ඒමට ආචාර්ය නලින් ද සිල්වා මහතා සමත් විය. මේ සිදුවීම් අවසානයේ නාථ දෙවියන් කී දෙයක් ප්‍රශ්න කළ නො හැකි යැයි කියන අයගෙන් පෙන්නේ චින්තන වෙනස නො සැලකූ අනුකාරක ස්වරූපයයි. අප නාථ දෙවියන් පිළිගන්නේ අපට වඩා පින් ඇති අපට වඩා විශේෂ වූ හැකියාවන් සමහරක් ද ඇති ප්‍රාණියකු ලෙස මිස අනුකාරකයන් නිවුටන් ගැන කොපර්නිකස් ගැන සිතන අයුරින් නො වේ. කොපර්නිකස් යමක් ඔප්පු කළ බව පෙළ පොතේ සටහන් වූ පමණින් එය දේව වාක්‍ය වී ඔහු එය ඔප්පු කර ඇති බව දැඩිව ගැනීමක් ඒ ගැන නො විමසීමක්, අපේ චින්තනයේ අපට හමුවන දෙවියන් කෙරේ අපට නැත. අපට ඒ තවත් ප්‍රාණියෙකි. අපේ චින්තනයේ අප දෙවියන් කී දේ පවා අපේ චින්තනයට අවශෝෂණය කරනවා මිස ආරෝපණය කිරීමට ඉඩ දීමක් හෝ අනුකරණය කිරීමක් නො කරමු. 

දෙවියන් ගැන විද්‍යාත්මක අර්ථකථන 

 මා පෙර සඳහන් කළ වික්‍රමසිංහ , අදිකාරම් , කොවුර් යුගවල දෙවියන්ට බටහිර විද්‍යාවේ අර්ථකථන දීමට පෙළඹිණි. පෙර කී ලෙස හේතුවාදයේ (rationalism) හා යථාර්ථවාදයේ (realism) ලාංකික ප්‍රවේශය සිදු වූයේ තර්ක බුද්ධියේ (reason) හෝ හේතුමය භාවයේ (causality) වැදගත්කම හෝ අනිවාර්ය බව අවධාරණයෙන් නො ව, වාස්තවිකත්වය පිළිබඳ සාකච්චාවකින් නොව ඉතා විකෘති ලෙස 'අදෘශ්‍යමාන බලවේග' විරෝධයකිනි. දෙවියන් ගැන ද මේ විරෝධය එල්ල විය. දෙවියන්ට විකල්ප විද්‍යාත්මක අර්ථකථන එක් කර ඊට මුහුණ දුන් අය අතින් දෙවියන් සූත්‍රගත (formulate) වූයේ දැනුම පිළිබඳව දෙවියන් ගැන තිබූ උපයෝගීතාවයන් ගෙන් පරිබාහිරව ය. බොහෝ අර්ථකථනවල අරමුණ වූයේ ත්‍රිපිටකය හේතුවාදීන්ට අනුකූලව තබා ගැනීමට ය. ඇත්තෙන් ම හේතුවාදීහු ද තර්කය , න්‍යාය , හේතුමය බව ගැන බුදුන් වහන්සේ කියූ දෑ අවධාරණය නො කොට තබා කාලාම සූත්‍රය ආදී සූත්‍රවල තමන්ට අවශ්‍ය කොටස් පමණක් සලකා තම තර්ක බුදු දහමින් තහවුරු කිරීමට උත්සුක වූ හ. බුදු දහමේ වචන හා තම පාරිභාෂික පදවල රූපීය සමානකම් වංචනිකව යොදා ගත් හ. හේතුවාදය හා හේතුඵලවාදය , යථාර්ථය හා යථාභූත එසේ ගළපන ලදී.
ඒ නිසා දෙවියන්ට විකල්ප අර්ථකථන දීමෙන් හා සමහර තැන් අවධාරණය නො කර සිටීමෙන් ත්‍රිපිටකය හේතුවාදී තර්ජනයෙන් රැකගැනීමට ඇතැමුන් බොළඳ උත්සාහ ගැනීම එක් අතකට නාමිකව සාර්ථක උත්සාහයක් විය.

දෙවියන් පර්සියානුවන් කිරීම, ගෝත්‍රයක් කිරීම , පිටසක්වල ජීවීන් කිරීම, සමාන්තර විශ්ව වාසීන් කිරීම , සංකේත ලෙස දැකීම එවැනි ය. මේවා යම් තරමකට සාර්ථක වීමට හේතු වූයේ පැරණි සිංහල බෞද්ධ දේව සංකල්පය මෙන් ම යක්ෂ ආදී සංකල්ප ද බහු විවරණ සහිත වීමයි. උදාහරණ ලෙස මාර සංකල්පය බුද්ධඝෝෂ හිමි ම පස් ආකාරයකට විවරණය කර ඇත. (පංච මාර සංකල්පය). එහෙත් උන් වහන්සේ එසේ කළේ දිව්‍ය පුත්‍ර මාරයා ප්‍රතික්ෂේප කිරීමට නො වේ. එසේ ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපිටකය ඉඩ නො දේ. දිව්‍ය පුත්‍ර මාරයා ගේ නම මාර නො ව ප්‍රජාපති ය. මිථ්‍යා දෘෂ්ඨික , බෞද්ධ විරෝධී , ඉහළ ම දෙව් ලොවේ නායකයා මරණයේ සංකේතයේ නාමයෙන් නම් කිරීම අරුමයක් නො වේ.

මෙයින් පෙනෙන්නේ සංකේත දේවකරණය කරන ලෙස ම (ගණ, සරස්වතී) ප්‍රාණී දෙවියන් සංකේතවලින් හැඳින්වීම ද සිදුව ඇති බව ය.මේ නිසා ඔවුන් ගේ අදහස් තරමක් සාර්ථක වුවත් මේ අර්ථ විවරණවලින් එකකට සීමා වූ ඔවුන් තම ව්‍යාපෘතිය සඳහා ත්‍රිපිටකයේ බොහෝ කොටසක් 'අමතක කළ බව' (නො තකා හැරි බව) අමුතුවෙන් කිව යුතු නැත.

සමහර දිව්‍ය ලෝක සමාන්තර බව බුදුන් වහන්සේ ම දෙසා ඇත. සංකස්ස පුරේ දී එවන් දිව්‍ය ලෝක උන් වහන්සේ මිනිසුන්ට විවර කොට පෙන්වූ සේක. සමහර දිව්‍ය ලෝකවල කාලය ගලා යන්නේ පෘථිවියට වඩා ඉතා සෙමින් ය. නිව්ටෝනීය භෞතික විද්‍යාව අනුව මුළු විශ්වයට ම ඇත්තේ එක ම කාලයකි. එකල එය අර්බුදයක් වෙන්නට ඇත.  අද අයින්ස්ටයින්ට පසු මේවා ඉතා සාමාන්‍ය දේ ය. විද්‍යාව හා සංහිඳියාවකට නො යෑමේ වරදක් අඩු ම තරමින් මේ කරුණේ දීවත් නැති බව මින් පෙනේ.

මීළඟ ලිපියට

දේව-සිරි: දැනුම හා දෙවියන් ගැන ආචාර්ය නිර්මාල් රංජිත්ට පිළිතුරකි- 01

"දෙවියන්" පිළිබඳ ප්‍රශ්නය හා ජාතික චින්තනය යන මැයෙන් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ලිපියක් ලියා ඇත. මේ ලිපිය ලියැවෙන්නේ ඊට පිළිතුරු ලිපියක් වශයෙනි.

නිර්මාල් දේවසිරි මහතා ගේ ලිපියේ කියැවෙන්නේ මෙබඳු දෙයකි: දෙවියන් ගැන විශ්වාස හා ගැටුණ ද දෙවියන් ගැන විශ්වාස සහමුලින් ඉවත් කිරීමට බටහිර විද්‍යාවට (හෝ නවීන විද්‍යාවට) නො හැකි විය. මීට හේතුව වූයේ බටහිර විද්‍යාවේ පරාසයෙන් සියල්ල ආවරණය නො වූ නිසා මිනිස් අවශ්‍යතාවල ආවරණය නො වූ කලාපයක් ඇති වීම ය. මේ ආවරණය නො වූ කලාපයේ අවශ්‍යතා ආගම් මඟින් තෘප්ත කෙරුණු අතර විද්‍යාව හා ආගම් අතර ඊනියා හේතුවාදීන් ඇති කළ ගැටුම් පැවතියේ මෙහි අද්දර පමණක් බැවින්, බටහිර විද්‍යාව සමඟ ම සමතුලනයක් ඇති කර ගනිමින් ආගම් ද දිගින් දිගට ම පැවතුණි. ආචාර්ය නලින් ද සිල්වා මහතා විසින් මේ සමතුලනය බිඳ හෙළමින් දේව සංකල්පයන් ආවරණය කරන මිනිස් අවශ්‍යතා පරාසය පුළුල් කරමින් බටහිර විද්‍යාව මඟින් විසඳුම් දෙන මිනිස් අවශ්‍යතා පරාසය සමඟ අතිඡාදනය කර ඇත. මේ සමඟ ම ඇති වූයේ නව දේව 'කතිකාවකි' (discourse). මේ සමඟ හේතුවාදීන් පැරණි දේව කතිකාවට එරෙහිව ඉදිරිපත් කළ තර්ක නව තත්වය සඳහා වලංගු නො වන අතර මේ නව කතිකාවට එරෙහිව බිහි වූ 'රැඩිකල්' තර්ක ද එහි සංඝඨකවලට පහර දීමට මිස බුද්ධිමය අභියෝගයක් ඇතිකිරීමට අසමත් ය. කෙසේ නමුත් මෙබඳු ඵලයක් ඇති වී තිබේ. බටහිර විද්‍යාවේ හා දේව සංකල්පයේ නව අතිඡාදන කලාපයේ පවතින මිනිස් අවශ්‍යතාවලට මේ නව කතිකාව මඟින් පොරොන්දු වූ විසඳුම් කොහි ද යන්නයි. කාලගුණ ස්ටාර් වැනි විපරීත ඉල්ලීම් ඇති වන්නේ මේ සන්දර්භයේ ය. තව ම මේ නව කතිකාව ළදරු තත්වයේ ඇති නිසා තරඟ පැවැත්වීම නො මනා අභියෝගයකි යන්න නිර්මාල් දේවසිරි මහතාට අනුව පිළිගත නො හැකි ය. දෙවියන් ගේ නව කතිකාවෙන් වැඩ ගැනීම කම්කරු විප්ලවය මෙන් වාස්තවික තත්ව ඇතිවන තෙක් බලා සිටිය යුත්තක් නො වේ. බටහිර විද්‍යාවේ අධිපතිවාදීව පැතිරුණේ කාර්මික ජයග්‍රහණ නිසා බව පවසන ඒ මහතා එස්.ඒ. වික්‍රමසිංහ මහතා මැලේරියාව මර්දන ව්‍යාපාරයේ දී සිදු කළ කාර්යභාරය දේව කතිකාව හා බටහිර විද්‍යාව ගැටුණු එක් තැනක් බවත් එහි දී බටහිර විද්‍යාව තහවුරු වීමට උපයෝගීතාවය (pragmatism) හේතු වූ බවත් කියවේ.

ඉහත සාරාංශ ගත වී ඇති තර්ක විෂ්ලේෂණය කිරීමේ දී හා අදාළ පඨිතයන් (text) විසංයෝජනය (deconstruction) කිරීමේ දීත් පෙනී යනු ඇත්තේ නිර්මාල් දේවසිරි මහතා ගේ තර්කවල  පදනම වන්නේ ඔහු ගේ නො සලකා හැරීම් (ignorance) , ජාතික චින්තනයේ ප්‍රතිවාදියා වීමට (අනෙකා යන්නට දේවසිරි මහතාට වඩා ප්‍රිය වනු ඇත.)  ඔහු තුළ ඇති ආශාව  (desire) (මෙය ගෝලයින් නො වන ලෙස අප හැඳිනගන්නා කඳවුරේ ම සාමාජිකයන් ගේ අදහසකි.) හා එහි දී ගොඩනැඟෙන ජාතික චින්තන ප්‍රතිවාදී කඳවුරක කඳවුරට පිටතින් (ඇතුළතින්) සිට කඳවුර බේරා ගැනීමේ වුවමනාව හෙවත් ඔහු මත ප්‍රේරණය වන (කරගන්නා) වගකීමයි. මෙහි කඳවුර යනු 'ජාතික චින්තන' අදහසට විරුද්ධ මතධාරී පඨිතයන් (texts) හා එහි කර්තෘන් අතර සම්බන්ධතාවන් මඟින් ගොඩනැඟෙන්නකි. (මෙය අර්ථ දැක්වීමක් ලෙස නො ගත යුතු ය.) මේ අතර ඒ කඳවුර තුළ ම අප විසින් නිර්මාල් අනුගාමිකයන් ලෙස හඳුන්වනු ලබන උප කඳවුරක් වේ.
පැහැදිලිව ම ව්‍යුහයක (structure) හැසිරීම තෘප්ත කරමින් කඳවුර නිර්මාණය කරන කේන්ද්‍රය ලෙස පවතින (සිටින) නිර්මාල් දේවසිරි කඳවුරින් පිටත සිටී. Center is not center යන සුප්‍රකට ප්‍රකාශය එනම් කේන්ද්‍රය කේන්ද්‍රයක් නො වේ යන්න ශාස්ත්‍රීය විග්‍රහ කළ යුත්තේ මෙවන් සන්දර්භයක ය. (එක්තරා සිද්ධියකින් පසු) ව්‍යුහයක කේන්ද්‍රය පිහිටන්නේ ව්‍යුහයට පිටතින් ය. කඳවුරේ නිර්මාපකයා වූ ද කේන්ද්‍රය වූ ද දේව-සිරි , සර්වබලධාරි දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කොට ඊට කේන්ද්‍රය ව ඇතුළතින් පිටතින් සිටින ලෙසින් කඳවුරට ඇතුළතින් පිටතින් සිටී. ඔහුගේ කතිකාවේ (discourse) ඔහුට ගෝලයින් නැත. අප ගෝලයින් ලෙස හඳුනා ගන්නන්ට ඔහු ගුරුවරයා වුව ද කඳවුර කණ්ඩායම යන පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. ව්‍යුහයක් හඳුනා ගැනීමට (ගොඩ නැඟීමට) කේන්ද්‍රයේ කාර්යභාරය මින් පෙනේ. ගෝලයින් ලෙස අප විසින් හඳුනා නො ගන්නා කඳවුරේ අය හා දේව-සිරි අතර ද ඇත්තේ ඊට ආසන්න සබඳතාවකි. කේන්ද්‍රය ව්‍යුහයේ ඇතුළතින් පිටතින් සිටී. පද්ධතිය ගොඩ නඟා කේන්ද්‍රය පද්ධතියෙන් බැහැර වීමේ සිද්ධියෙන් (event) පසු අපට දැකීමට ඇත්තේ මේ ව්‍යුහය තුළ නිදහස් ක්‍රීඩනයයි. (Free play) . එහෙයින් ජාතික චින්තන ප්‍රතිවාදීන් අපට දැකීමට යෝජනා කරන ස්වායත්ත නිදහස් ක්‍රීඩනය අප දැකිය යුත්තේ විසංයෝජනය කිරීමෙන් පසු ය.
අපට 'නිර්මාල් දේවසිරි කණ්ඩායම' නම් ව්‍යුහයෙන් හා එය වටා වූ 'ජාතික චින්තන ප්‍රතිවාදී පිළ' නම් ව්‍යුහයෙන් ඉදිරිපත් වෙන පඨිත(texts) විසංයෝජනය (deconstruction) කිරීමේ දී මේ සිද්ධිය (event) අනිවාර්යයෙන් ම අප ගේ අවධානයට යොමු කළ යුතු ය. ඔවුන් ගේ ප්‍රකාශවල සැඟවුණු පූර්ව-උපකල්පන හඳුනා ගත හැක්කේ කේන්ද්‍රයේ මේ (අ)ස්වාභාවික හැසිරීම වටහා ගත් විට ය. කණ්ඩායමක් නො වන කණ්ඩායමක්, ගෝලයින් නො වන ගෝලයින් ආදී අප විසින් මේ 'කඳවුර' හැඳින්වීමට භාවිත කරනු ලබන පඨිතයන් (text) අර්ථවත් වෙන්නේ මෙවිට ය.

දැන් මාගේ ලේඛන ශෛලිය හුරු පුරුදු පාඨකයින් ඉහත ඡේදය ගැන විස්මපත් විය හැකි ය. මේ මගේ භාෂා රටාව නො වේ. මා නිතර භාවිත කරන යෙදුම් නො වේ. ප්‍රතිවාදීන් සමඟ සංවාදයක් සාර්ථක වනු ඇත්තේ දෙපාර්ශ්වය භාෂා රටාවේ පාලමක් ඇති කර ගැනීමෙනි. ඒ නිසා මේ ලිපියේ මාගේ සුපුරුදු භාෂා ව්‍යවහාරයට අමතරව පශ්චාත්නූතනවාදී ව්‍යවහාර ද යෙදෙනු ඇත. ප්‍රතිවාදීන්ට විරුද්ධව ප්‍රතිවාදීන් ගේ සංකල්ප භාවිත කිරීම උචිත දැයි යනුවෙන් යමකු ඇසිය හැකි ය. යමක් බිඳ හෙළීමේ දී අවශ්‍ය ඕනෑ ම උපක්‍රමයක් භාවිත කිරීමේ නිදහස ඇත. මා මෙහි පශ්චාත්නූතනවාදය භාවිත කරන්නේ පශ්චාත්නූතනවාදීන් මෙහෙයවා ගැනීමට භාවිත කළ හැකි තෝන් ලණුව ලෙසත් ප්‍රතිවිරුද්ධ පෙරමුණේ සටන් වදිනා බුද්ධි අංශ චරපුරුෂයකු ලෙසත් පමණි.


ප්‍රාගානුභූත (a priori) අමතක කළ කතිකාව (discourse)

නව දේව කතිකාව, පැරණි දේව කතිකාව හා විද්‍යා කතිකාව ලෙස ලෙස නිර්මාල් දේවසිරි මහතා කතිකා තුනක් ගැන කතා කර ඇත. කතිකාව යනු සංඥා , සංඥිත, වස්තු ආදිය ගොනු වීම ගැන අදහසකි. මේ අදහස ඉදිරිපත් කිරීමේ දී ෆූකෝ (Foucault)ට වැටහුණේ යම් කාලයක දී සත්‍ය  ලෙස සැලකෙන්නේ සමහර කතිකා පමණක් බවයි. කතිකා සත්‍ය බව හැඟීමට මූලික කරුණක් , ප්‍රගානුභූතයක් (a priori) , ඇති බව ඔහුට වැටහිනි épistème සංකල්පය එහි ප්‍රතිඵලයක් විය. යම් සංස්කෘතියක යම් කාලයක ඇත්තේ එක් épistème බව ඔහු පැවසී ය. කතිකාවන් පිළිගැනීමට ලක්වන්නේ මීට අනුව ය. ඔහු බටහිර සංස්කෘතියේ ඓතිහාසික épistème හතරක් දුටුවේ ය. මෙය ඉතා දුර්වල විග්‍රහයක් බව ෆූකෝට ම අවබෝධ විය. පසු කලෙක ඔහු épistèmeවල සමකාලීන සහ-පැවැත්ම පිළිගත්තේ ය. 

අවසානයේ අපට මින් ගත හැකිව ඇත්තේ කතිකාවන්ට ප්‍රාගානුභූත (a priori) ඇති බව ය. ඒවා සංස්කෘතිය සමඟ බද්ධ බව ය. ඒ ප්‍රගානුභූත පැහැදිලි කිරීමට épistème අසාර්ථකය. සුසමාදර්ශය හා épistème අතර පියාජේ ගේ සන්සන්දනය පැහැදිලිව ම දුර්වල ය. මේ ප්‍රාගානුභූත (a priori) සුසමාදර්ශවලට වඩා ප්‍රාථමික බව පැහැදිලි විය යුතු ය. සුසමාදර්ශ හතරක් වැනි සුළු සංඛ්‍යාවකට ගත නො හැකි බව පැහැදිලි හෙයින් දුර්වලව නමුත් ෆූකෝ හඳුනා ගැනීමට උත්සාහ කළේ සුසමාදර්ශයෙන් එහා දෙයකි.

මේ ඉව නිර්මාල් දේවසිරිට පවා වැටී ඇත. දේව කතිකාව බටහිර විද්‍යාවට විරුද්ධව කීමට මැළිවන බව කියා දැනුමට යැයි කියන්නේ එහෙයිනි. 

ජාතික චින්තන ප්‍රතිවාදී පිළ අතර හුවමාරු වන බෞද්ධ කතිකාවත , ක්‍රිස්තියානි කතිකාවත, විද්‍යා කතිකාවත , මනෝ විෂ්ලේෂණ කතිකාවත ආදී යෙදුම් සඳහන් ඇතැම් රූප සටහන් දෙස අප උපහාසයෙන් බලන්නේ මේ සන්දර්භය තුළ ය.

පශ්චාත්නූතනවාදයට ස්වායත්තව ස්වාධීනව බිහි වුණු, ආචාර්ය නලින් ද සිල්වා මහතා ගේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයේ චින්තනය සංකල්පයේ විශිෂ්ටත්වය මේ තත්වය සංගතව විග්‍රහ කර ගැනීමට එය සමත් වීමයි.

චින්තන (chinthana) හා සුසමාදර්ශ (paradigm)

චින්තනය යනු යම් පිරිසක් පිළිගන්නා දාර්ශනික පසුබිම (philosophical background ) හා න්‍යාය (logic) , ඥානවිභාගය (epistemology මෙය බටහිර මෙන් ontology හා වෙන් ව ගැනීම කළ නො හැකි අවස්ථා ඇත.) හා ආකල්ප (attitudes) යන කොටස් තුනෙන් සෑදුණකි. චින්තනය එම පිරිසේ දැනුමේ පදනම වේ. (එහෙත් චින්තනය දැනුමින් ස්වායත්ත නො වේ.)
සංස්කෘති ඇතිවන්නේ ද චින්තනවල ය. එහෙයින් මෙය සංස්කෘතියට ද වඩා මූලික වූවකි. ආසන්න අනෙක් සංකල්පවලින් චින්තනය කැපී පෙනෙන ලෙස වෙනස් වන ඉතා වැදගත් ලක්ෂණයක් ලෙස මා දකින්නේ චින්තනය සංස්කෘතියට ද වඩා මූලික ලෙස ගොඩනඟා තිබීමයි. අනෙක් සංකල්ප අසාර්ථක වන විට චින්තනය කාලය ගැන හෝ සංස්කෘතිය ගැන ඉදිරිපත්වන කරුණුවල දී විසංවාද ඇති නො කරන්නේ එය පිහිටුවා ඇති මෙම ස්ථානය ද නිසා ය. එහෙත් ඊට එක ම හේතුව එය නො වේ. (Civilisation ගැන යමකු විමසිය හැකිය. එය අප නො පිළිගන්නා සංකල්පයකි. Civilisation යෝජනා කරන්නේ සංස්කෘති අතර පවතින තමා එක වර්ගයක් සේ පිළගෙන පොදුවේ එකා වෙනුවෙන් එකා පෙනී සිටීමේ තත්වයයි. එය දැනුම විග්‍රහ කිරීමේ දී වැදගත් සංකල්පයක් නො වේ. අනෙක් අතට චින්තනය මෙන් නොව civilisation අනිවාර්යයෙන් පැවතිය යුත්තක් නො වේ. හන්ටිංටන් ථෙරවාද බෞද්ධ රටවල්වල ඇති civilisation නම් නො කිරීමට ප්‍රවේසම් වේ.)

චින්තනය ගැන පැහැදිලි හා සවිස්තර විග්‍රහයක් 'මගේ ලෝකය' දෙවන උපග්‍රන්ථයේ වේ.

සුසමාදර්ශය (paradigm) යනු යම් අවස්ථාවක චින්තනයක් තුළ බලයේ ඇති කේන්ද්‍රීය ප්‍රවාදයක් (center-theory) සහිත පද්ධතියකි. මේ පද්ධතියේ ස්වයං සංගත වීමට (self-consistency) අවශ්‍ය ප්‍රවාද හා කරුණුවල විවරණ (interpretation of facts) එය බිහි වූ ඓතිහාසික ක්‍රියාවලිය මඟින් මූලික ප්‍රවාදයට අනුකූලව තෝරාගෙන ඇත. සුසමාදර්ශ දෙකක් සමකාලීනව පවතින්නේ කෙටි කාලයක් පමණක් වන අතර එහි දී එක එකෙහි සහායකයින් අතර තරඟයෙන් හා දේශපාලනික ක්‍රියාවලියක් මඟින් අදහස් ඒත්තු ගැන්වීමේ හැකියාව ලබා ගැනීමෙන් ජය ලබන සුසමාදර්ශය ඉන්පසු දිගු කලක් පවතිනු ඇත. මෙවන් ක්‍රියාවලියක් 'සත්‍යයට' ළඟා විමක් විය නො හැකි ය. වාස්තවික යථාර්ථයක් නො පවතින බැවින් දැනුම නිර්මාණයක් වන අතර දැනුමක් ඒත්තු ගැන්වීම හා තහවුරු කිරීම දේශපාලනික ක්‍රියාවලියකි.

මීළඟ කොටසට
අවසන් කොටසට



සිංහල භාෂාවේ කාලභේදයක් නැත - (තුන්වන කොටස)


     සිංහල භාෂාවේ කාල භේදය පිළිබඳ දැනට ඇති මතවාද අසාර්ථක බව ද කාල භේදය සංකල්පයට පටහැනි වන සේ අනතීත ( පැරණි මතයට අනුව වර්තමාන හා අනාගත) ක්‍රියා පද අතීත කාලයේ සිද්ධි සඳහා ද නිරතුරුව ම යෙදී ඇති බව ද පැරණි ගද්‍යා හා පද්‍ය සාහිත්‍යයෙන් උදාහරණ දෙමින් පෙර ලිපියේ පැහැදිලි කළෙමි. මෙවර ලිපියෙන් මා පෙන්වා දෙන්නේ නූතන සාහිත්‍යය සඳහා ද කාල භේදය යන සංකල්පය එලෙසින් ම අසාර්ථක වන බවයි.

( මෙම ලිපිවල ඇති උදාහරණ පෙරළි කොමා අතර දැක්වෙන්නේ ඇයි දැයි පාඨකයින් කිහිප දෙනකු විමසා තිබේ. මෙම ලිපිවල ලබා දී ඇති උදාහරණ පෙරළි කොමා අතර දැක්වෙන්නේ ඒවා අදාළ පොත්වලින් උපුටා දැක්වූ බව පෙන්වීමට පමණි . එම පෙරළි කොමා අදාළ වාක්‍යවල කොටසක් නො වේ. )

      කුමාරතුංග මුනිදාසයන් ගේ පොතකින්  මුල් ම උදාහරණය ඉදිරිපත් කරමි.

  " හේ උමතුව මෙන් ඔබට මොබට යන්නටත් ඈත මෑත බලන්නටත් වූවේ ය. ළඟ ගමේ රන් කරුවා නුදුරු තැනෙක තණ කපයි. "

(කියවන නුවන : හතර බීරි කතාව)

       මෙහි අතීත සිද්ධියකට "කැපී ය" යනුවෙන් අතීත ක්‍රියාව නො යෙදී "කපයි" යනුවෙන් අනතීත ( වර්තමාන ) ක්‍රියාව යෙදී ඇත. ඊට පෙර වාක්‍යයේ "වූයේ ය " යනුවෙන් අතීත ක්‍රියාව යෙදී ඇති බැවින් කුමාරතුංගයන් මෙම සිද්ධිය අනතීතයට ( වර්තමානයට ) ආරෝපණය කොට ලිවීමට අදහස් නො කළ බව පෙනේ.

       "කපයි" යන්න වෙනුවට "කැපී ය" යන අතීත ක්‍රියා පදය වාක්‍යයට යොදා බලමු. එවිට ලැබෙන වාක්‍යය මෙසේ ය.

        හේ උමතුව මෙන් ඔබට මොබට යන්නටත් ඈත මෑත බලන්නටත් වූවේ ය. ළඟ ගමේ රන් කරුවා නුදුරු තැනෙක තණ කැපී ය.

       මෙම කොටස කියවන විට පැහැදිලිව ම අර්ථය විකෘති වී ඇති බවත් "කැපී ය" යන වචනය එතැනට නො ගැළපෙන බවත් ඔබට වැටහෙනු ඇත. එහෙත් එසේ වන්නේ ඇයි දැයි දැනට පවතින ව්‍යාකරණයෙන් පැහැදිලි කළ නො හැකි ය. දැනට පිළිගැනෙන ව්‍යාකරණය අනුව නම් ගැළපෙන පදය විය යුත්තේ "කැපී ය" යන්නයි. එහෙත් එය එසේ නො වන බව අපි දුටුවෙමු. මෙයින් පෙනෙන්නේ කාල භේදය සංකල්පයේ ඇති දුර්වලතාවයි.

   එම පොතෙහි එම පරිච්ඡේදයේ ම මෙම කොටස ද බලන්න.

" එළුවෝ තණ කති . එළු පල්ලා පළමු කොට උන් ගැණ බැලී ය. "

     අතීත සිද්ධියකට "කති" යන අනතීත ( වර්තමාන ) ක්‍රියාව යෙදී ඇත. දෙවන වාක්‍යයෙහි "බැලී ය" යනුවෙන් අතීත ක්‍රියාව යෙදී ඇති බැවින් අනතීතයට ( වර්තමානයට ) ආරෝපණය කොට ලිවීමක් සිදුව නොමැති බව ද පැහැදිලි ය.

      දැනට පිළිගැනෙන ව්‍යාකරණයට අනුව නිවැරදි ක්‍රියා පදය වන " කෑ හ" යන්න ආදේශ කොට බලමු.

එළුවෝ තණ කෑ හ. එළුපල්ලා පළමු කොට උන් ගැණ බැලී ය.

       අර්ථය විකෘති වන බව පැහැදිලිව ම පෙනේ. එබැවින් කාල භේදය සංකල්පය වැරදි බව තව දුරටත් තහවුරු වේ.

    මීළඟට අපි මාර්ටීන් වික්‍රමසිංහ මහතා ගේ ඓතිහාසික නවකතාවක් වන රෝහිණී කෘතියෙන් උපුටා ගත් උදාහරණයක් සලකා බලමු.

" එහෙත් ගැමුණු රජු ගේ චර පුරුෂයෝ අනුරාධපුරයේ සිංහලයන් මෙන් වෙස් වළාගෙන ගොස් එළාර රජු ගේ සේනාව හා වෙසෙමින් ඔවුන් ගේ තොරතුරු විමසා ගැමුණු කුමාරයාට දන්වති."

     මෙහි "දැන්වූ හ" යන අතීත ක්‍රියාව නො යෙදී "දන්වති " යන අනතීත ( වර්තමාන ) ක්‍රියාව යෙදී ඇත. "දන්වති" යන්න වෙනුවට "දැන්වූ හ" යන්න යෙදූ විට අර්ථය විකෘති වන බව ද පෙර පරිදි ම දැකිය හැකි ය.

   දැන් අපි නූතන පද්‍ය සාහිත්‍යය ද විමසා බලමු.

" වෙඩි හතකින් ම හම සිදුරු ව තිබුණි                ඇගේ
  හැඬු බව ඇසූයෙමි ඈ වත්තෙහි ම                     මගේ
  මිනිසුන් ළඟට ඇය ආ වග සිතට                       නැගේ
  සිතුවිලි වුණා පිනි බිඳු කම්බියක                         දිගේ"

(ඉර පායා ඉර මුදුනට එන්න එපා - විමලරත්න කුමාරගම)

     මෙහි ද අතීත සිද්ධියකට  "නැගේ" යනුවෙන් අනතීත ක්‍රියාව යොදා ඇති බව පෙනේ. ඊට පෙර හා පසු වාක්‍යවල "තිබුණි" , "වුණා" ලෙස අතීත ක්‍රියා යොදා ඇති බැවින් අනතීතයට (වර්තමානයට) ආරෝපණය කොට නො ලියූ බව පැහැදිලි ය.

     මීළඟට අපි මහගමසේකරයන් ගේ ප්‍රබුද්ධ කාව්‍යයෙන් උදාහරණයක් සලකමු.

" සිදු වුණේ අසිරියකි;
  බඩ මහත දැඩි පිරිමි
  සෙම භරිත තඩි ගැහැනු 
  කය පුබුදු වී අවුත් 
  මස සසල කොට නටත් "

     මෙහි "නැටූ" යනුවෙන් අතීත කාල ක්‍රියාව නො යොදා "නටත්" යන අනතීත (වර්තමාන )  ක්‍රියාව යොදා ඇත. මෙමගින් ද පෙනෙන්නේ කාල භේදය සංකල්පය අඩුපාඩු සහිත බවයි.
       
     නූතන සාහිත්‍යයේ කාල භේදය සංකල්පය අසාර්ථක දැයි තව දුරටත්  විමසීම සඳහා මෙවර ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශ වූ නවකතා පහ අධ්‍යයනය කළෙමි.
එම පොත් පහෙන් ම කාල භේදය අසාර්ථක සංකල්පයක් බවට වන මගේ මතය යළි යළිත් සනාථ විය.

      ලිපිය දිගු වන බැවින් ඒ සියලු උදාහරණ මෙහි දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නො වෙමි.

    ලියන බසේ පමණක් නොව කට වහරේ ද කාල භේදය සංකල්පය අසාර්ථක බවට උදාහරණ මීළඟ  ලිපියෙන් බලාපොරොත්තු වන්න.

                                             - තමලු මලිත්ත පියදිගම

පෙර කොටස                       පසු කොටස

සිංහල භාෂාවේ කාලභේදයක් නැත - (දෙවන කොටස)

කාල භේදයක් නැති සිංහල
- තමලු මලිත්ත පියදිගම
(2016.09.04 ඉරිදා රිවිර)

     සිංහල භාෂාවේ කාල භේදය පිළිබඳ මතවාද  පැරණි කාල තුනක මතයේ සිට කුමාරතුංග මුනිදාසයන් ගේ නව කාල දෙකක මතය දක්වා විකාශනය වූ අන්දම පෙර ලිපියේ දැක්වීමි.

    දැන් පිළිගන්නා අතීත - අනතීත මතය සාර්ථක ද? මෙය දැන් අප හමුවේ පවතින ප්‍රශ්නයයි. මේ පිළිබඳව විමසා බැලිය හැක්කේ සිංහල  භාෂාව භාවිත වී ඇත්තේ මෙම මතයට අනුකූල ව දැයි විමසීමෙනි . මෙහි දී ලිඛිත භාෂාව මෙන් ම කථන ව්‍යවහාරය ද සැලකිල්ලට ලක් කළ යුතු ය. පැරණි මෙන් ම නූතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය ද විමසිය යුතු ය.

   අතීත කාලයේ සිද්ධිවලට අනතීත ක්‍රියා යෙදී ඇත්නම් එයින් කියැවෙන්නේ කාල භේද මතය වැරදි අසම්පූර්ණ මතයක් බවයි.

   පුරාණ සාහිත්‍යය විමසීමෙන් අප ගේ විමර්ශනය අරඹමු.

    මේ උම්මග්ග ජාතකයෙන් උපුටා ගත් කොටසකි. (කුමාරතුංග මුනිදාස සංස්කරණයට අනුව මහෞෂධ කුමාරයෝ පරිච්ඡේදයේ කොටසකි.)

    " මහ බෝසතාණන් වහන්සේ මහෞෂධයක් අතින් ගෙන බිහි වූ නියාව හැම තැන ම ප්‍රසිද්ධ විය. කාශස්වාසාදී වූ රෝගයෙන් පීඩිත කිසි මිනිස් කෙනෙක් ඇද්ද ඒ සියල්ලෝ ම සිරිවඩ්ඪන සිටාණන් ගේ ගෙට ගොස් මහෞෂධය ඉල්ලති."

   ඉහත කොටස විමසීමේ දී පෙනී යන්නේ අනතීත ක්‍රියාවක් (පැරණි මතයට අනුව වර්තමාන ක්‍රියාවක් ) ලෙස හඳුන්වන  'ඉල්ලති' පදය අවුරුදු දහස් ගණනකට පෙර අතීතයේ සිදු වූ සිද්ධියක් විස්තර කිරීමට යෙදී ඇති බවයි!  උපුටා ගත් කොටසේ පළමු වාක්‍යය දෙස බලන්න. එය 'විය' ලෙස අතීත කාල ක්‍රියා පදයකින් අවසන් වේ. එම නිසා කතුවරයා අදාළ සිද්ධිය අනතීත (වර්තමාන ) කාලයට ආරෝපණය කර ඉදිරිපත් කිරීමට අදහස් කොට නොමැති බවත් පැහැදිලි වේ.

      වඩාත් ම වැදගත් කරුණ වන්නේ කාල භේදය මතයට අනුව නිවැරදි ක්‍රියාව "ඉල්ලූ හ " විය යුතු නමුත් "ඉල්ලති" වෙනුවට  "ඉල්ලූ හ" යෙදූ විට ඉහත කොටසේ අර්ථය විකෘති වීමයි. එසේ වෙනස් කර බලන්න. මුලින් අපට හැඟවෙන අදහස රෝගීන් වෙන වෙන ම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ගොස් වරින්වර  මහෞෂධය ඉල්ලන බවයි. "ඉල්ලූ හ" යෙදූ පසු හැඟෙන්නේ සියලු රෝගීන් එක් ව ගොස් එකවර ම මහෞෂධය ඉල්ලූ බවකි. එම නිසා "ඉල්ලති " පදය එතැනට ගැළපෙන පදය බව පෙනේ . එහෙත් "ඉල්ලති" යන්න දැනට පවතින කාල භේද මතවාද සමග නො ගැළපේ.

       මීළඟ උදාහරණය බුත්සරණෙනි.

".....ගොස් මරා ඇඟිලි කපා ගනිමි'යි ලුහුබැඳ ගත. එසඳෙහි බුදුහු රාහු අසුරිඳු දිව ගත ද තමා ගේ ගමනින් යන සඳ සේ තමන් වඩනා සන්සුන් ගමනින් ම වඩිති."

   අවුරුදු 2500 කටත් වඩා අතීත සිද්ධියකට " වඩිති " යනුවෙන් අනතීත (වර්තමාන ) ක්‍රියාව  යොදාගෙන ඇත . පළමු වාක්‍යය අතීත කාලයෙන් තිබීමෙන් (..ලුහුබැඳ ගත .) කතුවරයා සිද්ධිය  අනතීතයට (වර්තමානයට ) ආරෝපණය කර ලිවීමට අදහස් නො කළ බව පෙනේ. "වඩිති" වෙනුවට "වැඩිය හ" යෙදීම මෙතැන දී ද නො ගැළපෙන බව එසේ වෙනස් කර බැලූ විට වැටහේ.(එසේ වෙනස් කළහොත් බුදු හිමියන් වඩින අතරතුරේ දී අංගුලිමාලත් බුදු හිමියනුත් අතර කිසිදු විශේෂ සිදුවීමක් සිදු නො වූ බව හැඟ වේ.)

         මීළඟ උදාහරණයත් උම්මග්ග ජාතකයෙනි. (කුමාරතුංග මුනිදාස සංස්කරණයෙහි ශාලාව පරිච්ඡේදය )

"......සෙසු දුප්පතුන් ආදීන්ට ද දන් වැට තැබ්බූ හ. ඒ මහතාණන් ගේ ක්‍රියා තොමෝ සියලු තැන්හි පතළා ය. බොහෝ මිනිස්සු ඒ ස්වරූපය අසා එතනට එළඹෙන්නා හ." 
 
   අතීතයේ වූ සිද්ධියකට "එළඹුණා හ "  යන අතීත ක්‍රියාව නො යෙදී "එළඹෙන්නා හ" යන අනතීත ක්‍රියාව (පැරණි මතයට අනුව අනාගත ක්‍රියාව) යෙදී ඇති බව පෙනේ. ඊට පෙර ඇති "තැබ්බූ හ" ක්‍රියා පදය අතීත කාල බැවින් පෙර සේ ම කර්තෘ සිද්ධිය අනතීතයට (වර්තමාන)  ආරෝපණය කොට නො ලියූ බව පැහැදිලි ය."එළඹෙන්නා හ" වෙනුවට  "එළඹුණා හ" යන්න යෙදුවහොත් අර්ථය විකෘති වන බව ද පෙර ලෙස ම පෙනේ.

    දැන් අපි පද්‍ය සාහිත්‍යය විමසමු.

"රැගත් සුරා පිරූ                  විතින්
සුරත් තඹරු පෙති සෙ   නෙතින්
පුවත් නො දැන බමන       ගතින්
නටත් අයෙක් සුරා              මතින්"
                                    -ගුත්තිලය

    මෙහි අතීත සිද්ධියකට "නටත්" යන අනතීත (වර්තමාන) ක්‍රියාව යෙදී ඇති බව පෙනේ. දැනට තිබෙන කාල භේද මතවලට අනුව "නැටූ" යන්න යෙදුවහොත් විරිතට බලපෑමක් වන්නේ නැත. එහෙත් අර්ථය නම් විකෘති වන බව පෙනේ.

     බුදු ගුණාලංකාරයේ මෙම කවිය ද බලන්න.

"රොන් ඇරගෙන              සෙමින්
යන බිඟු ලෙසින්            කුසුමින්
ලොවට දුක් නො              දෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්"

     බුද්ධ කාලීන අතීත සිද්ධියකට "ගනිති " යනුවෙන් අනතීත (වර්තමාන) ක්‍රියාව යොදාගෙන ඇත.
"ගත් හ" ලෙස අතීත ක්‍රියාව යෙදුවහොත් අර්ථය විකෘති වන බව පෙනේ.

     ඉහත පුරාතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයෙන් දැක්වූ උදාහරණවලින් අතීත කාලයේ සිද්ධි විස්තර කිරීමට ද අනතීත (වර්තමාන , අනාගත ) ක්‍රියා පද යෙදී ඇති බව පෙනේ. මෙයින් පෙනී යන්නේ කාල භේදය පිළිබඳ දැනට ඇති මතයේ ද පැහැදිලි අඩු පාඩුවක් ඇති බවයි. එනම් අතීත-අනතීත ලෙස කාල දෙකකට ක්‍රියා පද බෙදීම ද අසාර්ථක බවයි.

     මෙසේ අතීත කාල සිද්ධි සඳහා අනතීත කාල ක්‍රියා පද යෙදී ඇත්තේ ඉහත උදාහරණ කීපයේ පමණක් නො වේ. ඕනෑ ම ග්‍රන්ථයක් විමර්ශනය කරන විට මෙවැනි අවස්ථා ඉතා සුලබ ව හමුවන බව දැකිය හැකි ය. එමෙන් ම එම වාක්‍ය දැනට පිළිගැනෙන ව්‍යාකරණයට අනුව නිවැරදි කිරීමට ගියහොත් අර්ථය විකෘති වී යන බව ද පැහැදිලි වනු ඇත.
   එහෙයින් වරද ඇත්තේ ව්‍යාකරණයේ  බව පැහැදිලි ය .

      නූතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ ද අතීත සිද්ධි සඳහා අනතීත ක්‍රියා යෙදී ඇති අයුරු මීළඟ ලිපිවලින් බලාපොරොත්තු වන්න.

                                                         - තමලු මලිත්ත පියදිගම

පෙර කොටස                           මීළඟ කොටස

සිංහල භාෂාවේ කාල භේදයක් නොමැත. (පළමුවන කොටස)


   
             කාල භේදයක් නැති සිංහල
                      -තමලු මලිත්ත පියදිගම

(2016.08.21 ඉරිදා රිවිර)

           කතා කරන හා ලියන භාෂා දෙකට ම අදාළ කරුණු මේ ලිපියේ සාකච්ඡා කෙරෙන බැවින් මෙවර ලිපිය ලියැවෙන්නේ ලියන භාෂාවේ ව්‍යාකරණයෙනි.
           කුමාරතුංග මුනිදාස මහතාට පෙර යුගයේ පිළිගත් මතය (සිදත් සඟරාව ආදී පැරණි පොත්වල සඳහන් මතය) අනුව සිංහල භාෂාවේ කාල තුනක් (අතීත, වර්තමාන, අනාගත) පවතී. අතීතයේ සිදු වූ සිද්ධි සඳහා  අතීත කාලය ද, වර්තමානයේ සිදුවන සිද්ධි සඳහා වර්තමාන කාලය ද , අනාගතයේ සිදුවන සිද්ධි සඳහා අනාගත කාලය ද යොදන බව එම මතයෙන් කියැවේ.

'දුව' ක්‍රියා ධාතුව (ක්‍රියා පදයක මූලික ම ස්වරූපය ධාතුවයි.) ඉහත මතයට අනුව වර නැගෙන්නේ මෙසේ ය.

ඒක වචනයෙහි,

අතීත කාලය        ශුද්ධ ක්‍රියාව- දිවී (ය)      නාම ක්‍රියාව- දිව්වේ (ය)/                                                                                                         දිව්වා (ය)

වර්තමාන කාලය     දුවා (ය)/ දුවයි

අනාගත කාලය       දුවන්නේ (ය)/දුවන්නී (ය)

බහු වචනයෙහි ,

අතීත කාලය        ශුද්ධ ක්‍රියාව- දිවූ (හ)      නාම ක්‍රියාව- දිව්වෝ (ය)

වර්තමාන කාලය     දුවත් (ය)/ දුවති

අනාගත කාලය       දුවන්නෝ (ය)

(ශුද්ධ ක්‍රියාව යනු ලිංග භේදයක් නැති පිරිසිදු ම ක්‍රියා ස්වරූපයයි.
නාම ක්‍රියාව යනු නාම පද ස්වරූපයක් ද සහිත ක්‍රියා ස්වරූපයයි.)

       සිදත් සඟරා කතුවරයා මීට අමතර ව ' කිරිය පෙරළිය ' යන්නක් ද දක්වයි.එනම් මෙහි සඳහන් ආකාරයට වර නැගී නැති අවස්ථා ද පත පොතේ හමුවන බවත් ඒවා ද නිවැරදි බවත් ය.මෙම මතයේ අඩුපාඩු ඇති බව සිදත් සඟරා කතුවරයා ද  දැන සිටි බව මෙයින් පැහැදිලි වේ.

    විමසිල්ලෙන් බලන්නකුට පෙනී යනු ඇත්තේ අතීත කාලයේ පමණක් ශුද්ධ ක්‍රියා හා නාම ක්‍රියා ලෙස ක්‍රියා පද වර්ග දෙකක් ම පැවතීම ගැටළු සහගත බවයි. තව දුරටත්, මෙහි වර්තමාන කාල ක්‍රියාවේ ලිංග භේදයක් නැති බවත්, අනාගත කාල ක්‍රියාවේ ලිංග භේදයක් ඇති බවත් පෙනෙනු ඇත.( අතීත කාලයේ නාම ක්‍රියාවේ ලිංග භේදයක් ඇති නමුත් ශුද්ධ ක්‍රියාවේ ලිංග භේදයක් නැත.)

    මේ පරස්පර දෙස විමසිල්ලෙන් බැලූ කුමාරතුංග මුනිදාස මහතා පෙන්වා දුන්නේ වර්තමාන , අනාගත පද එම කාල දෙක අතර වෙනස නො සලකා පොත්පත්වල භාවිතයේ යෙදෙන බවයි. එනිසා එම කාල දෙක , කාල දෙකක් වශයෙන් නොව එක් කාලයක් ලෙස සැලකිය යුතු බව කී එතුමා එම කාලය  අනතීතය ලෙස නම් කළේ ය.

එවිට පැරණි වර්තමාන , අනාගත රූප දෙක පිළිවෙළින් අනතීත කාලයේ ශුද්ධ හා නාම ක්‍රියා බවට පත් විය.

'දුව' ක්‍රියා ධාතුව (ක්‍රියා පදයක මූලික ම ස්වරූපය ධාතුවයි.) කුමරතුඟු මතයට අනුව වර නැගෙන්නේ මෙසේ ය.

ඒක වචනයෙහි,

අතීත කාලය        ශුද්ධ ක්‍රියාව- දිවී (ය)      නාම ක්‍රියාව- දිව්වේ (ය) /දිව්වා (ය)

අනතීත කාලය     ශුද්ධ ක්‍රියාව -දුවා (ය)/ දුවයි   නාම ක්‍රියාව- දුවන්නේ (ය)/දුවන්නී (ය)

බහු වචනයෙහි ,

අතීත කාලය        ශුද්ධ ක්‍රියාව- දිවූ (හ)      නාම ක්‍රියාව- දිව්වෝ (ය)

අනතීත  කාලය     ශුද්ධ ක්‍රියාව -දුවත් (ය)/ දුවති    නාම ක්‍රියාව-දුවන්නෝ (ය)

  කුමාරතුංග මුනිදාස මහතා ගේ මෙම නව මතය තහවුරු වීමත් සමග සිංහල ව්‍යාකරණයේ මහා පෙරළියක් සිදු විය. පැරණි ව්‍යාකරණ ග්‍රන්ථ වෙනුවට නව ව්‍යාකරණ ග්‍රන්ථ සම්පාදනය කෙරෙන්නට විය.
  අද පොදුවේ පිළිගැනෙන්නේ මෙම මතයයි. පාසල් පෙළපොත්වලට ද දැන් ඇතුළත් ව ඇත්තේ මෙම නව මතය නමුත් බොහෝ ගුරුවරුන් තවමත් පැරණි මතය ම උගන්වනු පෙනේ.
    එහෙත් මෙම අතීත-අනතීත මතයෙන් ද සියලු ගැටළු විසඳී නැත. අතීත කාලයේ සිද්ධි සඳහා අනතීත පද යෙදෙන අවස්ථා ද පොතපතෙහි හා කටවහරෙහි  සුලබ  ව හමුවේ. එයින් පෙනෙනු ඇත්තේ අතීත ,අනතීත යනුවෙන් ද කාල ප්‍රභේද දෙකක් වෙන් කළ නො හැකි බවයි. එනිසා ක්‍රියා පද පිළිබඳව නව විග්‍රහයක් අවශ්‍ය වෙයි.
      අතීත සිද්ධි විස්තර කිරීමට අනතීත ක්‍රියා පද යෙදී ඇති අවස්ථා සඳහා උදාහරණ ඉදිරි සතියේ බලාපොරොත්තු වන්න.

                                           - තමලු මලිත්ත පියදිගම

මීළඟ කොටස

කතා කරන භාෂාවේ විභක්ති

(ඉරිදා රිවිරට ලියූවකි.)

  කලින් ලිපියෙ දි මම කිව්වා 'කතා කරන භාෂාවටත් ව්‍යාකරණයක් තියෙනවා. හැබැයි ඒ ව්‍යාකරණය ලියන භාෂාවට වඩා වෙනස් කියලා' .
ඇත්තට ම සමහර කරුණු අතින් ලියන භාෂාවේ ව්‍යාකරණයටත් වඩා කතා කරන භාෂාවේ ව්‍යාකරණය ශක්තිමත් .
  බලන්න මේ වාක්‍යය :

'ගල් වඩුවෝ ගල් කටුවෙන් රළු ගල් ඔපමට්ටම් කරලා ජාතියේ ප්‍රෞඪත්වය ලෝකෙට පෙන්නන මහා ප්‍රතිමා හදනවා.'

මේ වාක්‍යයේ තියෙන සංකල්ප ගල් වඩුවෝ , ගල් කටුව , රළු ගල්,ඔප මට්ටම් කිරීම ,ලෝකය, පෙන්වීම, මහා ප්‍රතිමා සහ හැදීමයි.

   මේ විදිහට වාක්‍යය කිව්වොත් කොහොම ද?
'ගල් වඩුවෝ ගල් කටුව රළු ගල් ඔපමට්ටම් කරලා ජාතිය අභිමානය ලෝකය පෙන්නන මහ ප්‍රතිමා හදනවා.'
තේරුම අපහැදිලියි. සමහර විට අහන අය වෙනස් වෙනස් තේරුම් හිතා ගනීවි.
මෙන්න මෙතන දි තම‍යි , ව්‍යාකරණයක් ඕන වෙන්නෙ. ව්‍යාකරණයෙන් තමයි, වාක්‍යයේ නාම පද යෙදිල තියෙන තේරුමට අදාළ ව ඒවායේ ස්වරූපය වෙනස් කරන්නෙ.
එහෙම නාම පදවල ස්වරූපය වෙනස් වන ආකාරවලට තමයි විභක්ති කියන්නෙ.
කතා කරන භාෂාවෙ විභක්ති අටයි තියෙන්නෙ. ලියන භාෂාවේ තියෙන ප්‍රථමා විභක්තිය කතා කරන භාෂාවෙ නෑ. ඒ නිසා උක්ත  අනුක්ත භේදයකුත් කතා කරන භාෂාවේ නෑ.
    කතා කරන භාෂාවේ කර්තෘ ,කර්ම,කරණ ,අවධි , සම්ප්‍රදාන, සම්බන්ධ ,ආධාර ,ආලපන කියලා විභක්ති අටක් තියෙනවා .
ඒවායින් කර්තෘ විභක්තියයි , කර්ම විභක්තියයි ලියන භාෂාවට වඩා වෙනස්.
    කතා කරන භාෂාවේ කර්තෘ විභක්තිය ලියන භාෂාවේ ප්‍රථමා විභක්තියට සමානවයි වරනැගෙන්නෙ. කර්ම විභක්තියේ දි ප්‍රාණවාචී පදවලට ලියන භාෂාවට වඩා කතා කරන භාෂාවෙදි 'ව' ප්‍රත්‍යයක් එකතු වෙනවා. අනෙක් විභක්ති කතා කරන, ලියන භාෂා දෙකේදි ම එක ම විදිහයි.
    අපි 'බල්ලෝ ' කියන පදයත් 'ගහ' කියන පදයත් විභක්තිවල වරනැගෙන විදිහ බලමු.

'බල්ලෝ'

කර්තෘ විභක්තිය -බල්ලෝ-(ක්‍රියාව කරන්නා දක්වනවා.)
කර්ම විභක්තිය   -බල්ලොන්ව-(ක්‍රියාවට යටත් වන්නා දක්වනවා)
කරණ විභක්තිය -බල්ලන්ගෙන්-(ක්‍රියාවට උපාකාරී වන්නා                                                        දක්වනවා)
අවධි විභක්තිය - බල්ලන්ගෙන්-(සීමාවක් දක්වනවා)
සම්ප්‍රදාන විභක්තිය -බල්ලන්ට-(ලබා ගන්නෙක් දක්වනවා)
සම්බන්ධ  විභක්තිය -බල්ලන් ගේ-(අයිතියක් දක්වනවා)
ආධාර විභක්තිය- --- (දරා සිටීමක් දක්වනවා)
ආලපන විභක්තිය - බල්ලනේ -(ඇමතීමක් දක්වනවා)

'ගහ'

කර්තෘ විභක්තිය -ගහ
කර්ම විභක්තිය   -ගහ
කරණ විභක්තිය -ගහෙන්
අවධි විභක්තිය - ගහෙන්
සම්ප්‍රදාන විභක්තිය -ගහට
සම්බන්ධ  විභක්තිය -ගහේ
ආධාර විභක්තිය- ගහේ
ආලපන විභක්තිය - ----

  මේ විදිහටයි, කතා කරන භාෂාවේ විභක්ති වරනැගෙන්නෙ . විභක්ති ගැන තව විස්තර ඉදිරියේ දි විභක්ති ගැන වෙන ම කතා කරද්දි ලියන්නම්.
  කතා කරන භාෂාවේ ක්‍රියා පද වර නැගෙන විදිහත් , කතා කරන භාෂාවේ ව්‍යාකරණය ලියන භාෂාවේ ව්‍යාකරණයට වඩා ශක්තිමත් බව පෙනෙන තැන් ගැනත්, බටහිර සමහර ව්‍යාකරණ මතවාදවලට විරුද්ධ ව සිංහල භාෂාව හැසිරිලා තියෙන විදිහ ගැනත් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.

                                                        -තමලු මලිත්ත පියදිගම

කතා කරන්නත් ව්‍යාකරණ ඕන ද?

කතා කරන්නත් ව්‍යාකරණ ඕන ද ලිපියට සබැඳිය
තමලු මලිත්ත පියදිගම ඉරිදා රිවිර

A Note on Several Logic Systems - Part 03. Buddhist Catukoti



   Now, it's time to talk about Fourfold Logic. Fourfold Logic is used in both Theravada and Mahayana Buddhism.

Just as the name says , Fourfold Logic has four values for a statement. In a world of Fourfold Logic , a statement may be

1. True
2. False 
3. True and False
4. Not True and Not False.

You may see ,  the aristotlean dialectic logic and the threefold logic are integrated in the Fourfold Logic while it provides an additional fourth logic value. ( Strictly speaking , the addition of the fourth logic value has caused some reformations in the first three but I don't want to confuse the reader talking heavily on more complex matters. )

Because what I have said about the first three logic values before are roughly suitable for this situation also, it is better to explain what on earth is meant by      4. Not True and Not False.

For that, I like to take an example from the Teravada Buddhist literature . There is a book named "Milinda Prashnaya" which says the story how the buddhist monk , Ven. Nagasena Arhath Thero , won the argument with King Milinda , a Greek king , who reigned in a part of the Indian land Alexander the Great had invaded before.

In that debate , once  King Milinda asked Nagasena Thero " Who does transmigrate ? "

Nagasena Thero answered " Not the dead person nor another "

When the king asked for an explanation , Nagasena Thero said,
" King , do you think a religious verse you have learnt is the exact one the composer composed? Then is it another one?
You can't say either the verse you have learned is what the composer composed or isn't what the composer composed ".

Buddhism accepts reincarnation but rejects existence of a soul or a spirit. According to buddhism,  there is nothing that travelled from the death person to the reborn person. But reborn person is not another one too . He/She is the result of the dead person.

The concept of nullity and the number zero initially created in Mahayana Buddhism with the use of fourfold logic. When zero was introduced to western countries mathematicians and philosophers had to work a lot to get it into the two fold logic environment .

Before conclude , I would say fourfold logic is a logic system which existed even before Lord Buddha who used it to explain his teachings to the mass.

Zizek නො දත් බුදු දහම - Buddhism, Zizek cannot understand



පහත දැක්වෙන සබැදියේ ඇත්තේ පශ්චාත්නූතනවාදීන් ගේ අසහාය වීර Zizek බුදු දහම පිළිබඳ කරන විවේචනයකි.

"I have read books and debated." යනුවෙන් තමා බුදු දහම හොඳින් දන්නා බව කියන Zizek ගේ නො දන්නාකම් හෙළි කිරීමට බලාපොරොත්තු වෙමි.

Zizek මහායාන බුදු දහම සම්බන්ධව කියන දෑ අතහැර පොදුවේ බුදු දහම හා ථෙරවාදය ගැන කියන කරුණු පිළිබඳව අවධානය යොමු කරමි.

මුලින් ම ඔහු කියන්නේ බුදු දහමේ ආධ්‍යාත්මික දියුණුවෙන් වෙනසක් ඇති වන්නේ හුදෙක් තමා තුළ පමණක් බවයි. බාහිර ලෝක යථාර්ථයට ඉන් වෙනසක් නො වන බවයි. Zizek බුදු දහම නිසි ලෙස හදාරා නොමැති බව පෙනෙන්නේ බාහිර ලෝක යථාර්ථයක් ගැන කතා කිරීමෙනි. "මනෝ පුබ්බංගමා" ලෙස ලෝකය දකින "සියලු ලෝකය බඹයක් පමණ වූ ශරීරයේ පණවන බව කියන බුදු දහමේ බාහිර ලෝක යථාර්ථයක් කොහි ද? නිවන් දකින පුද්ගලයා ගේ ලෝකය ම නිරුද්ධ වෙයි.

ඊළඟට,  ඔහු කියන්නේ මිනිසකුට හොඳ හෝ නරක ලෙස සදාචාරීයව ජීවත්වන අතරතුර ම බුදු දහමේ අධ්‍යාත්මික දියුණුව (නිර්වාණය) ලද හැකි බවයි. ඔහු පවසන්නේ බුදු දහමේ ආත්ම හා තමා යන සංකල්ප බොරු බව කියැවෙන බැවින් නිවනට පත් පුද්ගලයා සියල්ල බාහිර ලෝක යථාර්ථ ලෙස දකින බවයි. (මෙතන දී ද ඔහු බාහිර ලෝක යථාර්ථ මුලාවේ වෙයි.)
ඔහු කියන්නේ මෙවිට මිනිසකු මරා දැමීම ඉතා පහසු බවයි.

ඔහු යුද භටයකු නම් මිනිසකු ගේ අතපය කපා දැමීමට අණ කළ විට විස්තර කළ නො හැකි හැඟීමක් නිසා එය කිරීමට අපහසු බවයි. (ඔහු යුදෙව් ක්‍රිස්තියානි සදාචාරයේ සිටින්නකු බව ද දේශනයේ දී ඔහු අපට අඟවයි.)
එතනට පැමිණෙන බෞද්ධ මිතුරකු තමා නැත, සතුරා නැත, හුදෙක් කඩුව බාහිර ලෝකයේ දී මාංශය තුළින් චලනය වනවා පමණි. එය බාහිර ලෝකයේ සාමාන්‍ය සිදු වීමකි. මිනිසකු මරා නැත. වක්‍රව මැරෙනවා පමණි.

පළමු කොට ම කිව යුත්තේ බුදු දහමේ බාහිර ලෝක යථාර්ථයක් නැති බවයි. දෙවනුව සම්මුතිය හා පරමාර්ථය යනුවෙන් අංශ දෙකක් බුදු දහමේ ඇති බවයි. පුද්ගලයින්, ක්‍රියා , පින් , පව් සියල්ල සම්මුතියේ පවතියි.
ඒවා නැත්තේ පරමාර්ථයේ ය. සම්මුතියෙන් මිදීමට නම් එක්කෝ පූර්ණව නිවන් දැකිය යුතු ය. එවිට කිසි ම අයුරක පැවැත්මක් නැති බැවින් යුද්ධ හෝ ඝාතන කොහි ද?
නැතිනම් මහා නිරෝධායන සමාපත්තියට එළඹිය යුතු ය. එවිට ද කය මනස අක්‍රිය බැවින් ඝාතනයන් පාප ක්‍රියා ඇති විය නො හැකි ය. අනෙක් අතට සෝවාන් වූ පුද්ගලයා අතින් පවා පස්පව් නො සිදු වේ. ඊට ඉහළ මග ඵල ලාභීන් අතින් සම්මුතියේ දී කෙසේ පස් පව් සිදු වේ ද?
Zizek ගේ නො දන්නාකම ම මෙයින් ද පෙනේ...

මීළඟට ඔහු කියන්නේ ඖෂධ මගින් රසායනිකව හැඟීම් ඇති කළ හැකි බැවින් ඖෂධයකින් නිර්වාණය ලද නො හැකි ද යන්නයි.
ඔහු මෙහිදී මහා නිරෝධායන සමාපත්‍තිය අදහස් කරන බව පෙනේ..
මහා නිරෝධායන සමාපත්තිය යනු හැඟීමක් නො වේ. සියලු කායික මානසික ක්‍රියාවලි නිරුද්ධ කිරීමකි.
මනස යනු ද නාම ස්කන්ධ හතර හා රූප ස්කන්ධය එක් වී තැනුණු  ඉන්ද්‍රියකි. ඊට භෞතික බලපෑමක් කළ හැකි බව සැබෑ ය. (රූපය හා බැඳී ඇති නිසා) එහෙත් සතර නාමස්කන්ධවල බලපෑම ඒ භෞතික බලපෑම්වලින් නිරුද්ධ කළ නො හැකි ය.
එහෙයින් ඖෂධ මඟින් පූර්ණ නිරෝධය කිසි ලෙසකත් නො ලද හැකි ය.

Zizek කියන්නේ බුදු දහම අතහැරීම පදනම් කරගත් සදාචාර ක්‍රමයක් නමුත් යුදෙව් ක්‍රිස්තියානි සදාචාරය වස්තු ළංකර ගැනීමේ මිනිස් ස්වභාවය පදනම් කොට ඇති බැවින් ඒ සදාචාරය වඩා හොඳ බව ය.

බුදු දහම මඟ පෙන්වන්නේ පෘථග්ජන මිනිස් ස්වභාවයෙන් මිදීමට ය. ඊට මැළි වීම තමා ගේ දුර්වලතාවක් මිස බුදු දහමේ දුර්වලතාවක් වන්නේ කෙසේ ද?

අලුත් ම සටහන

බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි

  බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම   බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...

වැඩිපුර කියවූ ලිපි