(ඉරිදා රිවිරට ලියූවකි.)
කලින් ලිපියෙ දි මම කිව්වා 'කතා කරන භාෂාවටත් ව්‍යාකරණයක් තියෙනවා. හැබැයි ඒ ව්‍යාකරණය ලියන භාෂාවට වඩා වෙනස් කියලා' .
ඇත්තට ම සමහර කරුණු අතින් ලියන භාෂාවේ ව්‍යාකරණයටත් වඩා කතා කරන භාෂාවේ ව්‍යාකරණය ශක්තිමත් .
බලන්න මේ වාක්‍යය :
'ගල් වඩුවෝ ගල් කටුවෙන් රළු ගල් ඔපමට්ටම් කරලා ජාතියේ ප්‍රෞඪත්වය ලෝකෙට පෙන්නන මහා ප්‍රතිමා හදනවා.'
මේ වාක්‍යයේ තියෙන සංකල්ප ගල් වඩුවෝ , ගල් කටුව , රළු ගල්,ඔප මට්ටම් කිරීම ,ලෝකය, පෙන්වීම, මහා ප්‍රතිමා සහ හැදීමයි.
මේ විදිහට වාක්‍යය කිව්වොත් කොහොම ද?
'ගල් වඩුවෝ ගල් කටුව රළු ගල් ඔපමට්ටම් කරලා ජාතිය අභිමානය ලෝකය පෙන්නන මහ ප්‍රතිමා හදනවා.'
තේරුම අපහැදිලියි. සමහර විට අහන අය වෙනස් වෙනස් තේරුම් හිතා ගනීවි.
මෙන්න මෙතන දි තමයි , ව්‍යාකරණයක් ඕන වෙන්නෙ. ව්‍යාකරණයෙන් තමයි, වාක්‍යයේ නාම පද යෙදිල තියෙන තේරුමට අදාළ ව ඒවායේ ස්වරූපය වෙනස් කරන්නෙ.
එහෙම නාම පදවල ස්වරූපය වෙනස් වන ආකාරවලට තමයි විභක්ති කියන්නෙ.
කතා කරන භාෂාවෙ විභක්ති අටයි තියෙන්නෙ. ලියන භාෂාවේ තියෙන ප්‍රථමා විභක්තිය කතා කරන භාෂාවෙ නෑ. ඒ නිසා උක්ත අනුක්ත භේදයකුත් කතා කරන භාෂාවේ නෑ.
කතා කරන භාෂාවේ කර්තෘ ,කර්ම,කරණ ,අවධි , සම්ප්‍රදාන, සම්බන්ධ ,ආධාර ,ආලපන කියලා විභක්ති අටක් තියෙනවා .
ඒවායින් කර්තෘ විභක්තියයි , කර්ම විභක්තියයි ලියන භාෂාවට වඩා වෙනස්.
කතා කරන භාෂාවේ කර්තෘ විභක්තිය ලියන භාෂාවේ ප්‍රථමා විභක්තියට සමානවයි වරනැගෙන්නෙ. කර්ම විභක්තියේ දි ප්‍රාණවාචී පදවලට ලියන භාෂාවට වඩා කතා කරන භාෂාවෙදි 'ව' ප්‍රත්‍යයක් එකතු වෙනවා. අනෙක් විභක්ති කතා කරන, ලියන භාෂා දෙකේදි ම එක ම විදිහයි.
අපි 'බල්ලෝ ' කියන පදයත් 'ගහ' කියන පදයත් විභක්තිවල වරනැගෙන විදිහ බලමු.
'බල්ලෝ'
කර්තෘ විභක්තිය -බල්ලෝ-(ක්‍රියාව කරන්නා දක්වනවා.)
කර්ම විභක්තිය -බල්ලොන්ව-(ක්‍රියාවට යටත් වන්නා දක්වනවා)
කරණ විභක්තිය -බල්ලන්ගෙන්-(ක්‍රියාවට උපාකාරී වන්නා දක්වනවා)
අවධි විභක්තිය - බල්ලන්ගෙන්-(සීමාවක් දක්වනවා)
සම්ප්‍රදාන විභක්තිය -බල්ලන්ට-(ලබා ගන්නෙක් දක්වනවා)
සම්බන්ධ විභක්තිය -බල්ලන් ගේ-(අයිතියක් දක්වනවා)
ආධාර විභක්තිය- --- (දරා සිටීමක් දක්වනවා)
ආලපන විභක්තිය - බල්ලනේ -(ඇමතීමක් දක්වනවා)
'ගහ'
කර්තෘ විභක්තිය -ගහ
කර්ම විභක්තිය -ගහ
කරණ විභක්තිය -ගහෙන්
අවධි විභක්තිය - ගහෙන්
සම්ප්‍රදාන විභක්තිය -ගහට
සම්බන්ධ විභක්තිය -ගහේ
ආධාර විභක්තිය- ගහේ
ආලපන විභක්තිය - ----
මේ විදිහටයි, කතා කරන භාෂාවේ විභක්ති වරනැගෙන්නෙ . විභක්ති ගැන තව විස්තර ඉදිරියේ දි විභක්ති ගැන වෙන ම කතා කරද්දි ලියන්නම්.
කතා කරන භාෂාවේ ක්‍රියා පද වර නැගෙන විදිහත් , කතා කරන භාෂාවේ ව්‍යාකරණය ලියන භාෂාවේ ව්‍යාකරණයට වඩා ශක්තිමත් බව පෙනෙන තැන් ගැනත්, බටහිර සමහර ව්‍යාකරණ මතවාදවලට විරුද්ධ ව සිංහල භාෂාව හැසිරිලා තියෙන විදිහ ගැනත් මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වෙන්න.
-තමලු මලිත්ත පියදිගම
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
බුද්ධිමතුන්ගේ සැකැස්ම - අන්තෝනියෝ ග්‍රාම්ෂි
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
වැඩිපුර කියවූ ලිපි
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
ගෝඨාභයට පණිවිඩයක්: රට බේරාගත් මහින්ද පැරදුණේ ඇයි? ජනාධිපතිවරණය පිළිබඳව මගේ ස්ථාවරය මහින්ද පැරදුණේ වංචා දූෂණ නිසා ය හෝ ඒවා ගැන කට කතා...
-
වම්බොට්ටා ( Left bot ) හෙවත් වාමාංශික රොබෝ වෙත ප්‍රවේශ වීමට පහත සබැඳිය භාවිත කරන්න. Link to the robot, Left bot - A true leftist to chat, ...
-
බුද්ධිමතුන්ගේ සැකැස්ම බුද්ධිමතුන්ගේ සම්භවය - අන්තෝනියෝ ග්‍රාම්ෂි පරිවර්තනය: තමලු මලිත්ත පියදිගම බුද්ධිමතුන් යනු ස්වයංපාලිත, ස්වාධීන සමාජ...
-
2017 සැප්තැම්බර් 02 ඉරිදා රිවිර සහේතු: අපි කොවුර්ගේ ඊළඟ අභියෝගයට යමු. වසා ඇති මුදල් නෝට්ටුවක කේත අංකය කියන්න. ප්‍රබෝධ: තව තියෙනවා ඔ...
No comments:
Post a Comment