කාල භේදයක් නැති සිංහල
- තමලු මලිත්ත පියදිගම
(2016.09.04 ඉරිදා රිවිර)
සිංහල භාෂාවේ කාල භේදය පිළිබඳ මතවාද පැරණි කාල තුනක මතයේ සිට කුමාරතුංග මුනිදාසයන් ගේ නව කාල දෙකක මතය දක්වා විකාශනය වූ අන්දම පෙර ලිපියේ දැක්වීමි.
දැන් පිළිගන්නා අතීත - අනතීත මතය සාර්ථක ද? මෙය දැන් අප හමුවේ පවතින ප්‍රශ්නයයි. මේ පිළිබඳව විමසා බැලිය හැක්කේ සිංහල භාෂාව භාවිත වී ඇත්තේ මෙම මතයට අනුකූල ව දැයි විමසීමෙනි . මෙහි දී ලිඛිත භාෂාව මෙන් ම කථන ව්‍යවහාරය ද සැලකිල්ලට ලක් කළ යුතු ය. පැරණි මෙන් ම නූතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යය ද විමසිය යුතු ය.
අතීත කාලයේ සිද්ධිවලට අනතීත ක්‍රියා යෙදී ඇත්නම් එයින් කියැවෙන්නේ කාල භේද මතය වැරදි අසම්පූර්ණ මතයක් බවයි.
පුරාණ සාහිත්‍යය විමසීමෙන් අප ගේ විමර්ශනය අරඹමු.
මේ උම්මග්ග ජාතකයෙන් උපුටා ගත් කොටසකි. (කුමාරතුංග මුනිදාස සංස්කරණයට අනුව මහෞෂධ කුමාරයෝ පරිච්ඡේදයේ කොටසකි.)
" මහ බෝසතාණන් වහන්සේ මහෞෂධයක් අතින් ගෙන බිහි වූ නියාව හැම තැන ම ප්‍රසිද්ධ විය. කාශස්වාසාදී වූ රෝගයෙන් පීඩිත කිසි මිනිස් කෙනෙක් ඇද්ද ඒ සියල්ලෝ ම සිරිවඩ්ඪන සිටාණන් ගේ ගෙට ගොස් මහෞෂධය ඉල්ලති."
ඉහත කොටස විමසීමේ දී පෙනී යන්නේ අනතීත ක්‍රියාවක් (පැරණි මතයට අනුව වර්තමාන ක්‍රියාවක් ) ලෙස හඳුන්වන 'ඉල්ලති' පදය අවුරුදු දහස් ගණනකට පෙර අතීතයේ සිදු වූ සිද්ධියක් විස්තර කිරීමට යෙදී ඇති බවයි! උපුටා ගත් කොටසේ පළමු වාක්‍යය දෙස බලන්න. එය 'විය' ලෙස අතීත කාල ක්‍රියා පදයකින් අවසන් වේ. එම නිසා කතුවරයා අදාළ සිද්ධිය අනතීත (වර්තමාන ) කාලයට ආරෝපණය කර ඉදිරිපත් කිරීමට අදහස් කොට නොමැති බවත් පැහැදිලි වේ.
වඩාත් ම වැදගත් කරුණ වන්නේ කාල භේදය මතයට අනුව නිවැරදි ක්‍රියාව "ඉල්ලූ හ " විය යුතු නමුත් "ඉල්ලති" වෙනුවට "ඉල්ලූ හ" යෙදූ විට ඉහත කොටසේ අර්ථය විකෘති වීමයි. එසේ වෙනස් කර බලන්න. මුලින් අපට හැඟවෙන අදහස රෝගීන් වෙන වෙන ම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් හෝ ගොස් වරින්වර මහෞෂධය ඉල්ලන බවයි. "ඉල්ලූ හ" යෙදූ පසු හැඟෙන්නේ සියලු රෝගීන් එක් ව ගොස් එකවර ම මහෞෂධය ඉල්ලූ බවකි. එම නිසා "ඉල්ලති " පදය එතැනට ගැළපෙන පදය බව පෙනේ . එහෙත් "ඉල්ලති" යන්න දැනට පවතින කාල භේද මතවාද සමග නො ගැළපේ.
මීළඟ උදාහරණය බුත්සරණෙනි.
".....ගොස් මරා ඇඟිලි කපා ගනිමි'යි ලුහුබැඳ ගත. එසඳෙහි බුදුහු රාහු අසුරිඳු දිව ගත ද තමා ගේ ගමනින් යන සඳ සේ තමන් වඩනා සන්සුන් ගමනින් ම වඩිති."
අවුරුදු 2500 කටත් වඩා අතීත සිද්ධියකට " වඩිති " යනුවෙන් අනතීත (වර්තමාන ) ක්‍රියාව යොදාගෙන ඇත . පළමු වාක්‍යය අතීත කාලයෙන් තිබීමෙන් (..ලුහුබැඳ ගත .) කතුවරයා සිද්ධිය අනතීතයට (වර්තමානයට ) ආරෝපණය කර ලිවීමට අදහස් නො කළ බව පෙනේ. "වඩිති" වෙනුවට "වැඩිය හ" යෙදීම මෙතැන දී ද නො ගැළපෙන බව එසේ වෙනස් කර බැලූ විට වැටහේ.(එසේ වෙනස් කළහොත් බුදු හිමියන් වඩින අතරතුරේ දී අංගුලිමාලත් බුදු හිමියනුත් අතර කිසිදු විශේෂ සිදුවීමක් සිදු නො වූ බව හැඟ වේ.)
මීළඟ උදාහරණයත් උම්මග්ග ජාතකයෙනි. (කුමාරතුංග මුනිදාස සංස්කරණයෙහි ශාලාව පරිච්ඡේදය )
"......සෙසු දුප්පතුන් ආදීන්ට ද දන් වැට තැබ්බූ හ. ඒ මහතාණන් ගේ ක්‍රියා තොමෝ සියලු තැන්හි පතළා ය. බොහෝ මිනිස්සු ඒ ස්වරූපය අසා එතනට එළඹෙන්නා හ."
අතීතයේ වූ සිද්ධියකට "එළඹුණා හ " යන අතීත ක්‍රියාව නො යෙදී "එළඹෙන්නා හ" යන අනතීත ක්‍රියාව (පැරණි මතයට අනුව අනාගත ක්‍රියාව) යෙදී ඇති බව පෙනේ. ඊට පෙර ඇති "තැබ්බූ හ" ක්‍රියා පදය අතීත කාල බැවින් පෙර සේ ම කර්තෘ සිද්ධිය අනතීතයට (වර්තමාන) ආරෝපණය කොට නො ලියූ බව පැහැදිලි ය."එළඹෙන්නා හ" වෙනුවට "එළඹුණා හ" යන්න යෙදුවහොත් අර්ථය විකෘති වන බව ද පෙර ලෙස ම පෙනේ.
දැන් අපි පද්‍ය සාහිත්‍යය විමසමු.
"රැගත් සුරා පිරූ විතින්
සුරත් තඹරු පෙති සෙ නෙතින්
පුවත් නො දැන බමන ගතින්
නටත් අයෙක් සුරා මතින්"
-ගුත්තිලය
මෙහි අතීත සිද්ධියකට "නටත්" යන අනතීත (වර්තමාන) ක්‍රියාව යෙදී ඇති බව පෙනේ. දැනට තිබෙන කාල භේද මතවලට අනුව "නැටූ" යන්න යෙදුවහොත් විරිතට බලපෑමක් වන්නේ නැත. එහෙත් අර්ථය නම් විකෘති වන බව පෙනේ.
බුදු ගුණාලංකාරයේ මෙම කවිය ද බලන්න.
"රොන් ඇරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක් නො දෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්"
බුද්ධ කාලීන අතීත සිද්ධියකට "ගනිති " යනුවෙන් අනතීත (වර්තමාන) ක්‍රියාව යොදාගෙන ඇත.
"ගත් හ" ලෙස අතීත ක්‍රියාව යෙදුවහොත් අර්ථය විකෘති වන බව පෙනේ.
ඉහත පුරාතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයෙන් දැක්වූ උදාහරණවලින් අතීත කාලයේ සිද්ධි විස්තර කිරීමට ද අනතීත (වර්තමාන , අනාගත ) ක්‍රියා පද යෙදී ඇති බව පෙනේ. මෙයින් පෙනී යන්නේ කාල භේදය පිළිබඳ දැනට ඇති මතයේ ද පැහැදිලි අඩු පාඩුවක් ඇති බවයි. එනම් අතීත-අනතීත ලෙස කාල දෙකකට ක්‍රියා පද බෙදීම ද අසාර්ථක බවයි.
මෙසේ අතීත කාල සිද්ධි සඳහා අනතීත කාල ක්‍රියා පද යෙදී ඇත්තේ ඉහත උදාහරණ කීපයේ පමණක් නො වේ. ඕනෑ ම ග්‍රන්ථයක් විමර්ශනය කරන විට මෙවැනි අවස්ථා ඉතා සුලබ ව හමුවන බව දැකිය හැකි ය. එමෙන් ම එම වාක්‍ය දැනට පිළිගැනෙන ව්‍යාකරණයට අනුව නිවැරදි කිරීමට ගියහොත් අර්ථය විකෘති වී යන බව ද පැහැදිලි වනු ඇත.
එහෙයින් වරද ඇත්තේ ව්‍යාකරණයේ බව පැහැදිලි ය .
නූතන ගද්‍ය හා පද්‍ය සාහිත්‍යයේ ද අතීත සිද්ධි සඳහා අනතීත ක්‍රියා යෙදී ඇති අයුරු මීළඟ ලිපිවලින් බලාපොරොත්තු වන්න.
- තමලු මලිත්ත පියදිගම
පෙර කොටස මීළඟ කොටස
Subscribe to:
Post Comments (Atom)
අලුත් ම සටහන
Exit way out කණ්ඩායමට පිළිතුර
Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...
වැඩිපුර කියවූ ලිපි
-
මූලාශ්‍ර දැක්වීම හොරා පොලිස් සෙල්ලමක් නොවේ(2017.12.06 විදුසර) සැම්සන් මහතා 2017.11.22 ලිපියේ දී ද සුපුරුදු පරිදි ම ඍතු හා පුද්ගලාරෝපණය පිළ...
-
වඩදිය ඇති වන්නේ හඳ නිසා ද? - තමලු මලිත්ත පියදිගම 2018.01.21 ඉරිදා රිවිර "මගේ අදහසට ...
-
යථාර්ථවාදය හා ද්‍රව්‍යවාදය (2017 ඔක් 04 විදුසර, මුල් ඡේදය සංස්කරණය වී ඇත.) මෙවර (සැප්තැම්බර් 27) සැම්සන් මහතා ලියා ඇති නිසරු බොළඳ රචන...
-
පරවි කූඩු මූලධර්මය - Pigeonhole Principle. මෙය බ්ලොග් අඩවියට ලැබී තිබෙන ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ය. මුලින් ම මෙය පැහැදිලි කරන්නේ වියුක්තව...
-
පැරණි ශාස්ත්‍ර - තමලු මලිත්ත පියදිගම ඇල්කෙමිස්ට් සඟරාව - ජනවාරි පැරණි ශාස්ත්‍ර ගැන කතා කිරීම ලෝකය පුරා දක්නට ලැබේ. බොහෝ දෙනා...
No comments:
Post a Comment