සිංහල භාෂාවේ කාලභේදයක් නැත - (තුන්වන කොටස)


     සිංහල භාෂාවේ කාල භේදය පිළිබඳ දැනට ඇති මතවාද අසාර්ථක බව ද කාල භේදය සංකල්පයට පටහැනි වන සේ අනතීත ( පැරණි මතයට අනුව වර්තමාන හා අනාගත) ක්‍රියා පද අතීත කාලයේ සිද්ධි සඳහා ද නිරතුරුව ම යෙදී ඇති බව ද පැරණි ගද්‍යා හා පද්‍ය සාහිත්‍යයෙන් උදාහරණ දෙමින් පෙර ලිපියේ පැහැදිලි කළෙමි. මෙවර ලිපියෙන් මා පෙන්වා දෙන්නේ නූතන සාහිත්‍යය සඳහා ද කාල භේදය යන සංකල්පය එලෙසින් ම අසාර්ථක වන බවයි.

( මෙම ලිපිවල ඇති උදාහරණ පෙරළි කොමා අතර දැක්වෙන්නේ ඇයි දැයි පාඨකයින් කිහිප දෙනකු විමසා තිබේ. මෙම ලිපිවල ලබා දී ඇති උදාහරණ පෙරළි කොමා අතර දැක්වෙන්නේ ඒවා අදාළ පොත්වලින් උපුටා දැක්වූ බව පෙන්වීමට පමණි . එම පෙරළි කොමා අදාළ වාක්‍යවල කොටසක් නො වේ. )

      කුමාරතුංග මුනිදාසයන් ගේ පොතකින්  මුල් ම උදාහරණය ඉදිරිපත් කරමි.

  " හේ උමතුව මෙන් ඔබට මොබට යන්නටත් ඈත මෑත බලන්නටත් වූවේ ය. ළඟ ගමේ රන් කරුවා නුදුරු තැනෙක තණ කපයි. "

(කියවන නුවන : හතර බීරි කතාව)

       මෙහි අතීත සිද්ධියකට "කැපී ය" යනුවෙන් අතීත ක්‍රියාව නො යෙදී "කපයි" යනුවෙන් අනතීත ( වර්තමාන ) ක්‍රියාව යෙදී ඇත. ඊට පෙර වාක්‍යයේ "වූයේ ය " යනුවෙන් අතීත ක්‍රියාව යෙදී ඇති බැවින් කුමාරතුංගයන් මෙම සිද්ධිය අනතීතයට ( වර්තමානයට ) ආරෝපණය කොට ලිවීමට අදහස් නො කළ බව පෙනේ.

       "කපයි" යන්න වෙනුවට "කැපී ය" යන අතීත ක්‍රියා පදය වාක්‍යයට යොදා බලමු. එවිට ලැබෙන වාක්‍යය මෙසේ ය.

        හේ උමතුව මෙන් ඔබට මොබට යන්නටත් ඈත මෑත බලන්නටත් වූවේ ය. ළඟ ගමේ රන් කරුවා නුදුරු තැනෙක තණ කැපී ය.

       මෙම කොටස කියවන විට පැහැදිලිව ම අර්ථය විකෘති වී ඇති බවත් "කැපී ය" යන වචනය එතැනට නො ගැළපෙන බවත් ඔබට වැටහෙනු ඇත. එහෙත් එසේ වන්නේ ඇයි දැයි දැනට පවතින ව්‍යාකරණයෙන් පැහැදිලි කළ නො හැකි ය. දැනට පිළිගැනෙන ව්‍යාකරණය අනුව නම් ගැළපෙන පදය විය යුත්තේ "කැපී ය" යන්නයි. එහෙත් එය එසේ නො වන බව අපි දුටුවෙමු. මෙයින් පෙනෙන්නේ කාල භේදය සංකල්පයේ ඇති දුර්වලතාවයි.

   එම පොතෙහි එම පරිච්ඡේදයේ ම මෙම කොටස ද බලන්න.

" එළුවෝ තණ කති . එළු පල්ලා පළමු කොට උන් ගැණ බැලී ය. "

     අතීත සිද්ධියකට "කති" යන අනතීත ( වර්තමාන ) ක්‍රියාව යෙදී ඇත. දෙවන වාක්‍යයෙහි "බැලී ය" යනුවෙන් අතීත ක්‍රියාව යෙදී ඇති බැවින් අනතීතයට ( වර්තමානයට ) ආරෝපණය කොට ලිවීමක් සිදුව නොමැති බව ද පැහැදිලි ය.

      දැනට පිළිගැනෙන ව්‍යාකරණයට අනුව නිවැරදි ක්‍රියා පදය වන " කෑ හ" යන්න ආදේශ කොට බලමු.

එළුවෝ තණ කෑ හ. එළුපල්ලා පළමු කොට උන් ගැණ බැලී ය.

       අර්ථය විකෘති වන බව පැහැදිලිව ම පෙනේ. එබැවින් කාල භේදය සංකල්පය වැරදි බව තව දුරටත් තහවුරු වේ.

    මීළඟට අපි මාර්ටීන් වික්‍රමසිංහ මහතා ගේ ඓතිහාසික නවකතාවක් වන රෝහිණී කෘතියෙන් උපුටා ගත් උදාහරණයක් සලකා බලමු.

" එහෙත් ගැමුණු රජු ගේ චර පුරුෂයෝ අනුරාධපුරයේ සිංහලයන් මෙන් වෙස් වළාගෙන ගොස් එළාර රජු ගේ සේනාව හා වෙසෙමින් ඔවුන් ගේ තොරතුරු විමසා ගැමුණු කුමාරයාට දන්වති."

     මෙහි "දැන්වූ හ" යන අතීත ක්‍රියාව නො යෙදී "දන්වති " යන අනතීත ( වර්තමාන ) ක්‍රියාව යෙදී ඇත. "දන්වති" යන්න වෙනුවට "දැන්වූ හ" යන්න යෙදූ විට අර්ථය විකෘති වන බව ද පෙර පරිදි ම දැකිය හැකි ය.

   දැන් අපි නූතන පද්‍ය සාහිත්‍යය ද විමසා බලමු.

" වෙඩි හතකින් ම හම සිදුරු ව තිබුණි                ඇගේ
  හැඬු බව ඇසූයෙමි ඈ වත්තෙහි ම                     මගේ
  මිනිසුන් ළඟට ඇය ආ වග සිතට                       නැගේ
  සිතුවිලි වුණා පිනි බිඳු කම්බියක                         දිගේ"

(ඉර පායා ඉර මුදුනට එන්න එපා - විමලරත්න කුමාරගම)

     මෙහි ද අතීත සිද්ධියකට  "නැගේ" යනුවෙන් අනතීත ක්‍රියාව යොදා ඇති බව පෙනේ. ඊට පෙර හා පසු වාක්‍යවල "තිබුණි" , "වුණා" ලෙස අතීත ක්‍රියා යොදා ඇති බැවින් අනතීතයට (වර්තමානයට) ආරෝපණය කොට නො ලියූ බව පැහැදිලි ය.

     මීළඟට අපි මහගමසේකරයන් ගේ ප්‍රබුද්ධ කාව්‍යයෙන් උදාහරණයක් සලකමු.

" සිදු වුණේ අසිරියකි;
  බඩ මහත දැඩි පිරිමි
  සෙම භරිත තඩි ගැහැනු 
  කය පුබුදු වී අවුත් 
  මස සසල කොට නටත් "

     මෙහි "නැටූ" යනුවෙන් අතීත කාල ක්‍රියාව නො යොදා "නටත්" යන අනතීත (වර්තමාන )  ක්‍රියාව යොදා ඇත. මෙමගින් ද පෙනෙන්නේ කාල භේදය සංකල්පය අඩුපාඩු සහිත බවයි.
       
     නූතන සාහිත්‍යයේ කාල භේදය සංකල්පය අසාර්ථක දැයි තව දුරටත්  විමසීම සඳහා මෙවර ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශ වූ නවකතා පහ අධ්‍යයනය කළෙමි.
එම පොත් පහෙන් ම කාල භේදය අසාර්ථක සංකල්පයක් බවට වන මගේ මතය යළි යළිත් සනාථ විය.

      ලිපිය දිගු වන බැවින් ඒ සියලු උදාහරණ මෙහි දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නො වෙමි.

    ලියන බසේ පමණක් නොව කට වහරේ ද කාල භේදය සංකල්පය අසාර්ථක බවට උදාහරණ මීළඟ  ලිපියෙන් බලාපොරොත්තු වන්න.

                                             - තමලු මලිත්ත පියදිගම

පෙර කොටස                       පසු කොටස

No comments:

Post a Comment

අලුත් ම සටහන

Exit way out කණ්ඩායමට පිළිතුර

 Exit Way Out කණ්ඩායමට පිළිතුර Exit way out කණ්ඩායම මගේ “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය: දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” පොතේ පළමු පර...

වැඩිපුර කියවූ ලිපි